Sunday, July 3, 2016

පළමු ලෝක යුද්ධය: ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට එක්වීම​

ඇමරිකා එක්සත් ජනපදය 1914 වසරේ පටන්ම ස්වකීය මධ්‍යස්ථභාවය රැක ගැනීමට උත්සුක විය​. එරට ජනාධිපති වුඩ්රෝ විල්සන් "සිතින් මෙන්ම ක්‍රියාවෙන් ද පක්ෂග්‍රාහී නොවන්න​" යයි සිය ජනයාගෙන් ඉල්ලා සිටියේ එබැවිනි.

එහෙත් මෙම ඉල්ලීම ඉටු කිරීම එතරම් පහසු වූයේ නැත​. එවකට මිලියන 92 ක් වූ ඇමරිකානු ජනගහනයෙන් තුනෙන් එකක් ම යුරෝපයෙන් සංක්‍රමණය වූවන් හෝ එවන් අයගේ දූදරුවන් හෝ වූහ​. එහෙයින් ඔවුන් සිය මව් රටවල් කෙරෙහි නැඹුරුවක් දැක්වීම පුදුමයක් නොවීය.

බොහෝ ඇමරිකානුවන්ගේ සහය ලැබුණේ මිත්‍ර රටවලට ය​. 1814 න් පසු බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව අතර යහපත් මිත්‍රත්වයක් වර්ධනය විය​. දෙරට අතර වෙළෙඳ සබඳතා ද ශක්තිමත් විය​. මේ අතර ප්‍රංශය සමඟ ද ඇමරිකානුන්ට විවිධ සබඳතා පැවති අතර ඇමරිකානු නිදහස් සටන සමයේ පටන් එන මිත්‍රත්වයක් ද විය​.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය තුළ මිත්‍ර පාක්ෂික ප්‍රචාරක කටයුතු ද අනර්ඝ ලෙස සිදු කෙරිණ​. ජර්මානු සෙබලුන් විසින් කරනු ලබන විවිධ යුධ අපරාධ පිළිබඳ සත්‍ය මෙන්ම අසත්‍ය කරුණු ද ප්‍රචාරය කරන ලදී. මෙම ප්‍රචාරයන්ට අනුව ජර්මන් සෙබලු ළදරුවන්ට බයිනෙත්තුවලින් ඇන මරා ඇමූ අතර අහිංසක වැසියන් අමු අමුවේ ඝාතනය කළහ​.

වෙළෙඳ කටයුතුවල වෙනස​

මධ්‍යස්ථ රාජ්‍යයන්හි ආයුධ නිෂ්පාදකයන්ට යුධ වැදුණ රටවලට ආයුධ විකිණීමට අවස්ථාව දෙනු ලැබීය​. මෙය ආර්ථික වශයෙන් පසුබා සිටි ඇමරිකාවට අගනා ප්‍රවෘත්තියක් වූයේය​. කෙසේ වෙතත් ඇමරිකානු වෙළෙඳ කටයුතු කිසි අයුරකින්වත් මධ්‍යස්ථ වී යැයි කිව නොහැක​. ජර්මනිය සමඟ වෙළෙඳාම් කල මධ්‍යස්ථ රටවල නැව් ද බ්‍රිතාන්‍යය විසින් හරවා යවනු ලැබීමද මීට හේතු වූ බව සත්‍යයකි. 1914 දී ඩොලර් මිලියන 824 ක් වූ ඇමරිකානු වෙළෙඳාම 1916 දී ඩොලර් බිලියන 3 ක් විය​. මේ අතර 1914 දී ඩොලර් මිලියන 169 ක් වූ මධ්‍ය බලවතුන් සමඟ වෙළෙඳාම 1916 දී ඩොලර් මිලියනය ඉක්මවූයේ යාන්තමිනි.

"මධ්‍යස්ථභාවයෙන් තොරව" ණය දීම​

යුද්ධය ඇරඹී ටික කළකින්ම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මූල්‍ය අපහසුතාවලට පත් විය​. එවිට එය වෙළෙඳාමට ද අයහපත් අයුරින් බලපෑවේය​. මෙහිදී ඇමරිකාව විසින් ණය ලබාදීම පිළිබඳ සළකා බලන ලදී. ඇමරිකානු රාජ්‍ය ලේකම් විලියම් ජෙනිංග්ස් බ්‍රයන් ණය ලබාදීම මධ්‍යස්ථභාවයට අහිතකර බව තර්ක කළ අතර ජනාධිපති වුඩ්රෝ විල්සන් ද මුලින්ම එය අනුමත කළේය​. නමුත් පසුව ඔහු ණය ලබාදීමට කැමැත්ත පළ කළේය​.

1917 දී ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට එකතු වනවිට මිත්‍ර පාක්ෂිකයන්ට ඩොලර් බිලියන 2.25 ක් ණය ලබා දී තිබුණ අතර මධ්‍ය බලවතුන්ට ලබාදී තිබුණේ ඩොලර් මිලියන 27 ක් පමණි. මෙය අන්තර්ජාතික නීතියට පටහැණි නොවූවද 'මධ්‍යස්ථභාවය' යන සංකල්පය සමඟ නම් ගැලපුනේ නැත​.

ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට කැඳවූ ජර්මන් සබ්මැරීන (යූ-බෝට්ටු) ව්‍යාපාරය​

තම නාවික හමුදා ශක්තිය බ්‍රිතාන්‍යය නාවික හමුදාව හා ගැටීමට ප්‍රමාණවත් නොවූ හෙයින් ජර්මනිය යොදාගත් විකල්පය වූයේ සබ්මැරීන හෙවත් යූ-බෝට්ටු ය​. (යූ-බෝට්ටු යන වදන සැදෙන්නේ Unterseeboot යන ජර්මන් වචනයෙනි).

1915 පෙබරවාරි 4 වනදා ජර්මනිය බ්‍රිතාන්‍යයට එරෙහි නාවික අවහිරතාවක් ඇරඹීය​. බ්‍රිතාන්‍ය වෙරළට ළංවන මිත්‍ර පාක්ෂික නෞකා ප්‍රහාරයට ලක් කෙරෙන බවට ජර්මනිය අනතුරු ඇඟවීය​. මේ අතරම ජර්මනිය ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යය විසින් සිය නෞකාවල මධ්‍යස්ථ රටවල ධජ ඔසවන බවය​. එහෙයින් බ්‍රිතාන්‍ය මුහුදු කලාපයේදී මධ්‍යස්ථ රටවල නෞකාද ප්‍රහාරයන්ට ලක්වීමේ ඉඩක් ඇතැයි ජර්මනිය අනතුරු ඇඟවීය​.

මේ අවස්ථාවේ සිය රටෙහි නෞකා ආරක්ෂා කරගැනීමේ අරමුණින් යුතුව ඇමරිකානු ජනාධිපතිවරයා ජර්මනියට දන්වා සිටියේ එරටෙහි ක්‍රියාකලාපයන්හි වගකීම ද එරට විසින් ම බාර ගතයුතු බවය​.

සාම්ප්‍රදායානුකූලව යම් යුධ නැවක් සතුරු රටක වෙළෙඳ නැවකට පහර දෙන්නේ නම් ඊට පෙර ඒ බව එම නැවට අනතුරු අඟවා, මගීන්ට ආරක්ෂාව සැලසීමට ඉඩ දිය යුතුය​. නමුත් සබ්මැරීන එකළ වූ නැව්වලට වඩා මන්දගාමී විය​. එහෙයින් යම් සබ්මැරීනයක් නෞකාවකට අනතුරු ඇඟවුවහොත් එම නෞකාවට ප්‍රහාරය ඇරඹීමට පෙර පළා යාමට හැකියාව තිබුණි. යුධ කාළයේ වෙළෙඳ නැව්වලද අවි ආයුධ සවි කර තිබූ හෙයින් අවශ්‍ය නම් සබ්මැරීනයට පහර දීමට ද හැකියාව තිබුණි.

මේ හේතුවෙන් ජර්මනිය කළේ බ්‍රිතාන්‍යය සමඟ ගනුදෙනු කරන වෙළෙඳ නැව්වලට පහරදීමේ සීමා රහිත සබ්මැරීන ව්‍යාපාරයකට යොමු වීමයි. එයින් ජර්මනිය බලාපොරොත්තු වූයේ බ්‍රිතාන්‍යය කුසගින්නේ තබා පරාජය කිරීමයි.

1915 මැයි 7 වනදා අයර්ලන්තයට දකුණු දිග මුහුදේදී බ්‍රිතාන්‍යයට අයත් වූ ලුසිටානියා නෞකාවට පහර දීම සීමාන්තික සබ් මැරීන ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය​. මෙම ප්‍රහාරයෙන් මියගිය ගණන 1,198 කි. ඉන් 128 දෙනෙක් ඇමරිකානුවෝ වූහ​.
ලුසිටානියාව ගිල්වීමේ දර්ශනය දැක්වෙන තැපැල්පතක්

ලුසිටානියා නෞකාව නිව් යෝර්ක් වරායෙන් පිටත් වූ දින එනුවර පුවත්පත්වල පහත සඳහන් දැන්වීම දක්නා ලදී.

"අත්ලාන්තික් නෞකා ගමනට සහභාගී වන සියලුම මගීන්ට​, ජර්මනිය සහ එරට මිතුරනුත්, බ්‍රිතාන්‍යය සහ එරට මිතුරනුත් අතර යුධමය තත්ත්වයක් පවතින බවද, එම යුධ කලාපයට බ්‍රිතාන්‍ය දූපත් අසළ සමුදුරු පෙදෙස් ද අයත් වන බව මතක් කෙරෙන අතර​, ජර්මානු අධිරාජ්‍ය ආණ්ඩුව විසින් මීට පෙර දැනුම් දෙන ලද පරිදි බ්‍රිතාන්‍යය හෝ එරට මිතුරන් ගේ හෝ ධජ යටතේ දිවෙන නෞකා යට කී සමුද්‍ර ප්‍රදේශයේදී පහරදීමකට ලක් වීමට ඉඩ ඇති බවද​, බ්‍රිතාන්‍යයේ හෝ එරට මිතුරන් ගේ ධජ යටතේ ගමන් කරන නෞකාවල ගමනාගමනයෙහි යෙදෙන මගීන් තම ආරක්ෂාව තමන් විසින් ම තර්ජනයට ලක් කරගන්නා බව ද ප්‍රකාශ කරමු.

අධිරාජ්‍යයීය ජර්මන් තානාපති කාර් යාලය​
වොෂිංටන් ඩී. සී.
1915 අප්‍රේල් 22"

කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා ජර්මන් රජයෙහි ප්‍රතිපත්තියට සිය විරෝධතා ලිඛිතවම දැක්වීය​. මේ අතර ඇමරිකාවේ හිටපු ජනපති තියඩෝර් රූසවෙල්ට් ප්‍රමුඛ යුධවාදී කණ්ඩායම​, ලුසිටානියා ප්‍රහාරයෙන් ඇමරිකානු ජීවිත අහිමිවීම ම ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් කරුණක් බව සඳහන් කළේය​. රූසවෙල්ට්ගේ අදහස වූයේ මෙය මිනීමැරීමක් බවත් "ජාතියේ ගෞරවය වෙනුවෙන්" යමක් කළ යුතු බවත් ය​.
වුඩ්රෝ විල්සන්

මේ අතර ජනාධිපති විල්සන් ජර්මනියට විරෝධය දක්වා ලිපි යැවීම විවේචනය කළෝ ද වූහ​. රාජ්‍ය ලේකම් බ්‍රයන් පැවසූවේ ජනාධිපතිවරයා තද වචන භාවිතයෙන් රට යුද්ධය කරා ගෙන යන බවය​. ඇමරිකානු පුරවැසියන් යුධවැදී සිටින රටවල නෞකාවලින් ගමන් කිරීම තහනම් කළ යුතු බව ඔහු කියා සිටියේය​. ඔහුගේ මතය අනුව ලුසිටානියා ප්‍රහාරයේ වරද ජර්මනියට පමණක් පැවරීම නිවැරදි නොවීය. එම නැවේ අවි ආයුධ ද ප්‍රවාහනය කළ හෙයින් බ්‍රිතාන්‍යය පිට ද වරදෙහි කොටසක් පැවරිය යුතු විය​.

කෙසේ වෙතත් විල්සන් ඔහු හා එකඟ වූයේ නැත​. එහි ප්‍රතිපලයක් ලෙස බ්‍රයන් ඉල්ලා අස් වූයේය​. නව රාජ්‍ය ලේකම් වූ රොබර්ට් ලැන්සිං බ්‍රයන් මෙන් නොව මිත්‍ර පාක්ෂිකයනට නැඹුරු අයකු විය​. ඔහු කෙමෙන් කෙමෙන් ජනාධිපතිවරයා ද එදෙසට හැරවීමට කටයුතු කළේය​.

සසෙක්ස් ප්‍රතිඥාව​

ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් දෙනා ලුසිටානියාව මුල් කරගෙන යුද්ධයට යාමට සූදානම් නොවීය​. එහෙත් කෙතෙක් අවවාද කළ ද ජර්මනිය වෙළෙඳ නැව් ගිල්වීම නොනැවැත්වීය​. අගෝස්තුවේ 'අරබික්' නම් නෞකාවට පහර දෙන ලද අතර ඇමරිකානුවෝ දෙදෙනකු ද එහිදී ජිවිතක්ෂයට පත් වූහ​. ඇමරිකානු ජනතාවගේ ද කෝපය උත්සන්න වෙමින් පැවතිණ​. මේ අතරවාරයේ ජර්මනිය මදක් පසු බසිමින් කියා සිටියේ වෙළෙඳ නැවක් පළා යාමට උත්සාහ කළහොත් මිස ඊට පහර නොදෙන බවය​.

නමුත් මෙම ප්‍රතිඥාව ද මාස කිහිපයක් තුළ දී කඩන ලදී. 1916 මාර්තුවේදී ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් සිටි සසෙක්ස් නමැති නිරායුධ ප්‍රංශ මගී නෞකාවකට පහර දෙන ලද අතර ඇමරිකානුවන් දෙදෙනකුට ද එම ප්‍රහාරයෙන් තුවාල සිදු විය​. ජනාධිපති විල්සන් ජර්මනියට තර්ජනාත්මක පණිවිඩයක් යවමින් සීමා රහිත සබ් මැරීන ව්‍යාපාරය නොනවත්වන්නේ නම් ජර්මනිය සමඟ වන තානාපති සබඳතා අහෝසි කරන බව ප්‍රකාශ කළේය​. තානාපති සබඳතා බිඳ දැමීම යනු යුධ ප්‍රකාශ කිරීමට ආසන්න පියවරකි. මෙම තර්ජනය හමුවේ ජර්මනිය යලිදු පසු බැස්සේය​. 1916 මැයි 4 වනදා සසෙක්ස් ප්‍රතිඥාව එළි දක්වමින් ජර්මනිය සීමා රහිත සබ්මැරීන ව්‍යාපාරය නවතා දැමීමට එකඟ විය​.

හමුදා ප්‍රතිසංවිධානය​

සසෙක්ස් ප්‍රතිඥාව බොහෝ ඇමරිකානුවන් ගේ බිය දුරු කිරීමට සමත් නොවීය​. මේ අතර තවත් ජනාධිපතිවරණයක් ද ළං වෙමින් පැවැතියේය​. යුද්ධය පිළිබඳ වූ මතභේදය තවත් උලුප්පා දැක්වීමට ජනපතිවරණ සටන ද බලපෑවේය​. යුධවාදීන් විල්සන් මුදු වැඩි බව පවසද්දී සාමවාදීන් සඳහන් කළේ ඔහු තද වැඩි බව ය​.

මේ අතර ඇමරිකානු රජය හදිසි අවස්ථාවක් සඳහා සූදානම් විය. යුධ හමුදා ශක්තිය 220,000 දක්වා දෙගුණයකින් පමණ වැඩි කරන ලද අතර ජාතික ආරක්ෂක හමුදාවට අයත් වූ 400,000 ක සෙබලු ෆෙඩරල් ආරක්ෂක සංස්ථාපනයේ කොටසක් බවට පත් කෙරිණ​. මේ අතර අලුතින් යුධ නැව් 137 ක් සෑදීමට කටයුතු කෙරිණ​.

ජනාධිපතිවරණය​

1916 නොවැම්බර් මස පැවති ඇමරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් වුඩ්රෝ විල්සන් ද රිපබ්ලිකන් පක්ෂයෙන් චාර්ල්ස් එවන්ස් හියුස් ද තරඟ වැදුණහ. විල්සන් ගේ ආධාරකරුවන් සිය මූලික සටන් පාඨය කරගත්තේ "ඔහු අප යුද්ධයට පැටලුවේ නැත​" යන්නයි. මේ අතර 1912 දී බෙදී ගිය රිපබ්ලිකන් පක්ෂය ද යලි ඒකාබද්ධ වී තරඟ වැදුණි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් විල්සන් ජයග්‍රහණය කළේය​.

විල්සන් යුධ වදින රටවල ජනතාව අමතයි

1917 ජනවාරි 22 වනදා ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභාව ඉදිරියේ යුධ වදින රටවල් අමතා කතාවක් කළ විල්සන් එමගින් කල් පවතින සාමයක් පිළිබඳ අදහස් පළ කළේය​. රටවල් අතර සමානාත්මතාව​, නිරායුධකරණය​, වැඩි ජනතාවකගේ අභිමතය පරිදි පත්වන රජයක් යටතේ ජීවත් වීමට සැමට ඇති අයිතිය ආදී කරුණු මත එය පදනම් විය යුතු වූයේය​.

මින්පසු යුද්ධ ඇතිවීම වළක්වාගැනීම සඳහා වන නව්‍ය අන්තර්ජාතික සංවිධානයක් පිහිටුවාගත යුතු වූ අතර පරාජිත රටවලට අවාසි වන ආකාරයේ වගන්ති සහිත සාම ගිවිසුමක් යුද්ධයෙන් පසු ඇති නොවිය යුතු විය​. මෙම අවසන් කරුණ කෙතරම් වැදගත් වීද යන්න වැටහෙනුයේ දෙවන ලෝක යුද්ධය ඇති වීම කෙරෙහි වර්සායි ගිවිසුම​, එනම් පළමු ලෝක යුද්ධය අවසානයේදී ඇති කරගත් ගිවිසුම​, බලපෑ ආකාරය සැළකීමේදී ය​.

ජර්මනියෙන් භයානක පියවරක්

කෙසේ නමුත් මෙම කතාවෙන් පසු ගතවූයේ දින කිහිපයකි. ජනවාරි 31 වනදා වොෂිංටනයේ ජර්මන් තානාපතිවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම් රොබර්ට් ලැන්සිං වෙත පණිවිඩයක් ලබා දෙමින්, සිය රට නැවතත් සීමා රහිත සබ්මැරීන යුධ ව්‍යාපාරයට අත තබන බව දන්වා සිටියේය​. සසෙක්ස් ප්‍රතිඥාව බිඳීම ඇමරිකානුවන් ගේ ප්‍රකෝපයට හේතුවන බව දැන දැනම එවන් පියවරක් ගත්තේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය​.

බ්‍රිතාන්‍යය හා මිත්‍ර පාක්ෂිකයන්ට අයත් නැව් බඩු ටොන් 600,000 ක් බැගින් මාස හයක් තුළ ටොන් මිලියන 3.6 ක් මුහුදුබත් කිරීමෙන් බ්‍රිතාන්‍යය දණ ගැස්විය හැකි බව ජර්මනිය ගණනය කර තිබුණි. 1916 අවසන් වන විට උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම ඉලක්කයෙන් අඩක් සපුරාගැනීමට ජර්මනිය සමත්ව සිටියේය​. බ්‍රිතාන්‍යය සමඟ වෙළෙඳාම් කරන සියලු රටවල නැව් ගිල්වා දැමීමෙන් මෙම ඉලක්කයට ළං විය හැකි බව ජර්මනිය අදහස් කළේය​.

සීමාරහිත සබ්මැරීන ව්‍යාපාරය අරඹා ගතවූ මුල් මාස කිහිපයේදී ජර්මනිය සාර්ථක ප්‍රතිපල ලැබීය​. 1916 අප්‍රේල් මාසයේදී නැව් බඩු ටොන් 875,000 ක් පමණ ගිල්වීමට ජර්මනිය සමත් විය​. මෙම තර්ජනයට මුහුණ දෙනු පිළිස බ්‍රිතාන්‍යයෝ වෙළෙඳ නෞකාවලට යුධ නැව්වල ආරක්ෂාව ලබාදීමට කටයුතු කළහ​.

යුධ ප්‍රකාශයට එක්සත් ජනපදය යොමු කළ ආසන්නතම හේතු

1917 පෙබරවාරි 1 වනදා ජර්මනිය සීමා රහිත සබ්මැරීන ව්‍යාපාරය දියත් කළ ද ඇමරිකාව පෙබරවාරි 3 වනදා ජර්මනිය සමඟ වූ තානාපති සබඳතා බිඳ දැමීය​. මීළඟ වසර එකහමාර තුළ ලතින් ඇමරිකාවේ එක්සත් ජනපද හිතවාදී රටවල් ගණනාවක් ද එම පියවර අනුගමනය කළ හ​.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට තල්ලු කළ ඊළඟ ප්‍රධාන කරුණ මතු වූයේ පෙබරවාරි 25 වනදා ය​.

ජර්මන් විදේශ ලේකම් සිමර්මාන් විසින් යවන ලද රහස් විදුලි පණිවිඩයක් බ්‍රිතාන්‍යයන් විසින් අනාවරණය කරගන්නා ලදුව ඇමරිකා එක්සත් ජනපද රජය අතට පත් වූයේ එදින ය​. එම විදුලි පුවත යවා තිබුණේ මෙක්සිකෝ රජයට ය​. මෙකළ මෙක්සිකෝ - ඇමරිකානු සබඳතා එතරම් යහපත් නොවීය. ජර්මන් විදෙස් ලේකම් මෙක්සිකෝවෙන් ඉල්ලා සිටියේ ඇමරිකාව සමඟ යුද්ධයකදී සහයෝගය ලබාදෙන ලෙස ය​. එයට ප්‍රත්‍යුපකාරයක් ලෙස මෙක්සිකෝ - ඇමරිකානු යුද්ධයේදී අහිමි වූ විශාල ප්‍රදේශය යළි ලබා ගැනීම සඳහා මෙක්සිකෝවට උපකාර කිරීමට ජර්මනිය පොරොන්දු විය​.

මේ අතර මාර්තු 18 වනදා ඇමරිකානු වෙළෙඳ නැව් තුනක් යූ-බෝට්ටු මගින් ගිල්වන ලදී. ජීවිත රැසක් ද ඉන් අහිමිව ගියේය​. ජනාධිපති විල්සන් යුද්ධය වෙත කෙමන් කෙමන් ගෙනයන ලදී. 1917 අප්‍රේල් 2 වනදා කොංග්‍රස් මණ්ඩලය ඇමතූ ඔහු යුද්ධයට යෑමට අනුමැතිය ඉල්ලා සිටියේය​. සිව් දිනකට පසු ඇමරිකා එක්සත් ජනපදය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

සබ්මැරීන යුධ ව්‍යාපාරයේ ඉරණම​

ජර්මන් සබ්මැරීන යුධ ව්‍යාපාරයේ අවසානය ළඟා වූ ආකාරය විමසා බැලීම වැදගත් ය​. 1917 මුලදී ජර්මන් යූ-බෝට්ටු උතුරු අත්ලාන්තික් සයුර හොල්මන් කළේය​. නමුත් වෙළෙඳ නෞකාවලට යුධ නැව්වලින් ආරක්ෂාව සැපයීමත්, ඇමරිකානු කාර්මික ශක්තියත් හේතුවෙන් මෙම යුධ ව්‍යාපාරය අවනතිය කරා ගමන් කළේය​. 1917 ගිම්හානය වන විට යූ-බෝට්ටු භීතිකාව පහව යන්නට විය​. 1918 වනවිට විනාශ කෙරෙනවාට වඩා වේගයෙන් නෞකා සාදන ලදී. යූ-බෝට්ටු ව්‍යාපාරය අඳුරෙන් අඳුරටම ගියේය​.

8 comments:

  1. විල්සන් ලොක්කාව බලෙන්ම වගේනේ යුද්දෙට ඇදගෙන තියෙන්නේ මේ ජර්මන්කාරයෝ.
    වුඩ්රෝ විල්සන් දුර දැක්ක නායකයෙක් වගේ.

    මේ එක නෙමේ චාමරයෝ පුලුවන්නම් මේ ලෝක යුද්ධය සම්බන්ධව "ඇසිදිසි මානයේ" දාපු පොස්ට් ඔක්කොම එක තැනකට ලින්ක් කරහන්කෝ.

    ReplyDelete
    Replies
    1. පිළිවෙලකට ලින්ක් දැම්මොත් මේ ආටිකල් එකක් විතර දිගට පහළට එනව අප්පා... :)
      ඒත් මොකක් හරි කරන්න ඕන​. ඔක්කොම ලියල ආයෙ වෙනම පෝස්ට් එකක් දාන්නම්

      Delete
  2. Replies
    1. ලෝක යුද්ධ ඉතිහාසය ගැන පරිවර්තන පොතක් කරන්න කියාපු කෙනෙක් තමයි මේ චාමර උන්දා.

      Delete
    2. අපි ලීවොත් බැරියැ

      Delete
  3. ඔන්න අද ආයෙත් කියවන්න පටන් ගත්ත

    ReplyDelete