Thursday, June 2, 2016

පළමු ලෝක යුද්ධය​: 1916 බටහිර පෙරමුණෙන් එපිට

බටහිර පෙරමුණේ වර්ඩුන් සහ සෝම් සංග්‍රාමයන් දෙස යුද්ධයේ වැඩි අවධානය යොමු වද්දී අවශේෂ සටන් පෙරමුණුවලදීද වැදගත් සටන් කිහිපයක්ම සිදු විය.

නැගෙනහිර පෙරමුණ​: රුසියාව සහ රුමේනියාව​

ජර්මනියේ අවධානය වර්ඩුන් සටනින් ඉවතට ගන්නා අටියෙන් 1916 දී රුසියානුවෝ දැවැන්ත ප්‍රහාරයක් දියත් කළහ​. වර්තමාන ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස් නගරයට කිලෝමීටර් 95 ක් පමණ ඊසානදිගින් වන නාර්කෝස් විල් අසබඩින් මෙම රුසියානු ප්‍රහාරය ඇරඹිණ​. එහෙත් එම ප්‍රහාරය අසාර්ථක වූ අතර ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරගනිමින් රුසියානුවෝ පසුබැස ගියෝය​.

ට්‍රෙන්ටිනෝ ප්‍රදේශයේ සිට ඔස්ට්‍රියානුවන් විසින් දියත් කෙරුණ ප්‍රහාරයකින් ඉතාලිය දැඩි අපහසුතාවකට පත් වන අතරවාරයේ එරටට එල්ල වූ පීඩනය අඩු කිරීම ද අරමුණු කරගෙන රුසියානු ප්‍රහාරයක් ඔස්ට්‍රා-හන් ගේරියාවට එල්ල වූයේ 1916 ජූනි මාසයේය​. රුසියානු නිරිතදිග පෙරමුණේ අණදෙන නිලධාරියා වූ ජෙනරාල් ඇලෙක්සේයි බෘසිලොව් විසින් මෙම මෙහෙයුමට අණ දෙනු ලැබීය​.
Eastern Front, March 1916. Department of Military Art and Engineering, at the U.S. Military Academy (West Point)

සැප්තැම්බර් මාසය වනවිට එම ප්‍රහාරය අවසන් වූ අතර 500,000 ක පමණ ඔස්ට්‍රා-හංගේරියානු සිරකරුවන් පිරිසක් අල්ලාගැනීමට රුසියානුවෝ සමත් වූහ​. කාර්පේතියානු කඳුකරය දෙසටම පැමිණීමට රුසියානු හමුදාවලට හැකි විය​.

බෘසිලොව්ගේ ජයග්‍රහණවලට හේතු වූ එක කරුණක් වූයේ නිරවද්‍ය කාලතුවක්කු ප්‍රහාරයන් ය​. තවද​, දහස් ගණනින් මිනිසුන් රැළි වශයෙන් ප්‍රතිවාදීනගේ ප්‍රබල ස්ථාන වෙත යොමු කරනු වෙනුවට සටන් පෙරමුණෙහි දුර්වල ස්ථාන සොයාගෙන එදෙසට පහර දීමෙන් පෙරමුණ දුර්වල කිරීම ඔහු ගත් තවත් උපක්‍රමයකි.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඉතාලිය කෙරෙහි වූ පීඩනය මෙන්ම වර්ඩුන් කෙරෙහි වූ පීඩනය ද අඩු වූ අතර ඔස්ට්‍රා-හන් ගේරියානු හමුදාවලට දැඩි අලාභ සිදු වූයේය​. පළමු ලෝක යුද්ධයේදී රුසියානු හමුදා ළඟා වූ උච්චතම ස්ථානය මෙය වූයේය​.

රුසියානු ප්‍රහාරවල සාර්ථකත්වය පිළිබඳව මෙන්ම යුධ ජයග්‍රහණයෙන් පසු සිය සේවයට ත්‍යාගයක් ලෙස ඔස්ට්‍රා-හන් ගේරියාවට අයත් ව තිබූ ට්‍රන්සිල්වේනියාව ලබාගැනීමේ අභිලාශය ඇතිව රුමේනියාව මිත්‍ර පාර්ශවයට එක්ව යුද්ධයට අවතීර්ණ වූයේ අගෝස්තු 27 වනදාය​. ජර්මන් මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ෆොල්කන්හයින් සිය ධූරයෙන් ඉවත්ව නැගෙනහිර පෙරමුණේ සටන් මෙහෙයවීමට පැමිණි අතර ෆීල්ඩ් මාර්ශල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් ඔහුගෙන් පුරප්පාඩු වූ තනතුරට පත් කෙරිණ​. ජෙනරාල් එරික් ලූඩන්ඩෝර්ෆ් හමුදාවේ ක්වාටර්මාස්ටර්ජෙනරල් ලෙස පත් කෙරිණ​. මීළඟ දෙවසරක කාළය තුළ ජර්මනියේ සැබෑ පාලකයෝ වූවෝ ඔවුහු ය​.

අගෝස්තු 27 වනදා රුමේනියානු හමුදා ට්‍රන්සිල්වේනියාවට කඩා වැදුණ අතර සැප්තැම්බර් මුලදී ජර්මනිය ඇතුලු මධ්‍ය බලවතුන් ඔවුනට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කළහ​. වැඩි දිනක් යාමට මත්තෙන් බටහිර දෙසින් ජර්මනිය සහ ඔස්ට්‍රා-හන්ගේරියාව රුමේනියාවට පහර දෙද්දී දකුණින් බල්ගේරියාව සහ තුර්කිය එරටට පහර දුන්හ​​. මෙසේ පෙරමුණු දෙකකදී මධ්‍ය බලවතුන් සිව් දෙනාම සමඟ ගැටීමට රුමේනියාවට සිදු විය​.
Gen. Alexei Brusilov

1917 ජනවාරි වනවිට රුමේනියානු හමුදා යුද්ධයට පෙර ඔවුනට අයත්ව තිබූ ඇතැම් ප්‍රදේශවලින් ද පළවා හරිනු ලැබ තිබුණි. මධ්‍ය බලවතුන් අතට පත්වීමට පෙර ප්ලොඑස්ටි තෙල් ආකරවලට හානි පැමිණවීමට රුමේනියානුවෝ සමත් වූහ​. කෙසේ වෙතත් මෙම තෙල් ආකර මධ්‍ය බලවතුන් අතට පත් වීම ඔවුන් ලද වැදගත් ජයග්‍රහණයක් විය​.

රුමේනියාව යුද්ධයට අවතීර්ණ වීම මධ්‍ය බලවතුනට එක්තරා ආකාරයක වෙස්වලාගත් ආශීර්වාදයක් විය​. යුරෝපයේ කලු මුහුද ආශ්‍රිත ප්‍රදේශයෙන් බටහිරට වන්නට එවක පැවති හොඳම තෙල් ආකර මෙන්ම යුරෝපයේ තිරිඟු නිෂ්පාදනය කෙරෙන ප්‍රධානතම ප්‍රදේශයක් රුමේනියාවේ කොටසක් අල්ලාගැනීමත් සමඟ මධ්‍ය බලවතුනට හිමි විය​.

ඉතාලි පෙරමුණ​

1916 මාර්තුවේ ඉසොන්සෝ නදිය අසළ ඔස්ට්‍රියානුවන්ට පස්වැනි වරටත් පහර දුන් ඉතාලි හමුදා පරාජයට පත් වූහ​. මේ අතර ඔස්ට්‍රා-හන්ගේරියානු හමුදා ට්‍රෙන්ටිනෝ දෙසින් ඉතාලිය වෙත කඩා වැදී ඉසොන්සෝ නදී පෙරමුණෙහි වූ ඉතාලි හමුදා පෙරමුණට පසුපසින් පහර දීමේ උත්සාහයක් දැරූහ​. මෙම උත්සාහය අසාර්ථක වූයේ ඉසොන්සෝ වෙත පිටිපසින් ළඟාවීමට තරම් ශක්තියක් ඔස්ට්‍රියානු හමුදා සේනාංක සතු නොවූ හෙයිනි.

අගෝස්තු මාසයේදී වර්තමාන ඊසාන දිග ඉතාලියේ පිහිටි ගොරිසියාව ඉතාලි හමුදා අතට පත්විය​. මේ අතර අගෝස්තු-නොවැම් බර් සමයේදී තවත් තීරණයක් නොමැති සටන් හතරක් ඉසොන්සෝවේදී සිදු විය​.

බෝල්කන් අර්ධද්වීපය​

බෝල්කන් ප්‍රදේශවල විවිධ යුධ මෙහෙයුම් කිහිපයක්ම 1916 වසර පුරාවට දකින්නට ලැබුණි. මේ අතරවාරයේ ග්‍රීසිය සම් බන් ධ බල අරගලය කලාපයට වැදගත් වූවක් විය​.

ග්‍රීසියේ රජු වූ පළමුවන කොන්ස්ටන්ටයින් යුද්ධයේදී තම රට මධ්‍යස්ථව කටයුතු කරන බව ප්‍රකාශ කළේය​. නමුත් මිත්‍ර පාක්ෂිකයන් චෝදනා කළේ ඔහු මධ්‍ය බලවතුනට ආධාර කරන බවය​. මිත්‍ර රටවල බලපෑම මත 1915 දී සර්බියාව බේරා ගැනීම සඳහා හමුදා යවනු පිණිස සැලෝනිකාව (වර්තමාන තෙසලොනිකි නගරය​) විවෘත කිරීමට රජුට සිදු විය​. කෙසේ වෙතත් එවන් කුඩා උපකාරයකින් සෑහීමට පත් වීමට මිත්‍ර පාක්ෂිකයන් සූදානම් නොවීය​.

තමන් කැමති වුනත් නැතත් යථාර්තයට මුහුණ දීමට කොන්ස්ටන්ටයින් රජුට සිදු විය​. ග්‍රීසිය පැවැතියේ උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක ය​. තවද බෝල්කන් ප්‍රදේශවලට විශාල හමුදාවක් යැවීමට නම් ග්‍රීසිය ඉතා වැදගත් මධ්‍යස්ථානයක් විය​. එහෙයින් ග්‍රීසිය තමන් වෙත හරවා ගැනීමට මිත්‍ර පාක්ෂිකයින් නොගත් උත්සාහයක් නැත​.

මිත්‍ර පාක්ෂිකයනට සහය දැක්වූ හිටපු ග්‍රීක අගමැති එලෙයුතෙරියොස් වෙනිසෙලොස් 1916 සැප්තැම්බරයේදී සැලෝනිකා නගරයෙහි තාවකාලික ග්‍රීක ආණ්ඩුවක් පිහිටෙව්වේය​. මෙම ආණ්ඩුව නොවැම්බර් 3 වනදා ජර්මනියට සහ බල්ගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. මේ අතර බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා ග්‍රීසිය නාවික වටලෑමකට යටත් කළහ​. දෙසැම්බර් 19 වනදා බ්‍රිතාන්‍යය විසින් තාවකාලික ග්‍රීක ආණ්ඩුව පිළිගන්නා ලදී.

මේ අතර ප්‍රතිසංවිධානය කරන ලද සර්බ් බල ඇණි ද ඇතුලුව මිත්‍ර හමුදාවෝ 1916 අගෝස්තුවේදී සැලෝනිකාවෙන් උතුරට අසාර්ථක ප්‍රහාරයක් දියත් කළ හ​. මෙහි පරාජයෙන් පසු ඔක්තෝබරයේදී නැවතත් මිත්‍ර හමුදා සැලෝනිකාවෙන් උතුරට ගමන් කර මැසඩෝනියාව හරහා මධ්‍ය බලවතුන් පළවා හැරියෝය​. එම හමුදා දෙසැම්බර් මැද වනවිට මැසඩෝනියා-ඇල්බේනියා දේශ සීමාවේ ඔහ්‍රිඩ් විල අසළට පැමිණියහ​.

තුර්කි සටන් පෙරමුණු

1915 දෙසැම්බර් මුලදී වටලන ලද කුට්-අල්-අමාරා නගරයෙහි වූ මිත්‍ර හමුදා 1916 අප්‍රේල් 29 වනදා යටත් වූහ​. මේ අතර 1916 දෙසැම්බරයේදී කුට්-අල්-අමාරා යළි අල්වාගනු පිණිස මිත්‍ර හමුදා සේනාංක දකුණු ඉරාකයේ සිට ගමන් ආරම්භ කළේය​.

අරාබියේ මක්කම ප්‍රධාන ෂාරිෆ්වරයා වූ හුසේන් ඉබන් අලි සාම්ප්‍රදායික අරාබි ජාතකයකු වූ අතර තුර්කි විරෝධියකු විය​. ඔහු තුර්කි පාලනයට එරෙහිව ඇති වූ හෙජාස් කැරැල්ලට නායකත්වය දුන්නේ බ්‍රිතාන්‍ය ආධාර යටතේ ය​. මේ අතර 1916 දෙසැම්බරයේදී ඔහු හෙජාස් හි රජු ලෙස ප්‍රකාශයට පත් කෙරිණ​. කැරැල්ලට ආධාරයක් වනු පිණිස බ්‍රිතාන්‍යයෝ ඊජිප්තුවේ සිට සිනායි අර්ධද්වීපය සහ පලස්තීනයට කඩාවැදී තුර්කි බලකොටු කිහිපයක් අල්ලා ගත් හ​.

ජට්ලන්ත සංග්‍රාමය​

යුද්ධාරම්භය වන විට බ්‍රිතාන්‍යයේ ගැඹුරු මුහුදු නාවික බල ඇණිය ඕර්ක්නි දූපත් හි ස්කාපා ෆ්ලෝ හි නවතා තිබුණේය​. මේ අතර තවත් බල ඇණියක් ඉංග්‍රීසි ඕඩය ආරක්ෂා කිරීමට යොදවා තිබිණ​.

ජර්මනිය සතුවද ප්‍රබල නාවික බල ඇණියක් විය​. එරට උතුරු මුහුදු තොටුපලවල් ආශ්‍රිතව එම නැව් නවත්වා තිබිණ​. මේ අතර ඩ්‍රෙඩ්නෝට් (Dreadnought) වර්ගයේ නෞකා 13 ක් ද විය​.

යුද්ධය ඇරඹී නොබෝ දිනකින්ම උතුරු මුහුදේ ජර්මන් දූපතක් වූ හෙලිගෝලන්තය අසළ රඳවා තිබූ නෞකා ඇණියට පහර දුන් බ්‍රිතාන්‍යයෝ ජර්මන් නැව් තුනක් ගිලාබත් කළහ​. ඊට එකටෙක කිරීමක් ලෙස ජර්මන් සබ්මැරීන විසින් බ්‍රිතාන්‍ය නැව් කිහිපයක් ගිල්වන ලදී. 1914 ඔක්තෝබර් 27 වනදා ඔඩේෂස් (Audacious) නෞකාව ගිල්වීම මේ අතරින් දරුණුතම සිදුවීම විය​.

කෙසේ වෙතත් මින් පසු ජර්මන් උතුරු මුහුදු නෞකා බල ඇණියට එරෙහිව මිත්‍ර පාක්ෂික නෞකා විසින් කිසිදු ප්‍රහාරයක් නොකෙරුණ තරම් ය​. මයින් වෙඩි විසිරුවා හැර තිබූ හෙයින් ජර්මන් වෙරළට ළඟාවීම එතරම් ආරක්ෂා සහගත නොවීය​. නමුත් අනෙක් අතට, බ්‍රිතාන්‍ය නාවික හමුදාව පරාජය කිරීමට තරම් විශාල නෞකා හමුදාවක් ජර්මනිය සතු නොවීය​.

නමුත් 1916 මැයි මාසයේ දිනෙක ජර්මන් නෞකා සිය ආරක්ෂිත වරායවලින් පිටතට පැමිණ බ්‍රිතාන්‍යයන්ට අභියෝග කළේය​. එදින සිදු වූ ජට්ලන්ත සංග්‍රාමයේදී ජර්මන් නෞකා බ්‍රිතාන්‍ය බල ඇණියකට පහරදී විදුලි වේගයෙන් පසු බා ගියහ​. සටනේ වැඩි අලාභහානි බ්‍රිතාන්‍යයට සිදු වූ නමුත් බ්‍රිතාන්‍ය නාවික ශක්තියට පහර දීමට එවන් කෙනිත්තීමක් ප්‍රමාණවත් වූයේ නැත​.

සාමය සඳහා යෝජනා

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති වුඩ් රෝ විල්සන් 1916 දී සාම සාකච්ඡා සඳහා යෝජනාවක් දෙපක්ෂය වෙතටම යොමු කළේය​. මෙහිදී මධ්‍ය බලවතුන් විසින් ඊට කැමැත්ත පළ කෙරිණ​. නමුත් ඒ පිළිබඳ ඔවුන් කිසිදු කොන් දේසියක් ඉදිරිපත් කළේ නැත​. තවද​, එවකට යුද්ධයේ වැඩි වාසි තිබුණේද ඔවුනටය​. එහෙයින් මිත්‍ර පාක්ෂිකයෝ එම යෝජනාව ප්‍රතික්ෂේප කළහ​.

කළින් ලිපිය​: වර්ඩුන් සහ සෝම්

2 comments:

  1. බ්‍රිතාන්‍යට ඉදිරියෙන් සිටීමට හැකිවුනේ ඔවුන්ගේ නාවික හමුදාවේ ශක්තිය නිසා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. දූපතක් වීම සහ නාවික හමුදාව ශක්‍තිමත් වීම නිසා බ්‍රිතාන්‍යය එක්ක හැප්පෙන එක පහසු වුනේ නැහැ. අනෙක තම යටත් විජිත අතර සම්බන්ධය තබා ගැනීම වගේම ප්‍රතිවාදියාගේ යටත් විජිත තනි කිරීමත් බ්‍රිතාන්‍යයට අමාරු වුනේ නෑ.

      මීට විරුද්ධව ජර්මනිය යොදාගත් උපක්‍රමය වුණේ සබ්මැරීන හෙවත් යූ-බෝට්ටු. ඒ ගැන ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වන්න​ :)

      Delete