Saturday, November 14, 2015

ජවිපෙට කුමාර් ගුණරත්නම් අදාළ​ නැත​

ජනතා විමුක්ති පෙරමුණට​, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් හෝ අදාළ නැත​.

ජවිපෙ නායකයින් ඡන්ද අඩු වූ විට කියන්නේ තමන්ගේ ඡන්ද අඩු වුවද​, මතවාදය පැරදී නැති බවත්, විප්ලවීය පක්ෂයකට ඡන්ද ගණන එතරම් වැදගත් නැති බවත් ය​.

මැතිවරණ යනු විප්ලවීය පක්ෂයක අරගලයේ එක් සාධකයක් පමණක් බව ඔවුහු කියති.

ඒ අතරම​, ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ගණනවත් ගන්නට බැරි වූ පෙරටුගාමීන් තමන්ට අදාළ නැති වග ඔවුහූ පුන පුනා කියති.

කුමාර් ගුණරත්නම් ද තමන්ට අදාළ නැති බව ඔවුහු පුන පුනා කියති.

ටීවී වැඩසටහනක හෝ මාධ්‍ය සාකච්ඡාවක හෝ කටට උත්තරය දී අමාරුවේ දැමූ අවස්ථාවක එවැනි උත්තරයක් දීමෙන් නොනවතින ඔවුහු ප්‍රසිද්ධ රැළිවලදීද එවැනි දෑ කියති.

තමන්ට එරෙහිව නඩු මගට ගිය චිත්‍රාංගනීගේ සැමියා වර්ණනයට ගත් වචන ප්‍රමාණය හා සමාන​ වචන ප්‍රමාණයක්,ඇතැම්විට ඊටත් වඩා වැඩි වැඩි වචන ප්‍රමාණයක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් ගැන පැවසීමට මෙවර ඉල් මහ විරු සමරුවේදී අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා යන දෙදෙනා වැය කළහ​.

ඒ කුමාර් ගුණරත්නම් ඔවුනට අදාළ නොවන බැවිනි.

එනයින් ගම්‍ය වන්නේ, ඔවුන් වැඩි කළක් මිඩංගු කරන්නේ ඔවුනට අදාළ නොවන දේ පිළිබඳ කියැවීමට වගයි.