Sunday, December 21, 2014

කොළ​ එළිය වැටී ඇත​

මේ කවියක් ද යයි මම නොදනිමි. නමුත් මෙය කතාවකි. ඇතමෙකුට මෙය කවියක් විය හැක​. එසේ නොවන්නට ද ඉඩ ඇත​. නමුත් මේ කතාවකි. එක කතාවක් නොව කතා කිහිපයකි. ඕනෑ අතකට කතාව ගොඩ නැඟීම කියවන්නා සතු අයිතියකි.
සේයාරුව​: රසික කොටුදුරගේ

කොළ​ එළිය වැටී ඇත​
යන්නට ඉදිරියට​
දකිනට කොටු පවුර නැති කොටුව​
කිංග්ස්බරි
ගලදාරි
ඉනුත් එපිටින් GOH
කාර්ගිල්ස් ඇන්ඩ් මිලර්ස්
චැතැම් ස්ට්‍රීට්
දන්නෝ බුදුන්ගේ ගීය​
ඇසෙන සුද්දගේ වෙලා ස්ථම්භය​
බෝම්බයක රුදු හඬ​
දැනුත් කන​ වැකෙන​
ඒ මහා බැංකුව​
රජකු සිරගත කළ​
පුංචි කුටියෙන් එපිට​
රජ ගෙදර තුළට නොව​
අබියසට යන්නට​
කොළ එළිය වැටී ඇත​

Thursday, December 4, 2014

රුකාට උදව් කරපු හැමෝටම​...

මෙච්චර දවසක් ලියන්න වෙච්ච නැති එක ගැන කණගාටු වෙනවා. ලියන්න දේවල් හිතට ආවත් ලියන්න හිතුනෙ නෑ. කෙනෙක් දාල ගියාම මොනවා ලියන්නද​?

මේ අවුරුද්දෙ ජූනි 8 වෙනිදා අපිත් එක්ක වැඩ කරපු රුක්ශාන් චන්දික අබේවංශ​, ඒ කියන්නේ අපේ 'රුකා' රිය අනතුරකට ලක් වුනා. ඒ ගැන අපි විවිධ අය විවිධ විදියට විවිධ තැන්වල සඳහන් කලා. රුක්ශාන් වෙනුවෙන් බොහෝ දෙනෙක් උදව් උපකාර කළා.

අපි විශ්වාස කලා රුක්ශාන් සනීප වෙලා ආපහු නැගිටියි කියලා. නමුත් ඔහු නැගිට්ටේ නැහැ. පහුගිය නොවැම්බර් 30 වෙනිදා හිමිදිරියේ ඔහු අන්තිම හුස්ම හෙලුවා.

එදත් ඉරිදාවකි
හිමිදිරි උදයකි
අදත් ඉරිදාවකි
හිමිදිරි උදයකි

ඔන්න ඕකයි මට මුලින්ම මතක් වුනේ.

කිසි කෙනෙකුට අදහාගන්න බැහැ. අපේ එක මිත්‍රයෙක් කියාපු විදියට රුක්ශාන් හොරු අරගෙන ගියා වගේ... ඇත්තෙන්ම ඔහු හිටපු තත්ත්වයෙන් ගොඩක් හොඳ අතට හැරුණා. රුකා නැතිවෙන්න පැය ගාණකට කලින් මම වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් හිතාගෙන ගියේ ඔහු හොඳ අතට හැරුන බව කියලා උදව් කරපු අයට ස්තූති කරලා පොඩි සටහනක් ලියන්න​. නමුත් වුනේ වෙන එකක්...

මා මේ ලියන්නේ රුක්ශාන් වෙනුවෙන් පුලුවන් හැටියට, පුලුවන් විදියට​, පුලුවන් දේකින් උදව් කරපු හැමෝටම පුලුවන් විදියට ස්තූති කරන්නයි.

බොහොම පින් සිද්ධ වෙනවා කරපු හැම දේකටම​...

Thursday, October 9, 2014

පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර වසර ගණනාවක් තිස්සේ යුරෝපා බලවතුන් අතර විවිධ අර්බුද ඇති වූ අතර බෝල්කන් අර්ධද්වීපයේ යුද්ධ පවා ඇතිවිය. එයින් සමහරක් පිළිබඳ සළකා බැලීම මෙම ලිපියේ අරමුණයි.

යුරෝපය (1914) ලෝක යුද්ධය ඇරඹීමට පෙර​ (wwnorton.com)
අප්‍රිකාව

1. මොරොක්කෝ අර්බුදය

යටත් විජිත සමයෙහි ප්‍රංශය මොරොක්කෝව දෙස කෑදර බැල්මෙන් බලාසිටි බව නොරහසකි. විශේෂයින්ම උතුරු මොරොක්කෝ වෙරළ මධ්‍යධරණී මුහුදට වන පිවිසුම් මාර්ගයක් වන ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධියට යාබද වීම මෙම ගිජුබවට එක් ප්‍රධාන හේතුවක් විය. ප්‍රංශය ඉල්ලා සිටියේ මොරොක්කෝවේ අනාගතය තීරණය කිරීම සඳහා අන්තර්ජාතික සමුළුවක් පැවැත්විය යුතු බවයි. මේ අතර යටත් විජිත සටනට අලුතෙන් එක්ව සිටි ජර්මනියද මොරොක්කෝව දෙස දෑස් දල්වා බලා සිටියේය. ප්‍රංශයේ ඉල්ලීම් ඇතිවන වකවානුවේ ජර්මනියේ කයිසර් හෙවත් අධිරාජයා වූ II වන විලියම්, මොරොක්කෝවේ ටැන්ජියර් නගරයේ සංචාරය කළේය. ඔහු මොරොක්කෝ සුල්තාන්වරයාගේ නිදහස ආරක්ෂා කරදීමට පොරොන්දු වූයේය.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ රුසියානු මිත්‍රත්වය පරාජය කිරීමට තරම් ශක්තියක් ජර්මනියට ඒ වනවිට නොතිබිණ. 1906 දී, ඇල්ජිසිරාස් නගරයේදී මොරොක්කෝව පිළිබඳ යුරෝපා බලවතුන්ගේ සමුළුව රැස් වූ විට ප්‍රංශ පොලිසියක් එරටෙහි පිහිටුවීම වැළැක්වීමට ජර්මනියට නොහැකි විය. හේතුව වූයේ බ්‍රිතාන්‍යය සහ රුසියාව ප්‍රංශයට ලබාදුන් සහයෝගයයි. මේ අනුව, ප්‍රංශය මොරොක්කෝවට හමුදා යැවීමේ පළමු පියවර තැබීය.

2. අගදීර් අර්බුදය

1911 දී ප්‍රංශ හමුදා මොරොක්කෝවට යවන ලද කල්හි, විරුද්ධත්වයකින් තොරව එරට යටත් කරගනු දැකීමට අකැමති වූ ජර්මනිය 'පැන්තර්' සහ 'බර්ලින්' නම් යාත්‍රා දෙකක් එරට අගදීර් වරාය වෙත යැවීය. මෙහිදී ජර්මනිය මධ්‍යධරණී මුහුදේ නාවික මධ්‍යස්ථානයක් ලබාගනු ඇතැයි බිය වූ බ්‍රිතාන්‍යය වහා ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති වූ ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් ජර්මනියට යුධ වදින බවට තර්ජනය කළේය. එවන් යුද්ධයකට කිසිදු සූදානමක් නොවූ ජර්මනිය පසු බැස්සේය. මොරොක්කෝවේ ප්‍රංශ බලය පිළිගත් ජර්මනියට ඒ වෙනුවෙන් වන්දි ලෙස කැමරූන් අසළ ප්‍රදේශයක් ලැබුණි.

ඇල්ජිසිරාස් සම්මුතිය අනුව මොරොක්කෝවේ පොලිස් බලය පිහිටුවීමට බලය තිබුණේ ප්‍රංශයට සහ ස්පාඤ්ඤයටය. ජර්මනිය අගදීර් වෙත යුධ නැව් යැවීම මගින් එම සම්මුතිය උල්ලංඝනය කල නමුත් යලිත් එරට ත්‍රි-පාර්ශවික මිත්‍රත්වය හමුවේ පරාජය වූයේය.

3. ඉතාලි-තුර්කි යුද්ධය

අප්‍රිකාවේ යටත් විජිත පිහිටුවීමට වලිකෑ රටවල් අතරට ඉතාලිය එක් වූයේ බෙහෙවින් ප්‍රමාද වීය. එරට 1885 දී එරිට්‍රියාවද 1892 දී ඉතාලි සෝමාලිලන්තයද අත් පත් කරගත්හ. නමුත් මේ ප්‍රදේශ දෙකම එතරම් වටිනා ප්‍රදේශ නොවීය. 1896 දී ඇබිසීනියාව (ඉතියෝපියාව) අල්ලාගැනීමට කල උත්සාහය කෙළවර වූයේ අඩුවා සටනේදී ලද ලජ්ජාසහගත පරාජයෙනි. මේ නිසා ඉතාලි ජාතිකයනට කාන්තාර ප්‍රදේශ කිහිපයකින් සෑහීමට පත් වීමට සිදුව තිබුණි.

මේ කාළයේ ට්‍රිපොලි ප්‍රදේශය හිමිව තිබුනේ ගරා වැටෙමින් පැවති ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයටය. බොහෝ දුරට කාන්තාරයක් වූ අතර ඉතාලිය සහ තුර්කිය අතරේ කිසිදු දබරයක්ද නොවීය. තවද, දෙරටම ජර්මනියේ හොඳ මිතුරන්ද වූහ. නමුත් කිසිවක් හෝ ලබාගැනීමට මාන බැලූ ඉතාලියට එය එතරම් වැදගත් කරුණක් නොවුණි. ඉතාලිය තුර්කියට එරෙහිව යුධ ප්‍රකාශ කලේ ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද විදෙස් වෙළෙඳාම පිළිබඳ අවහිරතා නිසා ඇතිවූ අයහපත් වාතාවරණයත් මධ්‍යයේය. ඉතාලියට එරෙහිව සටන් කිරීමට ප්‍රදේශයේ වූයේ සාපේක්ෂව කුඩා හමුදා ශක්තියකි. නමුත් ඔටෝමන් තුර්කි හමුදා සහ ස්වදේශික අරාබි හා බර්බර් සටන්කාමීන්ගෙන් ඉතාලියට ප්‍රබල අභියෝගයක් එල්ල වූයේය. තුර්කි යුධ ව්‍යාපාරය නවත්වා දැමීමට සිදු වූයේ බෝල්කන් යුද්ධ හේතුවෙනි.

ජර්මනියේ මිතුරකු වූ තුර්කියට එරෙහිව ඉතාලිය යුධ වැදීම ජර්මන්-ඔස්ට්‍රියානු-ඉතාලි ත්‍රි-පාර්ශවික මිත්‍රත්වයට දරුණු පහරක් වූයේය.

බෝල්කන් අර්ධද්වීපය

1878 බර්ලින් සංගමයට පසු පළමු ලෝක යුද්ධය වනතුරු බෝල්කන් අර්ධද්වීපය විවිධාකාර අර්බුදවලට තෝතැන්නක් විය. ප්‍රධාන බලවතුන් මේවාට කෙලින්ම සම්බන්ධ වූයේ නැතත්, වක්‍රාකාරයෙන් විවිධ බලපෑම් කළහ. කෙසේ වෙතත් බෝල්කන් අර්ධද්වීපයට 'යුරෝපයේ පොර පිටිය' යයි අතීතයේ නමක් පටබැඳුනේ වෙනත් රටවල් එහි ගොස් යුද්ධ කරන නිසා නොවේ. ඒ සඳහා අවශ්‍ය තරම් විවිධාකාර කණ්ඩායම් එම ප්‍රදේශයේ සිටියෝය.

බර්ලින් සංගමයට පෙරද බෝල්කන් ප්‍රදේශවල රාජ්‍යයන් කිහිපයක් ස්වාධිනත්වය ප්‍රකාශ කර තිබුණහ. මේ අතර 1878 දී බල්ගේරියාව සහ මොන්ටිනීග්‍රෝව නිදහස ලැබූහ. කලක් මුළු කලාපයම යටත් කරගෙන හුන් තුර්කිය මේ වනවිට අබල දුබල තත්ත්වයට වැටී තිබුණි. තුර්කියට කෙනිත්තීම සියලුම බෝල්කන් ජාතීන්ගේම පාහේ අපේක්ෂාව වූ නමුත් එය ඔවුනොවුන් අතර වූ ගැටුම් සමනය කිරීමට ප්‍රමාණවත් හේතුවක් නොවීය. කෙසේ වෙතත්, ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පළමු ලෝක යුද්ධය කරා යුරෝපය රැගෙන ගියේය.

1885 දී බල්ගේරියාව සහ සර්බියාව යුධ වැදුන අතර ඊළඟ වසරේදී බල්ගේරියාව පාලනය කල කුමාරයා වූ I වන ඇලෙක්සැන්ඩර් බලයෙන් ඉවත් කරන ලදී. මේ අතර 1903 දී සර්බියාවේ රජු වූ I වන ඇලෙක්සැන්ඩර් හෙවත් ඇලෙක්සැන්ඩර් ඔබ්රිනොවිච් සහ ඔහුගේ බිසව කුමන්ත්‍රණයකින් පසු මරා දමන ලදී. මෙම කුමන්ත්‍රණයේ අරමුණ වූයේ ප්‍රතිවාදී කාරාජෝර්ජ්වික් පෙළපතේ කුමාරයකු රජකමට පත් කිරීමයි. මේ අනුව පීටර් කාරාජෝර්ජ්වික් (1903-21) සර්බියාවේ රාජ්‍යත්වයට පත් කරගන්නා ලදී.

කලාපයේ රටක් වූ රුමේනියාව විදේශීය රටවල් සමඟ ගැටුම් ඇති නොකරගනිමින් පසු වූයේය. එරටෙහි නරක ආර්ථික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාව කැරළි ගැසූ අතර යුදෙව්වන්ද පීඩාවට පත් කරනු දැකිය හැකි වූයේය.

මේ අතර 1897 දී ක්‍රීට් දූපත සම්බන්ධයෙන් තුර්කිය සමඟ යුධ වැදුන ග්‍රීසිය සති තුනක් වැනි කෙටි කාලයකදී සහමුලින් පරාජය කරන ලදී.

බොස්නියා-හර්සගොවිනා අර්බුදය (1908)

1908 දී ඔස්ට්‍රියාව විසින් බොස්නියා-හර්සගොවිනාව ඈඳා ගැනීම සර්බියාවේ දැඩි විරෝධයට හේතු වූවා සේම පසුකාලීන කරදර සඳහා පුර්වාදර්ශයක් වූයේය. සර්බියාව සිටියේ රුසියාවේ සහය ලැබුණි නම් ඔස්ට්‍රියාවට එරෙහි යුද්ධයකට වුවද පැටලෙන මානසිකත්වයෙනි. 1905-07 සමයේ රුසියාවේ පැවති අභ්‍යන්තරික විප්ලවවාදී කැරළි කෝලාහල හේතුවෙන් එරට දුර්වල අඩියක පැවතියෙන් සර්බියාවට සහයක් ලබා දීමට හැකි තත්ත්වයක එරට පසු නොවීය. මේ හේතුවෙන් ගැටුමකින් තොරව තත්ත්වය සමහන් වූයේය. නමුත් එය කිසි අයුරකින් විසඳුමක් නොවීය. ඒ වෙනුවට ඔස්ට්‍රියාව සහ සර්බියාව බද්ධ වෛරක්කාරයන් බවට පත් වූහ.
බෝල්කන් අර්ධද්වීපය, 1912-13. (academic.evergreen.edu)

බෝල්කන් යුද්ධ

තුර්කියේ 'යෞවන තුර්කි' ව්‍යාපාරය නම් වූ කණ්ඩායමක් 1908 වසරේදී ආණ්ඩු ප්‍රතිසංස්කරණ මාලාවක් දිනාගැනීමට සමත් වූහ. මෙම පිරිස තුර්කියෙන් පිටුවහල් කරන ලද කණ්ඩායමක් වූ අතර මුලින්ම ඔවුන් රැස් වූයේ ප්‍රංශයේ පැරිස් නුවරයි. තුර්කිය තුල අන් ආගමිකයනටද මුස්ලිම්වරුන්ට ලැබෙන ආකාරයේ සැලකිලි ලබාදෙන ලෙසත්, පාර්ලිමේන්තුවක් වැනි ආයතන ඇති කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියෝය. 1908 දී මැසඩෝනියාවට පැමිණි ඔවුන් තමනට සහය දුන් හමුදා සේනාංකවල ද සහය ඇතිව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි කල, II වන අබ්දුල් හමීඩ් සුල්තාන්වරයා එයට එකඟ වූයේය. ප්‍රවෘත්ති තහනම ලිහිල් කරන ලද අතර මහමදිකයන්ට සහ ක්‍රිස්තියානි ආගමිකයනට  අයිතීන් දෙන ලදී. රටින් පිටවී සිටි බොහෝ දෙනා යළිදු පැමිණියෝය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවේ අතුරු ප්‍රතිපලයක් ලෙස තමනට එතෙක් ලැබුණ සුලු සහනවලට වඩා වැඩි යමක්, එනම් පූර්ණ නිදහස ඉල්ලා සිටීමට යටත් වැසියන් පෙළඹුණහ. ක්‍රීට් දූපත ග්‍රීසිය සමඟ ඒකාබද්ධ වූ බව ප්‍රකාශ කළේය. සර්බියාව සහ මොන්ටිනීග්‍රෝව දේශසීමා සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියෝය. මේ අතර තමන්ගේ පරණ බලතල ලබාගන්නට උත්සාහ කළ සුල්තාන්වරයාව නෙරපා දමන ලදී.

තුර්කියට විරුද්ධව බෝල්කන් රටවලින් එල්ල වූ ඉල්ලීම්වල ප්‍රතිපලයක් ලෙස 1912 වසරේදී සර්බ්, බල්ගේරියානු, ග්‍රීක් සහ මොන්ටිනීග්‍රෝ ඒකාබද්ධ ප්‍රහාරයකට ලක් වීමට තුර්කියට සිදුවිය. යුද්ධය ආරම්භ වූයේ 1912 ඔක්තෝම්බර් 8 වනදාය. මේ වනවිට ඉතාලිය සමඟ යුද්ධය අහවර වී තිබුණේද නැත. තුර්කිය මෙම යුද්ධයේදී දරුණු පරාජයක් ලැබීය.

1913 දී ලන්ඩනයේදී සිදුවූ සාකච්ඡා ප්‍රකාරව, ග්‍රීසියට ක්‍රීට්, දකුණු මැසඩෝනියාව සහ සැලෝනිකාව ලබාගත්හ. බල්ගේරියාවට ත්‍රේස් සහ ඊජියන් වෙරළබඩ තවත් ප්‍රදේශ කිහිපයක් ලැබිණ. නමුත් බල්ගේරියානුවන් වැඩි වශයෙන් ජිවත් වූ මැසඩෝනියාවේ උතුරු ප්‍රදේශය ඔවුනට හිමි නොවීම කෙරෙහි බල්ගේරියාව නොසතුටට පත් විය. එම ප්‍රදේශය අයත් වූයේ සර්බියාවටය.සර්බියාවද එම ප්‍රදේශයට වඩා වැඩි කැමැත්තක් ඇල්බේනියාව කෙරෙහි දැක්වීය​. නමුත් ඔස්ට්‍රියාවේ බලපෑම මත නිදහස් ඇල්බේනියාවක් බිහි වූ හෙයින්, කිසිවක් ලබා නොගෙන සිටීමට නොකැමැති වූ සර්බියාව උතුරු මැසඩෝනියාව ලබා ගැනීමට කැමැත්ත පළ කළේය​.

මෙම ගැටුම්වල ප්‍රතිපලය ලෙස බල්ගේරියාව සර්බියාවට සහ ග්‍රීසියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. මොන්ටිනීග්‍රෝව මුල පටන්ම සර්බියාවට උපකාර කළ අතර, කළ දුටු කල වල ඉහ ගත් රුමේනියාව සහ තුර්කියද බල්ගේරියාවට එදිරිව යුධ ප්‍රකාශ කළහ​. හතරවටින් වට කරන ලද බල්ගේරියාවට වහා යුද්ධයෙන් පරාජය පිළිගැනීමට සිදු විය​.

දෙවන බෝල්කන් යුද්ධය ලෙස හැඳින්වෙන මෙම යුද්ධය හේතුවෙන් බල්ගේරියාවට පළමු බෝල්කන් යුද්ධයෙන් ලැබුණ සියලුම ප්‍රදේශ අහිමි විය​. තුර්කිය අද්‍රියනෝපල් නගරය ලබාගත් අතර රුමේනියාවට ද යටත් ප්‍රදේශ කිහිපයක් ලැබිණ​. ග්‍රීසියෙහි සහ සර්බියාවේ මැසඩෝනියානු ප්‍රදේශ පිළිබඳ වූ අයිතිය තිර කරන ලදී.

බෝල්කන් යුද්ධවල ප්‍රතිපල කිහිපයක්ම විය​. එක් අතකින් කිසිදු යුරෝපා ජාතියක් තව දුරටත් තුර්කි පාලනය යටතේ නොසිටියහ​. තවද​, දෙවන බෝල්කන් යුද්ධයෙන් පසුව වුවද සියලු බෝල්කන් රටවලට කුමක් හෝ ප්‍රශ්නයක් ඉතිරි ව තිබුණි. මේ හේතුවෙන් කොතැනින් හෝ යළි සටන් ඇවිලීමක් සිදු නොවේයැයි කිසිවකුට කිව නොහැකි විය​. සර්බියාවට සියලු සර්බ්-ක්‍රොඇට් ජාතීන් එක්සත් කිරීමේ අවශ්‍යතාව වූ අතර එහිදී එරට ඔස්ට්‍රියාව සමඟ ගැටීමට නියමිතව තිබිණ​. බල්ගේරියාව පරාජයේ ලජ්ජාව වසා ගැනීම නොතිත් ආශාවෙන් පසු විය​.

මේ අතර සර්බියානු කරදරයෙන් මිදීමට සිහින දකිමින් සිටි ඔස්ට්‍රියාව ජර්මන් සහ තුර්කි සහයෝගය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටියේය​. මේ වනවිට යුරෝපයේ ප්‍රබල රාජ්‍යයන් මෙන්ම බෝල්කන් ප්‍රදේශවල රාජ්‍යයයන් ද කොයි මොහොතක හෝ යුද්ධයකට පැටලීමට නියමිතව තිබිණ​. අවශ්‍ය වූයේ කොතැනකින් හෝ වෙඩි පුපුරක් දැල්වීම පමණි. එය සරයේවෝ නොව වෙනත් ඕනෑම තැනකදී වුවද සිදුවිය හැකිව තිබිණ​.

Tuesday, September 30, 2014

රටවල් පහක ජාතික ගීය බවට පත්වූ "අප්‍රිකාවේ ගීතය​"

මීට අවුරුදු 117 කට පෙර, 1897 දී එනොක් සොන්ටොන්ගා නම් ක්සෝසා (Xhosa) මෙතෝදිස්ත පූජකයා තමා සේවය කළ පාසැලේ ගායක කණ්ඩායම වෙනුවෙන් කුඩා ගීතයක් නිර්මාණය කළේය​. එදින මේ ගීතය ඔහුගේ පාසැලට කෙසේ වෙතත් සමස්ථ උප සහරානු අප්‍රිකාවටම කෙතරම් වැදගත් ගීයක් වනු ඇත්දැයි ඔහුම නොදැන සිටින්නට ඇත​. ඔහු එදා නිර්මාණය කළ "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" හෙවත් "අප්‍රිකාවට දෙවි පිහිට ලැබේවා" (Nkosi Sikelel' iAfrica - Lord Bless Africa) යන ගීතය දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ ප්‍රධාන අංගයක් වූවා පමණක් නොව මහාද්වීපයේ රටවල් පහක ජාතික ගීත ලෙසද භාවිතා කෙරිණ​.

එනොක් මන්කයි සොන්ටොන්ගා උපත ලැබුවේ 1873 දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රාන්තයේ. වර්තමානයේ නම් නැගෙනහිර කේප් ප්‍රාන්තයේ. ඔහු ක්සෝසා බස කතා කරන තෙම්බු ගෝත්‍රයේ ම්පින්ගා (Mpinga) පරපුරේ කෙනෙක්. (නෙල්සන් මැන්ඩෙලා ද තෙම්බු ගෝත්‍රයේ, මඩීබා පරපුරේ කෙනෙක්) සොන්ටොන්ගා ලව්ඩේල් ගුරු පුහුණු පාසැලේ පුහුණුව ලැබීමෙන් පසු ජොහැන්නස්බර්ග් ආසන්නයේ නැන්ස්ෆීල්ඩ් මෙතෝදිස්ත මිෂනාරි පාසැලේ ගුරුවරයකු ලෙස පත්වීම ලැබුවේ 1896. එතැන් පටන් වසර 8 ක් පමණ ඔහු එම පාසැලේ සේවය කළා.
ගීතයේ ශත සංවත්සරය සැමරීම

පාසැලේ ගීතිකා කණ්ඩායම මෙහෙයවූ ඔහු එම කණ්ඩායම වෙනුවෙන් 1897 වසරේදී මේ ගීතයේ මුල් කොටස් ලියුවා. පසු කාලීනව එයට තවත් කොටස් එක් කරනු ලැබුනා.

පාසැල් ගීතිකා කණ් ඩායම වෙනුවෙන් නිර්මාණය වුනාට මේ ගීය 1899 දී ම්බොවෙනි පූජකතුමා පූජ්‍යත්වයට පත් වීම වෙනුවෙන් පැවති උත්සවයේදී ගායනා කෙරුණා. ඔහු පළමු ට්සොන්ගා ජාතික මෙතෝදිස්ත පූජකවරයා වීම විශේෂයක්.

1901 දී ජෝන් ලැන්ගලිබලේලේ ඩුබේ විසින් ඔහ්ලාන්ගේ ආයතනය පිහිටවූ අතර එය විසින් මේ ගීතය වඩාත් ජනප්‍රිය කෙරුණා. 1912 දී පැවති දකුණු අප්‍රිකානු ස්වදේශික ජාතික කොංග්‍රසයේ (පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසය බවට පත් වූ) පළමු සැසිවාරයේදී මේ ගීතය ගායනා කෙරුණා. මෙය 1923 දී ලන්ඩනයේදී මුල් වරට පටිගත කෙරුණ අතර 1925 දී අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් සිය නිල ගීතය ලෙස පිළිගනු ලැබුණා. 1927 ලව්ඩේල් මුද්‍රණ සමාගමෙන් මෙය මුද්‍රණය කර බෙදා හැරුණා. පසුව ප්‍රෙස්බිටේරියානු ගීතිකා පොතට සහ වෙනත් පොත්වලටත් ඇතුලත් කෙරුණා. 1947 දී එලිසබත් කුමරිය දකුණු අප්‍රිකාවේ සංචාරය කරද්දී ඇය ඉදිරියේත් මෙය ගායනා කෙරුණා.

මෙසේ ජනප්‍රිය වූ මේ ගීතය අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නිල ගීතය නිසාම දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ ප්‍රධාන අංගයක් බවට පත් වුණා. එමෙන්ම අප්‍රිකානු එක්සත්භාවය පිළිබඳ සිහින මැවූ දේශපාලන නායකයන් මේ ගීතයට මහත් සේ ඇලුම් කළා.

1961 දී ටැන්ගනීකාව නිදහස ලැබූ පසු මේ ගීතයට පළමු වරට රාජ්‍ය මට්ටමේ නිල පිළිගැනීමක් ලැබුණා. ටැන්ගනීකාව මෙම ගීතයේ ස්වාහිලි පරිවර්තනය සිය ජාතික ගීය බවට ප්‍රකාශයට පත් කළා. අදටත් ටැන්සානියාවේ ජාතික ගීය වන්නේ එම ගීතයයි.

1964 දී සැම්බියාව නිදහස ලද පසු මෙම ගීතය ඒ ආකාරයෙන්ම සිය ජාතික ගීය ලෙස යොදාගන්නට පටන් ගත්තා. නමුත් 1973 දී ඔවුන් එහි පද පෙළ වෙනස් කොට ඉංග්‍රීසි වචනවලින් යුතු, එමෙන්ම අප්‍රිකාව වෙනුවට සැම්බියාව ගැන කියැවෙන ගීයක් (Stand and Sing of Zambia, Proud and Free) ජාතික ගීය ලෙස යොදා ගත්තා.

1980 දී සිම්බාබ්වේ රාජ්‍යය නිදහස ලැබූ පසු වසර 14 ක් ම සිය ජාතික ගීය විදියට පාවිච්චි කළේ "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" ගීයේ ෂෝනා සහ න්ඩෙබෙලේ භාෂාවලින් යුත් පරිවර්තනයක්. 1994 දී ඔවුන් ඒ වෙනුවට වෙනමම ගීයක් තෝරා ගත්තා.

1989 නිදහස ලැබූ නැමීබියාවත් එක් අවුරුද්දක් තාවකාලිකව සිය ජාතික ගීය ලෙස මේ ගීතය යොදා ගත්තා.

1994 දී වර්ණභේදවාදයේ බිඳ වැටීමෙන් පසු දකුණු අප්‍රිකාවේ අලුත් රජය භාෂා කිහිපයකින් පද පේළි අඩංගු ගීයක් ජාතික ගීය ලෙස යොදා ගත්තා. මෙහි මුල් කොටස "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" ගීතයේ මුල් කොටසයි.

මේ අතර විවිධ නිර්මාණ සඳහාද "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" යොදා ගැණුනා. 1987 දී රිචඩ් ඇටෙන්බරෝ අධ්‍යක්‍ෂණය කර නිර්මාණය වූ ස්ටීව් බිකෝගේ ජීවන චරිතය අළලා සැකසුන "Cry Freedom" චිත්‍රපටයේ මේ ගීතය ඉතා හැඟීම් දනවන ලෙස යොදාගෙන තිබෙනවා. ස්ටීව් බිකෝගේ අවමඟුල් උත්සවයේදී දෙනෝදාහක් දෙනා මේ ගීතය ගායනා කරනවා. එමෙන්ම අවසන් ජවනිකාවෙන් ඇටෙන්බරෝ මේ ගීතය යළිත් යොදාගන්නේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට එරෙහි සටනෙන් මිය ගිය බොහෝ දෙනා සිහිකිරීමටයි.

එනොක් සොන්ටොන්ගා 1905 අප්‍රේල් 18 වනදා මිය ගියා. එවිට ඔහුට වයස අවුරුදු 32 ක් පමණයි. ඔහුගේ සොහොන බොහෝ කලක් සොයාගන්නට බැරිව තිබුණා. නමුත් 1990 ගණන්වල මුල් කාළයේදී බ්‍රෑම්ෆොන්ටෙයින් සුසාන භූමියේ තිබෙන එම සොහොන සොයාගනු ලැබුණා. 1996 සැප්තැම්බර් 24 වනදා නෙල්සන් මැන්ඩෙලා ජනධිපතිවරයා විසින් එය ජාතික වස්තුවක් ලෙස නම් කරනු ලැබුණා.

Tuesday, September 23, 2014

සිංගප්පූරු මොඩලය අනෙක් රටවලට ගැලපෙන්නේ නැති බව එරට අගමැති කියයි

සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) සිංගප්පූරු සමුලුවේදී (Singapore Summit) පසුගිය සෙනසුරාදා (සැප්. 20) ප්‍රකාශ කළේ සිංගප්පූරු සංවර්ධන මොඩලය අනෙක් රටවල ගෙඩිය පිටින් ක්‍රියාවට නගන්නට නොහැකි බවයි.

මෙයට හේතුව සිය රටේ විශාලත්වය වගේම ඉතිහාසය සහ මුහුණ දෙන්නට වූ අභියෝග අනෙක් රටවල්වලින් වෙනස් වීම බවයි සිංගප්පූරු අගමැතිවරයා පවසන්නේ.
ලී සියෙන් ලූන්ග් 2007 දී

සිංගප්පූරුව කුඩා දූපතක් බව මතක් කර දෙන අගමැතිවරයා පවසන්නේ සිංගප්පූරුවේ ඉතිහාසය යටත් විජිත යුගයක් තුලින් පන්නරයක් ලැබූ බවයි. රටේ යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ වූයේ යටත් විජිත යුගයේදී. එමෙන්ම යටත් විජිත විරෝධී අරගලය ඔස්සේ මෙන්ම කොමියුනිස්ට්වාදයට එරෙහි අරගලය ඔස්සේද වටිනා අත්දැකීම් සමුදායක් එකතු කරගන්නට සමත් වූ බව ඔහු මතක් කර දුන්නා.

මැලේසියාවට එකතු වීම​, එහි කොටසක් ලෙස සිටිමින් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීම සහ ඒ හේතුවෙන් මැලේසියාවෙන් ස්වාධීන වීම පිළිබඳ ඉතිහාසය ඔහු මතක් කර දුන්නා. මැලේසියාවෙන් එකවර කැඩී වෙන්වීමට සිදු වීම හේතුවෙන් සිදු වූ කම්පනය සහ එයට මුහුණ දීමට එම පරම්පරාවේ ජනතාව සහ ඔවුනගේ දරුවන් පෙළ ගැසුන ආකාරය අගමැතිවරයා සිහිපත් කළා.

මේ සිදුවීම් සිංගප්පූරුවටම ආවේණික වූ සිද්ධි දාමයක් බව ලී සියෙන් ලූන්ග් පවසා සිටියා. ඉන්දියාව සහ චීනය වැනි විශාල එමෙන්ම විවිධත්වයෙන් වැඩි රටවල් සිංගප්පූරුව සමඟ කිසි ලෙසකින්වත් සසඳන්නට නොහැකි බව ඔහු ප්‍රකාශ කළා. සිංගප්පූරුව සාර්ථක වූයේ රටේ ජනතාව එකාවන්ව රටේ දියුණුව කෙරෙහි කටයුතු කිරීම නිසා බවයි අගමැතිවරයා පවසන්නේ. මේ ව්‍යායාමය අසාර්ථක වීමට වුවද ඉඩ තිබූ බව ඔහු මතක් කර දුන් ඔහු වාසනාවට සිංගප්පූරුවට එම ඉරණම අත් නොවූ බව කියා සිටියා.

ඇතැම්විට යම් යම් ගැටලු තනි තනියෙන් ගත්විට ඒවා විසඳීමේදී සිංගප්පූරුව අනුගමනය කළ යම් යම් පියවරවලින් පාඩම් ඉගෙන ගන්නට හැකියාව තිබෙන බව අගමැති ලී සියෙන් ලූන්ග් කියා සිටියා. සිංගප්පූරුව චීනයේ සුෂොව් කාර්මික පුරයේදී (Suzhou Industrial Park) සැලකියයුතු සාර්ථකත්වයකින් යුතුව සිංගප්පූරු මොඩලය භාවිත කළ බව ඔහු සඳහන් කළා. එහිදීත් සිංගප්පූරු මොඩලය ගෙඩි පිටින් පාවිච්චි නොකළ බවත් එය ක්‍රියාත්මක කිරීම විවිධ ප්‍රශ්න මැද සිදුවූ බවත් ඔහු පැහැදිලි කළා. නමුත් සුෂොව් කාර්මික පුරයට පැමිණෙන වෙනත් චීන නගරවල නිලධාරීන් එයින් යම් යම් පාඩම් ඉගෙන ගන්නා බව අගමැතිවරයා මතක් කළා.

ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නට ඇතැම් දේශපාලකයින් පොරොන්දු වෙනවා අප අසා තිබෙනවා. නමුත් අපට කරන්නට හැකි වන්නේ සිංගප්පූරුව (හෝ වෙනත් රටක් හෝ) ක්‍රියාවට නැංවූ ක්‍රමවේදය අධ්‍යයනය කර එය මෙරටට අවශ්‍ය නම් අවශ්‍ය අයුරින් අනුගත කරගැනීම මිස පිටරට මොඩලයක් මෙරටට ගෙඩි පිටින් පැටවීම නෙවෙයි. මේ බව කියන්නේ සිංගප්පූරුවේම අගමැතිවරයා විසින්.

කතාව බලන්න මෙතනින්

Tuesday, September 16, 2014

අලුත් ලෝක දේශපාලනය දකින්න

අද කොළඹ 'ජාත්‍යන්තර​' පොත් ප්‍රදර්ශනයට ගියේ පොත් කිහිපයක්ම ගන්න අදහස හිතේ තියාගෙන​. එයින් එකක් තමයි නාලක ගුණවර්ධනගේ "කාල බෝම්බ ඕනෑ කර තිබේ" කියන පොත​. මේ ඔහුගේ පොත ගැන විග්‍රහයක් නෙවෙයි. (එය පසුවට බලාපොරොත්තු වන්න​). මේ ලියන්නේ ඒ පොත කියවද්දි හිතුණ දෙයක්.

සිව්මංසල කොලු ගැටයා තීරු ලිපි පෙළ නාලක කලක පටන් රාවය පුවත්පතට ලියන බොහොම වටිනා ලිපි පෙළක්. ඔහු ලියන හැම දෙයකටම අපි එකඟ නොවෙන්න පුලුවන්. නමුත් විවෘත මනසකින් යුතුව යමක් ගැන සිතන්නතත්, නොදන්නා දේවල් ගැන දැනගන්නටත් ඒ ලිපි පෙල ගොඩක් උදව් වෙනවා.

ඇත්තම කියන්න මේ ලිපි පෙල පුරුද්දක් විදියට කියවන්න මට දිගටම අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒවා අඩංගු පොතක් ගත්තම එයින් වැඩි හරියක් මට අලුත්. මේ සැරේ නිකුත් වුන "කාල බෝම්බ ඕනෑ කර තිබේ" පොතත් එහෙමයි.

2013 සැප්තැම්බර් මාසයේ ඔහු ලියූ ලිපියක් මගේ නෙත ගැටුනේ මේ පොත කියවද්දි. එහි මෙන්න මෙහෙම කියනවා:

"කොළඹ පොත් ප්‍රදර්ශනයේදී බහුලව පෙණුනු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශේෂයෙන්ම නවකතා සහ චාරිකා සටහන්) සිංහලට පරිවර්තනය වීම දැන් මහා පරිමාණයෙන් සිදුවන සැටියි." [නාලක මේ කියන්නේ 2013 ගැන]

තව දුරටත් අදහස් දක්වමින් නාලක කියන්නේ මෙයින් පෙනෙන්නේ පාඨකයන් බාහිර ලෝකය ගැන දැනගැනීමට ආසා නිසා මේ ඉල්ලුම ඇතිවී තියෙන බව​. නමුත් පරිවර්තනයනට වඩා ඔබ්බෙන් යන සංසන්දනාත්මක විග්‍රහයන් දුර්ලභ බව ඔහු කියනවා. සිංහල පුවත්පත්වල විදේශ විචාර ලෙස වැඩිපුර දකින්න ලැබෙන්නේ වම​-දකුණ ලෙස බෙදුණ සීතල යුද්ධ සමයේ මල බැඳුණ තර්ක බවයි. සීතල යුද්ධය අවසන්ව වසර 23 ක් (2013 දී) ගතවෙලත් අපේ "විදේස විත්ති විචාරකයන්" ඉන්නේ ඒ කාලයේ බව නාලක කියනවා.

නාලක ඉදිරිපත් කරන මේ අදහසේ ලොකු ඇත්තක් තියෙන බව කණගාටුවෙන් වුනත් කියන්න ඕන​. මේකට හේතු නැතුව නෙවෙයි. අද ප්‍රධාන මාධ්‍ය බොහොමයක අධිපතිවාදයක් තියෙන බව නාලකම කීප තැනකම කියලා තිබුණා මට මතකයි. මේක එක හේතුවක් වෙන්න පුලුවන්. අනෙක ප්‍රධාන මාධ්‍යවලට විකල්ප විදියට එන මාධ්‍යත් ගොඩක් වෙලාවට දේශපාලනයෙ වමට බර එව්වා. වාමාංශිකයන් ලෝකය දකින්නේ ඇති-නැති පරතරය අතර සටනක්, එහෙමත් නැත්නම් පන්ති සටනක් විදියටනේ. එයාලට ඊට වඩා දෙයක් නොපෙණෙන එක සාධාරණයි.

මට එක් උදාහරණයක් මතක් වෙනවා. යම් ටීවී චැනලයක (ජාතික රූපවාහිනියද මන්දා) ළමයෙක් ලෝක ගෝලයක් දිහා බලන් ඉන්නවා පෙන්නනවා. ඒකෙ වරදක් නෑ. අවුල තියෙන්නෙ, ඒ ලෝක ගෝලය හරිම පරණ එකක්. මම මේක දැක්කෙ අවුදුරු දෙක තුනකට කලින් වෙන්න ඇති. නමුත් ඒ ලෝක ගෝලයේ තවම සෝවියට් දේශය තියෙනවා. ඕකට අලුත් ලෝක ගෝලයක් ගන්න බැරි කමක් තිබුණාද කියලා මට හිතුණා.

ඒවගේම මට තවත් කතාවක් මතක් වුනා. 2013 චෝගම් එකට සමගාමීව​ පොදු රාජ්‍ය මණ්ඩල සිම්ෆනි ඔකෙස්ට්‍රා ප්‍රසංගයක් තිබුණා නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ. මේක මෙහෙයෙව්වෙ බ්‍රිතාන්‍ය ජාතික ආචාර්ය ජේම්ස් රොස්. ඔහු එක්ක මම සාකච්ඡා කරද්දි යටත්විජිතවාදය ගැන කතාවකට ආවා. පොදු රාජ්‍ය මණ්ඩලය යටත් විජිතවාදයෙන් ඉතුරු වූ දෙයක් නේද යයි මා අහුවාම ඔහු කිව්වේ යටත් විජිතවාදය අදට අදාල නොවන දෙයක් බව​. ඒ දේවල් නොවුනා නොවේ. නමුත් ඒවා මත්තෙම නැහෙන එක නුසුදුසු බවයි ඔහු කිව්වේ. ඔහු සමඟ වැඩ කරන බොහෝ තරුණ සංගීතඥයන් ඉපදුනේ කොමියුනිස්ට්වාදය බිඳ වැටුනාටත් පසුව බවත්, ඔවුන් යටත් විජිතවාදය තබා කොමියුනිස්ට්වාදයවත් හරියට දැක නැති බවත් ආචාර්ය රොස් මා සමඟ පැවසුවා.

රටවල් නව බල තුලනය තුල කඳවුරක් ලෙස එක් වීමක් පෙන්නුම් කලත් එය ඍජුවම වෙනම බල කඳවුරක් ලෙස මතු වෙන්නේ නෑ. එවන් සංවිධාන ගණනාවක් බිහිවෙමින් තියෙනවා.
නව යටත් විජිතවාදය ගැන කියවෙන දේ බැහැර කළ නොහැකි වුනත් අතීතයේ ලෝකය දැකපු විදියෙන් මිදිලා අලුත් විදියට ලෝකය දකින්න අපි පුරුදු වෙන්න ඕන​. යුරෝපයේ අයත් සීතල යුද්ධය අමතක කරපු කාලෙක (දැන් යුක්‍රේන ප්‍රශ්නය නිසා ඒ තත්ත්වය වෙනස් වෙන්නත් පුලුවන්) අපි ඒ පරණ අදහස් මත යැපෙන එක කොච්චර හරිද කියලා හිතන්න වෙනවා.

නමුත් ජනතාවගේ දැන ගැනීමේ ආශාව​, නැත්නම් දැනුම පිපාසය, පිළිබඳ නාලක කියන කාරණය ඇත්ත​. මේක මට මෑතකදි අත් දැකීමෙන්ම දකින්න ලැබුණා. මම පළමු ලෝක යුද්ධයට බලපෑ දීර්ඝ කාලීන හේතු ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියාපු දවසේ මගේ බ්ලොග් එකට කවදාවත් නැති තරම් පිරිසක් ආවා. මටත් හරිම පුදුම හිතුනා.

ඒ නිසා මට හිතුනා, ඉතාම කෙටියෙන්, සීතල යුද්ධය නිමා වූ පසු ලෝකයේ බල තුලනය වෙච්ච හැටි ගැන අදහසක් ඉදිරිපත් කරන්න​.

සෝවියට් දේශය බිඳ වැටුනත් එක්ක​, 1991 දී සීතල යුද්ධය නිමා වුනා කියලා පොදුවේ පිළිගන්නවා (වෙනස් අදහස් නැතුව නෙවෙයි). ඊට පස්සේ විශ්ලේෂකයන් කිව්වේ ඉස්සර තිබුණ ද්වී-ධ්‍රැව ලෝකය (වොෂින්ටන් සහ මොස්කව් කේන්ද්‍ර කරගත්) වෙනුවට ඒක​-ධ්‍රැව (වොෂින්ටන් කේන්ද්‍ර කරගත්) ලෝකයක් බිහිවෙයි කියලයි. 1990 දශකයේ නම් බොහෝකොටම දකින්න ලැබුණේ ඒ වගේ තත්ත්වයක්.

මේ අතරෙ මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. සීතල යුද්ධය තියෙන කාලෙ, විශේෂයෙන්ම බටහිර කඳවුර​, ලෝකය දැක්කේ බොහොම සරල විදියට​. "එක්කෝ ඔබ අපි එක්ක​, නැත්නම් අපට විරුද්ධව​" කියන අදහසින්. මැද මාවතක් කියලා එකක් ගැන ඔවුන් බැලුවේ වපර අහැකින්. මේ නිසා නොබැඳි ජාතීන් ගේ ව්‍යාපාරය වගේ දේවල් ඔවුන් දැක්කේ සෝවියට් අතකොලු විදියට​. ඒ නිසා අන්තිමට වුනේ ඒ වගේ සංවිධාන සෝවියට් කඳවුර පැත්තට වැඩිපුර නැඹුරු වීමයි.

කඳවුරු දෙකම එක්ක හොඳින් ඉඳපු රටවල් අතලොස්සක් තිබුණා. නමුත් සාමාන්‍යයෙන් වුනේ දෙපැත්තකට වීම තමයි.

නමුත් සීතල යුද්ධය ඉවර වුනාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට තව දුරටත් සෝවියට් තර්ජනයක් ගැන බයක් තිබුනේ නැහැ. එතෙක් කල් ඔවුන් "සෝවියට් තර්ජනයට​" මුවා වෙලා ඒකාධිපති පාලකයන් එහෙම නඩත්තු කලා වගේම තුන්වැනි බලවේගයකට නැගිටින්න දුන්නේ නෑ. (අනිත් පාර්ශවයත් කටයුතු කළේ එහෙම තමයි). නමුත් සීතල යුද්ධන නිමා වුනාට පස්සේ බල කඳවුරු දිය වෙලා ඔක්කොම එක ආර්ථික රාමුවකට ගේන්න බටහිර රටවල් පෙරුම් පිරුවා.

මේ අතරෙ ඉන්දියාව​, චීනය එහෙම විවෘත ආර්ථිකයේ ප්‍රතිපල නෙලා ගනිමින් වේගයෙන් සංවර්ධනය වුණා. වෙනත් රටවලුත් වේගයෙන් සංවර්ධනය වුනා. මේවා එකක්වත් එක බල කඳවුරකට අයත් වුනේ නෑ. ඒ වගේම මේ එක රටක්වත් තමුන්ව බටහිර රටවල් විසින් අනවශ්‍ය විදියට පාලනය කරනවාට කැමැත්තක් දැක්වූවෙත් නෑ. මේ ආකාරයෙන්, ටික කලක් යද්දි ලෝකයේ රටවල් කිහිපයක්ම ආර්ථික මෙන්ම යුධමය වශයෙනුත් ඉදිරියට ආවා.

මේ තත්ත්වය තවත් වේගවත් වුනේ 2000 පමණ සිට ව්ලැඩිමීර් පුටින් යටතේ රුසියාවත් ආපහු නැගිටින්න පටන් ගැනීමත් එක්කයි.

මේ අතරේ පරණ සංසිද්ධීන්, අලුත් මුහුණුවරකින් කරලියට එන්න පටන් ගත්තා. ඉස්සර ත්‍රස්තවාදී කණ්ඩායම් පවා බොහෝවිට ඇති වුනේ සහ ක්‍රියාත්මක වුනේ සීතල යුද්ධ පසුබිමේ. ඉස්ලාමීය සටන්කාමීන් පවා ඇෆ්ඝනිස්ථානයේ ඒ කාලෙ සටන් කලේ සෝවියට් දේශයට විරුද්ධව​, ඇමරිකාවේ ආධාර ඇතුව. නමුත් දැන් ඔවුන් වෙනමම බලයක් බවට පත් වෙන්න පටන් ගත්තා. අද වෙනකොට, විශේෂයෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් ලෝක බලතුලනයේ තවත් පැත්තක් බවට පත් වෙලා. නමුත් මේක වුනේ සීතල යුද්ධ පසුබිමේම නෙවෙයි. මූල බීජය එතනදි වුනාට​, පහුගිය අවුරුදුවල සිද්ධ වුනේ වෙනමම ක්‍රියාවලියක්.

අදටත් තනි රටක් විදියට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකයේ ප්‍රබලම රාජ්‍යය​. ලෝකයේ බොහෝ සමාගම්වල මූලස්ථානය තියෙන්නේ එහෙ. මම දැන් වැඩ කරන පරිඝනකයේ තියෙන ඔපරේටින් සිස්ටම් එක වින්ඩෝස්. ඒ මයික්‍රසොෆ්ට් සමාගමේ. තියෙන්නෙ ඇමරිකාවෙ. මම බ්ලොග් ලියන වෙබ් අඩවිය බ්ලොග්ස්පොට්. අයිති ගූගල් සමාගමට​. තියෙන්නෙ ඇමරිකාවෙ. මම මේ බ්ලොග් පෝස්ට් එක සමාජගත කරන ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල සමාගම් තියෙන්නෙ ඇමරිකාවෙ. ලෝකයේ ලොකුම ආර්ථිකය තියෙන්නෙ ඒ රටට​. ඒ වගේම ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකට හමුදා යවන්න පුලුවන් හැකියාවක් තියෙනවා නම් තියෙන්නේ ඇමරිකාවට​.

නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඇමරිකාවට ඔලුව නමලා හැමෝම ඉන්නවා කියලාවත්, ඒ ඔලුව නොනමන හැමෝම එක කඳවුරක ඉන්නවා කියලාවත්. ඒකයි අද තියෙන බහු-ධ්‍රැව භූ දේශපාලනික තත්ත්වය​.

Friday, September 5, 2014

පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නතම හේතුව වූයේ ඔස්ට්‍රා-හංගේරියාවේ ආර්ච්ඩියුක් හෙවත් මහාධිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීම වුවද එය යුරෝපා ජාතීන් අතර කලක් පටන් පැවති නොරිස්සුම්කම්වල පිපිරීමක් ලෙසද සැළකිය හැක. මෙම නොරිස්සුම්කම් සඳහා බලපෑ හේතු කිහිපයක් විය.

1. ජාතිවාදය

මධ්‍යතන යුගයේදී යුරෝපා මහාද්වීපය අඳුරෙහි ගිලී තිබුණේය. එකළ ප්‍රබල ජාතික රාජ්‍යයන් නොවූ අතර එසේ වී නම්, ඒවා වැඩිකල් නොපැවැත්තේය. බොහෝකොටම ජාතික රාජ්‍යවලට වඩා ප්‍රමුඛ වූයේ වංශාධිපතිවරුන්ගේ බලයය. ඔවුහු රජවරුනට වඩා බලගතු වූහ. වර්තමානයේ අප දකින ඇතැම් විශාල රාජ්‍යයන් වෙනුවට එවකට වූයේ කුඩා රාජ්‍යයන් සමූහයකි. එයට හොඳම උදාහරණ ලෙස ජර්මනිය සහ ඉතාලිය ගත හැක.

කෙසේ නමුත්, වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන විට ඒ වෙනුවට යලිත් ජාතික රාජ්‍යයන් ඉස්මතු වන්නට වූයේය. මෙහි උච්ඡතම අවස්ථා ලෙස ඉතාලිය සහ ජර්මනිය එක්සත් වීම සැළකිය හැක. ඉතාලිය 1870 දී එක්සත් රටක් බවට පත්වූ අතර එහිදී එරට ඔස්ට්‍රියාව හා ගැටුණාය. මේ අතර ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය අවසානයේදී ජර්මනිය එක්සත් කිරීමේ ක්‍රියාවලියද සම්පූර්ණ විය. මෙසේ ජාතික රාජ්‍යයන් බිහිවීමත් සමඟ යුරෝපයේ විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි විය.

මේ අතර, යුරෝපා රටවල් සමහරක් විසින් වෙනත් මහාද්වීපවල වැසියන් විශාල ප්‍රමාණයක් යටත් කරගෙන සිටියදීම, යුරෝපයේ ඇතැම් ජාතීන්ද වෙනත් ජාතීන්ගේ යටත් වැසියන් ලෙස තවමත් ජීවත් වන අයුරු දක්නට ලැබිණ. 20 වන සියවස පළමු දශකය අවසන් වනවිටත් ඇල්බේනියානුවන් සහ සමහර ග්‍රීක ජාතිකයන් තුර්කි පාලනය යටතේ දිවි ගෙවූහ. මේ අතර ට්‍රාන්සිල්වෙනියා ප්‍රදේශයේ රුමෙනියානුවෝද, සර්බ් ජාතිකයෝ කොටසක්ද, ගැලීසියාවේ විසූ පෝලන්ත වැසියෝද, චෙක්, ස්ලොවැක්, රුතීනියානු, ස්ලොවීනියානු සහ ක්‍රොඇට් ජාතිකයෝද ඔස්ට්‍රා-හංගේරියානු පාලනය යටතේ විසූහ. පෝලන්තයේ විශාල ප්‍රදේශයක් පැවතියේ රුසියානු පාලනය යටතේය. සත්‍ය වශයෙන්ම පෝලන්ත වැසියනට ඔවුන්ගේම රටක් නොතිබුණේය. සිය නිදහස දිනාගැනීම පිළිබඳ මේ සියලු ජාතීහු සිහින දකිමින් සිටියහ.
ප්‍රතිවාදී මිත්‍ර ගිවිසුම් දෙකක්


2. ප්‍රතිවාදී මිත්‍ර ගිවිසුම් දෙකක්

1879 දී ජර්මන් සහ ඔස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යයෝ මිත්‍ර ගිවිසුම් දෙකකට එළඹුනහ. මේ අතර අප්‍රිකාවේ ටියුනිස් නගරය දෙස ගිජු ලෙස නෙත් හෙලාගෙන සිටි ඉතාලියද 1881 දී ප්‍රංශය විසින් එහි හමුදා නැවැත්වීම නිසා සුන්වූ බලාපොරොත්තු හේතුවෙන් ඊළඟ වසරේදී ජර්මන්-ඔස්ට්‍රියානු මිත්‍ර සන්ධානයට එක් විය. ඉතාලියේ එක්සත්භාවය සඳහා වූ අරගලයේදී මුලින් උපකාර කර පසුව විරුද්ධකම් පෑම නිසා ප්‍රංශය කෙරෙහි ඔවුන් එතරම් හොඳහිතකින් පසු වූයේ නැත. නමුත් එරට සහ ජර්මනිය අතර මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණි. කෙසේ නමුත්, ඉතාලිය සහ ඔස්ට්‍රියාව එකම මිත්‍ර සන්ධානයක දක්නට ලැබීම පුදුමයට කරුණක් විය. මක්නිසාද යත් එම දෙරට අතර සාම්ප්‍රදායික එදිරිවාදිකමක් පැවතීමයි. යුධමය තත්ත්වයකදී මෙම දෙරට එකම සන්ධානයක කටයුතු කරනු ඇතැයි සිතීම පවා විහිලුවක් විය.

1862 සිට ප්‍රෂියාවේ අගමැති හෙවත් චාන්සලර් වශයෙන් සේවය කර 1871 දී ජර්මන් අධිරාජ්‍යය පිහිටුවීමෙන් පසු එහිද අගමැතිවරයා වූ ඔටෝ ෆොන් බිස්මාර්ක්ගේ ප්‍රතිපත්තිය වූයේ වෙනත් බලවතුන් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමය. ඔස්ට්‍රියාව සහ රුසියාව අතරද පැවති සතුරු ආකල්පයන් දුටු ඔහු ඔස්ට්‍රියානු මිත්‍රත්වයද මඳකට පසෙකලා රුසියාව සමඟ රහස්‍ය ගිවිසුමකට එළඹුණේය. 1887 දී අත්සන් කෙරුණ මෙම ගිවිසුමට අනුව, රුසියාව සහ ඔස්ට්‍රියාව අතර යුද්ධයකදී මධ්‍යස්ථව සිටීමට ජර්මනිය පොරොන්දු විය. බ්‍රිතාන්‍යය පවා හොඳින් තබාගත් බිස්මාර්ක්, ජර්මනියේ ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස සැලකුණ ප්‍රංශය දිගටම ජාත්‍යන්තර තලයේදී හුදෙකලා කිරීමට සමත් විය.

නමුත් 1888 දී වියපත් I වන විළියම් අධිරාජ්‍යයා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයාද කෙටි කාලසීමාවක් ඇතුලත කලුරිය කළහ. එයින් පසු රාජ්‍යත්වයට හෙවත් ජර්මනියේ කයිසර් බවට පත් වූයේ එවකට 28 හැවිරිදි වූ II වන විළියම් අධිරාජ්‍යයාය. ඔහු රුසියාව සමඟ වූ ගිවිසුම අවලංගු වීමට ඉඩ දුන්නේය. ජර්මනියේ සිට බැග්ඩෑඩ් නගරයට කොන්ස්තන්තිනෝපලය හරහා දුම්රිය මඟක් සාදවා, පණ අදින ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ජර්මන් බලපෑමට යටත් කිරීමට ඔහු සිහින දැක්කේය. මෙහිදී ඔහුට ඔස්ට්‍රියානු සහය අවශ්‍ය විය. මන්ද, දුම්රිය මාර්ගය ඔස්ට්‍රියා-හංගේරියානු ප්‍රදේශ හරහාද යායුතු වූ බැවිනි. මෙහිදී රුසියාවේ සහ ජර්මනියේ අවශ්‍යතා එකට ගැටිණි. තවද, ඉල්ලා අස්වීමට බලකරන ලදින් බිස්මාර්ක්ට 1890 දී චාන්සලර් ධූරය අතහැර යාමට සිදු විය. ජර්මනිය උදෙසා තමන් විසින් ඇතිකරගත් ආරක්‍ෂිත තත්ත්වය කෙමෙන් කෙමෙන් බිඳ වැටෙනු ඔහු මියයනතෙක් ගතවූ වසර අටක් තුල සාංකාවෙන් බලා සිටින්නට ඇත. 1891-95 කාළය තුල රුසියාව සහ ප්‍රංශය තර මිත්‍රත්වයක් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත් සමඟ ප්‍රංශය ජාත්‍යන්තර තලයෙහි වූ හුදෙකලාවෙන් මිදෙන්නට පටන් ගත්තේය.

කෙසේ වුවද, මෙකල ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර එතරම් හොඳහිතක් තිබුණේ නැත. 1881 දී ටියුනිස් නුවර ප්‍රංශ හමුදා නැවැත්වීමත්, මොරොක්කෝව දෙස ඔවුන් දැක්වූ ආශාවත් නිසා බ්‍රිතාන්‍යය ප්‍රංශය සමඟ අමනාපයෙන් පසු විය. එමෙන්ම 1898 වසරේදී වර්තමාන සුඩානයේ ෆැෂෝඩා නම් ස්ථානයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ කණ්ඩායම් දෙකක් අතර ඇතිවන්නට ගිය සිද්ධිය හේතුවෙන් දෙරට අතර සබඳතා බෙහෙවින් පලුදු වන ලකුණු පහළ වූයේය. දෙරට අතර යුද්ධයක් පවා ඇතිවන්නට ඉඩක් නොතිබුනා නොවේ. නමුත් ප්‍රංශයට බ්‍රිතාන්‍යය සමඟ හැප්පෙන්නට අවශ්‍යතාවයක් නොවීය. එරට විදෙස් ඇමති ඩොල්කැසේ පැවසූ පරිදි ප්‍රංශයට සුඩානය ලබාගැනීමට වඩා වැදගත් වූයේ බ්‍රිතාන්‍යය සමඟ වූ මිතුදම ආරක්ෂා කරගැනීමයි.

මේ අතර, 1895 දී ජර්මනිය උතුරු මුහුද සහ බෝල්ටික් මුහුද යා කෙරෙන කීල් ඇල කැපීම ආරම්භ කිරීමත් සමඟ ජර්මනියේ වර්ධනය කෙරේ බ්‍රිතාන්‍යය බියවන්නට පටන් ගත්තේය. මෙම තත්ත්වය අවසානයේදී බ්‍රිතාන්‍ය-ප්‍රංශ මිත්‍රත්වයකට පාර කැපුවේය. 1904 දී දෙරට අතර ද්වි පාර්ශවික ගිවිසුම් දෙකක් ඇතිවූ අතර 1907 දී ඒ වනවිටත් ප්‍රංශයේ හොඳ මිත්‍රයකු වූ රුසියාවේද සහභාගිත්වයෙන් ත්‍රි-පාර්ශවික මිත්‍රත්වයක් බවට එය පත් වූයේය.


3. බලවතුන් අතර තරඟය

යුරෝපයේ විවිධ බලවතුන් අතර කළක පටන් යටත් විජිත පිහිටුවීම සඳහා විශාල තරඟයක් විය. මෙය අප්‍රිකාව බෙදා ගැනීම පිළිබඳව මූලික වශයෙන්ම ඇති විය. මේ අතර දකුණු ඇමරිකාවේ සහ වෙනත් ප්‍රදේශවලත් එක් එක් බලවතුන් අතර වූ වෙළෙඳ තරඟයද එදිරිවාදිකම් වැඩි වීමට දායක විය. මේ අතර කීල් ඇළ හාරනු ලැබීමෙන් පසු ජර්මනිය නාවික හමුදාව දියුණු කිරීම බ්‍රිතාන්‍යය කිසිසේත්ම රිස්සුවේ නැත. මෙයින් සිදු වූයේ දෙරට අතර අවි ආයුධ තරඟයක් ඇතිවීමයි.

ප්‍රධාන බලවතුන් කෙළින්ම සම්බන්ධ වූ යුද්ධ කිසිවක් 1878 න් පසු යුරෝපයේ ඇති නොවීය. නමුත් මේ කාළයේ බෝල්කන් යුද්ධ දෙකක්, ඉතාලි-තුර්කි යුද්ධයක් මෙන්ම විවිධ ජාත්‍යන්තර අර්බුධ කිහිපයක්ම ඇති විය. මේ සියල්ල සමථයකට පත් කරගැනීමට හැකි වුවත් ඕනෑම මොහොතක යළිත් විශාල පිපිරීමක් ඇතිවීමේ අවධානම පහවී නොගියේය. 1914 ජුනි 28 වනදා ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනයෙන් පසු එම පිපිරීම සිදුවූ අතර ජීවිත  ගණනක් බිලිගැනීමෙන් පසු යළිත් එය යම් සමථයකට පත් කරගනු ලැබීය.

* මීළඟ කොටස ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනයට පෙර විවිධ පාර්ශව අතර ඇතිවූ අර්බුද පිළිබඳවය.

Saturday, August 2, 2014

පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

මීට වසර සියයකට පෙර 1914 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හංගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමඟ ලෝකය එතෙක් නොදැක තිබූ ආකාරයේ භයානක මානව සංහාරයක් වූ පළමු ලෝක යුද්ධය ආරම්භ විය. මීළඟ සිව් වසරක කාලය පුරාවට මානවයා එකිනෙකා කොටා ගනිමින් දැවැන්ත වූ අරගලයක පැටලී සිටියෝය. යුද්ධය විසින් බිලිගත් මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාව පිළිබඳ විවිධ ඇස්තමේන්තු ඇත. ඒ සියල්ලෙන්ම කියැවෙන්නේ ආසන්න වශයෙන් මිලියන 16ක් පමණ පිරිසක් මෙම සිව් වසර තුල යුද්ධය විසින් බිලිගත් බවයි. එයින් මිලියන 10 ක පමණ ප්‍රමාණයක් හමුදා ජීවිත වූ අතර අනෙක් පිරිස සිවිල් වැසියෝ වූහ.

මෙම අවාසනාවන්ත සිද්ධි දාමයට ආසන්නතම හේතුව වූයේ 1914 ජූනි 28 වනදා, එනම් යුද්ධාරම්භයට හරියටම මාසයකට පෙර, බොස්නියා-හර්සගොවිනාවේ සරයේවෝ නගරයේ සිදුවූ දේශපාලන ඝාතනයකි. ඔස්ට්‍රා-හංගේරියාවේ ආච්ඩියුක් (Archduke) හෙවත් ප්‍රධාන ආදිපාද මෙන්ම කිරිටභාජී (කිරුළ හිමි) කුමාරයා ද වූ ෆ්‍රෑන්ස් ෆර්ඩිනන්ඩ් මහාදිපාදයා ගැව්රිලෝ ප්‍රින්සිප් නම් 19 හැවිරිදි සර්බ් ජාතිකවාදියකුගේ වෙඩි පහරකින් මරු වැළඳගත්තේ එදිනය. ඒ සමඟම ඔහුගේ භාර්යාව වූ සොෆී චොටෙක් ද මරණයට පත්වූවාය. මේ කාලයේ බොස්නියා-හර්සගොවිනාව පාලනය කලේ ඔස්ට්‍රා-හංගේරියාව විසිනි.
ගැව්රිලෝ ප්‍රින්සිප් අත් අඩංගුවට ගත් අවස්ථාවේ ගන්නා ලදැයි කියන ඡායාරූපයක්

මෙම ද්විත්ව ඝාතනය ඔස්ට්‍රියානු පාලනය සලිත කිරීමට හේතු වූ එකම හේතුව මහාදිපාදවරයාගේ තනතුර පමණක් නොවේ. මෙම ඝාතනයට සම්බන්ධ යයි සැකය සර්බ් කලු හස්තය (Serb Black Hand) නම් සංවිධානයට යොමු වූ අතර එම සංවිධානයට සර්බියානු හමුදා අංශවල සහය ලැබෙන බව කියැවිණ. මේ හේතුවෙන් සර්බියානු හමුදා අංශ මෙම ඝාතනය කෙරෙහි වගකිවයුතු බවට අදහසක් ඔස්ට්‍රා-හංගේරියානු පාලකයන් තුල වුයේය.

මෙම ඝාතනයත් ඔස්ට්‍රා-හංගේරියාව යුධ ප්‍රකාශ කිරීමත් අතර ගතවූ මසක කාලය තුල යුරෝපා රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් බොහෝ වාද විවාද ඇති විය. මේ වනවිට යුරෝපය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදී තිබීම මෙම තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට හේතුවක් වූයේය. මේ වනවිට ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ රුසියාව එක මිත්‍ර කඳවුරකත්, ජර්මනිය, ඔස්ට්‍රා-හංගේරියාව සහ ඉතාලිය තවත් මිත්‍ර කඳවුරකත් වූ අතර සර්බියාව සමඟ රුසියාවේ සාම්ප්‍රදායික මිත්‍රත්වයක් ද වූයේය. ඔස්ට්‍රා-හංගේරියාව සහ සර්බියාව මෙම ආරවුලේදී තම තමන්ගේ මිතුරන්ගෙන් උපකාර බලාපොරොත්තු වීම හේතුවෙන් අර්බුදය මෙම රටවල් දෙකෙන් ඔබ්බට පැතිරුණි.

මෙම රාජ්‍යතාන්ත්‍රික සිද්ධි දාමයේ උච්චතම අවස්ථාව වූයේ 1914 ජූලි 23 වනදා ඔස්ට්‍රා-හංගේරියාව විසින් සර්බියාව වෙත යවන ලද අවසන් නිවේදනයයි. මෙතැන් පටන් යුද්ධයක් ඇති වීමේ අවධානම ඉතා විශාල වූ අතර එම තත්ත්වය සමහන් කිරීමේ උත්සාහයන් ද තීව්‍ර වූයේය. මීළඟ දින කිහිපය තුල ඇතිවූ සිද්ධි දාමය යුරෝපා ඉතිහාසයේදී ජූලි අර්බුදය ලෙස හැඳින්වේ.

මෙම නිවේදනයෙහි ඉල්ලීම් ගණනාවක් විය. මේ අතර සර්බ් ජාතිකවාදී සංවිධාන විසිරුවා හැරීම, ඝාතනයට සම්බන්ධ වියයි චෝදනා එල්ල වූ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම, ඔස්ට්‍රා-හංගේරියා විරෝධී කණ්ඩායම්වලට දේශසීමාව හරහා අවි ආයුධ සැපයීම නැවැත්වීම වැනි ඉල්ලීම මෙන්ම ඔස්ට්‍රා-හංගේරියානු නිලධාරීන්ට ඝාතනය පිළිබඳ පරීක්ෂණවලට සහභාගී වීමට අවසර දීම යන කොන්දේසි මේ අතර විය. මේ කියන ලද අවසන් කොන්දේසිය සර්බියාවේ ස්වෛරීභාවයට ඍජු අභියෝගයක් විය. මෙම ඉල්ලීම් දින දෙකක් තුල සපුරාලියයුතු වූ අතර නැතහොත් ඔස්ට්‍රා-හංගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කෙරිණ.

ප්‍රතිවාදී කඳවුරු දෙකකට බෙදී සිටි යුරෝපා රටවල් එක් අතකින් ඔවුනොවුන්ගේ ආරවුල් විසඳාගැනීමට මාන බලමින් සිටි නමුත් කුඩා රටක් හේතුවෙන් විශාල යුද්ධයකට පැටලීමට කිසිවකුටත් අවශ්‍යතාවයක් නොවීය. එහෙයින්, සර්බියාව බලාපොරොත්තු වූ තරම් සහයක් අනෙක් රටවල්වලින් නොලැබුණි. මේ හේතුව නිසාවෙන් ඉහත සඳහන් ඔස්ට්‍රා-හංගේරියානු නිලධාරීන්ට සර්බියාවට ඇතුලු වී පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වීමේ කොන්දේසිය හැරුණ විට අනෙකුත් කොන්දේසිවලට එකඟ වීමට සර්බියාව තීරණය කළේය. නමුත් මෙම තීරණය ඔස්ට්‍රා-හංගේරියාවේ ප්‍රසාදයට හේතු වූයේ නැත.

ඔස්ට්‍රා-හංගේරියාවේ මෙන්ම ජර්මනියේද ඇතැම් කොටස්වලට අවශ්‍ය වූයේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම නොවේ. 1914 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හංගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමඟ සිද්ධි දාමය වේගයෙන් මහාද්වීපික යුද්ධයක් කරා ගමන් කළේය. සර්බියාවට සහය පල කිරීමක් ලෙස රුසියාව සිය හමුදා පාර්ශවිකව ජංගමගත කලේ ජූලි 30 වනදාය. මේ අනුව ඔස්ට්‍රා-හංගේරියානු දේශසීමා ප්‍රදේශවල වූ හමුදා මුලින් සූදානම් කරන ලදී. රුසියාව ඔස්ට්‍රා-හංගේරියාවට එරෙහිව යුධ වැදුණහොත් ජර්මනිය සිය ගිවිසුම් ප්‍රකාරව ඔස්ට්‍රා-හංගේරියාවට සහය දැක්විය යුතුව තිබුණි. මේ බව දත් රුසියානු හමුදා නායකයන් දෙවන නිකොලස් සාර් පාලකයාගෙන් ඉල්ලා සිටියේ සමස්ථ රුසියානු හමුදාවම ජංගමගත කරන ලෙසයි. මේ අතර, ජර්මන් සහයෝගය බලාපොරොත්තු වූ ඔස්ට්‍රා-හංගේරියාව රුසියානු තර්ජනය නොසලකා හැර සර්බියාවට එරෙහි යුද්ධය නොනවත්වා කරගෙන යාමට තීරණය කළේය.

යුරෝපය 1914 දී. යුද්ධයේ මාධ්‍ය බලවතුන් (Central Powers), මිත්‍ර පාක්ෂිකයන් (Allied Powers) සහ මධ්‍යස්ථ රටවල් මෙම සිතියමෙන් දැක්වේ.
රුසියාව හමුදා ජංගමගත කිරීමත් සමඟ ජර්මනියද අගෝස්තු 1 වනදා යුධ හමුදා ජංගමගත කළේය. එදිනම එරට රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමටද කටයුතු කළේය. මේ සමඟම අගෝස්තු 2 වනදා බෙල්ජියමට කඩා වැදීම සඳහා පෙර සුදානමක් ලෙස ජර්මන් හමුදා ලක්සම්බර්ගය කරා යවන ලදී. එමෙන්ම, ප්‍රංශය රුසියාවේ සහයට එනු ඇති බව දැන සිටි ජර්මනිය ඊට පෙර එරටට පහරදීමට ඉටාගෙන සිටියේය. ජර්මන් හමුදාවලට බෙල්ජියම හරහා ප්‍රංශය කරා යාමට ඉඩ දියයුතු බවට අවසාන නිවේදනයක් ජර්මනිය විසින් බෙල්ජියම වෙත යවන ලද්දේ මේ පසුබිමෙහිය. ඒ අගෝස්තු 2 වනදාය. නමුත් බෙල්ජියම එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළේය.

කුඩා බෙල්ජියම මෙම යුද්ධයේදී අතිශයින් වැදගත් වීම නොවැලැක්විය හැකි විය. 1839 අත්සන් කල ගිවිසුමට අනුව බෙල්ජියමේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීමට සියලු යුරෝපා බලවතුන් එකඟ වී තිබුණහ. මේ හේතුවෙන් 1870 දී ප්‍රංශය ආක්‍රමණය කල ප්‍රශියානු හමුදා ඒ සඳහා භාවිතා කලේ වඩා අපහසු මාර්ගයක් වූ ඇල්සාස් ප්‍රදේශය හරහා වැටුණ මාර්ගයයි. නමුත් ජර්මන් අධිරාජ්‍යය විසින් සුදානම් කරන ලද ප්‍රංශය ආක්‍රමණය කිරීමේ සැලසුමෙහි වූයේ බෙල්ජියම හරහා එරටට කඩා වැදීමයි. බ්‍රිතාන්‍යය මැදිහත් වීමට පෙර ප්‍රංශයට දරුණු පහරක් එල්ල කිරීම ජර්මනියේ බලාපොරොත්තුව විය.

කෙසේ වෙතත් ජර්මනිය විසින් අගෝස්තු 3 වනදා ප්‍රංශයටද අගෝස්තු 4 වනදා බෙල්ජියමටද එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී. ඒ සමඟම බ්‍රිතාන්‍යයද ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය. ඔස්ට්‍රා-හංගේරියාව සහ සර්බියාව අතර ආරවුලක් මහාද්වීපික යුද්ධයක් කරා වේගයෙන් ගමන් කළේය.

Sunday, July 27, 2014

ලෝක බැංකුවට අභියෝගයක් විය හැකි BRICS බැංකුව

ලෝක මූල්‍ය ක්ෂේත්‍රයේ බල තුලනයක් ඇති කිරීමේ අදහස පෙරදැරි කරගෙන BRICS රටවල්, එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එකතුවෙන් නව සංවර්ධන බැංකුව නමින් බැංකුවක් පිහිටුවීමට තීරණය කෙරුණා. මෙම බැංකුව පිළිබඳ කලක් තිස්සේ සාකච්ඡා වුනත් අවසන් එකඟතාවයට පැමිණියේ පසුගියදා බ්‍රසීලයේදී පවත්වන ලද වාර්ෂික BRICS රාජ්‍ය නායක හමුවේදී. සාමාන්‍ය ව්‍යවහාරයේදී BRICS බැංකුව ලෙස හඳුන්වන මෙම නව සංවර්ධන බැංකුවේ (New Development Bank) ආරම්භක ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් වනවා. ඒ වගේම මේ සමඟම BRICS රටවල් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 100 ක සංචිතයක්ද පිහිටුවා ගන්නට කටයුතු කළා.

මේ බැංකුව සහ සංචිතය මගින් මෙතෙක් ලෝක මුල්‍ය ක්ෂේත්‍රයේ බලය පතුරවා සිටි ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල යන ආයතන දෙකට තරඟයක් දෙනු ඇති බව සාමාන්‍ය විශ්වාසයයි.
(වමේ සිට: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි, බ්‍රසීල ජනාධිපතිණි ඩිල්මා රූසෙෆ්, චීන ජනාධිපති සී ජින්පින්ග් සහ දකුණු අප්‍රිකා ජනාධිපති ජේකබ් සූමා - Pic. kremlin.ru)

නමුත් ආර්ථික විද්‍යාඥයකු සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධව දරන්නේ වෙනස් මතයක්. ඔහු පවසන්නේ ලෝක බැංකුව මූලිකවම සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි "මෘදු" යටිතල පහසුකම් (Soft Infrastructure) කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන අතර දැනට පෙනෙන්නට ඇති ආකාරයෙන් BRICS බැංකුව මහාමාර්ග යනාදී "දෘඩ" යටිතල පහසුකම් (Hard Infrastructure) කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට ඉඩ ඇති බවයි. මේ දෙඅංශයම සංවර්ධනයට වැදගත් බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එම හේතුව නිසා මෙම බැංකු දෙක අතර තරඟයකට වඩා එකමුතුවක් ඇති වීම පලදායක වනු ඇති බවයි.

මේ අතර ආර්ථික විශේෂඥයකු සහ දේශකයකු වන අනුෂ්ක විජේසිංහ මහතාගේ අදහස වන්නේ මෙම නව බැංකුව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින එමෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා මුල්‍යමය අවශ්‍යතාවන්ගෙන් යුතු මැදි ආදායම් රටවලට වැදගත් ප්‍රතිපල ගෙනදෙනු ඇති බවයි.

කෙසේ නමුත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නට යෙදුණේ ලෝක බැංකුවෙන් සහ වෙනත් අද පවතින මුල්‍ය ආයතනවලින් ණය ගැනීම මැදි ආදායම් රටකට වුවද ශ්‍රී ලංකා රජය පවසන තරම් අපහසු නොවන බවයි. ශ්‍රී ලංකා රජය එවන් අපහසුතාවලට පත්වන්නේ අදාළ ව්‍යාපෘතිවල විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳ වන කොන්දේසිවලට එකඟ වීමේ අපහසුව නිසා බව ඔහුගේ අදහසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ නව බැංකුව යහපත් ප්‍රවනතාවයක් බව පෙන්වා දුන්නා. ඔහු සඳහන් කලේ මෙවන් ක්‍රියාවලියක් ඇතිවන්නේ ලෝක ආර්ථික බල කඳවුරු අතර තරඟය නිසා බවයි. එමෙන්ම එය "අන්තර් අධිරාජ්‍ය තරඟයේ" කොටසක් ලෙස ඔහු හඳුන්වා දුන්නා. එනම් මෙම ක්‍රියාවලිය ලෝක ධනේශ්වරය තුලම පවතින තවත් එක සිද්ධියක් බව ඔහුගේ අදහසයි. තවද, ශ්‍රී ලංකාව වැනි රටවලට මෙහි බලපෑම පිළිබඳ අනාවැකි පළ කිරීමට තවම කල් වැඩි බවත් ඒ සඳහා මෙම බැංකුව ක්‍රියාත්මක වනතුරු මඳක් බලා සිටින්නට වන බවත් ඔහු කියා සිටියා. නමුත් කවර තත්ත්වයක් යටතේ වුවත්, ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ඒකාධිකාරය කෙරෙහි මෙයින් තර්ජනයක් එල්ලවීම යහපත් ප්‍රවණතාවයක් බව ඔහුගේ අදහසයි. කෙසේ වුවත් මෙයින් ලෝක දේශපාලනය "නිරවි යුද්ධය" වැනි අර්බුධකාරී තත්ත්වයකට ගෙන යාමක් නොවන බව ඔහු තවදුරටත් කියා සිටියා.

ඉන්දියාවේ මනිපාල් සරසවියේ භූ දේශපාලන සහ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ (Centre for Geopolitics and International Relations) මහාචාර්ය මාධව් දාස් නලපත් මහතාද මෙම නව බැංකුවේ බිහිවීම බොහෝ ධනාත්මක ලෙස දකිනවා. ඔහු සඳහන් කරන්නේ ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල ලෝක මුල්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා දෙස අවධානය යොමු කිරීම පසෙකලා, බටහිර රටවල් කිහිපයක මුල්‍ය ප්‍රතිපත්ති උදෙසා ක්‍රියාත්මක වන ආයතන දෙකක් බවයි. BRICS බැංකුවේ බිහිවීම නිසා 'තුන්වන ලෝකයේ' රටවලට, බටහිර රටවල් විසින් ඔවුනට අවශ්‍ය ලෙස විකෘති කරන ලද සංවර්ධන සැලසුම්වලට වඩා වෙනස් සහ උචිත සැලසුම් ක්‍රියාවට නැගීමේ අවස්ථාව සැලසෙන බව ඔහු කියා සිටිනවා.

ශ්‍රී ලංකාව කෙරෙහි මෙම බැංකුවේ බලපෑම ගැන ඔහු දකින්නේ ඉතා යහපත් ආකාරයකින්. BRICS බැංකුවේ මූලස්ථානය චීනයේ ෂැන්හයි නුවර පිහිටුවන බවත් එහි ආරම්භක සභාපතිවරයා ඉන්දියානුවකු වන බවත් මහාචාර්ය නලපත් මතක් කර දෙනවා. වත්මන් ශ්‍රී ලංකා රජය මෙම රටවල් දෙකේම පවතින රජයන් සමඟ බොහෝ සමීප සබඳතාවක් ගොඩ නගාගෙන තිබෙන බව පෙන්වාදෙන ඔහු කියා සිටින්නේ මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා කෙරෙහි BRICS බැංකුව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි යන්න තමාගේ අදහස වන බවයි.

(මෙහි මුල් ලිපිය 2014 ජූලි 20 ඉරිදා The Nation පුවත්පතේ පළවිය).

Tuesday, July 8, 2014

නොදැනීම ශතකයත් වාර්තා වෙලා...

සමහර වෙලාවට විනෝදයට පටන් ගන්නා දේවල් පස්සෙ දිගටම කරගෙන යන තත්ත්වයකට එනවා. බ්ලොග් ලිවිල්ලත් එහෙමයි. සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ අපි බොහොම වෙලාවට ඉංග්‍රීසි මාධ්‍යවල දකින දේවල් සිංහලෙන් ලියන්නත්, මගේ සිංහල භාෂා භාවිත හැකියාව දියුණු කරගන්නත් කියන අරමුණු දෙකම හිතේ තියාගෙන​. දන්නෙම නැතුව බ්ලොග් පෝස්ට් සීයකටත් ඇවිත්.

මම හිතන්නෙ මගෙ පළවෙනි බ්ලොග් පෝස්ට් පනහට වඩා ඊළඟ 50 ලියන්න වැඩි කාලයක් ගතවුනා. ඒකට මූලිකම හේතුව වුනේ පරණ රස්සාවෙන් අලුත් රස්සාවකට ගියපු එක​. පරණ කාලෙ ඉතින් අවුරුද්දෙ මාස තුනක් නිවාඩු තියෙනවනෙ. ඒ නිසා නිවාඩු කාලෙ ලියන්න පුලුවන්කම තිබුනා. නමුත් දැන් ඉතින් ඒවගේ අවස්ථා අඩුයි. ලියන්න වෙන්නෙ වෙලාවක් ලැබුණම තමයි.

ඒ නිසා පහුගිය මාස කීපයෙම මගේ සිංහල බ්ලොග් පෝස්ට් දිගින් අඩුයි... ඒ වගේම නිතර ලියවුනෙත් නැහැ.

පහුගිය කාලෙ ලියාපු බ්ලොග් පෝස්ට් සීයෙන්, බොහොම අමාරුවෙන් ලියාපු එක තමයි 99 වෙනි එක​. කියවල බලන්නකො, එතකොට තේරේවි ඒ ඇයි කියලා.

හැමදාමත් මට කියන්න තියෙන දේම තමයි අදත් කියන්න වෙන්නෙ. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඕනම දවසක​, අලුත් මාතෘකා දෙක තුනක්වත් හම්බවෙනවා ලියන්න​. ඒවයෙ නම් සීමාවක් නැහැ. වෙලාව තමයි නැත්තෙ.

ඒ නිසා මගේ ප්‍රමාදය ගැන සමාවෙන්න​. පුලුවන් හැම වෙලාවකම මොකක් හෝ දෙයක් ගැන ලියන්න උත්සාහ කරනවා.

මෙචර කාළයක් මට විවිධාකාරයෙන් උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි. එක සැරයක් හරි මගේ බ්ලොග් එක බලන්න ආපු අයගෙ ඉඳල හැමදාම එන අය දක්වා හැමෝටම ස්තූතියි. ඒ වගේම මේකෙ තිබුණ අඩුපාඩු පෙන්නල දීපු අයත්, මාර්කටිං සඳහා උදව් දීපු අයත් මතක් කරනවා... නම් වශයෙන් නැතත් ඒ අයව මතක් කරන්නෙ ලොකු කෘතවේදීභාවයකින්. අපි තවමත් මේ බ්ලොග් ලිවිල්ල ඉගෙන ගන්නවා. දිගටම ඉගෙනගනීවි.

Sunday, June 1, 2014

ලෝක දුම්කොළ විරෝධී දිනය: වයස චෙක් කළාට තරහ වෙන්න එපා

මැයි 31 වනදා ලෝක දුම්කොළ විරෝධී දිනයයි. ශ්‍රී ලංකාවේ අපිට මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනය​, එහෙමත් නැත්නම් දුම්වැටි විරෝධී දිනය වැදගත් වුනේ පසුගිය දිනයක අධිකරණය හමුවේ විභාග වුන සිගරට් පැකට්ටුවල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ නඩු විභාගය හේතුවෙන්.

නමුත් අද මම කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධව නෙවෙයි.

මේ සිගරට් වෙළෙඳාම සම්බන්ධ දැන්වීමක් ගැනයි.

මේ පින්තූරයේ දකින්න තිබෙන දැන්වීම දෙස හොඳින් බලන්න​. එහි මෙන්න මේ ආකාරයෙන් ඉංග්‍රීසියෙන් ලියා තියෙනවා.

"Dear customer, If you are lucky enough to look under 18, please do not be offended if we ask for proof of age when you buy tobacco"

මෙය සරලව සිංහලට පරිවර්තනය කලොත් ඉන් කියවෙන්නේ මෙන්න මේ අදහස​. "ඔබේ වයස අවුරුදු 18ට අඩුවෙන් පෙනෙන්නට තරම් ඔබ වාසනාවන්ත නම්, දුම්කොළ නිශ්පාදන මිලට ගනිද්දී ඔබේ වයස පරීක්ෂා කිරීම ගැන අමනාප නොවන්න."

මේ දැන්වීම දකින්න ලැබුණේ ලංකාවෙදි නම් නෙවෙයි. මේ සිංගප්පූරුවේ අංග් මෝ කියෝ (Ang Mo Kio) MRT නැවතුමේ සිට බස් නැවතුමට යන උමං මාර්ගයේ තිබුණ වෙළෙඳසලක තිබිච්ච දැන්වීමක්.

මේ දැන්වීමෙ පින්තූරය ගන්න ගියාම එතන හිටපු වෙළෙඳ සේවිකාව පින්තූර ගන්න එපා කියලා අවවාදයක් කළා. මම එතකොට එයාට කිව්වා මට ඕන මේ දැන්වීමෙ පින්තූරයක් ගන්න විතරයි කියලා. එතකොට ඒ සේවිකාව හිනහවෙලා, "කමක් නැහැ" කිව්වා. එහෙම තමයි මම මේ පින්තූරය අරගත්තේ.

සිංගප්පූරුවේ දුම්වැටි භාවිතය පිළිබඳ විවිධ නීති තියෙනවා. ඒ අතර අලෙවි කිරීම වගේම දුම් පානය කරන්න පුලුවන් ස්ථාන ගැනත් නීති තියෙනවා. සෑම තැනකම දුම් පානය කරන්න බැහැ. ඒ සඳහා නියමිත ස්ථාන තියෙනවා.

මේ අතර, 2017 වනවිට සියලුම ප්‍රධාන පාසැල්වල දුම්පානය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ සැලසුමක් පිළිබඳ මැයි 31 වනදා උදෑසන සිංගප්පූරු මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වනවිට සිංගප්පූරුවේ වැඩිහිටි ජනගහනය දුම් පානයට යොමු වීමේ ප්‍රවණතාව උච්ඡාවචනයක් (ලොකු ඉහළ පහළ යාමක්) නැතිව එක් ස්ථානයක රැඳී තිබෙනවා. 2007 වසරේ දුම්පානය කරන්නන් සියයට 13.6 ක් වූ අතර 2013 දී එය සියයට 13.3 ක් වුනා. ඒ වගේම වයස අවුරුදු 18-29 අතර පුද්ගලයින් අතර දුම්පානය කිරීමේ ප්‍රවණතාව මේ කාළය තුල සියයට 17.2 සිට 12.7 දක්වා සීඝ්‍ර අඩු වීමක් පෙන්වා තිබුණා. සිංගප්පූරු බලධාරීන් බලාපොරොත්තු වන්නේ 2020 වනවිට වැඩිහිටියන් අතර දුම්පානය කරන ප්‍රතිශතය සියයට 12 දක්වා අඩු කරගැනීමටයි.

ලංකාවේ දුම්පානය පිරිමින් අතර සියයට 39 ක් සහ කාන්තාවන් අතර සියයට 2.6 ක් වුනා. ඒ 2009 දි. සමස්ථ ප්‍රතිශතය සියයට 21.6 ක් වුනා. ඒ වසරේ වයස අවුරුදු 18-29 කාණ් ඩයේ පිරිමින් සියයට 19.3 ක් සහ කාන්තාවන් සියයට 0.9 ක් දුම් පානය කළා. ඒ අනුව සමස්ථ ප්‍රතිශතය වුනේ සියයට 10.4 ක්. මේ අනුව ලංකාවේ මුලු ජනගහනය සැළකූ විට දුම්පානය කරන ප්‍රතිශතය සිංගප්පූරුවට වඩා වැඩි වුනත්, තරුණ පරපුර අතරේ තත්ත්වය ඒ රටට වඩා යහපත් බව කියන්න පුලුවන්.

දුම්වැටි විරෝධී දිනය ගැන ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන මෑතකදී ලියූ ලිපිය (ඉංග්‍රීසි) කියවන්න​.

Saturday, May 24, 2014

මාලින්ද සෙනවිරත්න 2013 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

මාලින්ද සෙනවිරත්න
අද අපට බොහොම සතුටුදායක දවසක්. අද සවස පවත්වන ලද ග්‍රේෂන් සාහිත්‍ය සම්මාන උළෙලේදී, 2013 වසර සඳහා වන ග්‍රේෂන් සම්මානය අපේ පුවත්පතේ කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතාට ප්‍රදානය කරනු ලැබීම එයට හේතුවයි. ඒ ඔහුගේ "Edges" කියන කවි එකතුව සඳහා.

මාලින්ද සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකීම හසළ දැනුමක් ඇති කෙනෙක්. නමුත් ඔහු පුවත්පත් කලාවේ නිරත වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වගේම මාලින්දගේ පොතුත් ලියවෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔහු නිරන්තරයෙන් කවි ලියන කෙනෙක්. ඒ නිසාම පහුගිය වසර කිහිපයේම හැම අවුරුද්දක් පාසාම මාලින්ද අලුත් කවි පොතක් පළ කරන්න සමත් වුනා. මෑතකදී ඒ පොත් 5 ක් ආපහු මුද්‍රණය කෙරුනා. පහල එයිනුත් 4  ක්ම කලින් අවුරුදු 4 දී ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුනා. මගේ දැනුමේ හැටියට මම හිතන්නේ වැඩිම වාර ගණනක් ග්‍රේෂන් සම්මානය සඳහා යෝජනා වුන නම මාලින්ද සෙනවිරත්න බවයි. නමුත් සම්මානය දිනුවේ මේ වතාවේ තමයි.

මීට පෙර ග්‍රේෂන් පදනමෙන්ම ප්‍රදානය කෙරුණ හොඳම පරිවර්තනය (සිංහලෙන් ඉංග්‍රීසියට) සඳහා වන H.A.I. ගුණතිලක සම්මානය මාලින්දට ලැබුණා. ඒ සයිමන් නවගත්තේගම මහතාගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතේ පරිවර්තනයට.

කවි පිළිබඳ මගේ දැනුම එච්චරම හොඳ නැති නිසා මට ලොකු ලොකු විචාරකයන් වගේ කවි ගැන මුකුත් කියන්න බැහැ. නමුත් මට දැනෙන දේ තමයි මාලින්ද බොහොම දක්ෂ විදියට වචන හසුරවමින් සංවේදී හැඟීමක් කියවන්නා තුල ඉතුරු කරන්න සමත් වන බව. ඒ වගේම මම කියවන්න බොහොම කැමති අංගයක් තමයි අපේ පුවත්පතේ විශේෂාංග ලිපි පළවන "FINE" කියන කොටසේ අන්තිම පිටුවේ මාලින්ද ලියන කවිය. එහි මාලින්ද ලියන්නේ කුමක් හෝ මාතෘකාවක් සම්බන්ධ පින්තූර එකතුවක් ගැන. අපි පින්තූර ගැන ගද්‍යයෙන් ලියනවාට වඩා අපූරුවට මාලින්ද ඒ ගැන පද්‍යයෙන් ලියනවා.

මෑතකදී නිකුත් කළ කවි පොත්
නිතර නිතර ලිව්වා කියලා මාලින්දගේ ලිවීමේ තත්ත්වය බාල වෙන්නේ නැහැ. මාලින්දට වඩා හොඳට ලියන්න පුලුවන් අය ඉන්නවා ඇති. ඊට වඩා වේගයෙන් ලියන්න පුලුවන් අයත් ඇති. නමුත්, එතරම් වේගයකින් එච්චර හොඳ තත්ත්වයේ නිර්මාණ කරන්න හැකි ය නම් හොයාගන්න හරිම අමාරුයි. භාෂා දෙකකින්ම ඒ දස්කම පෙන්නන්න හැකියාව තියෙන කෙනෙක් නම් හොයාගැනීම කළුනික හොයනවා වගේ දෙයක්.

නමුත් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න වාසනාව අපට ලැබිලා තියෙනවා. මාලින්ද කියන්නේ හරිම සරල ගති පැවතුම් තියෙන කෙනෙක්. වෙලාවකට හිනහත් යනවා මාලින්දගේ වැඩවලට. මාලින්ද හොඳ ලේඛකයෙක් වගේම දක්ෂ චෙස් ක්‍රීඩකයෙක්. චෙස් ක්‍රීඩාවෙන් ඉගෙනගත්තු බොහෝ දේ ඔහු නිතර ප්‍රායෝගික ජීවිතයේදි භාවිතා කරනවා. ඒ වගේම මාලින් ද හොඳ බෞද්ධයෙක්. බෞද්ධ ඉගැන්වීම්වල කියවෙන දේවල් ඔහු බොහොම වෙලාවට ජීවිතයේදි උපයෝගී කරගන්නා බව අපි දැක තියෙනවා.

මම ඔහුගේ දකින වැදගත්ම දේ තමයි, ඔහු කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වීම​. මාලින් ද කියන කරන දේ ගැන අපි කැමති වෙන්න පුලුවන්, අකමැති වෙන්න පුලුවන්. නමුත් ඒ ඕනම දෙයක් ගැන කතා බහ කරන්න ඔහු සූදානම්. ඒ අතින් මාලින්ද බොහොම නිහතමානී, විවෘත කෙනෙක්.

වරක් මාලින්ද මට කියාපු දෙයක් මට මතක් වෙනවා. බොහෝ මිනිසුන් මුණ ගැහෙන්න ඔහු කැමතියි. ඒ හැම කෙනෙක්ටම කියන්න දෙයක් තියෙන්න පුලුවන්. ඒ දේවල්වලින් අපි යමක් ඉගෙන ගන්නවා. ඒ වගේම වඩාත් සංවේදී වෙන්න ඉගෙනගන්නවා.

මාලින්දගේ සාහිත්‍ය නිර්මාණවල යම් සාර්ථකත්වයක් තියෙනවා නම් එහි රහස ඒකයි කියලා මම හිතනවා.

Saturday, May 17, 2014

නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකරයි

ඉන්දියාවේ අභිනවයෙන් අගමැති ධූරයට පත්වන නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකොට තිබේ.

ඊයේ දිනයේ ඉන්දියානු මහා මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ දුරකථනයෙන් නරේන්ද්‍ර මෝඩි ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ නරේන්ද්‍ර මෝඩි වෙත සිය සුබ පැතුම් එක්කොට තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිතුමා විසින් නරේන්ද්‍ර මෝඩි වෙත ආරාධනා කරනු ලැබුණි. මේ බව ජනාධිපතිතුමාගේ නිල ට්විටර් පිටුව හරහා නිවේදනය කෙරිණ.
නරේන්ද්‍ර මෝඩි (Mayur Bhatt, Wikimedia Commons)

මෙම නිවේදනයට තමන්ගේ ට්විටර් අඩවිය හරහා පිළිතුරු දුන් නරේන්ද්‍ර මෝඩි ජනාධිපති රාජපක්ෂ සමඟ කතා කිරීමට ලැබීම සතුටක් බවත්, ශක්තිමත් ඉන්දු-ලංකා සබඳතාවක් කෙරෙහි තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් කියා සිටියේය.

පසුගිය වසර කිහිපය ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවලට එතරම් යහපත් නොවීය. එයට මූලික හේතුව වූයේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ පාලක එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිගින් දිගටම තමිල්නාඩු දේශපාලකයන්ගේ කෙනිත්තිලිවලට ලක් වීමය. ලෝක් සභාවේ ආසන 545 න් 39 ක් තමිල්නාඩුවේ තිබීම මෙයට බලපෑ ප්‍රධානම කරුණයි.

නමුත් පසුගිය මහා මැතිවරණයේදී මෙම තත්ත්වය උඩු යටිකුරු විය. ජයලලිතාගේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය තමිල්නාඩුවේ ආසන 39 න 37 ක්ම දිනාගත්තේය. නරේන්ද්‍ර මෝඩි සහ භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ විශාල වශයෙන් ප්‍රචාරක කටයුතු කලද ඔවුනට එහි ලබාගත හැකිවූයේ එක අසුනක් පමණි. තමිල්නාඩුවේ බීජේපී පක්ෂය මින් පෙර කිසිදිනෙක වැදගත් දේශපාලන පක්ෂයක් නොවූ හෙයින් මේ එක ඇසුනද සැලකිය යුතු ජයකි. නමුත් මෙය එම පක්ෂය බලාපොරොත්තු වුවාට වඩා අඩු ජයකි.

කෙසේ වුවද, සමස්ත ඉන්දියාව සැලකීමේදී බීජේපී පක්ෂය ආසන 283 ක් දිනා ලෝක් සභාවේ බහුතරයක් දිනා ඇත. බීජේපී පක්ෂය සමඟ සන්ධානගත අනෙක් පක්ෂද තවත් ආසන 53 ක් දිනූහ. එහෙයින් මීළඟ අවුරුදු 5 තුල තමිල්නාඩුවේ පදයට නවදිල්ලිය නටනු ඇතැයි සිතීම අපහසුය. නරේන්ද්‍ර මෝඩි කුමන තත්ත්වයක් යටතේ වුවද කාගේවත් පදයට නටන තැනැත්තෙකු නොවේ. මේ ඡන්ද ප්‍රතිපලයත් සමඟ ඔහුට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.

ශ්‍රී ලංකාවට මෝඩි යහතින් තබාගැනීම වැදගත් වනු නොඅනුමානය. ඔහු ආචාර්ය මන්මෝහන් සිං මෙන් ඇමරිකානු හිතවාදියකු නොවේ. එමෙන්ම ඔහුගේ මූලික අරමුණු වන්නේ ආර්ථිකය දියුණු කිරීම සහ ත්‍රස්තවාදය පරාජය කිරීමයි. මෙම කරුණුවලදී ලංකාවට සහ ඉන්දියාවට එක්ව කටයුතු කල හැකිවිය යුතුය. ඇමරිකාව තරමක් පහත වැටී සහ චීනය නැගිටිමින් සිටින මෙම සමයේ චීනය සමඟද යහපත් සබඳතාවක් වර්ධනය කරගැනීම මෝඩිගේ බලාපොරොත්තුවක් වනු ඇත. එයද ලංකාවට වාසිදායකය. ශ්‍රී ලංකා රජයට මෝඩි සමඟ සහයෝගයෙන් කටයුතු කල හැකි නම් එය ශ්‍රී ලංකාවේ අයහපතට හේතු නොවනු ඇත.

Saturday, April 26, 2014

ලන්දේසින්ට අහිමි වූ කටුවන බලකොටුව

කටුවන බලකොටුවේ දොරටුව සහ කොටු පවුරේ කොටසක්
මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ එහි සිට මිද්දෙනිය නගරය කරා ගමන් කරන්නෙකුට වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහලවක් පමණ දුරින් පිහිටි කටුවන නගරයට පැමිණිය හැක. වලස්මුල්ල දෙසින් නගරයට ඇතුලු වී තරමක් දුර ගිය තැන, වම් පැත්තෙන් වන කුඩා මාර්ගයකට හැරී මඳ දුරක් ගමන් කිරීමෙන් ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවවේ ප්‍රවේශ දොරටුව අසළට පැමිණිය හැක.

කටුවන ප්‍රදේශයේ ඉතිහාසය අනාදිමත් කාළයකට දිව යන බැව් අනුමාන කළ හැක. මහාවංශයේ සඳහන් වන අන්දමට 12 වන සියවසෙහි පරාක්‍රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස කටුවන ප්‍රදේශය ගත හැක. වර්තමානයේ වුවද, කටුවන බලකොටුවේ පිහිටීම අනුව මෙම ස්ථානය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් වන්නට ඇති බැව් පැහැදිලි වේ.

කටුවන ලන්දේසි බලකොටුවේ ඓතිහාසික වැදගත්කම ඉහළ නංවන මූලික සාධකය වන්නේ එය රට අභ්‍යන්තරයෙන් පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීමය. තවද, පුරාවෘත්ත සහ ඓතිහාසික මූලාශ්‍ර එකට ගැලපීමෙන් කටුවන බලකොටුවේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාගත හැක්කේය.

ලංකාවට 1505 සිට පැමිණි බටහිර ජාතීන් විසින් කෙමෙන් කෙමෙන් රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගන්නා ලද බැව් අපි දනිමු. සිය පාලන ප්‍රදේශයන් දේශීය මෙන්ම විදේශීය ප්ර්තිවාදීන් ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස ඔව්හු රටේ මූලෝපායිකව වැදගත්වන ස්ථානයන්හි බලකොටු ඉදි කළහ. පළමුවෙන් මෙසේ බලකොටුවක් ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසින් කොළඹදීය. බොහෝ බලකොටු ඉදිකරවන ලද්දේ වෙරළබඩ ප්‍රදේශවලය. එහෙත් පසු කාලීනව, උඩරට රාජ්‍යයෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් මුහුදුබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම මෙන්ම උඩරට ආක්‍රමණයකදී මූලස්ථාන ලෙස යොදා ගැනීම යන මූලික අරමුණු දෙකම පෙරදැරි කරගෙන උඩරට දේශසීමාව ආසන්නයේද බලකොටු ඉදිකරන ලදී. පෘතුගීසීන් විසින් මෙසේ ඉදිකළ බොහෝ බලකොටු අද වනවිට දක්නට නොලැබේ. මේ ඇතැම් බලකොටු ලන්දේසීන් විසින් වැඩිදියුණු කර ඇති අතර තවත් සමහර බලකොටු ඔවුන් විසින් අලුතෙන්ම ඉදි කරන ලදී. කටුවන, එසේ අලුතෙන්ම සෑදූ ලන්දේසි බලකොටුවකි.

1697 දී ඉදිකළ කටුවන බලකොටුව, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙලෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ, එනම් උඩරට රාජ්‍යයේ දකුණු දිග සීමාව ආසන්නයේ පිහිටවන ලද විශාලතම බලකොටුව වන්නේය. මෙම ස්ථානයේ මූලෝපායික වැදගත්කමට මූලික හේතුව වන්නේ බලකොටුව උඩරට කඳුකරයේ දකුණු සීමාවට මුහුණලා සිටීමයි. අද වනවිට රූස්ස ගස් වැවී තිබීම හේතුවෙන් බලකොටුවේ සිටින අයකුට බොහෝ දුර නොපෙනුනද, අතීතයේදී මෙම ස්ථානයට ඉතා ඈත ප්‍රදේශ මනාව දිස් වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

1734 දී බලකොටුවට පැමිණි ලන්දේසි ඉතිහාසඥ යොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් (Heydt), බලකොටුවේ එවක පැවති තත්ත්වය පිළිබඳ සඳහන් කරයි. ඔහු සඳහන් කරන අන්දමට බලකොටුව සමචතුරශ්‍රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලකි. එහි සමචතුරශ්‍රාකාර හැඩය මඳක් විකෘති වන්නේ ප්‍රතිමුඛ කොන් දෙකක වන මුරපලවල් (බැස්ටියන්) දෙකක් හේතුවෙනි. මේ එක් මුරපලක කාලතුවක්කු හය බැගින් වූ බැව් හෙයිත් සඳහන් කරයි.

බලකොටුවේ පැත්තක දිග අඩි 150 ක් වන අතර කොටු පවුර පිටතින් අඩි 20 ක් උසය. කොටු පවුර මත මංපෙත අඩි 10 ක් පළලින් යුතු බැව් හෙයිත් සඳහන් කරයි. බලකොටුවේ ඇතුලත චතුරශ්‍රාකාර මැද මිදුලක් වෙයි. කොටු පවුරට යාබදව පිහිටුවා ඇති ගොඩනැගිලි කිහිපයක පාදම් ද එහි දිස් වේ.
කටුවන බලකොටුවේ බිම් සැලැස්ම
හෙයිත්ගේ වාර්තාව අනුව බලකොටුවේ පිරිස් බලය 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වී ඇත. එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ සාර්ජන්ට්වරයෙකි. බලකොටුවේ දොරටුවෙන් ඇතුලු වන්නෙකුට ඔහුගේ දකුණු අත පැත්තෙන් කෙළවරේම දිස්වන ගොඩනැගිල්ල අණදෙන නිලධාරියාගේ නිල නිවසය. ඊට යාබදව ගබඩාවක් වන අතර එයින් වම් පසින් වෙඩි උණ්ඩ ගබඩාව සහ ඊටත් වම් පසින් වෙඩි බෙහෙත් ගබඩාව වේ. වෙඩි බෙහෙත් ගබඩාව පිහිටියේ දොරටුවට මුහුණලා ය. තවද එය තට්ටු දෙකකින් යුතු විය. ඊට වම් පැත්තෙන් හමුදා බැරැක්ක විය. දොරටුවෙන් වම් පැත්තේ ළිඳක් ද ඊට යාබදව වෛද්‍ය නිලධාරියාගේ කාර්යාලයද විය. බලකොටුවේ වැසි වතුර බැසයාමට ක්‍රමවේදයක් වූ බව සඳහන් ය.

කටුවන බලකොටුව ලන්දේසි හමුදා විසින් භාවිතා කළේ 1761 වනතුරු පමණි. එම වසරේදී සිදු වූ උඩරට ආක්‍රමණය අවස්ථාවේ බලකොටුව අත හැර දමන ලදී. පුරාවෘත්තවල සඳහන් අන්දමට මෙම ප්‍රහාරයේ පෙරමුණ ගත්තේ මඩුවන්වෙල දිසාවේගේ පරම්පරාවේ කෙනෙකි. ඔහු ජය සංකේතයක් ලෙස බලකොටුවේ ගේට්ටුව ගලවාගෙන ගියේය. එය මඩුවන්වල වලව්වේ ගේට්ටුවක් ලෙස සවිකොට ඇත.
ඇතුලත මැද මිදුල

බලකොටුව අත හැර දමන ලද පසු එය වනාන්තරයෙන් වැසී ගත්තේය. නමුත් පසු කාලීනව කටුවන නගරය කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ විය. 20 වන සියවසේ මුල් කාළයේ කටුවන රෝහල ඉදි කරන ලද්දේ කොටු පවුරට යාබදවය. පසු කාලීනව එය වෙනත් තැනකට ගෙනයන ලදී.

මේ අතර 2007 වසරේදී නෙදර්ලන්ත ආධාර ඇතිව කොටුවේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී. මේ අනුව ගරාවැටී තිබූ ප්‍රධාන ආරුක්කුව යථා තත්ත්වයට පත් කරන ලදී. තවද, කොටුපවුරේ ඉදිරි දොරටුව දෙසට වැටී ඇති මාර්ගය සකස් කොට එහි තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ලංකාවේ ලන්දේසි බලකොටු සහ දකුණු පළාතේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්නකුට කටුවන බලකොටුව දැක බලාගැනීම වටිනා අත් දැකීමක් වනු ඇත.

Thursday, April 24, 2014

නැපෝලියන් අධිරාජයා යළි බලයට පැමිණීම​

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා 1814 අප්‍රේල් 11 වනදා ෆොන්ටෙන්බ්ලූ ගිවිසුම් ප්‍රකාරව සිහසුන අත හැරියේය​. (ඒ කොටස කියවන්න මෙතැනින්) එම මාසයේම 28 වනදා ෆ්‍රේයුස්වලින් නැව් නැංග හෙතෙම එල්බා දිවයින කරා ළඟා වූයේය​. මේ අතර XVIII වන ලුවී ප්‍රංශයේ අභිනව රජු ලෙස පත් වූයේය​.

1814 මැයි මස 30 වනදා ප්‍රථම පැරිස් ගිවිසුම ලෙස නම් කෙරුණ ගිවිසුම් කිහිපයක් මඟින් තාවකාලික සාම කොන් දේසි සඳහා එකඟතාවයක් ඇතිකරගන්නා ලදී. ඒ අනුව ප්‍රංශයට 1792 නොවැම් බර් 1 වනදා විප්ලවවාදී යුද්ධවලට පෙර තිබූ දේශසීමා නැවත ලැබිණ​. මේ අතර අවසාන කොන්දේසි පිළිබඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වියානා නගරයේදී සම්මේලනයක් පැවැත්වීමට තීරණය කෙරිණ​.

සැප්තැම්බරයේදී වියානා සංගමය රැස්වූ කල්හි මිත්‍ර රටවල් තමන් දිනූ සාමය නැතිකරගැනීමේ කඩ ඉමට ළඟා වූහ​. රුසියාවේ පළමු ඇලෙක්සැන්ඩර් සාර් තෙමේ සමස්ථ පෝලන්තය ඉල්ලා සිටියේය​. ඔස්ට්‍රියාවේ විදෙස් ඇමති මැටර්නික්, ප්‍රංශ විදෙස් ඇමති ටැලිරන්ඩ් යන දෙදෙනාගේ සහය ඇතිව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාසල්රි මෙම ඉල්ලීමට තරයේ විරුද්ධ වූයේය​. මෙම රටවල් ත්‍රිත්වයම රුසියාවේ බලය යුරෝපයේ පැතිරීම කෙරෙහි බිය වූහ​. යම් ලෙසකින් රුසියාවට පෝලන්තයම ලැබුණි නම් රුසියානු දේශසීමාව ජර්මනිය අසළට පැමිණීම මඟින් මධ්‍යම යුරෝපයේම බල තුලනය අවුල් වීමට ඉඩ තිබිණ​.

මෙම මතගැටුම කෙතරම් දරුණු වීද යත්, 1815 ජනවාරි වනවිට උක්ත රටවල් තුන විසින්, රුසියාවට එරෙහිව යුධ වැදීම සඳහා 450,000 ක හමුදාවක් සූදානම් කිරීමට පවා එකඟ වූහ​. මේ අතර වියානා සාකච්ඡාද දිගටම සිදුවෙමින් පැවතින​.

නැපෝලියන් එල්බාවෙන් පිටවීම​ (Joseph Beaume)
මේ අතර 1815 මාර්තු 4 වනදා, වියානා නගරය බියෙන් ඇලලූ පුවතක් වාර්තා විය​. එනම් නැපෝලියන් එල්බාවෙන් පළාගිය පුවතය​.

වියානාවට මෙම පුවත ලැබෙද්දී නැපෝලියන් සිටියේ ප්‍රංශයේය​. එල්බාවට පිටුවහල් කළ දින පටන් හෙතෙම ඇඟිලි ගැන ගැන සිටියේ නැවත ප්‍රංශයේ බලය ලබාගන්නා දිනයක් එනතුරුය​. පිටුවහල් වී සිටියද වියානාවේ මිතුරු රටවල් අතර වූ මතභේද සහ ප්‍රංශ වැසියන් තුල මතුවෙමින් පැවති ඉච්ඡා භංගත්වය පිළිබඳ ඔහුට තොරතුරු ළඟා වෙමින් පැවැතියේය​. මේ හේතුවෙන් 1815 පෙබරවාරිය වනවිට යළි ප්‍රංශයට යෑමට ප්‍රශස්ථ කාළය එලඹ ඇති බැව් නැපෝලියන් තීරණය කළේය​.

මේ අනුව පෙබරවාරි 26 වනදා l'Inconstance නැව සහ තවත් යාත්‍රා හයකින් නැපෝලියන් සහ 600 ක් වූ ඔහුගේ පිරිස පෝර්ටෝ ෆෙරාජෝ වරායෙන් ප්‍රංශය බලා නැව් නැංගහ​. ප්‍රංශ මුර සංචාරක නෞකාවලින් ගැලවී මෙම කණ්ඩායම මාර්තු 1 වනදා ජුවාන් බොක්කට (Golfe-Juan) ගොඩ බැස්සෝය​.

නැපෝලියන් ප්‍රංශයට නැවත පැමිණීමේ තීරණාත්මක සිදුවීමක් 1815 මාර්තු 7 වනදා සිදු විය​. නැපෝලියන් සහ ඔහුගේ සෙනඟ ග්‍රෙනෝබල් නගරය අසබඩ වූ ලෆ්‍රෙ දුර්ගය වෙත ළඟාවූහ​. මෙම ස්ථානයේ රැඳී සිටියේ ප්‍රංශ හමුදාවේ 5 වන රෙජිමේන්තුවයි.

නැපෝලියන් ඉදිරියට එනු දුටු එම රෙජිමේන්තුවේ රාජාණ්ඩුවාදී නිලදරුවෙක්, "අන්න ඌ එනවා! වෙඩි තියාපල්ලා!" යයි අණ කළේය​.
නැපෝලියන් සිය අංගාරක්ෂක හමුදාවේ කර්නල් මැලේ (Mallet) දෙස හැරුණි.
"සෙබලුන්ට තුවක්කු කටවල් පහතට තියෙන ලෙස ඒවා වමත පිටිපස සඟවා ගන්නට කියන්න​" ඔහු අණ දුන්නේය​.
ඉක්බිතිව සිය පිරිසෙන් ඉදිරියට පැමිණි නැපෝලියන් ප්‍රතිවාදී හමුදා රෙජිමේන්තුව ඇමතීය​.
"5 වන රෙජිමේන්තුවේ සෙබලුනි. තොප මා දන්නෙහුද​? මම තොපේ අධිරාජයා වන්නෙමි. කැමැති අයෙක් වෙඩි තබව!"
එහෙත් සිදු වූයේ අනෙකකි. රෙජිමේන්තු සෙබලුන් අතරින් "අධිරාජයා දිනේවා!" යයි කාහල නාදයක් මතු වූයේය​. නැපෝලියන් එකදු වෙඩිල්ලකුදු නොතබා එම සටන දිනුවේය​.

අධිරාජයාගේ පුනරාගමනය පිළිබඳ ආරංචිය බුර්බන් රාජාණ්ඩුව කෙරේ කලකිරී සිටි ජනතාවගේ සිත් සතන් පිනා ගිය සුභාරංචියක් වූයේය​. නගරයක් නගරයක් පාසා ඔහුට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබිණ​. නැපෝලියන් පැරිස් නුවරට ළඟා වනවිට වන ලුවී රජතෙමේ සිය මහලු වයසට ද නුරුස්සන වේගයෙන් නගරයෙන් මෙන්ම ප්‍රංශයෙන් ද පළා ගියේය​. 1815 මාර්තු 20 වනදා, එනම් සිය පුත්‍රයාගේ සිව්වන ජන්ම දිනයදා, නැපෝලියන් අධිරාජයා යළි පැරිසියට ළඟා වූයේය​.

Sunday, April 20, 2014

කුරිරුබවේ ප්‍රතිමූර්තියක් පමණක්ම නොවූ ඇඩොල්ෆ් හිට්ලර්

අදින් වසර 125 කට පෙර ඔස්ට්‍රියාවේ ජර්මන් දේශසීමාබද බ්‍රවුනාවු ඇම් ඉන් නම් නගරයක පිරිමි දරුවෙක් උපන්නේය​. ඔහුට සාමාන්‍ය ජර්මන් නමක් වූ ඇඩොල්ෆ් යන නම තබන ලදී. ඔහුගේ ළමා කාලය එතරම් ප්‍රියමනාප එකක් නොවීය​. එසේම ඔහු පාසැලේදීද එතරම් දක් ෂ දරුවකු නොවීය​. නමුත්, අනෙක් ඔහු මෙන්ම නරක ළමා කාලයක් හිමිවූ බොහෝ අයට වඩා විශාල විනාශයක් මානව සංහතියට අත් කරදීමට හෙතෙම ක්‍රියා කළේය​. එහෙයින් මේ ජර්මන් ජාතිකයා කුරිරුබවේ ප්‍රතිමූර්තියක් බවට පත් වූයේය​. හේ නමින් ඇඩොල්ෆ් හිට්ලර් නම් විය​.

ඇතමෙකුට හිට්ලර් වැදගැම්මකට නැති විනාශකාරී මෘගයකු වූයේය​. තවකෙක්ට ඔහු කුසලතාවයෙන් හෙබි මුත් අවස්ථාවක් නොලදින් එම කුසලතා මොටවූ ආධුනික චිත්‍ර ශිල්පියෙක් විය​. ඇතමෙකුට ඔහු වීරයෙක් විය​. නමුත් සැබෑ කතාන්තරය එක් අන්තයකට බර නොවූ එකක් වීමට ඉඩ ඇත​. ඇතැම් විටෙක ඔහුට නියමාකාරයෙන් අවස්ථාව ලැබුණි නම් හිට්ලර් සහමුලින්ම වෙනස් පුද්ගලයකු වන්නට ඉඩ තිබිණ​. නමුත් එය කිසිවකුට නිශ්චිතව කිව නොහැක​.
1940 ජූනි මාසයේ සිය හමුදා පැරිසිය යටත් කරගෙන දින කිහිපයකින් හිට්ලර් එහි සංචාරය කළේය​. 1944 දී, පැරීසිය අහිමි වීමට ආසන්න වූ විට ඔහු නගරයේ වැදගත් ස්ථාන විනාශ කිරීමට අණ දුන්නේය​. ඒ ස්ථාන අතර අයිෆල් කුලුණ ද වූයේය​.

සිය තරුණ අවධියේ වසර කිහිපයක් හිට්ලර් ගතකළේ ජර්මනියේ මියුනික් නගරයේය​. එහිදී ඔහු බොහෝ ලෙස කියවීමට ඇබ්බැහි වූයේය​. නමුත් ඔහු කියවූයේ ඔහුට රිසි වූ අදහස්වලින් යුත් පොතපත පමණි. එහෙයින් ඔහු ලෝකය පිළිබඳ සමතුලිත වූ චින්තනයක් දියුණු කරගත්තේ නැත​. පසු කලෙක ඔහු ප්‍රචාරය කළාවූ සහ ක්‍රියාවට නැංවූ බොහෝ අදහස් හිට්ලර් තුල පැලපදියම් වන්නට ඇත්තේ මේ කාළයේය​. කෙසේ වුවද මෙකල ඔහු ගෙවූයේ ඉලක්කයක් නැති ජීවිතයකි. මිල මුදල් අතින් අපහසුතා තිබුණද ඒ පිළිබඳ වැඩි යමක් කිරීමට ඔහු අකැමති වූයේය​.

මේ හේතුව නිසාම පළමු ලෝක යුද්ධය හිට්ලර්ට වෙනත් විකල්පයක් විවර කළේය​. එනම් සොල්දාදුවකු වීමයි. යුද්ධය ඔහුව විරැකියාවෙන් මුදවාලූයේය​. යුද්ධය අවසන් වීමට කළකට පෙර ඔහු ප්‍රතිවාදීන් විසින් එල්ල කළ විෂ වායු ප්‍රහාරයකට ගොදුරු වූයේය​. ජර්මන් ජාතිකවාදීන් විසින් "පිටිපසින් පැමිණ පිහියෙන් ඇනීම​" ලෙස හඳුන්වා දෙන 1918 ජර්මන් විප්ලවය සිදුවන විට ඔහු සිටියේ රෝහලේය​. ඔහු එම විප්ලවයට දැඩිව වෛර කළේය​.

හිට්ලර් දේශපාලනයට එක් වූයේ 1919 දී ජර්මන් කම්කරු පක්ෂය (Deutsche Arbeiter Partei) සමඟ එක් වීමෙනි. එය ඉතා කුඩා පක් ෂයක් වූ අතර මේ නිසාම ඔහුට එහි නායකත්වයට ළඟා වීම අපහසු නොවීය​. ඔහුගේ දේශපාලන දිවියේ බොහෝ විට ඔහුට උපකාරී වූ ගුණාංග කිහිපයක් විය​. හිට්ලර් දැඩි මතධාරියකු විය​. යම් අදහසක එල්බ ගත්විට පහසුවෙන් එය වෙනස් නොකළේය​. මෙය ඔහුට බොහෝ විට උපකාරී වූයේය​. ඒ අතරම ඔහු සිය ප්‍රතිවාදීන් පිළිබඳව මනාව වටහා ගත්තේය​. ඔවුනගේ දුර්වලතා හඳුනාගෙන එයින් ප්‍රයෝජන ගැනීමට ඔහු පසුබට නොවීය​.

හිට්ලර්ට බලයට පැමිණීම සඳහා 1929 ආර්ථික අවපාතය කෙළින්ම උපකාරී වූයේය​. ජර්මන් ආර්ථිකය කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වූ පසුබිමක​, හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය නොහොත් නාසි පක්ෂය ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වූයේය​. හිට්ලර් සිය ආවේගශීලී කථිකත්වය සහ දැවැන්ත ප්‍රචාරණය ඔස්සේ විශාල ජනකායක් සිය වසඟයට ගත්තේය​. ජර්මන් ජාතිය යළිදු ශ්‍රේෂ්ඨත්වයට ඔසවා තැබීමට ඔහු ප්‍රතිඥා දුන්නේය​.

බලයට පත් වූ පසු හිට්ලර් තමා සතුව තිබූ තුරුම්පු මනාව පාවිච්චි කළේය​. සාමය සඳහා ඇතැම්‍ යුරෝපා නායකයන් තුළ වූ කැමැත්තෙන් උපරිම පළ නෙලාගත් ඔහු එ එ වෙනුවෙන් විශාල මිලක් ලබාගත්තේය​. මේ කෙරෙහි බ්‍රිතාන්‍යය​, ප්‍රංශය මෙන්ම වෙනත් ඇතැම් රටවල නායකයින් ද අඩු වැඩි වශයෙන් වගකිව යුත්තාහ​.

දෙවන ලෝක යුද්ධය ආරම් භ වූ පසු ඔහු බටහිර පෙරමුණේ සටනේ මූලික ජයග්‍රහණයට බෙහෙවින් හේතු විය​. ඔහුගේ ජෙනරාල්වරුන් අපහසු යයි පැවැසූ ඇතැම් දේ ඔහුගේ හමුදා ඉටු කොට පෙන්වූය​. ප්‍රබල ප්‍රංශය දණගස්වන්නට ජර්මනියට ගතවූයේ මාසයකට මඳක් වැඩි කාළයක් පමණි. හිට්ලර්ගේ නිර්මාණශීලී, ගතානුගතික නොවූ හමුදා උපක්‍රම ප්‍රහාරක මෙහෙයුම්වලදී මහත් ප්‍රයෝජනවත් වූයේය​. මෙයින් සිදු වූයේ හිට්ලර්ට තම ජෙනරාල්වරුන් ගැන අවතක්සේරුවක් සහ තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇතිවීමයි. මෙය පසු කාලීනව යුද්ධයේ පරාජයට බෙහෙවින්ම ඉවහල් වූයේය​.

යුද්ධයේ අවසාන මාසවලදී, පරාජය හමුවේ හිට්ලර් වියරු වැටුණේය​. කිසිත් නොරුස්සන​, ප්‍රකෝපකාරී ගතිගුණ නිරන්තරයෙන් මතුවන්නට විය​. වෙසෙසින්ම 1944 ජූලි 20 වනදා ඔහු ඝාතනයට කළ උත්සාහයෙන් පසු තත්ත්වය බෙහෙවින් දරුණු වූයේය​. තාර්කික අදහස් පිළිගන්නට ඔහු කිසිසේත් සූදානම් නොවීය​. අවසාන කාළයේ ඔහු තුළ වූයේ විනාශකාරී මානසිකත්වයකි. එහෙත් යුද්ධය අවසානයේ රුසියානු හමුදා සිය බංකරය අසළටම පැමිණෙන විට අන් සරණක් නැති බව දුටු හෙතෙම සියදිවි නසාගත් බව සැලකේ.

Saturday, April 19, 2014

නොම්පෙන්, කාම්බෝජය: 1975 අප්‍රේල් 17


1975 අප්‍රේල් 16 වනදා කැම්පූචියානු කොමියුනිස්ට් පක්ෂයේ (Communist Party of Kampuchea-CPK) ගුවන්විදුලිය මගින් පහත ආකාරයේ නිවේදනයක් නිකුත් විය.

ආදරණීය සහෝදරයිනි, සහෝදරියනි, කම්කරුවනි, තරුණයිනි, ශිෂ්‍යයිනි, ගුරුවරුනි, නිලධාරීනි. මේ ඔබේ අවස්ථාවයි. මේ අමතන්නේ අපගේ කාම්බෝජ ජනරජයේ ජාතික විමුක්ති හමුදාවයි. සහෝදරවරුනි, කැරලි ගසන්න; නැගී සිටින්න. නොම්පෙන් නගරය නිදහස් කරගැනීමේ අවස්ථාව ඔබ සතුයි.

-උපුටා ගැනීම Ben Kiernan විසින් ලියන ලද The Pol Pot Regime: Race, Power and Genocide in Cambodia under the Khmer Rouge, 1975-79. (Yale University, 1996)

නමුත් නොම්පෙන් වැසියන් එවකට සිටියේ අවශ්‍ය වුවත් කැරලි ගැසීමේ මානසිකත්වයෙන් නොවේ. තවමත් ඔවුන් සිටියේ කාම්බෝජ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරමිනි. රටේ දේශපාලන තත්ත්වය විශාල විපර්යාසයකට භාජනය වන බව ඔවුන් නොදැන සිටියේ නොවේ. නමුත් ළඟ එන මහා විපත්තිය පිළිබඳ කිසිදු හැඟීමක් ඔවුනට නොවීය.

නොම්පෙන් නගරයට එල්ලවන තර්ජනය දරුණු අතට හැරෙන්නට පටන් ගත්තේ 1975 මුල් කාලයේ සිටය. මේ වනවිට කෙමර් රූජ් භටයෝ (කැම්පූචියා කොමියුනිස්ට් පක්ෂ සෙබළු) රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල සිය බලය පතුරා සිටියහ. 1975 පෙබරවාරියේ ඔවුහු නොම්පෙන් නගරයට කිලෝමීටර 10 ක් ගිනිකොණ දෙසින් මීකොන්ග් ගඟ අසබඩ පිහිටි නික් ලුන්ග් (Neak Leung) නගරයට පහර දීමට වන්හ. මෙම ප්‍රහාරය දියත් කලේ නැගෙනහිර කලාපයෙන් පැමිණි 126 වන කෙමර් රූජ් රෙජිමේන්තුවයි. (කැරලිකරුවෝ රටෙහි ප්‍රදේශ කලාපවලට බෙදාගෙන තිබුණි. මේවා නම් උතුර, ඊසාන, නැගෙනහිර, නිරිත, බටහිර, වයඹ සහ මධ්‍යම කලාපයි).

කුඩා නගරයක් වුවද, නික් ලුන්ග් නගරය නොම්පෙන්හි ආරක්ෂාවට ඉතා වැදගත් ස්ථානයක් විය. දකුණු වියට්නාමය සහ නොම්පෙන් අතර සැපයුම් මාර්ගය වැටී තිබුනේ මීකොන්ග් ගංගාව ඔස්සේය. එහෙයින් නික් ලුන්ග් අල්ලාගෙන එම සැපයුම් මාර්ගය කපා හැරීමට කෙමර් රූජ් භටයින්ට අවශ්‍ය විය. එම නගරය අල්ලාගත් පසු නොම්පෙන් ආරක්ෂා කිරීම අපහසු බව කවුරුත් දැන සිටියහ.

මේ වනවිට කාම්බෝජයේ භූමි ප්‍රමාණයෙන් විශාල කොටසක බලය කෙමර් රූජ් සංවිධානය අතට පත්ව තිබිණ. එම සංවිධානයට ග්‍රාමීය, දුප්පත් ගොවීන්ගේ සහය ලැබුණ අතර ඔවුනට බිය වූ බොහෝ දෙනා නගරවල ආරක්ෂාව සොයා පැමිණ තිබිණ. නොම්පෙන් නගරයේ ජනගහනය 1970 දී ලක්ෂ 6 ක් (600,000) පමණ වූ නමුත් 1975 වනවිට එය මිලියන 2 ක් හෙවත් ලක්ෂ 20 ක් (2,000,000)  වී තිබිණ. මේ ජනතාවට ආහාර සැපයීම කල නොහැක්කක් බවට පත්වෙමින් තිබුණි. මීකොන්ග් නදිය ඔස්සේ වූ සැපයුම් මාර්ග නගරයේ අවසන් බලාපොරොත්තුව විය.

එහෙත්, 1975 අප්‍රේල් 1 වනදා නික් ලූන්ග් නගරය කෙමර් රූජ් භටයන් අතට පත් විය. එදිනම කාම්බෝජ ජනපති ලොන් නොල් රට අතහැර පලා ගියේය. මේ අතර කෙමර් රූජ්වරු තුන් දිශාවකින් නොම්පෙන් දෙසට ගමන් කරන්නට වූහ. වැඩබලන ජනාධිපති සවුකම් කෝයි ද අප්‍රේල් 12 වනදා රටින් පලාගියේ ඇමරිකානු තානාපති නිලධාරින් සමගය. එයින් දින 5 කට පසු අප්‍රේල් 17 වනදා උදේ වරුවේ, කෙමර් රූජ් භටයෝ නොම්පෙන් අගනුවරට ඇතුළු වූහ.

සියලු කෙමර් රූජ් සේනාංක නොම්පෙන් නුවරට ඇතුලු වූ පසු හැසිරුනේ එකම අයුරින් නොවේ. ඇතැම් සේනාංක මධ්‍යස්ථ ලෙස හැසිරුණ නමුත් බොහෝ කණ්ඩායම් ඉතා දරුණු ලෙස කටයුතු කළහ. බොහොමයක් අවස්ථාවලදී හිටපු රජයේ හමුදා සෙබලුන් දුටු තැන ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් කෙමර් රූජ් භටයින් අනුගමනය කළද, ඔවුනට අභය දානය දුන් අවස්ථාද වාර්තා විය.

කෙමර් රූජ් සංවිධානය විසින් එදින සිදු කරන ලද දැවැන්තම විපර්යාසය නම් නොම්පෙන් නගර වැසියන් ඉන් පිටමං කිරීමයි. මෙම තීරණය පිළිබඳව පවා සියලු කෙමර් රූජ් නායකයින් දැන නොසිටියහ. මෙම තීරණය පෙබරවාරි මාසයේදී පමණ ගන්නා ලද බව සැලකේ. නමුත් අප්‍රේල් 17 වනදා උදෑසන වනවිටත් ඒ පිළිබඳව නියමාකාරයෙන් දැන සිටියේ කෙමර් රූජ් නායක පොල් පොට් ප්‍රමුඛ ඉහළ පෙළේ නායකයන් පිරිස පමණි. කෙසේ වෙතත් එදින නොම්පෙන් නගරය යටත් වූ පසු මිලියන 2 ක ජනකායක් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ විය. බාල ,මහලු, ස්ත්‍රී, පුරුෂ, රෝගී, නිරෝගී භේදයකින් තොරව සියල්ලන්ම නගරයෙන් පිටවිය යුතු වූ අතර ඔවුනට යාමට සිදු වූයේ පයින්මය. නොම්පෙන් රෝහලේ රෝගීන් පවා මෙලෙස පිටමං කරන ලදී.

නගරයෙන් පිටත වූ මුරපොළවලදී නගරවාසීනට ඔවුන් යායුතු ප්‍රදේශ දන්වන ලදී. ඔවුන් සතුව තිබූ පොත් පත් සහ  නවීන සමාජයට අයත් බඩුබාහිරාදිය සියල්ල පවරා ගන්නා ලදී. පැරණි රජයේ නිලධාරීන් හෝ සෙබලුන් හෝ හසුවී නම් ඔවුන් වෙන්කරන ලද අතර ඉන්පසු ඝාතනය කෙරිණ. මේ අතර නගරයේ ගෙවල් දොරවල්වල වූ බඩුමුට්ටු එළියට ඇද ඒවා ගිනිතැබූ කෙමර් රූජ් භටයෝ ගෙවල්වල සැඟව සිටි අය ඝාතනය කළහ. නොම්පෙන් නගරයේ වැසියන්ගෙන් 20,000 ක් පමණ නගරය තුලදී සහ ගම්මානවලට සංක්‍රමණය වීමේදී මියයන්නට ඇතිබවට අනුමාන කෙරේ.

පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් නායකත්වයට අවශ්‍ය වූයේ පැරණි සමාජය මුලිනුපුටා දමා අලුත් සමාජයක් නිර්මාණය කිරීමයි. ඔවුන්ගේ විප්ලවවාදී දිනදර්ශනයට අනුව 1975 අප්‍රේල් 17 වනදා 0 වන අවුරුද්දේ පළමු දිනය සහ නව සමාජයක් නිර්මාණය වීමේ සමාරම්භක දිනය වූයේය. මෙම නව සමාජය නිර්මාණය කිරීමේ විකාර එමෙන්ම කුරිරු වැඩපිළිවෙල 1979 ජනවාරි 7 වනදා නිමාව දකින විට, කාම්බෝජ ජනගහනයෙන් හතරෙන් එකක් එය විසින් බිලිගෙන තිබිණ.

Friday, April 18, 2014

1930 පාපන්දු ලෝක කුසලානය

යූල්ස් රිමේ

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වීමේ අදහස 1904 ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ආරම්භ කරන අවධියේද පැවති නමුත් එම අදහස එකළ එතරම් ජනප්‍රිය නොවීය. ඊට ප්‍රධාන හේතුව වූයේ එකළ ඔලිම්පික් උළෙලෙහි පාපන්දු තරඟාවලිය ලෝක පාපන්දු කුසලානයක් හා සමාන ලෙස සැලකීමයි. එනිසා 1920 ගණන් වනතුරු පාපන්දු ලෝක කුසලානයක අවශ්‍යතාවය එතරම් නොදැනුණි.

නමුත් 1920 ගණන් වනවිට මේ තත්ත්වයේ වෙනසක් සිදු විය. මේ කාළය වනවිට චෙකොස්ලොවැකියාව, හන්ගේරියාව සහ ඔස්ට්‍රියාව වැනි රටවල වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් බිහිවන්නට විය. එහෙයින් එම ක්‍රීඩකයනට ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වූයේය. මක්නිසාද යත්, අන්තර්ජාතික ඔලිම්පික් සමුලුවේ (IOC) නීති රීති ප්‍රකාරව වෘත්තීය ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ ඉඩකඩ නොමැති වීමයි. එහෙයින්, ඔලිම්පික් උළෙල සඳහා තමන්ගේ හොඳම කණ්ඩායම ඉදිරිපත් කිරීමට හැකියාවක් නොලැබීම පිළිබඳ එම රටවල් මැසිවිලි නගන්නට විය. මෙය IOC සහ FIFA අතර මතභේදයකටද හේතු විය. මේ අතර ඔලිම්පික් උළෙලට සහභාගී වන ඇතැම් දකුණු ඇමරිකානු කණ්ඩායම්වල ආධුනික ස්වාභාවය පිළිබඳද ගැටලු මතුවිය.

කෙසේ වුවද පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් වෙනමම පැවැත්වීමේ අවශ්‍යතාව තදින්ම දැනෙන්නට වූයේ 1932 ඔලිම්පික් උළෙලෙන් පාපන්දු ක්‍රීඩාව ඉවත් කරනු ලැබීමත් සමඟය. එවර ඔලිම්පික් උළෙල පැවැත්වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේය. එක්සත් ජනපදයේ පාපන්දු ක්‍රීඩාව එතරම් ජනප්‍රිය නොවීම හේතුකොටගෙන සංවිධායකයෝ එම පියවර ගත්හ. ඒ සමඟම ලෝක පාපන්දු සම්මේලනයේ පාලනය යටතේ පැවැත්වෙන වෙනමම තරඟාවලියක අවශ්‍යතාවය මතු විය. මෙම අදහස ක්‍රියාත්මක කිරීමේ මූලිකත්වය ගත්තේ එවක ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වූ යූල්ස් රිමේ (Jules Rimet) ය. 1928 ඇම්ස්ටර්ඩෑම් නගරයේ පැවති FIFA සමුළුවකදී ඔහු විසින් මෙම අදහස ඉදිරිපත් කරන ලදුව ඡන්ද 25-5 ලෙස එම යෝජනාව අනුමත කරගන්නා ලදී.

නෙදර්ලන්තය, හන්ගේරියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ උරුගුවේ රාජ්‍යය පළමු පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කළහ. නමුත් එම ගෞරවය හිමිවූයේ උරුගුවේ රාජ්‍යයටය. ඒ වනවිට එරට පාපන්දු ඔලිම්පික් ශූරයින්ද වූ අතර ලෝක කුසලානය පැවැත්වූ 1930 වසරේ එරට නිදහසේ ශත සංවත්සරයද යෙදී තිබිණ. එමෙන්ම එම රට ලෝක කුසලානය සඳහා සහභාගී වන සියලු කණ්ඩායම්වල ගමන් වියදම් දැරීමට කැමැත්ත පල කිරීමද එරටට එම භාග්‍යය ලැබීමට හේතු විය. මේ අතර මෙවන් තරඟාවලියක් පැවැත්වීමේ වියදම පිළිබඳ අවබෝධ වීම හේතුවෙන් අනෙක් රටවල්ද මුලින් තිබූ උනන්දුව පසුව දක්නට නොලැබිණ.

තරඟාවලියට සහභාගී වූයේ රටවල් 13 ක් පමණි. එයිනුත්, යුරෝපා රටවල් වූයේ හතරක් පමණි. යුරෝපයේ සිට ලතින් ඇමරිකාවට ගමන් කිරීම සඳහා ගතවන කාළය මීට බෙහෙවින් හේතු විය. යූල්ස්‌ රිමේ ප්‍රංශ ජාතිකයකු වූ නිසා එරටට කණ්ඩායමක් යැවීමෙන් වැළකීමට හැකියාවක් නොවීය. මේ අතර රුමේනියාව සිය පාපන්දු කණ්ඩායම උරුගුවේ රාජ්‍යයට යැව්වේ එරට පාලකයා වූ 2 වන කැරොල් රජුගේ පුද්ගලික මැදිහත්වීමෙනි. මීට අමතරව බෙල්ජියම සහ යුගොස්ලාවියාවද සිය කණ්ඩායම් ලෝක කුසලානය සඳහා සහභාගී කරවූහ.

මෙම පාපන්දු ලෝක කුසලානයේ සියලු තරඟ උරුගුවේ රටේ අගනුවර වන මොන්ටෙවීඩියෝ නගරයේදී පවත්වන ලද අතර මෙසේ එකම නගරයක සියලු තරඟ පැවැත්වූ පළමු සහ එකම පාපන්දු ලෝක කුසලානය බවටද මෙම තරඟාවලිය ඉතිහාසයට එක් විය. 1930 ජුලි 13 වනදා පළමු තරඟ ලෙස ප්‍රංශය සහ මෙක්සිකෝව අතර තරඟයත්, බෙල්ජියම සහ එක්සත් ජනපදය අතර තරඟයත් එකවිට ආරම්භ විය. ප්‍රංශය 4-1 ලෙසත්, එක්සත් ජනපදය 3-0 ලෙසත් එම තරඟ දෙකෙහි ජය වාර්තා කළහ. ලෝක කුසලානයක පළමු ගෝලය ප්‍රංශ ජාතික ලෝරන්ට් ලෝරන්ට් විසින් වාර්තා කෙරුණේ මෙක්සිකෝව සමඟ තරඟයේ 19 වන මිනිත්තුවේය.

ජූලි 30 වනදා මොන්ටෙවීඩියෝ නගරයේ ශත සංවත්සර ක්‍රීඩාංගනයේ (Estadio Centanario) පැවති අවසන් තරඟය සඳහා උරුගුවේ රට සහ යාබද ආර්ජන්ටීනාව සුදුසුකම් ලැබූහ. පළමු භාගයේදී 2-1 ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටි නමුත්, අවසානයේදී 4-2 ලෙස තරඟය ජය ලැබුවේ සත්කාරක උරුගුවේ රටය. මේ අනුව උරුගුවේ රාජ්‍යය පළමු පාපන්දු ලෝක ශූරයින් බවට පත්විය.

යුරෝපා රටවල සහභාගිත්වය අඩු මට්ටමක පැවතියද ප්‍රථම පාපන්දු ලෝක කුසලානය සාර්ථක තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක් වූයේය.

Monday, April 14, 2014

සිංහල අලුත් අවුරුද්ද සැබැවින්ම සිංහල නොවන්නේ ඇයි?

අපේ මිත්‍ර කාවින්ද විමර්ශනගේ වැඩක්...
මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත් සිංහල​/දෙමළ අවුරුද්දේ මගේ පළමු සිංහල බ්ලොග් පෝස්ටුව ලියා තබන්නට අදහස් කළා.

මේ ලිපියට මූලික අඩිතාලම වැටුණේ මීට මාස තුනකට පෙර​, චීන ජාතිකයන්, චීන අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේ මගේ මිත්‍ර අරවින්ද කරුණාරත්න ඔහුගේ ෆේස්බුක් පිටුවේ ලියා තිබූ සටහනක්. ඔහු එයින් සඳහන් කළේ චීන ජාතිකයන්, ආගම් භේදයකින් තොරව අලුත් අවුරුද්ද සමරන බවත් ලාංකිකයනට එසේ කිරීමට අදටත් නොහැකිවී ඇති බවත්. අප පෞද්ගලිකව දන්නා කරුණක් නම්, බොහෝ සිංහල​, නමුත් බෞද්ධ නොවන අය​, අප්‍රේල් මාසයේ අවුරුද්ද සමරන්නේ නැති බවයි.

මා හට පෙනී ගිය මූලික කරුණුවලට අනුව​, මේ වෙනසට හේතු වී ඇත්තේ, චීන අලුත් අවුරුද්ද ශතවර්ශ ගණනක් නොව වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායක් වීම​. ඇත්තෙන්ම චීන ජාතිකයන් පවා හරියටම දන්නේ නැහැ කවදා මේ සම්ප්‍රදාය පටන් ගත්තාද කියන කාරණය​. නමුත් ලංකාවේ අපට සිංහල​/දමිළ අලුත් අවුරුද්ද ඊට වඩා බොහොම අලුත්.

පැරණි සිංහල සමාජය තුල මූලික ස්ථානයක් ගත්තේ වෙසක් උළෙල වැනි බෞද්ධ උත්සව විනා ජ්‍යෝතිශ්‍යය පදනම් වන උත්සව නොවේ. ඇත්තෙන්ම පුරාණ සිංහලේ යම් වර්ශ ක්‍රමයක් පැවතියේ නම් ඒ බුද්ධ වර්ශ ක්‍රමයයි.

හිරු දෙවියන් පිදීම වැනි පාරම්පරික උත්සව මෙරට තුළ නොපැවතියේ යයි මින් අදහස් වන්නේ නැහැ. කෘෂිකාර්මික සමාජයක අස්වනු නෙලීම හා ආශ්‍රිත උත්සව පවතින්නට ඇති. සිංහල​/දෙමළ අවුරුද්ද වුනත් ඇතැම්විට පැරණි ලංකාවේ සමරන්න ඇති. නමුත් පැරණි සිංහල සමාජය මූලිකම තැන දුන්නේ බෞද්ධ උත්සවවලට බව පැහැදිලියි.

සිංහල​/දෙමළ අවුරුද්ද සැමරීම නූතන ලාංකික සමාජයට එකතු වන්නේ මීට අවුරුදු 100 කට ටිකක් එපිට සිට​. ඒ ලංකාවේ ජාතික ව්‍යාපාරයේ පිබිදීමත් සමඟයි. සියලු ලාංකිකයනට එකාවන්ව සමරන්නට පිළිවන් ජාතික උත්සවයක් ලෙස තමයි මෙය යළි පුබුදුවාලන ලද්දේ. නමුත් මෙය ජ්‍යෝතිශ්‍යය පදනම් කරගත් උත්සවයක් නිසා වැඩි කලක් නොයාම එය බෞද්ධ සහ හින්දු උලෙළක් බවට පත් වුනා. මේ පිලිබඳව මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන් පළකරන අදහස් මේ සාකච්ඡාවෙන් ඔබට කියවන්න පුලුවන්.

ඇතම්විට​, අතීතයේ ලංකාවේ යම් අවුරුදු උළෙලවල් තියෙන්න ඇති. බුදුදහම පැමිණීමත් සමඟ ඒවා යටපත් වන්නට ඇති. මොකද​, බුදුදහම සහ ජ්‍යෝතිශ්‍යය වෙනමම ධාරාවන් දෙකක් නිසා.

Sunday, April 13, 2014

නැපෝලියන් පළමුවරට සිහසුන අතහැරීම​

වසර 200කට පෙර 1814 අප්‍රේල් 11 වනදා ප්‍රංශයේ පැරිස් නගරබද ෆොන්ටෙන්බ්ලූහිදී අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව (Treaty of Fontainebleau) නැපෝලියන් බොනපාට් අධිරාජයා සිහසුන අතහැර එල්බා දිවයිනට පිටමං වූයේය​. මේ අනුව ප්‍රංශෙයෙහි යළිදු බූර්බන් රාජවංශය බලයට පැමිණි අතර මීළඟ වසරකට ආසන්න කාළයක් තුළ නැපෝලියන් එල්බාවට වී හුන්නේය​. 1815 දී හෙතෙම යළිදු ප්‍රංශයට අවුත් බලයට පත්වූ නමුත් එම වසරේ ජුනි මාසයේ සිදුවූ වෝටර්ලූ සංග්‍රාමයෙන් පැරද සදහටම ප්‍රංශයෙන් පිටුවහල් කරනු ලැබීය​.
නැපෝලියන් ෆොන්ටන්බ්ලූහිදී සිහසුන අතහරී. (ප්‍රංශුවා බොවුශෝගේ චිත්‍රයකි)

සමකාලීන යුරෝපයේ නැපෝලියන් හා සම කළහැකි සෙන්පතියකු වී නම් ඒ ඉංග්‍රීසි ජාතික ආතර් වෙලෙස්ලි නොහොත් වෙලිංටන් සාමි පමණකි. තවද​, නැපෝලියන් යනු හුදෙක් සෙන්පතියකු පමණක් නොව දක් ෂ පරිපාලකයකුද වූයේය​. එම ගුණාංගය සටන් බිමේ මෙන්ම රාජ්‍ය පාලනයේදීද එකසේ වැදගත් වූයේය​.

උදාහරණයක් ලෙස ගතහොත්, නැපෝලියන් සටනකදී යොදාගත් සන්නිවේදන ක්‍රමවේදය හේතුවෙන් ඔහු යටතේ වූ සෙසු සෙන්පතීන්ට අධිරාජයා තමාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න මනාව පැහැදිලි විය​. මෙහිදී නැපෝලියන් පළමුවෙන්ම කරන්නේ තමන් සටන් වදින ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමය​. ප්‍රතිවාදියා පහර දිය හැකි ස්ථාන​, ප්‍රතිවාදියාට පහර දියහැකි ස්ථාන මෙන්ම හදිසි උපක්‍රමික පසුබෑමක් සඳහා සුදුසු මාර්ගය යනාදී සියලු කරුණු ඔහු මෙහිදී ධාරණය කරගන්නේය​. ඔහු සටනට බසින්නේ ඉන්පසුවය​. යුධ ව්‍යාපාරයකදී ඔහු සටන් පෙරමුණෙන් ලැබෙන තොරතුරු රාත්‍රී කාළයේදීම පිරික්සා බලා අදාළ උපදෙස් හිමිදිරිය වන විට අදාළ සෙන්පතීනට දැනුම් දීමට කටයුතු කළේය​. අදාළ ප්‍රදේශය පිළිබඳ ඔහුගේ අවබෝධය හේතුකොටගෙන ඔහු අවශ්‍ය ඕනෑම ආකාරයේ තත්ත්වයක් සඳහා උපදෙස් දීමට හැකියාව ලද්දේය​.

මෙම ක්‍රියාවලිය තුළවූ එක්තරා දුර්වලතාවයක් විසින් ඔහුගේ යුධ ව්‍යාපාරය දුර්වල කරන ලදී. එනම්, සටන් බිමේ සියලු කටයුතු ඔහු විසින් ම සොයාබැලීම හේතුවෙන් හදිසි අවස්ථාවකදී කටයුතු කිරීමේ නිදහස ඔහු යටතේ වූ සෙන්පතීනට නොමැති වීමය​.

නමුත් රාජ්‍ය පාලනයේදී ඔහු ඊටත් වැඩි වරදක් කළේය​. නැපෝලියන් තමන්ට බලයට ඒමට උපකාර කළාවූ විප්ලවයට පිටුපෑවේය​. මෙය ඔහුගේ විනාශයට මඟ විවර කළේය​. 1792 දී ප්‍රංශ විප්ලවවාදීන් යුරෝපයේ විප්ලවවාදී යුද්ධවලට මුලපිරුවේ සියලු රජවරුනට එරෙහිව සාමාන්‍ය ජනතාවගේ පැත්ත ගනිමිනි. මෙම යුද්ධවලට නායකත්වය දීමෙන් නැපෝලියන් කැපී පෙනෙන්නකු බවට පත් විය​. විප්ලවය නොවන්නට කෝසිකානු පවුලක උපන් නැපෝලියන් කිසිදු දිනෙක එතරම් ඉහලට නොයන්නේය​.

කෙසේ නමුදු, බලයේ හිණිපෙත්තට නැංඟ පසු නැපෝලියන් විමුක්තිදායකයකු නොව තවත් අධිරාජයෙක් බවට පත් වූයේය​. යුරෝපා රටවල ප්‍රංශ අණසක පතුරවා, ඇතැම් රටවල සිහසුනට සිය සහෝදරයින් පත් කිරීම ඔහු කළාවූ වරදකි. මෙයින් සිදුවූයේ ඒ ඒ රටවල සාමාන්‍ය ජනයා ප්‍රංශ ජාතිකයන්ව සහ වෙසෙසින්ම නැපෝලියන්ව සිය සතුරකු ලෙස සැලකීමය​. මේ තත්ත්වය වර්ධනය වීමෙන් 1814 වනවිට ප්‍රංශයෙන් එපිට යුරෝපයේ සාමාන්‍ය ජනයාගේ පවා පොදු සතුරකු බවට ඔහු පත් විය​.

1812 රුසියාව ආක්‍රමණයේදී මෙන්ම ඉන් පෙර 1808 සිට දිගටම පැවති අර්ධද්වීප යුද්ධයේදීද නැපෝලියන් ගේ පරාජයනට මූලිකම හේතුව වූයේ ජනතාව ඔහුට එරෙහිව නැගී සිටීමය​. යම් හෙයකින්, එම රටවල ජනතාව සිය පාලක පැළැන්තියට එරෙහිව නැපෝලියන් සමඟ අත්වැල් බැඳගත්තේ නම් යුරෝපා ඉතිහාසය බොහෝ සේ වෙනස් වීමට ඉඩ තිබිණ​.

තවද​, නැපෝලියන් වටහා නොගත් අනෙක් කරුණ වූයේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සහ නාවික ආධිපත්‍යයට එරෙහිවීමට ඔහුට පවතින ඉඩකඩ බෙහෙවින් අඩු බවය​. ඔහු විසින් බ්‍රිතාන්‍ය වෙළෙඳාම වර්ජනය කරනු පිණිස 'මහාද්වීපික ප්‍රතිපත්තිය​' හඳුන්වා දුන්නේ වී නමුදු, බ්‍රිතාන්‍යය හා වාසිදායක වෙළෙඳාම් සිදුකළ රටවල් එම ප්‍රතිපත්තිය කෙරෙහි නම්මා ගැනීම අසීරු විය​. මෙය එම ක්‍රියාවලිය විහිලුවක් බවට පෙරලුවේය​.

රුසියානු ආක්‍රමණයෙන් පසු නැපෝලියන් සතුවූ හමුදා බලය ඉතා පහළ අඩියකට වැටිණ​. වෙසෙසින්ම ඔහුගේ අසරු බලසෙනඟ ඉතා දුර්වල තත්ත්වයකට පත් විය​. 1813 ඔක්තෝම්බරයේදී ලීප්සිග් සටන හෙවත් ජාතීන්ගේ සංග්‍රාමයේදී නැපෝලියන් ප්‍රථම වරට සටනකින් පැරද පසු බැස්සේය​. මින් පෙර ඔහු පසුබැස්සා නම් ඒ වෙනත් කරුණක් නිසා මිස සටනකින් පැරදීම නිසා නොවේ. ඔහු ඍජුවම අණ දුන් හමුදාවක් සටනකින් පැරදුන පළමු වතාව එය වූයේය​. ඔහුගේ මිතුරන් එකින් එක ඔහු හැර යන්නට වූහ​. අවසානයේ 1814 වසර එළඹෙනවිට නැපෝලියන්හට යුරෝපයේ වෙනත් මිත්‍රයෙක් නොවීය​.

'සයවන මිත්‍ර සන්ධානය​' ඔහුට එරෙහිව විශාල හමුදා සේනාංක කිහිපයක් එව්වේය​. මෙම සන්ධානයට ඔස්ට්‍රියාව​, රුසියාව​, ප්‍රෂියාව​, එක්සත් රාජධානිය​, පෘතුගාලය​, ස්වීඩනය සහ ස්පාඤ්ඤය මෙන්ම අවශේෂ කුඩා ජර්මන් රාජ්‍යයන් කිහිපයක්ම අයත් වූහ​. මෙයින් ස්වීඩනය සහ ඇතැම් ජර්මන් රාජ්‍යයන් මුලින් නැපෝලියන් සමඟ සිට පසුව වාසි පැත්තට පැන්නෝ වූහ​. ඔව්හු ප්‍රංශ දේශසීමාව පසුකර ඉදිරියට පැමිණියහ​. ආධුනික සෙබලුන් ගෙන් සැදුම්ලත් හමුදා සේනාංක මෙහෙයවමින් නැපෝලියන් සතුරාට පහර දුන්නේය​. ඔහු සටන් කිහිපයකින්ම ජයගත් අතර ඊට හේතුව ඔහු නැපෝලියන්ම වීම මිස අනෙකක් නොවේ. වෙනත් සෙන්පතියකු වී නම් එතෙක් කාළයක් ඒ සා විශාල හමුදා සේනාංක කිහිපයකට මුහුණ දෙන්නේ නැත​.

කෙසේ නමුත් අවසන් ප්‍රතිපලය පිළිබඳ කිසිදු සැකයක් නොවීය​. ඔහුගේ සෙනවියන් ද එකිනෙකා ඔහු හැරයද්දී නැපෝලියන්හට යටත් වීම හැර විකල්පයක් නොවීය​. මේ අනුව 1814 අප්‍රේල් 11 වනදා ඔහු ෆොන්ටෙන්බ්ලූ ගිවිසුමට අත්සන් කළේය​.ගිවිසුමට අනුව එල්බා දිවයින ඔහුගේ පාලනය යටතේ පවතින ස්වාධීන ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී.

කෙසේ වුවද වසරක් තුළ​, නැපෝලියන් යළි ප්‍රංශයට ගොඩබැස නැතිවූ අධිරාජ කිරුළද නැවත ලබාගත්තේය​. ඒ වෙනමම ලිවිය යුතු කතාන්තරයකි.