Thursday, August 16, 2012

ලංකාවේ මම ආසම තැන... රුවන්වැලි සෑය.


ශ්‍රී ලංකාව රමණීය දිවයිනකි. එමෙන්ම එහි ඉතිහාසයද විචිත්‍ර කතාන්දරයකි. ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමෙහි මා තුල ඇති නොනිම් ආශාව නිසාදෝ, ලංකාවේ මා යාමට කැමතිම ස්ථානය වන්නේ පැරණි අනුරාධපුරයයි. එයින්ද, මා වඩාත් කැමැත්තක් දක්වන්නේ වෙසෙසින්ම රාත්‍රී කාලයට රුවන්වැලිසෑය අසලට වී සිටීමටය. ශ්‍රී මහා බෝධියට සහ රුවන්වලිසයට මා එක ලෙස ගෞරව කරන නමුත් මට සිතෙන පරිදි මහා බෝධිය අසල කලබලකාරීත්වය මදක් වැඩිය. එහෙයින් මම රුවන්වැලිසෑයට වඩා ඇලුම් කරමි.

සුදෝවන්ව බබලන රත්නමාලී චෛත්‍ය රාජයාගේ ගාම්භීරත්වය අත් දැකීමට එය අසලටම යා යුතු නොවේ. බසවක්කුලම දෙස සිට වේවා, ථූපාරාමය දෙස සිට වේවා, නුවර වැව දෙස සිට වේවා, වෙනෙකක් තබා සැතපුම් ගණනක් ඈත පිහිටි මිහින්තලයේ සිට වේවා රත්නමාලී චෛත්‍යය දකින අයෙක් එම දර්ශනයට වශීකෘත නොවේ යයි කිව නොහැක. වෙසෙසින්ම සුදු හුණු ආලේප කල අලුත මහා සෑය පිවිතුරු දසුනක් මවා පායි. රුවන්වැලිසෑය ලංකාවේ බොහෝ ස්ථූප අතුරින් මහා ථූපය වනුයේ එහි වන ගාම්භීරත්වය හේතුවෙනි.

රාත්‍රී කාලයට විදුලි ආලෝකය ඇති විට රුවන්වැලි සෑය ඊටත් වඩා සුන්දරය. වියලි දිනවල දහවල් කාලය පුරාම අනුරාධපුරයට වැටෙන කටුක අව් රශ්මිය හේතුවෙන් පීඩාවට පත්වන වන්දනාකරුවන්ට මෙන්ම සංචාරකයන්ටද රාත්‍රී කාලයේ රුවන්වැලිසෑය ගෙන දෙන්නේ මහත් ප්‍රමෝදයකි. රාත්‍රියට සලපතල මළුව හරහා හමන සීත සුළඟ අත් දකින්නෙකුට තමා සිටින්නේ ලංකාවේ උෂ්නාධිකතම ප්‍රදේශයක බව අමතක වීම අරුමයක් නොවේ. සලපතල මළුවේ සුදුසු තැනකට වී භාවනා කිරීමට රාත්‍රී කාලය ඉතා යෝග්‍ය බැව් අමුතුවෙන් නොකිවමනාය.

රුවන්වැලිසෑය ආදී ලාංකික වාස්තුවිද්‍යාවේ මෙන්ම ඉංජිනේරු විදයාවේද විශිෂ්ටත්වය පිලිබඳ ජීවමාන සාක්ෂියකි. රුවන්වැලිසෑය පැරණි විද්‍යාවේ හාස්කමක් වනුයේ අහි සුවිශාලත්වය හේතුවෙන් පමණක් නොවේ. එහි ඇති සමමිතියද ඒ සඳහා කදිම සාධකයකි. මහා ථූපය අසලට ගොස් තම අතේ දුරින් සිටගෙන ඉහල බැලූ කල ඕනෑම කෙනෙකුට ථූපයේ ගර්භයට ඉහලින් ඇති හතරැස් කොටුව (දේවතා කොටුව) හෝ කොත් කැරැල්ල නොපෙනෙන අතර ඉහලින්ම ඇති කොත පමණක් දිස් වෙයි. චෛත්‍යයෙහි වටා ගොස් කොතනකින් බැලුවද පෙනෙනුයේ එකම දසුනකි. එතරම් විශාල මහා ථූපයේ සමමිතිය එසේය.

රුවන්වැලිසෑය ඉදිකිරීම පිලිබඳ ජනප්‍රවාද බොහෝ වන්නට ඇත. සෑය ඉදිකොට සියවස් සයකට පමණ පසු ඒ පිලිබඳ ලියවුනු මහත් වූ වර්ණනාවක් මහානාම හිමියන් විසින් රචිත මහාවංශයෙහි වෙයි. නමුත් මහා සෑය පිලිබඳ තවත් බොහෝ ඉතිහාස කරුණු සැඟව ඇති බවට සිතිය හැක. එක උදාහරණයක් සඳහන් කළහොත්, භාතිකාභය රජතුමා විසින් මීට වසර දෙදහසකට පෙර කරන ලද ජල පූජාව පිලිබඳ අපේ දැනුම අල්පය. අභය වැව හෙවත් බසවක්කුලමෙන් යන්ත්‍රයක් මගින් ජලය ඔසවා අසල වූ මහා ථූපයට ජල පූජාවක් කල බව එවැන්නක් සඳහා යොදා ගත තාක්ෂනය පිලිබඳ අපි තවමත් හරි හැටි නොදනිමු. එමෙන්ම එම රජතුමා මහා ථූපයේ ආරක්ෂාවට අකුණු සන්නායකයක් පවා සවි කල බව කියවේ. එවැනි තාක්ෂනයන් දියුණු කරන ලද්දේ කෙසේද යන්න අදටත් අපි නොදනිමු. කොපමණ අටුවා ටීකා ලියුවද, තවමත් අපි ඉතිහාසය නොදැන අඳුරේ ඇත පත ගාන බව රුවන්වැලිසෑය දකින සැම විටෙකම පාහේ මා හට සිහි වෙයි.

බුදුන්වහන්සේ, යේසුස්වහන්සේගේ ශ්‍රාවකයෙක් කිරීම


මෑත දිනෙක අසන්නට ලැබුණු බණක් හේතුවෙන් මම බෙහෙවින් පුදුමයටත් කම්පාවටත් පත් වීමි. අදාළ ධර්ම දේශනාව කව්රුන් විසින් කොතැනකදී කලේද යන්න මෙහිදී වැදගත් නොවේ. මගේ ඇතැම් මිතුරන් එය දන්නා නමුත් එතනින් එහාට ඒ පිලිබඳ යමක් සඳහන් කිරීම නුවුමනාය. කෙසේ වුවද, අදාළ ස්වාමීන්වහන්සේ 'මහමෙව්නාවේ' හාමුදුරුවන්ගේ අනුගාමිකයකු බව සඳහන් කිරීම වැදගත් වේ යයි සිතමි.

බුදුන් වහන්සේ අවරුදු හයක් අප වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කල අතර එසේ කලේ ලෝක සත්ත්වයා විඳින දුක දැක එයින් ඔවුන් මුදා ගැනීමට ක්‍රමයක් සෙවීම සඳහාය යනුවෙන් එම ධර්ම දේශනාවේදී ප්‍රකාශ කරන්නට යෙදුනි. මා දන්නා පරිදි සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කලේ සත්‍යය සොයා ගන්නා පරමාර්ථයෙනි. ධර්මය අවබෝධ වීමට පෙර පටන්ම එය අවබෝධ කරගැනීමෙන් අනෙක් අය ගොඩ ගන්නා පරමාර්ථය එතන වීද යන්න අපි නොදන්නෙමු. ධර්මය අවබෝධ වූ පසු වෙනත් අයට දේශනා කිරීම වෙනමම කරුණකි. එහෙයින් අනුන් වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කළේය යයි ප්‍රත්‍යක්ෂව සඳහන් කල නොහැකියි. බුදු කෙනෙක් පහල වන්නේ අනුන්ගේ කරුම කර ගැහීමට නොවේ. අනුන් නිසා, අනුන් වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කරන්නේ කෙසේදැයි මම නොදනිමි.

කතෝලික දහමට අනුව යේසුස් වහන්සේ නම් අනුන් වෙනුවෙන් දුක් වින්ද සේක. දෙවියන් වහන්සේ විසින් සිය පුත්‍රයා එවන ලද්දේ, පව්කාර මිනිසුන්ගේ පව් තම වෙත ගෙන ඒ මිනිසුන් ස්වර්ගයට යැවීමට උපකාර වීමට යයි කියවේ. උන්වහන්සේ කුරුසිය කර ගසන්නේද ලෝ වැසි මිනිසුන් වෙනුවෙනි. ඒ අනුව, යේසුස් වහන්සේ නම් දුෂ්කර ක්‍රියා කලේ අනුන් වෙනුවෙනි. මේ අනුව උක්ත ප්‍රකාශය බුදු දහමට වඩා වලංගු වන්නේ කතෝලික දහමටය. නමුත් එම දේශනාව සිදු කලේ බෞද්ධ භික්ෂුවකි.

මහමෙව්නාවේ කෙරෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් බෞද්ධ ආභාෂයට වඩා කතෝලික අභාෂය තිබෙන බව කියවේ. නමුත් මා එය මුලින්ම දැනුවත්ව අත් වින්දේ යථෝක්ත ධර්ම දේශනාවේදීය. එහිදී බෞද්ධයෙකු වශයෙන් මා හට සංවේගයක් ඇති වීම සාධාරණ යයි සිතේ. ඉහත දේශනාවට අනුව බුදුන් වහන්සේ යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් කළේය වැනි අදහසක් මට ඇති විය. නමුත් බුදුන් වහන්සේ වැඩ සිටියේ යේසුස් වහන්සේ ජීවත් වූ කාලයට බොහෝ පෙරය.

මෙහි ගැටලුව වන්නට ඇත්තේ, 'මහමෙව්නාවේ' ඇතැම් ස්වාමීන්වහන්සේලා යෙසුස්වහන්සේගේ ශ්‍රාවකයන් වීම දැයි මා තුල සියුම් සැකයක් උපදී.