Thursday, October 15, 2020

අපේ කාලයේ වීරයෙක්: මිහායිල් ලෙර්මන්තෆ්

මිහායිල් ලෙර්මන්තෆ් 19 වන සියවසෙහි රුසියානු සාහිත්‍යයේ පිබිදීම සංකේතවත් කළ එක් ප්‍රධාන සාහිත්‍යකරුවෙකු ලෙස සැලකෙනවා. වයස අවුරුදු 27ක් පිරෙන්නත් පළමුවෙන් මියගිය ඔහු කවියෙකු ලෙස එම කෙටි කාලය තුළ රුසියාවේ දී දිනාගත් නාමය දෙවෙනි වන්නේ අලෙක්සන්දර් පුෂ්කින්ට පමණයි. ඔහු ලියූ එකම දිගු කතාව වූ "අපේ කාලයේ වීරයෙක්" කෘතිය ද බෙහෙවින් ජනාදරයට පත් වුණා. මීට අමතර ව ලෙර්මන්තෆ් කුසලතාවයෙන් පිරි චිත්‍ර ශිල්පියෙකු ද ලෙස සැලකෙනවා.

රදල පරපුර​

ලෙර්මන්තෆ්ගේ ළමා කාලය නම් එතරම් යහපත් එකක් වූයේ නැහැ. ඊට හේතු වූයේ ඔහුගේ පියා පිළිබඳ මවගේ පවුල දැක්වූ නොකැමැත්ත යි. 1814 ඔක්තෝබර් 15 වන දා උපන් ලෙර්මන්තෆ්ගේ පියා එතරම් මුදල් හදල් නොතිබූ හමුදා නිලධාරියෙකු වුණා. නමුත් ඔහුගේ මව රුසියාවේ ප්‍රධානම රදල පවුලක තැනැත්තියක වුණ අතර ඇගේ මව වංශවත් ස්තලීපින් පවුලෙහි කාන්තාවක වුණා. මේ ස්තලීපින් පවුලේ පසුකාලීනයෙකු වූ පියතෝර් ස්තලීපින් 20 වන සියවස මුල් කාලයේ රුසියාවේ අගමැති ධුරයට ද පත් වුණා.

මිහායිල්ගේ පියා සහ මවගේ පවුල අතර වූ ආරවුල උග්‍ර වූයේ මවගේ අභාවයත් සමග යි. ඔහුගේ මවගේ මරණය සිදුවන විට මිහායිල් ලෙර්මන්තෆ්ගේ වයස අවුරුදු තුනක් වුණා. මේ අවස්ථාවේ ඔහුගේ මිත්තණිය මිහායිල්ගේ භාරකාරත්වය පවරා ගත්තා. ඔහුගේ පියාට ඇය කියා සිටියේ දරුවාගේ භාරකාරත්වය ඉල්ලා සිටියහොත් දරුවාට උරුම දේපළ සඳහා අයිතිය අහෝසි කරන බව යි. මේ අනුව මිහායිල් ලෙර්මන්තෆ්ගේ පියාගෙන් ඔහු උදුරා ගනු ලැබුණා.

තම ඉරණම පිළිබඳ මිහායිල්ගේ පියා බොහෝ සෙයින් ශෝකයට පත් වූ අතර ඔහු 1831 දී මියගියේ මානසික ව කඩා වැටුණ අයෙකු ලෙස යි. සිය පියාගේ ඉරණම, මිහායිල් ලෙර්මන්තෆ් තුළ ද විශාල කම්පනයක් ඇති කළ බව සඳහන්.


ලෙර්මන්තෆ් හැදී වැඩුණේ මොස්කව් නගරය අසල සෙරෙද්නිකෝවෝ මන්දිරයේ යි. මීට වසර ගණනකට පසු අනාගත අගමැති පියතෝර් ස්තලීපින් ද හැදී වැඩුණේ එම මැදුරේ යි. නමුත් ලෙර්මන්තෆ් සිය අනාගත ඥාතියා මෙන් දැඩි මතධාරී රාජාණ්ඩුවාදියෙකු වූයේ නැහැ. ලෙර්මන්තෆ්ට නිවසේ දී ඉගැන්වීම සිදු කෙරුණ අතර ඔහු ප්‍රංශ සහ ජර්මන් භාෂාවන් ද, චිත්‍ර කලාව ද මනා සේ ඉගෙන ගත්තා.

කවියෙකුගේ මරණය​

ලෙර්මන්තෆ්ගේ සෞඛ්‍ය තත්ත්වය නිතර අයහපත් අතට හැරීම හේතුවෙන් ඔහුගේ මිත්තණිය ඔහු ව කොකේසස් ප්‍රදේශයට රැගෙන ගියා. කොකේසස් කඳුකරයේ සුන්දර පරිසරයට ඔහුගේ සිත නිතැතින් ම ඇදී ගියා. ඔහු සුව අතට හැරුණ පසු යළි මොස්කව් වෙත ගොස් එහි දී මොස්කව් සරසවියට ඇතුළු වුණා. නමුත් ඔහුට එහි ඉගෙනීම රුචි වූයේ නැහැ. එයින් නික්මුණු ලෙර්මන්තෆ් සාන්ත පීතර්ස්බුර්ග් නගරය කරා පිටත් වූයේ එහි අශ්වාරෝහක පාසැලට ඇතුල් වීමට යි. නමුත් හමුදා සේවය ද ඔහුට ගැලපුණේ නැහැ. කෙසේ වෙතත් ඔහු එහි දිගටම රැඳෙමින් හමුදා නිලධාරියෙකු ලෙස සුදුසුකම් ලැබුවා. මේ අනුව ඔහු සාන්ත පීතර්ස්බුර්ග් නගරයේ ඉහළ සමාජීය කවයන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබා ගත්තා. මෙකල ඔහු කවි ලිවීමට ද වූ අතර එම සමාජය විසින් ඒවා ඇගයීමට ලක් කළා.

සියල්ල කණපිට පෙරළුණේ 1837 දී යි. එම වසරේ ජනවාරි 27 වන දා මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ද්වන්ද්ව සටනකින් බරපතළ තුවාල ලබා ඉන් දින දෙකකට පසු මරණයට පත් වුණා. පුෂ්කින්ගේ මරණය ලෙර්මන්තෆ් තුළ ඇති කළේ කෝපයක්. ඔහු පුෂ්කින්ගේ මරණය පිළිබඳ රුසියානු රදල සමාජයට චෝදනා කරමින් "කවියෙකුගේ මරණය" නම් කාව්‍ය රචනා කළා.

මෙම කාව්‍ය රදල පන්තියේ කෝපයට හේතු වූ අතර සාර්වරයාගේ අවධානය පවා ඒ වෙත යොමු වුණා. ලෙර්මන්තෆ් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුණා. දෛවයේ සරදමකට මෙන් ඔහුව පිටුවහල් කරන ලද්දේ ඔහු අතිශයින් ම ප්‍රිය කළ කොකේසස් කඳුකරයට යි. ලෙර්මන්තෆ් එහි දී ප්‍රාදේශීය ජනකතා ඇසීමත්, ප්‍රාදේශීය භාෂා ඉගෙනීමත්, කාව්‍ය රචනයත්, චිත්‍ර ශිල්පයත් සිය විනෝදාංශ බවට පත් කරගත්තා.

අපේ කාලයේ වීරයෙක්

මෙම අවස්ථාවේ ලෙර්මන්තෆ්ගේ මිත්තණිය මැදිහත් වී ඔහුට සමාව ලබාගැනීමට සමත් වුණා. නැවත සාන්ත පීතර්ස්බුර්ග් හි සමාජයට එක් වූ ලෙර්මන්තෆ් කවි ලිවීම සහ සාදවලට සහභාගී වීම යළිත් ඇරඹුවා. මෙකල ඔහු සිය පළමු සහ එකම දීර්ඝ කතාව වූ "අපේ කාලයේ වීරයෙක්" ලිවීමට පටන් ගත්තා. මෙම කෘතිය පළ වූයේ 1840 දී යි.

අපේ කාලයේ වීරයෙක් කෘතියෙහි ප්‍රධාන චරිතය වන පෙචෝරින් වටා ගෙතුණු එකිනෙක හා සබැඳි කතා පහක් වනවා. මෙහි පෙචෝරින් සමකාලීන රුසියානු සමාජයේ පරමාදර්ශී චරිතයක් සේ ඇඟවුනත් ඔහු උදාසීන තරුණයෙකු වන අතර ඔහුගේ චරිතය විවිධාකාර පරස්පරතාවයන්ගෙන් යුක්ත යි. රුසියානු උසස් සමාජයේ වූ නිශ්ඵල සහ උදාසීන ජීවන චර්යාව පිළිබඳ විවේචනයක් ලෙස මෙම කෘතිය සැලකිය හැකියි.

අපේ කාලයේ වීරයෙක් කෘතිය රුසියානු ගද්‍ය සාහිත්‍යයේ මූලාරම්භයක් ලෙස මෙන්ම රුසියානු මනෝවිද්‍යාත්මක යථාර්ථවාදයේ මූලාරම්භකයෙකු ලෙස ද සැලකෙනවා.

අපේ කාලයේ වීරයෙක් කෘතිය ලෙර්මන්තෆ් වෙත ඉතා කෙටි කලක් තුළ විශාල ප්‍රසිද්ධියක් අත්කර දීමට සමත් වුණා. නමුත් මෙම ප්‍රසිද්ධිය භුක්ති විඳින්නට ඔහුට ලැබුණේ කෙටි කාලය යි.

කොකේසස් හි අවසන් සමය​​

සාන්ත පීතර්ස්බුර්ග් හි උසස් සමාජයේ කාන්තාවක අරබයා ප්‍රංශ තානාපතියයෙකුගේ පුතෙකු හා ගැටුමක් ඇති කරගත් ලෙර්මන්තෆ් ඔහු හා ද්වන්ද්ව සටනක පැටලුණා. මෙහි අවසානය වූයේ ඔහුව යළි කොකේසස් වෙත පිටුවහල් කිරීම යි.

මෙකල කොකේසස් හි ගෝත්‍රික කණ්ඩායම් සමග රුසියානු හමුදා යුධ වැදී සිටියා. මේ අනුව ලෙර්මන්තෆ් යුධ බිමට යවන ලද අතර එහි දී ඔහු නිර්භීත සටන්කරුවෙකු බව පෙන්වා දුන්නා. නමුත් ඔහුට අවශ්‍ය වූයේ හමුදාවෙන් විශ්‍රාම ගෙන ලේඛන කලාවේ නිරත වීම යි.

මාස දෙකක නිවාඩුවක් ලබාගත් ලෙර්මන්තෆ් සාන්ත පීතර්බුර්ග් වෙත පැමිණ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට අවසර ඉල්ලූ නමුත් එයට සාර්වරයා අකමැත්ත පළ කළා. මේ අතර සටනේ දී නිර්භීතත්වය පිළිබඳ ව ඔහුට පදක්කමක් පිරිනැමීම ද සාර්වරයා ප්‍රතික්ෂේප කළා.

යළි කොකේසස් කරා ගිය ලෙර්මන්තෆ් 1841 දී කොකේසස් කඳු පාමුල පිහිටි ප්‍යාතිගොර්ස්ක් නගරයට පැමිණියා. එහි වන ඖෂධීය ජල උල්පත් හේතුවෙන් මෙම කුඩා නගරය එදා මෙන්ම අදත් ප්‍රසිද්ධියක් උසුලනවා.

මෙහි දී ලෙර්මන්තව්ට ඔහුගේ පැරණි හමුදා මිතුරෙකු මුණ ගැසුණා. නිකොලායි මාර්ටිනොව් නම් වූ මෙම හමුදා නිලධාරියා සහ ඔහු නිතර නගරයේ ආපනශාලාවන් හි කල් ගත කළ අතර එවන් අවස්ථාවල මාර්ටිනොව්, ලෙර්මන්තව්ගේ විහිළු තහළුවලට ලක් වුණා. මෙවන් එක් වතාවක කෝපයට පත් මාර්ටිනොව් ඔහුට ද්වන්ද්ව සටනකට අභියෝග කළා.

1841 ජූලි 27 වන දා ප්‍යාටිගෝර්ස්ක් නගරය අසල මෂුක් කඳු ගැටය පාමුල ස්ථානයක දී මෙම ද්වන්ද්ව සටන පැවතුණා. ලෙර්මන්තව් කලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මාර්ටිනොව්ට ඉලක්ක කර වෙඩි නොතබන බව යි. එහෙත් මාර්ටිනොව් ලෙර්මන්තව්ගේ හදවත ම ඉලක්ක කොට වෙඩි තැබුවා. එම ස්ථානයේ දී ම ලෙර්මන්තව් මරණයට පත් වුණා.

Saturday, October 10, 2020

මර්වාරයේ රජවරුන්ගේ සුසාන භූමිය, මන්දෝර් උද්‍යානය

මන්දෝර් නගරය රාජස්ථානයේ ජෝද්පූර් නගරයෙන් උතුරු දෙසට වන්නට පිහිටා තිබෙන මනරම් උයනකි. ජෝද්පූර් දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 9 ක් පමණ ඈතින් එය පිහිටා තිබේ. 1459 දී රාඕ ජෝදා විසින් ජෝද්පූර් හි මේරංඝර් බලකොටුව ඉදි කරන තුරු මර්වාරයේ අගනුවර වූයේ මන්දෝර් ය. වර්තමානයේ මන්දෝර් වඩාත් ප්‍රකට වන්නේ මර්වාර් රජවරුන්ගේ සොහොන් එහි පිහිටි හෙයිනි. එමෙන්ම එය නගරවාසීන් විවේක සුවයෙන් ගත කිරීමට එන මහජන උද්‍යානයකි.


මන්දෝර් හි ඉතිහාසය ක්‍රි.ව. 6 වන සියවස තරම් ඈතට දිවේ. එකල එය ප්‍රතිහාරවරුන්ගේ වැදගත් බලකොටුවක් විය. අදද දක්නට ලැබෙන මන්දෝර් බලකොටුවේ ඉතිහාසය එකල තරම් දිවෙන බව කියවේ. කෙසේ වෙතත් මන්දෝර් හි එම බලකොටුවේ නටබුන් හැරුණු කල, මර්වාර් සමයට පෙර පුරාවස්තූන් විශාල වශයෙන් ඉතිරි වී නැත. කලින් කලට පැමිණි සතුරු ආක්‍රමණ ඊට හේතු වී යයි සැලකේ.

ප්‍රතිහාරවරුන් අත පැවති මන්දෝරය පසුව නදෝල් හි චෞහාන්වරුන් අතට පත් විය. එයින් අනතුරුව දිල්ලි සුල්තාන් සමයේදී ඉල්තුමිෂ්, ජලාඋද්දීන් ඛිල්ජි සහ ෆිරෝස් ෂා තුග්ලුක් යන සුල්තාන්වරුන්ගේ ප්‍රහාර ඊට එල්ල විය. පසුව එය නැවතත් ප්‍රතිහාර පෙළපතක් අතට පත් වූයේ ය.

මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් මෙම ප්‍රදේශ කරා පැමිණ පැළපදියම් වූ රතෝර්වරුන් සමග මෙම ප්‍රතිහාරවරුන් සන්ධානගත වූහ. ඊට හේතු වූයේ එක්ව නැගෙමින් මුස්ලිම් ආක්‍රමණ පරාජය කිරීමේ අරමුණ ය. රතෝර්වරුන්ගේ රජු වූ රාඕ චුන්දා ප්‍රතිහාර කුමරියක හා විවාහ වූ අතර ඔහුගේ දෑවැද්ද ලෙස මන්දෝරය ලැබුණි.

රාඕ චුන්දා 1424 දී ඝාතනය වූයේ ය. ඔහුගේ පුත්‍රයකු වූ රන්මල් 1428 දී මන්දෝරයේ පාලනයට පත්විය. මෙවාරයේ රාන කුම්භ 1438 දී රන්මල් මරාදමා මන්දෝරය අල්ලාගත්තේ ය.

මර්වාරයේ ශ්‍රේෂ්ඨ පාලකයා සඳහා අවස්ථාව උදා වූයේ මෙහිදී ය. රන්මල්ගේ පුත්‍රයා වූ ජෝදා මර්වාර රජු බවට පත් වූයේ ය. රාඕ ජෝදා පහළොස් වසරක් තිස්සේ මන්දෝරය අල්ලාගැනීමට කල් යල් බැලුවේ ය. ඔහුට ඒ අවස්ථාව උදා වූයේ 1453 දී ය.


කෙසේ වෙතත්, වඩා සුරක්ෂිත බලකොටුවක අවශ්‍යතාව රාඕ ජෝදා වටහාගත්තේ ය. මේරංඝර් බලකොටුව ඉදි කෙරුණේ එව් අනුව ය. 1459 සිට මන්දෝරයට වූ මූලික ස්ථානය අහිමි විය.

කෙසේ වෙතත් සිය මුල් අගනුවර වූ බැවින් මර්වාර් පාලකයෝ සිය සොහොන් ඉදිකළේ මන්දෝරයේ ය. එහෙයින් ශත වර්ෂ කිහිපයක් තිස්සේ බලයට පත් වූ මර්වාර පාලකයන්ගේ සොහොන් මෙහි වේ. මුල් කාලීන සොහොන් එතරම් විශාල නැතත්, පසු කාලීනව විශාල සොහොන් ඉදිකර තිබේ.



මීට අමතරව මන්දෝර් හි ප්‍රකට ස්ථානයක් වන්නේ "වීරවරයින්ගේ ශාලාව" ය. එහි මර්වාර් විරුවන්ගේ ප්‍රතිමා ඉදිකර ඇත. එය මෙන්ම ඊට මදක් ඔබ්බෙන් පිහිටි ජනානා මාළිගය ද ඉදි කර ඇත්තේ රාඕ අජිත් සිං (1707-24) ය. ජනානා මාළිගය අජිත් සිංගේ බිරින්දන්ගේ ගිම්හාන නිවහන ලෙස ඉදි කරන ලදී. වර්තමානයේ රජයේ කෞතුකාගාරය ලෙස එය භාවිතා වේ. මන්දෝර් උද්‍යානයට ඇතුල් වීම නොමිලේ වුව ද මෙම කෞතුකාගාරයට ඇතුල් වීමට ප්‍රවේශපතක් මිලදී ගත යුතු ය.

Friday, October 9, 2020

මේරංඝර් බලකොටුවේ රාජකීය "පාල්කී"

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජෝද්පූර් නගරයේ මේරංඝර් බලකොටුව ඉදිකර තිබේ. ජෝද්පූර් යනු මර්වාර් රාජ්‍යයේ අගනුවර වූ අතර ශතවර්ෂ කිහිපයක් ම එහි මහාරාජාවරුන්ගේ ප්‍රධාන නිවහන වූයේ මේරංඝර් බලකොටුව ය. ඇත්තෙන්ම මේරංඝර් පිළිබඳ වෙනමම විස්තර කළ යුතු ය. එහෙත් අද මා අදහස් කරන්නේ මේරංඝර් බලකොටුවේදී දුටු "පාල්කී" පිළිබඳ කෙටි සටහනක් තැබීමට ය.


"පාල්කී" යනු අප දෝලා යනුවෙන් හඳුන්වන වාහනය යි.  ඇත්තෙන්ම, දෝලා හෝ දෝලි හෝ යනුවෙන් හඳුන්වන්නේ කුඩා පල්කි ය. මේරංඝර් බලකොටුවේ පාල්කී එහි මහාරාජාගේ හෝ රාජකීය කාන්තාවන්ගේ හෝ ගමන් බිමන් සඳහා භාවිතා කෙරිණ. එහෙයින් ඒවාට විශේෂ රාජකීය ගාම්භීරත්වයක් විය.

පාල්කීයක් යනු ලීයෙන් හෝ ලෝහයෙන් තැනූ ආසනයකි. ඇත් දළ, රත්‍රන්, රිදී ආදියෙන් කළ කැටයම් මෙන්ම මැණික් ආදියෙන් ඒවා අලංකාර කෙරිණි. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා වූ පල්කිවල ගමන් ගන්නා අය අසුන් ගන්නා ප්‍රදේශය ආවරණය කර තිබුණි. පාල්කීවල ඇතැම් විට අසුන් පනවා තිබුණි; ඇතැම් විට කුෂන් යොදා තිබුණි. බොහෝවිට, පාල්කීවල ඇතුලත දේව රූප ඇඳ තිබුණේ දිගු ගමනකදී වන්දනාමාන කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ය. පල්කිවල වූ ආවරණ හා ආසන කවර ආදිය වෙනමම කලා නිර්මාණ සේ ගිණිය හැක.


පාල්කීයක් ඔසවාගෙන යාමට එහි සිව් පැත්තෙන්, එක් පසෙකට දෙදෙනා බැගින් අට දෙනෙකු එකවර අවශ්‍ය විය. සාමාන්‍යයෙන් ජෝද්පූර් හි පාල්කීකරුවන් ලෙස සේවය කළ බොහෝ දෙනා නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණියෝ වූහ.

අවශ්‍ය ගමනාන්තයන්ට ළඟා වූ විට, පාල්කීය නැවැත්වීම සඳහා දෙයෝරි (deori) හෙවත් දරිඛානා (darikhana) නමින් හඳුන්වන නැවතීමේ කුටි තිබුණි. එහිදී පල්කිය නවත්වන අතර, රාජකීය පිළිවෙත් ඉටු කිරීමෙන් පසුව පමණක් එහි ගමන් කරන රාජකීයයා පිටතට පැමිණෙන්නේ ය.

මේරංඝර් බලකොටුවට ඇතුල්වන ප්‍රධාන දොරටුවෙන් මදක් ඉදිරියට ගියවිට, ගලින් කළ ගොඩනැගිල්ලක් හමුවේ. එය එහි පාල්කී ඛානා (Palkikhana) ගොඩනැගිල්ල විය. එනම් පුරාණයේ රාජකීයයන්ගේ පල්කි නවත්වා තැබුණේ එහි ය. දැනට එහි පල්කි තැන්පත් කර නැති අතර එම ගොඩනැගිල්ල වෙනත් කටයුතු උදෙසා යොදාගෙන ඇත. මේරංඝර් හිදී පල්කි දැකගත හැක්කේ එහි ඇතුලත ඇති කෞතුකාගාරයේ ය.


මේරංඝර් කෞතුකාගාරය තුළ, අප එහි යන කාලයේ පාල්කී හතක් පමණ විය. ඒ අතර විවෘත පාල්කී කිහිපයක් ද ආවරණය කරන ලද කිහිපයක් ද විය.


එහා මෙහා තල්ලු කළ හැකි පරිදි සැකසූ දොර පියන් යෙදූ, සම්පූර්ණයෙන් ආවරණය කළ පාල්කීයක් ද වූ අතර එහි ඇතුලත දේව රූප ඇඳ ඇති අයුරු විවර කර තිබූ දොර පියන හේතුවෙන් දිස්විය.


19 වන සියවසෙහි තැනූ පාල්කීවල යුරෝපීය සම්ප්‍රදායයන් හි සලකුණු ද දැකිය හැකි ය.



මේ සියළු පාල්කී මර්වාරයේ නිපදවූවන් නොවී ය. ගුජරාතය ආදී පෙදෙස්වල තැනූ පල්කි ද මෙහි විය.


Wednesday, October 7, 2020

ග්‍රීසියේ නට්සි පක්ෂය අපරාධ කල්ලියක් පවත්වාගෙන යාමට වරදකරුවන් වෙයි

ප්‍රකට රැප් ගායකයකුගේ ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වූ ග්‍රීසියේ නට්සිවාදී ගෝල්ඩන් ඩෝන් පක්ෂයේ නායකයා ඇතුළු 68 දෙනෙකුට එරෙහි නඩුවෙහි තීන්දුව අද ලබා දුන්නා. එම ඝාතනය පිළිබඳව සහ අපරාධ කල්ලියක් පවත්වාගෙන යාම පිළිබඳව ආදී චෝදනාවලට ඔවුන් වරදකරුවන් බවයි තීන්දු කෙරුණේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමට පෙර අධිකරණය අසළ විරෝධතාකරුවන් රැසක් එක්ව සිටියා. තීන්දුව ප්‍රකාශ කරද්දී විත්තිකරුවන් 11 දෙනකු අධිකරණයෙහි සිටි බවයි බීබීසී ය වර්තා කළේ.

යුරෝපයේ පසුගිය සමයේ ඇති වූ දේශපාලන හැලහැප්පීම් සමග විවිධ අන්තවාදී සංවිධාන කරළියට පැමිණි බව අප දන්නවා. මේ අතරින් ග්‍රීසියේ ගෝල්ඩන් ඩෝන් (Golden Dawn) සංවිධානය එක්තරා සුවිශේෂී ස්ථානයක් ගන්නව​. ඊට හේතුව නම්, අන්ත දක්ෂිනාංශික සහ ඇතැම් විට නව නට්සිවාදී මූලයක් සහිතව පැමිණ ග්‍රීසියේ තුන්වන විශාලම දේශපාලන පක්ෂය බවට පත් වීමට ඊට හැකි වීම යි.

ඝාතනය කෙරුණ කිල්ලා පී

1980 දී නිකොලස් මිහායිලොලියාකොස් විසින් පිහිටුවන ලද අන්ත දක්ෂිනාංශික සංවිධානයක්, ගෝල්ඩන් ඩෝන් (ස්වර්ණමය අරුණෝදය​) සංවිධානයේ මූලාරම්භකයා ලෙස සැලකෙනවා. ඔහු එම වසරේ දී අන්ත දක්ෂිනාංශික සඟරාවක් ඇරඹූවා. එම සඟරාව වැඩි කලක් පළ වූයේ නැහැ. එමෙන්ම එම සංවිධානය ද එකල එතරම් ජනප්‍රිය වූයේ නැහැ.

ගෝල්ඩන් ඩෝන් සංවිධානය මුලින්ම කරළියට පැමිණියේ යුගෝස්ලවියාව බිඳ වැටෙන අවස්ථාවේ මතු වූ මැසඩෝනියාවේ නම පිළිබඳ වූ ප්‍රශ්නය ද සමග යි. මැසඩෝනියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ එහි නාමය පිළිබඳ ගැටුමක් එරට සහ ග්‍රීසිය අතර ඇති වුණා. එම ගැටුම අවසානයක් කරා පැමිණියේ ද 2019 වසරේ දී යි.

මුල් කාලයේ කුඩා සංවිධානයක් වූ මෙය විරුද්ධවාදී කණ්ඩායම් සමග ගැටුම් ඇති කරගන්නා පිරිසකට වඩා වැඩි යමක් වූයේ නැහැ. ඔවුන් 1994 දී පළමු වරට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණා. ඒ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යි. මුල් උත්සාහයන්ගෙන් පසු ඔවුන් කලක් මැතිවරණ සඳහා තනිව සහභාගී වූයේ නැහැ. කෙසේ වෙතත් බොහෝ කලක් යනතුරු ඔවුන් ඉතා කුඩා සංවිධානයක් ලෙස පැවතුණ අතර සියයට එකක තරම්වත් ඡන්ද ලබාගැනීමේ හැකියාවක් ඔවුනට තිබුණේ නැහැ.

ගෝල්ඩන් ඩෝන් කණ්ඩායමේ ජනප්‍රියත්වය ඉහළ ගියේ 2010 පමණ සිට යි. ඊට හේතු වූයේ ග්‍රීසිය මුහුණ දෙමින් සිටි ආර්ථික අවපාතය යි. ලෝක ආර්ථික අවපාතය බරපතල ලෙස බලපෑ රාජ්‍යයන් අතුරින් එකක් ලෙස ග්‍රීසිය ඉස්මතු වුණා. ඒ සමගම​, සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි වූ ජනතා ප්‍රසාදය පහළ යන්නටත්, ඊට සාපේක්ෂව රැඩිකල් පක්ෂවල ජනප්‍රියත්වය ඉහාළ යන්නටත් පටන් ගත්තා. මෙහිදී පැවති දේශපාලාන තත්ත්වයෙහි වාසිය ලබාගත් පක්ෂ අතර දක්ෂිනාංශික කඳවුරේ ගෝල්ඩන් ඩෝන් සහ වාමාංශික කඳවුරේ සයිරිසා පක්ෂය ප්‍රධාන යි. සයිරිසා යනු වාමාංශික සංවිධාන කිහිපයක් විසින් පිහිටුවාගත් පක්ෂයක් වුණා.

ගෝල්ඩන් ඩෝන් පක්ෂයෙහි ස්ථාවරය විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධී එකක් වුණා. සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ස්වදේශීය ග්‍රීක් ජනයා අසාධාරණයට ලක් වේ ය යන අදහස මත ඔවුන් සිය මැතිවරණ ව්‍යාපාර සහ උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වාගන ගියා. ගෝල්ඩන් ඩෝන් යනු තනිකරම දේශපාලන පක්ෂයක් නොව වීදි සටන්කරුවන් ගෙන් යුත් සංවිධානයක් වූ නිසා, සංක්‍රමණිකයන් වැඩිපුර සිටින ප්‍රදේශයන් හි විවිධ උද්ඝෝෂණ සහ බිය වැද්දීම් ද ඔවුන් විසින් සිදු කළා.

2012 මැයි මාසයේ ග්‍රීක පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ග්‍රීසියේ දේශපාලනය දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. ඊට මූලික හේතුව වූයේ කිසිදු දේශපාලන පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වීම යි. මේ අතර ගෝල්ඩන් ඩෝන් පක්ෂය ආසන 21ක් දිනාගැනීමට සමත් වුණා.

ජූනි මාසයේ දී නැවතත් මැතිවරණයක් පවත්වනු ලැබුණ අතර එහිදී ගෝල්ඩන් ඩෝන් සංවිධානය ආසන 18ක් දිනාගත්තා. මෙසේ ආසන සංඛ්‍යාව ස්වල්පයක් අඩු වුව ද ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය මැයි මාසයේ දී මෙන්ම සියයට 7 සීමාව ආසන්නයේ පැවතුණා.

කිල්ලා පී ඝාතනය​

2013 සැප්තැම්බර් 17 වන දා රාත්‍රියේ ඇතැන්ස් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් ෆැසිස්ට් විරෝධී රැප් ගායන ශිල්පී පැව්ලෝස් ෆිසාස් හෙවත් කිල්ලා පී තුවාල ලබා පසුව මියගියා. මෙම ඝාතනය සිදු කරන ලද්දේ ගෝල්ඩන් ඩෝන් සාමාජිකයකු විසින් බව හෙළි වූ අතර පොලිස් පරීක්ෂණ අතරතුර පක්ෂ නායකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුණා. පසුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු 68 දෙනකුට එරෙහිව සාපරාධී සංවිධානයක් පවත්වාගන යාමේ චෝදනා මත නඩු පවරනු ලැබුණා.

කිල්ලා පී ඝාතනය සහ එයින් පසු සිදු වූ නඩු විභාගය ගෝල්ඩන් ඩෝන් පක්ෂය යම් ප්‍රමාණයකට අඩපණ කිරීමට සමත් වුණා. එහෙත් 2015 දී පැවති ජනවාරි මැතිවරණයේදී ආසන 17ක් ද එම වසරේම සැප්තැම්බර් මැතිවරණයේදී ආසන 18ක් ද දිනාගත් එම පක්ෂය එම අවස්ථා දෙකේ දීම පාර්ලිමේන්තුවේ තුන්වන විශාලම පක්ෂය බවට පත් වුණා. කලින් ග්‍රීසියේ ප්‍රධාන පක්ෂයක් වූ මධ්‍ය වාමාංශික පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක් වීම ගෝල්ඩන් ඩෝන් පක්ෂය තුන්වන තැනට පැමිණීමට එක් හේතුවක් වුණා.

ගෝල්ඩන් ඩෝන් හි අනාගතය

යුරෝපයේ ඇතැම් අන්ත දක්ෂිනාංශික පක්ෂ මෑත කාලයේ දී ඔවුන්ට සාම්ප්‍රදායිකව සහාය දුන් සුළුතරයෙන් පරිබාහිරව වඩා විශාල ජන පදනමකට ආමන්ත්‍රණය කිරීමට සමත්ව තිබෙනවා. එක් අතකින් සංක්‍රමණික ප්‍රශ්නය පෙරට වඩා අර්බුදයක් වී ඇති හෙයින් එම තත්ත්වය ඇති වුණා. එමෙන්ම ඇතැම් පක්ෂ කලින් දැරූ අන්තවාදී ස්ථාවරයන්ගෙන් මඳක් ඉවත්ව වඩා වැඩි පිරිසකට ළඟා වියහැකි මතවාදී ස්ථාවරයන්ට පැමිණීමට කටයුතු කළා.

නමුත් ගෝල්ඩන් ඩෝන් සංවිධානය ඊට වඩා වෙනස් ස්ථාවරයක සිටිනවා. ඔවුන්ගේ ඇතැම් සාමාජිකයන් නට්සිවාදය අගය කරන අතර එම පක්ෂය ද තවමත් සිටින්නේ අන්තවාදී ස්ථාවරයේම යි. මේ හේතුව නිසාවෙන් එම පක්ෂයට තමන් ළඟා වූ ජනප්‍රියත්වයේ සීමාවෙන් ඔබ්බට යාමට අපහසු වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පක්ෂයට තිබෙන අන්තවාදී ජන පදනම සම්පුර්ණයෙන් නැතිවී නැහැ. 2019 යුරෝපා මැතිවරණයේදී ද ඔවුන්ට සියයට පහකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. නඩු තීන්දුවෙන් පසු පක්ෂය තහනම් වනු ඇති නමුත් මේ අන්තවාදීන් වෙනත් දේශපාලන උපක්‍රම සොයා යනු ඇති.

සටහන: මංජුල වෙඩිවර්ධනගේ "පැරිස් වළාකුළු" නවකතාවේ කිල්ලා පී ඝාතනය පිළිබඳ කියැවෙන බව ඒ පොත කියවූ අයට මතක ඇති

රුසියාවේ නායකත්වය දක්වා පුටින් පැමිණි ගමන් මග​

රුසියානු ජාතිකයන් සාමාන්‍යයෙන් උස මහත අය බවයි අප දැක ඇත්තේ. එහෙත්, රුසියාවේ නායකයා, ව්ලදිමීර් පුටින්, ඒ ආකාරයේ අයකු නොවේ. ලෝකයේ ප්‍රධාන පෙළේ නායකයන් අතර වුවද ඔහු එතරම් විශාල ශරීරයක් ඇති අයකු නොවේ. එහෙත් ඔහු ඒ නායකයින් ඕනෑම අයකු හා කරට කර සිටිය හැකි පෞර්ෂයකින් යුතු අයෙක්.

එතරම් උස මහත නැති මේ පුද්ගලයා 1999 දී රුසියාවේ අගමැති බවට පත් වූයේ දේශපාලන තත්ත්වය ඉතාම අස්ථාවර අඩියක පැවති සමයේදී. එකල ඔහු පිළිබඳ විශේෂ විශ්වාසයක් ඇති වූයේ නැහැ. නමුත් කල් යාමේදී ඔහු සිය බලය තහවුරු කරගත්තේ කිසිවකුට ඔහුට අභියෝග කරන්නට ඉඩක් නැති කරමින්.


“මොස්කව් නිහඬයි”

ව්ලදිමීර් පුටින්ගේ ජීවිතය හැඩ ගැස්වීමට හේතුවූ එක් සිද්ධියක් පිළිබඳව බීබීසීයට ලියන ලද ලිපියක ක්‍රිස් බවුල්බි සඳහන් කරනවා.

ඒ 1989 දෙසැම්බර් 5 වනදා. බර්ලින් තාප්පය බිඳ වැටී ගතව තිබුණේ මාසයකටත් අඩු කාලයක්. නැගෙනහිර ජර්මනියේ තිබූ විශාලම නගරයක් වූයේ ඩ්‍රෙස්ඩෙන් නගරයයි. මෙදින එම නගරයේ විරෝධතාකරුවන් පිරිසක් නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය වූ ස්ටාසි ආයතනයේ ඩ්‍රෙස්ඩෙන් නගර මූලස්ථානයට කඩා වැදුණා. කොමියුනිස්ට් පාලනය බිඳ වැටෙමින් තිබූ මේ කාලයේ ස්ටාසි නිලධාරීන්ට කරකියා ගන්නට දෙයක් තිබුණේ නැහැ. ඉතින් විරෝධතාකරුවන් රිසි සේ එම ගොඩනැගිල්ලේ සැරි සැරුවා.

මේ අතර එම පිරිසෙන් කොටසකට අදහසක් පැමිණියා එම වීථියේ විරුද්ධ පස පිහිටා තිබූ සෝවියට් කේජීබී කාර්යාලයට කඩා වදින්නට. මේ අනුව ඔවුන් එම ස්ථානයට යනවිට එහි මුරට සිටි භටයා ගොඩනැගිල්ල තුළට දිව ගියා.

මේ අවස්ථාවේ එක් නිලධාරියකු එතැනට ඇවිත් උද්ඝෝෂකයන් ඇමතුවා. “මේ ගොඩනැගිල්ලට ඇතුළු වන්න එපා! මගේ සගයින් ආයුධ සන්නද්ධවයි ඉන්නේ. ඔවුනට අණ දී තිබෙන්නේ ප්‍රශ්නයක් වුණොත් වෙඩි තබන්නයි” ඔහු කීවා.

උද්ඝෝෂකයන් ආපසු හැරී ගියා.

මෙම නිලධාරියා වුණේ ව්ලදිමීර් පුටින්.

කෙසේ නමුත් තත්ත්වය කෙතරම් බැරෑරුම් ද යන්න පුටින් දැන නොසිටියා නෙවෙයි. ප්‍රදේශයේ සෝවියට් රතු හමුදාවට අයත් යුධ ටැංකි බලකායක් රඳවා තිබුණා. ඔවුන්ගෙන් ආධාර ඉල්ලූ අවස්ථාවේ කේජීබීයට ඔවුන් කියා සිටියේ මොස්කව් නුවරින් අණක් නොමැතිව තමන්ට මැදිහත් විය නොහැකි බවයි.

“මොස්කව් නිහඬයි” ඔවුන් කියා සිටියා.

මේ සමයේ මිහායිල් ගොර්බචොෆ්ගේ සෝවියට් රජය නැගෙනහිර යුරෝපයේ “මිතුරන්” තම කටයුතු තමන්ම බලාගත යුතු බවත්, සෝවියට් දේශය එම රජයන් ආරක්ෂා කිරීමට මැදිහත් නොවන බවත් දන්වා තිබුණා. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂණ ඇති වෙද්දී ගොර්බචොෆ් ඒවා මර්දනයට කටයුතු කළේ නැහැ. එයින් එම උද්ඝෝෂණ ජය ගත් අතර නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් රජයන් කඩා වැටුණා.

කේජීබී නිලධාරියකු වශයෙන් ව්ලදිමීර් පුටින් මේ පිළිබඳව හොඳ අවධානයකින් සිටි බව නොරහසක්. නමුත් සිය රටේ ඇතිවන විපර්යාසයන්ට එරෙහිව සුළු නිලධාරියෙකු ලෙස සටන් කිරීම අපහසු බව ඔහුට තේරුම් යන්නට ඇති.

නිහඬ වූ මොස්කව් නුවර පරිපාලනය යළි ශක්තිමත් කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ ඔහු එහි පාලනය අතට ගත් පසුවයි.

මුල් කාලය

ව්ලදිමීර් පුටින් උපන්නේ 1952 ඔක්තෝබර් 7 වනදා වර්තමානයේ සාන්ත පීටර්ස්බර්ග් නමින් හඳුන්වන ලෙනින්ග්‍රෑඩ්හිදී. ඔහු 1970 දී ලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට බැඳී නීතිය හැදෑරුවා. 1975 දී උපාධිය නිම කළ පුටින් සෝවියට්හි ප්‍රධාන ඔත්තු සේවය වූ කේජීබීයට බැඳුණා. ඔහු ඩ්‍රෙස්ඩෙන් නගරයේ රාජකාරි කළේ 1985 – 1990 සමයේ. ඔහුට මනා ලෙස ජර්මන් භාෂාව හැසිරවිය හැකියි.

පුටින් කේජීබීයෙන් ඉවත් වී එවකට ලෙනින්ග්‍රෑඩ් නගරාධිපති වූ අනතෝලි සොබ්චක් යටතේ සේවය කිරීමට පටන් ගත්තා. ඔහු රැකියාව පටන් ගන්නේ සොබ්චක්ගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයා ලෙස කටයුතු කරමින්. පසුව, 1996 දී සොබ්චක් නැවත නගරාධිපති තරඟයට ඉදිරිපත් ව පරාජය වුණා.

මේ වෙද්දිත් අනිවාර්යයෙන් ම පුටින්ට රජයේ ඉහළ පුද්ගලයන් සමඟ සබඳතා තිබුණා. ඇත්තෙන්ම සොබ්චක්ගේ පරාජය පුටින්ට වෙස්වළාගත් ආශීර්වාදයක් වුණේ ඔහුට මොස්කව් නගරයට යෑමට එයින් මග පෑදුණ නිසයි.

ඔහු එවක ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ කාර්ය මණ්ඩලයේද කලක් කටයුතු කළා. 1998 දී ඔහු එෆ්.එස්.බී ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට පත් කරනු ලැබුවෙ. එෆ්.එස්.බී යනු සෝවියට් සංගමය බිඳ වැටුණ පසු කේජීබීය වෙනුවට ස්ථාපිත කරන ලද ආයතනය යි. ඒ අර්ථයෙන් බැලූ විට පුටින් සිය පැරණි ආයතනයේ ම ප්‍රධානියා බවට පත් වූවා කියාත් සැළකිය හැකියි.

1999 අගෝස්තුවේදී බොරිස් යෙල්ට්සින් ඔහුව සිය අගමැති ලෙස පත් කර ගත්තා.

චෙච්නියාව

පුටින් අගමැති බවට පත් වූයේ රටේ දේශපාලන තත්ත්වය අස්ථාවරව පවතින සමයකයි. යෙල්ට්සින්ගේ ධූර කාලය 1999 දෙසැම්බර් 31 වනදා නිම වීමට නියමිතව තිබුණා. ඔහු රෝගාතුරව සිටි අතර ඔහුගේ රජය ද එතරම් ස්ථාවර වූයේ නැහැ. එම වසරේ මැයි මාසයේදී ද ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. එමෙන්ම අගමැතිවරුන් සහ කැබිනට් ඇමතිවරුන් ද නිතර මාරු කරන්නකු ලෙසත් යෙල්ට්සින් ප්‍රසිද්ධව සිටියා.


එමෙන්ම යෙල්ට්සින් යටතේ රුසියාව අතිශයින් ම නරක අඩියක පැවතුණා. ඇතැම් කාලවල යුධ හමුදාවට මාස ගණන් වැටුප් ගෙවා තිබුණේ නැහැ. යුධ හමුදාවේ නිලධාරීන් අතර සිය දිවි නසාගැනීම් සුලබ වුණා. යුධ හමුදාව කෙතරම් කඩා වැටී තිබුණාද කිවහොත් මිලියනයක පමණ ජනගහනයක් සිටි කුඩා චෙච්නියාවේ බෙදුම්වාදීන්ට එරෙහිව කළ පළමු චෙච්නියා යුද්ධයේදීම රුසියානු හමුදා ලජ්ජා සහගත ලෙස පරාජය වුණා.

මේ තත්ත්වය යටතේ පුටින් අගමැති වීමත් සමඟ ඉස්ලාමික අන්තවාදී චෙච්නියානු බෙදුම්වාදීන් යාබද ඩගෙස්ථානය ආක්‍රමණය කළා. ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මොස්කව් හි අස්ථාවර පාලනය ඔවුන් හමුවේ පසු බසිනු ඇති යන්නයි.

නමුත් එ් වන විට මොස්කව්වල පාලනය ගෙනගියේ නිහඬ අයකු නොවේ. යෙල්ට්සින් රෝගාතුර වීම නිසා දෙවන චෙච්නියානු යුද්ධය තනිකරම පාහේ පුටින්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණා.

මෙම යුද්ධයේදී මුලින්ම රුසියානු හමුදා ඩගෙස්ථානයට කඩා වැදුණ කැරලිකරුවන් එළවා දැම්මා. ඉන්පසු 1999 ඔක්තෝබරයේදී රුසියානු හමුදා චෙච්නියාවට කඩා වැදුණා. ඔවුන් සෙමින්, නමුත් ඉතා සාර්ථකව යුද්ධය කරගෙන ගියා.

පුටින් යටතේ මොස්කව් තව දුරටත් නිහඬ නොවන බව චෙච්නියානු බෙදුම්වාදීන් පමණක් නොව සමස්ථ ලෝකයම දැනගත්තා.

එවක පැවති රුසියානු නීතිය අනුව ජනාධිපතිවරණය පැවැත්වුණේ මැයි මාසයේ. 1999 දෙසැම්බර් 31 වනදා පටන් 2000 මැයි 7 දක්වා පුටින් එරට වැඩබලන ජනාධිපති වුණා. ඒ කාලයේ චෙච්නියානු යුද්ධයේ සාර්ථකත්වය ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට කෙළින් ම බලපෑවා. පළමු වටයේදීම සියයට 53.4 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පුටින් ජනාධිපති ලෙස පත් වුණා.

Thursday, October 1, 2020

ප්‍රංශය සහ ප්‍රංශය අප්‍රිකාවේ ගැටුණ ඩකාර් සටන​

1940 ජූනි මාසයේ ප්‍රංශය යටත් වූ පසු විචි නගරය අගනුවර ලෙස සලකා නව රජයක් එහි ස්ථාපිත කෙරුණා. මෙම "විචි ප්‍රංශය" එකල බොහෝ යටත් විජිත ද පාලනය කළා. ඊට එරෙහිව ජෙනරල් ෂාර්ල් ඩිගෝල්ගේ නිදහස් ප්‍රංශයින් සටන් ඇරඹුවා.

බ්‍රිතාන්‍ය සහ නිදහස් ප්‍රංශ නාවික හමුදා විචි ප්‍රංශයට එරෙහිව දියත් කළ මුල්ම සටන වූයේ සෙනගාලයේ ඩකාර් නගරය අල්ලාගැනීමට කළ සටනයි. මෙම මෙහෙයුම "ඔපරේෂන් මෙනස්" ලෙස හඳුන්වනු ලැබුණා. සැප්තැම්බර් 23 වනදා සටන් ඇරඹුණ අතර මිත්‍ර පාක්ෂික නැව් ඩකාර් වෙත පහර දුන්නා. බ්‍රිතාන්‍ය සේනාංකය අද්මිරාල් ජෝන් කනිංහැම් විසින් මෙහෙයවූ අතර ඩි ගෝල් ප්‍රංශයින්ව මෙහෙයවූවා.

මෙම සටන සඳහා මිත්‍ර පාක්ෂිකයන් වෙනුවෙන් බැට්ල්ෂිප් වර්ගයේ යුධ නෞකා දෙකක්, කෲසර් වර්ගයේ යුධ නැව් පහක්, ඩෙස්ට්‍රෝයර් වර්ගයේ යුධ නැව් දහයක් සහ බ්‍රිතාන්‍යයට අයත් HMS ආර්ක් රෝයල් ගුවන් යානා ගෙනයන නෞකාව සහභාගී වුණා. විචි ප්‍රංශය වෙනුවෙන් බැට්ල්ෂිප් එකක්, කෲසර් දෙකක්, ඩෙස්ට්‍රෝයර් හතරක් සහ සබ්මැරීන තුනක් සම්බන්ධ වූ අතර වෙරළබඩව සවි කර තිබූ කාලතුවක්කු ද ඊට සම්බන්ධ වුණා.

ඩි ගෝල් බලාපොරොත්තු වූයේ ප්‍රංශයින් නිරායාසයෙන් තම පාර්ශවයට එකතු වනු ඇති බවයි. එහෙත් එය සිදුවූයේ නැහැ. දෙපාර්ශවයේ නෞකා සහ විචි කාලතුවක්කු එකිනෙකා වෙත වෙඩි ප්‍රහාර එල්ල කරමින් දිනය පුරා සටන් වැදුණා. නිදහස් ප්‍රංශ හමුදා ගොඩබැස්වීමට කළ ප්‍රයත්නයක් ද අසාර්ථක වුණා.


ඊළඟ දින දෙක පුරාම සටන් සිදුවූ නමුත් මිත්‍ර පාක්ෂිකයන්ට විචි රැකවල් බිඳ දැමීමට නොහැකි වුණා.

සැප්තැම්බර් 25 වනවිට මිත්‍ර හමුදා ප්‍රහාරය අතැර දැමුවා. විචි සේනාංක සිය පළමු ජයග්‍රහණය වාර්තා කළා.