Monday, September 19, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පස් වන කොටස) - දෙවියන්ගේ සොල්දාදුවෝ

සිව් වන කොටස​: ඇමරිකාව සහ පාකිස්ථානය

ඇෆ්ඝනිස්ථානය මුලුමණින්ම පාහේ ඉස්ලාම් භක්තිකයන් වසන රාජ්‍යයකි. එයින් පහෙන් හතරක් සුන්නි මුස්ලිම්වරුන් වන අතර ඉතිරි සියයට 20 ශියා මුස්ලිම්වරු වෙති. මධ්‍යම ඇෆ්ඝනිස්ථාන් කඳුකරයේ ජීවත්වන හසාරා ජාතික ප්‍රජාව රටේ සමස්ථ ජනගහනයෙන් සියයට 20 ක් පමණ වන අතර ඔවුන් සියල්ලෝම පාහේ ශියා මුස්ලිම් ලබ්ධිකයෝ වෙති.

සෝවියට් ආක්‍රමණය ඇෆ්ඝනි මුස්ලිම්වරුන්ට වැදුන තදබල පහරක් විය​. ඇෆ්ඝනිස්ථානයේ කොමියුනිස්ට් පාලනය සිය බලය පැතිරවීමට කළ උත්සාහයේදී ඔවුනට හරහට සිටි ප්‍රධාන කණ්ඩායමක් වූයේ ඉස්ලාමීය පූජකයින් හෙවත් මුල්ලාවරුන් බව අපි කළින් ද දුටිමු.

ඇෆ්ඝන් - පාකිස්ථාන දේශ සීමාව බොහෝ ස්ථානවලදී වැටී ඇත්තේ කඳුකර පෙදෙස් හරහා ය​. එහි දෙපසම ජීවත් වන්නෝ පශ්තුන් ජාතිකයෝ වෙති. මෙම දේශසීමාව අදටත් රැකීම අපහසු දේශසීමාවකි. මෙම දේශසීමාව හරහා 1978 න් පසු විශාල පිරිසක් පාකිස්ථානය කරා පැමිණියෝය​. මුජහිදීන් ව්‍යාපාරයට අවශ්‍ය පිරිස් බලය සැපයුණේ මූලික වශයෙන්ම මේ හරහා ය​.
මුජහිදීන්වරු හෙවත් 'දෙවියන් ගේ' සෙබලු යාඥාවක් අතරතුර - 1987. Pic Erwin Lux

ඇෆ්ඝනිස්ථානයේ මුජහිදීන් (දෙවියන්ගේ සෙබලු) ව්‍යාපාර ගණනාවක් විය​. මෙයින් සමහරෙක මූලාරම්භය වූයේ ඩාවුඩ් ඛාන්ගේ වාමාංශික රජයට එරෙහිව මතු වූ ඉස්ලාමීය ව්‍යාපාරයන් ය​. සමහරෙක නායකයෝ කොමියුනිස්ට්වාදීන් බලය ඇල්ලීමටත් පෙර සිටම පිටරටවලට ගොස් සිටියහ​. මුල් කාලීනව කොමියුනිස්ට්වාදීන්ට එරෙහි අරගල ප්‍රාදේශීයව ආගමික නායකයින් සහ ඉඩම් හිමියන් විසින් නායකත්වය දෙමින් පැන නැගුණ ද ඒවාට පසු කාලීන දේශපාලනික නායකත්වය ලැබුණේ මෙම කණ්ඩායම් වලිනි.

මින් ප්‍රධාන ව්‍යාපාර හතක් සුන්නි මුස්ලිම් ආගමිකයන් ගෙන් සැදුම් ලත් අතර එම හත පසු කළෙක ඒකාබද්ධව ඇෆ්ඝනිස්ථාන මුජහිදීන්වරුන්ගේ ඉස්ලාමීය එකමුතුව (Islamic Unity of Afghanistan Mujahideen) නමින් සංවිධානය විය​. මෙම සංවිධානයට 'පෙශාවර් හත' (Peshawar Seven) සහ මුජහිදීන් හත් හවුල් සන්ධානය (Seven Party Mujahideen Alliance) යයි ද කියන ලදී. මින් හයක් මූලිකවම පශ්තුන් ජාතිකයන් ගෙන් සැදුම්ලත් අතර එකක් තජික් ජාතිකයන් ගෙන් සැදුම් ලද්දේය​. මෙම සංවිධානවලට අවි ආයුධ ඇමරිකානුවන් විසින් පාකිස්ථානය හරහා ලබා දෙන ලදී. මූල්‍යමය ආධාර ද ඇමරිකාව සහ විශේෂයෙන්ම ඇතැම් අරාබි රටවල්වලින් ගලා ආවේය​.

සුන්නි මුස්ලිම් කණ්ඩායම් හෙවත් 'පෙශාවර් හත​'

පෙශාවර් හත ලෙස ප්‍රසිද්ධ වූ සුන්නි මුස්ලිම් සංවිධානයන් පහත පරිදි වේ.

​01. ජමියත් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය සමාජය​) ඇෆ්ඝනිස්ථානයේ මුලින්ම ඇරඹි ඉස්ලාමීය දේශපාලන පක්ෂය ලෙස ද සළකනු ලබයි. 1968 සිට 2011 දී සිදුවූ සිය මරණය තෙක්ම මෙම පක්ෂයට නායකත්වය දෙන ලද්දේ ඉස්ලාම් දර්ශනය පිළිබඳ වියතකු වූ, කළක් ඇෆ්ඝනිස්ථාන ජනාධිපති ධූරයට ද පත් බුරනුද්දීන් රබ්බානි විසිනි. මෙම සංවිධානය තුළින්ම පැන නැගුණ ශූරා - ඊ - නසාර් (උතුරු දිග ශූරා කවුන්සිලය​) සඳහා නායකත්වය දුන්නේ 1980 ගණන්වල සිට 2001 සිදුවූ සිය මරණය තෙක්ම ඇෆ්ඝන් යුද්ධවල ප්‍රධාන චරිතයක් වූ අහමඩ් ශා මසූඩ් විසිනි.

02. හෙස්බ් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය පක්ෂය​) ඇෆ්ඝන් යුද්ධවල ප්‍රකට එමෙන්ම අන්තවාදී චරිතයක් වූ ගුල්බුද්දීන් හෙමටියාර් විසින් 1970 දශකයේ මැද භාගයේදී ආරම්භ කළ සංවිධානයකි. මෙයට ගිල්සායි පශ්තුන්වරුන් ගේ සහය ලැබුණ අතර පාකිස්ථානය ද හෙක්මටියාර් වෙත බොහෝ සෙයින් ආධාර​ කළේය​. වෙනත් මුජහිදීන්වරුන් සමඟ ද ගැටුම් ඇතිකරගත් සංවිධානයක් වූයේය​. 1992 න් පසු රට අරාජක වීමට හෙක්මටියාර් කෙළින්ම බලපෑවේය​.

03. හෙස්බ් - ඊ - ඉස්ලාමි (කාලිස්) යනු හෙක්මටියාර්ගේ පක්ෂයෙන් බිඳුනකි. එහි නායකයා මවුලවී යුනුස් කාලිස් විය​. මෙහි ප්‍රධාන නායකයන් අතර අබ්දුල් හක්, අමීන් වර්දක් සහ පසු කළෙක කුප්‍රකට වූ ජලාලුද්දීන් හක්කානි ද වූහ​.

04. ඇෆ්ඝනිස්ථානයේ විමුක්තිය සඳහා වන ඉස්ලාමීය එකමුතුව සාම්ප්‍රදායික ඉස්ලාමීය සංවිධානයක් විය​. මෙය ඉටිහාඩ් - ඊ - ඉස්ලාමි නමින් ද ප්‍රසිද්ධ විය. මෙහි නායකයා වූයේ අබ්දුල් රසූල් සයාෆ් ය​. පසු කළෙක පිලිපීනයේ මතුවූ අබු සයාෆ් නම් ත්‍රස්ත කල්ලිය සිය සංවිධානයට නම ලබා දුන්නේ මෙම ඇෆ්ඝන් සටන්කාමියාගේ නම ඇසුරෙනැයි ද මතයක් පවතී. සවුදි අරාබියේ ආධාර අබ්දුල් රසූල් සයාෆ් වෙත ලැබුණ අතර වහාබිවාදය පැතිරවීමට ඔහුගේ කටයුතු ඉවහල් වී යයි කියනු ලැබේ. තවද ඇෆ්ඝනිස්ථානයේ සටන් කරනු පිණිස අරාබියෙන් ස්වේච්ඡා සටන්කාමීන් ගෙන ඒමේදීද සයාෆ් වැදගත් කාර් යය භාරයක් කළේ ය​. මෙම සටන්කාමීන් 'ඇෆ්ඝන් අරාබීන්' ලෙස ප්‍රකට වූ අතර, ඒ අතුරින් පසු කළෙක වැඩියෙන්ම ලෝක ප්‍රසිද්ධියට පත් වූ තැනැත්තා ඔසාමා බින් ලාඩන් නම් වූවෙකි.
අබ්දුල් රසූල් සයාෆ් (වමේ) 1984 දී. Pic: Erwin Franzen

05. ඇෆ්ඝනිස්ථාන ජාතික ඉස්ලාමීය පෙරමුණ, සූෆිවරයකු වන අහමඩ් ගයිලානි ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය​. පෙර කී සංවිධානවලට වඩා මධ්‍යස්ථ මතධාරී සංවිධානයකි.

06. ඇෆ්ඝන් ජාතික විමුක්ති පෙරමුණ, සිබ්ගටුල්ලා මොජාඩෙඩි විසින් මෙහෙයවන ලද මධ්‍යස්ථ මතධාරී සංවිධානයක් විය​. 1992 දී ඔහු ඇෆ්ඝනිස්ථානයේ තාවකාලික ජනාධිපතිවරයා ලෙස කෙටි කළක් කටයුතු කළේ ය​.

07. ඉස්ලාමීය විප්ලවකාරී ව්‍යාපාරය හෙවත් හරාකට් - ඊ - ඉන්කිලාබ් - ඊ - ඉස්ලාමි සංවිධානය මොහොමඩ් නබි මොහොමදි විසින් මෙහෙයවන ලදී.

ශියා කණ්ඩායම්

මේ අතර ශියා මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වූ මුජහිදීන් කණ්ඩායම් ගණනාවක් විය​. මුල් කාළයේදී මෙවන් සංවිධාන 37 ක් පමණ වූ බව හෙන්රි S. බ්‍රැඩ්‍ෂර් විසින් ගණන් බලා තිබේ (Afghan Communism and Soviet Intervention, Oxford and New York, 2000​). 1979 සැප්තැම් බරයේදී පිහිටුවාගත් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාමීය එකමුතුව පිළිබඳ විප්ලවකාරී කවුන්සිලය (ශූරා - ඊ- එන්ගෙලාබ් - ඊ - එටෙෆාක් - ඊ - ඉස්ලාමි ඇෆ්ඝනිස්ථාන්) හෙවත් ශූරා පක්ෂය ශියා කණ්ඩායම් ඒකාබද්ධතාවක් ගොඩ නැගීමට උපකාර කළේ ය​. පසු කළෙක ඉරානයේ ආභාෂය සහ ආධාර මත වර්ධනය වූ ශියා ඉස්ලාමීය සංවිධාන විසින් ශූරා පක්ෂය අඩපණ කරන ලදී. 1987 දී මෙම සංවිධාන අටක එකතුවක්  'ටෙහෙරාන් අට දෙනා' (Tehran Eight) නමින් ඒකාබද්ධ විය​. එහෙත් එම එකමුතුව වසර දෙකක් පමණ ඇතුලත වෙනම සංවිධානයක් බවට පත් වූයේය​.​ ඒ හෙස්බ් - ඊ - වහ්ඩට් - ඊ - ඉස්ලාමි හෙවත් ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එක්සත් පක්ෂයයි (Afghanistan Islamic Unity Party).​

බටහිර රටවල සහය ලැබීම හේතුකොටගෙන 'පෙශාවර් හත​' කෙරෙහි ජාත්‍යන්තරයෙහි වැඩි අවධානයක් යොමු විය​. මේ අනුව ශියා කණ්ඩායම් කෙරෙහි ජාත්‍යන්තරයේ අවධානය යොමු වූයේ සාපේක්ෂව අඩුවෙනි. ශියා මුස්ලිම් ජනයා ප්‍රතිශතයක් ලෙස අඩු වීම ද මෙම ව්‍යාපාරවල බලපෑම සාපේක්ෂව අඩු වීමට හේතු විය​.

මේ අතරම හසාරා ජනයා විසූ මධ්‍යම කඳුකර ප්‍රදේශවල කොමියුනිස්ට් රජයේ බලපෑම එතරම් තදින් පැතිරුණේ නැත​. එම ප්‍රදේශ සමහරක් පැවතියේ ප්‍රාදේශීය පාලකයින් යටතේ පැවති ස්වාධීන ප්‍රදේශ මෙනි.

4 comments:

  1. ඉරානයේ බහුතරය ශියා මුස්ලිම් නේද ?ඉරානයේ තිබ්බේ බටහිර ගැති නොවන ආණ්ඩුවක් වීමත් බටහිර ලැදි සවුදි අරාබි බහුතරය සුන්නි වීමත් බටහිර සහාය ඔවුන්ට ලැබෙන්න එක හේතුවක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බටහිර සහය ලැබෙන්න ලොකුම හේතුව සෝවියට් බලපෑම පාලනය කරන්න තිබුණ උවමනාව තමයි ඉතින්

      Delete
  2. සුන්නි, ෂියා කියන්නේ නයයි, මුගටියයි වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙහෙදිත් එහෙම තමා

      Delete