Wednesday, March 31, 2021

රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනය​

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති උතුරු රොඩේෂියාව​, දකුණු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය (වර්තමානයේ පිළිවෙලින් සැම්බියාව​, සිම්බාබ්වේ සහ මලාවි) යන ප්‍රදේශ එක්කර 1953 දී පිහිටුවන ලද අර්ධ ස්වාධීන රාජ්‍යයක් වූ රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනය 1963 දක්වා පැවති අත්හදා බැලීමකි. මීට මධ්‍යම අප්‍රිකානු ෆෙඩරේශනය ලෙස ද කියනු ලැබීය​.

බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා වන අග්‍රාණ්ඩුකාරයකු රාජ්‍ය නායකයා ලෙසත් අගමැතිවරයකු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් ද සහිතව මෙම ෆෙඩරේශනය පිහිටුවන ලද්දේ 1953 අගෝස්තු 1 වනදා ය​. මෙහි පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූයේ ජෝන් ජෙස්ටින් ලෙවෙලින් හෙවත් ලෙවෙලින් සාමි ය​. ඒ 1953 සිට 1957 වනතෙක් ය​. ඉන්පසු ඉතා කෙටි කළක් රොබර්ට් ක්ලාර්ක්සන් ට්‍රෙගෝල්ඩ් එහි වැඩ බැලූ අතර ඉනික්බිති 1957 - 1963 සමයේ එම ධූරය සයිමන් රැම්සේ හෙවත් ඩැල්හවුසි සාමි විසින් දරන ලදී. මෙකළ ඒ ඒ කොලනිවල ආණ්ඩුකාරවරුන් එපරිදිම සේවය කළෝය​.

1933- 1953 සමයේ දකුණු රොඩේෂියාවේ අගමැති වූ සර් ගොඩ්ෆ්‍රි හගින්ස් 1953 - 1956 සමයේ රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනයේ පළමු අග්‍රාමාත්‍යවරයා විය​. ඉන්පසු 1963 තෙක් එම ධූරය සර් රෝයි වෙලෙන්ස්කි විසින් දරන ලදී.



උතුරු රොඩේෂියාව​, දකුණු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය ප්‍රදේශ එක් වීම ආර්ථික වශයෙන් එක් කණ්ඩායමකට වාසිදායක වූයේය​. එනම් දකුණු රොඩේෂියාවේ ධනවත් සුදු ජාතිකයන්ට යි. දකුණු රොඩේෂියාවට සාපේක්ෂව උතුරු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය නොදියුණු ප්‍රදේශ වූයෙන්, එම ප්‍රදේශයන්හි සම්පත් පහසුවෙන් ප්‍රයෝජනයට ගැනීමට දකුණු රොඩේෂියාවට මෙමගින් අවකාශ ලැබුණි. කෙසේ වෙතත් ස්වදේශික අප්‍රිකානුවන් මෙහි ප්‍රමුඛ ලෙස නියෝජනය නොවූ අතර ඔවුන් 1950 දශකය අවසානයේ සිට නිදහස් ව්‍යාපාරයන් තීව්‍ර කරනු දිස් විය​.

1963 දෙසැම්බර් 31 වනදා ෆෙඩරේශනය නිල වශයෙන් අහෝසි කෙරුණි. 1964 දී උතුරු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය නිදහස ලැබුයේ ය​. උතුරු රොඩේෂියාව එතැන් පටන් සැම්බියාව ලෙස ද, න්‍යාසාලන්තය මලාවි ලෙස ද හැඳින්වේ.

1965 දී දකුණු රොඩේෂියාවේ සුදු ජාතික පාලනය බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කළ අතර එය කිසිදු රටක් විසින් පිළිනොගන්නා ලදී. දිගු නිදහස් අරගලයකින් පසු 1980 දී එරට සිම්බාබ්වේ ලෙස නිදහස ලැබීය​.

Monday, March 29, 2021

ඉන්දුනීසියාවේ දෙව් මැදුරකට​ එල්ල වූ ප්‍රහාරය

ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ ජේසුස්වහන්සේගේ ශුද්ධ වූ හෘදය ආසන දෙව් මැදුරට 2021 මාර්තු 28 ඉරිදා එල්ල වූ ප්‍රහාරය ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියාවක් බව විශ්වාස කෙරෙනවා.

මේ වනවිට ලැබෙන වාර්තා අනුව ප්‍රහාරය එල්ල කර ඇත්තේ මීට මාස හයකට පෙර විවාහ වූ යුවළක් විසින්.

යතුරුපැදියකින් ඔවුන් දේවස්ථානය අසළට පැමිණ ඇති බවත් ඊට ඇතුල් වීමට ඉඩ නොලැබුණෙන් ගේට්ටුව අසළදී පුපුරවාගැනීම සිදුවූ බවත් සඳහන් වුණා. එහෙයින් දේවස්ථානයේ වූවන් කිසිවකු මියගියේ නැහැ. තුවාල ලැබූ පිරිස 14 ක් බව වාර්තා වුණා.

Pic - Indonesia Expat

මෙම යුවළ ජමාහ් අන්ශරුත් දවුලාහ් නම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවයි පැවසුණේ. මෙම සංවිධානය ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව සැලකෙනවා.

ක්‍රිස්තියානි දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්ත උපක්‍රමයක් වන අතර ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම පිලිපීනයේ ද මෙවන් ප්‍රහාර මීට ප්‍රථම එල්ල වී තිබෙනවා.

Saturday, March 27, 2021

1941 නට්සි විරෝධී යුගොස්ලාව් ආණ්ඩු පෙරළිය

1941 මාර්තු 27 වන දා යුගෝස්ලාව් රාජකීය ගුවන් හමුදාවේ නිලධාරීන් කිහිප දෙනකු විසින් නට්සි පාක්ෂික යුගොස්ලාව් රජය පෙරළා දැමීම, දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය කෙරෙහි මෙන්ම ඉන්පසු කාලයේ ලෝක ඉතිහාසය කෙරෙහි ද විශාල බලපෑමක් එල්ල කළා.​

මෙම කුමන්ත්‍රණයට ආසන්නම හේතුව වූයේ 1941 මාර්තු 25 වන දා එවකට පැවති යුගෝස්ලාව් රජය අක්ෂ බලවතුන්ගේ ත්‍රයිපාර්ශවික ගිවිසුමට එක් වීමයි.

දෙවන ලෝක යුද්ධය අතරතුරේ 1940 ඔක්තෝබරයේ දී, ඉතාලිය විසින් ග්‍රීසිය ආක්‍රමණය ලැබුණා. ඒ එවකට ඉතාලි පාලනය යටතේ වූ ඇල්බේනියාව හරහා යි. මෙම ආක්‍රමණය පිළිබඳ ඉතාලි නායක මුසෝලිනී විසින් ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර් දැනුවත් කෙරුණේ නැහැ. හිට්ලර් තමන්ට නොදන්වා යම් යම් වැදගත් දේශපාලන තීරණ ගැනීම පිළිබඳ (විශේෂයෙන්ම ඔස්ට්‍රියාව ඈඳා ගැනීම පිළිබඳව​) මුසෝලිනී තරමක් උරණව සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ හිට්ලර් පුදුම කිරීමට යි.

කෙසේ නමුත් ග්‍රීක හමුදා විසින් ඉතාලි ආක්‍රමණය මැඩ පවත්වන ලද අතර දෙපාර්ශවය අතර යුධ පෙරමුණ ඇල්බේනියා – ග්‍රීක දේශසීමාව ආශ්‍රිතව නැවතුණා. මෙය මුසෝලිනීට ලජ්ජා සහගත පසුබැස්මක් වූ අතර හිට්ලර් ඔහු හා කුපිත වීමට ද හේතුවක් වුණා.

මෙම අවස්ථාවේ දී මුසෝලිනීට ජර්මානු සහය ඉල්ලා සිටීම හැර වෙනත් විකල්පයක් වූයේ නැහැ. නමුත් ඔහු හා කුපිතව සිටි හිට්ලර් මුලින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත්, පසුව හිට්ලර් තේරුම් ගත්තේ ග්‍රීසිය නිරුපද්‍රිතව සිටියහොත් ඒ හරහා බෝල්කන් කලාපයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට බ්‍රිතාන්‍යයට අවස්ථාව ලැබෙන බවයි. මේ අනුව සිය දකුණු පෙරමුණ අස්ථාවර විය හැකි බව හිට්ලර් අවබෝධ කරගත්තා. එහෙයින් ග්‍රීසිය පරාජය කිරීම පිණිස සහය දීමට ඔහු තීරණය කළා​.

මාර්තු 27 කුමන්ත්‍රණය

මේ වනවිට යුගෝස්ලාවියාවේ රජු වූයේ දෙවන පීටර් කාරාජෝර්ජ්වික් රජතුමායි. නමුත් ඔහු 17 හැවිරිදි වූ හෙයින් යුගෝස්ලාවියාවේ පෝල් කුමාරයාගේ ප්‍රධානත්වයෙන් වූ ත්‍රිපුද්ගල භාරකාර මණ්ඩලයක් රට පාලනය කළා.

ජර්මනිය​, ඉතාලිය, සහ ජපානය 1940 දී ත්‍රිපාර්ශවික ගිවිසුමකට එළඹ තිබුණා. පසු කාලීනව අක්ෂ බලවතුන් පාර්ශවයේ සිටි කුඩා රාජ්‍යයන් කිහිපයක් ද එම ගිවිසුම අත්සන් කළා. 1941 මාර්තු 25 වන දා යුගොස්ලාව් රජය ද​ ගිවිසුමට අත්සන් තැබුවා. යුගෝස්ලාවියාවේ සහය ලැබීමත් සමඟ ඒ හරහා ජර්මන් හමුදා ගෙනවිත් ග්‍රීසියට පහර දීමට හිට්ලර් අදහස් කළා.


නමුත් තම රජය නට්සින් සමඟ එක් වීම කෙරෙහි අසතුටට පත් හමුදා නිලධාරීන් පිරිසක් මාර්තු 27 වන දා රජය පෙරළා දැමුවා. යුගොස්ලාව් රාජකීය ගුවන් හමුදාපති වූ ජෙනරල් දුෂාන් සිමොවිච් මෙම කුමන්ත්‍රණයට නායකත්වය දුන්නා. මාර්තු 27 කුමන්ත්‍රණයෙන් පසු නව පාලනය විසින් 17 හැවිරිදි වන පීටර් කාරාජෝර්ජ්වික්ගේ වයස් පූර්ණය වූ බව තීරණය කරන ලද අතර සර්බ් ජාතිකවාදී සහ නට්සි විරෝධී ආණ්ඩුවක් පිහිටුවාගත්තා.

ජර්මන් ආක්‍රමණය​

ජර්මානුන් වැඩි දිනක් යන්නට මත්තෙන් නව යුගෝස්ලාව් රජයට පහර දුන්නා. මේ වනවිටත් අවට ප්‍රදේශවල ජර්මානු සහ ඉතාලි හමුදා රැඳී සිටීම ඔවුනට අමතර උපකාරයක් වුණා. බල්ගේරියාවේ රඳවා සිටි ජර්මානු හමුදා සහ ඇල්බේනියාවේ සිටි ඉතාලි හමුදා මේ අතර වැදගත් වුණා. අප්‍රේල් 6 වන දා බෙල්ග්‍රේඩ් අගනුවරට​ ගුවන් ප්‍රහාර එල්ල කරමින් ජර්මනිය සිය යුගෝස්ලාව් ආක්‍රමණය දියත් කළා.

යුගෝස්ලාවියානු රජය අප්‍රේල් 13 වන දා රටින් පලා ගියා. මේ අතර ග්‍රීසියට එරෙහි යුධ ව්‍යාපාරය ද අප්‍රේල් මස නිම වෙද්දී මහාද්වීපික ග්‍රීසිය යටත් කිරීමෙන් ද මැයි මාසයේදී ක්‍රීට දිවයින් යටත් කිරීමෙන් ද අවසන් වුණා.

Thursday, March 25, 2021

උතුරු කොරියාව නිතරම තර්ජන​, ගර්ජන කරන්නේ මොකටද?

උතුරු කොරියානු රජය කාලෙන් කාලයට, ඇමරිකා එක්සත් ජනපදයට, දකුණු කොරියාවට වගේම ඇතැම් විට ජපානයටත් විවිධාකාරයේ තර්ජනයන් කරනු ලබනවා. මෙම තර්ජනයන්, විශේෂයෙන්ම ඇමරිකාවට එරෙහිව කරන තර්ජනයන්, ඇතැම් අවස්ථාවලදී හාස්‍යජනක යයි සිතෙන්නත් පුලුවන් තරම්.



මෙසේ තර්ජන​, ගර්ජන කරන්නේ තමුන්ගෙ තරම නොදැන යයි සලකන්න අපට බැහැ. විශේෂයෙන්ම විවිධ අවස්ථාවන් හි බැලිස්ටික් මිසයිල ආදිය අත් හදාබැලීම් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ මේවා හිස් තර්ජනම නොවන බවයි.

නමුත් බරපතල යුද්ධයකදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් සමග හැප්පී ජයගන්න උතුරු කොරියාවට හයියක් ඇති යයි හිතන්නත් අපහසුයි.

එසේ නම් මේ කයිවාරු ගහන්නේ කා සඳහා ද​?

මේ විස්තරය ඒ ගැනයි. - උතුරු කොරියාව ඔතරම් කයිවාරු ගහන්නේ ඇයි?

Tuesday, March 23, 2021

ක්ලියෝපැට්‍රා කොච්චර නරකද​?

ක්ලියෝපැට්‍රා රැජිණ ගැන විවිධාකාරයේ කතා තියෙනව​.

ඇය ඔය කියන තරම් නරකද? ඔච්චර බලවත් ද​? ඇය රෝමයට තර්ජනයක් වුණාද​?


ක්ලියෝපැට්‍රා ගැන තියෙන කතන්දර බොහොමයක් ලිහාගන්න තමයි අපි මේ උත්සාහ කරන්නෙ.



Monday, March 22, 2021

රොමෙල් උතුරු අප්‍රිකාවේදී කළ සටන්

ජර්මනියේ නට්සි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රියතම ෆීල්ඩ් මාර්ෂල්වරයා වූ අර්වින් රොමෙල් දෙවන ලෝක යුධ සමයේදී වඩාත්ම ප්‍රකට වූයේ ඔහුගේ උතුරු අප්‍රිකානු යුධ ව්‍යාපාරය හේතුවෙන්. ඉතාලි හමුදාවට ආධාර කිරීම පිණිස 1941 මුලදී අප්‍රිකාවට එවන ලද ජර්මන් කාර්ය සාධන බලකාය වූ අෆ්‍රිකා කෝර් (Afrika Korps) හි අණදෙන නිලධාරියා ලෙස ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් රොමෙල්ට කාන්තාරයේ හිවලා යන නම ද පටබැඳුනා.

රොමෙල් උපන්නේ 1891 නොවැම්බර් 15 වනදා, එවකට ජර්මන් අධිරාජ්‍යය තුළ වූ වුටෙම්බර්ග් රාජධානියට අයත් හයිඩන්හයිම් ප්‍රදේශයේදියි. ඔහු පළමු ලෝක යුද්ධයේදී රුමේනියා සහ ඉතාලි පෙරමුණුවල සටන් කිරීමෙන් සිය දක්ෂතා පෙන්නුම් කළා.

පළමු සහ දෙවන ලෝක යුද්ධ අතර වැඩි කලක් ඔහු ගත කළේ හමුදා උපදේශකයකු ලෙසයි. දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී ඔහු පැන්සර් හෙවත් යුධ ටැංකි ඩිවිෂනයක අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලද්දේ හිට්ලර්ගේ පුද්ගලික මැදිහත්වීම මතයි.

රොමෙල් අප්‍රිකාවේදී - AP

කෙසේ වෙතත් ප්‍රංශයට එරෙහි යුධ පෙරමුණේදී රොමෙල් අති සාර්ථක වූ අතර එහෙයින් හිට්ලර්ගේ සිත තවත් හොඳින් දිනා ගැනීමට ඔහු සමත් වුණා. රොමෙල් සිය යුධ ටැංකි සේනාංක යොදාගනිමින් ප්‍රංශය දෙස වේගයෙන් කඩා වැදුණේ ජර්මානුන් අනුගමනය කළ “බ්ලිට්ස්ක්‍රීග්” (විදුලි වේගවත් යුද්ධය​) සංකල්පය අනුව යමින්.

පහර​ කෑ ඉතාලිය​

යුද්ධය පවතින අතරවාරයේ ආසියාවේ සිට සැපයුම් මාර්ග පවත්වාගැනීම සඳහා බ්‍රිතාන්‍යයට මධ්‍යධරණී මුහුද සහ සූවස් ඇළ ඉතා වැදගත් වුණා. ඉතාලිය යුද්ධයට සම්බන්ධ නොවී සිටින තෙක් බ්‍රිතාන්‍යයට විශාල ගැටලුවක් වූයේ නැහැ. සූවස් ඇළ ඊජිප්තුව හරහා සාදා තිබුණ අතර එරට සත්‍ය වශයෙන්ම බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති රටක් වුණා. මධ්‍යධරණී මුහුදේ නාවික බලය අතින් ද බ්‍රිතාන්‍යයට ප්‍රශ්නයක් විය හැකි වූයේ ඉතාලියෙන් පමණයි. මේ අතර ඊජිප්තුවට බටහිරින් වන ලිබියාව ඉතාලි පාලනය යටතේ පැවතුණා.

1939 සැප්තැම්බරයේදී බ්‍රිතාන්‍යය සහ ජර්මනිය අතර යුධ තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ ඉතාලිය මධ්‍යස්ථව සිටියා. නමුත් 1940 ජූනි මාසය වනවිට ජර්මන් හමුදා ප්‍රංශය වෙත කඩා වදිද්දී ඉතාලියද යුද්ධයට එකතු වුණා. මේ අනුව ඊජිප්තුවේ සිටි බ්‍රිතාන්‍ය සේනාංකවලට තර්ජනයක් මතු වුණා.

1940 සැප්තැම්බරයේදී ඉතාලි හමුදා ඊජිප්තුව දෙසට කඩා වැදුණා. ඔවුනට මේ අවස්ථාවේ වාසියට හේතු වූ කරුණ වූයේ ජර්මනිය විසින් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීමේ තර්ජනයක් මතුව තිබීමයි. එහෙයින් ඊජිප්තුවට අමතර සේනා එවීමට බ්‍රිතාන්‍යයට හැකියාව තිබුණේ නැහැ. නමුත් ආක්‍රමණික ඉතාලි හමුදා සිඩි බරානිවලින් ඉදිරියට පැමිණීමෙන් වැළකී සිටියා.

උතුරු අප්‍රිකාවේ සටන් බිම් දැක්වෙන සිතියමක් - Wikimedia Commons

බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීමේ තර්ජනය පහව යමින් පැවති හෙයින් 1940 අවසානය වනවිට බ්‍රිතාන්‍ය අමතර බල ඇණි ඊජිප්තුව දෙසට පැමිණෙමින් තිබුණා. මේ අතර 1940 දෙසැම්බර් 9 වනදා දියත් කළ ඔපරේෂන් කොම්පස් (මාලිමාව​) මගින් ඉතාලි හමුදා වේගයෙන් පසු බස්වනු ලැබුණා. 1940 ජනවාරියේදී ලිබියාවේ ටොබෘක් නගරය ද අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් වුණා.

ජර්මානුන් විසින් අෆ්‍රිකා කෝර් බලකාය එවන ලද්දේ මෙම අවස්ථාවේයි. රොමෙල් උතුරු අප්‍රිකාව වෙත ළඟා වූයේ 1941 පෙබරවාරි 12 වනදා යි. උතුරු අප්‍රිකාවේ ජර්මන් සේනාංකය අෆ්‍රිකා කෝර් යයි නම් කරන ලද්දේ 1941 පෙබරවාරි 19 වනදායි.

බ්‍රිතාන්‍යයන් පසු බැස්සවීම​

මූලිකව උතුරු අප්‍රිකාව වෙත පැමිණි ජර්මානු සේනාංකය එතරම් විශාල එකක් වුණේ නැහැ. ඔවුනට පැවරුණ මූලික කාර්යය වූයේ බ්‍රිතාන්‍ය හමුදාවල ඉදිරි ගමන වැළැක්වීමයි. මෙහිදී පෙන්නුම් කෙරුණේ හිට්ලර් සූවස් ඇළ කෙරේ කෙතරම් අඩු අවධානයක් යොමු කළේද යන්නයි. මේ අවස්ථාවේ සිදු කළ යුතුව තිබුණේ සූවස් ඇළ දෙසට හමුදාව මෙහෙයවා එය අල්ලා ගැනීමට උත්සාහ කිරීම වුණත් හිට්ලර් ඒ පිළිබඳ උනන්දු වූයේ නැහැ.

ඔහුගේ සිතෙහි මේ වනවිට ක්‍රියාත්මක වූ ප්‍රධානම මෙහෙයුම වූයේ සෝවියට් දේශය ආක්‍රමණයයි. ඒ සඳහා ඔහු සැලසුම් සකසමින් සිටියා. මේ අතර 1941 අප්‍රේල් මාසයේ ජර්මන් හමුදා යුගොස්ලාවියාවත්, ග්‍රීසියත් ආක්‍රමණය කළා. මේ අවස්ථාවේ ග්‍රීසියේ සටන් සඳහා ඇතැම් බ්‍රිතාන්‍ය සේනාංක යවන ලද අතර එම අවස්ථාව රොමෙල්ට වාසිදායක වුණා.

රොමෙල්ගේ හමුදා බ්‍රිතාන්‍යයන්ව පසු බස්සන්නට වුණා. බෙන්ගාසි වැනි ඇතැම් නගරවලදී බ්‍රිතාන්‍යයන් වැඩි ප්‍රතිරෝධයකින් තොරව පසු බැස්සා.

රොමෙල්ගේ ප්‍රහාරයේ සාර්ථකත්වය රඳා පැවතුණේ ඔහු සතුව තිබුණු යුධ ටැංකි සහ ප්‍රහාරයේ වේගය මතයි. කෙසේ නමුත් 1941 අප්‍රේල් මස දෙවන සතියෙදී ටොබෘක් නගරය අල්ලා ගැනීමට ඔහු කළ උත්සාහය අසාර්ථක වූ අතර මිත්‍ර හමුදා නගරය ආරක්ෂා කරගන්නට සමත් වුණා. සිය ප්‍රහාරයේ වේගය අඩු කිරීමට අකමැති වූ රොමෙල් හමුදාවෙන් කොටසක් නගරය වටලෑමට තබා දිගටම ඉදිරියට ගමන් කළා. අප්‍රේල් අවසනදී ඔහු උපක්‍රමිකව වැදගත් වූ හල්ෆයා දුර්ගය අල්ලාගත්තා.

කෙසේ නමුත් මෙම අවස්ථාවේදී රොමෙල්ගේ හමුදාවට ප්‍රධාන බාධක දෙකකට මුහුණ දීමට වුණා. එකක් නම් ඉන්ධන හිඟයයි. හමුදාවට ඉන්ධන යුරෝපයේ සිට ගෙන ආ යුතු වූ අතර මේ වනවිට මධ්‍යධරණියේ ජර්මන් – ඉතාලි සැපයුම් කටයුතුවලට බ්‍රිතාන්‍යයෙන් දැඩි බාධා එල්ල වීමට පටන් ගෙන තිබුණා.අනෙක් බාධකය වූයේ ටොබෘක් නගරයයි. එහි වූ මිත්‍ර හමුදා යටත් නොවූ අතර ඔවුනට මුහුදින් ආධාර එවනු ලැබුණා. මෙම සටන නිසාවෙන් වෙරළබඩ මාර්ගය භාවිතා නොකර රට අභ්‍යන්තරයේ වූ මාර්ගයක් භාවිතා කිරීමට ජර්මන් සහ ඉතාලි හමුදාවන්ට සිදු වුණා. ඔවුන් අල්ලාගත් ප්‍රදේශය මධ්‍යයේ මිත්‍ර පාක්ෂිකයන් යටතේ වූ ප්‍රදේශයක් තිබීම කිසි ලෙසකින් හෝ ඔවුනට හිතකර වූයේ නැහැ.

1941 ජූනි මාසයේදී බ්‍රිතාන්‍යයන් විසින් දියත් කළ ඔපරේෂන් බැට්ල්ඇක්ස් (යුධ පොරව​) මෙහෙයුමේ බලාපොරොත්තුව වූයේ රොමෙල්ගේ හමුදා පසු බස්සවා ලිබියාව අල්ලා ගැනීමයි. එහෙත් එම උත්සාහය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. නමුත් දෙපක්ෂය අතර වූ සටන්වලින් පසු එම වසර අවසනදී රොමෙල් පසු බස්වනු ලැබුණා. ඔහුගේ හමුදා මුලින් පටන් ගත් ප්‍රදේශය දෙසටම පසුබැස්සා.

එල් අලාමේන් දක්වා

කෙසේ වෙතත් මේ අවස්ථාවේ ආධාරක සේනා රොමෙල් වෙත ලැබුණ අතර 1942 ජනවාරි මුලදී ඔහු නැවත ප්‍රහාරාත්මක මෙහෙයුම් ඇරඹුවා. නැවත වරක් ඔහු විසින් මිත්‍ර හමුදා පසුබස්වනු ලැබුණා.

මැයි මස 26 වනදා ටොබෘක් නගරය අසළ ගසාලා ප්‍රදේශයේදී දරුණු සටනක් ඇරඹි අතර ජුනි මස මැද වනවිට රොමෙල් ඉන් ජයගත්තා. 1942 ජුනි 20 වනදා ටොබෘක් නගරය රොමෙල්ට යටත් වුණා.

ඔහුගේ හමුදා වේගයෙන් ඉදිරිය බලා ගිය අතර ඊජිප්තුවේ එල් අලාමේන් ප්‍රදේශයේදී 1942 ජූලි 1 වනදා ඇරඹි සටනකදී එම ඉදිරි ගමන නවතනු ලැබුණා.

දෙවැනි එල් අලාමේන් සටන

මේ වනවිට තත්ත්වය රොමෙල්ට අතිශයින් අවාසි සහගත වෙමින් පැවතුණා. බ්‍රිතාන්‍යයන් විසින් ජර්මන් රහස් කේත සොයාගෙන තිබුණ හෙයින් සැපයුම් සහ හමුදා කණ්ඩායම් පිළිබඳ බොහෝ තොරතුරු ඔවුනට ලැබුණා. මේ අනුව යුරෝපයෙන් එන සැපයුම්වලින් රොමෙල් වෙත ළඟා වූයේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක්.

1942 අගෝස්තු 8 වනදා බ්‍රිතාන්‍ය අටවැනි හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස බර්නාර්ඩ් මොන්ට්ගොමරි පත් කෙරුණා. මොන්ට්ගොමරි විසින් රොමෙල් අප්‍රිකාවේදී තීරණාත්මක ලෙස පරාජය කිරීමට නියමිතව තිබුණා.

මොන්ට්ගොමරි - AP

දෛවයේ සරදමකට මෙන්, එම තීරණාත්මක සටන ඇරඹෙද්දී රොමෙල් සිටියේ ජර්මනියේ. ඒ අයහපත් සෞඛ්‍ය තත්ත්වයට ප්‍රතිකාර ලැබීම පිණිස ඔහු එහි ගොස් සිටි නිසයි. 1942 ඔක්තෝබර් 23 වනදා බ්‍රිතාන්‍යයන් එල් අලාමේන් සටන් පෙරමුණට පහර දුන්නා. රොමෙල් වෙනුවට යුධ පෙරමුණේ අණ දෙන නිලධාරියා ලෙස වැඩ බැලූ ජෙනරල් ජෝර්ජ් ස්ටූම් ඔක්තෝබර් 24 වනදා හෘදයාබාදයකින් මිය ගියා. මේ අනුව රොමෙල් හදිසියේ යළි පැමිණියේ අවුල් සහගත වූ තත්ත්වයකට මුහුණ දීමටයි. ඉන්ධන හිඟය හේතුවෙන් ආරක්ෂක උපක්‍රම වැඩිපුර අනුගමනය කිරීමට සිදු වීමෙන් ඔහු තවත් දුර්වල කෙරුණා. නොවැම්බර් දෙවන සතිය නිම වනවිට රොමෙල්ගේ හමුදා තමන් අල්ලාගත් ප්‍රදේශ ඔස්සේ පසුබසිමින් සිටියා.

රොමෙල් ස්ථාන කිහිපයකදීම බ්‍රිතාන්‍ය හමුදා හා ගැටෙමින් ඔවුනගේ ඉදිරි ගමන ප්‍රමාද කළත් වැඩි කලක් එක් ස්ථානයක රැඳී සටන් කිරීමේ හැකියාව ඔහු සතු වූයේ නැහැ. එහෙයින් 1943 ඇරඹෙද්දී ඔහු ටියුනීසියාව දක්වාම පසු බැස්සා.

අවසන් අප්‍රිකානු සටන්

1943 පෙබරවාරියේදී රොමෙල් අලුත් ප්‍රතිවාදියෙකු හා ගැටුණා. ඒ ඇමරිකන් හමුදායි. කැසෙරින් සටනේදී ඔහු අතින් ඇමරිකානුවන් පරාජය වුණා. නමුත් උතුරු අප්‍රිකාවේ සටන්වල අවසාන ප්‍රතිඵලය පිළිබඳව මේ වනවිට විශාල සැකයක් තිබුණි යයි කිව නොහැකියි.

1943 මාර්තු 6 වනදා රොමෙල් උතුරු අප්‍රිකාවෙදී සහභාගී වූ අවසන් සටනට සම්බන්ධ වුණා. එහිදී මොන්ට්ගොමරි විසින් විශාල යුධ ටැංකි නාශක අවි ප්‍රමාණයක් භාවිත කොට ජර්මන් ප්‍රහාරය පසු බැස්සීමට සමත් වුණා.

මාර්තු 9 වනදා රොමෙල් උතුරු අප්‍රිකාවෙන් අවසන් වතාවට පිටව ගියා. අප්‍රිකාවේ අවසන් ජර්මන් – ඉතාලි සේනා මැයි මසදී යටත් වුණා.

Thursday, March 18, 2021

අභ්‍යවකාශයේ "ඇවිද ගිය" මුල්ම මිනිසා

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා කවරෙකුදැ යි ඇසුවොත් පාසැල් සිසුවෙකු වුණත් යූරි ගගාරින් යන නම මතකයට නගනු නිසැක යි. නමුත්, අභ්‍යවකාශයේ "ඇවිද ගිය" පළමු මිනිසා කවරෙකුදැ යි ඇසුවහොත් එම ප්‍රශ්නයට පිළිතුර බොහෝ දෙනකු දන්නේ නැහැ. පළමු වරට අභ්‍යවකාශයේ දී, තම අභ්‍යවකාශ යානයෙන් පිටතට පැමිණි (එනම් අභ්‍යවකාශයේ ඇවිද ගිය​) පුද්ගලයා වූයේ ද සෝවියට් වැසියෙක්. අලෙක්සේයි අර්හීපොවිච් ලියෝනෆ් ඔහුගේ නම යි.

වොස්ක්හොද්-2 (Voskhod-2) අභ්‍යවකාශ මෙහෙයුමෙන් අභ්‍යවකාශගත වූ ලියෝනෆ්, 1965 මාර්තු 18 වනදා, විනාඩි 12කුත් තත්පර 9ක් අභ්‍යවකාශ යානයෙන් පිටත රැඳී සිටියා.

1975 දී පළමු සෝවියට් සහ ඇමරිකන් ඒකාබද්ධ මෙහෙයුම වූ ඇපලෝ-සයූස් මෙහෙයුම සඳහා ලියෝනෆ්, සෝවියට් අජටාකාශගාමීන්ගේ නායකයා ලෙස ක්‍රියා කළා. මෙහි දී එම යානා දෙක එකිනෙක සම්බන්ධ වීම සිදුවුණා.

ලියෝනෆ් 1970-1991 සමයේ සෝවියට් අභ්‍යවකාශගාමී පුහුණු මධ්‍යස්ථානයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කළා. විශ්‍රාම ගිය පසු විවේක සුවය විඳින අතර ඔහු චිත්‍ර ශිල්පය වෙත ද යොමු වුණා. ලියෝනෆ් එහි දී ද ප්‍රධාන වශයෙන්ම අභ්‍යවකාශය පාදක කරගත් චිත්‍ර ඇඳීමට යොමු වුණා.

අභ්‍යවකාශ වැඩපිළිවෙල සඳහා 1960 දී තෝරාගන්නා ලද, යූරි ගගාරින් ඇතුළු සෝවියට් ගුවන් නියමුවන් 20 දෙනෙකුගේ පළමු කණ්ඩායමට ලියෝනෆ් ද අයත් වුණා. ඔහු එම පිරිසගෙන් කැපී පෙනෙන අයෙකු වූ බව සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙලෙහි ප්‍රධානී සර්ගේයි කොරොලොෆ් සහ​ රොකට් විද්‍යාඥයකු වූ බොරිස් චර්තොක් ඇතුළු සෝවියට් අභ්‍යවකාශ ව්‍යාපෘතියට සම්බන්ධ ව සිටි අය සඳහන් කර තිබෙනවා. එහෙයින්ම ඔහුව පළමු අභ්‍යවකාශ ඇවිදීම සඳහා තෝරාගනු ලැබුණා.


මෙම ගමන මුලින් සැලසුම් කළේ වොස්ක්හොද්-1 මෙහෙයුමේ දී සිදුකිරීමට යි. එහෙත්, පසුව එය වොස්ක්හොද්-2 මෙහෙයුමට කල් දමනු ලැබුණා.

වොස්ක්හොද්-2 මෙහෙයුම සඳහා අජටාකාශගාමීන් දෙදෙනෙකු සූදනම් වුණා. ලියෝනෆ්ගේ සගයා වූයේ පාවෙල් බෙල්යායෙෆ් නම් අභ්‍යවකාශගාමියා යි. ඔහු යානය මෙහෙයවීමට අමතරව යම් අපහසුතාවක් වූයේ නම් ලියෝනෆ්ට යළි යානයට පැමිණීමට උපකාර කිරීමට ද සූදානමින් සිටියා. ලියෝනෆ් විසින් කරන්නට නියමිත වූයේ කිසිවකුත් මින් පෙර නොකළ දෙයක් බැවින්, එය කෙසේ සිදු වේදැ යි සියයට සියයක් නිවැරදි අනාවැකි පළ කිරීමට ක්‍රමයක් වූයේ නැහැ.

වොස්ක්හොද්-2 යානාය රැගත් රොකට්ටුව 1965 මාර්තු 18 වනදා බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වුණා. ලියෝනෆ් අභ්‍යවකාශයේ දී යානයෙන් පිට වූයේ මීටර 5.3ක් දිග පටියකින් එය සමග සබඳතාව තබා ගනිමින්. මෙම අවස්ථාවේ දී ඔහුගේ අභ්‍යවකාශ ඇඳුම පිම්බෙන්නට වූයෙන් ඔහුට සිය චලනයන් සිදුකිරීම අපහසු වුණා. බෙල්යායෙෆ්ගේ සහායෙන් විනාඩි 12කට පසු ඔහු යළි යානය වෙත පැමිණියා.


ආපසු පෘථිවියට පැමිණෙද්දී යානයේ ස්වයංක්‍රීය ගොඩබැස්වීමේ පද්ධතිය ක්‍රියාවිරහිත වූයෙන් බෙල්යායෙෆ්ට එය ගොඩබස්වන්නට සිදුවුණා. ගොඩබිමෙහි යමෙකුට හානියක් නොවන ලෙස ඌරල් කඳුකරයෙහි උතුරු දෙසට යානය වැටෙන්නට දුන් බෙල්යායෙෆ්, ලියෝනෆ් ද සමග පැරෂුට් මඟින් පෘථිවියට ළඟා වුණා.

ඔවුන්ගේ වීරක්‍රියා (එහෙමත් නැත්නම් ඔවුන් මුහුණ දුන් අකරතැබ්බයන්) එතැනින් කෙළවර වූයේ නැහැ. ඔවුන් ගොඩබැස්සේ ජනශුන්‍ය පෙදෙසකට යි. ඔවුන් සතු සන්නිවේදන උපකරණ ද ක්‍රියා විරහිත වූයෙන් දින දෙකක් ඔවුනට කඳුකර පෙදෙසෙහි ගත කිරීමට සිදුවුණා. ඔවුන් සතුව වූයේ අභ්‍යාවකාශ ඇඳුම් පමණයි. කඳුකරයේ සීතලේ මෙසේ දෙදිනක් ගෙවූ පසු ඔවුන්ව බේරාගනු ලැබුණා.

පැල්මයිරා නගරය මුදාගෙන වසර හතරයි

සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය ISIS ත්‍රස්තවාදීන්ගෙන් දෙවන වරට මුදවාගෙන අදට වසර හතරකි.

මෙම නගරය 2015 දී මුලින්ම ත්‍රස්තයින් අතට පත්වූ අතර 2016 මාර්තුවේ එය මුදවාගනු ලැබුණි. එහිදී රුසියානු ගුවන් හමුදා සහ විශේෂ බලකාවල සහය සිරියානු හමුදා වෙත ලැබුණි. ඉන්පසු 2016 දෙසැම්බරයේදී නැවත ISIS ත්‍රස්තයින් විසින් පැල්මයිරා නගරය අල්ලාගනු ලැබුණි. එය නිදහස් කරගන්නා ලද්දේ 2017 මාර්තු 18 වනදා යි.


ත්‍රස්තවාදීන් විසින් නගරයට සැලකිය යුතු හානියක් සිදුකළ අතර ඓතිහාසික ගොඩනැගිලි සමහරක් විනාශ කරනු ලැබුණි. දැන් ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙමෙන් කෙමෙන් සිදුවෙමින් පවතියි.

Sunday, March 14, 2021

ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ

ඉන්දියාවේ ප්‍රාන්ත සභා හතරක සහ මධ්‍යම රජයේ පාලනය යටතේ වන එක් ප්‍රදේශයක මැතිවරණ 2021 මාර්තු 27 - අප්‍රේල් 29 අතර කාලය තුළ පැවැත්වෙනවා.

බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය මාර්තු 27 සිට අප්‍රේල් 29 දක්වා අදියර අටකින් පවත්වනු ලබනවා. අසාම් ප්‍රාන්ත මැතිවරණය මාර්තු 27, අප්‍රේල් 1 සහ අප්‍රේල් 6 යන දිනවල අදියර තුනකින් පැවැත්වෙනවා. එමෙන්ම තමිල්නාඩු, කේරල යන ප්‍රාන්ත දෙකේ සහ පුදුචෙරි ප්‍රදේශයේ මැතිවරණ අප්‍රේල් 6 වෙනිදා පැවැත්වෙනවා.



මේ මැතිවරණ සහ මේ ප්‍රාන්තවල දේශපාලනය පිළිබඳ පොඩ්කාස්ට් කිහිපයක්  මම මෙහි එකතු කරනවා.


* ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ (2021 මාර්තු 11)


* බටහිර බෙංගාලය Battle of 2021 (2020 දෙසැ. 20)


* නූතන චානක්‍යගේ තමිල්නාඩු ගේම් එක (220 නොවැ. 20)

Saturday, March 13, 2021

හඳ මොන පාටයිද?

ඉතාලි ජාතික අභ්‍යවකාශ වස්තු ඡායාරූප ශිල්පිණී මර්සෙලා ජුලියා පේස් කියන විදියට හඳට වර්ණ 48ක් වත් තියෙනව.

පසුගිය වසර දහයක් තිස්සේ ඉතාලියේ විවිධ ස්ථානවලදි ලබාගත් පූර්ණ චන්ද්‍රයාගේ ඡායාරූප අනුවයි ඇය මෙහෙම කියන්නෙ.


රතු හෝ කහ ආලෝකය සහිතව පෙනෙන්නේ ක්ෂිතිජයට ආසන්නව දිස්වන හඳ බවත් එයට හේතුව නිල් ආලෝකය විසරණය වීම බවත් සඳහන් වනවා. නිල් පැහැති චන්ද්‍රයා දුලබ දසුනක් වන අතර පෘථිවි වායුගෝලයේ විශාල ප්‍රමාණයේ දූවිලි අංශු තිබීමෙන් එසේ පෙනෙන බවයි සැලකෙන්නේ. දම් වර්ණයෙන් සඳ දිස්වන්නේ ඇයිදැයි හරියට පැහැදිලි වී නැහැ. අහසේ චන්ද්‍රයා පිහිටන ස්ථානය, දුහුවිල්ල යනාදී විවිධ කරුණු මත චන්ද්‍රයා පෙනෙන වර්ණ වෙනස් වනවා. අවසන් ඡායාරූපය මගින් 2018 ජූලි මස පූර්ණ චන්ද්‍රග්‍රහණය අවස්ථාවේ චන්ද්‍රයා දිස්වූ අයුරු පෙන්නුම් කරනවා.

පෘථිවි වායුගෝලයෙන් පිටතට ගියහොත් චන්ද්‍රයාගෙ අඳුරු කොටස දුඹුරු වර්ණයට හුරු අළු පැහැයකින් දිස්වන බවයි නාසා ආයතනය පවසන්නේ.

Thursday, March 11, 2021

චිත්‍රපටය​: The Tashkent Files

ලාල් බහදූර් ශාස්ත්‍රි ගැන අහල තියෙනවද?

The Tashkent Files චිත්‍රපටය විසින් අපෙන් අහන එක් ප්‍රශ්නයක් තමයි ඒක. ලාල් බහදූර් ශාස්ත්‍රි යනු ඉන්දියාවෙ දෙවැනි අගමැතිවරයා. ඔහු අගමැති ධුරයට පත්වන්නේ 1964 දි ජවහර්ලාල් නේරු මියගිය පසුයි.

ඇත්තෙන්ම ශාස්ත්‍රි නායකත්වයට එයි කියල වැඩි දෙනෙක් හිතන්නෙ නැහැ. මොරාජි දේසායි අගමැති වෙයි කියල බොහෝ දෙනෙක් හිතුවා. කොන්ග්‍රස් පක්ෂ ප්‍රබලයකු වූ කාම්රාජ් ශාස්ත්‍රි බලයට පත්වීම පිටුපස රජුන් තනන්නායි. ඇතැමුන් විශ්වාස කරන්නෙ ශාස්ත්‍රි කාම්රාජ්ගෙ රූකඩයක් බවයි.


1965 දි පාකිස්ථානය ඉන්දියාව එක්ක යුද්ධයකට පැටලෙනව. එහි ජයග්‍රහණය ගැන පාකිස්ථානයට විශාල විශ්වාසයක් තිබෙනව. ඉන්දියාව 1962 දි චීනුන් සමග යුද්ධෙන් හොඳටම බැටකාපු නිසත්, ශාස්ත්‍රි දුර්වල නායකයෙක් කියන අදහස නිසාත් පාකිස්ථාන නායක ජෙනරල් අයුබ් ඛාන් හිතන්නෙ වැඩේ ලේසි වෙයි කියල. නමුත් ඉන්දියාව පාකිස්ථාන ප්‍රහාරයට මුහුණ දුන්නා වගේම යුද්ධය ආපහු හරවලා ලාහෝර් ආසන්නයටම ගමන් කරනව. ශාස්ත්‍රි දක්ෂ ලෙස ඊට අවශ්‍ය නායකත්වය දෙනව.

හැමෝම දැනගන්නවා ශාස්ත්‍රි කියන මේ පුංචි මිනිහා පඹයෙක් නොවන බව.

දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කරන්න රැස්වෙන්නෙ ටෂ්කෙන්ට් නගරෙදි. සාම ගිවිසුම අත්සන් කරල පැය ගාණකින් ශාස්ත්‍රි මියයනව. ඊට හේතුව හෘදයාබාධයක් බවයි කියන්නෙ. ඒත් ඒක ඇත්තද?

මෙන්න මේ ප්‍රස්තුතය තමයි The Tashkent Files චිත්‍රපටයෙ කතාබහට ලක් කරන්නෙ. මෙය political thriller එකක් විදියට ඉතා ආසාවෙන් නරඹන්න පුළුවන් කතාවක් බවයි මගේ පුද්ගලික අදහස.


මේක වඩාත් රසවත් වෙන්නෙ චිත්‍රපටය වටේ තියෙන දේශපාලන ගේම් එක තේරුම් ගනිද්දී යි. මෙම චිත්‍රපටයෙ අරමුණක් වෙන්නෙ නේරු - ගාන්ධි දේශපාලන පවුල ප්‍රශ්න කිරීමට ලක් කිරීම සහ එමගින් භාරතීය ජනතා පක්ෂයට වාසියක් සැලසීමයි. 2019 ඉන්දීය මහ මැතිවරණය එක්කම මේ චිත්‍රපටය එළියට එන්නෙ ඒකයි.

නමුත් මේ චිත්‍රපටය බලද්දි මට මතු වෙච්ච සැබෑ ප්‍රශ්න දෙකක් තියෙනව.

එකක් තමයි, ඇත්තෙන්ම අපි ඇයි ශාස්ත්‍රිව අමතක කරල තියෙන්නෙ කියන එක. ශාස්ත්‍රි කියන්නෙ කියවිය යුතු චරිතයක්. දුර්වලයි වගේ පෙනුණ ශක්තිමත් පුද්ගලයෙක්. යුද්ධයක් දිනපු නායකයෙක්. ඒත් ශාස්ත්‍රි ගොඩක් අයට අමතක වෙලා.

අනික තමයි, අපි බටහිර රටවල් විසින් තුන්වන ලෝකයේ කරන කුමන්ත්‍රණ, ආණ්ඩු පෙරලීම්, ඔත්තු බැලීම් ගැන දෙන අවදානයෙන් කොච්චර ප්‍රතිශතයක් සෝවියට් කාලෙ KGB එක කරපු දේවල් ගැන දෙනවද කියන එක. සීතල යුද්ධය කාලෙ ඔය දෙගොල්ලොම, ඒ කියන්නෙ CIA එක සහ KGB එක, තරගෙට ඒ දේවල් කරා. අන්තිමට CIA එක විතරක් නපුරා වෙලා. අපේ වගේ රටවල්වල නම් එහෙම වෙලා තියෙන්නෙ සෝවියට් ප්‍රොපගැන්ඩාවෙ හැකියාව නිසා බවයි මගේ අදහස.

Wednesday, March 10, 2021

චිත්‍රපටය: The Death of Stalin

දේශපාලන උපහාසාත්මක සහ බ්ලැක් කොමඩි චිත්‍රපටයක් ලෙස සැලකෙන The Death of Stalin සිනමා නිර්මාණය සෝවියට් නායක ස්ටාලින්ගේ මරණය සහ එහි ආසන්නම ප්‍රතිඵල අළලා සැකසූවක්.

අධ්‍යක්ෂක සහ සම තිර රචක අර්මන්ඩෝ ඉයනුච්චි ප්‍රමුඛ පිරිස මෙහිදී ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක් හෝ ස්ටාලින්ගේ මරණය පිළිබඳ ඇති සැක සංකා පිරික්සීම වෙනුවෙන් කල් ගත නොකරන අතර ඔවුන් හාස්‍යයට නගන්නේ ඒකාධිපති රජයක පාලකයා හදිසියේ මියගිය අවස්ථාවක ඇතිවන බල අරගලවල ස්වභාවයයි. ඓතිහාසික නිරවද්‍යතාව මෙහි මූලික අවශ්‍යතාවයක් කරගෙන නැහැ. ඉතිහාසයෙහි සිදුවූ පරිදි ස්ටාලින්ගේ මරණය සහ බෙරියා - කෘශ්ෂොෆ් බල අරගලයේ අවසානය මාස කිහිපයක පරතරයක් ඇතිවූ සිද්ධීන් දෙකක් වුණ ද එය දින දෙක තුනක් තුළ සිදුවූ ලෙස චිත්‍රපටයේ දැක්වෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා යොදාගෙන ඇති පුද්ගලයන් සැබෑ චරිතවල උස මහත පවා පෙන්නුම් කරන්නේ නැහැ. හීන්දෑරි බෙරියා සඳහා මහත දෙහෙත නළුවකු යොදාගනිද්දී, මහත දෙහෙත නිකිතා කෘශ්ෂොෆ් සඳහා හීන්දෑරි අයකු යොදාගෙන තිබීම ඊට උදාහරණයක්.


එමෙන්ම කල්ලිවාදයට එරෙහි වීම යන සිද්ධාන්තය අනුව යමින් ඒකාධිපති ක්‍රමයක් පවත්වාගැනීම සිදුවන ආකාරයත් මෙහි දැක්වෙන අතර, නායකත්වය අනුව යමින් සැබෑ අදහස් වසාගෙන ව්‍යාජයක් රඟ දැක්වීම පුද්ගලයන්ට බලපාන අයුරු ද මෙහි පැහැදිලි ලෙස පෙන්වනවා. සත්‍යය යනු නායකයාගේ සිතැඟි වන අන්දමත්, නායකයා සහ පක්ෂය වෙනුවෙන් දිවවල් නැමෙන හැටිත්, එහිදී පුද්ගලයින් පත්වන ව්‍යාකූලභාවයත් මෙහි බලාගන්න පුළුවන්.

මේ චිත්‍රපටයේ අරමුණ ඓතිහාසික සිද්ධියක් විස්තර කිරීම හෝ ඒ හා බැඳුණ කුමන්ත්‍රණ න්‍යායයන් විස්තර කිරීම නොව, ඕනෑම ඒකාධිපතිත්වයක් පවත්වාගෙන යන පිරිස, ඒ නිසා මුහුණදෙන ව්‍යාකූලභාවය පෙන්නුම් කිරීම බවයි කිව හැක්කේ.

Thursday, March 4, 2021

සාන්ත පීතර්බුර්ග් නගරයේ පාට පාට පල්ලිය

මොස්කව් නගරයේ සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ගැන ගොඩක් දෙනා අහලා ඇති. පෙනුමට ඒ වගේම පල්ලියක් සාන්ත පීතර්බුර්ග් නගරයේත් තියෙනව. සමහරු එය සාන්ත බැසිල් ආසන දෙව් මැදුරත් එක්ක පටලගන්නවා.


ත්සාර් දෙවන අලෙක්සන්දර් රුසියාවෙ හිටපු ප්‍රතිසංස්කරණවාදී පාලකයෙක්. ඔහු තමයි ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි කළෙත්. නමුත් ඔහුව තරම් කිසිම රුසියානු පාලකයෙක්ව ඝාතනය කරන්න උත්සාහ කරලා නැතුව ඇති.

මේ පිළිබඳ එක්තරා පුරාවෘත්තයක් තිබෙනවා. ඒ අනුව, වරක් සාස්තරකරුවෙක් දෙවන අලෙක්සන්දර් වෙත පවසා තිබෙනවා ඔහුව හත් වරක් ඝාතනය කරන්න තැත් කරන බවත්, හත්වෙනි උත්සාහය සාර්ථක වන බවත්. මේ කතාවෙ ඇත්ත නැත්ත කොහොම වුණත් ඔහු හය වරක් ඝාතන තැත්වලින් බේරෙනව.


1881 මාර්තු 13 වනදා (පැරණි ක්‍රමයට මාර්තු 1 වනදා) ත්සාර් අලෙක්සන්දර් කැතරින් ඇළ අසළින් වින්ටර් මාලිගය වෙත පැමිණෙමින් සිටියා. ඔහුව ඝාතනය කරන්නට රැකගෙන සිටි තැනැත්තා අශ්ව කරත්තය යටට බෝම්බයක් එල්ල කළා. එය පුපුරා ගියද ඔහුට හානියක් සිදුවුණේ නැහැ. මුර භටයන් විසින් බෝම්බකරු අල්ලාගත්තා.

අලෙක්සන්දර්ට ඔහුව ඝාතනය කරන්න උත්සාහ කළ තැනැත්තා බලන්න ඕන වුණා. ඔහු කරත්තයෙන් බැස බෝම්බකරු ඉදිරියට ආවා. ඇතැම්විට සාස්තරයේ කතාව ඇත්ත නම් තමා හත්වැනි ඝාතන තැතෙන් ද ගැලවුණේ යයි අලෙක්සන්දර් හිතන්න ඇති. කෙසේ වෙතත් නැවත ඔහුට ප්‍රහාරයක් එල්ල වේ යයි ඔහු හිතුවේ නැහැ.



නමුත් ඝාතකයන් දෙවැන්නෙක් සූදානම් කර තිබුණා. සිද්ධිය බලන්නට පැමිණි දෙවැන්නා, වෙන්නේ මොකක්දැයි වටහාගත්තා. ඊළඟ මොහොතේ අලෙක්සන්දර්ගේ දෙපා මුලට තවත් බෝම්බයක් වැටුණා. ත්සාර්ගේ දෙපා බරපතල ලෙස තුවාල වී ලේ ගලා යන්නට වුණා. වින්ටර් මාලිගයට ගෙන යනු ලැබූ ඔහු එහිදී මියගියා.

ඔහුගෙන් පසුව බලයට පැමිණියේ ත්සාර් තුන්වන අලෙක්සන්දර්. ඔහු යටතේ රොමානොෆ්වරුන් මෙම ස්ථානයේ ඉඩම මිලට ගෙන දෙව් මැදුරක් ඉදිකළා. එහි වැඩ පටන් ගත්තේ 1883 දි. දෙවන අලෙක්සන්දර් තුවාල ලද ස්ථානය නිසා එයට "විසිරුණු රුධිරයේ ගැලවුම්කරුවාණන්ගේ දේවස්ථානය" (Church of the Savior on Spilled Blood) යන නාමය දෙනු ලැබුණා.

තුන්වන අලෙක්සන්දර් පරණ තාලයේ, ගතානුගතික අදහස් තිබූ අයෙක්. ඉතින් ඔහුට අවශ්‍ය වුණේ පැරණි "රුසියානු ශෛලියේ" දේවස්ථානයක් ඉදි කිරීමටයි. නූතන නගරයක් වූ සාන්ත පීතර්බුර්ග් නගරයේ අනෙක් ගොඩනැගිලිවලට වඩා මෙය වෙනස්. මෙය වඩා ළං වන්නේ මොස්කව්වල ගොඩනැගිලිවලට.


සෝවියට් පාලකයන් බලයට පත් වූ පසු මෙය විනාශ කිරීමට සැලසුම් කෙරුණා. නමුත් එය ක්‍රියාවට නැගීමට පෙර දෙවන ලෝක යුද්ධය පැමිණියා. යුද්ධයේදී එවකට ලෙනින්ග්‍රාද් නමින් හැඳින්වූ සාන්ත පීතර්බුර්ග් නගරය වටලන ලද බව අපි දන්නවා. එසමයෙහි මෙය භාවිතා කෙරුණේ මෘත ශරීරාගාරයක් ලෙසයි.

යුද්ධයෙන් පසුවත් මෙය විනාශ කරන අදහසක් මතුවුණා. නමුත් ඊට මතුවූ ජනතා විරෝධය සමග එම අදහස අත් හරින ලද බවයි සඳහන් වන්නේ.

වර්තමානය වනවිට මෙය කෞතුකාගාරයක් වන අතර මෙය පාලනය කෙරෙන්නේ සාන්ත අයිසැක් ආසන දෙව් මැදුර පාලනය කරන පාලනාධිකාරිය විසින්.


ඡායාරූපවලින් පළමුවැන්නේ අයිතිය Legion Media. අනෙක් ඡායාරූප Museum St. Isaac's Cathedral වෙතින්.

Wednesday, March 3, 2021

වැළපෙන ප්‍රංශ ජාතිකයා

1941 මාර්තු 3 වනදා Life සඟරාවේ ලිපියක මෙම ඡායාරූපය පළ වුණේ මෙවන් විස්තරයක් සමගයි.  "A Frenchman sheds tears of patriotic grief as the flags of his country's last regiments are exiled to Africa" (ස්වකීය දේශයෙහි අවසන් රෙජිමේන්තුවල ධජ අප්‍රිකාවට ගෙන යද්දී, දේශප්‍රේමයෙන් ඇළලුන ප්‍රංශ ජාතිකයකු කඳුළු සලයි.)


ඇතැම් මූලාශ්‍රවල මෙම ඡායාරූපය දැක්වෙන්නේ පැරිසියේ නට්සි ජර්මන් පෙළපාලියක් අවස්ථාවක නරඹන්නකු ලෙස හඳුන්වමින් වුවද එය නිවැරදි නොවේ.

ඡායාරූපයේ සිටින්නේ එවකට 48 හැවිරිවි වූ ජෙරෝම් බර්සොට්ටි නමැත්තෙක්. ඇත්තෙන්ම එය චිත්‍රපට කැමරාවක සටහන් වූ දර්ශනයකින් ගන්නා ලද ඡායාරූපයක්.

1940 නොවැම්බර් 15 වනදා ප්‍රංශ රෙජිමේන්තු කිහිපයක ධජ මාර්සේයි (Marseille) නගරය ඔස්සේ එහි වරාය වෙත ගෙනයන ලද අවස්ථාවේ බර්සොට්ටි මෙසේ කඳුළු සලමින් සිටියා. ඔහුව කැමරාවට හසුකරගත්තේ මර්සෙල් ද රෙන්සිස් නම් චිත්‍රපටකරුවකු විසින්. පසුව එම දර්ශනවලින් මෙම ඡායාරූපය ලබාගත්තා.

එහිදී රැගෙනගිය රෙජිමේන්තු ධජ මාර්සේයි සිට උතුරු අප්‍රිකාවේ ඇල්ජියර්ස් වෙත රැගෙන යන ලද්දේ ජර්මානුන් අතට ඒවා පත්වීම වැළැක්වීමටයි.

Tuesday, March 2, 2021

මිහායිල් ගොර්බචොෆ්ට 90 යි (VIDEO)

සෝවියට් දේශයේ පළමු සහ එකම ජනාධිපති වූ මිහායිල් ගොර්බචොෆේ 90 වන ජන්ම දිනය අදයි.

මිහායිල් ගොර්බචොව් විවාදාත්මක චරිතයකි. ඇතැමුන් ඔහු බටහිර ඉත්තෙකු සහ සෝවියට් දේශය විනාශ කළ පුද්ගලයා ලෙස සලකන අතර තවත් සමහරුන් විසින් ඔහු සලකනු ලබන්නේ නොවැළැක්විය හැකි වූ ක්‍රියාවලියක්, එනම් සෝවියට් දේශයේ බිඳ වැටීම​, වැළැක්වීම සඳහා උත්සාහ කළ අයෙකු ලෙස යි.


බොහෝ දෙනා ඔහු ඉත්තෙකු ලෙස සැලකුව ද​, ගොර්බචොව් බටහිරට අවශ්‍ය පරිදි සෝවියට් දේශය කඩා දැමූ තැනැත්තෙකුයැ යි පිළිගැනීමට සාධක ප්‍රමාණවත් නැහැ. නමුත් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔහුගේ පාලනයෙන් ඉවතට ගියේයැ යි කිව හැකියි.

මේ වීඩියෝවෙන් ඔබට ගොර්බචොෆ් ගැන වැඩි විස්තර දැනගන්නට පුළුවනි.