Sunday, October 16, 2016

නියුරම්බර්ග් යුධ අපරාධ නඩු විභාගය

1946 ඔක්තෝබර් 16 වනදා උදෑසන 1.11 ට​, ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ බන්ධනාගාර ක්‍රීඩාගාරයෙහි දොරටුව විවර විය​. එයින් ඇතුලට ගෙන එන ලද හිටපු නට්සි ජර්මන් විදේශ ඇමති ජෝකිම් ෆොන් රීබන්ත්‍රොප්, එහි තනවා තිබූ පෝරකය වෙත රැගෙන යනු ලැබීය​. අලුගෝසුවා ලෙස කටයුතු කළ ඇමරිකානු හමුදා මාස්ටර් සාර්ජන්ට් ජෝන් සී. වුඩ්ස් රීබන්ත්‍රොප්ගේ ගෙල වටා තොණ්ඩුව දැමීය​.

"ඔබට අවසන් වශයෙන් කීමට දෙයක් තිබේ ද​?"

මරණය අභිමුවෙහි ද අධිෂ්ඨාන පූර්ව ස්වරයෙන් ඔහු සිය හඬ අවදි කළේය​. "දෙවියන් වහන්සේ ජර්මනිය ආරක්ෂා කරත්වා!" ඔහු පැවසීය​. "ජර්මන් එක්සත්භාවය සුරක්ෂිත වනු ඇතැයි ද​, නැගෙනහිර සහ බටහිර අතර අවබෝධය වර්ධනය වනු ඇතැයි ද​, ලොවට සාමය උදාවනු ඇතැයි ද මම අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා."

රැස්ව හුන් සියලු දෙන සිය හිස් වැසුම් ඉවත් කළ හ​​. මාස්ටර් සාර්ජන්ට් වුඩ්ස් තොණ්ඩුව සිර කළේය​. අසළ හුන් පූජකයා යාඥා කරද්දී අලුගෝසුවා ලීවරය ඇද්දේය​. හිටපු විදේශ ඇමති කඹය තද වනතුරු පහළට ඇද වැටුණි.

එහෙත් බලාපොරොත්තු වූ පරිදි ගෙල කැඩී යාමෙන් ක්ෂණික මරණයක් රීබන්ත්‍රොප් වෙත ළඟා නොවීය​. ඔහු හුස්ම හිරවී මිය ගියේ විනාඩි දහ හතරක් තිස්සේ වද විඳීමෙන් අනතුරුව ය​.

නියුරම්බර්ග් ප්‍රධාන නඩු විභාගයේ තීන්දු ප්‍රකාරව, එදින මධ්‍යම රාත්‍රිය පසුව පැයකට වඩා තරමක් වෙලා ගතවූ තැන​, ප්‍රබල නට්සීන් දස දෙනෙකු මරණ දඬුවමට යටත් කරන ලද අතර, රීබන්ත්‍රොප්ට පසුව එකිනෙකා බැගින් අනෙක් නට්සීන් ද එල්ලා මරා දමන ලදී. මාස්ටර් සාජන්ට් වුඩ්ස් වසර දහයකට වැඩි පළපුරුද්දක් සහිත හමුදා අලුගෝසුවකු වුවද, මෙහිදී මරණ දඬුවම 'වෘත්තීය මට්ටමෙන්' ක්‍රියාවට නොනැඟින​. රීබන්ත්‍රොප් සහ ෆ්‍රිට්ස් සෞකල් මිය ගියේ විනාඩි 14 බැගින් වද විඳීමෙන් අනතුරුවය​. ෆීල්ඩ් මාර්ශල් විල්හෙල්ම් කීටල් හුස්ම හිරවනතුරු විනාඩි විසි හතරක් දුක් වින්ඳේය​.

නියුරම්බර්ග් නඩු විභාගයේ පසුබිම​

දෙවන ලෝක යුද්ධයේ අවසන් භාගයේදී නට්සි ජර්මන් නායකත්වයට එරෙහිව යුධ අපරාධ නඩු විභාගයක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා වූයේය​. මුලින් බ්‍රිතාන්‍යය, සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම යාන්ත්‍රණයට සම්බන්ධ වුවද පසුව ප්‍රංශය ද ඊට සම්බන්ධ කරගන්නා ලදී. යුද්ධාවසානයෙන් පසු 1945 අගෝස්තුවේදී ප්‍රකාශිත ලන්ඩන් ප්‍රඥප්තිය මගින් මීට නීතිමය රාමුව සකසන ලදී.

මෙම නඩු විභාගය විශේෂිත වූයේ යුධ අපරාධ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් නිර්මාණය කර නඩු විභාගයක් පැවැත්වීම පිළිබඳ මෙය පූර්වාදර්ශයක් සැපයූ හෙයිනි. මෙය යුද්ධ නීතිය සහ අන්තර්ජාතික නීතිය කඩ කිරීමට එරෙහිව පැවැත්වූවක් බැවින් 1939 සැප්තැම්බර් 1 වෙනිදා සහ ඊට පසු සිද්ධීන්වලට පමණක් අදාළ විය​.

මෙම නඩු විභාග පැවැත්වූ නෛතික රාමුව පිළිබඳ ඇතැම් විචාරකයන් අතර මතභේද පවතී. එමෙන්ම ප්‍රධාන විත්තිකරුවන් සම්බන්ධව අවසන් තීන් දුව කුමක් වන්නේද යන්න පිළිබඳ විශේෂ සැකයකුදු නොවීය​. නමුත් මෙම නඩු විභාගයට පක්ෂව දැක්වුන විශේෂ කරුණක් වූයේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි පාලනය යටතේ සිදුවූ අපරාධ පිළිබඳ විවෘත අධිකරණයකදී කරුණු හෙළි කරගැනීම අවස්ථාව උදා වීම ය​.

ස්ථානය​

නඩු විභාගය සඳහා නියුරම්බර්ග් යොදාගැනීම සංකේතාත්මකව වැදගත් වූයේ ය​. මක් නිසාද යත් නට්සි පක්ෂය හෙවත් ජර්මන් ජාතික සමාජවාදී පක්ෂය වර්ධනය වන සමයේදී සහ බලය ලබාගැනීමෙන් පසු මුල් වසරවල පක්ෂ සම්මේලන පවත්වන ලද්දේ එම නගරයේ වීමය​. නමුත් ඇතැම්විට නියුරම්බර්ග් නගරය තෝරා ගැනීමට ඊට වඩා බලපාන්නට ඇත්තේ එම නගරයේ අධිකරණ ශාලාව හෙවත් යුක්තියේ මන්දිරය (Palace of Justice) යුද්ධයෙන් විනාශ නොවූ, එමෙන්ම ඇති තරම් ඉඩ පහසුකම් ඇති, ගොඩනැගිල්ලක් වීමය​.

විනිසුරු මඩුල්ල​


විනිශ්චයකරුවන් සහ අභිචෝදකයින්

නියුරම්බර්ග් නඩු විභාගය මෙහෙයවන ලද්දේ බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය විසිනි. මේ එක් රටකින් විනිසුරෙකු, සහය විනිසුරකු සහ අභිචෝදකයකු බැගින් නම් කරන ලදී. සෝවියට් දේශයෙන් ප්‍රධාන විනිසුරුවරයා ලෙස නම් කරන ලද මේජර් ජෙනරල් ඉයෝනා නිකිට්චෙන්කෝ මෙයින් ආන්දෝලනාත්මක අයකු වූයේ ය​. 1930 දශකයේ සෝවියට් නායක ස්ටාලින්ගේ විරුද්ධවාදීන් ගණනාවකට එරෙහිව පැවැත්වූ ව්‍යාජ නඩු විභාගවල විනිසුරකු ලෙස ඔහු කටයුතු කර තිබුණි.

අධිචෝදනා ගොනු කිරීම​

නියුරම්බර්ග් ප්‍රධාන නඩු විභාගයේදී විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව චෝදනා හතරක් යටතේ අධිචෝදනා ගොනු කරන ලදී. මෙම ඇතැම් විත්තිකරුවන් එම චෝදනා හතරටම ලක් වූ අතර ඇතැම් විත්තිකරුවන් චෝදනා කිහිපයකට පමණක් මුහුණ දුන් හ​. විත්තිකරුවන් 24 දෙනා අතර ප්‍රබල නට්සි පක්ෂ සාමාජිකයන්, නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටිනු දක් නා ලදී.

මෙම විත්තිකරුවන්ට එල්ලවූ චෝදනා වූයේ,

1. සාමයට එරෙහි අපරාධ සිදු කිරීම සඳහා පොදු සැලසුමකට හෝ කුමන්ත්‍රණයකට සම්බන්ධ වීම​

2. ආක්‍රමණික යුද්ධ සහ අනෙකුත් සාමයට එරෙහි අපරාධ සැලසුම් කිරීම​, ක්‍රියාවට නැගීම සහ ඉදිරියට ගෙන යාම​

3. යුධ අපරාධ​

4. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ​

විත්තිකරුවන්

නියුරම්බර්ග් ප්‍රධාන නඩු විභාගයේ විත්තිකරුවන් 24 දෙනා පහත දැක්වේ (ඉංග්‍රීසි අකාරාදී පිළිවෙල අනුව වාසගම සැළකීමෙන් පෙළ ගස්වා ඇත).

විත්තිකරුවන්


01. මාර්ටින් බෝර්මන්

බෝර්මන්, රුඩොල්ෆ් හෙස්ට පසු නට්සි පක්ෂ ලේකම් විය​. ජර්මන් රජයේ ප්‍රධාන තනතුරක් නොදැරුවද පක්ෂයේ තමන් දැරූ ඉහළ තනතුර හේතුවෙන් රජයේ ප්‍රබලයකු විය​. හිට්ලර් සියදිවි නසාගත් බව කියන දිනවල ඔහුගේ බංකරයේ දිවි ගෙවූ එවකට 45 හැවිරිදි වූ බෝර්මන් ඉන්පසු අතුරුදහන් විය​. ඔහු බංකරයෙන් පළා යාමට උත්සාහ කළ අතර සෝවියට් හමුදා අතට හසු වීමට පෙර සිය දිවි හානි කරගත් බව සැළකේ. නමුත් ඔහුගේ සිරුර සොයාගෙන එය ඔහුගේම බව තහවුරු කරගත්තේ 1972 දී ය​. නියුරම්බර්ග් නඩුවේදී ඔහු නොමැතිව නඩු අසන ලදී. ඔහුට එරෙහිව පළමු, තෙවන සහ සිව්වන චෝදනා ගොනු කරන ලද අතර තෙවන සහ සිව් වන චෝදනාවලට වරදකරු ව මරණ දඬුවම නියම විය​.

02. කාල් ඩෝනිට්ස්

අද්මිරාල් කාල් ඩෝනිට්ස් සුවිශේෂී පුද්ගලයකු විය​. ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර්ට 2012 දී දඬුවම් පමුණවන තුරු, ඩෝනිට්ස්, යුධ අපරාධ අධිකරණයකින් දඬුවම් නියම වූ ලොව එකම හිටපු රාජ්‍ය නායකයා විය​. 1891 උපන් ඩෝනිට්ස් 1943 දී ජර්මන් නාවික හමුදාපති බවට පත් වූ අතර සීමාරහිත සබ්මැරීන ව්‍යාපාරය මෙහෙයවීය​. හිට්ලර් මිය ගිය පසු රාජ්‍ය නායකයා බවට ඔහු පත් කරන ලදී. නමුත් දින කිහිපයකින් ඔහු මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වූයේය​. පළමු චෝදනා තුන ඔහුට එරෙහිව එල්ල වූ අතර දෙවන හා තෙවන චෝදනාවලට වරදකරු ව වසර දහයක සිර දඬුවමක් ලබාදෙන ලදී.

03. හාන්ස් ෆ්‍රෑන්ක්

1900 මැයි මස උපන් ෆ්‍රෑන්ක්, බෝර්මන්ට වඩා මාසයක් පමණක් වැඩිමහලු විය​. නට්සි ජර්මන් නීති ප්‍රධානියා වූ හෙතෙම මහා පෝලන්ත ප්‍රාන්තයේ අග්‍රාණ් ඩුකාරයා විය​. පළමු, තෙවන සහ සිව් වන චෝදනාවලට ලක්ව පළමුවැන්නෙන් පමණක් නිදහස් විය​. මරණ දඬුවම නියම කරන ලදී.

04. විල්හෙල්ම් ෆ්‍රික්

නට්සි රජයේ අභ්‍යන්තර කටයුතු ඇමති ලෙස 1933-43 සමයේ කටයුතු කළ මොහු ඉනික්බිතිව බොහිමියා-මොරේවියාවේ රයිෂ් ආරක්ෂකයා හෙවත් ආණ්ඩුකාරයා විය​. 1935 නියුරම් බර්ග් වර්ග නීතිය සැකසීමට දායක විය​. සියලු චෝදනාවලට ලක් වූ ඔහු පළමු චෝදනාවෙන් පමණක් නිදහස් ව මරණ දඬුවමට යටත් විය​.

05. හාන්ස් ෆ්‍රිට්ෂේ

යුද්ධාවසාන කාළය වනවිට නට්සි ප්‍රචාරක අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියකු වූ ඔහු ගුවන්විදුලි නිවේදකයකු හා ජනමාධ්‍යවේදියෙකු විය​. පළමු චෝදනා තුනට ලක් වුවද ඔහු නිදොස් බව තීරණය විය​.

06. වෝල්තර් ෆන්ක්

නට්සි ආර්ථික කටයුතු ඇමති සහ රයිෂ් බැංකුවේ (මහ බැංකුවේ) ප්‍රධානී ද වූ මොහු චෝදනා සියල්ලටම මුහුණ දී පළමු චෝදනාවෙන් පමණක් නිදහස් විය​. ජීවිතාන්තය තෙක් සිරගත කෙරුණ ද 1957 දී අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත නිදහස් කෙරිණ​.

07 හර්මන් ගෝරිං

රයිෂ්මාර්ශල් ගෝරිං ලුෆ්ට්වෆේ හෙවත් ජර්මන් ගුවන් හමුදාවේ ප්‍රධානියා වූ අතර 1933 සිට රටේ විවිධ තනතුරු දැරීය​. නියුරම් බර්ග් ප්‍රධාන නඩුවේ චූදිතයන් අතර ඉහළම නිලධාරියා විය​. සියලු චෝදනාවලට වරදකරු ව මරණ දඬුවමට යටත් කරන ලද අතර තමන්ව එල්ලා මරනු වෙනුවට වෙඩි තබා මරා දමන ලෙස ඉල්ලා සිටියේය​. එම ඉල්ලීම ඉවත දමන ලදී. එහෙත් ඔහු එල්ලා මරනු නොලැබිණ​. මරණ දඬුවම ක්‍රියාත්මක වීමට පෙර රාත්‍රියේ ඔහු දිවි නසාගත්තේය​.

08. රුඩොල්ෆ් හෙස්

හිට්ලර් 'මගේ හටන' ලියද්දී ඔහුගේ ලේකම් වූ හෙස් අනෙක් ප්‍රකට චරිත අතර අප්‍රකට අයකු විය​. එහෙත් නිල බලයෙන් ඔහු හිට්ලර්ගේ දෙවැනියා වූ අතර 1941 දී අභිරහස් ලෙස තනිව පැදවූ ගුවන් යානයකින් ස්කොට්ලන්තයට ළඟා විය​. එහිදී ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. සියලු චෝදනාවලට ලක්ව පළමු දෙකට පමණක් වැරදිකරු වූ හෙස් ජීවිතාන්තය තෙක් සිර කරන ලදී.

09. ඇල්ෆ්‍රඩ් ජෝඩ්ල්

ජර්මන් ආරක් ෂක හමුදාවල ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයේ (OKW) දෙවැන්නා විය​. සියලු චෝදනාවලට වරදකරුව මරණ දඬුවම ලබා දෙන ලදී.

10. අර්න්ස්ට් කල්තෙන්බ්‍රනර්

නට්සි එස්. එස්. බලකායේ ප්‍රධාන නිලධාරියකු විය​. පළමු, තෙවන සහ සිව් වන චෝදනාවලට ලක්ව පළමුවැන්නෙන් නිදහස් විය​. අනෙක් දෙකට වරදකරු ව මරණ දඬුවම පනවන ලදී.

11. විල්හෙල්ම් කීටල්

ජර්මන් ආරක්ෂක හමුදාවල ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ කීටල් උපන්නේ 1882 දී ය​. හිට්ලර්ට දැක්වූ දැඩි පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රකට ය​. සියලු චෝදනාවලට වරදකරුව මරණ දඬුවම නියම කෙරිණ​.

12. ගුස්ටාෆ් කෘප් ෆොන් බෝලෙන් උන්ඩ් හැල්බැක්

1941 සිට පාර්ශික ඔත්පල තත්ත්වයෙන් සිටි ගුස්ටාෆ් කෘප් ෆොන් බෝලෙන් උන්ඩ් හැල්බැක් කළක් කෘප් සමාගමේ ප්‍රධානියා විය​. ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ වැරදීමකිනි. සත්‍ය වශයෙන්ම චෝදනා ගොනුවිය යුතු වූයේ ඔහුගේ පුත් ඇල්ෆ්‍රඩ් කෘප්ට එරෙහිවය​. අධිචෝදකයන් ඇල්ෆ්‍රඩ්ට එරෙහිව චෝදනා යළි ගොනු කිරීමට අවසර පැතුවද විනිසුරු මඩුල්ල එම අවසර ලබා නොදුනි. යුධ සිරකරුවන් වහලුන් ලෙස සේවයට යොදාගැනීමේ චෝදනාව මෙම නඩුවට කෘප් ඇතුලත් වීමේ හේතුව විය​. දෙවන​, තෙවන සහ සිව්වන චෝදනා ගොනු කරන ලදී.

13. රොබර්ට් ලේ

ජර්මන් කම්කරු පෙරමුණේ ප්‍රධානියා වූ ලේ 1945 ඔක්තෝබර 25 වනදා දිවි නසාගත්තේය​. සියලු චෝදනා යටතේ අධිචෝදනා ගොනු කෙරුණ අතර වරදකරු හෝ නිවරදකරු හෝ ලෙස තීන්දු නොකෙරුණි.

14. කොන්ස්ටන්ටින් ෆොන් නියුරාත්

1933-38 සමයේ නට්සි විදේශ ඇමති වූ නියුරාත් 1941-43 සමයේ බොහීමියා-මොරේවියාවේ ආණ්ඩුකාරයා වූයේය​. සියලු චෝදනා සඳහා වරදකරු ව වසර 15 කට සිරගත කෙරුණි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් 1954 දී නිදහස ලැබීය​.

15. ෆ්‍රාන්ස් ෆොන් පැපන්

නට්සි පාක්ෂිකයකු නොවීය​. 1932 දී ජර්මන් චාන්සලර් වූ හෙතෙම හිට්ලර් බලයට ගෙන ඒමේ වැදගත් කාර් යයක් කළේය​. 1934 වනතුරු හිට්ලර්ගේ උප චාන්සලර් විය​. පසුව තානාපති සේවයට පත් කෙරුණි. පළමු චෝදනා දෙක පමණක් එල්ල වූ අතර ඉන් ද නිදහස ලැබීය​.

16. එරික් රේඩර්

මහා අද්මිරාල් එරික් රේඩර් 1928-43 සමයේ නාවික හමුදාපති වූ අතර නියුරම්බර්ග් ප්‍රධාන නඩුවේ පළමු චෝදනා තුන ඔහුට එරෙහිව එල්ල විය​. එම චෝදනා තුනටම වදරකරුව ජීවිතාන්තය තෙක් සිරගත කෙරුණ රේඩර් 1955 දී අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත නිදහස් කෙරුණි.

17. ජෝකිම් ෆොන් රීබන්ත්‍රොප්

සියලු චෝදනාවලට අධි චෝදනා ගොනු කරනු ලදුව වරදකරු විය​. මරණ දඬුවමට යටත් කෙරුණි. විදේශ ඇමති (1938-45)

18. ඇල්ෆ්‍රඩ් රොසෙන්බර්ග්

නට්සි ජර්මන් න්‍යායාචාර්යවරයා වූ ඔහු නට්සි වර්ගවාදී දර්ශනය නිර්මාණය කිරීමේ ප්‍රමුඛයකු විය​. කෙසේ නමුත් ඔහු ජර්මනියේ උපන්නෙකු නොවේ. ඔහු උපන්නේ වත්මන් එස්තෝනියාවේ අගනුවර වන ටලින් නගරයේදී ය​. සියලු චෝදනාවලට වරදකරු ව එල්ලා මරා දැමීමට නියම විය​.

19. ෆ්‍රිට්ස් සෞකල්

නට්සි පක්ෂයේ තුරින්ගියාවේ නායකයා ලෙස 1927 - 45 සමයේ කටයුතු කළ සෞකල් වහල් කම්කරු ශ්‍රමික වැඩපිළිවෙලේ ප්‍රධානියා විය​. සියලු චෝදනාවලට අධි චෝදනා ගොනු කරනු ලැබ තෙවන සහ සිව් වන චෝදනාවලට වරදකරු විය​. මරණ දඬුවමට යටත් විය​.

20. හල්මාර් ශාෂ්ට්

යුද්ධයට පෙර දෙවරක් (එක් වරක් හිට්ලර් යටතේ) මහ බැංකු අධිපති වූ ආචාර්ය ශාෂ්ට් පසුව හිට්ලර්ගේ උදහසට ලක්ව සිරගත කරන ලදී. ඔහු නියුරම්බර්ග් නඩුවේ චූදිතයකු ලෙස නම් කිරීම ආන්දෝලනාත්මක තීරණයක් විය​. පළමු චෝදනා දෙක යටතේ අධි චෝදනා ගොනු කළ නමුත් ඔහුව නිදොස් කර නිදහස් කරන ලදී.

21. බල්දූර් ෆොන් ෂිරාක්

හිට්ලර් යෞවන ව්‍යාපාරයේ නායකයා සහ වියානාවේ නට්සි පක්ෂ නායකයා විය​. පළමු සහ සිව්වන චෝදනාවලට ලක්ව සිව් වැනි චෝදනාවෙන් වරදකරු ව වසර 20 කට සිරගත කෙරුණි.

22. ආතර් සෙයිස්-ඉන්කාර්ට්

ඔස්ට්‍රියානු නට්සි නායකයා වූ සෙයිස්-ඉන්කාර්ට් ජර්මනිය විසින් ඔස්ට්‍රියාව ඈඳා ගැනීමට පෙර දින දෙකක් එරට චාන්සලර් විය​. පසුව නෙදර්ලන්තයේ නට්සි කොමිසාර් ලෙස කටයුතු කළ ඔහු හිට්ලර් මියගිය බව පැවසෙන අප්‍රේල් 30 වනදාට පසු බිහිවූ ඩෝනිට්ස්ගේ රජයේ විදේශ ඇමති බවට පත් විය​. චෝදනා සියල්ලටම ලක්වූ ඔහු ඉන් පළමුවැන්නෙන් පමණක් නිදොස් කරනු ලැබ මරණ දඬුවමට යටත් කෙරුණි.

23. ඇල්බර්ට් ස්පියර්

හිට්ලර්ගේ ප්‍රියතම ගෘහනිර්මාණ ශිල්පියා වූ ස්පියර් 1942 පටන් යුධ ආයුධ පිළිබඳ ඇමති විය​. එම තනතුරෙහි කාර්යක්ෂමව කටයුතු කළ බව සාමාන්‍ය පිළිගැනීම වේ. සියලු චෝදනා යටතේ අධි චෝදනා ගොනු කරනු ලැබූ අතර තෙවන සහ සිව්වන චෝදනා යටතේ වරදකරු කරන ලදුව වසර 20 කට සිරගත කරන ලදී.

24. ජුලියස් ස්ට්‍රෙයිෂර්

ෆ්‍රැන්කෝනියාවේ නට්සි පක්ෂ නායකයා විය​. 1923 සිට 1945 දක්වා පළවූ යුදෙව් විරෝධී ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක් වූ 'ඩෙයර් ස්ටර්මර්' (පහරදෙන්නා) ප්‍රකාශනයට පත් කළේය​. පළමු සහ සිව් වන චෝදනා යටතේ අධි චෝදනා ගොනු කරන ලදුව සිව් වන චෝදනාවට වරදකරු කර මරණ දඬුවම ලබාදෙන ලදී.

මරණ දඬුවම ක්‍රියාවට නැගීම​

නියුරම් බර්ග් ප්‍රධාන නඩු විභාගයෙන් 12 දෙනෙකුට මරණ දඬුවම ලබාදෙන ලදුව දස දෙනකු එල්ලා මරන ලදී. (බෝර්මන් ආගිය අතක් නොවූ අතර ගෝරිං සිය දිවි නසාගත්තේය​).

රීබන්ත්‍රොප්ගෙන් පටන් ගත් මරණ දඬුවම ක්‍රියාත්මක වීම අවසන් වූයේ සෙයිස්-ඉන්කාර්ට්ගෙනි. සියලු දෙනාට අවසන් ප්‍රකාශයක් කිරීමේ අවස්ථාව ලැබුණ අතර, තමාට කීමට කිසිවක් නැති බව සඳහන් කළේ එක් අයකු පමණි. පුදුමයකට මෙන්, ඒ අන් කිසිවකු නොව නට්සි න්‍යායාචාර් ය රොසන්බර්ග් ය​.

අන්ත යුදෙව් විරෝධී ජුලියස් ස්ට්‍රෙයිචර් මරණය අබියස "හෙයිල් හිට්ලර්!" යයි ආචාර කළේය​. බෝල්‍ෂෙවික්වරු තොපි සියල්ලන්ම එල්ලා දමාවි යනුවෙන් ඔහු ඊළඟට කියා සිටියේය​.

කැල්තෙන්බ්‍රනර් ප්‍රකාශ කළේ "මම මගේ ජර්මන් ජනතාවට සහ පීතෘභූමියට හද පතුලෙන්ම ආදරය කළා. මගේ රටේ නීති ප්‍රකාරව මගේ වගකීම් ඉටු කළා. මගේ ජනතාව සොල්දාදුවන් නොවන අය විසින් මෙහෙයවීමත් මගේ අනුදැනුමක් නොමැතිව අපරාධ සිදු කරනු ලැබීමත් ගැන මම කණගාටු වෙනවා. මම ගෞරවාන්විතව සටන් කළා. ජර්මනිය - ඔබට වාසනා වේවා" යයි කැල්තන්බ්‍රනර් ප්‍රකාශ කළේය​.

'පෝලන්තයේ මිනීමරුවා' ලෙස විරුද ලැබූ හාන්ස් ෆ්‍රෑන්ක් ඉතා බයාදු, පහත් ස්වරයකින් කතා කළේය​. "මා කරුණාවෙන් බාරගන්නා ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බන් ධනාගාරයේදී මට හොඳින් සැලකීම පිළිබඳ ස්තූතිවන්ත වනවා" යයි කියා සිටියේය​.

අවසන් වශයෙන් එල්ලා මරන ලද සෙයිස්-ඉන්කාර්ට් "මා ජර්මනිය විශ්වාස කරනවා" යයි කියා සිටියේය​.

එල්ලා මරන ලද නට්සි නායකයන් ගේ සිරුරු ආදාහනය කර මියුනික් හිදී ඉසාර් ගඟට අලු විසි කරන ලද බව සඳහන් ය​​.

9 comments:

  1. 07 හර්මන් ගෝරිං - මෙයා නේද ගෙස්ටාපෝ එකේ නිර්මාතෘ විධියට සැලකෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව්. බොහොම පොඩි කාළයක් ඒකෙ ප්‍රධානියා වෙලා හිටියා.

      Delete
  2. වැදගත් ලිපියක්. මේ විස්තර සිංහලෙන් තියනවා දැක්කෙ මුල් වරට. ජර්මන් ගුවන් හමුදාව ලුෆ්ට්වෆේ නේද?

    ReplyDelete
    Replies
    1. ලුෆ්ට්වෆේ තමා. ප්‍රින්ටිං මිස්ටේක් එක හැදුවා.

      නියුරම්බර්ග් නඩු විභාගය ගැන පොතක් සිංහලෙන් තියෙනව මම හිතන්නෙ. වෙබ් එකෙත් පොඩි පොඩි ආටිකල් ඇති සමහරවිට​. සිංහල ආටිකල් ගැන නම් හෙව්වෙම නෑ හැබැයි

      Delete
  3. උදේ හයට ඇඳේ ඉඳන් කියෙව්වේ හිටං.ඒ තරමට ප්‍රිය කරන විෂයක් මේක.
    මේ නියුරම්බර්ග් අධිකරණයට ඉදිරිපත් කලයුතු බොහො දෙනෙක් කොහොම හරි අධිකරණය මග හැර පැන ගන්නත් සමත් වුනා නේද?

    ReplyDelete
    Replies
    1. සමහරු රටිනුත් පැන්නා නෙ.
      ගොඩක් අයට විරුද්ධව වෙන නඩු තිබුණා. නියුරම්බර්ග්වලත් වෙනත් නඩු විභාග තිබුණා නෙ. ඊට අමතරව තවත් නඩු තිබුණා. ඒත් සමහරු මිත්‍ර රටවල් එක්ක සෙට් වෙලා ඒ සේරගෙන්ම බේරුණා.

      ඇඳේ ඉඳන් හිටං කියෝන විදිය කියල දීහන්කො :)

      Delete
    2. //සමහරු මිත්‍ර රටවල් එක්ක සෙට් වෙලා ඒ සේරගෙන්ම බේරුණා.//
      අම්මට් හුඩු ඩිල්කාරයෝත් ඉඳලා තියෙනවානේ.උන් ගැනත් ලියහන්කෝ.

      //ඇඳේ ඉඳන් හිටං කියෝන විදිය කියල දීහන්කො //

      එකට වෙනම අභ්‍යාස කරන්න ඕනේ බං...D

      Delete
  4. Niyamyi..lipiya thwa diga unaanm. Hodayi 😊

    ReplyDelete
    Replies
    1. Thank you! Hamoma diga evvata aasa na ne :) ekai vadiya digata livve naththe.

      Delete