Friday, July 29, 2016

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවුෂ්විට්ස් නාසි ඝාතකාගාරය දැක ගනී

පෝලන්තයේ සංචාරයක නියැළෙන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද දින අවුෂ්විට්ස් - බිර්කනාවු ඝාතන කඳවුරු සංකීර්ණය වෙත ගියේය​.

"Arbeit macht frei" (වැඩ කිරීම ඔබට නිදහස ගෙනෙයි) යනුවෙන් ජර්මන් බසින් ලියූ ප්‍රධාන ද්වාරය වෙතින් නිහඬව, තනිවම කඳවුර වෙත ඇතුලු වූ පාප් වහන්සේ අවුෂ්විට්ස් හි රැඳී සිටි කාළය තුළ එකදු වචනයක් හෝ කතා නොකළේය​.

"දෙවියනි​, ඔබ වහන්සේගේ වැසියනට කමාව දුන මැන! දෙවියනි, මෙවන් වූ කෲරතරභාවයන් කමාව දුන මැන!" යනුවෙන් අවුෂ්විට්ස් හි අමුත්තන් ගේ සටහන් පොතේ ලියා තැබූ පාප් වහන්සේ ජර්මානුන් විසින් ඝාතනය කෙරුණ පෝලන්ත කතෝලික පූජකයකු වූ මැක්සිමිලියන් කොල්බේගේ සිරකුටිය වෙත ගොස් යාඥා කළේය​. වෙනත් අයකුගේ ජීවිතය ගලවාගැනීම උදෙසා සිය ජීවිතය කැපකළ කොල්බේ පසු කළෙක ශාන්තුවරයට උසස් කරන ලදී.


අවුෂ්විට්ස් ස්මාරකයෙහි ඉටි පන්දමක් දල්වා යාඥා කළ පාප්වහන්සේ එහි සිට දිවි ගලවාගත්තවුන් පිරිසක් ද හමු විය​.


ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවුෂ්විට්ස් සිට කිලෝමීටර තුනක් ඈතින් වූ බිර්කනාවු වෙත ගියේ ජර්මානුන් විසින් ඉදි කරන ලද දුම්රිය මාර්ගය වැටී තිබූ මග ඔස්සේය​. අවුෂ්විට්ස් හි සිටි සිරකරුවන් ඝාතනය කරනු පිණිස​ බිර්කනාවු වෙත රැගෙන ගියේ මෙම දුම්රිය මාර්ගයෙනි.

අවුෂ්විට්ස් ඝාතන කඳවුර 1945 ජනවාරි 27 වනදා සෝවියට් හමුදා විසින් මුදා ගන්නා ලදී. ඒ වනවිට නාසි ජර්මානුන් විසින් මිලියන 1.1 ක පමණ පිරිසක් එහිදී ඝාතනය කොට තිබුණි. මින් අති බහුතරය වූයේ යුදෙව්වන් ය​.

එඩුවාර්ඩ් මැනේගේ ප්‍රියතම නිරූපිකාව​

උපස්ථිතිකවාදී චිත්‍ර කලාවේ (Impressionism) මූලාරම්භකයකු ලෙස සැළකෙන එඩුවාර්ඩ් මැනේ 19 වන සියවස ප්‍රංශයේ ජීවත් වූ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. සාමාන්‍ය සම්ප්‍රදායයන්ට එරෙහිව යමින් නවතම ආරක චිත්‍ර නිර්මාණය කිරීම හේතුවෙන් මැනේ සමකාලීන ප්‍රංශ සමාජයේ ගැරහුමට ලක් වූ නමුත් පසු කළෙක ප්‍රංශයේ මෙන්ම ලෝකයේ ම බිහි වූ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පියකු ලෙස නමක් දිනා ගත්තේය​.

මැනේ විසින් 1863 දී එළි දක්වන ලද චිත්‍ර දෙකක් එකළ පැරිස් නුවර සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය​. මින් එකක් නම් 1862 දී ඇඳීම ආරම්භ කළ බව සැළකෙන "Le Déjeuner sur l’herbe" හෙවත් "තණබිමක දිවා භෝජනය​" සහ 1863 දී අඳින ලද බව සඳහන් "ඔලිම්පියා" ය​.

"තණබිමක දිවා භෝජනය" චිත්‍රය වඩාත්ම ආන්දෝලනයකට තුඩු දුන්නේ එහි දැක්වෙන නිරුවත් කාන්තාවගේ රූපය හේතුවෙනි. පිරිමින් දෙදෙනකු පසෙක සිටියදී සිය නිරුවත් සිරුර පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව හිඳගෙන සිටින ඈ සිටින්නේ ඔවුන් පිළිබඳ අවධානයෙන් නොවේ. පුරුෂයින් දෙදෙනාද ඔවුන් ගේ කතාවක නිමග්නව සිටිති. කාන්තාව චිත්‍රය නරඹන්නා දෙසට දෑස් දල්වාගෙන සිටියද ඇගේ එම බැල්මෙන් ඇඟවෙන්නේ කුමක්දැයි පැහැදිලි නැත​. ඇතැම්විටෙක ඈ නරඹන්නාගෙන් ද ඔබ්බට දෑස් යොමා සිටින ආකාරයක් පෙනී යයි. නරඹන්නාගේ අවධානය විශේෂයෙන් ඇය දෙසට යොමු වන අයුරින් ඇගේ නිරුවත් සිරුර ආලෝකමත් වන පරිදි චිත්‍රයට නඟා ඇත​.

"ඔලිම්පියා" යනු මීටත් වඩා ආන්දෝලනාත්මක චිත්‍රයක් විය​. කාම සම් භෝගයකින් පසු අවුල් වූ සයනයක හිඳගෙන සිටින වෛශ්‍යාවක එයින් පිළිබිඹු වේ යයි සැළකේ. මෙහෙකාරියක යයි සැළකිය හැකි කලු ජාතික කාන්තාවක ඇය වෙත යමකු විසින් එවන ලද මල් කළඹක් පිළිගන්වන මුත් ඔලිම්පියා ඒ කෙරේ මඳකුදු අවධානයක් යොමු නොකර චිත්‍රය නරඹන්නා දෙස බලා සිටී. නිරුවතින් සිටින ඈ එක් අත්ලකින් සිය රහස් ප්‍රදේශය ආවරණය කරගෙන සිටින්නී ය​.

මෙම චිත්‍ර දෙකම සඳහා නිරූපිකාව ලෙස කටයුතු කළේ එවක ඉතාම තරුණ වියේ පසු වූ වික්ටොරීන් මියුරොන් නම් කාන්තාවකි. ඇය එඩුවාර්ඩ් මැනේගේ ප්‍රියතම නිරූපිකාව වී යයි ද කියනු ලැබේ. දැනට සොයාගෙන ඇති මැනේගේ චිත්‍ර නවයක මියුරොන් නිරූපිකාව ලෙස පෙනී සිටියි.

ඉහත සඳහන් චිත්‍ර දෙකට පෙනී සිටීම හේතුවෙන් මියුරොන් පිළිබඳ බොහෝ කටකතා පැතිරුණි. ඈ මැනේ සමඟ අයථා සබඳතාවයක් පවත්වන බවත්, ඇය අශීලාචාර කාන්තාවක බවත්, ඇය ගණිකාවක බවත්, බේබදුකම හේතුවෙන් ඇය අඩු වයසින් මිය ගිය බවත් එම කටකතාවලින් කියැවුණි.

සැබෑ තත්ත්වය එම සියලු කටකතාවලින් පරිභාහිර වූ අතර ඉහත සඳහන් වූ කිසිදු කටකතාවක් සනාථ කිරීමට කරුණු සොයාගෙන නොමැත​​. නිසැකයෙන්ම ඈ බොහෝ කල් ජීවත් වූවා පමණක් නොව පසු කළෙකදී චිත්‍ර ශිල්පිණියක ලෙස ද යම් නමක් දිනාගත්තාය​.

එඩුවාර්ඩ් මැනේ සමකාලීන පැරිසියේ ජන ජීවිතය සිතුවමට නැඟීමට ප්‍රිය කළ අයෙකි. 1832 දී උපන් ඔහු මියුරොන් මුලින්ම දුටුවේ 1862 දී යයි සිතිය හැක​​. ඇය එවිට 18 හැවිරිදි වූවාය​. මැනේ වෙනුවෙන් මියුරොන් නිරූපණයෙහි යෙදුණ ප්‍රථම අවස්ථාව ද හමු වන්නේ එම වසරේදී ය​.

මැනේගේ "Street Musician​" (වීථි සංගීතකාරිය) චිත්‍රයේ දැක්වෙන්නේ පැරිස් නුවර තැනින් තැන ගොස් සංගීතය සපයමින් ජීවිකාව සලසා ගන්නා තරුණියකි. පරණ ගවුමක් හැඳගෙන මාවත දිගේ ඇවිද එන ඇය ඇවිදින අතරම බෙරි ගෙඩි කිහිපයක් මුවේ රුවා ගනී. ඇගේ එම ක්‍රියාව අවිවේකය මෙන්ම ඉහළ පැලැන්තියේ සදාචාරයෙන් වියුක්ත වීම දක්වන අතර සාමාන්‍ය පන්තියේ මිනිසුන් ගේ ජීවිතවල පැති කඩක් පෙන්නුම් කරයි.

මැනේ මීළඟට ඇඳි මියුරොන් ගේ ආලේඛන චිත්‍රයක් ඇන්ඳේය​. මෙහිදී ඉහළ පැළැන්තියේ අය වෙනුවෙන් චිත්‍ර ශිල්පීන් දැක්වූ අවධානය හා සමාන අවධානයක් මැනේ විසින් මියුරොන් වෙත ලබාදෙන ලදී. එමෙන්ම ඇය තවදුරටත් නිර්නාමික නිරූපිකාවක නොවූවා ය​.

මියුරොන් ගේ නිරුවත් චිත්‍ර දෙක අඳින ලද්දේ ඉන් අනතුරුවය​.

මැනේගේ "තණබිමක දිවා භෝජනය​" චිත්‍රයේ වූ ආන්දෝලනාත්මක ස්වාභාවය හේතුවෙන් පැරිසියේ චිත්‍ර කලා ඇකඩමිය සිය "සැලොන්" කලාගාරයේ එය ප්‍රදර්ශනයට ඉඩ නොතැබීය​. මේ අනුව "සැලොන් කලාගාරයෙන් ප්‍රතික්ෂේප වූ චිත්‍ර ප්‍රදර්ශනය කෙරෙන Salon des Refusés හි එය ප්‍රදර්ශනය කෙරිණ​. මෙහිදී ද එය විශාල ආන්දෝලනයක් ඇති කළ අතර අශීලාචාර චිත්‍රයක් ලෙස එය සලකන ලදී.

මෙයින් පසුව ද මැනේ විසින් මියුරොන් ගේ චිත්‍ර කිහිපයක් අඳින ලදී. මින් 1873 දී ඇඳි "The Railway" (කෝච්චි පාර​) ද තරමක කතා බහට ලක් වූවකි. එහි කාන්තාවක සහ කුඩා දැරියක දැක්වෙන අතර දැරිය යකඩ වැටක් අල්ලාගෙන ඉන් එපිට වන දුම්රිය මාර්ගය දෙස බලා සිටී. දුම්රිය මාර්ගයක් එහි වන බව වැටහෙන්නේ දුම්රියකින් නැගෙන දුමාරය හේතුවෙන් පමණි.

ඇගේ නිරුවත් චිත්‍ර දෙකේදී මෙන් ම මෙහිදීද මියුරොන් ගේ බැල්ම වටහා ගැනීමට අපහසු ය​. "තණබිමක දිවා භෝජනය​" මෙන්ම මෙය ද තේරුම් ගැනීමට අපහසු චිත්‍රයකි.

මේ වන විට වික්ටොරීන් ද චිත්‍ර කලාව හදාරමින් සිටියාය​. මැනේ මෙන් නොව ඇය තේරුම් ගැනීමට අපහසු සිද්ධීන් සිතුවමට නැඟීම කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකළා ය​. ඇය විසින් අඳින ලද චිත්‍රවලින් දැනට සොයාගෙන ඇත්තේ 1885 දී ඇඳි "Palm Sunday" චිත්‍රය පමණි.

කෙසේ නමුත් ඊට වසර නවයකට පෙර 1876 දී ඇය විසින් අඳින ලද ස්ව ආලේඛන චිත්‍රයක් සැලොන් කලාගාරයේ ප්‍රදර්ශනයට තෝරාගන්නා ලද අතර එම වසරේදී මැනේගේ නිර්මාණ එම කලාගාරයේ ප්‍රදර්ශනය වූයේ නැත​. නැවත 1879 මියුරොන් ගේ චිත්‍රයක් මෙන්ම මැනේගේ සිතුවමක් ද ප්‍රදර්ශනය සඳහා තෝරාගන්නා ලදී.

මැනේ 1883 දී මියගියේ සිෆිලිස් රෝගයෙනි. මියුරොන් වයස අවුරුදු 83 ක් වනතුරු, එනම් 1927 වනතුරු ජීවත් වූවාය​. ඇගේ ජීවන තොරතුරු පිළිබඳ එතරම් පැහැදිලි වාර්තාවක් නොමැත​. තවත් කිහිප විටෙක ඇගේ චිත්‍ර සැලොන් කලාගාරයේ ප්‍රදර්ශනය වූ නමුත් ඇයට දිගටම චිත්‍ර කලාවේ නියැලීමට තරම් ආදායමක් නොලැබුණ බව සිතිය හැක​.

Thursday, July 28, 2016

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත් වූ පළමු උප ජනාධිපති අපේක්ෂිකාව​

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් කෙරෙන පළමු කාන්තාව ලෙස හිලරි ක්ලින්ටන් ඊයේ ඉතිහාසයට එක් වූවාය​. ඒ එරට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස ඇය නිල වශයෙන් නම් කරනු ලැබීමත් සමඟය​.

ඇමරිකානු ඉතිහාසයේ කුඩා පක්ෂවලින් කාන්තාවන් ගණනාවක් ම ජනාධිපති ධූරය සඳහා තරඟ කර ඇත​. ප්‍රථම වරට ඇමරිකානු ජනාධිපතිවරණයකට තරඟ වැදුණ කාන්තාව වූයේ වික්ටෝරියා වුඩ්හල් ය​. ඒ 1872 දී ය​. එහෙත් ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් හෝ පක්ෂවලින් මින් පළමුව කිසිදු කාන්තාවක ජනාධිපති ධූරයට ඉදිරිපත් වී නොමැත​.

ඇමරිකාවේ උප ජනාධිපති ධූරය සඳහා වෙනමම ඡන්දයක් නොපැවැත්වෙන අතර මැතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති අපේක්ෂකයා විසින් සාමාන්‍යයෙන් සිය තරඟ සගයා නම් කරනු ලබයි. ඇමරිකානු ඉතිහාසය තුළ ප්‍රධාන පක්ෂ දෙකෙන් උප ජනාධිපති ධූරය සඳහා කාන්තාවන් දෙදෙනකු නම් කර තිබේ.

ප්‍රථම වරට කාන්තාවක උප ජනාධිපති ලෙස ඉදිරිපත් කළ ප්‍රධාන ඇමරිකානු පක්ෂය වූයේ ද ඩිමොක්‍රටික් පක්ෂය ය​. ඒ 1984 ජනාධිපතිවරණය සඳහා ය​. මෙසේ ඉදිරිපත් කළ අපේක්ෂිකාව වූයේ ජෙරල්ඩීන් ෆෙරාරෝ ය​. (මින් පසු 2008 දී රිපබ්ලිකන් අපේක්ෂක ජෝන් මැකේන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස සාරා පේලින් තෝරාගනු ලැබීය​).

1984 ජනාධිපතිවරණයට පෙර වැඩි වාසි තිබුණේ එවක ජනාධිපති ධූරය දැරූ රොනල්ඩ් රේගන්ට ය​. ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඔහු හා තරඟ කිරීමට තෝරාගන්නා ලද්දේ හිටපු උප ජනාධිපති වෝල්ටර් මොන්ඩේල් ය​. මොන්ඩේල් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස ෆෙරාරෝ තෝරාගත්තේය​.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ 9 වන කොට්ඨාශයේ මන්ත්‍රීවරිය ලෙස 1979-85 වසරවල ඇමරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළ ජෙරල්ඩීන් ගේ පියා ඉතාලියානු සංක්‍රමණිකයෙකි. මව ද ඉතාලි සංක්‍රමණිකයන් ගෙන් පැවතෙන්නියක් වූවාය​.

1984 ජනාධිපතිවරණය මොන්ඩේල් ජයගනු ඇතැයි එතරම් බලාපොරොත්තු පළ වී නොතිබුණි. ෆෙරාරෝ තරඟ බිමට ඇතුලත් වූ විගසම මොන්ඩේල්-ෆෙරාරෝ ඡන්ද ව්‍යාපාරය කෙරෙහි යම් අවධානයක් යොමු වුවද කෙටි කළකින්ම එය යටපත් විය​. විශේෂයෙන්ම ෆෙරාරෝගේ සැමියාගේ ව්‍යාපාර කටයුතු පිළිබඳ මතු කෙරුණ යම් යම් චෝදනා ඇගේ ඡන්ද ව්‍යාපාරයට ඍණාත්මකව බලපෑවේය​.

ජනාධිපතිවරණයේදී රේගන් මහජන ඡන් දයෙන් සියයට 58.8 ක් තරම් විශාල ප්‍රමාණයක් ලබා ගත් අතර මොන්ඩේල් ලබාගත්තේ සියයට 40.6 ක් පමණි. මිනෙසෝටා ප්‍රාන්තය හැරුණ විට අන් සියලු ප්‍රාන්ත රේගන් විසින් ජයගත් අතර වොෂිංටන් ඩී. සී අගනුවර දී මොන්ඩේල් ජයගත්තේය​.

බිල් ක්ලින්ටන් ජනාධිපති ධූරයට පත් වූ පසු 1993 දී ජෙරල්ඩීන් ෆෙරාරෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත් කරන ලදී. ඇය 1996 තෙක් එම තනතුරෙහි රැඳී සිටියාය​.

1935 අගෝස්තු 26 වනදා උපන් ජෙරල්ඩීන් මියගියේ 2011 මාර්තු 26 වනදා ය​.

Wednesday, July 27, 2016

සිලෝන් (Ceylon) හි උපන් ඇමරිකානු උප ජනාධිපති

ශ්‍රී ලංකාව 1972 තෙක් සිලෝන් (Ceylon) නමින් හැඳින් වූ බව අපි දනිමු. වෙසෙසින් ම බ්‍රිතාන්‍ය පාලන සමය තුළ සිලෝන් දිවයින සැළකිය යුතු ප්‍රසිද්ධියක් ඉසිලීය​. ඒ එහි ස්වභාවික පිහිටීම සහ විශේෂයෙන් ම 'සිලෝන් ටී' හෙවත් සිලෝන් තේ හේතුවෙනි.

සිලෝන් හි උපන් ඇමරිකා එක්සත් ජනපද උප ජනාධිපතිවරයකු ද වෙයි. නමුත් ඒ, වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන දූපත නොවේ. සිලෝන් යනු ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ කුඩා නගරයක නමක් ද වේ. එරට එක් උප ජනාධිපතිවරයකු උපන්නේ එම නගරයේ ය​.

2010 දී 369 ක ජනගහනයක් විසූ එම නගරය අදටත් හඳුන්වන්නේ සිලෝන් යන නමිනි.

1899 දී සිතියම්ගත කර නීතිගත කෙරුණ සිලෝන් නගරයට නම ලැබෙන්නේ සිලෝන් දූපත, එනම් වර්තමාන ශ්‍රී ලංකාව මුල් කරගෙනය​. මිනසෝටා හි දකුණු දිග කෙළවරට වන්නට පිහිටි මාර්ටින් කෝරළයේ මෙම නගරය පිහිටා ඇත​. ජනප්‍රවාදයට අනුව මෙම නගරයට නමක් යෙදීමට සාකච්ඡා වනවිට යම් කිසිවකු "සිලෝන් ටී" නොහොත් සිලෝන් තේ පෙට්ටියක් දැක "සිලෝන්" යන නම යෝජනා කළේ ලු.
උප ජනාධිපති මොන්ඩේල් (වමේ) ජනාධිපති ජිමී කාටර් සමඟ 1979 දී

වෝල්ටර් ෆෙඩ්‍රික් මොන්ඩේල් උපන්නේ මිනසෝටාවේ සිලෝන් නගරයේදී 1928 ජනවාරි 5 වනදා ය​. ඔහුගේ පියා මෙතෝදිස්ත පූජකවරයකු වූ අතර, මව සංගීත ගුරුවරියක වූවාය​. 1951 දී ඔහු මිනසෝටා විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා පසුව නීතීඥයකු ලෙස ද දිවුරුම් දුන්නේය​. මේ අතර 1948 සිටම ඩිමොක්‍රටික් පක්ෂයෙන් ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවල නිරත වූ මොන්ඩේල් 1960 දී මිනසෝටා ප්‍රාන්තයේ නීතිපති ලෙස පත් කරන ලදී. ඒ එවක හිටපු නීතිපති ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව මැකීමට ය​. එවක ඔහුගේ වයස අවුරුදු 32 ක් පමණි. කෙසේ වෙතත්, 1962 දී ඔහු නැවතත් නීතිපති ලෙස මහජන ඡන්දයෙන් පත් විය​.
Pic: www.city-data.com

1964 දී හියුබර්ට් හම්ප්‍රි උපජනාධිපති ධූරයට තරඟ කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජනපද සෙනට් අසුනට පත් කරන ලද මොන්ඩේල් 1966 දී සහ 1972 දී මහජන ඡන්දයෙන් සෙනට් සභාවට තේරී පත් විය​. 1976 දී ජිමී කාටර්ගේ උප ජනාධිපති තරඟ සගයා ලෙස මොන්ඩේල් පත් කරගන්නා ලදී. කාටර් ජනාධිපතිවරණය ජය ගත් අතර මොන්ඩේල් උප ජනාධිපති බවට පත් විය​.

1980 දී රිපබ්ලිකන් පක්ෂයේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුගේ උප ජනාධිපති තරඟ සගයා වූයේ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ය​. රීගන් - බුෂ් දෙපළ විසින් කාටර් - මොන්ඩේල් දෙපළ පරාජය කරන ලදී.
Pic: www.iandoesprojects.com

ජනාධිපතිවරණයෙන් පසු මොන්ඩේල් යළි නීති වෘත්තියට එළඹි අතර 1984 දී ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඔහු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගනු ලැබුණි. ඔහු සිය උප ජනාධිපති සටන් සගයා ලෙස තෝරාගත්තේ කාන්තාවකි. ඇය ජෙරල්ඩීන් ෆෙරාරෝ වූවාය​. මේ අනුව ඇමරිකාවේ ප්‍රධාන පක්ෂයකින් උප ජනාධ්පති ලෙස ඉදිරිපත් කෙරුණ පළමු කාන්තාව බවට ඇය පත් වූවාය​.

කෙසේ නමුත් රේගන් විසින් මොන්ඩේල් පහසුවෙන්ම පරාජය කෙරිණ​.

ඡන්ද සටනින් පසු නැවත නීති වෘත්තියට අත තැබූ මොන්ඩේල් 1993 දී ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් ජපානයේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත් කරනු ලැබුණි. ඉන්පසු නැවතත් ඔහු නීති වෘත්තියට පිවිසියේය​.

2002 දී හදිසියේම යළිත් දේශපාලනයට අවතීර්ණ වීමට මොන්ඩේල්ට සිදු විය​. ඒ සෙනට් මණ්ඩලයට තේරී පත්වීම සඳහා තරඟ කළ පෝල් වෙල්ස්ටන් ඡන්දයට දින 11 ක් තිබියදී ගුවන් අනතුරකින් හදිසියේ අභාවයට පත් වූ හෙයිනි. වෙල්ස්ටන් ගේ ඥාතීන් ගේද පෙළඹවීම මත මොන්ඩේල් ඔහු වෙනුවට ඡන්දයට ඉදිරිපත් වූ අතර තියුණු සටනකින් පසු පරාජයට පත් විය​.

Tuesday, July 26, 2016

ජර්මනිය සමඟ වසර 44ක් 'යුධ වැදුණ​' කුඩා රාජ්‍යය​

1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වූ සමයේදීම යුරෝපයේ කුඩා රාජ්‍යයක් වන ඇන්ඩෝරාව ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. මෙම 'යුද්ධය​' අවසන් වූයේ 1958 දීය​.

ඇන්ඩෝරාව ප්‍රංශයට සහ ස්පාඤ්ඤයට මායිම්ව යනු පිරනීස් කඳු පන්තියෙහි පිහිටි කුඩා රාජ්‍යයකි. එහි ජනගහනය 85,000 ක් පමණ වෙයි. 1900 ගණන්වල මුල් කාළයෙහි එරට ජනගහනය 5000 කට මදක් වැඩි වූවා පමණි.

ඇන්ඩෝරාවේ රාජ්‍ය නායකයන් වනුයේ කුමාරවරුන් දෙදෙනෙකි. ස්පාඤ්ඤයේ උර්ගෙල්හි බිෂොප්වරයා සහ ප්‍රංශ රාජ්‍ය නායකයා (වර්තමානයේ නම් ජනාධිපති) නිල බලයෙන් එම තනතුරුවලට පත් වෙති. රටේ විධායක බලය සත්‍ය වශයෙන් පවතින්නේ අගමැති අතය​.

1914 දී ඇන්ඩෝරාව ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය​. එහෙත් යුධ පෙරමුණෙන් ඈත පිහිටි, හරි හමන් යුධ හමුදාවක් ද නොවූ කුඩා ඇන්ඩෝරාව යුද්ධයට කිසිදු සෙබලකු හෝ නොයැවීය​.

යුද්ධය අවසන් වූ පසු මිත්‍ර රටවලට ද ඇන්ඩෝරාව යුධ වැදුණ බව අමතක විය​. යුද්ධ අවසානයේදී සාම ගිවිසුම පිළිබඳ වර්සායිහිදී පැවත් සාකච්ඡාවලට සහභාගී නොවූ ඇන්ඩෝරාව වර්සායි ගිවිසුමට (Treaty of Versailles) අත්සන් තැබුවේ ද නැත​.

ඇන්ඩෝරාව ජර්මනිය සමඟ වෙනමම ගිවිසුමකට එළඹියේ ද නැත​.

කාළයත් සමඟ මෙම සිද්ධිය අමතක වූ අතර  යළි එය මතකයට නැඟුනේ දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමඟය​. නිල වශයෙන් ඇන්ඩෝරාව තවමත් ජර්මනිය සමඟ යුධ වැදෙමින් සිටියේය​.

ඇන්ඩෝරාව දෙවන ලෝක යුද්ධයේදී මධ්‍යස්ථව සිටි අතර ජර්මනියද දෙරට අතර වූ යුධමය තත්ත්වය ප්‍රයෝජනයට ගෙන එරටට හමුදා නොයැවීය​.

දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කෙරුණේ 1958 දී ය​.

Monday, July 25, 2016

හදිසි තත්ත්වයකදී සමාජජාල භාවිතය - මියුනික් උදාහරණය​

හදිසි තත්ත්වයක් ඇති වූ විට කට කතා පැතිර යාම සාමාන්‍ය සිදු වීමක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. එමෙන්ම එවන් අවස්ථාවක නිවැරදි තොරතුරු වාර්තාකරණය පිළිබඳ රජයට සහ ජනමාධ්‍යවලට විශේෂ වගකීමක් පැවරී ඇත​. එහෙත් ඇතැම් අවස්ථාවන්හිදී මෙම දෙඅංශයෙන්ම එම යුතුකම නිවැරදි අයුරින් ඉටු නොවන බව අපි දැක ඇත්තෙමු.

පසුගිය දා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඇතිවූ ගංවතුර තත්ත්වයේදී මෙම තත්ත්වය පැහැදිලි විය​. වගකීමෙන් තොරව ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජය නිදොස් කළ හැක්කේ ඔවුන් ඇතැම්විට කිසිදු දැනුවත් කිරීමක් නොකළ බැවිනි. විශේෂයෙන්ම ගලවාගැනීමේ සහ ආධාර බෙදා දීමේ කටයුතුවලදී ඇතැම් රාජ්‍ය අංශ විශාල වැඩකොටසක් කළ ද අනෙක් අංශ සහමුලින් ඇල්මැරුණු ස්වභාවයක් ගත්තේය​.

ජනතාවට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවලට ස්තූති කළ හැක්කේ ඔවුන් තම තමන් කරන ලද සත්කාර පිළිබඳව 'ඔවුනට වැදගත්' තොරතුරු රැසක් රටට ලබාදුන් හෙයිනි.

මෙවන් තත්ත්වයකදී අවතැන් වූවන් රැඳී සිටින ස්ථාන​, ඔවුනට අවැසි ද්‍රව්‍ය​, ලෙඩ රෝගවලින් ගැලවෙන ආකාරය​, ජලයට හසුවූ වාහන පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය ආදී උපදෙස් සහ තොරතුරු සම්පූර්ණයෙන්ම පාහේ ජනතාවට දැන ගන්නට ලැබුණේ සමාජජාල​, වෙසෙසින්ම ෆේස්බුක් හරහාය​.

මෙහි නරක ප්‍රතිඵලය නම් වැරදි තොරතුරු ද සමාජගත වීමේ ඉඩක් තිබීමත් එම තොරතුරුවල විශ්වසනීයත්වය පිළිබඳ සැකයක් ඕනෑම අයකු තුළ ඇති වීමත් ය​. නමුත් රජය මුණිවත රකිද්දී ඒ ආකාරයෙන් හෝ ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් වූ බව එම අවස්ථාවේ අපි දුටිමු.

රජයක් කළ යුත්තේ සමාජජාලවලට බැණ වැදීම නොවේ. එකළ ගමවටා ඕපාදූප කියූ වට්ටි අම්මලාගේ කාරිය, අද සමාජජාල විසින් කරන්නේ යයි කෙනකුට තර්ක කිරීමට පිළිවන​. නමුත් එසේ සිදුවන්නේ සමාජජාලවල ශක්තිය රජය විසින් උපයෝගී නොකරගන්නා නිසාවෙනි.

හදිසි අවස්ථාවකදී සමාජජාල භාවිත කළ යුතු ආකාරය දැක්වෙන හොඳම උදාහරණයක් වූයේ නොබෝ දිනෙක මියුනික් නගරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සහ ඒ පිළිබඳ මියුනික් පොලීසිය දැක්වූ ප්‍රතිචාරයයි.

තුවක්කුකරුවකු මියුනික් නගරයේ සාප්පු සංකීර්ණයක් අසළදී වෙඩි තැබීම ඇරඹුවේ ශ්‍රී ලංකා වේලාවෙන් ජූලි 23 රාත්‍රියේය​. එම අවස්ථාවේ පටන් සමාජජාල ඔස්සේ විවිධ තොරතුරු වාර්තා විය​. මාධ්‍ය ආයතන ද සිය සමාජජාල පිටු හරහා එකිනෙකට පරස්පර විරෝධී තොරතුරු ප්‍රචාරය කළේ "ඇසින් දුටු සාක්ෂි" බව පවසමිනි.

සත්‍ය වශයෙන්ම එවන් අවස්ථාවක එකිනෙකට පරස්පර විරෝධී ඇසින් දුටු සාක්ෂි ඇතිවීම ස්වාභාවිකය​. මක් නිසාද යත් සියලු දෙනා කලබලයට පත්ව ඇති හෙයිනි.

මෙවන් අවස්ථාවක අවශ්‍ය වන්නේ එම තත්ත්වය පාලනය සඳහා යම් ආයතනික මැදිහත් වීමකි. මියුනික් පොලීසිය එම මැදිහත්වීම හැකි ඉක්මණින්ම සිදු කළේය​. ඒ ඔවුනගේ ට්විටර් පිටුව ඔස්සේය​.

(මෙම ට්වීට්වල ඇත්තේ ශ්‍රී ලංකා වේලාව බව කරුණාවෙන් සළකන්න​. - කොපි කරන ලද පරිඝනකයේ සටහන් වන වේලාව)

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට පමණ මියුනික් වෙඩි තැබීම පිළිබඳ පළමු වාර්තා පළ විය​. වෙඩි තැබීමට එක් අයකුට වඩා, ඇතැම්විට තිදෙනකු වුවද සම්බන්ධ බව මුලින්ම වාර්තා විය​. මියුනික් පොලිසිය එය තහවුරු නොකළ අතර ඒ වෙනුවට ඔලිම්පියා වෙළෙඳ සංකීර්ණය අසළ යම් සිද්ධියක් සිදුව ඇති බවත්, පොලිස් මෙහෙයුමක් ඇරඹී ඇති බවත් වාර්තා කළේය​.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.05 ට ය​.

මින්පසු ශ්‍රී ලංකා වේලාවෙන් 10.43 ට ඔවුන් සඳහන් කළේ පොලිස් මෙහෙයුමක් තවමත් සිදුවනන්බව සහ ජනතාව පිටතට නොයා සිටිය යුතු බවය​.

ලෝක ජනමාධ්‍යවල අවධානය මියුනික් වෙත යොමු වද්දී මියුනික් පොලීසිය සාමාන්‍යයෙන් භාවිතා කරන ජර්මන් භාෂාවට අමතරව ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවලින් ද ට්විටර් පණිවිඩ නිකුත් කරමින් තත්ත්වය පැහැදිලි කළ හ​.

මේ අතර ජනතාව විසින් කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳවද දැනුවත් කිරීම් සිදුකරන ලදී. මේවා කෙතෙක් දුරට ක්‍රියාත්මක වීද යන්න වෙනමම ප්‍රශ්නයකි. නමුත් මෙසේ නිල දැන්වීම් ප්‍රචාරය කිරීම ඉතා වැදගත් විය​.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.07 ට පොලිසිය ඉල්ලා සිටියේ පොලිස් මෙහෙයුම්වල ඡායාරූප හෝ වීඩියෝ හෝ අන්තර්ජාලයට එක් නොකරන ලෙසයි. එය ප්‍රහාරකයාට උපකාරයක් බව ඔවුහු කියා සිටියෝය​.

(ශ්‍රී ලංකාවේ ගංවතුර නැරඹීමට යෑමෙන් සහන කටයුතුවලට බාධා කරන්නන් වැළැක්වීමට රජය කළ 'ප්‍රශස්ත' නිල මැදිහත්වීම සමඟ මෙය සන්සන්දනය නොකරන්න​)

මේ අතර මියුනික් පොලීසිය මෙම සිද්ධියේදී මිය ගිය හෝ තුවාල ලද හෝ සංඛ්‍යාවන් පිළිබඳ නිල දැනුම් දීම් සමඟ හදිසි අවශ්‍යතා සඳහා දුරකථන අංකයක් ද ප්‍රසිද්ධ කළ හ​. (නැවතත් ශ්‍රී ලංකාව සමඟ සන්සන්දනය නොකරන්න​)

ශ්‍රී ලංකා වේලාවෙන් ජූලි 24 උදෑසන 2.20 ට මියුනික් පොලීසිය සඳහන් කළේ එක් සැකකරුවකු මිය ගොස් ඇති බවය​. ඊට පැය තුනකට පසු වෙඩි තැබීමට වෙනත් අයකු සම්බන්ධ වී නොමැති බව සනාථ කරමින් මියුනික් පොලීසිය තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය​.

මෙසේ මියුනික් පොලීසිය ඍජුවම තොරතුරු බෙදාහැරීම මගින් කටකතා පැතිරීම පාලනය වූ අතර නිල පුවත් රාත්‍රිය පුරාම ලෝකයාට ලැබිණ​. මේ අනුව එදින ලෝක ජනමාධ්‍ය සියල්ලක්ම මියුනික් පොලීසියේ ට්විටර් පිටුව ඔස්සේ මෙහෙයුම පිළිබඳ විස්තර දැනගෙන ඒවා ප්‍රචාරය කළ හ​.

එමෙන්ම මියුනික් පොලීසිය ජනතාවට අවවාද කිරීමට ද අමතක නොකළේය​. මියගිය හෝ තුවාල ලැබූවන් ගේ පවුල්වල අයට අමතර පීඩනයක් එක් කරමින් ඔවුනගේ ඡායාරූප සමාජජාල ඔස්සේ ප්‍රචාරය නොකරණ ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටියෝය​.

රජයක් සිටිය යුත්තේ මේ සඳහා නොවේ නම් කුමක් සඳහා ද​?

පළමු ලෝක යුද්ධය​: ඉතාලි, ග්‍රීක සහ මැද පෙරදිග පෙරමුණු - 1917

1917 දී බටහිර පෙරමුණ තුළ තත්ත්වය තවමත් එක් පාර්ශවයකට හෝ වාසිදායක නොවූ අතර නැගෙනහිර පෙරමුණ මධ්‍ය බලවතුන් ගේ ජයග්‍රහණයෙන් කෙළවර විය​. මේ අතර අවශේෂ පෙරමුණුවල ද වැදගත් වෙනස්කම් කිහිපයක් සිදු විය​.

ඉතාලි පෙරමුණ​

1917 පළමු මාස අට තුළදී පිරිස් බලය​, වෙඩි බෙහෙත්, කාලතුවක්කු ආදියෙහි ඌණතා තිබියදී වුවද යළිත් දෙවතාවක් ම ඉසොන්සෝව තරණය කිරීමට ඉතාලි හමුදා උත්සාහ කළහ​. ජෙනරාල් ලුයීගි කාර්ඩෝනා යටතේ එල්ල වූ මෙම ප්‍රහාරයන් ද අසාර්ථක වූයේය​.

ඔක්තෝබර් මාසයේදී දැවැන්ත ජර්මන් - ඔස්ට්‍රා හන්ගේරියානු ප්‍රහාරයකට ඉතාලිය ඉලක්ක වූයේය. මෙය කැපොරෙට්ටෝ සංග්‍රාමය (Battle of Caporetto) යනුවෙන් හැඳින්වෙන නොවැම්බර් මස අවසාන කාළය තෙක් ඇදුණ දැවැන්ත සංග්‍රාමයක ඇරඹුම විය​. මධ්‍ය බලවතුන් ඉසොන්සෝ නදියේ ඉහළ ප්‍රදේශයකින් එය තරණය කර ඉතාලිය තුළට කඩා වැදුණේ එරට හමුදා විදුලි වේගයෙන් පලවා හරිමිනි. ඉතාලි හමුදාවල පසුබෑම කෙළවර වූයේ පයේව් නදියෙනි.
Battle of Caporetto (Map: https://nowxhere.wordpress.com/) 

මෙම දැවැන්ත ප්‍රහාරයට මුහුණ දීමට ඉතාලි හමුදා සතුව ප්‍රමාණවත් අමතර බල ඇණි නොවීය​. සටනින් මියගිය සහ තුවාල ලද ඉතාලි හමුදා භට පිරිස පිළිවෙලින් 10,000 ක් සහ 30,000 ක් පමණ වූ බව සැලකේ. මේ අතර 250,000 කට වැඩි පිරිසක් සිරකරුවන් ලෙස අල්ලාගන්නා ලද අතර 300,000 ක් පමණ පිරිසක් හමුදාව අතහැර පළා ගියහ​. ඉතාලි හමුදාවල චිත්ත ධෛර්යය ශුන්‍යයටම බැස්සේය​.

ජෙනරල් කෝර්ඩෝනා වෙනුවට ආර්මන්ඩෝ ඩයස් අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. මේ අතර ඉතාලිය කඩා වැටේය යන බියෙන් ඉංග්‍රීසි සහ ප්‍රංශ හමුදා පයේව් නදී පෙදෙස වෙත එවන ලද්දේය​. ඔස්ට්‍රියානු සහ ජර්මන් හමුදා තාවකාලිකව සිය ඉදිරි ගමන නවතා දැමූහ​.

ග්‍රීසිය යුද්ධාවතීර්ණ වීම​

1917 මුලදී මිත්‍ර හමුදා මැසඩෝනියාවේ මොන්ස්ටාර්, ප්‍රෙස්බා විල සහ වාර්ඩා නදිය ආශ්‍රිතව ප්‍රතිඵල රහිත සටන් කිහිපයක යෙදුණහ​. ග්‍රීක රජු වූ පළමු කොන්ස්ටයින් ගේ ජර්මන් හිතවාදී ප්‍රතිපත්ති හේතුවෙන් බෝල්කන් ප්‍රදේශවලට විශාල හමුදා යැවීමට නොහැකි වීමෙන් තමන්ට එම ප්‍රදේශයේ වැදගත් ජයග්‍රහණයක් ලැබිය නොහැකි බවට මින් පසු ඔවුන් මැසිවිලි නගන්නට විය​. මේ අනුව මිත්‍ර රටවල්වල මීළඟ පියවර වූයේ ග්‍රීක රජු බලයෙන් නෙරපා හැරීමයි.

ජූනි මාසයේදී මිත්‍ර හමුදා ග්‍රීසිය වෙත යවන ලද අතර එම මස 12 වනදා රජු සිහසුන අත හැරියේය​. රජුගේ පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් රජ බවට පත් විය​. ඔහුගේ අගමැතිවරයා ලෙස පත්කරන ලද්දේ සැලෝනිකාවේ තාවකාලික ආණ් ඩුවක් පවත්වාගෙන ගිය එලෙයුතේරියස් වෙනිසෙලොස් ය​. සිය අතිජාත මිත්‍රයා අගමැති පුටුවේ ඉන්ඳවූ පසු ග්‍රීසිය පිළිබඳ මිත්‍ර රටවලට කිසිදු සැකයක් නොවීය​. ජූනි 27 වනදා ග්‍රීසිය මධ්‍ය බලවතුන් සිව් දෙනාටම එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

මැද පෙරදිග සටන්

1917 මාර්තු සහ අප්‍රේල් මාසවල ගාසා නගරය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයන් කළ අසාර්ථක උත්සාහයන් දෙකකට පසු ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය හමුදා සඳහා නව අණදෙන නිලධාරියකු පත්කර එවන ලදී. ඒ පසු කළෙක ෆීල්ඩ් මාර්ෂල් ධූරයට ද පත් එඩ්මන්ඩ් ඇලන්බි ය​.
Allenby

මේ අතර තුර්කියට එරෙහිව දියත් වූ අරාබි කැරැල්ල ද උත්සන්න වෙමින් පැවතිණ​. මෙම කැරැල්ලට සහය වීම පිණිස බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වූ තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස් යවන ලදී. "අරාබියේ ලෝරන්ස්" නමින් ප්‍රකට වූ හෙතෙම එම කැරැල්ලට අව්‍යාජවම ආධාර කල බව සඳහන් වේ. ඔහුගේ අරමුණ වූයේ අරාබි ජාතිකයන් නිදහස් වනු දැකීමය​.
Lawrence of Arabia

තුර්කීන්ගේ දුම්රිය මාර්ග පුපුරවා හරිමින් අරාබි කැරලිකරුවෝ ඔවුනට හිසරදයක් බවට පත් වූහ​. 1917 ජූලි මාසයේදී ගරිල්ලා සටන්වලින් බැහැරවූ ඔව්හු ඇකබා නගරයට පහර දී අල්ලාගත්තෝය​.

1917 ඔක්තෝබර් 31 වනදා ඇලන්බිගේ හමුදා බියර්ශීබා (Beersheba) අල්ලාගත් අතර ගාසා නුවරින් පසු බැසීම හැර අන් විකල්පයක් තුර්කීන්ට නොවීය​. මෙම පසු බැසීම බලාපොරොත්තු වූවාට වඩා දරුණු විය​. දෙසැම්බර් 8 වනදා ඇලන්බිගේ සේනාංක යෙරුසලමට ඇතුලු වූහ​.
The Third Battle of Gaza (www.mapillustrations.com.au)

මේ අතර මෙසපොතේමියාවේදී ද බ්‍රිතාන්‍ය හමුදා ජයග්‍රහණ වාර්තා කළහ​. 1917 මාර්තු 11 වනදා බැග්ඩෑඩය අල්ලාගන්නා ලදී. සැප්තැම් බරය වනවිට බ්‍රිතාන්‍ය හමුදා රමාදි වෙත පැමිණීමට සමත් වූහ​.

මේ අනුව ප්‍රධාන සටන් පෙරමුණුවලදී මධ්‍ය බලවතුන් වැඩි වාසි සලසා ගනිද්දී ග්‍රීසිය සහ මැදපෙරදිග කලාපයේදී මිත්‍ර හමුදා යම් ප්‍රබල ස්ථානයකට එනු දකින්නට ලැබුණි. මෙය තුර්කියට ඍජු තර්ජනයක් විය​.

Sunday, July 24, 2016

ලුවිසියානාවෙන් සෙනට් සභාවට තරඟ කරන "පුංචි ට්‍රම්ප්"

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වීම පිළිබඳව උද්දාමයට පත් වූ ධවලෝත්තමවාදී සංවිධානයේ හිටපු නායකයෙක් සිය ප්‍රාන්තයෙන් ඇමරිකානු සෙනට් සභාවට තරඟ කිරීමට තීරණය කර තිබේ.

ලුවිසියානා ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකයෙහි පහළ මන්ත්‍රී මණ්ඩලයේ හිටපු සාමාජිකයකු වන ඩේවිඩ් ඩියුක් නොබෝදා සිය ප්‍රාන්තයෙන් සෙනට් සභාව සඳහා තරඟ කරන බව ප්‍රකාශයට පත් කළේය​.
David Duke - Pic: Reuters

සිය තීරණය ප්‍රකාශ කරමින් 66 හැවිරිදි ඩියුක් කියා සිටියේ වසර ගණනාවක් පුරා තමන් පෙනී සිටි දර්ශනය වෙනුවෙන්, එනම් "පළමුව ඇමරිකාව" යන චින්තනය වෙනුවෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනී සිටීමත් ඒ සඳහා ඔහුට විශාල සහයෝගයක් ලැබී තිබීමත් කෙරෙහි සිය සතුට ප්‍රකාශ කරන බවයි​.

1974 දී කූ ක්ලක්ස් ක්ලෑන් නයිට්වරු (Knights of Ku Klux Klan - KKKK) නම් සංවිධානයක් පිහිටුවාගනිමින් එහි නායකයා ලෙස කළක් කටයුතු කළ ඩියුක් එකල පටන්ම ධවලෝත්තමවාදියකු වූයේය​. එනම් සුදු මිනිසුන්, වඩාත් නිවැරදිව කිවහොත් යුරෝපා-ඇමරිකානු මිනිසුන්, ඇමරිකාවේ පාලනය කළ යුතු බව ඔහු විශ්වාස කරයි. අදටත් ඔහු යුදෙව් විරෝධී, අන්තවාදී අදහස් දරන අතර මෙම හේතුව නිසාම ඇතමුන් ඔහු නව නාසිවාදියකු ලෙස හඳුන්වන තැනටම ගමන් කර ඇත​.

මුල් කාලයේ ඩිමොක්‍රටික් පක්ෂය හරහා දේශපාලනයේ නිරත වූ ඩියුක් පසුව රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ කරමින් විවිධ මැතිවරණවලට ඉදිරිපත් විය​. රිපබ්ලිකන් නායකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් වැළැක්වීමට තැත් කල ආකාරයෙන්ම ඔහු වැළැක්වීමට උත්සාහ කළත් ලුවිසියානාවේදී එම උත්සාහය එතරම් සාර්ථක වූයේ නැත​. ඔහු 1992 දී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා දිනා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ නම් එම උත්සාහයට පක්ෂයේ සාමාජිකත්වයෙන් වැඩි සහයෝගයක් නොලැබුණි.

1990 දී ලුවිසියානා ප්‍රාන්තයෙන් සෙනට් සභාවට තරඟ කළ හෙතෙම සියයට 44 ක් ඡන්ද ලබා ගත්තේය​. 1991 ප්‍රාන්ත ආණ් ඩුකාර ධූරයට තරඟ කරමින් පළමු වටයේදී සියයට 32 ක් සහ දෙවන වටයේදී සියයට 38 ක් ඡන්ද ලබාගැනීමට ද ඔහු සමත් විය​.

සිවිල් යුධ සමයේ දකුණුදිග ප්‍රාන්තයක් වූ ලුවිසියානාවේ කලු ජාතිකයන් විශාල ප්‍රමාණයක් වාසය කරන අතර එහි සුදු ජාතිකයන් අතර කලු ජාතිකයන් දේශපාලනයේදී වැඩි බලයක් ලබා ගැනීම පිළිකුල් කරන ධවලෝත්තමවාදී අදහස් සහිත අය සැලකිය යුතු පිරිසක් වෙති. ඩියුක් සිය සටන මෙහෙයවන්නට බලාපොරොත්තු වන්නේ ඔවුනගේ සහය අපේක්ෂාවෙනි.

හිලරි ක්ලින්ටන් සිය​ උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස ටිම් කේන් තෝරාගැනීමට බලපෑ කරුණු

ඇමරිකා එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිය උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙස වර්ජිනියා ප්‍රාන්ත සෙනට් සභික ටිම් කේන් තෝරාගත්තාය​.

කේන් තෝරාගැනීම සඳහා ඇයට බලපෑ හේතු කිහිපයකි. මූලික වශයෙන් කේන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දෙපක්ෂය සමඟම එකඟත්වයෙන් කටයුතු කළ හැකි ආකාරයේ මධ්‍යස්ථ මතධාරියෙකි. එමෙන්ම වර්ජිනියා ප්‍රාන්තය සාපේක්ෂව තරමක් විශාල ප්‍රධාන සටන් බිමක් වන ප්‍රාන්තයකි. ඒ හේතුවෙන් කේන්ගේ සහභාගීත්වය වැදගත් ය​.

කේන් මිනසෝටා ප්‍රාන්තයේ ඉපිද​, කැන්සාස් සිටි හි හැදී වැඩුන​, හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් නීතිය උගත් නීතිවේදියෙකි. කතෝලික භක්තිකයකු වන ඔහු ස්පාඤ්ඤ බස ද මනාව හසුරවයි. මෙය ලතින් ඡන්ද දායකයන් කෙරෙහි යම් බලපෑමක් කරනු ඇති බව බලාපොරොත්තු විය හැක​. කෙසේ වෙතත් ඇමරිකාවේ ලතින් ජාතිකයන්, නැතහොත් හිස්පැනික ඇමරිකානුවන්, වැඩි පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත ය​.

විශේෂයෙන්ම මෙක්සිකෝව හරහා පවුරක් ඉදි කිරීම වැනි රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් අන්තගාමී අදහස් හේතුවෙන් හිස්පැනික ඇමරිකානු ඡන්ද වැඩි වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැක​.

2012 දී ද හිස්පැනික ඡන්ද විශාල වශයෙන් දිනාගත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂක බරාක් ඔබාමා ය​.

කේන්ගේ ආගමනයත් සමඟ ට්‍රම්ප් විවේචනය කරන රිපබ්ලිකානුවන් සහ මධ්‍යස්ථ මතධාරීන් තමන් වෙත නම්මවා ගැනීමට ක්ලින්ටන් බලාපොරොත්තු වනු ඇත​.

1998 දී වර්ජිනියාවේ අගනුවර වූ රිච්මන්ඩ් නගරයේ නගරාධිපති ධූරයට නගර සභිකයන් විසින් කේන් තෝරාගත් අතර ඒ වනවිට නගර සභාවේ බහුතර මන්ත්‍රීන් පිරිසක් කලු ඇමරිකානුවෝ වූහ​. 2002 දී උප ආණ්ඩුකාර පදවියට පත් හෙතෙම 2006 දී ආණ්ඩුකාර ධූරය සඳහා තරඟ කර ජය ලැබීය​. එමෙන්ම 2010 දී ඔහු ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභාවට තරඟ කර ජයග්‍රහණය කළේය​.

මෙම මැතිවරණවලදී සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂය ප්‍රබල ප්‍රදේශවලදී ද ඔහු බලාපොරොත්තු වනවාට වඩා ඡන්ද ලබාගැනීමට සමත් වූයේය​.

හිලරි ක්ලින්ටන් මෑතදී පෙන්වා දුන් පරිදි කේන්, තමා ඉදිරිපත් වූ කිසිදු මැතිවරණයක් පරාජය වී නොමැත​.

ටිම් කේන් යනු සර්වශුභවාදියකු බවත් යම් වෙහෙසක් දැරීමෙන් ඕනෑම ගැටලුවක් විසඳාගැනීමට හැකි බව ඔහුගේ විශ්වාසය වන බවත් ක්ලින්ටන් සිය සගයා පිළිබඳ සටහන් කරමින් ප්‍රකාශ කළා ය​. තවද ජනතා සේවය තුලින් වෙනසක් සිදු කිරීමට හැකි බව ඔහු විශ්වාස කරන මූලධර්මය බව ද ඇය සිය ට්විටර් පිටුව හරහා ප්‍රකාශ කළාය​.

ඇගේ මෙම ප්‍රකාශය ඩොනල්ඩ් ට්‍රම්ප් සිය උප ජනපති අපේක්ෂකයා හඳුන්වා දුන් අවස්ථාවේ කළ කතාවට සම්පූර්ණයෙන්ම පටහැණිය​. මීට සතියකට පෙර ට්‍රම්ප් කළ එම කතාව සම්පූර්ණයෙන්ම පාහේ ඔහුගේ 'සගයා' වන පෙන්ස් පිළිබඳව නොව ඔහු පිළිබඳවම විය​.

කේන් එතරම් ප්‍රකට චරිතයක් නොවේ. නමුත් එම අර්ථයෙන් ගත් කළ මයික් පෙන්ස් ද එතරම් ප්‍රකට චරිතයක් නොවේ. පෙන්ස් රිපබ්ලිකන් පක්ෂයේ දක්ෂිනාංශයට බර පුද්ගලයෙකි. කේන් ඊට වඩා දෙපාර්ශවයේම මධ්‍යස්ථ මතවාදීන්ට ඇමතිය හැකි ආකාරයේ මැද මාවතක ගමන් කරන්නෙකි.

කේන් උප ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම කෙරෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශික​, වෙසෙසින්ම බර්නි සැන්ඩර්ස් හා එක්වූ කොටස් අතර යම් නොහොඳක් මතුවිය හැක​. ඔවුනගේ මතය අනුව කේන් ද විශාල ව්‍යාපාරිකයන් සතු බලයට එරෙහි වන්නකු නොවේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ සටන තියුණු මුහුණුවරක් ගතහොත් සැන්ඩර්ස් පාර්ශවයේ සිටි වැඩි පිරිසක් වඩා අඩු නපුර තෝරාගැනීමට ඉඩ ඇති අතර සැන්ඩර්ස් ද සිය පූර්ණ සහය මේ වනවිටත් ක්ලින්ටන් වෙත දක්වා තිබේ.

Friday, July 22, 2016

ගෝයා ඇඳි 'නිර්වස්ත්‍ර මාහා' (The Nude Maja) චිත්‍රය පිළිබඳ අභිරහස​

ඕනෑම කලාවක් පරිදිම චිත්‍ර කලා ඉතිහාසය ද විවිධ හැල හැප්පීම්, දේශපාලන ගැටීම් සහ අභිරහස්වලින් අනූන එකකි. පුනරුද සමයේ සහ ඉන් පසුව වුවද ප්‍රසිද්ධියට පත් චිත්‍ර ශිල්පීන් යම් යම් කාළවලදී යම් ප්‍රභූන් වෙනුවෙන් හෝ පල්ලිය වෙනුවෙන් හෝ සේවය කළෝ වූහ​. එසේ ම චිත්‍ර කලාව යම් දේශපාලන මතවාදයක් වෙනුවෙන් යොදාගත්තවුන් ද විශේෂයෙන් ම 19 වන සියවස වනවිට දක්නට ලැබුණි.

චිත්‍ර කලා ඉතිහාසයේ අභිරහස් අතුරින් ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පී ෆ්‍රැන්සිස්කෝ ගෝයා (Francisco Goya) විසින් අඳින ලද නිර්වස්ත්‍ර මාහා (La maja desnuda - The Nude Maja) සහ වස්ත්‍ර හැඳි මාහා (La maja vestida - The Clothed Maja) නම් චිත්‍ර පිළිබඳ වන අභිරහස අදටත් නොවිසඳුණ එකකි.
The Nude Maja - Goya

මාහා යනු සමකාලීන ස්පාඤ්ඤයේ පහළ පැලැන්තියේ කාන්තාවක හැඳින්වූ නමකි. එවන් පුරුෂයකු මාහෝ (Majo) ලෙස හඳුන්වන ලදී. නිරුවත් මාහා චිත්‍රයෙන් එම නිරූපිත කාන්තාව කිනම් යුගයක කාන්තාවකදැයි නිසැකව කිව නොහැකි වන නමුදු වස්ත්‍ර හැඳි මාහාගේ ඇඳුම් ආයිත්තම්වලින් ඇය සමකාලීන පහළ පැලැන්තියේ තරුණියක විනා දේව කතාවක හෝ වෙනත් ඓතිහාසික පුවතක හෝ එන කාන්තාවක නොවන බව පැහැදිලි විය​.
The Clothed Maja - Goya

නිර්වස්ත්‍ර මාහාගේ අභිරහසට මුල පිරෙන්නේ 1808 දී එරට අගමැතිවරයා වූ මැනුවෙල් ගොඩෝයිගේ (Manuel Godoy) නිවස ස්පාඤ්ඤ ආගමික අධිකරණය විසින් පරික්ෂාවට බඳුන් කළ අවස්ථාවේ ය​. එහි තිබී චිත්‍ර එකතුවක් හමුවන අතර ඒ අතර 'ගැටලු සහගත​' නිර්මාණ කිහිපයක් ද වේ. 'නිර්වස්ත්‍ර මාහා' ද ඒ අතර වෙයි.

'නිර්වත්‍ර මාහා' ගැටලු සහගත වූයේ එය නිරුවත් චිත්‍රයක් වූ හෙයින් නොවේ. පුනරුද සමයේ බොහෝ චිත්‍ර ශිල්පීන් නිරුවත් රූප ඇඳි අතර පැරණි දේව කතාවල දෙවඟනන් හෝ වීරයන් හෝ පෙන්නුම් කෙරෙන එවන් චිත්‍ර ඕනෑතරම් විය​. එහෙත් 'නිර්වස්ත්‍ර මාහා' ඊට වඩා වෙනස් ආකාරයේ සිතුවමක් වූයේය​.

පුනරුද සමයේ සහ ඉන් පසු සාමාන්‍ය කාන්තා නිරුවත් චිත්‍රවල යම් 'සභ්‍යත්වයක්' දක්නට තිබුණි. විටෙක ඔවුන් පසුපස හරවා සිටින අතර ඉදිරිපස දැක්වෙන චිත්‍රවල බොහෝ විට ඔවුන් දැක්වුනේ චිත්‍රය නරඹන්නා දෙස කෙළින් බලාගෙන සිටින අයුරින් නොවේ. බොටිචෙලිගේ සුප්‍රකට 'වීනස්ගේ උපත​' වැනි ඇතැම් චිත්‍රවල දැක්වුන කාන්තාවෝ සිය රහස් ප්‍රදේශ වසාගෙන සිටිති. මෙම චිත්‍ර ශිල්පීහු එවක කතෝලික පල්ලියේ ද විරුද්ධතාවක් නොමැතිව සිය කලා කෘතීන් නිර්මාණය කළ අතර ඇතැම් චිත්‍ර ශිල්පීහු විවිධ අවස්ථාවල පල්ලිය වෙනුවෙන් ද සේවය කළ හ​.

'නිර්වස්ත්‍ර මාහා' එවන් චිත්‍රයක් නොවීය​. ඇය චිත්‍රය ඉදිරිපසින් සිටින නරඹන්නා දෙස එක එල්ලේ බලා සිටින්නේ සිය නිරුවත පිළිබඳ කිසිදු ලජ්ජාවක් නොමැතිවය​. එය එම අර්ථයෙන් ගත් කළ 'අශ්ලීල​' නිර්මාණයකි. එමෙන්ම ඇගේ රහස්‍ය ප්‍රදේශයේ රෝම පැහැදිලිව දක්වා ඇති අතර එය යුරෝපයේ පුනරුද සමයෙහි මින් පෙර නුදුටු සිද්ධියක් විය​.
මැනුවෙල් ගොඩෝයි - ගෝයාගේ චිත්‍රයකි

දුගී ප්‍රභූ පවුලක ඉපිද, 1784 දී මැඩ්‍රිඩ් නුවර සේවයට පැමිණි ගොඩෝයි මීළඟ ස්පාඤ්ඤ රජු බවට පත් වූ චාර්ල්ස් කුමාරයා සහ ඔහුගේ බිරිඳ වූ මාරියා ලුවීසා දැන හඳුනාගත්තේය​. 1788 දී කුමරුවා සිව් වැනි චාර්ල්ස් ලෙස රජකමට පත් වූ පසු ඔහු හා රැජිණගේ අවශ්‍යතාව මත වේගයෙන් උසස්වීම් ලද ගොඩෝයි 1792-97 සහ 1801-08 සමයේ එරට අගමැති ධූරය දැරීය​.

ගොඩෝයි යනු සුප්‍රකට ස්ත්‍රී ලෝලියකු වූ අතර මාරියා ලුවීසා රැජිණ සමඟ ද අයථා සම්බන්ධයක් පවත්වාගන යන ලද බව කට කතා පැතිර තිබිණ​. ඔහු විවාහයට පිටින් පෙපීටා ටූඩෝ නම් කාන්තාවක හා සම්බන්ධයක් පවත්වාගෙන ගියේය​.

ආගමික අධිකරණය විසින් ගොඩෝයි සහ ඔහුගේ චිත්‍ර එකතුවේ භාරකරුගෙන් අදාළ චිත්‍ර ඇඳි ශිල්පීන් පිළිබඳ ප්‍රශ්න කරන ලදී. මේ අනුව නිර්වස්ත්‍ර මාහා හේතුවෙන් ගෝයාට ද අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදු විය​.
ස්වයං ආලේඛන චිත්‍රයක් - ගෝයා

ඔහුගෙන් මෙම චිත්‍රය පිළිබඳ ප්‍රශ්න කෙරුණ අතර එය ප්‍රකට ඉතාලි චිත්‍ර ශිල්පී ටයිටියන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ඔහු විසින් අඳින ලද බව ගෝයා කියා සිටියේය​. කෙසේ වෙතත් මෙම චිත්‍රය අඳින ලද්දේ කිනම් අරමුණකින් ද සහ කවුරුන් වෙනුවෙන් ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන ලදී. (ගොඩෝයි සතුව එම චිත්‍රය තිබීම ඔහු විසින් එය අඳවන ලද බවට නිසැකව පිළිගැනීමට සාක්ෂියක් නොවී ය​). අවාසනාවකට මෙන් මෙම ප්‍රශ්නවලට ගෝයා දුන් පිළිතුර පිළිබඳ සටහනක් නොමැත​.

මේ අනුව​, ගොඩෝයි සතුව චිත්‍රය තිබුණ ද එය ඔහු විසින්ම අඳවන ලදැයි සියයට සියයක් සනාථ වී නොමැත​.

මේ හේතුව නිසාම නිර්වස්ත්‍ර මාහා චිත්‍රය සඳහා නිරූපිකාව ලෙස කටයුතු කරන ලද්දේ කවරෙක්දැයි යන්න ද සනාථ වී නොමැත​. බොහෝ විචාරකයන් විශ්වාස කරන්නේ පෙපීටා ටූඩෝ මෙම චිත්‍ර සඳහා නිරූපිකාව ලෙස පෙනී සිටි බවය​.

මේ අතර තවත් මතයක් වන්නේ ගෝයා එවකට සමීප ඇසුරක් පවත්වාගෙන ගිය ඇල්බාහි ආදිපාදවරිය මෙම චිත්‍රය සඳහා පෙනී සිටි නිරූපිකාව බව ය​. මෙම මතය මුල්බැසගැනීමට හේතු වූයේ ආදිපාදවරියගේ ආලේඛන චිත්‍ර රැසක් ගෝයා විසින් අඳින ලද බැවිනි. ඔවුන් අතර ඉතාමත්ම සමීප ඇසුරක් පැවති අතර 1802 දී ඇය අභිරහස් අන්දමින් මිය ගියාය​. ඒ වනවිට ගෝයා නිර්වස්ත්‍ර මාහා ඇඳ අවසන් ව තිබූ නමුත් වස්ත්‍ර ඇඳි මාහා නිමකොට නොතිබුණි.
The White Duchess (නිරූපණය​: ඇල්බා ආදිපාදවරිය​. චිත්‍රය​: ගෝයා)

1958 දී නිර්මාණය වූ 'ද නේකඩ් මාහා' හෙවත් 'නිර්වස්ත්‍ර මාහා' හොලිවුඩ් චිත්‍රපටය ද ප්‍රති නිර්මාණය කරනු ලැබුවේ ඇල්බා ආදිපාදවරිය එම චිත්‍රයෙහි නිරූපිකාව වූ බව ය​. එමෙන්ම සාමාන්‍යයෙන් පිළිගනු ලබන අයුරින් ඇය වස දී මරා දැමෙන බව ද එහි සඳහන් ය​. ඇගේ මරණය පිළිබඳ අදහස කෙසේ වෙතත් නිරුවත් චිත්‍රයට නිරූපිකාව ලෙස කටයුතු කිරීම පිළිබඳව නම් බොහෝ ඉතිහාසකරුවන් අතර ඇත්තේ සැකයකි.

1808 දී සිව් වැනි චාර්ල්ස් බලයෙන් පහ කෙරුණ අතර චාර්ල්ස්ගේ පුත් හත්වන ෆර්ඩිනන්ඩ් රජකමට පත් විය​. චාර්ල්ස් රජු යළි කිරුළ ලබා ගැනීම පිණිස නැපෝලියන් අධිරාජයාගේ උපකාර පැතීය​. නැපෝලියන් කළේ චාර්ල්ස් සහ ෆර්ඩිනන්ඩ් දෙපළටම බලයෙන් ඉවත් වීමට බල කර සිය සහෝදර ජෝසෆ් කිරුලෙහි හිඳුවීමය​. ගොඩෝයි ස්පාඤ්ඤය හැර ගියේය​. ඔහුට යළි එරටට පැමිණීමට අවසර ලැබුණේ 1844 දී ය​.

මැඩ්‍රිඩ් නුවර මුසෙයෝ ඩෙල් ප්‍රාඩෝ හෙවත් ප්‍රාඩෝ කෞතුකාගාරයේ එක් තැනෙක ගෝයාගේ මාහා චිත්‍ර දෙක වර්තමානයේදී ප්‍රදර්ශනය සඳහා තබා ඇත​. එහි නිරූපිකාව පිළිබඳ මෙන්ම එය ඇඳීමේ නිශ්චිත අරමුණ පිළිබඳ අභිරහස් පසෙක තිබියදී 'නිර්වස්ත්‍ර මාහා' චිත්‍ර කලා ඉතිහාසය වෙනස් කළ කලා කෘතියක් ලෙස සැලකිය හැක්කේය​.

Thursday, July 21, 2016

Kickass නිර්මාතෘ ආර්ටෙම් වෝලින් හඳුනාගමු

කික් ඈස් (Kickass) ටොරන්ට් හුවමාරු වෙබ් අඩවියේ නිර්මාතෘ ලෙස සැලකෙන 30 හැවිරිදි ආර්ටෙම් වෝලින් (Artem Vaulin) පෝලන්තයේ දී අත් අඩංගුවට ගනු ලැබුණ බව ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන වන විට දැනගන්නට ලැබිණ​.

ඔහු අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ ෆෙඩරල් අධිකරණයදී විභාග වන නඩුවක් සම්බන්ධයෙන් බව සඳහන් වන අතර ඇමරිකාව විසින් ඔහු එරටට පිටුවහල් කරන ලෙස පෝලන්තයෙන් ඉල්ලා තිබේ යයි ද වාර්තා විය​.

එක්සත් ජනපද සහකාර නීතිපතිනී ලෙස්ලි කැල්ඩ්වෙල්ට අනුව වෝලින් විසින් පවත්වාගෙන ගිය 'නීති විරෝධී ලිපි ගොනු හුවමාරු (file sharing) වෙබ් අඩවිය හරහා ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි බුද්ධිමය දේපල බෙදා හැර ඇත​.' වෝලින්ට එරෙහිව බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීම සහ සාපරාධී මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ නඩු පැවරී තිබේ.​

අධිකරණ නියෝගයකට අනුව සමාගමට සම්බන්ධ බැංකු ගිණුමක් අත් හිටවූ අතර ඩොමේන් නාම හතක් (kickasstorrents.com, kat.ph, kickass.to, kastatic.com, kickass.so, thekat.tv and kat.cr.) එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කරන ලදී.

ආර්ටෙම් වෝලින් යුක්‍රේනයේ කාර්කිව් (Kharkiv) නුවර ජීවත් වන බව කියන 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වෙබ් අඩවිය අරඹා ඇත්තේ 2008 දී ය​. ඒ ක්‍රිප්ටොනීට් (Cryptoneat) නම් සමාගමක් හරහා ය​. Kickass යනු ලොව ජනප්‍රියතම file sharing වෙබ් අඩවිය විය​.

එක්සත් ජනපද බලධාරීන්ට අනුව වෝලින් විසින් මෙසේ චිත්‍රපට​, ගීත යනාදී කලා නිර්මාණ බෙදා හැරීමට පහසුකම් සැලසීමෙන් ඒවායේ මුල් නිර්මාණකරුවන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වී ඇත​.

Wednesday, July 20, 2016

ෆැසිස්ට් හමුදා කරලියට පැමිණි ස්පාඤ්ඤ සිවිල් යුද්ධය​

ලෝක යුද්ධ දෙක අතර සමයේ, එනම් 1918 සිට 1939 තෙක් කාළ වකවානුවේ, යුරෝපයේ ඇති වූ අවසන් දරුණු අවි ගැටුම වූයේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ය​. මෙම යුද්ධය දරුණු මිනිස් ඝාතනයකට මග පෑදූ අතර එකළ දක්ෂිනාංශික සහ වාමාංශික කොටස් අතර දරුණු අරගලයක් ලෙස ද ෆැසිස්ට්වාදයෙහි නැගීම සහ ඒ කෙරෙහි බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල වූ උදාසීනත්වය උලුප්පා දක්වන අවසථාවක් ලෙස ද ඉතිහාසයට එක් වී ඇත​. ලෝක යුද්ධ දෙක අතර වැඩිම අවධානයක් දිනාගත් අවි ගැටුම ලෙස සැළකිය හැකි මෙම යුද්ධය මූලික කරගෙන ප්‍රකට කලා නිර්මාණ කිහිපයක්ම බිහිවී ඇත​​.

පසුබිම​

1930 දශකය ලොව බොහෝ රටවල මෙන්ම ස්පාඤ්ඤයේ ද දේශපාලන කැළඹීම් ඇති කළේය​. 1931 දී ස්පාඤ්ඤය සමූහාණ්ඩුවක් බවට පත් විය​. මෙය දෙවන ස්පාඤ්ඤ සමූහාණ්ඩුව (Second Spanish Republic) ලෙස හැඳින්වේ. 1933 පැවති මැතිවරණයෙන් දක්ෂිනාංශික පක්ෂ ජයග්‍රහණය කළ ද 1936 පැවති මැතිවරණයේදී සමාජවාදී, කොමියුනිස්ට් යනාදී වාමාංශික පක්ෂ එකතුවක් බලය ලබාගත්තේය​.

ස්පාඤ්ඤය අරාජිකවාදී සහ කොමියුනිස්ට්වාදී කණ්ඩායම්වල පාලනය යටතට වැටේය යන බියක් දක්ෂිනාංශික කණ්ඩායම් අතර ඇති වූයේය​. මේ අතර ජාතිකවාදීන්, රාජාණ්ඩුවාදීන්, සාම්ප්‍රදායික කතෝලිකයන් ආදී විවිධ පිරිස් වූහ​. එමෙන්ම යුධ හමුදාවේ ද සැලකිය යුතු කොටසක් මෙම පිරිසට අයත් විය​.

ජාතිකවාදී හමුදා නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් පිළිබඳ බියෙන් පසු වූ නව වාමාංශික රජය එවකට මාණ්ඩලික ප්‍රධානියා වූ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ කැනරි දූපත්වල අණ දෙන නිලධාරියා වශයෙන් ද​, ජෙනරල් මැනුවෙල් ගොඩෙඩ් ලෝපිස් බැලියරික් දූපත්වල අණ දෙන නිලධාරියා ලෙසද පිටත් කර යැවීය​.
General Franco

මේ අතර ජෙනරාල් එමිලියෝ මෝලා, ස්පාඤ්ඤයේ උතුරු දිග නවාරේ ප්‍රදේශයේ පැම්ප්ලෝනා හි හමුදා අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. මෙම පත්කිරීම තුළින් ස්පාඤ්ඤ ප්‍රධාන භූමියේ කුමන්ත්‍රණය මෙහෙයවීමේ අවස්ථාව ඔහුට ලැබුණි.

හමුදා කැරැල්ල​

ජූලි 17 වනදා ස්පාඤ්ඤ මොරොක්කෝවේ (එවක මොරොක්කෝවේ උතුරුදිග ප්‍රදේශය ස්පාඤ්ඤයට අයත් විය​) හමුදාව කැරළි ගැසීය​. මේ අතර කැනරි දූපත් සහ බැලියරික් දූපත්වලද හමුදා ඊට එක් විය​. ජූලි 19 වනදා රජයට විරුද්ධ හමුදා කැරැල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ජෙනරාල් එමිලියෝ මෝලා ය​. ඒ සමඟම ස්පාඤ්ඤ ප්‍රධාන භූමියේ හමුදාව කැරලි ගැසීය​.

මේ අතර, මොරොක්කෝවේ සහ අනෙකුත් අවශේෂ ප්‍රදේශවල සිට ප්‍රධාන භූමිය ආක්‍රමණය කිරීමේ අවදානම මතුවූ විට ස්පාඤ්ඤයේ ප්‍රධාන වෘත්තීය සමිති දෙකක් වූ ජාතික කම්කරු සම්මේලනය (CNT) සහ මහා කම්කරු සංගමය හමුදා කැරැල්ලට මුහුණ දීම සඳහා රජයට සහය පළ කිරීමට කැමැත්ත පළ කලත්, අගමැති සන්තියාගෝ කසරෙස් ක්විරෝගා එයට අදි මදි කළේය​. කෙසේ වෙතත් එම සංගම් සිය සාමාජිකයන් සූදානම් කළ අතර ඇතැම් අවි ගබඩා ද අල්ලාගන්නා ලදී.

ජූලි 19 වනදා හමුදාව ප්‍රධාන ස්පාඤ්ඤ භූමියේ කැරලි ගැසූ විට කම්කරු සංගම්වල ශක්තිය ප්‍රබල වූ නගර ගණනාවක් ම අල්ලාගැනීමට කැරලිකරුවන්ට හැකි නොවීය​. දකුණුදිග කාඩිස් (Cadiz) සහ සෙවිල් (Seville) වැනි නගර කැරලිකාර ජාතිකවාදී හමුදා අතට පත් වූ අතර එය මොරොක්කෝවේ සිටි හමුදා ප්‍රධාන භූමියට ගෙන්වාගැනීමට රුකුලක් විය​.


සම්පූර්ණ නැගෙනහිර වෙරළම පාහේ සමූහාණ්ඩුව අත රැඳුන අතර සාම්‍ප්‍රදායික කතෝලික වැසියන් වැඩි වශයෙන් ජීවත් වූ වයඹ දිග ලියොන් (Leon) සහ උතුරු දිග කැස්ටීල් (Castille) ප්‍රදේශ ජාතිකවාදී හමුදා අතට පත් විය​. එහෙත් උතුරුදිග වෙරළබඩ ප්‍රදේශ රැසක් සමූහාණ්ඩුව අත රැඳිණ​.

බාසිලෝනා නුවර සහ ඒ අවට කැටලන් ප්‍රදේශ අරාජකවාදීන් ප්‍රමුඛ සමූහාණ්ඩුවාදීන් අත රැඳුන අතර ජාතිකවාදී ජෙනරල් ගොඩෙඩ් ලෝපිස් බාර්සිලෝනාව අල්ලාගැනීමට කරන ලද අසාර්ථක උත්සාහයෙන් පසු අල්ලාගන්නා ලදී. ඔහු අගෝස්තුවේදී මරණ දණ්ඩනයට ලක් කෙරුණි.

යුද්ධය​

මින් පසු ස්පාඤ්ඤයේ ඇති වූයේ දැවැන්ත ලේ සෙලවීමකි. ජාතිකවාදී කඳවුරට ජර්මනිය සහ ඉතාලිය ආධාර කළ අතර යුරෝපය පුරා ජාතිකවාදී සහ කතෝලික කණ් ඩායම් ජාතිකවාදීනට සහය පළ කළහ​. මේ අතර වාමාංශික කණ් ඩායම් සමූහාණ්ඩුවාදීනට ආධාර කළෝය​.

ජර්මන් සහ ඉතාලි ජාතිකයන් ජාතිකවාදී කඳවුර වෙනුවෙන් ද සෝවියට් ජාතිකයන් සමූහාණ් ඩුවාදීන් වෙනුවෙන් ද යුධ වැදුණෝය​.

ජර්මනිය මුදලින් ද ජාතිකවාදීන්ට ආධාර කළ අතර යුධ සහ ගුවන් භටයන් ගෙන් සමන්විත වූ කොන්ඩෝර් ලීජනය සටනට සම්බන්ධ කළේය​. ජර්මනියේ ස්ටූකා සහ ජන්කර් ගුවන් යානා මෙන්ම යුධ ටැංකි අත්හදා බැලීමට ස්පාඤ්ඤය කදිම සටන් බිමක් ලබා දුන්නේය​.

ජාතීන්ගේ සංගමය හරහා ලෝක බලවතුන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ගැනීම තුලින් වාසි සැලසුනේ ජාතිකවාදීන්ට බව නොරහසකි. සෝවියට් සංගමය හැරුණ කල වෙනත් කිසිදු රාජ්‍යයක් පිරිස් ආධාර ලබා නොදුනි. මෙක්සිකෝව සහ තවත් ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් සමූහාණ් ඩුවාදීන්ට ද්‍රව්‍යමය වශයෙන් සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ආධාර කළ හ​.
පෝලන්ත අන්තර්ජාතික බ්‍රිගේඩ ස්වේච්ඡා සෙබලු

මේ අතර විවිධ රටවලින් ස්වේච්ඡාවෙන් පැමිණි පිරිස් 'අන්තර්ජාතික බ්‍රිගේඩ​' ලෙස සංවිධානය වී සමූහාණ්ඩුවට ආධාර කළ හ​. නමුත් එයින් ලැබුණ හමුදාමය වටිනාකම නම් අල්ප විය​.

යුද්ධය පුරාවටම විවිධ සමූල ඝාතන වාර්තා වූ අතර ජාතිකවාදීන් විසින් වාමාංශිකයන් මෙන්ම අහිංසක සිවිල් වැසියන් ද මරා දමන ලද අවස්ථා එමට විය​. එමෙන්ම සමූහාණ්ඩු පාර්ශවයේ, වෙසෙසින්ම කොමියුනිස්ට්වාදී සහ අරාජකවාදී කොටස් විසින් පූජකයන්, සැක කාර ජාතිකවාදීන් ඇතුලු විශාල පිරිසක් මරාදමන ලදී.

කලා නිර්මාණ

ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආශ්‍රිතව, වෙසෙසින් ම සමූහාණ් ඩුවාදීනට පක්ෂව සහ යුද්ධයේ ආදීනව කියැවෙන​, සැලකිය යුතු කලා කෘති ප්‍රමාණයක් එළි නිර්මාණය කෙරිණ​. මේ අතර ලෝක ප්‍රසිද්ධියට පැමිණි නිර්මාණ අතර පැබ්ලෝ පිකාසෝගේ ගුවර්නිකා චිත්‍රයත්, ජෝර්ජ් ඕර්වෙල්ගේ Homage to Catalonia (කැටලෝනියාවට ප්‍රණාමය) කෘතියත් වැදගත් වේ.

1937 අප්‍රේල් 26 වනදා ස්පාඤ්ඤයේ බාස්ක් ප්‍රදේශයේ ගුවර්නිකා ගම්මානයට ජර්මන් සහ ඉතාලි ෆැසිස්ට්වාදීන් විසින් ගුවනින් බෝම්බ දැමීම ගුවර්නිකා චිත්‍රයට ප්‍රස්තුත විය​. මෙම චිත්‍රය ජූනියේදී ඇඳ නිම කෙරුණ අතර ජූලි මාසයේදී පැරිසියේ ප්‍රදර්ශනය කෙරිණ​.
George Orwell

1936 දෙසැම් බරයේදී බාර්සිලෝනාවට පැමිණි ජෝර්ජ් ඕර්වෙල් 1937 මැදක් වනතෙක් ස්පාඤ්ඤයේ රැඳී සිටි අතර ඔහු සම් බන් ධ වී සිටි ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වූ මාක්ස්වාදී එක්සත්භාවය සඳහා වන කම්කරු පක්ෂය තහනම් කෙරුණ පසු එරට අතැර යාමට බල කෙරිණ​. මෙසේ මෙම පක්ෂයට එරෙහිව සමූහාණ්ඩුවාදී කඳවුර කටයුතු කළේ එවක යුද්ධයට සම් බන් ධව සිටි සෝවියට් සංගමයේ සහ දේශීය කොමියුනිස්ට්වාදීන් ගේ අවශ්‍යතාව මතය​. තමා ස්පාඤ්ඤයේ සිටි කාළය පිළිබඳ ඕර්වෙල් ලියූ ග්‍රන්ථය 1938 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

අවසානය​

ඕර්වෙල්ගේ ග්‍රන්ථය නිකුත්වන සමය වෙද්දී ස්පාඤ්ඤයේ සමූහාණ්ඩුවාදීන් සතු ප්‍රදේශ දෙකඩ කරමින් ජාතිකවාදී හමුදා අරගන් (Aragon) ප්‍රදේශය හරහා මධ්‍යධරණී මුහුද කරා පැමිණ තිබිණ​. ඒ මාර්තු මස මුල සිට අප්‍රේල් මැද දක්වා වූ මෙහෙයුමකිනි. ජූලි මාසයේ වැලෙන්සියාව අල්ලාගැනීමට ජාතිකවාදීන් කළ උත්සාහය නගරය ආසන්නයේදී ව්‍යර්ථ කරන ලදී.

ජූලි මාසයේදී ෆ්‍රැන්කෝගේ හමුදා වෙත සමූහාණ් ඩුවාදීන් දරුණු ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේ දෙකඩ වූ ප්‍රදේශ යළි එක් කරන අටියෙනි. එබ්‍රෝ සංග්‍රාමය (Battle of Ebro) නම් මෙම සටනේදී ෆ්‍රැන්කෝ පෞද්ගලිකවම සිය හමුදා මෙහෙයවූ අතර නොවැම්බරය දක්වාම දරුණු ගැටුම් ඇතිවිය​.

මේ අතර වෙනත් ප්‍රදේශයක සිදුවූවක් හේතුවෙන් ස්පාඤ්ඤ සමූහාණ්ඩුවාදීන්ගේ චිත්ත ධෛර්යය දැඩි සේ පිරිහුනි.

1938 ඔක්තෝබරයේදී චෙකොස්ලොවැකියාව පිළිබඳ ගැටලුවේදී එංගලන්තය සහ ප්‍රංශය හිට්ලර්ගේ පක්ෂය ගත්තේය​. මේ අනුව ස්පාඤ්ඤ ප්‍රශ්නයේදී ජර්මනියට කිසිදු විරුද්ධත්වයක් අන් බලවතුන් ගෙන් එල්ල නොවන බව පසක් විය​.

නොවැම්බරයේදී එබ්‍රෝ සටන නිම වූයේ සමූහාණ්ඩුවාදීන් පරාජය වීමෙනි.

1938 අවසන් සතියේදී ජාතිකවාදී හමුදා කැටලෝනියාවට කඩා වැදුණහ​. 1939 ජනවාරියේදී ප්‍රාන්තය ඔස්සේ ඔවුන් වේගයෙන් ඇදෙමින් එක් එක් ප්‍රදේශ යටත් කළහ​. බාර්සිලෝනාව ජනවාරි 26 වනදා අල්ලා ගන්නා ලදී.

පෙබරවාරි 27 වනදා එක්සත් රාජධානිය සහ ප්‍රංශය ෆ්‍රැන්කෝගේ රජය පිළිගත්තේය​. අප්‍රේල් 1 වනදා ෆ්‍රැන්කෝ සිවිල් යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශ කළේ සියලු ප්‍රදේශ තමා යටතට ගැනීමෙන් පසුවය​. අවසන් දිනවලදී සහ යුද්ධයෙන් පසු මරා දමන ලද සමූහාණ්ඩුවාදීන් ගණන අවම වශයෙන් 30,000ක් වන අතර ඇතැම් ඇස්තමේන්තුවලට අනුව එය 200,000 පමණ වේ.

Tuesday, July 19, 2016

2016 දී නම් කෙරුණ යුනෙස්කෝ ලෝක උරුම 21 (ඡායාරූප සමඟ​)

යුනෙස්කෝ (UNESCO) හෙවත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික​, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ ලෝක උරුම කමිටුවෙහි 40 වන සැසිය තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී ජූලි මස 10-17 අතර පැවැත්විණ​.

මෙම සැසියේදී ලෝක උරුම ලෙස අලුතින් ස්ථාන 21 ක් නම් කරන ලදී. මින් සමහරක් එක් රටකට වඩා වැඩි රටවල් සංඛ්‍යාවකට අයත් ස්ථානයන් විය​.
Antequera Dolmans (Spain)

එම 21 සහ ඒවායේ ඡායාරූප පහත දැක්වේ.

01. සුවෝජියෑන්ග් හුවෂාන් පර්වත චිත්‍ර​ (Zuojiang Huashan Rock Art Cultural Landscape)

02. ඉන්දියාවේ නාලන්ද සංකීර්ණය​ (Nalanda Mahavihara)

03. පර්සියානු කනාට් ජල සම්පාදන පද්ධතිය (Persian Qanat)

04. මයික්‍රොනීසියාවේ ඉපැරණි නාන් මඩොල් නගරය​ (Nan Madol)

05. බොස්නියාවේ, ක්‍රොයේෂියාවේ, සර්බියාවේ සහ මොන්ටිනීග්‍රෝ හි ස්ටෙච්‍ෂි සොහොන් කොත් (Stećci Medieval Tombstones Graveyards)

06. ග්‍රීසියේ ඉපැරණි ෆිලිප්පි නගරය​ (Archaeological Site of Philippi)

07. ස්පාඤ්ඤයේ ඇන්ටෙකේරා ඩොල්මන් (Antequera Dolmans - තනි කුටීරයක් සහිත මෙගලිතික සොහොන් විශේෂයක්)

08. තුර්කියේ අනී (ඉපැරණි ආමේනියානු) නගරය (Archaeological site of Ani)

09. ජිබ්‍රෝල්ටාවේ ගොර්හැම්ගේ ගුහා (Gorham's Cave Complex)

10. ලේ කෝර්බුසියර්ගේ වාස්තු විද්‍යා නිර්මාණ (රටවල් ගණනාවක) Architectural Work of Le Corbusier

11. ඇන්ටිගුවා දිවයිනේ නැව් තටාකාංගනය හා ඒ ආශ්‍රිත ඓතිහාසික ගොඩනැගිලි (Antigua Naval Dockyard & Related Archaeological Sites)

12. බ්‍රසීලයේ පැම්පුලා නූතනවාදී සංකීර්ණය​ (Pampulha Modern Ensemble)

13. ඉන්දියාවේ කන්චෙන්සොන්ගා ජාතික උද්‍යානය​ (Khangchendzonga National Park)

14. මෙක්සිකෝවේ රිවිලගිගෙඩෝ කොදෙව් (Archipiélago de Revillagigedo)

15. කැනඩාවේ මිස්ටේකන් පොයින්ට් (Mistaken Point) හෙවත් වැරදුන තුඩුව​

16. හුබෙයි ෂෙනොන්ග්ජියා කඳුකරය​ (Hubei Shennongjia)

17. සුඩානයේ සන්ගනෙබ් සාගර උද්‍යානය සහ ඩුන්ගොනාබ්-මුක්කවාර් දූපත් ජාතික උද්‍යානය​ (Sanganeb Marine National Park & Dungonab Bay—Mukkawar Island National Park)

18. ඉරානයේ ලුට් කාන්තාරය​ (Lut Desert)

19. චැඩ් රටෙහි එන්නඩි මාසිෆ් (Ennedi Massif: Natural and Cultural Landscape)

20. දකුණු ඉරාකයේ අහ්වාර් (The Ahwar)

21. කසාක්ස්ථානයේ, කිර්ගීසියාවේ සහ උස්බෙකිස්ථානයේ ප්‍රදේශ ඔස්සේ පැතිරුණ බටහිර ටියෙන්-ෂාන් කඳුකරය​ (Western Tien-shan)

මේ ඇතැම් ස්ථාන පිළිබඳව වෙනමම ලිපි කිහිපයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න​.