Saturday, June 25, 2016

ප්‍රංශ ජනපති සටන ගැන බලාපොරොත්තුවෙන් සිටින අන්ත දක්ෂිනාංශික මාරීන් ලෙපෙන්

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ යුරෝපයේ අන්ත දක්ෂිනාංශික පක්ෂ නායකයෝ මහත් වූ ප්‍රීතියෙන් ඔද වැඩී ගියෝය​. රටවල් කිහිපයකම එවන් නායකයින් එම රටවල ද ජනමත විචාරණ පැවැත්විය යුතු බව ප්‍රකාශ කළ අතර බොහෝ දෙනාගේ අවධානය එයින් එක් කාන්තාවක කෙරෙහි යොමු විය​.

ඒ ප්‍රංශයේ ෆ්‍රොන් නැසොනාල් (Front National) හෙවත් ජාතික පෙරමුණෙහි නායිකා, 47 හැවිරිදි මාරීන් ලෙපෙන් ය​.

බ්‍රිතාන්‍යයේ යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ජනමත විචාරණය හෙවත් බ්‍රෙක්සිට්  ජනමත විචාරණයට දිණ කිහිපයකට පෙර යුරෝපයේ අන්ත දක්ෂිනාංශික පක්ෂ නවයක නායක නායිකාවෝ මුණ ගැසුණහ​. ඔවුන් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ඉලා සිටියේ යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කරන ලෙස ය​.

මෙම රැස්වීමේදී මාරීන් ලෙපෙන් හඳුන්වා දෙන ලද්දේ ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරිය ලෙසය​. 2017 ජනාධිපතිවරණය ජය ගැනීම පිළිබඳ මාරීන් ලෙපෙන් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති බව නොරහසකි. විශේෂයෙන්ම 2015 අගදී පැවති ප්‍රාදේශීය මැතිවරණවලදී තනි පක්ෂයක් ලෙස වැඩිම ඡන් ද ප්‍රතිශතයක්, එනම් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක්, ෆ්‍රොන් නැසොනාල් පක්ෂයට ලැබීම තුළ මෙම බලාපොරොත්තු තීව්‍ර වී ඇත​.

මාරීන් ලෙපෙන් යනු ෆ්‍රොන් නැසොනාල් පක්ෂයේ නිර්මාතෘ ශෝන් මාරි ලෙපෙන් ගේ දියණියයි. 2011 දී සිය පියාගෙන් පක් ෂ නායකකම ඇය ලබා ගත්තේ ඒ සඳහා පක්ෂය තුළ පැවති තරඟයකිනි. මාරීන් ලෙපෙන් සිය පියා මෙන් අන්තවාදී කෙළවරෙහි නොසිටින, ඊට වඩා නම්‍යශීලී බවක් පෙන්නුම් කරන චරිතයකි. එහෙයින් ශෝන් මාරි ලෙපෙන්ට කිසි දිනෙක බලාපොරොත්තු තැබිය නොහැකි වූ පමණකින් සිය පක්ෂය ජනප්‍රිය කරවීමට මාරීන් ලෙපෙන් සමත් වූවා ය​. නායකත්වයට පැමිණි පසු පක්ෂය තුළ සිටි වඩා අන්තවාදී "කරදරකාරයින්" සමහරෙක් පක්ෂයෙන් නෙරපා දැමූ ඇය ඇතැම් කරුණු සම්බන්ධව පක්ෂයෙහි වූ අන්තවාදී මතවාදයන් ද සංශෝධනය කළා ය​. කෙසේ වෙතත්, ෆ්‍රොන් නැසොනාල් පක්ෂය අදටත් අන්ත දක්ෂිනාංශික පක්ෂයකි. එය යුරෝපා සංගමයට සම්පූර්ණයෙන් විරුද්ධ ය​.

බ්‍රෙක්සිට් ජනමතවිචාරණයෙන් පසු සිය ට්විටර් පිටුව ඔස්සේ අදහස් දැක්වූ මාරීන් ලෙපෙන් අනෙකුත් සියලු යුරෝපා සංගම් එවන් ජනමතවිචාරණ පැවැත්විය යුතු බව අවධාරණය කළාය​.

පෙරදී ඇයට ලැබුණ අවධානයට වඩා වැඩි අවධානයක් බ්‍රෙක්සිට් ජනමතවිචාරණයෙන් පසු ඇයට ලැබී තිබේ. එමෙන්ම අනෙකුත් රටවල දක්ෂිනාංශික පක්ෂවලින් යුරෝපා සංගමයට එල්ලවන පීඩනය වැඩි වන පසුබිමක මීළඟ ප්‍රංශ ජනාධිපතිවරණයේදී පෙරළියක් කිරීමට මාරීන් ලෙපෙන් බලාපොරොත්තු වීම ද අරුමයක් නොවේ.

Friday, June 24, 2016

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කරයි

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ඊයේ පැවති ජනමත විචාරණයකදී එරට ජනතාව තීරණය කළ හ​.

මෙහිදී ඉවත්විය යුතුය යන මතයට පක්ෂව ඡන්ද 17,410,742 ක් (51.9%) ලැබුණ අතර ඊට විපක්ෂව ඡන්ද 16,141,241 ක් (48.1%) ලැබුණි.

කෙසේ වෙතත් යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය (හෝ ඕනෑම රටක්) ඉවත් වීම එක දිනකින් සිදු නොවේ. 2009 දී අත්සන් කෙරුණ ලිස්බන් ගිවිසුමේ 50 වන වගන්තිය ප්‍රකාරව මෙම කටයුතු සිදු කෙරෙනු ඇති අතර එයට අවම වශයෙන් වසර දෙකක් පමණ ගත වනු ඇත​. ඊට අනෙක් සාමාජික රටවල්වල අනුමැතිය අවශ්‍ය අතර ඉවත්වන රාජ්‍යය සමග ඇති කෙරෙන ගිවිසුම් පිළිබඳ තීරණය කිරීමේ බලයක් යුරෝපා පාර්ලිමේන්තුවට ද හිමි වේ.

මෙම ඡන්ද ප්‍රතිපලයත් සමඟ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්ඡා වෙනත් අගමැතිවරයකු යටතේ සිදු විය යුතු බවය​. මේ අනුව ඊළඟ මාස තුනෙන් පසු තමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු ප්‍රකාශ කළේය​.

කැමරන් ඡන්ද ව්‍යාපාරයෙහි යෙදුණේ යුරෝපා සංගමය තුළ සිය රට තබාගැනීමට ය​. කොන්සර්වේටිව් පක්ෂයේ කොටසක් ඔහු හා පක්ෂව ඡන්ද ව්‍යාපාරයේ යෙදුණ අතර ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයෙහි ද කොටසක් යුරෝපා සංගමයේ රැඳී සිටීමට පක්ෂ විය​. ස්කොට්ලන්ත ජාතික පක්ෂය (Scottish National Party) සහ වේල්ස ජාතික පක්ෂය (Plaid Cymry) යුරෝපා සංගමයේ රැඳී සිටීමට පක්ෂ වූ අතර එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය (United Kingdom Independence Party - UKIP) ඊට එරෙහි විය​.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට සටන් කළ ප්‍රධාන නායකයින් අතර කොන්සර්වේටිව් පාක්ෂික සහ හිටපු ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් සහ පක්ෂ නායක නිගෙල් ෆරාජ් වූහ​.

කැමරන් ගේ ඉවත් වීමත් සමඟ ජොන්සන් අගමැති පුටුව කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන සිටියි. ඔහුට අගමැති වීමට නම් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය දිනාගත යුතු වන්නේය​. මේ වනවිට ද ඔහු හා තරඟ කිරීමට තවත් කොන්සර්වේටිව් පාක්ෂිකයන් සූදානම් වන බව වාර්තා වේ.

ඡන්ද විමසීමේ ආර්ථික​ ප්‍රතිපල​

ජනමත විචාරණයෙහි ප්‍රතිපල නිකුත් වීමට පටන් ගැනීමත් සමඟ ලෝක වෙළඳපොල තිගැස්සී ගියේය​. එක්සත් රාජධානිය යුරෝපයේ ප්‍රධානම වෙළෙඳපොලක් බැවින් සහ යුරෝපා සංගමයට මෙහි බලපෑම කෙබඳු වේද යන්න අවිනිශ්චිත බැවින් එය බලාපොරොත්තු විය යුතු වූ තත්ත්වයකි. කෙසේ වෙතත් ජපානයේ කොටස් වෙළෙඳපොල සියයට 8 කින් වැට්ණ අතර ආසියාවේ අනෙක් වෙළඳපොලවල් ද සැළකිය යුතු පසු බැසීමක් පෙන්නුම් කළේය​. මේ අතර බ්‍රිතාන්‍ය පවුම සහ වෙනත් මුදල් ඒකක සමහරක් වේගයෙන් කඩා වැටුණි. මේ අතර ජපන් යෙන් මුදල පමණක් වටිනාකම වැඩි වූයේය​. එයට හේතුව ලෙස දැක්වූයේ යෙන් මුදල් ඒකකය යූරෝ, පවුම වැනි මුදල්වලට සාපේක්ෂව ස්ථාවර ව පවතිනු ඇතැයි යන විශ්වාසය ය​.

මේ අතරතුර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගිය අතර රත්‍රන් මිළ ඉහළ යෑමට පටන් ගත්තේය​. ස්විස් ෆ්‍රෑන්කය කඩා වැටීම වැළැක්වීම පිණිස ස්විස් මධ්‍යම බැංකුව මැදිහත් වූයේය​.

දිගු කාලීන වශයෙන් බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගනුදෙනු පිළිබඳ යළි සමාලෝචනය කිරීමේ සහ නව ගිවිසුම් ඇති කරගැනීමේ අවස්ථාව දැන් පැන නැඟී ඇත​. එමෙන්ම යුරෝපා සංගමයෙන් පරිබාහිර රටවලට ද බ්‍රිතාන්‍යය සමඟ නව ගිවිසුම් ඇති කරගැනීමට සිදුවනු ඇත​. මක් නිසාද යත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වූ කළ​, යුරෝපා සංගමය සමඟ වූ ගිවිසුම් බ්‍රිතාන්‍යයට අදාළ නොවන බැවිනි.

කෙසේ නමුත් බ්‍රිතාන්‍යය දිගටම පොදු යුරෝපා වෙළෙඳපොල තුල තබා ගැනීම සඳහා විශාල උත්සාහයක් මේ වනවිට ද ඉවත්වීමට විපක්ෂ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මතුවී ඇත​. යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ සාකච්ඡා තුළදී මෙම මාතෘකාව නිතර මතු වීමේ ඉඩක් ඇති අතර​ අවසන් එකඟතාවයන් කිනම් අයුරු වේදැයි පැහැදිලි වීමට තවත් බොහෝ කල් ගතවනු ඇත​.

දේශපාලන අස්ථාවරත්වය​

මේ අතර දේශපාලන වශයෙන් යුරෝපයෙන් ලැබුණේ එකකට එකක් බියගෙනදෙන සුලු පුවත් ය​. "ඉවත් විය යුතුය​" යන මතය ජයගන්නා බවට පෙනෙන්නට වූ වහා යුරෝපයේ දක්ෂිනාංශික පක්ෂ කරළියට පැමිණියහ​. සත්‍ය වශයෙන්ම යුරෝපා සංගමයේ නායකයන් ප්‍රතිචාර දැක්වීමටත් පෙර යුරෝපා සංගම් විරෝධී කණ්ඩායම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් හ​.

නෙදර්ලන්තයේ අන්ත දක්‍ෂිනාංශික නායක ග්‍රීට් විල්ඩර්ස් එරට යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළ අතර ප්‍රංශයේ ෆ්‍රොන් නැසොනාල් හෙවත් ජාතික පෙරමුණේ නායිකා මාරීන් ලෙපෙන් ද එරට යුරෝපයෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කළහ​.
නිල් - රැඳී සිටිය යුතුය​; රතු - ඉවත් විය යුතුය (The Telegraph)

මේ අතර එක්සත් රජධානියේ අනාගතය පිළිබඳවද පැහැදිලි ප්‍රශ්න මතුවන ස්වභාවයක් මෙම මැතිවරණ ප්‍රතිපල අනුව පෙනී ගොස් ඇත​. එංගලන්තය සහ වේල්සය ඉවත්වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරද්දී ස්කොට්ලන්තය​, උතුරු අයර්ලන්තය සහ කුඩා ජිබ්‍රෝල්ටාව යුරෝපා සංගමයේ රැඳී සිටීමට පක්ෂව ඡන් දය දුන් හ​. ස්කොට්ලන්තයේදී සියයට 62 ක ඡන්ද දායකයින් යුරෝපා සංගමයේ රැඳී සිටීමට පක්ෂ වූ අතර උතුරු අයර්ලන්තයේදී එය සියයට 55 ක් විය​.

ඡන්ද ප්‍රතිපලවලින් පසු අදහස් දැක් වූ සින් ෆෙන් සංවිධානය අයර්ලන්තය ඒකාබද්ධ කිරීම පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළ අතර ස්කොට්ලන්ත ජාතික පක්ෂ නායිකා නිකොලා ස්ටර්ජන් කියා සිටියේ ස්කොට්ලන්තයේ අනාගතය රැඳී ඇත්තේ යුරෝපා සංගමය තුළ බවය​.

යම් හෙයකින් අන්ත දක්ෂිනාංශික පක්ෂවල බලපෑම හේතුවෙන් යුරෝපා සංගමය තවදුරටත් බෙදීමේ අවදානම පහව ගියහොත්, ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් ඉවත් වීමේ විශාල ඉඩක් පවතී.

තරුණ ඡන්ද​

මේ අතර මෙම ජනමත විචාරණයේදී තරුණ ඡන් ද බොහෝ කොටම යුරෝපා සංගමය සමඟ රැඳී සිටීම කෙරෙහි යොමු වූ බව පෙනී යයි. වයස 18-24 අතර ඡන් ද දායකයන් සියයට 75 ක් ම ඉවත්වීමට විරුද්ධව ඡන් දය දී ඇති බව විසින් කළ සමීක් ෂණයක් පෙන්වා දුන් අතර යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහය දක්වන්නන් වයසත් සමඟ ක්‍රමානුකූලව වැඩි වීමක් පෙන්නුම් කරයි.

මේ අනුව වැඩිහිටියන් විසින් තරුණ පරපුරට ඔවුන් අකමැති තීරණයකට එකඟවීමට බල කර ඇත​. මෙය අනාගත ප්‍රශ්න ඇති වීමේ තවත් සලකුණකි.

Monday, June 20, 2016

ඔකිනාවා දූපතෙහි යුධ සැමරුම​

ජපානයේ ඔකිනාවා දූපත් වාසීහු සෑම ජූනි 23 වනදාකම ඔකිනාවා සටනෙන් මියගිය පුද්ගලයින් සිහි කරනු වස් ඔකිනාවා යුධ සැමරුම් දිනය සමරති. එදින එම දූපතේ නිවාඩු දිනයක් ලෙස ගැනේ. මෙම දිනය ජපානය පුරා සැමරෙන්නක් නොවන අතර ඔකිනාවා ප්‍රදේශයටම ආවේනික සැමරුම් දිනයකි.

දෙවන ලෝක යුධ සමයෙහි ඔකිනාවා සටන ඇරඹෙන්නේ 1945 අප්‍රේල් 1 වනදාය​. ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සාගර කලාපයේ සටන් වැදුණේ දූපතෙන් දූපතට පනිමින් (Island hopping) ජපානයේ ප්‍රධාන දූපත් දෙසට ළඟා වෙමිනි.

ඔකිනාවා දූපතට ගොඩ බැසීම දෙවන ලෝක යුද්ධයේ දී පැසිෆික් සාගරයේ සිදුවූ දැවැන්තම දිය - ගොඩ ප්‍රහාරය (amphibious attack) විය. ජූනි 23 වනදා සටන් නිමා වනවිට ඇමරිකානුවන් 14,000 ක්, ජපන් සෙබලුන් අවම වශයෙන් 77,000 ක් (ඇමරිකානු ඇස්තමේන්තුවලට අනුව 110,000 ක් පමණ​) සහ ජපන් සිවිල් වැසියන් දස දහස් ගණනක් (ඇතැම් ඇස්තමේන්තුවලට අනුව 150,000 ක් පමණ​) මිය ගොස් සිටියහ​. මෙයින් සැළකිය යුතු පිරිසක් ඇමරිකානුවන්ට යටත් වීමේ අගෞරවයට මුහුණ දී ගනු නොහැකිව සිය දිවි නසාගත්තවුන් වූහ​.

ඔකිනාවා සටනෙහි අවසානය දුටුවේ ඔකිනාවා දිවයිනේ දකුණු කෙළවර පිහිටි ඉටෝමාන් නගරයේදී ය​. ඔකිනාවා සටන සිහි කිරීමට ඉදි කෙරුණ යුධ ස්මාරක උද්‍යානය ඇත්තේ එම නගරයේය​. එහි ඇති සමරු ඵලකවල මියගිය අයගේ නම් 200,000 කට වැඩියෙන් ඇතුලත් කොට ඇත​. සෑම වසරකම ජූනි 23 වනදාට දින කිහිපයකට පෙර සිට ඔකිනාවා වැසියෝ මෙහි පැමිණ සමරු ඵලක සහ උද්‍යානය පිරිසිදු කර ජූනි 23 යුධ ස්මරණයට සැරසෙති.

ඔවුන් එදිනට සිහි කරනුයේ දේශප්‍රේමීත්වය සහ වීරත්වයටත් වඩා යුද්ධයේ ආදීනවයයි.

Sunday, June 19, 2016

ළිං මැඩි සංස්කෘතියේ කූඨප්‍රාප්තිය හෙවත් "ලෝකයේ පළමු බුද්ධි පරීක්ෂණය​"

රජයේ විභාගවල පවා අහන අමුම අමු ගොන් තකතීරු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම ප්‍රශ්නෙ නෙවෙයි ගොන්. උත්තරේ තමා ගොන්.

"ලෝකයේ පළමු බුද්ධි පරීක්ෂණය මොකක්ද?" ඉතා හොඳ ප්‍රශ්නයක්.

ඒත් බලාපොරොත්තු වෙන උත්තරේ දේවානම්පිය තිස්ස සහ මිහිඳු හාමුදුරුවො අතර සංවාදය ලු.

ළිං මැඩි සංස්කෘතියේ කූඨප්‍රාප්තිය මේකයි කියල මම හිතන්නෙ. මේකෙන් කියන්නෙ ලංකාව තමා ලොකු. මෙහෙ තමා පළවෙනි බුද්ධි පරීක්ෂණය පවා තිබ්බෙ කියල.

කුණුහරුප තමා මතක් වෙන්නෙ...

වෙන දුර නොගොහින් අපි ත්‍රිපිටකය ගැන හිතමු. ඒකෙ තියෙන ඔක්කොම ඇත්ත නම්, එතන බුද්ධි පරීක්ෂණ කීයක් තියෙනවද?

එක හොඳ උදාහරණයක් තමා නන්ද කුමාරයගේ කතාව​. ඇයි එතකොට අංගුලිමාල දමනය​, ආලවක දමනය​, තුන් බෑ ජටිලයන්, කාලාම සූත්‍රය​, උපාලි ගහපති, සච්චක​.... එතකොට හොරකම් කරපු ගෑණු කෙනෙක් පස්සෙන් එලෝපු කුමාරවරු 30 දෙනා. ඔය මම දන්න ටිකක් විතරයි.

ලෝකෙ කිසි රටක අධ්‍යාපනයක් තිබුණෙ නැද්ද මීට කළින්?

එහෙම අධ්‍යාපනයක් තිබ්බෙ නැත්නම්, මිනිස්සු බුද්ධිය කළඹලා දේවල් හිතුවෙ නැද්ද?

එහෙම හිතුවෙ නැත්නම් මිනිස්සු ඔටෝ රහත් උනාද? ඕපපාතිකව?

මීට පස්සෙ ඔය ගොන් ප්‍රකාශ නවත්තපල්ලා. දේවානම්පියතිස්සට කළින් ඕන තරම් බුද්ධි පරීක්ෂණවලින් පාස් උන එවුන් හිටියා.

සිරියානු යුද්ධය​: ISIS ත්‍රස්තයින්ගෙන් ඓතිහාසික පැල්මයිරා දෙසට දැවැන්ත ප්‍රහාරයක්

ISIS ත්‍රස්තවාදීන් සිරියාවේ පැල්මයිරා පෙරමුණෙහි දී සිරියානු අරාබි හමුදාව​, එනම් සිරියානු රජයේ හමුදාව, ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාරයක් අරඹා තිබේ.

ඊයේ වනවිට සිරියානු හමුදා පැල්මයිරාවෙන් නැගෙනහිර පිහිටි අරාක් (Arak) නගරය​, අරාක් තෙල් ළිං සහ T-3 හමුදා ගුවන් තොටුපල යන ස්ථාන අල්ලාගෙන සිටියහ​. ඊයේ, එනම් ජූනි 18 වනදා, ත්‍රස්තයින් T-3 ගුවන් තොටුපල ආරක්ෂා කළ සිරියානු හමුදා වෙත සාර්ථක වාහන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් දරුණු ප්‍රහාරයක් දියත් කළහ​. එම ප්‍රහාර හමුවේ සිරියානු හමුදාවලට ගුවන් තොටුපල අතැර පසු බැසීමට සිදු විය​.

මේ අතර අරාක් තෙල් ළිං ප්‍රදේශවලට ද සටන්කාමීන් පහර දුන් අතර මේ වන විටද එම ප්‍රදේශයේ දරුණු සටන් ඇවිලෙමින් පවතී.
පැල්මයිරා පෙරමුණ, June 11. Map: Al-Masdar News

මෙම ප්‍රහාර හමුවේ තබාකා දෙසට වන සිරියානු ප්‍රහාර අඩාල වනු ඇතැයි සැක පළ වේ. මක් නිසාද යත් රුසියානු ගුවන් හමුදාවේ අවධානය වැඩිපුර පැල්මයිරා පෙරමුණ වෙත යොමු විය හැකි බැවිනි.

මේ අතර අනෙක් සටන් පෙරමුණුවලදීද ISIS සටන්කාමීන්ට එරෙහි දරුණු සටන් ඇති වෙමින් පවතී. රකා නගරයට උතුරින් වන මන්බිජ් නගරය අල්ලා ගැනීම සඳහා සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) විසින් ඊයේ තවත් ප්‍රහාරයක් අරඹන ලදී.

මේ අතර ඉරාකයේ ෆලූජා නගරය ත්‍රස්තයින් ගෙන් මුදාගත් බව ඉරාක අගමැතිවරයා ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය​. ඉදිරි දිනවල මෝසුල් ප්‍රාන්තය නිදහස් කරගැනීම කෙරෙහි ඉරාක හමුදා වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක් ෂිත ය​.

Saturday, June 18, 2016

ISIS ත්‍රස්ත විරෝධී සටන: ඉරාක හමුදා ඉදිරියටම ඇදෙති, සිරියාවේ තබාකාවලට දරුණු ගුවන් ප්‍රහාර

ත්‍රස්තවාදීන්ට එරෙහිව කෙරෙමින් පවතින සටනෙහි වැදගත් ජයග්‍රහණයක් ඊයේ ඉරාක හමුදා විසින් වාර්තා කරන ලදී. එරට හමුදා වසර දෙකක් මුලුල්ලේ ත්‍රස්තයින් ග්‍රහණයේ පැවති ෆලූජා නගර ශාලාව අල්ලාගෙන එහි ඉරාක ධජය එසවීමට සමත් වූහ​.

ෆලූජා අවට සටන් තවමත් පැවතිය ද නගරයේ රජයේ පාලන මධ්‍යස්ථානය අල්ලාගැනීම සංකේතාත්මක ජයග්‍රහණයකි.

පසුගිය දෙසැම්බරයේදී රමාදි නගරය අල්ලාගැනීමෙන් පසු ඉරාක හමුදා ලද වැදගත්ම ජයග්‍රහණය ලෙස ෆලූජා නගරයේ පාලන මධ්‍යස්ථානය අල්ලාගැනීම සැළකිය හැක​. කෙසේ වෙතත් නගරය තුළ පවතින සටන් තවදුරටත් කෙරෙමින් පවතී.

නවතම වාර්තාවලින් කියැවුනේ ඉරාක හමුදා විසින් අල්-හිට් නගරයේදී ISIS ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කොට ප්‍රධාන පෙළේ නායකයකු ඇතුලු අට දෙනකුගෙන් යුතු ත්‍රස්ත පිරිසක් ඝාතනය කල බව ය​.

මේ අතර ඉරාක හමුදාවේ 9 වන සන්නාහ සන්නද්ධ ඩිවිෂනය මේ වනවිට මෝසුල් ප්‍රාන්තයේ දකුණු දිග පිහිටි උපක්‍රමික වශයෙන් වැදගත් නගරයක් වන අල්-ෂිර්කට් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් සඳහා සූදානම් වෙති. මෙහිදී ත්‍රස්තයින් ඉරාක හමුදා වෙත දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කරතැයි අපේක්ෂා කෙරේ.

මෝසුල් නගරය ඉරාකයේ දෙවන විශාලම නගරය වන අතර 2014 පටන් පාලනය යටතේ පවතී.

සිරියාවේ ISIS ත්‍රස්තයින්ට එරෙහි සටන්

මේ අතර සිරියාවේ රකා ප්‍රාන්තය ඔස්සේ සිරියානු හමුදාවල ඉදිරිගමන පසුගිය දින කිහිපයේ අඩාල වූයේය​. මීට බලපෑ හේතු කිහිපයකි.

ඉන් එකක් නම් ISIS සංවිධානය වෙනත් පෙරමුණුවල සිරියානු හමුදාවලට පහර දීමය​. මෙහිදී හොම්ස් නගරයෙන් නැගෙනහිර ප්‍රදේශයකට මෙන්ම ISIS ත්‍රස්තයින් විසින් වටලනු ලැබ ඇති ඩෙයර් එසෝර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර වැදගත් වේ.

තවද රකා ප්‍රාන්තයේදීද ISIS ත්‍රස්තයෝ සිරියානු හමුදා වෙත ප්‍රහාර එල්ල කළ හ​. මේ අතරම සිය සටන් පෙරමුණට දෙපසින් එල්ල විය හැකි තර්ජන පිළිබඳ සැළකිලිමත් වීමට ද සිරියානු හමුදාවලට සිදු විය​.

කෙසේ නමුත් සිකුරාදා දිනයේදී රුසියානු ගුවන් හමුදා රකා ප්‍රාන්තයේ තබාකා ගුවන් කඳවුරට දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ හ​. සටන්කාමීන් සතු සන්නද්ධ රථ පෙළක් ද කඳවුරෙහි වූ ගොඩනැගිලි සමහරක් ද ප්‍රහාරයේ ඉලක්ක වූ බව වාර්තා විය​. ත්‍රස්තයින් සැළකිය යුතු පිරිසක් ද මෙම ප්‍රහාරවලින් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර අද දින ලැබුණ වාර්තාවලින් කියැවුණේ හිස්බුල්ලා සටන්කාමීන් ගේ විශේෂ බලකායක් ඩෙයර් එසෝර් වෙත යවන ලද බවයි.

ඉදිරි දිනවලදී සිරියානු හමුදා තබාකා දෙසට සිය සේනාංක මෙහෙයවනු ඇති බවට මෙම ප්‍රහාර අනාවැකි පළ කරයි.

මේ අතර පැල්මයිරා නගරයේ සිට නැගෙනහිරට පැමිණෙන සිරියානු හමුදා ඩෙයර් එසෝර් ඉලක්ක කරගෙන ඉදිරියට ඇදෙති. අද දිනයේද ISIS ත්‍රස්තයින් පැල්මයිරාවේ සිරියානු හමුදාවලට මරාගෙන මැරෙන ප්‍රාහරයක් එල්ල කිරීමට උත්සාහ කළ අතර එම උත්සාහය ව්‍යර්ථ කළ බැව් වාර්තා විය​.

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියගේ ඝාතනයේ සැකකරු: "මගේ නම ද්‍රෝහීන්ට මරණය, බ්‍රිතාන්‍යයට නිදහස"

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිණී ජෝ කොක්ස්ගේ ඝාතනය සම්බන්ධයෙන් 52 හැවිරිදි තෝමස් මෙයර්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

අද දින ඔහු වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී​. අධිකරණයේදී ඔහු හඳුන්වා දෙන ලෙස විනිසුරු ප්‍රකාශ කළ විට මෙයර් තමන් හඳුන්වා දී ඇත්තේ "My name is death to traitors, Freedom for Britain!" ("මගේ නම ද්‍රෝහීන්ට මරණය, බ්‍රිතාන්‍යයට නිදහස") යනුවෙනි.
ජෝ කොක්ස්

ජූනි 16 වනදා ජෝ කොක්ස්ට වෙඩි තැබීමේ සිදුවීමෙන් විනාඩි කිහිපයකට පසු පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.

මිනී මැරීම​, බරපතල තුවාල සිදු කිරීම​, අපරාධයක් කිරීමේ අරමුණින් ගිනි අවියක් දරා සිටීම සහ හානිකර අවි ළඟ තබාගැනීම යනාදී චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ඇත​.

මේ අතර ජෝ කොක්ස් බේරාගැනීම සඳහා මැදිහත් වූ 77 හැවිරිදි පුද්ගලයකු රෝහලේ ප්‍රතිකාර ලබයි.

ජූනි 16 වනදා සිය ඡන්ද කොට්ඨාශය වූ බටහිර යෝර්ක්ෂයරයේ පිහිටි බැට්ලි සහ ස්පෙන් ආසනයේ බර්ස්ටෝල්හි සිදුවූ පිහි ඇනුමකින් සහ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලද කොක්ස් පැය කිහිපයකට පසු මිය ගියාය​.
තෝමස් මෙයර්

ඇයට වෙඩි තැබූ තැනැත්තා "Britain First​" (පළමුව බ්‍රිතාන්‍යය) යයි හඬ නගා පැවසූ බවට වාර්තා පළ වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ අන්ත දක් ෂිනාංශික ව්‍යාපාරය මෙම ඝාතනයට සම්බන්ධ ද යන්න පිළිබඳ පොලිසිය අවධානය යොමු කර ඇත​.

Britain First (පළමුව බ්‍රිතාන්‍යය​) යනු එරට ක්‍රියාත්මක කුඩා අන්ත දක්ෂිනාංශික පක්ෂයකි. මෙම සිදුවීමට තමන් කිසි අයුරකින් හෝ සම්බන්ධ නොමැති බව එම පක්ෂය නිවේදනය කර තිබේ.

ජෝ කොක්ස් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ තබා ගැනීම පිණිස ප්‍රචාරක කටයුතුවල යෙදුණාය​. මේ හේතුවෙන් ඇයව ඝාතනය කළේදැයි යන්න විමසා බැලෙනු ඇත​. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමත විචාරණය ජූනි 23 වනදා පැවැත්වීමට නියමිත ය​.

මේ අතර පසුගිය මාස කිහිපය මුලුල්ලේම ඇයට විවිධ තර්ජන එල්ල වී තිබුණ බව වාර්තා වූ අතර​, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව පිළිබඳ කලකට පෙර කොන්සර්වේටිව් මන්ත්‍රීවරියක අගමැතිවරයාගෙන් ලිඛිතව විමසා තිබුණ බව ද වාර්තා විය​.

Friday, June 17, 2016

වසර 40 කට පෙර වර්ණභේදවාදයට එරෙහිව නැගුණ​ සොවේටෝ (Soweto) අරගලය​

1976 ජූනි 16 වනදා තවත් එක් බදාදා දිනයක් විය​. එදින දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරය අසළ සොවේටෝ නගර ප්‍රාන්තරයෙහි පාසල් ළමෝ වෙනදා මෙන්ම පාසැල් ගියහ​. එහෙත් එයින් සිය ගණනක් දෙනා යළි සිය නිවෙස් බලා පැමිණියේ නැත​.

1948 න් පසු දකුණු අප්‍රිකාවේ බලයෙහි සිටි ජාතික පක්ෂය විසින් වර්ණභේදවාදය නම් ක්‍රමය හඳුන්වා දෙන ලදී. එරට කලු ජාතික බහුතරයට අතිශය පීඩාකාරී වූ මෙම ක්‍රමවේදය ඔස්සේ ඔවුනට එවකට අයත්ව තිබුණු සීමාසහිත අයිතීන් ද කප්පාදු කරන ලදී. කලු ජාතික ළමුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ද මේ අතර විය​. ඔවුනට පාසැල් තිබුණ ද ඒවායේ විෂය ධාරාවන් බොහෝ සෙයින් අඩු තත්ත්වයේ ඒවා විය​. සුදු ජාතිකයන්ට බැල මෙහෙවර කිරීමට තරම් අවශ්‍ය සීමා සහිත දැනුමක් ඔවුනට තිබීම ප්‍රමාණවත් බව රජයේ පිළිගැනීම විය​.

වර්ණභේදවාදය යටතේ කලු, සුදු ජාතිකයන්ට එක ප්‍රදේශයක ජීවත් වීම තහනම් විය​. මේ හේතුවෙන් ප්‍රධාන නගරවල ඔවුනගේ වාසස්ථානවලින් ඔවුන් පළවා හරින ලදී. ජොහැනස්බර්ග් වැනි නගර අවට කලු ජාතිකයන් ජීවත් වූ නගර ප්‍රාන්තර ඇති විය​. ඒවායේ ඔවුහු ඉතා අඩු පහසුකම් යටතේ ජීවත් වූහ​. නගරයේ ඇති කර්මාන්තශාලා සහ වෙනත් සේවා ස්ථාන වෙත උදෑසන පැමිණෙන ඔවුහු වැඩ අවසන් කළ පසු යළි නගර ප්‍රාන්තරවල වූ නිවෙස් වෙත යන්නෝ ය​.

සොවේටෝ යනු එවන් එක් නගර ප්‍රාන්තරයකි. එහි නම සෑදී තිබුණේ South Western Townships යන නම ආශ්‍රයෙනි (නිරිතදිගින් පිහිටි නගර ප්‍රාන්තර​). සොවේටෝ පිහිටියේ ජොහැනස්බර්ග්වලට නිරිත දිගිනි.

1976 ජූනි 16 වනදා සොවේටෝවේ කලු ජාතික පාසැල් සිසුන් වීථි බැස පෙළපාලි ගියේ රජය විසින් පැනවූ නව නීතියකට එරෙහිව ය​. එම නීතියට අනුව පාසැල්වල සියලු විෂයයන් අෆ්‍රිකාන්ස් (Afrikaans) භාෂාවෙන් ඉගැන්විය යුතු විය​. අෆ්‍රිකාන්ස් යනු එරට බෝයර්වරුන් වැහැරූ බස විය​. ජාතික පක්ෂ රජය පාලනය කළේ මෙම බෝයර්වරුන් ය​. බොහෝ අප්‍රිකානු ජාතිකයන්ට අෆ්‍රිකාන්ස් බස පිළිබඳ දැනුමක් නොවීය​. සත්‍ය වශයෙන්ම මෙම නීතිය අප්‍රිකානු දරුවන් ගේ අධ්‍යාපනය කාබාසිනියා කර දැමීමට ගෙනා තවත් එක් නීතියක් විය​.

අප්‍රිකානු සිසුන් ගේ මෙම පෙළපාලිය සොවේටෝ හි ඕර්ලැන්ඩෝ ප්‍රදේශයේ විලකාසි (Vilakazi) වීථියට පැමිණියේය​. දකුණු අප්‍රිකානු පොලිසිය ඔවුන් ගේ මඟ හරස් කරගෙන සිටියහ​. ඔවුහු ජීව උණ්ඩවලින් පෙළපාලි ගිය ළමුන්ට වෙඩි තැබූහ​. එම වෙඩි තැබීමෙන් 176 ක් සිසුන් මියගිය බව රජය ප්‍රකාශ කළ අතර ඇතැම් ඇස්තමේන්තු අනුව මිය ගිය පිරිස 700 ක් පමණ විය​.

සොවේටෝ අරගලය සංකේතවත් කරන ඛේදජනක ඡායාරූපය වන්නේ කලු ජාතික සිසුවකු විසින් 13 හැවිරිදි හෙක්ටර් පීටර්සන් ගේ මළ සිරුර රැගෙන එන දර්ශනයයි. පීටර්සන් සොවේටෝ පෙළපාලියට වෙඩි තැබීමෙන් මිය ගිය පළමු සිසුන් කිහිප දෙනාගෙන් අයෙකි. මෙම ඡායාරූපය පසුදා ලොව පුරා පුවත්පත්වල පළ වූයේ ලෝ වැසියන් දස දහස් ගණනකගේ හදවත් කම්පා කරවමිනි.
හෙක්ටර් පීටර්සන් ඔසවාගෙන එන අයුරු දැක්වෙන ඡායාරූපය සොවෙටෝ ස්මාරකයෙහි ප්‍රදර්ශනය කෙරේ. Pic: Ulrike Sommer/DW

එම සුප්‍රකට ඡායාරූපය සිය කැමරාවට හසු කරගත්තේ සෑම් න්සීමා (Sam Nzima) නම් ඡායාරූප ශිල්පියා ය​. තරුණ පොලිස් නිලධාරියකු සිය ගිනි අවිය පිටතට අදින ආකාරය ඔහුට තවමත් මතකය​.

"ඔහු කෙලින්ම සිසුන් දෙසට වෙඩි තබා අනෙක් පොලිස් නිලධාරීන්ට ද වෙඩි තබන්න අණ කළා. එයින් පස්සෙ එතැන වුණේ එකම විනාශයක්. ඒ පොඩි දරුවා වෙඩි වැදී වැටෙන ආකාරය මම දුටුවා."

පීටර්සන් ගේ සහෝදරිය ඇන්ටොයිනෙට් එම අවස්ථාවේ ඔහු සමඟ වූයේය​. ඉහත ඡායාරූපයේ සිය සහෝදරයාගේ සිරුර ඔසවාගෙන යන සිසුවා අසළින් දිව යන්නේ ඇයයි.

"මගේ සහෝදරයාට වෙඩි වදුණ විට මම ඔහු දිහා බැලුවා. ඔහුගේ කටින් ලේ ගලන්නට වුණා. මම හොඳටම බයට පත් වුණා" ඇය සඳහන් කරයි. ඔහුව රැගත් සිසුවා සමඟ ඇයද දිව ගියාය​. හෙක්ටර්ව වාහනයකට නංවන්නට සූදානම් වෙද්දීම අනෙක් සිසුවා ඔහු මිය ගොස ඇති බව ප්‍රකාශ කළ බැව් ඇය මතකයට නැඟුවාය​.

හෙක්ටර් බේරාගැනීමට උත්සාහ කළ සිසුවා ම්බුයිසා මකුබු නම් විය​. මකුබුට කුමක් සිදුවී ද යන්න අදටත් අභිරහසකි. ඔහු සොවේටෝ සිදුවීම්වලින් පසු බොට්ස්වානාවට පළා ගොස් එතැනින් නයිජීරියාවට ගිය බවත්, ඉන්පසු ඔහුට කුමක් වීදැයි නොදන්නා බවත් සොවේටෝවේ සංචාරක මගපෙන්වන්නකු වන පලෝකෝ න්තාකෝ පවසයි.

1994 න් පසු දකුණු අප්‍රිකාවේ පිහිටුවන ලද සත්‍යය සහ සංහිඳියා කොමිසම හමුවේ ඔහුගේ මව සඳහන් කර ඇත්තේ 1978 දී නයිජීරියාවේ සිට ඔහු එවූ ලියමනක් ලැබුණ ද ඉන්පසු ඔහුට සිදුවූවක් නොදන්නා බවය​.

සොවේටෝ වෙඩි තැබීමෙන් පසු 1976 අවසන් වනතුරු ම රටේ තැන තැන රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාර සහ වැඩ වර්ජන ඇති විය​. ඇතැම් සුදු ජාතික සිසුන් ද රජය විසින් කරන ලද වෙඩි තැබීමට විරුද්ධත්වය පළ කළ හ​.

මේ අතර කලු ජාතික තරුණයින් සැළකිය යුතු පිරිසක් රට අතැර ගිය අතර ඔවුන් පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසය ප්‍රමුඛ සංවිධාන විසින් ගෙනයන ලද සන්නද්ධ අරගලයේ කොඳු නාරටිය බවට පත් විය​.

කම්කරු උද්ඝෝෂණ තහනම් කිරීමට ප්‍රංශ රජය සැරසෙන ලකුණු

ප්‍රංශ රජය විසින් හඳුන්වාදෙන නව කම්කරු නීතියට එරෙහිව එරට ක්‍රියාත්මක විරෝධතා ව්‍යාපාර තවදුරටත් ක්‍රියාත්මක වන පසුබිමක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් පැණවීමට ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්සුවා ඔලන්දේ (Francois Hollande) සූදානම් වන බව වාර්තා වේ.

ප්‍රංශ රජය පවසනුයේ ත්‍රස්තවාදී තර්ජන සහ යුරෝපා පාපන්දු තරඟාවලිය අතරතුර මෙවන් උද්ඝෝෂණ පැවැත්වීම අයෝග්‍ය බවය​.

පසුගිය වසරේ නොවැම්බරයේ පැරිසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ප්‍රංශයේ හදිසි නීතිය ක්‍රියාත්මක කළ අතර අදටත් එය ක්‍රියාත්මකය​. උද්ඝෝෂකයින් රජයට චෝදනා කරන්නේ හදිසි නීතිය උපයෝගී කරගනිමින් රජය විරුද්ධවාදීන් මර්ධනය කරන බවය.

නව ප්‍රංශ කම්කරු නීතිය අනුව රජය විසින් කම්කරුවන්ට ලබාදෙන සුරක්ෂිතභාවය දැඩි සේ කප්පාදු වන අතර ආයතනයෙන් ආයතනයට වෙනමම කම්කරු නීති සම්පාදනය කිරීමේ අවස්ථාව හාම්පුතුන්ට ලැබේ. මේ අනුව හාම්පුතුන් සහ සේවකයින් එම ආයතනවල කම්කරුවන්ට බලපාන සේවා කොන් දේසි පිළිබඳ එකඟතාවයනට එළඹිය යුතුය​.

මෙම නව නීති ඉදිරිපත් කර ඇත්තේ ප්‍රංශයේ ප්‍රධානතම වාමාංශික පක්ෂය වන ප්‍රංශ සමාජවාදී පක්ෂය බලයේ සිටින අවස්ථාවක වීම විශේෂ කරුණකි. අනෙකුත් වාමාංශික පක්ෂ සහ ඇතැම් වෘත්තීය සමිති මෙම නීතිවලට දැඩි සේ විරෝධය පළ කරයි.
Pic: Associated Press

ප්‍රංශයේ සමාජවාදී පක්ෂ රජයට එරෙහි ජනතා ව්‍යාපාරය මෙම වසරේ මුල් කාර්තුවෙහි අවසන් දිනවලදී මතු විය​. මෙම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය ලබා දෙන්නේ General Confederation of Labour (French: Confédération générale du travail - CGT) වෘත්තීය සමිතිය ය​.

තවද රජයේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කෙරෙන උද්ඝෝෂණ සහ වැඩ වර්ජන සඳහා පසුගිය සති කිහිපය මුලුල්ලේම ප්‍රංශයේ විවිධ ක්ෂේත්‍රවල කම්කරුවෝ සහභාගී වූහ​. මෙහිදී ඇතැම් අත්‍යාවශ්‍ය සේවා ද අකර්මණ්‍ය විය​. ඇතැම් උද්ඝෝෂණවලට පොලිසියෙන් දරුණු ප්‍රහාර එල්ල විය​.

කෙසේ වෙතත්, ප්‍රංශයේ මේ වනවිට ඇරඹී ඇති තවත් විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ප්‍රංශ රජය අපහසුතවයට පත්ව ඇත​. නුවී ඩෙබෝ (Nuit Debout) නමින් හැඳින්වෙන එම ව්‍යාපාරය සාමකාමී දේශපාලන විරෝධතාවකි. සැඳෑ සමය එළඹීමත් සමඟ නගරවල චතුරස්‍රවලට එක්වන විරෝධතාකරුවෝ එහි සිට දේශපාලන සාකච්ඡා, විරෝධතා ව්‍යාපාර ආදිය පවත්වති. පැරිසියෙන් ඇරඹි මෙම නව ව්‍යාපාරය මේ වනවිට අනෙකුත් ප්‍රදේශවලටද පැතිර ගොස් ඇත​.

ප්‍රංශයේ වාමාංශික ව්‍යාපාරයේ පවතින බෙදීම් එරට කම්කරු නීතියට එරෙහි අරගලයට බාධාවක් බවට පත් ව ඇත​. එරට වාමාංශික ව්‍යාපාරයේ දේශපාලන පක්ෂ කිහිපයක්ම ක්‍රියාත්මක වන අතර ප්‍රබල වෘත්තීය සමිති ද කිහිපයක් වේ. එයින් ඇතැම් කොටස් අරගලය සඳහා එක්වී සිටිති.

මෙහී නායකත්වය දරන CGTය කළක් කොමියුනිස්ට් පක්ෂය හා සබඳකම් තිබූ, දැනට ස්වාධීනව කටයුතු කරන වෘත්තීය සමිතියකි.

Thursday, June 16, 2016

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිණී ජෝ කොක්ස් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රිණියක වන 41 හැවිරිදි හෙලන් ජොඈන් (ජෝ) කොක්ස් අද සවස සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගගත කිරීමෙන් පසුව මරුමුවට පත් වූවා ය​.

බටහිර යෝක්ෂයරයේ බැට්ලි ඇන්ඩ් ස්පෙන් (Batley and Spen) ආසනයේ මන්ත්‍රීවරිය ලෙස ඇය 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමිනි. කම්කරු පක්ෂ නායකත්ව සටනේදී මුලින් ජෙරමි කෝර්බින්ට සහය දුන් ඇය ඔහු නායකත්වය සඳහා යෝජනා කළ මන්ත්‍රීවරුන් 36 දෙනා අතරද වූවා ය​. නමුත් පසු කාළීනව ඈය එම තීරණය පිළිබඳ පසු තැවෙන බව ප්‍රකාශ කළාය​.

සමාජ සේවිකාවක මෙන්ම හිටපු අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ගේ බිරිඳ ද​ වන සාරා බ්‍රවුන් සහ සාමි මන්ත්‍රීවරියක මෙන්ම හිටපු කම්කරු පක්ෂ නායක නීල් කිනොක්ගේ බිරිඳ වූ ග්ලෙනිස් කිනොක්ගේ උපදේශකවරියක ලෙස කටයුතු කර ඇති ජෝ කොක්ස් ඔක්ස්ෆෑම් සංවිධානයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත​.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සිරියානු අර්බුදයට විසඳුමක් සොයාගැනීම කෙරෙහි ඇය කැපවී ක්‍රියා කළාය​. බ්‍රිතාන්‍ය හමුදා සිරියානු අර්බුදයට මැදහත්වීමෙන් වඩා යහපත් ප්‍රතිපලයක් අත්කරගනු ලැබෙතැයි ඈ සිතුවාය​.

කම්කරු පක්ෂය තුළ බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් තිබුණු තරුණ මන්ත්‍රීවරියක වූ ඇය අනපේක්ෂිත ලෙස ඝාතනය කරනු ලැබීම සමස්ථ බ්‍රිතාන්‍යයම තුෂ්නිම්භූත කළේය​.

එක් වාර්තාවක සඳහන් වූයේ ඇයව ඝාතනය කළ තැනැත්තා "පළමුව බ්‍රිතාන්‍යය​!" (Britain First) යයි කෑ ගැසූ බවය​. සිද්ධිය ඇසින් දුටුවකු ප්‍රකාශ කර තිබුණේ ජෝ කොක්ස්ට වෙඩි තැබූ තැනැත්තා එතැනින් පිටවීමට පෙර ඇයට පා පහරක් ද එල්ල කළ බව ය​.

ජෝ කොක්ස් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු යයි විශ්වාස කළාය​. බ්‍රිතාන්‍යය ජාතිකයෝ යුරෝපා සංගමය තුළ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ  හරියටම තවත් සතියකින් පැවැත්වෙන ජනමත විචාරණයකදී තීරණය කිරීමට නියමිතය​.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත​.

ජෝ කොක්ස්ගේ මරණින් පසු නිවේදනයක් නිකුත් කළ ඇගේ සැමියා කියා සිටියේ "වෛරය විසින් ඈ මරා දැමිණ​. වෛරයට ලබ්ධියක්, ජාතියක්, ආගමක් නොමැත​" යනුවෙනි.

ජෝ කොක්ස් කුඩා දරුවන් දෙදෙනකුගේ මවක වූවාය​.

ඉරාකයේ සහ සිරියාවේ ISIS විරෝධී සටන්වල අලුත්ම තත්ත්වය​

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට එරෙහිව ඉරාක සහ සිරියානු හමුදා කරනු ලබන මෙහෙයුම්වලදී වැදගත් ජයග්‍රහණ කිහිපයක් ලැබීමට දෙරටෙහිම හමුදා ඊයේ සමත් වූහ​.

ඉරාක හමුදාවේ 34 වන බ්‍රිගේඩය​, හෂ්ඩ් අල්-ශාබි මිලීෂියා භටයින් සහ ෆෙඩරල් පොලිසියේ සහය ඇතිව දකුණුදිග ෆලූජා හි අල්-ෂුහාඩා දිස්ත්‍රික්කය යළි අල්ලාගත් හ​. ෆලූජා සඳහා පවතින සටන් අතරතුර ඉරාක හමුදා එම ප්‍රදේශයට ළඟා වුවද පසුගිය සතියේදී ISIS සටන්කාමීන් එම ප්‍රදේශයට යළි ඇතුලු වූහ. ඊයේ දිනයේදී ඔවුන් එම ප්‍රදේශයෙන් යළිත් පළවා හරින ලදී.

මේ අනුව ෆලූජා හි අල්-ජබේල් ප්‍රදේශය වෙත ඉරාක හමුදාවල අවධානය මේ වනවිට යොමු වී පවතී.

මේ අතර මෙම සතියේ මුල දී ඉරාක හමුදා විසින් මෝසුල් ප්‍රාන්තයේ දකුණුදිග පිහිටි ගම්මානයක බලය ISIS සංවිධානයෙන් පැහැරගන්නා ලදී. මෙය මෝසුල් නගරය දෙසට එල්ල කිරීමට බලාපොරොත්තු වන හමුදා ප්‍රහාර සඳහා වැදගත් පියවරක් ලෙස සැළකේ.

මේ අතර සිරියාවේ ISIS ත්‍රස්තයින්ට එරෙහිව සිදුවන සටන්වල වැඩි අවධානය ඩෙයර් එසෝර් ප්‍රදේශය වෙත යොමු විය​. රකා ප්‍රාන්තයේදී ISIS සංවිධානයට එල්ලවන ප්‍රහාර තීව්‍ර වූ විට සිරියානු හමුදාවල අවධානය වෙනත් අතකට යොමු කිරීම සඳහා ISIS සංවිධානය ඩෙයර් එසෝර් වෙත ප්‍රහාරයක් ඇරඹූහ​. මෙහිදී රුසියානු ගුවන් හමුදා සටන්කාමීන්ට දැඩි ප්‍රහාර එල්ල කළහ​. නමුත් ප්‍රදේශයට බලපෑ වැලි කුණාටුවක් හේතුවෙන් ගුවන් ප්‍රහාර සීමා කිරීමට සිදු වූ අතර ඊයේ එම වැලි කුණාටුව අවසන් වීමෙන් පසු නැවතත් සිය ගුවන් ප්‍රහාර ඇරඹීමට රුසියානු ගුවන් හමුදා කටයුතු කළහ​.

මේ අතර ඩෙයර් එසෝර් හි සිරියානු හමුදාවලට ප්‍රහාරයන් එල්ල කරනු ලබන දර්ශන ඇතුලත් ප්‍රචාරක වීඩියෝවක් ද මෑතකදී ISIS සංවිධානය විසින් අන්තර්ජාලයට එකතු කර තිබුණි.

ඩෙයර් එසෝර් ප්‍රදේශය සිරියාවේ නැගෙනහිරින් පිහිටි රජයේ හමුදා අත පවතින අවසන් ප්‍රදේශයයි. එය සම්පූර්ණයෙන්ම ISIS සටන්කාමීන් විසින් වටලනු ලැබ ඇත​.

Wednesday, June 15, 2016

පිලිපීනයේ අබු සයාෆ් (Abu Sayyaf) ත්‍රස්ත සංවිධානය

අග්නිදිග ආසියාවේ ක්‍රියාත්මක වන කුඩාම නමුත් දරුණුතම අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් ලෙස අබු සයාෆ් සංවිධානය සැළකිය හැක​.

අබු සයාෆ් යන වචනයෙහි සෘජු වචනාර්ථය අසිපත් නිපදවන්නාගේ පියා යන්න වන අතර "අසිපත දරන්නා" යන අදහසින් එම නම භාවිතා වේ. කප්පම් සඳහා මිනිසුන් පැහැරගැනීම සහ හමුදාව සහ සිවිල් වැසියන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ එම සංවිධානය ප්‍රසිද්ධ වී ඇත​.

දකුණු දිග පිලිපීනයේ මුස්ලිම් බහුතරයක් ජීවත් වන මින්ඩනාඕ දූපතේ බටහිර පෙදෙසේ සහ විශේෂයෙන් ම බසිලාන් ඇතුලු සූලු දූපත් හි ක්‍රියාත්මක වන අබු සයාෆ් සංවිධානයේ ආරම්භය 1991 වසර දක්වා දිවෙයි.

අබු සයාෆ් සංවිධානය නිර්මාණය කළේ අබ්දුරායක් අබුබකර් ජන්ජලානි (Abdurajak Abubakar Janjalani) ය​. ඔහු ආගමික දේශකයකු වූ අතර සෝවියට් දේශයට එරෙහිව ඇෆ්ඝනිස්ථානයේදී සටන් වැදුණේය​. ඇතැම් මූලාශ්‍රවලට අනුව ඔහු එහිදී අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් මුණ ගැසී ඇති අතර බින් ලාඩ්න් ඔහුට අබු සයාෆ් සංවිධානය ගොඩ නැගීම සඳහා මුදලින් ආධාර කර ඇත​.

අබු සයාෆ් සංවිධානය බිඳී ආයේ මෝරෝ ජාතික විමුක්ති පෙරමුණෙනි. කළක් ස්වාධීන ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන්කළ පිලිපීන මුස්ලිම් සංවිධානයක් වූ එය පසුව ස්වයං පාලනය සඳහා කැමැත්ත පළ කළේය​. ඊට එරෙහිව​, තව දුරටත් ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීම සඳහා සටන් වැදීමට තීරණය කළ කණ්ඩායමක් අබු සයාෆ් සංවිධානය නිර්මාණය කළෝය​.

1999 දී ජන්ජලානි හමුදා ප්‍රහාරයකින් මිය ගිය අතර ඔහුගේ බාල සොයුරු ගඩාෆි ජන්ජලානි සංවිධානයේ නායකයා බවට පත් විය​. කෙසේ වෙතත් එම සංවිධානයේ විවිධ කල්ලි මතු වූයේය​. ගඩාෆි ජන්ජලානි 2006 දී මිය ගිය පසු මෙම වෙන්වීම තවත් ප්‍රමුඛ වූ බව පැවසේ.

වර්තමානයේ අබු සයාෆ් සංවිධානයේ සමස්ථ පිරිස් බලය 400ක් පමණ වෙතැයි සැලකෙන අතර ඔවුන් විවිධ කණ්ඩායම් කිහිපයක් ලෙස ක්‍රියාත්මක වේ. මින් සමහර කණ්ඩායම් "ඉස්ලාමීය රාජ්‍යය​" හෙවත් "IS" යයි කියාගන්නා කල්ලියට සිය සහයෝගය ප්‍රකාශ කර තිබේ. ඉස්නිලොන් ටොන්ටෝනි හපිලොන් (Isnilon Tontoni Hapilon) නම් අබු සයාෆ් නායකයා මෙසේ "IS" සංවිධානයට සහය පළ කරන පිලිපීන කැරළිකරුවන් අතර ප්‍රධානම නායකයා ලෙස සැළකේ.

අබු සයාෆ් සංවිධානය විසින් සිදු කරන ලද දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැළකෙන්නේ 2004 වසරේ දී මැනිලා බොක්කේදී මගී බෝට්ටුවකට පහර දීමය​. එහිදී ජීවිත 116 ක් අහිමි වූයේය​. පසු කාලීනව කප්පම් සඳහා පුද්ගලයින් පැහැරගැනීම පිළිබඳ ඔවුන් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ අතර ඇතැම් අවස්ථාවල එම පුද්ගලයින් ඝාතනය කළ අවස්ථා ද දැකිය හැකි විය​. මෑතක දී එලෙස පැහැර ගන්නා ලද කැනේඩියානු ජාතිකයන් දෙදෙනකු ඝාතනය කරනු ලැබුණි.

අබු සයාෆ් ක්‍රියාකාරීත්වය හේතුවෙන් සූලු දූපත් අවට මුහුදු ප්‍රදේශ අනාරක්ෂිත වී ඇති අතර ප්‍රදේශයේ සමුද්‍ර ගමනාගමනය ද තර්ජනයකට ලක් වී තිබේ.

තව ද කලාපයේ වෙනත් අන්තවාදී සංවිධාන සමඟ මෙන්ම කලාපයෙන් පිට එවන් සංවිධාන සමඟ අබු සයාෆ් සංවිධානයට ඇති සම්බන්ධතා පිළිබඳ විවිධ සාධක මතු වෙමින් පවතී. උදාහරණයක් වශයෙන් ජනවාරියේදී ජකර්තා නගරයට එල්ල වූ ප්‍රහාරය සඳහා යොදාගන්නා ලද අවි පැමිණියේ දකුණු පිලිපීනයෙන් බව සොයාගනු ලැබුණි. තවද මුජහිදීන් ඉන් දුනීසියා ටිමූර් සහ ජමා ඉස්ලාමියා වැනි සංවිධාන සමඟ අබු සයාෆ් සංවිධානයට කලක් තිස්සේ පවතින ප්‍රබල සබඳතා ඇත​. කුප්‍රකට බාලි බෝම් බයෙන් පසු ඊට දායක වූ ඇතැම් ජමා ඉස්ලාමියා ත්‍රස්තවාදීන් ආරක්ෂාව පතා දකුණුදිග පිලිපීනයට පළා ගිය බව ප්‍රකට කරුණකි.

මේ අතර අබු සයාෆ් ත්‍රස්තයින්ට මැද පෙරදිග ඉස්ලාමීය අන්තවාදීන් සමඟ ද සම්බන්ධතා ඇති බව වාර්තා වී ඇත​. අබු සයාෆ් කල්ලියක් සමඟ වූ ගැටුමකින් පසු මොරොක්කෝ ජාතික බෝම් බ විශේෂඥයකුගේ මළ සිරුරක් සොයාගැනීමට පිලිපීන හමුදා සමත් වීම ඒ සඳහා මෑත කාලයේදී ලැබුණ සාක්ෂිය විය​.

පිලිපීන පොලිසිය සහ හමුදා ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වල දිගටම නිරත වුවද තවමත් ඔවුනට අබු සයාෆ් ත්‍රස්තයින් සම්පූර්ණයෙන් පරාජය කළ නොහැකි විය​. සූලු දූපත්වල වනගත පෙදෙස් ආශ්‍රිතව ආරක්ෂිත ස්ථානවල සිට ඔවුහු රජයේ හමුදා සමඟ සටන් කරති. ජූනි 30 වනදා දිවුරුම් දෙන නව ජනාධිපති රොඩ්‍රිගෝ ඩුආර්ටේ අබු සයාෆ් ත්‍රස්තයින් කෙරේ කිනම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත​.

Tuesday, June 14, 2016

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ (Brexit) ජනමත විචාරණයෙහි පසුබිම​

මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල​, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ මාධ්‍යවල භාවිතාවන වචනයකි Brexit. එය Britain, exit යන වචන දෙකෙන් බිඳී ආවක් සේ සැළකිය හැක​. යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත් විය යුතුය යන්න එමගින් කියවේ.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතුද යන්න තීරණය කිරීම සඳහා පවත්වනු ලබන ජනමත විචාරණය ජූනි 23 වනදා පැවැත්වෙන අතර මේ වනවිට 'ඉවත් විය යුතුය​' ඡන්ද ව්‍යාපාරය 'රැඳී සිටිය යුතුය​' ඡන්ද ව්‍යාපාරය පරදා ඉදිරියට පැමිණෙමින් සිටින බව වාර්තා පළ වී ඇත​.
Pic: AFP/Getty Images

අද දින, බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් සහිත දිනපතා පුවත්පත වන 'The Sun' පුවත්පත, සිය කතු වැකිය මගින් "ඉවත් විය යුතුය​" යන අදහසට සහය පළ කර සිටියේය​. පුවත්පතෙහි අයිතිකරු වන්නේ දක්ෂිනාංශික කෝටිපති ව්‍යාපාරික රූපට් මර්ඩොක් ය​.

බ්‍රිතාන්‍යයේ දක්ෂිනාංශික කණ්ඩායම් යුරෝපා සංගමයෙන් එරට ඉවත් විය යුතු බව තරයේ ප්‍රකාශ කරති.

බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය - ඉතිහාසය​

බ්‍රිතාන්‍යය සහ යුරෝපය අතර ඇති සම්බන්ධය පිළිබඳ එරට ජනතාවගේ මත විමසීමක් අවසන් වරට සිදු වූයේ 1975 තරම් ඈතකදී ය​. ඒ එවකට රටවල් 9 කින් සහ මිලියන 250 ක ජනතාවකින් සැදුම්ලත් යුරෝපියානු "පොදු වෙළඳපොළ​" (Common Market) පිළිබඳවය​. නමුත් එතැන් පටන් යුරෝපය වේගයෙන් වෙනස් වී ඇත​. අද වනවිට යුරෝපා සංගමය යනු රටවල් 28 ක එකතුවකි. මින් රටවල් 19 ක එකම මුදල් ඒකකය භාවිතා වේ. එමෙන්ම එකළ පැවති වාණිජමය එකතුවෙන් ඔබ්බට ගිය දේශපාලනික එකමුතුවක් කරා යුරෝපය ගමන් කර ඇත​.

එහි ප්‍රතිපලය වන්නේ එක් එක් රටවල ස්වෛරීභාවය පිළිබඳ ඇතැම් කරුණුවලට යම් යම් ආකාරවලින් බලපෑම් කිරීමට යුරෝපා සංගමයට හැකියාව ලැබීමයි.
The signing of the Maastricht Treaty (Pic: Getty)

වර්තමාන යුරෝපා සංගමය බිහි වූයේ 1992 දී අත්‍සන් කෙරුණ මාස්ට්‍රිච්ට් ගිවිසුමට (Maastricht Treaty) අනුවය​. කෙසේ නමුත් එම ගිවිසුමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සමහර බලතල යුරෝපා සංගමයට පාවා දුන් බව පවසන කොටසක් බ්‍රිතාන්‍යය තුල මතු විය​. මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දක්ෂිනාංශික පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයන් සැළකිය යුතු පිරිසක් වූහ​.

කෙසේ වෙතත් 1997 දී කම්කරු පක්ෂය බලයට පත් වීමෙන් පසු එම හාහෝව සැළකිය යුතු පමණකින් අඩු වූ අතර ආර්ථික තත්ත්වය යහපත් වීම ද ඊට බලපෑවේය​. 2008 ආර්ථික අවපාතය පැමිණෙන තුරු, පොදු වෙළඳපොල තුළ රැඳී සිටීම යහපත් යන හැඟීම වඩා ප්‍රමුඛ වූයේය​.

කෙසේ වෙතත් ආර්ථික තත්ත්වය අයහපත් වීමට පටන් ගත් විට යුරෝපයේ රැඳී සිටීමට එරෙහි පිරිස වඩා ප්‍රබල වන්නට විය​.

ප්‍රශ්නය ආරම්භ වූයේ 2000 ගණන්වල මුල් කාළයේ පමණ සිට පැරණි කොමියුනිස්ට් කඳවුරේ වූ නැගෙනහිර යුරෝපා රටවල් යුරෝපා සංගමයට ඇතුලත් වීම ඇරඹීමත් සමඟය​. මේ සමඟ රැකියා අවස්ථා සොයා වඩා පොහොසත් බටහිර යුරෝපා රටවලට මෙම රටවැසියන් පැමිණෙන්නට විය​. මුල් සමයෙහිදී මෙම සංක්‍රමණිකයන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ විශාල විරෝධයක් නොවුවද ආර්ථික අවපාතයත් සමඟ තත්ත්වය පැහැදිලි වෙනසකට බඳුන් වූයේය​.

UKIP පක්ෂයේ නැගීම​

ජනතාව අතර සංක්‍රමණිකයන්ට එරෙහි අදහස් ඉහළ යනවිට එම අතෘප්තියට පත් ජනතාව එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය (United Kingdom Independence Party - UKIP)  වටා එක් රොක් වීමට පටන් ගත් හ​. පක්ෂය 2010 මැතිවරණයේදී ද ඉතා සුලු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් නමුදු 2015 වන විට එම ප්‍රතිශතය සියයට 15 ක් පමණ වන ලකුණු පවා පහළ වී තිබිණ​. මෙම තත්ත්වය යටතේ දක්ෂිනාංශික ඡන් ද කැඩීගොස් කම්කරු පක්ෂය මැතිවරණය ජයගනු ඇතැයි යන අදහසක් පහළ විය​.

මේ අවස්ථාවේ කොන්සර්වේටිව් පක්ෂයට, UKIP පක්ෂයේ සටන් පාඨ සමඟ සටන් කළ හැකි ප්‍රබල සටන් පාඨයක් අවශ්‍ය විය​. 2013 දී අගමැති ඩේවිඩ් කැමරන් එම සටන් පාඨය සිය කොන්සර්වේටිව් පාක්ෂිකයන්ට ලබා දුන්නේය​.

2015 මහ මැතිවරණය කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළහොත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු ද යන්න විමසා බැලෙන ජනමත විචාරණයක් පැවැත්වීමට කැමරන් ප්‍රතිඥා දුන්නේය​.

මෙම ජනමත විචාරණය පැවැත්වීම කැමරන් කැමැත්තෙන්ම ගත් තීරණයක් ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ඔහු එම අවදානම ගත්තේ එය හොඳම විකල්පය බව පෙනී ගිය හෙයිනි. 2015 මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළ අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රහිතව තනිව රජයක් පිහිටුවීමට එයට හැකි විය​.

මෙසේ කොන්සර්වේටිව් පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවනු ඇතැයි යන්න මැතිවරණයට පෙර බලාපොරොත්තු නොවූ තත්ත්වයක් විය​. නමුත් එම මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රතිපලය වූයේ කැමරන්ට සිය ප්‍රතිඥාව ඉටු නොකර සිටිය නොහැකි වීමය​. යම් හෙයකින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ නැවතත් සන්ධාන රජයක් බිහිකිරීමට වී නම් මෙම ජනමත විචාරණය සිදු නොවීමට ඉඩ තිබුණි. මක් නිසාද යත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් එම ජනමත විචාරණයට එරෙහි වන බැවිනි.

යුරෝපය තුළ ශක්තිමත් බ්‍රිතාන්‍යයක්

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කැමරන් යොමු වූයේ වඩා වාසිදායක කොන්දේසි යටතේ යුරෝපා සංගමය තුළ බ්‍රිතාන්‍යය තබාගැනීමේ ප්‍රයත්නයක් කෙරෙහි ය​. මේ අනුව සරණාගත ප්‍රශ්නයේදී, මූල්‍ය කටයුතුවලදී සහ දේශපාලන ඒකාබද්ධතාව පිළිබඳ ගැටලුවලදී බ්‍රිතාන්‍යයට යම් සුරක්ෂිතභාවයක් ලැබෙන පරිදි යුරෝපා සංගමය සමඟ එකඟතාවයකට එළඹීමට ඉකුත් පෙබරවාරියේදී කැමරන් කටයුතු කළේය​. ඉන්පසු ඔහු ජූනි 23 වනදාට ජනමත විචාරණය කැඳවූයේ ය​.

මෙම එකඟතාවයෙන් පසු කැමරන් යුරෝපා සංගමයේ දිගටම රැඳී සිටීම කෙරෙහි සිය පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළේය​. එහෙත් ඔහුගේම කැබිනෙට්ටුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඇතුලුව කොන්සර්වේටිව් පාක්ෂිකයන් පිරිසක් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යයි ප්‍රකාශ කරති.

Monday, June 13, 2016

LinkedIn සමාගම මිලට ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම්

ලෝ ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් LinkedIn සමාජ ජාල සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 26.2 ක මුදලකට මිලදී ගැනීමට සැරසෙන බව එම සමාගම් දෙක අද නිවේදනය කළේය​. LinkedIn යනු වෘත්තිකයන්ගේ සමාජ ජාලයකි.

"ලොව වටා සිටින්නන්ට ඔවුනට අදාල අවස්ථාවන් ළඟා කරදීමෙහි අප සමත් වූවා මෙන්ම​, මයික්‍රොසොෆ්ට් සමාගම සමඟ එක් වීමත් සමඟ, ඔවුනගේ ක්ලවුඩ් එකත් අපේ ජාලයත් එකතු වීමෙන්, ලෝකය මහත් විපර්යාසයකට ලක් කළ හැකි වනු ඇත​," ප්‍රධාන විධායක ජෙෆ් වෙයිනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය​.

රැකියා අවස්ථා සොයන්නන් සහ වෘත්තීමය හැඳුනුම්කම් ගොඩනගාගැනීමට අවැසි අයවලුන් විසින් වැඩිපුර භාවිතා කරන LinkedIn සමාජ ජාලයෙහි ලියාපදිංචි සාමාජිකයින් මිලියන 433 ක් සිටින අතර මසකදී මිලියන 105 ක පමණ ප්‍රමාණයක් දෙනා එය භාවිතා කරති.

සමාගම් දෙක එක්වූ පසු ද LinkedIn වෙබ් අඩවියෙහි විශාල වෙනස්කම් සිදු නොවනු ඇති බවත් එහි අනන්‍ය වූ ලක්ෂණ සුරැකිව පවතිනු ඇති බවත්, වෙයිනර් දිගටම ප්‍රධාන විධායක ලෙස කටයුතු කරනු ඇති බවත් සඳහන් කෙරිණ​.

මෘදුකාංගවලින් ඔබ්බට ව්‍යාපාර අවස්ථා පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම අවධානය යොමු කරමින් සිටින අතර LinkedIn සමාගම ද නව අවස්ථා පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියේය​. මෙම ගනුදෙනුව සඳහා එකඟත්වය ඇති වූයේ එම පසුබිම යටතේය​.

මෙම ගනුදෙනුව සම්පූර්ණ වීමට කොටස්කරුවන් ගේ සහ අදාළ නියාමන ආයතනවල අනුමැතිය අවශ්‍ය ය​. මෙම වසර අවසන් වීමට පෙර එම කටයුතු සම්පූර්ණ වෙතැයි අපේක්ෂිතය​.

ෆලූජා නගරයේ ISIS විරෝධී සටන් අවුල් සහගත වන ලකුණු පළ වේ

ඉස්ලාමීය ත්‍රස්තවාදී ISIS සටන්කාමීන්ට එරෙහිව ඉරාක හමුදා සහ ෂියා මිලීෂියා සේනාංක තවමත් ෆලූජා නගරය අවට සටන් කරමින් සිටිති.

පසුගිය සෙනසුරාදා සටන්කාමීන් නගරය වටලාගෙන සිටින ඉරාක හමුදා සහ මිලීශියා භටයින්ට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන් 50 ක් පමණ මරණයට පත් කළ හ​. මෙය මැයි 23 වනදා නගරය අල්ලාගැනීම සඳහා ඉරාක මෙහෙයුම් ඇරඹුන පසු සිදුවූ දරුණුතම ප්‍රහාරයක් විය​.

මේ අතර අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි ෆලූජා සඳහා සටන වර්ගවාදී ගැටුමක් බවට පත්වන ලකුණු පහළ වෙමින් තිබේ. සුන්නි ඉස්ලාම් බැතිමතුන් වසන ෆලූජා නගරය ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ෂියා මුස්ලිම් සටන්කාමීන් වැඩි වශයෙන් දායක වීම එයට හේතු වී ඇත​.

ඉරාක රජය මුලින් ප්‍රකාශ කළේ ෆලූජා නගරය ගලවා ගැනීමේ ප්‍රහාරය සිය රජයේ හමුදා විසින් මූලිකත්වය ගෙන සිදු කෙරෙනු ඇති බවය​. කෙසේ වෙතත් ෂියා මුස්ලිම් මිලීෂියා භටයින් වැඩි වැඩියෙන් ඒ සඳහා සම්බන්ධ වෙමින් පවතින බව වාර්තා වේ.

ෆලූජා නගරයෙන් පලා එන සිවිල් වැසියන් සමහරෙක් ෂියා මිලීෂියා භටයින් විසින් අල්ලාගෙන ඔවුනට වධ හිංසා පමුණවන ලද බව ද වාර්තා විය​.

මේ අතර සුන්නි මිලීෂියා කණ්ඩායම් ද බටහිර දෙසින් ෆලූජා නගරය වෙත ළඟාවෙමින් සිටින බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය​.

ISIS සටන්කාමීන් නගර මධ්‍යය දෙසට කෙමෙන් පසු බසිමින් සිටියද නගරය තුළ රැඳී සිටින ISIS සටන්කාමී බල ඇණිය තවමත් ශක්තිමත් තත්ත්වයක පවතින බව සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් පැහැදිලි වේ.

මේ අතර සිරියානු රජය රකා ප්‍රාන්තයේ සෆයේ හි ඇති තෙල් ළිංවල නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත​. මේ සඳහා සිරියානු ඉංජිනේරුවන් පිරිසක් මෑතකදී එහි නිරීක්ෂණ චාරිකාවක ද යෙදුණහ​.

සෆයේ ප්‍රදේශය සිරියානු රජයේ හමුදා විසින් සටන්කාමීන් ගෙන් මෑත දී අල්ලාගන්නා ලදී.

මීට අමතරව කුර්දි-අරාබි කණ්ඩායම්වලින් සැදුම්ලත් සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සංවිධානය විසින් වටලන ලද මන්බිජ් නගරයේ සිටින සිවිල් වැසියන් පිරිසක් සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් මිදී පළා ආ බව ද වාර්තා විය​.

Sunday, June 12, 2016

ඉතාලි පුවත්පතක් හිට්ලර්ගේ 'මගේ සටන​' නොමිලයේ බෙදයි

ඉතාලියේ දක්ෂිනාංශික පුවත්පතක් වන 'ඉල් ජොර්නාලේ' පුවත්පත මෙම සෙනසුරාදා දිනයේ දී සිය පාඨකයන්ට නොමිලයේ හිට්ලර්ගේ 'මගේ සටන​' පොතේ පිටපතක් ලබා දී තිබේ.

මෙම ක්‍රියාව කෙරෙහි ඉතාලි රජය මෙන්ම එරට 30,000 ක් පමණ වන යුදෙව් ප්‍රජාවද සිය අප්‍රසාදය පළ කර තිබේ. ඉතාලි යුදෙව් එකමුතුවේ සභාපති රෙග්නෝ ගටෙග්නා සඳහන් කළේ මෙය "අශෝභන" ක්‍රියාවක් බවයි.

හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ පවුලට අයත් ඉල් ජොර්නාලේ පුවත්පත මෙම විරෝධතාවලට පිළිතුරු දුන්නේ ජනතාවට 'නපුරෙහි මූලය​' අවබෝධ කරදීමේ උත්සාහයක් ලෙස මෙම ක්‍රියාව කළ බවයි.

තවද නට්සි ජර්මනිය සම්බන්ධව පොත් මාලාවක් සිය පුවත්පත සමඟ විකිණීමේ බලාපොරොත්තුවක් ඇති බවත් එහි ආරම්භය ලෙස 'මගේ සටන​' පොත ලබාදුන් බවත් 'ඉල් ජොර්නාලේ' කර්තෘ අලිසන් ද්‍රෝ සලුස්ති ප්‍රකාශ කළේය​.

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ මෙම පොත සමඟ ඒ පිළිබඳ ඉතාලි මහාචාර්යවරයකු ලියූ විවරණයන් ද ඇතුලත් බවය​. කෙසේ වෙතත් එම පියවර කෙරෙහි එල්ලවන විරෝධය ඔහුට වටහාගත හැකි බවත් ඔහු ප්‍රකාර කර තිබුණි.

ජර්මනියේ නට්සි නායක ඇඩොල්ෆ් හිට්ලර් 1924 - 26 සමයෙහි ලියූ 'මගේ සටන​' ඔහුගේ මතවාදය පිළිබඳ අත්පොත ලෙස සැලකේ. 2015 අවසානය වනතුරු එහි බුද්ධිමය දේපල අයිතිය වූයේ ජර්මනියේ බැවේරියා ප්‍රාන්ත රජයටය​. 2016 මුලදී බොහෝ විවරණ සහිත අලුත් 'මගේ සටන​' ජර්මන් මුද්‍රණයක් පළ කරනු ලැබිණ​.

මේ අතර ජර්මනියේ අන්ත දක් ෂිනාංශික පොත් ප්‍රකාශකයකු 'මගේ සටන' මුල් පොත ඒ ආකාරයෙන්ම පළ කිරීමට සූදානම් වීම මහත් ආන් දෝලනයක් ඇති කළේය​.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් යළි සේවයේ පිහිටුවන්නැයි උද්ඝෝෂණයක්

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය සුමිත් පිලපිටිය යළි සේවයෙහි පිහිටුවන ලෙසත් ඔහුට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එම කටයුතු කරගෙන යාමට ඉඩ සලසන ලෙසටත් බල කෙරෙන උද්ඝෝෂණයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විණ​.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ෆේස්බුක් සමාජජාලය හරහා වීම ද විශේෂත්වයකි.

ආචාර්ය පිලපිටිය පසුගිය සඳුදා සිය ඉල්ලා අස්වීම බාරදුන් බව වාර්තා වූ අතර එයට හේතු වූ ආසන්නම කරුණ ලෙස දැක්වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකු වන සජිත් ප්‍රේමදාස සහ යාල ප්‍රධාන වන අඩවි නිලධාරියා අතර වූ සිද්ධියකි.

කොටියකු මරා දත් ගලවමින් සිටියකු අත් අඩංගුවට ගැනීමත්, එම තැනැත්තා ප්‍රේමදාසගේ හිතවතකු වීම හේතුවෙන් වන අඩවි නිලධාරියාට දේශපාලන බලපෑම් එල්ල වීමත් එම සිදුවීම බව වාර්තා පළ විය​.

මේ අනුව වනජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත් වීමෙන් අදාල නිලධාරියාට ප්‍රේමදාසගෙන් පුද්ගලිකව සමාව ගන්නට බල කෙරුණ බව වාර්තා විය​.

කෙසේ වෙතත් අදාල ඇමතිවරුන් දෙපළම මෙම වාර්තා ප්‍රතික්ෂේප කරති.

ආචාර්ය පිලපිටියගේ ඉල්ලා අස්වීම ජයවික්‍රම පෙරේරා විසින් මෙතෙක් බාරගෙන නොමැත​. වාර්තාවන අන්දමට එයට හේතු වී ඇත්තේ ආචාර්ය පිලපිටිය අල්ලා අස්වීම පිළිබඳව අගමැතිවරයා දැඩි විරුද්ධත්වයක් දැක්වීම ය​.

රුසියානු දිනය​ - Russia Day

අද රුසියානු දිනයයි. මීට වසර 26 කට කළින් 1990 ජූනි 12 වනදා, රුසියානු සෝවියට් සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව (මහජන නියෝජිත කොංග්‍රසය​) විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගන්නා ලදී.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රුසියානු ස්වෛරීත්වය පිළිගත් අතර සෝවියට් නීතියට වඩා රුසියානු පාර්ලිමේන්තුවෙන් සාදන නීති එම සමූහාණ්ඩුව තුල උත්තරීතර වන බව පිළිගන්නා ලදී.

මෙම නව ව්‍යවසථාව සම්මත කරගන්නා ලද්දේ පැරණි සෝවියට් දේශයෙහි විශාල පෙරළි සිදුවන සමයකය​. 1990 මාර්තුවේ පැවති මැතිවරණයෙන් රුසියානු සමූහාණ්ඩුවේ මෙම නව පාර්ලිමේන්තුව පත් කරගන්නා ලදී. එහි බොහෝ නියෝජිතයින් කොමියුනිස්ට් පාක්ෂිකයන් වුවුද ස්වාධීන නියෝජිතයෝ සියයකට වැඩි පිරිසක් ද තෝරාගන්නා ලද හ​. මුලු නියෝජිත සංඛ්‍යාව වූයේ 1068 කි.

ජූනි මස 12 වනදා සම්මත කරගන්නා ලද ව්‍යවස්ථාවෙන් පහත සඳහන් මූලික කරුණු ස්ථාපිත කරන ලදී.

* සෝවියට් නීතියට වඩා රුසියානු නීතියට මූලිකත්වය දීම​
* නීතිය ඉදිරියේ සම අයිතිය​
* විධායක​, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය බෙදීම​
* රුසියාව තුල පවතින ස්වයං පාලන ප්‍රදේශවලට වැඩි බලයක් ලබා දීම (ෆෙඩරල් ක්‍රමය​)

මෙම ව්‍යවස්ථාවෙහි අරමුණ වූයේ සෝවියට් දේශයෙන් බෙදී යාම නොව, නව තත්ත්වයන් යටතේ වඩා සාධාරණ ෆෙඩරල් ක්‍රමයකට යාම බව එවකට ප්‍රකාශ කෙරිණ​.
රුසියානු නායක යෙල්ට්සින් සහ සෝවියට් නායක ගොර්බචොව් (දකුණේ)

මිහායිල් ගොර්බචොව් බලයට පැමිණීමට පෙර වුවද සෝවියට් දේශයෙහි සාමාජික සමූහාණ්ඩුවලට ව්‍යවස්ථාවෙන් සැළකිය යුතු බලයක් තිබුණද​, ප්‍රායෝගිකව සියල්ල පාලනය කළේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් ය​. ව්‍යවස්ථාවේ වූ බලතල සමූහාණ්ඩුවලට ඇත්තෙන්ම ලැබුණේ නැත​.

රුසියානු සමූහාණ් ඩුව බලාපොරොත්තු වූයේ එම තත්ත්වය වෙනස් කිරීමට යයි පැවසින​. ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ආකාරයේ ක්‍රමයක් අපේක්ෂා කරන්නට ඇත​. එහි බොහෝ කරුණු සම්බන්ධව ප්‍රාන්තයන් වෙනමම නීති සම්පාදනය කරයි.

කෙසේ වෙතත් රුසියාවේදී කරුණු පෙළ ගැසුනේ සෝවියට් දේශය බිඳ වැටීම කෙරෙහි ය​. නව ව්‍යවස්ථාව සම්මත කොට හරියටම වසරක් ගත වෙදී, 1991 ජූනි 12 වනදා රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති තනතුරක් ඇති කර එයට බොරිස් යෙල්ට්සින් පත් කරන ලදී. අගෝස්තුවේ දී පැරණි සෝවියට් ක්‍රමය යළි ස්ථාපිත කිරීම සඳහා සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් පිරිසක් උත්සාහ කළහ​. මෙම 'අගෝස්තු කුමන්ත්‍රණය' පරාජය වූ පසු සෝවියට් දේශයේ අවසානය වේගවත් විය​.

මුල් කාලීනව රුසියානු ජාතිකයන් වැඩි පිරිසක් 'රුසියානු දිනය​' සැමරීම කෙරෙහි එතරම් උනන් දුවක් නොදැක්වූ නමුත් වර්තමානය වනවිට එය නිවාඩු දිනයක් ලෙස ස්ථාපිත වී ඇත​. මෙම වසරේ වූවාක් මෙන් සති අන්තයකට එම නිවාඩු දිනය යෙදුණහොත් ඊළඟ සඳුදා රුසියාවේ නිවාඩු දිනයක් ලෙස සළකනු ලැබේ.

Saturday, June 11, 2016

ලෝ ප්‍රකට පර්සියානු කවි රූමි හේතුවෙන් ජාත්‍යන්තර මතභේද දෙකක්

ජලාල් අල්-දින් මුහම්මද් බල්ඛි (Jalal al-Din Muhammad Balkhi) හෙවත් රූමි පර්සියානු සාහිත්‍යයේ සුප්‍රසිද්ධම කවියා යයි කිවහොත් එහි වරදක් නොමැත​. 1207 දී උපන් රූමි 1273 දෙසැම්බර් 17 වනදා මිය ගියේය​. වත්මන් ඇෆ්ඝනිස්ථානයේ බල්ඛි හිදී උපන් ඔහු සිය ජීවිත කාළයෙන් වැඩි කොටසක් ගෙවූයේ එවක රුම් සුල්තාන් රාජ්‍යයේ පිහිටි (වර්තමාන තුර්කියේ) කොන්යා නගරයේය​.

රූමිගේ කවි වෙසෙසින් ම මධ්‍යම සහ බටහිර ආසියාවේ මෙන්ම යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇත​. කෙතෙක් ද යත් ඇමරිකාවේ අලෙවි වන කවි පොත් සංඛ්‍යාව සැලකීමේදී ඉදිරියෙන්ම සිටින්නේ රූමි ය​. ඔහුගේ කවි ඉංග්‍රීසි සහ වෙනත් බොහෝ ප්‍රධාන භාෂාවලට පරිවර්තනය වී ඇත​.

රූමිගේ චරිත කතාව අළලා සිනමාපටයක් නිර්මාණය කිරීමට හොලිවුඩය පෙළඹෙන්නේ මෙවන් පසුබිමක ය​. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වන සම්මානලාභී අධ්‍යක්ෂක ඩේවිඩ් ෆ්‍රැන්සෝනි මෑතකදී කළ හෙළිදරව්වක් මහත් වූ ආන්දෝලනයකට හේතු විය​.

සිය චිත්‍රපටයෙහි රූමිගේ චරිතය සඳහා ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ තෝරාගන්නා බව ෆ්‍රැන්සෝනි ප්‍රකාශ කළේය​. ඒ සමඟම රූමිගේ ආසියානු රසිකයෝ දැඩි සේ නොසතුටට පත්ව ඊට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වූහ​.

විශේෂයෙන්ම සුදු ජාතික නලුවකු රූමිගේ චරිතය සඳහා යොදාගැනීම පිළිබඳ මේ ඇතැම් විවේචකයින් නොසතුටට පත් වූහ​. #RumiWasn'tWhite නැතහොත් "රූමි සුද්දකු නොවීය​" යන හෑෂ්ටැගය යොදාගනිමින් ඔවුහු සමාජ ජාලවල මේ පිළිබඳ සිය විරුද්ධත්වය ප්‍රකාශ කළහ​.

ඉරාන ජාතික චිත්‍ර ශිල්පී ශහාබ් ජැෆර්නෙජාඩ්, ඩිකැප්‍රියෝ රූමි ලෙස හැඩ ගන්වා ඇඳි කාටූනයක් සමාජජාලවල වේගයෙන් පැතිර ගියේය​.

රූමි උපන් ඇෆ්ඝනිස්ථානයේ සංස්කෘතික අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ මේ පිළිබඳව වැඩි විස්තර දැනගත් විට චිත්‍රපට නිර්මාපකයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ඊටත් වඩා දරුණු තුන්කොන් සටනකට ඇෆ්ඝනිස්ථානය මේ වනවිට මැදිව සිටී. රූමිගේ සුප්‍රකටම කෘතිය වන මස්නාවි මනාවි ග්‍රන්ථය ඔවුනගේ රටවල උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානයෙහි ලියාපදිංචි කිරීමට තුර්කිය සහ ඉරානය සූදානම් වේ. තුර්කිය මෙම පියවර සාධාරණීකරණය කරනුයේ රූමි ඔවුනගේ රටෙහි වැඩි කලක් දිවි ගෙවූ බව පවසමිනි. එමෙන්ම ඉරානය ප්‍රකාශ කරන්නේ පර්සියානු බසින් රූමි ලේඛන කලාවෙහි යෙදුණ හෙයින් එම ග්‍රන්ථය එරට උරුමයක් ද වන බවය​.

කෙසේ නමුත් රූමි උපන් ඇෆ්ඝනිස්ථානයෙහි රජය මෙම පියවර පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කළේය. එරට යුනෙස්කෝ නියෝජිතවරියට මේ පිළිබඳව ඇෆ්ඝන් රජය පැමිණිලි කළ අතර, ඇය එම විරෝධතාව පිළිබඳ පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානය දැනුවත් කිරීමට ප්‍රතිඥා දුන්නාය​.

උතුරු ඇෆ්ඝනිස්ථානයේ බල්ඛ් හි රූමි උපන් නිවසෙහි ඡායාරූපයක් සිය ට්විටර් පිටුවෙහි පළ කරමින් ජනමාධ්‍යවේදියකු වන ෆෘඩ් බෙසාන් සිය අප්‍රසාදය පළ කළ අතර තවත් බොහෝ දෙනා යුනෙස්කෝ ෆේස්බුක් පිටුවෙහි සහ ට්විටර් ඔස්සේ සිය නොසතුට පළ කර සිටියහ​.

මේ අතර ඇෆ්ඝන් ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක සයෙඩ් හෂෙමි ද වේ. ඔහු ප්‍රකට ඇෆ්ඝන් ලේඛකයන් ගෙන් ඉල්ලා සිටියේ රූමි උපන්නේ ඇෆ්ඝනිස්ථානයේය යන කරුණ ප්‍රචාරය කිරීමට සහය වන ලෙසයි.

බල්ඛ් සරසවියේ සාහිත්‍ය අංශයේ මහාචාර්ය සදෙක් ඔස්යානි ජර්මනියේ DW පුවත් සේවය හා පවසා සිටියේ රූමිට අයිතිවාසිකම් කිව හැකි, ඔහුගේ නිවහන් ලෙස සැලකිය හැකි ස්ථාන තුනක් වන බවයි.

"ඔහු ලෝක වැසියෙක්. ලෝකයේම උරුමයක්. එමෙන්ම ඔහු ලේඛනයේ යෙදුනේ පර්සියානු භාෂාවෙන්. ඒ වගේම ඔහු උපන්නෙ ඇෆ්ඝනිස්ථානයේ" ඔස් යානි ප්‍රකාශ කළේය​.

සූෆිවරයකු වූ රූමිගේ රචනාවලින් මානව වර්ගයාට පොදු සිතුවිලි සේම වඩා යහපත් ලෝකයක් පිළිබඳ සිතුවිලි දක් නා ලැබේ.

"Out beyond ideas of wrongdoing and rightdoing,
there is a field. I will meet you there"

හරි වැරැද්ද යන
නිර්ණායකවලින් එපිට
තිබේ එළිමහන් පිටියක්
මම ඔබ එහිදී හමුවෙමි

එවන් වූ රූමිගේ අයිතිය ගැන රට රටවල් කෙහෙවලු පටලාගනු දකින්නට රූමි ජීවත් නොවීම ම භාග්‍යයකි.

ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් සාම්ප්‍රදායික වම පසු බසින ලකුණු

ජූනි 26 වනදා පැවැත්වෙන ස්පාඤ්ඤ මහ මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ දිනයේ ආරම්භ විය​.

දැනට ලැබෙන සමීක්ෂණ තොරතුරු අනුව වාමාංශික සිවිල් ක්‍රියාකාරී පොඩේමෝස් ("අපට පුලුවන්") පක්ෂය සාම්ප්‍රදායික වාමාංශික පක්ෂය වන ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය (Spanish Socialist Workers' Party - PSOE) පරාජය කරනු ඇතැයි බලාපොරොත්තු පළ වී ඇත​.

මැතිවරණයෙන් දක්ශිනාංෂික ජනතා පක්ෂය (People's Party - PP) වැඩි ඡන්ද ප්‍රමාණයක් නැවතත් ලබාගනු ඇතැයි අපේක්ෂිතය​. එහෙත් අවසන් ප්‍රතිපලය කෙබඳු වේදැයි අනාවැකි පළ කිරීමේ හැකියාවක් තවමත් නොපවතී.
Podemos leader Pablo Iglesias

පසුගිය දෙසැම්බරයේදී පැවති මහ මැතිවරණයෙන් ජනතා පක්ෂය සියයට 28.72 ක් ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ ආසන 350 න් 123 ක් දිනාගත්තේය​. PSOEට ආසන 90 ක් ලැබුණේ සියයට 22.01ක ඡන්ද ප්‍රතිශතයක් ද සමඟිනි. ඡන්ද සියයට 20.66 ක් ලද පොඩේමෝස් පක්ෂය ආසන 69 ක් ද සියයට 13.93 ක් ඡන්ද ලබාගත් දක්ශිනාංෂික සියුඩඩනෝස් (Ciudadanos - පුරවැසියන් ගේ පක්ෂය​) ආසන 40 ක් ද ලබාගත් හ​.

කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුන පසුබිමක ප්‍රධාන පක්ෂ හතර අතර රජයක් පිහිටුවීම පිළිබඳ බොහෝ සාකච්ඡා පැවතියද අවසානයේ ඒවා අසාර්ථක වූයේය​. එහෙයින් ස්පාඤ්ඤයේ හයවැනි ෆෙලීපේ (VI වැනි පිලිප්) රජු සිය ව්‍යවස්ථාපිත බලය උපයෝගී කරගනිමින් මැයි මස තෙවනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ප්‍රකාශයට පත් කළේය​.

මෙවර මැතිවරණය සඳහා පොඩේමෝස් පක්ෂය තරඟවදින්නේ ඇල්බර්තෝ ගාර්සන් ගේ නායකත්වයෙන් යුතු එක්සත් වාමාංෂික පක්ෂය සමඟ සන්ධානගතව එක්සත් පොඩේමෝස් යන නමිනි. මේ අතර මැතිවරණයෙන් පසුව පක්ෂය සමඟ 'ප්‍රගතිශීලී' රජයක් පිහිටුවීම සඳහා එක් වීමට පොඩේමෝස් නායක පැබ්ලෝ ඉග්ලේසියාස් කැමැත්ත පළ කර තිබේ.

යම් හෙයකින් පොඩේමෝස් පක්ෂයට PSOEට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලැබුණහොත් එවන් සන්ධානයක් සඳහා PSOE පක්ෂය කැමැත්ත පළ කරනු ඇත්ද යන්න සැක සහිතය​.

පොඩේමෝස් සහ අනෙකුත් වාමාංශිකයන්, දක්ශිනාංෂික ජනතා පක්ෂයට චෝදනා නගනුයේ 2008 මූල්‍ය අර්බුදයෙන් පසු ජනතාව මත පැටවූ 'පටි තද කරගැනීමේ' පියවරයන් සහ උග්‍ර විරැකියාවට එම පක්ෂය වගකිව යුතු බවයි නමුත් එම පක්ෂය එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර පසුගිය වසරවල සිදු වූ ආර්ථික වර්ධනය තම රජයේ සාර්ථකත්වයට සාධකයක් ලෙස හුවා දක්වයි.

මේ අතර මෙවර මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සියල්ලක්ම විශාල රැළි අඩු කොට ගෙන් ගෙට යන මැතිවරණ ව්‍යාපාරයක් පිළිබඳ අවධානය යොමු කර ඇත​. තවද ජනතාවගේ විරෝධය හේතුවෙන් පෝස්ටර් භාවිතයද අඩු කොට ඇතැයි වාර්තා වේ.

සිරියානු හමුදා තබ්කා (Tabqa) ගුවන් කඳවුර දෙසට වේගයෙන් ළඟාවෙති

ඊයේ දිනයේදී සිරියානු රජයේ හමුදා ISIS සටන්කාමීන් පළවා හැර රකා ප්‍රාන්තයේ සෆයේ (Sfaiyeh) මංසන්ධිය අල්ලාගත් හ​. සෆයේ ප්‍රදේශයේ තෙල් ළිං සහ විදුලි බලාගාරයක් ද සිරියානු හමුදා විසින් අල්ලාගන්නා ලදී. මේ අනුව තබ්කා (Tabqa) ගුවන් හමුදා කඳවුරට ළඟා වීමට සිරියානු හමුදාවනට ඇත්තේ තවත් කිලෝමීටර 20 ක් පමණි.

2014 අගෝස්තු අවසානයේදී තබ්කා කඳවුර වැටීමෙන් පසු රකා ප්‍රාන්තයට සිරියානු හමුදා ඇතුලු වූයේ පළමු වතාවටය​. පසුගිය සතියක කාළය තුළ ඔවුහු සටන්කාමීන් පසු බස්වමින් විදුලි වේගයෙන් තබ්කා කරා ඇදෙති. මේ අතර සිරියානු ගුවන් හමුදා මේ වනවිට තබ්කා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙන බව නවතම වාර්තා සඳහන් කරයි.
Raqqa Front on June 10 (Map: Al-Masdar News)

සිරියානු හමුදා වේගයෙන් ඉදිරියට යෑම හේතු කොටගෙන සලාමියා - රකා මාර්ගය කේන්ද්‍ර කරගනිමින් රකා ප්‍රාන්තය තුලට කාවැදුණ ප්‍රදේශයක් ඔවුන් අතට පත්ව ඇත​. මෙම සටන් පෙරමුණ පැත්තෙන් එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂා කළ යුතුව ඇත්තේය​.

පසුගිය සතිය තුළ ප්‍රතිවාදී ISIS ත්‍රස්තයින් වේගයෙන් පළවා හැරීමට සිරියානු හමුදාවලට ගුවන් ප්‍රහාරවල සහය ඉතා වැදගත් විය​. විශේෂයෙන්ම කාන්තාර ප්‍රදේශවල සැඟ​ව පහරදීම් කළ නොහැකි බැවින් ISIS ත්‍රස්තයින්ට පසු බැසීම හැර වෙනත් විකල්පයක් නොවීය​.

මේ අතර ළඟ එන අනතුර හඳුනාගත් ISIS සටන්කාමීන් තබ්කා ප්‍රදේශයට අතිරේක භටයින් එවමින් සිටින බව තොරතුරු ලැබෙමින් පවතී. මෑතක දී එවන් එක් කණ්ඩායමක් නිරීක්ෂණය කළ සිරියානු ගුවන් හමුදා යානා එම කණ්ඩායමට පහර දී විනාශ කර දැම්මේය​. සටන්කාමීන් 50 ක් පමණ එම කණ්ඩායමෙහි වූ බව වාර්තා වේ.

රකා ප්‍රාන්තයේ බටහිරින් එල්ලවන සිරියානු හමුදා ප්‍රහාර මෙන්ම මන්බිජ් සහ අසාස් ප්‍රදේශවල සිරියානු විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාර හේතුවෙන් ISIS ත්‍රස්තයෝ රකා ප්‍රාන්තයේදී සැලකිය යුතු අභියෝගයකට මුහුණ පා සිටිති.

කෙසේ වෙතත් නාගරික ප්‍රදේශවලදී කිනම් ආකාරයකින් ත්‍රස්තයින් මෙම අභියෝගයට මුහුණ දෙනු ඇතිදැයි පුරෝකථනය කළ නොහැක​. රහස් උමං, මර උගුල් ආදියෙන් ශක්‍තිමත් කරන ලද නාගරික ප්‍රදේශයක සටන් කිරීම කාන්තාරයේ සටන් කිරීමට වඩා බෙහෙවින් අවධානම් වනු ඇත​.

Friday, June 10, 2016

Euro 2016 යුරෝපා පාපන්දු ශූරතාවයේ කෝඩුකාර රටවල්

2016 යුරෝපා පාපන්දු ශූරතාව අද දින ප්‍රංශයේදී ආරම්භ වෙයි. මෙම තරඟාවලිය අද සිට ජූලි මස 10 වනදා තෙක් එරට නගර දහයකදී පවත්වනු ලබයි. තරඟාවලිය අරඹමින් සත්කාරක ප්‍රංශය අද දින රුමේනියාව හා තරඟ වදී.

මෙවර තරඟාවලිය සඳහා පළමු වතාවට රටවල් 24 ක් තරඟ වදින අතර ඒ හේතුවෙන් නවක කණ් ඩායම් කිහිපයකටම අවස්ථාව හිමි ව ඇත​. ඒ අතර ඇල්බේනියාව​, අයිස්ලන්තය​, උතුරු අයර්ලන්තය​, වේල්සය සහ ස්ලොවැකියාව වෙති.
Pic: uefa.com

මෙම රටවල් අතුරින් ස්ලොවැකියාව 1993 ට පෙර චෙකොස්ලොවැකියාවේ කොටසක් ව පැවති අතර එම සමයෙහි ස්ලොවැක් ක්‍රීඩකයින් චෙකොස්ලොවැකියාව නියෝජනය කරමින් යුරෝපා පාපන්දු ශූරතාවට සහභාගී වී තිබේ. චෙකොස්ලොවැකියාව 1976 දී යුරෝපා ශූරයින් වන විට එම කණ්ඩායමේ බහුතරයක් සිටියේ ස්ලොවැක් ක්‍රීඩකයන් ය​.

අනෙක් රටවල් හතර යුරෝපා ශූරතාවයට මින් පෙර කිසි දිනෙක සහභාගී වී නොමැත​.

කෙසේ වෙතත් වේල්සය​, උතුරු අයර්ලන්තය සහ ස්ලොවැකියාව ලෝක කුසලාන පාපන් දු තරඟාවලියට සහභාගී වී තිබේ. වේල්සය 1958 දී එම තරඟාවලියට සහභාගී වූ අතර ස්ලොවැකියාව 2010 දී එම තරඟාවලියට සහභාගී වූහ​. උතුරු අයර්ලන්තය 1958, 1982 සහ 1986 වසරවල ලෝක කුසලානයට සහභාගී විය​.

ඇල්බේනියාව ජනගහනය මිලියන 3 කට අඩු රාජ්‍යයකි. එහි පාපන් දු කණ්ඩායම ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ එතරම් කතාබහට ලක් වන කණ්ඩායමක් නොවේ. එහෙයින් යුරෝපා තරඟාවලියට සුදුසුකම් ලැබීම ම ඔවුනට විශාල ජයග්‍රහණයක් වූයේය​. සිය කණ්ඩායම තරඟාවලියට සුදුසුකම් ලැබූ විට ඇල්බේනියානුවෝ වීථිවලට බැස ප්‍රීති උත්සව පැවැත්වූහ​. එරට අගමැතිවරයා ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කළේය​.

අයිස්ලන්තය යනු ඇල්බේනියාවටත් වඩා කුඩා ජනගහනයකින් යුතු රටකි. එරට සමස්ථ ජනගහනය 330,000 ක් පමණ වන අතර එහෙයින්ම ජාතික පාපන්දු ක්‍රීඩකයින් එකිනෙකා හොඳින් හඳුනති. මෙය ඔවුනගේ ශක්තිය වන බව එම ක්‍රීඩකයින් ගේ අදහසයි. අයිස්ලන්තය මෙවර යුරෝපා තරඟාවලියට සුදුසුකම් ලැබූයේ පාපන්දු ලොව කැළඹූ මහත් පෙරළියකින් පසු ය​. පාපන්දු ලොව දැවැන්තයින් වන නෙදර්ලන්තය​, තම රටේදී පමණක් නොව ඔවුනගේ රටේදීමත් පරාජය කිරීමට අයිස්ලන්ත පිළ සමත් වූයේ නෙදර්ලන්තයට යුරෝපා ශූරතාවට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද අවුරමිනි.

ස්ලොවැකියාව මෙවර තරඟාවලියට ඉදිරිපත් වන්නේ මැයි මස අවසාන දිනවල ප්‍රබල ජර්මානු කණ්ඩායම පරාජය කර ලැබූ ජයග්‍රහණයක පසුබිමේ සිටගෙනය​.

උතුරු අයර්ලන්තය සහ වේල්සය බ්‍රිතාන්‍යයේ කොටස් වන හෙයින් පාපන්දු ක්‍රීඩාව එම රටවලට අලුත් දෙයක් නොවේ. යුරෝපා ශූරතාවයට ඉදිරිපත් වන නවක කණ්ඩායම් අතුරින් "පොතේ හැටියට​" ප්‍රබලම කණ්ඩායම වේල්සය යි. එරට ක්‍රීඩකයින් බොහෝ දෙනකු ඉංග්‍රීසි ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන අතර එරටින් බිහි වූ සුපිරි තරුවක් වන ගැරත් බේල් ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. මේ අතර උතුරු අයර්ලන්ත ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන්නෝ වෙති.

Thursday, June 9, 2016

ISIS සංවිධානය ඊජිප්තුවේ පිරමීඩ විනාශ කරන බවට තර්ජනය කරයි

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් ඉරාකයේ නිනවේ ප්‍රදේශයේ නබු නම් සෙමිටික දෙවියා වෙනුවෙන් වන දෙවොලක් විනාශ කර තිබේ.

එම දෙවොල විනාශ කළ බවට සඳහන් ඊයේ දිනයේ ප්‍රචාරක වීඩියෝවක් ඔවුන් ඊයේ දින එළි දක්වා තිබුණි.

එම වීඩියෝවේ පෙනී සිටින ත්‍රස්තවාදියෙක්, ISIS සංවිධානය විසින් ඉදිරියේදී "මිත්‍යා දෘෂ්ඨිකයන්" විසින් ඉදි කරන ලද තවත් ගොඩනැගිලි විනාශ කරන බව ප්‍රකාශ කළේය​.

ඒ අතරම ඊජිප්තුවේ ගීසා හි පිරමීඩ ද විනාශ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය​.

ඉරානයේ පුවත් නාලිකාව වාර්තා කළ පරිදි එක්සත් ජාතීන් ද මෙම විනාශය සනාථ කොට ඇත​. ඔවුන් ඒ සඳහා යොදාගෙන ඇත්තේ ජනවාරියේදී සහ මෑත දිනෙකදී ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ය​.

නිනවේ හි පිහිටි මෙම නබු දෙවොල වසර 2800 ක් පමණ පැරණි යයි සඳහන් ය​.

ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය පතුරවාගත් ISIS සංවිධානය ඉපැරණි ස්මාරක ගණනාවක් විනාශ කර ඇත​. මේ අතර සිරියාවේ පැල්මයිරා නගරයේ දේවස්ථාන සමහරක් මෙන්ම ඉරාකයේ නිනවේ හි දේවස්ථාන ගණනාවක් ද වෙති.

පැල්මයිරා නගරය සිරියානු හමුදා විසින් මෙම වසරේ මාර්තු මස අවසන් සතියේදී නිදහස් කරගත් හ​. විනාශ කරන ලද ස්මාරක නැවත ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි සිරියානු රජය අවධානය යොමු කර තිබේ.

හැත්තෑ වසරක් රජකම් කරන තායිලන්තයේ රජු

වර්තමානයේ ලොව වැඩිම කළක් රාජ්‍ය නායකයකු ලෙස​ කටයුතු කරන තැනැත්තා වන​ තායිලන්තයේ රජු බූමිබෝල් අදුල්යාදෙජ් (භූමිපාල අතුලතේජ​) රජකමට පත් වී අදට වසර 70 ක් සපිරෙයි.

සිය වැඩිමහලු සහෝදරයා වූ ආනන්ද මහිදෝල් රජතුමාගේ හදිසි, අභිරහස් මරණයෙන් පසු භූමිබෝල් අදුල්යාදෙජ් රජ බවට පැමිණියේ 1946 ජූනි 9 වනදා ය​. ඔහුගේ සිංහාසනාරූඪ වීමේ උත්සවය 1950 මැයි 5 වඳා පවත්වන ලදී.

චක්‍රි රාජ්‍යවංශයෙහි (Chakri Dynasty) නව වැන්නා වන භූමිබෝල් රජු නව වැනි රාමා රජු ලෙස ද හඳුන්වනු ලැබේ. තායි ඉතිහාසයේ වැඩිම කළක් කිරුළ දැරූ රජු වන්නේ ද ඔහු ය​.

තායි ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින භූමිබෝල් රජු එරට දේශපාලනයට මැදිහත් වන්නේ මඳ වශයෙනි. මීට දශකයකට පමණ පෙර සිට ඔහු නිරන්තරයෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළෙන අතර එහෙයින් ජනතාව අතර වැඩිපුර පෙනී සිටින්නේ නැත​.

කෙසේ වෙතත් මෑත කාලීන තායි ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවලදී භූමිබෝල් රජු දේශපාලන ගැටුම් විසඳීමට මැදිහත් වූයේය​. එවැනි අවස්ථාවක් සඳහා හොඳම උදාහරණය වූයේ 1992 දී ඇතිවූ දේශපාලන ව්‍යාකූලතාවය විසඳීමට ඔහු මැදිහත් වූ අයුරු ය​.

1992 පෙබරවාරියේ පැවති මැතිවරණයකින් පසු අප්‍රේල් මාසයේදී ජෙනරාල් සුචින්ද ක්‍රප්‍රයූන් (Suchinda Kraprayoon) තායි අගමැතිවරයා ලෙස පත් කරන ලදී. මීට එරෙහි විශාල විරෝධයක් මතු වූ අතර මැයි 17-20 අතරවාරයේ හමුදා වෙඩි තැබීම්වලින් සිය ගණනක් මිය ගිය බව සැළකේ.

මෙම සිදුවීමෙන් පසු භූමිබෝල් රජු මැදිහත් ව අගමැතිවරයා සහ විපක්ෂ ක්‍රියාකාරීන් ගේ නායකයා වූ චම්ලොංග් ශ්‍රීමුවාංග් තමා හමුවට කැඳවීය​. රූපවාහිනිය ඔස්සේ රටම නැරඹූ මෙම සාකච්ඡාවේදී සාමකාමී ලෙස ප්‍රශ්න විසඳාගන්නා ලෙස රජු එම දෙපළට කියා සිටියේය​.

එම හමුවෙන් පසු ක්‍රප්‍රයූන් ගේ ආණ්ඩුවට තවදුරටත් පැවතීමට හැකියාවක් නොවීය​. කෙටි කළකින් පැවති මහ මැතිවරණයකින් පසු සිවිල් පාලනය යළි ස්ථාපනය කරන ලදී.

මෙම සිදුවීම රජතුමාගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යාමට හේතු වූයේය​.

භූමිබෝල් රජු උපන්නේ 1927 දෙසැම්බර් 5 වනදා ඇමරිකාවේ මැසෙචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් නගරයේය​. (භූමිබෝල් රජු උපන් දිනයේම උපන් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයා වන්නේ පණ්ඩිත් අමරදේවයන් ය​). භූමිබෝල් රජුගේ පියා මහිදෝල් අදුල්යාදෙජ් කුමරු වූ අතර මව වූයේ ශ්‍රීනාගරින්ද්‍රා ය​. තරුණ කාළය ඔහු බොහෝ කොටම සිටියේ තායිලන්තයෙන් පිට ය​. 1950 දී ඔහු සිරිකිත් කිටියකරා සමඟ විවාහ වූයේය​. භූමිබෝල් රජුට සහ සිරිකිත් රැජිණට දරුවන් සිව් දෙනෙකි.

ඇමරිකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු කාන්තාව

මෙවර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාමයෝජනා දිනා ගැනීමේ සටන හිලරි ක්ලින්ටන්ගේ ජයග්‍රහණයෙන් කෙළවර විය​. මේ අනුව ක්ලින්ටන් ඇමරිකාවේ ප්‍රධාන පක්ෂයකින් ජනාධිපති සටනට ඉදිරිපත් වන පළමු කාන්තාව බවට පත් වනු ඇත​.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වන්නේ වික්ටෝරියා වුඩ්හල් ය​. 1872 වසරේදී සම අයිතීන් පක්ෂයේ (Equal Rights Party) අපේක්ෂිකාව ලෙස ඡන්ද සටනට ඉදිරිපත් වූ ඇය ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳ නිරවුල් වාර්තාවක් නොමැත​.

1838 සැප්තැම්බර් 23 වනදා වික්ටෝරියා කැෆ්ලින් නමින් ඔහයෝ ප්‍රාන්තයේ හෝමර් හිදී උපන් ඇය එවක පෙරළිකාර චරිතයක් වූවාය​. 1853 දී කැනිං වුඩ්හල් සමඟ විවාහ වූ ඇය එම විවාහයෙන් දරුවන් දෙදෙනකු ලැබ්වාය​. සිය සැමියාගේ උග්‍ර බේබදුකම හේතුවෙන් ඔහුගෙන් දික්කසාද වූ නමුත් වික්ටෝරියා ඔහුගේ වාසගම දිගටම භාවිතා කළාය​.

1866 දී ඇය කර්නල් ජේම්ස් හාවි බ්ලඩ් සමඟ විවාහ වූවාය​. 1870 දී වුඩ්හල් සහ කැෆ්ලින් නම් සමාගමක් ඇරඹූ ඇය එමගින් Woodhull & Caflin's Weekly නම් සතිපතා පුවත්පතක් ද පළ කරන්නට පටන් ගත්තාය​. එකළ පැවති සමාජයේ තත්ත්වය සළකන විට ඉතාමත් විප්ලවකාරී පුවත්පතක් වූ එය සමාජවාදී සහ ස්ත්‍රීවාදී අදහස්වලින් ගහණ විය​.මාර්ක්ස් හා එංගල්ස්ගේ 'කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනය​' ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් පළමු වරට පළ කළේ ද එම පුවත්පත ය​.

එමෙන්ම කාන්තාවට ඇති නිදහසේ ආදරය කිරීමේ අයිතිය පිළිබඳවද වුඩ්හල් නිතර ප්‍රකාශ කළාය​. එකළ පැවති සමාජය දික්කසාද වූ කාන්තාවක දෙස වපරැසින් බැලීමට පුරුදු වී සිටි අතර පුරුෂයින් අනියම් සබඳතා පැවැත්වීම කෙරෙහි එතරම් ම නරක ආකල්පයක් නොවීය​. එහෙයින් කාන්තාවන් රැසක් නීරස විවාහයන්හි කොටුවී සිටියහ​. මෙම තත්ත්වයෙන් මිදීමට කාන්තාවට ඇති අයිතිය වෙනුවෙන් වුඩ්හල් පෙනී සිටියාය​.

එකළ වුඩ්හල් සමඟ ගැටුණ ප්‍රධානතම පුද්ගලයකු වූයේ පූජකයකු වූ හෙන්රි වෝර්ඩ් බීචර් ය​. සමාජ හර පද්ධතීන් ගැන බණ කියමින් ඔහු වුඩ්හල් සමඟ ඔහු ගැටුණි. බීචර් සත්‍ය වශයෙන්ම ඔහු ප්‍රසිද්ධියේ දෙසූ හර පද්ධතීන්ට පිටින් අනියම් ඇසුරක යෙදෙන බව දැනගත් වික්ටෝරියා වුඩ්හල් ඔහුට පෙරළා පහර දුන්නාය​. මෙය සිදු වූයේ ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර ය​. වුඩ්හල් මෙසේ බීචර්ට චෝදනා නැගූ මුල් අවධියේ ඇයට කෙටි කළක් සිරගත වීමට සිදු විය​. නමුත් 1875 දී බීචර්ට එරෙහිව පරදාර සේවනය යන චෝදනාව යටතේ නඩු පවරන ලදී. නඩුවෙන් ඔහු නිදහස් වූයේ ජූරියට එක් මතයකට පැමිණීමට නොහැකි වූ හෙයිනි.

වික්ටෝරියා වුඩ්හල්ගේ දෙවන විවාහය 1876 දී නිම වූ අතර 1877 දී ඈ එංගලන්තයට සංක්‍රමණය වූවාය​. 1883 දී බැංකුකරුවකු වූ ජෝන් බිඩල්ෆ් මාර්ටින් හා විවාහ වූ ඇය 1927 දී එංගලන්තයේදී මිය ගියාය​.

ඇගේ ජනාධිපතිවරණ සටනේදී උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරුණේ හිටපු වහලකු ද වූ කලු ජාතික ක්‍රියාකාරික වූ ෆෙඩ්‍රික් ඩග්ලස් ය​. සුදු ජාතික කාන්තාවකගේ ඡන්ද සටනෙහි දෙවැනියා ලෙස කලු ජාතිකයකු නම් කිරීම ද එවක ආන්දෝලනාත්මක සිදුවීමක් විය​.

Wednesday, June 8, 2016

සිරියානු කුර්දි-අරාබි SDF හමුදා මන්බිජ් නගරයට ඇතුලු වෙති

ඇමරිකානු ආධාර ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සංවිධානය අද දින ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාම් රාජ්‍යය (Islamic State of Iraq and Syria - ISIS) ත්‍රස්තයින් අත පවතින මන්බිජ් නගරයට පළමු වරට ඇතුලු විය​.

ISIS ත්‍රස්තයින් විසින් එල්ල කෙරුණු දරුණු ප්‍රතිප්‍රහාර මධ්‍යයේ SDF හමුදා පසු බැස ගියෝය​. නමුත් ISIS සංවිධානය යටතේ පවතින මන්බිජ් නගර ප්‍රාන්තරයන් දිගටම SDF හමුදා අතට පත්වෙමින් පවතී.

මන්බිජ් නගරයේ සිටින ත්‍රස්තයින් මේ හේතුව නිසා කොටුවීමේ අවධානමකට ලක්ව ඇත​.

මේ අතර මන්බිජ් වෙත එල්ලවන ප්‍රහාර හේතුකොටගෙන සටන්කාමීන්ට අසාස් යුධ පෙරමුණෙන් පසු බැසීමට බලකරන ලදී. මේ වනවිට අසාස් නගරයට දකුණින් වන ප්‍රදේශ රැසක් ජයිෂ් අල්-මුජහිදීන් නම් කැරලිකාර කණ්ඩායම අතට පත්ව ඇත​.

මන්බිජ් හි රැඳී සිටින ත්‍රස්තයින් ගේ මීළඟ පියවර කුමක් වේදැයි තවමත් පැහැදිලි නැත​. ඔවුන් අවසන් සටන්කාමියා තෙක් සටන් වැදීමට තීරණය කළහොත් නගරය අල්ලාගැනීම SDF හමුදාවලට එතරම් පහසු නොවනු ඇත​.

කෙසේ වෙතත් යුධ පෙරමුණෙන් ලැබෙන වාර්තාවලින් කියැවෙන්නේ මන්බිජ් වෙත ඕනෑම මොහොතක SDF හමුදා කඩා වැදීමට ඉඩ ඇති බවය​.

මේ අතර රකා ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශ ඔස්සේ සිරියානු රජයේ හමුදා ද දිගින් දිගටම සටන්කාමීන් පසු බස්වමින් ඉදිරියට එමින් සිටිති.

නැගෙනහිර සිරියාවෙහි රජයේ හමුදා අත පවතින දෙයර් එසෝර් ප්‍රදේශය වටලාගෙන සිටින ත්‍රස්ත කණ්ඩායම්වලට පහරදීමට සිරියානු හමුදා සහ ඔවුනගේ මිතුරන් නව මෙහෙයුමක් අරඹා තිබේ. රුසියානු ගුවන් ආධාර සහිතව සිරියානු හමුදා 137 වන කාලතුවක්කු බ්‍රිගේඩය​, හිස්බුල්ලා සටන්කාමීන් සහ ප්‍රාදේශීය ගෝත්‍රික හමුදා මෙසේ දෙයර් එසෝවලින් නිරිතදිග ප්‍රදේශයට පහර දී උපක්‍රමික වශයෙන් වැදගත් උස්බිමක් අල්ලාගත් හ​.

හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂ ඡන්ද සටනින් ජය ප්‍රකාශ කරයි

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙහි ප්‍රාන්ත හයක ඩිමොක්‍රටික් පක්ෂ මූලික වටයේ තරඟ ඊයේ පැවත්වන ලදී.

මෙම තරඟවල ප්‍රතිපලය ලෙස සෙනට් සභික හිලරි ක්ලින්ටන් සිය ප්‍රතිවාදියා වූ බර්නි සැන්ඩර්ස් පරාජය කොට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා දිනාගන්නා තැනට පත්ව සිටියි.

සඳුදා දිනයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කළේ ක්ලින්ටන් පක්ෂ සම්මේලනයට තෝරා පත්කරනු ලබන නියෝජිතයන් ගෙන් 2,383 ක් දිනාගෙන ඇති බවය​. නාම යෝජනා ලබාගැනීමට අවශ්‍ය අවම නියෝජිත සංඛ්‍යාවද 2,383 කි.

නමුත් මෙම පුවත් වාර්තාව පිළිබඳ සැන්ඩර්ස්ගේ ආධාරකරුවන් එතරම් පැහැදීමකට පත් වූයේ නැත​. මෙම පුවත් වාර්තාව ඡන්ද විමසීමට කෙතරම් බලපෑමක් කළේද යන්න කිව නොහැක​.

කෙසේ වෙතත් ඊයේ පැවති තරඟවලින් නිව් ජර්සි, නිව් මෙක්සිකෝ, දකුණු ඩැකෝටා සහ කැලිෆෝර්නියා ප්‍රාන්තවල ජය ක්ලින්ටන්ට ලැබී තිබේ. සැන්ඩර්ස් දිනාගත්තේ මොන්ටානා සහ උතුරු ඩැකෝටා පමණි.

ඇමරිකා එක්සත් ජනපදයේ විශාලම ජනගහනයක් වසන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ සටන ජයගැනීම කෙරෙහි සැන් ඩර්ස් විශාල බලාපොරොත්තු තැබූ නමුත් ඔහු එම සටනින් පරාජය විය​.
Pic: AFP

උතුරු ඩැකෝටා ප්‍රාන්තයේදී ඡන්ද 253 ක් (64.21%) සැන් ඩර්ස් ලැබූ අතර ක්ලින්ටන් ඡන්ද 101 ක් (25.63%) ලැබීය​. 40 දෙනකු ඡන්දය දුන්නේ නැත​. මේ අතර මොන්ටානාවලදී සැන්ඩර්ස් ඡන් ද 63,168 ක් (51.05%) ලැබීය​. ක්ලින්ටන් ඡන්ද 55,194 ක් ලබාගත් අතර 5,364 දෙනෙක් දෙදෙනාටම කැමැත්ත නොදැක්වූහ​.

නිව් ජර්සි ප්‍රාන්තය මුලින්ම ප්‍රතිපල නිකුත් වූ ප්‍රාන්තය වූ අතර එහිදී ඡන් ද සංඛ්‍යාවෙන් සියයට 63.26 ක් ක්ලින්ටන් විසින් දිනාගන්නා ලදී. දකුණු ඩැකෝටාවේදී ක්ලින්ටන් 51.03% ඡන් ද දැබූ අතර නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේදී සියයට 51.5 ක් ඡන් ද දිනාගත්තාය​.

අද දින ඡන්ද ප්‍රතිපල නිකුත්වන අතරවාරයේදී ජනාධිපති බැරක් ඔබාමා ක්ලින්ටන් අමතා ඇයට සුබ පැතුවේය​. මේ අතර හෙට දින ඔහු සැන්ඩර්ස් මුණගැසීමට නියමිතය​.

Miss USA ලෙස තේරී පත් වූ පළමු හමුදා නිලධාරිණිය

ඇමරිකා එක්සත් ජනපදයේ Miss USA 2016 තරඟය ජයග්‍රහණය කිරීමට 26 හැවිරිදි ඩෙෂෝනා බාබර් සමත් වූවාය​.

ඇය කොළොම්බියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූවාය​. එක්සත් ජනපදයේ තරඟය සඳහා ප්‍රාන්ත පනහෙන් සහ කොළොම්බියා දිස්ත්‍රික්කයෙන් තරඟකාරිය බැගින් ඉදිරිපත් වේ.

තරඟයේ දෙවන ස්ථානය හවායි දූපත් හි චෙල්සි හාඩින් ද තෙවනි ස්ථානයෙ ජෝර්ජියා ප්‍රාන්තයේ එමානි ජොවාන් ඩේවිස් ද දිනාගත් හ​.

1952 සිට මෙම වසර දක්වා කොළොම්බියා දිස්ත්‍රික්කයෙන් Miss USA ජයග්‍රාහිකාවන් තිදෙනකු වාර්තා වී ඇත​. ඩෙෂෝනාගේ විශේෂත්වය වූයේ ඇය Miss USA තරඟය ජයගත් පළමු හමුදා නිලධාරිණිය වීමය​.

එක්සත් ජනපද හමුදාවේ ස්වෙච්ඡා නිලධාරිණියක වන ඇය එරට වාණිජ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ විශ්ලේෂකවරියක ලෙස සේවය කරයි.

බාබර් පමණක් නොව ඇගේ පවුලේ මව​, පියා, සහෝදරයා සහ සහෝදරිය ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවය කර ඇත.

තරඟය අවස්ථාවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඩෙෂෝනා පවසා සිටියේ රට වෙනුවෙන් යුධ බිමට ගිය අය පිළිබඳ දැනට වඩා අවධානය යොමු විය යුතු බවය​.

Tuesday, June 7, 2016

ඇමරිකානු ජනපති සටනේ තීරණාත්මක නිව් ජර්සි (New Jersey) ප්‍රාන්ත​ ඡන්ද විමසීම ඇරඹේ

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ සටනේ මූලික වටයේ ඡන්ද විමසීමෙහි (primaries) තවත් වටයක් අද පවත්වනු ලබයි.

මේ අනුව අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට නිව් ජර්සි ප්‍රාන්තයේ මූලික වටයේ ඡන්ද විමසීම් ආරම්භ විය​. මෙරට වෙලාවෙන් හෙට උදෑසන 5.30 ට (නිව් ජර්සි වේලාවෙන් රාත්‍රී අටට​) ඡන්ද විමසීම අවසන් වනු ඇත​.

අද දින ඡන්ද පවත්වන අනෙක් ප්‍රාන්ත පහ වන්නේ කැලිෆෝර්නියා, මොන්ටානා, නව මෙක්සිකෝ, උතුරු ඩැකෝටා සහ දකුණු ඩැකෝටා ය​.

මෙම ප්‍රාන්ත පහ රටෙහි මැද හෝ බටහිර (පැසිෆික්) වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති අතර නිව් ජර්සි පිහිටා ඇත්තේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතවය​. එහෙයින්, නිව් ජර්සි ප්‍රාන්ත ප්‍රතිපල අනෙක් ප්‍රාන්තවලට පෙර ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිව් ජර්සි ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනය සඳහා නියෝජිතයන් 126 ක් තෝරාගනු ලබයි. ඩිමොක්‍රටික් පක්ෂයේ තරඟය පවතින්නේ හිලරි ක්ලින්ටන් සහ බර්නි සැන්ඩර්ස් අතරය​. ක්ලින්ටන්ට නියෝජිතයන් 2,383 ක සහය ලැබී තිබෙන බව අද දින ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කළේය​. ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාමයෝජනා දිනාගැනීමට අවශ්‍ය අවම නියෝජිතයන් ගණනද 2,383 වේ. එහෙයින් ක්ලින්ටන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගනු ඇතැයි බලාපොරොත්තු පළවී අවසන් ය​.

මේ හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ මූලික වටයේ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ පක්ෂය තුළ ඡන්ද සටන අවසන් වනු ඇතැයි විශ්වාසය පළවී ඇත​.

සිරියාව​: ISIS ත්‍රස්තවාදීන් රකා ප්‍රාන්තය ඔස්සේ දිගටම පසු බසී (සිතියම් සහ වීඩියෝ)

සිරියානු හමුදා ප්‍රහාර මධ්‍යයේ ISIS ත්‍රස්තවාදීහු සලාමියා - රකා (Salamiyah - Raqqa) මහා මාර්ගය ඔස්සේ තවදුරටත් පසු බසිමින් සිටිති.

එරට වේලාවෙන් සඳුදා රාත්‍රිය වනවිට සිරියානු හමුදා තබ්කා මංසන්ධියට (Tabqa Crossroad) කිලෝමීටර 5 ක් නුදුරින් සිටියෝය​. එතැන් සිට තබාකා වෙත ඇත්තේ තවත් කිලෝමීටර 31 ක් පමණි.

2014 දී ISIS ත්‍රස්තයින් රකා ප්‍රාන්තය හරහා සිරියානු හමුදා පසු බස්වද්දී එහි රජයේ හමුදාවල අවසන් කඳවුර ලෙස ඉතිරි වූයේ තබ්කා ගුවන් කඳවුරයි. 2014 අගෝස්තු මස අවසන් සතියේ සටන්කාමීන් එය අල්ලාගත් අතර එහිදී ජීවග්‍රහයෙන් අල්ලාගන්නා ලද සිරියානු සෙබලුන් 250 දෙනකු පොළවේ එකදිගට දිගා කොට ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදී.
රකා ප්‍රාන්තයේ තත්ත්වය, ජූනි 6 රාත්‍රිය​. සිතියම Al-Masdar News

සිරියානු හමුදාවේ 555 වන රෙජිමේන්තුව​​, 4 වන යාන්ත්‍රික බලකා ඩිවිෂනය සහ 'කාන්තාරයේ උකුස්සෝ' (Desert Hawks - Suqur al-Sahara) මිලීෂියා බල ඇණිය තබාකා දෙසට එල්ල වන මෙම නවතම ප්‍රහාරය දියත් කරති. සිරියානු 555 වන රෙජිමේන්තුව සිය හමුදා මෙහෙයුම් දැක්වෙන වීඩියෝවක් ද මෑතකදී නිකුත් කළේය​.

සිරියානු ප්‍රහාර හේතුවෙන් අලෙප්පෝ නගරයට නැගෙනහිරින් මස්කනා තැනිතලා ප්‍රදේශයේ සිටින ISIS සටන්කාමීන් අපහසු තත්ත්වයකට පත්ව සිටිති. රකා නගරය සහ ඔවුන් අතර සැපයුම් මාර්ග අවහිර වීමේ තර්ජනය මීට හේතුවයි. තවද​, රකා නගරයට උතුරින් ක්‍රියාත්මකවන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සංවිධානයේ මෙහෙයුම් හේතුවෙන් මෙම සැපයුම් මාර්ග වැසීයාමේ අවදානම වැඩි වී ඇත​.

ඉරාකයේ ෆලූජා සහ මෝසුල් ප්‍රදේශවල ද සිරියාවේ රකා ප්‍රදේශයේද එකවිට සිදු කෙරෙන හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ වනවිට ත්‍රස්තයින් සැලකිය යුතු තර්ජනයකට මුහුණ දී සිටිති. කෙසේ වෙතත්, ISIS විරෝධී කණ්ඩායම්වල එකමුතුභාවය පිළිබඳ ඇතැම් විශ්ලේෂකයෝ සැක පළ කරති. විශේෂයෙන්ම SDF සංවිධානය බොහෝ කොටම සිරියානු කුර්දි සංවිධානයක් වීමත් ඔවුන් සිරියානු හමුදාවලට ද එරෙහි වීමත් මෙම අසමගිකම් පිළිබඳ එක් උදාහරණයකි. ඉරාකයේ මෝසුල් නගරබද පෙදෙස්වල ක්‍රියාත්මක වන කුර්දි පැෂ්මර්ගා සෙබලුන් සහ ඉරාක හමුදා අතරද එතරම් සමගියක් නැත​.

කෙසේ වෙතත් සිරියාවේදී නම් ඇමරිකානු සහ රුසියානු ගුවන් හමුදා යම්කිසි එකඟතාවයකින් යුතුව යුධ කටයුතු කරගෙන යන බවක් දක්නට ඇත. රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළ පරිදි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ ඇමති සර්ගේයි ලැව්රොව් සිරියාවේ යුධ මෙහෙයුම් පිළිබඳ දුරකතනය ඔස්සේ සාකච්ඡා කර තිබේ. SDF සංවිධානය ඇමරිකානු ආධාර ලබන අතර සිරියානු හමුදා රුසියානු ආධාර ලබයි.