Wednesday, August 31, 2016

පළමු ලෝක යුද්ධය​: යුද්ධාවසානය කරා

කළින් අප දුටු පරිදි 1917 අවසන් වන විට රුසියාව යුද්ධයෙන් ඉවත්වීමත් සමඟ නැගෙනහිර පෙරමුණෙහි ජය මධ්‍ය බලවතුන්ට හිමි විය​. ජර්මනිය 1918 මාර්තුවේදී රුසියාව සමඟ ඉතා වාසි සහගත ගිවිසුමක් අත්සන් කළේය​. ඉන්පසු තනිවූ රුමේනියාව මැයි 7 වනදා මධ්‍ය බලවතුනට යටත් විය​.

බටහිර පෙරමුණ

කෙසේ නමුත් ඇමරිකානු සෙබලුන් ගේ ආගමනයත් සමඟම යුද්ධය ජර්මනියට අවාසිදායක ලෙස හැරෙනු ඇතැයි පැහැදිලි විය​. එහෙයින් ඇමරිකන් සෙබලුන් විශාල වශයෙන් සටන් බිමට පැමිණීමට පෙර ප්‍රංශය යුද්ධයෙන් ඉවත් කිරීමේ උත්සාහයකට ජර්මනිය අත තැබීය​. සත්‍ය වශයෙන්ම එරටට වෙනත් විකල්පයක් නොවීය​. මේ වනවිට ජර්මනියට මෙන්ම ප්‍රතිවාදීන්ට ද ආයුධ​, ආහාර සහ පිරිස් බලය පිළිබඳ ගැටලු පැන නගිමින් තිබුණ අතර ඇමරිකාව යුද්ධයට අවතීර්ණ වීමෙන් මිත්‍ර පාක්ෂිකයන් ගේ එම ගැටලුවලට විසඳුමක් අපේක්ෂා කළ හැකිව තිබුණි.

ඇමරිකානු හමුදාවල උපකාරය ලැබීමට පෙර ප්‍රංශය වැට්ටීමට සිතූ ජර්මානුවෝ 1918 වසන්තය එළඹීමත් සමඟ දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයකට අත තැබූ හ​.

මෙම ප්‍රහාරයේ පළමු පියවර වූයේ 1918 මාර්තු 21 වනදා අරාස් නදියට දකුණින් වූ බ්‍රිතාන්‍ය හමුදාවලට පහර දීමය​. අතිරේක ප්‍රංශ බල ඇණි ලහි ලහියේ ගෙනවිත් අප්‍රේල් 5 වනදා වනවිට එම ප්‍රහාරය අඩපණ කළ ද ඒ වනවිට ජර්මන් හමුදා කිලෝමීටර 65 ක් පමණ ඉදිරියට අවුත් සිටියහ​. ජර්මානුන් මෙම ප්‍රහාරයෙන් ලද වැදගත් ජයග්‍රහණයක් වූයේ මෙසිනස් රිජ් සහ ආර්මෙන්ටියර්ස් ප්‍රදේශවලින් බ්‍රිතාන්‍යයන් පළවා හැරීමය​.

මෙම ප්‍රහාරයෙන් දැඩි සේ භීතියට පත් මිත්‍ර පාක්ෂිකයෝ සිය හමුදා ප්‍රතිසංවිධානය කරන්නට වූහ​. මේ අනුව ප්‍රංශයේ සිටි සියලු ප්‍රංශ​, බ්‍රිතාන්‍ය​, ඇමරිකානු සහ බෙල්ජියානු හමුදාවල අණ දෙන නිලධාරියා ලෙස ජෙනරාල් (පසුව මාර්ෂල්) ෆර්ඩිනන්ඩ් ෆොච් පත් කරන ලදී.

මැයි මාසයේදී ජර්මන් හමුදා තවත් ක්‍රියාන්විතයක් දියත් කරමින් ප්‍රංශ හමුදාවන් ඒන් නදියෙන් කිලෝමීටර 65 ක් පමණ ඈතට පළවා හැරියෝය​. තවත් කිලෝමීටර 60 ක් පමණ ඔවුන් ඉදිරියට පැමිණියේ නම් පැරිසිය ඔවුන් අතට පත් වීමට ඉඩ තිබිණ​.

කෙසේ වෙතත් මෙම තීරණාත්මක මොහොතේ ඇමරිකානු හමුදා සටන් බිමට විශාල වශයෙන් ඇදී එන්නට වූහ​. ජූනි 4 වනදා ෂැටෝ තියෙරි හිදී ජර්මන් ප්‍රහාරය නවතන ලදී.

බටහිර පෙරමුණ තුළ තවත් සුලු ජයග්‍රහණ කිහිපයක් ලබාගැනීමට ජර්මන් හමුදා මීළඟ සති කිහිපය තුළ සමත් වූහ​.

ජූලි මස මැද භාගය එළඹෙද්දී බටහිර පෙරමුණ තුළ අරුම පුදුම යමක් සිදු විය​. ජර්මන් ප්‍රහාරයන් එකවරම ඇණ හිටියේය​. අතිරේක බල ඇණි ඌණතාවය හේතුවෙන් ජර්මන් හමුදාවලට තව දුරටත් සටන ගෙන යාමට නොහැකි විය​. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ජෙනරාල් ෆොච් ජූලි 18 වනදා දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට අණ දුන්නේය​. ජර්මන් හමුදා විදුලි වේගයෙන් පළවා හරින ලද හ​.
මාර්ෂල් ෆර්ඩිනන්ඩ් ෆොච්

අගෝස්තු 8 වනදා මිත්‍ර හමුදා ඒමියන්ස් ප්‍රදේශයට දරුණු ප්‍රහාරයක් එල්ල කළ ය​. එය නිම වූයේ අගෝස්තු 11 වනදා ය​. එම ප්‍රහාරය ද ජර්මානුන්ට දැඩි හානි ගෙන ආවේය​. මේ අතර අගෝස්තු මස අවසන් සතියේ සහ සැප්තැම්බරයේ මුල් දින තුනේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා ජර්මානුන්ට දෙවන සෝම් සංග්‍රාමයේදී සහ පස් වැනි අරාස් සංග්‍රාමයේදී දරුණු පරාජයන් අත්කර දුන් හ​. ජර්මන් සෙබලු, ඔවුන් විසින් ඉදිකරණ ලද ආරක්ෂක පෙරමුණක් වූ හින්ඩන්බර්ග් සීමාව දෙසට පසු බස්වන ලද්දෝ ය​. මෙම පෙරමුණ දැඩි රැකවල් සහිතව ප්‍රතිවාදී හමුදා ප්‍රහාර මර්ධනය කිරීමට ඉදිකරන ලද ආරක්ෂක පෙරමුණක් විය​.

මේ අතර සැප්තැම්බර් 12-13 දෙදින තුළ සෙන්ට් මිහියෙල් ප්‍රදේශයට පහර දුන් ඇමරිකානු සෙබලු ජර්මානුන් 14,000 ක් අල්ලා ගත් හ​. ඔක්තෝබර මාසයේ සහ නොවැම්බරය මුල දී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා කම්බ්‍රියාව ඔස්සේ ද ඇමරිකන් හමුදා ආර්ගොන් වනන්තර ප්‍රදේශය ඔස්සේ ද ඉදිරියට ඇදුණ හ​. ආර්ගොන් ප්‍රදේශය ඔස්සේ එල්ල වූ ඇමරිකානු ප්‍රහාරවලින් ජර්මන් පෙරමුණ දෙකඩ විය​.

පිට පිටම ලබන පරාජයන් හමුවේ ජෙනරල් ලූඩන්ඩොර්ෆ් කලක පටන් ම ජර්මන් රජයට කියා සිටියේ සාම කතා අරඹන ලෙස ය​. අවසානයේදී ඔහුගේ අදහසට රජය එකඟ වුවද එමරිකානු ජනාධිපති විල්සන්ට අවශ්‍ය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් සමඟ සාකච්ඡා කිරීම හෝ කොන්දේසි විරහිත යටත් වීමය​. සාකච්ඡා ඇරඹීමට නම් ජර්මන් අධිරාජයා සිහසුන අතහැරිය යුතු බව ඔහු අදහස් කළේය. මේ අනුව සටන් දිගටම ඇදී ගියේ ය​.

නොවැම්බර් මස මුල දී මිත්‍ර හමුදා හින්ඩන්බර්ග් සීමාව ද බිඳගෙන ඉදිරියට ගියෝ ය​. ජර්මන් හමුදා බටහිර පෙරමුණ ඔස්සේ දිගටම පසු බසින්නට වූහ​.

බෝල්කන් පෙරමුණ​

1918 සැප්තැම්බරයේදී ප්‍රංශ​, බ්‍රිතාන්‍ය​, ග්‍රීක​, සර්බ් සහ ඉතාලි හමුදා සෙබලුන් ගෙන් සැදුම් ලත් 700,000 ක ශක්තියෙන් හෙබි සේනාවක් මධ්‍ය බලවතුන් විසින් අල්ලාගෙන සිටි සර්බියාවට කඩා වැදුණි. මෙම ප්‍රහාරය කෙතරම් සාර්ථක වී ද යත් එම මාසය අවසන් වන විට බල්ගේරියාව සටන් නැවැත්වීමට එකඟ විය​. ඒ සමඟම එම රට හරහා රුමේනියාවට හමුදා යැවීමට මිත්‍ර රටවලට හැකි වූ අතර නොවැම්බර් 10 වනදා රුමේනියාව ජර්මනිය සමඟ යළි යුද්ධයට අවතීර්ණ වූයේය​.

සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩය මිත්‍ර හමුදා අතට පත් වූයේ නොවැම්බර් 1 වනදා ය​.

ඉතාලි පෙරමුණ​

1918 ජූනි මාසයේදී ඔස්ට්‍රා - හන්ගේරියානු හමුදා පයේව්  නදිය තරණය කළ හ​. එහෙත් 100,000 ක් පමණ සෙබලුන් අහිමි කරගනිමින් ඔවුනට පසු බැසීමට සිදු විය​. ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී මිත්‍ර හමුදා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මධ්‍ය බලවතුන් පසු බැස්සූහ​. ඔක්තෝබර 24 - නොවැම්බර 4 අතර කාළයේ සිදු වූ විට්ටෝරියෝ - වෙන්ටෝ සංග්‍රාමය මිත්‍ර පාක්ෂිකයන්ට පරජය ගෙනා විශාල සටනක් වූයේ ය​. මෙහිදී මධ්‍ය බලවතුන් ගේ හමුදා සෙබලු ලක්ෂ ගණනින් අල්ලාගන්නා ලද්දෝ ය​.

මේ අතර මෙතෙක් කල් ගොඩබිමින් ගොස් අල්ලාගැනීමට නොහැකි වූ ට්‍රිඑස්ට් නගරය අවසානයේදී මිත්‍ර හමුදා විසින් අල්ලාගන්නා ලදී. නොවැම්බර් 3 වනදා මෙසේ එම නගරය අල්ලාගන්නා ලද්දේ නාවික ප්‍රහාරයකිනි. දින දෙකක් තුළ ෆියුම් නගරය ද මිත්‍ර හමුදා විසින් අල්ලාගන්නා ලදී.

ඉතාලි සහ බෝල්කන් පෙදෙස්වල සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔස්ට්‍රියාවේ තත්ත්වය භයානක අතට හැරුණි. අධිරාජ්‍යය අතැර දමන්නේ නම් යටත් ජාතීන්ට නිදහස ලබා ගැනීමට උපකාර කරන බව මිත්‍ර රටවල් ප්‍රචාරය කළ හ​. මෙය පීඩිත ජාතීන් ඔස්ට්‍රා - හන්ගේරියානු පාලනයට එරෙහිව උසි ගැන්වීය​. ස්ලොවැක්වරු නිදහස ප්‍රකාශ කළ අතර ඔක්තෝබරය අවසන් වෙද්දී දකුණු ස්ලාව් ජාතිකයෝ ද නිදහස ප්‍රකාශ කළ හ​. දෙසැම්බරයේදී ඔව්හු වෙනම රාජ්‍යයක් පිහිටුවා ගත්තෝය​. මෙම රාජධානිය පසුව යුගෝස්ලාවියාවේ කොටසක් බවට පත් විය​. (යුගෝස්ලාවියා යන වදනෙහි තේරුම දකුණු ස්ලාව් ජාතිකයන් ගේ රාජ්‍යය යන්නය​).

නොවැම්බර් මාසය වද්දී හන්ගේරියාව ද ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර තව දුරටත් යුද්ධය ගෙන යාම නොහැක්කක් බව දුටු ඔස්ට්‍රියාව නොවැම්බර් 3 වනදා ඉතාලි පෙරමුණේදී සටන් නැවැත්වීමට එකඟ විය​. නොවැම්බර් 12 වනදා හැප්ස්බර්ග් රාජවංශයේ පළමු චාර්ල්ස් අධිරාජයා සිහසුන අතහැරියේය​. ඊළඟ දිනයේ ඔස්ට්‍රියාව සමූහාණ්ඩුවක් බවට ප්‍රකාශ කෙරිණ​.

තුර්කියේ අවසන් සටන්

1918 දී බ්‍රිතාන්‍යයෝ (වර්තමාන උතුරු ඊශ්‍රායලයේ පිහිටි) මෙග්ඩිඩෝ හිදී සතුරු පෙරමුණු බිඳගෙන ඉදිරියට ගොස් තුර්කි - ජර්මන් හමුදා පළවා හැරියෝය​. T. E. ලෝරන්ස් යටතේ වූ අරාබීන්ගේ ද සහය ඇතිව ලෙබනනයට සහ සිරියාවට පහර දීමට බ්‍රිතාන්‍ය හමුදා ඉන් පසු කටයුතු කළ හ​.ඔක්තෝබරයේදී ඩිමාෂ්ක්, අලෙප්පෝ ආදී වැදගත් ප්‍රදේශ රැසක පාලනය තුර්කියට අහිමි විය​. එම මාසයේ 30 වනදා තුර්කිය සටන් නැවැත්වීමට එකඟ වූ අතර මධ්‍ය බලවතුන් සමඟ සබඳතා අත්හිටවීමට සහ මිත්‍ර රටවල නෞකා සඳහා ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ද එරට එකඟ විය​.​

ජර්මනියේ විප්ලවය​

1918 නොවැම්බරය වන විට යුධ පෙරමුණේ පරාජයන් සහ රටේ අභ්‍යන්තර දුෂ්කරතා හේතුවෙන් ජර්මනියේ ජනතාව නොසන්සුන් වෙමින් සිටියහ​. අවසන් සටන සඳහා ජර්මන් 'ගඹුරු මුහුදු බලකාය​' යෙදවීමට යෝජනාවක් මතු වූ කළ ඊට එරෙහි නාවික කැරැල්ලක් ඇති විය​. මුලින්ම කැරලි ගැසුයේ ගැඹුරු මුහුදු බලකාය පමණි. නමුත් පසුව එම කැරැල්ල කීල් සහ වෙනත් ස්ථාන කරා ද පැතිරුණි.

1871 දී ජර්මන් අධිරාජ්‍යයේ කොටසක් බවට පත් වුවද බැවේරියාවේ රජු දිගටම සිහසුනේ රැඳී සිටියේය​. නමුත් නොවැම්බර් මාසයේදී එහි සිදුවූ ජනතා නැගිටීමක් සමඟ ඔහුට සිහසුන අහිමි විය​. මේ අතර වෙනත් ජර්මන් නගරවල ද නොසන්සුන්තා හට ගැණින​. නොවැම්බර් 9 වනදා දෙවන විලියම් අධිරාජයා නෙදර්ලන්තයට පළා ගියේය​. එදිනම සමූහාණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන ලදී.

මේ වනවිට ද යුධ සමාදානයක් පිළිබඳ සාකච්ඡා කිරීමට කොමිසමක් පත් කර තිබුණි. ජර්මනිය සමූහාණ්ඩුවක් බවට පත් වීමෙන් සාකච්ඡා සඳහා ඉඩ හසර ලැබිණ​. ජර්මනිය සටන් නැවැත්වීමට කැමැත්ත පළ කළේය​. නොවැම්බර් 11 වනදා උදේ 5 ට කොම්පියෙන්හිදී ජර්මනිය සටන් නැවැත්වීමේ එකඟත්වයට පැමිණියේය​. එදිනම උදෑසන 11 ට බටහිර පෙරමුණ නිහඬ විය​.

Tuesday, August 30, 2016

උස්බෙකිස්ථානයේ බල අරගලයක් මතුවන ලකුණු

මධ්‍යම ආසියාවේ විශාලතම ජනගහනයක් වසන උස්බෙකිස්ථානයේ බල අරගලයක් මතුවීමේ ලකුණු පහළ වී තිබේ. නිදහසින් පසු එරට පාලනය කළ ජනාධිපති ඉස්ලාම් කරිමොව් රෝහල්ගත කිරීම මීට ආසන්නතම හේතුව ය​. ඒකාධිපතියකු ලෙස රට පාලනය කරන කරිමොව් අනුප්‍රාප්තිකයකු නම් කර නැති හෙයින් ඔහු නුදුරේදී මිය ගියහොත් එරටෙහි බල අරගලයක් මතුවීමට විශාල ඉඩක් ඇති බව ඇතැම් විචාරකයින් මේ වනවිට ද අනතුරු අඟවා ඇත​.

උස්බෙක් රජය සාමාන්‍යයෙන් සිය ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ නිකුත් නොකරයි. එහෙයින් 78 හැවිරිදි කරිමොව් රෝහල්ගත කරන ලද බව ඉරිදා දිනයේදී රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම ම තත්ත්වයෙහි බරපතලකම කියා පෑවේය​. එම ප්‍රකාශයෙන් කියැවුණේ ජනාධිපතිවරයා අසනීපයෙන් පසුවන බව සහ රෝහල්ගත කෙරුණ බව පමණි. සඳුදා දිනයේදී ඔහුගේ බාල දියණිය ලෝලා කරිමෝවා සමාජජාල ඔස්සේ ප්‍රකාශ කළේ සිය පියා මොළයේ අභයන්තර රුධිර වහනයෙන් (cerebral hemorrhage) පෙළෙන බව යි. නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ද කරිමෝවා ප්‍රකාශ කළා ය​.
ලෝලා කරිමෝවා 2009 දී

පැරණි සෝවියට් සමූහාණ්ඩු පහලවෙන් එකක් වූ උස්බෙකිස්ථානයේ වත්මන් ජනගහනය මිලියන 31 කි. සෝවියට් යුගයේ අවසන් සමයේ, එනම් 1989 දී, කරිමොව් උස්බෙකිස්ථාන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් බවට පත් වූයේ ය​. නව පාලන ක්‍රමයක් හඳුන්වා දීමෙන් පසු 1990 මාර්තුවේදී උස්බෙක් සෝවියට් සමූහාණ්ඩුවේ ජනාධිපති බවට පත් වූ හෙතෙම 1991 අගෝස්තු 31 වනදා එරට සෝවියට් දේශයෙන් කැඩී ස්වාධීන රාජ්‍යයක් වන බව ප්‍රකාශ කළේය​. උස්බෙකිස්ථානයේ 25 වන නිදහස් සැමරුම හෙටට යෙදී තිබේ.

ඉස්ලාම් කරිමොව් උස්බෙකිස්ථානය පාලනය කළේ අයෝමය හස්තයකිනි. කිසිදු විපක්ෂ කණ්ඩායමකට එරට තුළ නැගී සිටීමේ අවස්ථාවක් ඔහු විසින් ලබා නොදුනි. වර්තමානයේ ලෝකයේ සිටින ඒකාධිපති පාලකයන් අතර ඔහු ප්‍රමුඛයෙකි.

ඉස්ලාම් කරිමෝව්ට දූවරුන් දෙදෙනකු පමණක් සිටින අතර මින් වැඩිමහලු දියණිය වන ගුල්නාරා මේ වනවිට නිවාස අඩස්සියෙහි සිටින බව කියනු ලැබේ. ඇයට විරුද්ධව විවිධ දූෂණ චෝදනා එල්ල වූ අතර ඇය සහ ඇගේ පියා අමනාපයෙන් සිටින බව සඳහන් ය​. ඇතැම් වාර්තාවලට අනුව දෙදෙනාගේ එම විරසකයට හේතු වී ඇත්තේ ගුල්නාරාගේ දේශපාලන අභිලාෂයන් ය​.
ගුල්නාරා කරිමෝවා 2009 දී (Wikimedia Commons)

කරිමොව්ගේ දෙවන දියණිය ලෝලා කරිමෝවා 38 හැවිරිදි ය​. ඇය මේ වනවිට යුනෙස්කෝවේ උස්බෙක් තානාපති ලෙස කටයුතු කරන්නී ය​.

කෙසේ වෙතත් කරිමොව්ගේ ඇවෑමෙන් පසු ජනාධිපති පදවියට පත්වීම සඳහා ඔහුගේ රජයේ ප්‍රධානීන් අතර දේශපාලන ගැටුමක් නිර්මාණය වීමේ ඉඩක් ඇත​. උස්බෙක් අගමැති ෂව්කට් මිර්සියෝයෙව් (Shavkat Mirziyoyev) මෙහි දී වැඩි වාසි අත් කරගනු ඇතැයි අනාවැකි පළ වී ඇත​. ඔහු 2003 සිට එරට අගමැති ධූරය දරයි.

කරිමොව් සාමාන්‍යයෙන් මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක් ගෙන ගියේය​. ඇෆ්ඝනිස්ථානයට ඇමරිකානු ප්‍රහාර එල්ලවීමත් සමඟ යාබද උස්බෙකිස්ථානය කෙරෙහි බටහිර රටවල වැඩි අවධානයක් යොමු විය​. එකළ එරටෙහි ක්‍රියාත්මක වූ උස්බෙකිස්ථාන ඉස්ලාමීය ව්‍යාපාරය තරමක ශක්තිමත් සංවිධානයක් වූයේය​. නමුත් කරිමොව් විසින් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මර්ධනය කර ඇති අතර ඇෆ්ඝන් යුද්ධයට බටහිර රටවල දායකත්වය අඩු වී ඇත​. ඒ සමඟම උස්බෙකිස්ථානය කෙරෙහි ද පෙර තරම් ජාත්‍යන්තර අවධානයක් දැන් ලැබෙන්නේ නැත​.

කෙසේ වෙතත් මධ්‍යම ආසියාවේ විශාලතම ජනගහනයක් වසන උස්බෙකිස්ථානය යම් අස්ථාවරත්වයක් කරා යෑමේ අවදානම පිළිබඳ වෙනත් රටවල, විශේෂයෙන්ම කලාපයේ රටවල​, අවධානය යොමු වී ඇත​.

Sunday, August 28, 2016

රුසියානු හමුදාවල සිරියානු මෙහෙයුම - වසරකට පසු

සිරියාවේ යුද්ධයට සෘජුවම දායක වීම සඳහා රුසියානු හමුදාවලට අවස්ථාව සැලසුනේ 2015 අගෝස්තු 26 වනදා දෙරට අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව ය​. මෙම ගිවිසුම් ප්‍රකාරව සිරියාවේ ලටාකියා ප්‍රාන්තයේ හමේමිම් ගුවන් හමුදා කඳවුර අවශ්‍ය තරම් කාළයකට භාවිතා කිරීම සඳහා සිරියාව විසින් රුසියාවට අවසර ලබා දෙන ලදී. මේ අනුව මීළඟ සති කිහිපය තුළ රුසියානු ප්‍රහාරක යානා, හෙලිකොප්ටර සහ අවි ආයුධ සමඟ රුසියානු සෙබලුන් ද හමේමිම් (Khmeimim) ගුවන් කඳවුරට යවන ලදී.

2015 දෙවන භාගය ඇරඹෙන විට අසාද්ගේ රජය බොහෝ අපහසු තත්ත්වයකට වැටී සිටියේය​. කෙසේ නමුත් අසාද් බලයෙන් පහ කෙරෙන තුරු රුසියාව බලා නොසිටින බව පැහැදිලි කරුණක් වූයේය​. අගෝස්තුවේ අත්සන් කෙරුණ ගිවිසුමට හේතු වූයේ මෙම තත්ත්වය ය​. රුසියානු හමුදා සිරියාවේ ගුවන් ප්‍රහාර ආරම්භ කළේ 2015 සැප්තැම්බර් 30 වනදා ය​.
Pic: Sputnik

සිරියාවේ රුසියානු හමුදා ශක්තිය ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර 48 ක් ද 2000 සහ 5000 අතර භට පිරිසක් ද වූ අතර කුලී හේවායන් ලෙස තවත් රුසියානුවන් සිරියාවේ සටන් කළ බවට වාර්තා පළ වී ඇත​. ඇතැම් වාර්තා අනුව රුසියානු ඔත්තු සේවාවල අනුදැනුම සහිතව පෞද්ගලික සමාගමක් හරහා මොවුන් එරටට පැමිණ ඇත​. කුලී හේවායන් ලෙස සටන් කිරීම රුසියානු නීතියට පටහැනි ය​.

රුසියානු හමුදා ක්‍රියාන්විත ඇරඹීමෙන් පසු ඔවුනගේ ආධාර ඇතිව සිරියානු හමුදා ජයග්‍රහණ රැසක් අත් කරගත් හ​. 2016 මාර්තුවේ ඓතිහාසික පැල්මයිරා නගරය සිරියානු හමුදා විසින් ISIS ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගන්නා ලද අතර පැල්මයිරා සිට ISIS "අගනුවර​" වන රකා දෙසට ද හමුදා මෙහෙයවන ලදී. ත්‍රස්තයින් විසින් එල්ල කළ දැවැන්ත ප්‍රහාර හමුවේ ජූනි මාසයේදී සිරියානු ප්‍රහාර ඇණ හිටියේය​.
රුසියානු හමුදා පැල්මයිරාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල​

ඉනික්බිති සිරියානු හමුදාවල අවධානය වැඩි වශයෙන් යොමු වූයේ අලෙප්පෝ නගරය කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම ය​. මෙහිදී සිරියානු හමුදා සහ ඔවුනගේ සගයින්, රුසියානු ආධාර ද සහිතව​, කැරලි කණ්ඩායම් කිහිපයක් හා ගැටෙති.

මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසා සිටින්නේ පසුගිය වසරකට ආසන්න කාළය තුළ රුසියානු ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 2000 ක් 3000 ක් අතර ප්‍රමාණයක්වත් මිය ගිය බව ය​. රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් රුසියානු ගුවන් හමුදාවල ප්‍රහාරයන් හි කාර්යක්ෂමභාවය පිළිබඳ සැකයක් නම් නොමැත්තේ ය​. රුසියන් ගුවන් ප්‍රහාර ඇරඹීමෙන් පසු ISIS ත්‍රස්තවාදීන්ට සිරියාවේදී දරුණු පරාජයන් කිහිපයක් ම අත් වීම ඊට උදාහරණයකි. විවේචකයින් පවසන්නේ රුසියානු ප්‍රහාර වැඩිපුර එල්ල වන්නේ සිරියානු රජයට එරෙහි වෙනත් සටන්කාමී පිරිස් වෙත බව ය​.
බෂාර් අල්-අසාද් (වමේ) සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්

රුසියානු ප්‍රහාරයන් ද සමඟ සිරියාවේ බල තුලනය පැහැදිලි ලෙස වෙනස් වූ බව පිළිගත යුතු ය​. මේ වනවිට ඇමරිකාව සහ රුසියාව ත්‍රස්තයින්ට එරෙහිව යම් එකඟත්වයක් අනුව සටන් වදින බව පෙනේ. මින් පෙර ඇමරිකාවේ ප්‍රධාන අවශ්‍යතාවය වූයේ අසාද්ගේ රජය පෙරළීම ය​. ත්‍රස්තයින්ට නිදහසේ සිරියාවේ ප්‍රදේශ ගණනාවක් ම අල්ලාගැනීමට උපකාර වූ එක් සාධකයක් ලෙස දකින්නේ ද ත්‍රස්තයින් පිළිබඳ බටහිර රටවල් මුලින් දැක්වූ උදාසීනභාවය ය​. නමුත් ත්‍රස්තයින් බටහිර රටවල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත්, රුසියානු හමුදා සිරියාවේදී සටන් වැදීම ඇරඹීමත්, ඔවුන් විසින් ලත් ජයග්‍රහණත් හේතුවෙන් ඇමරිකාවට තව දුරටත් ඔවුන් සිටි ස්ථාවරය ආරක්ෂා කරගැනීමට හැකි වූයේ නැත​.

එකිනෙකා හා පසමිතුරන් ව සිටි තුර්කිය සහ රුසියාව ද එකඟතාවයකට පැමිණීම මේ අතර වූ තවත් විපර්යාසයකි. තුර්කිය ද පසුගිය දිනවල ISIS ත්‍රස්ත ප්‍රහාරවල ඉලක්කයක් වූයේය​.

මේ අනුව බටහිර රටවල් මේ වනවිට සිරියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් රුසියානු මතය​, එනම් ISIS ත්‍රස්තයින් පරාජය කිරීම වඩා වැදගත් ය යන මතය කරා කෙමෙන් ළඟා වී ඇති අතර​ සිරියාවේ යම් දිනෙක සිදු කෙරෙන සාම ක්‍රියාවලියක දී අසාද්ගේ රජය​ සහ රුසියාව ඊට සම්බන්ධ වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී ඇත.

Saturday, August 27, 2016

ISIS නායකයා අබු ග්‍රායිබ් කඳවුරේ තම අත් අඩංගුව යටතේ සිටි බව ඇමරිකාව පිළිගනී

මීට වසර දොළහකට පෙර​, වර්තමාන  ත්‍රස්ත සංවිධානයේ නායක අබුබකර් අල්-බැග්ඩාඩි තම අත් අඩංගුව යටතේ ඉරාකයේ කුප්‍රකට අබු ග්‍රායිබ් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි බව ඇමරිකා එක්සත් ජනපදය මෑතදී පිළිගත්තේ ය​.

මෙම කරුණ මීට පෙරත් ප්‍රකට පුවතක් ව පැවතිය ද ඇමරිකානු රජය ඒ බව ප්‍රසිද්ධියේ පිළිගත් මුල්ම අවස්ථාව මෙය ය​.

ඇමරිකා එක්සත් ජනපදයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 'ද ඉන්ටර්සෙප්ට්' (The Intercept) වෙබ් අඩවිය විසින් කළ විමසීමක් අනුව එරට හමුදාව මේ බව සනාථ කර තිබේ. අල්-බැග්ඩාඩි අබු ග්‍රායිබ් බන්ධනාගාරයේ විශේෂිත සිරකරුවන් රඳවා තබන කොටසේ 2004 පෙබරවාරි සිට ඔක්තෝබරය දක්වා රඳවාගෙන සිට ඇති බව මේ අනුව තහවුරු වී තිබේ.

අල්-බැග්ඩාඩි අබු ග්‍රායිබ් හි රඳවා සිටි බව මින් පෙර වාර්තා වී තිබුණ ද ඇමරිකානු රජය විසින් ඒ බැව් මින් පෙර පිළිගෙන තිබුණේ නැත​.

ඊබ්‍රහීම් අව්වාද් ඊබ්‍රහීම් අල්-බද්‍රි හෙවත් අබු බකර් අල්-බැග්ඩාඩි එක්සත් ජනපද අත් අඩංගුවේ සිටි සමයෙහි හඳුන්වා දෙන ලද්දේ ඔහුගේ US9IZ-157911CI යන රැඳවුම් අංකයෙනි. එක්සත් ජනපද හමුදා ප්‍රකාශක ට්‍රෝයි ඒ. රෝලන් (ජ්‍යෙෂ්ඨ​) 'ද ඉන්ටර්සෙප්ට්' සමඟ පැවසූ පරිදි අංක 157 ලබාදෙන ලද්දේ අබු ග්‍රායිබ් හි රැඳවියන්ට ය​.

ඇමරිකානු සෙබලුන් පිරිසක් අබු ග්‍රායිබ් හි සිරකරුවන්ට වධ දෙන දර්ශන සහිත ඡායාරූප ජනමාධ්‍ය වෙත එළි වූයේ අල්-බැග්ඩාඩි එම බන් ධනාගාරයට ගෙන ගොස් සති කිහිපයක ඇවෑමෙන් බව ද සිහිපත් කිරීම මෙහිදී වැදගත් ය​. නමුත් එම වධයන්වලට ඔහු හසු වූ බවට සඳහනක් මෙතෙක් මතුව නැත​.

2004 ඔක්තෝබර 13 වනදා අබු බකර් අල්-බැග්ඩාඩි අබු ග්‍රායිබ් සිට බුකා කඳවුරට මාරු කරන ලදී. ඔහු එහි දෙසැම් බර් 9 වනදා තෙක් රඳවා තබාගෙන ඇති අතර ඉනික්බිති නිදහස් කරනු ලැබ ඇත​.

අල්-බැග්ඩාඩි රඳවාගෙන සිට ඇත්තේ 'සිවිල් රැඳවියකු' ලෙස බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. එනම්, ඔහු ත්‍රස්ත ක්‍රියාවලට සම් බන් ධ යයි සැක කරන ලද නමුත් එවන් ක්‍රියාවකදී අල්ලා නොගත් අයෙකි.

2006 ඔක්තෝබරයේදී අබු මුසාබ් අල්-සර්කාවි යටතේ වූ ඉරාකයේ අල් කයිඩා සංවිධානය සහ මුජහිදීන් ෂූරා කවුන්සිලය ඇතුලු දැඩි මතධාරී සුන්නි මුස්ලිම් කණ් ඩායම් එක්ව ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පිහිටුවා ගන්නා ලදී. පසුව ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බවට පත් වූයේ මෙම සංවිධානය ය​. 2010 දී අබු බකර් අල්-බැග්ඩාඩි මෙහි නායකයා බවට ප්‍රකාශ කරන ලදී.

Wednesday, August 24, 2016

අප්‍රිකාවේ අරුම පුදුම ආහාර නාස්තිය​

ආහාර නාස්තිය ලොව පුරා පවතින විශාල ගැටලුවකි. එක් පසෙකින් ඉවතලන ආහාර ද අනෙක් පසින් වෙළෙඳපොලට නොපැමිණෙන හෝ පැමිණි පසු ඉවතලන ආහාර නිෂ්පාදන ද ලෙස විශාල ආහාර ප්‍රමාණයක් සෑම වසරකම නාස්ති වේ. එසේ සිදු වන්නේ ලොව පුරා මිලියන 800 කට ආසන්න පිරිසක් (එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරන පරිදි) මන්ද පෝෂණයෙන් පෙළෙන අතරතුර ය​.

ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ වැඩිම පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙන රටවල් අතර පෙරමුණේම සිටින රටවල් සියල්ලක්ම පාහේ අප්‍රිකානු මහාද්වීපයේ පිහිටා තිබේ. එහෙයින් ආහාරවල වටිනාකම එම මහාද්වීපයේ රටවලට අන් බොහෝ රටවලට වඩා වැඩියෙන් දැනෙනු ඇතැයි අපේක්ෂා කිරීම සාධාරණ ය​. එහෙත්, පුදුමයට කරුණ නම්, අප්‍රිකාවේ ද ආහාරවලින් සියයට පනහක් පමණ අපතේ යන බව ගණන් බලා තිබීම ය​.
Tengeru market near Arusha, Tanzania (Fanny Schertzer - Wikimedia Commons)

ලොව පුරා වසරකට ආහාර ටොන් බිලියන 1.3 ක් අපතේ යන බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization - FAO) ගණන් බලා තිබේ. මෙය ආහාර සැපයුම් දාමයෙහි, එනම් නිෂ්පාදකයාගේ සිට පරිභෝජකයා දක්වා ඕනෑම තැනකින් සිදුවිය හැක​. ඕනෑම රටක පරිභෝජකයා විසින් අපතේ යවන ප්‍රමාණයට වඩා නිෂ්පාදකයාගේ සිට පරිභෝජකයා කරා පැමිණෙන විට දී අපතේ යන ප්‍රමාණය වැඩි ය​. එහෙත් වඩා ධනවත් රටවල පරිභෝජකයන් විසින් අපතේ යවන ආහාර ප්‍රමාණය දුප්පත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළය​.

මෙම කරුණ පිළිබඳව​ වසර කිහිපයකට පෙර FAO විසින් පිළියෙල කළ සංඛ්‍යා ලේඛන පහත රූපයෙන් දිස් වේ​. ඉහළින් ඇති වගුවේ එක් එක් ආහාර වර්ග, ආහාර සැපයුම් දාමයේ එක් එක් අවස්ථාවලදී අපතේ යන ප්‍රමාණ දැක්වෙන අතර පහළ ඇති වගුවේ එක් එක් කලාපවල ආහාර අපතේ යෑම දැක්වේ.

අප්‍රිකාවේදී බොහොමයක් ආහාර අපතේ යන්නේ පරිභෝජකයා අතින් නොව ඊට පෙර ය​. මෙම තත්ත්වය මත්ස්‍ය නිෂ්පාදනය සහ ආහාර භෝග පිළිබඳ සත්‍යයකි. බොහෝ ප්‍රදේශවල ගබඩා කිරීමේ සහ ප්‍රවාහනයේ ඇති දුෂ්කරතා හේතුවෙන් ආහාර විශාල වශයෙන් අපතේ යයි. ඇතැම් විට ප්‍රවාහන වියදම් දරාගෙන වෙළෙඳපොලට ගෙන ආ විට ඊට සරිලන මිලක් ලබාගත නොහැකි ය​. එහෙයින් ද විශාල ආහාර තොග අපතේ යයි.

අනෙකුත් තෙවන ලෝකයේ යයි කියනු ලබන රටවල ද මෙම තත්ත්වය පොදු වන අතර බොහෝ අප්‍රිකානු රටවල එය සාමාන්‍ය තත්ත්වයකි. අප්‍රිකාවේ ආහාර නිෂ්පාදනයෙන් අඩක් ම අපතේ යන්නේ එහෙයිනි.

Tuesday, August 23, 2016

සෝවියට් දේශය බිඳ වැටීම - 1991 අගෝස්තු කුමන්ත්‍රණය​

සෝවියට් දේශයෙහි බිඳ වැටීම වේගවත් වීමට සෘජු ලෙසම දායක වූ 1991 අගෝස්තු කුමන්ත්‍රණයට පසුගිය දා වසර 25 ක් සපිරුණි. ලෝක ඉතිහාසය වෙනස් කිරීමට දායක වූ සිදුවීම් අතර එතරම් ඉහළින් සාකච්ඡාවට භාජනය නොවූව ද සෝවියට් දේශයෙහි ඉරණම කෙරෙහි ප්‍රබල බලපෑමක් කළ සිදුවීමක් ලෙස මෙය සැලකේ.
මොස්කව් නගරයේ යුධ ටැංකි. Pic: Sergey Subbotin / Sputnik

කුමන්ත්‍රණය දියත් කළ පිරිසගේ බලාපොරොත්තුව වූයේ සෝවියට් දේශය තුල ක්‍රියාත්මක වෙමින් පැවති ප්‍රතිසංස්කරණ නවතා දමා දැඩි මතධාරී පාලනයක් නැවත ස්ථාපිත කිරීමය​. නමුත් එම කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් විසින් රැක ගැනීමට ගිය සෝවියට් දේශයේ කඩා වැටීම වේගවත් වීම ය​.

කඩා වැටෙන සෝවියට් දේශය රැක ගැනීමේ ගොර්බචොව්ගේ වෑයම

අගෝස්තු කුමන්ත්‍රණයට ආසන්නතම හේතුව වූයේ සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචොව්ගේ මූලිකත්වයෙන් පිළියෙල වූ නව ඒකාබද්ධතා ගිවිසුම (New Union Treaty) ය​. 1985 දී බලයට පැමිණි ගොර්බචොව් ඉන් වසර කිහිපයකට පසු සිය පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙල හඳුන්වා දෙමින් රටේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ ය​. මෙහිදී ඔහුට සාම්ප්‍රදායික කණ්ඩායම්වලින් මෙන්ම ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම්වලින් ද එන අභියෝගවලට මුහුණ දීමට සිදු විය​. පැරණි සෝවියට් නායක පැලැන්තිය සහ කේ.ජී.බී ඔත්තු සේවය ප්‍රතිසංස්කරණවලට එරෙහි වූ අතර වඩා ලිබරල්වාදී කොටස් ගොර්බචොව්ගේ ගමන මන්දගාමී බව විශ්වාස කළ හ​. මේ අතර සෝවියට් පාලන තන්ත්‍රයෙහි බැමි ලිහිල් වත්ම ජනතාව වඩා වැඩි නිදහසක් ඉල්ලන්නට වූ අතර ජාතිවාදී කොටස්වල වර්ධනයක් ද දිස් වීය​.

1990 අවසන් භාගය වනවිට මෙම සියලු පිරිස්වල බල අරගල අතරේ සෝවියට් දේශය බිඳ වැටෙමින් පැවතියේය​. ඇතැම් සමූහාණ්ඩු, වෙසෙසින්ම බෝල්ටික් සමූහාණ්ඩු, බොහෝ දුරට තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට පටන් ගෙන තිබුණි. මොස්කව්වල පාලනය භයානක ලෙස තර්ජනයට ලක් වෙමින් පැවතිණ​.
ගොර්බචොව් සහ යනායේව් (වමේ) Pic: Boris Kaufman / Sputnik

නව ඒකාබද්ධතා ගිවිසුම කරළියට රැගෙන එනු ලැබුවේ එම තත්ත්වය පාලනය කිරීමටය​. මෙය කෙටුම්පත් කිරීම සඳහා සමූහාණ්ඩු පහලවෙන් නවයක් දායක වූහ​. බෝල්ටික් සමූහාණ්ඩු තුන, එනම් ලැත්වියාව​, ලිතුවේනියාව සහ එස්තෝනියාව මෙන්ම, මොල්ඩෝවාව​, ආර්මේනියාව සහ ජෝර්ජියාව යන සමූහාණ්ඩු ද එම ගිවිසුමට දායක වූයේ නැත​. මෙම ගිවිසුමෙන් බලාපොරොත්තු වූයේ මධ්‍යගත පාලනය ලිහිල් කොට නව සන්ධීය ක්‍රමවේදයක් සැකසීම ය​. 1990 අග භාගයේදී ඇරඹුන මෙම ගිවිසුම කෙටුම්පත් කිරීම 1991 මැද වෙද්දී අවසන් විය​. එය අත්සන් කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු 20 වනදා ය​.

මෙම ගිවිසුම පිළිබඳ තමන් සතුව විශාල බලාපොරොත්තු තිබූ බව මිහායිල් ගොර්බචොව් RT රූපවාහිනී සේවය සමඟ මෑතකදී කියා සිටියේ ය​. ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී රට මුහුණදුන් අභියෝග සමඟ සන්සන්දනය කිරීමේදී අනාගතයේ එන අභියෝග එතරම් විශාල වනු ඇතැයි තමන් නොසිතූ බව ඔහු සඳහන් කළේ ය​.

ගිවිසුම අත්සන් කිරීමට පෙර සෝවියට් නායක ගොර්බචොව් නිවාඩුවක් ගත කිරීම පිණිස ක්‍රිමියාවේ ෆොරොස් වෙත ගියේය​.

කුමන්ත්‍රණ සැලසුම

අගෝස්තු කුමන්ත්‍රණය එකෙණෙහි ඇති වූවක් නොව කලක් තිස්සේ සැලසුම් කොට ක්‍රියාත්මක කළ එකකි. එහි එක් ප්‍රධානම නායකයකු වූයේ කේ.ජී.බී. සේවයේ ප්‍රධානී ව්ලැඩිමීර් කෘච්කොව් ය​. එමෙන්ම උප ජනාධිපති ගෙනඩි යනායෙව් ද ඒ අතර විය​. කේ.ජී.බී. ය විසින් කුමන්ත්‍රණකරුවන් ද ඇතුලු ප්‍රධාන සෝවියට් නායකයන් සියලු දෙනාගේ දුරකතන මාර්ග ටැප් කළ අතර හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර රට පාලනය කිරීමේ පිඹුරුපත් ද සකසනු ලැබිණ​.

කුමන්ත්‍රණයෙන් දින කිහිපයකට පසු එවක රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති වූ බොරිස් යෙල්ට්සින් කුමන්ත්‍රණකරුවන් ගේ සිතැඟි පිළිබඳ සිය අදහස පළ කළේ ය​. "නව ඒකාබද්ධතා ගිවිසුමෙන් පසු පරණ සෝවියට් නිලධාරී යාන්ත්‍රණය​, කැබිනට් මණ්ඩලය ආදී සියල්ලම අනවශ්‍ය වන තැනට කටයුතු සැකසෙන්නට නියමිතව තිබුණා. කුමන්ත්‍රණකරුවන් ඒ සඳහා යොමු වූයේ මෙම බිය නිසා."

කුමන්ත්‍රණය දියත් වූ විගස බාධකයක්

අගෝස්තු 18 වනදා ෆොරෝස් හි ගොර්බචොව්ගේ බංගලාවෙහි සියලුම දුරකථන මාර්ග කපා දමන ලදී. කේ.ජී.බී. සභාපතිවරයා කුමන්ත්‍රණකරුවන් සමඟ සිටීම හේතුවෙන් එහි කිසිදු අපහසුතාවක් නොවී ය​. තත්ත්වය කෙතරම් බරපතල වී ද යත් සෝවියට් න්‍යෂ්ඨික අවි ගබඩා සමඟ වූ සම්බන්ධය පවා කපා දමනු ලැබීය​. මේ අතර කේ.ජී.බී. භටයින් විසින් නිවෙස වටලනු ලැබීය​.

මින් පැය භාගයකට පමණ පසු කුමන්ත්‍රණකරුවන් පිරිසක් ගොර්බචොව් හමුවීමට පැමිණියෝය​. කෙලින්ම ඔහුගේ කන්තෝරු කාමරය වෙත ගිය ඔව්හු ඔහුට අත්සන් තැබීමට ලියවිලි කිහිපයක් ඉදිරිපත් කළෝ ය​. ඉන් එකක් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර කැරලිකාර සමූහාණ්ඩු පාලනය කිරීමේ අණක් වූ අතර තවත් ලියවිල්ලක වූයේ සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමා සිය බලතල සියල්ල උප ජනාධිපති යනායේව් වෙත පවරන බව ය​. කුමන්ත්‍රණයේ මුල් පියවර කිහිපය තිතටම සිදු වී තිබුණ අතර කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වූයේ ගොර්බචොව් විරුද්ධත්වයක් නොදක්වා බලයෙන් ඉවත්වනු ඇති බවය​.
කුමන්ත්‍රණය පරාජය වූ පසු යුධ ටැංකි මත නැගී රුසියානුවෝ සිය ප්‍රීතිය පළ කරති. Pic: Sergey Subbotin / Sputnik

ගොර්බචොව් විරුද්ධත්වය ප්‍රකාශ කළහොත් ගතයුතු පියවර පිළිබඳ කුමන්ත්‍රණකරුවන් අවධානය යොමු කළ බවක් නොපෙනේ.

නමුත් සිදු වූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයයි. එනම් ගොර්බචොව් කුමන්ත්‍රණකරුවන්ගේ අණසකට යටත් නොවීමයි. තම අතේ ලේ තවරාගැනීමට අකමැති බව ප්‍රකාශ කළ ගොර්බචොව් කුමන්ත්‍රණකරුවන් අවස්ථාවාදීන් ලෙස හඳුන්වා දෙමින් ඔවුනට දරුණු ලෙස බැණ වැදුනේ ය​.

ගොර්බචොව්ට ජීවිත හානියක් සිදු කිරීමේ බරපතලකම දන්නා හෙයින් කුමන්ත්‍රණකරුවෝ එවන් පියවරකට නොගියෝ ය​. ඔවුනට අවශ්‍ය වූයේ ගොර්බචොව් විරුද්ධත්වයක් නොදක්වා බලය පැවරූ බව ප්‍රදර්ශනය කිරීමට ය​. එහෙත් ඔවුනට සිදු වූයේ අත්සන් නොකළ ලියවිලි සමඟ ආපසු මොස්කව් වෙත යෑමට ය​.

හදිසි තත්ත්වය පිළිබඳ රාජ්‍ය කමිටුව හෙවත් අට දෙනාගේ කල්ලිය​

මොස්කව් නුවරදී අත්සන් නොකරන ලද ලියවිලි ද සමඟ රැස්වූ කුමන්ත්‍රණකරුවෝ මීළඟ පියවර පිළිබඳ වාද කරන්නට වූහ​. කිසිවෙකුත් මෙම කුමන්ත්‍රණයේ මූලික වගකීම ගන්නට සූදානමින් නොසිටියෝ ය​. සත්‍ය වශයෙන්ම එය ආඬි හත්දෙනාගේ කැඳ හැළිය බඳු සිද්ධියකි. කේ.ජී.බී. ප්‍රධානියා මෙම ප්‍රයත්නයෙහි පෙරමුණෙන්ම සිටි නමුදු මහජනතාව ඉදිරියේ කුමන්ත්‍රණයේ නායකයා ලෙස පෙනී සිටීමට ඔහුගේ කැමැත්තක් නොවී ය​. රහස් ඔත්තුකරුවකු ලෙස ඔහුගෙන් එය බලාපොරොත්තු විය යුතුව තිබිණ​. අවසානයේදී උප ජනාධිපති යනායේව් කුමන්ත්‍රණයේ නායකත්වය ගතයුතු බව තීරණය කෙරුණි. ඔවුහු හදිසි තත්ත්වය පිළිබඳ රාජ්‍ය කමිටුව ලෙස තමන්ව හඳුන්වා ගනිමින් නියෝග නිකුත් කරන්නට පටන් ගත් හ​.

අගෝස්තු 19 වනදා මොස්කව් අගනුවරට යුධ ටැංකි කැඳවන ලදී. සියලුම රූපවාහිනී නාලිකාවල සාමාන්‍ය වැඩසටහන් නවතා දමන ලද අතර සියල්ලෙහි ම චයිකොව්ස්කිගේ Swan Lake (හංස විල​) නාටකය විකාශය කිරීමට පටන් ගත්තේය​.

අගෝස්තුවේ වීරයා

අගෝස්තු කුමන්ත්‍රණයෙහි වීරයා මේ අවස්ථාවේ සිටියේ සිය ගිම්හාන ඩචාවේ (බංගලාවේ) නිදි සුව විඳිමිනි. රුසියානු සෝවියට් සමූහාණ් ඩුවේ ජනාධිපති බොරිස් යෙල්ට්සින් කසාක්ස්ථානයේ නායකයා හමුවීමෙන් පසු මොස්කව් වෙත පැමිණ නගරයෙන් පිටත වූ සිය ඩචාවට ගියේ විවේක ගැනීමට ය​. රූපවාහිනී නාලිකා සියල්ලේම හංස විල විකාශය වනු දුටු ඔහුගේ දියණිය සිය පියා අවදි කළේ කුමක් හෝ අමුත්තක් ඇති බව දැනුණ හෙයිනි. වහාම සිය වාහනයට නැගුණ යෙල්ට්සින් මොස්කව් වෙත වේගයෙන් ගමන් කළේ සිදුව ඇත්තේ කුමක්දැයි විමසන අටියෙනි. ඔහුගේ ඩචාව වටා ඒ වනවිටත් විශේෂ බලකාය රැඳී සිටියද ඔවුනට යෙල්ට්සින්ට වෙඩි තැබීම හෝ ඔහු අත් අඩංගුවට ගැනීමට හෝ අණ තහනම් විය​.

ක්‍රෙම්ලීන පවුර අසළට යෙල්ට්සින් ගේ ආධාරකරුවන් සුලු පිරිසක් එකතු වූ අතර ඉන්පසු ඔව්හු රුසියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හෙවත් ධවල මන්දිරය (White House) වෙත ගිය හ​. මෙහිදී රජයේ හමුදා වෙතින් අල්ලාගන්නා ලද යුධ ටැංකියක් මත නැගුණ යෙල්ට්සින් ප්‍රතිවිප්ලවකාරී කුමන්ත්‍රණය හෙළා දකිමින් කතාවක් පැවැත්වී ය​. මෙය යෙල්ට්සින් ගේ "යුධ ටැංකියේ කතාව" ලෙස හැඳින්වේ.

මෙයින් පසු සිය දහස් ගණනින් ජනයා ධවල මන් දිරය කරා ඇදී එන්නට වූහ​. එම ජනකාය 70,000 ක් ඉක්මවූ බව ගණන් බලා ඇත​. කෙමෙන් කෙමෙන් මෙම පිරිස අතරට හමුදා සෙබලුන් සහ නිලධාරීන් පවා එක් වන්නට වූහ​.

වෙවුලන ජුන්ටාව​​

රූපවාහිනී නාලිකා පාලනය කිරීමෙන් පලක් නොවූ තැන කුමන්ත්‍රණකාර ජුන්ටාව මීළඟ තීරණය ගත්තේය​. ඔව්හු මාධ්‍ය හමුවක් කැඳවූවෝය​. ගොර්බචොව් හමුවූ අවස්ථාවේ මෙන්ම මාධ්‍ය හමුවූ අවස්ථාවේද කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වූ දෙය සිදු නොවීය​. එහෙත් මෙවර වරදකරුවන් වූයේ ඔවුන්ම ය​.
From left: Alexander Tizyakov, Vasily Starodubtsev, Boris Pugo, Gennady Yanayev, and Oleg Baklanov. Pic: Vladimir Rodionov / Sputnik

දිග මේසයක් පිටිපස එක පෙළට හිඳගෙන මාධ්‍යවේදීනට මුහුණ දුන් මෙම පිරිසෙහි ජුන්ටාවක ලක්ෂණ වෙනුවට වූයේ බියෙන් තැති ගත් ස්වභාවයකි. කුමන්ත්‍රණයෙහි නායකයා ලෙස නාමමාත්‍රව කටයුතු කළ යනායේව්ගේ දෑත් වෙවුලනු පැහැදිලිව දිස් විය​. කුමන්ත්‍රණය සාර්ථක වේ යයි යම් ආකාරයක හෝ බලාපොරොත්තුවක් වී නම් එය එදින ම සුන් වූයේය​.

රට ගිනි ගනිද්දී ආරක්ෂකයෝ උපන් දින සැමරුමක​

මේ අතර කුමන්ත්‍රණයට හමුදාවේ කොටස්වල මතු නොව සෝවියට් දේශයේ පරම ආරක්ෂකයා වූ කේ.ජී.බී. ආයතනයේම ඇතමුන් ගේ සහය නොමැති බව පැහැදිලි වූයේය​. එවක කේ.ජී.බී මේජර්වරයකු වූ වැලේරි ෂිර්යයෙව් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සමඟ මෑතකදී සඳහන් කළ පරිදි ඇතැම් කේ.ජී.බී. නිලධාරීන් අණ පිළි නොපැදීමට ක්‍රම සොයාගත්තෝ ය​. ප්‍රතිසංස්කරණවාදී මහජන නියෝජිතයන් අත් අඩංගුවට ගැනීමට අණ ලැබුණ කේ.ජී.බී. නිලධාරීන් පිරිසකට එකවරම 'මතක් වූයේ' සිය සගයකු එදිනම උපන් දිනය සමරන බවයි. එම පිරිස උපන් දින සැමරුම සඳහා ගොස් හොඳහැටි මත්පැන් බීවෝ ය​.

රාජකාරි වේලාවේ බීමතින් හැසිරීමට නිලයෙන් පහත් කළ හැක​; රැකියාවෙන් ඉවත් කළ හැක​; දඬුවම් ලෙස මාරු කිරීම හෝ වෙනත් ආයතනික දඬුවමක් දිය හැක​. නමුත් සිරගත කළ නොහැක​. කේ.ජී.බී. නිලධාරීන් මත්පැනෙහි ආධාර සෙව්වේ එම පදනමෙනි.

ගොර්බචොව් තනිව ජාතිය අමතයි

සිය ඩචාවේ සිරගත වූ ගොර්බචොව් රූපවාහිනිය ඔස්සේ රටේ වූ පෙරළිය පිළිබඳ දැන ගත්තේය​. සිදු වෙමින් පවතින සිද්ධි දාමය දකිමින් නිහඬව සිටීම සුදුසු නොවන බව හැඟුණ හෙයින් දෝ ඔහු අගෝස්තු 20 වනදා ප්‍රකාශයක් පටිගත කළේ ය​. එමගින් තමා බලයෙන් පහ කරනු ලැබ ඇති බව ජනතාවට හෙළි කළේ ය​. කෙසේ වෙතත් ඔහු එම වීඩියෝ පටය සිය ඩචාවෙන් පිටතට යැවීමට උත්සාහ නොකළේ ය​. ඇතැම්විට ඊට ක්‍රමයක් නොතිබෙන්නට ඇත​. කෙසේ නමුත් සෝවියට් ජනතාව එය දුටුවේ සියල්ල අවසන් වූවාට ද පසුවය​. එවිට එය දැකීමෙන් සිදුවූ එකම දෙය නම් ගොර්බචොව් ඇතමුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.

අද වනතුරු සිදු නොවූ හමුදා මෙහෙයුම​

අගෝස්තු 20 වනදා වන විට තමන් වෙතින් බලය ගිලිහෙමින් පවතින බව ජුන්ටාව තේරුම් ගත්තේ ය​. මේ අනුව එය හමුදාව යොදවා විරෝධතාකරුවන් මර්ධනය කිරීමට තීරණය කළ හ​. ඇත්තෙන්ම​, කැමරාව ඉදිරියේ කෙතරම් බියසුලු බවක් පෙන්වූවද ජුන්ටාවේ බලය තවමත් සම්පූර්ණයෙන් කඩා වැටී නොතිබුණි. විරෝධතාකරුවන් අතර හමුදාමය මැදිහත්වීමක් පිළිබඳ බිය දිගටම පැවතිණ​.

අගෝස්තු 20 වනදා ධවල මන්දිරයට පහර දෙන ලෙස 'ඇල්ෆා' විශේෂ හමුදා ඛණ්ඩයට අණ ලැබිණ​. නමුත් එම සේනාංක අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කළ හ​. සවස 6ට නියමිත වූ මෙහෙයුම ඉන්පසු රාත්‍රී 8ට කල් දමන ලදී. ඉන්පසු එය තවත් කිහිප විටෙකම කල් දමන ලදී. එය කිසිදා දියත් වූයේ නැත​.

ඊළඟ දිනය වනවිට කුමන්ත්‍රණය බිඳ වැටිණ.

යෙල්ට්සින් විසින් යවන ලද භට පිරිසක් ගොර්බචොව් මුදාගෙන මොස්කව් වෙත ඔහු රැගෙන ආවෝ ය​. ඔහු මොස්කව් වෙත ආවේ පරාජිතයකු ලෙස ය​. කුමන්ත්‍රණය දිනවල ඔහු ඈත පිටිසරක සිරගතවී සිටියෙන් ඔහු සිටන වගක් ජනතාවට නොවී ය​. ජනතාවගේ වීරයා වූයේ යෙල්ට්සින් ය​.

මීළඟ සති කිහිපය තුළ කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලදී. මුලින්ම යෙල්ට්සින් විසින් රුසියාව තුළ එය තහනම් කෙරුණ අතර පසුව ගොර්බචොව් විසින් සෝවියට් දේශයටම බලපාන පරිදි පක්ෂය තහනම් කෙරුණි. මේ අතර දෙසැම්බර් 8 වනදා අත්‍සන් කෙරුණ බෙලවෙජා ගිවිසුම මගින් රුසියාව​, බෙලාරස් සහ යුක්‍රේන නායකයෝ සෝවියට් දේශය විසුරුවා හරින ලද බව ප්‍රකාශ කළෝ ය​. ගොර්බචොව් දෙසැම්බර 25 වනදා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ ය​. සෝවියට් දේශය ද ඒ සමඟම විසුරුවා හැරිණ​.

Monday, August 22, 2016

සිංගප්පූරු අගමැතිවරයා වේදිකාව මත ක්ලාන්ත වෙයි

සිංගප්පූරු අගමැති ලී හ්සියෙන් ලූන්ග් ඊයේ රාත්‍රියේ එරට ජාතික දින රැලියේ සිය කතාව අතරතුර ක්ලාන්ත වූයේය​.

ජාතික දින රැලිය (National Day Rally) සිංගප්පූරු අගමැතිවරයා විසින් වාර්ෂිකව ජාතිය අමතා කෙරෙන කතාවකි. සෑම වසරකම අගෝස්තු 9 වනදාට පසුව එන දෙවැනි ඉරිදා දින මෙම කතාව කරනු ලබයි.
සේයා රුව​: The Straits Times

ඊයේ දිනයේ ජාතික දින රැලිය පවත්වන ලද්දේ ITE කොලේජ් සෙන්ට්‍රල්හි ය​. මැන්ඩරින් සහ මැලේ භාෂාවෙන් ජාතිය ඇමතූ අගමැතිවරයා එරට වේලාවෙන් රාත්‍රී අටට සිය ඉංග්‍රීසි කතාව ඇරඹීය​. ඉංග්‍රීසි කතාවෙහි පැයක් පමණ ගිය තැන ලී හ්සියෙන් ලූන්ග් යම් අපහසුතාවයකට පත්වනු පැහැදිලිව දිස් විය​. එසැණින් ඔහු වෙත එල්ල වී තිබුණු රූපවාහිනී කැමරාව අන් අතකට හැරිණ​. එහෙයින් එම සිදුවීම රූපවාහිනිය ඔස්සේ අගමැතිගේ කතාව අසමින් සිටි අය සම්පූර්ණයෙන්ම නොදුටුවහ​.

ආරක්ෂක ඇමතිවරයා සහ තවත් කිහිප දෙනෙකු විසින් අගමැති ලී වේදිකාවෙන් ඉවතට රැගෙන යන ලදී. එසේ ඇවිද යද්දී ඔහු ප්‍රේක්ෂකාගාරය දෙස ආචාර කළේ ය​. කුමකින් කුමක් වන්නේදැයි තුශ්නිම් භූතව බලා සිටි ජනයා අගමැතිවරයා මෙසේ ඇවිදගෙන යන විට අත්පොලසන් දුන්නෝ ය​.

කෙසේ වෙතත් ස්වල්ප වේලාවකට පසු නිවේදනය කෙරුණේ අගමැති ලී සිය කතාව අවසන් කිරීම සඳහා නැවත සභාව වෙත එන බවය​. කතාව අතරමග නවතා පැයකුත් විනාඩි විස්සක් පමණ ගිය තැන ලී නැවත සභාව වෙත පැමිණෙද්දී රැස්ව සිටි පිරිස අසුන්වලින් නැගිට අත්පොලසන් දුන් හ​.

මේ අතර මෙම සිදුවීමෙන් පැයකට පමණ පසු අගමැති කාර්යාලය විසින් නිවේදනය කෙරුණේ අගමැති ලී බොහෝ වේලාවක් සිටගෙන සිටීම​, දාහය සහ විජලයනය හේතුවෙන් අසමතුලිත ස්වාභාවයක් පෙන්නුම් කළ බවත් ඔහුට හෘදයාබාදයක් හෝ ආඝාත තත්ත්වයක් හෝ නොමැති බවය​.

නැවත සිය කතාව ඇරඹූ ලී ප්‍රකාශ කළේ ජීවිතයේ කිසිදු දිනෙක මෙතරම් වෛද්‍යවරුන් ඔහු වටා රොක් නොවූ බවත් සිය කතාව අවසන් කර පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන බවත් ය​. කෙසේ නමුත් එම සිද්ධිය තුලින් මීළඟ නායකත්වය රට භාර ගැනීමට සූදානම් වීමේ වැදගත්කම තවත් පැහැදිලි වන බව ලී කියා සිටියේ ය​.

මීළඟ මැතිවරණයෙන් පසු නව නායකත්වය රට භාරගැනීමට සූදානම් විය යුතු බව ඔහු කියා සිටියේ ය​.

ඊට අවශ්‍ය මූලික කණ්ඩායම මේ වන විට සැකසී තිබෙන බව පැවසූ ලී ඇමතිවරුන් වේවා ඇමතිවරුන් නොවේවා, සියල්ලන්ම කෙදිනක හෝ මිය යන බව ද මතක් කළේ ය​.

2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසුවද​, 2020 දී පැවැත්වෙන මීළඟ මැතිවරණයෙන් පසු අගමැති ධූරයෙන් ඉවත්වන බවට ඔහු ඇඟවීමක් කළේය​. මේ අතර වයස අවුරුදු 70 පිරුණ පසු තව දුරටත් අගමැති ධූරය දැරීමේ අදහසක් තමන්ට නොමැති බව ද ලී ප්‍රකාශ කර තිබේ.

1952 පෙබරවාරියේදී උපන් ලී දැන් 64 වන වියේ පසු වෙයි. 1990 ගණන්වල මුල් කාළයේ දී පිළිකාමය තත්ත්වයක් වන ලිම්ෆෝමාව සඳහා ප්‍රතිකාර ලබාගත් ලී 2015 දී පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් සඳහා ද ප්‍රතිකාර ලබා ගත්තේය​. 1984 පටන් සිංගප්පූරු පාර්ලිමේන්තුව නියෝජනය කරන ලී 2004 සිට එරට අගමැති ධූරය දරයි.

ලී හ්සියෙන් ලූන්ග් නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ වැඩිමහල් පුත්‍රයා ය​.

Sunday, August 21, 2016

පිළිකාවෙන් පෙලෙන දරුවකු වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කළ ක්‍රීඩකයා

රියෝ ද ජනේරෝ ඔලිම්පික් උළෙලේ කවපෙත්ත විසි කිරීමේ රිදී පදක්කම දිනූ පෝලන්තයේ පියෝතර් මැලචොව්ස්කි සිය පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කළේ ය​.

ඒ ඉතා දුලබ ගණයේ පිළිකාවකින් පෙළෙන කුඩා දරුවකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස ය​.

2008 දී ද කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කම දිනූ මැලචොව්ස්කි 2015 බීජිං මළල ක්‍රීඩා ලෝක ශූරතාවයේදී රන් පදක්කම දිනා ගත්තේය​. මෙවර ඔලිම්පික් උළෙලේදී ද රන් පදක්කම දිනා ගැනීමට බලාපොරොත්තුවෙන් පසු වුවද මැලචොව්ස්කිට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු විය​. ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේ 2012 ඔලිම්පික් ශූරයා වූ රොබර්ට් හාර්ටිංග්ගේ සහෝදරයා වන ජර්මන් ක්‍රීඩක ක්‍රිස්ටොෆ් හාර්ටිංග් ය​.

රිදී පදක්කම දිනා ගැනීම පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබූ මැලචොව්ස්කි කියා සිටියේ දෛවය විසින් ඔහු සතු රිදීවල වටිනාකම වැඩි කිරීමට තීරණය කෙරුණ බව ය​.

තුන් හැවිරිදි වියේ පසුවන ඔලෙක් සිමාන්ස්ක් (Olek Szymansk) පසුගිය දෙවසරක කාළය තුළ රෙටීනෝබ්ලැස්ටෝමා (retinoblastoma) නම් දුර්ලභ පිළිකාවකින් පෙළෙයි. මෙම අක්ෂි පිළිකාව වැළඳෙනුයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට ය​.

ඔලෙක්ගේ ඇස බේරාගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම නිව්යෝර්ක් නුවර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැවිය යුතු බව මැලචොව්ස්කි පෙන්වා දෙයි. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල ස්ලොටි 480,000 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 126,000 ක් වන බව සෙයිපොමාගා නම් පදනම පවසයි. මින් තුනෙන් එකක් පමණ මේ වනවිට සොයාගෙන ඇති බව ද එම සංවිධානය කැනඩාවේ 'ද ග්ලෝබ් ඇන්ඩ් ද මේල්' පුවත්පත සමඟ පවසා තිබේ.

මැලචොව්ස්කිගේ රිදී පදක්කමට මේ වනවිට ලැබී ඇති විශාලම ලන්සුව ස්ලොටි 70,300 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 18,500 කි.

Saturday, August 20, 2016

රියෝ නුවර මැරතන් දුවන කෙන්යාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී

1982 නොවැම්බරයේදී කෙන්යාවේ බටහිර දිග අන්ත දුගී ගොවි පවුලක උපන් වෙස්ලි කොරීර් දිනපතා පාසැල වෙතත්, යළි නිවෙස කරාත් සැතපුම් ගණනක් දිව්වේය​. අයුරින් ඇරඹි දිගු දුර දිවීම ඔහු 2012 දී බොස්ටන් මැරතන් තරඟයේ ජයග්‍රහණය කරා ගෙන ගියේය​. ඊළඟ වසරේ දී චෙරන්ගානි ආසනයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කොරීර් පාර්ලිමේන්තුවට තේරී පත් විය​. හෙට දිනයේ ඔහු රියෝ ද ජනේරෝවේ පැවැත්වෙන ඔලිම්පික් පිරිමි මැරතන් තරඟයට සහභාගී වනු ඇත​.

මැරතන් දිවීම කොරීර් වෙත ජයග්‍රහණ මෙන්ම මුදල් ද ළඟා කර දුන්නේය​. පෞද්ගලික අරමුදලක් පවත්වාගන යන ඔහු එමගින් පාසල් ළමුන් 300 කගේ අධ්‍යාපනයට වියදම් කරයි; ගොවීන් 2000 කට ආධාර කරයි. තව ද ඔහු විසින් සිය ගණනක් රැකියා අවස්ථා ද සිය ජනතාව වෙත ලබා දී ඇත​.

ඔහුගේ ගම් පළාතේ ජනතාවට කොරීර් යනු වීරයෙකි.
2012 දී බොස්ටන් මැරතන් තරඟයේ ජයග්‍රහණය

"මා දේශපාලනයට පැමිණියේ පවතින තත්ත්වය වෙනස් කරන්නටයි. දේශපාලනය විසින් මා වෙනස් නොකරන තැනට කටයුතු කිරීම මගේ උත්සාහයයි" කොරීර් ඉකුත් ජූනි මාසයේදී බ්‍රිතාන්‍යයේ 'ද ගාර්ඩියන්' පුවත්පත සමඟ පැවසීය​.

දේශපාලනය සහ ක්‍රීඩාව යන දෙකට මැදිව සිටින කොරීර් ඔලිම්පික් උළෙල සඳහා පුහුණුව ලැබුයේ සිය ගම් පළාතේ කඳුකර මාවත්, නයිරෝබිය අසළ වනගත පෙදෙසක සහ ජාතික සභාවේ (එරට පාර්ලිමේන්තුව​) ශරීර සුවතා මධ්‍යස්ථානය අතර හුවමාරු වෙමිනි. පාර්ලිමේන්තු ශරීර සුවතා මධ්‍යස්ථානයේ වූ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය (එක තැන ඇවිදීමට ගන්නා යන්ත්‍රය​) ඔහුට ප්‍රමාණවත් තරම් වේගවත් නොවූ හෙයින් ඔහු වෙනුවෙන් ම වෙනමම යන්ත්‍රයක් ගෙන එන ලදී.

සිය ට්විටර් ගිණුමේ ඔහු සිය අවසන් අභිලාෂය පැහැදිලිව සඳහන් කරයි. ඔහුගේ අරමුණ කෙන්යාවේ ජනාධිපති වීම යි.

"ලෝකය පුදුමයෙන් බලා සිටිනවා කොහොමද කෙන්යානුවන් මෙතරම් වේගයෙන් දුවන්නේ කියා" ඔහු තව දුරටත් පැවසීය​. "බටහිර රටවල ක්‍රීඩකයන්ට රැකියාවක් හෝ අමතර ආදායමක් තිබෙනවා. අපට එය නැහැ. ඇත්තෙන්ම කෙන්යානුවන් දුවන්නේ ඔවුන් පසුපස එන දුප්පත්කමෙන් ගැලවීමට යි."

කෙසේ වෙතත් මුදල් ද සමඟ වෙනත් ගැටලු ද පැනනැගී ඇති බව කොරීර් පවසයි. තහනම් උත්තේජක භාවිතය ඉන් ප්‍රධාන ය​. කොරීර් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ සඳහන් කරන්නේ දැඩි අප්‍රසාදයෙනි. නමුත්, එම වරද නිවැරදි කිරීමට නීති රීති පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු සඳහන් කළේය​.
වෙස්ලි කොරීර් සහ බිරිඳ තාරා මැකේ. තාරා කැනේඩියානු මළල ක්‍රීඩිකාවකි (Daily Nation, Kenya)

කොරීර් පවසනුයේ බොහෝ ක්‍රීඩා ලෝලීන්, සංවිධායකයින් සහ අනුග්‍රාහකයින් වඩා වේගවත් තරඟ බලාපොරොත්තු වන බව ය​. එහි ප්‍රතිපලය වන්නේ ඇතැම් ක්‍රීඩකයින් තහනම් උත්තේජක භාවිතය මගින් සිය වේගයන් වැඩි දියුණු කර ප්‍රසිද්ධිය සහ මුදල් සොයා යෑම බව ඔහු පෙන්වා දුන්නේය​.

වඩා වැදගත් වේග වාර්තා නොව තරඟය නිවැරදි ලෙස සාර්ථකව ජයග්‍රාහීව නිම කිරීම බව කොරීර් විශ්වාසය පළ කරයි.

කෙන්යානු ක්‍රීඩකයන් අතර තහනම් උත්තේජක භාවිතය ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මළල ක්‍රීඩා බලධාරීන් සඳහන් කරන බව පෙන්වා දෙන කොරීර් රියෝ ද ජනේරෝවේදී කෙන් යානු ක්‍රීඩකයන් සිය රටේ ගෞරවය වෙනුවෙන් තරඟ කරන බව ප්‍රකාශ කර සිටියේ ය​.

Friday, August 19, 2016

මධ්‍යධරණියේ ගිලී මියගිය ඔලිම්පික් සිහිනය​ - සාමියා ඔමාර් (1991-2012)

2012 වසරේ ඔලිම්පික් උළෙල අති උත්කර්ශවත් ලෙස ලන්ඩනයේදී පැවැත්විණ​. රටවල් 200 කට ආසන්න ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ එය එතෙක් මෙතෙක් පැවති සාර්ථකම උළෙලක් ලෙස සළකනු ලැබුණි. එම සති කිහිපය තුළ සැබෑ වූ මෙන් ම බොඳ වූ සිහින ද සිය දහස් ගණන් වන්නට ඇත​.

එක් තරුණ ක්‍රීඩිකාවක කලක් පටන් සිහින දුටුවේ ලන්ඩනයේ ඔලිම්පික් උළෙලට සහභාගී වීමටය​. ඇගේ මව් රටෙහි ඇයට පුහුණුකරුවකු හෝ පහසුකම් හෝ නොවීය​. ඊටත් වඩා දරුණු තත්ත්වය නම්, ක්‍රීඩාවෙහි යෙදීමම එරටේදී සිය මරණ වරෙන්තුව සටහන් කර ගැනීමක් වීම ය​.

මෙහි අවසන් ප්‍රතිඵලය ඛේදනීය එකක් විය​. පුහුණුකරුවකු සොයා යුරෝපයට පළා යාමට උත්සාහ කළ ඈ මධ්‍යධරණී මුහුදේ ගිලී මිය ගියාය​.

ඇය නමින් සාමියා ඔමාර් ය​. මිය යනවිට වයස අවුරුදු 21 කි. ඇගේ මව් රට සෝමාලියාව යි.

සෝමාලියාවේ මොගඩිෂු හි දිවි ගෙවූ සාමියා ඔමාර් පාසැල් ගමන නවතා දැමුයේ ඇගේ මව රැකියාවට ගිය කළ සිය සහෝදර සහෝදරියන් බලා ගැනීමට කෙනෙකු නොවූ හෙයිනි. ඇයට පුහුණු වීමට තිබුණේ අබලන් පිටියකි. මොගඩිෂු නුවර අන්තවාදී අල් ශබාබ් (Al-Shabaab) ත්‍රස්ත කල්ලිය විසින් පාලනය කෙරුණ සමයෙහි ක්‍රීඩාවක නිරත වීම මරණය ළඟා කරගැනීමක් විය​.
Samia Omar (Getty)

සාමියා ඔමාර් 2008 බීජිං ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ සෝමාලි ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙකු විය​. පාවහන් යුවළක්වත් නොතිබූ ඇයට එම අවශ්‍යතාව සපුරාගත හැකි වූයේ සුඩාන කාන්තා කණ්ඩායමට පින් සිදු වන්නට ය​. මීටර් 200 ධාවන තරඟයට සහභාගී වූ ඇය සිය මූලික තරඟය අවසන් කළේ අනෙක් ධාවකයින්ට බොහෝ පසු පසිනි. නමුත් ක්‍රීඩාංගනයේ සිටි ප්‍රේක්ෂකයෝ අවසානය දක්වා ඇය දිරිමත් කළ හ​.

"අපි දන්නවා අපි අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ නෙවෙයි කියලා" ඇය බීජිං නුවර දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය​. "නමුත් අපි ඒ බව පෙන්වන්නට කැමති නැහැ. මෙහි තරඟ කරන අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ අපට හැරෙන්නත් බැහැ. අපි එය දන්නවා. නමුත් අපි තරඟ වදින්නේ අපගේත් අපේ රටේත් ගෞරවය වෙනුවෙන්" ඇය තවදුරටත් කීවා ය​.

2010 වන විට සාමියා ඔමාර් ජීවත් වූයේ අවතැන් කඳවුරක ය​. ඇයට පුහුණු වීමට ක්‍රමයක් නොවීය​. එහෙත ඇගේ ලන්ඩන් ඔලිම්පික් සිහිනය නොනැසී තිබිණ​. ඇය යුරෝපයට යාමට අදිටන් කර ගත්තාය​. බෝට්ටුවෙන් මධ්‍යධරණිය තරණය කිරීමට ඇය තීරණය කළේ පවුලේ විරෝධතා නොතකා ය​. ඇගේ දැඩි පිණ්සෙන්ඩුවීම හේතුවෙන් අවසානයේ දී ඇගේ මව ඇයට ඒ සඳහා අවසර දුන්නා ය​.

2011 වනවිට සාමියා ලිබියාවට පැමිණියා ය​. ඒ ගොඩබිම ඔස්සේ ඉතියෝපියාව සහ සුඩානය පසු කරමිනි. 2012 දී ඇය යුරෝපයට යෑමට බෝට්ටුවකට නැගුණේ තවත් 70 දෙනෙකු සමඟය​. අතරමගදී ඉන් ධන අවසන් වීමෙන් පසු බෝට්ටුව එහා මෙහා පැද්දෙමින් තිබිණ​. ගලවාගැනීමේ යාත්‍රවක් ඒ කරා ළඟා වූ නමුත් සාමියාට ජීවත් වීමේ වාසනාව නොවී ය​. ගලවාගැනීමේ යාත්‍රාවට ගොඩ වීමට වූ පොරය අතරතුර කිහිප දෙනෙකු දියට වැටී ගිලුණ හ​. 2008 බීජිං ඔලිම්පික් උළෙලට සහභාගී වූ මළල ක්‍රීඩිකාව ද ඒ අතර වූවා ය​.

වසර අටකට පසු 2016 රියෝ ඔලිම්පික් උළෙලට ද සෝමාලියාවෙන් තරඟකරුවන් දෙදෙනෙකු සහභාගී වෙති. මින් කාන්තා මීටර 400 තරඟය සඳහා සහභාගී වූ මාරියම් මූසා ද සිය ඉසව්ව නිමා කළේ අන් ධාවකයින්ට වඩා බොහෝ පිටිපසිනි. එහෙත් ඇගේ සහභාගීත්වයම ඉතා වටිනා සිදු වීමකි.

සාමියා ඔමාර් බීජිං උළෙලට සහභාගී වී අට වසක් ගිය ද සෝමාලියාව තවමත් හිටි තැනමය​. එරටින් එක් ක්‍රීඩකයකු හෝ ඔලිම්පික් උළෙලට පැමිණීම ම රන් පදක්කමක් දිනන්නා සේ වටිනා ජයග්‍රහණයකි.

Thursday, August 18, 2016

හෙල්ල විසි කිරීමේ ලෝක ශූරයාගේ අපූරු පුහුණුකරු

දිනය 2011 සැප්තැම්බර් 15 ය​. ස්ථානය මොසැම්බික් රටේ මපුටෝ නුවර එස්ටාඩියෝ ඩෝ සිම්පෙටෝ හෙවත් සිම්පෙටෝ ක්‍රීඩාංගනය​. සමස්ථ අප්‍රිකානු ක්‍රීඩා උළෙලෙහි (All-Africa Games) පිරිමි හෙල්ලය විසි කිරීමේ තරඟය නිමා වූයේ කෙන්යාවේ ජුලියස් යෙගෝ නම් 22 හැවිරිදි තරුණයකුට ජයග්‍රහණය අත්කර දෙමිනි. මීටර 78.43 ක් දුර හෙල්ලය විසි කළ යෙගෝ වසර 14 ක් පැරණි ජාතික වාර්තාවක් බිඳ හෙළීය​. 2010 දී කෙන්යාවේ අගනුවර නයිරෝබි නුවරදී පැවති අප්‍රිකානු ශූරතාවයේදී තෙවන ස්ථානය දිනා ගත්ත ද යෙගෝ පිළිබඳ ජනමාධ්‍යවල වැඩි අවධානයක් යොමු වූයේ මපුටෝහිදී ළඟා කරගත් මෙම ජයග්‍රහණය ද සමඟය​. මෙය සමස්ථ අප්‍රිකානු ක්‍රීඩා ඉතිහාසයේ කෙන්යාව පිටිය ඉසව්වකදී ලද පළමු රන් පදක්කම විය​.

තරඟය අවසානයේ මාධ්‍යවේදීහු යෙගෝගේ ක්‍රීඩා දිවිය සහ ඔහු මෙතරම් සාර්ථක වීමේ රහස දැන ගැනීම සඳහා ඔහුගේ පුහුණුකරු සොයා පැමිණියහ​. කෙතෙක් සෙවූවද ඔවුනට යෙගෝගේ පුහුණුකරු හමු නොවීය​.

"ඔබේ පුහුණුකරු කවුද​?" ඔවුහු යෙගෝගෙන් විමසා සිටියෝය​.

"යූ ටියුබ් එක තමා මගේ පුහුණුකරු" යෙගෝ ගත් කටටම කීවේය​.
ජුලියස් යෙගෝ 2015 ලෝක ශූරතාවයේදී (සේයා රුව​: Xinhua)

මහා සුවිභේද නිම්නයෙහි (Great Rift Valley) පිහිටි චෙප්ටොනොන් නම් කුඩා ග්‍රාමයෙහි උපන් ජුලියස් යෙගෝ කුඩා කළ පටන් ම යමක් විශ්වාස කළේය​. එනම් හෙල්ලය විසි කිරීම සිය ශරීරය තුල කිඳා බැසගත් හැකියාවක් බව ය​. කුඩා කළ පටන්ම ඔහු එම ඉසව්ව කෙරෙහි උනන්දු වූයේ ය​.

කෙසේ වෙතත් ඔහුට අභියෝග රැසකටම මුහුණ දීමට සිදු විය​. ඔහුගේ දෙමාපියෝ දුප්පත් ගොවීහු වූහ​. අප්‍රිකාවේ බොහෝ දෙමාපියන් මෙන් ම ඔවුන් ගේ ද පරම විශ්වාසය වූයේ අධ්‍යාපනය දියුණුවේ රන් දොරටුව බවය​. එහෙයින් සිය පුත්‍රයා අධ්‍යාපනය පසෙක ලා ක්‍රීඩාවට සිත යොමු කිරීම කෙරෙහි ඔවුහු දැඩි අප්‍රසාදය පළ කළහ​.

එමතුද නොව​, යෙගෝ තෝරාගත් ක්‍රීඩාව​, එනම් හෙල්ලය විසි කිරීම​, එකළ කෙන්යාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් නොවී ය​. යෙගෝට පුහුණුවීමට ස්ථානයක් නොවීය​. පුහුණුකරුවකු ද නොවීය​. සගයකු ද නොවී ය​.

සිය අවශ්‍යතාවය උදෙසා අන්තර්ජාලයේ පිහිට ලබා ගැනීමට ඔහුට අදහසක් පහල වූයේ මෙම අවස්ථාවේ ය​. ලෝ ප්‍රකට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන්ගේ යූ ටියුබ් (Youtube) වීඩියෝ නැරඹීමට ඔහු පුරුදු වූයේ මේ අනුව ය​. ඉන්ටර්නෙට් කැෆේ එකකට යන යෙගෝ එම වීඩියෝ නරඹා ඔවුනගේ තාක්ෂණික උපක්‍රම​, ඔවුන් පුහුණු වන ආකාරය යනාදිය දැක​, ඊළඟ දවසේ ඒ ආකාරයෙන් සිය කටයුතු හැඩගස්වා ගත්තේය​. ඔහු මේ සියල්ල කළේ ස්වෝත්සාහයෙනි.

2010 වසරේ ඔහු මුල් වරට මීටර 75 සීමාව ඉක්මවූ අතර ඉන් පසු නොනැවතීම සිය වාර්තා අලුත් කරමින් පෙරට ඇදුණි. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඔහු අවසන් තරඟයට තේරී පත් වූ නමුත් එහිදී ලැබුණේ 12 වන ස්ථානයයි.

කෙසේ වෙතත් ඔලිම්පික් අවසන් තරඟයට සුදුසුකම් ලැබීම තමන් ලද විශාල ජයග්‍රහණයක් බව යෙගෝ පවසයි. ඔහුට පළමු කිසිදු කෙන්යානුවකු හෝ කිසිදු අප්‍රිකානුවකු හෝ හෙල්ල විසි කිරීමේ ඔලිම්පික් අවසන් තරඟයකට සුදුසුකම් ලබා නොතිබීම ඊට හේතුව යි.

වසර දෙකකට පසු 2014 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී මීටර 83.87 ක් දුරට හෙල්ලය​ විසි කරමින් රන් පදක්කම දිනාගත් යෙගෝ එම වසරේදීම මොරොක්කෝවේ පැවති අප්‍රිකානු ශූරතාවයේදී මීටර 84.72 ක් විසි කරමින් රන් පදක්කම දිනුවේය​.

2015 දී ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලිය යෙගෝගේ ස්වර්ණමය අවස්ථාව විය​. බීජිං නුවර පැවති එම තරඟාවලියේදී යෙගෝ සියල්ලන්ම මවිත කරමින් මීටර 92.72 ක දුරක් හෙල්ලය විසි කරමින් අප්‍රිකානු වාර්තාවක් ද සමඟින් ලෝක ශූරයා බවට පත් වූයේය​.

අද වනවිට ජුලියස් යෙගෝ තනිව පුහුණු වන්නෙකු නොවේ. ඔහුට දැන් පුහුණු සගයින් පිරිසක් වෙයි. එමෙන්ම ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ සිය පුත්‍රයා ජාර්විස් මළල ක්‍රීඩකයකු වනු දැකීමයි.

"ඔහු මට වඩා හොඳ ක්‍රීඩකයකු වේවි. ඔහුට නම් පුහුණුකරුවකු නැති වෙන්නේ නැහැ" ජුලියස් යෙගෝ පවසයි.

Sunday, August 14, 2016

ෆිදෙල් කැස්ත්‍රෝ 90 වන උපන් දිනය සමරයි

කියුබාවේ සමාජවාදී විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඊයේ සිය 90 වන උපන් දිනය සැමරීය​.

1959 ජනවාරි මාසයේ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනය බිඳ වැටීමෙන් පසු එරට නායකත්වයට පත් ෆිදෙල් 2008 පෙබරවාරිය වන තුරු එරට පාලනය කළේය​. එමෙන්ම කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ඔහු 2011 තෙක් කටයුතු කළේය​. 2008 දී රාජ්‍ය නායකත්වය සිය සහෝදර රාවුල් කැස්ත්‍රෝට පැවරූ ෆිදෙල් 2011 දී පක්ෂ තනතුරුවලින් ද ඉවත් වූ පසු දේශපාලන කටයුතුවලින් ඈත් වූයේය​.
Fidel in 2010. Pic AP

1926 අගෝස්තු 13 වනදා උපන් ෆිදෙල් කැස්ත්‍රෝ මුල් වරට ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනයට එරෙහිව කැරලි ගැසුවේ 1953 දී මොන්කාඩා බැරැක්කයට පහර දීමෙනි. එම ප්‍රහාරය අසාර්ථක වූ පසු ඔහු අත් අඩංගුවට ගන්නා ලද අතර පසුව පැවති නඩු විභාගය ඔහු සිය චතුර කථිකත්වය සහ තර්කන හැකියාව ප්‍රදර්ශනය කිරීමට මැනැවින් යොදා ගත්තේය​. එම නඩු විභාගය කියුබානු රජය සහ හමුදාව දැඩි අපහසුතාවකට පත් කළේය​. නඩු විභාගය අවසානයේදී කැස්ත්‍රෝ කළ කතාව පසු කාළයක දී "ඉතිහාසය විසින් මා නිවැරදි කරනු ඇත​" නම් පොත් පිංචක් ලෙස මුද්‍රණය කොට ලොව වටා බෙදා හැරිණ​.

වසර 15 කට බන්ධනාගාරයට නියම වූ කැස්ත්‍රෝ පසුව රටින් පිටුවහල් කරන ලදී. 1956 දී සිය සහෝදර රාවුල් සහ මෑතකදී හමුවූ ආර්ජන්ටිනා ජාතික විප්ලවවාදියකු වූ චේ ගුවේරා ඇතුලු පිරිසක් සමඟ ග්‍රැන්මා නම් බෝට්ටුවකින් යළි කියුබාවට ගොඩබට කැස්ත්‍රෝ බැටිස්ටාට එරෙහි ගරිල්ලා සටනක් ඇරඹීය​.

දරුණු දූෂණ චෝදනා එල්ලවූ බැටිස්ටා පාලනය කෙරෙහි මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයද කළකිරෙමින් සිටියේය​. මේ හේතුවද කැස්ත්‍රෝගේ විප්ලවයට ආධාරයක් විය​. 1959 ජනවාරි 1 වනදා බැටිස්ටා රටින් පළා ගිය අතර කැස්ත්‍රෝ ජයග්‍රාහී ලෙස හවානා අගනුවරට ඇතුලු විය​.
කැස්ත්‍රෝ සහ කැමිලෝ සියෙන්ෆුවේගෝස් හවානාවට පැමිණෙති (සේයා රුව ලුවී කෝර්ඩා)

කැස්ත්‍රෝ කිනම් ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත්දැයි එකවර පැහැදිලි වූයේ නැත​. ඔහු නායකත්වය දුන්නේ ජූලි 26 ව්‍යාපාරය නම් වූ සංවිධානයකට ය​. ඔහුගේ ප්‍රතිපත්ති වාමාංශික වුවද කෙලින්ම සෝවියට් දේශයට ඔහු නැඹුරු වනු ඇතැයි එකවර පැහැදිලි නොවීය​. බලයට පැමිණ සුලු කලෙකින් ඔහු ඇමරිකාව ඇතුලු රටවල් කිහිපයකම සංචාරය කළ අතර ඇමරිකාවේදී උප ජනාධිපති රිචර්ඩ් නික්සන් පවා හමු විය​.
Castro and Nixon (Pic: AP)

ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර සබඳතා කෙටි කලකින්ම පලුදු වන්නට විය​. සී. අයි. ඒ. සංවිධානයේ ආධාර ඇතිව කළ "බේ ඔෆ් පිග්ස්" ආක්‍රමණය සහ කියුබානු මිසයිල අර්බුධය එම රටවල් එකිනෙකාගෙන් ඈත් කළේය​. 1961 සිට ඉතා මෑතක් වනතුරු ම දෙරට අතර තානාපති සබඳතා පැවතියේ නැත​.

කැස්ත්‍රෝ යටතේ කියුබාව සමාජවාදී මාවතකට යොමු වූ අතර ආර්ථිකය මධ්‍යගත කෙරිණ​. කලාපයේ මෙන්ම ඉන් පිටත ද සමාජවාදී විප්ලව සඳහා ආධාර දීම ද කියුබානු ප්‍රතිපත්තියක් බවට පත් විය​. කියුබානු හමුදා ඇන්ගෝලාවේදී කළ කාර්යභාරය මෙහිදී ප්‍රධාන වශයෙන් කැපී පෙනුණි.

සෝවියට් දේශයේ වැටීමෙන් පසු කැස්ත්‍රෝ යම් යම් වෙනස්කම් ආර්ථිකය තුළ ඇති කළ ද​, වඩා පුලුල් ප්‍රතිසංස්කරණ සඳහා කියුබාව යොමු වූයේ ඔහුගේ සහෝදර රාවුල් කැස්ත්‍රෝ බලයට පත්වීමෙන් පසුව ය​.

අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝ වර්තමානයේදී මහජනයා ඉදිරියේ පෙනී සිටින්නේ ඉතා අඩුවෙනි. පසුගිය අප්‍රේල් මාසයේදී පැවති කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ඔහු අවසන් වරට ප්‍රසිද්ධ කතාවක් පැවැත්වූ අවස්ථාව විය​. ඉතාම හැඟීම්බර කතාවක් වූ එය ඇතැම් කොමියුනිස්ට් පාක්ෂිකයන්ගේ දෙනෙත් නිතැතින්ම තෙත් කළේය​.
ෆිදෙල් 2016 අප්‍රේල් කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී (සේයා රුව ඔමාරා ගාර්ෂියා - රොයිටර්ස්)

"ළඟදීම මට වයස අවුරුදු අනූවක් වෙනවා. වැඩි කල් නොගොසින් මමත් අනෙක් අය වගේ වේවි. අපි හැමෝටම අපේ කාළය එනු ඇති" ඔහු අප්‍රේල් පක්ෂ සමුලුවේදී ප්‍රකාශ කළේය​.

90 වන උපන් දින සැමරුම​

කැස්ත්‍රෝගේ 90 වන උපන් දින සැමරුම සඳහා කියුබාවෙහි සංගීත සංදර්ශන සහ වෙනත් උත්සව සංවිධානය කර තිබුණි. සැමරුම් උත්සව සිකුරාදා රාත්‍රියේ ඇරඹි අතර මධ්‍යම රාත්‍රිය එළඹි විට ගිණිකෙළි සංදර්ශන ද පැවැත්විණ​.

කෙසේ වෙතත් රජය විසින් මහා පරිමාණ රැළි සංවිධානය කර නොතිබූ අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ කැස්ත්‍රෝ ප්‍රසිද්ධියේ පෙනී නොසිටිනු ඇත බවය​. නමුත් කැස්ත්‍රෝ එම සැක සංකා දුරු කරමින් සිය සහෝදර රාවුල් සහ වෙනෙසුවේලා ජනධිපති නිකුලස් මදුරෝ සමඟ හවානාවේ කාල් මාක්ස් රංග ශාලාවේ පැවති උපන් දින උත්සවයට සහභාගී වූයේය​.

සිය උපන් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ ෆිදෙල් බටහිර රටවල් විසින් රුසියාවට සහ චීනයට න්‍යෂ්ඨික අවි තර්ජන සිදු නොකළ යුතු බව ප්‍රකාශ කළේය​. මෙම ප්‍රකාශය ඔහු සිදු කරනුයේ රුසියාව සහ නේටෝව අතර සබඳතා පලුදු වූ සමයක වීම මෙහිදී සැළකිය යුතුය​.

තවද කැස්ත්‍රෝ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හිරෝෂිමාවේදී කළ කතාව ද විවේචනය කළේය​. "ඒ සා විශාල මනුශ්‍ය ඝාතනයකට සමාව ගැනීමට ඔහු සතුව වචන තිබුණේ නැත​" කැස්ත්‍රෝ සිය ප්‍රකාශයෙන් කියා සිටියේය​.

ඔබාමා හිරෝෂිමා නගරයට සංචාරය කර එහි සාම ස්මාරකය දැක බලා ගත්ත ද පරමාණු බෝම්බ හෙළීම සම්බන්ධව ජපානයෙන් සමාව ඉල්ලා සිටියේ නැත​.

Tuesday, August 9, 2016

කොසොවෝ රාජ්‍යයේ පළමු ඔලිම්පික් පදක්කම දිනූ ක්‍රීඩිකාව​ මලින්දා කෙල්මෙන්දි

2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා 21 හැවිරිදි ක්‍රීඩිකාවක් කිලෝ ග්‍රෑම් 52 බර පන්තිය යටතේ ඇල්බේනියාව නියෝජනය කරමින් ජූඩෝ තරඟාවලියට තරඟ වැදුණාය​. නමුත් මුරුසියේ ක්‍රිස්ටියෑන් ලෙගෙන්ටෙල් විසින් එම ඇල්බේනියානු ක්‍රීඩිකාව තරඟාවලියෙන් ඉවත් කරන ලදී. ලන්ඩනයේදී ඇයට පදක්කම් හිමි නොවීය​.

මෙවර රියෝ ද ජනේරෝ ඔලිම්පික් උළෙලේදී ඉහත කී ඇල්බේනියාව නියෝජනය කළ ක්‍රීඩිකාව නියෝජනය කළේ කොසොවෝ රාජ්‍යය ය​. මෙවර අර්ධ අවසාන පූර්ව වටයේදී ඇය හා ලෙගෙන්ටෙල් යළි මුණ ගැසුණ අතර මෙවර තරඟයේ ප්‍රතිඵලය 2012 ඔවුන් අතර​ තරඟයේ ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධ විය​.

කොසොවෝ රාජ්‍යය නියෝජනය කළ මලින්දා කෙල්මෙන්දි (Majlinda Kelmendi) මෙවර තරඟාවලිය අවසන් කළේ කිලෝ ග්‍රෑම් 52 කාන්තා රන් පදක්කම දිනාගනිමිනි. අවසන් තරඟය බ්‍රසීලයේ වේලාවෙන් අගෝස්තු 7 වනදා රාත්‍රියේ, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 8 වැනිදා අලුයම පැවැත්විණ​. ඇය අතින් අවසන් තරඟයේදී පරාජය වූයේ ඉතාලියේ ඔඩෙට් ගියුෆ්‍රෙඩා ය​.

වර්තමානයේ කොසොවෝ රාජ්‍යයයේ බටහිරට වන්නට පිහිටි පෙයා (Peja) නගරයේදී කෙල්මෙන්දි උපත ලද්දේ 1991 මැයි 9 වනදා ය​. එවක එම ප්‍රදේශය යුගෝස්ලාවියාවේ කොටසක් විය​.

කොසොවෝ ප්‍රාන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලද්දේ 2008 පෙබරවාරියේදී ය​. නමුත් 2012 දී එරටට ඔලිම්පික් වරම් ලැබුණේ නැත​. එහෙයින් කොසොවෝ ප්‍රදේශයේ සිටි කෙල්මෙන්දි ඇල්බේනියා ධජය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී විය​.

2013 දී සහ 2014 දී සිය ඉසව්වෙන් ලෝක ශූරතාව ජයගත් කෙල්මෙන්දි මෙවර ඔලිම්පික් උළෙලෙහි ප්‍රධාන බලාපොරොත්තුවක් විය​. ඔලිම්පික් සමාරම්භක පෙළපාලියේ සිය රටේ ධජය රැගෙන යෑම සඳහා තෝරාගන්නා ලද්දේ ද ඇය ය​.

කෙල්මෙන්දිගේ ජයග්‍රහණයත් සමඟ කොසොවෝ රාජ්‍යයට සිය ඔලිම්පික් ඉතිහාසයේ පළමු පදක්කම ලැබුණි. එය ද රන් පදක්කමක් ම වීම එහි විශේෂත්වය ය​.

Sunday, August 7, 2016

ජීවිත 20 ක් බේරාගත් තරුණිය ඔලිම්පික් මූලික තරඟයක් දිනයි

ඒ 2015 ගිම්හානයයි. සිරියාවේ යුද්ධයෙන් හෙම් බත්ව ඩමස්කස් නුවරින් ලෙබනනයේ බීරූට් නගරයටත් එතැනින් තුර්කියේ ඉස්තාන්බුල් හරහා ඉෂ්මීර් නගරයටත් පැමිණි සහෝදරියන් දෙදෙනකු වූ යුස්රා සහ සාරා මාර්ඩීනි, තවත් පිරිසක් සමඟ ඩිංගි බෝට්ටුවකට නැගුණේ ග්‍රීසිය කරා ළඟාවන අටියෙනි. බෝට්ටුවට දරාගත නොහැකි තරම් වූ පිරිසක්, එනම් 20 දෙනෙක් සමඟ, එය මධ්‍යධරණිය තරණය කිරීමට පටන් ගත්තේය​.

එහෙත් ඔවුනට නිරුපද්‍රිතව ගමන් කළ හැකි වූයේ අඩ පැයක් පමණි. බෝට්ටුවේ මෝටරය ඇණ හිටි අතර ඔවුන් සාගරය මැද බෝට්ටුව පෙරළී ඔවුනගේ දිවි තොර වීමේ අවදානම දැඩි විය​.

මෙම අවස්ථාවේ බෝට්ටුවේ පිහිනීමට හැකි අය වූයේ තිදෙනෙකු පමණි. ඒ යුස්රා, සාරා සහ තවත් කාන්තාවකි. ඔවුහු මුහුදට බැස බෝට්ටුව තල්ලු කරගෙන ආරක්ෂිතව රැගන ආවෝය​. එදින ඔවුහු ජීවිත 20 ක් ගලවා ගත්තෝය​.
Yusra Mardini

බ්‍රසීලයේ වේලාවෙන් ඊයේ රාත්‍රියේ (අගෝස්තු 6) 18 හැවිරිදි යුස්රා, මීටර 100 සමනල ආර​ ඔලිම්පික් මූලික වටයේ තරඟයක් ජය ලැබුවාය​. විනාඩි 1 යි තත්පර 9 යි දශම 21 කින් තරඟය නිම කළ ඇය පළමු මූලික තරඟය මෙසේ ජය ලද අතර සමස්ථ තරඟකාරියන් අතුරින් 41 වැනියා බවට පත් වූවාය​. කෙසේ වෙතත් ඇයට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට එය ප්‍රමාණවත් නොවීය​.
යුස්රා මාර්ඩීනි රියෝ ඔලිම්පික් උළෙලේදී (Pic AP)

දැනට ජර්මනියේ බර්ලින්හි දිවි ගෙවන යුස්රාට ඔලිම්පික් උළෙලේ තරඟ කිරීමට වරම් ලැබුණේ සරණාගතයින් ගෙන් සමන්විත කණ්ඩායමකට ඔලිම්පික් උළෙලේ දොරටු විවර කිරීමෙනි. ලෝකයේ සරණාගත අර්බුදය පිළිබඳ දෑස් විවර කෙරෙන අවස්ථාවක් වූ මෙයින් සිය රටවලින් පිටමං වූ ක්‍රීඩකයන්ට විශේෂ අවස්ථාවක් ලැබුණි.

මෙම කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනකු අයත් වන අතර ඉන් අට දෙනෙක්ම අප්‍රිකානු රටවලින් පළා ආවෝ වෙති. ඔවුන් ද ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලද්දේ සාමාන්‍ය ආකාරයෙන්ම පරිසාදන මට්ටම් ඉක්මවීමෙන් හෝ වයිල්ඩ් කාඩ්' ක්‍රමයෙන් හෝ මිස සරණාගතයින් වීම නිසා ලද සුවිශේෂ සැලකීමකින් නොවේ. තමා 'පිනට​' ඔලිම්පික් උළෙලට සුදුසුකම් නොලැබූ බව සිය මූලික වටය ජය ගැනීමෙන් මර්ඩීනි පෙන්වා දුන්නාය​.

යුස්රා මාර්ඩීනි විශාල බලාපොරොත්තු සමඟ ජීවත් වන්නීය​. ඇගේ මීළඟ බලාපොරොත්තුව 2020 දී තෝකියෝ ඔලිම්පික් උළෙලට ද ක්‍රීඩා කිරීමය​. ඇතැම්විට ඊට පෙර ඇයට ජර්මනියේ හෝ අන් රටක හෝ පුරවැසිකම හිමිවීමට ඉඩ තිබේ.

කෙසේ වුවත්, යුද්ධයෙන් බැට කෑ ඩමස්කසයෙන් පැනවිත් ජීවිත අවදානම ද අභිබවා ජර්මනියට පැමිණ එතැනින් රියෝ ද ජනේරෝවට පැමිණීම ම අපේ කාළයේ වීර කතාවකි.

Friday, August 5, 2016

2016 ඔලිම්පික් සත්කාරක නගරය රියෝ ද ජනේරෝ

මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන රියෝ ද ජනේරෝ නගරය ජනගහනය අතින් බ්‍රසීලයේ දෙවන විශාලතම නගරය වේ. එනුවර නාගරික ප්‍රදේශයේ ජනගහනය මිලියන 6 ඉක්මන අතර අවට ප්‍රත්‍යන්තයන් ද සැළකු කල මුලු ජනගහනය මිලියන 12 ක් පමණ වේ. සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය රියෝ ද ජනේරෝව ඓතිහාසික අතින් ද වැදගත් නගරයකි.
Christ the Redeemer (Pic: Artyominc - Wikimedia Commons)

ඉතිහාසය සැකෙවින්

රියෝ ද ජනේරෝව පිහිටුවන ලද්දේ පෘතුගීසීන් විසිනි. ඒ 1565 දී ය​. 2015 දී එනුවර සිය 550 වන සංවත්සරය සැමරීය​. පෘතුගීසී බ්‍රසීලයේ වැදගත් මධ්‍යස්ථානයක් වූ මෙය මුලින් රියෝ ද ජනේරෝ කපිතාන්සියේ අගනුවර විය​. 1763 දී බ්‍රසීලය ප්‍රතිරාජ ප්‍රදේශයක් වූ කල්හි රියෝ ද ජනේරෝව එහි අගනගරය බවට පත් විය​.

1807 දී නැපෝලියන් ගේ හමුදා පෘතුගාලය ආක්‍රමණය කළ විට පෘතුගීසී රජපවුල බ්‍රසීලයට පළා ගියෝය​. ඉක්බිති රියෝ ද ජනේරෝ නගරය පෘතුගීසී අධිරාජ්‍යයේ අගනුවර බවට පත් වූයේය​. මෙය යම් අධිරාජ්‍යයක අගනුවර මව් රටෙන් පිටත යටත් රාජ්‍යයක පිහිටවූ ඓතිහාසික අවස්ථාවකි.

1822 දී බ්‍රසීලය ස්වාධීන අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර සයවැනි ජුවාම් (ජෝන්) රජුගේ පුත්‍රයා වූ පේද්‍රෝ එහි අධිරාජයා ලෙස ප්‍රකාශ කරන ලදී. 1889 දී එම අධිරාජ්‍යය අහෝසි කර බ්‍රසීලය ජනරජයක් බවට ප්‍රකාශ කරන ලදී. 1822 සිට 1960 තෙක් ස්වාධීන බ්‍රසීලයේ අගනුවර වූයේ රියෝ ද ජනේරෝ නුවරයි. ඉන්පසු අලුතින් ඉදි වූ බ්‍රසීලියා නගරය එරට අගනුවර ලෙස නම් කෙරිණ​.
Pic: Raphael Lorenzeto de Abreu (Wikimedia Commons)

බ්‍රසීලයේ අත්ලාන්තික් වෙරළේ නැගෙනහිර - බටහිර දිශානතියක් ඔස්සේ දිවෙන කොටසක පිහිටි ගුවනබාරා බොක්කෙහි (Guanabara Bay) බටහිර ඉවුරෙහි රියෝ ද ජනේරෝ නුවර පිහිටුවන ලදී. පසුව එම නගරය බටහිර දෙසට ව්‍යාප්තවී අද තිබෙන ප්‍රදේශය තෙක් පැතිරුණි. නගරයෙහි කොටසක් කඳුකර ප්‍රදේශයක් වන අතර ඒ ආශ්‍රිතව ඇති ටියුකා වනාන්තරය (Tijuca Forst) නගරයක් තුළ පිහිටි ලොව විශාලතම නිවර්තන කලාපීය වැසි වනාන්තරය ලෙස සැළකේ. ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර ඇති ටියුකා වනාන්තරය සහ රියෝ ද ජනේරෝ ආශ්‍රිත වෙරළබඩ පෙදෙස් සමහරක් යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් ලෙස ද නම් කර ඇත​. රියෝ ද ජනේරෝ හි ලෝ ප්‍රකට "ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයාණෝ" (Christ the Redeemer) ප්‍රතිමාව ඉදිකර ඇත්තේද ටියුකා වනාන්තරයෙහි කොර්කොවාඩෝ කඳු මුදුනෙහි ය​.

තවත් වැදගත් කඳු ගැටයක් වන්නේ නගරයට පිවිසෙන මාර්ගයේ හමුවන සීනි රාත්තල් කන්ද (Sugarloaf) ය​. එය යටත් විජිත සමයේ මුල් ශතවර්ෂවල නිපදවුන සීනි ගෙඩියක​ හැඩය ගන්නා එයින් එම නම ලැබී ඇත​. එමෙන්ම ටියුකා වනන්තරයට අයත් පෙඩ්‍රා ද ගාවියා යනු තවත් විශේෂිත ශේෂ කඳු ගැටයකි.
Sugarloaf (Halley Pacheco de Oliveira- Wikimedia Commons)

ප්‍රධාන නාගරික කලාප​

රියෝ ද ජනේරෝවේ ප්‍රධාන නාගරික කලාප වන්නේ පැරණි නගර කේන්ද්‍රය හෙවත් සෙන්ට්‍රෝව​ (Centro), දකුණුදිග කලාපය​, උතුරු කලාපය සහ බටහිර කලාපයයි. මින් සෙන්ට්‍රෝව නගරයේ ආර්ථික කේන්ද්‍රය වන අතර දකුණු කලාපය සංචාරක ප්‍රදේශය වේ. ලෝ ප්‍රකට ඉපනෙමා සහ කොපකබානා ආදී වෙරළවල් පිහිටියේ මෙහි ය​.

උතුරුදිග කලාපය නගරයේ වැඩිම ජනගහනයක් වසන ප්‍රදේශය වන අතර සංඛ්‍යාවෙන් දහසක් පමණ වන ෆවේලා (Favela) හෙවත් මුඩුක්කු වැඩි ප්‍රමාණයක් පිහිටියේ මෙහි ය​. (කෙසේ වෙතත් නගරයේ විශාලම ෆවේලාව වන රොසින්චා පිහිටියේ දකුණුදිග කලාපයේ ය​).
Rocincha - Pic: Chensiyuan (Wikimedia Commons)

තවද සුප්‍රකට මරකානා ක්‍රීඩාංගනයද රියෝ ද ජනේරෝවේ උතුරු දිග කලාපයේ පිහිටියේය​. මරකානා ක්‍රීඩාංගනය එතෙක් මෙතෙක් ලොව වැඩිම නරඹන්නන් පිරිසකට ඉඩ කඩ සහිත වූ පාපන්දු ක්‍රීඩාංගනය ලෙස වාර්තා පොත්වලට එකතු වී ඇත​. එවකට වැඩ අවසන් නොවූ මරකානාවේ 1950 ලෝක පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය නැරඹූවෝ 199,000 ක් බව ගණන් බලා ඇත​. වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආරක්ෂක ක්‍රමවේදයන් අනුව නරඹන්නන් 90,000 කට ආසන පනවා ක්‍රීඩාංගනය නවීකරණය කර තිබේ. 2014 ලෝක පාපන්දු කුසලානයේ අවසන් තරඟය ද පැවැතියේ එම ක්‍රීඩාංගනයේ ය​.

රියෝ ද ජනේරෝවේ බටහිර කලාපය වඩා ධනවත්, ඉහළ පැළැන්තියේ පුද්ගලයන් වසන ප්‍රදේශය ය​. සැන්ටා කෲස්, කැපෝ ග්‍රාන්ඩේ සහ බැරාඩා ටියුකා එහි වන ප්‍රධාන දිස්ත්‍රික්ක වෙති.

වෙනත් කරුණු කිහිපයක්

බ්‍රසීලයේ අගනුවර ලෙස වසර 197 ක්ම පැවැති හෙයින් ආර්ථික අංශයෙන් රියෝ ද ජනේරෝව වැදගත් තැනක් ගනී. බ්‍රසීලයේ කාර්මික කේන්ද්‍ර කිහිපයෙන් එකක් වන රියෝ ද ජනේරෝ ප්‍රදේශයේ තෙල් පිරිපහදුව සහ වෙනත් පෙට්‍රො රසායනික කර්මාන්ත​, රෙදිපිළි, ඖෂධ​, සිමෙන්ති, වානේ සහ ලෝහ කර්මාන්ත​, නෞකා කර්මාන්තය ආදී විවිධාකාර කාර්මික කටයුතු සිදු කෙරේ.

රියෝ ද ජනේරෝව ලොව පුරා අතිශයින් ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ එනුවර වාර්ෂික සැණකෙළිය ය​. කතෝලිකයන් ගේ චතාරික සමයට (Lent) පෙර සැණකෙළි පවත්වන සතියක් ලෙස මෙය සමරනු ලබයි. ඉතිහාසයෙහි සඳහන් අයුරින් 1723 සිට රියෝ ද ජනේරෝවේ සැණකෙළි පවත්වා ඇත​. වර්තමානයේදී එය ඉතා විචිත්‍රවත් උළෙලක් ලෙස පැවැත්වන අතර ලෝ පුරා ප්‍රකටම සැණකෙළිය ලෙස සැළකිය හැක​.

Thursday, August 4, 2016

ලැම්බෝර්ගිනිගේ මිණිපිරිය එලෙත්‍රා

එලෙත්‍රා මියුරා ලැම්බෝර්ගිනි 22 හැවිරිදි නිරූපිකාවක සහ නිළියකි. ඇය ලැම්බෝර්ගිනි සමාගමේ නිර්මාතෘ ෆෙරුචියෝ ලැම්බෝර්ගිනිගේ මිණිපිරිය වන අතර ෆෙරුචියෝගේ පුත් ටොනීනෝගේ දියණියයි.

1994 මැයි 17 වනදා ඉතාලියේ මිලානෝ හි උපන් එලෙත්‍රා MTV රූපවාහිනී නාලිකාව​ ඔස්සේ විකාශය වන Super Shore රියැලිටි වැඩසටහන ඔස්සේ ඇය කරළියට පැමිණ තිබේ.

ෆෙරුචියෝ ලැම්බෝර්ගිනිගේ (Ferruccion Lamborghini) පළමු දරුවා ලෙස ටොනීනෝ (Tonino Lamborghini) උපත ලැබුවේ 1947 දී ය​. පසු කළෙක ටොනීනෝ ලැම්බෝර්ගිනි සිය නම සන්නාමය ලෙස යොදාගනිමින් ව්‍යාපාර රැසක් ඇරඹීය​.

පහත වීඩියෝව ටොනීනෝ ලැම්බෝර්ගිනි පවුල සහ ඔවුනගේ සමූහ ව්‍යාපාරය පිළිබඳව ය​.

මතු දිනෙක නිල් චිත්‍රපටයක රඟපෑම ඇගේ සිහිනයක් වන බව එලෙත්‍රා (Elettra Miura Lamborghini) පවසා තිබේ. ඒ අතරම​, නිළි ජීවිතය නිමා කළ පසු පූර්ණ කාලීනව සිය පවුලේ ව්‍යාපාරයට දායක වීම ඇගේ බලාපොරොත්තුව වේ.

Tuesday, August 2, 2016

ISIS ත්‍රස්ත නායකයෝ ඉරාකයේ මෝසුල් නගරය හැර යති

සිරියාවේ සහ ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන් සහ වෙනත් කැරලිකරුවන්ට එරෙහිව සිදු වන ප්‍රහාර තීව්‍ර වෙමින් පවතී.

ඉරානයේ සහ රුසියාවේ ආධාර ලබන සිරියානු රජයේ හමුදා සහ හිස්බුල්ලා ඇතුලු රජයේ හමුදාවලට පක්ෂ කණ්ඩායම් මීට සති දෙකකට පෙර සිරියාවේ අලෙප්පෝ (Aleppo) නගරය වටලාගත් හ​. පසුගිය ඉරිදා දිනයේදී ජායිෂ් අල්-ෆටෙහ් (Jaish Al-Fateh) සහ අල් නුස්රා (Al-Nusra) සංවිධානයන් විසින් සිරියානු හමුදා වෙත දැවැන්ත ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ එම වටලෑම බිඳ දැමීමටය​. ඒ සමඟම ප්‍රදේශයේ දරුණු සටන් ඇති වූ අතර රුසියානු ගුවන් ආධාර ද සිරියානු රජය පාර්ශවයට ලැබිණ​.

මේ අතර සඳුදා දිනයේදී මානුෂීය ආධාර බෙදීමට ගිය බව කියන රුසියානු Mi-8 වර්ගයේ හෙලිකොප්ටරයක් පහර දී බිම හෙළනු ලැබුණි. එහි ගමන් කළ පස් දෙනාම ඉන් ජිවිතක්ෂයට පත් වූහ​.
Russian Mi-8 helicopter

සිවිල් යුධ තත්ත්වය ඇරඹීමට පෙර ජනගහනය අතින් විශාලම සිරියානු නගරය වූ අලෙප්පෝවේ අදට ද දස දහස් ගණන් සාමාන්‍ය වැසියෝ දිවි ගෙවති. ඔවුනට සටන් බිමෙන් ඉවත්වීම සඳහා මානුෂීය කොරිඩෝ කිහිපයක් ස්ථාපිත කළ බව රජය මීට දින කිහිපයකට පෙර දැනුම් දුන්නේය​. නමුත් මේ වන විටත් ඉන් ප්‍රයෝජන ලබා නගරයෙන් ඉවත් වූ සිවිල් වැසියන් සංඛ්‍යාව අතලොස්සකි.

අලෙප්පෝ නගරය අල්ලා ගැනීමට හැකි වුවහොත් එය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත​.

මේ අතර නවතම වාර්තාවලට අනුව අගෝස්තු 1 වන සඳුදා රාත්‍රියේ හොම්ස් ප්‍රදේශයට ජිහාඩ් කැරලිකරුවන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී. අඟහරුවාදා දිනයේ සිරියානු ගුවන් හමුදා විසින් ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කෙරිණ​.

මේ ආකාරයෙන් වෙනත් පෙරමුණුවල සටන් හේතුවෙන් සහ ISIS ත්‍රස්තවාදීන් තවමත් ප්‍රබල ස්ථාවරයක පසු වීම නිසා පැල්මයිරා සිට රකා දෙසට එල්ල කෙරුණ සිරියානු හමුදා ක්‍රියාන්විත අඩපණ වී ඇත​. මේ අතර සිරියාවේ ISIS ත්‍රස්තයින් විසින් අල්ලාගත් විශාල ප්‍රදේශය මධ්‍යයේ පිහිටි, රජයේ හමුදා අත අදටත් පවතින ඩෙයර් එසෝර් ප්‍රදේශයට, දිගින් දිගටම ත්‍රස්ත ප්‍රහාර එල්ල වන නමුත් මේ වනවිට ද සිරියානු හමුදා සාර්ථකව එයට මුහුණ දෙමින් සිටිති.

කෙසේ වෙතත් ඉරාකයේදී ISIS ත්‍රස්තයින්ට එල්ලවන තර්ජන ඉහළ ගොස් තිබේ. නොබෝදා මෝසුල් නගරයෙන් වාර්තා වූ අන්දමට ඇතැම් ත්‍රස්ත නායකයින් නගරය අතහැර සිරියාව දෙසට පලා ගොස් ඇත​. ඉරකයේ දෙවන විශාලම නගරය වන මෝසුල් අල්ලාගැනීම සඳහා ඉරාක හමුදා සහ යුදෙව් පෙෂ්මර්ගා හමුදා සූදානම් වෙමින් සිටිති.

මේ අතර ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේ වූ අවසන් බලකොටුවද දින කිහිපයකට පෙර ඉරාක හමුදා අතට පත් විය​.