Saturday, August 2, 2014

පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

මීට වසර සියයකට පෙර 1914 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හංගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමඟ ලෝකය එතෙක් නොදැක තිබූ ආකාරයේ භයානක මානව සංහාරයක් වූ පළමු ලෝක යුද්ධය ආරම්භ විය. මීළඟ සිව් වසරක කාලය පුරාවට මානවයා එකිනෙකා කොටා ගනිමින් දැවැන්ත වූ අරගලයක පැටලී සිටියෝය. යුද්ධය විසින් බිලිගත් මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාව පිළිබඳ විවිධ ඇස්තමේන්තු ඇත. ඒ සියල්ලෙන්ම කියැවෙන්නේ ආසන්න වශයෙන් මිලියන 16ක් පමණ පිරිසක් මෙම සිව් වසර තුල යුද්ධය විසින් බිලිගත් බවයි. එයින් මිලියන 10 ක පමණ ප්‍රමාණයක් හමුදා ජීවිත වූ අතර අනෙක් පිරිස සිවිල් වැසියෝ වූහ.

මෙම අවාසනාවන්ත සිද්ධි දාමයට ආසන්නතම හේතුව වූයේ 1914 ජූනි 28 වනදා, එනම් යුද්ධාරම්භයට හරියටම මාසයකට පෙර, බොස්නියා-හර්සගොවිනාවේ සරයේවෝ නගරයේ සිදුවූ දේශපාලන ඝාතනයකි. ඔස්ට්‍රා-හංගේරියාවේ ආච්ඩියුක් (Archduke) හෙවත් ප්‍රධාන ආදිපාද මෙන්ම කිරිටභාජී (කිරුළ හිමි) කුමාරයා ද වූ ෆ්‍රෑන්ස් ෆර්ඩිනන්ඩ් මහාදිපාදයා ගැව්රිලෝ ප්‍රින්සිප් නම් 19 හැවිරිදි සර්බ් ජාතිකවාදියකුගේ වෙඩි පහරකින් මරු වැළඳගත්තේ එදිනය. ඒ සමඟම ඔහුගේ භාර්යාව වූ සොෆී චොටෙක් ද මරණයට පත්වූවාය. මේ කාලයේ බොස්නියා-හර්සගොවිනාව පාලනය කලේ ඔස්ට්‍රා-හංගේරියාව විසිනි.
ගැව්රිලෝ ප්‍රින්සිප් අත් අඩංගුවට ගත් අවස්ථාවේ ගන්නා ලදැයි කියන ඡායාරූපයක්

මෙම ද්විත්ව ඝාතනය ඔස්ට්‍රියානු පාලනය සලිත කිරීමට හේතු වූ එකම හේතුව මහාදිපාදවරයාගේ තනතුර පමණක් නොවේ. මෙම ඝාතනයට සම්බන්ධ යයි සැකය සර්බ් කලු හස්තය (Serb Black Hand) නම් සංවිධානයට යොමු වූ අතර එම සංවිධානයට සර්බියානු හමුදා අංශවල සහය ලැබෙන බව කියැවිණ. මේ හේතුවෙන් සර්බියානු හමුදා අංශ මෙම ඝාතනය කෙරෙහි වගකිවයුතු බවට අදහසක් ඔස්ට්‍රා-හංගේරියානු පාලකයන් තුල වුයේය.

මෙම ඝාතනයත් ඔස්ට්‍රා-හංගේරියාව යුධ ප්‍රකාශ කිරීමත් අතර ගතවූ මසක කාලය තුල යුරෝපා රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් බොහෝ වාද විවාද ඇති විය. මේ වනවිට යුරෝපය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදී තිබීම මෙම තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට හේතුවක් වූයේය. මේ වනවිට ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ රුසියාව එක මිත්‍ර කඳවුරකත්, ජර්මනිය, ඔස්ට්‍රා-හංගේරියාව සහ ඉතාලිය තවත් මිත්‍ර කඳවුරකත් වූ අතර සර්බියාව සමඟ රුසියාවේ සාම්ප්‍රදායික මිත්‍රත්වයක් ද වූයේය. ඔස්ට්‍රා-හංගේරියාව සහ සර්බියාව මෙම ආරවුලේදී තම තමන්ගේ මිතුරන්ගෙන් උපකාර බලාපොරොත්තු වීම හේතුවෙන් අර්බුදය මෙම රටවල් දෙකෙන් ඔබ්බට පැතිරුණි.

මෙම රාජ්‍යතාන්ත්‍රික සිද්ධි දාමයේ උච්චතම අවස්ථාව වූයේ 1914 ජූලි 23 වනදා ඔස්ට්‍රා-හංගේරියාව විසින් සර්බියාව වෙත යවන ලද අවසන් නිවේදනයයි. මෙතැන් පටන් යුද්ධයක් ඇති වීමේ අවධානම ඉතා විශාල වූ අතර එම තත්ත්වය සමහන් කිරීමේ උත්සාහයන් ද තීව්‍ර වූයේය. මීළඟ දින කිහිපය තුල ඇතිවූ සිද්ධි දාමය යුරෝපා ඉතිහාසයේදී ජූලි අර්බුදය ලෙස හැඳින්වේ.

මෙම නිවේදනයෙහි ඉල්ලීම් ගණනාවක් විය. මේ අතර සර්බ් ජාතිකවාදී සංවිධාන විසිරුවා හැරීම, ඝාතනයට සම්බන්ධ වියයි චෝදනා එල්ල වූ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම, ඔස්ට්‍රා-හංගේරියා විරෝධී කණ්ඩායම්වලට දේශසීමාව හරහා අවි ආයුධ සැපයීම නැවැත්වීම වැනි ඉල්ලීම මෙන්ම ඔස්ට්‍රා-හංගේරියානු නිලධාරීන්ට ඝාතනය පිළිබඳ පරීක්ෂණවලට සහභාගී වීමට අවසර දීම යන කොන්දේසි මේ අතර විය. මේ කියන ලද අවසන් කොන්දේසිය සර්බියාවේ ස්වෛරීභාවයට ඍජු අභියෝගයක් විය. මෙම ඉල්ලීම් දින දෙකක් තුල සපුරාලියයුතු වූ අතර නැතහොත් ඔස්ට්‍රා-හංගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කෙරිණ.

ප්‍රතිවාදී කඳවුරු දෙකකට බෙදී සිටි යුරෝපා රටවල් එක් අතකින් ඔවුනොවුන්ගේ ආරවුල් විසඳාගැනීමට මාන බලමින් සිටි නමුත් කුඩා රටක් හේතුවෙන් විශාල යුද්ධයකට පැටලීමට කිසිවකුටත් අවශ්‍යතාවයක් නොවීය. එහෙයින්, සර්බියාව බලාපොරොත්තු වූ තරම් සහයක් අනෙක් රටවල්වලින් නොලැබුණි. මේ හේතුව නිසාවෙන් ඉහත සඳහන් ඔස්ට්‍රා-හංගේරියානු නිලධාරීන්ට සර්බියාවට ඇතුලු වී පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වීමේ කොන්දේසිය හැරුණ විට අනෙකුත් කොන්දේසිවලට එකඟ වීමට සර්බියාව තීරණය කළේය. නමුත් මෙම තීරණය ඔස්ට්‍රා-හංගේරියාවේ ප්‍රසාදයට හේතු වූයේ නැත.

ඔස්ට්‍රා-හංගේරියාවේ මෙන්ම ජර්මනියේද ඇතැම් කොටස්වලට අවශ්‍ය වූයේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම නොවේ. 1914 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හංගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමඟ සිද්ධි දාමය වේගයෙන් මහාද්වීපික යුද්ධයක් කරා ගමන් කළේය. සර්බියාවට සහය පල කිරීමක් ලෙස රුසියාව සිය හමුදා පාර්ශවිකව ජංගමගත කලේ ජූලි 30 වනදාය. මේ අනුව ඔස්ට්‍රා-හංගේරියානු දේශසීමා ප්‍රදේශවල වූ හමුදා මුලින් සූදානම් කරන ලදී. රුසියාව ඔස්ට්‍රා-හංගේරියාවට එරෙහිව යුධ වැදුණහොත් ජර්මනිය සිය ගිවිසුම් ප්‍රකාරව ඔස්ට්‍රා-හංගේරියාවට සහය දැක්විය යුතුව තිබුණි. මේ බව දත් රුසියානු හමුදා නායකයන් දෙවන නිකොලස් සාර් පාලකයාගෙන් ඉල්ලා සිටියේ සමස්ථ රුසියානු හමුදාවම ජංගමගත කරන ලෙසයි. මේ අතර, ජර්මන් සහයෝගය බලාපොරොත්තු වූ ඔස්ට්‍රා-හංගේරියාව රුසියානු තර්ජනය නොසලකා හැර සර්බියාවට එරෙහි යුද්ධය නොනවත්වා කරගෙන යාමට තීරණය කළේය.

යුරෝපය 1914 දී. යුද්ධයේ මාධ්‍ය බලවතුන් (Central Powers), මිත්‍ර පාක්ෂිකයන් (Allied Powers) සහ මධ්‍යස්ථ රටවල් මෙම සිතියමෙන් දැක්වේ.
රුසියාව හමුදා ජංගමගත කිරීමත් සමඟ ජර්මනියද අගෝස්තු 1 වනදා යුධ හමුදා ජංගමගත කළේය. එදිනම එරට රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමටද කටයුතු කළේය. මේ සමඟම අගෝස්තු 2 වනදා බෙල්ජියමට කඩා වැදීම සඳහා පෙර සුදානමක් ලෙස ජර්මන් හමුදා ලක්සම්බර්ගය කරා යවන ලදී. එමෙන්ම, ප්‍රංශය රුසියාවේ සහයට එනු ඇති බව දැන සිටි ජර්මනිය ඊට පෙර එරටට පහරදීමට ඉටාගෙන සිටියේය. ජර්මන් හමුදාවලට බෙල්ජියම හරහා ප්‍රංශය කරා යාමට ඉඩ දියයුතු බවට අවසාන නිවේදනයක් ජර්මනිය විසින් බෙල්ජියම වෙත යවන ලද්දේ මේ පසුබිමෙහිය. ඒ අගෝස්තු 2 වනදාය. නමුත් බෙල්ජියම එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළේය.

කුඩා බෙල්ජියම මෙම යුද්ධයේදී අතිශයින් වැදගත් වීම නොවැලැක්විය හැකි විය. 1839 අත්සන් කල ගිවිසුමට අනුව බෙල්ජියමේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීමට සියලු යුරෝපා බලවතුන් එකඟ වී තිබුණහ. මේ හේතුවෙන් 1870 දී ප්‍රංශය ආක්‍රමණය කල ප්‍රශියානු හමුදා ඒ සඳහා භාවිතා කලේ වඩා අපහසු මාර්ගයක් වූ ඇල්සාස් ප්‍රදේශය හරහා වැටුණ මාර්ගයයි. නමුත් ජර්මන් අධිරාජ්‍යය විසින් සුදානම් කරන ලද ප්‍රංශය ආක්‍රමණය කිරීමේ සැලසුමෙහි වූයේ බෙල්ජියම හරහා එරටට කඩා වැදීමයි. බ්‍රිතාන්‍යය මැදිහත් වීමට පෙර ප්‍රංශයට දරුණු පහරක් එල්ල කිරීම ජර්මනියේ බලාපොරොත්තුව විය.

කෙසේ වෙතත් ජර්මනිය විසින් අගෝස්තු 3 වනදා ප්‍රංශයටද අගෝස්තු 4 වනදා බෙල්ජියමටද එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී. ඒ සමඟම බ්‍රිතාන්‍යයද ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය. ඔස්ට්‍රා-හංගේරියාව සහ සර්බියාව අතර ආරවුලක් මහාද්වීපික යුද්ධයක් කරා වේගයෙන් ගමන් කළේය.