Saturday, April 28, 2012

මිට් රොම්නි: රිපබ්ලිකානුවන්ගේ හොඳම තරඟකරුවා


අනෙකුත් තරඟකරුවන් අභිබවමින් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්‍ෂකත්ව තරඟයෙන් මිට් රොම්නි ඉදිරියට පැමිණීම මධ්‍යස්ථ මතධාරී රිපබ්ලිකානුවන් සතුටට පත් කරනු ඇත. 2012 අප්‍රේල් 24 වනදා ජනපද පහක පැවති ඡන්ද සියල්ලෙන්ම ඔහු පහසුවෙන් ජය ගත්තේය. මෙම තරඟ පහම පැවතියේ, දැනට රොම්නිගේ ප්‍රභලම ප්‍රතිවාදියා වන නිව්ට් ගින්ග්රිච් එතරම් ජනප්‍රිය නැති උතුරුදිග ප්‍රාන්තවල බව සැබැවි. නමුත්, වැදගත්ම කාරණය වන්නේද එයමය. රොම්නිට ප්‍රභල සටනක් දීමට ගින්ග්රිච්ට හැකියාව ඇත්තේ දකුණුදිග ජනපද කිහිපයකදී පමණක් බව ඉතා පැහැදිලිය.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක සටන සඳහා ආරම්භයේදී එක වූ අපේක්ෂකයන් අතුරින්, 2012 ජනවාරිය ගෙවී යන විට ඉතිරි ව සිටියේ සිව් දෙනෙකි. එනම්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරයකු වන මිට් රොම්නි, පෙන්සිල්වනියාවේ සෙනට් සභික රික් සැන්ටෝරම්, නියෝජිත මන්ත්‍රණ සභාවේ හිටපු කතානායකයකු වූ ජෝර්ජියාවේ නිව්ට් ගින්ග්රිච් සහ කොන්ග්‍රස් සභිකයකු වන ටෙක්සාස් ප්‍රාන්තයේ රොන් පෝල් ය. මෙයින් සැන්ටෝරම් සහ ගින්ග්රිච් කොන්සේර්වටිව් හෙවත් "පැරණි දේ අගයන" අයවලුන් වන අතර අනෙක් දෙදෙනා වඩා මධ්‍යස්ථ මතධාරීහු වෙති. මේ අතුරින් ප්‍රභලම සටන පැවතියේ රොම්නි සහ සැන්ටෝරම් අතරය. නමුත් පසුගිය අප්‍රේල් 10 වනදා සැන්ටෝරම් සිය ඡන්ද සටන අත හැරීමත් සමඟ රොම්නිට ජයග්‍රහණයේ මාවත විවර වී ඇත.

ඡන්ද සටන මුළුල්ලේම පාහේ රොම්නි භාවිතා කලේ අනෙක් තරඟකරුවන් විඩාවට පත් කොට පරාජය කිරීමේ උපක්‍රමයයි. ඒ සඳහා ඔහුට වාසිදායක කරුණු දෙකක් උපකාර විය. පළමුවැන්න නම්, ඔහු ආරම්භයේදීම අනෙක් තරඟකරුවන් අභිබවා තරමක් ඉදිරියට පැමිණීමය. අනෙක නම් ඔහුට අත දිගහැර වියදම් කිරීමට හැකියාව තිබීමය. මේ අනුව ඔහුට අවාසිදායක යයි පෙනුණු ඇතැම් ජනපදවල ඔහු ඡන්ද සටනට අවතීර්ණ නොවූ අතර අනෙක් ජනපදවලදී ප්‍රචාරක කටයුතු සඳහා අනෙක් අපේක්ෂකයන් සියල්ලටම වඩා වියදම් කරමින් උපරිම සටනක් දුන්නේය. වඩා සාම්ප්‍රදායික ජනතාවක් වසන ප්‍රදේශවල ඔහුට එතරම් හොඳ සටනක් දීමට නොහැකි වූ බව සැබෑවකි. නමුත්, සම්ප්‍රදායට වඩා රටේ ආර්ථිකය පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන්නන් වසන, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල, රොම්නි අභිබවා යාමට තබා ආසන්නයට පැමිණීමටවත් ඔහුගේ ප්‍රතිවාදීනට නොහැකි වූ බවද එවැනිම සත්‍යයකි.

සැන්ටෝරම් සමඟ ප්‍රභල සටනක් පැවති සමයේදී, ඇතැම් කරට කර තරඟ ජය ගැනීමට රොම්නිට ගින්ග්රිච් වක්‍රාකාරයෙන් උපකාර කළේය. ඒ, සාම්ප්‍රදායිකයන්ගේ ඡන්දවලින් කොටසක් සැන්ටෝරම්ගෙන් තමන් වෙත ඇද ගැනීමනි. නමුත් අද වනවිට සැන්ටෝරම් සටනින් ඉවත්වී ඇත. මේ අනුව ගින්ග්රිච්ට සාම්ප්‍රදායික ඡන්ද වැඩිපුර ලැබීමට ඉඩ ඇති අතර, රොන් පෝල්ට රොම්නිගේ ඡන්ද සමහරක් කැඩීමට හැකියාව ඇත. මේ අනුව රොන් පෝල් සටනේ දිගටම සිටීම රොම්නිට අවාසි වේ යයි බලාපොරොත්තු වීම සාධාරණය. නමුත් සිදුවී ඇත්තේ අනිකකි.

ඇතැම් ජනපදවල රිපබ්ලිකානුවන් අතර ගින්ග්රිච් රොන් පෝල් තරම්වත් ජනප්‍රිය නැති බව දැන් පැහැදිලි වී ඇත. සැන්ටෝරම් සටනින් ඉවත් වූ පසුව පවා පැවති ඡන්දවලදී ප්‍රාන්ත 5 න් 4 කදීම නිව්ට් ගින්ග්රිච් රොන් පෝල් තරම්වත් ඡන්ද ලබා නොගත්තේය. ගින්ග්රිච් බලාපොරොත්තු වන්නට ඇත්තේ, අගෝස්තු මාසයේ පක්ෂ සම්මේලනයේදී, සැන්ටෝරම් විසින් මෙතෙක් දිනා ගත නියෝජිතයන්ගේද උපකාර ලබාගෙන රොම්නි පරදවා අපේක්ෂකත්වය ලබා ගැනීමය. නමුත් ඔහුගේ පැහැදිලි 'ජන අප්රියත්වය' හමුවේ එය දහවල් සිහිනයක් පමණක් වන බව දැන් පැහැදිලිය.

මේ අනුව රොම්නි, ජනාතිපති බරක් ඔබාමා සමඟ ඡන්ද සටන ආරම්භ කිරීමට තරම් ප්‍රභල තත්ත්වයක පසු වෙයි. එහෙයින්, අප්‍රේල් 24 වනදින පැවති ඡන්දවලින් පසු, ඔහු එම සටනට මුල් පුරා ඇත. රොම්නි, රිපබ්ලිකානුවන්ට තෝරාගැනීමට සිටි හොඳම තරඟකරුවා බව පැහැදිලිය. ඔහු වඩා සාම්ප්‍රදායිකයන් අතර ජනප්‍රිය නැති බව සැබැවි. නමුත් ජනපති ඔබාමා එතරම්වත් ඔවුන් අතර ජනප්‍රිය නැත. එමතුද නොව, ජනපති ඔබාමාගේ ඡන්ද බිලී බා ගැනීමට හැකියාව ඇත්නම්, ඒ සාම්ප්‍රදායිකයෙකුට නොව, වඩා මධ්‍යස්ථ මතධාරියෙකුටය. ඒ අනුව, මීළඟ ජනාධිපතිවරනයේදී ඔබාමා පැරදවිය හැකි රිපබ්ලිකානුවා රොම්නි බව පැහැදිලි වේ.

Saturday, April 21, 2012

ජීවිත 127 ක් බිලිගත් ඉස්ලාමාබාද් ගුවන් අනතුර: Bhoja Air ගුවන් ගමන B-4 213


කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් 2012 අප්‍රේල් 20 සවස් යාමයේ Bhoja Air ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයක් පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද්හි බෙනාසීර් භූතෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගමන් ඇරඹීය. එය එම ගුවන්යානයේ සහ එහි ගමන් කල 121 ක් වූ මගීන්ගේත් 6 දෙනෙක්ගෙන් යුතු වූ කාර්ය මණ්ඩලයේත් අවසන් ගමන බව ඒ කිසිවෙක් නොසිතන්නට ඇත. ඉස්ලාමාබාදයට ගොඩ බැසීමට මද වෙලාවකට පෙර හුසේන් අබාද් ගම්මානය අසලට එම ගුවන් යානය කඩා වැටුනේ පාකිස්තාන වේලාවෙන් සවස 6.40 පසුවී සුළු වෙලාවකිනි. AFP පුවත් සේවයට අදහස් දක්වමින් පොලිස් නිලධාරී ෆස්ලේ අක්බාර් ප්‍රකාශ කලේ ජීවිතය ගලවා ගත්තෙකු සිටීමට ඉඩක් නැති බවයි. ගුවන් යානය මුළුමනින්ම විනාශ වී තිබුණු බවත් ජීවිතය බෙරාගත්තෙකු සිටීම ප්‍රාතිහාර්යයක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගුවන් යානය සවස 6.50 ට ගොඩබැසීමට නියමිත වූ අතර ඉස්ලාමාබාද් පාලක මැදිරිය සමඟ වූ සම්බන්ධය ඊට විනාඩි 10 කට පෙර නැතිවී ගොස් තිබේ. ගුවන් යානය කඩා වැටී ඇත්තේ ඊට මද වෙලාවකට පසුවය. පාකිස්තානයේ DAWN පුවත්පතෙහි වෙබ් පිටුවට අනුව මේ වනවිට ප්‍රදේශයට දැඩි වර්ශාපතනයක් සහ කුණාටු තත්ත්වයක් බලපා තිබිණ. ගුවන් අනතුරට හේතුව විදුලි සැරයක් වැදීමෙන් හටගත් ගින්නක් බවට මත පලවී ඇත. යානයෙහි කළු පෙට්ටිය සොයාගෙන ඇති හෙයින් වැඩි විස්තර ළඟදීම දැන ගැනීමට ලැබෙනු ඇත.

වසර 2000 දී පාඩු ලබමින් සිට ගමන් වාර සියල්ල අත් හිටවූ Bhoja Air ගුවන් සේවය යලි ගුවන් ගමන් අරඹා ඇත්තේ මීට සති 6 කට පෙර 2012 මාර්තු 6 වනදාය. ඒ බෝයිං 737 යානා පහක් සමඟිනි. කරච්චි සිට ඉස්ලාමාබාද්, මුල්ටාන්, ලාහෝර් නගර යා කරන ගුවන් ගමන් කිහිපයක්ම ඇරඹීමට ඔවුන් සැලසුම් කර තිබිණි. පාකිස්තානයේ නගරාන්තර ගමනාගමනය සඳහා පහසුම හා කාර්යක්ෂමම ක්‍රමය ගුවන් ගමන්ය. එරටෙහි ගුවන් අනතුරු සාපේක්ෂව විරල වේ. එම රට තුල සිදු වූ දරුණුතම ගුවන් අනතුර සිදු වූයේ 2010 දී ය. Airblue ගුවන් සේවයට අයත් එයාර්බස් 321 ගුවන් යානයක් ඉස්ලාමාබාදයට ගොඩබැස්සවීමට පෙර කඩා වැටීමෙන් ජීවිත 152 ක් අහිමි විය. එම ගුවන් යානයද පැමිණ ඇත්තේ කරච්චි සිටය.

මූලාශ්‍ර

Khurram Shahzad, "No Hope of Survivors in Pakistan Plane Crash: Police", AFP, April 20, 2012.

"Scores Killed in Pakistan Plane Crash", Al Jazeera, April 20, 2012.

"Plane Crash near Islamabad Kills 127", Dawn.com, April 20, 2012.

Bhoja Air Website, B4-213 KHI-ISB 20-04-2012 List of Passengers.

Tuesday, April 17, 2012

අලුත් අවුරුද්දේ පුංචි වෙනසක්...

සිංහල-හින්දු අලුත් අවුරුද්දක් ලබලා අවුරුදු උණුසුමත් ගෙවුනා. මේ කාලය ලංකාවේ පමණක් නෙවෙයි, කලාපයේ ගොඩක් රටවල අවුරුදු කාලය. අවුරුද්දෙන් පස්සේ ලියපු පලවෙනි ලිපිය ලියවුනේ "උතුරු කොරියානු රොකට් උමතුව" නමින්. එය ලියන අතරේ මම පොඩි ප්‍රශ්නයකට අහු උනා. මට තේරුම් ගියා, එවැනි ලිපි සඳහා වඩාත් සුදුසු කථන බස නොව ලිඛිත බස බව. මම ඒ ලිපිය නම් වෙනස් කලේ නෑ. කරපු මෝඩකම් මතක් වෙන්නත් එපැයි. නමුත් මම මින් පස්සේ එවැනි ලිපි ලිඛිත බසින් ලියන්නට තීරණය කළා.

ලංකාවේ ජනතාව තුල ලෝකයේ සිද්ධ වෙන දේ පිලිබඳ දැනුම වැඩි කල යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා මීට පසු බොහොමයක් ලිපි, ලෝක තතු මුල් කරගෙන ලියවේවි. මේ අතරේම ලංකාවේ ඉතිහාසය ගැනත් පුංචි පුංචි දේ ලියන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ අතරේම, මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවිවල (Lankan World View, The History Club, Speech Blog) මෙම ලිපි ඒ භාසාවෙනුත් පල කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බ්ලොග් අඩවිවල තියෙන සමහර ලිපි මෙම බ්ලොග් එකේ සිංහලෙන් පල කරන්නත් හිතේ තියෙනවා.

බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා......

Monday, April 16, 2012

උතුරු කොරියානු රොකට් උමතුව


උතුරු කොරියාව විසින් පසුගියදා දියත් කරන ලද ක්වන්ග්ම්යොන්ග්සොන්ග්-3 නම් චන්ද්‍රිකාව රැගත් උන්හා-3 රොකට්ටුව තත්පර කීපයකදී පොලොවට කඩා වැටුනා. ඒ අනුව ජපානය සහ දකුණු කොරියාව විසින් තර්ජනය කර තිබූ පරිදි එය වෙඩි තබා බිම හෙලීමේ අවශ්‍යතාවයක් මතු වූයේ නැහැ. සති ගණනක් තිස්සේ ඉහත සඳහන් රටවල් දෙක සහ බටහිර රටවල් ගණනාවක්ම විවිධ තර්ජනයන් කලත් එම රොකට්ටුව දියත් කිරීමේ තීරණය උතුරු කොරියානුවන් විසින් වෙනස් කෙරුනේ නෑ. ඔවුන් ප්‍රකාශ කලේ මෙම රොකට්ටුව විසින් කක්ෂගත කිරීමට නියමිත වූ චන්ද්‍රිකාව කාලගුණ චන්ද්‍රිකාවක් බවයි. නමුත් බටහිර රටවල් පුන පුනා ප්‍රකාශ කලේ මෙම රොකට්ටුව දියත් කිරීමේ සැඟවුණු අරමුණ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම බවයි.

උතුරු කොරියානුවන් මෙම රොකට්ටුව දියත් කරන්නට නියම කරගෙන තිබුනේ පසුගිය අප්‍රේල් 12-16 අතර දිනකයි. ඒ එරට පළමු නායකයා වූ කිම් ඉල්-සුන්ග් ගේ 100 වන ජන්ම දිනය සැමරීමට සමගාමීවයි. 1912 අප්‍රේල් 15 දින උපන් කිම් ඉල්-සුන්ග් 1930 ගණන්වල ජපන් විරෝධී ගරිල්ලා නායකයෙකු වූ අතර 1945න් පසු සෝවියට් දේශයේ උපකාරය ඇතිව කොරියාවේ සෝවියට් පාලන ප්‍රදේශයේ නායකයා බවට පත් වී, 1948 දී උතුරු කොරියාව හෙවත් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසු, 1994 ජූලි මාසයේ සිදු වූ ඔහුගේ මරණය දක්වාම එරට පාලකයා වුනා. කිම් ඉල්-සුන්ග්ගේ මරණින් ඉක්බිති, ඔහුගේ පුත්‍රයා වූ, කිම් ජොන්ග්-ඉල් බලයට පත් වුනා. 2011 දෙසැම්බරයේ සිදුවූ ඔහුගේ මරණයෙන් පසු, බලයට පත් වුනේ ඔහුගේ පුත්‍රයෙක් වන කිම් ජොන්ග්-උන්.

උතුරු කොරියාවේ නායකයින්ගේ පෞද්ගලික තොරතුරු බාහිර ලෝකයට එතරම් අනාවරණය වෙන්නේ නෑ. කිම් ජොන්ග්-උන්ගේ උපන් දිනය පවා හරියටම නොදන්නා නමුත් ඔහු මේ වනවිට 28 වන වියෙහි පසුවන බව කියවෙනවා. ඒ අනුව, දැනට ලොව සිටින ලාබාලතම රාජ්‍ය නායකයා වන්නේ කිම් ජොන්ග්-උන් ය. මිලියන 25ක පමණ ජනගහනයක් වසන මෙම රටෙහි හමුදාව (කොරියානු මහජන හමුදාව) සෙබළුන් සංඛ්‍යාව අනුව ලොව 4 වන විශාලතම හමුදාවයි. මිලියන 1.1 වන මෙම සෙබල සංඛ්‍යාව රටේ සමස්ත ජනගහනයෙන් 4% ඉක්මවනවා. එසේ වුනත්, උතුරු කොරියාව ලෝකයේ ඉතාමත්ම දුප්පත් රාජ්‍යයක්. එහි වසර ගණනාවක සිට ආහාර හිඟයක් පවතිනවා.

එවන් තත්ත්වයක් යටතේ, තව දුරටත් රොකට් තාක්ෂනය, න්‍යෂ්ටික වැඩපිළිවෙල වැනි කරුණු කෙරෙහි ප්‍රමුඛ අවධානය ලබා දෙන උතුරු කොරියානු රජය, රටේ දුප්පත්කම පිලිබඳ අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නෑ. කිම් ජොන්ග්-උන්ගේ නායකත්වය යටතේ යම් යම් වෙනස්කම් සිදු වේ යයි බලාපොරොත්තු වුනත්, උතුරු කොරියාවේ රජය තව දුරටත් පැරණි ක්‍රමවේදයම අනුගමනය කරන බව පෙනෙන්නට තියෙනවා. රොකට් අත්හදා බැලීම අසාර්ථක වූ පසු සිදු වූ එකිනෙකට වෙනස් ආකාරයේ සිදුවීම් දෙකකින් පැහැදිලි වන්නේ, යම් යම් වෙනස්කම් සහිතව තම පාලන ක්‍රමය දිගටම පවත්වා ගැනීමට උතුරු කොරියානු පාලකයින් කටයුතු කරන බවයි.

සාමාන්‍යයෙන් යමක් වැරදුනු විට ඒ බව පිලි නොගන්නා උතුරු කොරියානු රජය, මෙවර තමන්ගේ උත්සාහය වැරදුනු බවට පිළිගත්තා. ඒ අතරම, අප්‍රේල් 15 වනදා, කිම් ඉල්-සුන්ග්ගේ 100 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් පැවති හමුදා පෙළපාලිය අවස්ථාවේ, බොහෝ දෙනා පුදුමයට පත් කරමින් කිම් ජොන්ග්-උන් ජනතාව ඉදිරියේ පෙනී සිටිමින් කතාවක් පැවැත්වුවා. එහිදී තම සීයා සහ පියාගේ කර්තව්‍යය අගය කල ලාබාල කිම්, සිය හමුදාවද අගය කළා. කවුරුන් මොනවා කීවත් තමන් යන මාර්ගය වෙනස් නොකරන බව මෙයින් උතුරු කොරියානු රජය ලොවට පෙන්වා දුන්නා.

සිය ජනතාව හාමතින් පෙළෙද්දී, තව දුරටත් රාජ්‍ය ආරක්ෂක හමුදා කෙරෙහිත්, රොකට් තාක්ෂනය හා න්‍යෂ්ටික වැඩ පිළිවෙල කෙරෙහිත් උතුරු කොරියානු රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ ඇයිද යන්න ගැටලුවක්. උතුරු කොරියානු පාලකයෝ, තම රටෙහි චීනයේ මෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට බියක් දක්වන බවයි පෙනෙන්නේ. ඒවගේ උත්සාහයන් කීපයක් ඔවුන් දරුවා උනත්, චීනය තරම් විවුර්ත වෙන්නට ඔවුන් කැමැත්තක් දැක්වූයේ නෑ. ඊට මූලික හේතුව උනේ, එම ප්‍රතිසංස්කරණ තමන්ගේ පාලනයෙන් මිදීම ගැන බයක් උතුරු කොරියානු නායකයන්ට තිබුන එකයි. එහෙම උනා නම් ටික කලකින්, කොරියානු කම්කරු පක්ෂයේ පාලනය අවසන් වීමට ඉඩ තිබුනා. චීන කොමියුනිස්ට් පක්ෂයට එසේ නොවුනට තමන්ට එසේ නොවෙයි කියලා හිතන්නට ඔවුන් සූදානම් උනේ නෑ. එයට තවත් හේතුවක් තිබුනා. ඒ තමයි, චීනයට මෙන් නොව, උතුරු කොරියාවට විරුද්ධවාදියෙක් සිටීම. ඒ, දකුණු කොරියාවයි. එහි වෙනම ආර්ථික දේශපාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම, 1970 ගණන් වෙනකල්, උතුරු කොරියාව දකුණු කොරියාවට වැඩිය හොඳ ආර්ථිකයක් තිබුන රටක්. නමුත් අද ඔවුන් අතර වෙනස අහසයි පොලවයි වගේ.

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහන, රොකට් වැඩසටහන වැනි දේ දිගටම පවත්වාගෙන යන්නේ, එමගින් ඔවුනට හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබෙන නිසයි. ඔවුනට ආධාර අවශ්‍යයි. නමුත් බටහිර රටවල්වලින් ආධාර ගන්නවා නම් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වෙන්නට උතුරු කොරියාවට සිද්ධ වෙනවා. නමුත් උතුරු කොරියාවටත් අනික් අතට කොන්දේසි ඉදිරිපත් කිරීමට හැකියාවක් ඔවුන්ගේ වැඩසටහන් නිසා ලැබිලා තියෙනවා. ළඟදී කරන ලද රොකට් අත්හදා බැලීමට පෙර, ඒ ආකාරයට ඇමරිකාව සමඟ ඇති කරගෙන තිබුණු ගිවිසුමකට අනුව ආහාර ආධාර වෙනුවට න්‍යෂ්ටික වැඩපිළිවෙල නවතා දමන්නට උතුරු කොරියාව එකඟ වෙලා තිබුනා. නමුත් දැන් ඇමරිකාව ඒ එකඟතාවයෙන් අයින් වෙන්න තීරණය කරලා. මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ අවශ්‍ය නම් ආයෙමත් න්‍යෂ්ටික වැඩපිළිවෙල පටන් ගන්නට උතුරු කොරියාවට අවස්තාව ලැබීමයි.

උතුරු කොරියානු තර්ජනයට මුවා වෙලා දකුණු කොරියාව සහ ජපානයත් තම හමුදා ශක්තිය වර්ධනය කර ගනිමින් ඉන්නවා. චීනයත් මේ ගැන ඉන්නේ විමසිල්ලෙන්. රුසියාව උනත් බොහොම හෙවිල්ලෙන් මේ ගැන බලාගෙන ඉන්න බව නිසැකයි. අවසන් ප්‍රතිපලය තමයි, මේ කලාපය මිලිටරිකරණය වීම. කෙලින්ම අවි ගැටුමකට මේ කලාපයේ රටවල් පෙළඹෙන එකක් නෑ. නමුත් උතුරු-දකුණු කොරියානු අර්බුදය ළඟකදී අවසාන වෙන බවක් පෙනෙන්නෙත් නෑ.




පින්තූරය: උන්හා-3 රොකට්ටුව, Voice of America, Wikimedia Commons.



-මූලාශ්‍ර-

Paul Koring, "Failed Rocket Provides Pyongyang's Moment of Truth", The Globe and Mail (Canada), April 13, 2012.

Damian Grammaticas, "Kim Joun-un's First Public Speech" BBC, April 16, 2012.

"Kim Jong-un Speeks at Military Parade", Korean Central News Agency (KCNA) [කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය], April 15, 2012.

Monday, April 9, 2012

සදාම් හුසේන්ගේ වැටීමෙන් අවුරුදු නවයකට පසු


මේ පින්තූරයෙන් දැක්වෙන්නේ, ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සනිටුහන් කරමින් මීට අවරුදු නවයකට කලින් 2003 අප්‍රේල් 9 වෙනිදා බැග්ඩෑඩ් නගරයේ ඔහුගේ ප්‍රතිමාවක් බිම හෙලීම. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම බටහිර ආසියාවේ හෙවත් 'මැද පෙරදිග' දේශපාලනයට ඍජු බලපෑමක් ඇති කරපු බව නොරහසක්. එයින් පසුව ඉරාකය කොයි තරම් අස්ථායී උනාද කියන එක කව්රුත් දන්නවා. අදටත් ඉරාකයේ යුද්ධය අවසානයක් දකින්න නෑ.

ඉරාකය මෙච්චර අස්ථායී වෙන්න එක ප්‍රධානතම හේතුවක් උනේ ඒ රටේ ඉන්න ජන කණ්ඩායම් අතර බෙදීම්. රටේ කොටසක ජීවත්වන කුර්දි ජාතිකයෝ අවරුදු ගණනක් තිස්සේ වෙනම පාලනයක් වෙනුවෙන් සටන් කළා. මේ අතර අරාබි ජාතිකයොත් සුන්නි-ෂියා විදියට ඉස්ලාම් නිකාය දෙකකට අයිති. බ්‍රිතාන්‍යයන් විසින් ඉරාකය බිහි කරපු දවසේ ඉඳලා සදාම්ගේ වැටීම වෙනකල් රට පාලනය කලේ සුළුතරයක් වෙච්චි සුන්නි නිකායට අයත් පාලකයන්.

සදාම් හුසේන් ඉරාකයේ ඒකාධිපති පාලනයක් ගෙනිච්ච නමුත් ඒ යටත් 2003 ට පස්සේ අපි දකිනවට වැඩිය සාමකාමී තත්ත්වයක් තිබුනා. අනෙක් කණ්ඩායම් බලාගෙන හිටියේ තමන්ගේ අවස්තාව එනකල්. ඇමරිකාව ප්‍රමුඛ රටවල් කීපයක් ඉරාකය ආක්‍රමණය කරාම ඔවුනට අවස්ථාව ලැබුනා තමන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න. ෂියාවරු දැනගෙන හිටියා ජනගහනයෙන් භාගයකටත් වැඩිය ඔවුන් හිටපු නිසා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් යටතේ ඔවුනට බලය ලබාගන්න පුළුවන් බව. කුර්දීන්ටත් අවශ්‍ය උනා තමන්ට තිබුනට වැඩිය නිදහසක්. මේ අතරේ සුන්නි නායකයෝ කැමති උනේ නෑ ඔවුන්ගෙන් බලය ගිලිහෙනවට. සදාම් එළවා දැමූ පසු ඉරාකයේ මූලිකම ගැටලුව උනේ ඕකයි. අනෙක් ගැටලුව උනේ, ඇමරිකාව යුද්ධයට ලෑස්ති උනාට ඊට පස්සේ සිද්ධ වෙන දේවල් පිලිබඳ කලින් සිතා නොතිබීම. ඔවුන් බලාපොරොත්තු උනා සදාම් එළවා දැමූ පසු සියලු දේ තිතටම වෙයි කියලා. නමුත් සිද්ධ උනේ මහා විනාසයක්. ඇමරිකාව එක හතුරෙක් එළවලා හතුරෝ රෑනක්ම සාදා ගැනීමක් තමයි මෙතනින් උනේ. ටික දවසක් යනකොට නා නා ප්‍රකාර පිරිස් ඇමරිකන් හමුදා සෙබළු ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. අද වෙනකොට ඇමරිකන් හමුදා යුධ මෙහෙයුම්වලින් අයින් කරගෙන තිබුනා උනත් ඉරාක රජයට විරුද්ධව දිනපතාම වගේ ප්‍රහාර එල්ල වෙනවා.

ඉරාකයේ වගේම තවත් බොහොමයක් රටවල ගැටුම් පිලිබඳ හොයල බැලුවම පෙනෙන පොදු සාධකයක් තියෙනවා. ඒක තමයි, ඒ රටවල් ඇත්ත වශයෙන්ම යටත්විජිතවාදීන්ගේ නිර්මාණයන් වීම. එවැනි රටවල ජනතාවට නිදහස භුක්ති විඳින්න ලැබුන ගමන් ඔවුන් එයින් ප්‍රයෝජන අරගෙන තම තම අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා මිසක් රටක් ගැන හිතන්නේ නෑ. ඉරාකයේ විවිධ කණ්ඩායම් එකට එකතු වෙලා ඉරාකය ගොඩ නගයි කියලා ඇමරිකාව බලාපොරොත්තු වීම ඇත්තටම අහස් මාලිගා තැනීමක්.

බටහිර රටවල් අදටත් එහෙම අහස් මාලිගා තනන බවයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් ලිබියාවේ ගඩාෆි පලවා හරින්නට විරුද්ධවාදීන්ට උපකාර කලේ. ඔවුන් ගදාෆිට පස්සේ ලිබියාවෙත් හැම දෙයක්ම හොඳට වෙයි කියල හිතන්න ඇති. නමුත් ඒක එහම වෙන බවක් පෙනෙන්න නෑ. අද ලිබියාවේ විවිධ පළාත් පාලනය කරන්නේ විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම්.

ලිබියාවත් ඉරාකය වගේම යටත් විජිතවාදීන්ගේ නිර්මාණයක්. ට්‍රිපොලිටානියා, සිරෙනයිකා සහ ෆෙසාන් කියන එකිනෙකට වෙනස් ප්‍රදේශ තුනක එකතුවක්. ගඩාෆි යටත් රටේ නැගෙනහිර සිරෙනයිකාවේ අයට බලයක් තිබුනේ නෑ. ඒ නිසා තමයි ඒ පළාත ගඩාෆි විරෝධීන්ගේ බලකොටුව බවට පත් උනේ. අද වෙනකොට ඒ පළාතේ වෙනම පාලනයක් ඇති වෙලා තියෙනවා. ඉරාකයේ නම් සත්‍ය වශයෙන්ම එකමුතුවක් නොතිබ්බත් අවුරුදු නවයක් ඒ රට නොකැඩී ඉන්න සමත් වෙලා තියෙනවා. (කොහොම උනත් ඉරාක කුර්දිස්ථානය දැන් පාලනය වෙන්නේ එක්තරා විදියකට වෙනමම රටක් විදියට.) ලිබියාවට එහෙම ඉන්නට ලැබෙයිද කියන ඒක පිලිබඳ තවම මුකුත් කියන්නට බැහැ.

Friday, April 6, 2012

දුර දිග බලමු! විදුලිය පිරිමසිමු!


ශ්‍රී ලාංකීය ජනතාවගේ වගේම ලෝක ජනතාවගේ බලශක්ති අවශ්‍යතා දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. අද ලෝකේ සිද්ධ වෙන බොහොමයක් ගැටුම් පිටිපස්සේ 'බලශක්ති පොරය' දකින්න තියෙන බව ප්‍රසිද්ධ කාරණයක්. ශ්‍රී ලංකාවට මේක ඉතා වැදගත් වෙන්නේ, අපේ රට තවමත් දියුණු වෙමින් පවතින රටක් නිසා. අපේ රටේ සියලු ගෙවල් දොරවල්වලට විදුලි බලය ලැබිලා නෑ. ඒ වගේම අපේ රට ඉදිරියට තවත් කාර්මීකරණය වෙන්න නම් බලශක්තිය පිලිබඳ ගැටලුව විසඳගන්න වෙනවා.


කඩිනම් මහවැලි ව්‍යාපාරය දවස්වල ඇතැම් අවස්ථාවල කියවුනේ අපිට ඉන්දියාවටත් විදුලිය සපයන්න පුළුවන් කියලයි. අපි ඉන්දියාවට වෙන වෙන දේවල් නම් සපයනවා වෙන්න පුළුවන්. නමුත් විදුලිය නම් සපයන්න පුළුවන් වෙලා නෑ. අපිට ජල විදුලි සම්පත පාවිච්චි කරලා අපේ අවශ්‍යතාවවත් සපුරා ගන්න පුළුවන් වෙලා නෑ. වර්ෂාව අඩු කාලෙට අපිට ජල විදුලි බලාගාරවල සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව ලබාගන්නත් බෑ. ඒ නිසා අපිට ඩීසල් සහ ගල් අඟුරු බලාගාර වගේ දේ දිහාවට හැරෙන්න උනා.


ඩීසල් බලාගාරවල තියෙන ලොකුම ගැටළු තමයි ඛනිජ තෙල් මිල දිනෙන් දින ඉහළයාමත්, එය ක්‍ෂය වෙන ඉන්ධනයක් වීමත්. ජාල විදුලිය ප්‍රමාණවත් නොවෙන නිසා ඩීසල් බලාගාර යොදා ගන්න වෙනවා. එවිට විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහල යනවා. ගල් අඟුරු බලාගාර බොහොම ලාබදායක වෙන්න පුළුවන්. නමුත් එයින් ඇතිවන පාරිසරික බලපෑමත් සලකන්න වෙනවා. අනික කොහොම උනත් ඒ ගල් අඟුරුත් ක්‍ෂය වන ඉන්ධනයක්. ඉදිරියේදී ගල් අඟුරු ලබා ගැනීම ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඛනිජ තෙල් හිඟ ඉන්දියාවත් චීනයත් කියන යෝධයෝ දෙන්නම තව තවත් ගල් අඟුරු බලාගාර ඉදි කරගෙන යනවා.


රටක යම් ගැටලුවක් තියෙනකොට එක විසඳන එක ආණ්ඩුවටම භාර දීලා කට ඇරගෙන 'බකන් නිලාගෙන' ඉන්නවට වැඩිය ලොකු වගකීමක් සාමාන්‍ය ජනතාවට තියෙනවා. පලවෙනි කාරණය තමයි රටේ ප්‍රශ්නයක් තියෙන බව දැනගන්න එක. අපිට මේ වෙනකල් මෑත කාලේදී විදුලිය විසන්ධි කරන්න වෙලා නෑ. එහෙම වෙන්න කලින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම් අපි හැමෝටම පහසු වෙනවා නිසැකයි.

සිංහල බ්ලොග් අවකාශයට අලුත් සාමාජිකයෙක්!

සිංහලෙන් බ්ලොග් එකක් ලිවීමේ අදහස කාලයක් පුරාවට මගේ හිතේ තිබුන නමුත් එය ක්‍රියාවට නගන්න අවස්තාවක් උනේ නෑ. එහෙම හිත හිත ඉන්න ගමන් බක් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ලැබිච්ච නිවාඩු දවස ඒ වගේ වැදගත් වැඩකට යොදා ගන්න මම කල්පනා කළා.

මගේ අදහස, බ්ලොග් එකේ නමෙන්ම කියවෙන විදියට මට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන මට හිතෙන දේ ලියා දැක්වීම. මේක බරපතල ශ්‍රාස්ත්‍රීය ආකාරයේ සංවාදයකට වැඩිය මම කැමති කතා කරන භාසාවෙන්ම ලියන්න. මොකද මට ඕනෙ කරන්නේ සිංහලෙන් කියවන ලියන අයට අමතන්නයි. ලොකු ලොකු මහප්‍රානෙන් ලියන්න බැරිව නෙවෙයි. එහෙම ලියන්න අවශ්‍ය නෑ කියල හිතුන නිසා එහෙම ලියන්නේ නෑ.

මෙතන ලියවෙන දේවල් අතරේ දේශපාලනය, ඉතිහාසය, එදිනෙදා සිදුවීම් ආදී සියලු දේ තියේවි. මම කිසිම පක්ෂයකට, කණ්ඩායමකට 'කඩේ යන්නේ' නැතිව හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න උත්සාහ කරනවා. පෝය දවසේ පිස්සු තදවෙලා කියල හිතන්න එපා. එක එහෙමමද කියල බලන්න ටික දවසක් අපිත් එක්ක 'සෙට්' වෙලා ඉන්න.