Monday, February 25, 2013

කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලොවාකියාවේ බලය අල්ලා ගැනීම


1948 පෙබරවාරි 25 වනදා කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලෝවාකියාවේ බලය අල්ලා ගැනීම සහ ඊට පසළොස් වසකට පෙර හිට්ලර් බලයට පැමිණීම අතර සමානකම් කිහිපයක්ම පවතී. දෙවන ලෝක යුධ සමයෙහි හැරුණු විට, සිය කෙටි ඉතිහාසය පුරාවටම ප්‍රජාතාන්ත්‍රික පාලනයක් පැවති චෙකොස්ලෝවාකියාව මෙසේ 41 අවුරුද්දක කොමියුනිස්ට් පාලනය යුගයක් ආරම්භ කළේය.

යුරෝපා සිතියමේ චෙකොස්ලොවාකියාවේ පිහිටීම පවා එය නැගනහිර යුරෝපා රටකට වඩා බටහිර යුරෝපා රටකට සමානකම් පෙන්වන බවට සංකේතයක් මෙන් විය. මන්ද, එරට නැගෙනහිර යුරෝපයේ සිට බටහිර යුරෝපයට නැඹුරු වී මෙන් පිහිටි හෙයිනි. නමුත් 1945 වසරේ එරට ජර්මන් පාලනයෙන් ගලවා ගත්තේ සෝවියට් රතු හමුදාවයි. රතු හමුදා ප්‍රාග් අගනුවරට ඇතුළු වූයේ මැයි 9 වනදා, එනම් ජර්මනිය යටත් වී දින දෙකකිනි. ඊට පෙර ඇමරිකානු හමුදාවලට ප්‍රාග් වෙත පැමිණීමේ හැකියාව තිබුණද, සෝවියට් දේශය සමඟ ඇති කරගෙන තිබූ එකඟතාවය අනුව ඔව්හු එසේ නොකළහ. කෙසේ වුවද, මින් සිදු වූයේ, චෙකොස්ලොවාකියාව නිදහස් කරගැනීමේ ගෞරවය හිමි වියයුතු වන්නේ තමන්ට බව සෝවියට් දේශයට ප්‍රකාශ කළහැකි වීමයි.



දෙවන ලෝක යුද්ධයට පෙර සහ පසු චෙකොස්ලොවාකියාව, Wikimedia Commons.



ලෝක යුද්ධ අතරමැදි සමය (1918-1939) මුළුල්ලේම පාහේ (1939 මාර්තුවේ ජර්මනිය විසින් අල්ලා ගන්නා තුරු) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කරගත් එකම නැගෙනහිර හෝ මධ්‍යම හෝ යුරෝපා රාජ්‍යය වූයේ චෙකොස්ලොවාකියාව ය. 1921 බිහිවූ චෙකොස්ලොවාකියාවේ කොමියුනිස්ට් පක්ෂය (Komunistická strana Československa, KSČ) එරටෙහි වැදගත් දේශපාලන බලවේගයක් විය. 1925 මහ මැතිවරණයේදී සියයට 13.2 ක් ඡන්ද ලැබූ පක්ෂය 1929 සහ 1935 මැතිවරණවලදී සියයට 10 යාන්තමින් ඉක්මවා ගියේය. 1938 දී පක්ෂය තහනම් කරන ලදී.

දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු කොමියුනිස්ට් පක්ෂය කෙදිනකටත් වඩා ජනප්‍රිය වූයේය. යුධ සමයෙහි දිගටම නාසි විරෝධී සටනට දායක වීම, චෙකොස්ලොවාකියාවේ විමුක්ති දායකයන් වූ සෝවියට් දේශය කෙරෙහි වූ ජනතා ප්‍රසාදය, අනෙක් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි කරුණු මීට හේතු විය. කොමියුනිස්ට් නායක ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් වරෙක ප්‍රකාශ කලේ "වාසිදායක තත්ත්වයක් පැවතුනද අපේ ඊළඟ අරමුණ සෝවියට් ක්‍රමය හෝ සමාජවාදය හෝ නොව පූර්ණ ජාතික විප්ලවයක් ක්‍රියාත්මක කිරීමයි" යනුවෙනි.

1946 මැයි 28 වනදා පවතී මහ මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂය සියයට 30 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ආසන 300 න් 93 ක් දිනාගත්තේය. මෙය නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂයක් නිදහස් මැතිවරණයකදී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයය. එමෙන්ම, මෙම මැතිවරණයේදී දෙවන තැන ලබාගත් චෙකොස්ලෝවැක් ජාතික සමාජවාදී පක්ෂය ලැබුවේ ආසන 55 ක් පමණි. මේ අනුව කොමියුනිස්ට් පක්ෂය නැතිව ආණ්ඩුවක් පිහිටුවීම කල නොහැක්කක් බවට පත් වී තිබිණ. එහෙයින් මැතිවරණයෙන් පසු ජනාධිපති එඩ්වාර්ඩ් බෙනෙෂ් විසින් ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් අගමැති ධූරයට පත් කරන ලදී. කැබිනට් අමාත්‍යවරුන්ගෙන් බහුතරය, එනම් 26 දෙනෙකුගෙන් 17 දෙනකුම කොමියුනිස්ට්වාදීන් නොවීය. නමුත් 1933 දී හිට්ලර් කල පරිද්දෙන් අගමැති ධූරය සහ වැදගත් ඇමති ධූර කිහිපයක්ම කොමියුනිස්ට්වාදීන් විසින් තම පාක්ෂිකයන් වෙත ලබා ගන්නා ලදී. මේ අනුව යුධ හමුදාව සහ පොලිසියද, ජනමාධ්‍යද, අධ්‍යාපනය සහ සමාජ සේවා කටයුතුද, කෘෂිකර්මාන්තයද පැවතියේ කොමියුනිස්ට් ඇමතිවරුන් යටතේය. එහෙයින් රාජ්‍ය ආරක්ෂාව සහ සිවිල් සේවය සම්පූර්ණයෙන්ම පාහේ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට යටත් විය.



චෙකොස්ලොවාකියාවේ හිටපු ජනාධිපති එඩ්වාර්ඩ් බෙනෙෂ්, Wikimedia Commons.



කෙසේ නමුත් පොලිසිය යොදා ගනිමින් විරුද්ධවාදීන්ට පීඩා කිරීමත්, වැටුප් වැඩි නොකර වැඩිපුර වැඩ කිරීමට ජනතාවට බල කිරීමත්, සමූහ ගොවිපල ක්‍රමය හඳුන්වා දීමට අදහස් පල වීමත් යනාදී කරුණු හේතුවෙන් කෙටි කලක් තුලදී කොමියුනිස්ට් පක්ෂය ජනප්‍රියත්වයෙන් පහල ගියේය. 1948 මැයි මාසයේ පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය ඔවුනට අන්ත පරාජයක් අත්කර දෙනු ඇතැයි යන්න සාමාන්‍ය විශ්වාසය විය. නමුත් ඊට ප්‍රථම රාජ්‍ය බලය අල්ලා ගැනීම කොමියුනිස්ට්වාදීන්ගේ අපේක්ෂාව විය.

1947 අවසානය වනවිට ආණ්ඩුව තුල ගැටුම් මතු වෙමින් තිබුනද, එය උත්සන්න වූයේ 1948 පෙබරවාරි මුලය. කොමියුනිස්ට්වාදියකු වූ අභ්‍යන්තර කටයුතු ඇමති වක්ලාව් නෝසෙක් කොමියුනිස්ට්වාදීන් නොවූ ඉහල පෙලේ පොලිස් නිලධාරීන් පිරිසක් සේවයෙන් ඉවත් කළ අතර එමගින් ඔහු සිය බලය අතික්‍රමණය කල බවට කොමියුනිස්ට් නොවන කැබිනට් ඇමතිවරු චෝදනා එල්ල කළහ. මෙහිදී ඇතිවූ මත ගැටුම අතරවාරයේ කැබිනට් මණ්ඩලයේ බහුතරයක් විසින් එම නිලධාරීන් නැවත සේවයේ පිහිටුවිය යුතු බවට නිර්දේශ කල අතර නෝසෙක් එම නිර්දේශය ක්‍රියාත්මක කිරීම පැහැර හැරියේය. මේ අවස්ථාවේ කොමියුනිස්ට් නොවන ඇමතිවරුන් ජනාධිපති බෙනේෂ් වෙත ආයාචනය කලේ සිය නිර්දේශ ක්‍රියාත්මක නොකරන කොමියුනිස්ට් ඇමැතිවරුනට දඬුවම් කරන ලෙසය. පෙබරවාරි 21 වනදා කොමියුනිස්ට් නොවන ඇමතිවරු 12 දෙනෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දුන්හ.

ජනපති බෙනෙෂ් මෙම ඉල්ලා අස්වීම් භාර නොගෙන හදිසි මැතිවරණයකට ගියේ නම් කොමියුනිස්ට් පක්ෂය පරාජය වන්නට ඉඩ තිබුණි. නමුත් මේ වනවිට රට පුරා කොමියුනිස්ට්වාදී උද්ඝෝෂණ උත්සන්න වෙමින් පැවතුන අතර රටේ දේශසීමාවට එහා පැත්තේ රතු හමුදාව ඕනෑම තත්ත්වයක් සඳහා සැදී පැහැදී සිටියේය. ප්‍රාග් නගරය කොමියුනිස්ට් මිලීෂියා භටයන්ගේ සහ පොලිසියේ පාලනයට යටත් වූ අතර කොමියුනිස්ට් විරෝධී ඇමැතිවරුනට ඔවුනගේ අමාත්‍යාංශවලට යාමට පවා නොහැකි විය. කොමියුනිස්ට් විරෝධී පෙළපාලි මර්ධනය කරන ලදී. මේ අතර ලක්ෂයක පමණ ජනකායක් අමතමින් ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් කියා සිටියේ කොමියුනිස්ට්වාදීන්ගේ බහුතරයකින් යුතු කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් නොකරන්නේ නම් මහා වැඩවර්ජනයක් අරඹන බවය. එම අවදානම භාර ගැනීමට අකමැති වූ බෙනෙෂ් පෙබරවාරි 25 වනදා කොමියුනිස්ට් විරෝධී ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම් භාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට ගොට්වාල්ඩ්ට ඇරයුම් කළේය.



අන්තර්ජාතික ශිෂ්‍ය උළෙල (බුඩාපෙස්ට්, හංගේරියාව, 1949 අගෝස්තු) අවසන් ආචාර පෙළපාලියේදී චෙකොස්ලෝවැක් නියෝජිත පිරිස ස්ටාලින්ගේ (දකුණේ) සහ ගොට්වාල්ඩ්ගේ රුව සහිත පුවරු රැගෙන යති. (German Federal Archive) Bundesarchiv, Bild 183-R90009 / CC-BY-SA. Wikimedia Commons.



නව කැබිනට් මණ්ඩලයේ කොමියුනිස්ට් නොවන ඇමතිවරුන්ද කිහිප දෙනෙක් දක්නට ලැබුණහ. ඉන් ප්‍රධාන වූයේ විදෙස් ඇමතිවරයා සහ චෙකොස්ලොවාකියාවේ පළමු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ යාන් මසාරික් ය. නමුත් 1948 මාර්තු 10 වනදා ඔහු සැකසහිත මරණයකට ගොදුරු විය.

1948 පෙබරවාරි චෙකොස්ලෝවැක් කුමන්ත්‍රණය ලෙස කොමියුනිස්ට් විරෝධීන් විසින් හඳුන්වනු ලබව මෙම සිදුවීම් මාලාව කොමියුනිස්ට්වාදීන් විසින් හඳුන්වා දෙන ලද්දේ "විජයග්‍රාහී පෙබරවාරිය" ලෙසය. මෙම සිදුවීම් මාලාව විසින් යුරෝපා ඉතිහාසය උඩු යටිකුරු කරන ලදී. යුරෝපය තුල කොමියුනිස්ට්වාදීන්ට යම් ප්‍රසාදයක් වී නම් එය මේ සිද්ධිය මඟින් බොහෝ දුරට යටපත් විය. මෙතෙක් කලක් එක්සත් ජර්මනියක් කෙරේ බිය වූ ප්‍රංශය සිය භීතිය පසෙක ලා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සමඟ එකතු වී රටවල් තුන විසින් පාලනය කල ජර්මන් ප්‍රදේශ එකම කලාපයක් බවට පත් කළාය. 1949 මැයි මාසයේ බටහිර ජර්මනිය බිහි වූයේ එම එකමුතුව තුලිනි. මේ අතර බටහිර යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට විවිධ පියවර ගන්නා ලදී. යුද්ධයෙන් බැට කෑ යුරෝපා රටවලට ආධාර කිරීමට ඇමරිකාවෙන් ක්‍රියාත්මක කළ 'මාර්ෂල් සැලැස්ම' ඉක්මන් කරන ලදී. මේ අතර 1949 දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය බිහි විය. නිරවි යුද්ධය වෙනමම මානයකට රැගෙන යාමට 1948 පෙබරවාරියේ චෙකොස්ලොවාකියාවේ සිදු වූ සිද්ධීන් හේතු විය.

මහත් සිත් තැවුලට සහ හුදෙකලාවට පත් එඩ්වාර්ඩ් බෙනෙෂ් 1948 ජුනි මාසයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වූ අතර සැප්තැම්බර් 3 වනදා මිය ගියේය. ඔහුගේ වයස ඒ වනවිට අවුරුදු 64 ක් පමණක් විය. ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් ජනාධිපති ධූරයට පත්ව 1953 මාර්තු 14 වනදා ඔහුගේ මරණය තෙක් එම ධූරය දැරීය. ස්ටාලින්ගේ අවමංගල්‍යය උත්සවයෙන් දින පහකට පසු ඔහු මියයන විට 57 වන විය සපුරා තිබුනේ නැත. කෙසේ වුවද 1968 දක්වාම චෙකොස්ලොවාකියාව පාලනය කලේ දැඩි කොමියුනිස්ට් නායකයන්ය. 1968 දී "ප්‍රාග් වසන්තය" නමින් හැඳින්වෙන ක්‍රියාවලිය මගින් එම පාලනයේ යම් ලිහිල් වීමක් සිදු වුවද එහි ප්‍රතිපලය වූයේ එම වසරේ අගෝස්තුවේදී සෝවියට් හමුදා එරට ආක්‍රමණය කිරීමයි. 1989 "වෙල්වට් විප්ලවය" වනතුරු යලිත් එරට දැඩි කොමියුනිස්ට් පාලනයකට යටත් විය.

Sunday, February 24, 2013

ඉක්වදෝරයේ රෆායල් කොරයා ලතින් ඇමරිකාවේ මීළඟ වාමාංශික නියමුවාද?


ඉක්වදෝරයේ ජනාධිපති රෆායල් කොරයා රාජ්‍ය නායකයින් අතර තරුණයෙකි. ඔහුගේ පනස්වන උපන්දිනය යෙදී ඇත්තේ මෙම වසරේ අප්‍රේල් 6 වනදාය. එමෙන්ම ඔහු උගතෙකි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඔහු ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ ඉහලම සරසවියක් වන ඉලිනෝයි සරසවිය-අර්බානා ෂැම්පේන් සරසවියෙනි. 2007 සිට ඉක්වදෝරයේ ජනාධිපති ලෙස කටයුතු කරන ඔහු එරටට අවශ්‍ය වූ දේශපාලන ස්ථාවරත්වය අත් කරදී ඇත. 2012 සැප්තැම්බරයේදී ඔහුගේ ජනප්‍රියත්වය සියයට 80 ක් විය. ජනාධිපති පත් වී වසර පහක් ගතවූ පසු එතරම් ජනප්‍රියත්වයක් හිමිකරගත් නායකයකු ලතින් ඇමරිකාවේ තබා සමස්ථ ලෝකයේම වුවද සිටීදැයි සැක සහිතය.



ඔටවාලෝ ප්‍රදේශයේදී ජනතාව හමුවූ ජනපති රෆායල් කොරයා (2011) Wikimedia Commons.



මෙවන් තත්ත්වයක් යටතේ 2013 ඉක්වදෝර් මහා මැතිවරණය පිළිබඳ බොහෝ දෙනා තුල සැකයක් නොවීය. පෙබරවාරි 17 වනදා පැවති මැතිවරණයේදී එරට ව්‍යවස්ථාදායකය සඳහා ඡන්දය මෙන්ම ජනාධිපතිවරණයේ පළමු වටයද පවත්වන ලදී. ව්‍යවස්ථාදායකයේ ආසන 137 න් 92 ක්ම දිනා ගත්තේ කොරයාගේ PAIS සන්ධානයයි. (Alianza PAIS හෙවත් Alianza Patria Altiva I Soberana යනු ප්‍රෞඪ හා ස්වෛරී පීතෘභූමි සන්ධානය යන්නයි. ස්පාඤ්ඤ භාෂාවෙන් pais යන වදනේ තේරුම 'රට' යන්නයි). ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොවීය. කොරයා සියයට 56 ක් ඡන්ද ලබා ජයග්‍රහණය කල අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට ලැබුනේ සියයට 23 ක ඡන්ද ප්‍රමාණයක් පමණි. ඔහු මැතිවරණය අවසාන වූ විගස සිය පරාජය භාර ගත්තේය.

රෆායල් කොරයාගේ ජයග්‍රහණය පිළිබඳව පුවත කෙරෙහි එතරම් අවධානයක් යොමු නොවූයේ ඒ සමඟම සිදුවූ තවත් වැදගත් සිදුවීමකිනි. එනම් මාස දෙකක් තිස්සේ කියුබාවේ ප්‍රතිකාර ලැබූ හියුගෝ චාවේස් පෙබරවාරි 18 වනදා යළි වෙනෙසුවේලාවට ළඟා වීමයි. පිළිකාවෙන් පීඩා විඳින චාවේස්ගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් වීමත් සමඟ වෙනෙසුවේලාවේ පමණක් නොව චාවේස් විසින් ගොඩ නංවන ලද වාමාංශික එකමුතුවේ අනාගතයද අවිනිශ්චිත විය. ලතින් ඇමරිකාව තුල චාවේස්ගේ අඩුව පිරවීමට ඉදිරිපත් වූයේ ඉක්වදෝරයේ රෆායල් කොරයාය.

කාලයක් තිස්සේ ඉක්වදෝරයේ පැවති දක්ෂිනාංශික ආණ්ඩු පිළිබඳව කලකිරී සිටි ජනතාව 2006 ජනාධිපතිවරණයේදී වාමාංශික නායකයකු වූ රෆායල් කොරයාට ජයග්‍රහණය ලබා දුන්හ. 2007 ජනවාරියේ වැඩ භාරගත් හෙතෙම 2008 දී ඉක්වදෝරයේ විදේශ ණය ගෙවීම ප්‍රතික්ෂේප කළේය. 2009 ජනාධිපතිවරණයෙන් ද ඔහු පහසු ජයක් ලැබූ නමුත් මෙවර 2013 මැතිවරණයේදී ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය පෙර දෙවතාවටම වඩා වැඩිය.

දුප්පත්කම අඩු කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ ආදිය ඔහුගේ දේශීය ප්‍රතිපත්තිවල ප්‍රධාන අංග වෙති. වගා නොකරන ඉඩම් අයිතිකරුවන්ගෙන් පවරාගෙන ඉඩම් නැති ගොවීන්ට ලබාදීම ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි. මේ අතරම ඉක්වදෝරයේ ස්වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තුවකි. ඛනිජතෙල් සහ ආකාර කර්මාන්ත දියුණු කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී ඇත. "අපට රත්‍රන් මල්ලක් මත සිටින හිඟන්නන් විය නොහැක" යනුවෙන් ඔහු වරක් සඳහන් කළේය. නමුත් කාර්මික සංවර්ධනයට අවශ්‍ය විදෙස් ආයෝජන එරටට ළඟා වීම පසුගිය වසරවලදී අඩු වී තිබීම ජනපති කොරයා මුහුණදෙන ප්‍රධානතම බාධකයකි. එම බාධකයෙන් එතෙර වීමට ඔහු අපේක්ෂා කරන්නේ චීනය වැනි රටවල් සමඟ මිත්‍රත්වය වර්ධනය කරගැනීමෙනි.

ජනමාධ්‍ය පාලනයේදී රෆායල් කොරයා ඔහුගේ මිතුරු හියුගෝ චාවේස්ට වඩා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරයි. රජයට විරුද්ධ මාධ්‍ය වෙනෙසුවේලාවේ සාමාන්‍යයෙන් නිදහසේ ක්‍රියාත්මක වන නමුත් ඉක්වදෝරයේ නම් ඊට එතරම් ඉඩ හසර නොලැබේ. අවස්ථා කිහිපයකදීම විරුද්ධවාදී මාධ්‍යවේදීන්ට එරෙහිව නඩුහබවල පැටලුන රෆායල් කොරයා ඒවායින් ජයග්‍රහණද ලබා ඇත.



වමේ සිට පැරගුවේ, බොලිවියාව, බ්‍රසීලය, ඉක්වදෝරය සහ වෙනෙසුවේලා රටවල ජනාධිපතිවරු. (2009 ජනවාරි), Fabio Rodrigues Pozzebom/ABr (Agencia Brazil) Wikimedia Commons.



සිය විදෙස් ප්‍රතිපත්තියේදී රෆායල් කොරයා ඇමරිකන් විරෝධී වාමාංශික නායකයෙකි. 2012 දී විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට දේශපාලන රැකවරණ ලබාදීමට එකඟ වීමත් 2009 දී එතෙක් ඇමරිකානුවන් භාවිතා කල ගුවන් හමුදා කඳවුරක් සඳහා වූ බද්ද දීර්ඝ නොකිරීමත් ඊට උදාහරණ දෙකකි. චාවේස් විසින් නිර්මාණය කල අපේ ඇමරිකානු ජනතාවන් සඳහා වන බොලිවාරියානු සන්ධානය (Alianza Bolivariana para los Pueblos de Nuestra América-ALBA) නම් ජාත්‍යන්තර සංවිධානයේ ක්‍රියාකාරී නායකයෙකි. 2009 ජුනි මාසයේ ඉක්වදෝරය මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පෙර එහි වූයේ සාමාජික රටවල් 4 ක් පමණි. දැනට සමස්ථ සාමාජිකත්වය 8 කි. මේ අතර වෙනත් ප්‍රාදේශීය අන්තර්ජාතික සංවිධාන කිහිපයකම ඉක්වදෝරය ක්‍රියාකාරීව කටයුතු කරයි.

වෙනෙසුවේලාවේ ජනාධිපත් චාවේස් රෆායල් කොරයා වෙත සුබ පැතුම් පණිවිඩයක් එව්වේය. එමගින්, ALBA සංවිධානයටත් ඇමරිකානු රටවල බොලිවාරියානු සහ සමාජවාදී ව්‍යාපාරයනටත් රෆායල් කොරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය.

දෙවන ලෝක යුද්ධයේදී ජපනාට එරෙහිව කල පළමු ප්‍රහාරක මෙහෙයුම-ග්වාඩල්කනාල් යුධ ව්‍යාපාරය


1941 දෙසැම්බර් 7 වනදා පර්ල් හාබර් වෙත එල්ල කල ප්‍රහාරයත් සමඟ ජපන් අධිරාජ්‍යය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ විය. (1937 සිට ජපානය චීනය සමඟ යුද්ධයක පැටලී සිටියාය). කෙටි කලකින් ජපන් හමුදා නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේත්, දකුණු පැසිෆික් කලාපයේත් විශාල පෙදෙසක අණසක පැතිරූහ. පිළිවෙලින් 1942 මැයි සහ ජූනි මාසවල සිදුවූ කොරල් මුහුදේ සටන සහ මිඩ්වේ සටන විසින් පැසිෆික් සාගරයේ ජපන් ආක්‍රමණ සීමා කරන ලදී. මෙයින් මිඩ්වේ සටන ජපානය දෙවන ලෝක යුද්ධයේදී ලැබූ පළමු දරුණු පරාජය විය. මේ අතර 1942 අප්‍රේල් මාසයේ ලංකාවට බෝම්බ හෙලීම අසාර්ථක වීමෙන් පසු ඉන්දියානු සාගරය කරා වූ ජපන් ආක්‍රමණයක අවදානම බොහෝ දුරට පහ විය.

1942 මැයි මාසයේ කොරල් මුහුදේ සටනේදී කිසිදු පාර්ශවයකට පැහැදිලි ජයග්‍රහණයක් නොලැබුනද, එයින් පසුව දකුණු ශාන්තිකර (පැසිෆික්) සාගර ප්‍රදේශවල ජපන් නාවික හමුදා ක්‍රියාකාරකම් පාලනය විය. කෙසේ වුවද සොලමන් දූපත් ප්‍රදේශවල ජපන් හමුදා රැඳී සිටීම ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගමනාගමනයට තර්ජනයක් විය. මේ හේතුව නිසා, දකුණු සොලමන් දූපත්වල පිහිටි ග්වාඩල්කනාල් සහ අවශේෂ දූපත් කිහිපයක් අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කළාය.

ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් තීරණය කොට තිබුනේ මුලින්ම ජර්මනිය පරාජය කොට ඉනික්බිති ජපානය පරාජය කල යුතු බවයි. එහෙයින්, ඇමරිකාවේ සියලු හමුදා අංශවල සහය මෙම ප්‍රහාරයට ලැබුනේ නැත. නාවික හමුදාව සහ මැරීන් භටයෝ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූහ. ඔවුනට ඕස්ට්‍රේලියානු, නවසීලන්ත සහ බ්‍රිතාන්‍ය සහය ලැබිණ.

ප්‍රහාරය ආරම්භ වූයේ 1942 අගෝස්තු 7 වනදා හිමිදිරි පාන්දරය. ප්‍රහාරක බලකාය කොටස් දෙකකට බෙදී, එක් කණ්ඩායමක් ග්වාඩල්කනාල් දූපතටද, අනෙක් කණ්ඩායම ටුලාගි ඇතුළු කුඩා දූපත් කිහිපයකටද ගොඩබස්වන ලදී. ටුලාගි දූපතේ සිටි කුඩා ජපන් සේනාංකය ප්‍රබල සටනකට පසු අගෝස්තු 8 වනවිට යටත් විය. ග්වාඩල්කනාල් දූපතේදී මුලින්ම එතරම් දැඩි ප්‍රතිරෝධයක් එල්ල නොවූ අතර, ඇමරිකානු මැරීන් භටයන් විසින් පසුව හෙන්ඩර්සන් ගුවන් තොටුපල ලෙස හඳුන්වන ලද ස්ථානය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අල්ලා ගන්නා ලදී.



ග්වාඩල්කනාල් වෙත ගොඩබැසීම, 1942 අගෝස්තු 7. Guadalcanal Landings, Aug. 7, 1942. Wikimedia Commons.



ප්‍රහාරය ආරම්භයේදී දූපතෙහි විශාල ජපන් හමුදා සේනාංකයක් නොවූ නමුත් ජපානය ග්වාඩල්කනාල් අතහැර දැමීමට සූදානම් නොවීය. මේ හේතුවෙන් වහ වහා සෙබළුන් ප්‍රවාහනය කිරීමට සිදු විය. සපයාගත හැකි වූ සියලු යාත්‍රා අවශ්‍ය පරිදි මේ සඳහා යොදා ගැනිණ. කෙසේ වුවද, හැකි පමණ සෙබළුන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේදී, ඔවුනට ඇති තරම් බර ආයුධ සපයා දිය හැකි වූයේ නැත.

ඇමරිකානු හමුදාවලටද ග්වාඩල්කනාල් සටන් බිම කටුක අත්දැකීමක් විය. ඔවුනට සතුරු ප්‍රහාරවලට අමතරව අතීසාර වසංගතයකින්ද පීඩා විඳීමට සිදු විය. සෙබළුන්ට සටන් කිරීමට වූයේ, ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග සහිත දිවයිනකය. කෙසේ වුවද, භූමියේ වූ මෙම තත්ත්වය ජපන් හමුදාවලටද එලෙසම බාධක රැසක් එල්ල කළේය. ඇමරිකන් හමුදා අල්ලාගත් ප්‍රදේශවලින් ඔවුන් පලවා හරිනු පිණිස එම ප්‍රදේශවලට හමුදා ප්‍රහාර එල්ල කල යුතු වූයේ ගොඩබිමිනි. ඒ සඳහා, ජපනුන්ට ගමන් කරන්නට සිදු වූයේ කටුක භූමියක් හරහාය. ඇමරිකන් භටයන්ටද ඉදිරියට යාමට එක් බාධකයක් වූයේ මේ භූමියේ ස්වභාවයයි. තවත් ගැටලුවක් වූයේ ජපන් ස්නයිපර්කරුවන්ගේ ප්‍රහාරයන්ය.

ග්වාඩල්කනාල් අවට මුහුදේ සහ ඊට ඉහල අහසේ නාවික සහ ගුවන් සටන් නිරන්තරයෙන්ම සිදු විය. නොවැම්බරයේදී සිදුවූ නාවික ගැටුම මින් ප්‍රධාන වේ. මෙහිදී, ජපන් හමුදා සහ සැපයුම් රැගත් නෞකා කණ්ඩායමකට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වූ අතර සෙබළුන් සහ සැපයුම් විශාල ප්‍රමාණයකට ග්වාඩල්කනාල් දූපතට ළඟා විය හැකි නොවීය. මෙය ග්වාඩල්කනාල් සටනෙහි වැදගත් සන්ධිස්ථානයක් විය. මේ අතර නොවැම්බර් අවසන් භාගයේ සහ දෙසැම්බර් මුල් භාගයේ තවත් අවස්ථා කිහිපයකදී ජපන් හමුදාවලට අවශ්‍ය සැපයුම් ග්වාඩල්කනාල් වෙත නැව් මඟින් යැවීමට ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ විය. මේ අනුව සටන දිගටම ගෙනයාම අසීරු බව දුටු ජපන් නාවික හමුදාව දූපත අතහැරීමට යෝජනා කළේය. 1942 අවසානයේ මෙම යෝජනාවට අනුමැතිය ලැබිණ. 1943 ජනවාරියේ හමුදා ඉවත් කරගැනීම ඇරඹුන අතර, පෙබරවාරි 9 වනවිට අවසන් ජපන් සේනාංක ග්වාඩල්කනාල් හැර ගියහ.

ග්වාඩල්කනාල් සටන් ව්‍යාපාරය දෙපක්ෂයටම ඉතා වැදගත් විය. මෙහිදී ජපන් හමුදාවලට මුහුණ දීමට සිදු වූයේ සංඛ්‍යාවෙන් විශාල ඇමරිකානු හමුදාවකටය. නමුත් ජපන් සෙබළුන් සංඛ්‍යාත්මකව අඩු වීමට තවත් හේතුවක් වූයේ, ජපන් හමුදාවලට අවශ්‍ය තරම් අතිරේක භටයන් ලබා ගැනීමට නොහැකි වීමයි. ඊට මූලික හේතුව වූයේ ඇමරිකානු ප්‍රහාරයන්ය.

ග්වාඩල්කනාල් සටන අවසන් වන විට ස්ටාලින්ග්‍රාඩ් සටන අවසාන වී ගතව තිබුනේ සතියකි. ජර්මන් යුධ ව්‍යාපාරය පිළිබඳ ස්ටාලින්ග්‍රාඩ් අනාවැකියක් වූවා සේම, ජපන් යුද්ධ ව්‍යාපාරය පිළිබඳ ග්වාඩල්කනාල් පැහැදිලි අනාවැකියක් ගෙනහැර දැක්වීය. තමන්ට වඩා බෙහෙවින් වැඩි කාර්මික ශක්තියක් තිබුණු ඇමරිකාව සමග දීර්ඝ කාලීන යුද්ධයක අවසානය තමාගේ පරාජයෙන් කෙළවර වන බව ඇතැම් ජපනුන් ග්වාඩල්කනාල්වලදී තේරුම් ගන්නට ඇත.

Friday, February 15, 2013

රුසියාවට ප්‍රහාරයක්! හැබැයි මේක උල්කාවක්.


යූරල් කඳු පාමුල පිහිටි, මිලියන 1.1ක් හෙවත් ලක්ෂ 11ක් ජනයා දිවි ගෙවන චෙල්යබින්ස්ක් නගරයේ ඉතිහාසය වසර 277ක් ඈතට දිවෙයි. මේ කාලය තුල එම නගර වැසියෝ ඒකාධිපති පාලනයන්, මහා සයිබීරියානු දුම්රිය මාර්ගය ඉදිකිරීම, රුසියානු සිවිල් යුද්ධය, ස්ටාලින්ගේ ඝාතන, සෝවියට් දේශය බිඳ වැටීම යනාදී විපර්යාසයන් දැක ඇත. නමුත් අද, එනම් 2013 පෙබරවාරි 15 වනදා උදෑසන සිදුවූ වැන්නක් මෑත ඉතිහාසයේ එම නගර වැසියෝ අත්විඳ නැත්තාහ.

"මම මුලින්ම දැක්කේ අහසේ වූ දීප්තිමත් ගින්නක්. ඉන්පසු දැවැන්ත පිපිරුමක් සිදුවුණා. ඉන් ජනෙල් බිඳී ගියා විතරක් නොවෙයි ජනෙල් රාමු පවා ගැලවී ආවා" රුසියානු ටෙලිවිෂන් (Russian TV-RT) සේවයට අදහස් දක්වමින් ටයිසියා අලබුසීනා නම් කාන්තාව ප්‍රකාශ කොට තිබුණි.

උල්කාවෙන් ඇති වූ දුමාරය, චෙල්යබින්ස්ක්. ඡායාරූපය නිකිතා ප්ලේහනොව්. (Chelyabinsk Meteor Trace 15-02-2013, Photo by Nikita Plekhanov), Wikimedia Commons.



චෙල්යබින්ස්ක් වේලාවෙන් උදෑසන 9.15 ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් බොහෝ නගර වැසියෝ දැඩි ලෙස භීතියට පත්ව සිටියහ. ඇතැමුන් සිතුවේ පිටසක්වල ප්‍රහාරයක් එල්ලවන බවය. තවකෙක්ගේ මුල් සිතුවිල්ල වූයේ යුද්ධයක් ආරම්භ වී ඇති බවයි. කෙසේ නමුත් පසුව සත්‍ය සිද්ධිය, එනම් උල්කාපාත වැස්සක් වැටී උල්කා කිහිපයක් පොළවට වැටුන බව අනාවරණය වූ විට සමහර දෙනා සිතුවේ තවත් උල්කාපාත වැටෙනු ඇති බවයි. මේ අතර "උල්කා වැටෙනවා නම් චෙල්යබින්ස්ක් ඇරෙන්න වෙන තැනක් තිබුනෙම නැද්ද?" යයි මැසිවිලි නගන්නට ඇතැම්හු පෙළඹුනහ.

උල්කාපාත ප්‍රහාරයක් රුසියාවට එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. 1908 දී සිදුවූ ටන්ගුස්කා සිද්ධිය මින් ඉතාම ප්‍රකට සිද්ධියයි. මෙහිදී උල්කාවක් පොලව හා ගැටුන බවක් විශ්වාස නොකෙරේ. විශාල උල්කාවක් නිසා ඇතිවූ වායු ධාරා හේතුවෙන් මෙය සිදුවූ බව කියවේ. නමුත් මෙම සිද්ධිය සිදුවූයේ පොඩ්කමනායා ටන්ගුස්කා නම් ගංගාව අසල වනාන්තරයේ බැවින් මිනිසුන්ට මින් හානියක් නොවීය. එසේම මේ පිලිබඳ අධ්‍යයනයක් කිරීමට වසර ගණනක් ගත විය. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් මිලියන ගණනක් ගස් කඩා වැටුන බව සඳහන්ය.

ජනාකීර්ණ ප්‍රදේශවලට නොවැටුන හෙයින් චෙල්යබින්ස්ක් උල්කා 'ප්‍රහාරයෙන්' සිදුවූ තුවාල බොහෝ විට සිදුවූයේ කැඩී බිඳී ගිය වීදුරු කැබලි හේතුවෙනි. රුසියානු ටෙලිවිෂනය සඳහන් කල පරිදි 725 දෙනෙක් විවිධ වෛද්‍යමය ප්‍රතිකාර සඳහා යොමු වූ අතර 112 දෙනෙක් රෝහල්ගත වූහ. එයින් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව සඳහන් විය. නගරයේ විශාලතම දේපල හානිය සිදුව ඇත්තේ එහි වන සින්ක් ලෝහ කර්මාන්තශාලාවටය. එහි වහලයේ කොටසක් කඩා වැටුන බව වාර්තා වේ.

මේ අතර උල්කා කැබලි හේතුවෙන් සෑරුණ ආවාට තුනක් ඒ ආසන්න ප්‍රදේශවලින් සොයාගෙන ඇතැයි වාර්තා විය. මින් දෙකක් නගරය ආසන්නයේම ඊට බටහිරින් වන චර්බාකුල් විල අසලින් සොයාගෙන ඇති අතර ඉන් එකක් මීටර හයක විශ්කම්භයෙන් යුතුයැයි වාර්තා වේ. අනෙක් ආවාටය නගරයට වයඹ දෙසින් කිලෝමීටර 80 ක් පමණ ඈතින් සොයාගෙන ඇත. කෙසේ වුවද මේ ප්‍රදේශවලින් අසාමාන්‍ය විකිරණශීලීතා වාර්තා වී නැත.

චෙල්යබින්ස්ක් උල්කා වැටීම රුසියාවේ සහ කසාක්ස්ථානයේ යාබද ප්‍රදේශවලට දිස් වී ඇත. කසාක්ස්ථානයේ බලධාරීන් කියා සිටියේ එම රටට වැටුනේ යයි සිතන කැබලි දෙකක් සොයා පරීක්ෂණ පැවැත්වෙන බවය.

නුහුරු නුපුරුදු උපද්‍රවයකින් මිනිසුන් කෙතරම් බිය වන්නේද යන්න මෙම සිද්ධිය මගින් යලිත් පැහැදිලි විය. 2012 ලෝක විනාශය පිළිබඳ මතුවූ අනාවැකි පවා ඇතැමුන්ට මතකයට නැගුන බව නිසැකය. අද දින බරපතල ජීවිත හානි නොවූවද, විශාල උල්කාවක් ජනාකීර්ණ ප්‍රදේශයකට වැටීමේ අවධානමත්, ඒ පිළිබඳ මිනිසාට කළහැකි දේ අවම වීමත් ගැන මෙම සිද්ධිය හේතුවෙන් අවධානය යොමු වනු නිසැකය. චෙල්යබින්ස්ක් නගරය වාසනාවන්ත වූ පරිදි වෙනත් නගරයක් වාසනාවන්ත වේද යන්න අප තුල පැන නගින ගැටලුවයි.

Tuesday, February 12, 2013

ස්ටාලින්ග්‍රාඩ් සංග්‍රාමයේ 70 වන සංවත්සරය (දෙවන කොටස)


පලවෙනි කොටස කියවලාම එන්න.

ජර්මන් හමුදාවෝ දිගින් දිගටම ස්ටාලින්ග්‍රාඩ් නගරයට පහර දෙනවිට ඊට මුහුණ දීම සඳහා සෝවියට් භටයන්ද විවිධ ක්‍රම සොයා ගත්හ. ඉන් එකක් වූයේ "වැළඳ ගැනීම" නම් උපක්‍රමයයි. සතුරාගේ වෙඩි බලයට එරෙහි උපායක් ලෙස ඔවුහු මේ ක්‍රමය භාවිතා කළහ. මෙයින් බලාපොරොත්තු වූයේ හැකි තරම් ප්‍රතිවාදියාට ළං වී සටන් කිරීමයි. එවිට ප්‍රතිවාදී කාලතුවක්කු සහ ගුවන් සේනාංකවල ප්‍රහාරවලින් බේරීමට සෝවියට් භටයන්ට හැකිවිය. මන්ද යත්, තමන්ගේ සෙබළුන්ට හානි වේ යන බියෙන් ජර්මන් සේනාංක එම ප්‍රදේශවලට බෝම්බ නොදැමූ බැවිනි.

ස්ටාලින්ග්‍රාඩ් සටනේ තවත් එක පැතිකඩක් වූයේ ස්නයිපර්කරුවන්ගේ ක්‍රියාකාරීත්වයයි. ගොඩනැගිලිවල සුන් බුන් අතර සැඟවුණු සෝවියට් සහ ජර්මන් ස්නයිපර්කරුවන්ගේ ගොදුරු බවට දෙපක්ෂයේම සිය ගණනක් සෙබළු පත් වූහ. ඇතැම් අවස්ථාවල, ස්නයිපර්කරුවන් දෙදෙනෙකු අතර ද්වන්දව සටන් පවා ඇති විය. සෝවියට් දේශයේ සුප්‍රසිද්ධම ස්නයිපර්කරුවා වූ වසීලී සයිට්සෙව් අතින් පමණක් මිය ගිය සතුරු සෙබළුන් ගණන 225 කට වැඩි මිසක් අඩු නොවේ. (විලියම් ක්‍රේග් විසින් ලියූ Enemy at the Gates: The Battle for Stalingrad නම් පොත සහ ඒ ඇසුරින් 2001 දී නිර්මාණය වූ Enemy at the Gates චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සයිට්සෙව් වෙයි).

ලිපියේ පළමු කොටසේ දැක්වූ පරිදි ජර්මන් හමුදා (6 වන ජර්මන් හමුදාව සහ 4 වන පැන්සර් හමුදාව) සිය සම්පූර්ණ අවධානය යොමු කලේ ස්ටාලින්ග්‍රාඩ් නගරයටය. එහෙයින් නගරයේ සිටි සෝවියට් භටයෝ දැඩි පීඩනයකට ලක් වූහ. නොවැම්බර් මැද වනවිට ඔවුන් අත වූයේ වොල්ගා නදී බඩ කුඩා බිම් ප්‍රදේශ දෙකක් පමණි. කෙසේ වුවත්, නගරයට පිටින් හමුදා පෙරමුණු දුර්වල තත්ත්වයක පැවති අතර ගඟෙන් එහා ඉවුරෙහි සෝවියට් හමුදා එක් රැස් වෙමින් පැවතිණ.

මෙම සෝවියට් හමුදා 1942 නොවැම්බර් 19 වනදා දියත් කළ "යුරේනස් මෙහෙයුමේ" ඉලක්කය වූයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයට පිටතින් ප්‍රදේශවල සිටි හමුදාය. නොවැම්බර් 19 වනදා, නගරයට උතුරින් සිටි 3 වන රුමේනියානු හමුදාව වෙත ජෙනරාල් නිකොලායි වටුටින් විසින් මෙහෙයවන ලද සෝවියට් හමුදා තුනක් (1 වන මුරභට හමුදාව, 5 වන යුධ ටැංකි හමුදාව සහ 21 වන හමුදාව) කඩා වැදුනහ. ඊළඟ දිනයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයට දකුණින් යුධ පෙරමුණ ආරක්ෂා කළ 4 වන රුමේනියානු හමුදාව වෙත 57 වන සහ 64 වන සෝවියට් හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කෙරිණ. මෙම රුමේනියානු හමුදා දෙකත්, අනෙක් අවශේෂ හමුදා කණ්ඩායමුත් ඔවුන් සිටි ප්‍රදේශවලින් වේගයෙන් පළවා හරින ලදී. නොවැම්බර් 23 වනදා වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයට නිරිතදිගින් පිහිටි කලාච් නම් නගරයේදී සෝවියට් හමුදා කණ්ඩායම් දෙක හමු වූහ. ස්ටාලින්ග්‍රාඩ් නගරයේ සිටි 6 වන ජර්මානු හමුදාව දින 4 ක් වැනි සුළු කාලයකදී වටලනු ලැබීය.

මේ වනවිට ජර්මන් ගුවන් බලය අභිබවමින් සෝවියට් ගුවන් බලය නැගී සිටීම ජර්මානුන්ගේ තත්ත්වය තවත් අපහසු කළේය. මුල් කාලයේ ස්ටාලින්ග්‍රාඩ් සටන් බිමට ඉහල අහස පාලනය කළෝ ජර්මන් ගුවන් යානා වූහ. එහෙත්, සෝවියට් ගුවන් යානා වැඩි වැඩියෙන් සටනට එක්වීමත් සමඟ ජර්මානුන්ට ඔවුන් හා තරඟ කිරීම අපහසු වන්නට විය.

මෙය කෙලින්ම බලපෑවේ වටලනු ලැබූ 6 වන හමුදාවටය. ජර්මන් ගුවන් හමුදා ප්‍රධානියා වූ හර්මන් ගෝරිං කියා සිටියේ ගුවන් මගින් එම හමුදාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම කල හැකි බවය. නමුත් සතුරු ප්‍රහාර කිසිවක් නොවූවද අවශ්‍ය තරම් ආහාර පාන, අවි ආයුධ ආදිය ගුවනින් සැපයීම ප්‍රායෝගිකව කළහැක්කක් නොවීය. සෝවියට් ප්‍රහාර නිසා තත්ත්වය තවත් බැරෑරුම් වූයේය.

මේ අවස්ථාවේ හිට්ලර් නැවතත් යුධ ව්‍යාපාරය සමඟ 'පිස්සු නටන්නට' පටන් ගත්තේය. ඔහුගේ අදහස වූයේ 6 වන හමුදාව එක බිම් අඟලක්වත් පසුපසට පැමිණිය යුතු නොවන බවයි. ස්ටාලින්ග්‍රාඩ් අත හැරීමේ අදහසක් හිට්ලර්ට නොවීය. මේ අනුව ඔහුගේ අදහස වූයේ වෙනත් ජර්මන් හමුදාවක් ස්ටාලින්ග්‍රාඩ් දෙසට යවා 6 වන හමුදාව වටලෑමෙන් ගලවා ගැනීමයි. මේ අවස්ථාවේ ස්ටාලින්ග්‍රාඩ් ගලවා ගැනීමට එන හමුදාව නගරය කිට්ටුවටම පැමිණි අතර ඒ සමඟම නගරයේ සිටි හමුදාවද පහර දෙමින් පිටතට එන්නට උත්සාහ කලේ නම් එය සාර්ථක වන්නටද ඉඩ තිබිණ. නමුත් 6 වන හමුදාවට පසු බැසීමට අවසරයක් නොවූ බැවින් ඔවුනට සිදු වූයේ සහයක ජර්මානු හමුදා පැමිණෙන තෙක් බලා සිටීමටය. ජනරාල් එරික් ෆොන් මැන්ස්ටයින් විසින් නායකත්වය දුන් 'සිසිර කුණාටුව' නම් වූ මෙම ගලවාගැනීමේ මෙහෙයුමට සහභාගී වූ ඇතැම් ජර්මන් හමුදා කණ්ඩායම් නගරයට කිලෝ මීටර 50 කටත් වඩා ආසන්නයට පැමිණියහ. කෙසේ හෝ වේවා, සෝවියට් හමුදා විසින් එම උත්සාහයද වලකන ලදී.

1943 ජනවාරිය වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයේ ජර්මානුන්ගේ තත්ත්වය බරපතල විය. දැඩි ශීතල නිසා වූ අපහසුව ආහාර හිඟය විසින් දෙගුණ තෙගුණ කරන ලදී. ගුවනින් සැපයුම් කටයුතු කිරීම නරක කාලගුණය සහ සෝවියට් ගුවන් ප්‍රහාර හේතුවෙන් අතිශය අපහසු ව්‍යායාමයක් බවට පත්ව තිබිණ. දිනෙන් දින සෝවියට් හමුදාවෝ නගරයේ ප්‍රදේශ එකිනෙක නැවත අල්ලා ගත්හ.

සෝවියට් සොල්දාදුවෙක් ස්ටාලින්ග්‍රාඩ් නගර මධ්‍යයේ රතු ධජය ලෙළවයි, (1943 ජනවාරි) ජෝර්ජි සෙල්මාගේ ඡායාරූපයක් (ජර්මන් ෆෙඩරල් ලේඛනාගාරය), Bundesarchiv, Bild 183-W0506-316 / Georgii Zelma / CC-BY-SA. Wikimedia Commons



හිට්ලර් මේ අවස්ථාවේ කළේ තවත් එක්තරා 'නාඩගමකි'. එනම් 6 වන හමුදාවේ අණදෙන නිලධාරී ජනරාල් ෆොන් පවුලුස් ෆීල්ඩ්මාර්ෂල් තනතුරට උසස් කිරීමයි. ජර්මන් සහ ප්‍රෂියානු ඉතිහාසයේ කිසිදු ෆීල්ඩ්මාර්ෂල්වරයකු ප්‍රතිවාදී හමුදාවකට යටත් වී තිබුනේ නැත. එහෙයින් හිට්ලර් බලාපොරොත්තු වූයේ ෆොන් පවුලුස් යටත් නොවී සියදිවි නසාගනු ඇතැයි යන්නය. කෙසේ වුවද, පසු බැසීම සඳහා තමාගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප වීම නිසා තම හමුදා සෙබළුන් පත්ව ඇති තත්ත්වය දුටු පවුලුස් සිටියේ දැඩි අප්‍රසාදයෙනි. එහෙයින්, තමා ෆීල්ඩ්මාර්ෂල් තනතුරට උසස් කල දිනට පසුදා, එනම් 1943 පෙබරවාරි 1 වනදා, සෝවියට් හමුදා තමාගේ මූලස්ථානය ආසන්නයටම පැමිණෙන තෙක් සිටි ඔහු ඔවුනට යටත් විය. ඊළඟ දිනයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයේ වූ අවශේෂ ජර්මන් හමුදා සේනාංකද යටත් වූහ. දෙවන ලෝක යුද්ධයේ පළමු වතාවට සමස්ථ ජර්මන් හමුදාවක් සතුරාට යටත් වී තිබිණ. ස්ටාලින්ග්‍රාඩ් නගරය සඳහා වූ මරාගැනීම මෙසේ නිමා විය.

නාසි ආණ්ඩුවට මෙම පරාජය දිරවාගැනීම ඉතා අපහසු විය. කෙසේ නමුත් මේ සා දැවැන්ත පරාජයක් ජනතාවගෙන් වසන් කිරීමේ හැකියාවක් නොවීය. මෙය නාසි ආණ්ඩුව යුධ පරාජයක් ප්‍රසිද්ධියේ පිළිගත් පළමු වතාව වූයේය. මෙම පරාජයෙන් දින කිහිපයකට පසු 1943 පෙබරවාරි 18 වනදා බර්ලින් නගරයේදී කළ සුප්‍රසිද්ධ කතාවකින් ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස් "සීමාරහිත යුද්ධයක්" (Total War) දියත් කිරීම පිළිබඳ ජනතාවට කියා සිටියේය.

ෆීල්ඩ්මාර්ෂල් ෆොන් පවුලුස් (වමේ) , මේජර් ජනරාල් ආතර් ෂ්මිට් (මැද) සහ සහායක නිලධාරී විල්හෙම් ඇඩම් සෝවියට් හමුදාවනට යටත් වූ පසු. (German Federal Archive) Bundesarchiv, Bild 183-F0316-0204-005 / CC-BY-SA, Wikimedia Commons



ස්ටාලින්ග්‍රාඩ් සටනින් වැඩිම ජීවිත හානි සිදු වූයේ සෝවියට් දේශයටයි. සටනේදී මියගිය සහ තුවාල ලද සියලු සෝවියට් වැසියන් ගණන මිලියන 1.15 ක් හෙවත් ලක්ෂ එකොළහමාරක් පමණ විය. ජර්මන් හමුදාවල මියගිය, අතුරුදන් වූ, තුවාල ලද සහ අල්ලා ගන්නා ලද පිරිස ලක්ෂ අටහමාරක් පමණ විය. මේ අතර යටත් වූ ලක්ෂයකට අධික නිලධාරීන් සහ සෙබළුන්ගෙන් යළි සියරට බලා යාමට වරම් ලද්දේ 6000 ක් පමණි. මේ අතර ෆෙඩ්රිෂ් ෆොන් පවුලුස් ද විය. සෝවියට් හමුදාවලට යටත් වූ පසු හිට්ලර්ව තවත් කෝපයට පත් කරමින් සෝවියට් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රබල නාසි විරෝධී ප්‍රකාශයන් පවා ඔහු විසින් නිකුත් කෙරිණ. 1946 නියුරම්බර්ග් නඩු විභාගයේදී සාක්කි දුන් ඔහුට 1953 දී නැගෙනහිර ජර්මනියේ පදිංචි වීමට අවසර ලැබිණ. සෝවියට් හමුදාවලට යටත් වීමෙන් හරියටම වසර දාහතරකට පසු ඔහු මියගියේය.

Thursday, February 7, 2013

ස්ටාලින්ග්‍රාඩ් සංග්‍රාමයේ 70 වන සංවත්සරය (පළමු කොටස)


පසුගිය පෙබරවාරි 2 වනදා, ස්ටාලින්ග්‍රාඩ් සටනේ 70 වන සංවත්සරය සැමරීමේ උත්සවයක් රුසියාවේ වොල්ගොග්‍රාඩ් නගරයේදී පැවැත්විණ. 1589 සිට ට්සාරිට්සින් ලෙස හඳුන්වනු ලැබූ එම නගරය 1925 දී ජෝසප් ස්ටාලින් විසින් ස්ටාලින්ග්‍රාඩ් යයි නම් කරනු ලැබුණි. 1961 දී නගරයේ නම වොල්ගොග්‍රාඩ් ලෙස වෙනස් කරන ලදී. නමුත් පසුගිය ජනවාරි 31 වනදා වොල්ගොග්‍රාඩ් නගර සභාව විසින් තීරණය කෙරුණේ දෙවන ලෝක යුද්ධය සම්බන්ධ වැදගත් දින හයකදී (පෙබරවාරි 2, මැයි 9, ජුනි 22, අගෝස්තු 23, සැප්තැම්බර් 2 සහ නොවැම්බර් 19) නගරය ස්ටාලින්ග්‍රාඩ් ලෙස හැඳින්විය යුතු බවයි. මෙම දින හයෙන් 3ක් ම ස්ටාලින්ග්‍රාඩ් සංග්‍රාමය හා බැඳුන දින වෙති.

"The Motherland Calls!," the central part of the memorial complex on Mamayev Kurgan. A view from Ploshchad Geroyev (Heroes' Square), RIA Novosti archive, image #642884 / Perventsev / CC-BY-SA 3.0 වොල්ගොග්‍රාඩ් හි මමායෙව් කුර්ගාන් කන්ද ආශ්‍රිතව පිහිටි ස්ටාලින්ග්‍රාඩ් යුධ ස්මාරකයේ ප්‍රධානම අංගය වන "මාතෘභූමිය ඔබ අමතයි!" ප්‍රතිමාව. මෙය ආධාරක නොමැතිව සිටගෙන සිටින ලෝකයේ උසම ප්‍රතිමාව වෙයි. Wikimedia Commons.



1943 අගෝස්තු 23 ස්ටාලින්ග්‍රාඩ් සටනේ ආරම්භය සිදුවූ දිනය ලෙස සැලකේ. සෝවියට් හමුදා විසින් පළමුවරට ජර්මන් හමුදාවක් පරාජය කොට යටත් කලේ මෙම සටනේදීය. ජර්මන් යුධ හමුදා දෙවන ලෝක යුද්ධයේදී ලැබූ පළමු පරාජය මෙය නොවූවද, මෙවන් දැවැන්ත පරාජයක් මින් පෙර ලබා නොතිබුනේය. එහෙයින් ස්ටාලින්ග්‍රාඩ් සටන දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වන්නකි. ජර්මන් හමුදා තීරණාත්මක ලෙස පරාජය කළහැකි බව මෙම සටනින් ප්‍රත්‍යක්ෂ විය. නමුත් ඒ බව සනාථ කිරීම සඳහා සටන් වැදුන දෙපක්ෂයේම මිලියන දෙකක පමණ මනුෂ්‍යයනට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය.

1941 ජුනි 22 වනදා එතෙක් මෙතෙක් දැක ඇති දැවැන්තම ආක්‍රමණය දියත් විය. බාබරෝසා මෙහෙයුම ලෙස නම් කරනු ලැබූ එයට ජර්මන් සහ අනෙක් අක්ෂ බලවතුන්ගේ මිලියන 4 ඉක්මවූ හමුදා සෙබළු සම්බන්ධ වූහ. දිශා තුනකින් සෝවියට් දේශයට කඩා වැදුන ඔවුහු උතුරින් ලෙනින්ග්‍රාඩ් නගරය දෙසටත්, මැදින් මොස්කව් නගරය දෙසටත්, දකුණින් යුක්‍රේනය දෙසටත් ගමන් කළහ. ලෙනින්ග්‍රාඩ් වටලන ලද නමුත් අල්ලාගනු නොලැබිණ. යුක්‍රේන නගරවලදීද ජර්මානුන්ට ප්‍රබල ප්‍රතිරෝධයකට මුහුණ දීමට සිදු විය. මේ අතර ශීත ඍතුවද ළඟා විය. රුසියාවේ බරපතල ශීත ඍතුවට කිසි සූදානමක් නොවූ ජර්මන් හමුදා දැඩි ලෙස පීඩා වින්දහ. දෙසැම්බර් 5-6 දෙදින තුල එල්ල වූ සෝවියට් ප්‍රති ප්‍රහාර හමුවේ මොස්කව් නගරය පෙනෙන මානයට පැමිණි ජර්මන් හමුදා පලවා හරින ලදහ.

මොස්කව් බේරා ගත්තද, මෙය ජර්මන් හමුදාවලට එරෙහිව ලද තීරණාත්මක ජයග්‍රහණයක් නොවීය. පසුබැස ගිය ජර්මන් හමුදා අලුත් ආරක්ෂක වළල්ලක් නිර්මාණය කරගෙන සෝවියට් හමුදා එල්ල කල ප්‍රහාර මැඩ පැවැත්වීමට සමත් වූහ. මේ අනුව 1942 මැද භාගය වනවිට ලෙනින්ග්‍රාඩ් සහ රස්තොව් නගර අතර දීර්ඝ යුධ පෙරමුණක් ඇතිවී තිබිණ. කෙසේ වුවද, සෙවැස්ටපෝල් නගරය ජර්මානුන් විසින් අල්ලා ගන්නා ලද්දේ 1942 ජූලි 4 වනදාය. ඒ මාස අටක වැටලීමකින් පසුවය.

බාබරෝසා මෙහෙයුමෙන් බලාපොරොත්තු වූ පරිදි සෝවියට් දේශය සහමුලින් පරාජය කිරීමට නොහැකි වූ තැන ඇඩොල්ෆ් හිට්ලර් සෝවියට් දේශයේ දකුණු පෙරමුණ දෙස අවධානය යොමු කළේය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඇමරිකානු හමුදා විශාල වශයෙන් යුධ පෙරමුණට පැමිණීමට පෙර සෝවියට් දේශයට මාරාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමටත් කොකේසස් ප්‍රදේශයේ තෙල් සම්පත අල්ලා ගැනීමත්ය. "මයිකොප් සහ ග්‍රොස්නිවල තෙල් නැත්නම් මා මේ යුද්ධය ඉක්මනින් අහවර කල යුතුයි" යනුවෙන් වරක් හිට්ලර් ප්‍රකාශ කොට ඇත්තේය. එම ප්‍රදේශවල තෙල් සම්පත සෝවියට් හමුදාවලට අහිමි කිරීමෙන් සෝවියට් යුධ ව්‍යාපාරයට මරු පහරක් එල්ල කල හැකිව තිබිණ.

ස්වකීය භූගෝලීය පිහිටීම හේතුවෙන් ස්ටාලින්ග්‍රාඩ් නගරය වැදගත් ගමනාගමන මධ්‍යස්ථානයක් විය. කොකේසස් ප්‍රදේශවල නිපදවෙන තෙල් සහ අනෙකුත් දෑ නැව් මගින් කැස්පියන් මුහුද ඔස්සේ පැමිණ වොල්ගා නදිය දිගේ හෝ ගොඩබිමින් හෝ ප්‍රවාහනය කිරීම එම නගරය අල්ලා ගත්තේ නම් නැවැත්විය හැකිව තිබිණ. ස්ටාලින්ග්‍රාඩ් වැටුණි නම් ඉන් දකුණෙහි වූ ප්‍රදේශ ආරක්ෂා කරගැනීම සෝවියට් හමුදාවනට කළ නොහැක්කක් විය. එහෙයින් ස්ටාලින්ග්‍රාඩ් අල්ලා ගැනීම යුද්ධයේ ඉදිරි ගමනට ඉතා වැදගත් වූයේය.

රුසියාවේ දකුණු දිග සහ කොකේසස් ප්‍රදේශයට පහර දීම සඳහා ජර්මන් හමුදා ප්‍රධානීන් විසින් හෙවත් Fall Blau (Case Blue හෙවත් නිල් සැලැස්ම) සකසන ලදී. ඒ සැලසුමට අනුව දකුණු පෙරමුණේ හමුදා රුසියාවේ දකුණුදිග ස්ටෙප්ස් තෘණ භූමි හරහා මයිකොප් දෙසට ගමන් කල යුතුව තිබිණ. ඉන්පසු කොකේසස් ප්‍රදේශ අල්ලා ගැනීමට නියමිත විය. සැලසුම ක්‍රියාත්මක වන්නට තිබුනේ 1942 මැයි මාසයේය.

කෙසේ වුවද, මේ අවස්ථාවේ හිට්ලර් මැදිහත්ව සැලසුම වෙනස් කළේය. ඒ අනුව දකුණු පෙරමුණේ හමුදා කණ්ඩායම් දෙකක් ලෙස ඉදිරියට ඇදිය යුතු වූ අතර එක කණ්ඩායමක්, එනම් දකුණු පෙරමුණ 'ඒ' කණ්ඩායම මුලින් සැලසුම් කල පරිදි දකුණට ගමන් කල යුතු විය. මීට 17 වන ජර්මන් හමුදාව සහ 1 වන පැන්සර් (යුධ ටැංකි) හමුදාව අයත් විය. 6 වන ජර්මානු හමුදාව සහ 4 වන පැන්සර් හමුදාවත්, අනෙක් අක්ෂ බලවතුන් කිහිප දෙනෙකුගේ හමුදාත් ඇතුලත් දකුණු පෙරමුණ 'බී' කණ්ඩායම වොල්ගා නදිය කරා ගොස් ස්ටාලින්ග්‍රාඩ් අල්ලා ගතයුතු විය.

කෙසේ නමුත් මෙම සැලැස්ම නියමිත කාලයට ක්‍රියාත්මක කල නොහැකි විය. සෙවැස්ටපෝල් නගරයේ සෝවියට් හමුදා දිගටම නගරය යටත් වීමට නොදී සටන් කල බැවින් ඊට සම්බන්ධව සිටි ජර්මන් සහ රුමේනියානු සේනාංක කිහිපයක් නිල් සැලැස්ම සඳහා යොදා ගැනීම ප්‍රමාද විය. මේ අනුව, එම සැලැස්මට අනුව අක්ෂ බලවතුන්ගේ හමුදා සිය මෙහෙයුම ඇරඹුවේ ජුනි මස අන්තිම සතියේය.

ස්ටෙප්ස් තැනිතලා බිම් ඔස්සේ ජර්මන් හමුදා ඉදිරියට ඇදෙන විට සෝවියට් හමුදාවලින් එතරම් ලොකු ප්‍රතිරෝධයක් හට ගත්තේ නැත. ඔවුන් ආරක්ෂා කල හැකි ප්‍රදේශ කරා පසු බසින්නට වූහ. මෙතෙක් කාලයක් ඔවුන් විසින් ජර්මන් ප්‍රහාරවලට සාර්ථක විරෝධතා දැක්වූයේ නගරවලදීය. මේ අවස්ථාවේද එය වෙනසක් නොවන සෙයක් පෙනුණි. කෙසේ වුවද, දකුණු පෙරමුණ 'බී' කණ්ඩායම ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් සතියකදී වොරොනෙෂ් නගරය අල්ලා ගත්තේය. මේ අවස්ථාවේ හිට්ලර් නැවතත් සැලසුම සමඟ 'පිස්සු නටන්නට' පටන් ගත්තේය. 'බී' කණ්ඩායමේ සාර්ථකත්වය හේතුවෙන් 4 වන පැන්සර් හමුදාව එයට අනවශ්‍ය බව තීරණය කල ඔහු එය 'ඒ' කණ්ඩායම වෙත යොමු කිරීමට තීරණය කළේය. එහිදී යුධ පෙරමුණෙහි ඇතිවූ තදබදය සහ වෙනස්කම් හේතුවෙන් ජර්මානුන්ගේ ඉදිරි ගමන සතියකින් පමණ කල් ගිය බව කියවේ. අන්තිමට හිට්ලර් නැවතත් එම පැන්සර් හමුදාව ස්ටාලින්ග්‍රාඩ් දෙසටම යොමු කළේය. මෙම සිද්ධියෙන් හිට්ලර්ගේ තීරණවල අස්ථායී ස්වභාවය හෙළිවේ. නමුත් මෙය ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් කාලයේ නොදුටු, වෙසෙසින්ම යුද්ධය ඇරඹුණාට පසු ප්‍රකටව දක්නට ලැබුණු ස්වභාවයකි.

ජූලි මාසය අවසන් වනවිට ජර්මානුන් දොන් නදිය තරණය කළහ. දැන් වොල්ගා නදියට වූයේ සැතපුම් 40 කි. මේ වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයේ ආරක්ෂාව පිළිබඳ සෝවියට් හමුදා අවධානය යොමු කර තිබුණි. ස්ටාලින්ග්‍රාඩ් වෙත ඔවුන්ගේ අවධානය යොමු වීම පමා වන්නට හේතුව වූයේ ජර්මානුන්ගේ මීළඟ ප්‍රහාරයත් මොස්කව් දෙසට එල්ල වේ යයි ස්ටාලින් සිතා සිටි හෙයිනි. කාන්තාවන් සහ ළමුන් පවා යොදා ගනිමින් වහ වහා ආරක්‍ෂිත ස්ථාන, අගල්, මාර්ග බාධක ආදිය ඉදි වෙමින් තිබිණ. මේ අතර නගරයට එපිටින් වල්ගා නදියේ එහා ඉවුරේ අලුතෙන් ස්ථාපනය කරන ලද 62 වන සෝවියට් හමුදාව රැස් වෙමින් සිටියහ. නගරයේ වූ කර්මාන්තශාලා බොහොමයක් ඉවත් කරගත් නමුත් ඇතැම් ඒවා දිගටම ක්‍රියාත්මක විය. ඒ අතර මේ වනවිට T-34 යුධ ටැංකි නිපදවීමට යොදාගත් ස්ටාලින්ග්‍රාඩ් ට්‍රැක්ටර් කම්හලද විය. සැප්තැම්බරය දක්වාම මෙහි යුධ ටැංකි නිපදවුණු අතර ඇතැම් අවස්ථාවල අලුතෙන් නිපදවන යුධ ටැංකි ඒ අවස්ථාවේම යුධ පෙරමුණේ සටන් සඳහා යොදා ගත් බවට වාර්තා වේ.

1942 අගෝස්තු 23 දින, 6 වන ජර්මානු හමුදාව ස්ටාලින්ග්‍රාඩ් දෙසට ප්‍රහාරය දියත් කළ අතර, ජර්මානු ගුවන් හමුදාව (ලුෆ්ට්වෆේ) විසින් නගරය දරුණු බෝම්බ ප්‍රහාරයකට ලක් කෙරිණ. වොල්ගා නදියේ එහා ඉවුරේ සිට නගරය වෙත හමුදා ප්‍රවාහනය කරන බෝට්ටුද ජර්මන් ගුවන් හමුදාවල ඉලක්ක බවට පත් විය. ගුවන් ප්‍රහාරවලින් නගරයේ බොහෝ ගොඩනැගිලි විනාශ වූ අතර කඩා වැටුන ගොඩනැගිලි නගරයේ සිටි සෝවියට් සෙබළුන්ට හොඳ ආරක්‍ෂිත ස්ථාන සාදා දුන්නේය. කෙසේ වුවත්, ස්ටාලින්ග්‍රාඩ් සටනේ මුල් දිනවල, සෝවියට් හමුදා විසින් විටින් විට එල්ල කරන ලද ප්‍රති ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ජර්මානු ගුවන් බලය මහෝපකාරී විය. මේ අතර යුධ පෙරමුණෙන් පිටිපස වූ සෝවියට් කම්හල් අලුත් ගුවන් යානා නිපදවමින් තිබුණි.

Eastern Front (WWII), 1942-05-07 to 1942-11-18, ජර්මන් හමුදා ඉදිරියට ආවේ මේ අයුරිනි. Wikimedia Commons.



අගෝස්තු අන්තිම වනවිට ජර්මන් සේනාංක ස්ටාලින්ග්‍රාඩ් නගරයට උතුරින් වොල්ගා නදිය වෙත පැමිණියහ. දින කිහිපයකින් ඔවුනට නගරයෙන් දකුණෙන් ද වොල්ගා නදියට ළඟාවිය හැකි විය. ඉන්පසු සෝවියට් සේනාංකවලට සැපයුම් සහ පිරිස් ආධාර ලබාදිය හැකි වූයේ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේ අතිශය අවදානමක් ගෙන වොල්ගාව තරණය කිරීමෙන් පමණි.

නගරය සඳහා සටන ඉතා බිහිසුණු එකක් විය. සෝවියට් සෙබළු සෑම බිම් අඟලටම සටන් කළහ. ස්ටාලින් නියම කොට තිබුණේ ඉහලින් අවසර නැතිව පසු බැසීමකට සිය සෙබළුන්ට අණ දෙන නිලධාරීන් යුධ අධිකරණයක් හමුවට පැමිණවිය යුතු බවය. එහෙයින් "නොතබමු පියවරක් පසුපසට!" සහ "වොල්ගාවෙන් එහා භූමියක් නැත!" යන්න සෝවියට් භටයන්ගේ සටන් පාඨ බවට පත් විය. බොහෝ විට ගෙට පමණක් නොව කාමරයක් ගානේ සටන් වැදීමට ජර්මානුන්ට සිදු විය. එකල තමන් වැටී සිටි අවාසනාවන්ත තත්ත්වය ජර්මන් සෙබළුන් විසින් විස්තර කෙරුනේ එක්තරා විහිලුවකිනි. එයින් කියවුනේ ඇතැම් අවස්ථාවල ඔවුන් නිවසක කුස්සිය අල්ලාගත් නමුත් සාලය සහ නිදන කාමරය සඳහා තවමත් සටන් වදිමින් සිටින බවයි.

ස්ටාලින්ග්‍රාඩ් සටන අතරතුර, සතුරා එනතෙක් සූදානමින් බලා සිටින සෝවියට් සෙබළ පිරිසක්. Wikimedia Commons



6 වන ජර්මානු හමුදාව නගරය කරා ඉදිරියට ඇදෙන විට ඔවුන්ගේ දෙපස ප්‍රදේශ ආරක්ෂාවට යොදවා ගනු ලැබුනේ ජර්මන්, ඉතාලි, රුමේනියානු, හංගේරියානු ආදී හමුදා සේනාංක කිහිපයකි. ඒ එකක්වත් හොඳින් සන්නද්ධව නොසිටි අතර එතරම් විශාල යුධ පෙරමුණක් රැකීමට තරම් පිරිසක්ද එහි නොවූහ. මේ පිළිබඳව ප්‍රශ්න කල විට හිට්ලර් ප්‍රකාශ කර තිබුනේ එම සෙබළුන් "ජාතික සමාජවාදී වීරත්වයෙන් යුතුව එම යුධ පෙරමුණු ආරක්ෂා කරනු ඇත" යන්නයි. ඒ බොහෝ සෙබළුන් ජාතික සමාජවාදීන් තබා ජර්මානුන්වත් නොවන බව හිට්ලර්ට අමතක විය.

මේ අනුව නොවැම්බර් මැද වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරය තුල දරුණු ගැටුම් පැවතිණ. මේ අතර එම ප්‍රදේශයෙන් දෙපස පෙරමුණුවල අක්ෂ බලවතුන් දුර්වල අඩියක විය. තවද, ජර්මන් ගුවන් හමුදාවටද සැලකිය යුතු යානා ප්‍රමාණයක් අහිමි වී තිබිණ. වොල්ගාවෙන් එහා පැත්තේ සෝවියට් හමුදාවෝ එක් රැස් වෙමින් සිටියහ.

1942 නොවැම්බර් 19 වනදා සෝවියට් හමුදාවෝ "යුරේනස් මෙහෙයුම" දියත් කළහ.

ඒ ගැන කියවමු දෙවන කොටසින්...

Wednesday, February 6, 2013

වසර 55 කට පෙර සිදු වූ මියුනික් ගුවන් ඛේදවාචකය



මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ වසර 135 ක ඉතිහාසයේ අඳුරුම දිනය ලෙස 1958 පෙබරවාරි 6 වනදා සැලකිය හැක. ඔවුනගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනකු සහ තවත් 15 දෙනෙකුගේ දිවි අහිමි වූ, මියුනික් ගුවන් ඛේදවාචකය (Munich Air Disaster) ලෙස හැඳින්වෙන ගුවන් යානා අනතුර සිදු වූයේ එදින වීම එයට හේතුවයි. (පැරණි) යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් (බියෝග්රාඩ්) අගනුවර සිට මැන්චෙස්ටර් බලා ගමන් කරමින් පැවති එයාර්ස්පීඩ් AS-57 ඇම්බසඩර් (Airspeed AS-57 Ambassador) ගුවන් යානය මියුනික්-රියෙම් ගුවන් තොටෙන් ගුවන්ගත වනවිට මේ අනතුර සිදු විය.

මෙම අනතුර සිදු වූයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම බෙල්ග්‍රේඩ් රෙඩ් ස්ටාර් කණ්ඩායමත් සමඟ වූ යුරෝපා කුසලාන අර්ධ අවසන් වටයේ තරඟයක් සඳහා සහභාගී වී නැවත සියරට එන අතරවාරයේ ය. මේ වනවිට එංගලන්තයේ ලීග් තරඟ සෙනසුරාදා දිනවල පැවැත්වුන අතර යුරෝපා තරඟ පවත්වනු ලැබුනේ සතියේ මැද දිනවලය. මේ කාලයේ ගුවන් ගමන් දැන් තරම් වේගවත් හෝ විශ්වසනීය නොවූ හෙයින් සති මැද යුරෝපයේ වන තරඟයකට සහභාගී වී ශනිදා එංගලන්තයේ පැවැත්වෙන තරඟයකට සහභාගී වීම පහසු කටයුත්තක් නොවීය. මේ ප්‍රශ්නයට ඔවුන් මීට පෙර චෙකොස්ලෝවැකියාවේ ඩුක්ලා ප්‍රාග් කණ්ඩායම සමඟ ප්‍රාග් නගරයේ පැවති තරඟයට පසුද මුහුණ දී තිබුණි. ඒ අවස්ථාවේ මීදුම් සහිත කාලගුණය හේතුවෙන් මැන්චෙස්ටර් නගරයට ගුවන් යානා ගොඩ බැස්සේ නැත. එහෙයින්, මැන්චෙස්ටර් යුනයිටඩ් පිලට සිදු වූයේ ඇම්ස්ටර්ඩෑම් නගරයට ගුවනින් පැමිණ එතැන් සිට බෝට්ටුවකින් එංගලන්තයට පැමිණීමටය.

බස්බිගේ බබාලා ඔවුනගේ අන්තිම තරඟයට පෙර (බෙල්ග්‍රේඩ්, 1958 පෙබරවාරි 5). මේ තරඟය 3-3 ලෙස නිමා වුනි. පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් පිටියේ පැවති තරඟයෙන් 2-1 ලෙස ජයගත් බැවින් මේ "බබාලා" අවසන් පූර්ව වටයට සුදුසුකම් ලදහ. නමුත් මින් 8 දෙනෙකුට ඊළඟ දිනය අවසන් වනතුරු දිවි ගෙවන්නට නොහැකි විය. Busby babes before playing their last match, against Red Star., Wikimedia Commons.



මේ හේතුව නිසා 1958 පෙබරවාරි 5 වනදා පවතී බෙල්ග්‍රේඩ් තරඟයට පසු එංගලන්තය බලා යාමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගුවන්යානයක් වෙන්කර ගත්තේය. බ්‍රිතාන්‍ය යුරෝපා ගුවන්සේවයට අයත් වූ එහි නියමුවා වූයේ, දෙවන ලෝක යුද්ධයේද ගුවන් නියමුවකු ලෙස පළපුරුද්දක් ලැබූ කපිතාන් ජේම්ස් තේන් ය.

පාපන්දු කණ්ඩායම සමඟ මාධ්‍යවේදීන් ඇතුළු තවත් ගමනට එක් වූහ. ගුවන් යානයේ ගබඩා කළහැකි ඉන්ධන ප්‍රමාණය බෙල්ග්‍රේඩ් සිට මැන්චෙස්ටර් වෙත එකවර ගමන් කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. එහෙයින් යානය ඉන්ධන ලබාගැනීමට මියුනික් වෙත ගොඩබස්සන ලදී.

ආපසු ගුවන්යානය පිටත් වීමට සූදානම් වූයේ පස්වරු 2.30 ට පමණය. නමුත් කාර්මික දෝෂයක් හේතුවෙන් දෙවරක්ම ගමන කල් දැමීමට සිදු විය. යලිත් පස්වරු 3 පසුවී සුළු වෙලාවකින් ගුවන් නියමුවෝ යානය ගුවන්ගත කිරීමට සූදානම් වූහ. අවාසනාවට, මේ වනවිට හිම වැටී තිබුන හෙයින් ගුවන් තොටුපලෙහි ධාවන පථයෙහි ඈත අන්තයෙහි හිම සහ ජලය රැඳී තිබුණි. ගුවන් යානයේ රෝද ඒ මත ලිස්සා ගොස් යානය පාලනයෙන් ගිලිහී ගුවන්තොටුපල මායිමෙහි වූ වැටද බිඳගෙන අසල වූ නිවසක් දෙසට ගමන් කළේය. යානයේ වම් තටුව නිවසෙහි ගැටුණද වාසනාවකට නිවසෙහි හානියක් නොවී බේරුණි. නමුත් යානයේ වූ අඩකටත් වැඩි දෙනා එතරම් වාසනාවන්ත නොවූහ. යානයෙහි වූ කාර්යමණ්ඩලයේ 6 දෙනාද 44 සහිතව දෙනෙකුගෙන් 20 දෙනෙක් අනතුර සිදු වූ අවස්ථාවේම මියගිය අතර එක අයෙක් රෝහලට ගෙනයන අතරතුරද, දෙදෙනෙක් සති කීපයකට පසුද මිය ගියහ.

යානය අනතුරට ලක් වූ අවස්ථාවේ මැන්චෙස්ටර් යුනයිටඩ් දැල් රකින්නා වූ උතුරු අයර්ලන්ත ජාත්‍යන්තර ක්‍රීඩක හැරී ග්‍රෙග් තුවාලකරුවන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක යෙදුනේ තමාද තුවාල ලබා සිටියදීය.

අනතුරට පත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ලෝ පතලව සිටියේ "බස්බිගේ බබාලා" (Busby Babes) යන නමිනි. ඊට හේතුව කණ්ඩායමේ කළමනාකරු මැට් බස්බි වීමත්, කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් ලාබාල තරුණයින් වීමත් හේතුවෙනි. ක්‍රීඩා සමාජය විසින් කුඩා කාලයේදීම දක්ෂ ක්‍රීඩකයන් සොයාගෙන ඔවුන් පුහුණු කරන ක්‍රමවේදයක් සකසා තිබිණ. කුඩා කාලයේ සහය කළමනාකරු ජිමී මර්ෆි සහ ජෝ ආම්ස්ට්‍රෝං යටතේ පුහුණු වූ මෙම ක්‍රීඩකයෝ ඉන්පසු ප්‍රධාන කණ්ඩායමට ඇතුළු කරනු ලැබූහ. අනතුරෙන් මියගිය ක්‍රීඩකයන් අට දෙනාගෙන් අඩක්ම ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෝ වූ අතර ඉන් තුන් දෙනෙක්ම එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළහ. එයින් රොජර් බයර්න් 29 වන විය සපුරා නොතිබිණ. ටොමී ටේලර් 26 වන විය පසුකරමින් සිටියේය. අනතුරෙන් දින 15 කට පසු මියගිය ඩන්කන් එඩ්වර්ඩ්ස් ඉතා පැහැබර අනාගතයක් තිබූ, යන්තම් 21 වන විය පසු කල ක්‍රීඩකයකු විය. මේ අතරම අයර්ලන්ත ක්‍රීඩක ලියම් "බිලී" වීලන් 23 වන වියෙහි පසු විය.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සාමාන්‍ය කණ්ඩායමක් වී නම් ඔවුනට මේ කම්පනයෙන් ගැලවීමට බොහෝ අපහසු වන්නට ඉඩ තිබිණ. අනතුරෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට යලිත් ක්‍රීඩාවේ යෙදීමට හැකියාවක් නොවීය. ඔවුන් නම් එංගලන්ත කණ්ඩායමද නියෝජනය කල ජොනී බේරී සහ උතුරු අයර්ලන්තයද නියෝජනය කල ජැකී බ්රාන්ච්ෆ්ලවර් ය. එහෙත් හැරී ග්‍රෙග්, බොබී චාල්ටන්, බිල් ෆෝක්ස් වැනි දිවි ගලවාගත්තවුන් සමඟ එකතු වූ මට බස්බි යලි සිය කණ්ඩායම ගොඩ නැගීය. 1963 කුසලානය දිනා ගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් පිල සමත් විය.

1945-69 කාලයේ සහ 1970-71 කාලයේ සුළු කාලයක් කණ්ඩායමේ කළමනාකරු වූ මැට් බස්බි 1994 දී මිය ගියේය. ඔහු සමඟ දිවි ගලවාගත් හොඳම පාපන්දු ක්‍රීඩකයන් වූ ග්‍රෙග්, චාල්ටන් සහ ෆෝක්ස් අදටද ජීවතුන් අතර වෙති.

Monday, February 4, 2013

ඩොමීනියන් තත්ත්වය යනු කුමක්ද?


1948 පෙබරවාරි 4 වනදා, එනම් මීට 65 වසරකට පෙර, ලංකාවට ලැබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් බව කියනු ලැබේ. නමුත් ඒ පිළිබඳ අප බොහෝ දෙනාට ඇත්තේ දළ අදහසක් පමණි. එහෙයින්, නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ ඩොමීනියන් තත්ත්වය කුමක්ද යයි සොයාබැලීමට මට සිත් විය.

අතීතයේදී ඩොමීනියන් යන පදය ඉංග්‍රීසි කිරීටයට යටත් ප්‍රදේශ සියල්ල හැඳින්වීමට යොදාගන්නා ලදී. වත්මන් එක්සත් රාජධානියේම කොටසක් වන වේල්සය 1535 පමණ සිට කලක් යනතුරු හඳුන්වා දී ඇත්තේ ඩොමීනියනයක් ලෙසය. උතුරු ඇමරිකාවේ ඉංග්‍රීසි කොලනි වූ වර්ජිනියාව සහ නව එංගලන්තය 1660 ගණන්වල සිට ඩොමීනියන් ලෙස හඳුන්වා දෙන ලදී. නමුත් මේ එකකටවත් ස්වයං පාලන අයිතියක් නොවීය. ඩොමීනියන් යන පදය මෙසේ කිරීටයට යටත් සියලු ප්‍රදේශ හැඳින්වීමට යොදාගැනීම 20 වන සියවස කරාද පැමිණි පුරුද්දකි.

Map of the provinces of Canada as they were from 1867 to 1870, පළමු ඩොමීනියන් රාජ්‍යය වූ කැනඩාවේ පළාත් (1967-70). Wikimedia Commons.



අද අප ඩොමීනියන් තත්ත්වයක් ලෙස සලකන ආකාරයට ආසන්න තත්ත්වයක් ඇති ප්‍රදේශයක් මුලින්ම ඇති කරන ලද්දේ බ්‍රිතාන්‍ය උතුරු ඇමරිකා පනත (1867) මගිනි. ඒ කැනඩා සහසන්ධීය රාජ්‍යයයි (Canadian Confederation). වර්තමානයේ කැනේඩියානු ව්‍යවස්ථාවේ කොටසක් වන බැවින් මෙම පනත එරටේදී හඳුන්වනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත (1867) ලෙසය. මීට පෙර පැවති කැනඩා පළාත දෙකඩ කොට ඔන්ටාරියෝ සහ ක්විබෙක් නම් පළාත් දෙකක් නිර්මාණය කර, ඊට නිව් බ්‍රන්ස්වික් සහ නොවා ස්කොෂියා පළාත් දෙකද එක් කර, පළාත් හතරකින් යුතු සහසන්ධීය රාජ්‍යය පිහිටවන ලද්දේ 1867 ජූලි 1 වනදාය. එහෙයින් කැනඩාවේ ජාතික දිනය හෙවත් "කැනඩා දිනය" සමරනු ලබන්නේ ජූලි 1 වනදාය. 1867 දී කැනඩාවේ පළමු අගමැතිවරයා ලෙස තේරී පත් වූයේ ජෝන් ඒ. මැක්ඩොනල්ඩ් ය.

මින් පසු 1901 වසරේ පිහිටුවන ලද ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයටද ඩොමීනියන් තත්ත්වය ලැබිණ. 1907 පැවැත්වූ යටත් විජිත සමුළුවේදී කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඩොමීනියන් ලෙස හඳුන්වා දෙන ලද අතර, ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිත වූ නවසීලන්තය සහ නිව් ෆවුන්ඩ්ලන්තයද ඩොමීනියන් තත්ත්වයට උසස් කරන ලදී. (ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිතවලට ඒවායේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල තිබුනද ආණ්ඩුක්‍රමය සහ කිරීටය සමඟ යටත් විජිතයේ තිබුණු සම්බන්ධය පිළිබඳ නීති සැකසීමට අයිතියක් නොවීය. උදාහරණයක් ලෙස ගතහොත් ඩොමීනියන් රාජ්‍යයකට 1972 ශ්‍රී ලංකාව සිදුකළ පරිදි කිරීටය සමඟ වූ සම්බන්ධතා බිඳ දැමිය හැකි වුවද ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිතවලට ඒ අයිතිය නොවීය).

මින් ටික කලකට පසු 1910 දී දකුණු අප්‍රිකාව බිහි වූ අවස්ථාවේ, එරටට ඩොමීනියන් තත්ත්වය දෙන ලදී. 1922 අයිරිෂ් නිදහස් රාජ්‍යයටද එම තත්ත්වය ලබා දෙන ලදී. 1937 දී කිරීටය සමඟ සම්බන්ධතා බිඳ දමා ජනරජයක් බවට පත් වූ පළමු ඩොමීනියන් රාජ්‍යය බවට එය පත් විය.

1926 බැල්ෆෝර් ප්‍රකාශනය මඟින් ඩොමීනියන් රාජ්‍යයක් යනු කවරක්දැයි අර්ථ දක්වන ලදී. ඒ අනුව ඩොමීනියන් රාජ්‍යයන් යනු "බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල එකිනෙකා හා සමාන තත්ත්වයෙන් යුතු, අභ්‍යන්තර හෝ බාහිර හෝ කිසිදු කරුණකදී ඔවුන්ගෙන් එකකට වඩා පහත් නොවන, එනමුත් කිරීටය සමඟ වන සම්බන්ධතාවයෙන් බැඳී සිටින, ස්ව කැමැත්තෙන් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වන සමූහයන්ය."

1931 දෙසැම්බර් 11 වනදා ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ සම්මත වූ වෙස්ට්මිනිස්ටර් ආඥාපනත (1931) ඩොමීනියන් රාජ්‍යයන්ට ඉතා වැදගත් විය. එම පනතට අනුව, ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට ඩොමීනියන්වලට බලපාන ලෙස නීති සැකසීමට එතෙක් තිබූ බලය අහෝසි කෙරිණ. මින් ඉදිරියට එසේ නීතියක් සකසන්නට ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට ඉඩ ලැබුණේ අදාළ ඩොමීනියන් රාජ්‍යය විසින්ම ඉල්ලීමක් කළහොත් පමණි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බොහෝ රටවල් නිදහස ලබා ගනිද්දී ඩොමීනියන් තත්ත්වය ලබා දෙන ලදී. යටත්විජිතවාදය අවනතියට පත් පැවති මේ යුගයේ එසේ නිදහස ලද රටවල් ඩොමීනියන් ලෙස නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හඳුන්වා දෙන ලදී. මේ රටවල රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජිනයි. කිරීටයේ නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරයෙක් කටයුතු කළේය. එමෙන්ම රටේ උපරිමාධිකරණ බලය වූයේ ප්‍රිවි කවුන්සිලයටය.

කෙසේ නමුත් ඇතැම් යටත් විජිත (උදාහරණයක් ලෙස බුරුමය) නිදහස ලබද්දී කෙලින්ම ජනරජ බවට පත් වීමට කැමැත්ත පල කළහ. ඩොමීනියන් බවට පත් වූ බොහෝ රටවල්ද නිදහසින් පසු වසර කිහිපයක් තුළ ජනරජ බවට පත් වූහ. ජනගහනයෙන් බහුතරය ඉංග්‍රීසි කතා කරන සුදු ජාතිකයන් වන ඩොමීනියන් සහ ඇතැම් කුඩා ඩොමීනියන් තවමත් ඒ තත්ත්වය පවත්වාගෙන යනු දක්නට ලැබේ. මුලින්ම බිහිවූ කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයද මේ අතර වෙති. නිව්ෆවුන්ඩ්ලන්තයද වර්තමානයේ කැනඩාවේ කොටසකි.

Sunday, February 3, 2013

ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණීම (දෙවන කොටස)


පලවෙනි කොටස කියවලාම එන්න.

මෙම ජනාධිපතිවරනයේදී හින්ඩන්බර්ග්ට එරෙහිව බලපෑ විශාලතම බාධකය වූයේ ඔහුගේ වයස සහ සෞඛ්‍යය තත්ත්වයයි. මේ වනවිට ඔහු 84 වන විය ඉක්මවූ මහල්ලෙකු වූ අතර මීළඟ ධූර කාළය සම්පූර්ණ කිරීමට තවත් සත් වසක් ඔහු ජීවත් වේ යයි බොහෝ දෙනා විශ්වාස නොකළහ. කරුණු එසේ තිබියදීත්, මාර්තු 13 වනදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී හින්ඩන්බර්ග් ජනාධිපතිවරයා සියයට 49.6 ක් ඡන්ද ප්‍රතිශතයක් ලැබීය. ඔහුට සියයට පනහක් ලැබීමට මදි වූයේ ඡන්ද 150,000 පමණ ප්‍රමාණයකි. හිට්ලර් සියයට 30.1 ක්, කොමියුනිස්ට් පක්ෂයේ අර්නස්ට් තැල්මාන් සියයට 13.2 ක් සහ ස්ටාල්හෙල්ම් සංවිධානයේ තියඩෝර් ඩස්ටන්බර්ග් සියයට 6.8 ක් මනාප ලැබූහ. මේ අනුව පළමු වටයෙන් අඩුම ඡන්ද ප්‍රමාණය ලැබූ ඩස්ටන්බර්ග් ඉවත් කොට ඉතිරි තරඟකරුවන් තුන්දෙනා අතර දෙවැනි වටයක්ද පවත්වන ලදී. අප්‍රේල් 10 වනදා පවත්වන ලද එම මැතිවරණයේදී හින්ඩන්බර්ග් සියයට 53 ක ඡන්ද ප්‍රමාණයක් ලැබීය. හිට්ලර් සියයට 36.8 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය.

මෙහිදී මතුවන ගැටලුවක් නම් වයස්ගත ජනාධිපතිවරයා වෙනුවට තරුණ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ මන්ද යන්නයි. එයට ඇති සරලම පිළිතුර නම්, මධ්‍යස්ත මතධාරී කණ්ඩායම් සියල්ල එක්සත් කල හැකි කිසිවෙක් එවක ජර්මනියෙහි නොවූ බවයි. ඉහත ඡන්ද ප්‍රතිපල අනුවද පැහැදිලි වන්නේ, හින්ඩන්බර්ග් නොවන්නට හිට්ලර් 1932 මාර්තු හෝ අප්‍රේල් හෝ වනවිට ජර්මනියේ ජනාධිපතිවරයා වීමට ඉඩ තිබුන බවයි. හිට්ලර් පරාජය කළහැකිව තිබූ එකම තැනැත්තා වයස්ගත මහල්ලකු වීම ජර්මනියේ පමණක් නොව, සමස්ථ ලෝකයේම අවාසනාවට සිදු වූවකි.

වයිමාර් ජනරජය වේගයෙන් එහි අවසානය කරා ගමන් කරමින් තිබුණි. 1932 ජුනි 1 වනදා, රයිෂ්ටාගය තුල කිසිදු බලයක් නොවූ ෆ්‍රාන්ස් ෆොන් පැපන් චාන්සලර් ධූරයට පත් කරන ලදී. මෙම තීරණය පිටිපස සිටියේ ජෙනරාල් කර්ට් ෆොන් ශ්ලයිෂර් ය. ඔහු පැපන්ගේ රජයේ ආරක්ෂක ඇමති බවට පත් විය. ෆොන් පැපන් රයිෂ්ටාගය තුල වැඩි බලයක් ලබා ගන්නා අටියෙන් වහාම මහ මැතිවරණයක් කැඳවීය. මැතිවරණ ප්‍රචාරණ කටයුතු පැවතියේ නාසි-කොමියුනිස්ට් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන් එකිනෙකා මරාගන්නා පසුබිමකය. ජූලි මාසයේ පැවති මහ මැතිවරණය හිට්ලර් චාන්සලර් වීමට පෙර නාසිවාදීන්ගේ හොඳම මැතිවරණ ප්‍රතිපලය ගෙනාවේය. සියයට 37.27 ක්, එනම් හිට්ලර් මාස තුනකට පෙර ලබුවාටත් වඩා ඡන්ද ප්‍රතිශතයක්, පක්ෂයට ලැබුන අතර ආසන 608 න් 230 ක් දිනාගනිමින් ඔවුහු රයිෂ්ටාගයේ විශාලතම තනි පක්ෂය බවට පත් විය. මේ අතර කොමියුනිස්ට් පක්ෂයද, ජනාධිපතිවරනයේදී ලැබුවාට වැඩි ප්‍රතිශතයක් ඡන්ද ලබමින් (සියයට 14.32) ආසන 89 ක් දිනා ගත්තේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට ආසන 133 ක් ලැබිණ. පැහැදිලිවම, සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ජනතාවගේ ප්‍රසාදය දිනෙන් දින අඩු වන බව පෙනෙන්නට තිබිණ.

මේ අනුව 1932 ජූලි මාසයේදී, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මැතිවරණ ක්‍රමය භාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කණ්ඩායම් රයිෂ්ටාගයේ පැහැදිලි බහුතරයක් දිනාගෙන තිබිණ. නාසි සහ කොමියුනිස්ට් යන පක්ෂ දෙක පමණක් සැලකුවද ලබාගෙන තිබූ ආසන සංඛ්‍යාව 319 කි. එනම්, අඩකට වැඩි ප්‍රමාණයකි. නව රයිෂ්ටාගය රැස්වීමටත් පෙර පැපන් විසින් එය විසිරුවා හැරීමේ නියෝගයක් ජනාධිපතිවරයා ලවා අත්සන් කරගත්තේය. නමුත් එය ඉදිරිපත් කිරීමට පෙර කොමියුනිස්ට් පක්ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවකට නාසි පක්ෂයේද සහාය ලැබීමෙන් රයිෂ්ටාගය විසින්ම රයිෂ්ටාගය විසිරුවා හරින ලදී. (මෙය ඉතා හාස්‍යජනක එමෙන්ම කණගාටුදායක, වෙනමම ලිපියකින් විස්තර කල යුතු සිද්ධියකි).

1932 නොවැම්බර් 6 වනදා පැවති මීළඟ මහා මැතිවරණයෙන්ද ෆොන් පැපන් බලාපොරොත්තු වූ සහයෝගය ඔහුට සහය දෙන සෙන්ට්රම් පක්ෂයට ලැබුනේ නැත. මෙවර තෝරා ගනු ලැබුනේ මන්ත්‍රීන් 584 කි. එහෙත් කොමියුනිස්ට් පක්ෂය සිය ආසන සංඛ්‍යාව 100 දක්වා වර්ධනය කරගත්තේය. නාසි පක්ෂයේ ආසන සංඛ්‍යාව 196 තෙක් අඩු වනවිට, හූගන්බර්ග්ගේ DNVP පක්ෂය ආසන 52 ක් දිනාගත්තේය. ප්‍රතිශතයක් ලෙස ගත්තද නාසි පක්ෂයට ලැබුනේ ඡන්දවලින් 33% ක් පමණි. පක්ෂය අන්තවාදය දෙසට නැඹුරු වීමේ ලක්ෂණ දුටු වඩා මධ්‍යස්ථ ඡන්දදායකයින් DNVP, DVP වැනි පක්ෂ කරා ගිය බව පෙනිණ.

මේ අවස්ථාවේ සිය බලය ආරක්ෂා කරගැනීමට අන් ක්‍රමයක් නොවූ තැන ෆ්‍රාන්ස් ෆොන් පැපන් කලේ හිට්ලර් සමඟ සභාගයකට එළඹීමට උත්සාහ කිරීමයි. ඔහුගේ අදහස වූයේ, තමා චාන්සලර් පදවියේ සිටියදී හිට්ලර් උප චාන්සලර් පදවියට පත් කිරීමයි. නමුත් තමන්ට චාන්සලර් පදවිය නොදෙන්නේ නම් කිසිදු සභාගයකට එක් වීමට හිට්ලර් අකමැති විය. එහෙයින් පැපන්ගේ ඒ සැලසුම්ද ලත් තැන ලොප් විය. මේ අවස්ථාවේදී, මෙතෙක් කලක් තිරය පිටිපස සිටිමින් රටේ තීන්දු තීරණ ගැනීමට මැදිහත් වූ ෆොන් ශ්ලයිෂර් කරලියට පැමිණියේය. ඔහුගේ උපදෙස් පිට හින්ඩන්බර්ග් විසින් ෆොන් පැපන් ඉවත් කොට එම තනතුරට ශ්ලයිෂර් පත් කරන ලදී.

නමුත් ශ්ලයිෂර්ටද කිසිවකුගේ සහය දිනාගැනීමට පැහැදිලි ක්‍රමවේදයක් නොවූ අතර ඔහුට ජර්මන් දේශපාලන ක්ෂේත්‍රයෙහි සතුරන් මිස මිතුරන් එතරම් නොවීය. මේ අතර ෆොන් පැපන්, හූගන්බර්ග් වැන්නෝ ඔහුට එරෙහිව පෙළගැසෙමින් සිටියහ.

පවතින දේශපාලන තත්ත්වය හමුවේ, රයිෂ්ටාගයේ බහුතර කැමැත්ත ඇති, දක්ෂිනාංශික රජයක් පිහිටුවීමට නම් හිට්ලර්ගේ නාසි පක්ෂය සම්බන්ධ කරගැනීම අනිවාර්ය සාධකයක් විය. නමුත් චාන්සලර් පදවිය නොදෙන්නේ නම් එවැන්නකට දායක වීමට හිට්ලර් කැමති නොවීය. ඔහුට චාන්සලර් පදවිය දීමට අනෙක් දක්ෂිනාංශික නායකයෝ මැලිකමක් දැක්වූහ. තවද, රදළ පවුලකින් පැවතෙන හින්ඩන්බර්ග් ජනාධිපතිවරයා ද හිට්ලර්ට චාන්සලර් පදවිය ප්‍රදානය කිරීමට තරයේ විරුද්ධ විය. ෆීල්ඩ් මාර්ෂල්වරයා සහ කෝප්‍රල්වරයා අතර වූයේ අහසට පොළව මෙන් නොපෑහීමකි. ෆීල්ඩ්මාර්ෂල් හින්ඩන්බර්ග්, හිට්ලර්ව හැඳින්වූයේ "වැදගැම්මකට නැති කෝප්‍රල්වරයා" ලෙසයි.

නමුත් කල් යත්ම, තමන්ට වෙනත් විකල්පයක් නොමැති බව දක්ෂිනාංශික නායකයෝ තේරුම් ගත්හ. ඔවුන් එකතු වී, ශ්ලයිෂර්ට එරෙහි කුමන්ත්‍රණය දියත් කළහ. ඔවුන්ගේ මෙම කුමන්ත්‍රණයේ වැදගත්ම පියවරක් වූයේ, හින්ඩන්බර්ග් ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ ඔස්කාර් හින්ඩන්බර්ග් තමන්ගේ පැත්තට නම්මා ගැනීමයි. (ඔස්කාර් 50 වන උපන්දිනය සමරුවේ හිට්ලර් චාන්සලර් ධූරයට පත් වී දිනකිනි). සිය පියාගේ උපදේශකයා වූ ඔහු හා රහස් මන්ත්‍රණයෙහි යෙදුන පැපන් සඳහන් කළේ හිට්ලර්ට චාන්සලර්කම ලබා දුන්නද, උප චාන්සලර් ලෙස තමා හිට්ලර්ව නටවන්නට අපේක්ෂා කරන බවයි. පැපන් සහ හූගන්බර්ග් බලාපොරොත්තු වූයේ තමන්ට අවශ්‍ය පරිදි "වැදගැම්මකට නැති කෝප්‍රල්වරයා" නැටවීමටය.

මෙසේ ඔස්කාර් ෆොන් හින්ඩන්බර්ග් විසින් සිය පියාගේ සිතැඟි වෙනස් කරන්නට කටයුතු කෙරිණ. නාසිවාදීන් සහ පැපන්-හූගන්බර්ග් කණ්ඩායම අතර ඇති වූ සාකච්ඡාවලින් පසු එකොලොස් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තීරණය විය. මෙහි, හිට්ලර්ද ඇතුළුව නාසි පාක්ෂිකයන් වූයේ තුන් දෙනෙකු පමණි.

1933 ජනවාරි 28 වනදා චාන්සලර් ෆොන් ශ්ලයිෂර් කැඳවූ ජනාධිපතිවරයා ඔහු ධූරයෙන් පහ කරන ලදබව සඳහන් කළේය. තමා පිලිබඳ වයෝවෘද්ධ ජනාධිපතිවරයා දරන අදහස් දැන සිටි හිට්ලර් අන්තිම මොහොත දක්වාම චාන්සලර් පදවිය ලැබේද, නැද්ද යන ප්‍රශ්නයට මැදිව පීඩා වින්දේය. කෙසේ වෙතත් අවසානයේදී 1933 ජනවාරි 30 වනදා ඇඩොල්ෆ් හිට්ලර් ජනාධිපතිවරයා හමුවට කැඳවනු ලැබුණි. ඔස්ට්‍රියාවෙන් සංක්‍රමණය වූ, අවුරුද්දකට කලින් කිසිම රටක පුරවැසියෙකු නොවූ "වැදගැම්මකට නැති කෝප්‍රල්වරයා" ජර්මනියේ චාන්සලර් බවට පත් විය.

කැබිනට් මණ්ඩලයේ බහුතරය හිට්ලර්ට නොමැති සෙයක් පෙනුණද මේ අවස්ථාවේ ලද දෙයින් ඔහු සතුටට පත් විය. ඔහු චාන්සලර් ධූරය දරන විට නාසි පාක්ෂික විල්හෙල්ම් ෆ්‍රික් අභ්‍යන්තර ඇමතිවරයා බවට පත් විය. කැබිනෙට්ටුවේ අනෙක් නාසිවාදියා වූ හර්මන් ගෝරින්ග් කාර්යභාරයක් නොමැති ඇමති කෙනෙකු වූයේ නමුත් ඒ අතරම ඔහු ප්‍රශියාවේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා විය. ප්‍රෂියාව ජර්මනියේ සමස්ථ බිම් පෙදෙසින් 2/3 ක් තරම් විශාල ප්‍රදේශයක් විය. රටේ මෙන්ම ප්‍රාන්තවලද පොලිසිය පවතින්නේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා යටතේ ය. මේ අනුව ජර්මන් පොලිසියද, ප්‍රශියානු ප්‍රාන්ත පොලිසියද නාසිවාදීන් යටතට ගැනීමට හිට්ලර් සමත් විය. හිට්ලර් "මස් රාත්තලම ලබා ගන්නට" කටයුතු කලේ එලෙසිනි. එයින් පසු සිය පැරාමිලිටරි කණ්ඩායම (S.A. සංවිධානය හෙවත් දුඹුරු කමිසකාරයෝ) විරුද්ධවාදීන්ට පහර දීමට යෙදවීම කෙරෙහි කිසිදු බියක් නාසි නායකයාට නොවීය. ජනවාරි 30 වනදා රාත්‍රියේ S.A. සංවිධානය හිට්ලර්ගේ නව පත්වීම සැමරුවේ බර්ලිනය පුරා පන්දම් රැගත් පෙළපාලිවලින් ගමන් කරමිනි. ජර්මන් චාන්සලරිය (චාන්සලර් කාර්යාලය) ඉදිරියෙන් පන්දම් රැගත් පෙරහැර ගමන් කරද්දී, හිට්ලර් ඔවුන් ඉදිරියේ පෙනී සිට ආචාර දැක්වීය. මෙම පෙළපාලියෙන් ඔවුන් පෙන්වා සිටියේ නාසිවාදීන් දැන් බලය ලබාගෙන ඇති බවත්, පහසුවෙන් එය යලි ලබා නොදෙන බවත් ය. එදිනත්, ඉන්පසු දිනවලත්, නාසිවාදීන් සිය ප්‍රතිවාදීන්ගේ ඔලු පලන විට සහ ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කරන විට පොලිසිය කල දෙයක් නැත.

Hitler at the window of the Chancellery on Wilhelmstrasse in Berlin while receiving the ovations of the people on the evening of the day, January 30, 1933, Photo by Robert Sennecke. (German Federal Archive) Bundesarchiv, Bild 146-1972-026-11 / Sennecke, Robert / CC-BY-SA. හිට්ලර් බලයට පත් වූ දින, විල්හෙල්ම්ස්ට්‍රාසේ (විල්හෙල්ම් වීදියේ) පිහිටි චාන්සලරියෙන් ජනතාවට ආචාර කරයි. Wikimedia Commons.



හිට්ලර් නටවන්නට බලාපොරොත්තු වූවනට නොමැති බලයක් හිට්ලර් වෙත තිබිණ. ඊට හේතු වූයේ, පොලිසිය තමන්ට නතු වීමත්, තමන් යටතේ පෞද්ගලික පැරාමිලිටරි කණ්ඩායමක් තිබීමත්ය. තවද, යම් ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කිරීමට නම් ඔවුන්ගේ සහය අත්‍යාවශ්‍ය බව ආණ්ඩුවේ අනෙක් පාර්ශවකරුවන්ද පිළිගත්හ. තමන්ට ලැබුන අලුත් බලය යොදා ගනිමින් මීළඟ මාස කිහිපය තුල නාසිවාදීහු ජර්මන් ජන සමාජයේ සෑම ස්ථානයක්ම පාහේ තමන් යටතට ගන්නට වූහ.

මෙතෙක් කල් භේද භින්න වී සිටි නාසි විරෝධී කණ්ඩායම් හිට්ලර් බලයට පැමිණීමෙන් පසු රයිෂ්ටාගය තුල නාසි විරෝධී බහුතරයක් නිර්මාණය කිරීමට උත්සාහ කළහ. මෙය "අස්සයා පැන ගිය පසු ස්තාලයේ දොර වැසීම" මෙන් සිද්ධියක් වුවද, හිට්ලර් අවදානමක් ගන්නට මැළි වූයේය. මේ අනුව ඔහුගේ උපදෙස අනුව හින්ඩන්බර්ග් විසින් රයිෂ්ටාගය විසිරුවා හැරියේය. මීළඟ මැතිවරණය මාර්තු 6 වෙනිදාට නියම කෙරිණ.

නාසිවාදීන්ට එරෙහිව සිටි එක් ප්‍රබල කණ්ඩායමක් වූයේ කොමියුනිස්ට්වාදීන්ය. S.A. සංවිධානය වැනි නාසි කණ්ඩායම්වල ප්‍රහාර හමුවේ වුවද ඔවුහු ප්‍රබල ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියහ. මීළඟට සිදු වූයේ නාසි පාලන සමයෙහි එක් අභිරහසක් ලෙස සැලකෙන රයිෂ්ටාග් ගින්නයි.

Firemen work on the burning Reichstag, රයිෂ්ටාග් ගින්න නිවීමට ගිනි නිවන්නෝ උත්සාහ කරති. (ඡායාරූපය ගත් තැනැත්තා කවරකුදැයි නොදනී). Wikimedia Commons.



1933 පෙබරවාරි 27 වනදා රයිෂ්ටාගයේ ගින්නක් ඇති විය. ඒ අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුල සිට මැරිනස් වැන් ඩ ලුබේ නම් ඕලන්ද ජාතික කොමියුනිස්ට්වාදියකු සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් පසුදින හිට්ලර්ගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් "රයිෂ්ටාග් ගින්න සම්බන්ධ නියෝගය" (Reischtag Fire Decree) නිකුත් කරන ලද අතර මෙයින් පුද්ගල නිදහස දැඩි ලෙස සීමා කරන ලදී. නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමටද මෙමගින් හැකියාව ලැබිණ. මෙයින් පසු කොමියුනිස්ට්වාදීන් දහස් ගණනක් අත්අඩංගුවට ගන්නා ලදී. කොමියුනිස්ට් පක්ෂයද තහනම් කරනු ලැබිණ. පක්ෂ නායක අර්නස්ට් තැල්මාන් මාර්තු 3 වනදා අත්අඩංගුවට ගන්නා ලද අතර 1944 අගෝස්තු 18 වනදා බුකන්වෙල්ඩ් කඳවුරේදී වෙඩි තබා මරා දමනතුරු ඔහු සිටියේ නාසි අත්අඩංගුවේ ය.

කෙසේ වුවද, මාර්තු 6 මැතිවරණ ප්‍රතිපලය හිට්ලර්ට නම් සතුටුදායක නොවීය. තහනම සහ පහරදීම් මැද වුවද කොමියුනිස්ට් පක්ෂයට සියයට 12.3 හෙවත් මිලියන 4.85 කට (ලක්ෂ 48.5) ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුන අතර සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයද ආසන 120 ක් දිනුවේය. නාසි පක්ෂයට ලැබුනේ ආසන 647 කින් 288 ක් පමණි. මෙතරම් ප්‍රචණ්ඩත්වයක් මැද වුවද ජනතාවගෙන් සියයට 43.9 ක් පමණක් නාසි පක්ෂයට ඡන්දය දී තිබුණි. එනම්, නාසි හෙවත් NSDAP පක්ෂයට කිසිදු දිනෙක වෙනත් පක්ෂද සහභාගී වූ මහ මැතිවරණයක සියයට පනහක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි විය.

හිට්ලර්ගේ පාලනයේ උච්චතම අවස්ථාව වූයේ 1933 මාර්තු 23 වනදා රයිෂ්ටාගයේ සම්මත වූ "බලගැන්වෙන පනත" (Enabling Act)ය. (ගින්නෙන් විනාශ වූ රයිෂ්ටාගයේ රැස්වීම් පැවැත්වුනේ ක්‍රෝල් ඔපෙරා ශාලාවේය). රයිෂ්ටාගයේ බහුතර බලයක් නොමැති වීමට පිළිතුරක් ලෙස නාසිවාදීන් විසින් යෝජනා කෙරුණ මෙම පනත මගින් රයිෂ්ටාගය විසින්ම වසර 4 කට සිය බලය කැබිනට් මණ්ඩලයට පවරා දෙන්නට යෝජනා විය. මෙය සම්මත කිරීමට 2/3 ක ඡන්ද අවශ්‍ය විය. කොමියුනිස්ට්වාදීන් 81 දෙනා මේ වනවිට තහනම් පක්ෂයක සාමාජිකයන් වූ හෙයින් රයිෂ්ටාගයේ නොසිටියහ. DNVP පක්ෂයෙන් පත්ව සිටි 52 දෙනාත් අනෙක් සුළු පක්ෂ බොහෝමයකුත් මීට සහය දක්වන්නට සූදානමින් සිටියහ. ගැටලුවක් ලෙස පැවතියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) සහ සෙන්ට්‍රම් පක්ෂයයි. SPD පක්ෂය කිසිසේත් මීට පක්ෂ නොවන බව දත් නාසිවාදීහු ඒ මන්ත්‍රීවරුන් ඇතැමෙක් රඳවා තබමින් රයිෂ්ටාග් සැසියට සහභාගී වීම වලක්වාලූහ. මේ අතර ජනාධිපති හින්ඩන්බර්ග් සතු නිශේධ බලයට තමන් අත නොතබන බව පොරොන්දු වෙමින් සෙන්ට්‍රම් පක්ෂයද කැමති කරගැනීමට නාසි පක්ෂය සමත් විය. රයිෂ්ටාග් සැසියට සහභාගී වූ SPD පාක්ෂිකයන් 84 දෙනෙක් පමණක් මෙම පනතට එරෙහිව ඡන්දය දුන්හ. මේ අනුව රයිෂ්ටාගය විසින්ම රයිෂ්ටාගයේ බලය හිට්ලර් වෙත තෑගි කළේය.

හිට්ලර්ගේ බලයට පත් වීමේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙන්නේ මේ අවස්ථාවය. මේ වනවිට ඔහු හින්ඩන්බර්ග්ගේ සිතද සැලකියයුතු ප්‍රමාණයකට දිනාගන තිබූ බව රයිෂ්ටාග් ගින්න සම්බන්ධ නියෝගය නිකුත් කිරීමෙන් සහ බලගැන්වෙන පනතට අත්සන් කිරීමෙන් පැහැදිලි වේ. හින්ඩන්බර්ග් මියගිය පසු 1934 අගෝස්තු 2 වනදා හිට්ලර් ජර්මනියේ ජනාධිපති බවටද පත් විය. (හින්ඩන්බර්ග්ගේ අවසන් කැමැත්ත වූයේ 1918 බලයෙන් පහ කෙරුණ කයිසර්වරයා හෙවත් අධිරාජයා වූ දෙවැනි විල්හෙල්ම් ව්‍යවස්ථානුකූල රජෙකු ලෙස යළි රාජ්‍ය නායකත්වයට පත්වනු දැකීම බව කියවේ. නමුත්, හිට්ලර් විසින් මෙම අන්තිම කැමැත්ත යට ගසන ලදී). 1934 ජනාධිපති වූ පසු චාන්සලර් පදවියද හිට්ලර් විසින් වෙනකෙකුට පැවරුවේ නැත. හිට්ලර්ගේ ජර්මනියට නායකයන් දෙදෙනෙකු අවශ්‍ය වූයේ නොවේ. එමෙන්ම එම පියවර නිසා නාසි ආණ්ඩුවට පිළිගත් දෙවැන්නෙක් නොවූ අතර ආණ්ඩුවේ ප්‍රධාන නායකයෝ තිරය පිටිපස එකිනෙකා හා කුළල් කා ගනිමින් සිටියහ. එහෙයින් ඒ එකකුවත් හිට්ලර්ට තර්ජනයක් බවට පත් නොවීය.

හිට්ලර්ගේ බලයට පැමිණීමට ලෝක ආර්ථික අවපාතය උපකාරයක් වුවද, ඔහුගේ ගමන නැවැත්වීමට නොහැකි වීම කෙරෙහි බලපෑ ප්‍රධානතම කරුණ වූයේ විරුද්ධ පක්ෂවල අසමගියයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ කොමියුනිස්ට් පක්ෂ එක් වුනි නම් හෝ අනෙක් දක්ෂිනාංශික පක්ෂ එක් වුනි නම් හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ මධ්‍යස්ත මතධාරී දක්ෂිනාන්ශිකයන් එක් වුනි නම් හෝ හිට්ලර්ට ආණ්ඩු බලය නොලැබෙන්නේය. ලෝක ආර්ථිකය යහපත් අතට හැරෙන තෙක් වසර කිහිපයක් හිට්ලර්ව පසෙකට කර තබන්නට හැකි වී නම් බොහෝ විට නාසිවාදීනට කිසි දිනෙක ජර්මනියේ බලය නොලැබී යන්නට ඉඩ තිබිණ. මන්ද යත් ආර්ථිකය යහපත් වූ කාලයක නාසිවාදීනට සටන් පාඨ බොහොමයක් නැතිවන බැවිනි. නමුත් ඒ ඒ පක්ෂ කලේ ඒ ඒ න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීමයි. අවසානයේදී සිදු වූයේ සියල්ලන්ටම විනාශය කරා යාමට සිදු වීමයි. 1933 ජූනි මාසයේ අවසානය වනවිට විපක්ෂ කණ්ඩායම් මර්ධනය කර තිබුන අතර ආණ්ඩුවට පක්ෂ වූ කණ්ඩායම්වලටද නාසි පක්ෂයට එකතු වීමට බල කෙරිණ. හිට්ලර් අල්ලේ නටවන්නට බලාපොරොත්තු වූ ඇල්ෆ්‍රඩ් ෆොන් හූගන්බර්ග්ගේ DNVP පක්ෂය 1933 ජුනි මස අවසානයේදී එය විහින් විසිරුවාගන්නා ලදී. එයින් පසු 1945 මැයි මාසයේ මුල් කාලය දක්වා ජර්මනියේ එකම නීත්‍යානුකූල දේශපාලන පක්ෂය වූයේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය හෙවත් නාසි පක්ෂයයි.

Saturday, February 2, 2013

ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණීම (පළමු කොටස)


ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් (හෙවත් අගමැති) බවට පත් වුනේ මීට අවුරුදු 80 කට කලින්, 1933 ජනවාරි 30 වනදාය. ලෝකයේ විනාශකාරීම යුද්ධයට ඔහු හේතු වන්නට ඇතැයි ඒ වනවිට කිසිවෙකුටත් සිතෙන්නට නැතිව ඇත. ඔහුට බලයට පැමිණෙන්නට උපකාර කළ ඇතැමුන්ගේ අදහස වූයේ ඔහු තමන්ට අවශ්‍ය පරිදි නැටවීමටය. අවසානයේදී ඔවුනට සිදු වූයේ හිට්ලර්ට අවශ්‍ය පරිදි නටන්නටය. එනම්, රූකඩය විසින් රූකඩ නටවන්නන් නටවන ලදී.

Adolf Hitler (1937) German Federal Archives (Bundesarchiv, Bild 183-S33882 / CC-BY-SA) ඇඩොල්ෆ් හිට්ලර් (1937 දී) Wikimedia Commons



ඔස්ට්‍රියාවේ බ්‍රෞනාවු ඇම් ඉන් (ඉන් නදීබඩ බ්‍රෞනාවු) නම් කුඩා නගරයේ 1889 අප්‍රේල් 20 වනදා උපන් හිට්ලර් ජර්මනියේ මියුනික් නගරයට සංක්‍රමණය වූයේ 1913 පමණය. 1914 ජර්මන් යුධ හමුදාවට බැඳුන ඔහු 1920 මාර්තු වනතෙක් එහි සේවය කළේය. ඔහුගේ දේශපාලන ගමනට පාර කැපුනේ හමුදාවේ සිටි කාලයේදීය.

1918 නොවැම්බරයේදී පළමු ලෝක යුද්ධය අවසන් වූයේ ජර්මනියේ සහ ඇගේ මිත්‍ර රටවල පරාජයෙනි. මින් පසු ජර්මනිය තුල ඇති වූ අස්ථායී දේශපාලන වාතාවරණය අතරවාරයේ බොහෝ ජාතිකවාදී කණ්ඩායම් බිහිවීමට විය. ජර්මනිය යුද්ධයෙන් පරාජය වූවා නොව රට අභ්‍යන්තරයෙන්ම සිදුවූ කුමන්ත්‍රණයකින් එරට පරාජය කරනු ලැබුණු බව ඔවුහු විශ්වාස කළහ. ඒ බොහෝ ජාතිකවාදී කණ්ඩායම්වල අදහස වූයේ මෙම කුමන්ත්‍රණය පිටිපස යුදෙව්වන් සහ වාමාංශිකයන් වූ බවය.

මෙසේ බිහිවූ එක කුඩා දේශපාලන පක්ෂයක් වූයේ ජර්මන් කම්කරු පක්ෂය [Deutsche Arbeiterpartei (DAP)] ආරම්භ වූයේ 1919 ජනවාරි 5 වනදා මියුනික් නගරයේදීය. එම වසරේම සැප්තැම්බර් 12 වනදා මේ අලුත් පක්ෂය පිළිබඳව ඔත්තු බැලීම සඳහා යුධ හමුදාව විසින් ඔවුනගේ රැස්වීමකට සහභාගී වීමට හිට්ලර් යවන ලදී. හිට්ලර් පවසන පරිදි මුලින් ඔහු මෙය සැලකුවේ කම්මැලි පැවරුමක් ලෙසය. මෙම පක්ෂය තවත් එක කුඩා ජාතිකවාදී එකතුවකට වඩා වැඩි දෙයක් යයි ඔහු සිතුවේ නැත.

නමුත් සිදු වූයේ අනෙකකි. මෙම රැස්වීමට සහභාගී වූ තැනැත්තෙකු බැවේරියාව (මියුනික් යනු බැවේරියාවේ අගනුවරය) ජර්මනියෙන් වෙන්ව, ඔස්ට්‍රියාවත් සමඟ එක්ව වෙනමම රාජ්‍යයක් පිහිටුවා ගතයුතු බව ඔහු තර්ක කළේය. එම අදහස නොරිස්සූ හිට්ලර් ඔහු සමඟ වාදයකට පැටලිණ. එම වාදයෙන් හිට්ලර් ජයග්‍රහණය කල බව පෙනේ. මෙම සිද්ධිය දුටු පක්ෂ නායක ඇන්ටන් ඩ්රෙක්ස්ලර් තුල ඇති වූයේ මේ තරුණයා තමන්ගේ පක්ෂයේ කටයුතුවලට පාවිච්චි කළහැකි වනු ඇතැයි යන හැඟීමයි. එහෙයින් ඔහු විසින් හිට්ලර්ට පක්ෂ සාමාජිකත්වය පිළිගන්වන ලදී.

හිට්ලර්ට වෙනත් හැකියාවන් බොහොමයක් නොවී වී නමුදු, වෙනත් බොහෝ දෙනාට වැඩි චතුර කථිකත්වයක් ඔහුට හිමිව තිබිණ. පක්ෂය තුල තම බලය වැඩි කරගැනීමට එය ඔහු උපරිමයෙන් පාවිච්චි කළේය. 1920 වසරේදී පක්ෂය විසිරුවා හැර ඒ වෙනුවට ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය [National Socialist German Workers Party; ජර්මන් භාෂාවෙන් Nationalsozialistische Deutsche Arbeiterpartei (NSDAP)] පිහිටුවාගෙන තිබුණි. නාසි පක්ෂය ලෙස හඳුන්වනු ලබන්නේ මෙම පක්ෂයයි. හිට්ලර් පාවිච්චි කරන්නට සිතූ ඩ්රෙක්ස්ලර් කෙටි කලකින්ම පක්ෂ නායකත්වයෙන් පවා ඉවතට විසි විය. ඒ 1921 වසරේය. 1921 සිට 1945 වසරේ අප්‍රේල් මස 30 වනදා වනතුරු එම පක්ෂයට නායකත්වය දුන්නේ ඔස්ට්‍රියාවෙන් ජර්මනියට සංක්‍රමණය වූ ඇඩොල්ෆ් හිට්ලර්ය.

1923 වර්ෂයේ "බියර්හලේ පෙරලිය" හෙවත් බැවේරියානු රජය පෙරළීමේ තැත අසාර්ථක වූ පසු හිට්ලර් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව පවතී නඩු විභාගයේදී ඔහු ඉතා ව්‍යක්ත ලෙස තම උත්සාහය සාධාරණීකරණය කළේය. අවුරුදු පහක කාලයකට ඔහුව හිරගෙට යවන ලද නමුත් මාස කිහිපයකට පසු 1924 දෙසැම්බර් 20 වනදා ඔහු නිදහස් කෙරිණ. හිරේ සිටි කෙටි කාලය ඔහුට වැඩි අපහසුවක් නැති කාලයක් විය. ඊට පෙර බොහෝ අවස්ථාවල එදාවේල සොයාගැනීමට පවා ඔහුට අපහසු විය. නමුත් ලෑන්ඩ්බර්ග් බලකොටුවේ ආණ්ඩුවේ මුදලින් සිරගතව සිටි සමයේ ඔහුට මුරකරුවන්ගෙන් පවා ලැබුනේ මිත්‍රශීලී සැලකිල්ලකි. ලියුම් ගනුදෙනුවලට අවසර ලැබී තිබුන අතර පක්ෂ සාමාජිකයන්ට ඔහු හමුවීමටද වැඩි කරදරයක් නොවීය. හිට්ලර් සිය "මගේ සටන" කෘතියේ පළමු වෙළුම ලියුවේ මේ කාළයේය. ඔහුගේ ලේකම් ලෙස කටයුතු කලේ පක්ෂයේ දෙවනියා බවට පත් වූ රුඩොල්ෆ් හෙස් ය.

කෙසේ නමුත් 1923 බියර්හළේ පෙරළියෙන් පසු පක්ෂය තහනම් කරන ලද බැවින් හිරභාරයට පත් නොවී ඉතිරි වූ NSDAP පක්ෂ නායකයින්, තවත් ජාතිකවාදී පක්ෂයක් වූ ජර්මන් ජනතා නිදහස් පක්ෂය [Deutschvölkische Freiheitspartei (DVFP)] සමඟ ඒකාබද්ධව ජාතික සමාජවාදී නිදහස් ව්‍යාපාරය (National Socialist Freedom Movement; ජර්මන් භාෂාවෙන් [Nationalsozialistische Freiheitsbewegung (NSFB)] පිහිටුවා ගත්හ. මෙම පක්ෂය 1924 ජර්මන් ෆෙඩරල් මහ මැතිවරණයට තරඟ කලේ හිට්ලර්ගේ නඩු විභාගය හේතුවෙන් ලද ප්‍රසිද්ධියත් සමඟය. ඡන්ද 1,918,329 ක්, එනම් මුළු ඡන්ද ගණනින් සියයට 6.55 ක් ලබාගත් එම පක්ෂයට ආසන 32 ක් ලැබිණ. නමුත් එම වසරේම දෙසැම්බරයේ පවත්වන ලද මැතිවරණයේදී මෙම ඡන්ද ගණන භාගයකින් පමණ අඩු වූ අතර පක්ෂයට දිනා ගතහැකි වූයේ ආසන 14 ක් පමණි. 1925 වනවිට මෙම NSFB සන්ධානය බිඳ වැටිණ. නමුත් DVFP පක්ෂය සමඟ සම්බන්ධ වීම නාසි පක්ෂයට ඉතා වැදගත් පියවරක් බවට පත් විය. මෙතෙක් ජර්මනියේ දකුණුදිග ප්‍රදේශවල පැතිර තිබූ පක්ෂයට උතුරුදිග ජර්මනිට පැතිරීමට අවස්ථාව සැලසුනේ මෙම සන්ධානය තුලිනි.

නාසි පක්ෂයට ජර්මන් දේශපාලනය තුල විශාල බලයක් හිමි වූයේ 1929 ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් ඇතිවූ ආර්ථික පරිහානියත්, වයිමාර් ජනරජයේ බලයට පත්වන ආණ්ඩුවල පැවති අස්ථාවරත්වයත් යන කරුණු මතය. (1919 ජර්මන් ෆෙඩරල් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුනේ වයිමාර් නගරයේ බැවින් එම ජනරජයට මේ නම භාවිතා විය. හිට්ලර් බලයට පැමිණීමෙන් එහි මළගම සිදුවිය). උදාහරණයක් ලෙස ගතහොත්, ජර්මන් ආර්ථිකය මදක් යහපත් අතට හැරෙමින් පැවති 1928 වසරේ පවත්වන ලද මැතිවරණයේදී නාසි පක්ෂයට ලැබුනේ ඡන්ද 810,000 කට මදක් වැඩි ඡන්ද ප්‍රමාණයකි. එනම් සියයට තුනකි.

ආර්ථික අවපාතය සමඟ ජර්මන් දේශපාලනය තුල පැහැදිලි වෙනසක් ඇතිවිය. ඉහල යන උද්ධමනය සහ විරැකියාව හමුවේ, බලයේ සිටි මධ්‍යස්ත දේශපාලන පක්ෂවල ජනප්‍රියත්වය අඩු වෙමින් අන්තවාදී කණ්ඩායම්වල බලය වැඩි වන්නට විය. මේ අනුව දක්ෂිනාංශික සහ වාමාංශික අන්ත දෙකෙහි වූ නාසි පක්ෂයත්, ජර්මන් කොමියුනිස්ට් පක්ෂයත් යන දෙකෙහිම ජනප්‍රියත්වය වැඩිවනු දක්නට ලැබුණි. නමුත් මේ පක්ෂ දෙක එකිනෙකා මරාගන්නා තත්ත්වයකට පත්ව තිබිණ. මීට අමතරව ප්‍රධාන වාමාංශික පක්ෂය වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) සමඟද කොමියුනිස්ට් පක්ෂය ගැටුණි. ප්‍රතිවාදීන්ගේ රැස්වීම්වලට කඩාවැදීම් සහ පෙළපාලිවලට පහරදීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල මෙම පක්ෂ තුනේම ආධාරකරුවෝ යෙදුනහ. ඇතැම්විට ප්‍රතිවාදීන් ඝාතනය කරන තැනට පවා ඔවුහු පත්වූහ.

ලෝක ආර්ථික අවපාතයෙන් පසු පවත්වන ලද පළමු ජර්මන් මහා මැතිවරණය නාසි පක්ෂයට ඉතා වැදගත් මැතිවරණයක් විය. 1930 සැප්තැම්බර් 14 වනදා පැවති එම මැතිවරණයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 577 න් 143 ක් දිනාගෙන විශාලතම තනි පක්ෂය බවට පත් විය. 1928 දී ආසන 12 ක් පමණක් දිනාගත් නාසි පක්ෂය ආසන 107 ක් දිනාගත්තේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 18 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. කොමියුනිස්ට් පක්ෂයද ආසන 77 ක් දිනාගනිමින් තුන්වන ස්ථානයට පත්විය.

කෙසේ නමුත් නාසිවාදීන්ගේ නැගීමෙන් පාඩු සිදු වූයේ අනෙකුත් දක්ෂිනාංශික දේශපාලන පක්ෂවලටය. කලක් තිස්සේ ජර්මන් දේශපාලනයේ වැදගත් සාධකයක් වූ ඇල්ෆ්‍රඩ් හූගන්බර්ග්ගේ ජර්මන් ජාතික ජනතාවාදී පක්ෂය [Deutschnationale Volkspartei (DNVP)] ආසන 73 කින් 41 කට පහල වැටුන අතර, ජර්මන් ජනතා පක්ෂය [Deutsche Volkspartei (DVP)] ආසන 45 කින් 30 කටත් පල්ලම් බැස්සේය.

DNVP පක්ෂයට වඩා NSDAP පක්ෂය කෙරෙහි දක්ෂිනාංශික ජර්මන් ජාතිකයන් නැඹුරුවීමට හේතු වූයේ එම පක්ෂ දෙකෙහි සංයුතියයි. DNVP පක්ෂය මුලින් (1918 සිට) ප්‍රචලිත වූයේ රාජාන්ඩුවාදී පක්ෂයක් ලෙසයි. පසුව එය ජාතිකවාදය කෙරෙහි නැඹුරු විය. නමුත් එම පක්ෂය නාසි පක්ෂය තරම් අන්තවාදී නොවීය. එමෙන්ම පක්ෂයේ නායකයින් බොහොමයක් ඉහල සමාජ ස්ථරවලින් පැමිණියවුන් වූහ. එහෙයින් සාමාන්‍ය ජනතාව වැඩි දෙනෙක් නාසි පක්ෂය දෙසට නැඹුරු වූ අතර DNVP පක්ෂය සමඟ රැඳී සිටියේ ඉහල සහ මධ්‍යම පාන්තිකයන්ය. මේ හේතුවෙන්, කාලයාගේ ඇවෑමෙන් නාසි පක්ෂය, DNVP පක්ෂය අභිබවා යනු දැකිය හැකි විය.

සමස්ථයක් ලෙස ගත් විට, මෙම මැතිවරණයෙන් ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සැලකියයුතු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පක්ෂවල සාමාජිකයන් වූහ. මේ අනුව 1930 මැතිවරණය, ජර්මන් දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිවාක් මෙන්ම වයිමාර් ජනරජයේ අවසානය පිලිබඳ අනාවැකියක් ලෙසද ගත හැක.

1930 මැතිවරණයෙන් තෝරාගන්නා ලද ජර්මන් ෆෙඩරල් ව්‍යවස්ථාදායකය හෙවත් රයිෂ්ටාගය තුල බහුතර බලයක් හිමි කරගැනීමට සමත් කිසිදු පක්ෂයක් නොවීය. කොමියුනිස්ට් පක්ෂය මෙන්ම නාසි පක්ෂයද වෙනත් පක්ෂ සමඟ සන්ධානගත වීමට අකමැති වූහ. අනෙක් පක්ෂද ඔවුන් සමඟ සම්බන්ධ වීමට කැමැත්තක් නොදැක්වූහ. මෙම පක්ෂ දෙක අතර ආසන 577 න් 184 ක් හෙවත් තුනෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් බෙදී ගොස් තිබිණ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ද අනෙකුත් දක්ෂිනාංශික පක්ෂ සමඟ සන්ධානගත වීමට අකමැති වූ අතර නාසි පක්ෂය නොමැතිව අනෙක් දක්ෂිනාංශික පක්ෂවලටද බහුතර බලයක් නොමැති විය. මේ අතර කතෝලික පක්ෂයක් වූ සෙන්ට්රුම් පක්ෂය (මධ්‍යස්ථ පක්ෂය) ආසන 68 ක් ලබාගෙන තනිව සිටියහ.

1930 මාර්තුවේදී එතෙක් පැවති සභාගය බිඳ වැටීමෙන් පසු මධ්‍යස්ථ පක්ෂයේ හයින්රිච් බ්රූනින්ග් චාන්සලර් පදවියට පත් විය. ඔහුට රයිෂ්ටාගයේ බහුතර කැමැත්ත නොවූ නිසා රට පාලනය කිරීමට සිදු වූයේ ජනාධිපතිවරයාගේ හදිසි නියෝග පැනවීමේ බලය උපයෝගී කරගනිමිනි. මේ තත්ත්වය 1930 මැතිවරණයෙන්ද වෙනසක් නොවීය. එහෙයින්, 1930-1933 කාලය ජර්මනියේ කැබිනෙට් මණ්ඩලය, රයිෂ්ටාගය මෙන්ම එහි ප්‍රධාන පක්ෂත් යන සියල්ල සම්බන්ධ වූ සංකීර්ණ බල අරගලයක ඉතිහාසය විය.

Berlin, Wahlplakat für Hindenburg, (Hindenburg Election Poster "With Him!") පෝල් ෆොන් හින්ඩන්බර්ග් මැතිවරණ පෝස්ටරයක්. එහි සඳහන් වැකියෙන් කියවෙන්නේ "ඔහු සමඟ!" යන්නය. German Federal Archive, (Bundesarchiv, Bild 183-R99203 / CC-BY-SA), Wikimedia Commons.



මෙම කාලය තුල රටේ ජනතාවගේ බහුතර කැමැත්ත තිබූ දේශපාලකයකු රටේ වී නම් ඒ ජනාධිපති පෝල් ෆොන් හින්ඩන්බර්ග් ය. පළමු ලෝක යුද්ධයේ යුධ වීරයකු වූ මෙම ෆීල්ඩ් මාර්ෂල්වරයා 1925 දී ජර්මන් ජනාධිපති ධූරයට පත් විය. ප්‍රශියාවේ රදළ පවුලකින් පැවතෙන්නෙකු වූ ඔහු සාමාන්‍ය ජනයා අතර යුධ වීරයකු ලෙස ගෞරවය දිනාගෙන සිටියේය. 1932 වසරේ ඔහුගේ පළමු ධූර කාලය අවසන් වූ අතර මාර්තු මාසයේදී ජනාධිපතිවරණයක් පවත්වන ලදී. මෙහිදී ඔහුට විරුද්ධව අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තීරණය කළේ දේශපාලන ක්ෂේත්‍රයේ දකුණෙහි සහ වමෙහි වූ අන්තවාදී පක්ෂ සහ කණ්ඩායම් තුනක් පමණි. ඒ නාසි පක්ෂයත්, දක්ෂිනාංශික සංවිධානයක් වූ "ස්ටාල්හෙල්ම්" (යකඩ හෙල්මටය) සංවිධානයත්, කොමියුනිස්ට් පක්ෂයත්ය.

1932 වනතුරු හිට්ලර්ට ජර්මන් මැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් නොවීය. මන්ද යත්, ඔහු ජර්මන් පුරවැසියකු නොවූ බැවිනි. 1925 දී සිය ඔස්ට්‍රියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කල දින සිට ඇඩොල්ෆ් හිට්ලර් යනු කිසිදු රටක පුරවැසියකු නොවීය. නමුත් ඔහුගේ වාසනාවට 1932 වනවිට ඔහුගේ හෙන්චයියලා ජර්මනියේ වැදගත් ස්ථානවලට පත්ව සිටියහ. එවැන්නකු වූ බ්‍රන්ස්වික් ප්‍රාන්තයේ අභ්‍යන්තර ඇමතිවරයා හිට්ලර්ට 1932 පෙබරවාරියේදී එම ප්‍රාන්ත පුරවැසිකම ලබා දුන්නේය. ජර්මනියේ ප්‍රාන්තයක පුරවැසිකම ලැබීමෙන් හිට්ලර් ජර්මනියේද පුරවැසියකු බවට පත් විය. ඊළඟ මාසයේ එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට අවස්ථාව ලැබුනේ එලෙසිනි.



ජනාධිපතිවරණයේ ප්‍රතිපලය කුමක් වීද?

හිට්ලර් "මස් රාත්තලම ඉල්ලුවේ" කෙසේද? එය ලබා ගත්තේ කෙසේද?

රූකඩ නටවන්නන් රූකඩ වූයේ කවර ආකාරයෙන්ද?

සියලු විස්තර මෙම ලිපියේ දෙවන කොටසින්. . . . . .