Friday, September 30, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (සය වන කොටස​) - පන්ජ්ශීර් හි සිංහයා (Lion of Panjshir)

ඇෆ්ඝනිස්ථානයට පැමිණි සෝවියට් හමුදාවලට​ මුහුණ දීමට සිදු වූයේ පහසු අභියෝගයකට නොවේ. තමන් නොදන්නා රටක කඳුකර​, දුෂ්කර, ඈත පිටිසර ප්‍රදේශවල සටන් කිරීම කිසිසේත්ම පහසු නොවේ. තමන් ඇෆ්ඝනිස්ථානයෙහි රැඳී සිටි සමස්ථ කාළය තුළම සෝවියට් හමුදාවලට ප්‍රධාන මාර්ග සහ නගරවලින් එපිට සිය අණසක වැඩිකල් පවත්වාගත හැකි වූයේ නැත​.

සෝවියට් හමුදා මුජහිදීන්වරුන් පරාජය කිරීමට උත්සාහ කළේ සිය අවි බලයෙනි. බොහෝවිට​, ප්‍රබල සෝවියට් ප්‍රහාර හමුවේ මුජහිදීන්වරු තමන් රැඳී සිටි ප්‍රදේශවලින් පසු බැස්සෝය​. සත්‍ය වශයෙන්ම සෝවියට් හමුදා තමන් සහභාගී වූ සටන් බොහොමයක් ජය ගත්තේය​. එහෙත් ඔවුන් අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීම අපහසු වූ අතර ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් වූ විගස මුජහිදීන්වරු යළි එම ප්‍රදේශවලට පැමිණියෝ ය​. අවසන් ප්‍රතිඵලය වූයේ සටන ඇරඹීමට පෙර පැවති තත්ත්වයට නැවත ළඟා වීමය​.

මුජහිදීන්වරුන් සෝවියට් හමුදාවලට තර්ජනය කළ ප්‍රධාන ක්‍රමයක් වූයේ ඔවුනගේ සැපයුම් මාර්ගවලට පහර දීමෙනි. සෝවියට් උස්බෙකිස්ථානයේ සිට ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවරට වැටී තිබුණ මාර්ගය මෙහි ප්‍රධාන ඉලක්කයක් විය​. මෙම මාර්ගයට පහර දීමේදී සටන්කාමීන් ගේ ප්‍රධාන මූලස්ථානයක් වූයේ පන්ජ්ශීර් නිම්නය යි.

කාබුල් නගරයෙන් කිලෝමීටර් 70 ක් පමණ උතුරු දෙසින් පිහිටි සශ්‍රීක පන්ජ්ශීර් නිම්නය අහමඩ් ශා මසූඩ්ගේ මූලස්ථානය විය​. එම නිම්නය කාබුල් සිට උතුරට වැටී තිබුණ මාර්ගයේ පිහිටි සලාංග් දුර්ගයට (Salang Pass) ආසන්න වූයේය​. මසූඩ් පන්ජ්ශීර් හි සිට එම මාර්ගයට තර්ජනය කළේය​. සෝවියට් සැපයුම් මාර්ග ආරක්ෂා කරන අටියෙන් එම හමුදා මසූඩ්ගේ පිරිස පන්ජ්ශීර්වලින් එලවා දැමීමට මාන බැලුවෝය​.

සෝවියට් හමුදා ප්‍රහාර ගණනාවක් හමුවේ සිදුකළ වික්‍රමයන් හේතුවෙන් අහමඩ් ශා මසූඩ් ප්‍රබල මුජහිදීන් යුධ නායකයකු ලෙස නමක් දිනාගත් අතර 'පන්ජ්ශීර් හි සිංහයා' ලෙස ද ඔහු ප්‍රකට විය​.

පන්ජ්ශීර් නිම්නයේ බසරක් නගරයේදී 1953 සැප්තැම්බර් 2 වනදා උපන් බව කියන අහමඩ් ශා මසූඩ්ගේ පවුල යමක් කමක් තිබුණ​, තජික් ජාතික​, සුන්නි මුස්ලිම් පවුලක් විය​. 1970 දශකයේදී ඉංජිනේරු සිසුවකු ලෙස කාබුල් පොලිටෙක්නිකල් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ හෙතෙම පසුව බුරනුද්දින් රබ්බානිගේ ජමියත් - ඊ - ඉස්ලාමි සංවිධානය සමඟ සම්බන්ධ වූයේය​. සෝවියට් ආක්‍රමණයෙන් පසු හෙතෙම පන්ජ්ශීර් හි සිට එම ආක්‍රමණයට එරෙහිව සටනට බැස්සේය​.

පන්ජ්ශීර් වෙත මුලින්ම එල්ල වූ ප්‍රහාරයන් එතරම් විශාල ඒවා නොවීය​. 1980 සැප්තැම්බර්, 1980 ඔක්තෝබර්, 1981 මාර්තු සහ 1981 සැප්තැම්බර් මාසවල මෙම ප්‍රහාර එල්ල විය​. මුලදී අහමඩ් ශා මසූඩ්ගේ හමුදා ද කෙළින්ම සෝවියට් හමුදා හා ගැටීමට තරම් ශක්තිමත් නොවීය​. කෙමෙන් කෙමෙන් ඔහු සිය හමුදා ශක්තිය තර කරගත්තේය​.

පන්ජ්ශීර් නිම්නයට එල්ල වූ පස් වන සෝවියට් ප්‍රහාරය එතෙක් ඇෆ්ඝනිස්ථානය තුළ සිදුවූ දැවැන්තම සෝවියට් ප්‍රහාරය විය​. මෙම ප්‍රහාරය එල්ල වූයේ සෝවියට් හමුදාවලට ජයග්‍රහණයක් අවැසි සමයක ය​. 1982 අප්‍රේල් 25 වනදා බග්‍රම් ගුවන් කඳවුරට එල්ල වූ දරුණු මුජහිදීන් ප්‍රහාරයකින් සෝවියට් ගුවන් යානා සහ හෙලිකොප්ටර් 20 ක් පමණ විනාශ විය​. එහෙයින් සෝවියට් හමුදාවලට මුජහිදීන්වරුන්ට පහර දී ජයග්‍රහණයක් වාර්තා කිරීමේ අවශ්‍යතාව ඉතා දැඩි ලෙස දැනුණි.

දින කිහිපයක් තිස්සේ එල්ල වූ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් පසු, 1982 මැයි 17 වනදා, හින්දු කූශ් කඳු පන්තියට ඉහළින් මතුවූ සෝවියට් හෙලිකොප්ටර් පහළ සිටි කැරලිකරුවන් කරා ළඟා විය​. මුජහිදීන් වරුන් විසින් එල්ල කෙරෙන වෙඩි ප්‍රහාරවලින් ගැලවෙනු පිණිස අහසේ ඉහළින් සැරිසරමින් සිටි එම යානා සතුරු ඉලක්කයක් හඳුනාගත් කළ වහා පහළට පැමිණ ප්‍රහාරයන් එල්ල කළේය​. මිග්-23 සහ සූ-34 යානාවලින් ද හෙලිකොප්ටර් වෙත සහය ලැබුණි. ඔවුනගේ උත්සාහය වූයේ කඳු ශිඛර අතර වූ මුජහිදීන් සටන්කාමීන් රැඳී සිටි ස්ථාන සොයා ඒවාට පහරදීමය​. මේ අතර සෝවියට් සහ ඇෆ්ඝන් හමුදා යුධ ටැංකි, සන්නද්ධ රථ සහ ට්‍රක් රථ පහළ නිම්නය ඔස්සේ ඉදිරියට ආවෝය​. හෙලිකොප්ටර්වලින් ද හමුදා සේනාංක තන්හි තන්හි ගොඩ බස්වන ලදී.

කෙසේ නමුත් අහමඩ් ශා මසූඩ්ට මෙම ප්‍රහාරය පිළිබඳ කල් ඇතිව අනතුරු ඇඟවීම් ලැබී තිබුණ බව සඳහන් වේ. ඔහුට ඇෆ්ඝන් හමුදාව තුළින් තොරතුරු ගලා ආවේය​. එහෙයින් ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු එවන් ප්‍රහාරයක් එන බව දැන සිටියේය​. එමෙන්ම නිම්නයට එපිටින් සෝවියට් හමුදා ඒකරාශී වන අයුරු ද ඔහු නිරීක්ෂණය කරන්නට ඇත​. මුජහිදීන්වරු සෝවියට් හමුදාවලට සෘජුවම මුහුණ නොදෙමින් අවට කඳු ශිඛර වෙත පසු බැස්සෝය​.

නිම්නය තුළට සෝවියට් හමුදාවලට ඇතුලු වීමට ඉඩ දුන් මසූඩ් ඉන් පසුව ඔවුනට පහර දෙමින් ගරිල්ලා ආකාරයේ සටනක් දියත් කළේය​. සෝවියට් හෙලිකොප්ටර් සහ ගුවන් යානා ද ප්‍රහාරයට ලක් විය​. මේ අනුව හෙලිකොප්ටර් සහ මිග් යානා 35 ක් පමණ ප්‍රහාරයේ පළමු දින දහයේදී විනාශ වී යයි අනුමාන කළ හැකි බව ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර් සඟරාව පැවසීය​.
ඇෆ්ඝනිස්ථානයේ දුර්ග​. සලාංග් දුර්ගයද (Kotal - e - Salang) මෙහි දැක්වේ

මේ අතර සලාංග් දුර්ගය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් සෝවියට් රථ පෙළකට පහර දුන් මසූඩ්ගේ සෙබලු වාහන ගණනාවකට හානි සිදු කළෝය​. එහෙයින් මාර්ගය දින කිහිපයකට වසා දැමීමට ද සිදු විය​.

සමස්ථ නිම්නයේම බලය තමන් සතු කරගන්නට සෝවියට් සහ ඇෆ්ඝන් හමුදාවලට අපහසූ නොවූ නමුත් මුජහිදීන්වරුන් නිරුපද්‍රිතව කඳුකරයට පසු බැසීම වැළැක්වීමට ඔවුනට හැකි වූයේ නැත​.

මේ හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවත වරක් සෝවියට් ප්‍රහාර මසූඩ්ගේ මුජහිදීන්වරුන් කරා එල්ල කෙරිණ​. මෙහිදී සෝවියට් බෝම්බ හෙලන යානා විසින් මුජහිදීන්වරුනට රැකවරණය දෙන්නේ යයි සැක කෙරුණ ගම්මානවලට දරුණු ලෙස පහර දුන්නේය​. තවද සෝවියට් ස්පෙට්නාස් විශේෂ බලකා මසූඩ්ගේ සෙබලුන් ලුහුබැඳ පහර දුන් හ​.

සිවිල් වැසියන් වෙත එල්ල කෙරුණ දරුණු ප්‍රහාර හමුවේ ගම්මාන සහමුලින් විනාශ වූ අතර ඒවායේ දිවි ගලවාගත්තවුන් සිය ගම් බිම් හැර දා පළා ගියෝය​. ඇතැම් ප්‍රදේශ සෝවියට් හමුදා අතට පත් වුවද මුජහිදීන්වරුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට ඔවුනට නොහැකි විය​.

සෝවියට් හමුදා විසින් අල්ලාගන්නා ලද බොහෝ ප්‍රදේශවල පසුව ඇෆ්ඝන් රජයේ හමුදා රඳවන ලදී. මෙම හමුදා වෙත මසූඩ්ගේ හමුදා නිතර පහර දුන් අතර ඇෆ්ඝන් සෙබලු සමහරක් සටන අතහැර පළා ගියෝය​.

1983 ආරම්භ වෙද්දී දෙපාර්ශවයම සටනින් හෙම්බත්ව සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කරගන්නා ලදී.

කෙසේ නමුත් 1984 මුල දී එම තාවකාලික සාමය නිම වීය. එම වසරේ අප්‍රේල් මාසයේදී දැවැන්ත සෝවියට් - ඇෆ්ඝන් ප්‍රහාරයකට පන් ජ්ශීර් නිම්නය ලක් කරන ලදී. කෙසේ නමුත්, මෙවරද​, ඇෆ්ඝන් හමුදාවල අධ්‍යන්තරයේ සිටි ආධාරකරුවන් මාර්ගයෙන් මෙම ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් මසූඩ් වෙත ලැබී තිබුණි. සිවිල් වැසියන් බොහෝ දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා ගෙනයන ලද අතර සෝවියට් හමුදා ගුවනින් ගොඩ බස්වනු ඇතැයි සැක කෙරුණ ස්ථාන සහ වෙනත් වැදගත් යයි සැළකුණ ස්ථාන ගණනාවක් වටා බිම් බෝම් බ අතුරන ලදී. කෙසේ නමුත් සෝවියට් - ඇෆ්ඝන් ප්‍රහාරය ඉතාමත් ම ප්‍රබල වූ හෙයින් මසූඩ්ගේ සේනාංකවලට පසු බෑමට බල කරන ලදී.

මුජහිදීන්වරුන් පසු බැසගිය පසු සෝවියට් සහ ඇෆ්ඝන් සෙබලු ප්‍රධාන නිම්නයෙහි බලකොටු ඉදිකරගනිමින් එහි ආරක්ෂාව තර කළෝය​. මෙමගින් මුජහිදීන්වරුන්ට ඔවුනගේ මූලස්ථානය වූ නිම්නයේ බලය අහිමි වූ නමුත් අනෙක් අතට සෝවියට් සහ ඇෆ්ඝන් හමුදා ඉලක්ක කරගැනීම ඔවුනට පහසු කරවන ලදී. කල් ගතවන විට දිගින් දිගටම එල්ල වූ මුජහිදීන් තර්ජන හමුවේ සැප්තැම් බරයේදී සෝවියට් - ඇෆ්ඝන් හමුදා පසු බැස ගියෝය​.

පන් ජ්ශීර් නිම්නයට 1984 සහ 1985 දී තවත් ප්‍රහාරයන් දෙකක් එල්ල කෙරුණ නමුත් එයින් ද මසූඩ්ගේ හමුදා පරාජය කිරීමට සෝවියට් - ඇෆ්ඝන් සේනාංකවලට නොහැකි විය​.

1986 වනවිට නව නායක මිහායිල් ගොර්බචොව් යටතේ සිය ඇෆ්ඝන් ප්‍රතිපත්ති වෙනස් කිරීම කෙරෙහි සෝවියට් දේශයේ අවධානය යොමු විය​. එවක ඇෆ්ඝන් ජනාධිපති බබ්රක් කර්මාල් ඉවත් කළ ඔවුහු මොහොමඩ් නජිබුල්ලා එම තනතුරෙහි තැබූහ​. මින් පසු සෝවියට් දේශයේ අවධානය යොමුව තිබුණේ ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වන ක්‍රමයන් කෙරෙහි බැවින් මසූඩ් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකරගැනීමට සෝවියට් හමුදා වග බලාගත්තෝය​. මෙය මසූඩ්ට ද වාසි සහගත තත්ත්වයක් විය​. ඔහු තව තවත් ප්‍රදේශ තම අණසක යටතට ගනිමින් මුජහිදීන් නායකයකු ලෙස විශේෂිත ස්ථානයකට ළඟා විය​.

සෝවියට් හමුදා සමඟ කළ සටන් හේතුවෙන් චිර ප්‍රසිද්ධියට පත් වූ අහමඩ් ශා මසූඩ් 2001 දී වූ සිය ඝාතනය වනතුරුම ඇෆ්ඝන් දේශපාලනයේ වැදගත් චරිතයක් විය​. ඔහුගේ අනුගාමිකයන් අදටද ඔහු හඳුන්වා දෙන්නේ පන්ජ්ශීර් හි සිංහයා යන නමිනි.

කාශ්මීර අර්බුදය පිළිබඳ කෙටි හැඳින්වීමක්

කාශ්මීරය යනු අතිශයින්ම රමණීය බිම් පෙදෙසකි. නමුත් 1947 වසරේ පටන්ම එය වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ස්වභාව සෞන්දර්යය සඳහා නොව දිගින් දිගටම පවතින අවි ගැටුම් සඳහාය​.

මෙම අවි ගැටුම්වල ඇරඹුම ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම කරා දිවේ.

බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණෙද්දී එහි බොහෝ රාජ්‍යයන් වූහ​. බොහෝ විටම බ්‍රිතාන්‍යයන් මෙම රාජ්‍යයන්හි පාලකයන් සමඟ ගිවිසුම් මගින් එකඟත්වනට පැමිණි අතර මේ අනුව ඒවායේ අභ්‍යන්තර කටයුතු එම පාලකයන් අතේම තිබෙනු දක් නට ලැබුණි. බ්‍රිතාන්‍ය ඉන්දියාව බිහිවූයේ එලෙසිනි.

1947 වනවිට මෙවන් රාජ්‍යයන්, එනම් "කුමාරවර රාජ්‍යයන්" (Princely States) 562 ක් පමණ ඉන්දියාවේ විය​. මින් සමහරක් වර්ග කිලෝමීටර කිහිපයකට සීමා වූ නමුත් තවත් සමහරක් අද ලෝකයේ පවතින රටවල් ගණනාවකට වඩා විශාල විය​. මෙම විශාලම රාජ්‍යයන් අතර හයිද්‍රබාදය සහ කාශ්මීරය ද වූහ​.
කාශ්මීර කුමාරවර රාජ්‍යයට අයත් වූ ප්‍රදේශය තද රතු පැහැ රේඛාවෙන් දිස් වේ. කහ පැහැයෙන් වත්මන් ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත ය කොළ පැහැයෙන් පාකිස්ථාන පාලන ප්‍රදේශය ද තද දුඹුරු - ලා දුඹුරු ඇල ඉරි සහිත ප්‍රදේශයෙන් අක්සායි චින් ද දැක්වේ.

1947 දී එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණ ඉන්දියානු නිදහස පිළිබඳ පනත අනුව මෙම කුමාරවර රාජ්‍යයන් කෙරෙහි බ්‍රිතාන්‍යයෙහි වූ පාලනය අත හරින ලදී. මෙම රාජ්‍යයන්ට අභිනවයෙන් බිහිවන ඉන්දියාව​, පකිස්ථානය යන දෙරටින් එකකට එක් වීමට හෝ ස්වාධීන වීමට අවස්ථාව ලැබුණි. ඉන්දියාව තුළ පිහිටි කුමාරවර රාජ්‍යයන් එරට හා එක් වීමට ද පකිස්ථානය තුළ පිහිටි රාජ්‍යයන් එරට හා එක් වීමට ද තීරණය කරගන්නා ලද අතර මෙහිදී පාලකයින් සහ වැසියන් ගේ ආගම ද වැදගත් සාධකයක් බවට පත් විය​.

මෙහිදී ගැටලු ඇතිවූ ස්ථාන තුනක් විය​. එකක් වර්තමාන ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තය තුළ පිහිටි ජුනාගාද් ය​. අනෙක හයිද්‍රබාදය යි. තෙවැන්න කාශ්මීරයයි.

ජුනාගාද් හි වූයේ මුස්ලිම් පාලකයෙකි. ඔහුගේ වැසියෝ බොහෝ දෙනකු හින්දු ආගමිකයෝ වූහ​. හයිද්‍රබාදයේද තත්ත්වය එයම විය​. ජුනාගාදයට පකිස්ථානය හා එක්වීමට අවශ්‍ය වූ අතර හයිද්‍රබාදයට ස්වාධීන වීමට අවශ්‍ය විය​.

තම රට මැද පසමිතුරු ප්‍රදේශ දැකීමට අකැමැති වූ ඉන්දියාව හමුදා ක්‍රියාන්විත මගින් ජුනාගාදය සහ හයිද්‍රබාදය අල්ලාගත්තෝ ය​.

කාශ්මීරයේ පැවති තත්ත්වය මීට වඩා මඳක් වෙනස් විය​. එහි පාලකයා වූ මහාරාජා හරී සිං හින්දු භක්තිකයකු විය​. ඉන් දියාවේ පැවති කුමාරවර රාජ්‍යයන් අතුරින් හින් දු පාලකයකු යටතේ මුස්ලිම් බහුතරයක් විසූ එකම රාජ්‍යය වූයේ ද කාශ්මීරයයි. පාකිස්ථානය බලාපොරොත්තු වූයේ කාශ්මීරය එරට හා එක්වනු ඇතිය යන්නයි. එහෙත් හරී සිං මුලින්ම බලාපොරොත්තු වූයේ ස්වාධීනව සිටීමටය​.
මහාරාජා හරී සිං

1947 අගෝස්තු 14 වනදා පාකිස්ථානය ද ඉන් පසු දා ඉන්දියාව ද නිදහස ලැබූ අතර හින්දු සහ මුස්ලිම් ජනයා අතර ගැටුම් හේතුවෙන් දස දහස් ගණන් ඝාතනය විය​. මෙම මුල් කලබල මඳක් සමහන් වූ විට පාකිස්ථානය මුස්ලිම්වරුන් බහුතරයක් විසූ කාශ්මීරය හොඳින් හෝ නරකින් හෝ අල්ලාගැනීමට මුල පිරීය​.

පකිස්ථාන වයඹ දිග දේශසීමා ප්‍රාන්තයේ සිටි පතාන් ගෝත්‍රිකයන් කාශ්මීරයට කඩා වැදුණේ එම ප්‍රදේශය අල්ලාගන්නා අදහසිනි. මෙම ගෝත්‍රික සේනාංකවලට පකිස්ථාන රජයේ අනුබලය ලැබුණි. කාශ්මීරය මෙවන් ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් ව නොසිටියේය​.

මෙම අවස්ථාවේ හරී සිං ඉන්දියාවේ ආධාර ඉල්ලා සිටියේය​. ඉන්දියාව කියා සිටියේ ආධාර දීමට නම් කාශ්මීරය ඉන්දියාවට එක් වීමට කැමැත්ත පළ කළ යුතු බවය​. මේ අනුව 1947 ඔක්තෝබර 26 වනදා කාශ්මීරය ඉන්දියාවට එක්වීම සඳහා වන ලියවිල්ලට (Instrument of Accession) මහාරාජාවරයා අත්සන් කළේය​. ඉන්දියානු හමුදා කාශ්මීරයට කඩා වැදී ගෝත්‍රික හමුදාවලට පහර දුන්නේය​.

කෙසේ නමුත් කාශ්මීරයේ දැඩි සීතල ද පකිස්ථාන රජයේ ආධාර යටතේ අවි බලයෙන් සවිමත් වූ පතාන් ගෝත්‍රිකයන් ගේ ප්‍රහාර ද හේතුවෙන් ඉන්දියානු හමුදා ද අපහසුතාවනට මුහුණ දුන්නෝ ය​. 1948 මැද වනවිට සාමාන්‍ය පකිස්ථාන සෙබලුන් ද සටනට අවතීර්ණ විය​.
ඉන්දියානු සෙබලුන් - 1947

ඉන්දියාව එක්සත් ජාතීන් ගේ මැදහත්වීම ඉල්ලූ අතර ඔවුන් මැදිහත්වීමෙන් 1949 ජනවාරි 1 වනදා පටන් සටන් විරාමයක් ඇති කරගනු ලැබුණි. මේ අනුව කාශ්මීරයේ ඉන්දියානු සහ පකිස්ථාන පාලන ප්‍රදේශ වෙන් කෙරෙන මායිමක් ප්‍රකාශයට පත්විය​. මුලින්ම සටන් විරාම සීමාව ලෙස හැඳින්වූ මෙය පසුව පාලන ප්‍රදේශ සීමාව (Line of Control) ලෙස හඳුන්වා දෙනු ලැබුණි.

එක්සත් ජාතීන් විසින් ඇති කරගන්නා ලද සටන් විරාමයට අනුව පාකිස්ථානය කාශ්මීරයෙන් ගෝත්‍රික හමුදා ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු වූ අතර ඉන් දියාව ද ප්‍රදේශයේ සිය හමුදා ශක්තිය අවම කළ යුතු විය​. පසුව කාශ්මීරය කිනම් රටට අයත් විය යුතුද යන්න ජනමත විමසුමකින් තීරණය කළ යුතු විය​.

කෙසේ නමුත් දෙපාර්ශවයම ඇතැම් කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් විය​. දෙරටම ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කරගැනීමට සූදානම් නොවූ අතරම ඉන්දියාව කාශ්මීර ජනමත විචාරණය පැවැත්වීම කෙරේ ද අවධානය යොමු නොකළේය​.

1962 දී චීනය විසින් ඉන් දියාව ආක්‍රමණය කළ අවස්ථාවේ කාශ්මීරයේ නැගෙනහිර දෙස වූ අක්සායි චින් (Aksai Chin) ප්‍රදේශය එරට විසින් අල්ලාගන්නා ලදී. අදටත් එම ප්‍රදේශය පාලනය කරනුයේ චීනය ය​. එමෙන්ම චීනය සහ පාකිස්ථානය අතර එවක පටන් ප්‍රබල මිත්‍රත්වයක් ගොඩ නැගී ඇත​.

1965 දී පාකිස්ථානය ඉන් දියාවට පහර දුන්නේ චීනය විසින් 1962 යුද්ධයේදී ඉන්දියාව ලජ්ජාවට පත් කිරීමේ මතකය ද ඇතිවය​. දෙරට අතර ප්‍රධානම අර්බුදයට තුඩු දුන් කාශ්මීරයේදී ද සටන් මතුවූ නමුත් තීරණාත්මක වූ සටන් සිදු වූයේ පන්ජාබයේ ය​. ඉන්දීය හමුදා පාකිස්ථානුවන්ට දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ලාහෝර් නගරය අසළටම හමුදා මෙහෙයවූ අතර ඉන්පසු දෙරට අතර සාම ගිවිසුමක් ඇති වූයේය​.

1971 දී නැවතත් දෙරට අතර යුද්ධයක් ඇති වූ නමුත් එය හාත්පසින් ම වෙනස් අර්බුදයක්, එනම් බංගලාදේශ අර්බුදය​, හේතුවෙන් ඇති වූවක් විය​.

මේ අතර ඇෆ්ඝනිස්ථානයේ දී 1979 සිට සෝවියට් විරෝධී ඉස්ලාමීය කණ්ඩායම් ගෙනගිය අරගලයට පාකිස්ථානයේ සෘජු ආධාර හිමි වූ බව නොරහසකි. එකළ පාකිස්ථානය තුළ ද ඉස්ලාමීය පාසැල් හෙවත් මද්‍රසා සීඝ්‍රයෙන් බිහි වූයේය​. 1980 දශකය අවසන් වෙද්දී සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් පිටවීමත් සමඟ රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායම් කාශ්මීරය දෙස වැඩිපුර අවධානය යොමු කරන්නට විය​. කාශ්මීරයේ නිදහස උදෙසා සටන් කරන ඉස්ලාමීය කණ්ඩායම් වර්ධනය විය​. මේවාට පාකිස්ථාන රජයේ ආධාර ලැබෙන බව සාමාන්‍ය පිළිගැනීම වේ.

1999 මැයි මාසයේදී පාකිස්ථාන පැරා මිලිටරි කණ්ඩායම් සහ කාශ්මීර කැරලිකරුවන් කාශ්මීරයේ කාර්ගිල් දිස්ත්‍රික්කයේ සහ වෙනත් ප්‍රදේශවලට කඩා වැදීමත් සමඟ නැවත මාස දෙකක පමණ ඉන්දු - පකිස්ථාන යුද්ධයක් ඇතිවූ අතර ඉන්දීය හමුදා අහිමි වූ ප්‍රදේශ ගණනාවක් ආපසු අල්ලා ගත් හ​. පසුව අනෙකුත් ප්‍රදේශවලින් පැරාමිලිටරි කණ්ඩායම් පසුබැස්සෝය​.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පාලන ප්‍රදේශ සීමාව අසළ නිතර ගැටුම් ඇති වන අතර ඇතැම් අවස්ථාවලදී ඒ ඒ රටවල පාලන ප්‍රදේශ අභ්‍යන්තරයට ද කඩා වැදී ප්‍රහාර එල්ල කරන අවස්ථා වාර්තා වේ. ඉන්දියාව දිගින් දිගටම චෝදනා කරනුයේ පාකිස්ථානය මූලස්ථානය කරගනිමින් කාශ්මීර කැරලිකරුවන් ඉන් දියාවට තර්ජනය කරන බවත් පාකිස්ථාන රජය කැරලිකරුවන්ට ආධාර කරන බවත් ය​.

Sunday, September 25, 2016

බර්නි සැන්ඩර්ස්ගේ සහෝදරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සටනට එක් වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා අසාර්ථක සටනක යෙදුණ බර්නි සැන්ඩර්ස්ගේ වැඩිමහලු සහෝදරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වී සිටියි. ඒ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විට්නි (Witney) ආසනය සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණය සඳහා හරිත පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙනි.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී හරිත පක්ෂය විසින් සිය අපේක්ෂකයා ලෙස සැන්ඩර්ස් තෝරාගන්නා ලදී.

දැනට 88 වන වියේ පසුවන ලැරී සැන්ඩර්ස් (Larry Sanders) බ්‍රිතාන්‍යයට පදිංචිය සඳහා පැමිණියේ 1968 දී ය​. ඔහු ඇමරිකානු - බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියෙකි. 2001 සිට හරිත පක්ෂ ක්‍රියාකාරිකයකු වන ඔහු ඉන් පෙර කළක් කම්කරු පක්ෂය සමඟ කටයුතු කළේය​. දැනට හරිත පක්ෂයේ සෞඛ්‍යය පිළිබඳ ප්‍රකාශකයා වන්නේද සැන්ඩර්ස් ය​.​

හාවර්ඩ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ඇති ලැරී සැන්ඩර්ස්, සිය සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරය විසින් තමා දිරිමත් කරන ලද බව ප්‍රකාශ කරයි. තම අදහස නිරවුල්ව ඉදිරිපත් කිරීම තුළින් සිතනවාට වඩා පිරිසකගේ අවධානය දිනාගැනීමට හැකි බව සිය සහෝදරයා පෙන්වා දුන්නේ යයි ලැරී සැන්ඩර්ස් පවසයි.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ පවතින අසමානතා දුරු කිරීම සිය අපේක්ෂාව බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ්‍ෂයර් (Oxfordshire) හි පිහිටි විට්නි ආසනය සාමාන්‍යයෙන් කොන්සර්වේටිව් බල කණුවකි. එහෙයින් මධ්‍ය වාමාංශික හරිත පක්ෂය එම ආසනය ජය ගනීයයි සිතීම උගහටය​. 1983 වසරේ මෙම ආසනය නිර්මාණය වූ දින පටන් පැවති සියලු පාර්ලිමේන්තු මැතිවරණවලදී කොන්සර්වේටිව් පක්ෂය එම ආසනය ජයගෙන ඇත​. 2015 මහ මැතිවරණයේදී ඩේවිඩ් කැමරන් ඡන් ද 35,201 ක්, එනම් සියයට 60.2 ක් ලබාගත්තේය​.

මෙවර කොන්සර්වේටිව් පක්ෂයෙන් අතුරු මැතිවරණයට ඉදිරිපත් වන්නේ අධි නීතීඥයකු වන රොබර්ට් කෝර්ට්ස් ය​. කම්කරු පක්ෂයෙන් ඩන් කන් එන්රයිට් ද​, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ලිස් ලෙෆ්මන් ද​, ඉංග්‍රීසි ප්‍රජාතන්ත්‍රික (English Democrats) පක්ෂයෙන් වින්ස්ටන් මැකෙන්සි ද ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇත​.

විට්නි අතුරු මැතිවරණය ඔක්තෝබර් 20 වනදා පැවැත්වේ.

Monday, September 19, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පස් වන කොටස) - දෙවියන්ගේ සොල්දාදුවෝ

සිව් වන කොටස​: ඇමරිකාව සහ පාකිස්ථානය

ඇෆ්ඝනිස්ථානය මුලුමණින්ම පාහේ ඉස්ලාම් භක්තිකයන් වසන රාජ්‍යයකි. එයින් පහෙන් හතරක් සුන්නි මුස්ලිම්වරුන් වන අතර ඉතිරි සියයට 20 ශියා මුස්ලිම්වරු වෙති. මධ්‍යම ඇෆ්ඝනිස්ථාන් කඳුකරයේ ජීවත්වන හසාරා ජාතික ප්‍රජාව රටේ සමස්ථ ජනගහනයෙන් සියයට 20 ක් පමණ වන අතර ඔවුන් සියල්ලෝම පාහේ ශියා මුස්ලිම් ලබ්ධිකයෝ වෙති.

සෝවියට් ආක්‍රමණය ඇෆ්ඝනි මුස්ලිම්වරුන්ට වැදුන තදබල පහරක් විය​. ඇෆ්ඝනිස්ථානයේ කොමියුනිස්ට් පාලනය සිය බලය පැතිරවීමට කළ උත්සාහයේදී ඔවුනට හරහට සිටි ප්‍රධාන කණ්ඩායමක් වූයේ ඉස්ලාමීය පූජකයින් හෙවත් මුල්ලාවරුන් බව අපි කළින් ද දුටිමු.

ඇෆ්ඝන් - පාකිස්ථාන දේශ සීමාව බොහෝ ස්ථානවලදී වැටී ඇත්තේ කඳුකර පෙදෙස් හරහා ය​. එහි දෙපසම ජීවත් වන්නෝ පශ්තුන් ජාතිකයෝ වෙති. මෙම දේශසීමාව අදටත් රැකීම අපහසු දේශසීමාවකි. මෙම දේශසීමාව හරහා 1978 න් පසු විශාල පිරිසක් පාකිස්ථානය කරා පැමිණියෝය​. මුජහිදීන් ව්‍යාපාරයට අවශ්‍ය පිරිස් බලය සැපයුණේ මූලික වශයෙන්ම මේ හරහා ය​.
මුජහිදීන්වරු හෙවත් 'දෙවියන් ගේ' සෙබලු යාඥාවක් අතරතුර - 1987. Pic Erwin Lux

ඇෆ්ඝනිස්ථානයේ මුජහිදීන් (දෙවියන්ගේ සෙබලු) ව්‍යාපාර ගණනාවක් විය​. මෙයින් සමහරෙක මූලාරම්භය වූයේ ඩාවුඩ් ඛාන්ගේ වාමාංශික රජයට එරෙහිව මතු වූ ඉස්ලාමීය ව්‍යාපාරයන් ය​. සමහරෙක නායකයෝ කොමියුනිස්ට්වාදීන් බලය ඇල්ලීමටත් පෙර සිටම පිටරටවලට ගොස් සිටියහ​. මුල් කාලීනව කොමියුනිස්ට්වාදීන්ට එරෙහි අරගල ප්‍රාදේශීයව ආගමික නායකයින් සහ ඉඩම් හිමියන් විසින් නායකත්වය දෙමින් පැන නැගුණ ද ඒවාට පසු කාලීන දේශපාලනික නායකත්වය ලැබුණේ මෙම කණ්ඩායම් වලිනි.

මින් ප්‍රධාන ව්‍යාපාර හතක් සුන්නි මුස්ලිම් ආගමිකයන් ගෙන් සැදුම් ලත් අතර එම හත පසු කළෙක ඒකාබද්ධව ඇෆ්ඝනිස්ථාන මුජහිදීන්වරුන්ගේ ඉස්ලාමීය එකමුතුව (Islamic Unity of Afghanistan Mujahideen) නමින් සංවිධානය විය​. මෙම සංවිධානයට 'පෙශාවර් හත' (Peshawar Seven) සහ මුජහිදීන් හත් හවුල් සන්ධානය (Seven Party Mujahideen Alliance) යයි ද කියන ලදී. මින් හයක් මූලිකවම පශ්තුන් ජාතිකයන් ගෙන් සැදුම්ලත් අතර එකක් තජික් ජාතිකයන් ගෙන් සැදුම් ලද්දේය​. මෙම සංවිධානවලට අවි ආයුධ ඇමරිකානුවන් විසින් පාකිස්ථානය හරහා ලබා දෙන ලදී. මූල්‍යමය ආධාර ද ඇමරිකාව සහ විශේෂයෙන්ම ඇතැම් අරාබි රටවල්වලින් ගලා ආවේය​.

සුන්නි මුස්ලිම් කණ්ඩායම් හෙවත් 'පෙශාවර් හත​'

පෙශාවර් හත ලෙස ප්‍රසිද්ධ වූ සුන්නි මුස්ලිම් සංවිධානයන් පහත පරිදි වේ.

​01. ජමියත් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය සමාජය​) ඇෆ්ඝනිස්ථානයේ මුලින්ම ඇරඹි ඉස්ලාමීය දේශපාලන පක්ෂය ලෙස ද සළකනු ලබයි. 1968 සිට 2011 දී සිදුවූ සිය මරණය තෙක්ම මෙම පක්ෂයට නායකත්වය දෙන ලද්දේ ඉස්ලාම් දර්ශනය පිළිබඳ වියතකු වූ, කළක් ඇෆ්ඝනිස්ථාන ජනාධිපති ධූරයට ද පත් බුරනුද්දීන් රබ්බානි විසිනි. මෙම සංවිධානය තුළින්ම පැන නැගුණ ශූරා - ඊ - නසාර් (උතුරු දිග ශූරා කවුන්සිලය​) සඳහා නායකත්වය දුන්නේ 1980 ගණන්වල සිට 2001 සිදුවූ සිය මරණය තෙක්ම ඇෆ්ඝන් යුද්ධවල ප්‍රධාන චරිතයක් වූ අහමඩ් ශා මසූඩ් විසිනි.

02. හෙස්බ් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය පක්ෂය​) ඇෆ්ඝන් යුද්ධවල ප්‍රකට එමෙන්ම අන්තවාදී චරිතයක් වූ ගුල්බුද්දීන් හෙමටියාර් විසින් 1970 දශකයේ මැද භාගයේදී ආරම්භ කළ සංවිධානයකි. මෙයට ගිල්සායි පශ්තුන්වරුන් ගේ සහය ලැබුණ අතර පාකිස්ථානය ද හෙක්මටියාර් වෙත බොහෝ සෙයින් ආධාර​ කළේය​. වෙනත් මුජහිදීන්වරුන් සමඟ ද ගැටුම් ඇතිකරගත් සංවිධානයක් වූයේය​. 1992 න් පසු රට අරාජක වීමට හෙක්මටියාර් කෙළින්ම බලපෑවේය​.

03. හෙස්බ් - ඊ - ඉස්ලාමි (කාලිස්) යනු හෙක්මටියාර්ගේ පක්ෂයෙන් බිඳුනකි. එහි නායකයා මවුලවී යුනුස් කාලිස් විය​. මෙහි ප්‍රධාන නායකයන් අතර අබ්දුල් හක්, අමීන් වර්දක් සහ පසු කළෙක කුප්‍රකට වූ ජලාලුද්දීන් හක්කානි ද වූහ​.

04. ඇෆ්ඝනිස්ථානයේ විමුක්තිය සඳහා වන ඉස්ලාමීය එකමුතුව සාම්ප්‍රදායික ඉස්ලාමීය සංවිධානයක් විය​. මෙය ඉටිහාඩ් - ඊ - ඉස්ලාමි නමින් ද ප්‍රසිද්ධ විය. මෙහි නායකයා වූයේ අබ්දුල් රසූල් සයාෆ් ය​. පසු කළෙක පිලිපීනයේ මතුවූ අබු සයාෆ් නම් ත්‍රස්ත කල්ලිය සිය සංවිධානයට නම ලබා දුන්නේ මෙම ඇෆ්ඝන් සටන්කාමියාගේ නම ඇසුරෙනැයි ද මතයක් පවතී. සවුදි අරාබියේ ආධාර අබ්දුල් රසූල් සයාෆ් වෙත ලැබුණ අතර වහාබිවාදය පැතිරවීමට ඔහුගේ කටයුතු ඉවහල් වී යයි කියනු ලැබේ. තවද ඇෆ්ඝනිස්ථානයේ සටන් කරනු පිණිස අරාබියෙන් ස්වේච්ඡා සටන්කාමීන් ගෙන ඒමේදීද සයාෆ් වැදගත් කාර් යය භාරයක් කළේ ය​. මෙම සටන්කාමීන් 'ඇෆ්ඝන් අරාබීන්' ලෙස ප්‍රකට වූ අතර, ඒ අතුරින් පසු කළෙක වැඩියෙන්ම ලෝක ප්‍රසිද්ධියට පත් වූ තැනැත්තා ඔසාමා බින් ලාඩන් නම් වූවෙකි.
අබ්දුල් රසූල් සයාෆ් (වමේ) 1984 දී. Pic: Erwin Franzen

05. ඇෆ්ඝනිස්ථාන ජාතික ඉස්ලාමීය පෙරමුණ, සූෆිවරයකු වන අහමඩ් ගයිලානි ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය​. පෙර කී සංවිධානවලට වඩා මධ්‍යස්ථ මතධාරී සංවිධානයකි.

06. ඇෆ්ඝන් ජාතික විමුක්ති පෙරමුණ, සිබ්ගටුල්ලා මොජාඩෙඩි විසින් මෙහෙයවන ලද මධ්‍යස්ථ මතධාරී සංවිධානයක් විය​. 1992 දී ඔහු ඇෆ්ඝනිස්ථානයේ තාවකාලික ජනාධිපතිවරයා ලෙස කෙටි කළක් කටයුතු කළේ ය​.

07. ඉස්ලාමීය විප්ලවකාරී ව්‍යාපාරය හෙවත් හරාකට් - ඊ - ඉන්කිලාබ් - ඊ - ඉස්ලාමි සංවිධානය මොහොමඩ් නබි මොහොමදි විසින් මෙහෙයවන ලදී.

ශියා කණ්ඩායම්

මේ අතර ශියා මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වූ මුජහිදීන් කණ්ඩායම් ගණනාවක් විය​. මුල් කාළයේදී මෙවන් සංවිධාන 37 ක් පමණ වූ බව හෙන්රි S. බ්‍රැඩ්‍ෂර් විසින් ගණන් බලා තිබේ (Afghan Communism and Soviet Intervention, Oxford and New York, 2000​). 1979 සැප්තැම් බරයේදී පිහිටුවාගත් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාමීය එකමුතුව පිළිබඳ විප්ලවකාරී කවුන්සිලය (ශූරා - ඊ- එන්ගෙලාබ් - ඊ - එටෙෆාක් - ඊ - ඉස්ලාමි ඇෆ්ඝනිස්ථාන්) හෙවත් ශූරා පක්ෂය ශියා කණ්ඩායම් ඒකාබද්ධතාවක් ගොඩ නැගීමට උපකාර කළේ ය​. පසු කළෙක ඉරානයේ ආභාෂය සහ ආධාර මත වර්ධනය වූ ශියා ඉස්ලාමීය සංවිධාන විසින් ශූරා පක්ෂය අඩපණ කරන ලදී. 1987 දී මෙම සංවිධාන අටක එකතුවක්  'ටෙහෙරාන් අට දෙනා' (Tehran Eight) නමින් ඒකාබද්ධ විය​. එහෙත් එම එකමුතුව වසර දෙකක් පමණ ඇතුලත වෙනම සංවිධානයක් බවට පත් වූයේය​.​ ඒ හෙස්බ් - ඊ - වහ්ඩට් - ඊ - ඉස්ලාමි හෙවත් ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එක්සත් පක්ෂයයි (Afghanistan Islamic Unity Party).​

බටහිර රටවල සහය ලැබීම හේතුකොටගෙන 'පෙශාවර් හත​' කෙරෙහි ජාත්‍යන්තරයෙහි වැඩි අවධානයක් යොමු විය​. මේ අනුව ශියා කණ්ඩායම් කෙරෙහි ජාත්‍යන්තරයේ අවධානය යොමු වූයේ සාපේක්ෂව අඩුවෙනි. ශියා මුස්ලිම් ජනයා ප්‍රතිශතයක් ලෙස අඩු වීම ද මෙම ව්‍යාපාරවල බලපෑම සාපේක්ෂව අඩු වීමට හේතු විය​.

මේ අතරම හසාරා ජනයා විසූ මධ්‍යම කඳුකර ප්‍රදේශවල කොමියුනිස්ට් රජයේ බලපෑම එතරම් තදින් පැතිරුණේ නැත​. එම ප්‍රදේශ සමහරක් පැවතියේ ප්‍රාදේශීය පාලකයින් යටතේ පැවති ස්වාධීන ප්‍රදේශ මෙනි.

පුටින්ගේ එක්සත් රුසියාව පක්ෂය රුසියානු මහමැතිවරණය ජයගනී

ඊයේ පැවති රුසියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එරට පාලක එක්සත් රුසියාව පක්ෂය ජයග්‍රහණය කර ඇති බව මූලික ප්‍රතිඵලවලින් සනාථ වී තිබේ. මෙය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගේ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකි නමුත් මැතිවරණය කෙරෙහි ජනතාව දැක්වූ අඩු උනන් දුව එතරම් සුබදායී ප්‍රවණතාවයක් නොවන බව පැවසිය යුතු ය​.

2011 දී පැවති රුසියානු මහ මැතිවරණයේදී පුටින්ගේ එක්සත් රුසියාව (United Russia) පක්ෂයට සියයට 50 ක් ඡන් ද ලබාගත නොහැකි වූ අතර පැවති මැතිවරණ ක්‍රමය යටතේ ආසන 450 න් 238 ක් ලබාගත්තේ ය​. කෙසේ නමුත් එම ප්‍රතිඵල නිකුත් වූ පසු ඊට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවයක් මතු විය​. විරෝධතාකරුවන් පැවසූයේ මැතිවරණ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් එක්සත් රුසියාව පක්ෂයට වාසි සැලසුන බවය​.

තවද​, පැවති මැතිවරණ ක්‍රමය යටතේ කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් දිනා ගැනීම නොකළ හැක්කක් විය​. මැතිවරණයේදී සමස්ථ රටම එකම ඡන්ද කොට්ඨාශයක් මෙන් සැලකුණ අතර එක් එක් පක්ෂ ලබාගන්නා ඡන් ද ප්‍රතිශතය අනුව ආසන හිමි විය​. කෙසේ නමුත් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා ඒ ඒ පක්ෂ ජාතික ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 7 ක අවමයක් ලබාගත යුතු විය​.

මෙවර මැතිවරණයේදී එම ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මේ අනුව මන්ත්‍රීවරුන් ගෙන් අඩක්, එනම් 225 ක් පමණක් සමානුපාත ක්‍රමයෙන් තෝරාපත් කෙරෙන අතර ඉතිරි 225 දෙනා කේවල ක්‍රමයට පත් කරනු ලැබේ.

තවද එරට මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන එල්ලා පැම්ෆිලෝවා පත් කරන ලදී.

එක්සත් රුසියාව පක්ෂය සමානුපාතික ආසන 140 ක් සහ කේවල ආසන 203 ක් ද සමඟ සමස්ථ ආසන 243 ම දිනාගත්තේය​. මෙය කළින් ඔවුන් සතු වූ ආසන සංඛ්‍යාවට වඩා 105 ක වැඩි වීමකි. එමෙන්ම මිශ්‍ර ක්‍රමය යටතේ කේවල ආසන වැඩි ප්‍රමාණයක් දිනාගැනීම ඔවුන් ලද වාසියකි. එක්සත් රුසියාව පක්ෂය ලද ඡන්ද ප්‍රතිශතය සියයට 54.18 කි.

රුසියානු ෆෙඩරේශනයේ කොමියුනිස්ට් පක්ෂය සියයට 13.35 ක් ඡන්ද ලබාගනිමින් සමානුපාත ආසන 35 ක් සහ කේවල ආසන 7 ක් දිනාගෙන තිබේ. රුසියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 13.16 ක් ඡන්ද ලබාගනිමින් සමානුපාත ආසන 34 ක් සහ කේවල ආසන 5 ක් ද​, සාධාරණ රුසියාව පක්ෂය ඡන්ද සියයට 6.21 ක් ලබාගනිමින් ආසන සමානුපාත 16 ක් සහ කේවල ආසන 7 ක් ලබාගත්තේය​. මෙ අතර ප්‍රජා වේදිකාව (Civic Platform) නම් පක්ෂය කේවල ආසනයක් දිනාගත්තේය​.

ඡන්දය භාවිතා කළ ප්‍රතිශතය සියයට 40 ක් තරම් අඩු අගයක වෙයි. මෙය පසුගිය මැතිවරණයේදී වාර්තා වූ සියයට 60 ක ප්‍රකාශිත ඡන් ද ප්‍රතිශතය සමඟ සසඳද්දී සීඝ්‍ර අඩු වීමකි.

මැතිවරණය අවසන් වූ පසු සිය පාක්ෂිකයන් ඇමතූ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රටේ වර්තමානයේ පවතින​ ආර්ථික පසුබෑම පිළිබඳව​ අදහස් පළ කළේය​. "ජනතාව ජීවත්වන්නේ අපහසුවෙන් බව අපි දන්නවා. බොහෝ ප්‍රශ්න තිබෙනවා. බොහෝ නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. ඒ තිබියදීත් අපට මෙම ප්‍රතිඵලය ලැබුණා" ඔහු සඳහන් කළේය​.

මේ අතර සයිබීරියාවේ අල්තායි ප්‍රදේශයේ මැතිවරණ අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා පළ වූ අතර ඒ පිළිබඳව නිලධාරීන් පරීක්ෂණයක් අරඹා තිබේ.

Friday, September 16, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (සිව් වන කොටස​) - ඇමරිකාව සහ පාකිස්ථානය​

තෙවන කොටස: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (තෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණය

කළින් අප දුටු පරිදි, සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයට පැමිණීමට වසර එකසිය හතලිහකට පෙර බ්‍රිතාන්‍යය හමුදාවක් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය​. එම හමුදාවේ අභිප්‍රාය වූයේ සඩොසායි රජ පෙළපතේ ශා ෂුජා යළි ඇෆ්ඝනිස්ථානයේ රජ බවට පත් කරවීමයි. මෙම ව්‍යායාමය ආරම්භයේදී එම හමුදා කන්දහාර් වෙත ගමන් කරන අතරතුර​, කලාත් ප්‍රදේශයේ පාලකයාගේ සහය අපේක්ෂාවෙන්, බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ ඔත්තුකරුවකු ද වූ සර් ඇලෙක්සැන්ඩර් බර්න්ස් ඔහු හමුවීමට ගියේය​. කලාත් හි පාලක මෙහ්රාබ් ඛාන් එම ඉල්ලීම ප්‍රතික්ශේප කළේය​.

බර්න්ස් යළි පිටත්වීමට සැරසෙද්දී මෙහ්රාබ් ඛාන් ඔහුගෙන් විමසූයේ ඇෆ්ඝන් ඉතිහාසය මනාව පැහැදිලි කරන ඓතිහාසික පැනයකි.

"ඔබ මෙරටට හමුදාවක් ගෙනවිත් තිබේ. දැන් එය ආපසු රැගෙන යන්නට හිතාගෙන ඉන්නේ කෙසේද​?"

අභියෝගයේ තරම​

සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය​. ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් මෙන්ම ඉස්ලාමීය රටවල් ද එය දැඩි ලෙස විවේචනය කළෝ ය​. ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් සෝවියට් දේශයට ධාන්‍ය අපනයනය අත් හිටවූ අතර 1980 මොස්කව් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට ද මුල් විය​.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ද සෝවියට් ආක්‍රමණය දැඩි විවේචනයට ලක් විය​.

මෙම ප්‍රතිචාර සෝවියට් දේශය බලාපොරොත්තු වූවාට වඩා දැඩි වන්නට ඇති නමුත් එය ඔවුන් සම්පූර්ණයෙන් බලාපොරොත්තු නොවූවක් ද නොවීය​. මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ඔවුන් හමුදාමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ ජාත්‍යන්තර විරෝධය පිළිබඳ නොදැන නොවේ. එහෙත් 1956 දී හන්ගේරියාව ආක්‍රමණය සහ 1968 චෙකොස්ලොවැකියාව ආක්‍රමණය ද ඔවුන් විසින් සිදු කරන ලද්දේ එම ජාත්‍යන්තර විරෝධයට වඩා සිය දේශසීමාවන් හි ආරක්ෂාව පිළිබඳ ඔවුන් සැළකිලිමත් වූ හෙයිනි. ඇෆ්ඝනිස්ථානය ද සතුරු රටක අණසකට යටත් වනු ඇතැයි යන බිය සෝවියට් ක්‍රියාමාර්ගයට හේතු වූ බව අපි දුටිමු.

සෝවියට් දේශය ඉදිරියේ වූ මීළඟ ගැටලුව වූයේ 1839 දී බ්‍රිතාන්‍යයන් මුහුණ දුන් ගැටලුවම ය​. අවි ආයුධ අතින් ඔවුන් මුජහිදීන්වරුනට වඩා ප්‍රබල තැනක සිටි බව සත්‍යයකි. නමුත් ඇෆ්ඝනිස්ථනය යනු කටුක භූ විෂමතාවයන් ගෙන් හෙබි, සටන් කිරීමට අපහසු රටකි. එමෙන්ම ඒ සමඟ එක්වූ ආගමික සාධකය ද සෝවියට් හමුදාවලට බාධකයක් ලෙස මතු විය​.

1839 දී ශා ෂුජා සිය රාජ්‍යත්වය පතාගෙන ඇෆ්ඝනිස්ථානයට පැමිණි අවස්ථාවේ ඇෆ්ඝන්වරුන් ඔහුට එරෙහි වූ එක් ප්‍රධාන හේතුවක් විය​. එනම්, ඔහු ක්‍රිස්තියානි හමුදාවක් සමඟ පැමිණීමයි. භක්තිමත් ඉස්ලාම් බැතිමතුන් වූ ඇෆ්ඝන්වරු මෙය කිසි ලෙසකින්වත් නොරිස්සුවෝය​. අදේවවාදී කොමියුනිස්ට්වාදී රටක් වූ සෝවියට් දේශය කෙරෙහි එවැනිම විරෝධාකල්පයක් පැමිණීම පුදුමයක් නොවීය​.

සෝවියට් ක්‍රියාන්විතයෙහි සාර්ථකත්වය රඳා පැවතියේ ඇෆ්ඝන් හමුදාව මත ය​. එහෙත් එය ද ඉතාමත් අවිශ්වාස සහගත එකක් විය​. හමුදාවේ බොහෝ සෙබලු කොමියුනිස්ට්වාදීහු නොවූ හ​. සෝවියට් ආක්‍රමණයට පෙර සිටම​, වෙසෙසින්ම තරාකිගේ රජය​, සෝවියට් හමුදා සේනාංක ඉල්ලා සිටියේ සිය හමුදාවල වූ මෙම අවිශ්වසනීයත්වය හේතුවෙනි.
ඇෆ්ඝනිස්ථානයෙන් ආපසු එන සෝවියට් සෙබලුන් පිරිසක් 1986 දී - යූරි සොමොව් (RIA Novosti)

තවද සෝවියට් හමුදා පැමිණීමෙන් පසුව ද ඔවුන් ඇෆ්ඝන් සෙබලුන් සැළකූයේ තමන්ට වඩා අදක්ෂ කොටසක් ලෙස ය​. එහෙයින් දෙපක්ෂය අතර නුරුස්සනා ගති වර්ධනය වීමට ද විය​.

ඇමරිකානු ආගමනය​

එමෙන්ම, සෝවියට් දේශයට අවශ්‍ය පරිදි ඇෆ්ඝනිස්ථානයෙහි සැරිසැරීමට ඉඩදීම ඇමරිකාවේ අභිලාශය නොවීය​. ඉන් දියන් සාගරය දෙසට සෝවියට් බලපෑම වර්ධනය වීම ඇමරිකාවේ සතුටට හේතු නොවීය​. එමෙන්ම වසර කිහිපයකට පෙර වියට්නාමයේදී සිදු වූ අපකීර්තිය වසා ගැනීමට අවස්ථාවක් දැන් ඇමරිකානුවන්ට ලැබිණ​.

ඇමරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක වූ සෙබිග්නියෙෆ් බ්‍රෙෂින්ස්කි පාකිස්ථානය වෙත ළඟා වූයේ ඇෆ්ඝනිස්ථානයෙන් පළා ආ පිරිස් මුණ ගැසීමට ය​. මේ අතර විශාල තරුණයින් පිරිසක් සෝවියට් පාලනයට එරෙහිව සටන් කිරීමේ අදිටනින් යුතුව සිටියෝය​.
බ්‍රෙෂින්ස්කි (වමේ) සහ ජනාධිපති ජිමී කාටර්

ඇෆ්ඝන් ජාතිකයන්ට සංවේදී කාරණයක් වන ආගමික විශ්වාසය පිළිබඳ බ්‍රෙෂින්ස්කි අවබෝධ කරගෙන සිටියේය​. අදේවවාදී කොමියුනිස්ට් රජයකට එරෙහිව ඇෆ්ඝන්වරුන් පෙළඹවීමට මෙන්ම විවිධ ගෝත්‍රවලට අයත් ඇෆ්ඝන්වරුන් එක් අරමුණකට එක් කිරීමට හොඳම ආයුධය වූයේ ආගම ය​. එහෙයින් ඇෆ්ඝන් සරණාගතයින් හමුවීමට පැමිණි බ්‍රෙෂින්ස්කි ඔවුන් ඇමතීමේදී ඉස්ලාම් ආගම සහ දෙවියන් වෙත සිය අවධානය යොමු කළේ ය​.

"අර ඈතින් පෙනෙන භූමිය ඔබේ. ඔබ අනාගතයේ දිනෙක එහි යළිත් යනු ඇති. ඔබ ඔබේ සටන ජය ගනු ඇති අතර ඔබේ නිවාස සහ ඔබේ දේවස්ථාන යළිත් ලබාගනු ඇති. මක් නිසාද යත් ඔබේ සටන සාධාරණ බැවින් සහ දෙවියන් ඔබ සමඟ වන බැවිනි"

මේ අතර ඇමරිකානු රජය මුජහිදීන්වරුන්ට අවි ආයුධ සැපයීමට විය​. බටහිරින් ආධාර ලැබෙන බව සඟවනු පිණිස ඊජිප්තුවෙන් සහ චීනයෙන් ලබාගත් සෝවියට් ආයුධ මුජහිදීන්වරුන්ට ලබා දෙන ලදී. පසුව කොමියුනිස්ට් චෙකොස්ලොවැකියාවෙන් ද ඇමරිකානුවන් ආයුධ ලබාගත් බව බ්‍රෙෂින්ස්කි CNN රූපවාහිනියට පැවසීය​.

"වෙනකක් තබා අපි ඇෆ්ඝනිස්ථානයේ වූ සෝවියට් හමුදාවලිනුත් ආයුධ මිලට ගත්තා. සෝවියට් හමුදාව ඒ තරම් ම දූෂිත වූ හමුදාවක්" ඔහු තව දුරටත් කියා සිටියේ ය​.

පාකිස්ථානය සහ මුජහිදීන්වරු

මුජහිදීන්වරුන් ගේ සටන කෙරෙහි පාකිස්ථානය ඉතා වැදගත් සාධකයක් විය​. ඉරානයේ වූයේ ඇමරිකානුවන්ට එරෙහි රජයකි. ඇෆ්ඝනිස්ථානයට උතුරින් සෝවියට් දේශය විය​. මේ නිසා ඇෆ්ඝන් දේශසීමාවේ පිහිටි රටවල්වලින් ඇමරිකානුවන්ට සම්බන්ධ විය හැකි වූයේ පකිස්ථානය සමඟ පමණි.

පකිස්ථානය මේ වනවිට පාලනය කළේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් ජෙනරාල් සියා උල් හක් ය​. මානව හිමිකම් පිළිබඳ බෙහෙවින් සැළකිලිමත් වූ ජිමී කාටර්ගේ ඇමරිකානු රජය ජෙනරල් සියා සමඟ එතරම් මිත්‍රත්වයක් නොපැවැත්වීය​. නමුත් මේ අවස්ථාවේ ඇමරිකාව සිය ප්‍රතිපත්ති වෙනස් කළේය​.
ජෙනරල් සියා උල් හක්

ජෙනරල් සියා උල් හක් ද ඇෆ්ඝනිස්ථානයේ අනාගතය පිළිබඳ සැළකිලිමත් වූයේය​. තම රජයට හිතවත් ඉස්ලාමීය පාලන තන්ත්‍රයක් ඇෆ්ඝනිස්ථානයේ පිහිටුවීම ඔහුගේ අභිප්‍රාය විය​. මුජහිදීන්වරුන්ට පාකිස්ථානය තුළ දී පුහුණුවීමට සැලසූ ජෙනරල් සියා විදෙස් සටන්කාමීන්ට ද ඇෆ්ඝනිස්ථානය කරා යෑමට අවස්ථාව ලබා දුන්නේය​. මේ අතර තමන්ට හිතවත් මුජහිදීන් කණ්ඩායම්වලට ඔහු විශේෂ සැළකිල්ලක් දැක්වීය​.

තවද පාකිස්ථානයේ ඉස්ලාමීය අන්තවාදී අදහස් ව්‍යාප්ත වීමට ඇෆ්ඝන් යුද්ධය සහ සියා උල් හක් කෙළින්ම දායක විය​. ජෙනරල් සියා පාකිස්ථානය තුළ මුස්ලිම් ආගමික පාසල් නොහොත් මද්‍රසා ව්‍යාප්ත වීමට දුන්නේය​.

මෙම මද්‍රසාවලින් බිහිවන ශිෂ්‍යයින් තවත් දශක එකහමාරකට පසු ඇෆ්ඝනිස්ථානයේ වැඩි කොටසක් පුරා සිය අණසක පැතිරවීමට ද සමත් වූහ​. නමුත් එය දැකීමට සියා උල් හක් ජීවතුන් අතර නොසිටියේය​.

Thursday, September 15, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (තෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණය

දෙවන කොටස: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (දෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණයට පාර කැපීම

ඒ 1838 වසර යි. එවකට ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධානතම පාලකයා වූ දෝස්ත් මුහම්මද් ඛාන් බලයෙන් පහ කර සඩොසායි පෙළපතෙහි ශා ෂුජා නැවත බලයෙහි හිඳුවීම සඳහා බ්‍රිතාන්‍යයෝ පිඹුරුපත් සකසමින් සිටියෝය​. දෝස්ත් මුහම්මද් රුසියාව සමඟ සබඳතා වර්ධනය කරගන්නා බවට බ්‍රිතාන්‍යය තුළ වූ සැකය ද මීට හේතු වූයේය​. බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ පසු කළෙක ප්‍රසිද්ධ ඉතිහාසඥයකු වූ මොන්ට්ස්ටුවර්ට් එල්ෆින්ස්ටන් මෙම සැලසුම් පිළිබඳ බෙහෙවින් විවේචනාත්මක වූයේය​. බ්‍රිතාන්‍යයට, විශාල හමුදාවක් සමඟ ගොස්, කාබුල් හි ශා ෂුජා සිංහාසනාරූඪ කිරීම එතරම් අපහසු නොවනු ඇතැයි සඳහන් කළ ඔහු, දැවැන්තම ගැටලුව වන්නේ ඔහුගේ සිහසුන රැක ගැනීම බව පෙන්වා දුන්නේය​.

"දුප්පත්, සීත​, ශක්තිවන්ත​, ඈත පිටිසර රටක, විශේෂයෙන්ම ඇෆ්ඝන්වරුන් වැනි කලහකාරී ජනතාවක් අතර, ඔහුව සිහසුනේ තබා ගැනීම කළ නොහැක්කක් බව මගේ අදහසයි. ඔබ සාර්ථක වුවද​, එයින් සිදු වන්නේ රුසියාවට සාපේක්ෂව ඔබ දුර්වල වීම ය​. ඇෆ්ඝන්වරුන් අපක්ෂපාතී වූ අතර වෙනත් ආක්‍රමණිකයකුට මුහුණ දීම සඳහා ඔබේ ආධාර ඉතා ස්තූති පූර්වකව පිළිගන්නට ඉඩ තිබිණ​. නමුත් දැන් ඔවුන් ඔබ එළවා දැමීම සඳහා ඕනෑම ආක්‍රමණිකයකුගේ උපකාරය ලබාගනු ඇත​" එල්ෆින්ස්ටන් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ඕක්ලන්ඩ් සාමි වෙත ලියා දැන්වීය​.

1979 දී සෝවියට් දේශයට සිදු වූයේ මෙයම බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැක​. සෝවියට් දේශය පළවා හරිනු වස් ඇෆ්ඝන් මුජහිදීන්වරු ඇමරිකානු ආධාර ලබාගත්තෝ ය​. නමුත් මෙහිදී ඇමරිකානුවන් වටහා නොගත් තවත් දෙයක් විය​. මුජහිදීන්වරුන් ඔවුන් සැළකූයේ අවශ්‍ය අවස්ථාවේ උපකාර කරන මිතුරකු වන තාක් කල් ඇෆ්ඝන් ජාතිකයන්ට ඇමරිකානුවන් වැදගත් විය​. එහෙත් ඔවුන් ද ආක්‍රමණිකයාගේ භූමිකාව රඟපෑමට වූ කළ ඇමරිකානුවන් හෝ රුසියානුවන් හෝ යයි කිසිදු වෙනසක් ඇෆ්ඝන් ජනතාවට නොවීය​.

එහෙයින් එල්ෆින්ස්ටන් එදා කළ අනතුරු ඇඟවීම වත්මන් ඇෆ්ඝනිස්ථානය පිළිබඳව ද ඒ ලෙසින්ම අදාළ කරගත හැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

සෝවියට් පාලකයින් කෙතරම් දුරට මෙම අවධානම පිළිබඳ අවධානය යොමු කළේද යන්න සැක සහිත ය​. මේ වනවිට ද ඇෆ්ඝන් මුජහිදීන්වරුන් සතුව ප්‍රබල අවි ආයුධ නොතිබිණ​. ඇමරිකානුවන් ඔවුනට මුලදී ආධාර කළේ ආයුධවලින් නොව සන්නිවේදන උපකරණ ආදියෙනි. එහෙයින් සිය අවි බලයෙන් මුජහිදීන්වරුන් විනාශ කළ හැකිවනු ඇතැයි සෝවියට් හමුදා අදහස් කරන්නට ඇත​.

කෙසේ නමුත් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම මගින් මතුවන ජාත්‍යන්තර තත්ත්වය සෝවියට් පාලකයින් විසින් සළකා බලන ලදී. බටහිර රටවල් මීට දැඩි සේ ප්‍රතිචාර නොදක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි නොවීය​. එහෙත් වෙනත් රටවල් ඇෆ්ඝනිස්ථානය තුළ මතුවන තත්ත්වයන් ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ අවදානම නොසළකා හැරීමට ද ඔවුන් කැමැති වූයේ නැත​.

1979 දෙසැම්බර් මාසය මුල් සතිය වනවිට ඇෆ්ඝන් ප්‍රශ්නය සෝවියට් නායකත්වයට වද දුන් ප්‍රධාන ගැටලුවක් විය​. දෙසැම්බරය මුලදී සෝවියට් 40 වන හමුදාව යළි ස්ථාපිත කිරීම සඳහා සෝවියට් ආරක්ෂක ඇමති මාර්ෂල් දිමිත්‍රි උස්තිනොව් විසින් උපදෙස් ලබාදෙන ලදී. දෙසැම්බර් 12 වනදා සෝවියට් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලය ඇෆ්ඝනිස්ථානයට හමුදා යැවීමේ තීන් දුව ගත්තේය​. මේ අතර පුනර්-ස්ථාපනය කරන ලද සෝවියට් 40 වන හමුදාව තුර්ක්මනිස්තාන් හමුදා දිස්ත්‍රික්කයෙහි එක් රැස් වෙමින් පැවතිණ.

මේ වනවිට ද ඇෆ්ඝනිස්ථානය තුළ කුඩා සෝවියට් හමුදා කණ්ඩායම් සහ කේ.ජී.බී. නියෝජිතයන් රැඳී සිටියෝය​. නමුත් දෙසැම්බර් 24 වනදා සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමඟම 5000 ක පමණ කේ.ජී.බී සහ වෙනත් විශේෂ ඒකකවල පිරිස් ඇෆ්ඝනිස්ථානය වෙත​ ගුවනින් එවන ලදී. ඔවුන් සමහරෙක් පැමිණියේ සෝවියට් තානාපති කාර්යාලය ආරක්ෂා කරන මුවාවෙනි.
සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම (ඇමරිකානුවන් විසින් සැකසූ සිතියමකි)

මේ අතර දෙසැම්බර් 25 වනදා වන විට සෝවියට් 40 වන හමුදාව ගොඩබිම් මාර්ග ඔස්සේ ඇෆ්ඝනිස්ථානය වෙත ඇතුලු විය​.

ඔවුන් බලාපොරොත්තු වූයේ සති කිහිපයක හෝ මාස කිහිපයක යුද්ධයක් විනා, දස වසරක් තිස්සේ සිය හමුදා විනාශයට ගෙන යන දීර්ඝ යුද්ධයක් නොවේ.

Operation Storm-333 (මාරුතය-333 මෙහෙයුම​)

සෝවියට් දේශය මේ වනවිටත් ජනාධිපති ආමීන් ඉවත් කිරීමට තීරණය කර තිබුණි. ඒ සඳහා ඔවුන් විසින් දියත් කෙරුණ මෙහෙයුම 'මාරුතය තුනයි තුනයි තුන​' ලෙස නම් කෙරිණ​.

සම්පූර්ණ මෙහෙයුමට ගත වූයේ විනාඩි 43 කි.

සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයට ඇතුලු වන අවස්ථාවේ ජනාධිපති හෆිසුල්ලා ආමීන් වැඩි ආරක්ෂාව පතා කාබුල් නුවර පැරණි රජ මාලිගයක් වූ ටාජ්බෙග් මාලිගය කර ගියේය​. සෝවියට් සේනාංක ඔහුට එරෙහි වනු ඇතැයි ඔහු ඒ අවස්ථාවේ බලාපොරොත්තු නොවූ බව සඳහන් වේ.

සෝවියට් බල ඇණි කාබුල් නගරය බාහිර ලෝකය සමඟ සම්බන්ධ වූ දුරකථන මාර්ග කපා දැම්මෝය​. මේ අතර මාරුතය​-333 ක්‍රියාත්මක කිරීමට සියල්ල සැකසිණ​.

මාරුතය-333 සඳහා සහභාගී වූයේ කේ.ජී.බී. විශේෂ සේනාංක දෙකක් (ඇල්ෆා ඒකකයේ ග්‍රොම් හෙවත් 'අකුණු සැරය​' කණ්ඩායමේ 24 දෙනෙක් සහ සෙනිත් කණ්ඩායමේ 30 ක්), 345 වන වාසර මුරභට රෙජිමේන්තුව (345 Guards Airborne Regiment) සහ 154 වන ස්පෙට්ස්නාස් (සෝවියට් විශේෂ බලකා) බැටෑලියනය ය​. මෙම අවසානයට සඳහන් කළ බැටෑලියනය මධ්‍යම ආසියානු භටයින් ගෙන් සදුම්ලත් අතර එහෙයින් "මුස්ලිම් බැටෑලියනය​" යයි ප්‍රසිද්ධ විය​. ඇෆ්ඝන් නිල ඇඳුම් ඇඳවූ විට එම සෙබලුන් දිස් වූයේ ඇෆ්ඝන් සෙබලුන් ලෙස ය​.

මෙම මෙහෙයුම ඇෆ්ඝන් ප්‍රහාරයක් ලෙස හුවා දැක්වීමට මෙම "මුස්ලිම් බැටෑලියනය" උපකාර වූ අතර ආමීන් ගේ විරුද්ධවාදීන් පිරිසක් ද මෙහෙයුමට සම්බන්ධ විය​. හිටපු ජනාධිපති නූර් මුහම්මද් තරාකිගේ සමීපතමයකු වූ ද ආමීන් බලයෙන් පහ කිරීමට ඔහු හා කුමන්ත්‍රණය කළ අයගෙන් කෙනෙකු ද වූ සයෙඩ් මොහොමඩ් ගුලබ්සෝයි ද ඒ අතර විය​.
ටාජ්බෙග් මාලිගය - Tracy Hunter (Wikimedia Commons)

"සෑම සන්නද්ධ රථයකම ඇල්ෆා කණ්ඩායමේ කිහිප දෙනෙකුත්, අණ දෙන නිලධාරියාත්, රියැදුරෙක් සහ තුවක්කුකරුවකු සිටි අතර ඊට අමතරව ඇෆ්ඝන් ජාතිකයන් ද වුණා. මගේ රථයේ මීළඟ ඇෆ්ඝන් ආරක්ෂක ඇමතිවරයා සිටියා. මම ඔහුව ආරක්ෂා කිරීම මගේ සෙබළෙකුට පැවරුවා. කුමක් වුවත් මොහුගේ ජීවිතය ආරක්ෂා විය යුතුයි යනුවෙන් මම ඒ සෙබළාට උපදෙස් දුන්නා" ඇල්ෆා කණ්ඩායමේ අණදෙන නිලධාරී ඔලෙග් බැලෂොව් RT රූපවාහිනිය සමඟ 2009 දී කියා සිටියේය​.

සෝවියට් සේනාංක ටාජ්බෙග් මාළිගය වෙත ළඟා වෙද්දී එහි සිටි සෙබලු ඔවුනට වෙඩි තැබීමට වූහ​. මාළිගයේ වහලයෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර මෙහිදී විශාලම තර්ජනය විය​. මෙම ප්‍රහාරය ඉතා දැඩි වූ අතර සෝවියට් සෙබලුන් ගණනාවකට තුවාල සිදු විය​. එහෙත් හෙල්මට් සහ වෙඩි නොවදින කබා හේතුවෙන් බොහෝ දෙනාගේ දිවි ගැලවුණ අතර සතුරු ප්‍රහාර මැද ඔව්හු මාළිගයට ඇතුලු වූහ​​. සටනේදී මිය ගිය ආමින් ගේ ආරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත අගයක් සඳහන් නොවන නමුත් එම අගය සියයකට වැඩි ය. ප්‍රහාරකයින් ගෙන් සැඟවීමට ආමීන් ගත් උත්සාහය ව්‍යර්ථ වූයේය​. ඔහු ඝාතනය කරන ලදී. ඔහුගේ එකොළොස් වියැති පුත්‍රයා ද වෙඩි උණ්ඩ කැබලිවලින් ලත් තුවාල හේතුවෙන් මිය ගියේය​.

ආමීන් ඝාතනය කිරීමෙන් පසු සෝවියට් දේශය විසින් බලයට පත් කරන ලද්දේ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පර්චම් පිළෙහි බබ්රක් කර්මාල් ය​. සෝවියට් හමුදා දස දහස් ගණනින් ඇෆ්ඝනිස්ථානය වෙත ඇදෙමින් තිබිණ​. සෝවියට් ක්‍රමයේ ආණ්ඩුවක් බලයට පත්කර සෝවියට් උප රාජ්‍යයක් ලෙස ඇෆ්ඝනිස්ථානයෙහි බලය පැතිරවීමට මොස්කව් හි නායකයෝ කල්පනා කළ හ​.

කෙසේ වෙතත් ඒ සඳහා තව බොහෝ දුර යා යුතු විය​.

Wednesday, September 14, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (දෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණයට පාර කැපීම​

පළමු කොටස: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පළමු කොටස​) - ප්‍රථම ජනරජය බිඳ වැටීම

1978 අප්‍රේල් මස විප්ලවයෙන් පසු බිහිවූ ඇෆ්ඝනිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සෝවියට් දේශයට සමීප වූ කොමියුනිස්ට්වාදී පක්ෂයක් ලෙස සැලකුණ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (People's Democratic Party of Afghanistan - PDPA) විසින් පාලනය කරන ලදී.

ජනාධිපති නූර් මුහම්මද් තරාකිගේ රජය සෝවියට් දේශය සිය මිතුරකු ලෙස සැළකීය​. සිය මධ්‍යම ආසියානු සමූහාණ්ඩු ආසන්නයේ මිතුරකු සිටිනු දැකීම සෝවියට් දේශයේ සතුටට හේතු වූ බව නොකිව මනා ය​. සෝවියට් - ඇෆ්ඝන් පාර්ශව 1978 දෙසැම්බර් 5 වනදා මිත්‍ර ගිවිසුමක් අත්සන් කළේ මෙම සම්බන්ධය වඩාත් ශක්තිමත් කරමිනි.සෝවියට් උපදේශකයින් සිය ගණනක් ඇෆ්ඝනිස්ථානය කරා පැමිණියෝ ය​. ඇෆ්ඝනිස්ථානයට අසල්වැසි පකිස්ථානය සහ එවකට බටහිර රටවල මිතුරකු වූ ඉරානය නම් මෙම තත්ත්වය කෙරෙහි සතුටට පත් වූයේ නැත​.
ඇෆ්ඝනිස්ථානයේ පිහිටීම (සිතියම prezi.com)

කෙසේ නමුත් රට තුලම නව රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති වීමට වැඩි කළක් ගත නොවීය​.

ඇෆ්ඝනිස්ථානයේ ජනතාවගේ අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක තිබුණ අතර බොහෝ දෙනාට ඉඩම් හිමි නොවීය​. රජය විසින් නව ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට පටන් ගත් අතර ඉඩම් අහිමි ජනයාට ඉඩම් ලබාදෙන ලදී. තවද සාක්ෂරතා පන්ති ආරම්භ කළ රජය ඒවායේ කාන්තාවන්ට පිරිමින් සමඟම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කළේය​. කාන්තාවන් සම්පූර්ණයෙන් සිරුරු වසාගත් ඇඳුම් හැඳීම අධෛර්යය කරවන ලදී.

දෙවියන්ගේ නීතිය

නව රජයේ මෙම ක්‍රියාකලාපයන් විශේෂයෙන්ම ඉස්ලාමීය පූජකයන් හෙවත් මුල්ලාවරුන්ගේ දෝෂදර්ශනයට හේතු විය​.

නැගෙනහිර ඇෆ්ඝනිස්ථානයේ ලග්මාන් ප්‍රාන්තයේ මුල්ලාවරයකු වූ සහාර් ගුල් CNN රූපවාහිනී සේවය සමඟ කළ සාකච්ඡාවකදී මෙම විරෝධයට හේතු ගෙනහැර දැක්වීය​. මුල්ලාවරුන් ගේ මතය අනුව කොමියුනිස්ට්වාදීන් කළේ දෙවියන්ගේ නීතිය වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. ඔව්හු ඉස්ලාමීය සංස්කෘතියට තර්ජනය කළ අතර සමානාත්මතාව හඳුන්වා දීමට උත්සාහ කළහ​.

"දෙවියන් තමයි තීරණය කරන්නේ කවුද දුප්පත් විය යුත්තේ, කවුද පොහොසත් විය යුත්තේ කියන එක​. කොමියුනිස්ට්වාදීන් එය වෙනස් කිරීමක් ගැන හිතන්නවත් බැහැ" යනුවෙන් සහාර් සිය මතය පළ කළේය​.

මේ අතර PDPA පක්ෂයේ මධ්‍යස්ථ පිළ වූ පර්චම් පිළ රජයෙන් ඉවත් කෙරුණ අතර එහි ප්‍රධානියකු වූ බබ්රක් කර්මාල් චෙකොස්ලොවැකියාවේ තානාපති ලෙස පිටමං කරන ලදී. පක්ෂයේ අති ධාවනකාරී ඛලාක් පිළ ඇෆ්ඝනිස්ථානයේ බලය අතට ගෙන ප්‍රතිසංස්කරණ වේගවත් කළේය​.

මෙම අතිධාවනකාරී ප්‍රවේශයට විරුද්ධ වූයේ මුල්ලාවරුන් සහ ඔවුන් විසින් උසි ගන්වන ලද ගැමියන් පමණක් නොවේ. රජයේ මිතුරා වූ සෝවියට් දේශය ද මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ එතරම් සතුටට පත් නොවීය​.

එවක සෝවියට් කේ.ජී.බී සේවයේ උප සභාපති වූ ව්ලැඩිමීර් කෘච්කොව් මෙම තත්ත්වය පිළිබඳ CNN රූපවාහිනිය සමඟ කළ සාකච්ඡාවකදී මෙවන් අදහසක් පළ කළේය​.

"බ්‍රෙෂ්නෙව් (එවක සෝවියට් නායකයා) සහ (සෝවියට්) දේශපාලන මණ්ඩලය ඇෆ්ඝන් නායකත්වයට ඇත්ත තේරුම් කරවන්න ලොකු උත්සාහයක් ගත්තා. අපට තේරුම් ගන්න බැරි වුනා ඔවුන් කොහොමද අවුරුදු පහකින් සමාජවාදය ගොඩ නගන්නේ කියන එක​. අපි ඔවුනට කිව්වා අපි හැට අවුරුද්දක් තිස්සේ තාමත් සමාජවාදය ගොඩ නගන බව​. නමුත් ඔවුන් හිතුවේ වැරදිලා තියෙන්නෙ අපිට කියලයි."

මේ අතර රට තුල රජයට විරුද්ධව නැගී සිටි කණ්ඩායම් පාසල්වලට පහර දී ගිනි තැබීමට වූහ​. රටපුරා ප්‍රතිසංස්කරණවලට එරෙහි පිරිස් නැගී සිටින්නට වූහ​. මුල්ලාවරුන් මෙම විරෝධතාව සැළකූයේ අදේවවාදී කොමියුනිස්ට් රජයට එරෙහි ශුද්ධ වූ යුද්ධයක් හෙවත් ජිහාඩයක් ලෙස ය​. රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ හේතුවෙන් සිය ඉඩම් නැතිවීමේ අවදානමට මුහුණ දුන් ඉඩම් හිමියන් ද ඉස්ලාමීය මුල්ලාවරුන් ද විසින් සංවිධානය කෙරුණ මෙම සටන්කාමීන් මුජහිදීන් හෙවත් 'දෙවියන් ගේ සෙබලු' ලෙස ප්‍රසිද්ධ විය​. මේ අතර ඉරානයේ සහ වෙනත් මුස්ලිම් රටවල ද කොමියුනිස්ට් විරෝධී ජිහාඩයක් සඳහා සහය පළ කෙරුණි.
මුජහිදීන් සටන්කාමීන් පිරිසක් 1982 දී. ඡායාරූපය  Willem Vogelsang

මේ අතර ඇෆ්ඝනිස්ථානයේ අවි ගැටුම්වලින් ගැලවෙනු පිණිස එරටින් පළා එන්නන් පකිස්ථානය වෙත ළඟා වීමට පටන් ගෙන තිබිණ​.

සෝවියට් දේශය ඇෆ්ඝන් හමුදාවලට පුහුණුව සහ අවි ආයුධ සැපයීමට විය​. කැරලිකරුවන් අත මුලදී වූයේ සැහැල්ලු අවි පමණි. පොතේ හැටියට නම් ඇෆ්ඝන් හමුදාවලට ඔවුන් එතරම් අභියෝගයක් නොවිය යුතු විය​. එහෙත් කටයුතු සිදු වූයේ බලාපොරොත්තු වූ පරිදි නොවේ. රජයේ හමුදා අතර ද රජයට විරුද්ධවාදී අදහස් මතුවූ අතර ඇතැම් හමුදා සෙබලුන් කැරලිකරුවන් සමඟ එක් වූහ​.

එවක කැරලිකරුවන්ට වැඩිපුරම ආයුධ ලැබුණේ මෙසේ පළා යන සෙබලුන්ගෙන් සහ සටන් බිමේදී හමුදාවෙන් අල්ලාගැනීමෙනි.

සිය සෙබලුන් අතර ද මතුවූ විරෝධාකල්ප හමුවේ ඇෆ්ඝන් රජය සෝවියට් දේශයෙන් ඉල්ලා සිටියේ එරට හමුදා ඇෆ්ඝනිස්ථානය වෙත එවන ලෙස ය​. 1979 මාර්තු මාසයේ හෙරාත් ප්‍රදේශයේ මතුවූ දැවැන්ත කැරැල්ල මර්ධනය කිරීමට ඇෆ්ඝන් රජය හමුදා ආධාර ඉල්ලුවේය​. ජනාධිපති තරාකි කියුබාවේ හවානා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුලුවට සහභාගී වී ආපසු යන අතරවාරයේ මොස්කව් නුවරට පැමිණ පෞද්ගලිකවම එරට රජයෙන් සෝවියට් සේනාංක ඉල්ලා සිටියේය​. නමුත් සෝවියට් දේශය සිය හමුදා යැවීමට එතරම් කැමැත්තක් මේ අවස්ථාවේදී නොදැක්වීය​.

හෙරාත් ප්‍රදේශයේ කැරැල්ලට මාසයකට පෙර ඉරානයේ ඉස්ලාමීය විප්ලවය මගින් එරට බටහිර හිතවාදී අධිරාජයා බලයෙන් පහ කෙරුණි. ඉරානයට මායිම් වූ හෙරාත් ප්‍රාන්තයේ දැවැන්ත කැරැල්ලක් මතු වීමට මෙයද බල පෑමක් ඇති කරන්නට ඇත​. කෙසේ වෙතත් ඇෆ්ඝන් හමුදා විසින් දරුණු ප්‍රහාරයකින් අනතුරුව කැරැල්ල මැඩ පවත්වන ලදී.

මෙම නව වාතාවරණය තුළ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ සහ ඇෆ්ඝනිස්ථානයෙහි තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යමු කළේය​.

එවක ජාතික ආරක්ෂක උපදේශක වූ සෙබිග්නියෙෆ් බ්‍රෙෂින්ස්කි ජනපති ජිමී කාටර් සමඟ කියා සිටියේ ඇෆ්ඝනිස්ථානයෙහි පවතින තත්ත්වය භාවිත කරමින් සෝවියට් දේශය පර්ශියානු බොක්ක වෙත බලපෑම් කළ හැකි තැනකට එනු ඇති බවය​. ඉරානයේ පැවති තත්ත්වය යටතේ එරට ද සෝවියට් බලපෑමට ලක් වීමේ අවදානම කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමු විය​. 1979 වසරේ ජූලි මාසයේ සිට රහසිගත ඇමරිකානු ආධාර මුජහිදීන් සටන්කාමීන් වෙත ලැබෙන්නට විය​.

ආමින්ගේ 'දින සියය​'

මුලින් ඇෆ්ඝනිස්ථාන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ ඇමතිවරයා ව සිට පසුව එහි අගමැතිවරයා වූ හෆිසුල්ලා ආමීන් තරාකිගේ රජයෙහි ප්‍රබලයා විය​. සෝවියට් විරෝධාකල්ප නොසළකා හරිමින් වේගවත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළේ ද ආමීන්ගේ අවශ්‍යතාව මත ය. සෝවියට් දේශයේ නායකයින් සහ නූර් මුහම්මද් තරාකිගේ ආධාරකරුවන් යන දෙපිරිසම ආමීන් ගේ බලය අඩපණ කරන ක්‍රමය පිළිබඳව කල්පනා කරන්නට විය​.

1979 සැප්තැම්බරයේදී තරාකි යළිදු වතාවක් මොස්කව් නුවර පෙනී සිටියේය​. සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් සහ වෙනත් ප්‍රධාන සෝවියට් නිලධාරීන් හමුවූ තරාකි ඔවුන් සමඟ කළ සාකච්ඡා අතර ආමීන්ට එරෙහිව ගන්නා පියවරයන් පිළිබඳවද සළකා බලන ලදී. මේ අනුව ආමීන් බලයෙන් නෙරපා හැරීමට තරාකි සහ සෝවියට් නායකයෝ තීරණය කළ හ​.

කෙසේ නමුත් ආමීන්ට මෙම කුමන්ත්‍රණය පිළිබඳ ඉව වැටුන අතර ඔහු කළේ තරාකි නැවත කාබුල් වෙත පැමිණි විට ඔහු අල්වාගෙන ඝාතනය කිරීමයි. 1979 සැප්තැම්බර් 14 වනදා තරාකි මරා දැමුණ අතර ආමීන් ඇෆ්ඝන් රජයේ නායකයා බවට පත් විය​.

ඔහු එම ධූරයේ සිටියේ දින 104 කි.

සෝවියට්  නායකත්වය තමාට එරෙහිව කළ සැලසුම් ද තමාගේ ප්‍රතිසංස්කරණ කෙරේ ඔවුන් දැක්වූ විරෝධය ද හේතුවෙන් ආමීන් වෙනත් මිත්‍රයින් සොයන තැනට පෙළඹුන බව සිතිය හැක​. ඔහු බටහිර සමඟ සබඳතා වර්ධනය කරගැනීමට උත්සාහ කරන බව සෝවියට් නායකයින් සැක කරන්නට විය​. තත්ත්වය කෙතරම් බැරෑරුම් වීද යත් ආමීන් ඇමරිකානු රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ සංවිධානයේ ඒජන්තයකු වන බව පවා සෝවියට් නායකත්වය සැක කරන්නට විය​.
හෆිසුල්ලා ආමීන්

ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් හමුදා ප්‍රධානියා ලෙස කළක් කටයුතු කළ, පසු කලෙක සෝවියට් දේශයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ද වූ ජෙනරාල් වැලන්ටයින් වැරෙන්නිකොව් CNN රූපවාහිනිය සමඟ සෝවියට් නායකයින් ආමීන් කෙරේ දැක්වූ අදහස් මෙසේ පළ කළේය​.

"කේ.ජී.බී. ප්‍රධානී (යූරි) අන්ද්‍රොපොව්, ආමීන් ඇමරිකානුන් සමඟ ගොඩනගා ගනිමින් තිබූ ඇයි හොඳයිය කෙරේ බලවත් සැළකිල්ලක් දැක්වූවා. ඔහුගේ අදහස වුනේ සෝවියට් දේශය සිය හමුදා ඇෆ්ඝනිස්ථානයට නොයැව්වොත්, ආමීන්, සෝවියට් දේශය තමන් සමඟ වන මිත්‍රත්වය නොසලකා හරින බව ප්‍රකාශ කර, ඇමරිකානු ආධාර ඉල්ලා සිටීමට ඉඩ තිබෙන බවයි."

සෝවියට් නායකයින් මුහුණ දුන්නේ මෙම උභතෝකෝටිකයට ය​. හමුදා නොයැවීමෙන් ආමීන් බටහිර රටවල් හා සමීප විය හැකි වූ අතර හමුදා යැවීම ද භාරදූර කාර්යක් විය​. ඇෆ්ඝනිස්ථානය වැනි රටකට හමුදාවක් යැවීමේ සහ එහි යුධ වැදීමේ අපහසුතාව සෝවියට් නායකයන් අතර සාකච්ඡා නොවූවක් නොවීය​. කෙසේ වෙතත් ආමීන් සමඟ කටයුතු කිරීම අපහසු බව ද සෝවියට් නායකයෝ දැන සිටියෝය​. ඇෆ්ඝනිස්ථානය අස්ථාවර වීමට දී බලා සිටීමට සෝවියට් දේශයට නොහැකි වූයේ ඇමරිකානු හමුදා එරටට පැමිණේ යන බිය හේතුවෙනි.

මේ අතරවාරයේ යුරෝපයෙහි නේටෝ සංවිධානය සහ වෝර්සෝ ගිවිසුමට අයත් රටවල් අතර අවි තරඟය ද වේගවත් වෙමින් පැවතුණි. සෝවියට් හමුදා සිය ජංගම මිසයිල පද්ධති නැගෙනහිර යුරෝපයේ ස්ථානගත කිරීමට එරෙහිව කෲස් මිසයිල දහසක් පමණ යුරෝපයේ ස්ථානගත කිරීමට නේටෝව තීරණය කළේය​.

මෙවන් පසුබිමක දී සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය එම තීරණාත්මක පියවර ගත්තේ ය​.

Tuesday, September 13, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පළමු කොටස​) - ප්‍රථම ජනරජය බිඳ වැටීම​

ඇෆ්ඝනිස්ථානය වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අස්ථාවර​, අවි ගැටුම්වලින් ගහණ රටක් ලෙස ය​. 1978 පටන් එක දිගටම පවතින විවිධ අවි ගැටුම් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය හෙම්බත් වී සිටියි. අදින් පටන් ගන්නා මෙම ලිපි පෙළ මගින් වත්මන් ඇෆ්ඝන් අවිගැටුම්වල ඉතිහාස පිළිබඳ සොයා බැලීමට අපි අදහස් කරන්නෙමු.

ඇෆ්ඝනිස්ථානයට බටහිරින් ඉරානය ද​, නැගෙනහිරින් පකිස්ථානය ද වන අතර උතුරින් උස්බෙකිස්ථානය, තුර්ක්මනිස්ථානය සහ තජිකිස්ථානය වෙයි. 1978 දී උතුරින් පැවතියේ සෝවියට් දේශයයි. එවකට සෝවියට් සමූහාණ්ඩු වූ තජිකිස්ථානය, තුර්ක්මනිස්ථානය සහ උස්බෙකිස්ථානය අද ස්වාධීන රාජ්‍යයන් ය​.

ඇෆ්ඝනිස්ථානය වර්තමානයේ මිලියන 32 ක පමණ ජනගහනයක් වාසය කරන රටකි. මෙයින් ආසන්න වශයෙන් සියයට 40 කට මඳක් වැඩිපුර සිටින්නෝ පශ්තුන් ගෝත්‍රිකයෝ වෙති. ටජික් ජාතිකයින් සියයට 25 ක් පමණ සිටින අතර උස්බෙක් ජාතිකයින් සියයට 8 ක් පමණ ද හසාරා සහ වෙනත් ජාතීන් කිහිපයක ජනයා ද එහි වසති. පශ්තුන්වරුන් වැඩිපුර ජීවත් වන්නේ රටේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල ය​. ටජික් ජාතිකයෝ සහ උස්බෙක්වරු රටේ උතුරට වන්නට ප්‍රමුඛ වෙති. එමෙන්ම බටහිර පකිස්ථානයේ කඳුකර පෙදෙස්වල ද පශ්තුන් ගෝත්‍රිකයෝ වාසය කරති. මෙය පසු කාලීනව ඇෆ්ඝන් ඉතිහාසය කෙරෙහි දැඩි බලපෑමක් කළ බව ද මෙහිදී සිහිපත් කළ යුතු ය​.
ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්ථානයේ පශ්තුන්වරුන් වසන ප්‍රදේශ​

මෙම ජන සංයුතිය ඇෆ්ඝනිස්ථානය පිළිබඳ ඕනෑම අධ්‍යයනයකදී වැදගත් සාධකයකි. ඇෆ්ඝනිස්ථානය යනු ගමනාගමනය දුෂ්කර​, කඳුකර රටකි. එහෙයින් එකම ජනවර්ගයේ වුවද ප්‍රාදේශීය උප කණ්ඩායම් එකිනෙකාගෙන් ස්වාධීන වීමට කැමති අතර මධ්‍යම ආණ්ඩු සිය කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම නොරුස්සති.

ඇෆ්ඝනිස්ථානයේ වත්මන් යුද්ධයට පාර කැපුනේ 1978 සිදු වූ කුමන්ත්‍රණයෙනි. එයට අවශ්‍ය පසුබිම 1973 කුමන්ත්‍රණයෙන් පසු බිහිවූ පළමු ඇෆ්ඝන් ජනරජය සමයේ ඇති විය​.

1973 දී ඇෆ්ඝනිස්ථානයේ පාලකයා වූයේ මොහොමඩ් සහීර් ශා රජු ය (රාජ්‍ය සමය 1933 - 73)​. එම වසරේ ජූලි 17 වනදා, ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉතාලියට ගොස් සිටියදී ඔහුගේ ඥාති සහෝදරයකු මෙන්ම හිටපු අගමැතිවරයකු ද වූ මොහොමඩ් ඩාවුඩ් ඛාන් එරට බලය අල්ලා ගත්තේය​. ඒ සඳහා ඔහුට සෝවියට්  දේශයට සමීප වාමාංශික පක්ෂයක් වූ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවදී පක්ෂයේ (People's Democratic Party of Afghanistan - PDPA) සහය ද ලැබුණි.
මොහමඩ් සහීර් ශා රජු 1930 දශකයේදී

රජ පවුලට නෑකම් කියූ හෙයින් ඔහුට ද රජවීමේ හැකියාවක් තිබුණ ද ඩාවුඩ් ඛාන් එතෙක් පැවති පාලන ක්‍රමය වෙනස් කරමින් ඇෆ්ඝනිස්ථානය ජනරජයක් බවට ප්‍රකාශ කළේය​. ඔහු මුල් කාළයේ සෝවියට් දේශයට වඩා සමීප වූ පාලනයක් ගෙන ගිය අතර PDPA පක්ෂය ද එහිදී වැදගත් තැනක් ගත්තේය​. කෙසේ නමුත් පසු කලෙක ඩාවුඩ් ඛාන් සහ පක්ෂය අතර විරසකයන් ඇති වන්නට විය​. තවද පක්ෂයේ ද පර්චම් සහ ඛල්ක් නම් පිල් දෙක අතර බෙදීම වර්ධනය විය.

පර්චම් පිළ වඩා නාගරික සාමාජිකයන් අතර ජනප්‍රිය වූ අතර ඔවුනගේ අදහස වූයේ කෙමෙන් කෙමෙන් සමාජවාදය කරා ගමන් කළ යුතු බවය​. ඛල්ක් පිළ වඩා වේගවත් සමාජවාදී වැඩපිළිවෙලක් බලාපොරොත්තු විය​. එම පිළෙහි වූ වැඩි දෙනා ග්‍රාමීය පෂ්තුන් ගෝත්‍රිකයන් විය​.

1978 අප්‍රේල් 17 වනදා පර්චම් පිළේ ප්‍රකට සාමාජිකයකු වූ මීර් අක්බාර් ඛයිබර්ගේ ඝාතනය ඇෆ්ඝන් ජනරජයේ අවසානයට මග විවර කළේය​. ඇතැම් අය එම ඝාතනය කරවන ලද්දේ PDPA පක්ෂයේම ඛල්ක් පිළ විසිනැයි අදහස් කළ ද වැඩි දෙනා රජය දෙසට එම ඝාතනය පිළිබඳ ඇඟිල්ල දිගු කළහ​​. ඔහුගේ අවමඟුල අවස්ථාවේදී PDPA පාක්ෂිකයෝ රජයට එරෙහි විශාල උද්ඝෝෂණයක් කළ හ​. රජය මින් තැති ගත් අතර PDPA නායකයින් අත් අඩංගුවට ගැනීමට පියවර ගත්තේය​. නමුත් එම පියවර එතරම් වේගයෙන් ක්‍රියාත්මක නොවී ය​. ඛල්ක් පිළෙහි ප්‍රමුඛයකු වූ හෆිසුල්ලා අමීන් නිවාස අඩස්සියට පත් වූ අතර ඔහු එහි සිට තමන්ට පක්ෂ හමුදා ඛණ්ඩවලට රජය පෙරළීම සඳහා අවශ්‍ය උපදෙස් යැවීමට සමත් විය​.

1978 අප්‍රේල් 27 වනදා බ්‍රහස්පතින්දාවකි. එදින උදේ වරුවේ කාබුල් අන්තර්ජාතික ගුවන් තොටුපලෙහි වූ හමුදා සේනාංක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ඇරඹීය​. කෙමෙන් කෙමෙන් රජයට පක්ෂ හමුදා පසු බස්වන ලදී. ගුවන් හමුදාවට අයත් යානා කිහිපය ද යොදා ගනිමින් රජයට පක්ෂ සේනාංකවලට පහර දෙනු ලැබුණි. අප්‍රේල් 28 වනදා උදෑසන වනවිට ජනාධිපති ඩාවුඩ් ඛාන් සහ ඔහුගේ පවුලේ අය ඝාතනයට ලක් විය​. කොමියුනිස්ට්වාදී PDPA පක්ෂය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගත්තෝය​. පර්ශියානු දින දර්ශනයෙහි දෙවන මාසය හෙවත් සවුර් මාසයේ මෙම විප්ලවය සිදු වූ හෙයින් මෙයට සවුර් විප්ලවය (Saur Revolution) යයි ද කියනු ලැබේ.
නූර් මුහම්මද් තරාකි

නව රජය විසින් ඇෆ්ඝනිස්ථානයේ නිල නාමය ඇෆ්ඝනිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වෙනස් කරන ලදී. නූර් මුහම්මද් තරාකි නව ජනාධිපතිවරයා වූ අතර හෆිසුල්ලා අමීන් විදේශ ඇමතිවරයා විය​. මෙම රජයට ඛල්ක් සහ පර්චම් යන දෙපිළෙහිම අය අයත් වූහ​.

කෙසේ නමුත් වැඩි කල් නොගොසින්ම රජය ඇතුලත බල අරගල මෙන්ම රාජ්‍ය විරෝධී ජනතා නැගිටීම් ද ඇෆ්ඝනිස්ථානය අස්ථාවර කිරීමට පටන් ගත්තේය​.

Monday, September 12, 2016

පළමු ලෝක යුද්ධය - සම්පූර්ණ ලිපි පෙළ​

පළමු ලෝක යුද්ධය සම්බන්ධව අප විසින් රචිත ලිපි පෙළ පහසුවෙන් සොයා ගැනීම පිණිස ඒ සියල්ලම සඳහා සබැඳි එකම ලිපියකට ගොනු කිරීම මෙම ලිපියේ එකම අභිලාශය වේ.

මෙම සම්පූර්ණ ලිපි පෙළට තවත් ලිපි කිහිපයක් එකතු වීමට නියමිත වුවද එය අද හෙට ලියවීමේ ඉඩ කඩ අඩු ය​. එහෙයින් මෙසේ මෙතෙක් කතාව ගෙන හැර දක්වමු.


මේ අනුව එම ලිපි සියල්ල පිළිවෙලින් පහත පරිදි ය​.

01. පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

02. පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

03. පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

04. පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

05. තුර්කිය යුද්ධයට එක් වෙයි

06. පළමු ලෝක යුද්ධයේ ආසියානු - පැසිෆික් කලාපීය සටන්

07. පළමු ලෝක යුද්ධය​: 1915 සටන් පෙරමුණු

08. පළමු ලෝක යුද්ධය​: ගැලිපොලි සහ තුර්කි සටන්

09. පළමු ලෝක යුද්ධය​: වර්ඩුන් සහ සෝම්

10. පළමු ලෝක යුද්ධය​: 1916 බටහිර පෙරමුණෙන් එපිට

11. ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට එක්වීම​

12. බටහිර පෙරමුණ 1917

13. රුසියාව යුද්ධයෙන් ඉවත් වීම​

14. ඉතාලි, ග්‍රීක සහ මැද පෙරදිග පෙරමුණු - 1917

15. යුද්ධාවසානය කරා

Sunday, September 11, 2016

සැප්තැම්බර් 11 ප්‍රහාරයට මුහුණ දුන් අය අතර ඉහළ සෞඛ්‍ය අවදානමක්

2001 සැප්තැම්බර් 11 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 15 ක් ගිය පසුත් එයට මුහුණ දුන් මෙන්ම දිවි ගලවාගැනීමේ සහ වෙනත් සහන සේවා කටයුතුවල නිරත වූවන්ට විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ.

මෙසේ එම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස විවිධ මානසික සහ ශාරීරික ආබාධවලට ලක් වූවන් පිළිබඳ නිව් යෝර්ක් නගර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 9 වනදා නිකුත් කරන ලද වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබුණි.

මෙම වාර්තාව අනුව සැප්තැම් බර් ප්‍රහාරය අවස්ථාවේ දිවි ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වූවන් අතර පිළිකාවන්ට ලක් වීමේ ප්‍රවණතාව නිව් යෝර්ක් ප්‍රාන්තයේ සාමාන්‍ය අගයට වඩා සියයට එකොලහක් පමණ විය​. මෙම ගණනය කිරීම කර තිබුණේ 2007 - 2011 සමයේ සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන ය​.

මේ අතර ප්‍රහාරයෙන් දිවි ගලවාගත් අය අතර පිළිකාවලට ලක්වීමේ ප්‍රවණතාව නිව් යෝර්ක් ප්‍රාන්තයේ සාමාන්‍යයට වඩා සියයට 8 ක් වැඩි විය​.

මෙසේ පිළිකා අවධානමට ඔවුන් වැඩිපුර ලක් වීම පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් කළ නොහැකිය​.

දිවි ගලවාගැනීමේ කටයුතුවල යෙදුණ අය අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා වාර්තා වූ අතර දිවි ගලවාගත්තවුන් අතර පියයුරු පිළිකා සහ ලිම්ෆෝමාව වැඩිපුර වාර්තා වී තිබේ.

මේ අතර​, වෙනත් සමීක්ෂණයකට අනුව සැප්තැම් බර් ප්‍රහාරය පිළිබඳ අත් දැකීම් ඇති අය අතර පශ්චාත් ක්ෂති ආතතිමය තත්වය (Post-traumatic Stress Disorder - PTSD) වැඩිපුර දැකිය හැක​.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි කුලුණු දෙකෙන් පළා ගොස් දිවි ගලවාගත් අය අතර තත්ත්වය අන් අයට වඩා සියයට 30 කින් ඉහළ විය​. එමෙන්ම ඔවුන් අතර මධ්‍යපානයට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව අනිකුත් අයට සාපේක්ෂව සියයට 50 කින් ඉහළ බව සොයාගන්නා ලදී.

මේ අතර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තිබුණ ස්ථානයේ සුන් බුන් ටොන් මිලියනයක් පමණ ගෙන ගොස් ගොඩ ගැසූ ෆ්‍රෙෂ් කිල්ස් සුන් බුන් ගොඩ (Fresh Kills Landfill) ආශ්‍රිතව සේවය කළ කම්කරුවන් අතර ඇදුම රෝගය සෑදීමේ ප්‍රවණතාව ද ඉහළ වූ බව සියා ගන්නා ලදී.

Saturday, September 10, 2016

මාඕ සේතුං මතක කාටද​?

2016 සැප්තැම්බර් 9 වනදාට මහජන චීන සමූහාණ්ඩුවේ හිටපු සභාපති මාඕ සේතුං මියගොස් වසර 40 ක් සම්පූර්ණ විය​. කෙසේ නමුත් එය සැමරීමට විශාල සමරු උත්සව යනාදිය නොපැවැත්වුණි. ඇත්තෙන්ම වර්තමාන මහජන චීනයේ රජය බොහෝ කොටම මාඕ පිළිබඳ අමතක කර ඇති සේ ය​.

මාඕගේ මරණින් කෙටි කළක් ඇතුලත ඩෙන් ෂියාඕ පෙන් යටතේ චීනය ආර්ථික පෙරළියකට මුල පිරුවේය​. මාඕගේ ආර්ථික ප්‍රතිපත්ති පසෙක ලා ලෝකයට විවර වූ ආර්ථික රටාවකට චීනය හුරු විය​.

නමුත් මාඕගේ නායකත්වය යටතේ පිහිටවාලූ දේශපාලන අධිකාරිය අද වනවිට ඒ ආකාරයෙන්ම පාහේ රැකී තිබේ. ඒ අනුව ධනවාදී ආර්ථික රටාව සහ කොමියුනිස්ට් රාජ්‍ය යාන්ත්‍රණය යන එකිනෙක් නොගැලපෙන සේ පෙනෙන ධාරාවන් දෙක අද චීනයේ ක්‍රියාත්මක ය​.

මාඕට සහය පළ කරන්නන් ද ඔහු විවේචනය කරන්නන් ද ඔහු පිළිබඳ උපේක් ෂාවෙන් බලන්නන් ද චීන සාමාන්‍ය ජනතාව අතර වෙති. එරට රජය නිල වශයෙන් මින් තුන්වන ගණයට වඩාත් ළං වේ.
Pic: Wikimedia Commons

එක් අතකින් බලන කල​, චීනය ඇතැම් ධනවාදී රාජ්‍යයන්ටද වඩා ව්‍යාපාරිකයන්ට හිතවත් රටකි. මක් නිසාද යත් එරට දේශපාලන ව්‍යාකූලතා අඩු බැවිනි.

මාඕගේ දර්ශනය චීනයට අමතක වෙද්දී ඇතැම් කුඩා ප්‍රමාණයේ කොමියුනිස්ට් පක්ෂ මාඕවාදය පිළිගනිමින් තව දුරටත් දේශපාලනයේ නිරත වන අතර මාඕ විසින් හඳුන්වා දුන් 'ජන අරගල​' ක්‍රමවේදය ඔස්සේ යන සන්නද්ධ කණ් ඩායම් ද වෙති.

දේශපාලන පක්ෂ​

මාඕගේ දර්ශනය දිගටම පිළිගත් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ බටහිර ලෝකයේ එතරම් නොවීය​. 1960 ගණන්වල මාඕ ජීවත්ව සිටියදී කොමියුනිස්ට් කඳවුර මොස්කව් සහ බීජිං පිළ ලෙස දෙකඩ විය​. මීට හේතු වූයේ මාඕගේ වඩා සාම්ප්‍රදායික ස්ථාවරය සහ සෝවියට් නායක කෘෂෙව්ගේ බටහිර සමඟ සංහිඳියා ක්‍රමවේදය අතර නොගැලපීම සහ සෝවියට් දේශය ලෝකයේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ නායකයා ලෙස පිළිගැනීමට මාඕ තුළ වූ නොකැමැත්ත ආදී කරුණු ය​. මේ අනුව ලෝකයේ බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ බෙදුණි. බටහිර ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ බොහොමයක් සෝවියට් කඳවුරේ රැඳී සිටි අතර කුඩා කොටස් ඉන් ඉවත් ව චීන කඳවුරට එක් විය​, නවසීලන්තයේ පමණක් කොමියුනිස්ට් පක්ෂයේ බහුතරය චීන කඳවුර සමඟ එක් වූයේය​.

මේ අතර තුන්වෙනි ලෝකයේද මෙම බෙදීම සිදු වූ අතර මින් ඉන්දියාව වැනි ඇතැම් රටවල ප්‍රබල කොමියුනිස්ට් පක්ෂ චීන පිලක් බිහිවනු දැකිය හැකි විය​.

'ජනතා යුද්ධ​​' (People's War)

මාඕගේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වුවද ඔහුගේ යුධ ක්‍රමවේදයන් අදටද ඇතැම් කණ් ඩායම් විසින් යොදාගනු ලැබේ. ඔහුගේ 'ජනතා යුද්ධ​​' ක්‍රමවේදය පේරු රටේ සෙන්දේරෝ ලුමිනෝසෝ (දිදුලන මාවත) නමින් හැඳින්වූ කොමියුනිස්ට් ව්‍යාපාරය සහ නේපාලයේ මාඕවාදීහු සැළකිය යුතු සාර්ථකත්වයකින් භාවිත කළ හ​. මෙයින් පේරු හි ව්‍යාපාරය මර්ධනය කෙරුණ අතර නේපාලයේ ව්‍යාපාරය ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේය​.

මේ අතරම ඉන්දියාවේ ක්‍රියාත්මක වන 'නැක්සලයිට්' සංවිධාන කිහිපයක්ම මාඕගේ 'ජනතා යුද්ධ​​' ක්‍රමවේදය ක්‍රියාවට නැගීමට උත්සුක වෙති. මේ අතර ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ප්‍රධාන වේ.ඔවුනගේ ආධාරකරුවන් සියල්ලන්ම මාඕ පිළිබඳ එතරම් අවබෝධයකින් යුතු යයි සිතිය නොහැක​. නමුත් ඔහුගේ නමින් ක්‍රියාත්මක වන එම ව්‍යාපාර ඔහු විසින් ඉගැන්වූ යුධ ක්‍රමවේදයන් සිය සටන් සඳහා යොදා ගනිති.

Thursday, September 8, 2016

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ඇරඹීමට යයි

අප්‍රිකානු රාජ්‍යයක් වන ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇත​.

ඉතියෝපියානු විදේශ ඇමති ටෙඩ්‍රොස් අදනොම් (Tedros Adhanom) සහ ශ්‍රී ලංකා නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා අතර මෙම සතිය මුලදී පැවති සාකච්ඡාවලදී ද ඒ පිළිබඳ අවධානය යොමුව තිබේ. අදනොම් ශ්‍රී ලංකාවට පැමිණියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි අග්නිදිග ආසියානු කලාපයේ 69 වන සැසිය සඳහා ය​. අදනොම් විදේශ අමාත්‍ය ධූරය හෙබවීමට පෙර 2005 - 2012 සමයේ ඉතියෝපියාවෙහි සෞඛ්‍ය ඇමතිවරයා වූ අතර මැලේරියා රෝගය පිළිබඳ විශේෂඥයෙකි.
අදනොම් සහ ජනාධිපති සිරිසේන​

ඉතියෝපියාවෙහි තානාපති කාර්යාලයක් ඇරඹීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇත්තේ එරට අගනුවර අප්‍රිකානු එකමුතුවේ (African Union) මූලස්ථානය පිහිටි හෙයිනි. අප්‍රිකාවේ තිබෙන තානාපති කාර්යාල සඳහා වියදම් අවම කරගන්නා ගමන් ම අප්‍රිකානු රටවල් බොහොමයක් සමඟ සබඳතා පැවැත්වීමට රජය මෙමගින් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු රටවල් අතර සබඳතා මෑතක් වනතුරුම පැවතියේ ඉතා අවම වශයෙනි. පසුගිය රජය සමයේ එම සබඳතා යම් ප්‍රමාණයකට වර්ධනය කර ගැනීමට අවධානය යොමු වුවද​, ඇතැම් රටවල් සමඟ පැවති සබඳතා එවක විපක්ෂයේ සිටි වත්මන් රජයේ සාමාජිකයන් විසින් දැඩි සේ විවේචනය කරනු ලැබුණි.

වර්තමානයේ ශ්‍රී ලංකා තානාපති කාර් යාල පවතින අප්‍රිකානු රටවල් වන්නේ ඊජිප්තුව​, ලිබියාව​, නයිජීරියාව​, උගන්ඩාව​, කෙන්යාව​, සීෂෙල්ස් සහ දකුණු අප්‍රිකාව ය​.

අප්‍රිකානු එකමුතුවේ මූලස්ථානය පිහිටීමට අමතරව ඉතියෝපියාව වැදගත් රටක් වීමට තවත් හේතුවක් වන්නේ පසුගිය සමයෙහි එරට ලැබූ සීඝ්‍ර ආර්ථික වර්ධනය ය​. විදේශ ආයෝජන, විශේෂයෙන්ම චීන ආයෝජන​, මේ සඳහා ඉවහල් විය​.
Feyisa Lilesa

කෙසේ නමුත් ඉතියෝපියාවෙහි ප්‍රජාතන්‍ත්‍රවාදය පිළිබඳ දැඩි ගැටලු පවතින බව සඳහන් ය​. අඩිස් අබාබා නගර සංවර්ධනය වෙනුවෙන් ඔරෝමෝ ගෝත්‍රිකයන්ට අයත් ඉඩම් පැහැර ගැනීම පිළිබඳ රජයට එල්ලවන විරෝධතා සහ එය මර්ධනය කිරීමේදී රජය අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් පිළිබඳ කිහිප විටෙකම විදෙස් මාධ්‍ය අවධානය යොමු විය​. පසුගිය මාසයේ රියෝ ඔලිම්පික් උළෙලෙහි පිරිමි මැරතන් තරඟයේ දෙවන ස්ථානය දිනූ ෆෙයිසා ලිලේසා ප්‍රසිද්ධියේ රජයට විරෝධය පෑම හරහා යළිත් ඔරෝමෝ ජාතිකයන් පිළිබඳ ලෝක අවධානය යොමු වූයේය​.

Wednesday, September 7, 2016

ISIS ත්‍රස්තයෝ මෝසුල් නගරයේදී බුර්කාව තහනම් කරති

ISIS සංවිධානය සිය පාලනය යටතේ පවතින මෝසුල් නගරයේ තම ආරක්ෂක කලාපයන්හිදී බුර්කාව ඇඳීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය කිහිපයකම වාර්තා විය​.

මෙහි පුදුමයට කරුණ නම් මෙසේ බුර්කාව තහනම් කර තිබෙන්නේ කාන්තාවන් විසින් එය ඇඳිය යුතු බවට දැඩි නීති සම්පාදනය කළ ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් ම වීමය​.

ISIS සංවිධානයේ සදාචාර පොලිසිය විසින් සිය මුහුණ ආවරණය වන පරිදි බුර්කාව ඇඳීමට අසමත් වූ කාන්තාවන්ට දඬුවම් පමුණවයි. ඇතැම්විට ඔවුන් මරා දැමීමට පවා  ප්‍රමාණවත් වරදක් ලෙස ඔවුන් විසින් එය සළකනු ලැබේ.

කෙසේ වෙතත් සිය ආරක්ෂක භටයින්ට තර්ජනයක් ලෙස බුර්කාව හඳුන්වා දී ඇති මෝසුල් හි සටන්කාමීන් ආරක්ෂක මර්මස්ථානවල එය ඇඳීම තහනම් කර ඇති බව සඳහන්. මෙය මුලින්ම Iran Front Page නම් වෙබ් අඩවිය විසින් වාර්තා කෙරුණේ නිනවේ හි සිටින මූලාශ්‍රයක් විසින් ලබා දුන් තොරතුරකට අනුවයි.

මෝසුල් නගරය ඉරාකයේ දෙවන විශාලම නගරය වන අතර වර්තමානයේ පාලනය යටතේ ඇති විශාලම නගරය වේ. ඉරාක හමුදා එම නගරය අල්ලා ගැනීමේ මූලික මෙහෙයුම් මේ වනවිට ද අරඹා තිබේ. එහෙයින් එම ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සංවිධානය වැඩි අවධානයක් යොමු කිරීම පුදුමයක් නොවේ.

කෙසේ නමුත් මෙම පියවර ISIS ත්‍රස්තයින් අත පවතින වෙනත් ප්‍රදේශවලදී ක්‍රියාවට නැගුණ බවක් මෙතෙක් වාර්තා වී නැත​.

ISIS ත්‍රස්තයින් කෙතරම් තදින් බුර්කා ඇඳීමේ නීතිය ක්‍රියාත්මක කළේද යත්, ඔවුනගේ පාලනයෙන් නිදහස් කරගත් ප්‍රදේශවලදී කාන්තාවෝ සිය මුහුණු ආවරණ ගලවා, ඇතැම්විට ඒවා ගිනි තබමින් සිය ප්‍රීතිය පළ කළහ​. එවැනි පසුබිමක එම ත්‍රස්තයින්ටම සිය ආරක්ෂාව උදෙසා බුර්කාව තහනම් කිරීමට සිදුවීම දෛවයේ සරදමකි.

රියෝ නුවරදී බර ඔසවන 62 හැවිරිදි මිත්තණිය​

වෙනෙසුවේලාවේ සුරේ මර්කානෝට වයස යනු අංකයක් පමණි. බ්‍රසීලයේ වේලාවෙන් සැප්තැම්බර් 7 වන දින රියෝ ද ජනේරෝවේදී ඇරඹෙන 2016 පැරා ඔලිම්පික් උළෙලේදී කාන්තා කිලෝග්‍රෑම 50 බර පන්තියේ පවර් ලිෆ්ටිං ඉසව්වට තරඟ වදින ඇය මේ වනවිට 62 හැවිරිදි ය​.

මර්කානෝ ආබාධිත තත්ත්වයට පත් වූයේ මාස හයේදී පෝලියෝ රෝගය වැළඳීමෙනි. කුඩා කල ඇගේ ගුරුවරුන් ඇයට ක්‍රීඩාවේ නිරත වීමට දුන්නේ නැත​. ඒ පිළිබඳ අදටත් මර්කානෝ තුළ ඇත්තේ අප්‍රසාදයකි.

ඇය බර ඉසිලීමේ ඉසව්ව වෙත යොමු වූයේ වයස අවුරුදු 35 දීය​. ඉන් පෙර ඇය පිහිනුම් සහ මළල ක්‍රීඩා වෙත ද යොමු වූවා ය​. නමුත් බර ඉසිලීම ඇගේ සිත් ගත් හෙයින් ඇය දිගටම එම ක්‍රීඩාවේ නිරත වූවාය​.

ඇය මුල් වරට පැරා ඔලිම්පික් උළෙලකට සහභාගී වූයේ 2000 වසරේ සිඩ්නි නුවරදී ය​. එහිදී මර්කානෝ අටවන ස්ථානය දිනාගත් අතර ඊළඟ වසරේදී ලෝක ශූරතා තරඟාවලියේදී ඇයට හත්වන ස්ථානය හිමි විය​.

සිඩ්නි පැරා ඔලිම්පික් තරඟාවලියට පෙර තමන්ට ක්‍රමානුකූලව පුහුණුවීම් කටයුතුවල නිරත වීමට නොහැකි වූ බව මර්කානෝ පවසයි. එවර තරඟාවලියට සහභාගී වීමෙන් තමන්ට ක්‍රීඩාවෙහි නිරත විය හැකි බව සිය රට වැසියන්ට ඔප්පු කර පෙන්වීමට පමණක් බලාපොරොත්තු වූ බව ඇය ප්‍රකාශ කළා ය.

මෙවර තමා පදක්කමක් වෙනුවෙන් සටන් වදින බව ද ඇය කියා සිටියා ය​.

මර්කානෝ වෘත්තියෙන් ගුරුවරියකි. අධ්‍යාපනවේදය පිළිබඳ උපාධිධාරිණියක වන ඇයට රැකියාවෙහි වසර 26 කට වඩා වැඩි අත් දැකීම් ඇත​. ඇයට දරු දෙදෙනෙකු සිටින අතර මිණිබිරියකද සිටියි.

Monday, September 5, 2016

ජර්මන් චාන්සලර් මර්කල්ගේ පක්ෂය තුන්වන තැනට පසු බසියි

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (Christian Democratic Union - CDU) එරට මෙක්ලන්බර්ග්-බටහිර පොමරේනියා (Mecklenburg-Vorpommern) ප්‍රාන්ත මැතිවරණයේදී තුන්වන ස්ථානය දක්වා පසු බැස්සේය​.

එම පක්ෂය පරාජය කර දෙවන ස්ථානයට පැමිණීමට සමත් වූයේ 2013 දී බිහිවූ අන්ත දක්ෂිනාංශික, එමෙන්ම මර්කල්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහි Alternative für Deutschland හෙවත් ජර්මනිය සඳහා විකල්පය (AfD) පක්ෂයයි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට මර්කල් සිටියේ G-20 සමුලුවට සහභාගී වෙමිනි

AfD පක්ෂය සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 21 ක් ලබාගෙන ඇති අතර CDU පක්ෂයට ලැබී ඇත්තේ සියයට 19 ක් පමණි. මේ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SDP) සියයට 30.6 ක් ලබාගෙන තිබේ. පැරණි කොමියුනිස්ට්වාදීන් ද ඇතුලත් වාම පක්ෂය සියයට 13 ක් ඡන්ද ලබාගෙන තිබේ. හරිත පක්ෂය සියයට 4.7 ඡන්ද ප්‍රමාණයක් දිනාගෙන ඇත​.
මෙක්ලන්බර්ග්-බටහිර පොමරේනියා Map by David Liuzzo (Wikimedia Commons)

මෙක්ලන්බර්ග්-බටහිර පොමරේනියා යනු පැරණි නැගෙනහිර ජර්මනියට අයත් වූ ප්‍රදේශයේ පිහිටි ප්‍රාන්තයකි. එමෙන්ම එය මර්කල්ගේ උපන් බිම ද වෙයි. එහි පැරණි කොමියුනිස්ට් පාලන සමයෙන් පැවතෙන වාමාංශික කණ්ඩායම් මෙන්ම දක්ෂිනාංශික නැඹුරුවක් සහිත කණ්ඩායම් ද ප්‍රබල ය​. 2011 ප්‍රාන්ත මැතිවරණයේදී  ජර්මනියේ නව නට්සි පක්ෂය ලෙස සැළකෙන ජාතික​ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (NDP) සාමාජිකයන් පස් දෙනකු ද මෙක්ලන්බර්ග්-බටහිර පොමරේනියා ප්‍රාන්ත සභාවට තෝරාගනු ලැබුණි. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් එම පක්ෂය ආසන දිනා නොගත්තේ ය​.
AfD පක්ෂයේ ප්‍රාන්ත නායක ලීෆ් එරික්-හෝම් සිය ජයග්‍රහණය සමරමින්

ආසන 71 කින් සමන්විත ප්‍රාන්ත සභාවේ ආසන 26 ක් SDP පක්ෂයට ලැබී ඇත​. එය 2011 ප්‍රතිඵලයට වඩා ආසන දෙකක අඩු වීමකි. CDU පක්ෂය ආසන 16 කට පසු බැස ඇති අතර එය ද ආසන දෙකක අඩු වීමකි. AfD පක්ෂය ආසන 18 ක් දිනාගෙන ඇති අතර වාම පක්ෂය ආසන 11 ක් ලබාගෙන ඇත​. හරිත පක්ෂය 2011 දී ආසන 6 ක් දිනා ගත්තද මෙවර ආසන ලැබී නැත​.

AfD පක්ෂයේ වර්ධනය ඇන්ජෙලා මර්කල්ගේ සංක්‍රමණිකයන්ට දේශසීමා විවෘතව තැබීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් සිදු වූවකි. මෙම ප්‍රතිපත්තිය ඇගේ CDU පක්ෂය තුළම විවාදයට බඳුන් වන කරුණකි. මේ වන විට රට පාලනය කරන මහා සන්ධානයේ කොටස්කාර පක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද මෙම මැතිවරණයෙන් පසු මර්කල්ගේ ප්‍රතිපත්ති පිළිබඳ යළි සළකා බැලීමේ අවශ්‍යතාව මතු කරමින් සිටියි.

AfD පක්ෂයේ 2017 මහ මැතිවරණය පිළිබඳ ඇති බලාපොරොත්තු තවත් ඉහළ නැංවීමට මෙම ප්‍රතිඵල සමත් වී ඇත​. බර්ලින් නගර ප්‍රාන්තයේ මෙම මස 18 වනදා පැවැත්වෙන මැතිවරණය ඇන් ජෙලා මර්කල් මුහුණ දෙන මීළඟ අභියෝගය වනු ඇත​. මීළඟ මාස කිහිපයේදී ඇගේ සරණාගත ප්‍රතිපත්තිය කෙරෙහි මෙක්ලන්බර්ග් - බටහිර පොමරේනියා මැතිවරණය සහ බර්ලින් මැතිවරණය බලපෑමක් කරනු ඇතැයි සිතිය හැක​.

Sunday, September 4, 2016

ඩිල්මා රූසෙෆ්

1970 වසරේදී එවකට 23 වන වියෙහි වූ තරුණ කාන්තාවක් හමුදා අධිකරණයක් ඉදිරියේ පෙනී සිටියාය​. ඒ රජයට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාව මතය​. ඊට වරදකරු වූ ඇය වසර දෙකක් සිර භාරයේ සිටියා ය​.

මීට දින කිහිපයකට පෙර ඇය නැවතත් නඩු විභාගයකට මුහුණ දුන්නාය. ඒ බ්‍රසීල සෙනට් සභාව ඉදිරිපිට ය​. තමන්ට එරෙහිව එල්ල වන දූෂණ චෝදනාවලට එරෙහිව ඇය එහිදී අදහස් දැක්වූවා ය​.

එහෙත්, 1970 නඩු විභාගයේදී තීන් දුව පිළිබඳ කිසිදු සැකයක් නොතිබුණා සේම මෙවර ද තීන්දුව පිළිබඳ කිසිදු සැකයක් නොවීය​. සිය ධූර කාළයට තවත් වසර දෙකක් තිබියදී බ්‍රසීල ජනපති ඩිල්මා රූසෙෆ් බලයෙන් නෙරපීමට සෙනට් සභාව තීරණය කළේ ය​.

ඩිල්මා රූසෙෆ් උපත ලද්දේ 1947 දෙසැම්බර් 14 වනදා බ්‍රසීලයේ මිනාස් ගෙරායිස් ප්‍රාන්තයේ බේලෝ හොරිසොන්ටේ නගරයේ ය​. ඇගේ පියා පේද්‍රෝ රූසෙෆ් බල්ගේරියාවේ කොමියුනිස්ට් පාක්ෂිකයකු ව සිට එරටින් පළා ආ නීතීඥයකු වූයේ ය​. බ්‍රසීලයේදී සාර්ථක ව්‍යාපාරිකයකු වූ ඔහු ඩිල්මා ජේන් ද සිල්වා නම් ගුරුවරියක හා විවාහ වූ අතර ඉන් දරුවන් තිදෙනෙකු උපන්නේය​. ඒ ඊගෝර්, ඩිල්මා වානා සහ සානා ලුසියා ය​.

ඩිල්මා වානා රූසෙෆ්ට වයස අවුරුදු 17 ක් වීමටත් පෙර 1964 දී, බ්‍රසීලයේ පැවති රජය පෙරළා දැමූ යුධ හමුදාව රටේ බලය අත්පත් කරගත් හ​. මෙම කුමන්ත්‍රණයට ඇමරිකානු සහය හිමි වූ අතර එය දියත් කෙරුණේ එවක ජනාධිපති ව සිටි ජොආඕ ගෞලාර්ට් කොමියුනිස්ට් හිතෛශියකු ලෙස සැක කෙරුණ හෙයිනි. කුමන්ත්‍රණයෙන් පසු රටේ වාමාංශික කණ්ඩායම් අතර එයට එරෙහි ප්‍රතිරෝධයන් මතු විය​.

1967 දී ඩිල්මා රූසෙෆ් බ්‍රසීලයේ සමාජවාදී පක්ෂයට සම්බන්ධ වාමාංශික කණ්ඩායමකට එක් වූ අතර කෙටි කළකින් ඇයට ඇගේ පළමු සැමියා වූ ක්ලෝඩියෝ ගැලේනෝ ලිනාරෙස් හමු විය​. ඔහු විසින් ඇයව වාමාංශික ගරිල්ලා සංවිධානයක් වූ ජාතික විමුක්ති බල ඇණිය [Comando de Libertação Nacional—COLINA English: National Liberation Command] වෙත එක්කර ගන්නා ලදී.

කොලීනා සංවිධානයේ කටයුතු හේතුවෙන් ඔවුන් රියෝ ද ජනේරෝව වෙත යැවුන අතර පසුව ගැලේනෝ පෝර්ටෝ ඇලග්‍රෙ වෙත යවනු ලැබුණි. මේ අතර ඩිල්මාට රියෝ ග්‍රාන්ඩේ ඩෝ සුල් හි උපන් නීතීඥයකු වූ කාර්ලෝස් ෆ්‍රැන්ක්ලින් පික්සාඕ ද අරවුජෝ මුණ ගැසුන අතර ඔවුන් දෙදෙනා අතර සබඳතාවක් හට ගැනීමට වැඩිකල් නොගියේය​.

අරවුජෝ බ්‍රසීල කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩුන කණ්ඩායමක සාමාජිකයකු වූ අතර ඩිල්මා ද එහි කටයුතු සඳහා එක් වූවා ය​. ඇය හමුදා අත් අඩංගුවට පත් වන්නේ මේ අතරතුර ය​. ඒ 1970 ජනවාරියේදී ය​. අරවුජෝ ද එම වසරේ අගෝස්තුවේ අත් අඩංගුවට ගන්නා ලදී.

තමන් අත් අඩංගුවට ගත් මුල් කාළයේ හමුදාව විසින් දරුණු වද හිංසාවනට ලක් වූ බව රූසෙෆ් පසු කළෙක කියා සිටියාය​. නමුත් ඇගේ චෝදනා එවක හමුදාවේ සිටි නිලධාරීන් විසින් බැහැර කරනු ලබයි. රූසෙෆ් පවසා සිටින්නේ ඇගෙන් ප්‍රශ්න කිරීම මගින් තොරතුරු හෙළි කරගැනීමට කරන ලද උත්සාහයන්හිදී ඇයට මෙම පීඩාවන්ට මුහුණ දීමට සිදු වූ බව ය​.

1972 දී සිරෙන් නිදහස් වූ පසු රූසෙෆ් පෝර්ටෝ ඇලග්‍රෙ කරා ගියේ අරවුජෝ එහු බන්ධනාගාරගත කරනු ලැබ සිටි බැවිනි. ඔහු ද ඉන් ටික කළකට පසු නිදහස ලැබී ය​. ඔවුන් දෙදෙනාගේ එකම දියණිය වූ පෝලා උපන්නේ 1976 දී ය​.

සිරෙන් නිදහස් වූ පසු යළි කැරලිකාරී කණ්ඩායම්වල සාමාජිකයකු ලෙස රූසෙෆ් කටයුතු කළ බවට සඳහනක් නැත​. 1980 ගණන්වල මුල් කාළයේදී හමුදාව විසින් දේශපාලන කටයුතු සඳහා වන බාධක ලිහිල් කිරීමත් සමඟ පිහිටුවාගත් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සාමාජිකාවක වූ ඇය 1990 දශකයේදී දෙවරක් ම රියෝ ග්‍රාන්ඩේ ඩෝ සුල් හි ප්‍රාන්ත බලශක්ති ලේකම් බවට පත් වූවාය​.

2003 දී බ්‍රසීල ජනාධිපති ධූරයට පත් ලුවී ඉග්නාෂියෝ ලූලා ද සිල්වාගේ අවධානය ඇය වෙත යොමු වූයේ මෙම සමයේ ය​. ලූලා විසින් සිය අමාත්‍ය මණ් ඩලයේ පතල් සහ බලශක්ති අමාත්‍ය ධූරයට රූසෙෆ් පත් කෙරිණ​. 2005 සිට 2010 දක්වා ඇය ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූවාය​.
Pic: Rede Brasil Atual

2010 ඔක්තෝබර මාසයේ පැවති ජනාධිපතිවරණයේ දෙවන වටයේදී බ්‍රසීල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හොසේ සෙරා සමඟ තරඟ වැදී ජයගත් රූසෙෆ් 2014 ජනාධිපතිවරණයේ දී ද එම පක්ෂයේම ඒෂියෝ නෙවේස් පරදා ජයග්‍රහණය කළා ය​.

ඩිල්මා රූසෙෆ්ට එරෙහිව දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වන්නට වූ අතර ඇගේ සභාගයේ වූ සහයකයන් කිහිප දෙනකුම ඇය හැර යාමෙන් ඇගේ බලය අහිමි වීමේ ලකුණු පහළ විය​. තෙල් මිල පහල වැටීම, ලෝක ආර්ථික අවපාතය වැනි කරුණු ද බ්‍රසීල ආර්ථිකය කඩා වැටීමට හේතු විය​. එහෙයින් ඇගේ විරුද්ධවාදීහු තවත් ශක්තිමත් වූහ​. මෙම වසර මුල දී ඇගේ උප ජනාධිපතිවරයා වූ මයිකල් ටෙමර්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය ඇගේ සභාගයෙන් ඉවත් වීමත් සමඟ ඇගේ අවසානය තීරණය විය​.

2016 මැයි මස දී සෙනට් සභාව විසින් ජනාධිපති ධූරයෙන් ඇයව තාවකාලිකව ඉවත් කෙරුණ අතර අගෝස්තු 31 වනදා ඇය බලයෙන් නෙරපීමේ අවසන් තීන්දුව ගන්නා ලදී. ඉන් පැය කිහිපයක් තුළ ඇගේ හිටපු උප ජනාධිපති වූ වැඩ බලන ජනාධිපති මයිකල් ටෙමර් නව බ්‍රසීල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය​.

උස්බෙක් ජනාධිපතිගේ අවමඟුල (ඡායාරූප​)

උස්බෙකිස්ථානයේ පළමු ජනාධිපති ඉස්ලාම් කරිමොව්ගේ අවමංගල්‍යය ඊයේ දිනයේ උස්බෙකිස්ථානයේ සමර්ඛන්ඩ් නගරයේදී පැවැත්විණ​.
Pic from Khikmat Pulatov / Twitter

ටෂ්කෙන්ට් අගනුවර සිට රථ පෙරහරකින් දේහය කරිමොව්ගේ උපන් බිම වූ සමර්ඛන්ඩ් නගරය කරා ගෙන යන ලදී. දහස් ගණන් ජනයා ටෂ්කෙන්ට් නුවර මග දෙපස රැඳී සිට දේහයට අවසන් ගෞරව දැක්වූහ​.

1989 සිට උස්බෙක් කොමියුනිස්ට් පක් ෂයේ ප්‍රධාන ලේකම් වූ කරිමොව් 1990 සිට උස්බෙකිස්ථාන් සෝවියට් සමූහාණ් ඩුවේ ජනාධිපතිවරයා විය​. 1991 අගෝස්තු 31 වනදා උස්බෙකිස්ථානය සෝවියට් දේශයෙන් නිදහස ප්‍රකාශ කළ දින පටන් 2016 සැප්තැම් බර් 2 වනදා වනතුරු එරට ජනාධිපතිවරයා වූයේ කරිමොව් ය​.

කරිමොව්ගේ අනුප්‍රාප්තිකයා කවරෙක්දැයි මෙතෙක් පැහැදිලි අදහසක් නොමැත​.

ටෂ්කෙන්ට් නුවරදී අවමංගල්‍ය පෙරහර දැක ගැනීමට පැමිණි ජනතාවගේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. මෙම ඡායාරූප කික්මට් පුලටොව්ගේ (Khikmat Pulatov) ට්විටර් පිටුවෙනි.