Monday, October 29, 2012

2012 ඇමරිකානු ජනාධිපතිවරණයේ පුංචි තරඟකරුවෝ


බරක් ඔබාමා සහ මිට් රොම්නි අතර ජනාධිපතිවරණ සටනින් ජය ගන්නෙකු පිලිබඳ තවමත් සම්පූර්ණ අනාවැකියක් පල කල නොහැකි තත්ත්වයක පවතී. මේ වන විට ජනපති ඔබාමා සිය ප්‍රතිවාදියාට වඩා යාන්තමින් ඉදිරියෙන් සිටින බව පෙනෙන මුත් ඊළඟ දින කිහිපය තුල එම තත්ත්වය වෙනස් වීමට ඉඩ නැතිවා නොවේ. මේ අතර ප්‍රාන්ත දෙක තුනකම දෙදෙනා කරට කර සිටීම හේතුවෙන් අවසන් අනාවැකියක් පල කිරීම ඉතා අපහසු වී ඇත.

කෙසේ වුවද අද අපේ වෑයම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර සටන පිලිබඳ සාකච්ඡා කිරීම නොවන්නේය. ඒ සඳහා අන් ලිපියකින් අවස්ථාව උදා කරගැනීමට බලාපොරොත්තු වෙන අතර අද අප අවධානය යොමු කරන්නේ ජනපති සටනට සම්බන්ධව සිටින අනෙකුත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු පිලිබඳය. (ඇමරිකාවේ ජනාධිපතිවරණ පිලිබඳ මීට පෙර ලියූ ලිපිය මෙතනින් බලන්න.) ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තුන්වන අපේක්ෂකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඡන්දය ඉල්ලීමේ බලය (Ballot Access) ලබා ගැනීමයි. ඇමරිකානු ජනපතිවරණය එක් එක් ප්‍රාන්තවල පවත්වන්නේ ඒ ඒ ප්‍රාන්තවල නීති අනුව, ඒ ඒ ප්‍රාන්ත විසිනි. ප්‍රාන්තයක් තුල යම් අපේක්ෂකයෙකු ඡන්ද සටනට එන්නට නම් ඒ ප්‍රාන්තය තුල ඡන්දය ඉල්ලීමේ බලය ලබාගත යුතුය. ඒ ඒ ප්‍රාන්තවල මේ සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා වෙනස් වේ. මේ නිසා බොහෝ විට තෙවන පක්ෂවල අපේක්ෂකයනට සෑම ප්‍රාන්තයකින්ම ඡන්ද සටනට ඉදිරිපත් වීමේ අවස්ථාව නොලැබේ.

එක්සත් ජනපද ජනපතිවරණය ජය ගැනීමට නම් අපේක්ෂකයකු ඡන්ද විද්‍යාලයේ ඡන්ද 270 ක් ලබාගත යුතුවේ. ඒ අනුව තමා ඡන්දය ඉල්ලන ප්‍රාන්තවලින් ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් 270 ක් හෝ ඊට වැඩියෙන් හෝ යවන්නේ නම් එම අපේක්ෂකයාට ජනාධිපති තරඟය දිනීමේ සෛද්ධාන්තික ඉඩක් ඇත. (නමුත් ප්‍රායෝගිකව ජාතික මට්ටමේ ඡන්ද විමසීමකදී ප්‍රධාන පක්ෂ දෙක පරාජය කිරීමට හැකි පක්ෂයක් ඇමරිකාවේ නොපවතී). අප අද සලකා බලන අපේක්ෂකයන් සිව් දෙනා මෙවර ඡන්ද සටනේදී එලෙස ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් 270 ට වැඩියෙන් යැවීමට හැකි අයයි.

මේ අපේක්ෂකයන් සිව් දෙනාත්, ඔවුන් සමඟ තරඟ කරන උප ජනාධිපති අපේක්ෂකයන් සිව් දෙනාත් පහත පරිදි වෙති.

1. ගැරී ජොන්සන් (ලිබර්ටේරියන් පක්ෂය-Libertarian Party), උප ජනපති අපේක්ෂක: ජිම් ග්‍රේ

2. ජිල් ස්ටයින් (හරිත පක්ෂය-Green Party), උප ජනපති අපේක්ෂිකා: චෙරී හොන්කාලා

3. වර්ජිල් ගුඩ් (ව්‍යවස්තාවාදී පක්ෂය-Constitution Party), උප ජනපති අපේක්ෂක: ජිම් ක්ලයිමර්

4. රොකී ඇන්ඩර්සන් (සාධාරනත්ව පක්ෂය-Justice Party), උප ජනපති අපේක්ෂක: ලුවී ජේ. රොඩ්රිගුවේස්

Johnson Announcement, 12.28.11, Gary Johnson, flickr ජනපතිවරණයට තමා ඉදිරිපත් වන බව ගැරී ජොන්සන් ප්‍රකාශයට පත් කරයි, දෙසැම්බර් 28, 2011. ඡායාරූප අයිතිය ගැරී ජොන්සන්.

මධ්‍ය දක්ෂිනාංශික ලිබරල්වාදී ලිබර්ටේරියන් පක්ෂය ඇමරිකාවේ තෙවන විශාලතම පක්ෂය වෙයි. එයින් ජනපති සටනට ඉදිරිපත්ව සිටින ගැරී ජොන්සන් 1994 නව මෙක්සිකෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර තරඟයෙන් ජයගෙන 1995 ජනවාරි 1 වනදා එම ධූරයේ වැඩ භාර ගත්තේය. 1998 දී යලිත් ආණ්ඩුකාර තරඟයෙන් ජයගෙන 2003 ජනවාරි 1 වනදා තෙක් එහි කටයුතු කළේය. 59 වන වියෙහි පසුවන ජොන්සන් වෘත්තියෙන් ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකි. 2011 වනතෙක් ඔහු රිපබ්ලිකන් පාක්ෂිකයෙකු විය. මෙවර ජනපතිවරණයේදී ප්‍රාන්ත 48 ක ඡන්ද පත්‍රිකාවල ඔහුගේ නම ඇතුලත් වනු ඇත. ඊට අමතරව මිචිගන් ප්‍රාන්තයේද නම ලියා ඡන්දය දීමේ හැකියාව (එනම්, ඡන්ද පත්‍රිකාවේ නම නැති වුවද, ඡන්ද දායකයෙකුට අවශ්‍ය නම් අපේක්ෂකයාගේ නම ලියා ඡන්දය ලබා දීමේ හැකියාව) ඔහුට ඇත. මේ අනුව ජොන්සන්ට ඡන්දය ලැබීමට සුදුසුකම් නැති එකම ප්‍රාන්තය ඔක්ලහෝමා ප්‍රාන්තයයි.

හරිත පක්ෂ ජනාධිපති අපේක්ෂිකා ජිල් ස්ටයින්, ඡායාරූපය http://www.jillstein.org/downloads

මැසචුසෙට්ස් ප්‍රාන්තයේ වසන යුදෙව් ජාතික කාන්තාවක වන ජිල් ස්ටයින් වෘත්තියෙන් වෛද්‍යවරියකි. හරිත පක්ෂය නියෝජනය කරන ඇය 2002 සහ 2010 වසරවල මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය සඳහා තරඟ කළාය. හරිත පක්ෂය දැනට වඩා ජනප්‍රියව පැවති 2002 වසරේදී ඈ ඡන්ද 76,530 ක් (3.49%) ලබා ගත අතර 2010 දී ඈ ලද ඡන්ද සංඛ්‍යාව 32,895 ක් (1.43%) පමණි. 2002 එම මැතිවරණය ජයගත්තේ වත්මන් රිපබ්ලිකන් ජනපතිධූරාපේක්ෂක මිට් රොම්නිය.

ව්‍යවස්ථාවාදී පක්ෂයේ වර්ජිල් ගුඩ් ප්‍රධාන අපේක්ෂකයින් සය දෙනා අතුරින් වැඩිපුරම කොන්සර්වේටිව් හෙවත් පැරණි දේ අගයන පුද්ගලයාය. එහෙයින් දේශපාලනයේදී අනෙක් පස් දෙනාටම වඩා දක්ෂිනාංශික මතවාදයක් ඔහු දරන්නේ යයි කිව හැක. එමෙන්ම ඔහු කිහිප විටෙකදීම පක්ෂ මාරු කල අයෙකි. ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ලෙස 1996 දී කොන්ග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රණ සභාව සඳහා වර්ජිනියාවේ 5 වන දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ඔහු එම මැතිවරණය ජය ගෙන 1997 ජනවාරියේ සිට 2009 ජනවාරිය තෙක් එම මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. මේ අතර 2000 වසරේ ඩිමොක්‍රටික් පක්ෂයට ආයුබෝවන් කී හෙතෙම දෙවසරක් ස්වාධීන මන්ත්‍රීවරයෙකුව කටයුතු කොට 2002 දී රිපබ්ලිකන් පක්ෂයට එකතු විය. 2008 මැතිවරණයේදී ඔහු ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට පරාජය වූයේ ඡන්ද 727කිනි. 2010 දී ඔහු රිපබ්ලිකන් පක්ෂයද අතැර ව්‍යවස්ථාවාදී පක්ෂයට එකතු වූයේය.

යුටා ප්‍රාන්තයේ සෝල්ට් ලේක් සිටි හි නගරාධිපති වශයෙන් 2000-2008 සමයේ කටයුතු කල රොකී ඇන්ඩර්සන් 2011 දී එතෙක් තමන් නියෝජනය කල ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉවත්ව සාධාරනත්ව පක්ෂය බිහි කිරීමට මූලික විය. මෙම පක්ෂයේ මූලික අරමුණ ආර්ථික ප්‍රතිසංස්කරණ තුලින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කිරීමයි. තවද මෙම පක්ෂය පරිසර හිතකාමී පක්ෂයක් ලෙස ද ප්‍රචලිතය. රොකී ඇන්ඩර්සන් සෝල්ට් ලේක් සිටි පුරපති ලෙස කටයුතු කරන සමයෙහි ඔහු සැලකුනේ ඇමරිකාවේ පරිසර හිතකාමීම පුරපතිවරයා ලෙසය. ඉතා කෙටි කලක් තුල ප්‍රාන්ත 16 ක ඡන්ද ලැයිස්තුවට ඇන්ඩර්සන්ගේ නම ඇතුලත් කරගත හැකිවීමත්, තවත් ප්‍රාන්ත 14 ක ලියා ඡන්දය පල කිරීමේ හැකියාව ලබා ගැනීමත් නව පක්ෂයක් ලෙස සාධාරනත්ව පක්ෂය ලද වැදගත් ජයග්‍රහණයකි.

මෙම අපේක්ෂකයින්ට අමතරව තවත් කුඩා පක්ෂවලින් සහ ස්වාධීනව අපේක්ෂකයන් ගණනාවක් ඡන්ද සටනට ඉදිරිපත් වී සිටිති. නමුත් මේ කිසිදු අපේක්ෂකයෙකුට මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැත. කෙසේ වුවද, වර්ජිනියා ප්‍රාන්තයේ ඡන්ද සටන ඉතාමත් තියුණු වීම හේතුවෙන් වර්ජිල් ගුඩ්ගේ ඉදිරිපත් වීම මිට් රොම්නිට අවාසිදායක වනු ඇති බවට මතයක් පලවී ඇත. ඊට හේතුව වර්ජිල් ගුඩ් විසින් රොම්නිගේ ඡන්දවලින් සුළු හෝ කොටසක් කැඩීමට ඉඩ ඇති බැවිනි. මෙය තියුණු තරඟයක් නැති ප්‍රාන්තයකදී ප්‍රශ්නයක් නොවුවද, කරට කර සටනක් පවතින අවස්ථාවක, කරට කර සටනක් පවතින ප්‍රාන්තයක ඡන්ද සටන කෙරෙහි බලපෑ හැකි සාධකයකි.

Sunday, October 28, 2012

චේ දින සැමරුම


චේ ගුවේරා මියගොස් වසර 45 කි. ඔහු සමරනු පිණිස මෑතදී ජනතා විමුක්ති පෙරමුණ විසින් චේ දිනයක් සංවිධානය කර තිබුණි. ඒ පිළිබඳව මා හට ඇති වූ ගැටලුවක් පිලිබඳ පැවසීමට සිත් වූ නමුත් ඒ සඳහා ඉඩ හසර ලැබුනේ අදය.

චේ ගුවේරා ලෝකයේ සිටි ප්‍රකටම විප්ලවවාදියෙකි. තරුණයන් අතරේ ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලූවෙකි. කෙසේ වුවද චේ බොලීවියාවේදී අල්ලා ගනුලබ ඝාතනයට පත් වූයේය. බොලීවියානු විප්ලවය පරාජය වීමට කරුණු ගණනක් බලපෑ අතර ඒ අතර චේ ගුවෙරාට සිදුවූ වැරදීම්ද හේතු වූ බව මගේ අදහසයි. ඒ පිලිබඳ මම මීට කලින් ලිපියක ලිවීමි. චේ තුල වූ මානුෂීය සහ විප්ලවීය ගුණාංග අගයන ගමන්ම අප ඒ කරුණද සිතෙහි තබාගත යුතු බව මාගේ අදහසයි.

නමුත් මා අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චේ දින සමරුමෙහි මා දුටු එක් ලක්ෂණයක් පිලිබඳවය. ඒ සඳහා පහත ඡායාරූපය කෙරෙහි ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

චේ දින සැමරුම 2012 ඔක්තෝම්බර්. විහාරමහාදේවී එළිමහන් රංග පීඨය (ඡායාරූපය මා විසින් ගන්නා ලදී).

මේ ආකාරයෙන් රතු ධජ සහ චේගේ රුව සහිත ධජ මාරුවෙන් මාරුවට සවිකර තිබුණු අතර, චේගේ රුව සහිත ධජයන්හි රතු, කහ සහ කොළ වර්ණයන්ගෙන් යුත් ධජයක් ඇඳ තිබිණ. මා දුටු ආකාරය නිවැරදි නම් රංග පීඨය ඇතුළතද රතු, කහ සහ කොළ වර්ණයෙන් යුතු සැරසිලිවලින් යුතු විය. මෙය මාගේ මවිතයට හේතු වූයේය. බොබ් මාර්ලේගේ සංගීතය ප්‍රිය කරන හෙයින් රස්තෆාරියානුවන් පිලිබඳ යමක් දන්නා හෙයින්ද, ඉතියෝපියාව පිලිබඳ තරමක් කියවා ඇති හෙයින්ද, මා හට නිතැතින්ම මතකයට ආවේ පහත ධජයයි.

Flag of Ethiopia (1897-1936; 1941-1974), Oren Neu Dag, Wikimedia Commons

මෙය 1897-1936 සහ 1941-1974 සමයේ ඉතියෝපියාවේ ධජය වූවා පමණක් නොව රස්තෆාරියානු ව්‍යාපාරයේ ධජයද වෙයි. වෙනත් අප්‍රිකානු ජාතික ධජ කිහිපයකටම මෙය ආභාෂයක් වූ අතර "එක්සත් අප්‍රිකානුවාදී" ව්‍යාපාරයේ සංකේත වර්ණ තුන වූයේද මෙහි වන රතු, කහ සහ කොළ වර්ණය.

යටත්විජිතවාදයට එරෙහි වීම සහ සමානාත්මතාව ඇගයීම හැරුණු කොට රස්තෆාරියානුවන් සහ චේ අතර සමානකම් තිබුණි යයි මම නොසිතමි. තවද, චේ අප්‍රිකාවේ කොන්ගෝ යුද්ධයට කල මැදිහත්වීම මත ඔහු අප්‍රිකාවේ පමණක් වීරයෙකු ලෙස නම් කල නොහැක. ඔහු ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් තරුණයින් අතර වීරයෙකි. එසේ නම් මෙම වර්ණයන් සහ ඉතියෝපියානු ධජයට සමාන ධජයක් චේ සැමරුමට යොදා ගත්තේ කුමන හේතුවක් මතද යන්න මා හට ගැටලුවකි.

Tuesday, October 16, 2012

නොරොදොම් සිහනුක්: කාම්බෝජයේ හිටපු රජතුමා


කාම්බෝජයේ හිටපු රජතුමා වූ නොරොදොම් සිහනුක් 2012 ඔක්තෝම්බර් 15 වනදා චීනයේ බීජිං නගරයේදී හෘදයාබාධයකින් මරණයට පත් විය. මිය යනවිට ඔහුගේ 90 වන උපන්දිනයට තිබුනේ දින දහසයකි. නොරොදොම් සිහනුක් කාම්බෝජයේ රජු වූවා පමණක් නොව අගමැතිවරයා ලෙස අවස්ථා කිහිපයකම පමණ කටයුතු කල අතර, රජ කුමාරයෙකු ලෙස ද රට පාලනය කළේය. තවද පිටුවහල් ආණ්ඩු (Government in Exile) කිහිපයකම නායකයා ද වූ හෙතෙම විවිධාකාර දේශපාලනික තනතුරු වැඩිම ප්‍රමාණයක් දරූ පුද්ගලයා ලෙස ගිනස් පොතටද එක් විය.

නොරොදොම් සිහනුක් රජුගේ රූපය සහිත පුවරුව, සියෙම් රීප්-අන්ග්කෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපල අසල. GryffindorWikimedia Commons.



නොරොදොම් සිහනුක් උපත ලබන විට කාම්බෝජය පැවතියේ ප්‍රංශ පාලනය යටතේය. 1941 දී ඔහුගේ සීයා වූ සිසොවත් මොනිවොන්ග් මියගිය පසු එවකට 18 හැවිරිදි තරුණයෙකු වූ නොරොදොම් සිහනුක් රාජ්‍යත්වයට පත් කරගන්නා ලදී. කෙසේ වුවද, එවකට ඔහුට කිසිදු බලයක් නොවීය. 1945 මාර්තුවේදී එවක තිබූ ප්‍රංශ පාලනය ඉවත් කල ජපන්නු එහි ඍජු සිය පාලනය ඇති කළහ. ඔවුනගේ බලපෑම මත නොරොදොම් සිහනුක් කාම්බෝජයේ ස්වාධීනත්වය ප්‍රකාශ කළේය. එහෙත් ජපනුන් සමඟ ඕනාවට වැඩි ඇයි හොඳයියක් ඇති නොකර ගැනීමට ඔහු ප්‍රවේශම් විය. 1945 සැප්තැම්බරය වනවිට ජපානය යටත් වූ අතර යලි ප්‍රංශ ජාතිකයෝ කාම්බෝජයේ පාලනය අතට ගත්හ. එහෙත් කාම්බෝජයේ අනවශ්‍ය ගැටළු ඇති කරගැනීමට අකමැති වූ ප්‍රංශ ජාතිකයෝ නොරොදොම් සිහනුක්ට රාජ්‍යත්වයෙහි රැඳී සිටීමට ඉඩ දුන්හ.

නොරොදොම් සිහනුක් සත්‍ය වශයෙන්ම කාම්බෝජයේ පාලකයා බවට පත් වූයේ 1953 නොවැම්බරයේදී එරට ප්‍රංශයෙන් නිදහස ලැබූ පසුය. 1955 මාර්තුවේදී සිය පියා වෙනුවෙන් සිහසුනෙන් ඉවත් වූ නොරොදොම් සිහනුක්, සංකම් නමින් හැඳින්වූ "පොදු ජනයා සඳහා වන සංවිධානය" පිහිටුවා ගත්තේය. මෙය බොහෝ විදේශිකයින් අතර ප්‍රචලිත වූයේ "ජනප්‍රිය සමාජවාදී පක්ෂය" ලෙසය. දේශපාලන පක්ෂයක් ලෙස තමන් හඳුන්වා නොගත් නමුත් 1955-70 සමයේ කාම්බෝජ දේශපාලනය තුල මූලික බලය බවට පත් වූයේ නොරොදොම් සිහනුක් සහ ඔහුගේ ජනප්‍රිය සමාජවාදී පක්ෂයයි. 1955 පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 91ම මෙම පක්ෂය විසින් දිනා ගන්නා ලදී.

1960 වසරේ සිදුවූ සිය පියාගේ අභාවයෙන් පසු කාම්බෝජයේ රාජ්‍ය නායකයා ලෙස නොරොදොම් සිහනුක් යලි පත් වුවද ඔහු තමා හඳුන්වාගත්තේ කුමාරයා ලෙස මිස රජු ලෙස නොවේ. 1963 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෙතෙම යාව ජීව රාජ්‍ය නායකයා බවට පත් විය.

1960 ගණන්වලදී කාම්බෝජය මුහුණ දුන් ප්‍රධානම කලාපීය ගැටලුව වූයේ යාබද වියට්නාමයේ පැවති යුද්ධයයි. මෙහිදී සිය රටේ ආරක්ෂාව සහ මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීමට සිහනුක්ට පහසු වූයේ නැත. කෙසේ වුවද, ඔහු වැඩිපුර මහජන චීනය සහ උතුරු වියට්නාමය සමග සබඳතා වර්ධනය කරගනු දක්නට ලැබිණ. දකුණු වියට්නාමයේ ක්‍රියාත්මක වූ ජාතික විමුක්ති හමුදා (වියට්කොං නමින් ඇතැමුන් හැඳින්වූ) සෙබළුන්ට කාම්බෝජය හරහා සැපයුම් මාර්ග ඇති කරගැනීමට ඔහු ඉඩ දුන්නේය. කෙසේ වුවද, සියරට වූ විරුද්ධවාදීන් සිහනුක් විසින් දැඩි සේ මඩින ලදහ.

මෙවන් තත්ත්වයක් යටතේ 1970 මාර්තු 18 වනදා එවක අගමැතිවරයා වූ ජනරාල් ලොන් නොල් රටේ පාලනය අතට ගත්තේ නොරොදොම් සිහනුක් රටෙන් පිටව සිටියදීය. සිහනුක් මහජන චීනයට පැමිණ එහිදී පිටුවහල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. කාම්බෝජයේ නව පාලනය බටහිර හිතවාදී ක්‍රියාකලාපයක් ගෙන ගියේය. මෙහි ප්‍රතිපලය වූයේ, සිහනුක් කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂය විසින් ගෙනගිය ආණ්ඩු විරෝධී සටනට දායක වීමයි. මෙකල සිහනුක් වැඩි වශයෙන් වාසය කලේ උතුරු කොරියාවේය. 1975 අප්‍රේල් 17 වනදා කොමියුනිස්ට් කෙමර් රූජ් භටයෝ නොම් පෙන් අගනුවර අල්ලා ගත්හ. මීළඟ සිව් වසර නොරොදොම් සිහනුක් වාසය කලේ කාම්බෝජයේ, කෙමර් රූජ් පාලනයේ ප්‍රාණ ඇපකරුවෙකු මෙනි. මුලින් ඔහු අලුත් ආණ්ඩුවේ රාජ්‍ය නායකයා ලෙස ද කටයුතු කළේය. එයින් කෙමර් රූජ් ආණ්ඩුව බලාපොරොත්තු වන්නට ඇත්තේ, ජාත්‍යන්තර වශයෙන් ඔවුනට පිළිගැනීමක් ලබා ගැනීමය. එහෙත් එය අසාර්ථක වූ තැන 1976 අප්‍රේල් 4 වනදා සිහනුක් එම තනතුරෙන් ඉවත් කරන ලදී.

1979 ජනවාරියේ වියට්නාම් හමුදා ප්‍රහාර හමුවේ කෙමර් රූජ් පාලනය බිඳ වැටින. ඉන් අනතුරුව යලි උතුරු කොරියාවට ගිය නොරොදොම් සිහනුක් කෙමර් රූජ් පාලනය බිඳ වැටීම පිලිබඳ සතුට පලකරන අතරම වියට්නාම් හමුදා විසින් පිහිටුවන ලද කැම්පූචියා මහජන සමූහාණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නට විය. 1981 වනවිට ඔහු රාජාන්ඩුවාදී පක්ෂයක් වූ Funcinpec පක්ෂය පිහිටුවාගත්තේය. එහි සන්නද්ධ අංශය ලෙස සිහනුක්වාදී ජාතික හමුදාව 1982 දී පිහිටුවන ලදී. මේ අතර කැම්පූචියා මහජන සමූහාණ්ඩුවට එරෙහි විපක්ෂ බලවේග එක්ව 1982 පිහිටුවාගත් ප්‍රජාතාන්ත්‍රික කැම්පූචියාවේ සන්ධාන ආණ්ඩුවේ 'ජනාධිපති' ලෙස ඔහු කටයුතු කළේය. රජයට එරෙහි සන්නද්ධ අරගලය දිගටම ක්‍රියාත්මක වූ අතර 1993 එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සාමය ස්ථාපිත කරන ලදී. මේ අනුව නැවත නොරොදොම් සිහනුක් කාම්බෝජයේ රජ බවට පත් විය. නමුත් කෙමර් රූජ් සංවිධානය දිගටම සන්නද්ධ අරගලයේ නිරත විය. එය සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර හයක් පමණ ගත විය.

කාම්බෝජ රජ මාලිගය ටොන්ලේ සැප් ගඟෙහි එහා ඉවුරට පෙනෙන අයුරු. Cambodia, Phnom Penh, Royal Palace as seen from acros Tonle Sap River (2004), Werner.pauwels, Wikimedia Commons.



2004 වසර මුලදී රට හැර ගිය නොරොදොම් සිහනුක් රජු, වැඩිපුර ගත කලේ බීජිං නුවරය. 2004 ඔක්තොම්බරයේදී ඔහු සිහසුනෙන් ඉවත් වූ අතර එයින් පුරප්පාඩු වූ රජකමට ඔහුගේ පුත්‍රයෙකු පත් කරගනු ලැබිණ. නොරොදොම් සිහනුක් එවක පටන් "කාම්බෝජයේ පීතෘ රාජයා" ලෙස හැඳින්වින. දිගු කලක් අසනීප වී සිටි නොරොදොම් සිහනුක් කුමරු 2012 ඔක්තෝම්බර් 15 වනදා බීජිං නුවරදී මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු කාම්බෝජයෙදී සිදු කෙරෙනු ඇත.

Monday, October 15, 2012

නව ස්වීඩනය: ඇමරිකාවේ ස්වීඩන් කොලනිය


17 වන සියවසෙහි ස්වීඩනය යුරෝපයේ ප්‍රබල රාජ්‍යයක් විය. 1630 ගණන් වනවිට වර්තමානයේ ෆින්ලන්තයට අයත් ප්‍රදේශද, ලැට්වියාව සහ එස්තෝනියාව යන බෝල්ටික් රාජ්‍යයන්ට අයත් ප්‍රදේශද, රුසියාවට අයත් ප්‍රදේශද සහිතව විශාල බිම් පෙදෙසක් ස්වීඩනයට යටත් ව තිබිණ. මේ යටත් ප්‍රදේශ ඊළඟ දශක දෙක තුල තවත් වැඩි වනු දක්නා ලදී.

ස්වීඩනයට අයත් වූ ප්‍රදේශ (1560-1815), Wikimedia Commons

අනෙක් රටවල් මෙන්ම නව ලෝකයෙහි ජනපද ගොඩ නැගීමේ අවශ්‍යතාවයක් ස්වීඩනයටද ඇති වන්නට ඇත්තේ යුරෝපයේ කෙරුම්කාරයෙකු වූ හෙයිනි. මේ අනුව ස්වීඩන්, ලන්දේසි සහ ජර්මන් කොටස්කරුවන් පිරිසක් එකතු වී 1637 දී 'නව ස්වීඩන් සමාගම' පිහිටුවා ගත්තේ සත්ව ලොම් සහ දුම්කොළ වෙළෙඳාමට අත ගසන බලාපොරොත්තුවෙනි. මේ අනුව උතුරු ඇමරිකාවේ ජනපදයක් පිහිටුවන අදහසින් පීටර් මිනුයිට්ගේ නායකත්වයෙන් 'කල්මාර් නයිකල්' සහ 'ෆෝගල් ග්‍රිප්' යන නැව් දෙකක නැගුනු පිරිසක් ස්වීඩනයෙන් පිටත් වූහ. මිනුයිට් මීට පෙර 1626-32 කාලයේ 'නව නෙදර්ලන්තයේ' ආණ්ඩුකාරයාද වූයේය. ඔවුහූ 1638 මාර්තු 29 වනදා හෝ ඒ ආසන්න දිනෙක හෝ වර්තමාන ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් නගරය අසල ගොඩබැස බලකොටුවක් ඉදි කිරීම ආරම්භ කළහ. එම ස්ථානය පිහිටියේ, ඩෙලවෙයාර් ගඟ මුහුදට වැටෙන ස්ථානයෙන් තරමක් ඉහළිනි. එම බලකොටුවට එවක ස්වීඩන රැජින වූ 12 හැවිරිදි ක්‍රිස්ටිනාගේ නම යොදන ලදී. ඒ අසලින් ගලා ගිය කුඩා ගඟද රැජිනගේ නමින්ම නම් විය. ක්‍රිස්ටිනා කොටුව ඩෙලවෙයාර් ගංගා නිම්නයේ ඉදි වූ පළමු ස්ථීර යුරෝපීය ජනපදය විය.

ක්‍රිස්ටිනා කොටුවේ ආකෘතියක්. Stilfehler, Wikimedia Commons

මීළඟ 17 වසර තුල තවත් කණ්ඩායම් 12ක් ස්වීඩනයේ සිට 'නව ස්වීඩනය' වෙත ළඟා වූහ. මෙසේ ළඟා වූ පිරිස අතර ස්වීඩන සහ ෆින් ජාතිකයෝ 600 ක් පමණ වූවෝය. මෙම ජනපදිකයෝ සිය ජනපදය ඩෙලවෙයාර් ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත කළහ. කුඩා පෙදෙසක් වුවද එයට වර්තමාන ඩෙලවෙයාර්, පෙන්සිල්වේනියා, නිව් ජර්සි සහ මේරිලන්ඩ් ප්‍රාන්තවල කොටස් අයත් විය. නව ස්වීඩනයේ දියුණුව කෙරෙහි විශාලම බලපෑමක් කල ආණ්ඩුකාරවරයා වූයේ 1643-53 සමයෙහි එම ප්‍රදේශය පාලනය කල යොහාන් ප්‍රින්ට්ස් ය. ඔහු ප්‍රදේශයේ බලකොටු ඉදි කරමින්, ආරක්ෂාව තර කරගත්තේය. නමුත් මෙම කාලය තුල අවට විසූවන් සමඟ ජනපදිකයෝ සාමයෙන් විසූහ. කෙසේ වුවද, ආණ්ඩුකාරවරයාගේ පාලනය දරදඬු වූ අතර එහෙයින් ඔහුට එරෙහිව ජනපදිකයෝ පෙත්සමක් ඉදිරිපත් කළහ. ප්‍රින්ට්ස් ආණ්ඩුකාරධූරයෙන් ඉවත් කල මහ ආණ්ඩුව ඔහුගේ තැන ගැනීමට යොහාන් රයිසිංග් පත් කළේය.

යොහාන් ප්‍රින්ට්ස් (1592-1663), Wikimedia Commons.

නව ස්වීඩනයේ අවසානයට හේතු වූයේ යොහාන් රයිසිංගේ ඉක්මන් ක්‍රියාකලාපයයි. නෙදර්ලන්තය නව නෙදර්ලන්තයෙන් ඉවත් කිරීමට මාන බැලූ හෙතෙම ඩෙලවෙයාර් ගඟේ පහලින් වූ කැසිමීර් කොටුව අල්ලාගෙන එය ට්‍රිනිටි කොටුව ලෙස නම් කළේය.

මෙකල නව නෙදර්ලන්තයේ ආණ්ඩුකාරයා වූයේ, වහා කිපෙනසුළු ස්ටුයිවෙසන්ට් ය. ඔහු මෙම ක්‍රියාවෙන් දැඩි ලෙස කිපුණු නමුත් එකවර ප්‍රති ප්‍රහාර එල්ල නොකළේය. ඊළඟ වසරේ, එනම් 1655 වසරේ ගිම්හානයේ, නැව් 7 ක නැගුනු 317කින් සමන්විත සේනාංකයක් ඩෙලවෙයාර් ගඟ අසබඩ දක්නා ලදී. ට්‍රිනිටි බලකොටුව වහා යටත් කල ඔවුහූ ක්‍රිස්ටිනා බලකොටුව වැටලූහ. සති දෙකකින් ආණ්ඩුකාර රයිසිංග් යටත් විය.

කෙසේ වුවද ප්‍රදේශයේ වාසය කල ස්වීඩ් සහ ෆින් ජාතිකයනට වෙනමම පාලනයක් පවත්වාගෙන යාමට ලන්දේසි ජාතිකයන්ගෙන් ඉඩ ලැබිණ. මේ අනුව වෙනමම නීති පද්ධතියක් සහ මිලීෂියා භට හමුදාවක් තබා ගැනීමට ඉඩ ලැබුන අතර ඉඩකඩම්, ආගමික නිදහස සහ ස්වදේශිකයන් සමඟ වූ වෙළෙඳාම යනාදියද නොවෙනස්ව පැවතිණ. මේ තත්ත්වය 1681න් පසු ලන්දේසි ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් ලබා ගන්නා තුරුම පැවතිණ. කෙසේ වුවද, ස්වීඩනය යලිත් 'නව ලෝකයෙහි' ජනපද පිහිටුවීමට උත්සාහයක් ගත්තේ නැත.

මූලාශ්‍ර

1. The Swedish Colonial Society, A Brief History of New Sweden in America.

2. State of Delaware (A Brief History)

Friday, October 12, 2012

ඇමරිකාව සොයා ගත්තේ කවුද?


කොලොම්බස් ඇමරිකාවට පැමිණීම. සත්‍ය වශයෙන්ම ඔහු ආවේ ඇමරිකාවටද?Wikimedia Commons

ඇමරිකාව 'සොයාගත්තේ' ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් 1492 ඔක්තෝම්බර් 12 වනදා යයි පැවසුන නමුත් එය සහමුලින්ම වැරදි ප්‍රකාශයකි. කොලොම්බස් 1492 ඔක්තෝම්බර් 12 දින ගොඩබැස්සේ බහමාස් දූපත් සමූහයේ වන කුඩා දූපතකටය. සත්‍ය වශයෙන්ම, ඔහු කිසිදු දිනෙක වර්තමාන මහද්වීපික ඇමරිකා එක්සත් ජනපදයට (Continental United States) තබා උතුරු ඇමරිකාවටවත් පා තැබුවේ නැත. පුනරුද සමයෙහි ඇමරිකාවට පා තැබූ පළමු දේශ ගවේශකයා වූයේ පොන්ස් ඩි ලියොන් ය. ඔහු 1513 වසරේදී ෆ්ලොරීඩා ප්‍රදේශයට ගොඩ බැස්සේය. පුනරුද සමයෙහි උතුරු ඇමරිකාවට පැමිණි පළමු යුරෝපීයයා වූ ඉතාලි ජාතික ජුවාන් චබොටෝ හෙවත් ජෝන් කැබට් 1497 දී අද "අලුතින් සොයාගත් භූමිය" යන අරුතින් නිව් ෆවුන්ඩ්ලන්තය (New Foundland) නමින් හඳුන්වන ප්‍රදේශයට ගොඩ බැස්සේය. ඒ ඉංග්‍රීසි රජතුමා වෙනුවෙනි. එපමණක් නොව ඇමරිකා මහද්වීපයට ඒ නම දමන ලද්දේද තවත් දේශ ගවේෂකයකු වූ අමරිගෝ වෙස්පුචිගේ නම ඇසුරින් යයි කියවේ.

අමරිගෝ වෙස්පුචි (1454-1512), Wikimedia Commons

නමුත් උතුරු ඇමරිකාවට පළමුවෙන් ගොඩබට බටහිර යුරෝපීයයා ජෝන් කැබට් නොවීය. එරික් තෝර්වාල්ඩ්සන් හෙවත් රතු එරික්ගේ (Erik the Red) පුත්‍රයා වූ ලෙයිෆ් එරික්සන් ව්‍යවහාර වර්ෂ 1000 දී උතුරු ඇමරිකාවට පැමිණි බව සැලකේ. උතුරු ඇමරිකාවේ වයිකිංවරුන් ගොඩබට ප්‍රදේශ වින්ලන්තය නමින් හැඳින්වුනු අතර අද වනවිට උතුරු ඇමරිකාවේ (ග්‍රීන්ලන්තය හැරුණු විට) සොයාගෙන ඇති එකම වයිකිං ගම්මානය ඇත්තේ නිව් ෆවුන්ඩ්ලන්ත දූපතෙහිය.

නමුත් ඇමරිකාව 'සොයා ගැනීම' පිලිබඳ ගෞරවය ලැබිය යුත්තේ එම මහාද්වීපයේ ආදී වාසීන් වෙතය. ඔවුන් මීට වසර දහස් ගණනකට පෙර සිට බීරින්ජියාව (බීරිං සමුද්‍ර සන්ධිය සහ අවට ප්‍රදේශය. එකල මෙය ගොඩබිමින් වැසී තිබිණ) ඔස්සේ ආසියාවේ සිට පැමිණියේ යයි සැලකේ. මෙසේ සිදුවූ අවසන් සංක්‍රමණය මීට වසර 12,000 කට පමණ පෙර සිදු වන්නට ඇතැයි සැලකේ. යුරෝපීයයන්ගේ ආගමනයෙන් පසු ඔවුනට සිය වාසස්ථාන බොහොමයක් අහිමි විය. ඔවුන්ගේ ඉතිහාසය අකා මකා දැමිණ. උදාහරණයක් ලෙස ගතහොත්, කොලොම්බස්ගේ තවත් වරදක් නිසා, එනම් තමා පැමිණියේ ඉන්දියාවට යයි සිතූ නිසා, අදත් බොහෝ විට ඇමරිකාවේ ස්වදේශිකයින් "රතු ඉන්දියානුවන්" ලෙස හැඳින්වේ. අදටද, ස්වදේශික "ඉන්දියානුවන්ගෙන්" පැවතෙන්නන් බොහෝ උතුරු සහ දකුණු ඇමරිකානු රටවල වෙසෙති. එහෙත් ඒ බොහෝ රටවල ඔවුනගේ තත්ත්වය අයහපත්ය. ඔවුන් සිටින්නේ සමාජයේ පහලතම ස්ථරවලය.

එක්සත් ජනපදය ආදී ඇතැම් රටවල ඔක්තෝම්බර් 12 කොලොම්බස් අනුස්මරණ දිනය ලෙස සමරනු ලබයි. ස්පාඤ්ඤය ඔක්තෝම්බර් 12 සිය ජාතික දිනය ලෙස සමරන අතර අනෙකුත් ඇතැම් ලතින් ඇමරිකානු රටවලද එදින නිවාඩු දිනයක් වෙයි. තවද, 'ඇමරිකාව සොයාගත්' කොලොම්බස්ගේ චිත්‍ර සහ ප්‍රතිමා රැසක් ඉදි වී ඇත. නගර, ප්‍රාන්ත පමණක් නොව අභ්‍යාවකාශ ෂටලයක් සහ ඇස්ටරොයිඩයක් ද කොලොම්බස් නමින් නම් වී ඇත. ඔහුගේ නමින් රටක්ද නම් කරනු ලබා ඇත. එනම් කොලොම්බියාවයි. කෙසේ වුවද, කොලොම්බස් කිසිදු දිනෙක වර්තමාන කොලොම්බියාවට අයත් භූමි ප්‍රදේශයට ද පැමිණ නැත.

Tuesday, October 9, 2012

චේ ගුවේරාගේ අවසානයට ඔහුගේම වැරදි දායක වීද?


1967 ඔක්තෝම්බර් 8 වනදා බොලිවියානු හමුදා මගින් අල්ලා ගනු ලැබූ අර්නෙස්ටෝ 'චේ' ගුවේරා, ඊට පසු දින ලා හිගුවේරා නම් කුඩා ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල තුලදී වෙඩි තබා ඝාතනය කරන ලදී. මේ අනුව, ලෝකයේ සුප්‍රසිද්ධම මාර්ක්ස්වාදී විප්ලවවාදියාගේ කෙටි, එහෙත් වර්ණවත් ජීවිතය අවසන් විය. (ඔහුගේ අවසාන මොහොත පිලිබඳ කියවීමට ධම්මික සඳරුවන් සහෝදරයාගේ මෙම ලිපිය බලන්න). ඊට වසර 12 කට පෙර, මෙක්සිකෝවේදී ෆිදෙල් කැස්ත්‍රෝ මුණගැසීමෙන් පසු කියුබානු විප්ලවයට එකතු වූ චේ, එහිදී විශාල කාර්යභාරයක් ඉටු කළේය. විප්ලවයෙන් පසු කියුබානු රජය තුල වැදගත් තනතුරු කිහිපයක්ම දරූ හෙතෙම සිය අත් දැකීම් ඇසුරින් "ගරිල්ලා යුධ ක්‍රම" යන පොතද ලිවීය. නමුත් පසුව කියුබාවේ සුව පහසුකම් සියල්ල අතහැර චේ විප්ලවවාදී සටන් වෙත යළි නැඹුරු විය.

මෙසේ නැවත සටන් මගට බට චේ කොංගෝවේ සහ බොලිවියාවේ විප්ලවවාදී ව්‍යාපාර දෙකකට සම්බන්ධ විය. කොන්ගෝ ව්‍යාපාරය අවාසනාවන්ත ලෙස කෙළවර විය. බොලිවියාවේදී චේ ජීවිතයෙන් ද වන්දි ගෙව්වේය.

ඇල්බර්ටෝ කොර්ඩා විසින් 1960දී ගනු ලැබූ චේ ගුවේරා ගේ සුප්‍රසිද්ධ ඡායාරූපය, Wikimedia Commons.

මෙම සටන් ව්‍යාපාර දෙකම අසාර්ථක වීමට බලපෑ මූලික හේතුවක් වූයේ කියුබාවේ අත් දැකීම ඒ අයුරින්ම ඒ රටවලද උපයෝගී කරගැනීමට උත්සාහ කිරීමය. කියුබාවේදී ගරිල්ලන් භාවිතා කල සටන් උපාය වූයේ, රජයේ හමුදාවලට පහසුවෙන් ලඟා විය නොහැකි ප්‍රදේශයකට ඇතුළු වී කෙමෙන් කෙමෙන් ජනතා සහය ලබා ගනිමින් සටන ව්‍යාප්ත කිරීමය. කියුබාවේදී, සටන මුලදීම සිදුවූ ඇතැම් අබග්ගයන්ගෙන් පසු එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ගරිල්ලන්ට හැකි විය. කෙමෙන් කෙමෙන් ජනතා සහය ඔවුනට ලැබුන අතර, හර්බර්ට් මැතිව්ස්ගේ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා හේතුවෙන් ඇමරිකාවේද ෆිදෙල් කැස්ත්‍රෝගේ කැරලිකාර හමුදාව කෙරෙහි ඇතිව තිබුනේ ධනාත්මක ප්‍රතිරූපයකි. මෙසේ යම් යම් වාසනාවන්ත තත්ත්වයන්ගේද උපකාරයෙන් ගරිල්ලෝ හවානා වෙත ගමන් කළෝය.

සිය "ගරිල්ලා යුධ ක්‍රම" කෘතියෙහි චේ ගුවේරා පවසා සිටින්නේ, "විප්ලවය සඳහා අවැසි සියලු කරුණු සම්පූර්ණ වනතුරු බලා සිටීම අනවශ්‍යය. අරගලය විසින් අනෙක් කරුණු සම්පූර්ණ කරනු ඇත" යනුයි. මෙය බොහෝ විට සත්‍යයක් වීමට ඉඩ තිබුනද, ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඕනෑම ව්‍යාපාරයකට ජනතා සහාය නිතැතින්ම ලැබෙනු ඇති සිතීම අපහසුය. ඇතැම් හේතූන් මත එසේ නොවීමට ඉඩ ඇත.

මෙය චේ ගුවේරා කොන්ගෝවෙදී සහ වෙසෙසින්ම බොලිවියාවේදී මුහුණ පෑ ගැටලුවකි. විශේෂයෙන්ම බොලිවියාවේ විප්ලවයක් සඳහා බොහෝ කරුණු සම්පූර්ණ වී තිබූ බව කිව හැක. නමුත් එම සටන් ව්‍යාපාරයට නායකත්වය දුන්නේ කියුබානුවකු වීම බොලිවියානුවනට ගැටලුවක් විය. ඔවුනට චේ ගුවේරාගේ ජාත්‍යන්තරවාදය අවබෝධ කරගැනීමට නොහැකි වූ සේය. කියුබානුවන් සහ බොලිවියානුවන් අතර ඇතිවූ මත ගැටුම් මුළු සටන් ව්‍යාපාරය පුරාවටම ප්‍රශ්න ඇති කළේය. කියුබාවේදී චේ ගුවේරා විශාල කාර්යභාරයක් කලද ඔහු සටන් කලේ කියුබානුවන්ගේ සටනක කියුබානුවෙකුගේ නායකත්වය යටතේය. නමුත් බොලිවියාවේදී ඔහු බොලිවියානුවනට පෙනෙන්නට ඇත්තේ ඔවුනගේ සටනකට නායකත්වය දෙන කියුබානුවෙකු ලෙසය. ඉතා සුළු පිරිසක් හැරුණු විට බෝලීවියානුවෝ ඔහුට සහය නොදුන්නාහ.

චේ ගුවේරාගේ "බොලිවියානු දිනපොත" සඳහන් කරන සටහන් ගණනාවකින්ම මෙම අසමගිය පැහැදිලි වේ. බොලිවියානු හමුදා සමග වූ සටනකින් පළමුවෙන් මිය ගියේ කියුබානුවෙකි. බොලිවියානු සටනේදී මුලින්ම හැලුනේ කියුබානුවෙකුගේ රුධිරය බව ප්‍රකාශ කරන්නට තරම් චේ කටයුතු කලේ දෙපක්ෂයේ අසමගිය සමහන් කිරීමටය. කොන්ගොවේදීද, කැරලිකාර හමුදා සෙබළු පිටස්තරයෙකු පැමිණ ඔවුනට කල යුතු දෑ සහ නොයුතු දේ කියා දීම නොරිස්සූහ. බොලිවියාවේ තත්ත්වයද ඊට වඩා වැඩියෙන් යහපත් නොවීය.

එපමණක් නොව බොලිවියානු කොමියුනිස්ට් පක්ෂයද චේ ගුවේරාගේ සටනට සහය නොදැක්වීය. චේ ගුවේරා ද පක්ෂය විවේචනය කරමින් සිය "බොලිවියානු දිනපොතේ" තැනක ලියා ඇත්තේ එය අවිශ්වාස සහගත, මෝඩ පක්ෂයක් ලෙසය. එසේම, සටනට සහාය ලබා ගැනීමට තිබූ අනෙක් දිශාව වූ හවානා නගරය සමග සන්නිවෙදනයද බිඳ වැටුනේ චේගේ කණ්ඩායම සතුවූ කෙටි තරංග ගුවන් විදුලි සම්ප්‍රේෂණ කට්ටල දෝෂ සහගත වීමෙනි. මේ අනුව, බොලිවියානු කොමියුනිස්ට් පක්ෂයෙන්, සාමාන්‍ය වැසියන්ගෙන් සහ හවානා නගරයෙන් වෙන් වූ හුදෙකලා සටනක චේ නිරත වූයේය. ඒ අතර ඔහුගේ ගරිල්ලන් අසමගිකමින් පෙළුන අතර බොලිවියානු හමුදාවට ඇමරිකානු යුධ ආධාර ලැබුණි.

මෙවන් තත්ත්වයක් යටතේ, සටන දිගටම කරගෙන යාම විකාරයක් වී යයි කිව හැක. නමුත් චේ මේ කිසිවකින් අධෛර්යය නොවීය. එයම ඔහුගේ අවසානය ඉක්මන් කළේය. ඇතැම්විට, හවානා නගරය සමග සම්බන්ධය තිබුණි නම් ඔහුට සටන නවතා ආපසු එන ලෙස කැස්ත්‍රෝගෙන් උපදෙස් ලැබීමට ඉඩ තිබිණ. කොන්ගෝවෙදී වරක් එය සිදු වූ නමුත් බොලිවියාවේදී චේ ගලවා ගැනීමට කෙනෙක් නොවීය.

බොලිවියානු හමුදා සමග, වෙසෙසින්ම සටනෙහි මුල් කාලයේදී, පැවති සටන් සැම එකකදීම ඔවුනට වැඩි හානි කිරීමට ගරිල්ලන්ට හැකි විය. මෙය චේගේ ධෛර්යය වර්ධනය කිරීමට හේතු වන්නට ඇත. නමුත්, වැඩි කල් නොගොස් විශාල හමුදා සේනාංක ප්‍රදේශය පුරා සරි සරන්නට වූහ. ජනතා සහය නොමැති වීමෙන්, අනතුරකින් තොරව ගම්මානයකට පැමිණීමද ගරිල්ලන්ට පහසු වූයේ නැත. එක අවස්තාවක ගරිල්ලා කණ්ඩායම දෙකොටසකට කැඩී වෙන්ව ගියේ නැවත එක් වන බලාපොරොත්තුවෙන් වුවද ඔවුන් කිසිදා එක් වූයේ නැත. ඒ අනෙක් කණ්ඩායමද බොලිවියානු හමුදා විසින් වටලන ලදුව සමූලඝාතනය විය. 1967 ඔක්තෝම්බර් 8 වනදා සිදු වූයේ ගරිල්ලන්ගේ අවසන් සටනය. චේ ගුවේරා ඝාතනය එම අවාසනාවන්ත සටනේ අවසන් ජවනිකාවලින් එකක් විය. ඔහුගේ ගරිල්ලා කණ්ඩායමෙන් දිවි ගලවා ගත්තේ අතලොස්සකි.

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ජාත්‍යන්තරවාදියෙකු වූ අර්නෙස්ටෝ චේ ගුවේරා, බොලිවියානුවන්ද එසේ තමාව පිළිගනු ඇතැයි ද එහෙයින්ම ඔහුගේ සටන ජයගනු ඇතැයි ද සිතන්නට ඇත. ඔහුගේ එම තීරණාත්මක වරද ඔහුට සිය ජීවිතයද අහිමි කළේය.

මූලාශ්‍ර

1. Rooney, D. Guerrilla: Insurgents, Patriots and Terrorists from Sun Tzu to Bin Laden, Brassey's, London (2004)

2. Guevara, Ernesto (Che), Guerrilla Warfare (1961)

3. Guevara, Ernesto (Che), Bolivian Diary (1966-67) මාලිනි ගෝවින්නගේ පරිවර්තනය, 2004

Monday, October 8, 2012

චාවේස් නැවතත්!


වෙනිසියුලාවේ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති හියුගෝ චාවේස් ජයග්‍රහණය කළේය. මේ අනුව ඔහු තවත් වසර හයක කාලයක් සඳහා ජනාධිපති ලෙස පත් වනු ඇත.

වික්ටර් සොආරෙස්, "හියුගෝ චාවේස් (2003 බ්‍රසීලයේ පෝර්ටෝ අලග්‍රේ හිදී)", Hugo Chávez in Porto Alegre, Brazil. Jan/26/2003, Victor Soares, AgenciaBrasil. Wikimedia Commons



හියුගෝ චාවේස් වෙනිසියුලාවේ දේශපාලන කරලියට කඩා වැදුනේ 1992 පෙබරවාරි 4 වනදා දියත් කල අසාර්ථක හමුදා කුමන්ත්‍රණයකිනි. ඉන් වසර 6 කට පසු 1998 දී පැවති ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් ලැබූ අතර පසුව 2000 සහ 2006 වසරවලදී ද පැවති ජනාධිපතිවරණ ජය ගත්තේය. චාවේස් තමාගේ වීරයා ලෙස සලකන්නේ ලතින් ඇමරිකානු නිදහස් සටනේ ප්‍රධාන නියමුවෙකු වූ සයිමන් බොලිවාර්ය. මෙවර ජනාධිපතිවරණය ජයගත් පසුද ඔහු ප්‍රකාශ කලේ "21 වන සියවසෙහි ප්‍රජාතාන්ත්‍රික සහ බොලිවාරියානු සමාජවාදී මාවත ඔස්සේ වෙනිසියුලාව දිගටම ගමන් කරනු ඇත" කියාය.

මෙවර ජනාධිපතිවරණය චාවේස් මුහුණ දුන් අසීරුම ජනාධිපතිවරණයය. වයස අවුරුදු පනස් අටක් වන ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ තවමත් හතලිස්වන වියෙහි පසු වන සාපේක්ෂව තරුණ පුද්ගලයෙකි. චාවේස් ජනාධිපතිවරණයෙදී 54.66% චන්ද ප්‍රතිශතයක් ලැබූ අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හෙන්රිකේ කප්‍රිලෙස් ලැබූ ඡන්ද ප්‍රමාණය 44.73% විය. මැතිවරණය කෙරෙහි විශාල උද්‍යෝගයක් පැවති බව මුළු ඡන්දදායකයන්ගෙන් 81% ක් ඡන්දය භාවිතා කිරීමෙන් පැහැදිලි වේ. 2006 ජනාධිපතිවරනයේදී 63% කට ආසන්න ප්‍රතිශතයක් ඡන්ද ලැබූ චාවේස් ජනප්‍රියත්වයෙන් මදක් පසු බා ඇති බවක් පෙනේ. වඩා යහපත් ජනපතිවරයෙකු වීමට තමා උත්සාහ කරන බවට ඔහු ජනතාවට පොරොන්දු වූයේ එබැවින් විය හැක. නමුත් මීට මාස කිහිපයකට පෙර පිළිකා රෝගය හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ චාවේස් මේ ලැබූ ජයග්‍රහණය අගය කල යුතුය.

හියුගෝ චාවේස්ගේ ප්‍රධානතම ආධාරකරුවන් වන්නේ වෙනිසියුලාවේ දුප්පත් ජනතාවය. චාවේස් බලයට පැමිණීමෙන් පසු ඔවුනගේ ජීවන තත්ත්වයෙහි වෙනස්කම් රැසක් සිදු විය. නමුත් තවත් කල යුතු දේ බොහොමයක් ඇති බව පැහැදිලිය. ජනතාවගේ අවශ්‍යතාවලට වඩාත් ඵලදායී සහ කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට චාවේස් පොරොන්දු වූයේය. තමාට විරුද්ධව වෙනදාට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුන බව පිළිගනිමින් හෙතෙම තමාට විරුද්ධව ඡන්දය භාවිතා කල ඡන්දදායකයින්ටද ස්තූති කළේය.

චාවේස් මෙවර මුහුණ දුන්නේ සුළුපටු අභියෝගයකට නොවේ. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හෙන්රිකේ කප්‍රිලෙස් සමඟ පක්ෂ තිහක් පමණ එකතු වී සිටියේය. මැතිවරණයෙන් පසු සිය ආධාරකරුවන් ඇමතූ කප්‍රිලෙස් කියා සිටියේ, රටෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තමාගේ ප්‍රතිපත්තිවලට එරෙහි බව ජනාධිපති චාවේස් අවබෝධ කරගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවය. එසේ බෙදුණු රට එකතු කිරීමට නම් ජනාධිපතිවරයා සියලු වෙනිසියුලා වැසියන් වෙනුවෙන් කටයුතු කල යුතු බවද ඔහු කියා සිටියේය.

හියුගෝ චාවේස්ගේ මීළඟ ධූර කාලය 2013 ජනවාරි 10 වනදා ඇරඹීමට නියමිතය.