Thursday, August 23, 2018

ලංකාවේ විප්ලවවාදීන්ට ගුරු ගීතය නැතිව බැරි ඇයි?

චින්ගීස් අයිත්මාතෙව් ලියූ පොත් අතුරින් ගුරු ගීතය ලංකාවේ අතිශයින් ජනප්‍රිය පොතකි. එහි සඳහන් කතාව පාදක වන්නේ කොමියුනිස්ට් පාලනය මධ්‍යම ආසියාවෙහි ස්ථාපනය කෙරෙන මුල් කාළයේ මධ්‍යම ආසියාවේ සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය අධ්‍යාපනය තුළින් පෙරළා දමා නව ක්‍රමය ස්ථාපනය කිරීමට එන ගුරුවරයකු හා ඔහුගේ ශිෂ්‍යයාවක අතර බැඳීමකි.

මෙය කෙතරම් දුරට වැඩවසම් ක්‍රමයෙන් වියුක්ත ද​? විප්ලවවාදී ද​? යන්න විමසා බැලීම වටී.

ලංකාවේ පුරුෂාධිපත්‍යය රජයන සමාජයට ගුරුගීතය කදිමට ගැලපේ. මේ කතාවේ ගුරුවරයා පියකු හෝ වැඩිමහලු සහෝදරයකු හා සමාන භූමිකාවක් රඟපාද්දී අල්තිනායි රඟ දක්වන්නේ ලෝකය ගැන දැනුමින් අඩු කෙල්ලකගේ චරිතයයි. ඇය ලෝකය දකින්නේ ඇගේ ලෝකයට එන වැඩිමහලු පිරිමියකු හරහාය​.

Pic: SBS

ලංකාවේ විප්ලවවාදීන් මොන කතා පැවැත්වූවද උන් බොහෝ දෙනා පුරුෂාධිපත්‍යය හිතේ දරාගෙන සිටින්නෝ ය​. එසේ නැතැයි කියන අයට ඉතා සරල අභියෝගයක් කරමි.

ලංකාවේ විප්ලවවාදී කියාගන්නා පක්ෂවල (උදාහරණයක් ලෙස ජවිපෙ) ඉතිහාසයේ මෙතෙක් කල් මධ්‍යම කාරක සභා සහ දේශපාලන මණ්ඩල සාමාජිකයන් අතුරින් කී දෙනකු කාන්තාවන් වීද යයි ප්‍රසිද්ධ කරන්න​. එය මෙතෙක් කල් එම පක්ෂවල අදාළ මණ්ඩලවල සිටි සියලු සාමාජිකයන් අතුරින් ප්‍රතිශතයක් ලෙස කීදෙනෙකුදැයි ප්‍රසිද්ධ කරන්න​.

(එයාලගෙන් ලැබෙන උත්තරේ, අපි විප්ලවවාදී. ඒ නිසා අපි ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ඇත්ත කාරණේ කරන්නෙ නෑ නෙවේ කරන්න බෑ)

පක්ෂයේ පහළ මට්ටමේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නා බව සැබැවි. උන්ව දක්කන්නේ අර කියු මණ්ඩලවල ඉන්නා උන් ය​.

ඉතින් ගුරුගීතය විප්ලවවාදී නොවන්නේ කෙසේද​?

Tuesday, July 10, 2018

ප්‍රංශයේ උදව්වෙන් බෙල්ජියම නිදහස් වූ හැටි

ප්‍රංශය සහ බෙල්ජියම ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සූදානම් වෙද්දි මේ දෙරට සම්බන්ධ වූ වැදගත් සිද්ධියක් ගැන ලියන්නට හිතුවා. ඒ තමයි බෙල්ජියම රාජ්‍යයක් ලෙස බිහිවීම​. නැපෝලියන් අධිරාජයා පරාජය කළාට පසුව යුරෝපයේ සාමය ස්ථාපිත කරන්නට වියානා සමුළුව රැස් වුණා. එහිදී ගත් එක් තීරණයක් වූයේ පැරණි ඔස්ට්‍රියානු නෙදර්ලන්‍තය ද ඇතුලත්ව එක්සත් නෙදර්ලන්ත රාජධානියක් නිර්මාණය කිරීමට යි. මෙහි අරමුණ වුණේ ප්‍රංශයට උතුරු දෙසින් ප්‍රබල දේශසීමා රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. මේ අනුව නෙදර්ලන්තය සහ පැරණි ඔස්ට්‍රියානු නෙදර්ලන්තය එක් රාජ්‍යයක් බවට පත් වුණා. එහි පාලකයා වූයේ නෙදර්ලන්තයේ රජතුමායි. මේ අතර එරට පාර්ලිමේන්තුවට අලුතින් එක් වූ දකුණුදිග නෙදර්ලන්තයෙන් සහ උතුරුදිග නෙදර්ලන්තයෙන් සමාන මන්ත්‍රීන් සංඛ්‍යාවක් තෝරාගනු ලැබුණා. බැලූ බැල්මට මෙහි සාධාරණත්වයක් පෙනුණත් රටේ ජනගහනයෙන් සියයට 62 ක් පමණ​, ඒ කියන්නෙ ආසන්න වශයෙන් තුනෙන් දෙකක්, දකුණු නෙදර්ලන්තයේ ජීවත් වූ නිසා මෙය සාධාරණ වුණා කියන්නට බැහැ. ඒ වගේම රටේ ප්‍රධාන නිලධාරීන් වැඩි දෙනෙක් නෙදර්ලන්ත (එනම් ලන්දේසින්) වුණා. ඒ අතරට හමුදා නිලධාරින් ද අයත්. තව ද උතුරේ ජනයා රෙපරමාදු ද දකුණේ ජනයා කතෝලික ද වූ අතර ලන්දේසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කිරීමට බල කිරීම දකුණේ වූ ප්‍රංශ කතා කරන අයගේ අප්‍රසාදයට හේතු වුණා. 1830 ජූලි මාසෙදි ප්‍රංශයේ X වන චාර්ල්ස් රජතුමාට එරෙහිව ජනතාව කැරලි ගැහුවා. මේ අනුව ඔහුව බලයෙන් ඉවත් කරලා ලුවී ෆිලිප් නම් රජකු බලයට පත් කරගනු ලැබුණා. මේ සමග යුරෝපයේ වෙනත් ප්‍රදේශවලටත් මේ ජනතා නැගිටීමෙ බලපෑම දැනුණා. අගෝස්තු 25 වනදා බෙල්ජියම් ජනතාව කැරලි ගැහුවා. ලන්දේසි සෙබළුන් පළවා හැරියා. මේ අවස්ථාවෙ නෙදර්ලන්ත රජු යුද්ධයට සම් බන් ධ වෙන්නට අදිමදි කළා. ප්‍රංශයේ නව රජය බෙල්ජියානු විප්ලවවාදීන්ගෙ පැත්ත ගත්තත්, අනෙක් යුරෝපා රටවල් ඔවුනට එරෙහි ස්ථාවරයක තමයි හිටියෙ. නමුත් ඔවුනගේ රටවලත් කලබල ඇතිවූ හෙයින් බෙල්ජියම ගැන මැදිහත් වීමට ඔවුනට හැකි වූයේ නැහැ.

මේ අනුව 1830 නොවැම්බරයෙදි බෙල්ජියමේ ජාතික සභාවක් රැස් වී 1831 පෙබරවාරියෙදි නව ව්‍යවස්ථාවක් සම්මත කළා. මෙහිදී බෙල්ජියම ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ලෙස ප්‍රකාශ කෙරුණා. ඇත්තෙන්ම විප්ලවවාදීන් අතර වූ සමූහාණ්ඩුවාදීන්ට ඕන වුණේ බෙල්ජියම සමූහාණ්ඩුවක් කිරීමටයි. නමුත් එවැනි පියවරක් යුරෝපයේ රටවල් බියට පත් කරන්නට ඉඩ තිබෙන බව දැන සිටි නිසා ඔවුන් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් සඳහා එකඟ වුණා. ඉන් පසු ඔවුන් රජකමට සුදුස්සෙක් හොයන්නට වුණා. මේ අනුව නැසීගිය වේල්සයේ ෂාලට් කුමරියගෙ ස්වාමියා වූ සැක්ස්-කොබර්ග් හි ලියෝපෝල්ඩ් කුමාරයා ඒ තනතුරට පත්කර ගත්තා. මෙසේ ඉංග්‍රීසි රජ පවුලටත් සම්බන්ධ වූවකු පත් කරගැනීමෙන් බෙල්ජියානුවන් තහවුරු කළේ ප්‍රංශය තමන්ගෙ රට ඈඳා ගැනීමේ තර්ජනයක් නොමැති බවයි. මේ අනුව I වන ලියෝපෝල්ඩ් බෙල්ජියමෙ රජකමට පත් වුණේ 1831 ජූලි 21 වනදා. මේ අවස්ථාවෙ නෙදර්ලන්තය බෙල්ජියම අල්ලාගන්න හමුදා එව්වා. අගෝස්තු 2 වනදා මෙම ප්‍රහාරය එල්ල වුණා. නමුත්, මේ අවස්ථාවේ ප්‍රංශය මැදිහත් වුණා. දින දහයකට පසු අගෝස්තු 12 වනදා නෙදර්ලන්තයට යුද්ධය අතැර දමන්න සිදු වුණා. නෙදර්ලන්තය විසින් බෙල්ජියමේ ස්වෛරීත්වය පිළිගත්තේ 1839 දි. එම අවස්ථාවෙ යුරෝපා බලවතුන් අතර බෙල්ජියමෙ මධ්‍යස්ථභාවය ගැන එකඟත්වයක් ආවා. 1914 දි ජර්මනිය මෙම එකඟතාව කඩ කළ විට​ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළා. ඒක නම් ඉතින් වෙනමම කතාවක්

සාමය සඳහා “යූ ටර්න්” ගැසූ ඉතියෝපියාව

දශක දෙකක කාලයක් තිස්සේ පැවති ඉතියෝපියා - එරිත්‍රියා අර්බුදය විසඳීම සඳහා එම රටවල් දෙක මූලික පියවර ගනු ලැබීම පසුගිය දිනයන් හි කතාබහට ලක් වූ සිද්ධියක් විය​. 1998 සිට 2000 දක්වා කාලය තුළ​, නොවැදගත් කුඩා ප්‍රදේශයක් අරබයා යුධ වැදුණ මෙම දෙරට එතැන් පටන් ම එකිනෙකා නුරුස්සන තත්ත්වයෙන් පසු විය​. මෙම තත්ත්වය වෙනස් කිරීමට කරුණු පෙළ ගැසුනේ ඉතියෝපියාවට නව අගමැතිවරයකු පත් වීමෙනි.

සහෝදරයින් අතර යුද්ධය​

1998 දී දෙරට අතර යුද්ධයක් ඇති වූ අවස්ථාවේ ඇතැම් විචාරකයෝ ඒ පිළිබඳ මවිතයට පත් වූහ​. ඊට හේතුව වූයේ ඊට වසර කිහිපයකට පෙර මෙම දෙරටෙහි දේශපාලන නායකත්වයන් එකමුතුව අප්‍රිකාවේ ප්‍රබලම යුධ හමුදාවක් හා සටන් වැදී ජයගත් හෙයිනි.

මුල් කාලීනව එරිත්‍රියාව සහ ඉතියෝපියාව අතර අර්බුද ඇති වීමට හේතු තිබුණි. එරිත්‍රියාව 19 සියවස අග භාගයේදී ඉතාලි යටත් විජිතයක් බවට පත් වූයේ ය​. ඉතාලිය 1896 දී ඉතියෝපියාව ද යටත් කිරීමට උත්සාහ කර​ ලජ්ජාසහගත පරාජයක් භුක්ති වින්ඳේ ය​. ඉන්පසු ඔවුන් නැවත ඉතියෝපියාව ආක්‍රමණය කළේ 1935 දී ෆැසිස්ට්වාදී බෙනීටෝ මුසෝලිනී යටතේ ය​. කෙටි කලක් ඉතාලිය විසින් ඉතියෝපියාව පාලනය කළ ද දෙවන ලෝක යුද්ධය අතරතුර දී එරට නැවත මුදවා ගන්නා ලදී.

අබියි අහමඩ්
එවකට ඉතියෝපියාවේ වූයේ වසර 2000 කට වඩා පැරණි ඉතිහාසයක් පවතී යයි කියන සොලමනික රාජ්‍යවංශය යටතේ වූ පාලනයකි. එහි අධිරාජයා හේල් සිලාසි නම් විය​. දෙවන ලෝක යුද්ධයෙන් පසු පරාජය වූ ඉතාලියෙන් එරිත්‍රියාව යළි ලබා ගැනීම ඉතියෝපියානු අධිරාජයාගේ අභිලාශය වූ අතර එරිත්‍රියානු ජනයා ඒ පිළිබඳ එතරම් ප්‍රසාදයක් නොදැක්වූ හ​. මේ අනුව මෙම ගැටළුවට විසඳුමක් ලෙස එරිත්‍රියාවට විශේෂ බලතල ප්‍රදානය කරමින් එය ඉතියෝපියාවේ කොටසක් බවට පත් කරන ලදී.

නමුත් කෙටි කලකින් එම ස්වයං පාලන බලතල ඉවත් කළ අධිරාජයා එරිත්‍රියාව සිය ඍජු පාලනයට ගත්තේය​. මේ අනුව එරිත්‍රියාවේ ස්වාධීනත්ව අරගලයට මග සැලසිණ​.

1974 දී අධිරාජයා බලයෙන් නෙරපූ හමුදා නිලධාරීන් පිරිසක් ඉතියෝපියාවේ බලය අල්ලාගත් හ​. මෙම කමිටුව "ඩර්ග්" නමින් හඳුන්වන ලද අතර එහි නායකයා වූයේ මෙන්ගිට්සු හේල් මාරියම් නමැති නිලධාරියෙකි. ඔවුන් විසින් දැඩි ප්‍රජාපීඩක, මාක්ස්වාදී පාලනයක් නිර්මාණය කළ අතර ඊට සෝවියට් දේශයේ ද සහය ලැබිණ​.

මෙම පාලනයට එරෙහිව අවිගත් ප්‍රධාන කණ්ඩායම් දෙකකි. ඒ එරිත්‍රියානු මහජන විමුක්ති පෙරමුණ (Eritrean People’s Liberation Front - EPLF) සහ ටිග්‍රෙයානු මහජන විමුක්ති පෙරමුණ (Tigrayan People’s Liberation Front - TPLF) ප්‍රමුඛ ඉතියෝපියානු සංවිධානයි. ටිග්‍රෙයානු ජනයා වාසය කළේ එරිත්‍රියාවට යාබද කඳුකර ප්‍රදේශවල ය​.

1991 දී ඉතියෝපියානු රජය කඩා වැටුණ අතර ටිග්‍රෙයානු මහජන විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඉතියෝපියානු මහජන විප්ලවවාදී ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ (Ethiopian People’s Revolutionary Democratic Front - EPRDF) එරට බලයට පත් වූයේ ය​. මේ අතර 1993 මැයි මාසයේදී එරිත්‍රියාව නිල වශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කළේ ය​. 1994 දී එරිත්‍රියානු මහජන විමුක්ති පෙරමුණෙහි නම ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සඳහා මහජන පෙරමුණ (People’s Front for Democracy and Justice - PFDJ) ලෙස වෙනස් කෙරිණ​.

සංවිධාන හතරක එකමුතුවක් වන EPRDF ඉතියෝපියාව පාලනය කළ අතර නව පරිපාලනයේ පළමු නායකයා වූයේ මෙලෙස් සෙනාවි ය​. ඔහු TPFL හි ද නායකයා විය​. මෑතක් වනතුරු EPRDF පක්ෂයේ ප්‍රධාන සංවිධානය වූයේ TPLF ය. මේ අතර ඉතියෝපියාවේ නායකයා ලෙස 1991 සිට දිගටම කටයුතු කරන්නේ ඉසයියාස් අෆ්වර්කි ය​. මෙම දෙරට ම ඒකාධිපතිත්වය කරා ගමන් කළ අතර එරිත්‍රියාවේ එය ඍජු ලෙසත්, ඉතියෝපියාවේ වක්‍ර ලෙසත් බලාත්මක කරන ලදී. ඉතියෝපියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ වෙතත් ඒවා මෑතක් වනතුරු ම දැඩි මර්ධනයක් යටතේ ක්‍රියාත්මක වූයේ ය​. එරිත්‍රියාවේ වෙනත් පක්ෂ නොමැත​.

විරසකය​

එරිත්‍රියාව නිල වශයෙන් වෙන් වී පස් වසරකට පසු බඩිමේ (Badime) නම් නිසරු කුඩා නගරයක් අරබයා 100,000 ක පමණ ජීවිත අහිමි කරගනිමින් මෙම දරට අතර යුද්ධයක් ඇති වීම තරමක මවිතයක් ඇති කිරීම ස්වාභාවික ය​. විචාරකයන්ගේ මතය වන්නේ මෙම ගැටුමට මූලික හේතුව වූයේ කලක් එක්ව සටන් වැදුණ ඉතියෝපියානු සහ එරිත්‍රියානු නායකත්ව අතර මතු වූ පුද්ගලික මතභේද සහ එදිරිවාදිකම් බව ය​.

2000 දී ඇති කරගන්නා ලද එකඟතාවයකට අනුව සටන් විරාමයකට එළඹි අතර බඩිමේ නගරය එරිත්‍රියාවට පවරා දීමට නියම විය​. නමුත් මෑතක් වනතුරු ඉතියෝපියාව එම කොන්දේසි පිළිගත්තේ නැත​.

මීළඟ වසරවලදී ඉතියෝපියාව වේගවත් සංවර්ධනයක් කරා පියවර තැබීය​. විශේෂයෙන් ම චීනයේ ආයෝජන මීට උපකාර වූයේ ය​. මේ අනුව පසුගිය දශකයක පමණ කාලය තුළ අප්‍රිකාවේ වේගයෙන් ම සංවර්ධනය වන ආර්ථිකය ලෙස ඉතියෝපියාව නමක් දිනා ගත්තේ ය​. මේ අතර විශේෂයෙන් සෝමාලියාවේ ක්‍රියාත්මක වූ අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන්ට උපකාර කරන්නේය යන චෝදනාව මත  එරිත්‍රියාවට එරෙහිව සම්බාධක ද පනවන ලදී. ඉතියෝපියාවට සාපේක්ෂව එරට ආර්ථික අංශයෙන් බොහෝ පසුපසට විය​. ඉතියෝපියානු අසත්‍ය ප්‍රචාරයන් තමන් මත වන සම්බාධක සඳහා ප්‍රධාන හේතුවක් බව එරිත්‍රියාව දිගටම චෝදනා කළේ ය​.

මේ අතරවාරයෙදී, නගර ව්‍යාප්තිය සහ නවීකරණ ව්‍යාපෘති සඳහා ඉඩම් අල්ලා ගැනීම පිළිබඳ ඔරෝමෝ ගෝත්‍රික ජනතාව අතරින් නැගුණ විරෝධයන් හමුවේ ඉතියෝපියාව දේශපාලන අර්බුදයක් කරා ගමන් ගත්තේ ය​. කෙතරම් උත්සාහ කළ ද මෙම විරෝධතා මර්ධනය කිරීමට නොහැකි වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2018 අප්‍රේල් මාසයේදී අගමැති හේල්මාරියම් දෙසලෙගන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. එම ධුරයට තෝරාගත් නව අගමැතිවරයා වූයේ අබියි අහමඩ් ය​.

ප්‍රතිසංස්කරණවාදියා

අබියි අහමඩ් ඔරෝමෝ ජාතික මුස්ලිම් පියකුගේ දරුවෙකි. එමෙන්ම ඔහු EPRDF පක්ෂයේ එක් සංවිධානයක් වන ඔරෝමෝ මහජන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ (Oromo People’s Democratic Organization) නායකයා ය​. තවමත් 42 හැවිරිදි ඔහු බලයට පත් වූ පසු විශාල ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඇරඹී ය​. දේශපාලන සිරකරුවන් දහස් ගණනින් නිදහස් කළ හෙතෙම​, ඇතැම් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සඳහා කටයුතු ඇරඹුවේ ය​.

එමෙන්ම අදටත් ඉතියෝපියාවේ ආර්ථිකය කෘෂිකර්මාන්තය මත රඳා පවතින හෙයින් එය වෙනස් කිරීම සඳහා ඔහු පියවර ගනිමින් සිටියි. යම් හෙයකින් දේශගුණික විපර්යාසයක් හේතුවෙන් කෘෂිකර්මාන්තයට දරුණු පහරක් එල්ල වුවහොත් එය සමස්ථ ආර්ථිකයට ම දරුණු ලෙස බලපෑමට ඉඩ තිබීම ඊට හේතුව ය​.

මේ අතර අසල්වැසි රටවල් සමග මෙන්ම අසල්වැසි රටවල්වල ද​ සාමය ස්ථාපිත කිරීම වැදගත් බව අබියි අහමඩ් විශ්වාස කරයි. එමගින් කලාපීය ස්ථාවරත්වය වැඩි දියුණු කොට ආරක්ෂක වියදම් අඩු කිරීම මෙම හිටපු හමුදා නිලධාරියාගේ අපේක්ෂාව ය​. ඔහුගේ මැදිහත් වීමෙන් දකුණු සුඩානයේ ප්‍රධාන එදිරිවාදීන් දෙදෙනා වන ජනාධිපති සල්වා කීර් සහ කැරලි නායක රියෙක් මචාර් ඉතියෝපියාවෙදී හමු වූහ​. මේ අතර 2000 වසරේ එකඟතාව පිළිගන්නා බව සඳහන් කළ අබියි අහමඩ් එරිත්‍රියාව සමග සාමය සඳහා ද මුල පිරුවේ ය​. මේ අනුව එරිත්‍රියානු දූත පිරිසක් ජූනි 26 වනදා ඉතියෝපියාවේ සංචාරය කළ අතර ළඟදීම අබියි අහමඩ් සහ ඉසයාස් අෆ්වර්කි අතර ද සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"අනිද්දා" (2018 ජූලි 6) සටහන​: මෙම ලිපිය පළ වී දෙදිනකින් අබියි අහමඩ් එරිත්‍රියාවේ සංචාරය කළ අතර එරට ජනාධිපතිවරයා මුණ ගැසුණි. ඊළඟ දිනයේදී දෙරට අතර සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ගිවිසුමක් අත්සන් කෙරිණ​.

Tuesday, June 26, 2018

නව යුනෙස්කෝ ලෝක උරුම නම් කිරීම ලබන මාසයේදී

නව යුනෙස්කෝ ලෝක උරුම පිළිබඳ තීරණය කිරීම සඳහා යුනෙස්කෝ ලෝක උරුම කමිටුව බහරේනයේ මනමා නගරයේදී රැස් වුණා.

මෙම කමිටුව මෙවර ඉදිරිපත් වී ඇති අයදුම්පත් 31 ක් පිළිබඳ සළකා බලනු ඇති. ඔවුනගේ අවසන් තීරණය ජූලි 4 වනදා ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Wikimedia Commons

නවතම ඉල්ලුම්පත් අතර 24 ක් සංස්කෘතික උරුමයන් ලෙස ද​, හතරක් ස්වාභාවික උරුමයන් ලෙස ද අනෙක් තුන මිශ්‍ර උරුමයන් ලෙස ද සිය ඉල්ලීම යොමු කර තිබෙනවා.

බෙල්ජියමේ සහ ප්‍රංශයේ පළමු ලෝක යුද්ධ සුසානභූමි සහ ස්මාරක​, ජර්මනියේ නාවුම්බර්ග් ආසන දෙව් මැදුර​, ජර්මනියේ 9 වන සහ 11 වන සියවස් අතර කාලයට අයත් වයිකිංවරුන් විසින් ඉදිකළ පවුරක්, දකුණු කොරියාවේ සන්සා බෞද්ධ ආරාම​, ඕමානයේ කල්හාට් ඓතිහාසික ප්‍රදේශය​, රුමේනියාවේ රොසියා මොන්ටානා ප්‍රදේශය ආදිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් වීමට මෙසේ ඉල්ලුම් කොට තිබෙනවා

Saturday, June 9, 2018

ලියන්නෙ කොහොමද? - තෙවැනි සටහන​

පළමු සහ දෙවනි සටහන්වලින් මම කතා කළේ ලියන්න ආස කෙනෙක් ඒ සඳහා අධ්‍යයනය කිරීමේ වැදගත්කම සහ ඊට යොදා ගන්නා මූලාශ්‍ර ගැනයි. දැන් කතා කරන්න යන්නෙ වෙනම දෙයක් ගැන​.

ඇතැම් වෙලාවට කට්ටියට ඇති වන ප්‍රශ්නයක් තමයි ලියන්න ආස වුනාට ලියන්න බැරි එක​. සමහර අය කම්මැලියි කියනවා. තව අය බයයි. වෙලාව නැති එක තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

වෙලාව නැති එකට නම් ඉතින් උත්තර හොයාගන්න එක තමන්ට කරන්න වෙන වැඩක්.

නමුත් කම්මැලියි සහ බයයි කියන ප්‍රශ්නය වෙන දෙයක්. තමුන් ලියන්න ආස නම් තමුන්ට කම්මැලි නම් හිතෙන්න විදියක් නැහැ. එහෙම වෙනවා නම් එක්කෝ තමන් ලියන්න ආස නැහැ. එහෙම නැත්නම් ඒ කියන වෙලාවෙ තෙහෙට්ටුව හෝ මොකක් හෝ නිසා ලියන්න හිතෙන්නෙ නෑ. ඒ දෙකම නෙවේ නම් කම්මැලිකම කියල දැනෙන්නෙ වෙන දෙයක්.

ලියන්න කම්මැලි හිතෙන්නෙ ලියන්න බය නිසා වෙන්න පුළුවන්.

ඇයි අපි ලියන්න බය​?

එකක් අපි හිතනවා ආස වුණාට අපට ලියන්න බැහැ කියලා. පුළුවන් වුනත් අපට වඩා හොඳ ලියන්නො ඉන්න නිසා අපේ දේවල් වැඩක් වෙන්නෙ නැහැ කියලා. එහෙමත් නැත්නම් අපි ලියන දේවල් කවුරුවත් කියවන එකක් නැහැ කියලා. ඔහොම සැක හිතලා නොලියා ඉන්නවා. ලිව්වත් කාටවත් පෙනෙන්න දෙන්නෙ නැතුව හංගාගෙන ඉන්නවා.

ඉතින් අහන්න තියෙන සරල ම දේ තමයි, එහෙම හංගගෙන හිටියහම ඒකෙ හොඳ​, නරක කියන්නෙ කවුද කියන එක​.

ඔය හංගගෙන ඉන්න ප්‍රශ්නය කාළයක් මටත් තිබ්බ දෙයක්. මම මුලින් ම ප්‍රබන් ධ කතා ලියන්න ගත්තෙ ඉස්කෝලෙ යන කාළෙ. මට ඒක කරන්න බැරි බව තේරුනාම මම වෙන දේවල් ලියන්න ගත්තා. ඒ කාලෙ සම්පූර්ණයෙන් ම ලියපු එක "පොතක්" තාම මම වෙනස් කර කර හදනවා. තාම මට ඒ ගැන සෑහීමකට පත් වෙන්න බැරි උනා.

හැබැයි මම පසු කාලීනව ලියාපුවා එක එක්කෙනාට පෙන්නුවා. ෆේස්බුක් ආවට පස්සෙ සහ බ්ලොග් එකක් පටන් ගත්තාට පස්සෙ ඒවයෙ දැම්මා. එතකොට ඒවා කියවන අය එකතු වුනා. මුලින් ටික දෙනයි. ඒත් නිතර ලියද්දි කට්ටිය තව තව එකතු වුණා. මේ අය අතරෙ හොඳ කියන අය වගේම විවේචනය කරන අයත් හිටියා. ඒ සමහර විවේචනවලින් මම ඉගෙන ගත්තා. මගේ අඩුපාඩු වගේ ම පාඨකයාගෙ අඩුපාඩු සහ බලාපොරොත්තුත් ඉගෙන ගත්තා.

විවේචන ජාති කීපයක් තියෙනව​. එකක් තමා කෙනෙක් ලියනවට ඉරිසියාකාරයො. ඒ අයව ටැකල් කරන්න පුළුවන් හොඳම ක්‍රමේ මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බැලුවම තේරේවි. අනෙක් අය සද්භාවයෙන් විවේචන කරන අය. මේ දෙගොල්ල අඳුර ගන්න ගොඩාක් ම අමාරු නෑ. ඒකට සාමාන්‍ය බුද්ධිය සහ විචාර බුද්ධිය තියෙන්න ඕන​. ඒ වගේම යම් ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක් සද්භාවයෙන් කරන විවේචන තියෙනව නම් ඒවා සීරියස් ම ගන්න​. ඒ ඉතාම හොඳ විවේචනයක් නම් ඒ කියන්නෙ තමන් ඉතාම හොඳ බවයි. ඒක ගැන සතුටු වෙන්න​. තමන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න​. ඒක ලියන කෙනෙකුට අත්‍යාවශ්‍යයි.

ලියන්න ආස නම්, පටන් ගන්න බය නම්, පොඩි දේවල්වලින් සහ තමන් හොඳට දන්න දේවල්වලින් පටන් ගන්න​. ඒ කරන ගමන් අනික් අය ලියන ඒවා කියවන්න​. හැබැයි තමන් ලියන ගමන් තමන්ට ම වූ ශෛලියක් හදා ගන්න​.

අනික, යමක් සඳහන් කරනවා නම්, හිතට එන දේවල් නැතිව මූලාශ්‍ර සහිතව දේවල් ලියන්න​. මූලාශ්‍ර කියන්නෙ, මම කලින් සටහනක ලිව්වා වගේ, ගොසිප් සයිට් නෙවෙයි. (යමක් ගැන තමන්ගෙ මතය ලියනවා වුනත් ඒක සනාථ කරන සාක්කි ලියන්න ඕන​). හරි මූලාශ්‍ර සහිතව දෙයක් ලියනවා නම්, විවේචනවලට බය වෙන්න ඕනත් නෑ. එහෙම බය වෙලා ලියන එක නවත්තන්න ඕනත් නෑ.

තමුන් හොඳට ම දන්න දෙයක් ගැන මූලාශ්‍ර ඇතිව ලියනවා නම් මඩ ගහන්න එන උන්ට බය වෙන්න ඕන නෑ. එහෙම ලියද්දි තමුන් නොදැන තමුන් වටේ කණ්ඩායමක් හැදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

පොඩියට ලියන්න පටන් ගන්න​. ෆේස්බුක් එකේ ලියන්න​. බ්ලොග් එකක් (දැන් බ්ලොග් ටිකක් අවුට් ඩේටඩ් උනාට අපි ලියන දේ තියාගන්න බ්ලොග් එක ප්‍රයෝජනයි) නැත්නම් ෆේස්බුක් පේජ් එකක් පටන් ගන්න​. ලියන ඒවට ආකර්ශනීය පින්තූරයක් හෝ කීපයක් හෝ දාන්න​. එතකොට ඇහැ යනවා වැඩියි. ඒ පින්තූරවල අයිතිකාරයා කවුද කියන එකත් දාන්න​. එතකොට තමුන් ගැන විශ්වසනීයත්වය වැඩි වෙනව​. ලංකාවෙ ජාතියේ නාලිකා කියාගන්න සමහර ආයතන කරනව වගේ කරන්න එපා. බීබීසී, සී.එන්.එන්. වගේ අය අනුගමනය කරන්න​.

තමන්ට ම වූ ශෛලියක් හදා ගන්න.

Wednesday, May 30, 2018

නයිජීරියානු සිවිල් යුද්ධය (බියාෆ්‍රා යුද්ධය​)

1967 මැයි 30 වනදා නයිජීරියාවේ නැගෙනහිර ප්‍රදේශය හෙවත් බියාෆ්‍රාව ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමෙන් පසු අප්‍රිකාවේ පසුගිය සියවසෙහි ඇති වූ බරපතල ම සිවිල් යුද්ධයකට මං විවර වුණා.

මෙසේ ස්වාධීනතාව ප්‍රකාශ කිරීමට හේතු වූයේ නයිජීරියාවේ විවිධ ජනකොටස් අතර වූ විරසකයන් සහ දේශපාලන අස්ථාවරභාවයයි.

අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නයිජීරියාවේ ප්‍රධාන ගෝත්‍ර තුනකට සහ තවත් ගෝත්‍ර ගණනාවකට අයත් ජනයා වාසය කරනවා. නයිජීරියාවේ උතුරුදිග ප්‍රදේශයවල බහුතරය හවුසා ගෝත්‍රිකයන් වන අතර ඔවුන් ඉස්ලාම් ලබ්ධිකයන්. රටේ මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල බහුතරය යොරුබා ගෝත්‍රිකයන්. රටේ නැගෙහනිර ප්‍රදේශයේ වැඩි දෙනා ඉග්බෝ ජාතිකයන්.

1960 දී නයිජීරියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවා. එතැන් පටන් ම ජාතීන් සහ ආගම් වශයෙන් නයිජීරියානුවන් අතර අර්බුද පැවතුණා. මෙය තීව්‍ර වුණේ 1966 දි සිදු වූ හමුදා කුමන්ත්‍රණ දෙකක් ද සමඟයි. මින් පළමුවැන්න ජනවාරියේදී සිදු වූ අතර ඊට සහභාගී වූයේ බොහෝ කොටම ඉග්බෝ නිලධාරීන් සහ සොල්දාදුවන්. ජූලි මාසයේදී උතුරුදිග නිලධාරීන් තවත් කුමන්ත්‍රණයකින් බලය ලබා ගත්තා. මේ අතර රටේ නැගෙනහිර හැර අනෙක් ප්‍රදේශයන් හි ඉග්බෝ සුළුතරයට එරෙහි ප්‍රහාර ද ඉහළ ගියා.

මෙම පසුබිමේදී ලුතිනන් කර්නල් ඔඩුමෙග්වු ඔජුක්වු විසින් 1967 මැයි 30 වනදා බියෆ්‍රාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළා. අප්‍රිකානු රටවල් කිහිපයක් මෙම නව රාජ්‍යය පිළිගත් අතර යුද්ධය දිගට ඇදී යද්දී ඇතැම් බටහිර රාජ්‍යයන් බියාෆ්‍රාවට මානුෂීය ආධාර ලබා දුන්නා.

එම වසරේ ම ජූලි මාසය වනවිට නයිජීරියානු හමුදා සහ බියෆ්‍රා හමුදා අතර සටන් ඇති වුණා. මුල් කාලීනව බියෆ්‍රා හමුදා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්ත ද ඔවුනට දිගට ම යුද්ධය ගෙන යා නොහැකි වුණා.
ලුතිනන් කර්නල් ඔඩුමෙග්වු ඔජුක්වු

1970 ජනවාරි 15 වනදා බියෆ්‍රාව යටත් වීමෙන් යුද්ධය අවසන් වුණා. මෙහිදී මියගිය සංඛ්‍යාවන් පිළිබඳ විවිධ ඇස්තමේන්තු ඇති අතර හමුදාවල 50,000 ත් 100,000 ත් අතර පිරිසක් මිය ගිය බව විශ්වාස කෙරෙනවා. නමුත් ප්‍රධානම ගැටළුව මතුව තිබුණේ සිවිල් වැසියන්ටයි. යුධ ප්‍රහාර මෙන්ම සාගතය නිසා මිය ගිය නයිජීරියානුවන් (වැඩිපුර ම බියාෆ්‍රා වැසියන්) සංඛ්‍යාව මිලියනය ඉක්මවන බව විශ්වාස කෙරෙනවා. බියාෆ්‍රා වැසියන් ගේ වගාබිම් විනාශ කොට ළිංවලට වස දැමීමට නයිජීරියානු හමුදා යුද්ධයේදී ක්‍රියා කළ අතර ඉන් බොහෝ සාමාන්‍ය වැසියන් පීඩා වින්ඳා.

බියාෆ්‍රා යුද්ධයට හේතු වූ බොහෝ අසමානතා අදට ද ඒ අයුරින් ම පවතින බව චෝදනා එල්ල වන අතර වර්තමානයේදී ද ඉග්බෝ තරුණයින් අතර බියාෆ්‍රා බෙදුම්වාදය පැතිර යන බවක් පෙනෙන්නට තිබෙනවා. නයිජීරියානු රජය ද එම පිරිස් මර්ධනය කරනු ලබනවා. එක් අවස්ථාවක උද්ඝෝෂකයින් 150 ක් පමණ නයිජීරියානු හමුදා ප්‍රහාරවලින් ඝාතනය වූ බවට චෝදනා එල්ල වුණා.

Tuesday, May 29, 2018

ලියන්නෙ කොහොමද - දෙවන සටහන​

පළවෙනි සටහනෙන් මම ලිව්වා ලියන්නෙකු වෙන්න මූලික ම අවශ්‍යතාව තමයි තමන් ලියන දේ සහ ඊට පරිවාර කරුණු අධ්‍යයනය කරන්න ඕන කියන එක.

එතකොට මේ අධ්‍යයනය කරන්න ඕන කොහොමද? ඉන්ටර්නෙට් එකෙන් ගත්තම ඇති ද?

සාමාන්‍යයෙන් ලෝකෙ කතාබහට ලක් වෙන, අධ්‍යයනය කෙරෙන දේවල් ගැන මූලික දැනුමක් ගන්න විකිපීඩියා හොඳ මූලාශ්‍රයක්. හැබැයි වැඩිය ම ලෝකෙ අවධානය නැති දේවල් ගැන නම් විකාර තියෙනව. උදාහරණයක් ගත්තොත් ලංකාවෙ ඉතිහාසය ගැන කවදාවත් විකියෙන් බලල ඉගෙන ගන්න හොඳ නෑ. හැබැයි යුරෝපා ඉතිහාසය, ඇමරිකන් ඉතිහාසය වගෙ දේවල්වල පසුබිම ඉගෙන ගන්න විකිය මරු.



හැබැයි මොකක් හෝ දෙයක් ගැන ලියද්දි ඒ ගැන තමන්ට පුද්ගලික අත්දැකීම තියෙනව නම් ඒක වටිනව. එහෙම නැත්නම් එහෙම තියෙන අය එක්ක කතා බහ කිරීම හෝ එයාලගෙ කතාවලට සවන් දීම.

අනෙක් දේ තමයි පොත් පත්, පුවත් වාර්තා, පර්යේශණ ග්‍රන්ථ/ලිපි ආදිය. මේවාට ලොකු වැඩක් කෙරෙනව. මේව ලියන අය ගොඩක් අය එක්ක කතා බහ කරල, නැත්නම් අදාල තැන්වලට ගිහින් ඒවා ලියන අය. අනික සමහර පොත්වලින් ඒ කතා කරන මාතෘකාවට අදාල විශාල වපසරියක් ආවරණය වෙනව. සමහර විෂයන් ගත්තම ඒ ගැන ලියන හෝ කියවන හෝ කෙනෙක් අනිවාර්යයෙන් කියවිය යුතු පොත් එහෙම තියෙනව. ඒ සබ්ජෙක්ට් එක දන්න අයහෙන් ඒ ගැන උපදෙස් ගන්න පුලුවන්.

උදාහරණයක් විදියට දෙවන ලෝක යුද්ධය ගැන කියවන හෝ ලියන හෝ අයෙක් අනිවාර්යයෙන් The Rise and the Fall of the Third Reich පොත කියවන්න ඕන. මොකද ඒ විෂයට අදාල, ඒ කියන්නෙ හිට්ලර්ගෙ ජීවිතය සහ නට්සි ජර්මනියට අදාල ලොකු වපසරියක් ආවරණය වෙන පොතක් නිසා. ඒක ලියූ කෙනා නට්සි පාලන කාලෙ ටිකක් කල් බර්ලිනයේ ජීවත් වූ මාධ්‍යවේදියෙක්. අපට ටයිම් මැෂින් එකක් නැතිව එහෙට යන්න බැරි නිසා, අපට ඒ අත්දැකීම ගන්න බෑ. එතකොට ඒක ගත්තු අයගෙන් අපට අවශ්‍ය තොරතුරු ගන්න පුලුවන්.

මේ සියල්ලෙදි ම වැදගත් වන තව දෙයක් තියෙනව. ඒ තමයි හැකි සෑම අවස්ථාවක ම යම් මූලාශ්‍රයකින් ගත්තු කරුණු තවත් මූලාශ්‍රයකින් තහවුරු කරගන්න පුළුවනි නම් ඒක වටිනවා. කෙනෙකුගෙ මතක සටහන් වගේ දෙයක් නම් මේක කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වෙලාවට මේක කිව්වෙ අහවලා කියලා ඔබට සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒ කියන කෙනා සාමාන්‍යයෙන් කවුරුත් දන්න දෙයක් ගැන සිද්ධි කරුණු වරද්දනවා නම් ඒ ගැන නිවැරදි කිරීම් ඔබ ලියන්න ඕන. ඒ කෙනාගෙ අදහස් උදහස් නෙවෙයි. සිද්ධි කරුණු ගැනයි ඒ නිදහස ඔබට තියෙන්නෙ.

උදාහරණයක් විදියට 1996 ලෝක කුසලාන තරඟාවලියෙ සනත් ජයසූරිය ලකුණු 200 ක් ගත්තා කියලා කවුරු හරි කිව්වොත් අපිට පුළුවන් වරහනක් ඇතුලෙ දාන්න (සත්‍ය වශයෙන් ම 213 ක්) කියලා. ඒ වගේ දේවල්වලින් කියවන කෙනා තේරුම් ගන්නවා ලියන කෙනා ඔහේ කියන දේ ලියලා නෙවෙයි, තමනුත් යමක් හොයලා බලලා ලියලා කියන එක.

නමුත් වෙනත් බොහොමයක් දේවල් හැකි නම් මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගැනීම ප්‍රයෝජනවත් වනවා.

වර්තමානයෙදි නම් අධ්‍යයන කටයුතු සඳහා තවත් වැදගත් මාධ්‍යයක් තමයි වීඩියෝ. යූ ටියුබ් වගේ තැන්වල හුඟක් වාර්තා වැඩසටහන්, සාකච්ඡා වගේ දේවල් සොයාගන්න පුළුවන්. ඒ දේවල් අතිශයින් ම ප්‍රයෝජනවත් වනවා.

අපි අපේ මූලාශ්‍ර ගැන බලද්දි ඒවා කිනම් ආකාරයේ ද කියන දේ බලන්නට අවශ්‍යයි. සාමාන්‍යයෙන් ගොසිප් අඩවියකින් තොරතුරු අරගෙන ලිපි ලියන එක මගින් ලිපියට වටිනාකමක් එන්නෙ නැහැ. අනෙක ප්‍රකට මාධ්‍ය ආයතන ගත්තොත් ඒ ඒ ආයතන කුමන ආකාරයේ නැඹුරුවක් තියෙන අය ද කියන එක ගැන සොයා බලන එක වැදගත් වනවා.

ඒ වගේ ම පක්ෂග්‍රාහී ලිපියකින් වුනත් කරුණුමය දේවල් උකහා ගන්න බැරි නැහැ. මට මුණ ගැහිච්ච් හොඳම උදාහරණයක් තමයි මුවම්මර් ගඩාෆි ගැන බීබීසී යෙ පළ වූ ලිපියක්. විශේෂිතව ලිබියාව ගැන ලියූ කිසිම පොතක් මම කියවා නැහැ. ඒ නිසා ගඩාෆි ගැන කරුණු ලබා ගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්. මේ කියන බීබීසී ලිපිය ගඩාෆිට එරෙහිව බොහොම පක්ෂග්‍රාහී ව ලියූවක්. නමුත් එහි කරුණු ගොඩක් තිබුණා. මතවාදය සහ සිද්ධිමය කරුණු කියන දෙක වෙන් කර ගත්තම වැඩේ හරිම ලේසියි.

ඒකට පොඩි සාමාන්‍ය බුද්ධියක් සහ විචාර බුද්ධියක් තියෙන්න ඕන.

යම් කිසිවක් අධ්‍යයනයෙදි වැදගත් ම වෙන්නෙ අපි පාවිච්චි කරන මූලාශ්‍රයන් මොනවද සහ පාවිච්චි කළ හැක්කේ මොනවද කියන එක අවබෝධ කරගන්න එක. ගූගල් සර්ච් කරලා මොකක් හෝ සයිට් එකක තියෙන දෙයක් ගන්නවට වඩා ඒක ප්‍රයෝජනවත් වෙනවා.