පෘතුගීසීන්ගේ අවසන් උඩරට ආක්‍රමණය පරාජය කල ගන්නොරුව සටනේ 375 වන සංවත්සරය මෙම වසරේ (2013) මාර්තු 28 වනදාට යෙදී තිබිණ. මෙම ලිපිය ඒ වෙනුවෙනි.
ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි පෘතුගීසින්ගෙන් නිදහස ආරක්ෂා කරගැනීමට සමත් වූ එකම ලාංකික රාජ්‍යය කන්ද උඩරට රාජධානියයි. පරංගීහු කිහිප විටෙකදීම උඩරට ආක්‍රමණය කිරීමට ගොස් අන්ත පරාජයක් අත් කරගත්හ. දන්තුරේ, බලන සහ රන්දෙනිවල පරාජයන්ගෙන් ඔවුන් පාඩමක් ඉගෙන නොගත්තේ නොවේ. නමුත් 1638 වසරේ දියත් කෙරුණ ඔවුනගේ අවසන් ආක්‍රමණයද පරාජයෙන් කෙළවර වූයේය. මේ සමඟම සමස්ථ දිවයිනේම බලය අල්ලා ගැනීමට වූ පෘතුගීසීන්ගේ සිහිනය අවසාන වතාවටත් සුනු විසුනු වූයේය.
1630 රන්දෙනිවල සටන ජයගත් පසු එම ජයග්‍රහණය උපයෝගී කරගනිමින් පරංගීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කල හැකිව තිබුනද ඊට නායකත්වය හෝ චිත්ත ශක්තිය සිංහල හමුදාවට නොලැබිණ. එවක උඩරට පාලනය කල සෙනරත් රජු දුර්වල පාලකයකු වීම මීට හේතුව විය. 1634 වනවිට දෙපක්ෂය අතර සාම ගිවිසුමක් අත්සන් කෙරුණ අතර පරංගීන්ට මඩකලපුව පවරා දීමට උඩරට රාජධානිය එකඟ විය.
කෙසේ වුවද එක පක්ෂයකටවත් සාමය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොවීය. 1635 වසරේදී සෙනරත් රජුගේ බාල පුත්‍රයා වූ මහ අස්ථාන කුමරු දෙවන රාජසිංහ නමින් රජවූ පසු මෙම තත්ත්වය තවත් නරක අතට හැරුණි. වැඩි කලක් යාමට මත්තෙන් කොළඹ පෘතුගීසි පාලනය සහ උඩරට රජු අතර එදිරිවාදිකමක් වර්ධනය වන්නට වූයේය.
දෙපක්ෂය අතර යුද්ධය යලි ඇවිලීමට විවිධ හේතු ඉදිරිපත් කරනු ලැබේ. මින් බොහෝ ජනප්‍රිය කතාවක් වන්නේ ඇතා සහ අශ්වයන් දෙදෙනා පිළිබඳ කතාන්දරයයි. රජතුමා තමන්ගේ සිත් දිනාගත් පෘතුගීසි වෙලෙන්දෙකුට ඇතෙක් තෑගි කොට ඇත. වෙලෙන්දා කොළඹට පැමිණි අවස්ථාවේ කොළඹ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා වූ දියේගෝ ද මේලෝ කර තිබෙන්නේ එම ඇතා පැහැර ගැනීමයි. මේ බව කනවැකුණ රජතුමා වෙලෙන්දාට තවත් ඇතෙකු තෑගි කොට හලාවතින් නැව් නැගීමට අවස්තාව උදා කරදුන් බව පැවසේ. තවද ද මේලෝගේ හිතුවක්කාර ක්‍රියාවට එකට එක කිරීමක් ලෙස පෘතුගීසි වෙලෙන්දකු රජුට විකිණීමට ගෙනා අගනා සෛන්දවයන් දෙදෙනෙකු රජතුමා විසින් පැහැරගන්නා ලදී. ද මේලෝ අශ්වයින් ඉල්ලා සිටි කල්හි, උන් ආපසු දීමට නම් තමාගේ ඇතා තමා වෙත යලි ලැබෙන්නට සලස්වන මෙන් රජතුමා දන්වා සිටි බව කියවේ. මේ ආරවුල දුර දිග යෑමේ ප්‍රතිපලය වූයේ ද මේලෝ කන්ද උඩරට ආක්‍රමණය කිරීමයි.
මේ කතාන්දරය සම්පූර්ණයෙන් බැහැර කිරීමට නොහැකි වුවද, මෙවන් කරුණක් නිසා උඩරට ආක්‍රමණය වැනි භාරදූර කාර්යයකට අත තැබීමට දියේගෝ ද මේලෝ පෙළඹුණි යයි සිතිය නොහැක. මින් පෙර උඩරට අල්ලා ගැනීමට ගිය සිය රටවැසියන්ගේ ඉරණම පිළිබඳ ඔහු හොඳින් දැන සිටියේය. වෙනෙකක් තබා, සාමාන්‍ය මාර්ගය ඔස්සේ උඩරට ආක්‍රමණය කිරීමේ අපහසුතාව දත් කොන්ස්තන්තීනු ද සා, ඌව දෙසින් උඩරට ආක්‍රමණය කිරීමට ගොස්, එම ප්රයත්නයද අසාර්ථකව ජීවිතයද අහිමි කරගෙන ගතව තිබුනේ වසර අටක් වැනි සුලු කාලයකි.
ද මේලෝ උඩරට ආක්‍රමණය කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙකල උඩරට රාජධානිය සහ ඕලන්ද ජාතිකයන් අතර ඇතිවෙමින් පැවති ඇයි හොඳයියයි. මෙය ලංකාවේ සිය පාලනයට දරුණු තර්ජනයක් වන කරුණක් බව දත් පෘතුගීසීහු කන්ද උඩරට-ඕලන්ද දෙපිරිස අතර සන්ධානයක් ඇති වීම වැළැක්වීමට බලාපොරොත්තු වූහ. ඒ සඳහා ඔවුන් දුටු පහසුම මාර්ගය වූයේ උඩරට රාජධානිය අල්ලා ගැනීමයි. ඉහත කී ඇත්-අසු ගැටුම සත්‍යයක් නම්, ද මේලෝ රජතුමාගේ ඇතා පැහැර ගන්නට ඇත්තේද රජතුමා යුද්ධයකට පොළඹවන අදහසිනි.
පරංගි ආක්රමණික හමුදාවේ ශක්තිය පිළිබඳ විවිධ මත පවතී. කෙසේ නමුත් එම හමුදාව පෘතුගීසි ජාතිකයන් හත් අටසියයකින් සහ දේශීය ලස්කිරිඤ්ඤ භටයින් කිහිප දහසකින් සමන්විත වන්නට ඇත. මෙවන් සේනාංකයක් සමඟ ගොස් උඩරට අල්ලාගැනීම අපහසු බව සක්සුදක් සේ දත් ද මේලෝ, සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා, මීට පෙර සිදුකල පෘතුගීසි ආක්‍රමණවලදී ආක්රමණික හමුදාවට සහය නොලැබුණු අංශයක් දෙස අවධානය යොමු කළේය. එනම් උඩරට තුලින්ම සහය ලබා ගැනීමයි. ඒ සඳහා ඔහු උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වූයේ රාජසිංහ රජුගේ වැඩිමහලු අර්ධ සහෝදරයා වූ විජේපාල කුමාරයාවය.
1635 වසරේදී සෙනරත් රජු මියගිය විට මහ අස්ථාන කුමරු රජවූයේ ඔහුට වඩා වැඩිමහලු අර්ධ සොයුරන් දෙදෙනකු සිටියදීය. මහ අස්ථාන කුමරු සෙනරත් රජුගේ පුතෙකු වූ අතර කුමාරසිංහ සහ විජේපාල කුමාරවරු පළමු විමලධර්මසූරිය රජුගේ පුතුන් වූහ. ඔවුන් සියල්ලන්ගේ මව වූයේ කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනාය. මහ අස්ථාන කුමරු රජ වනවිට ඌව ප්‍රදේශය පාලනය කිරීම කුමාරසිංහටත්, මාතලේ පාලනය කිරීම විජේපාලටත් පවරන ලදී. ඒ අනුව උඩරට රාජ්‍යය රාජසිංහ රජුට ලැබුන නමුත් එහි වැදගත්ම ප්‍රදේශ දෙකක් පැවතුනේ ඔහුට විරුද්ධවීමට ඉඩ තිබුණු කුමරුන් දෙදෙනකු යටතේය. මින් වැඩි කලක් යාමට මත්තෙන් කුමාරසිංහ කුමරු මියගිය අතර එය ඝාතනයක් වන්නට ඇතැයි සැළකේ. ඉන්පසු ඌව ප්‍රදේශයද තමා යටතට ගත් රජතුමා තවත් බලවත් විය. මේ අතර විජේපාල කුමාරයා රජු සමඟ තවත් උරණ වූයේය.
දියේගෝ ද මේලෝ සිය ආක්‍රමණය සාර්ථක කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වූයේ විජේපාල කුමාරයාවය. ඔහු පෘතුගීසින් සමඟ පණිවිඩ හුවමාරු කරගත් අතර මාතලේ හමුදා පෘතුගීසීන්ගේ සහයට පැමිණියේ නම් රාජසිංහ රජතුමා පරාජය වීමට හොඳටම ඉඩ තිබිණ.
1638 පෙබරවාරි 27 වනදා කොළඹින් පිටත් වූ දියේගෝ ද මේලෝ, එකල නුවර ආක්රමණවලට යොදාගත් මධ්‍යස්ථානය වූ මැණික්කඩවර කොටුවට පැමිණියේය. මැණික්කඩවර කොටුවෙන් තීරණාත්මක උඩරට ආක්‍රමණයට ඔහු පිටත් වූයේ මාර්තු 19 වනදාය. මාර්තු 26 වනවිට පෘතුගීසි හමුදාව අට්ටාපිටියට පැමිණියේය.
මේ කාලය තුල රාජසිංහ රජතුමා පරංගි ආක්‍රමණය වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්බව පෙනේ. පෘතුගීසි ඉතිහාසකාරයන් සඳහන් කරන්නේ රජතුමා ඕලන්දය සමඟ වන සම්බන්ධතා සියල්ල නැවැත්වීමට පවා පොරොන්දු වෙමින් උඩරට ආක්‍රමණය නොකරන ලෙස බැගෑපත් වූ බවය. නමුත් සිංහල ජනකතාකරුවන් අතර ප්‍රසිද්ධ කතාවකින් කියවෙන පරිදි ඔහු දියේගෝ ද මේලෝ වෙත තර්ජනාත්මක ලිපියක් යවා ඇත. කුරුසයක් ගත් පූජකයකු අත යවන ලද එම පණිවිඩයෙන් ඔහු පවසා ඇත්තේ, "ඔබ අදහන ඔබ නිසා මැරුන ඔබේ දෙවියන් වහන්සේ සෙංකඩගල රජුගේ රාජ්‍යයට ඔබේ පැමිණීම තහනම් කරන්නේය. ඔබ ආපසු හැරී නොගියොත් ඔබේම දෙවියෝ ඔබට දඬුවම් කරයි" යන තර්ජනාත්මක පණිවිඩයයි.
ඇතැම්විට පෘතුගීසි ඉතිහාසකරුවන් සහ සිංහල කතාකරුවන් යන දෙපිරිසම මුසාවක් පවසන්නේ නැති වීමට ඉඩ ඇත. මුලදී, විජේපාල කුමාරයා පෘතුගීසීන්ගේ පක්ෂය ගැනීමට ඉඩ ඇති බැව් දැනසිටි රාජසිංහ රජතුමා තුල පෘතුගීසි ආක්‍රමණය පිළිබඳ බියක් ඇතිවීම සාධාරණය. නමුත් මාර්තු මාසයේ අවසන් භාගය වනවිට ඔහුට ඒ බිය නැතිවන්නට ඇත. මක්නිසාද යත්, ඒ වනවිට විජේපාල කුමරු පෘතුගීසින්ට සහය නොදැක්වීමට තීරණය කරගෙන තිබුන බැවිනි.
ද මේලෝ, විජේපාල කුමරුගේ තීරණය පිළිබඳ දැනගන ඇත්තේ මාර්තු 26 වනදා අට්ටාපිටියට පැමිණි පසුවය. විජේපාල කුමරුගේ සහය නැතිව කන්ද උඩරට අල්ලාගත නොහැකි බව දත් ද මේලෝ තීරණය කලේ මහනුවරට කඩා වැදී නගරය වනසා දමා වහා යලි පසු බැසීමටය.
1638 මාර්තු 27 වනදා මහනුවරට කඩා වැදුන පරංගි හමුදාව නගරය ගිනිබත් කර ආපසු කොළඹ දෙසට ගමනාරම්භ කළහ. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ අඳුර වැටීමට පෙර මහවැලි ගඟෙන් එතෙර වීමයි. එහෙත් ඔවුනට යාමට ලැබුනේ මඳ දුරකි. මාතලේ සිට පැමිණි විජේපාලගේ සේනාව ඔවුන්ගේ මග අවුරා සිටියහ. ඔවුනට ගංගාව වෙත යාමට අවස්ථාව නොලැබිණ.
මහවැලි ගඟ වෙත යාමට නොහැකි වීමෙන් ජලය නැති වීමද, සිංහල හමුදාවල තර්ජන ගර්ජන සහ ප්‍රහාරයන්ද හමුවේ ඇති වූ පීඩනයද හේතුවෙන් පරංගි හමුදාව එදින ගතකලේ ඉතා කටුක රාත්‍රියකි. එය එම සේනාවෙහි වූ බොහෝ පෘතුගීසි ජාතිකයන්ගේ අන්තිම රාත්‍රිය වීමට නියමිතව තිබිණ.
පසුදිනට හිරු උදාවූ පසු ගැටඹේ තොටින් මහවැලි ගඟ තරණය කිරීමට පෘතුගීසි හමුදාවට හැකිවිය. එය කෙසේ සිදු කරන ලද්දේද යන්න ඉතිහාසකරුවන් විසින් එතරම් පැහැදිලිව සඳහන් කොට නැත. ඇතැම්විට ඒ සඳහාද ආක්රමණික හමුදාවට දැඩි සටනක් දෙන්නට සිදු වන්නට ඇත. කෙසේ හෝ ගඟෙන් එතෙර වූ ඔවුන් පැමිණියේ ගන්නොරුව තැනිතලාවටය.
වර්තමානයේ ගන්නොරුව ප්‍රදේශය. කෘෂි පර්යේෂණ ආයතන පිහිටා ඇති තැනිතලා ප්‍රදේශය අවසන් සටන සිදුවූ පෙදෙසයි. සිංහල හමුදා පහර දුන්නේ වටේ ඇති උස් බිම්වල සිටය. (ඡායාරූපය මුදිත මදුසංක)
ගන්නොරුවට පැමිණි පෘතුගීසින්ට මුහුණ දෙන්නට වූයේ වෙනත් තර්ජනයකටය. ගන්නොරුව තැන්නේ සිටි හමුදාවට අවට උස බිම්වල සිටි සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක් වීමට සිදු විය. මෙම සටනේදී සිංහල හමුදා විසින් මීට පෙර සිදු වූ සටන්වලට වඩා වැඩියෙන් තුවක්කු භාවිතා කල බව පැවසේ. මේ අවධිය වනවිට කන්ද උඩරට කම්හල්වල තුවක්කු වැඩිපුර නිපදවෙන්නට ඇති බැව් සිතිය හැක. කඳුවල සිටින සිංහල හමුදාවල ප්‍රහාරයෙන් පීඩාවට පත් පරංගි හමුදාව ඉන් ගැලවීම සඳහා නිම්නයෙහි කන්දක් දෙසට පසු බැස්සේය. ඇතැම්විට ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඒ කන්ද අල්ලාගෙන එහි සිට සටන මෙහෙයවීමයි. නිම්නයක් මැද හතර අතින් පහර කමින් සිටිනවාට වඩා මෙම ස්ථානය ආරක්ෂිත වූයේය.
පෘතුගීසීන් සමඟ පැමිණි ලස්කිරිඤ්ඤ හමුදාව සිංහල හමුදාවට එක් වීමට තීරණය කලේ මේ අවස්ථාවේය. සටන පරදින බව දැක මෙය සිදු කරන්නට ඇති බව සාමාන්‍ය විශ්වාසයයි. කෙසේ වුවද, මෙමගින් පෘතුගීසි හමුදාව බෙහෙවින් දුර්වල වූ අතර සටන ජයගැනීමට ඔවුනට තිබුණු සුලු හෝ ඉඩකඩ ඉන් ඇහිරී ගියේය.
මේ අවස්ථාවේ දියේගෝ ද මේලෝ සිය හමුදාවට අණ කලේ යලිත් තැනිතලාව දෙසට කඩාවැදීමටය. සාපේක්ෂව ආරක්ෂිත වූ ස්ථානයක් මෙසේ අතහැර විනාශය කරා ගමන් කිරීම සර්ව සම්පූර්ණ විකාරයක් වූ බව සැබෑවකි. නමුත් මේ අවස්ථාවේ වෙනත් විකල්පයක් පෘතුගීසින්ට නොවූ බවද පැහැදිලිය.
මේ අවස්ථාවේ සිංහල හමුදාවද සතුරාගේ ගමන්මග ඇවිරීමට ඔවුන් සිටි උස බිම්වලින් පහලට ගමන් කළහ. ඇතැම්විට පෘතුගීසි සෙබලුන් ගන්නොරුව තැනිතලාවෙන් එහාට පලා ගොස් ගැලවෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. මෙසේ කඩා වැදුනු කන්ද උඩරට හමුදාවෝ සතුරා කොටුකරගෙන පහර දුන්හ. මෙම සටනේදී ජීවග්රහයෙන් අල්ලාගන්නා ලද්දේ පෘතුගීසි සෙබලුන් 33 දෙනකු පමණි. අනෙක් සියල්ලන්ම මිය යන්නට ඇතැයි සැලකෙන අතර, මියගිය අය අතර දියේගෝ ද මේලෝ ද කැස්ත්‍රෝ සිටින්නට ඇතැයි සලකනු ලැබේ. ඔහුගේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වූ නමුත් සටන් බිම වැටී තිබූ ඔහුගේ කඩුව සිංහල සෙබලුන් විසින් සොයාගෙන දෙවන රාජසිංහ රජතුමා වෙත පිළිගන්වන ලදී.
ගන්නොරුව සටනත් සමඟම පෘතුගීසීන්ගේ උඩරට අල්ලා ගැනීමේ සිහිනය අන්තිම වතාවටත් සුන් විය. මෙම වර්ෂය තුලදීම උඩරට රාජධානිය සහ ඕලන්දයින් අතර ගිවිසුමක් අත්සන් කෙරුණ අතර ලංකාවේ පෘතුගීසි පාලනයේ අවසන් යුගය එළඹුන බව එයින් තවත් පැහැදිලි විය.