Thursday, December 29, 2016

ජයග්‍රාහක පරාජිතයාගේ ඉතිහාසය හෙවත් ජාතිකවාදී චීනය ජපානය හා කළ යුද්ධය​

චීන ජනතාවගේ සිතෙහි වූයේ ලෝකයේ කේන්ද්‍රය​ ඔවුන්ගේ රට යන්නයි. චීන ජීවන ක්‍රමය අවට රටවලත් ව්‍යාප්ත වී පැවතුණා. එමෙන්ම විවිධ ආක්‍රමණිකයන් චීනයට ආවත් ඔවුන් චීනයේ සංස්කෘතියට අනුගත වුණා මිසක එය උඩු යටිකුරු කරන්න ගියේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වෙන්නෙ 19 සියවස පමණ සිට​. අබිං යුද්ධ හේතුවෙන් චීනයට සිය ස්වෛරීභාවය අහිමි වීම පටන් ගන්නවා. ටායිපිං කැරැල්ලෙන් ඔවුනගේ මධ්‍යගත පාලනය බිඳ වැටෙනවා. බොක්සර් කැරැල්ලෙන් පස්සෙ විදේශිකයන් චීනය ගණන් ගන්නේ ඔවුන්ගේ ඉඩමක් විදියට​.

මේකෙම දිගුවක් විදියට තමයි 1931 දි මැන්චූරියාව ජපන්නුන් විසින් අල්ලා ගැනෙන්නෙ. ඉන් පස්සෙ දිගටම ජපනා චීනාව පීඩනයට පත් කරනවා. පොඩි පොඩි සටන් නිතර වෙනවා.

ඒ වගේ එක් පොඩි සටනක් තමයි 1937 ජූලි 7 වෙනිදා සිද්ධ වෙන මාකෝ පෝලෝ සිද්ධිය​. නමුත් අනෙක් අවස්ථාවල වගේ නෙවෙයි, එතෙනදි චීනය ජපනා එක්ක හැප්පෙන්න තීරණයක් ගන්නවා. ඒ තීරණය ගන්නෙ චියැං කායි ශෙක්.



එදායින් පසුව පටන් ගැනෙන්නෙ අන්ත අඳුරු සමයක්. චීනය සටන් කරන්නෙ සාපේක්ෂව දුර්වල හමුදාවක් එක්ක​. ඒ වගේම රටේ ප්‍රාදේශීය යුධ නායකයින් තවමත් ප්‍රබල සමයක​. ඒකාබද්ධව සටනක් දෙන්න චීනයට අමාරු වෙනවා මේ නිසා. අනෙක කිසිම රටක් චීනයට උදව් කරන්න ලෑස්තියක් දක්වන්නේ නැහැ. 1941 දි ඇමරිකාව සහ ජපානය යුධ වදින්න පටන් ගත්තාට පස්සෙත් ලෝකෙ වැඩි අවධානය යොමු වෙන්නේ යුරෝපය දිහාවට​. බටහිර බලවතුන් චීනය පාවිච්චි කළා විනා චීනයට උදව් කළේ නැහැ. අනෙක දූෂිත නිලධාරීන් නිසා චීනයේ අභ්‍යන්තර තත්ත්වය යහපත් වුණෙත් නැහැ.

නමුත් චීනය දෙවන ලෝක යුද්ධයේදි කළ කැප කිරීම් ගැන බොහෝ කළක් ලෝකයට මතක තිබ්බේ නැහැ. මොකද ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයින් නිසා. 1945 යුද්ධෙ ඉවර වෙද්දි චියැං කායි ශෙක්ගේ ජාතිකවාදී හමුදාව වීරයින් වුනාට ඔවුනගේ දූෂිත පාලන තන්ත්‍රය කඩා වැටෙන්න වැඩි කල් යන්නේ නැහැ. ඔවුන්ව කොමියුනිස්ට්වාදීන් විසින් එළවා දැමීමේ කිසි අරුමයක් නැහැ. චීන බල අරගලය අන්තිමට ඉවර වෙන්නෙ එහෙම​.

කොමියුන්ස්ට්වාදීන් මහජන චීනය බිහි කළාට පස්සෙ ඔවුන් 1937 - 45 කාළෙ ජාතිකවාදීන් කළ යුද්ධය ගැන කියන්නේ නැහැ. ඒ වගේම ජාතිකවාදීන්ට සාපේක්ෂව තමන් ජපන් විරෝධී සටනට දැක්වූ අඩු දායකත්වය ගැන කියන්නෙත් නැහැ. ජපානය විසින් ජාතිකවාදීන් දුර්වල කිරීම තමන්ට උපකාරයක් වූ බව කියන්නෙත් නැහැ.

චියැං සහ මාඕ සේතුං මිය ගිය පසුව අද වෙද්දි ජාතිකවාදීන් කළ කැපකිරීම් ගැන චීනය වැඩිපුර කතා වෙනවා.

මේ සියලු විස්තර රානා මිත්තර් ලියූ මේ පොතේ සඳහන්. එමෙන්ම තව බොහෝ කරුණු මේ පොතේ ඇතුලත් වෙනවා.

Tuesday, December 27, 2016

නැපෝලියන් අපට දුෂ්ඨයෙකු වුනේ ඇයි?

නැපෝලියන් බොනපාට් ගැන ලංකාවෙ අය එච්චරම දන්නේ නැහැ. දන්න අයත් වැඩිපුර හිතාගෙන ඉන්නේ ඔහු ඒකාධිපති පාලකයෙකු කියලයි.



ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින්. ඒක සත්‍යයක්. ඉංග්‍රීසීන්ට නැපෝලියන් යටත් වුනාට පස්සෙ වගේම ඉන් පෙරත් ඉංග්‍රීසීන් නැපෝලියන් දැක්කෙ දුෂ්ඨයෙකු විදියට​. ඔවුන් අපට මවාපු චිත්‍රය ඒකයි.

ඉංග්‍රීසීන් නැපෝලියන් පරාද කළාට ඔවුන් ප්‍රංශය පරාජය කළේ නැහැ. ඒ කියන්නේ ප්‍රංශ සංස්කෘතිය පරාජය කළේ නැහැ. මහාද්වීපික යුරෝපයේ ගොඩක් ප්‍රදේශවල නැපෝලියන් පැරදුණාට පස්සෙත් ස්ටයිල් එක වුණේ ප්‍රංශ බස​, ප්‍රංශ කලාව​.

ඒ වගේම ප්‍රංශයටත් ස්වකීය අධිරාජ්‍යයක් තිබුණා.

ප්‍රංශයින් නැපෝලියන් දුෂ්ඨයෙකු ලෙස දැක්කේ නැහැ. ඒ වගේම වෙනත් ඇතැම් ජාතීන් ඔහු දුෂ්ඨයකු සේ දැක්කේ නැහැ.

එතකොට අපිට නැපෝලියන් දුෂ්ඨයෙකු වුනේ කොහොමද​?

හරිම සරලයි. ඒ නැපෝලියන් ඉංග්‍රීසින්ට යටත් වූ නිසා නෙවෙයි. අපි ඉංග්‍රීසීන්ට යටත් වූ නිසා.

Monday, December 12, 2016

1857 සහ 1947

1857 මැයි මාසයේ දී, පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම යටතේ වූ ඉන්දියානු 'සෙපෝයි' භටයෝ කැරලි ගැසූහ​. මෙය ඉන්දියානු මහ කැරැල්ලේ ආරම්භයයි. මෙම සෙපෝයි භටයින් අතුරින් බහුතරය උසස් කුලවල හින්දූන් වූ අතර විශාල මුස්ලිම් භටයින් පිරිසක් ද වූහ​. මේ අයගෙන් මීරූත් සහ වෙනත් ආසන්න ප්‍රදේශවල කැරලි ගැසූ භටයින් පැමිණියේ දිල්ලියේ රතු බලකොටුවේ වූ දෙවන බහදූර් ශා හෙවත් සෆාර් හමුවීමටය​.

ඔවුහු සිය අරගලයට ආශීර්වාද කරන මෙන් සෆාර්ට බල කළහ​. සෆාර්ට විකල්පයක් නොවීය​. ඔහු අකමැත්තෙන් වුවද එම සටනට ආශීර්වාද කළේය​.

හින්දු බහුතරයකින් සමන්විත වූ හින්දු - මුස්ලිම් ඒකාබද්ධ හමුදාවක් මුස්ලිම් අධිරාජ්‍යයකුගේ නාමයෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව දිල්ලියේදී සටන් වැදුණි. සටනේ අන්තිම මාසවල, දැඩි මතධාරී මුස්ලිම් සෙබලුන් ආගමනයෙන් මෙම සහෝදරත්වය තරමක් පලුදු වුවද​, සැප්තැම්බර් මස මැදදී එල්ල වූ අවසන් බ්‍රිතාන්‍ය ප්‍රහාරයේදී සියලු සෙපෝයිවරු යළි එකාවන්ව සටන් කළහ​.

1947 දී බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ඉවත්ව යද්දී ඉන්දියාව දෙකඩ විය​. දස දහස් ගණනක් හින්දු, මුස්ලිම් සහ සීක් ජාතිකයෝ එකිනෙකා මරාගත් හ​. අදටත් මෙම හින්දු - මුස්ලිම් සහ ඇතැම් විට හින්දු - සීක් අර්බුද පුපුරා හැලෙන්නේය​.

1857 සහ 1947 අතර සමයේ ඉන්දියාව පාලනය කළේ කවුරුන් දැයි අමුතුවෙන් කිව යුතු නැත​.

(1857 දී දිල්ලියට එල්ල වූ බ්‍රිතාන්‍ය ප්‍රහාරයේ අවස්ථාවක් චිත්‍රයෙන් දැක්වේ)

Thursday, December 8, 2016

මේ මහල්ලා කවුද​?

මේ කවුද​? සරලම උත්තරේ මේ මහල්ලෙක්. ඇත්තම කිව්වොත් අවුරුදු 82 ක් වයස​, දත් හැලිච්ච මහල්ලෙක්. හැබැයි එක්තරා තීරණාත්මක මාස හතරක දස දහස් ගණනක් මිනිස්සුන් ගෙ බලාපොරොත්තුව වුනේ මේ මහල්ලා. නමින් දෙවැනි බහදූර් ශා හෙවත් සෆාර්. අවසන් මූගල් අධිරාජයා, ඒ කියන්නෙ "ද ලාස්ට් මූගල්"

ඉන්දියානු මහ කැරැල්ල දිල්ලියෙදි පරාජය වුනාට පස්සෙ දිල්ලියත් එහි වූ ප්‍රභූ පවුල්වල අයත් විනාශ කරාට පස්සෙ, එහෙම නැත්නම් පලවා හැරියාට පස්සෙ සෆාර් නඩු විභාගයකට ලක් කළා. එයින් වරදකරු වුනාට පසුව ගත්තු ඡායාරූපයක් තමයි මේ.

මේ නඩු විභාගය ඇත්තෙන්ම විකාර වූ පදනමක් මත කෙරුණ එකක්. බහදූර් ශා රාජ්‍යද්‍රෝහී චෝදනාවට තමා ලක් වුනේ. නමුත් ඒ චෝදනාවත් එහෙමපිටින් ම වැරදියි. මොකද​, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම ඉන්දියාවේ කටයුතු කළේ මෝගල් අධිරාජ්‍යයාගෙ සේවකයො විදියට​. ඇත්තම තත්ත්වය එහෙම නොවුනට​, නීතිමය තත්ත්වය එහෙමයි. එහෙව් එකේ, අධිරාජයාගෙ සේවකයො අධිරාජයා රාජ්‍යද්‍රෝහී වුනා කීම විහිලුවක්.

අනෙක් අතට ඔවුන් ඉදිරිපත් කරපු තර්කය වුනේ සෆාර් හැදුවෙ ඉස්ලාමීය අධිරාජ්‍යයක් හදන්න කියන එක​. ඒකට අවුරුදු ගාණක් ඔහු සැලසුම් කළා ලු. ඇත්ත කාරණේ, ඉන්දියානු මහ කැරැල්ල පටන් ගත්ත අය අතරෙ වැඩියම හිටියෙ හින්දු උසස් කුලවල අය​. ඒ අය සිය කැරැල්ල නීත්‍යානුකූල එකක් බව පෙන්වන්නයි සෆාර්ගෙ උදව් හොයාගෙන ආවෙ. ඔවුන් සෆාර්ට බල කළා...

ඇත්තම කාරණේ සෆාර් කවදාවත් අධිරාජයෙක් වුනේ නැහැ. අනෙක ඔහු කවියෙක් මිසක් අධිරාජයෙක් වෙන්න අවශ්‍ය දැඩි බව තිබ්බ කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඔහු හින්දු, මුස්ලිම් සමගිය අගය කරපු කෙනෙක්. තමන්ට වින කරපු අයට පවා බොහොම ඉවසිල්ලෙන් සළකපු කෙනෙක්. ඔහු අන්තවාදී වෙච්ච වෙලාවල්, කුරිරු වෙච්ච වෙලාවල් නොතිබුණා නෙවෙයි. ඒත් ජීවිතේ වැඩි කාළයක්, ඊටත් වඩා අධිරාජයා වෙච්ච අවුරුදු 20, අසරණ මනුස්සයෙක් විදියට ගත කළ කෙනෙක්.

ඔහු දිල්ලියෙන් ඈතට පළවෙනියෙම්ම ගියේ 1858. ඒ රැන්ගූන් නුවරට පිටුවහල් කරපු වෙලාවෙ. ඔන්න ඕකයි අවසන් මූගල් අධිරාජයාගෙ බලේ තරම​.

Wednesday, December 7, 2016

ඓතිහාසික දිල්ලිය ගැන වචනයක්

බොහෝ දෙනෙක් එතරම් තේරුම් නොගත්තා වුනත් දිල්ලිය ඓතිහාසික ස්මාරක විශාල ප්‍රමාණයක් තියෙන නගරයක්. අපි කියනවා නෙ ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින් කියල​. 1857 ඉන්දියානු මහ කැරැල්ලෙන් පස්සෙ බ්‍රිතාන්‍යයන් දිල්ලිය විනාශ කරපු හැටි ගැන ලිව්වොත් ඉතිහාසය පිළිබඳ පොඩි හෝ හැඟීමක් තියෙන මිනිස්සු වැලපේවි. ඒ නිසා තමා විලියම් ඩැල්රිම්පල්ගෙ "ද ලාස්ට් මෝගල්" පොතට විචාරයක් ලියාපු කුෂ්වන්ත් සිං ලිව්වෙ "මේ පොත සියලු දිල්ලිවාසීන්ගේ නෙතට කඳුලක් ගෙනෙනු ඇත​" කියල​. නමුත් ඒ ඉතිහාසය ලියැවෙනවා හරි අඩුයි. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගහපු අයගෙ කුරිරුකම් තමයි කියැවෙන්නෙ. එහෙමයි ඉතිහාසය ලියැවෙන්නෙ.

අද දකින රතු බලකොටුව කියන්නෙ මූගල් රතු බලකොටුවෙ ශේෂයක් පමණයි. මූගල් රතු බලකොටුව කියන්නෙ වෙනමම නගරයක් වගේ (1780 දි රතු බලකොටුවෙ චිත්‍රයක් මෙහි පින්තූරයෙන් දැක්වේ). දිල්ලියෙන් අද ඉතිරි වෙලා තියෙන පෞරාණික අංග බොහොමයක් එහෙම ඉතිරි වුනේ ඒවා බ්‍රිතාන්‍ය හමුදා විසින් සිය අවශ්‍යතා සඳහා යොදාගත්තු නිසා. ඒ තියෙන එව්වත් විකාර බවට පත් කරලා. උදාහරණයක් වෙන්නෙ හුමායුන්ගෙ සොහොන​. ඒකෙ මූගල් උද්‍යානය වෙනුවට ඉංග්‍රීසි උද්‍යානයක් ඇති කළා.

දැනට ඉතිරි වෙලා තියෙන ස්මාරකත් විනාශ වෙනවා බොහොම ඉක්මනින්. නගරය ප්‍රසාරණය වෙද්දි.

Wednesday, November 16, 2016

ප්‍රංශ ජනපති සටනට තරුණ මුහුණක්

ප්‍රංශයේ හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමති එමානුවෙල් මැක්‍රොන් 2017 අප්‍රේල් - මැයි ජනාධිපතිවරණයට තරඟ කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය​. ඒ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. ඒ සමඟම ප්‍රංශ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තවත් අවිනිශ්චිත ස්වභාවයක් ගෙන ඇත​.

විචාරකයන් පෙන්වා දෙන අන් දමට ප්‍රංශ ජනාධිපතිවරණයේ පෙරමුණේම සිටිනු ඇත්තේ දක්ෂිනාංශික රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා සහ අන්ත දක්ෂිනාංශික මාරීන් ලෙ පෙන් ය​. හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසි සහ හිටපු අගමැති ඇලේන් ජුප්පෙ අතර රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරඟයක් ඇතිවී ඇත​.

මේ අතර පාලක සමාජවාදී පක්ෂයේ ජනාධිපති ෆ්‍රන්ශුවා ඔලන්ද් අතිශයින් ජන අප්‍රසාදයට පත්ව සිටින අතර වාමාංශිකයකු වන ශෝන් - ලුක් මෙලෙන්ශෝන් සමාජවාදී පක්ෂ අපේක්ෂකයාටත් වඩා ඡන්ද ලබාගනු ඇතැයි අනුමාන කෙරේ.

මැක්‍රොන් ජනාධිපති සටනට ඉදිරිපත් වනු ඇති බව කළක පටන් පැහැදිලිව තිබූ කරුණකි. මධ්‍ය වාමාංශිකයකු වන ඔහු තමාව හඳුන්වාගන්නේ "වමෙත් නොවන​, දකුණෙත් නොවන​" අයකු ලෙස ය​. ඔලන්ද්ගේ රජය තුළ හිඳිමින්ම එය විවේචනය කළ මැක්‍රොන් අගෝස්තුවේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය​.

මැක්‍රොන් ජර්මන් බස ද හැසිරවිය හැකි, එමෙන්ම දර්ශනවේදය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. ඔහු දක්ෂ පියානෝ වාදකයකුද වේ. ප්‍රංශයේ ඒමියන් හි උපන් ඔහුට තවමත් වයස අවුරුදු 38 කි.

Wednesday, November 9, 2016

ඩිමොක්‍රටික් පාක්ෂිකයකු නම් ට්‍රම්ප් ජයගැනීම ගැන සතුටු විය යුතුය​

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර මගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මා සඳහන් කළේ මා ඇමරිකානු ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වී නම් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම පිළිබඳ සතුටු වන බව ය​.

එහෙත් එම ප්‍රකාශය පැහැදිලි කිරීමට කාළයක් මට ලැබුණේ නැත​. එහෙයින් මෙම සටහන මෙසේ ලියා තබමි.

ඇමරිකානු ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම ඉතිහාසයේ නරකම ජනප්‍රියත්වයකින් යුතු අපේක්ෂකයන් වූ බව පැහැදිලි ය​. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සංක්‍රමණික විරෝධී සහ කාන්තා විරෝධී ප්‍රකාශ හේතුවෙන් ජනප්‍රියත්වයෙන් පහළ යන විට, හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් සමයේදී රාජකාරි සඳහා අරපිරිමැස්මක් නොමැතිව ඊමේල් භාවිතා කිරීමේ චෝදනාවක් හේතුවෙන් විශ්වසනීයත්වයෙන් පහළ වැටුණාය​.

ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වී නම් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බලාපොරොත්තු වීමට හේතු මේ ආකාර වේ.

ට්‍රම්ප් යනු සාමාන්‍ය සාප්‍රදායික ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය නුරුස්සන්නෙකි. එවන් අපේක්ෂකයන් ඉතිහාසයේ මීට කළින් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මතු වී ඇත​. නමුත් ඔවුනට ජනාධිපතිවරණයක් ජය ගැනීමේ හැකියාවක් ලැබී නැත​. එහෙයින් පක්ෂයේ සාම්ප්‍රදායික ක්‍රම රටාවට ඉන් එල්ල වූ බලපෑම සාපේක්ෂව සීමා සහිත විය​.

ට්‍රම්ප් පරාජය වූයේ නම් ඔහු විසින් ඇති කරන ලද පෙරළිය ටික දිනකින් අමතක ව යනු ඇත​. එහෙත් ඔහුගේ ජයග්‍රහණයත් සමඟ පක්ෂයේ දෙදරීම් උත්සන්න වීමේ අවදානමක් ඇත​.

අනෙක් අතට හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කළේ නම් මීළඟ වසර හතර ඩිමොක්‍රටික් පක්ෂයට නායකත්වය දෙනු ඇත්තේ විශ්වසනීයත්වය බිඳුන අයෙකි. එසේ වී නම් ඩිමොක්‍රටික් පක්ෂයේ කීර්ති නාමයට එය දැඩි පහරක් වනු ඇත​. ක්ලින්ටන් ඉවත් ව ගිය විට තාවකාලික පසු බැසීමක් සහිතව වුවද වඩා හොඳ ආරම්භයක් පක්ෂයට ලබාගත හැක​.

Saturday, November 5, 2016

ඉරාක අගමැති මෝසුල් පෙරමුණට​

මෝසුල් නගරය සඳහා වන සටන දැන් දැන් දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. මීට දින කිහිපයකට පෙර මෝසුල් හි නැගෙනහිර ප්‍රදේශවලට ඉරාක හමුදා සහ නිනවේ ආරක්ෂක බලකා මිලීෂියා භටයින් කඩා වැදුණ අතර​, මේ වන විට ද එම පෙදෙස්වල දරුණු සටන් පවතී.

මේ අතර ශියා මිලීෂියා කණ්ඩායම් නගරයේ සිට සිරියාව දෙසට වැටී ඇති මාර්ග අත්පත් කරගනිමින් ISIS ත්‍රස්තයින්ට ඇති ගැලවී පළා යා හැකි පහසුම ක්‍රමවේදය අවුරාලූ හ​.

මෙසේ මෝසුල් නගරය වටලෑමත් සමඟ ඉරාක කුර්දිවරුන් විසින් වැදගත් ප්‍රකාශයක් කරන්නට යෙදිණ​. එනම් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මෝසුල් නුවර කොටු වී සිටින බවය​. ත්‍රස්තයින් මෙම ප්‍රකාශයට පිළිතුරු දුන්නේ නැත​.

එහෙත් එම ප්‍රකාශය නිකුත් වී පැය 24 ක් යාමටත් මත්තෙන් ISIS නායක අල්-බැග්ඩාඩි හඬ පටයක් නිකුත් කළේය​. එමගින් ඔහු සිය අනුගාමිකයන්ට කියා සිටියේ මෝසුල්වලින් පසු නොබසින ලෙස ය​.

මෙම ප්‍රකාශයත් සමඟ අල්-බැග්ඩාඩි සත්‍ය වශයෙන්ම මෝසුල් හි රැඳී සිටීදැයි සැක පළ වූ නමුත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හෙතෙම මෝසුල් නුවරින් පළාගොස් ඇති බව ය​.

මේ අතර අද දින උදෑසන සිට ඉරාක හමුදා මෝසුල්වලින් දකුණු දිග පිහිටි හමාම් අල්-අලීල් වෙත පහර දෙමින් සිටිති. මෙය මෝසුල් නගර සීමාවෙන් දකුණේ වන අවසන් නගරය ය​. මේ වෙද්දී නගරයෙහි ඉරාක ධජ ඔසවා තිබේ.

මෑතක දී නිදහස් කරගන්නා ලද බාර්ටෙලා නගරය වෙත පැමිණි ඉරාක අගමැති හයිදර් අල්-අබාදි ප්‍රදේශයේ ඉරාක හමුදා නිරීක්ෂණය කළේය​. බාර්ටෙලා නගරය මෝසුල්වලින් නැගෙනහිරින් පිහිටියේ ය​.

Wednesday, November 2, 2016

ඇමරිකාවේ ළමයින්ගේ ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට පහසු ජයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ළමුන් විසින් ඡන්දය දුන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමකදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 52 ක් ලබාගෙන ජයග්‍රහණය කර තිබේ.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සියයට 35 ක් පමණක් ලබාගෙන ඇති අතර ඉතිරි සියයට 13 අනෙකුත් අපේක්ෂකයන් වෙත ලැබී ඇත​.

ස්කොලස්ටික් ආයතනය​ විසින් පවත්වන ලද මෙම 'ඡන්දයේදී' අන්තර්ජාලය ඔස්සේ හෝ තැපැල් මගින් හෝ ඡන්ද ලබාදීමට පෙර පාසල් සිට පාසැල්වල 12 පන්තිය දක්වා වූ ඇමරිකානු ළමුන්ට අවස්ථාව ලැබුණි. ළමෝ 153,000 ක් මෙහිදී ඡන්දය ලබා දුන්හ​.

මෙහිදී ප්‍රබල රිපබ්ලිකන් ප්‍රාන්තයක් වන ටෙක්සාස් හිලරි ක්ලින්ටන් වෙත නැඹුරු වීම වැදගත් ය​. එමෙන්ම වොෂිංටන් ඩී. සී. හි අනෙකුත් අපේක්ෂකයන් ලැබූ ඡන්ද ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තනි තනිව ගත් ඡන්ද සංඛ්‍යා ඉක්මවීය​.

ළමුන් විසින් ඡන් දය ලබාදුන් අනෙකුත් අපේක්ෂකයන් අතර ලිබර්ටේරියන් පක්ෂයේ ගැරී ජොන්සන් (සියයට 2) මෙන්ම ඩිමොක්‍රටික් පාක්ෂික බර්නි සැන්ඩර්ස් ද වේ.

මෙය කිසිදු ආකාරයේ විද්‍යානුකූල නියැදියක් ඔස්සේ කළ ඡන්දයක් නොවුවද මෙම ළමුන්ගේ ඡන්ද විමසීම මෙතෙක් කළක් නිවැරදි ජයග්‍රාහකයා තේරීමට අපොහොසත්ව ඇත්තේ දෙවතාවකදී පමණක් වීම විශේෂ කරුණකි. 1940 පටන් මේ දක්වා පැවති ජනාධිපතිවරණවලදී 1948 සහ 1960 දී පමණක් ඇමරිකානු ළමුන් තෝරාගත් ජයග්‍රාහකයා පරාජය විය​.

ඒ කෙසේ වෙතත් මෙම ඡන්දය තුළින් එක් වැදගත් කරුණක් ඉස්මතු වේ. එනම් ළමා සහ තරුණ ප්‍රජාව අතර රිපබ්ලිකන් පක්ෂය කෙතරම් පසුබැස ඇත් ද යන්නය​. මෙවර ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගත්තත් නැතත් පක්ෂය මීළඟ දශක කිහිපය පිළිබඳව සිතන්නේ නම් එහි වැදගත් වෙනස්කම් රැසක් විය යුතු බව පෙනී යයි.

Tuesday, November 1, 2016

ට්‍රම්ප් ක්ලින්ටන් පරදන ලකුණු මත විමසුමකින් පළ වේ

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට සතියක් තිබියදී මාධ්‍ය ආයතනය මගින් පවත්වන ලද මත විමසුමකදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරයා ඉදිරියට පැමිණීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය​.

මේ අනුව සියයට 46 ක කැමැත්ත ට්‍රම්ප්ට පළ වෙද්දී ක්ලින්ටන් වෙත සියයට 45 ක් සිය කැමැත්ත පළ කළ හ​. මේ අතර ලිබර්ටේරියානු පක්ෂ අපේක්ෂක ගැරී ජොන්සන්ගේ ජනප්‍රියත්වය සියයට 3 දක්වා පහත වැටී තිබීම ද වැදගත් සිදු වීමක් විය​. සියයට දෙකක් හරිත පක්ෂයේ ජිල් ස්ටයින් වෙත කැමැත්ත දක්වා සිටියෝය​.
ට්‍රම්ප් - ක්ලින්ටන් අවසන් විවාදයේ අවස්ථාවක්

මෙම සිදුවීම වැදගත් වන්නේ මීට සතියකට පෙර ක්ලින්ටන් සියයට 12 ක පමණ ප්‍රමාණයකින් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටි බැව් සැළකීමේදී ය​.

මෙතරම් තියුණු තරඟයකදී එක් මත විමසුමකින් පමණක් පැහැදිලි අනුමානයක් ලබා ගැනීම අපහසු වුවද මෙම ප්‍රතිඵලය මගින් පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් වඩා හොඳ සටනක් දීමේ හැකියාවක් ඇති කරගෙන තිබෙන බවය​.

හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ව සිටි සමයේදී රාජ්‍ය කටයුතු සඳහා පුද්ගලික ඊමේල් භාවිත කිරීම පිළිබඳ වූ පරීක්ෂණ යළි ක්‍රියාත්මක කරන බවට එරට ෆෙඩරල් පොලීසිය හෙවත් FBI ආයතනය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති විය​.

කෙසේ වෙතත් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ දෙකෙන් ම ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් කෙරෙහි විශාල ජන ප්‍රසාදයක් නොමැත​. එහෙයින් වඩා අඩුවෙන් නරක අපේක්ෂකයා තෝරාගැනීමට ඇමරිකානු ජනතාවට සිදුව ඇත​.

Sunday, October 30, 2016

බර්නි සැන්ඩර්ස් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ සටනට​

ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභික බර්නි සැන්ඩර්ස් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් නම ලියා ඡන්දය පළ කිරීමේ සුදුසුකම ලබාගෙන තිබේ.

නමුත් ඔහුට මෙම සුදුසුකම ලැබී ඇත්තේ ඔහු ඒ සඳහා ඉල්ලුම් කිරීමකින් ද තොරව ය​.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය එක් එක් ප්‍රාන්තවලදී පැවැත්වෙන්නේ ඒ ඒ ප්‍රාන්තවල නීති ප්‍රකාරව ය​. ප්‍රාන්ත 50 න් 43 ක ඡන්ද දායකයන්ට අපේක්ෂකයකුගේ නමක් ලියා ඡන්දය ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය හිමි ය​. ඒ අනුව ඡන්ද පත්‍රිකාවේ නම් සඳහන් අපේක්ෂකයන්ට පමණක් නොව, වෙනත් අයකුට වුවද ඡන් දය පළ කල හැක​.

මෙම ප්‍රාන්ත 43 න් ප්‍රාන්ත 7 කදී මේ සඳහා කිසිදු නීතියක් බල නොපාන අතර තමන් කැමති ඕනෑම අයකුගේ නමක් ලියා ඡන්දය පළ කිරීමේ අයිතිය ඡන්ද දායකයන් සතු වේ. අනෙක් ප්‍රාන්තවලදී මේ සඳහා යම් යම් නීති පවතී.

කැලිෆෝර්නියාවේදී පවතින විශේෂත්වය නම් අදාළ අපේක්ෂකයාගේ කැමැත්ත නොමැතිව වුවද එම සුදුසුකම ලබාගැනීමට ඔහුගේ ආධාරකරුවන්ට හැකි වීමය​. කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් ජනාධිපතිවරණ ඡන් ද විද්‍යාලයට සාමාජිකයන් 55 දෙනෙකු පත් කරනු ලබයි. ඒ සඳහා යම් අපේක්ෂකයකු වෙනුවෙන් ඉදිරිපත් විය හැකි 55 දෙනකු ඒ බව සහතික කිරීමෙන් එම අපේක්ෂකයා වෙනුවෙන් නම ලියා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය දිනාගත හැක​.

බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ නාම යෝජනා දිනා ගැනීමට කළ උත්සාහයේදී සෙනට් සභික හිලරි ක්ලින්ටන් හමුවේ පරාජය විය​. කෙසේ නමුත් සැන්ඩර්ස්ට සහය දක්වන විශාල පිරිසක් තවමත් වෙති.

2008 සහ 2012 වසරවලදී මේ ආකාරයෙන්ම කැලිෆෝර්නියා ප්‍රාන්තය සඳහා නම් ලියා ඡන්දය පළ කළ හැකි අපේක්ෂකයකු ලෙස රොන් පෝල්ගේ නම ඇතුලත් වූයේ ඔහු ජනාධිපති සටනට සම්බන්ධ නොවී සිටියදී ය​. 2008 දී කැලිෆෝර්නියාවෙන් ඡන්ද 17,006 ක් ලැබූ ඔහු 2012 දී ඡන්ද 21,461 ක් ලැබීය​.

Friday, October 28, 2016

ඇමරිකාවේ මීළඟ ජනාධිපති එවාන් මැක්මලින් විය හැකි ද​?

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මහජන ඡන්ද විමසීම නොවැම්බර් 8 වනදා පැවැත්වේ. මේ වනවිට ප්‍රධානම සටන පවතින්නේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ය​. නමුත් මේ දෙදෙනාටම තරඟයක් දෙමින් තවත් තරඟකරුවකු සටනට බැස තිබේ. ඇතැම් විචාරකයන් අනාවැකි පළ කරන පරිදි මෙම තුන්වැන්නා ජනාධිපති බවට පත්වීමේ ඉතාම සුලු ඉඩකඩක් විවෘතව පවතී.

සාමාන්‍යයෙන් අතිශය රිපබ්ලිකානු ප්‍රාන්තයක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ යූටා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ සටන තුන් කොන් තරඟයක් බවට පත් ව තිබේ. දැනට ලැබෙන මත විමසුම් ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින නමුත් ඔහු අසළින්ම සිටීමට ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් සමත්ව සිටී.

බටහිර කඳුකර ප්‍රාන්තවලින් එකක් වන යූටා හි ජනගහනය මිලියන තුනක් පමණ වන අතර ඉන් තුනෙන් දෙකක් පමණ මෝර්මන් භක්තිකයෝ වෙති. 2012 දී තවත් මෝර්මන් භක්තිකයකු වූ මිට් රොම්නි ජනාධිපතිවරණයේදී යූටා ප්‍රාන්තයේ ඡන්දවලින් සියයට 75 ක් පමණ ලබාගත්තේය​. පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදීම යූටාවලදී රිපබ්ලිකන් පක්ෂය ඡන්දවලින් තුනෙන් දෙකක් ඉක්මවා ලැබූ හ​. නමුත් මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්දවලින් සියයට 35 ක් වත් ලබාගනීද යන සැකය මතුව තිබේ. තත්ත්වය කෙතරම් භයානක ද යත් රිපබ්ලිකන් උප ජනාධිපති අපේක්ෂක මයික් පෙන්ස් යූටා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමාම පැමිණියේය​.

එවාන් මැක්මලින් හිටපු සී.අයි.ඒ. නිලධාරියෙකි. 40 හැවිරිදි ඔහු යූටා ප්‍රාන්තයේ ඉපැදුන අයෙකි. මෝර්මන් භක්තිකයෙකි. රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. එහෙත් ට්‍රම්ප් විරෝධී අයෙකි. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වර්ගවාදී, ස්ත්‍රී විරෝධී ප්‍රකාශ මගින් රිපබ්ලිකන් පක්ෂය විනාශ කරන බව මැක්මලින් පවසයි. ඔහු කන්සර්වේටිව් හෙවත් සම්ප්‍රදාය ගරු කරන්නෙකු නොව රට බෙදන්නෙකු බව මැක්මලින් කියා සිටියි.

එමෙන්ම මැක්මලින් සිය අප්‍රසාදය රිපබ්ලිකන් පක්ෂ නායකත්වය වෙත ද පළ කරයි. කිසිදු රිපබ්ලිකානු නායකයකු ට්‍රම්ප් පක්ෂයේ නාමයෝජනා දිනා ගැනීම වැළැක්වීමට අපොහොසත් වූ බවත්, ට්‍රම්ප්ට ඇති බිය නිසා ඔහුට ප්‍රසිද්ධියේ විරුද්ධ නොවන බවත් මැක්මලින් චෝදනා කරයි.

මැක්මලින් ක්‍රියාකාරී දේශපාලනයට අමුත්තකු වුවද දේශපාලනය ඔහුට අමුතු නැත​. ඔහු ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂ කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ලෙස මෑතකදී කටයුතු කළේය​. එහෙයින් ඔහුට කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් අමුත්තන් නොවේ.

ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත් විය හැකි කොන්සර්වේටිව් අපේක්ෂකයකු ඔහු සෙවූ බව මැක්මලින් පවසයි. නමුත් කිසිවකු ඉදිරිපත් නොවූ කල්හි, තමාම ඡන්ද සටනට පැමිණි බව මැක්මලින් පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගෞරවයක් නැති බවත් ඔවුන් ප්‍රාන්තවල බලය අඩු කොට වොෂිංටනයට බලය කේන්ද්‍ර කිරීමට උත්සුක වන බවත් මැක්මලින් කියා සිටියි.

ඇමරිකානු සමාජය බෙහෙවින් බෙදී ඇති නමුත් ඒ බෙදීම් බොහොමයක් දේශපාලන නායකත්වය විසින් ඇති කරන ලද ඒවා බව මැක්මලින් ප්‍රකාශ කරයි. බලය වොෂිංටනයට කේන් ද්‍ර වීමත් සමඟ රජයේ නිලධාරීන්ට ජනතාවගේ ජීවිතවලට ඇඟිලි ගැසීමේ අවස්ථාව වැඩිපුර උදාවීම ද රටේ බෙදීම් සහ ප්‍රශ්න සඳහා කෙළින්ම බලපාන බව මැක්මලින් තර්ක කරයි.

මැක්මලින් සිය උප ජනාධිපතිධූර අපේක්ෂක සගයා ලෙස තෝරාගෙන ඇත්තේ 36 හැවිරිදි ටෙක්සාස් ප්‍රාන්තයේ උපන් මින්ඩි ෆින් ය​. ඇය ඩිජිටල් මාධ්‍ය විශේෂඥවරියක වන අතර ට්විටර් සහ තවත් සමාගම් කිහිපයකම සේවය කර ඇත​.

මැක්මලින් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූයේ අගෝස්තු මස මැදදී ය​. මෑතකදී ඔහුගේ ජනප්‍රියතාවය යූටා ප්‍රාන්තයේ මෙන්ම ඒ අවට ප්‍රාන්තවලද ඉහළ යමින් පවතී. ඔහුගේ බලාපොරොත්තුව වන්නේ අවම වශයෙන් යූටා ප්‍රාන්තය ජය ගැනීමය​.

මැක්මලින් ජනාධිපති වන ආකාරය​

යූටා ප්‍රාන්තය ජයග්‍රහණය කළහොත් මැක්මලින්ට ඇමරිකාවේ මීළඟ ජනාධිපති වීමේ ඉතාම සුලු ඉඩක් පවතී. එය සිදු වන්නේ මෙසේය​.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය වක්‍ර මැතිවරණයකි. එනම්, මෙහිදී ජනාධිපතිවරයා කෙලින්ම තෝරාගනු නොලැබේ. ඒ වෙනුවට තෝරාගනු ලබන්නේ ඡන්ද විද්‍යාලයක් (Electoral College) සඳහා නියෝජිතයන් හෙවත් වරකයින් පිරිසකි. ජනාධිපතිවරයා තෝරාගන්නේ ඔවුන් විසිනි.

ඡන්ද විද්‍යාලයේ සාමාජික සංඛ්‍යාව 538 කි. මින් 535 දෙනෙක් කොන්ග්‍රස් මණ්ඩලයේ සිටින නියෝජිතයන් 535 වෙනුවෙනි. මීට අමතරව කොලොම්බියා දිස්ත්‍රික්කය සඳහාද නියෝජිතයින් 3 දෙනෙකු වෙන් කොට ඇත. යම් ප්‍රාන්තයකින් කොන්ග්‍රස් මණ්ඩලයේ සෙනට් සභාවට නියෝජිතයින් දෙදෙනෙකුත්, පහල මන්ත්‍රී මණ්ඩලයට යම් කිසි නියෝජිතයින් ගණනකුත් යවන බව ඔබ අසා ඇතැයි සිතමි. ඡන්ද විද්‍යාලයටද එම ප්‍රාන්තයෙන් ඊට සමාන නියෝජිත පිරිසක් යවනු ලැබේ.

ඇමරිකාවේ ප්‍රාන්ත 50 සහ කොලොම්බියා දිස්ත්‍රික්කය මගින් මෙසේ ඡන්ද විද්‍යාලයට නියෝජිතයෝ පත් කෙරෙති. මෙයින් ප්‍රාන්ත දෙකකදී හැර අන් සියලු ප්‍රාන්තවලදී සිදු වන්නේ එම ප්‍රාන්තය තුල වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්ද විද්‍යාලය සඳහා නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව ලැබීමයි. මේන් (Maine) සහ නෙබ්‍රස්කා (Nebraska) ප්‍රාන්තවල ඡන්ද විද්‍යාල නියෝජිතයි තෝරාගැනීම මදක් වෙනස් ක්‍රමයකට සිදු කරනු ලබයි. එහිදී මුළු ඡන්දවලින් බහුතරය දිනාගන්නා අපේක්ෂකයාට නියෝජිතයින් දෙදෙනෙකු ලැබේ. (සෙනට් මන්ත්‍රීන් ගණන) අනෙක් නියෝජිතයින් තෝරාගන්නේ මැතිවරණ කොට්ටාශ මට්ටමෙනි.

ඡන්ද විද්‍යාලය රැස් වන්නේ දෙසැම්බරයේ දෙවන බදාදාට පසුව එන සඳුදාය. ඒ සිය ප්‍රාන්තවල අගනුවරවලදීය. එහිදී එහි නියෝජිතයෝ සිය ඡන්දය ප්‍රකාශ කරති. එම ඡන්ද ගණන් කරන්නේ ඊළඟ මාසයේ මුලදී කොන්ග්‍රස් මණ්ඩලය විසිනි. ඒ අනුව කොන්ග්‍රස් මණ්ඩලය විසින් නිල වශයෙන් ජයග්‍රාහකයා නම් කරනුයේ මැතිවරණය පැවැත්වූ නොවැම්බරයට පසු එන ජනවාරියේදීය. ඒ අනුව ජනවාරි 20 වනදා නව ජනාධිපතිවරයා දිවුරුම් දෙයි.

මැක්මලින්ට ජනාධිපති වීමට නම් ඔහු අඩු වශයෙන් යූටා ප්‍රාන්තය ජයගත යුතු වන අතර ක්ලින්ටන් සහ ට්‍රම්ප් අතර ඡන් ද විද්‍යාලය සඳහා කරට කර සටනක් පැවතිය යුතුය​. යූටා හි වරකයින් 6 දෙනෙක් වෙති. මැක්මලින් එම හය දෙනා දිනාගෙන​, අනෙක් අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුටවත් බහුතරයක් (වරකයින් 269 කට වඩා) දිනාගත නොහැකි වුවහොත් ජනාධිපතිවරයකු පත් කිරීම ඇමරිකාවේ මීළඟට පත්වන කොංග්‍රස් මණ් ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලයට පැවරේ.

කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් වන අතර ඉන් බහුතරය රිපබ්ලිකන් නියෝජිතයන් වන බව අනුමාන කර ඇත​. රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ට්‍රම්ප් එතරම් ජනප්‍රිය නැත​. මැක්මලින් ඒ බොහෝ දෙනා අතර ප්‍රකට චරිතයක් මෙන්ම ඔවුන් සමඟ කටයුතු කළ අයෙකි. ඔහුගේ බලාපොරොත්තුව මෙවන් තත්ත්වයක් මතු වුවහොත් ඔවුන් බුරුතු පිටින් තමාට සහය වනු ඇති බවය​.

කෙසේ නමුත් මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවලදී මැක්මලින් පවසා තිබුණේ ක්ලින්ටන් විසින් ට්‍රම්ප් පහසුවෙන්ම පරාජය කරනු ඇති බවය​.

Thursday, October 27, 2016

ඉරාක හමුදා බටහිර මෝසුල් වෙත ඇතුලු වෙති

වසර දෙකහමාරකට පසු පළමු වතාවට ඉරාක හමුදා සෙබලුන් මෝසුල් නගරයේ බටහිර ප්‍රදේශයට ඇතුලු වීමට සමත් වූ බව එරට මාධ්‍ය අද වාර්තා කළේය​.

ඉරාක වේලාවෙන් දහවල් එකට පමණ මෙම මාධ්‍ය වාර්තා මුලින්ම ළඟා වූයේය​. ඉරාක හමුදා මූලාශ්‍රයක් අල් සුමාරියා රූපවාහිනිය සමඟ ප්‍රකාශ කළේ දරුණු ගැටුම්වලින් පසු ඉරාක හමුදා බටහිර මෝසුල් වෙත ඇතුලු වී එහි ISIS ත්‍රස්ත සංවිධානයේ මූලස්ථානයක් අල්ලාගත් බව ය​.

මේ අතර හමුදාවට ආධාර කරන මිලීෂියා කණ්ඩායම් ද එම ප්‍රදේශයට ඇතුලු වී තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ මෝසුල් නගරයේ නැගෙනහිර ප්‍රත්‍යන්ත ප්‍රදේශයනට ඉරාක හමුදා ළඟා වීමෙන් දිනකට පසු ය​. ඊයේ දිනයේදී ඉරාක හමුදා මෝසුල්හි නැගෙනහිර ප්‍රාන්තරයක් වන ගොග්ජාලි ප්‍රදේශයට ඇතුලු වූ අතර එහිදී ද දරුණු ගැටුම් වාර්තා විය​.
Pic: Hikmet Durgun (Sputnik)

මෙම ප්‍රහාර හමුවේ ISIS ත්‍රස්තයින් මෝසුල්හි සිය පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා දරුණු පියවරයන් ගනිමින් සිටින බව වාර්තා වේ. සිවිල් වැසියන් බිය වැද්දීම සඳහා වැසියන් 250 ක් පමණ ඝාතනය කළ බව අද බදාදා දිනයේදී වාර්තා විය​.

මෙයින් 190 දෙනකු හමාම් අල්-අලීල් ප්‍රදේශයේදී ඝාතනය කරන ලද අතර තවත් 42 දෙනෙකු පමණ අරිජ් නම් ප්‍රදේශයේදී ඝාතනය කෙරිණ​.

ඔක්තෝබර් 17 දින සටන් ඇරඹෙද්දී මෝසුල් හි රැඳී සිටින සමස්ථ ISIS සාමාජිකයන් ගණන 3000 ක් සහ 4500 ක් අතර වන බව අනුමාන කරනු ලැබීය​. අද දින ඇමරිකානු යුධ හමුදාව ප්‍රකාශ කළේ පසුගිය දින දහය තුළ ISIS සාමාජිකයන් 800 ක් හා 900 ක් අතර ප්‍රමාණයක් මිය ගිය බවට අනුමාන කළ හැකි බවය​. මේ අතර ඊයේ වාර්තා වූයේ සටන් ඇරඹි දින සිට ඉරක හමුදා සෙබලුන් 60 දෙනෙකු මිය ගොස් 250 ක් තුවාල ලබා ඇති බව ය​.

කෙසේ නමුත් සටන් පෙරමුණ පටු වනවිට ඉතිරි ISIS සටන්කාමීන් දරුණු ලෙස සටන් වදිනු ඇතැයි බලාපොරොත්තු විය හැක​.

ISIS 'භාණ්ඩාගාරික​' පළා යයි

මේ අතර ISIS සංවිධානයේ ප්‍රධාන මුදල් කළමණාකරු ඩොලර් මිලියන ගණනක මුදලක් ද සමඟ පළාගොස් ඇතැයි වාර්තා වේ. මේ අතර ජර්මනියේ සිට පැමිණි කාන්තා සාමාජිකාවක ද ඔහු සමඟ පළා ගොස් ඇත​. ඇය ISIS මරාගෙන මැරෙන කාන්තා බලකාය මෙහෙයවූ තැනැත්තිය බව වාර්තා වේ.

ඉරාක හමුදා මෝසුල් හි නැගෙනහිර කෙළවරට ළඟා වෙති

මෝසුල් නගරය කරා ඇදෙන ඉරාක හමුදා බදාදා, එනම් ඔක්තෝබර් 26 වනදා, දහවල් වන විට නගර ප්‍රාන්තර ප්‍රදේශයන් වෙත ළඟා වීමට සමත් වූ බව ඉරාකයෙන් ලැබෙන වාර්තා සඳහන් කළේය​.

මෝසුල් නගරයේ නැගෙනහිර සීමාවෙන් ඔබ්බෙහි පිහිටි ගොග්ජාලි දිස්ත්‍රික්කයට මෙසේ ඉරාක 9 වන සන්නාහ සන්නද්ධ ඩිවිෂනය සහ නිනවේ තැනිතලා ආරක්ෂක ඒකක මිලීෂියා භටයින් ළඟා වූ බව මෙසේ වාර්තා විය​.

ගොග්ජාලි ප්‍රදේශයේ දරුණු සටන් පවතින බවද එම වාර්තා තව දුරටත් සඳහන් කළේය​. නමුත් ඒ පිළිබඳ වැඩි විස්තරයක් ලබා ගැනීම අපහසු විය​. ඇතැම්විට මෙය ඉරාක හමුදා විසින් කරන ලද 'ගසා දුවන' ආකාරයේ ප්‍රහාරයක් වීමට ද ඉඩ තිබේ.

කෙසේ නමුත් නුදුරු අනාගතයේදී මෙම ප්‍රදේශය සඳහා දරුණු සටන් ඇතිවීමට ඉඩ තිබේ.

මේ අතරවාරයේදී මෝසුල්වලින් ගිණිකොණදිග පිහිටි හම්දානියා ප්‍රදේශයේ තව දුරටත් රැඳී සිටින ත්‍රස්තවාදීන් එළවා දැමීමේ මෙහෙයුම් බදාදා දිනයේද ක්‍රියාත්මක විය​. එම ප්‍රදේශයේ බලය මින් දින කිහිපයකට පෙර ඉරාක හමුදා අතට පත් වූ නමුත් ඇතැම් ස්ථානවල ත්‍රස්තයින් රැඳී සිටින බව වාර්තා වේ.

මේ අතර ඉරාකයේ අර් - රුට්බා නගරයට එක්ක වූ ත්‍රස්ත ප්‍රහාරය සම්පූර්ණයෙන්ම පාහේ මැඩ පැතැත්වීමට ඉරාක හමුදා සමත් විය​. ජෝර්දාන් සහ සිරියානු දේශසීමා ආසන්නයේ පිහිටි 22,000 ක ජනගහනයකින් යුතු අර් - රුට්බා නගරය වැදගත් වන්නේ එහි පිහිටීම නිසා ය​. ඉරිදා මෙම නගරයට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර නගරයෙන් සියයට 80 ක පමණ වපසරියක බලය ඔවුන් අතට පත් විය​. එනමුත් සඳුදා වන විට රජයේ හමුදා කෙමෙන් කෙමෙන් ත්‍රස්තයින් පසු බස්වන්නට වූහ​. මේ වනවිට නගරය බොහෝ දුරට ඔවුන් ගේ පාලනයට යටත් වී තිබේ.

මෝසුල් සඳහා කරනු ලබන සටන එතරම් පහසු නොවන බව අර් - රුට්බා හි සටන පසක් කර දුන්නේය​. ඉරාක හමුදා මෝසුල් නගරයට පහර දෙන විට ත්‍රස්තවාදීහු වෙනත් ප්‍රදේශ ඉලක්ක කරගෙන දරුණු ප්‍රහාර එල්ල කිරීමේ අවදානම දැඩිව දැනෙමින් පවතී.

Wednesday, October 26, 2016

නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ වැදගත් තීරණයක් හෙට​

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝානත නඩුව, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ ඉතා වැදගත් නඩු විභාගයක් බවට පත්ව තිබේ. මීට හේතුව වන්නේ දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන දෙක එකිනෙක පැටලීමෙන් ඇතිව පවතින නෛතික ගැටලුවකි.

යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ රවිරාජ් 2001 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ එම දිස්ත්‍රික්කයෙනි. ඒ දෙමළ ජාතික සන්ධානයෙනි. 2004 දී නැවත ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය​. 2006 නොවැම්බර් 10 වනදා ඔහු වෙඩි තබා ඝාතනය කෙරුණ අතර ඔහුගේ ආරක්ෂකයකු ද එම අවස්ථාවේ මිය ගියේය​. ඒ ලක්ෂ්මන් ලොකුවැල්ල නම් පොලිස් නිලධාරියෙකි. ඝාතනය වන අවස්ථාවේ රවිරාජ් 44 හැවිරිදි වූයේය​.

මෙම නඩුව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මහාධිකරණය වෙත යොමු ව තිබේ. මෙහිදී විත්තිකරුවන් සය දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇති අතර ඉන් තිදෙනෙක් මේ වනවිට අත් අඩංගුවේ පසු වෙති. ඔවුහු නාවික හමුදාවේ සේවය කළ අය වෙති. තවද​, තවත් විත්තිකරුවන් තිදෙනකු ආගිය අතක් නොමැති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරේ.

මෙම නඩුව විභාග කෙරෙන්නේ ප්‍රවීණ විනිසුරුතුමකු වන මනිලාල් වෛද්‍යතිලක ඉදිරියේය​.

මින් පෙර නඩු දිනයකදී විත්ති පාර්ශවය ඉල්ලා සිටියේ සිංහල කතා කරන ජූරි සභාවක් මගින් නඩුව විභාග කරන ලෙස ය​. සාමාන්‍යයෙන් දණ් ඩ නීති සංග්‍රහ යටතේ පවරා ඇති නඩුවක විත්තිකරුවන්ට ජූරි සභාවක් මගින් නඩු ඇසීමට ඉල්ලා සිටීමේ අයිතිය ඇත​.

මෙම නඩුව පිළිබඳ ඇති විශේෂ කරුණ නම් දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන දෙකම යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබීමයි. මේ හේතුවෙන් අගතියට පත් පාර්ශවය​, එනම් මියගිය අයගේ ඥාතීන්, සිය නීතීඥයින් මගින් අධිකරණයට දන්වා සිටියේ ජූරි සභාවක් මගින් නඩු විමසීමට ඔවුන් අකැමැති බවය​. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට ජූරිසභාවක් මගින් නඩු ඇසීමේ ඉල්ලීම කළ නොහැක​.

මේ අනුව පනත් දෙකක් යටතේ පවතින නෛතික රාමු දෙකක් එකිනෙක ගැටීමේ අවස්ථාවක් උද්ගතව ඇත​. විත්තිකරුවන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ ජූරි සභාවක් ඉල්ලා සිටිය හැකි වුවද​, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එකේ ඉල්ලීමක් කළ නොහැක​. මෙම පනත් දෙක ගැටෙන විටක ගතයුතු පියවර පිළිබඳ පූර්වාදර්ශයක් ද නොමැත​.

මේ පිළිබඳ මහාධිකරණයේ තීරණය හෙට දිනයේ දැනුම් දීමට නියමිතව තිබේ.

Tuesday, October 25, 2016

ටෙක්සාස් ප්‍රාන්තය - රිපබ්ලිකන් බල කණුව ට්‍රම්ප්ට අහිමි වේද​?

සාමාන්‍යයෙන් ප්‍රබල රිපබ්ලිකන් පක්ෂ බලකොටුවක් ලෙස සැළකෙන​, ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම ජනපදයක් වන ටෙක්සාස් ප්‍රාන්තයේදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වීමේ අවධානමක් මතුව තිබේ.

පසුගිය වසර 40 ක කාළය තුළ ටෙක්සාස් ප්‍රාන්තය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබල "රතු" හෙවත් රිපබ්ලිකන් බල කඳවුරක් ලෙස සළකන ලදී. 1976 ජනාධිපතිවරණයේදී ජිමී කාටර් ජයග්‍රහණය කළ පසු ඇමරිකානු ජනාධිපතිවරණ කිසිවකදී ඩිමොක්‍රටික් අපේක්ෂකයකු එම ප්‍රාන්තය ජයගත්තේ නැත​. 1976 දී රිපබ්ලිකන් පක්ෂය තරඟ කළේ අවාසිදායක තත්ත්වයන් යටතේ බවත් කාටර් ද දකුණේ ප්‍රාන්තයක අයකු බවත් මෙහිදී සැළකිය යුතු වේ.

1976 න් පසු, 1992 දී විශේෂිත අවස්ථාව සහ 1996 ජනාධිපතිවරණය හැරුණ විට අද දක්වා පැවති සියලු ජනාධිපතිවරණ සටන් වලදී රිපබ්ලිකන් අපේක්ෂකයින් ටෙක්සාස් හි ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 55 ඉක්මවා ඡන්ද ලබාගෙන ඇත​. 2012 දී ද මිට් රොම්නි ටෙස්කාස් ප්‍රාන්තයේදී ඡන්ද සියයට 57.2 ක් ලබාගත්තේ ය​.

නමුත් මෙවර තත්ත්වය තරමක් අපැහැදිලි වී ඇති අතර හිලරි ක්ලින්ටන් ටෙක්සාස් ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමට ඉඩක් ඇති තත්ත්වයක සිටින බව මත විමසුම්වලින් පෙනී යයි.

පහත දැක්වෙන්නේ මෑතකදී කරන ලද එවන් මත විමසුම් කිහිපයකි. මෙහි රතු පැහැයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ද​, නිල් පැහැයෙන් ක්ලින්ටන් ද දැක්වේ.

මේ අනුව​, ඔක්තෝබර් 23 වනදා ප්‍රකාශ කෙරුණ YouGov/CBS News මත විමසුම අනුව ට්‍රම්ප්ට සහය දක්වන ප්‍රතිශතය සියයට 46 ක් වෙද්දී, ක්ලින්ටන්ට සියයට 43 ක් සහය දක්වති. මේ අනුව​, ටෙක්සාස් ප්‍රාන්තයේ ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනුයේ ඉතා සුලු ප්‍රතිශතයකිනි.

මත විමසුම් මගින් ලැබෙන ප්‍රතිඵල කිසිසේත් ම අවසානාත්මක නොවේ. ඡන්දය පවත්වන දිනයේදී සිදුවන දේ සක්සුදක් සේ පුරෝකථනය කිරීමට කිසිදු මත විමසුමකට නොහැකි අතර, මත විමසුම් මගින් පුරෝකථනය කරන ප්‍රතිඵලවලට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ලැබුණ මැතිවරණ ද ඕනෑ තරම් වේ. එසේ වුවත් මෙම මත විමසුම්වලින් ඇඟවෙන කරුණ නම්, 2016 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට ටෙක්සාස් යනු උග්‍ර රිපබ්ලිකන් ප්‍රාන්තයක් නොවන බවය​.

ටෙක්සාස් ප්‍රාන්තය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් බවට පත් වූයේ 1845 දී ය​. 1848 සිට එරට ජනාධිපතිවරණවලට එම ප්‍රාන්තය සම්බන්ධ වී ඇත​. (1864 සහ 1868 හැර​). 1976 දක්වා ඉන් බොහෝ තරඟවලදී ඩිමොක්‍රටික් පක්ෂය එම ප්‍රාන්තය ජයගත්තේය​. නමුත් දේශපාලන වෙනස්වීම් සමඟම එය රිපබ්ලිකන් පක්ෂය වෙත නැඹුරු වූයේය​.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය වක්‍ර මැතිවරණයකි. එනම්, මෙහිදී ජනාධිපතිවරයා කෙලින්ම තෝරාගනු නොලැබේ. ඒ වෙනුවට තෝරාගනු ලබන්නේ ඡන්ද විද්‍යාලයක් (Electoral College) සඳහා නියෝජිතයන් හෙවත් වරකයින් පිරිසකි. ජනාධිපතිවරයා තෝරාගන්නේ ඔවුන් විසිනි. ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රාන්තවල වගකීමක් සේම, ඡන්ද විද්‍යාලය සඳහා නියෝජිතයින් පත් කිරීමද එම ප්‍රාන්තවල නීති රීති අනුව සිදුවේ. මේ අනුව, නීත්‍යානුකූලව යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කරන්නේ ජනපතිවරණ දිනයෙන් ටික කලකට පසුව වුවද, ප්‍රායෝගිකව ජයග්‍රාහී අපේක්ෂකයා කවරෙක්ද යන්න ප්‍රතිපල නිකුත් වූ විට දැනගත හැකි වේ.

ඡන්ද විද්‍යාලයේ සාමාජික සංඛ්‍යාව 538 කි. මින් 535 දෙනෙක් කොන්ග්‍රස් මණ්ඩලයේ සිටින නියෝජිතයන් 535 වෙනුවෙනි. මීට අමතරව කොලොම්බියා දිස්ත්‍රික්කය සඳහාද නියෝජිතයින් 3 දෙනෙකු වෙන් කොට ඇත.. යම් ප්‍රාන්තයකින් කොන්ග්‍රස් මණ්ඩලයේ සෙනට් සභාවට නියෝජිතයින් දෙදෙනෙකුත්, පහල මන්ත්‍රී මණ්ඩලයට යම් කිසි නියෝජිතයින් ගණනකුත් යවන බව ඔබ අසා ඇතැයි සිතමි. ඡන්ද විද්‍යාලයටද එම ප්‍රාන්තයෙන් ඊට සමාන නියෝජිත පිරිසක් යවනු ලැබේ. උදාහරණයක් ලෙස කැලිෆෝර්නියාව සලකමු. එය නියෝජනය කරමින් සෙනට් සභිකයින් දෙදෙනෙකුද, පහල මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින් 53 දෙනෙකුද දැනට වෙති. මේ අනුව, ජනාධිපතිවරණ ඡන්ද විද්‍යාලය සඳහා 55 දෙනෙක් එම ප්‍රාන්තයෙන් තෝරාගනු ඇත. ඇලස්කාවේ සෙනට් සභිකයින් දෙදෙනාට අමතරව පහල මන්ත්‍රී මණ්ඩලයේ එක නියෝජිතයෙක් පමණක් සිටී. එබැවින් එම ප්‍රාන්තයෙන් ඡන්ද විද්‍යාලයට තෝරා ගන්නේ නියෝජිතයින් 3 දෙනෙකු පමණි.

ඇමරිකාවේ ප්‍රාන්ත 50 සහ කොලොම්බියා දිස්ත්‍රික්කය මගින් මෙසේ ඡන්ද විද්‍යාලයට නියෝජිතයෝ පත් කෙරෙති. මෙයින් ප්‍රාන්ත දෙකකදී හැර අන් සියලු ප්‍රාන්තවලදී සිදු වන්නේ එම ප්‍රාන්තය තුල වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්ද විද්‍යාලය සඳහා නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව ලැබීමයි. උදාහරණයක් වශයෙන් කැලිෆෝර්නියාව තුල වැඩිම ඡන්ද ප්‍රමාණය දිනුවේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ පක්ෂය විසින් එම ප්‍රාන්තයේ වරකයින් 55 දෙනා තෝරාගනු ඇත. මෙම ක්‍රමය හේතුවෙන් මුළු රටේම වැඩි ඡන්ද ලැබූ අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි වූ අවස්ථා පවා පැන නැගී ඇත. අවසන් වතාවට එවැනි සිදුවීමක් වූයේ 2000 වසරේදීය.

වර්තමානයේ ටෙක්සාස් ප්‍රාන්තය ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ වැදගත් ප්‍රාන්තයකි. එරට ඡන්ද විද්‍යාලයේ සාමාජිකයන් 538 න් 38 දෙනකුම පත් කෙරෙන්නේ එම ප්‍රාන්තයෙනි. මෙයට වඩා වැඩි පිරිසක් පත් වන්නේ කැලිෆෝර්නියාවෙන් පමණි.

ටෙක්සාස් හි ට්‍රම්ප් පසු බෑමට බලපෑ කරුණු අතර එහි විශාල ලැටීනෝ ජනතාවක් (ස්පාඤ්ඤ ඇමරිකානුවන් හෙවත් හිස්පැනික් ඇමරිකානුවන්) පිරිසක් සිටීම සහ සෙනට් සභික ටෙඩ් කෲස් ට්‍රම්ප්ට සහය නොදීම වැදගත් වේ. රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී ටෙඩ් කෲස් ප්‍රසිද්ධියේම සිය අප්‍රසාදය ට්‍රම්ප් වෙත පළ කළේ ය​.

එමෙන්ම පසුගිය​ මැතිවරණ කිහිපයකදීම දකින්නට ලැබුණ පොදු කරුණක් නම් ස්පාඤ්ඤ ඇමරිකානුවන් විශාල පිරිසක් රිපබ්ලිකන් පක්ෂයට සහය නොදෙන බවය​. 2008 ඡන්දයේදී මුළු ඡන්ද දායකයින්ගෙන් 9%ක් වූ ඔවුන්ගෙන් 67%ක් ඔබාමා වෙත ඡන්දය දුන් අතර 2012 මුළු ඡන්ද දායකයින්ගෙන් 10% ක් වූ ඔවුන්ගෙන් 71% ක් ඔබාමාට ඡන්දය දුන්හ. ලැටීනෝ ඡන්ද දායකයෝ 2012 ඡන්දයේදී ප්‍රාන්ත කිහිපයකදීම ඔබාමාට ජයග්‍රහණය ගෙන දීමට උපකාර කළහ.

මෙක්සිකෝව පිළිබඳ සහ සංක්‍රමණික ලැටීනෝ ජාතිකයන් පිළිබඳ ට්‍රම්ප් දැක්වූ අතිශය වර්ගවාදී මතය හේතුවෙන් වෙනදාටත් වඩා ලැටීනෝ ජාතිකයෝ රිපබ්ලිකන් පක්ෂයට සහය නොදෙන තත්ත්වයක් මතුව ඇත​. ටෙක්සාස් ප්‍රාන්තයේදී මෙය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ එහි ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ලැටීනෝවරුන් වන බැවිනි.

මෙම හේතුව නිසා ටෙක්සාස් ප්‍රාන්තය මෙන්ම තවත් ප්‍රාන්ත කිහිපයකදී ට්‍රම්ප්ට අවාසි සහගත තත්ත්වයන් මතුව ඇත​. ටෙක්සාස් ප්‍රාන්තය ජය ගත්තද ජනාධිපතිවරණය ජය ගැනීම ඔහුට අපහසු බව මේ වනවිට පෙනී ගොස් ඇත​. ටෙක්සාස් ප්‍රාන්තය ද යම් අයුරකින් හෝ පරාජය වුවහොත් ට්‍රම්ප් අනිවාර්යයෙන්ම පරාජය වනු ඇත​.

ඉරාකයේ ISIS ත්‍රස්තයෝ මෝසුල්වලින් අවධානය ඉවත් කිරීමට තැත් කරති

මෝසුල් නගරයට එල්ලවන ප්‍රහාර හමුවේ ISIS ත්‍රස්තවාදීන් සිය ප්‍රතිවාදීන් ගේ අවධානය වෙනත් ප්‍රදේශ වෙත යොමු කරවීමේ උපක්‍රමයක් දියත් කර තිබේ.

මෙහි එක් පියවරක් වශයෙන් සිකුරාදා පාන්දර කිර්කුක් නගරය වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වූ අතර ඊයේ වනවිටත් එහි සටන් පැවති බව වාර්තා පළ විය​. මේ අතර ඉරිදා (ඔක්. 23) රාත්‍රියේ අන්බාර් ප්‍රාන්තයේ අර් - රුට්බා නගරයට ත්‍රස්තවාදීහු දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ හ​. සින්ජාර් නගරය වෙතද සඳුදා දිනයේ විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය​.
Pic AFP

අර් - රුට්බා නගරයේ රැඳී සිටියේ ඉරාක දේශසීමා ආරක්ෂක භටයින් පිරිසක් සහ සුන්නි ගෝත්‍රික මිලීෂියා භටයින් පිරිසක් පමණි. ඉරාක රජයේ හමුදා විශාල වශයෙන් මෝසුල් මෙහෙයුම වෙනුවෙන් යොදාගෙන ඇති හෙයින් අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂක සේනාංකවල ශක්තිය හීන වීම මෙයට හේතුවයි.

අර් - රුට්බා නගරයෙන් සියයට අසූවක පමණ වපසරියක් ත්‍රස්තවාදීන් අතට පත් වූ නමුදු සඳුදා සවස වනවිට ඉන් ඇතැම් ප්‍රදේශ යළි රජයේ හමුදා අතට පත්ව තිබුණි.
අර් - රුට්බා නගරයේ පිහිටීම​

මේ අතර මෝසුල් ප්‍රදේශයේ මෙහෙයුම් ඉතා සාර්ථකව සිදු කෙරෙන බව ඉරාක අගමැති හයිදර් අල් - අබාදි සඳුදා සවස ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය​. මේ අතර තුර්කි හමුදා මෝසුල් සටන සඳහා සම් බන් ධ වී ඇති බවට එම රට විසින් කරන ලද ප්‍රකාශය අබාදි විසින් ප්‍රතික්ෂේප කෙරිණ​.

"මෙම මෙහෙයුම සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැගීම තනිකරම ඉරාකය විසින් කරන්නකි. විදෙස් භටයින් සටන් බිමේ සටන් කරන්නේ නැත​" යනුවෙන් ඔහු කියා සිටියේය​.

ඇමරිකානු විශේෂ බලකා සෙබලුන් ටික දෙනකු උපදේශනය සහ වෙනත් සහායක කටයුතු සඳහා යෙදවී සිටියද ඔවුන් සටන් බිමට යැවූ බවක් වාර්තා නොවේ.

තුර්කිය සඳහන් කරන්නේ සිය ගුවන් හමුදා ඉරාකය තුළ සටන් වදින බවය​.

මෝසුල් දෙසට ගමන් කරන කුර්දි හමුදා බශිකා නගරය අල්ලාගත් බව ඊයේ වාර්තා වූ නමුත් එම නගරය වටලනු ලැබ ඇති බව පසුව ලැබුණ වාර්තා කියා සිටියේය​. මේ අතර හම්දානියා ප්‍රදේශයේ බලය තහවුරු කරගත් ඉරාක හමුදා මේ වනවිට බසයියා ප්‍රදේශයට පහර දෙමින් සිටිති.

Monday, October 24, 2016

ලෝක හෙල්ල විසි කිරීමේ ශූර ජුලියස් යෙගෝ රිය අනතුරකට ලක් වේ

ස්වෝත්සාහයෙන්ම හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩාව පුහුණු වූ කෙන්යාවේ ජුලියස් යෙගෝ පිළිබඳ මීට පෙර අප ඇසි දිසි මානයෙන් ලියවුණ ලිපිය බෙහෙවින් ජනප්‍රිය විය​.

ඊයේ, එනම් ඉරිදා රාත්‍රියේ, කෙන්යාවේ එල්ඩොරෙට් නගරයේදී යෙගෝ රිය අනතුරකට මුහුණ දුන්නේය​. ඔහුගේ නවීන ටොයෝටා ප්‍රාඩෝ රථය අනතුරට ලක්ව දැඩි අලාභහානිවලට ලක් වූයේය​.
PHOTO | WYCLIFF KIPSANG | NATION MEDIA GROUP

අනතුරෙන් පසු මෙඩිහීල් රෝහලට ඇතුලු කරන ලද යෙගෝ ඊයේ රාත්‍රිය පුරා පරීක්ෂණවලට ලක් කරන ලදී. මාධ්‍යවේදීන්ට ඔහු දැකීමට ඉඩ නොදුන් නමුත් යෙගෝ ෆේස්බුක් හරහා පණිවිඩයක් පළ කරමින් තමා යහපත් තත්ත්වයෙන් පසුවන බව කියා සිටියේය​.

ඔහුගේ වාහනයේ ඉදිරිපසට බරපතල හානි සිදුව ඇත​. එය එල්ඩොරෙට් මධ්‍යම පොලිස් ස්ථානය වෙත ගෙන යන ලදුව එහි නවතා තිබේ.

යෙගෝ දැකීමට රෝහල වෙත පැමිණි මීටර 1500 ලෝක ශූර ඇස්බෙල් කිප් රොප්, ඔහු හොඳ තත්ත්වයෙන් පසුවන බව සනාථ කළේය​.

27 හැවිරිදි ජුලියස් යෙගෝ 2015 මළල ක්‍රීඩා ලෝක ශූරතාවයේදී මීටර 92.72 ක දුරක් හෙල්ලය විසි කර රන් පදක්කම දිනා ගත්තේය​. 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී අවසන් තරඟය අතරතුර ආබාධයකට ලක් වූ හෙයින් ඔහුට සියලු විසිකිරීම් අවස්ථා උදා කරගත නොහැකි විය​. එහෙත් ඔහු එම තරඟයෙන් ද රිදී පදක්කම දිනා ගත්තේය​.

Sunday, October 23, 2016

සල්ෆර් ප්‍රහාර මැද මෝසුල් සටන පෙරටම ඇදෙයි

මෝසුල් නගරය දෙසට එල්ලවන හමුදා ප්‍රහාරවලින් ඉරාක බලධාරීන් ගේ අවධානය වෙනතක යොමු කරන අදහසින් ISIS ත්‍රස්තවාදීන් එරට අනෙකුත් ප්‍රදේශවලට පහරදීමට පටන් ගෙන තිබේ.

සිකුරාදා උදෑසන කිර්කුක් නගරයට එල්ල වූ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය මෙයින් පළමු ප්‍රධානම ප්‍රහාරය විය​. මේ අතර අද දිනයේ ද අන්බාර් ප්‍රාන්තයේ, ජෝර්දාන දේශ සීමාව ආසන්නයේ පිහිටි අර් - රුට්බා නගරය වෙත ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා විය​. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තවම දැනගන්නට නැත​.

මේ අතර ත්‍රස්තයින් විසින් මෝසුල් නගරයේ සල්ෆර් (ගෙන්දගම්) කම්හලක් ගිනි තැබීමත් සමඟ එයින් එන විෂ දුමාරය ඉරාක හමුදා සහ ඔවුනගේ සහායක කණ්ඩායම් පීඩාවට පත් කළේය​. මේ හේතුවෙන් මෝසුල් වෙත එල්ලවන ප්‍රහාරය ද අඩපණ විය​. මෙම විෂ දුමට හසුව සිවිල් වැසියන් දෙදෙනකු මිය ගිය බවත් තවත් දහසකට පමණ ප්‍රතිකාර කිරීමට සිදු වූ බවත් ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය​. සෙනසුරාදා උදෑසන වනවිට එම විෂ දුම කයාරා (Qayyara) ගුවන් කඳවුර වෙත පැතිර ගියේ එහි සිටින ඇමරිකානු සෙබලුන් ද පීඩාවට පත් කරමිනි.

කිර්කුක් නගරයට එල්ල වූ ප්‍රහාරය ඉතා ප්‍රබල එකක් වූ අතර එක්තරා අවස්ථාවක ත්‍රස්තවාදීන් ප්‍රකාශ කළේ නගරයේ දිස්ත්‍රික්ක කිහිපයක බලය ඔවුන් අත පවතින බවය​. නමුත් ඔවුන් ප්‍රකාශ කළ තරම් දරුණු ලෙස නගරයේ බලය රජයේ පාලනය අතින් ගිලිහී ගියේ නැත​. කෙසේ නමුත් තව දුරටත් කිර්කුක්වල සටන් පවතින බවට සටන්කාමීහු ප්‍රකාශ කරති.

ISIS ත්‍රස්තවාදීන් තම ජයග්‍රහණ අතිශයෝක්තියෙන් ප්‍රකාශ කිරීමේ නැඹුරුවක් ද මේ දිනවල පෙනී යයි. මීට දින කිහිපයකට පෙර ඔවුන් කියා සිටියේ ඇමරිකානු ජෙට් යානයක් බිම හෙලන ලද බවය​. එහෙත් එය සනාථ කිරීමට සාක්ෂි ඔවුන් ඉදිරිපත් නොකළ අතර වෙනත් අංශයකින් ද ඒ පිළිබඳ තොරතුරු හෙලි නොවීය​.

මේ අතරවාරයේ ඉරාක හමුදා සහ නිනවේ තැනිතලාවේ ආරක්ෂක ඒකකය නම් මිලීෂියා කණ්ඩායම සෙනසුරාදා දිනයේදී හම්දානියා (Hamdaniya) හෙවත් කරාකෝශ් (Qaraqosh) නගරය අල්ලාගත් බව ප්‍රකාශ කෙරිණ​. මෝසුල් නගරයට කිලෝමීටර 20 ක් පමණ ගිණිකොණට වන්නට පිහිටි මෙම නගරය ඉරාකයේ පැවති විශාලම ක්‍රිස්තියානි නගරය ලෙස සැළකිණ​. 2014 දී ත්‍රස්තවාදීන් මෙම ප්‍රදේශය අල්ලා ගනිද්දී මෙහි නගරවාසී ජනයා කුර්දි පාලන ප්‍රදේශ වෙත පළා ගියෝය​.
බාර්ටෙලා නගරයේ පිහිටීම​

මේ අතර ඉරාක හමුදාවේ 16 වන ඩිවිශනය මෝසුල් නගරයට කිලෝ මීටර 20 ක් පමණ උතුරින් වන්නට පිහිටි තෙල් කායිෆ් ප්‍රදේශයට පහර දෙමින් සිටියි. මේ අතර මෝසුල් නගරයෙන් නැගෙනහිර පිහිටි ක්‍රිස්තියානි නගරයක් වූ බාර්ටෙලා නගරය මෑතකදී ත්‍රස්තයින්ට අහිමි වූ අතර බශිකා නම් තවත් නගරයක් කුර්දි පැශ්මර්ගා භටයින් විසින් වටලනු ලැබ අද දිනයේදී අල්ලාගන්නා ලද බව වාර්තා විය​.

මෙම සටන් අතරතුර ෆසිලියා නම් ගම්මානයකදී ISIS 'එමීර්වරයකු' වූ අබු කරාර් නැමැත්තකු මරා දමන ලද බව වාර්තා විය​. ඒ අද උදෑසන ය​.

කාටර් සහ බර්සානි හමුවෙති

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් අද කුර්දි පාලන ප්‍රදේශයේ අගනුවර වන අර්බිල් නගරයේදී ඉරාක කුර්දිස්ථාන ජනාධිපති මසූඩ් බර්සානි හමු විය​. ඊයේ ඔහු බැග්ඩෑඩයේදී ඉරාක අගමැති හයිදර් අල්-අබාදි හමු වූයේය​. කාටර්ගේ මෙම සංචාරය මෝසුල් සටන කෙරෙහි ඇමරිකාව යොමු කරන අවධානය පිළිබඳ සාක් ෂියකි. කෙසේ නමුත් ඇමරිකානුවන්ට අවශ්‍ය වන්නේ ත්‍රස්තයින් ඉරාකයෙන් සිරියාව දෙසට එළවා දැමීම බවට ඇතැම්හු සැක පහළ කරති.

Saturday, October 22, 2016

තායි රජු සහ පණ්ඩුකාභය රජු පිළිබඳ නෙත් FM ලිපියට නොරැවටෙන්න​

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන සම්බන්ධව මගේ බ්ලොග් අඩවිය හරහා කිසිවක් ලිවීම සාමාන්‍යයෙන් මා කරන දෙයක් නොවේ. නමුත් මෙම පුවත දුටු විට මෙහි අසත්‍යතාව පිළිබඳ පාඨකයා දැනුවත් නොකිරීම මගේ වරදක් ලෙස සිතුවෙමි.

නෙත් FM ගොසිප් අඩවිය සාමාන්‍යයෙන් අසත්‍ය කරුණුවලින් ගහන වෙබ් අඩවියක් බව තතු දත්තෝ පවසති. කෙසේ නමුත් එය මනාව පසක් වූ පුවතක් මෑතදී දකින්නට ලැබුණි. එහි මාතෘකාව වූයේ "ශ්‍රී ලංකාවට පැරදී මිය ගිය භූමිබෝල් රජු" යන්නයි.

එම පුවත ඒ ආකාරයෙන් ම පහතින් දැක්වේ.

මෙම පුවතට අනුව ලෝකයේ වැඩිම කළක් රජකම් කර ඇත්තේ ලංකාවේ පණ්ඩුකාභය රජු ය​. භූමිබෝල් අදුල් යාදෙජ් තායි රජු ද එපමණ කළක් රජ කළේය​. මේ අනුව පණ්ඩුකාභය රජු තවමත් ලෝකයේ වැඩිම කළක් රජකම් කළ රජතුමා වේ.

මෙම ලිපිය ලියූ තැනැත්තා කවරකු හෝ වේවා ඔහු අවම වශයෙන් අන්තර්ජාලයෙන් කරුණු සෙවීමටවත් නොදන්නා අයෙකි.

විකිපීඩියා යනු අවිශ්වසනීය මූලාශ්‍රයකි. නමුත් එහි අඩංගු කරුණුවත් පරික්ෂා කළ බලා වෙනත් මූලාශ්‍රවලින් සනාථ කරගත්තේ නම් පහසුවෙන්ම මෙම කරුණෙහි සත්‍යාසත්‍යතාව සොයාගත හැක​.

ලෝකයේ එදා මෙදාතුර ප්‍රකටම රජෙකු වූ ද "රාජ්‍යය නම් මම ය​" යන සුප්‍රකට කියමන හේතුවෙන් ඉතිහාසයට එක්වූ ද ප්‍රංශයේ දහ හතරවන ලුවී රජු 1643 සිට 1715 තෙක් වසර 72 ක් රාජ්‍යයේ කිරුළ දැරීය​. ලෝක ඉතිහාසය පිළිබඳ යම් හෝ දැනුමක් ඇත්තකු මෙය නොදන්නේ නැත​.

ලොව වාර්තාගත දිගුම රාජ්‍ය කාළයක් සහිත රජු ලෙස ඉතිහාසගත වන්නේ ස්වාසිලන්තයේ දෙවන​ සොබූසා රජු ය​. ඔහු 1899 දෙසැම්බර් 10 සිට 1982 අගෝස්තු 21 තෙක් කිරුළ දැරීය​. එමෙන්ම වසර 70 ට වඩා රජකම් කළ, එමෙන්ම රාජ්‍යත්වයට පත්වූ සහ රාජ්‍යත්වය අවසන් වූ දින නිවැරදිව දන්නා 'රජවරුන්' 15 ක් පමණ ඉතිහාසයේ සඳහන් ය​.

පණ්ඩුකාභය රජතුමාගේ නම මේ ලැයිස්තුවේ ඇත්තේවත් නැත​. මක් නිසාද යත් ඔහු රජකමට පත්වූ සහ රාජ්‍යත්වය අවසන් වූ වසර මිස නිවැරදිම දින පිළිබඳ සඳහනක් නොවන බැවිනි.

ලිපිය ලියූ පුද්ගලයා වරද්දාගත් තැන පැහැදිලිය​. භූමිබෝල් රජු මිය ගිය අවස්ථාවේ ලොව වැඩිම කළක් රජකම් කරමින් සිටි රජු මියගිය බව ජනමාධ්‍ය වාර්තා කළේය​. එම පුවත අදාළ වූයේ වර්තමානයේ ලොව සිටින රජවරුන්ට මිස ඉතිහාසයේ එදා මෙදා තුර සිටි සියල්ලන්ටම නොවේ.

කරුණු සොයා බැලීමට දක්වන නොකැමැත්ත හේතුවෙන් සිංහලෙන් කියවන පාඨකයා නොමඟ යැවීමෙන් වළකින මෙන් අදාළ ආයතනයෙන් කරුණාපූර්වකව ඉල්ලා සිටිමි.

Thursday, October 20, 2016

ISIS නායකයන් මෝසුල් හැර යන බව සැක මතුවේ

ඊයේ දිනයේදී, ඉරාකයේ මෝසුල් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම තුන්වන දිනට ක්‍රියාත්මක වද්දී ත්‍රස්තයින් නගරය අවට සිය බලය තහවුරු කරගන්නට වූ අතර ඉරාක හමුදා, කුර්දි පැශ්මර්ගා සේනාංක සහ හශ්ඩ් අල්-ශාබි (මහජන සංවිධාන ඒකක​ - People's Mobilization Unit) ෂියා මිලීශියා භටයින්ට විශාල ජයග්‍රහණ අත් කරගත හැකි නොවීය​.

ISIS ත්‍රස්තයින් මර උගුල්, බිම් බෝම්බ​, ස්නයිපර් වෙඩික්කරුවන්, කාලතුවක්කු ප්‍රහාර සහ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදාගෙන හැකි සෑම අයුරින්ම ප්‍රතිරෝධය පෑම හේතුවෙන් මෝසුල් වෙත යන ගමන අඩාල වී තිබේ.

කෙසේ නමුත්, ළඟ එන සටන හමුවේ ඇතැම් නායකයන් මෝසුල් නගරය හැර යන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එසේ පළායාම වැළැක්වීම සඳහා හශ්ඩ් අල්-ශාබි සේනාංක නගරයෙන් බටහිර ප්‍රදේශ වටලමින් සිටිති. මේ අතර නගරයේ සිටින ත්‍රස්ත සටන්කාමීන් දිනාගැනීමේ මෙහෙයුමක් ද ඉරාක බලධාරීන් අරඹා ඇත​. නායකයන් විසින් ඔවුන් මරු කටේදී අතරමං කරන ලද බව සටන්කාමීන්ට ඒත්තු ගැන්වීම මෙහි අරමුණ වී තිබේ.
හශ්ඩ් අල්-ශාබි සේනාංක නගරයෙන් බටහිර ප්‍රදේශ වටලමින් සිටිති

කුර්දි පැශ්මර්ගා සේනාංක මෙන්ම ෂියා මුස්ලිම් හශ්ඩ් අල්-ශාබි සේනාංක ද මෝසුල් නගරය තුළට ඇතුලු නොවන බවට ප්‍රතිඥාවක් දී තිබේ.

මේ අතර සටන්කාමීන් අතර බොහෝ පිටරැටියන් සිටින බව වාර්තා වේ. මේ හේතුව නිසා ඔවුනට ජනතාව අතර සැඟවීමේ අපහසුවක් ඇති බව විචාරකයින් ගේ මතය යි. එහෙයින්, පළා යාමේ මං ඇහිරුන විට ඔවුන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් දිගටම සටන් කරනු ඇතැයි අනුමාන කළ හැක​. මේ හේතුව නිසා සිවිල් වැසියන් වෙත එන පීඩනය සහ ජීවිත තර්ජනය තවත් ඉහළ ගොස් තිබේ.

නගරය සෑම අතින්ම වටලනු ලැබීම හේතුවෙන් සැපයුම් මාර්ග බිඳ වැටීම නිසා ත්‍රස්තවාදීන්ට අවසානය තෙක් සටන් කිරීම හෝ යටත් වීම හෝ හැර වෙන විකල්පයක් නොවනු ඇත​. පිටතින් එන සටන්කාමී සේනාංක විසින් මෙම වටලෑම බිඳ දමනු ඇතැයි සිතීමට ද අපහසු ය​.

Wednesday, October 19, 2016

ඇමරිකාවේ කොමියුනිස්ට් පක්ෂය තුන්වන අපේක්ෂකයන්ට ඡන්දය නොදෙන ලෙස ඉල්ලයි

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම කොමියුනිස්ට් පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය USA (Communist Party USA) එරට ජනාධිපතිවරණයේදී සිය සහය හිලරි ක්ලින්ටන්ට පළ කළේය​.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති තනතුරට පත් වුවහොත් කම්කරු ව්‍යාපාරය දැඩි සේ පසු බසින බවත් ක්ලින්ටන්ගේ පාලන සමයක් තුළ ඊට වඩා යම් බලාපොරොත්තුවක් කම්කරු ව්‍යාපාරයට ඇති බවත් එම පක්ෂය ප්‍රකාශ කළේය​.

මෙය එතරම් පුදුමයට කරුණක් නොවන්නේ තමන්ගේම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම නැවැත්වූ කළ පටන්ම එම පක්ෂය දිගටම ඩිමොක්‍රටික් අපේක්ෂකයන්ට සිය සහය පළ කළ හෙයිනි.

නමුත් වඩා වැදගත් වන්නේ තෙවන අපේක්ෂකයකුට සහය පළ කිරීම පිළිබඳ කොමියුනිස්ට් පක්ෂය දක්වන අදහසයි. තෙවන අපේක්ෂකයකුට ඡන් දය දීම රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීමක් බව කොමියුනිස්ට් පක්ෂ වෙබ් පුවත් අඩවිය වන 'පීපල්ස් වර්ල්ඩ්' වෙත ලිපියක් ලියන මයිකල් ආර්නි ප්‍රකාශ කළේය​.

ඔහු සඳහන් කරන ආකාරයට හරිත පක්ෂ අපේක්ෂිකා ජිල් ස්ටයින්ට ලබාදෙන ඡන්ද සියල්ලක්ම පාහේ ක්ලින්ටන් ගෙන් කැඩෙන ඡන්ද වනු ඇති අතර එමගින් ට්‍රම්ප්ට වාසිදායක තත්ත්වයක් මතු වනු ඇත​.

කෙසේ වෙතත් ලිබර්ටේරියානු පක්ෂ අපේක්ෂක ගැරී ජොන්සන්ට ලැබෙන ඡන්ද වැඩි ප්‍රමාණයක් රිපබ්ලිකන් පක්ෂ වනු ඇති බව පැහැදිලි ය​. එවන් තත්ත්වයක​, ජොන්සන්ගේ අපේක්ෂකත්වය ක්ලින්ටන්ට අවාසි සහගත වන්නේ කෙසේද යන්න ආර්නි පැහැදිලි නොකරයි.

ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එක් එක් ප්‍රාන්තවල වෙනමම තරඟ ලෙස බව පෙන්වා දෙන ආර්නි, වඩා වැදගත් වන්නේ ඒ ඒ ප්‍රාන්ත ජය ගැනීම බව පෙන්වා දෙයි. මේ අනුව රටේ සමස්ථ ඡන්ද ප්‍රමාණ කෙසේ වෙතත් වැදගත් ප්‍රාන්ත කිහිපයක් ක්ලින්ටන් පරාජය වන්නේ නම් එය ට්‍රම්ප්ට වාසිදායක වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙහිදී මතක් කර දෙන්නේ 2000 වසරේ රැල්ෆ් නේඩර් විසින් ඡන් ද කැඩීමෙන් ඇල් ගෝර් පරාජය වීමට මග පෑදුණේය යන මතයයි.

කෙසේ නමුත් මෙවර ඡන් දයට ඉදිරිපත් ව සිටින තුන්වන අපේක්ෂකයන් වැඩි දෙනෙකු විසින් වැඩි හානියක් සිදු කරනු ඇත්තේ ට්‍රම්ප්ට බව මේ වනවිට පැහැදිලි වී තිබේ.

එහෙයින් කොමියුනිස්ට් පක්ෂය මේ ප්‍රකාශ කරන්නේ හරිත පක්ෂය වඩා හොඳින් ඡන්ද ලබාගනු ඇතැයි අපේක්ෂිත ප්‍රාන්ත පිළිබඳව බව පැහැදිලිය​.

තුන්වන අපේක්ෂකයන් පිළිබඳ ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී වැඩි අවධානයක් යොමු වීමට හේතුව වන්නේ ට්‍රම්ප් සහ ක්ලින්ටන් යන දෙදෙනාටම අකමැති අති විශාල පිරිස් ඒ ඒ පක්ෂය තුළම සිටීම සහ ඔවුන් දෙදෙනා පිළිබඳවම එතරම් යහපත් ප්‍රතිරූපයක් සමාජයෙහි නොමැති වීම නිසා ය​.

කොමියුනිස්ට් පක්ෂය USA, ඇමරිකා එක්සත් ජනපදයේ දැනට පවතින පැරණිම කොමියුනිස්ට් පක්ෂය වන අතර සාමාජිකයන් 2000 ක් පමණ එහි වෙතැයි සැළකේ. 1984 න් පසු එය ජනාධිපති තරඟවලට ඉදිරිපත්ව නැත​.

මෝසුල් සටනේ දෙවන දිනය අවසානයේ කුර්දි හමුදා ඉදිරි ගමන නවතයි

ඉරාකයේ මෝසුල් නගරය අල්ලා ගැනීම සඳහා ඔක්තෝබර් 17 වනදා හිමිදිරියේ ඇරඹුන හමුදා මෙහෙයුම ඊයේ දෙවන දිනට ද ක්‍රියාත්මක විය​. ඉරාක හමුදා, කුර්දි පැශ්මර්ගා සේනාංක සහ ශියා මිලීෂියා කණ්ඩායම් මෙම මෙහෙයුමට දායක වූහ​.

දෙවන දිනයේදී සිය මූලික ඉලක්ක සියල්ල සපුරාගත් පැශ්මර්ගා සේනාංක තව දුරටත් ඉදිරියට ගමන් නොකරන බව සහ ඔවුන් අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කරන බව ප්‍රකාශ කළ හ​. කළක් පසමිතුරන් වූ ඉරාක රජය සහ කුර්දි සටන්කාමීන් මෙසේ පොදු සතුරකුට එරෙහිව එක්වීම ඉතා වැදගත් අවස්ථාවකි. එහෙත් සුන්නි මුස්ලිම් බහුතරයක් සිටින මෝසුල් වෙත සිය හමුදා ඇතුලු නොකරන බව කුර්දි පාලනාධිකාරිය එකඟතාවයක් පළ කර තිබේ.

කෙසේ නමුත් පැශ්මර්ගා සේනාංකවලට සටන්වලින් ගැලවීමේ හැකියාවක් නොමැත​. ත්‍රස්තයින් දිගටම ඔවුනට පහර දෙමින් සිටින අතර ඊයේ දිනය තුළම කුර්දීන් අතට පත් වූ ගම්මාන තුනක් නැවත තමන් අල්ලාගත් බවට ද ඔවුහු නිවේදනය කළහ​. පැශ්මර්ගා භටයින් විශාල පිරිසක් ඔවුන් විසින් ඝාතනය කෙරුණ බවත් ඇබ්‍රම්ස් වර්ගයේ යුධ ටැංකි තුනක් විනාශ කරන ලද බවත් ISIS ත්‍රස්තයෝ ප්‍රකාශ කළහ​. පැශ්මර්ගා සේනාංක මේ පිළිබඳව අදහසක් දක්වා නැත​.

මේ අතර ඉරාක හමුදාවේ 16 වන ඩිවිෂනය සහ හශ්ඩ් අල්-ශාබි (Hashd Al-Sha'abi) ශියා මිලීෂියා භටයින් මෝසුල්වලින් ගිණිකොණදිග ප්‍රදේශයේ ගම්මාන 20 ක් පමණ අල්ලාගෙන ඇත​. කුර්දි හමුදා මේ වනවිට නැවතී සිටින්නේ මෝසුල් නගරයෙන් කිලෝමීටර 15 ක් පමණ නැගෙනහිරට වන්නටය​.

මේ වනවිට මෝසුල් නගරය තුළ ISIS ත්‍රස්ත භටයින් වීථි සංචාරයන් වැඩි කර ඇත​. ඒ නගරයේ පාලනය තමන් සතු වන බව සිවිල් වැසියන්ට ඒත්තු ගැන්වීම සඳහා ය​. මේ අතර ත්‍රස්තයින්ට එරෙහිව හටගත් කැරැල්ලක් මින් දින කිහිපයකට පෙර මැඩ පවත්වන ලද බව ඇතැම් පුවත් වාර්ථා සඳහන් කළේය​.

ඇමරිකා එක්සත් ජනපදය පවසා සිටියේ ත්‍රස්තයින් සිවිල් වැසියන්ව මිනිස් පළිහක් ලෙස යොදාගන්නා ඇති බව ය​. එමෙන්ම රසායනික අවි ප්‍රහාර පිළිබඳවද පෙන්ටගනය අනතුරු අඟවා තිබේ. ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක ගුවන් හමුදා මෙම සටනට සම්බන්ධ වී සිටින අතර ඇමරිකානු විශේෂ බලකා සෙබලුන් ද ඉරාක හමුදාවන් වෙත සහය දීමට යවා තිබේ.

Monday, October 17, 2016

ISIS ත්‍රස්තයින්ගෙන් මෝසුල් නුවර ගලවා ගැනීමේ මෙහෙයුම ඇරඹේ

ඉරාක හමුදා සහ පැරාමිලිටරි කණ්ඩායම් ISIS ත්‍රස්තයින් සතුව පවතින මෝසුල් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ හ​. අද දින උදෑසන ජාතිය අමතමින් එරට අගමැති හයිදර් අල්-අබාදි මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය​.

"පුරා වසර දෙකක් අපි ISIS සංවිධානය සමඟ සටන් කරන්නෙමු. අප පටන් ගත්තේ බැග්ඩෑඩය අසලිනි. දෙවියන්වහන්සේට ස්තූති වන්නට අප දැන් මෝසුල් අසළටම පැමිණ සිටින්නෙමු. දෙවියන්ගේ කැමැත්ත පරිදි මෙහි අවසන් සටන ළඟදීම වනු ඇත​" ඔහු සඳහන් කළේය​.

මෝසුල් නගරය ඉරාකයේ දෙවන විශාලම නගරය වන අතර 2014 ජූනි මාසයේදී ත්‍රස්තයින් විසින් එය අල්ලාගන්නා විට එහි ජනගහනය මිලියන දෙකක් පමණ විය​. වර්තමානයේ මෝසුල් නුවර ජනගහනය පිළිබඳ හෝ එහි සිටින ත්‍රස්තයින් ගණන පිළිබඳ හරි ඇස්තමේන්තුවක් නොමැත​. එහෙත් අවම වශයෙන් 600,000 ක සිට මිලියන 1.5 ක් දක්වා ජනකායක් නගරය තුළ වසන බව අනුමාන කර ඇති අතර ත්‍රස්තයින් 6,000 ක් පමණ එහි වෙතැයි කියැවේ.

නගරය වටලාගෙන සිටින හමුදා සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම්වල පිරිස් ශක්තිය පිළිබඳවද විවිධ ඇස්තමේන්තු ඇත​. කෙසේ නමුත්, මෙම කණ් ඩායම්වල පිරිස් ශක්තිය 60,000 ක් පමණා වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි. ඉරාක හමුදාවේ 9, 15 සහ 16 වන ඩිවිෂන ද​, කුර්දි 'පැශ්මර්ගා' හමුදා ද​, හෂ්ඩ් අල්-ශාබි සහ නිනවේ තැනිතලාවේ ආරක්ෂක ඒකක (ඇසිරියානු සටන්කාමී සංවිධානයක්) ඇතුලු කණ්ඩායම් මෙම සටනට සම්බන්ධ වන අතර මිත්‍ර හමුදාවල ගුවන් සහයද ඔවුනට ලැබේ.

මේ අතර ඉරිදා දිනයේදී මෝසුල් නගරය වෙත දැනුවත් කිරීමේ පත්‍රිකා ගුවනින් හෙලන ලදී. නගරය ගලවා ගැනීමේ අවසන් මෙහෙයුම් ඇරඹීමට සියල්ල සූදානම් බව එමගින් දන්වන ලදී. ඇමරිකානු සහ අනෙක් මිත්‍ර රටවල ගුවන් හමුදා සිවිල් වැසියන් ඉලක්ක වන සේ ගුවන් ප්‍රහාර එල්ල නොකරන බවට ප්‍රතිඥාවක් දී තිබේ. එහෙයින් ඔවුනට නිවෙස්වලට වී සිටින ලෙස ඉරාක බලධාරීන් විසින් අවවාද කෙරිණ​. කෙසේ නමුත්, සිවිල් වැසියන් නගරයෙන් පළා යාමට ඉඩ ඇති බැවින් විශාල සරණාගත ප්‍රශ්නයක් මතුවිය හැකි බව එක්සත් ජාතීන් ගේ සරණාගතයින් පිළිබඳ මහලේකම් පවසයි.

මේ අතර කුර්දි සේනාංක මෙම සටනට සහභාගී වීම පිළිබඳ තුර්කිය අවදානයෙන් සිටින බව ප්‍රකාශ කර ඇත​. එරට ප්‍රකාශ කරන්නේ උතුරු ඉරාකයේ තුර්කොමන් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් අවධානයෙන් සිටින බව ය​. සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් ගෙන් පහර කනු වෙනුවට ශියා මුස්ලිම් මිලීෂියා කණ්ඩායම්වලින් පහර කෑමට ප්‍රදේශයේ ජනතාවට සිදු වේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව තුර්කිය පවසයි.

සඳුදා හිරු එළිය වැටෙන විට මෝසුල් නගරයට ඊසානදිගින් කුර්දි 'පැශ්මර්ගා' සේනාංක රැස්ව​ සිටිනු දක්නට ලැබුණි. එමෙන්ම අනෙක් ප්‍රදේශවල ද ඉරාක හමුදා සහ අනෙකුත් සේනාංක නගරය වටලා සිටියි. ඉරිදා රාත්‍රියේ පටන් නගර ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් සටන් වාර්තා විය​.

කෙසේ නමුත් මෝසුල් සඳහා වන සටන සති ගණනක් නොව මාස ගණනක් ඇදෙන සටනක් බව සැකයක් නොමැත​. නගරයක සටන් කිරීමේදී කොටසින් කොටස​, වීථියෙන් වීථිය​, පමණක් නොව ඇතැම්විට ගෙන් ගෙට පවා සටන් කිරීමට සිදු වේ. එහෙයින් මෙම සටන මෙම වසර නිමා වෙද්දීවත් අවසන් නොවන බව සැකයක් නොමැත​. කෙටි කළකින් සටන නිම විය හැකි එකම ක්‍රමය නම් ISIS ත්‍රස්තයින් ඊට පෙර සටන අත හැරීම ය​.

Sunday, October 16, 2016

නියුරම්බර්ග් යුධ අපරාධ නඩු විභාගය

1946 ඔක්තෝබර් 16 වනදා උදෑසන 1.11 ට​, ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ බන්ධනාගාර ක්‍රීඩාගාරයෙහි දොරටුව විවර විය​. එයින් ඇතුලට ගෙන එන ලද හිටපු නට්සි ජර්මන් විදේශ ඇමති ජෝකිම් ෆොන් රීබන්ත්‍රොප්, එහි තනවා තිබූ පෝරකය වෙත රැගෙන යනු ලැබීය​. අලුගෝසුවා ලෙස කටයුතු කළ ඇමරිකානු හමුදා මාස්ටර් සාර්ජන්ට් ජෝන් සී. වුඩ්ස් රීබන්ත්‍රොප්ගේ ගෙල වටා තොණ්ඩුව දැමීය​.

"ඔබට අවසන් වශයෙන් කීමට දෙයක් තිබේ ද​?"

මරණය අභිමුවෙහි ද අධිෂ්ඨාන පූර්ව ස්වරයෙන් ඔහු සිය හඬ අවදි කළේය​. "දෙවියන් වහන්සේ ජර්මනිය ආරක්ෂා කරත්වා!" ඔහු පැවසීය​. "ජර්මන් එක්සත්භාවය සුරක්ෂිත වනු ඇතැයි ද​, නැගෙනහිර සහ බටහිර අතර අවබෝධය වර්ධනය වනු ඇතැයි ද​, ලොවට සාමය උදාවනු ඇතැයි ද මම අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා."

රැස්ව හුන් සියලු දෙන සිය හිස් වැසුම් ඉවත් කළ හ​​. මාස්ටර් සාර්ජන්ට් වුඩ්ස් තොණ්ඩුව සිර කළේය​. අසළ හුන් පූජකයා යාඥා කරද්දී අලුගෝසුවා ලීවරය ඇද්දේය​. හිටපු විදේශ ඇමති කඹය තද වනතුරු පහළට ඇද වැටුණි.

එහෙත් බලාපොරොත්තු වූ පරිදි ගෙල කැඩී යාමෙන් ක්ෂණික මරණයක් රීබන්ත්‍රොප් වෙත ළඟා නොවීය​. ඔහු හුස්ම හිරවී මිය ගියේ විනාඩි දහ හතරක් තිස්සේ වද විඳීමෙන් අනතුරුව ය​.

නියුරම්බර්ග් ප්‍රධාන නඩු විභාගයේ තීන්දු ප්‍රකාරව, එදින මධ්‍යම රාත්‍රිය පසුව පැයකට වඩා තරමක් වෙලා ගතවූ තැන​, ප්‍රබල නට්සීන් දස දෙනෙකු මරණ දඬුවමට යටත් කරන ලද අතර, රීබන්ත්‍රොප්ට පසුව එකිනෙකා බැගින් අනෙක් නට්සීන් ද එල්ලා මරා දමන ලදී. මාස්ටර් සාජන්ට් වුඩ්ස් වසර දහයකට වැඩි පළපුරුද්දක් සහිත හමුදා අලුගෝසුවකු වුවද, මෙහිදී මරණ දඬුවම 'වෘත්තීය මට්ටමෙන්' ක්‍රියාවට නොනැඟින​. රීබන්ත්‍රොප් සහ ෆ්‍රිට්ස් සෞකල් මිය ගියේ විනාඩි 14 බැගින් වද විඳීමෙන් අනතුරුවය​. ෆීල්ඩ් මාර්ශල් විල්හෙල්ම් කීටල් හුස්ම හිරවනතුරු විනාඩි විසි හතරක් දුක් වින්ඳේය​.

නියුරම්බර්ග් නඩු විභාගයේ පසුබිම​

දෙවන ලෝක යුද්ධයේ අවසන් භාගයේදී නට්සි ජර්මන් නායකත්වයට එරෙහිව යුධ අපරාධ නඩු විභාගයක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා වූයේය​. මුලින් බ්‍රිතාන්‍යය, සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම යාන්ත්‍රණයට සම්බන්ධ වුවද පසුව ප්‍රංශය ද ඊට සම්බන්ධ කරගන්නා ලදී. යුද්ධාවසානයෙන් පසු 1945 අගෝස්තුවේදී ප්‍රකාශිත ලන්ඩන් ප්‍රඥප්තිය මගින් මීට නීතිමය රාමුව සකසන ලදී.

මෙම නඩු විභාගය විශේෂිත වූයේ යුධ අපරාධ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් නිර්මාණය කර නඩු විභාගයක් පැවැත්වීම පිළිබඳ මෙය පූර්වාදර්ශයක් සැපයූ හෙයිනි. මෙය යුද්ධ නීතිය සහ අන්තර්ජාතික නීතිය කඩ කිරීමට එරෙහිව පැවැත්වූවක් බැවින් 1939 සැප්තැම්බර් 1 වෙනිදා සහ ඊට පසු සිද්ධීන්වලට පමණක් අදාළ විය​.

මෙම නඩු විභාග පැවැත්වූ නෛතික රාමුව පිළිබඳ ඇතැම් විචාරකයන් අතර මතභේද පවතී. එමෙන්ම ප්‍රධාන විත්තිකරුවන් සම්බන්ධව අවසන් තීන් දුව කුමක් වන්නේද යන්න පිළිබඳ විශේෂ සැකයකුදු නොවීය​. නමුත් මෙම නඩු විභාගයට පක්ෂව දැක්වුන විශේෂ කරුණක් වූයේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි පාලනය යටතේ සිදුවූ අපරාධ පිළිබඳ විවෘත අධිකරණයකදී කරුණු හෙළි කරගැනීම අවස්ථාව උදා වීම ය​.

ස්ථානය​

නඩු විභාගය සඳහා නියුරම්බර්ග් යොදාගැනීම සංකේතාත්මකව වැදගත් වූයේ ය​. මක් නිසාද යත් නට්සි පක්ෂය හෙවත් ජර්මන් ජාතික සමාජවාදී පක්ෂය වර්ධනය වන සමයේදී සහ බලය ලබාගැනීමෙන් පසු මුල් වසරවල පක්ෂ සම්මේලන පවත්වන ලද්දේ එම නගරයේ වීමය​. නමුත් ඇතැම්විට නියුරම්බර්ග් නගරය තෝරා ගැනීමට ඊට වඩා බලපාන්නට ඇත්තේ එම නගරයේ අධිකරණ ශාලාව හෙවත් යුක්තියේ මන්දිරය (Palace of Justice) යුද්ධයෙන් විනාශ නොවූ, එමෙන්ම ඇති තරම් ඉඩ පහසුකම් ඇති, ගොඩනැගිල්ලක් වීමය​.

විනිසුරු මඩුල්ල​


විනිශ්චයකරුවන් සහ අභිචෝදකයින්

නියුරම්බර්ග් නඩු විභාගය මෙහෙයවන ලද්දේ බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය විසිනි. මේ එක් රටකින් විනිසුරෙකු, සහය විනිසුරකු සහ අභිචෝදකයකු බැගින් නම් කරන ලදී. සෝවියට් දේශයෙන් ප්‍රධාන විනිසුරුවරයා ලෙස නම් කරන ලද මේජර් ජෙනරල් ඉයෝනා නිකිට්චෙන්කෝ මෙයින් ආන්දෝලනාත්මක අයකු වූයේ ය​. 1930 දශකයේ සෝවියට් නායක ස්ටාලින්ගේ විරුද්ධවාදීන් ගණනාවකට එරෙහිව පැවැත්වූ ව්‍යාජ නඩු විභාගවල විනිසුරකු ලෙස ඔහු කටයුතු කර තිබුණි.

අධිචෝදනා ගොනු කිරීම​

නියුරම්බර්ග් ප්‍රධාන නඩු විභාගයේදී විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව චෝදනා හතරක් යටතේ අධිචෝදනා ගොනු කරන ලදී. මෙම ඇතැම් විත්තිකරුවන් එම චෝදනා හතරටම ලක් වූ අතර ඇතැම් විත්තිකරුවන් චෝදනා කිහිපයකට පමණක් මුහුණ දුන් හ​. විත්තිකරුවන් 24 දෙනා අතර ප්‍රබල නට්සි පක්ෂ සාමාජිකයන්, නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටිනු දක් නා ලදී.

මෙම විත්තිකරුවන්ට එල්ලවූ චෝදනා වූයේ,

1. සාමයට එරෙහි අපරාධ සිදු කිරීම සඳහා පොදු සැලසුමකට හෝ කුමන්ත්‍රණයකට සම්බන්ධ වීම​

2. ආක්‍රමණික යුද්ධ සහ අනෙකුත් සාමයට එරෙහි අපරාධ සැලසුම් කිරීම​, ක්‍රියාවට නැගීම සහ ඉදිරියට ගෙන යාම​

3. යුධ අපරාධ​

4. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ​

විත්තිකරුවන්

නියුරම්බර්ග් ප්‍රධාන නඩු විභාගයේ විත්තිකරුවන් 24 දෙනා පහත දැක්වේ (ඉංග්‍රීසි අකාරාදී පිළිවෙල අනුව වාසගම සැළකීමෙන් පෙළ ගස්වා ඇත).

විත්තිකරුවන්


01. මාර්ටින් බෝර්මන්

බෝර්මන්, රුඩොල්ෆ් හෙස්ට පසු නට්සි පක්ෂ ලේකම් විය​. ජර්මන් රජයේ ප්‍රධාන තනතුරක් නොදැරුවද පක්ෂයේ තමන් දැරූ ඉහළ තනතුර හේතුවෙන් රජයේ ප්‍රබලයකු විය​. හිට්ලර් සියදිවි නසාගත් බව කියන දිනවල ඔහුගේ බංකරයේ දිවි ගෙවූ එවකට 45 හැවිරිදි වූ බෝර්මන් ඉන්පසු අතුරුදහන් විය​. ඔහු බංකරයෙන් පළා යාමට උත්සාහ කළ අතර සෝවියට් හමුදා අතට හසු වීමට පෙර සිය දිවි හානි කරගත් බව සැළකේ. නමුත් ඔහුගේ සිරුර සොයාගෙන එය ඔහුගේම බව තහවුරු කරගත්තේ 1972 දී ය​. නියුරම්බර්ග් නඩුවේදී ඔහු නොමැතිව නඩු අසන ලදී. ඔහුට එරෙහිව පළමු, තෙවන සහ සිව්වන චෝදනා ගොනු කරන ලද අතර තෙවන සහ සිව් වන චෝදනාවලට වරදකරු ව මරණ දඬුවම නියම විය​.

02. කාල් ඩෝනිට්ස්

අද්මිරාල් කාල් ඩෝනිට්ස් සුවිශේෂී පුද්ගලයකු විය​. ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර්ට 2012 දී දඬුවම් පමුණවන තුරු, ඩෝනිට්ස්, යුධ අපරාධ අධිකරණයකින් දඬුවම් නියම වූ ලොව එකම හිටපු රාජ්‍ය නායකයා විය​. 1891 උපන් ඩෝනිට්ස් 1943 දී ජර්මන් නාවික හමුදාපති බවට පත් වූ අතර සීමාරහිත සබ්මැරීන ව්‍යාපාරය මෙහෙයවීය​. හිට්ලර් මිය ගිය පසු රාජ්‍ය නායකයා බවට ඔහු පත් කරන ලදී. නමුත් දින කිහිපයකින් ඔහු මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වූයේය​. පළමු චෝදනා තුන ඔහුට එරෙහිව එල්ල වූ අතර දෙවන හා තෙවන චෝදනාවලට වරදකරු ව වසර දහයක සිර දඬුවමක් ලබාදෙන ලදී.

03. හාන්ස් ෆ්‍රෑන්ක්

1900 මැයි මස උපන් ෆ්‍රෑන්ක්, බෝර්මන්ට වඩා මාසයක් පමණක් වැඩිමහලු විය​. නට්සි ජර්මන් නීති ප්‍රධානියා වූ හෙතෙම මහා පෝලන්ත ප්‍රාන්තයේ අග්‍රාණ් ඩුකාරයා විය​. පළමු, තෙවන සහ සිව් වන චෝදනාවලට ලක්ව පළමුවැන්නෙන් පමණක් නිදහස් විය​. මරණ දඬුවම නියම කරන ලදී.

04. විල්හෙල්ම් ෆ්‍රික්

නට්සි රජයේ අභ්‍යන්තර කටයුතු ඇමති ලෙස 1933-43 සමයේ කටයුතු කළ මොහු ඉනික්බිතිව බොහිමියා-මොරේවියාවේ රයිෂ් ආරක්ෂකයා හෙවත් ආණ්ඩුකාරයා විය​. 1935 නියුරම් බර්ග් වර්ග නීතිය සැකසීමට දායක විය​. සියලු චෝදනාවලට ලක් වූ ඔහු පළමු චෝදනාවෙන් පමණක් නිදහස් ව මරණ දඬුවමට යටත් විය​.

05. හාන්ස් ෆ්‍රිට්ෂේ

යුද්ධාවසාන කාළය වනවිට නට්සි ප්‍රචාරක අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියකු වූ ඔහු ගුවන්විදුලි නිවේදකයකු හා ජනමාධ්‍යවේදියෙකු විය​. පළමු චෝදනා තුනට ලක් වුවද ඔහු නිදොස් බව තීරණය විය​.

06. වෝල්තර් ෆන්ක්

නට්සි ආර්ථික කටයුතු ඇමති සහ රයිෂ් බැංකුවේ (මහ බැංකුවේ) ප්‍රධානී ද වූ මොහු චෝදනා සියල්ලටම මුහුණ දී පළමු චෝදනාවෙන් පමණක් නිදහස් විය​. ජීවිතාන්තය තෙක් සිරගත කෙරුණ ද 1957 දී අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත නිදහස් කෙරිණ​.

07 හර්මන් ගෝරිං

රයිෂ්මාර්ශල් ගෝරිං ලුෆ්ට්වෆේ හෙවත් ජර්මන් ගුවන් හමුදාවේ ප්‍රධානියා වූ අතර 1933 සිට රටේ විවිධ තනතුරු දැරීය​. නියුරම් බර්ග් ප්‍රධාන නඩුවේ චූදිතයන් අතර ඉහළම නිලධාරියා විය​. සියලු චෝදනාවලට වරදකරු ව මරණ දඬුවමට යටත් කරන ලද අතර තමන්ව එල්ලා මරනු වෙනුවට වෙඩි තබා මරා දමන ලෙස ඉල්ලා සිටියේය​. එම ඉල්ලීම ඉවත දමන ලදී. එහෙත් ඔහු එල්ලා මරනු නොලැබිණ​. මරණ දඬුවම ක්‍රියාත්මක වීමට පෙර රාත්‍රියේ ඔහු දිවි නසාගත්තේය​.

08. රුඩොල්ෆ් හෙස්

හිට්ලර් 'මගේ හටන' ලියද්දී ඔහුගේ ලේකම් වූ හෙස් අනෙක් ප්‍රකට චරිත අතර අප්‍රකට අයකු විය​. එහෙත් නිල බලයෙන් ඔහු හිට්ලර්ගේ දෙවැනියා වූ අතර 1941 දී අභිරහස් ලෙස තනිව පැදවූ ගුවන් යානයකින් ස්කොට්ලන්තයට ළඟා විය​. එහිදී ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. සියලු චෝදනාවලට ලක්ව පළමු දෙකට පමණක් වැරදිකරු වූ හෙස් ජීවිතාන්තය තෙක් සිර කරන ලදී.

09. ඇල්ෆ්‍රඩ් ජෝඩ්ල්

ජර්මන් ආරක් ෂක හමුදාවල ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයේ (OKW) දෙවැන්නා විය​. සියලු චෝදනාවලට වරදකරුව මරණ දඬුවම ලබා දෙන ලදී.

10. අර්න්ස්ට් කල්තෙන්බ්‍රනර්

නට්සි එස්. එස්. බලකායේ ප්‍රධාන නිලධාරියකු විය​. පළමු, තෙවන සහ සිව් වන චෝදනාවලට ලක්ව පළමුවැන්නෙන් නිදහස් විය​. අනෙක් දෙකට වරදකරු ව මරණ දඬුවම පනවන ලදී.

11. විල්හෙල්ම් කීටල්

ජර්මන් ආරක්ෂක හමුදාවල ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ කීටල් උපන්නේ 1882 දී ය​. හිට්ලර්ට දැක්වූ දැඩි පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රකට ය​. සියලු චෝදනාවලට වරදකරුව මරණ දඬුවම නියම කෙරිණ​.

12. ගුස්ටාෆ් කෘප් ෆොන් බෝලෙන් උන්ඩ් හැල්බැක්

1941 සිට පාර්ශික ඔත්පල තත්ත්වයෙන් සිටි ගුස්ටාෆ් කෘප් ෆොන් බෝලෙන් උන්ඩ් හැල්බැක් කළක් කෘප් සමාගමේ ප්‍රධානියා විය​. ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ වැරදීමකිනි. සත්‍ය වශයෙන්ම චෝදනා ගොනුවිය යුතු වූයේ ඔහුගේ පුත් ඇල්ෆ්‍රඩ් කෘප්ට එරෙහිවය​. අධිචෝදකයන් ඇල්ෆ්‍රඩ්ට එරෙහිව චෝදනා යළි ගොනු කිරීමට අවසර පැතුවද විනිසුරු මඩුල්ල එම අවසර ලබා නොදුනි. යුධ සිරකරුවන් වහලුන් ලෙස සේවයට යොදාගැනීමේ චෝදනාව මෙම නඩුවට කෘප් ඇතුලත් වීමේ හේතුව විය​. දෙවන​, තෙවන සහ සිව්වන චෝදනා ගොනු කරන ලදී.

13. රොබර්ට් ලේ

ජර්මන් කම්කරු පෙරමුණේ ප්‍රධානියා වූ ලේ 1945 ඔක්තෝබර 25 වනදා දිවි නසාගත්තේය​. සියලු චෝදනා යටතේ අධිචෝදනා ගොනු කෙරුණ අතර වරදකරු හෝ නිවරදකරු හෝ ලෙස තීන්දු නොකෙරුණි.

14. කොන්ස්ටන්ටින් ෆොන් නියුරාත්

1933-38 සමයේ නට්සි විදේශ ඇමති වූ නියුරාත් 1941-43 සමයේ බොහීමියා-මොරේවියාවේ ආණ්ඩුකාරයා වූයේය​. සියලු චෝදනා සඳහා වරදකරු ව වසර 15 කට සිරගත කෙරුණි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් 1954 දී නිදහස ලැබීය​.

15. ෆ්‍රාන්ස් ෆොන් පැපන්

නට්සි පාක්ෂිකයකු නොවීය​. 1932 දී ජර්මන් චාන්සලර් වූ හෙතෙම හිට්ලර් බලයට ගෙන ඒමේ වැදගත් කාර් යයක් කළේය​. 1934 වනතුරු හිට්ලර්ගේ උප චාන්සලර් විය​. පසුව තානාපති සේවයට පත් කෙරුණි. පළමු චෝදනා දෙක පමණක් එල්ල වූ අතර ඉන් ද නිදහස ලැබීය​.

16. එරික් රේඩර්

මහා අද්මිරාල් එරික් රේඩර් 1928-43 සමයේ නාවික හමුදාපති වූ අතර නියුරම්බර්ග් ප්‍රධාන නඩුවේ පළමු චෝදනා තුන ඔහුට එරෙහිව එල්ල විය​. එම චෝදනා තුනටම වදරකරුව ජීවිතාන්තය තෙක් සිරගත කෙරුණ රේඩර් 1955 දී අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත නිදහස් කෙරුණි.

17. ජෝකිම් ෆොන් රීබන්ත්‍රොප්

සියලු චෝදනාවලට අධි චෝදනා ගොනු කරනු ලදුව වරදකරු විය​. මරණ දඬුවමට යටත් කෙරුණි. විදේශ ඇමති (1938-45)

18. ඇල්ෆ්‍රඩ් රොසෙන්බර්ග්

නට්සි ජර්මන් න්‍යායාචාර්යවරයා වූ ඔහු නට්සි වර්ගවාදී දර්ශනය නිර්මාණය කිරීමේ ප්‍රමුඛයකු විය​. කෙසේ නමුත් ඔහු ජර්මනියේ උපන්නෙකු නොවේ. ඔහු උපන්නේ වත්මන් එස්තෝනියාවේ අගනුවර වන ටලින් නගරයේදී ය​. සියලු චෝදනාවලට වරදකරු ව එල්ලා මරා දැමීමට නියම විය​.

19. ෆ්‍රිට්ස් සෞකල්

නට්සි පක්ෂයේ තුරින්ගියාවේ නායකයා ලෙස 1927 - 45 සමයේ කටයුතු කළ සෞකල් වහල් කම්කරු ශ්‍රමික වැඩපිළිවෙලේ ප්‍රධානියා විය​. සියලු චෝදනාවලට අධි චෝදනා ගොනු කරනු ලැබ තෙවන සහ සිව් වන චෝදනාවලට වරදකරු විය​. මරණ දඬුවමට යටත් විය​.

20. හල්මාර් ශාෂ්ට්

යුද්ධයට පෙර දෙවරක් (එක් වරක් හිට්ලර් යටතේ) මහ බැංකු අධිපති වූ ආචාර්ය ශාෂ්ට් පසුව හිට්ලර්ගේ උදහසට ලක්ව සිරගත කරන ලදී. ඔහු නියුරම්බර්ග් නඩුවේ චූදිතයකු ලෙස නම් කිරීම ආන්දෝලනාත්මක තීරණයක් විය​. පළමු චෝදනා දෙක යටතේ අධි චෝදනා ගොනු කළ නමුත් ඔහුව නිදොස් කර නිදහස් කරන ලදී.

21. බල්දූර් ෆොන් ෂිරාක්

හිට්ලර් යෞවන ව්‍යාපාරයේ නායකයා සහ වියානාවේ නට්සි පක්ෂ නායකයා විය​. පළමු සහ සිව්වන චෝදනාවලට ලක්ව සිව් වැනි චෝදනාවෙන් වරදකරු ව වසර 20 කට සිරගත කෙරුණි.

22. ආතර් සෙයිස්-ඉන්කාර්ට්

ඔස්ට්‍රියානු නට්සි නායකයා වූ සෙයිස්-ඉන්කාර්ට් ජර්මනිය විසින් ඔස්ට්‍රියාව ඈඳා ගැනීමට පෙර දින දෙකක් එරට චාන්සලර් විය​. පසුව නෙදර්ලන්තයේ නට්සි කොමිසාර් ලෙස කටයුතු කළ ඔහු හිට්ලර් මියගිය බව පැවසෙන අප්‍රේල් 30 වනදාට පසු බිහිවූ ඩෝනිට්ස්ගේ රජයේ විදේශ ඇමති බවට පත් විය​. චෝදනා සියල්ලටම ලක්වූ ඔහු ඉන් පළමුවැන්නෙන් පමණක් නිදොස් කරනු ලැබ මරණ දඬුවමට යටත් කෙරුණි.

23. ඇල්බර්ට් ස්පියර්

හිට්ලර්ගේ ප්‍රියතම ගෘහනිර්මාණ ශිල්පියා වූ ස්පියර් 1942 පටන් යුධ ආයුධ පිළිබඳ ඇමති විය​. එම තනතුරෙහි කාර්යක්ෂමව කටයුතු කළ බව සාමාන්‍ය පිළිගැනීම වේ. සියලු චෝදනා යටතේ අධි චෝදනා ගොනු කරනු ලැබූ අතර තෙවන සහ සිව්වන චෝදනා යටතේ වරදකරු කරන ලදුව වසර 20 කට සිරගත කරන ලදී.

24. ජුලියස් ස්ට්‍රෙයිෂර්

ෆ්‍රැන්කෝනියාවේ නට්සි පක්ෂ නායකයා විය​. 1923 සිට 1945 දක්වා පළවූ යුදෙව් විරෝධී ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක් වූ 'ඩෙයර් ස්ටර්මර්' (පහරදෙන්නා) ප්‍රකාශනයට පත් කළේය​. පළමු සහ සිව් වන චෝදනා යටතේ අධි චෝදනා ගොනු කරන ලදුව සිව් වන චෝදනාවට වරදකරු කර මරණ දඬුවම ලබාදෙන ලදී.

මරණ දඬුවම ක්‍රියාවට නැගීම​

නියුරම් බර්ග් ප්‍රධාන නඩු විභාගයෙන් 12 දෙනෙකුට මරණ දඬුවම ලබාදෙන ලදුව දස දෙනකු එල්ලා මරන ලදී. (බෝර්මන් ආගිය අතක් නොවූ අතර ගෝරිං සිය දිවි නසාගත්තේය​).

රීබන්ත්‍රොප්ගෙන් පටන් ගත් මරණ දඬුවම ක්‍රියාත්මක වීම අවසන් වූයේ සෙයිස්-ඉන්කාර්ට්ගෙනි. සියලු දෙනාට අවසන් ප්‍රකාශයක් කිරීමේ අවස්ථාව ලැබුණ අතර, තමාට කීමට කිසිවක් නැති බව සඳහන් කළේ එක් අයකු පමණි. පුදුමයකට මෙන්, ඒ අන් කිසිවකු නොව නට්සි න්‍යායාචාර් ය රොසන්බර්ග් ය​.

අන්ත යුදෙව් විරෝධී ජුලියස් ස්ට්‍රෙයිචර් මරණය අබියස "හෙයිල් හිට්ලර්!" යයි ආචාර කළේය​. බෝල්‍ෂෙවික්වරු තොපි සියල්ලන්ම එල්ලා දමාවි යනුවෙන් ඔහු ඊළඟට කියා සිටියේය​.

කැල්තෙන්බ්‍රනර් ප්‍රකාශ කළේ "මම මගේ ජර්මන් ජනතාවට සහ පීතෘභූමියට හද පතුලෙන්ම ආදරය කළා. මගේ රටේ නීති ප්‍රකාරව මගේ වගකීම් ඉටු කළා. මගේ ජනතාව සොල්දාදුවන් නොවන අය විසින් මෙහෙයවීමත් මගේ අනුදැනුමක් නොමැතිව අපරාධ සිදු කරනු ලැබීමත් ගැන මම කණගාටු වෙනවා. මම ගෞරවාන්විතව සටන් කළා. ජර්මනිය - ඔබට වාසනා වේවා" යයි කැල්තන්බ්‍රනර් ප්‍රකාශ කළේය​.

'පෝලන්තයේ මිනීමරුවා' ලෙස විරුද ලැබූ හාන්ස් ෆ්‍රෑන්ක් ඉතා බයාදු, පහත් ස්වරයකින් කතා කළේය​. "මා කරුණාවෙන් බාරගන්නා ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බන් ධනාගාරයේදී මට හොඳින් සැලකීම පිළිබඳ ස්තූතිවන්ත වනවා" යයි කියා සිටියේය​.

අවසන් වශයෙන් එල්ලා මරන ලද සෙයිස්-ඉන්කාර්ට් "මා ජර්මනිය විශ්වාස කරනවා" යයි කියා සිටියේය​.

එල්ලා මරන ලද නට්සි නායකයන් ගේ සිරුරු ආදාහනය කර මියුනික් හිදී ඉසාර් ගඟට අලු විසි කරන ලද බව සඳහන් ය​​.

Saturday, October 15, 2016

ඇමරිකානු ජනාධිපතිවරණයේදී බර්නි සැන්ඩර්ස්ට ඡන්ද රැසක් ලැබෙන ලකුණු

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට ඇත්තේ තවත් සති කිහිපයක් පමණි. මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමේ වැඩි ඉඩක් ඇතැයි දිස් වේ. එනමුත් මෙවර ජනාධිපතිවරණය මෑත ඉතිහාසයේ අන් කිසිදු ජනාධිපතිවරණයකදී නුදුටු ලෙස ඇමරිකානු සමාජය බෙදීමකට ලක් කර ඇත​.

ප්‍රධාන පක්ෂ දෙක තුලින්ම ඒ ඒ පක්ෂයේ අපේක්ෂකයාට එරෙහි විශාල කණ්ඩායම් දිස් වේ. රිබබ්ලිකන් නායකත්වයෙන් බහුතරය ට්‍රම්ප්ට සහය නොදක්වන අතර ඇතැමුන් එළිපිටම සිය විරුද්ධත්වය දක්වා ඇත​. අතලොස්සක් ප්‍රබල රිපබ්ලිකානුවන් ක්ලින්ටන්ට ඡන්දය දීම කෙරෙහි පවා අවධානය යොමු කරන බව වාර්තා වේ.

කෙසේ නමුත් ක්ලින්ටන් සමඟ ඩිමොක්‍රටික් නාම යෝජනා සඳහා තරඟ කළ බර්නි සැන්ඩර්ස්ට සහය පළ කරන්නන් සමහරෙක් ක්ලින්ටන්ට ඡන්දය නොදෙන්නට ඉඩ ඇතැයි වාර්තා වේ.

මේ අතර සැන්ඩර්ස් වසන ප්‍රාන්තය වන වර්මොන්ට් හි සහ තවත් ප්‍රාන්ත කිහිපයකදී, කුඩා, නමුත් සැළකිය යුතු පිරිසක්, ඔහුට නම ලියා තැබීමෙන් (write-in) ඡන්දය භාවිතා කරනු ඇතැයි අපේක්ෂිත ය​. ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල ඡන්ද දායකයන්ට ඡන්ද පත්‍රිකාවේ නම සඳහන් නොවන පුද්ගලයකුට වුවද නම ලියා තැබීම මගින් ඡන්දය දීමේ හැකියාව ඇත​.

මේ අතරවාරයේ "write in" සහ "write in Bernie" යන වචන ඇතුලත් සෙවුම් පද පසුගිය දිනවල ගූගල් සෙවුම් යන්ත්‍රයේ ජනප්‍රිය වූ බව වාර්තා වේ.

ඇමරිකාවේ එක් එක් ප්‍රාන්තවල ජනාධිපතිවරණ නීති අතර වෙනස්කම් ඇත​. ප්‍රාන්ත හතක ඡන්ද දායකයන්ට තමන් කැමති ඕනෑම අයකුට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දිය හැක​. ඒ සඳහා ඡන්ද දායකයා කළ යුත්තේ අදාල පුද්ගලයාගේ නම ඡන්ද පත්‍රිකාවේ ලිවීමය​. එම ප්‍රාන්ත වන්නේ වර්මොන්ට්, පෙන්සිල්වේනියා, නිව් හැම්ප්‍ෂයර්, නිව් ජර්සි, රෝඩ් අයිලන්ඩ්, අයෝවා සහ ඔරෙගන් ය​.

තවත් ප්‍රාන්ත 34 ක් අපේක්ෂකයාගේ නම ලියා ඡන්දය දීමට ඉඩ දෙන නමුත් එසේ 'නම ලිවීමෙන් ඡන්දය ලබාගැනීමේ අයිතිය​' (Write-in ballot access) එක් එක් අපේක්ෂකයා විසින් දිනාගත යුතු ය​. ඒ සඳහා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට නීති වෙනස් ය​. මේ අතර අනෙක් ප්‍රාන්ත නවයේදී කිසි අයුරකින් නම් ලියා ඡන්දය ලබාදීම ජනාධිපතිවරණයකදී කළ නොහැක​.

සැන්ඩර්ස් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙනගියේ විශාල ව්‍යාපාරවල බලය අඩු කිරීම සහ සුබසාදන කටයුතු නැංවීම ආදී​, වාමාංශික අදහස් මත පදනම්ව ය​. තරුණ පිරිස් අතර සැන්ඩර්ස් විශාල ජනප්‍රියත්වයක් ඉසිලූ බව නොරහසකි.

Friday, October 7, 2016

"උසාවිය නිහඬයි" චිත්‍රපටයට පැනවූ අතුරු තහනම ගැන කරුණු හතරක්

ප්‍රසන්න විතානගේගේ "උසාවිය නිහඬයි" චිත්‍රපටයට එරෙහිව එම චිත්‍රපටයේ නිරූපිත මහේස්ත්‍රාත් වන ලෙනින් රත්නායක කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැනවීය​. එයින් ඔහු සඳහන් කරන්නේ එම චිත්‍රපටයේ අසත්‍ය කරුණු අඩංගු වන බවත්, ඔහුට මෙන්ම අධිකරණයට ද ඉන් අපකීර්තියක් වන බවත් ය​. මෙහිදී දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා නඩුව ඔක්තෝබර් 19 වනදාට කල් දැමීය​.

පළමුව​, මෙය අතුරු තහනම් නියෝගයක් විනා වෙන යමක් නොවේ. යම් කරුණක් අධිකරණයට ඉදිරිපත් වූ විට​, එම අවස්ථාවට ගන්නා නියෝගයක් මිස එය අවසානාත්මක එකක් නොවේ. එවන් නියෝග ඕනෑ තරම් අධිකරණය විසින් ලබා දෙයි. ඒ දෙපාර්ශවයටම ඇහුම්කන් දී අවසන් තීන්දුවක් ගැනීමට පෙර කරන සාමාන්‍ය ක්‍රියාවලියක් බව මගේ දැනීමයි.

දෙවනුව​, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් මින් පෙර "ආදරණීය කතාවක්" පිළිබඳ ලබා දුන් තීන්දුව සහ මෙම අවස්ථාව පටලා නොගත යුතුය​. එවර දුම්වැටි සහ මත්පැන් සම්බන්ධ වූ කරුණක් මත එම පැමිණිල්ල කර තිබුණි. මෙවර නඩුව විභාග වන්නේ දිසා අධිකරණයේ ය​. අනෙක​, කලින් චිත්‍රපටය ප්‍රබන්ධයකි. මෙය වාර්තා චිත්‍රපටයකි.

තෙවැන්න​, අධිකරණය දෙපාර්ශවයේම කරුණු විමසා අවසන් නිගමනය දෙන තුරු අප ඉවසීමෙන් බලා සිටිය යුතුය​.

සිව් වැන්න​, චිත්‍රපටයට නොමිලේ ප්‍රචාරයක් දුන් ලෙනින් රත්නායකට ප්‍රසන්න විතානගේ යටි හිතින් හෝ ස්තූති කරනු නොඅනුමාන ය​. ලෙනින් රත්නායක ප්‍රකාශ කළේ මෙම චිත්‍රපටයෙන් අධිකරණය අපකීර්තියට පත්වන බවයි​. අධිකරණය සත්‍ය ලෙසම අපකීර්තියට පත් කරන්නේ කලාකරුවාද​, අදාළ මහේස්ත්‍රාත් ද යන්න පිළිබඳ විවෘත අධිකරණයේදී මෙන්ම ජනතා අධිකරණයේදී ද තීන්දු වනු ඇත​.

Monday, October 3, 2016

ජර්මනිය නැවත​ එක්සත් කිරීම 1990

දෙවන ලෝක යුද්ධය අවසානයේදී පරාජිත ජර්මනිය මිත්‍ර රටවල හමුදා පාලනයට යටත් විය​. 1939 දී පැවති ජර්මනියෙන් ඇතැම් කොටස් ඉවත් කර පෝලන්තයට සහ සෝවියට් දේශයට ලබාදෙන ලදී. මේ අනුව, අවශේෂ ජර්මනිය​ ඇමරිකා එක්සත් ජනපදය​, සෝවියට් දේශය​, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් අතර බෙදී ගියේ ය​. මේ අතර ජර්මනියේ අගනුවර වූ බර්ලින් නගරය ද වෙනමම කොටස් හතරකට බෙදන ලදී. මේ අතර සාර්ලන්තය වෙනමම එක්සත් ජාතීන් විසින් පාලනය කෙරුණ කොටසක් බවට පත් විය​.

මෙසේ නැගෙනහිර ජර්මනිය සෝවියට් හමුදා පාලනය යටතේ වූ අතර එහි මධ්‍යයේ පිහිටි බර්ලින් නගරයේ බටහිර කොටස ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ පාලනය යටතේ විය​.

යුරෝපයේ මධ්‍යගත පිහිටීම හේතුවෙන් ලෝක දේශපාලනයේ වැදගත් ස්ථානයක් ජර්මනියට හිමි වීම නොවැළැක්විය හැකිය​. මේ හේතුව නිසාම බටහිර රටවල් මෙන්ම සෝවියට් දේශය ද සමස්ථ ජර්මනිය සිය අණසක යටතට ගැනීම හෝ සිය මිතුරකු වීම හෝ බලාපොරොත්තු වූහ​. එහෙයින්, බටහිර රටවලට අවශ්‍ය වූයේ විවෘත ආර්ථිකයට අනුගත වූ ජර්මනියකි. සෝවියට් දේශයට අවශ්‍ය වූයේ සමාජවාදී ජර්මනියකි. මේ හේතුවෙන් දෙපාර්ශවයම ජර්මනිය තුළ වූ තමන් සතු අණසක අහිමි කරගැනීමට අකමැති විය​.

මේ අතරතුර​, මේ අතර, 1946 දී, සියලු ජර්මන් ප්‍රදේශ අතර ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කිරීම සඳහා ඇමරිකානුවන් විසින් යෝජනාවක් ගෙනෙන ලදී. ප්‍රංශය ඊට තදින්ම විරුද්ධ වූයේය​. නැවත වරක් එක්සත් සහ ප්‍රබල ජර්මනියක් බිහිවීම කෙරෙහි ප්‍රංශය දැක්වූයේ ධනාත්මක අදහසක් නොවේ. දෙරට අතර වසර ගණනක් පුරා පැවති එදිරිවාදිකම එයට හේතු විය​. මේ අතර​, බලාපොරොත්තු වූ පරිදිම සෝවියට් දේශය ද ඊට එරෙහි විය​.

මෙහි ප්‍රතිඵලය ලෙස ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය කලාප පමණක් ඇතුලත් ආර්ථික ඒකකයක් බයිසෝනියා (කලාප දෙකේ එකතුව​) ලෙස පිහිටුවා ගනු ලැබුණි.

කෙසේ නමුත් 1948 පෙබරවාරියේදී චෙකොස්ලොවැකියාවේ බලය කොමියුනිස්ට්වාදීන් විසින් අල්ලා ගැනීමත් සමඟ, සෝවියට් කඳවුරෙන් එන තර්ජනය ජර්මන් එක්සත්කම හේතුවෙන් වන තර්ජනයට වඩා බරපතල වන බව නිගමනය කළ ප්‍රංශය ද බයිසෝනියාවට සිය කලාපය එක් කිරීමට කැමැත්ත පළ කළේය​. මේ අනුව ට්‍රයිසෝනියාව (Trizonia) බිහි විය​.

1948 මැද දී ජර්මනියේ බටහිර රටවල පාලනය යටතේ වූ ප්‍රදේශවල ඩොයිෂ් මාක් මුදල හඳුන්වා දෙන ලදී. මෙය බර්ලිනයට හඳුන්වා දීම කෙරෙහි සෝවියට් දේශය විරුද්ධ විය​. එහෙත් බටහිර රටවල් එහි ද ඩොයිෂ් මාක් භාවිතය ඇරඹූ අතර කෙටි කළකින්ම සෝවියට් පාලනය යටතේ වූ බර්ලින් නගර ප්‍රදේශවල ද එය ව්‍යාප්ත විය​. මේ අවස්ථාවේදී සෝවියට් නායක ජෝශප් ස්ටාලින් බටහිර බර්ලිනය තනි කිරීමට තීරණය කළේය​. එමගින් බටහිර රටවල් විසින් බර්ලිනය අතැර දමනු ඇතැයි ස්ටාලින් බලාපොරොත්තු විය​. මේ අනුව බටහිර බර්ලිනයට වන සියලු මාර්ග වසා දමන ලදී.
බර්ලිනයේ ටෙම්ප්ල්හොෆ් ගුවන් තොටුපළට ඇමරිකානු ඩග්ලස් C-54 ස්කයිමාස්ටර් ගුවන් යානයක් ගොඩ බස්වන අවස්ථාවක්. 1948

බටහිර රටවල් ඊට ප්‍රතිචාර දැක්වූයේ ආහාර​, ඉන්ධන ආදී සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් බර්ලිනයට ගොඩ බස්සවමිනි. මෙය ඉතා දැවැන්ත ගුවන් මෙහෙයුමක් වූ අතර එය අති සාර්ථක වූයේය​. 1949 මැයි මාසයේදී සෝවියට් දේශය විසින් බර්ලින් අවහිරතාව ඉවත් කරන ලදී.

එම මාසයේදීම ආර්ථික ඒකාබද්ධතාව දේශපාලන ඒකාබද්ධතාවක් බවට පෙරලමින් බටහිර රටවල පාලනය යටතේ වූ ජර්මානු කලාප තුන එක්ව ජර්මන් ෆෙඩරල් සමූහාණ් ඩුව නම් ස්වාධීන රාජ්‍යය පිහිටවන ලදී. මෙය වඩා ප්‍රකට වූයේ බටහිර ජර්මනිය නමිනි.

එම වසරේම ඔක්තෝබර 7 වනදා සෝවියට් කලාපය ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජය නම් ස්වාධීන රාජ්‍යය පිහිටුවාගනු ලැබුණි. මෙය නැගෙනහිර ජර්මනිය ලෙස වඩා ප්‍රකට වූ අතර නාමමාත්‍රව ස්වාධීන වුවද එය සෝවියට් බලපෑමට යටත් වූයේය​.

බටහිර ජර්මනිය ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ දියුණු වූ අතර නැගෙනහිර ජර්මනිය සමාජවාදී මධ්‍යගත ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගියේය​. නැගෙනහිර ජර්මනියේ දේශපාලන නිදහසක් ද නොවීය​. නරක ජීවන තත්ත්වයට එරෙහිව 1953 ජූනි මාසයේදී ජනතාව පෙළපාලි ගිය නමුත් එම විරෝධතාව ද මඩින​ ලදී. ඇතැම් සෝවියට් ක්‍රමවේදයන් ජර්මනියට අදාළ ද නැද්ද යන වග නොසලකා නැගෙනහිර ජර්මනියේදී ක්‍රියාවට නගනු ලැබුණි. මින් පසු ගතවූ වසර කිහිපයේදී නැගෙනහිර ජර්මන් ජනගහනයෙන් පහෙන් එකක් පමණ බටහිරට සංක්‍රමණය වූහ​. මේ සඳහා ඔවුන් යොදා ගත්තේ බර්ලින් හි වූ විවෘත දේශසීමාව ය​.

බර්ලින් තාප්පය

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නැගෙනහිර ජර්මනිය විසින් බර්ලින් තාප්පය ගොඩ නගන ලදී. ඒ 1961 අගෝස්තු 13 දා ය​. මේ සමඟම නැගෙනහිර ජර්මනි වැසියෝ එහි රජයේ සහ සෝවියට් පාලනාධිකාරියේ සිරකරුවන් බවට පත් වූහ​. කෙසේ නමුත් ඔවුනට බටහිර ජර්මනියේ පුවත් ගලා ඒම නැවතුනේ නැත​. බොහෝ නැගෙනහිර ජර්මානුන්ට බටහිර ජර්මනියේ නෑ හිත මිතුරන් වූ අතර එයින් එන රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රචාරයන් ද නැගෙනහිර ජර්මනියේදී හසු කරගැනීම අපහසු නොවීය​. එහෙයින් බටහිර ලෝකයේ පුවත් නැගෙනහිර ජර්මානුන් ගෙන සැඟවීම අපහසු නොවී ය​.

අනෙක් නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් රාජ්‍යයන්ට සාපේක්ෂව නැගෙනහිර ජර්මානුන් වඩා සැපවත් දිවි පෙවෙතක් ගත කළ නමුත් බටහිර ජර්මනියේ ජීවන තත්ත්වය සමඟ එය සැසඳීම කළ නොහැකි විය​. එමෙන්ම පුද්ගල නිදහස සීමා කිරීම හේතුවෙන් ද නැගෙනහිර ජර්මානු වැසියන් සිය රජය කෙරේ අසතුටින් පසු විය​.

1988 පමණ සිට නැගෙනහිර යුරෝපයේ සිදුවූ විපර්යාසයන් නැගෙනහිර ජර්මනියට ද දැනෙන්නට විය​. හන්ගේරියාව සිය දේශසීමා විවෘත කිරීමෙන් පසුව නැගෙනහිර ජර්මානුන් ද ඒ හරහා බටහිරට ඇදෙන්නට විය​. මේ අතර 1989 ඔක්තෝබරය වනවිට නැගෙනහිර ජර්මනිය පුරා විරෝධතා පෙළපාලි උත්සන්න වූයේය​. 1989 ඔක්තෝබර් 7 වනදා එරට 40 වන ජාතික දිනය සමරන ලද්දේ මෙවන් අස්ථාවර පසුබිමක ය​.
1989 ඔක්තෝබර් 7 වනදා ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 40 වන ජාතික දින ආචාර පෙළපාලිය අවස්ථාව​. එරික් හොනෙකර් (දකුණේ) සහ ගොර්බචොව් (මැද​)

මෙම ජාතික දින උළෙලට සහභාගී වීමට පැමිණි සෝවියට් දේශයේ නායක මිහායිල් ගොර්බචොව් පැහැදිලිව කියා සිටියේ කඩා වැටෙන නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් රජය ආරක්ෂා කිරීම සඳහා සෝවියට් හමුදා මැදිහත් නොවන බවය​. ඉන් දින කිහිපයකට පසු ඔක්තෝබර් 18 වනදා, දැඩි මතධාරී එරික් හොනෙකර් බලයෙන් පහ කළ නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට්වරු ඊගොන් ක්‍රෙන්ස් බලයට පත් කළෝය​. එහෙත් ජනතා උද්ඝෝෂණ අඩුවීමක් නොවීය​.

මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ නොවැම්බර් 9 වනදා බර්ලින් තාප්පය බිඳ වැටීමය​.

නැගෙනහිර ජර්මනියේ අවසානය​

බර්ලින් තාප්පය බිඳ වැටීම නැගෙනහිර ජර්මනියේ අවසානය එක රැයින් ගෙන ආවේ නැත​. එරට නව ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන් අතර 1990 මාර්තු 18 වනදා එරට පවත්වන ලද පළමු සහ එකම නිදහස් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී. මෙහිදී බටහිර ජර්මනිය එවකට පාලනය කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ නැගෙනහිර ජර්මන් ශාඛාව විසින් නායකත්වය දුන් ජර්මනිය සඳහා වන සන් ධානය ආසන 400 න් 192 ක්ම දිනා මැතිවරණය ජය ගත්තේය​. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ආසන 88 ක් දිනාගත් අතර පැරණි කොමියුනිස්ට්වාදීන් නව පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වී ආසන 66 ක් දිනා ගත්තේය​. ඔවුන් ලද ඡන් ද ප්‍රතිශතය සියයට 16.4 ක් විය​. ලෝතාර් ඩි මයිසියර් (Lothar de Maizier) නැගෙනහිර ජර්මනියේ පළමු කොමියුනිස්ට්වාදියකු නොවන අගමැති බවට පත් වූයේය​.

1990 මැයි 18 වනදා අත්සන් කෙරුණ ගිවිසුමකට අනුව දෙරට අතර මූල්‍ය​, ආර්ථික සහ සාමාජීය එකමුතුවක් ඇති කරගන්නා ලදී. මේ අනුව ජූලි 1 වනදා ඩොයිෂ් මාක් මුදල් ඒකකය නැගෙනහිර ජර්මනිය තුළ ද හඳුන්වා දෙනු ලැබීය​. මින් පසු දෙරට අතර දේශපාලන ඒකාබද්ධතාව බිහිවීම පිළිබඳ කිසිදු සැකයක් නොවීය​. 1990 අගෝස්තු 31 වනදා දෙරට එක්සත් වීම පිළිබඳ ගිවිසුම අත්සන් කෙරුණ අතර දෙරටේම පාර්ලිමේන්තු විසින් එය අනුමත කිරීමෙන් පසු ඔක්තෝබර් 3 වනදා දෙරට ඒකාබද්ධ වූ බව ප්‍රකාශ කෙරුණි.

Saturday, October 1, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (හත් වෙනි කොටස​) - සෝවියට් රූකඩය බබ්රක් කර්මාල්

සයවන කොටස​: පන්ජ්ශීර් හි සිංහයා

1979 දෙසැම්බරයේදී හෆිසුල්ලා ආමීන් බලයෙන් පහ කළ සෝවියට්වරුන් බබ්රක් කර්මාල් බලයේ පිහිටවූ බව කළින් සඳහන් කරන ලදී. කර්මාල්ගේ පියා හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ පළාත් ආණ්ඩුකාරවරයකු වූ අතර දුරානි පරපුරට අයත් වූවකු විය​. එහෙයින් රටෙහි සාම්ප්‍රදායික ඇෆ්ඝන් ජාතිකයන්ට අනුව ඔහු පාලක පැලැන්තියක අයකු විය​.

එහෙත් බොහෝ ඇෆ්ඝන්වරුන් ඔහුව සළකන ලද්දේ සෝවියට් රූකඩයක් ලෙසිනි.

1929 දී උපන් කර්මාල් තරුණ වියේදී සමාජවාදී දේශපාලනය කෙරෙහි නැඹුරු විය​. ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (PDPA) ආරම්භක සාමාජිකයකු වූ ඔහු 1965 දී ඇෆ්ඝන් පාර්ලිමේන්තුවට තේරී පත්විය​. 1973 දී එය විසිරුවා හරින තුරු හෙතෙම එහි නියෝජිතයකු විය​.

මේ අතර PDPA පක්ෂය දෙකඩ වූ විට එහි වඩා මධ්‍යස්ථ පර්චම් (ධජය​) පිළෙහි නායකයා වූ කර්මාල් 1978 සවුර් විප්ලවයෙන් පසු කෙටි කළක් ඇෆ්ඝනිස්ථාන උප ජනාධිපති ධූරය ද දැරීය​. නමුත් පසුව ඛල්ක් පිළ පක්ෂයේ බලය තහවුරු කරගත් විට ඔහුව චෙකොස්ලොවැකියාවේ ඇෆ්ඝන් තානාපති ලෙස පිටත් කරන ලදී.

ඇතැම් වාර්තා අනුව ඔහු සෝවියට් කේ.ජී.බී. ඔත්තු සේවය වෙනුවෙන් සේවය කළ අතර කේ.ජී.බී ඒජන්තයකු ලෙස ඔහු කටයුතු කිරීම ඇරඹූයේ චෙකොස්ලොවැකියාවේ සිටි සමයේදී ය​.

1979 දෙසැම්බරයේ සෝවියට් ආක්‍රමණයෙන් පසු කර්මාල් ජනාධිපති ධූරයට පත් කරන ලදී. වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සුක වූ හෙතෙම කොමියුනිස්ට්වාදීන් නොවන්නන් ද සිය රජය තුළට එක් කරගැනීමේ උත්සාහයක් දැරීය​. දේශපාලන සිර කරුවන් නිදහස් කිරීම​, මූලික අයිතිවාසිකම් මාලාවක් හඳුන්වා දීම සහ ජාතික ධජය වෙනස් කිරීම ඔහු දුන් මුල් පොරොන්දු අතර විය​. 1978 සවුර් විප්ලවයෙන් පසු ඇෆ්ඝනිස්ථානයට සෝවියට් ධජය සිහි ගැන්වෙන ආකාරයේ රක්ත වර්ණ ධජයක් හඳුන්වා දී තිබුණි. කර්මාල් යළිත් සාම්ප්‍රදායික කලු, රතු සහ කොළ වර්ණයන් සහිත ධජයක් හඳුන්වා දුන්නේය​.

කර්මාල්ගේ මුල් කාළයේදී ආගමික නිදහස ද යම් තරමකට ස්ථාපිත කරන ලද අතර මූලික අයිතිවාසිකම් මාලාව ද හඳුන්වා දෙන ලදී. එහෙත් ඒවා කෙතරම් හොඳින් ක්‍රියාවට නැගුණි ද යන්න වෙනමම ප්‍රශ්නයකි.

සවුර් විප්ලවයෙන් පසු ක්‍රියාවට නැගුණ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කළ කර්මාල් ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද වඩා මධ්‍යස්ථ වන ලෙස 'ප්‍රතිසංස්කරණය' කළේ ය​. තවද තරාකි සහ ආමීන් යටතේ පන්ති සතුරන් ලෙස හැඳින්වූ පිරිස් සමහරක් සමඟ සංහිඳියාවක් ගොඩ නැගීම කෙරෙහි කර්මාල් අවධානය යොමු කළේය​. ඔහු මේ සඳහා ජාතික පීතෘභූමි පෙරමුණ නමින් බහුජන සංවිධානයක් ද ගොඩ නැගීය​.

කෙසේ නමුත් මෙය පක්ෂය විසින් පාලනය කෙරුණ පෙරමුණකට වඩා වැඩි යමක් නොවූ අතර බලාපොරොත්තු වූ පරිදි වෙනත් කණ් ඩායම් ඒ වටා ඒකරාශී නොවීය​. සෝවියට් හමුදා ආගමනය සහ කොමියුනිස්ට් පාලනය තම සාම්ප්‍රදායික දිවි පෙවෙතට තර්ජනයක් බවත්, සෝවියට් හමුදාවල ආගමනය ආක්‍රමණයක් බවත්, කර්මාල් රූකඩයක් පමණක් බවත් ඇෆ්ඝන්වරුන් වැඩිදෙනා විශ්වාස කිරීම ඊට හේතු විය​.

මේ අතර 1981 වසරේ මුල සිට ඇමරිකා එක්සත් ජනපදයෙන් මුජහිදීන්වරුන්ට ලැබෙන ආධාර තවත් වැඩි කරන ලදී. ඒ 1980 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් රොනල්ඩ් රේගන් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස 1981 ජනවාරියේදී දිවුරුම් දීමත් සමඟය​. මෙම වසරේදීම ඇෆ්ඝන් පාලනය ද සිය යුධ ව්‍යාපාරය තීව්‍ර කළේය​. කේ.ජී.බී. සේවය මත පදනම් වූ රාජ්‍ය බුද්ධි ඒජන්සිය (KHAD) නම් ඔත්තු සේවය මෙහිදී 'අභ්‍යන්තර සතුරන්ට' එරෙහිව ක්‍රියාවට නැගුණ ප්‍රබල ආයතනයක් බවට පත් විය​. රටවැසියන් පිළිබඳ ඔත්තු බැලූ KHAD සංවිධානය පල්ලිවල යාඥා සඳහා සහභාගී වන්නන් පිළිබඳව පවා උනන්දු වූයේය​. විරුද්ධවාදීන් යයි සැළකුණ අය අත් අඩංගුවට ගැනීම​, සිරගත කිරීම​, වද දීම වැනි මර්ධනකාරී පියවර පිළිබඳ එම සංවිධානය ප්‍රකට වූ නමුත් එහි බලපෑම ප්‍රධාන නගරවලින් ඔබ්බට කෙතරම් ව්‍යාප්ත වීද යන්න ගැටලුවකි. KHAD රජයට එල්ල වූ තර්ජන මැඩීමේදී කෙතරම් සාර්ථක වී දැයි කිව නොහැකි නමුත් එහි ප්‍රධානියා වූ මොහොමඩ් නජිබුල්ලාගේ බලය නම් මේ හරහා කෙමෙන් කෙමෙන් වර්ධනය වූ බව පැහැදිලි විය​.

1986 දී සෝවියට් ආධාරයද සහිතව කර්මාල් බලයෙන් පහ කරන්නේ ද නජිබුල්ලා විසිනි. කර්මාල්ගේ බලය අඩු කරමින් සිය බලය ව්‍යාප්ත කිරීමට නජිබුල්ලාට තමන් දැරූ තනතුර වැදගත් වූයේය​.

1985 දී බලයට පැමිණි සෝවියට් නායක මිහායිල් ගොර්බචොව්ට ඇෆ්ඝන් ගැටලුව විසඳාගැනීමට අවශ්‍ය විය​. කර්මාල් ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ මින් පෙරද සළකා බැලෙමින් තිබූ නමුත් ගොර්බචොව්ගේ ආගමනය නව දේශපාලනික වෙනසකට හේතු විය​. 1986 නොවැම්බරයේදී කර්මාල් බලයෙන් ඉවත් කරන ලදී.

බලයෙන් පහ කෙරුණ පසු කර්මාල් ඉතිරි ජීවිත කාළය ගත කළේ රුසියාවේ ය​. 1991 දී කෙටි කළකට ඔහු යළිදු ඇෆ්ගනිස්ථානය වෙත පැමිණියේය​. ඉන්පසු යළි රුසියාවට ගිය හෙතෙම 1996 දෙසැම්බර් 3 වනදා අක්මාවේ පිළිකාවකින් මළේය​.

ජනාධිපති ධූරයට පත් වූ පසු ජනතාව හමුවේ කර්මාල් මුල් වරට පෙනී සිටියේ 1980 ජනවාරි 2 වනදා ය​. "සතුරන් ගෙන් එල්ලවන අභියෝග ඇෆ්ඝන් දේශප්‍රේමීන් විසින් පරාජය කරනු ඇත​" යනුවෙන් කාබුල් නුවරදී එදින ඔහු ජනතාව හමුවේ කියා සිටියේය​. ගැටලුව වූයේ රටවැසියන් බොහෝ දෙනා ඔහුව සැළකූයේ ඇෆ්ඝනිස්ථානයේ සතුරකු ලෙස වීමය​.