Thursday, September 1, 2016

පවුල් පාලනය ඡන්ද 5000 කින් බේරෙයි, පාර්ලිමේන්තුව ගින්නෙන් දැවෙයි

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගැබොන් දේශයේ ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති අලී බොංගෝ ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කිරීමත් සමඟම එරට දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් විය​.

විපක්ෂ උද්ඝෝෂකයෝ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අගෝස්තු 31 වනදා ලිබ්‍රවිල් අගනුවරදී පොලිසිය හා ගැටුණ අතර එදින රාත්‍රියේ එරට ජාතික සභා ගොඩනැගිල්ලට ගිනි තබන ලදී.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කළ අන්දමට ජාතික සභාවේ පිටිපසින් ඊට ඇතුලු වූ විපක්ෂ ක්‍රියාකාරීහු ගොඩනැගිල්ලට ගිනි තැබූ හ​. එම ගොඩනැගිල්ල පිහිටියේ ලිබ්‍රවිල් නුවර වැදගත් ගොඩනැගිලි කිහිපයක්ම පිහිටි ප්‍රදේශයක ය​.

ගැබොන් රාජ්‍යය​

බටහිර අප්‍රිකාවේ පිහිටි ගැබොන් රාජ්‍යය නිල වශයෙන් ගැබොන් ජනරජය ලෙස හැඳින්වේ. වර්ග කිලෝමීටර 267,667 ක් විශාල එරටෙහි ජනගහනය මිලියන එකහමාරකි. අඩු ජනඝනත්වයක් ඇති එරට පෙට්‍රෝලියම් සම්පත හේතුවෙන් ධනවත් වූ රටකි. මානව සංවර්ධන දර්ශකයෙහි උප සහරානු කලාපයේ රටවල් අතුරින් සිව් වැනි ස්ථානයේ සිටින ගැබොන් දේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 8000 ඉක්මවයි. එහෙත් ගැබොන් දේශය ආදායම් විෂමතාව ප්‍රබලව පවතින රටක් බව ද සිහි තබාගත යුතු වෙයි.

බොංගෝ පවුලේ පාලනය​

ගැබොන් දේශය ප්‍රංශයෙන් නිදහස ලද්දේ 1960 අගෝස්තු 17 වනදා ය​. එරට පළමු ජනාධිපතිවරයා වූයේ ලියොන් උම් බා ය​. 1967 දී සිදුවූ ඔහුගේ මරණින් පසු ඔහුගේ උප ජනාධිපති  ලෙස කටයුතු කළ ඇල්බර්ට්-බර්නාර්ඩ් බොංගෝ ජනපති ධූරයට පත් විය​. 1973 දී ලිබියාවේ සංචාරයක් අතරතුර ඉස්ලාම් දහම වැළඳගත් බොංගෝ එවක පටන් ඔමාර් බොංගෝ ලෙස සිය නම වෙනස් කරගත්තේය​.

1990 වනතෙක්ම ඔමාර් බොංගෝ ගෙන ගියේ ඒආධිපති තනි පක්ෂ රජයකි. එමෙන්ම ඔහු බටහිර ලෝකයේ, වෙසෙසින්ම ප්‍රංශයේ, ප්‍රබල මිතුරකු විය​. 1990 න් පසු විපක්ෂ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඉඩ ලබා දුන්න ද බොංගෝගේ පාලනය විපක්ෂ කණ්ඩායම්වලට දැඩි බාධක පැනවීය​. එහෙයින් එම පක්ෂ ඔහුගේ පාලනයට විශාල තර්ජනයක් නොවීය​.
අලී බොංගෝ 2010 දී හිලරි ක්ලින්ටන් හමුවූ අවස්ථාව​

2009 දී බොංගෝ මියගිය පසු තාවකාලික රජයක් බලයට පත් වූ අතර පසුව පැවති ජනාධිපතිවරණයෙන් බොංගෝගේ පුත්‍රයකු වන අලී බොංගෝ ජනාධිපති ධූරයට පත් වූයේය​. ඒ සියයට 42 ක ඡන් ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙම ප්‍රතිඵලයට එරෙහිව විපක්ෂ ක්‍රියාකාරීන් උද්ඝෝෂණ කළ හ​.

කෙසේ වෙතත් 2009 ජනාධිපතිවරණයේදී අලී බොංගෝට එල්ල වූ අභියෝගය එතරම් ප්‍රබල නොවීය​. ඒ ප්‍රබල විපක්ෂ අපේක්ෂකයන් දෙදෙනකු තරඟ වැදීම හේතුවෙනි. එහෙයින් විපක්ෂ ඡන්ද දෙකඩ වූයේය​. 2009 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මුලු අපේක්ෂකයන් ගණන 17 දෙනකු විය​.

2016 ගැබොන් ජනාධිපතිවරණය​

මෙම වසරේ ගැබොන් ජනාධිපතිවරණය පැවැත්වුනේ අගෝස්තු 27 වන සෙනසුරාදා ය​. මැතිවරණ ව්‍යාපාරය ආරම් භ වූ සමයෙහි ජනාධිපති අලී බොංගෝගේ ජයග්‍රහණය පිළිබඳ විශාල සැකයක් මතුවී නොතිබුණි. මෙවර ද ප්‍රකට විපක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනකුම තරඟයට ඉදිරිපත් වීම ඊට හේතුව විය​. කෙසේ නමුත් විපක්ෂ කණ් ඩායම් අතර සාකච්ඡාවලින් පසු එම අපේක්ෂකයන් කිහිප දෙනකුම හිටපු තානාපතිවරයකු වන 73 හැවිරිදි ශෝන් පිංග් වෙත සිය සහය පළ කිරීමට කැමැත්ත දුන් හ​. ඒ අනුව ශෝන් පිංග් "විපක්ෂයේ පොදු අපේක්ෂකයා" වූයේ යැයි සැලකිය හැක​.

මැතිවරණයෙන් පසුව ශෝන් පිංග් සිය ජයග්‍රහණය ප්‍රකාශ කළේය​. ඔහුගේ ආධාරකරුවන් සඳහන් කරන පරිදි රටේ පළාත් නවයෙන් අටක  ඡන් ද සැලකූ විට සියයට 60 ක් පමණ ඔහුට ලැබී තිබේ. අනෙක් පළාත පිළිබඳ ඔවුනට ඇස්තමේන්තුවක් දැක්විය නොහැකි විය​.

අඟහරුවාදා දිනයේ අවසන් ප්‍රතිඵල නිකුත් වීමට නියමිත වුවද එය සිදු වූයේ දිනක පමණ ප්‍රමාදයකින් පසුව ය​. මෙම ප්‍රතිඵලවලට අනුව අලී බොංගෝ ඡන්ද 177,722 ක්, එනම් සියයට 49.80 ක්, ලබා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය​. ශෝන් පිංග් ඡන්ද 172,128 ක්, එනම් සියයට 48.23 ක් ලැබීය​. සමස්ථ ඡන්ද දායකයින් 627,805 කින් සියයට 59.46 ක් ඡන්දය ප්‍රකාශ කළ හ​. අලී බොංගෝ මැතිවරණය ජයගත්තේ වැඩි ඡන්ද 5,594 කිනි.

කෙසේ නමුත් බොංගෝගේ උපන් ප්‍රදේශය වන හවුට්-ඔගූවේ ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵල විපක්ෂයේ දැඩි සැකයට හේතු විය​. එහිදී ලියාපදිංචි ඡන්ද දායකයන් සියයට 99.98 ක් ඡන්දය භාවිතා කර ඇති බව නිල ප්‍රතිඵලවලින් කියැවේ. ඉන් සියයට 95.5 ක් ඡන් ද ලැබී ඇත්තේ අලී බොංගෝට වීම ද විශේෂත්වයකි.

මෙම ප්‍රතිඵලය කෙරේ සැක උපන් විපක්ෂ ක්‍රියාකාරීහු අලී බොංගෝට සහ මැතිවරණ කොමිසමට එරෙහිව වීථි බැස්සෝය​. මේ අතර යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ද මැතිවරණ මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයට වෙනමම ප්‍රතිඵල නිකුත් කරන සේ රජයෙන් ඉල්ලා සිටියේ විනිවිදභාවය පිළිබඳ සැක මතු කරමිනි.

බදාදා දිනයේදී ආරක්ෂක අංශ විසින් කරන ලද වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ​. මෙම සිද්ධිය විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ.

6 comments:

  1. නොවරදවා කියවමි.මේ වැදගත් සටහන් පිළිබඳ ව ඔබට ඉතාමත් ස්තුතියි.

    ReplyDelete
  2. මේ අප්‍රිකාවේ ගොඩක් රටවල් ප්‍රංශ යටත් විජිත විදියට තිබිලා තියෙන්නේ මොකක් හරි විශේෂ හේතුවක් නිසාද ?

    ReplyDelete
    Replies
    1. එහෙම විශේෂ හේතුවක් කියල නැහැ. එක එක යුරෝපා ජාතීන් අප්‍රිකාවෙ එක එක ප්‍රදේශවල බලය පිහිටුවා ගත්තා නෙ.

      Delete
  3. කාලීන සිදුවීම් සහ කාලින ගැටළු පිළිබඳවත් blog එකක් තියෙනවද? කියවන්න කැමතියි...

    ReplyDelete
    Replies
    1. මම එහෙම විශේෂයෙන් දන්නේ නැහැ. මාතලන්ගේ සින්ඩියෙන් විවිධ බ්ලොග් හොයාගන්න පුලුවනි.
      http://maathalangesindiya.blogspot.com/

      Delete