Wednesday, July 17, 2013

ඉන්දියාව භූතානයට දුන් ඉන්ධන සහන කපාහැරීම

සිය රටේ දෙවන මහා මැතිවරණයට සූදානම් වෙමින් සිටි භූතානයට 2013 ජූලි මාසයේ මුල සිට අලුත් අබග්ගයකට මුහුණ දීමට සිදු විය. ඒ අසල්වැසි ඉන්දියාව විසින් සහන මිලට ගෑස් සහ තෙල් ලබාදීම නවතා දැමීමයි. මෙය එරට ඉන්ධන මිල දෙගුණ වීමට හේතු වූ අතර එයින් රටේ දුප්පත් ජනතාවට විශාල බලපෑමක් ඇති විය. මැතිවරණයක් අතළඟ තබාගෙන ගන්නාලද මෙම පියවර භූතාන මැතිවරණයේ ප්‍රතිපලය වෙනස් කිරීමට යම් තරමක හෝ දායකත්වයක් දැරීය. ජූලි 13 වනදා පවත්වන ලද මැතිවරණයෙන්, එවකට විපක්ෂයේ සිටි භූතාන ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (People's Democratic Party) බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් ලැබීය.

ඉන්දියාව සිය පියවර සඳහා කිසිදු කරුණු දැක්වීමක් නොකළ නමුත් බොහෝ දෙනාගේ මතය වනුයේ භූතානයේ හිටපු රජය මෑත කාලයේදී චීනය සමඟ වැඩි වැඩියෙන් ඇයි හොඳයිකම් දැක්වීම මීට හේතු වූ බවයි. ඉන්දියාව ප්‍රකාශ කොට තිබුනේ මැතිවරණයෙන් පසුව පත්වන රජය සමඟ ඉන්ධන සහනාධාර පිලිබඳ අලුතෙන් සාකච්ඡා කරන බවය. එය ඔවුන් කලින් පැවති රජය යලි පත්වුවහොත් සිදුවන දේ පිළිබඳ වක්‍රාකාර අනතුරු ඇඟවීමක් වූ බව සැලකිය හැක.

මාලදිවයින හැර සිය අසල්වැසියන් අතුරින් ඉන්දියාව මෙතෙක් කල් යහපත් සම්බන්ධතාවක් පවත්වාගත් එකම රට භූතානයයි. හිමාලයානු රාජධානියක් ලෙස එය ඉන්දියාවේ "හිමාලයානු දේශසීමා" විදෙස් ප්‍රතිපත්තියේ වැදගත් කොටසක් විය.

"හිමාල කඳුවැටිය අපට ස්වාභාවික ආරක්ෂක පවුරක් ලබා දී තිබේ..... එය අප රටට ඇති වැදගත්ම ආරක්ෂක පවුර වන නිසා එය සිදුරු කිරීමට අප ඉඩ නොදිය යුතුයි" ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු මහතා බොහෝ කලකට පෙර ප්‍රකාශ කළේය. ඉන්දියාවේ "හිමාලයානු දේශසීමා" විදෙස් ප්‍රතිපත්තිය පාදක වූයේ මෙම අදහස මතය. මේ අනුව, ඉන්දියාව නිදහස ලබන සමයෙහි එවකට හිමාලයේ පැවති රාජාණ්ඩු තුන තමන්ට එරෙහි නොවන අයුරින් පවත්වා ගැනීම ඔවුනගේ මූලික අභිලාශය විය.

දැවැන්ත ඉන්දියාව සහ කුඩා භූතානය


1949 සහ 1950 වසරවලදී ඉන්දියාව භූතානය, නේපාලය සහ සිකිම් යන එම රාජ්‍යයන් තුනම සමඟ "මිත්‍ර ගිවිසුම්" අත්සන් කළාය. මේ ගිවිසුම්ප්‍රකාරව එම රටවල විදෙස් සහ ආරක්ෂක කටයුතු පිළිබඳ බලය ඉන්දියාව විසින් ලබාගන්නා ලද අතර ඒවායේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට ඈ පොරොන්දු වූවාය. නමුත් ඉන්දියාව නිතර නිතර එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූවා පමණක් නොව, සිකිම් දේශය ඈඳා ගැනීමට පවා කටයුතු කළාය.

මෙම රටවල් තුනටම තිබුන සහ නේපාලයට සහ භූතානයට අදත් තිබෙන මූලික ගැටලුව නම් ඔවුනගේ ආර්ථිකයන් තවමත් ඉන්දියාවට කෙලින්ම සහසම්බන්ධ වී තිබීමයි. මේ රටවල් දෙකේම ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 90 ක් හෝ ඊටත් වැඩියෙන් කෙරෙන්නේ ඉන්දියාව හරහාය. එහෙයින් ඉන්දියාවට මේ රටවල් කෙරෙහි කළහැකි බලපෑම අති විශාල වේ.

 මේ සාධකය හේතුවෙන් ඉහත සඳහන් ගිවිසුම්වලට පැමිණි පසුද මේ රටවල් ඉන්දියාව සමඟ සම්බන්ධය කෙරෙහි සර්ව සුභවාදී නොවීය. අනෙකුත් රටවල් සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීමට ඔවුන් අකමැති නොවීය. මන්දයත් එකම රටක් කෙරේ ඕනාවට වඩා යැපීමේ අවධානම ඔවුන් දත් නිසාය. පළමුවරට මෙම සීමා මායිම් ඉක්මවා යාමට උත්සාහ කළේ නේපාලයයි. 1961 දී පළමු වරට කත්මන්ඩු-ලාසා මහාමාර්ගයක් විවෘත කෙරිණ. මේ අතර 1980 දශකයේ නේපාල-චීන දෙරට අතර දෙවැනි මහාමාර්ගයක් ඉදි වූ අතර 1988 වසරේදී දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ රහස්‍ය එකඟතාවයක්  කරගන්නා ලදී. එමෙන්ම නේපාලය චීනයෙන් අවි ආයුධ මිලදී ගැනීමට මුලපිරුවාය.

මේ සිදුවීම් ඉන්දියාව දුටුවේ සිය ආරක්ෂාවට තර්ජනයක් ලෙසය. ඈ ඊට පිළිතුරු දුන්නේ නේපාලයට ආර්ථික සම්බාධක පැනවීමෙනි. ජාත්‍යන්තර වෙළෙඳාම අඩපණ වීමෙන් බඩුමිල ඉහල නැගීම ඔස්සේ නේපාල ජන ජීවිතය අවුලට පත්වූ විට ජනතාව ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය විරෝධී පෙළපාලිවලිනි. 1990 දී ආරම්භ වූ මෙම ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සාර්ථක සමඟ 1991 වසරේ සිට නේපාලයේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුණු අතර එතැන් පටන් ඉන්දියාව නේපාලයේ දේශපාලන පක්ෂ හරහා එරට දේශපාලනයට විවිධ බලපෑම් කළාය.

 සිකිම් දේශයේ සිදුවූ දෑ ඊටත් වඩා අවාසනාවන්ත වූයේය. 1970 ගණන්වල මුල් කාලය වනවිට සිකිම් දේශයේ රජු හෙවත් චොග්යාල්වරයා (Chogyal) ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීම පිළිබඳ ඉන්දියාව බියට පත් විය. එහි ප්‍රතිපලය වූයේ ඉන්දියාව විසින් සිකිම් දේශයේ "ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම" සඳහා ව්‍යාපාරයකට ආධාර දීමය. 1973 දී එරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ "ඇති වූ විට" තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය හමුදා යවනු ලැබීය. ඉන්පසු සිකිම් දේශය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වීමේ ක්‍රියාවලිය කෙදිනක හෝ නිමවීමට නියමිතව පැවතිණ. 1975 අප්‍රේල් 6 වනදා ඉන්දීය හමුදා විසින් රජ මාලිගයට පහර දී අල්ලා ගැනීමෙන් පසු සිකිම් දේශය ඉන්දියාවේ කොටසක් බවට පත්විය.

භූතානයේ ආර්ථිකයද මුළුමනින්ම පාහේ ඉන්දියාවේ අනුකම්පාව මත රඳා පවතී. එරට ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 95 ක් පමණ කෙරෙන්නේ ඉන්දියාව හරහාය. අනෙක් හිමාලයානු රාජාණ්ඩු දෙකට වඩා යහපත් සබඳතාවක් භූතානය සමඟ පවත්වාගැනීමට ඉන්දියාවට හැකි විය. ඊට එක හේතුවක් වූයේ භූතානය සහ චීනය අතර එතරම් යහපත් සබඳතාවක් නොමැති වීමය. චීනය විසින් ටිබෙටය අල්ලා ගැනීමත් චීනය සහ භූතානය අතර වූ දේශසීමා ප්‍රශ්නත් ඊට හේතු විය. මේ අතර විදෙස් සම්බන්ධතා ක්ෂේත්‍රයේ යම් ස්වාධීනතාවක් පවත්වා ගැනීමට භූතානය සමත් විය. 1971 දී එරට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත් අතර එරට විසින් ඉන්දියාවෙන් පිට විවෘත කල පළමු තානාපති කාර්යාලය 1978 දී බංගලාදේශයේ විවෘත කෙරිණ. මේ අතර 2007 දී භූතානය සහ ඉන්දියාව අතර වූ මිත්‍ර ගිවිසුම අලුත් කෙරුණ අතර නව ගිවිසුමට අනුව විදෙස් සම්බන්ධතා ඉන්දියාවේ බලපෑමෙන් තොරව ඇති කරගැනීමටත් ඉන්දියාවේ අවසර නොමැතිව අවි ආයුධ මිලට ගැනීමටත් භූතානයට අවස්තාව ලබා දෙන ලදී. මේ අතර 2008 භූතානයට සංචාරය කල ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ප්‍රජාතන්ත්‍රවාදය කරා භූතානයේ නැඹුරුව කෙරෙහි ප්‍රසාදය පල කළේය.

ඉන්දියාව කලබලයට පත් වූයේ චීන-භූතාන අගමැතිවරුන් අතර හමුවක් පිළිබඳ පසුගිය වසරේ චීන මාධ්‍ය විසින් ප්‍රකාශ කිරීමත් සමඟය. දෙරට අතර තානාපති සබඳතා ඇති කරගනු ඇතැයි අදහස්ද පළවිය. 2007 ගිවිසුම කෙසේ වුවත් තවමත් භූතානයේ විදෙස් ප්‍රතිපත්තිය ඉන්දියාවේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ අතර මේ පියවර ඉන්දියාව කිසි ලෙසකිනුදු බලාපොරොත්තු වූවක් නොවීය. මේ අතර භූතානය චීනයෙන් බස් රථ 20 ක් මිලදී ගැනීමත් සමඟ ගැටලුව තවත් උග්‍ර විය. සාමාන්‍යයෙන් මෙවැනි ගනුදෙනුවක් කෙරෙන්නේ ඉන්දියානු සමාගමක් සමඟය. මෙම පියවර ඉන්දියාව යහපත් ලෙස පිළිගත්තේ නැත.

 ඉන්දියාවේ පිළිතුර වූයේ තෙල් සහ ගෑස් සහනාධාර කපා හැරීමයි. තවද එම සහනාධාර පිළිබඳ ඊළඟට පත්වන ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඉන්දියානු රජය ප්‍රකාශ කළේය. මෙය කලින් රජයට පල නොකියා පලා බෙදීමක් වැනිය. එමෙන්ම විපක්ෂය මැතිවරණය ජයගත් විගසම ඉන්දියානු අගමැතිවරයා අලුත් භූතාන අගමැතිවරයාට සුබ පැතීමට කටයුතු කළේය.

මෙම ක්‍රියාකාරකම් තුලින් ඉන්දියාව, විශේෂයෙන්ම නේපාලයට සහ භූතානයට, එක දෙයක් අවධාරණය කළාය. එනම් තමන් සමඟ නොසිටින්නේ නම් ඒ පිළිබඳව කිසිත් නොකර සිටීමට තමන් සූදානම් නැති බවය.

Wednesday, July 10, 2013

සීෂෙල්ස්-ශ්‍රී ලංකා මිතුදම අනාගත ආයෝජනයකි

සාමාන්‍ය නිර්ණායකයනට අනුව සීෂෙල්ස් යනු කුඩා රටකි. වර්ග කිලෝමීටර 450ක් වන භූමි ප්‍රමාණයකින් යුතු එහි ජනගහනය 85,000 කි. එම නිර්ණායක දෙකටම අනුව සීෂෙල්ස් රාජ්‍යය අප්‍රිකාවේ කුඩාම රාජ්‍යය වෙයි. මෑත කාලයේදී ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර මිත්‍රත්වයෙහි පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ. ඇතැමෙක් සීෂෙල්ස් වැනි රටක් සමඟ මිත්‍රත්වය සඳහා මෙතරම් කාලය සහ මුදල් වැය කිරීම විවේචනය කරති. එහි ප්‍රතිලාභයක් ලැබේද යන්න ඔවුහු ප්‍රශ්න කරති.

බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව, අපේ රට කුමක් හෝ බලවතෙකු සමඟ එක්වී සිටිය යුතු යයි යන එක්තරා යටත් විජිත මානසිකත්වයකින් පෙලෙන්නෝය. ඔවුන්ගේ අදහස අනුව ප්‍රබල රටක මිත්‍රත්වය නොමැතිව ශ්‍රී ලංකාවට ලෝක දේශපාලනය තුල රැඳී සිටිය නොහැක. නමුත් අප යම් ප්‍රබල රාජ්‍යයකට ඕනාවට වඩා සමීප වීම අනිකුත් ප්‍රබල රාජ්‍යයන්ගේ නොසතුටට හේතු වන්නේය. නිදහස් ලංකාවේ ඉතිහාසය පුරාවටම අප මේ ගැටලුවට මුහුණ දී ඇත්තේය.

සීෂෙල්ස් වැනි කුඩා දූපත් රාජ්‍යයක් සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා වැදගත් වෙයි. මෙවන් කුඩා රටවලට තවත් කුඩා රටක් සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට බලපාන යටි අරමුණු නොමැත්තේය. මෙවන් රටවල් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කිහිප ආකාරයකින්ම වැදගත් වේ.

"ලොකු කුඩා සෑම දේශයක්ම වැදගත්" ("All nations matter, big or small") සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඇලික්ස් මිචෙල් මහතා 2012 අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරය අතරතුර ප්‍රකාශ කළේය. ඔහු ඒ බව සඳහන් කලේ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී "ලෝක දේශපාලනය තුල කුඩා දූපත් රාජ්‍යයන්ගේ කාර්යභාරය යන මැයෙන් කරන ලද දේශනයකදීය. කුඩා දූපත් රාජ්‍යයන්ට යම් යම් සීමා බාධක ඇති නමුත් ඒ අතරම යම් යම් අවස්ථාවන්ද ඇති බව එහිදී ඔහු පැහැදිලි කර සිටියේය. ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම රටවලට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළහැකි බව ඔහුගේ මතය විය ධීවර කර්මාන්තය, වෙළෙඳ සබඳතා සහ පරිසරය සුරැකීම වැනි අංශවලදී කුඩා දූපත් රාජ්‍යයන්ට එක්ව කටයුතු කළහැකි බව මිචෙල් මහතා කියා සිටියේය.
සීෂෙල්ස් ජනපති කදිරගාමර් ආයතනයේදී. පින්තූරයේ වමේ සිට: ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් මිචෙල් මහතා සහ සීෂෙල්ස් විදේශ ඇමති ෂෝන්-පෝල් ඇඩම් මහතා. (2012 අගෝස්තු 21)

පසුගියදා සීෂෙල්ස් අගනුවර වික්ටෝරියාහිදී සීෂෙල්ස්-ශ්‍රී ලංකා ජනපතිවරුන් හමුවූ අවස්ථාවේ මෙම කරුණු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් පිලිබඳ අදහස් හුවමාරු විය. සීෂෙල්ස් ජනපති කාර්යාල නිල නිවසෙහි වෙබ් අඩවිය සඳහන් කරන පරිදි වෙළෙඳ සහ ආයෝජන, ගුවන් ගමන්, බැංකු කටයුතු, ධීවර කර්මාන්තය, ආරක්ෂක සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංචාරක කර්මාන්තය, බලශක්තිය, මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය සහ සුළු කර්මාන්ත යනාදී කරුණු සම්බන්ධව සාකච්ඡා කෙරී ඇත. මේ අතර දෙරට අතර ගුවන් සේවා, ආරක්ෂක, වෘත්තීය පුහුණුව සහ යෞවන කටයුතු යන කරුණු පිළිබඳ ගිවිසුම් තුනක් අත්සන් කෙරිණ.

සීෂෙල්ස් ජනාධිපතිවරයා සමඟ ජුනි 30 වනදා පැවැත්වූ සාකච්ඡාව අතරතුරදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සීෂෙල්ස් රාජ්‍යයට ගුවන් ගමන් ඇරඹීමට සූදානම් බවය. මෙම පුවත සීෂෙල්ස් ජනපතිවරයාගේ ඉමහත් සතුටට හේතු විය. දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම වෙළෙඳ සහ සංචාරක කටයුතු වර්ධනයට හේතුවනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර සීෂෙල්ස් විදේශ කටයුතු අමාත්‍ය ශෝන්-පෝල් ඇඩම් සිය Twitter පිටුවේ සඳහන් කලේ "ඊයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් සීෂෙල්ස්වල ගොඩ බැස්වීම සතුටට කාරණයක්. නිතර මේ දර්ශනය දකින්නට බලාපොරොත්තු වෙමි." යනුවෙනි. ඔහු ඊයේ පැමිණි ගුවන් යානය යයි සඳහන් කලේ ජුනි 29 වනදා ජනාධිපති රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පැමිණි යානයයි.


ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ පැවති ඉහත සාකච්ඡාවේදී ජනාධිපති මිචෙල්ද දූපත් රාජ්‍යයන්ට ලෝක දේශපාලනය තුල වැදගත් කාර්යභාරයක් ඇති බව යලිත් අවධාරණය කළේය. තිරසාර සංවර්ධනයට අනුබල දීම සහ එය ප්‍රචලිත කිරීම එහිදී වැදගත් වගකීමක් වන බව ඔහු කියා සිටියේය. ගෝලීය උණුසුම ඉහල යාමෙන් වැඩිම හානියක් සිදුවිය හැක්කේ දූපත් රාජ්‍යයන්ට බැවින් ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් වැනි රටවල් ඒ පිලිබඳ එක්ව කටයුතු කිරීම වැදගත් බව ඔහුගේ අදහස විය. තවද ඒ ගැන හඬ නගන්නන්ට හඬක් ලබා දීමද වැදගත් බව ඔහුගේ අදහස විය. සීෂෙල්ස් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රාජපක්ෂ මහතාද ලෝක දේශපාලනය තුල දූපත් රාජ්‍යයන්ට කල හැකි වැදගත් කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වීය.

පරිසරය සුරැකීම සහ සමුද්‍ර ගවේෂණය යනාදී අංශවලින් ශ්‍රී ලංකාවටද වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැක්කේය. පරිසරය සුරැකීම වැනි කර්තව්‍යයක් සඳහා ප්‍රමුඛත්වය ගැනීමෙන් ශ්‍රී ලංකාව වැනි රටකට මිතුරන් රැසක් ඇති කරගතහැක. විශාල ජෛව විවිධත්වයක් සහිත රාජ්‍යයක් ලෙස සීෂෙල්ස් රාජ්‍යය දැනටමත් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත. 2012 දී ඉහත සඳහන් කල දේශනයේදී එරට ජනපති මිචෙල් මහතා සඳහන් කලේ සීෂෙල්ස් රටේ බිම් ප්‍රදේශයෙන් අඩක්ම රක්ෂිත ප්‍රදේශ බවයි. ඒ අනුව රටේ බිම් ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතයක් රක්ෂිත ප්‍රදේශ බවට පත්කොට ඇති රාජ්‍යය සීෂෙල්ස් වන බව සඳහන් කල ඔහු ඒ අතින් තමන්ගේ රට ලෝකයෙන්ම උසස් බව ප්‍රකාශ කලේ මහත් ආඩම්බරයෙනි.

ලෝක දේශපාලනය තුල ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වැදගත්කම ඉහලගොස් ඇති සමයක කලාපීය මිතුදම් වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. සීෂෙල්ස් රාජ්‍යයේ පිහිටීම හේතුවෙන් බලවත් රාජ්‍යයන් කිහිපයකම අවධානය එරට වෙත යොමුවී ඇත. එරට තුල තානාපති කාර්යාලයක් පවත්වාගෙන යන රටවල් අතලොස්ස අතරට චීනය, ඉන්දියාව සහ රුසියාව යන රටවල් තුනම අයත් වේ. එමෙන්ම 2017 වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය සඳහා තරඟ කිරීමට සීෂෙල්ස් රාජ්‍යය අදහස් කරන බව මිචෙල් මහතා ශ්‍රී ලංකාවේදී කල ඉහත දේශනයේදී සඳහන් කළේය. එවන් අරමුණක් ඉටු කරගැනීමට සීෂෙල්ස් වැනි කුඩා රාජ්‍යයකට හැකිවේදැයි කිව නොහැක. නමුත් එවැනි පුළුල් අරමුණු සහිත රටක් සමඟ මිත්‍රත්වයක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට අවැඩක් වේ යයි කිව නොහැක.