Friday, September 30, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (සය වන කොටස​) - පන්ජ්ශීර් හි සිංහයා (Lion of Panjshir)

ඇෆ්ඝනිස්ථානයට පැමිණි සෝවියට් හමුදාවලට​ මුහුණ දීමට සිදු වූයේ පහසු අභියෝගයකට නොවේ. තමන් නොදන්නා රටක කඳුකර​, දුෂ්කර, ඈත පිටිසර ප්‍රදේශවල සටන් කිරීම කිසිසේත්ම පහසු නොවේ. තමන් ඇෆ්ඝනිස්ථානයෙහි රැඳී සිටි සමස්ථ කාළය තුළම සෝවියට් හමුදාවලට ප්‍රධාන මාර්ග සහ නගරවලින් එපිට සිය අණසක වැඩිකල් පවත්වාගත හැකි වූයේ නැත​.

සෝවියට් හමුදා මුජහිදීන්වරුන් පරාජය කිරීමට උත්සාහ කළේ සිය අවි බලයෙනි. බොහෝවිට​, ප්‍රබල සෝවියට් ප්‍රහාර හමුවේ මුජහිදීන්වරු තමන් රැඳී සිටි ප්‍රදේශවලින් පසු බැස්සෝය​. සත්‍ය වශයෙන්ම සෝවියට් හමුදා තමන් සහභාගී වූ සටන් බොහොමයක් ජය ගත්තේය​. එහෙත් ඔවුන් අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීම අපහසු වූ අතර ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් වූ විගස මුජහිදීන්වරු යළි එම ප්‍රදේශවලට පැමිණියෝ ය​. අවසන් ප්‍රතිඵලය වූයේ සටන ඇරඹීමට පෙර පැවති තත්ත්වයට නැවත ළඟා වීමය​.

මුජහිදීන්වරුන් සෝවියට් හමුදාවලට තර්ජනය කළ ප්‍රධාන ක්‍රමයක් වූයේ ඔවුනගේ සැපයුම් මාර්ගවලට පහර දීමෙනි. සෝවියට් උස්බෙකිස්ථානයේ සිට ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවරට වැටී තිබුණ මාර්ගය මෙහි ප්‍රධාන ඉලක්කයක් විය​. මෙම මාර්ගයට පහර දීමේදී සටන්කාමීන් ගේ ප්‍රධාන මූලස්ථානයක් වූයේ පන්ජ්ශීර් නිම්නය යි.

කාබුල් නගරයෙන් කිලෝමීටර් 70 ක් පමණ උතුරු දෙසින් පිහිටි සශ්‍රීක පන්ජ්ශීර් නිම්නය අහමඩ් ශා මසූඩ්ගේ මූලස්ථානය විය​. එම නිම්නය කාබුල් සිට උතුරට වැටී තිබුණ මාර්ගයේ පිහිටි සලාංග් දුර්ගයට (Salang Pass) ආසන්න වූයේය​. මසූඩ් පන්ජ්ශීර් හි සිට එම මාර්ගයට තර්ජනය කළේය​. සෝවියට් සැපයුම් මාර්ග ආරක්ෂා කරන අටියෙන් එම හමුදා මසූඩ්ගේ පිරිස පන්ජ්ශීර්වලින් එලවා දැමීමට මාන බැලුවෝය​.

සෝවියට් හමුදා ප්‍රහාර ගණනාවක් හමුවේ සිදුකළ වික්‍රමයන් හේතුවෙන් අහමඩ් ශා මසූඩ් ප්‍රබල මුජහිදීන් යුධ නායකයකු ලෙස නමක් දිනාගත් අතර 'පන්ජ්ශීර් හි සිංහයා' ලෙස ද ඔහු ප්‍රකට විය​.

පන්ජ්ශීර් නිම්නයේ බසරක් නගරයේදී 1953 සැප්තැම්බර් 2 වනදා උපන් බව කියන අහමඩ් ශා මසූඩ්ගේ පවුල යමක් කමක් තිබුණ​, තජික් ජාතික​, සුන්නි මුස්ලිම් පවුලක් විය​. 1970 දශකයේදී ඉංජිනේරු සිසුවකු ලෙස කාබුල් පොලිටෙක්නිකල් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ හෙතෙම පසුව බුරනුද්දින් රබ්බානිගේ ජමියත් - ඊ - ඉස්ලාමි සංවිධානය සමඟ සම්බන්ධ වූයේය​. සෝවියට් ආක්‍රමණයෙන් පසු හෙතෙම පන්ජ්ශීර් හි සිට එම ආක්‍රමණයට එරෙහිව සටනට බැස්සේය​.

පන්ජ්ශීර් වෙත මුලින්ම එල්ල වූ ප්‍රහාරයන් එතරම් විශාල ඒවා නොවීය​. 1980 සැප්තැම්බර්, 1980 ඔක්තෝබර්, 1981 මාර්තු සහ 1981 සැප්තැම්බර් මාසවල මෙම ප්‍රහාර එල්ල විය​. මුලදී අහමඩ් ශා මසූඩ්ගේ හමුදා ද කෙළින්ම සෝවියට් හමුදා හා ගැටීමට තරම් ශක්තිමත් නොවීය​. කෙමෙන් කෙමෙන් ඔහු සිය හමුදා ශක්තිය තර කරගත්තේය​.

පන්ජ්ශීර් නිම්නයට එල්ල වූ පස් වන සෝවියට් ප්‍රහාරය එතෙක් ඇෆ්ඝනිස්ථානය තුළ සිදුවූ දැවැන්තම සෝවියට් ප්‍රහාරය විය​. මෙම ප්‍රහාරය එල්ල වූයේ සෝවියට් හමුදාවලට ජයග්‍රහණයක් අවැසි සමයක ය​. 1982 අප්‍රේල් 25 වනදා බග්‍රම් ගුවන් කඳවුරට එල්ල වූ දරුණු මුජහිදීන් ප්‍රහාරයකින් සෝවියට් ගුවන් යානා සහ හෙලිකොප්ටර් 20 ක් පමණ විනාශ විය​. එහෙයින් සෝවියට් හමුදාවලට මුජහිදීන්වරුන්ට පහර දී ජයග්‍රහණයක් වාර්තා කිරීමේ අවශ්‍යතාව ඉතා දැඩි ලෙස දැනුණි.

දින කිහිපයක් තිස්සේ එල්ල වූ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් පසු, 1982 මැයි 17 වනදා, හින්දු කූශ් කඳු පන්තියට ඉහළින් මතුවූ සෝවියට් හෙලිකොප්ටර් පහළ සිටි කැරලිකරුවන් කරා ළඟා විය​. මුජහිදීන් වරුන් විසින් එල්ල කෙරෙන වෙඩි ප්‍රහාරවලින් ගැලවෙනු පිණිස අහසේ ඉහළින් සැරිසරමින් සිටි එම යානා සතුරු ඉලක්කයක් හඳුනාගත් කළ වහා පහළට පැමිණ ප්‍රහාරයන් එල්ල කළේය​. මිග්-23 සහ සූ-34 යානාවලින් ද හෙලිකොප්ටර් වෙත සහය ලැබුණි. ඔවුනගේ උත්සාහය වූයේ කඳු ශිඛර අතර වූ මුජහිදීන් සටන්කාමීන් රැඳී සිටි ස්ථාන සොයා ඒවාට පහරදීමය​. මේ අතර සෝවියට් සහ ඇෆ්ඝන් හමුදා යුධ ටැංකි, සන්නද්ධ රථ සහ ට්‍රක් රථ පහළ නිම්නය ඔස්සේ ඉදිරියට ආවෝය​. හෙලිකොප්ටර්වලින් ද හමුදා සේනාංක තන්හි තන්හි ගොඩ බස්වන ලදී.

කෙසේ නමුත් අහමඩ් ශා මසූඩ්ට මෙම ප්‍රහාරය පිළිබඳ කල් ඇතිව අනතුරු ඇඟවීම් ලැබී තිබුණ බව සඳහන් වේ. ඔහුට ඇෆ්ඝන් හමුදාව තුළින් තොරතුරු ගලා ආවේය​. එහෙයින් ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු එවන් ප්‍රහාරයක් එන බව දැන සිටියේය​. එමෙන්ම නිම්නයට එපිටින් සෝවියට් හමුදා ඒකරාශී වන අයුරු ද ඔහු නිරීක්ෂණය කරන්නට ඇත​. මුජහිදීන්වරු සෝවියට් හමුදාවලට සෘජුවම මුහුණ නොදෙමින් අවට කඳු ශිඛර වෙත පසු බැස්සෝය​.

නිම්නය තුළට සෝවියට් හමුදාවලට ඇතුලු වීමට ඉඩ දුන් මසූඩ් ඉන් පසුව ඔවුනට පහර දෙමින් ගරිල්ලා ආකාරයේ සටනක් දියත් කළේය​. සෝවියට් හෙලිකොප්ටර් සහ ගුවන් යානා ද ප්‍රහාරයට ලක් විය​. මේ අනුව හෙලිකොප්ටර් සහ මිග් යානා 35 ක් පමණ ප්‍රහාරයේ පළමු දින දහයේදී විනාශ වී යයි අනුමාන කළ හැකි බව ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර් සඟරාව පැවසීය​.
ඇෆ්ඝනිස්ථානයේ දුර්ග​. සලාංග් දුර්ගයද (Kotal - e - Salang) මෙහි දැක්වේ

මේ අතර සලාංග් දුර්ගය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් සෝවියට් රථ පෙළකට පහර දුන් මසූඩ්ගේ සෙබලු වාහන ගණනාවකට හානි සිදු කළෝය​. එහෙයින් මාර්ගය දින කිහිපයකට වසා දැමීමට ද සිදු විය​.

සමස්ථ නිම්නයේම බලය තමන් සතු කරගන්නට සෝවියට් සහ ඇෆ්ඝන් හමුදාවලට අපහසූ නොවූ නමුත් මුජහිදීන්වරුන් නිරුපද්‍රිතව කඳුකරයට පසු බැසීම වැළැක්වීමට ඔවුනට හැකි වූයේ නැත​.

මේ හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවත වරක් සෝවියට් ප්‍රහාර මසූඩ්ගේ මුජහිදීන්වරුන් කරා එල්ල කෙරිණ​. මෙහිදී සෝවියට් බෝම්බ හෙලන යානා විසින් මුජහිදීන්වරුනට රැකවරණය දෙන්නේ යයි සැක කෙරුණ ගම්මානවලට දරුණු ලෙස පහර දුන්නේය​. තවද සෝවියට් ස්පෙට්නාස් විශේෂ බලකා මසූඩ්ගේ සෙබලුන් ලුහුබැඳ පහර දුන් හ​.

සිවිල් වැසියන් වෙත එල්ල කෙරුණ දරුණු ප්‍රහාර හමුවේ ගම්මාන සහමුලින් විනාශ වූ අතර ඒවායේ දිවි ගලවාගත්තවුන් සිය ගම් බිම් හැර දා පළා ගියෝය​. ඇතැම් ප්‍රදේශ සෝවියට් හමුදා අතට පත් වුවද මුජහිදීන්වරුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට ඔවුනට නොහැකි විය​.

සෝවියට් හමුදා විසින් අල්ලාගන්නා ලද බොහෝ ප්‍රදේශවල පසුව ඇෆ්ඝන් රජයේ හමුදා රඳවන ලදී. මෙම හමුදා වෙත මසූඩ්ගේ හමුදා නිතර පහර දුන් අතර ඇෆ්ඝන් සෙබලු සමහරක් සටන අතහැර පළා ගියෝය​.

1983 ආරම්භ වෙද්දී දෙපාර්ශවයම සටනින් හෙම්බත්ව සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කරගන්නා ලදී.

කෙසේ නමුත් 1984 මුල දී එම තාවකාලික සාමය නිම වීය. එම වසරේ අප්‍රේල් මාසයේදී දැවැන්ත සෝවියට් - ඇෆ්ඝන් ප්‍රහාරයකට පන් ජ්ශීර් නිම්නය ලක් කරන ලදී. කෙසේ නමුත්, මෙවරද​, ඇෆ්ඝන් හමුදාවල අධ්‍යන්තරයේ සිටි ආධාරකරුවන් මාර්ගයෙන් මෙම ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් මසූඩ් වෙත ලැබී තිබුණි. සිවිල් වැසියන් බොහෝ දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා ගෙනයන ලද අතර සෝවියට් හමුදා ගුවනින් ගොඩ බස්වනු ඇතැයි සැක කෙරුණ ස්ථාන සහ වෙනත් වැදගත් යයි සැළකුණ ස්ථාන ගණනාවක් වටා බිම් බෝම් බ අතුරන ලදී. කෙසේ නමුත් සෝවියට් - ඇෆ්ඝන් ප්‍රහාරය ඉතාමත් ම ප්‍රබල වූ හෙයින් මසූඩ්ගේ සේනාංකවලට පසු බෑමට බල කරන ලදී.

මුජහිදීන්වරුන් පසු බැසගිය පසු සෝවියට් සහ ඇෆ්ඝන් සෙබලු ප්‍රධාන නිම්නයෙහි බලකොටු ඉදිකරගනිමින් එහි ආරක්ෂාව තර කළෝය​. මෙමගින් මුජහිදීන්වරුන්ට ඔවුනගේ මූලස්ථානය වූ නිම්නයේ බලය අහිමි වූ නමුත් අනෙක් අතට සෝවියට් සහ ඇෆ්ඝන් හමුදා ඉලක්ක කරගැනීම ඔවුනට පහසු කරවන ලදී. කල් ගතවන විට දිගින් දිගටම එල්ල වූ මුජහිදීන් තර්ජන හමුවේ සැප්තැම් බරයේදී සෝවියට් - ඇෆ්ඝන් හමුදා පසු බැස ගියෝය​.

පන් ජ්ශීර් නිම්නයට 1984 සහ 1985 දී තවත් ප්‍රහාරයන් දෙකක් එල්ල කෙරුණ නමුත් එයින් ද මසූඩ්ගේ හමුදා පරාජය කිරීමට සෝවියට් - ඇෆ්ඝන් සේනාංකවලට නොහැකි විය​.

1986 වනවිට නව නායක මිහායිල් ගොර්බචොව් යටතේ සිය ඇෆ්ඝන් ප්‍රතිපත්ති වෙනස් කිරීම කෙරෙහි සෝවියට් දේශයේ අවධානය යොමු විය​. එවක ඇෆ්ඝන් ජනාධිපති බබ්රක් කර්මාල් ඉවත් කළ ඔවුහු මොහොමඩ් නජිබුල්ලා එම තනතුරෙහි තැබූහ​. මින් පසු සෝවියට් දේශයේ අවධානය යොමුව තිබුණේ ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වන ක්‍රමයන් කෙරෙහි බැවින් මසූඩ් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකරගැනීමට සෝවියට් හමුදා වග බලාගත්තෝය​. මෙය මසූඩ්ට ද වාසි සහගත තත්ත්වයක් විය​. ඔහු තව තවත් ප්‍රදේශ තම අණසක යටතට ගනිමින් මුජහිදීන් නායකයකු ලෙස විශේෂිත ස්ථානයකට ළඟා විය​.

සෝවියට් හමුදා සමඟ කළ සටන් හේතුවෙන් චිර ප්‍රසිද්ධියට පත් වූ අහමඩ් ශා මසූඩ් 2001 දී වූ සිය ඝාතනය වනතුරුම ඇෆ්ඝන් දේශපාලනයේ වැදගත් චරිතයක් විය​. ඔහුගේ අනුගාමිකයන් අදටද ඔහු හඳුන්වා දෙන්නේ පන්ජ්ශීර් හි සිංහයා යන නමිනි.

No comments:

Post a Comment