Monday, November 26, 2012

අපට වෙච්ච දේ 005: ප්‍රයිවෙට් බස් එකේ ගිහින් ලෙඩ සුව කරගැනීම!


කාලෙකට පස්සේ පොඩි කතාවක් ලියන්න අවස්ථාව හොයා ගත්තා. පහුගිය දවස් ටිකේම මේ වගේ කතා කීපයක්ම ලියන්න ඔලුවේ තිබුනත්, සීරියස් ලිපි කීපයක්ම ලියපු නිසාත් වෙන වෙන වැඩ සෙට් වෙච්ච නිසාත් "අපට වෙච්ච දේ" ලියන්න අවස්ථාව ලැබුනේ නෑ.

ප්‍රයිවෙට් බස් කිව්වහම අපිට ඇති වෙන්නේ එච්චර ධනාත්මක අදහසක් නෙවෙයි. ඒ ගැන මම එච්චර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ප්‍රයිවට් බස්වලින් හොඳකුත් වෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම අමතක කරන එක අපි ප්‍රයිවට් බස් අයිති අයට සහ ඒවායේ රියදුරු, කොන්දොස්තරවරුන්ට කරන අසාධාරණයක්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කොච්චර නම් වන්දනා ගමන්, විනෝද චාරිකා යන්න ප්‍රයිවට් බස් යොදා ගන්නවාද? පොසොන් කාලෙට එහෙම ලංගම බස්වලින් විතරක් වන්දනා ගමන් ගියොත් පාරවල්වල දුවන්න ලංගම බස් ඉතුරු වෙන එකකුත් නැහැ. අපිත් මාස කීපයකට කලින් එහෙම වන්දනා ගමනක් ගිය වෙලාවක ගත්තු ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ...



අර රුවන්වැලිසෑය බලන්න ගිය ගමනක් ගැන මම කලින් දවසක ලිව්වේ. ඒ ගියෙත් ඔය ගමනේදීම තමයි...

මම අද කියන්න යන කතාව සිද්ධ වුනේ පහුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා. ඊට කලින් දවසේ, ඒ කියන්නේ 7 වෙනිදා, තමයි 20-20 අවසන් තරඟය තිබුනේ. ඒ දවස්වල මම හිටියේ චේ ගුවේරා ගැන මම ලියපු ලිපිය ලියන්න සූදානම් වෙමින්. එත්, ලියනවා තියා හිතන්නවත් බැරි තත්ත්වයකට මම පත් වුනේ 7 වෙනිදා උදේ. කලින් දවසේ ඉඳන් මගේ වම් අතේ වැලමිටට යන්තම් උඩින් රිදෙමින් තිබුනා. 7 වෙනිදා තත්ත්වය බොහොම දරුණු වුනා. මගේ අත ඉදිමිලා, රතු වෙලා, වේදනාව ඉවසන්නම බෑ. සතෙක් කාලා කියලයි මට හිතුනේ. බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරන එක කොහොම වුනත් වේදනාව ඉවසගන්න බැරුව මම හිටියේ. එදා ක්‍රිකට් මැච් එක බැලුවෙත් ඒ වේදනාව පිටින්. එදා රෑ හරියකට නින්ද ගියෙත් නැත්තේ මැච් එක පැරදුන එකටත් වැඩිය අතේ වේදනාව නිසා. ඊළඟ දවසේ නම් තත්ත්වය වෙනස් නොවුනොත් දොස්තර කෙනෙක් ලඟට යන්න වෙන බව මම හොඳටම දැනගෙන හිටියා.

ඔන්න ඉතින් මම 8 වෙනිදා, ඒ කියන්නේ සඳුදා උදේ වැඩට එන්න පිටත් වුනා. මම ලෑස්ති වුනේ පවා බොහොම අපහසුවෙන්. 120 බස් එකේ උදේට එනවා කියන්නේ වෙනමම දුකක් නේ. මට උදේ පාන්දර ලෑස්ති වෙන්න බැරි වුන නිසා බස් එකේ හිටගෙන එන්න වෙන බව දැනගෙන හිටියා. මම දහ අතේ කල්පනා කර කර ආවේ මගේ අතත් එක්ක කොහොම එන්නද කියලා. ඒ මදිවට අනිත් අතේ බෑග් එකක්!

කොහොමහරි මම බස් එකකට නැගලා ඇතුලට රිංග ගත්තා. ඒ වෙලාවට ඉතින් මැද පේලිය තමයි. වම් අත තියාගන්න ක්‍රමයක් ඇත්තෙම නැතුව මම ඒ අතින් එල්ලිලා අනිත් උරහිසට බෑග් එක ගත්තා. පැය බාගෙකටත් වැඩිය මම ඒ විදියට හිටගෙන ආවා. පුදුම වැඩේ කියන්නේ මිනිස්සු එහාට මෙහාට යන වෙලාවට එහා මෙහා වෙලා ඉඩ දෙන්න වුනාම ඇරෙන්න මට බරපතල වේදනාවක් දැනුනේ නෑ. මම බහින තැන ලං වෙනකොට ටිකක් සෙනග අඩු වෙන නිසා ලොකු කරදරයක් නැතුව බස් එකෙන් බහින්න මට පුළුවන් වුනා.

බස් එකෙන් බැස්සම තමයි මට සැබෑ වෙනසක් තේරුනේ. කලින් තිබුන වේදනාවෙන් බාගයකටත් වැඩිය අඩු වේදනාවක් තමයි දැන් දැනුනේ. ඒ වුනත් මම පරිස්සම් වුනේ මේ තාවකාලික සමනය වීමක් විතරක් කියලා හිතාගෙන. නමුත් දවස ගත වෙද්දී වේදනාව තවත් අඩු වුනා මිස වැඩි වුනේ නෑ. එදා හවස මම ගෙදර ඇවිත්, ටිකක් අමාරුවෙන් වුනත් චේ ගැන පෝස්ට් එක ටයිප් කළා.

පැය බාගයක් බස් එකේ එල්ලිලා ඇවිත් වේදනාවෙන් බාගයක් අඩු වුනා නම්, පැයක් විතර ආවානම් ලෙඩේ නිට්ටාවටම සනීප වෙන්නත් ඉඩ තිබුනා. ඇත්තටම, ප්‍රයිවට් බස්වලින් යද්දී අතපය කැඩෙන්න වගේම ඇතැම්විට අතේ පයේ ලෙඩ සනීප වෙන්නත් ඉඩ තියෙන බව මට තේරුම් ගියේ එදා තමයි.

Sunday, November 25, 2012

ජපන් මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වෙයිද?


ජපන් ඩයට් සභාවේ පහල මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සභිකයන් තෝරා ගැනීම සඳහා වන මහ මැතිවරණය ළඟ එන දෙසැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතය. ජපන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 480ක් වන අතර ඉන් තුන්සියදෙනෙක් ආසන මට්ටමෙන්ද ඉතිරි 180 සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේද තෝරාගනු ලැබෙති. සමානුපාතිකව තෝරාගන්නා නියෝජිතයන් පත්කරගැනීම සඳහා ජපානය මැතිවරණ දිස්ත්‍රික්ක එකොළහකට බෙදා ඇත.

National Diet Building of Japan. Wikimedia Commons



මෙවර ජපන් මැතිවරණය පෙර මැතිවරණ බොහොමයක් මෙන් නොව පැහැදිලි අවිනිශ්චිත බවක් පෙන්වයි. ඊට හේතුව වන්නේ කිසිදු පක්ෂයකට රටේ පැහැදිලි ජනප්‍රියත්වයක් නොමැති වීමයි. පාලක ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව ඇති අතර දැනට ප්‍රකාශයට පත්ව ඇති ජනමත විමසීම්වලට අනුව එයට ඡන්දය දෙන ඡන්දදායකයින් ගණන 20% සීමාවටත් වඩා අඩු වනු ඇත. කෙසේ වුවද මෙහි අදහස ප්‍රධාන විපක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජනප්‍රියත්වයට පත්ව ඇති බව නම් නොවේ. 1950 දශකයේ සිට 2009 වනතුරු අඩසියවසක්ද ඉක්මවූ දීර්ඝ කාලයක් මුළුල්ලේ මාස කිහිපයක් හැරුණුවිට මුළු කාලයම ජපානය පාලනය කලේ එම පක්ෂයයි. එහෙත් ජනතාව යලිත් එම පක්ෂය බලයට පත් කිරීමට මැලිකමක් දක්වන බව පෙනේ.

ප්‍රධාන පක්ෂ දෙකෙහි ජන අප්‍රසාදය හමුවේ ලැබී ඇති ඉඩ හසර ප්‍රයෝජනයට ගෙන ඇත්තේ දක්ෂිනාංශික පක්ෂ කිහිපයකි. මෙයින් එක කුඩා පක්ෂයක් වූ ෂින්තාරෝ ඉෂිහාරාගේ "සූර්යය උදාව" පක්ෂය (Sunrise Party) තොරූ හෂිමොටෝගේ ජපන් ප්‍රතිස්ථාපන පක්ෂය (Japan Restoration Party) සමඟ ඒකාබද්ධ විය. මෙම පක්ෂ දෙක අතර ඇතැම් කරුණු අරබයා මතවාදී වෙනස්කම් පවතින බවද නොසලකා මෙම එකමුතුව ඇති කරගන්නා ලදී. විශේෂයෙන්ම අද වනවිට ජපානයේ සංවාදයට තුඩු දෙන ප්‍රධානතම මාතෘකාවක් වන න්‍යෂ්ටික බලශක්තියේ අනාගතය පිලිබඳ මෙම නායකයින් දෙදෙනා අතර එකඟත්වයක් නොපවතී. කෙසේ වුවද මෙය, ප්‍රධාන පක්ෂ දෙකම අපකීර්තියට පත්ව ඇති අවස්ථාවක, කල දුටු කල වල ඉහගැනීමේ අදහසින් ඇති කරගත් දේශපාලනික සන්ධානයක් බව පෙනී යයි.

හෂිමොටෝගේ ජපන් ප්‍රතිස්ථාපන පක්ෂය ටෝකියෝ අගනුවරින් එපිට මූලස්ථානය පවතින එකම ජාතික මට්ටමේ ජපන් දේශපාලන පක්ෂය විය. හෂිමොටෝ ජපානයේ දෙවන විශාලතම නගරය වන ඔසාකා නගරයේ නගරාධිපතිවරයාය. මෑතක් වනතුරු ටෝකියෝ පළාතේ ආණ්ඩුකාරවරයා වූ ඉෂිහාරා සමඟ සන්ධානගත වීමෙන් හෂිමොටෝට අගනුවර ප්‍රදේශයෙන් වැදගත් දේශපාලන මිත්‍රයකු සොයා ගැනීමට හැකිවී ඇත. ඔහු තමාට වඩා වයසින් වැඩි, අසූ වියැති ඉස්හිහාරාට පක්ෂ නායකකම පවා ප්‍රධානය කළේය.

ෂින්තාරෝ ඉෂිහාරා ජපන් දේශපාලනයට අමුතු චරිතයක් නොවේ. අසූ වියැති ඉෂිහාරා ඩයට් සභාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට මුලින්ම පත් වූයේ 1968 වසරේය. 1972-1995 සමයේ පහල මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කල ඔහු 1995 දී සිදුවූ "ඕම් ෂින්රිකියෝ" සංවිධානයේ සැරින් වායු ප්‍රහාර සිද්ධියෙන් පසු එකවරම ඩයට් සභාවෙන් ඉල්ලා අස් විය. ඉෂිහාරා එම සංවිධානයට සහය දැක්වූ අයෙකු බව කියවේ. නැවතත් 1999 දී ටෝකියෝ ආණ්ඩුකාරයා බවට පත්වන ඔහු 2012 නොවැම්බරයේදී එම තනතුරෙන් ඉවත් වූයේ ළඟ එන මැතිවරණය සඳහා තරඟ කිරීමටය.

ෂින්තාරෝ ඉෂිහාරා, U.S. Navy photo by Mass Communication Specialist Seaman Adam York, Wikimedia Commons



දැඩි දක්ෂිනාංශිකයකු වන ඉෂිහාරා 2002 වසරේදී ඕස්ට්‍රේලියාවේ ABC ආයතනය මගින් හඳුන්වා දෙන ලද්දේ "ජපානයේ ලේ පෙන්" වශයෙනි. මහජන චීන සමූහාණ්ඩුව කෙරෙහි දැඩි විරෝධාකල්පයක් දරන ඔහු වැනි නායකයින් කරලියට පැමිණීම තුලින් චීනය සහ ජපානය අතර මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සමහන් වීමේ හැකියාව තවත් අඩු වනු ඇතැයි සිතිය හැක. ජපානයේ මීළඟ ආණ්ඩුව දකුණට බර සභාග ආණ්ඩුවක් වන බව පැහැදිලිය. ආර්ථික අවපාතය, න්‍යෂ්ටික බලශක්තියේ අනාගතය, සමුද්‍ර දේශ සීමා ගැටුම් යනාදිය සම්බන්ධයෙන්ද, රටේ වැඩිහිටි ජනගහනය වැඩි වීම සමඟ ඇතිවන සමාජ ආර්ථික ගැටළු සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා ප්‍රබල ආණ්ඩුවක අවශ්‍යතාවයක් ඇති මෙවන් අවධියක දුර්වල සභාග ආණ්ඩුවක් ඇති වීම ජපානයට එතරම් හිතකර නොවනු ඇත.

Wednesday, November 14, 2012

ඇමරිකාවේ මැතිවරණවලදී ඔසාමා බින් ලාඩ්න් තවමත් වැදගත් චරිතයකි


වසර අටකට පෙර 2004 නොවැම්බරයේදී ඇමරිකානුවෝ ඊළඟ සිව් වසර සඳහා සිය ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට ඡන්දය දුන්හ. එම ජනපති සටන එවකට ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්. බුෂ් සහ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝන් කෙරී අතර කරට කර සටනක් වනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තු වූහ. එහෙත් ජෝර්ජ් ඩබ්. බුෂ් එම සටන බලාපොරොත්තු වූවාට වඩා පහසුවන් ජය ගත්තේය. මේ සඳහා වැදගත් සාධකයක් බවට පත් වූයේ මැතිවරණයට දින කිහිපයක් තිබියදී නිකුත් වූ ඔසාමා බින් ලාඩ්න්ගේ වීඩියෝ පටයකි. යලිත් තමන් ඉදිරියේ අල් කයිඩා නායකයා මෙසේ ප්‍රාදුර්භූත වීම, ඇතැම් ඇමරිකානුවන් තුල සිය ආරක්ෂාව පිලිබඳ චකිතයක් ඇති කළේය. ත්‍රස්ත විරෝධී සටනට වඩා හොඳින් නායකත්වය දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූයේ එවකට ජනාධිපති වූ බුෂ්ය. එහෙයින්, ඇතැම් ඇමරිකානුවෝ බුෂ්ට ඡන්දය දීමට තීරණය කළහ. එය ඔහුට ජනපති සටන ජය ගැනීමට අමතර රුකුලක් වූයේය.

ඔසාමා බින් ලාඩ්න් මිය ගොස් දැනට වසර එකහමාරකි. ඔහුගේ අල් කයිඩා සංවිධානයද බොහෝ දුරට අඩපණව ඇත. (නමුත් එයට සම්බන්ධ ඇතැම් ත්‍රස්ත කණ්ඩායම් තැනින් තැන තවමත් හිස ඔසවාගෙන සිටියි). කෙසේ වුවද, කලක් ඇමරිකානුවන් බිය ගැන්වූ බින් ලාඩ්න් අදටද එරට දේශපාලනය කෙරෙහි යම් බලපෑමක් කරන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. අබොටබාද් නගරයේ වූ බින් ලාඩ්න්ගේ අවසන් වාසස්ථානයට එල්ලවූ ඇමරිකානු ප්‍රහාරය පිලිබඳ වාර්තාමය චිත්‍රපටයක් එරට ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රූපවාහිනියේ තිරගත කිරීමට National Geographic චැනලය කටයුතු කලේ එම විශ්වාසය හේතුවෙන් යයි සැකයක් උපදී.

ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාඩ්න්, Wikimedia Commons



ජෝන් ස්ටොක්වෙල්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු "Seal Team Six: The Raid on Osama bin Laden" චිත්‍රපටයෙහි එක් තිර රචකයකු සහ විධායක නිෂ්පාදකයකු ලෙස වැදගත් කාර්යභාරයක් සිද්ධ කල හාර්වි වෙයින්ස්ටයින් ජනපති බරක් ඔබාමාගේ ප්‍රබලතම ආධාරකරුවෙකි. National Geographic චැනලයේ සභාපති හොවාර්ඩ් ඔවන්ස් සඳහන් විශ්වාස කරන ආකාරයට, "හාර්විගේ දැඩි කැපවීම සහ ඔහු අපගේ ආයතනය කෙරේ තැබූ විශ්වාසය නොවන්නට මෙම චිත්‍රපටය විකාශය වීම මෙතරම් සාර්ථක අවස්ථාවක් නොවන්නේය."

ඔබාමාගේ ආධාරකරුවකු අතින් නිර්මාණය වූවා පමණක් නොව මෙම චිත්‍රපටයට ඔබාමාගේ කතා කිහිපයක කොටස්වල වීඩියෝපට අඩංගු වී ඇත. ඔසාමා බින් ලාඩ්න් මරා දැමුණු පසු "සාධාරණය ඉටු කරනු ලැබුනා" යයි ඔබාමා ප්‍රකාශ කල අවස්ථාව ඉන් එකකි. චිත්‍රපටය අවසානයට යොදාගන ඇත්තේ එම කතාවයි. ඒ අනුව, විවේචකයින් විසින් මෙම චිත්‍රපටය ජනපති ඔබාමාගේ ප්‍රචාරක ව්‍යාපාරයෙහි කොටසක් බවට පැවසීමෙහි යම් සත්‍යතාවයක් නැතුවාම නොවේ.

කෙසේ වුවද චිත්‍රපටය විකාශය වූ National Geographic චැනලයෙහි ප්‍රධාන හිමිකරු වන්නේ දැවැන්ත මාධ්‍ය අධිරාජ්‍යයක් හිමි එමෙන්ම දැඩි කොන්සර්වටිව් මතධාරියකු වන රූපර්ට් මර්ඩොක්ය. එවැන්නෙකුට අයත් ආයතනයක් මගින් ඔබාමා පිලිබඳ ධනාත්මක රූපයක් දක්වන චිත්‍රපටයක් විකාශය වීම එක්තරා ආකාරයක පුදුමයකි. මැතිවරණයට දින දෙකකට පෙර මෙම චිත්‍රපටය විකාශය කිරීම මගින් වැඩි ජනතා අවධානයක් දිනා ගැනීමට චැනලය සමත් විය. ඇමරිකාවේ ලක්ෂ ගණනක් නිවෙස් සැන්ඩි චණ්ඩ මාරුතයෙන් පසු විදුලිය නොමැතිව අඳුරේ තිබියදී පවා මිලියන 2.7 ක් ජනතාව චිත්‍රපටය නරඹා තිබේ. මේ අනුව මෙම වසරෙහි වැඩිම ජනතාවක් විසින් නරඹනු ලැබූ National Geographic වැඩසටන මෙය වූ අතර වසර 15 ක ඉතිහාසය තුල එම චැනලයෙන් විකාශය වූ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් නරඹන ලද වැඩසටහන් අතර හයවැන්න බවට එය පත් විය.

ඔසාමා බින් ලාඩ්න්ගේ අවසානය දුටු "Neptune Spear" (නෙප්චූන් ස්පියර්-නෙප්චූන්ගේ හෙල්ල) මෙහෙයුමෙන් පසු ජනපති ඔබාමා ප්‍රකාශ කලේ එය ස්වකීය ජනාධිපති ධූර කාලයෙහි වැදගත්ම දිනය වූ බවයි. 2012 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර කරන ලද සමීක්ෂණයකින් කියවුනේ ජනපති ඔබාමා ප්‍රතිවාදී රොම්නිට වඩා හොඳ ප්‍රධාන අණ දෙන නිලධාරියකු වනු ඇති බව බහුතරයක් ඡන්ද දායකයන් විශ්වාස කල බවයි. "Seal Team Six: The Raid on Osama bin Laden" චිත්‍රපටයෙන් එම විශ්වාසය මදක් හෝ වැඩි වන්නට ඇත. තවමත් ඔසාමා බින් ලාඩ්න් ඇමරිකානු දේශපාලනයට නැතුවම බැරි චරිතයකි.

Tuesday, November 13, 2012

කව්ද මේ යොවෙරි මුසවේනි?


උගන්ඩාවේ ජනාධිපති යොවෙරි මුසවේනි මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු අප්‍රිකාවේ දීර්ඝතම කාලයක් බලයෙහි සිටින පාලකයෙකි. 1986 ජනවාරි 29 වනදා උගන්ඩාවේ ජනාධිපති ධූරයට පත් වූ හෙතෙම වසර 27කට ආසන්න කාලයක් අඛණ්ඩව එම ධූරයෙහි කටයුතු කොට ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ උගන්ඩා ජනපති ධූරය කරා ඔහු පැමිණි ගමන පිළිබඳ කෙටියෙන් විමසා බැලීමය.

London, 11th July 2012. President Yuweri Museveni of Uganda, speaking at the London Summit on Family Planning.

Picture: Russell Watkins/Department for International Development, Wikimedia Commons



යොවෙරි මුසවේනි උපත ලැබුයේ 1944 අගෝස්තු 15 වනදා දකුණුදිග උගන්ඩාවේ න්ටුන්ගානෝ ප්‍රදේශයේ බව කියවේ. ඔහු බන්යන්කෝලේ ජාතිකයෙකි. එනම් උගන්ඩාවේ සාම්ප්‍රදායික රාජධානි 4න් එකක් වූ අන්කෝලේ රාජධානි වැසිකි. මූලික අධ්‍යාපනයෙන් අනතුරුව යාබද ටැන්සානියාවේ ඩාර්-එස්-සලාම් සරසවියට ඇතුළු වූ හෙතෙම එහිදී ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව හැදෑරීය. මෙකල ඔහු වාමාංශික දේශපාලනයට යොමු වූයේය. තවද, සමකාලීන අප්‍රිකාවේ, වෙසෙසින්ම ටැන්සානියාව ඇතුළු ඇතැම් රටවල, ජනප්‍රිය දර්ශනයක් වූ "සමස්ථ-අප්‍රිකානුවාදී දර්ශනය" (Pan-Africanism) එනම්, අප්‍රිකානු වැසියන් එක්සත් විය යුතු බවට පිළිගත් දර්ශනය වෙත ද මුසවේනි නැඹුරු විය. තවද, මොසැම්බික් රාජ්‍යයේ නිදහස් සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයෙහි සංචාරය කල මුසවේනි එහිදී ගරිල්ලා සටන් ශිල්පය උගත්තේය. එය ඔහුගේ පසු කාලීන දේශපාලනයට ඉතා වැදගත් විය.

1970 දී උගන්ඩා රාජ්‍ය ඔත්තු සේවයට බැඳුනු මුසවේනි 1971 වසරේ ජනවාරියේදී ඉඩි අමීන් සිදු කල හමුදා කුමන්ත්‍රණයෙන් පසු යලි ටැන්සානියාවට ගියේය. එහිදී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ (Front නම් තමන්ගේම දේශපාලන සංවිධානයක් පිහිටුවාගත් මුසවේනි දිගටම ඉඩි අමීන්ට එරෙහිව දේශපාලන කටයුතුවල නිරත විය.

1978 අග භාගයේදී උගන්ඩා හමුදා විසින් ටැන්සානියාව ආක්‍රමණය කරන ලදී. මෙම අවස්ථාවේ ටැන්සානියාවේ සිටි උගන්ඩා විපක්ෂ කණ්ඩායම් එක්සත් පෙරමුණක් පිහිටුවා ගත්හ. උගන්ඩා ජාතික විමුක්ති පෙරමුණ (Uganda National Liberation Front-UNLF) නම් වූ එහි විධායක කමිටුවට මුසවේනි පත් විය. එම ව්‍යාපාරයේ සන්නද්ධ අංශය වූ උගන්ඩා ජාතික විමුක්ති හමුදාව (Ugandaa National Liberation Army-UNLA) ටැන්සානියානු හමුදාවට සහය පල කරමින් සටන් බිමට බැස්සාහ. 1979 අප්‍රේල් 10 වනදා කම්පාලා නගරය ටැන්සානියානු සහ UNLA භටයන් අතට පත් විය. ඉඩි අමීන් උගන්ඩාවෙන් පලා ගියේය.

උගන්ඩාවේ පාලනය අතට ගත් උගන්ඩා ජාතික විමුක්ති පෙරමුණ විවිධ කණ්ඩායම් එකාබද්ධව සැදුනක් නිසා එහි නායකයින් අතර ගැටුම් ඇති වීමට වැඩි කලක් නොගියේය. 1979 මැයි මාසයේ උගන්ඩාවේ ආරක්ෂක ඇමති බවට පත් වූ මුසවේනි වර්ශාවසානයට පෙර වෙනත් ඇමති ධූරයකට මාරු කෙරින. 1979 ජූනි මාසයේදී පාලන බලය සියතට ගත් ගොඩ්ෆ්‍රි බිනයිසා ආරක්ෂක ඇමති ධූරය තමන් වෙත පවරා ගැනීමත් සමඟ මෙය සිදු විය. එහෙත් 1980 මැදදී පක්ෂය තුලින් මතුවූ කැරැල්ලකින් බිනයිසා ඉවත් කරන ලදී. ඉනික්බිතිව, 1980 දෙසැම්බරයේ මහා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණි.

1980 දෙසැම්බර් මැතිවරණයේදී ජාතික ව්‍යවස්ථාදායකය සඳහා මන්ත්‍රීවරු 126 දෙනෙක් තෝරා ගන්නා ලදහ. මෙම මැතිවරණය බෙහෙවින් දූෂිත එකක් වූ බව පැවසේ. හිටපු ජනපති මිල්ටන් ඔබොටේ නායකත්වය දුන් උගන්ඩා මහජන කොන්ග්‍රසය (Uganda People's Congress-UPC) ආසන 73ක් දිනා ගත්තේය. යොවෙරි මුසවේනිද, උගන්ඩා දේශප්‍රේමී ව්‍යාපාරය (Uganda Patriotic Movement-UPM) නමින් තමන්ගේම පක්ෂයක් පිහිටුවාගෙන තරඟ කලමුත් එම පක්ෂයට ලැබුනේ එක ආසනයක් පමණි.

මැතිවරණ ප්‍රතිපල අභියෝගයට ලක් කල යොවෙරි මුසවේනි සිය නිජ බිම වූ දකුණුදිග උගන්ඩාවට ගොස් ජනප්‍රිය විරෝධතා හමුදාව (Popular Resistance Army-PRA) නම් සංවිධානයක් පිහිටුවා ගනිමින් දෙවැනි ඔබොටේ රජයට එරෙහි සන්නද්ධ අරගලයකට මුල පිරුවේය. හිටපු ජනාධිපතිවරයකු වූ යුසුෆු ලුලේ නායකත්වය දුන් උගන්ඩා නිදහස් සටන්කාමීන් (Uganda Freedom Fighters-UFF) සමඟ එකතු වීමෙන් ජාතික විරෝධතා හමුදාව (National Resistance Army-NRA) පිහිටුවා ගැනීමට මුසවේනි කටයුතු කළේය. එහි දේශපාලන අංශය වූයේ ජාතික විරෝධතා ව්‍යාපාරයයි (National Resistance Movement-NRM). මේ අතර මුසවේනිට රුවන්ඩාවෙන් සරණාගතයින් ලෙස පැමිණ දකුණු උගන්ඩාවේ විසූ ටුට්සි ගෝත්‍රිකයින්ගේ සහයද ලැබුන අතර ඔවුහූ NRA සංවිධානය තුල විශාල කාර්යභාරයක් ඉටු කළහ. කෙසේ වුවද යුද්ධය සඳහා ළමා සොල්දාදුවන් යොදවා ගැනීම පිළිබඳව ඔහුට මෙකල චෝදනා එල්ල වූයේය.

1980-85 දෙවැනි ඔබොටේ ආණ්ඩුව දැඩි ප්‍රජා පීඩක පාලනයක් විය. 1985 දී ඔහු බලයෙන් ඉවත් කල හමුදාපති ලුතිනන් ජනරාල් ටිටෝ ඔකෙල්ලෝ සමඟ සාම සාකච්ඡා ඇරඹීය. නයිරෝබි නගරයේ පැවති මෙම සාකච්ඡා අවසානයේදී සාම ගිවිසුමකට එළඹී නමුත් එය ඉතා කෙටි කලකින් බිඳ වැටිණ. මේ අතර 1986 ජනවාරියේදී කම්පාලා දෙසට සාර්ථක මෙහෙයුමක් දියත් කිරීමට ජාතික විරෝධතා හමුදාව සමත් විය. රජයේ හමුදා පසු බැස ගිය අතර ජනවාරි 26 වනදා මුසවේනිගේ හමුදාවෝ නගරය යටත් කළහ. ඉන් තෙදිනකට පසු ඔහු උගන්ඩාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

Thursday, November 8, 2012

මිට් රොම්නි ජනපති ඔබාමා හමුවේ පරාජය වූයේ ඇයි?



ඇමරිකා එක්සත් ජනපද 2012 ජනපතිවරණය අවසන් වූයේ ජනපති බරක් ඔබාමා තවත් සිව් වසරකට එරට ජනාධිපති ලෙස තෝරා ගැනීමෙනි. මේ අනුව, 2013 ජනවාරි 20 වනදා ඔහු සිය දෙවැනි ධූර කාලය අරඹනු ඇත. මෙම ඡන්ද සටනේදී ඔහුට හොඳ සටනක් දීමට රිපබ්ලිකන් පාක්ෂික මිට් රොම්නි සමත් විය. කරට කර සටනක්ව පැවති ඡන්ද සටන අවසානයේදී ඔබාමා විසින් බලාපොරොත්තු වූවාටත් වඩා පහසුවෙන් ජයග්‍රහණය කරන ලදී. මේ සඳහා කරුණු කිහිපයක්ම බලපෑ අතර, ඒ ඇතැම් කරුණු නිවැරදි නොකරගතහොත් රිපබ්ලිකන් පක්ෂයට මෑතකදී ජනාධිපතිවරණයක් ජය ගැනීම අපහසු වන බව පැහැදිලිය.

ජනපති බරක් ඔබාමා පළමුවර සිය ධූරයේ දිවුරුම් දීම (2009 ජනවාරි 20), US President Barack Obama taking his Oath of Office - 2009Jan20, Pic. by Master Sgt. Cecilio Ricardo, U.S. Air Force, Wikipedia Commons



මෙවර ජනාධිපතිවරණයේ මූලිකම සාධකය වූයේ ආර්ථිකය යයි කිව හැකි වුවද එයින් ජනපති ඔබාමාට සිදුවූ පාඩුවට වඩා මිට් රොම්නිට සිදුවූ පාඩුව වැඩිය. ඇමරිකාවේ අද පවතින ආර්ථික අපහසුතාවලට ඇතැමුන් තවමත් චෝදනා කරන්නේ වත්මන් ජනාධිපතිවරයාට නොව, හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ්ටය. රොම්නි වෘත්තියෙන් සාර්ථක ව්‍යාපාරිකයකු වීම හේතුවෙන් ඔහුගේ ආර්ථික කළමනාකරණ හැකියාව කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තැබූ නමුත් ඔහුගේ සහ ඔබාමාගේ ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් එයින් විශාල වාසියක් ලබා ගැනීමේ හැකියාව ඔහුට නොලැබුණි.

වසර කිහිපයකට පෙර ජනපති ඔබාමා මැදිහත්ව බංකොලොත් වෙමින් පැවති මෝටර් රථ කර්මාන්තය එම උවදුරෙන් ගලවා ගැනීම හේතුවෙන් ඔහුට කලගුණ දැක්වූ ඔහයෝ වැසියෝ එම ප්‍රාන්තය ඔහුට දිනා දුන්හ. එමෙන්ම, රෝම්නිගේ ඇතැම් ප්‍රකාශයන්-විශේෂයෙන්ම බදු නොගෙවන 47% ක් පිලිබඳ ප්‍රකාශය-හේතුවෙන් බියට පත් වූ මධ්‍යම පාන්තිකයන් වැඩිපුර ඇදුනේ ඔබාමා දෙසටය. විශ්‍රාමිකයන් සැලකිය යුතු පිරිසක්ද ඔබාමා වෙත ඡන්දය පල කළහ. නිව් හැම්ප්ෂයර් ජනපදයේ කොන්කෝර්ඩ් නගරයේදී ඔබාමා කල "අපි ආපස්සට යන්නට බැරි තරම් ඉදිරියට පැමිණ තිබෙනවා. අපට අත හරින්නට බෑ. මේ ඉදිරියටම යාමට කාලයයි" යන ප්‍රකාශය සමඟ ජනතාවගෙන් බහුතරයක් එකඟ වූ සෙයක් ජනාධිපතිවරණ ප්‍රතිපලයෙන් පෙනී යයි.

කියවන්න ඇමරිකානු ජනපතිවරණ සටනේ ඔබාමා-රොම්නි කරට කර තරඟයක

මේ අතර ඇමරිකාවේ විවිධ ජනවර්ග අතර මෙන්ම තරුණ ප්‍රජාව සහ කාන්තාවන් අතරද ඔබාමා සිය ප්‍රතිවාදියාට වඩා බොහෝ ජනප්‍රිය බව පැහැදිලි විය. ඡන්ද දායකයන්ගෙන් 72% වූ සුදු ජාතිකයන්ගෙන් ඔබාමාට ඡන්දය දුන්නේ 39% ක් පමණි. වසර හතරකට පෙර ඡන්දදායකයින් 74% ක් සුදු ජාතිකයන් වූ අතර එයින් 43% ක් ඔබාමා දිනා ගත්තේය. මේ අනුව, සුදු ජාතික ඡන්ද ප්‍රතිශතය අඩු වීම ඡන්දදායකයින් ප්‍රතිශතය අඩු වීම මගින් බොහෝ දුරට නිශේධනය කර ඇත.

මේ අතර 2008 දී 17%ක් පමණ වූ තරුණ (අවුරුදු 18-29) ඡන්ද දායකයෝ 66%ක් ඔබාමාට ඡන්දය දුන්හ. මෙවර ඔවුන්ගෙන් ඔබාමා වෙනුවෙන් ඡන්දය දුන් පිරිස 60%ක් පමණක් වුවද මුළු ඡන්ද දායකයින්ගෙන් 19% තරුණයින් වූ නිසා එම අඩු වීමද බොහෝ දුරට නිශේධනය විය.

රිපබ්ලිකන් පක්ෂයට බලවත්ම ගැටලුව එල්ල වන්නේ ලැටීනෝ ජාතිකයන්ගෙනි. 2008 ඡන්දයේදී මුළු ඡන්ද දායකයින්ගෙන් 9%ක් වූ ඔවුන්ගෙන් 67%ක් ඔබාමා වෙත ඡන්දය දුන් අතර මෙවර මුළු ඡන්ද දායකයින්ගෙන් 10% ක් වූ ඔවුන්ගෙන් 71% ක් ඔබාමාට ඡන්දය දුන්හ. ලැටීනෝ ඡන්ද දායකයෝ ප්‍රාන්ත කිහිපයකදීම ඔබාමාට ජයග්‍රහණය ගෙන දීමට උපකාර කළහ.

සුදු ජාතික ඡන්ද දායකයින් ප්‍රතිශතය කෙමෙන් පහල යන අතර අප්‍රිකානු-ඇමරිකානු ඡන්ද දායක ප්‍රතිශතය 13% ක් නියතව තිබියදී ලැටීනෝ ඡන්ද දායක ප්‍රතිශතය ඉහල යමින් පවතී. මීට හේතුව සංක්‍රමණ පමණක් නොවේ. සුදු සහ අප්‍රිකානු-ඇමරිකානු ජනතාවට වඩා ලැටීනෝ ජනතාවගේ ස්වාභාවික ජන ගහන වර්ධනය මදක් ඉහල වීමද ඊට හේතුවකි. ලැටීනෝ ජනතාව සැලකිය යුතු පිරිසක් වසන ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් හෝ විශේෂ නැඹුරුවක් නැති ජනපද කිහිපයක් වේ. මේ හේතුවෙන් කලකට පෙර 'වැට උඩ' තිබූ නිව් මෙක්සිකෝ වැනි ජනපද මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂය දෙසට තල්ලු වෙමින් පවතී. රිපබ්ලිකන් පක්ෂය ලැටීනෝ ඡන්ද දායකයන් ආමන්ත්‍රණය කිරීමට පියවර නොගත හොත් වැඩි කල් නොගොස් එම පක්ෂය 'කොට උඩ' වීමට ඉඩ ඇත.

මේ අතරම ඡන්ද ව්‍යාපාරය තුලදී රොම්නි කඳවුර අතින් වූ ඇතැම් අඩු පාඩු සහ ඔබාමා කඳවුරේ ඇතැම් නිවැරදි තීරණ තරඟය කෙරෙහි ඍජු බලපෑමක් කළේය. ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරය රොම්නිගේ ඡන්ද ව්‍යාපාරයට වඩා ජනතාවට සමීප, එමෙන්ම බිම් මට්ටමේ එකක් වූයේය. ඔබාමාගේ මැතිවරණ කාර්යාල වඩා හොඳින් සිය ආධාරකරුවන් සහ ස්වේච්ඡා ක්‍රියාකාරීන් මෙහෙයවීය. මේ අතර, මැතිවරණ දිනයට කලින් ඡන්දය භාවිතා කිරීමට ඉඩ දෙන සෑම ස්ථානයකම කලින් දිනයක ඡන්ද දීමට ඔබාමා සිය ආධාරකරුවන් පෙළඹවීය. මේ හේතුවෙන් සිදුවූ වාසිය නම් ජනාධිපතිවරයාට කොහොමටත් ඡන්දය දෙන අය සැලකිය යුතු ප්‍රමාණයක් කලින්ම ඡන්දය භාවිතා කිරීමයි. එහෙයින්, ඔබාමාගේ ආධාරකරුවන්ට ප්‍රමාදවීම් සහ වෙනත් අබග්ගයන් නිසා ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමි නොවීය. තවද, ඔහුගේ ප්‍රබලම ආධාරකරුවන්ගේ කාලය මැතිවරණ දිනය තුලදී, ඡන්දය දීමට පෝලිමේ සිටිනවාට වඩා වැදගත් කාර්යයන් සඳහා යොදවා ගත හැකි විය.

එසේම රොම්නිගේ අසාර්ථකත්වයට තවත් හේතුවක් වූයේ ඔහුට ඡන්දයට පෙර බලාපොරොත්තු වූවාට වඩා වැඩි යමක් කරන්නට නොහැකි වීමය. මැතිවරණයට පෙර ඔබාමාට ඡන්ද විද්‍යාල නියෝජිතයින් 237ක් සහ රොම්නිට නියෝජිතයින් 206 ක් ලැබීමට බොහෝ ඉඩ තිබිණ. මේ අනුව තවත් 95 දෙනෙකු පිලිබඳ අවිනිශ්චිතභාවයක් තිබුණි. අදාළ ප්‍රාන්ත අටම ජය ගනිමින් ඒ නියෝජිතයින් සියල්ලම දිනා ගත්තේ ඔබාමාය. මේ අනුව 'වැට උඩ' ප්‍රාන්ත කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබාමා ජය ලැබීය. රොම්නි උත්සාහ කලේ සාමාන්‍යයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට බර ඇතැම් ප්‍රාන්ත තමා වෙත දිනා ගැනීමට උත්සාහ කිරීමයි. 2008 දී බරක් ඔබාමා රිපබ්ලිකානුවන්ට බර ප්‍රාන්ත කිහිපයක් තමන් වෙත දිනා ගත්තේය. එහෙත් ඒ අවස්ථාවේ ඔබාමාට තිබූ වාසි රොම්නිට නොවීය. ඔහුගේ ඩිමොක්‍රටික් ජනපද 'බිලී බාගැනීමේ' උත්සාහය අසාර්ථක විය.

මේ අතර එවැන්ජෙලිකල් සහ කතෝලික ආගමිකයින්ද බලාපොරොත්තු වූවාට වඩා ඔබාමා වෙත සහාය පල කර සිටියහ. ඔබාමාගේ සම ලිංගික විවාහ සහ ගබ්සාව පිලිබඳ අදහස් හේතුවෙන් ඔවුනගේ ඡන්ද අඩු වීමක් බලාපොරොත්තු වූ නමුත් සිදුව ඇත්තේ අනෙකකි. දැඩි මතධාරී රිපබ්ලිකානුවන් මේ පිලිබඳ ඔබාමා වෙත සිය විරෝධය පල කලද, තරුණ ඡන්ද දායකයන් වැඩි දෙනෙක් එය එතරම් සැලකිල්ලට නොගත් බවක් දිස්වේ. විශේෂයෙන්ම ශක්තිමත් රිපබ්ලිකානු බල කඳවුරුවලින් පිටත දැඩි මතධාරී "ටී පාර්ටි" රිපබ්ලිකානුවනට එතරම් සහයක් නොලැබුණු බවක්ද පෙනේ. මේ සඳහා වැදගත්ම සාක්ෂියක් වන්නේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනට් සභා ඡන්දයේදී සම ලිංගික කාන්තාවක වන ටැමී බෝල්ඩ්වින්ගේ ජයග්‍රහණයයි.

කෙසේ වුවද ඇතැම් දැඩි මතධාරී රිපබ්ලිකානුවන් මිට් රොම්නිව සැලකූවේ ලිබරල්වාදියෙකු ලෙසය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙක් රොම්නිට ක්‍රියාකාරීව සහාය පල නොකළහ. තවද දැඩි එවැන්ජෙලිකල් භක්තිකයන් සමහරෙක් මිට් රොම්නිට අකමැති වූවේ ඔහු මොර්මන් භක්තිකයකු වන බැවිනි. මෙහි අවසාන ප්‍රතිපලය වූයේ, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වාද භේද ඉවත ලා ජනපති ඔබාමා පසු පස පෙළ ගැසෙද්දී, රිපබ්ලිකානුවන් සමහරෙක් රොම්නි වෙත සහය නොදීමයි. ජනාධිපතිවරණයෙන් රොම්නි පරාජය වූ පසු කොන්සර්වටිව් "ටී පාර්ටි" සාමාජිකයින් මේ වනවිටත් ඔහු විවේචනය කිරීම අරඹා ඇත.

විශේෂයෙන්ම බරක් ඔබාමා පළමු වර ජනපති ධූරයට පත් වූ පසු ඇමරිකාවේ ලිබරල් සහ කොන්සර්වටිව් දේශපාලනික මතවාදී බෙදීම වඩා ප්‍රචලිත වූ අතර රිපබ්ලිකන් පක්ෂය තුල පවා වඩා කොන්සර්වටිව් කණ්ඩායමක් ඇති විය. එහෙත්, 2012 ජනාධිපතිවරණයෙන් දිස් වන කරුණ නම් කාලානුරූපව වෙනස් වීම සඳහා දේශපාලන පක්ෂයක් අතීතය දෙස නොව අනාගතය දෙස ඇස යොමු කල යුතු බවයි. ඇමරිකානු සමාජයෙහි සිදුව ඇති විවිධාකාර සාමාජයීය වෙනස්කම් හමුවේ ඊට අනුරූපව හැඩ ගැසීමෙන් තොරව රිපබ්ලිකන් පක්ෂයට ජනාධිපතිවරණයක් දිනීම නම් අපහසුය.

Monday, November 5, 2012

ඇමරිකානු ජනපති සටනේ ඔබාමා-රොම්නි කරට කර තරඟයක



ඇමරිකා එක්සත් ජනපද 2012 ඡන්ද සටන තවමත් බෙහෙවින් අවිනිශ්චිත තත්වයක පවතී. ජනපති ඔබාමා සහ මිට් රොම්නි ආසන්න වශයෙන් සමාන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇති බව මේ වනවිට පෙනී ගොස් ඇත. එහෙයින් දෙදෙනාම කරට කර සටනක් පවතින ප්‍රාන්ත කෙරෙහි වැඩි අවධානය යොමු කරනු දැකිය හැක. ඊට හේතුව, මහජන ඡන්ද ප්‍රතිශතය කුමක් වුවද වඩා වැදගත් වන්නේ ඡන්ද විද්‍යාලය වන නිසා එක එක ප්‍රාන්ත ජයගැනීම වඩා වැදගත් බැවිනි.

කියවන්න ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ

නවතම මත විමසුම්වලට අනුව බරක් ඔබාමා ඡන්ද විද්‍යාලයේ ඡන්ද 237 ක් ද මිට් රොම්නි ඡන්ද විද්‍යාලයේ ඡන්ද 193 ක් හෝ 206 ක් හෝ ද ලබා ගනු ඇති බව ස්ථිරවම කිව හැක. ඇතැම් මත විමසුම්වලට අනුව උතුරු කැරොලිනාව රොම්නි විසින් ජයගනු ඇති බව කියවෙතත් (උදාහරණයක් වශයෙන් CNN මත විමසුම) ඇතැම් මත විමසුම්වලින් (උදාහරණයක් වශයෙන් Reuters/Ipsos මත විමසුම) එය ස්ථිර ලෙස ප්‍රකාශ කොට නැත. නමුත් එම ප්‍රාන්තය රොම්නි විසින් ජයගැනීමට වැඩි ඉඩක් ඇතැයි පැවසීම වරදක් නොවේ. මේ අනුව ඔබාමා 237-206 ක් ලෙස ඡන්ද විද්‍යාලයේ ඉදිරියෙන් සිටින බව පැවසිය හැක.
ඔබාමා දිගටම ජනාධිපති වෙයිද?

(Barack Obama looks on during a joint session of Congress (State of the Union-like) on the night of February 24, 2009, Pete Souza, Whitehouse Website)

එසේ නැතිනම් මිට් රොම්නි ඊළඟ ජනාධිපතිවරයා වෙයිද?

Mitt Romney speaking at the Values Voter Summit (Omni Shoreham Hotel) in Washington D.C. on October 7, 2011., Gage Skidmore, Wikimedia Commons

එහෙයින් ඊළඟ සිව් වසර සඳහා ඇමරිකානු ජනපති තේරීමේ සටන ජනපද 8ක සිදුවන සටනක් බවට පත් වී ඇත. එයින් ඡන්ද විද්‍යාලය සඳහා නියෝජිතයන් 95 ක් පත් වීමට නියමිතය. එම ප්‍රාන්ත (ජනපද) සහ ඒ එක එකකින් පත්වන නියෝජිත සංඛ්‍යාව පහත පරිදි වේ.

ෆ්ලොරීඩා ජනපදය 29

ඔහයෝ ජනපදය 18

වර්ජිනියා ජනපදය 13

විස්කොන්සින් ජනපදය 10

කොලරාඩෝ ජනපදය 9

අයෝවා ජනපදය 6

නෙවාඩා ජනපදය 6

නිව් හැම්ප්ෂයර් ජනපදය 4

මෙම සටන් බිම් අට කෙරෙහි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම දැඩි අවධානයක් යොමු කොට ඇත. ඉතා කුඩා ප්‍රාන්තයක් වුවද නිව් හැම්ප්ෂයර් පවා ඔවුනගේ අවධානයෙන් ගිලිහී ගොස් නැත. ඇතැම් ප්‍රාන්තවල ජන රැලි සඳහා අපේක්ෂකයන් දෙදෙනා පෞද්ගලිකව සහභාගී වූ අතර වෙනත් රැලි සඳහා ඔවුනගේ ප්‍රධානතම ප්‍රචාරක සෙන්පතියන් සහභාගී වූහ. රොම්නි වෙනුවෙන් සටන් වදින්නන් අතර 2008 ජනපති අපේක්ෂක ජෝන් මැකේන් ද වෙයි. ඔබාමාට විශාලතම සහයක් ලබා දෙන්නෙකු වන්නේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්ය. ක්ලින්ටන් මේ වනවිට අන් කවරදාටත් වඩා ජනප්‍රිය චරිතයක් බවට පත්වී තිබීම ඔබාමා ජනාධිපතිවරයාට විශාල ශක්තියකි.

නොවැම්බර් 3 වනදා වර්ජිනියා ප්‍රාන්තයේ ඡන්ද රැස්වීමකට සහභාගී වෙමින් ක්ලින්ටන් රොම්නිව දැඩි සේ විවේචනය කලේ ඔහු වැදගත් කරුණු සම්බන්ධව ඍජු ප්‍රතිපත්තියක නොසිටීම පිලිබඳවය. එසේම නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ කොන්කෝර්ඩ් නගරයේදී ක්ලින්ටන්ද සහභාගී වූ රැළියක් සඳහා එක්වෙමින් ජනපති ඔබාමා සිය ආර්ථික ප්‍රතිපත්ති ක්ලින්ටන්ගේ ප්‍රතිපත්ති සමඟ සැසඳීමට උත්සාහ කළේය. "අපි ආපස්සට යන්නට බැරි තරම් ඉදිරියට පැමිණ තිබෙනවා. අපට අත හරින්නට බෑ. මේ ඉදිරියටම යාමට කාලයයි." ඔහු ප්‍රකාශ කළේය.

ළඟදී කල මත විමසීමකට අනුව (CNBC/Wall Street Journal) වසර ගණනක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ රොම්නි වත්මන් ජනාධිපතිවරයාට වඩා හොඳින් ආර්ථිකය කළමනාකරණය කරනු ඇති බවට 47% ක් ඡන්දදායකයෝ විශ්වාස කරති. ඔබාමා වඩා හොඳ ආර්ථික කලමනාකාරියෙකු බව පවසන්නේ 42% ක් පමණි. එහෙත් අන් බොහෝ කරුණු සම්බන්ධයෙන් ඔබාමා සිය ප්‍රතිවාදියාට වඩා ඉදිරියෙන් සිටින බව පෙනේ. ඡන්දදායකයන් 49% ක් ඔබාමාට ධනාත්මක ප්‍රතිරූපයක් ඇති බව කියති. රොම්නිට ධනාත්මක ප්‍රතිරූපයක් ඇති බව කියන්නෝ 45% ක් පමණක් වෙති. එමෙන්ම රටට නායකත්වය සැපයීමේ හැකියාව, හමුදාවලට නායකත්වය දීමේ හැකියාව, කාන්තාවන් සහ මධ්‍යම පාන්තිකයින්ගේ සුභ සිද්ධිය යන කරුණු අරභයා රොම්නිට වඩා විශ්වාසයක් ජනතාව ඔබාමා කෙරෙහි දක්වති.

තීරණාත්මක සටනක් පවතින ප්‍රාන්ත අටෙන් වැදගත්ම එකක් වන ඔහයෝ ප්‍රාන්තයේ ඔබාමා රොම්නිට වඩා ඉදිරියෙන් සිටී. මෙම ප්‍රාන්තයේ සැලකිය යුතු පිරිසක් මෝටර් රථ කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතු අයවලුන්ය. මීට වසර කිහිපයකට පෙර ප්‍රධාන මෝටර් රථ සමාගම් බංකොලොත් වූ විට ඔබාමා රජය මැදිහත් වී ඒවා බේරා ගත්තේය. එකල රොම්නි සඳහන් කොට තිබුනේ එම සමාගම් බංකොලොත් වන්නට දියයුතු බවයි. රෝම්නිගේ ආදහස වූයේ ඉන්පසු එම සමාගම් ප්‍රතිසංවිධානය කිරීමයි. ඔබාමා රජයේ පිහිටෙන් රැකියා රැකගත් ජනතාව වැඩි දෙනෙක් ඔහුට ඡන්දය දෙනු ඇත.

මෑතකදී ඇමරිකාවට කඩා වැදුණු සැන්ඩි චණ්ඩ මාරුතය ඔබාමාගේ ජනප්‍රියත්වය ඉහල යාමට තවත් රුකුලක් විය. එහිදී ඔහු කටයුතු කල ආකාරය ඇති බහුතරයකගේ පැසසුමට ලක් වූ අතර නිව් යෝර්ක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් ඔහුට සිය සහය පල කර සිටියේය. ඒ අතරම චණ්ඩ මාරුතයෙන් බැට කෑ තවත් ප්‍රාන්තයක් වන ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ජනප්‍රිය රිපබ්ලිකානු ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි සමඟද ඔබාමා කටයුතු කල ආකාරය පැසසුමට ලක්ව ඇත.

ඇමරිකානු ජනපතිවරණය ජයගැනීමට නම් අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාලයේ නියෝජිතයන් 270ක් දිනිය යුතුය. ඔබාමා සටන් වදින්නේ තවත් 33 දෙනෙකු සඳහාය. රොම්නිට තවත් 64ක් අවශ්‍යය. මේ අනුව ඔබාමා ෆ්ලොරීඩාව සහ ඔහයෝ දිනුවහොත් රොම්නිට යන එන මං නැති වනු ඇත. අනෙක් ජනපද හයම ඔහු දිනුවත් පලක් නොවන්නේය. මේ බව දන්නා හෙයින් ඔබාමා ඡන්ද සටනේ අවසන් දිනවල කරන සංචාරවලදී ෆ්ලොරීඩා සහ ඔහයෝ ප්‍රාන්ත මග නොහැරියේය. කෙසේ වුවත් ඔහයෝ ජනපදයේදී ඔබාමා අපේක්ෂිත ලෙස ජයගතහොත් ෆ්ලොරීඩා ජනපදයේදී ඔහු පරාජය වුවත් ඡන්ද සටන දිනීමේ වැඩි ඉඩක් ඔහුට ලැබෙනු ඇත.