Friday, September 2, 2016

නෙල්සන් මැන්ඩෙලාගේ පැරණිම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව සොයාගැනේ

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායකයකු ද එරට පළමු කලු ජාතික ජනාධිපතිවරයා ද වූ නෙල්සන් මැන්ඩෙලාගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් නෙදර්ලන්තයේ AVRO (Algemene Vereniging Radio Omroep or in English: "General Association of Radio Broadcasting") මාධ්‍ය ආයතනයේ සංරක්ෂණාගාරයේ තිබී සොයාගෙන ඇත​.

TROS නම් වෙනත් සමාගමක් සමඟ ඒකාබද්ධ වීමෙන් පසු වර්තමානයේ AVROTROS නමින් හැඳින්වෙන එම ආයතනය විසින් මෙම වීඩියෝව නෙල්සන් මැන්ඩෙලා පදනම වෙත ලබා දී ඇති අතර ඊයේ දිනයේදී එම පදනම විසින් එය අන්තර්ජාලය වෙත නිකුත් කළේය​.

1956 දී, රාජ්‍යද්‍රෝහී නඩුව (Treason Trial) ලෙස ප්‍රකට වූ නඩු විභාගය​ අතරතුර දී ප්‍රිටෝරියා සිනගොගය ඉදිරිපිට සිට මැන්ඩෙලා මෙම තත්ත්පර 24 ක සම්මුඛ සාකච්ඡාව ලබා දෙයි.

"අප්‍රිකානු ජාතික කොංග්‍රසය එහි ආරම්භයේ සිටම සුදු අධිපතිවාදයට එරෙහිව සටන් කළේය​. එක් ජනවර්ගයක් විසින් තවත් ජනවර්ගයක් යටපත් කිරීම වරදක් බව අපි සැමවිටම විශ්වාස කරන්නෙමු. අප්‍රිකානු ජාතික කොංග්‍රසය මුල සිටම සියලු ජනවර්ගය පදනම් ව කෙරෙන සියලු වෙනස්කම්වලට එරෙහිව සටන් කළ අතර අපි දිගටම එම සටන ගෙනයන්නෙමු" මැන්ඩෙලා එහිදී ප්‍රකාශ කරයි.

මීට පෙර නිකුත්ව තිබූ මැන්ඩෙලාගේ පැරණිම රූපවාහිනී සාකච්ඡාවේ වීඩියෝවට වඩා මෙය අවම වශයෙන් වසර පහක්වත් පැරණි ය​.

රාජ්‍යද්‍රෝහී නඩුවට විත්තිකරුවන් 156 දෙනකු සිටි අතර එය අවසන් වූයේ විත්තිකරුවන් නිදහස් වීමෙන් සහ දකුණු අප්‍රිකාවේ වර්ණෙභේදවාදී රජය අපකීර්තියට පත් කරමිනි.

No comments:

Post a Comment