Thursday, October 15, 2020

අපේ කාලයේ වීරයෙක්: මිහායිල් ලෙර්මන්තෆ්

මිහායිල් ලෙර්මන්තෆ් 19 වන සියවසෙහි රුසියානු සාහිත්‍යයේ පිබිදීම සංකේතවත් කළ එක් ප්‍රධාන සාහිත්‍යකරුවෙකු ලෙස සැලකෙනවා. වයස අවුරුදු 27ක් පිරෙන්නත් පළමුවෙන් මියගිය ඔහු කවියෙකු ලෙස එම කෙටි කාලය තුළ රුසියාවේ දී දිනාගත් නාමය දෙවෙනි වන්නේ අලෙක්සන්දර් පුෂ්කින්ට පමණයි. ඔහු ලියූ එකම දිගු කතාව වූ "අපේ කාලයේ වීරයෙක්" කෘතිය ද බෙහෙවින් ජනාදරයට පත් වුණා. මීට අමතර ව ලෙර්මන්තෆ් කුසලතාවයෙන් පිරි චිත්‍ර ශිල්පියෙකු ද ලෙස සැලකෙනවා.

රදල පරපුර​

ලෙර්මන්තෆ්ගේ ළමා කාලය නම් එතරම් යහපත් එකක් වූයේ නැහැ. ඊට හේතු වූයේ ඔහුගේ පියා පිළිබඳ මවගේ පවුල දැක්වූ නොකැමැත්ත යි. 1814 ඔක්තෝබර් 15 වන දා උපන් ලෙර්මන්තෆ්ගේ පියා එතරම් මුදල් හදල් නොතිබූ හමුදා නිලධාරියෙකු වුණා. නමුත් ඔහුගේ මව රුසියාවේ ප්‍රධානම රදල පවුලක තැනැත්තියක වුණ අතර ඇගේ මව වංශවත් ස්තලීපින් පවුලෙහි කාන්තාවක වුණා. මේ ස්තලීපින් පවුලේ පසුකාලීනයෙකු වූ පියතෝර් ස්තලීපින් 20 වන සියවස මුල් කාලයේ රුසියාවේ අගමැති ධුරයට ද පත් වුණා.

මිහායිල්ගේ පියා සහ මවගේ පවුල අතර වූ ආරවුල උග්‍ර වූයේ මවගේ අභාවයත් සමග යි. ඔහුගේ මවගේ මරණය සිදුවන විට මිහායිල් ලෙර්මන්තෆ්ගේ වයස අවුරුදු තුනක් වුණා. මේ අවස්ථාවේ ඔහුගේ මිත්තණිය මිහායිල්ගේ භාරකාරත්වය පවරා ගත්තා. ඔහුගේ පියාට ඇය කියා සිටියේ දරුවාගේ භාරකාරත්වය ඉල්ලා සිටියහොත් දරුවාට උරුම දේපළ සඳහා අයිතිය අහෝසි කරන බව යි. මේ අනුව මිහායිල් ලෙර්මන්තෆ්ගේ පියාගෙන් ඔහු උදුරා ගනු ලැබුණා.

තම ඉරණම පිළිබඳ මිහායිල්ගේ පියා බොහෝ සෙයින් ශෝකයට පත් වූ අතර ඔහු 1831 දී මියගියේ මානසික ව කඩා වැටුණ අයෙකු ලෙස යි. සිය පියාගේ ඉරණම, මිහායිල් ලෙර්මන්තෆ් තුළ ද විශාල කම්පනයක් ඇති කළ බව සඳහන්.


ලෙර්මන්තෆ් හැදී වැඩුණේ මොස්කව් නගරය අසල සෙරෙද්නිකෝවෝ මන්දිරයේ යි. මීට වසර ගණනකට පසු අනාගත අගමැති පියතෝර් ස්තලීපින් ද හැදී වැඩුණේ එම මැදුරේ යි. නමුත් ලෙර්මන්තෆ් සිය අනාගත ඥාතියා මෙන් දැඩි මතධාරී රාජාණ්ඩුවාදියෙකු වූයේ නැහැ. ලෙර්මන්තෆ්ට නිවසේ දී ඉගැන්වීම සිදු කෙරුණ අතර ඔහු ප්‍රංශ සහ ජර්මන් භාෂාවන් ද, චිත්‍ර කලාව ද මනා සේ ඉගෙන ගත්තා.

කවියෙකුගේ මරණය​

ලෙර්මන්තෆ්ගේ සෞඛ්‍ය තත්ත්වය නිතර අයහපත් අතට හැරීම හේතුවෙන් ඔහුගේ මිත්තණිය ඔහු ව කොකේසස් ප්‍රදේශයට රැගෙන ගියා. කොකේසස් කඳුකරයේ සුන්දර පරිසරයට ඔහුගේ සිත නිතැතින් ම ඇදී ගියා. ඔහු සුව අතට හැරුණ පසු යළි මොස්කව් වෙත ගොස් එහි දී මොස්කව් සරසවියට ඇතුළු වුණා. නමුත් ඔහුට එහි ඉගෙනීම රුචි වූයේ නැහැ. එයින් නික්මුණු ලෙර්මන්තෆ් සාන්ත පීතර්ස්බුර්ග් නගරය කරා පිටත් වූයේ එහි අශ්වාරෝහක පාසැලට ඇතුල් වීමට යි. නමුත් හමුදා සේවය ද ඔහුට ගැලපුණේ නැහැ. කෙසේ වෙතත් ඔහු එහි දිගටම රැඳෙමින් හමුදා නිලධාරියෙකු ලෙස සුදුසුකම් ලැබුවා. මේ අනුව ඔහු සාන්ත පීතර්ස්බුර්ග් නගරයේ ඉහළ සමාජීය කවයන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබා ගත්තා. මෙකල ඔහු කවි ලිවීමට ද වූ අතර එම සමාජය විසින් ඒවා ඇගයීමට ලක් කළා.

සියල්ල කණපිට පෙරළුණේ 1837 දී යි. එම වසරේ ජනවාරි 27 වන දා මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ද්වන්ද්ව සටනකින් බරපතළ තුවාල ලබා ඉන් දින දෙකකට පසු මරණයට පත් වුණා. පුෂ්කින්ගේ මරණය ලෙර්මන්තෆ් තුළ ඇති කළේ කෝපයක්. ඔහු පුෂ්කින්ගේ මරණය පිළිබඳ රුසියානු රදල සමාජයට චෝදනා කරමින් "කවියෙකුගේ මරණය" නම් කාව්‍ය රචනා කළා.

මෙම කාව්‍ය රදල පන්තියේ කෝපයට හේතු වූ අතර සාර්වරයාගේ අවධානය පවා ඒ වෙත යොමු වුණා. ලෙර්මන්තෆ් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුණා. දෛවයේ සරදමකට මෙන් ඔහුව පිටුවහල් කරන ලද්දේ ඔහු අතිශයින් ම ප්‍රිය කළ කොකේසස් කඳුකරයට යි. ලෙර්මන්තෆ් එහි දී ප්‍රාදේශීය ජනකතා ඇසීමත්, ප්‍රාදේශීය භාෂා ඉගෙනීමත්, කාව්‍ය රචනයත්, චිත්‍ර ශිල්පයත් සිය විනෝදාංශ බවට පත් කරගත්තා.

අපේ කාලයේ වීරයෙක්

මෙම අවස්ථාවේ ලෙර්මන්තෆ්ගේ මිත්තණිය මැදිහත් වී ඔහුට සමාව ලබාගැනීමට සමත් වුණා. නැවත සාන්ත පීතර්ස්බුර්ග් හි සමාජයට එක් වූ ලෙර්මන්තෆ් කවි ලිවීම සහ සාදවලට සහභාගී වීම යළිත් ඇරඹුවා. මෙකල ඔහු සිය පළමු සහ එකම දීර්ඝ කතාව වූ "අපේ කාලයේ වීරයෙක්" ලිවීමට පටන් ගත්තා. මෙම කෘතිය පළ වූයේ 1840 දී යි.

අපේ කාලයේ වීරයෙක් කෘතියෙහි ප්‍රධාන චරිතය වන පෙචෝරින් වටා ගෙතුණු එකිනෙක හා සබැඳි කතා පහක් වනවා. මෙහි පෙචෝරින් සමකාලීන රුසියානු සමාජයේ පරමාදර්ශී චරිතයක් සේ ඇඟවුනත් ඔහු උදාසීන තරුණයෙකු වන අතර ඔහුගේ චරිතය විවිධාකාර පරස්පරතාවයන්ගෙන් යුක්ත යි. රුසියානු උසස් සමාජයේ වූ නිශ්ඵල සහ උදාසීන ජීවන චර්යාව පිළිබඳ විවේචනයක් ලෙස මෙම කෘතිය සැලකිය හැකියි.

අපේ කාලයේ වීරයෙක් කෘතිය රුසියානු ගද්‍ය සාහිත්‍යයේ මූලාරම්භයක් ලෙස මෙන්ම රුසියානු මනෝවිද්‍යාත්මක යථාර්ථවාදයේ මූලාරම්භකයෙකු ලෙස ද සැලකෙනවා.

අපේ කාලයේ වීරයෙක් කෘතිය ලෙර්මන්තෆ් වෙත ඉතා කෙටි කලක් තුළ විශාල ප්‍රසිද්ධියක් අත්කර දීමට සමත් වුණා. නමුත් මෙම ප්‍රසිද්ධිය භුක්ති විඳින්නට ඔහුට ලැබුණේ කෙටි කාලය යි.

කොකේසස් හි අවසන් සමය​​

සාන්ත පීතර්ස්බුර්ග් හි උසස් සමාජයේ කාන්තාවක අරබයා ප්‍රංශ තානාපතියයෙකුගේ පුතෙකු හා ගැටුමක් ඇති කරගත් ලෙර්මන්තෆ් ඔහු හා ද්වන්ද්ව සටනක පැටලුණා. මෙහි අවසානය වූයේ ඔහුව යළි කොකේසස් වෙත පිටුවහල් කිරීම යි.

මෙකල කොකේසස් හි ගෝත්‍රික කණ්ඩායම් සමග රුසියානු හමුදා යුධ වැදී සිටියා. මේ අනුව ලෙර්මන්තෆ් යුධ බිමට යවන ලද අතර එහි දී ඔහු නිර්භීත සටන්කරුවෙකු බව පෙන්වා දුන්නා. නමුත් ඔහුට අවශ්‍ය වූයේ හමුදාවෙන් විශ්‍රාම ගෙන ලේඛන කලාවේ නිරත වීම යි.

මාස දෙකක නිවාඩුවක් ලබාගත් ලෙර්මන්තෆ් සාන්ත පීතර්බුර්ග් වෙත පැමිණ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට අවසර ඉල්ලූ නමුත් එයට සාර්වරයා අකමැත්ත පළ කළා. මේ අතර සටනේ දී නිර්භීතත්වය පිළිබඳ ව ඔහුට පදක්කමක් පිරිනැමීම ද සාර්වරයා ප්‍රතික්ෂේප කළා.

යළි කොකේසස් කරා ගිය ලෙර්මන්තෆ් 1841 දී කොකේසස් කඳු පාමුල පිහිටි ප්‍යාතිගොර්ස්ක් නගරයට පැමිණියා. එහි වන ඖෂධීය ජල උල්පත් හේතුවෙන් මෙම කුඩා නගරය එදා මෙන්ම අදත් ප්‍රසිද්ධියක් උසුලනවා.

මෙහි දී ලෙර්මන්තව්ට ඔහුගේ පැරණි හමුදා මිතුරෙකු මුණ ගැසුණා. නිකොලායි මාර්ටිනොව් නම් වූ මෙම හමුදා නිලධාරියා සහ ඔහු නිතර නගරයේ ආපනශාලාවන් හි කල් ගත කළ අතර එවන් අවස්ථාවල මාර්ටිනොව්, ලෙර්මන්තව්ගේ විහිළු තහළුවලට ලක් වුණා. මෙවන් එක් වතාවක කෝපයට පත් මාර්ටිනොව් ඔහුට ද්වන්ද්ව සටනකට අභියෝග කළා.

1841 ජූලි 27 වන දා ප්‍යාටිගෝර්ස්ක් නගරය අසල මෂුක් කඳු ගැටය පාමුල ස්ථානයක දී මෙම ද්වන්ද්ව සටන පැවතුණා. ලෙර්මන්තව් කලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මාර්ටිනොව්ට ඉලක්ක කර වෙඩි නොතබන බව යි. එහෙත් මාර්ටිනොව් ලෙර්මන්තව්ගේ හදවත ම ඉලක්ක කොට වෙඩි තැබුවා. එම ස්ථානයේ දී ම ලෙර්මන්තව් මරණයට පත් වුණා.

Saturday, October 10, 2020

මර්වාරයේ රජවරුන්ගේ සුසාන භූමිය, මන්දෝර් උද්‍යානය

මන්දෝර් නගරය රාජස්ථානයේ ජෝද්පූර් නගරයෙන් උතුරු දෙසට වන්නට පිහිටා තිබෙන මනරම් උයනකි. ජෝද්පූර් දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 9 ක් පමණ ඈතින් එය පිහිටා තිබේ. 1459 දී රාඕ ජෝදා විසින් ජෝද්පූර් හි මේරංඝර් බලකොටුව ඉදි කරන තුරු මර්වාරයේ අගනුවර වූයේ මන්දෝර් ය. වර්තමානයේ මන්දෝර් වඩාත් ප්‍රකට වන්නේ මර්වාර් රජවරුන්ගේ සොහොන් එහි පිහිටි හෙයිනි. එමෙන්ම එය නගරවාසීන් විවේක සුවයෙන් ගත කිරීමට එන මහජන උද්‍යානයකි.


මන්දෝර් හි ඉතිහාසය ක්‍රි.ව. 6 වන සියවස තරම් ඈතට දිවේ. එකල එය ප්‍රතිහාරවරුන්ගේ වැදගත් බලකොටුවක් විය. අදද දක්නට ලැබෙන මන්දෝර් බලකොටුවේ ඉතිහාසය එකල තරම් දිවෙන බව කියවේ. කෙසේ වෙතත් මන්දෝර් හි එම බලකොටුවේ නටබුන් හැරුණු කල, මර්වාර් සමයට පෙර පුරාවස්තූන් විශාල වශයෙන් ඉතිරි වී නැත. කලින් කලට පැමිණි සතුරු ආක්‍රමණ ඊට හේතු වී යයි සැලකේ.

ප්‍රතිහාරවරුන් අත පැවති මන්දෝරය පසුව නදෝල් හි චෞහාන්වරුන් අතට පත් විය. එයින් අනතුරුව දිල්ලි සුල්තාන් සමයේදී ඉල්තුමිෂ්, ජලාඋද්දීන් ඛිල්ජි සහ ෆිරෝස් ෂා තුග්ලුක් යන සුල්තාන්වරුන්ගේ ප්‍රහාර ඊට එල්ල විය. පසුව එය නැවතත් ප්‍රතිහාර පෙළපතක් අතට පත් වූයේ ය.

මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් මෙම ප්‍රදේශ කරා පැමිණ පැළපදියම් වූ රතෝර්වරුන් සමග මෙම ප්‍රතිහාරවරුන් සන්ධානගත වූහ. ඊට හේතු වූයේ එක්ව නැගෙමින් මුස්ලිම් ආක්‍රමණ පරාජය කිරීමේ අරමුණ ය. රතෝර්වරුන්ගේ රජු වූ රාඕ චුන්දා ප්‍රතිහාර කුමරියක හා විවාහ වූ අතර ඔහුගේ දෑවැද්ද ලෙස මන්දෝරය ලැබුණි.

රාඕ චුන්දා 1424 දී ඝාතනය වූයේ ය. ඔහුගේ පුත්‍රයකු වූ රන්මල් 1428 දී මන්දෝරයේ පාලනයට පත්විය. මෙවාරයේ රාන කුම්භ 1438 දී රන්මල් මරාදමා මන්දෝරය අල්ලාගත්තේ ය.

මර්වාරයේ ශ්‍රේෂ්ඨ පාලකයා සඳහා අවස්ථාව උදා වූයේ මෙහිදී ය. රන්මල්ගේ පුත්‍රයා වූ ජෝදා මර්වාර රජු බවට පත් වූයේ ය. රාඕ ජෝදා පහළොස් වසරක් තිස්සේ මන්දෝරය අල්ලාගැනීමට කල් යල් බැලුවේ ය. ඔහුට ඒ අවස්ථාව උදා වූයේ 1453 දී ය.


කෙසේ වෙතත්, වඩා සුරක්ෂිත බලකොටුවක අවශ්‍යතාව රාඕ ජෝදා වටහාගත්තේ ය. මේරංඝර් බලකොටුව ඉදි කෙරුණේ එව් අනුව ය. 1459 සිට මන්දෝරයට වූ මූලික ස්ථානය අහිමි විය.

කෙසේ වෙතත් සිය මුල් අගනුවර වූ බැවින් මර්වාර් පාලකයෝ සිය සොහොන් ඉදිකළේ මන්දෝරයේ ය. එහෙයින් ශත වර්ෂ කිහිපයක් තිස්සේ බලයට පත් වූ මර්වාර පාලකයන්ගේ සොහොන් මෙහි වේ. මුල් කාලීන සොහොන් එතරම් විශාල නැතත්, පසු කාලීනව විශාල සොහොන් ඉදිකර තිබේ.



මීට අමතරව මන්දෝර් හි ප්‍රකට ස්ථානයක් වන්නේ "වීරවරයින්ගේ ශාලාව" ය. එහි මර්වාර් විරුවන්ගේ ප්‍රතිමා ඉදිකර ඇත. එය මෙන්ම ඊට මදක් ඔබ්බෙන් පිහිටි ජනානා මාළිගය ද ඉදි කර ඇත්තේ රාඕ අජිත් සිං (1707-24) ය. ජනානා මාළිගය අජිත් සිංගේ බිරින්දන්ගේ ගිම්හාන නිවහන ලෙස ඉදි කරන ලදී. වර්තමානයේ රජයේ කෞතුකාගාරය ලෙස එය භාවිතා වේ. මන්දෝර් උද්‍යානයට ඇතුල් වීම නොමිලේ වුව ද මෙම කෞතුකාගාරයට ඇතුල් වීමට ප්‍රවේශපතක් මිලදී ගත යුතු ය.

Friday, October 9, 2020

මේරංඝර් බලකොටුවේ රාජකීය "පාල්කී"

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජෝද්පූර් නගරයේ මේරංඝර් බලකොටුව ඉදිකර තිබේ. ජෝද්පූර් යනු මර්වාර් රාජ්‍යයේ අගනුවර වූ අතර ශතවර්ෂ කිහිපයක් ම එහි මහාරාජාවරුන්ගේ ප්‍රධාන නිවහන වූයේ මේරංඝර් බලකොටුව ය. ඇත්තෙන්ම මේරංඝර් පිළිබඳ වෙනමම විස්තර කළ යුතු ය. එහෙත් අද මා අදහස් කරන්නේ මේරංඝර් බලකොටුවේදී දුටු "පාල්කී" පිළිබඳ කෙටි සටහනක් තැබීමට ය.


"පාල්කී" යනු අප දෝලා යනුවෙන් හඳුන්වන වාහනය යි.  ඇත්තෙන්ම, දෝලා හෝ දෝලි හෝ යනුවෙන් හඳුන්වන්නේ කුඩා පල්කි ය. මේරංඝර් බලකොටුවේ පාල්කී එහි මහාරාජාගේ හෝ රාජකීය කාන්තාවන්ගේ හෝ ගමන් බිමන් සඳහා භාවිතා කෙරිණ. එහෙයින් ඒවාට විශේෂ රාජකීය ගාම්භීරත්වයක් විය.

පාල්කීයක් යනු ලීයෙන් හෝ ලෝහයෙන් තැනූ ආසනයකි. ඇත් දළ, රත්‍රන්, රිදී ආදියෙන් කළ කැටයම් මෙන්ම මැණික් ආදියෙන් ඒවා අලංකාර කෙරිණි. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා වූ පල්කිවල ගමන් ගන්නා අය අසුන් ගන්නා ප්‍රදේශය ආවරණය කර තිබුණි. පාල්කීවල ඇතැම් විට අසුන් පනවා තිබුණි; ඇතැම් විට කුෂන් යොදා තිබුණි. බොහෝවිට, පාල්කීවල ඇතුලත දේව රූප ඇඳ තිබුණේ දිගු ගමනකදී වන්දනාමාන කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ය. පල්කිවල වූ ආවරණ හා ආසන කවර ආදිය වෙනමම කලා නිර්මාණ සේ ගිණිය හැක.


පාල්කීයක් ඔසවාගෙන යාමට එහි සිව් පැත්තෙන්, එක් පසෙකට දෙදෙනා බැගින් අට දෙනෙකු එකවර අවශ්‍ය විය. සාමාන්‍යයෙන් ජෝද්පූර් හි පාල්කීකරුවන් ලෙස සේවය කළ බොහෝ දෙනා නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණියෝ වූහ.

අවශ්‍ය ගමනාන්තයන්ට ළඟා වූ විට, පාල්කීය නැවැත්වීම සඳහා දෙයෝරි (deori) හෙවත් දරිඛානා (darikhana) නමින් හඳුන්වන නැවතීමේ කුටි තිබුණි. එහිදී පල්කිය නවත්වන අතර, රාජකීය පිළිවෙත් ඉටු කිරීමෙන් පසුව පමණක් එහි ගමන් කරන රාජකීයයා පිටතට පැමිණෙන්නේ ය.

මේරංඝර් බලකොටුවට ඇතුල්වන ප්‍රධාන දොරටුවෙන් මදක් ඉදිරියට ගියවිට, ගලින් කළ ගොඩනැගිල්ලක් හමුවේ. එය එහි පාල්කී ඛානා (Palkikhana) ගොඩනැගිල්ල විය. එනම් පුරාණයේ රාජකීයයන්ගේ පල්කි නවත්වා තැබුණේ එහි ය. දැනට එහි පල්කි තැන්පත් කර නැති අතර එම ගොඩනැගිල්ල වෙනත් කටයුතු උදෙසා යොදාගෙන ඇත. මේරංඝර් හිදී පල්කි දැකගත හැක්කේ එහි ඇතුලත ඇති කෞතුකාගාරයේ ය.


මේරංඝර් කෞතුකාගාරය තුළ, අප එහි යන කාලයේ පාල්කී හතක් පමණ විය. ඒ අතර විවෘත පාල්කී කිහිපයක් ද ආවරණය කරන ලද කිහිපයක් ද විය.


එහා මෙහා තල්ලු කළ හැකි පරිදි සැකසූ දොර පියන් යෙදූ, සම්පූර්ණයෙන් ආවරණය කළ පාල්කීයක් ද වූ අතර එහි ඇතුලත දේව රූප ඇඳ ඇති අයුරු විවර කර තිබූ දොර පියන හේතුවෙන් දිස්විය.


19 වන සියවසෙහි තැනූ පාල්කීවල යුරෝපීය සම්ප්‍රදායයන් හි සලකුණු ද දැකිය හැකි ය.



මේ සියළු පාල්කී මර්වාරයේ නිපදවූවන් නොවී ය. ගුජරාතය ආදී පෙදෙස්වල තැනූ පල්කි ද මෙහි විය.


Wednesday, October 7, 2020

ග්‍රීසියේ නට්සි පක්ෂය අපරාධ කල්ලියක් පවත්වාගෙන යාමට වරදකරුවන් වෙයි

ප්‍රකට රැප් ගායකයකුගේ ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වූ ග්‍රීසියේ නට්සිවාදී ගෝල්ඩන් ඩෝන් පක්ෂයේ නායකයා ඇතුළු 68 දෙනෙකුට එරෙහි නඩුවෙහි තීන්දුව අද ලබා දුන්නා. එම ඝාතනය පිළිබඳව සහ අපරාධ කල්ලියක් පවත්වාගෙන යාම පිළිබඳව ආදී චෝදනාවලට ඔවුන් වරදකරුවන් බවයි තීන්දු කෙරුණේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමට පෙර අධිකරණය අසළ විරෝධතාකරුවන් රැසක් එක්ව සිටියා. තීන්දුව ප්‍රකාශ කරද්දී විත්තිකරුවන් 11 දෙනකු අධිකරණයෙහි සිටි බවයි බීබීසී ය වර්තා කළේ.

යුරෝපයේ පසුගිය සමයේ ඇති වූ දේශපාලන හැලහැප්පීම් සමග විවිධ අන්තවාදී සංවිධාන කරළියට පැමිණි බව අප දන්නවා. මේ අතරින් ග්‍රීසියේ ගෝල්ඩන් ඩෝන් (Golden Dawn) සංවිධානය එක්තරා සුවිශේෂී ස්ථානයක් ගන්නව​. ඊට හේතුව නම්, අන්ත දක්ෂිනාංශික සහ ඇතැම් විට නව නට්සිවාදී මූලයක් සහිතව පැමිණ ග්‍රීසියේ තුන්වන විශාලම දේශපාලන පක්ෂය බවට පත් වීමට ඊට හැකි වීම යි.

ඝාතනය කෙරුණ කිල්ලා පී

1980 දී නිකොලස් මිහායිලොලියාකොස් විසින් පිහිටුවන ලද අන්ත දක්ෂිනාංශික සංවිධානයක්, ගෝල්ඩන් ඩෝන් (ස්වර්ණමය අරුණෝදය​) සංවිධානයේ මූලාරම්භකයා ලෙස සැලකෙනවා. ඔහු එම වසරේ දී අන්ත දක්ෂිනාංශික සඟරාවක් ඇරඹූවා. එම සඟරාව වැඩි කලක් පළ වූයේ නැහැ. එමෙන්ම එම සංවිධානය ද එකල එතරම් ජනප්‍රිය වූයේ නැහැ.

ගෝල්ඩන් ඩෝන් සංවිධානය මුලින්ම කරළියට පැමිණියේ යුගෝස්ලවියාව බිඳ වැටෙන අවස්ථාවේ මතු වූ මැසඩෝනියාවේ නම පිළිබඳ වූ ප්‍රශ්නය ද සමග යි. මැසඩෝනියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ එහි නාමය පිළිබඳ ගැටුමක් එරට සහ ග්‍රීසිය අතර ඇති වුණා. එම ගැටුම අවසානයක් කරා පැමිණියේ ද 2019 වසරේ දී යි.

මුල් කාලයේ කුඩා සංවිධානයක් වූ මෙය විරුද්ධවාදී කණ්ඩායම් සමග ගැටුම් ඇති කරගන්නා පිරිසකට වඩා වැඩි යමක් වූයේ නැහැ. ඔවුන් 1994 දී පළමු වරට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණා. ඒ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යි. මුල් උත්සාහයන්ගෙන් පසු ඔවුන් කලක් මැතිවරණ සඳහා තනිව සහභාගී වූයේ නැහැ. කෙසේ වෙතත් බොහෝ කලක් යනතුරු ඔවුන් ඉතා කුඩා සංවිධානයක් ලෙස පැවතුණ අතර සියයට එකක තරම්වත් ඡන්ද ලබාගැනීමේ හැකියාවක් ඔවුනට තිබුණේ නැහැ.

ගෝල්ඩන් ඩෝන් කණ්ඩායමේ ජනප්‍රියත්වය ඉහළ ගියේ 2010 පමණ සිට යි. ඊට හේතු වූයේ ග්‍රීසිය මුහුණ දෙමින් සිටි ආර්ථික අවපාතය යි. ලෝක ආර්ථික අවපාතය බරපතල ලෙස බලපෑ රාජ්‍යයන් අතුරින් එකක් ලෙස ග්‍රීසිය ඉස්මතු වුණා. ඒ සමගම​, සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි වූ ජනතා ප්‍රසාදය පහළ යන්නටත්, ඊට සාපේක්ෂව රැඩිකල් පක්ෂවල ජනප්‍රියත්වය ඉහාළ යන්නටත් පටන් ගත්තා. මෙහිදී පැවති දේශපාලාන තත්ත්වයෙහි වාසිය ලබාගත් පක්ෂ අතර දක්ෂිනාංශික කඳවුරේ ගෝල්ඩන් ඩෝන් සහ වාමාංශික කඳවුරේ සයිරිසා පක්ෂය ප්‍රධාන යි. සයිරිසා යනු වාමාංශික සංවිධාන කිහිපයක් විසින් පිහිටුවාගත් පක්ෂයක් වුණා.

ගෝල්ඩන් ඩෝන් පක්ෂයෙහි ස්ථාවරය විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධී එකක් වුණා. සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ස්වදේශීය ග්‍රීක් ජනයා අසාධාරණයට ලක් වේ ය යන අදහස මත ඔවුන් සිය මැතිවරණ ව්‍යාපාර සහ උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වාගන ගියා. ගෝල්ඩන් ඩෝන් යනු තනිකරම දේශපාලන පක්ෂයක් නොව වීදි සටන්කරුවන් ගෙන් යුත් සංවිධානයක් වූ නිසා, සංක්‍රමණිකයන් වැඩිපුර සිටින ප්‍රදේශයන් හි විවිධ උද්ඝෝෂණ සහ බිය වැද්දීම් ද ඔවුන් විසින් සිදු කළා.

2012 මැයි මාසයේ ග්‍රීක පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ග්‍රීසියේ දේශපාලනය දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. ඊට මූලික හේතුව වූයේ කිසිදු දේශපාලන පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වීම යි. මේ අතර ගෝල්ඩන් ඩෝන් පක්ෂය ආසන 21ක් දිනාගැනීමට සමත් වුණා.

ජූනි මාසයේ දී නැවතත් මැතිවරණයක් පවත්වනු ලැබුණ අතර එහිදී ගෝල්ඩන් ඩෝන් සංවිධානය ආසන 18ක් දිනාගත්තා. මෙසේ ආසන සංඛ්‍යාව ස්වල්පයක් අඩු වුව ද ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය මැයි මාසයේ දී මෙන්ම සියයට 7 සීමාව ආසන්නයේ පැවතුණා.

කිල්ලා පී ඝාතනය​

2013 සැප්තැම්බර් 17 වන දා රාත්‍රියේ ඇතැන්ස් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් ෆැසිස්ට් විරෝධී රැප් ගායන ශිල්පී පැව්ලෝස් ෆිසාස් හෙවත් කිල්ලා පී තුවාල ලබා පසුව මියගියා. මෙම ඝාතනය සිදු කරන ලද්දේ ගෝල්ඩන් ඩෝන් සාමාජිකයකු විසින් බව හෙළි වූ අතර පොලිස් පරීක්ෂණ අතරතුර පක්ෂ නායකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුණා. පසුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු 68 දෙනකුට එරෙහිව සාපරාධී සංවිධානයක් පවත්වාගන යාමේ චෝදනා මත නඩු පවරනු ලැබුණා.

කිල්ලා පී ඝාතනය සහ එයින් පසු සිදු වූ නඩු විභාගය ගෝල්ඩන් ඩෝන් පක්ෂය යම් ප්‍රමාණයකට අඩපණ කිරීමට සමත් වුණා. එහෙත් 2015 දී පැවති ජනවාරි මැතිවරණයේදී ආසන 17ක් ද එම වසරේම සැප්තැම්බර් මැතිවරණයේදී ආසන 18ක් ද දිනාගත් එම පක්ෂය එම අවස්ථා දෙකේ දීම පාර්ලිමේන්තුවේ තුන්වන විශාලම පක්ෂය බවට පත් වුණා. කලින් ග්‍රීසියේ ප්‍රධාන පක්ෂයක් වූ මධ්‍ය වාමාංශික පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක් වීම ගෝල්ඩන් ඩෝන් පක්ෂය තුන්වන තැනට පැමිණීමට එක් හේතුවක් වුණා.

ගෝල්ඩන් ඩෝන් හි අනාගතය

යුරෝපයේ ඇතැම් අන්ත දක්ෂිනාංශික පක්ෂ මෑත කාලයේ දී ඔවුන්ට සාම්ප්‍රදායිකව සහාය දුන් සුළුතරයෙන් පරිබාහිරව වඩා විශාල ජන පදනමකට ආමන්ත්‍රණය කිරීමට සමත්ව තිබෙනවා. එක් අතකින් සංක්‍රමණික ප්‍රශ්නය පෙරට වඩා අර්බුදයක් වී ඇති හෙයින් එම තත්ත්වය ඇති වුණා. එමෙන්ම ඇතැම් පක්ෂ කලින් දැරූ අන්තවාදී ස්ථාවරයන්ගෙන් මඳක් ඉවත්ව වඩා වැඩි පිරිසකට ළඟා වියහැකි මතවාදී ස්ථාවරයන්ට පැමිණීමට කටයුතු කළා.

නමුත් ගෝල්ඩන් ඩෝන් සංවිධානය ඊට වඩා වෙනස් ස්ථාවරයක සිටිනවා. ඔවුන්ගේ ඇතැම් සාමාජිකයන් නට්සිවාදය අගය කරන අතර එම පක්ෂය ද තවමත් සිටින්නේ අන්තවාදී ස්ථාවරයේම යි. මේ හේතුව නිසාවෙන් එම පක්ෂයට තමන් ළඟා වූ ජනප්‍රියත්වයේ සීමාවෙන් ඔබ්බට යාමට අපහසු වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පක්ෂයට තිබෙන අන්තවාදී ජන පදනම සම්පුර්ණයෙන් නැතිවී නැහැ. 2019 යුරෝපා මැතිවරණයේදී ද ඔවුන්ට සියයට පහකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. නඩු තීන්දුවෙන් පසු පක්ෂය තහනම් වනු ඇති නමුත් මේ අන්තවාදීන් වෙනත් දේශපාලන උපක්‍රම සොයා යනු ඇති.

සටහන: මංජුල වෙඩිවර්ධනගේ "පැරිස් වළාකුළු" නවකතාවේ කිල්ලා පී ඝාතනය පිළිබඳ කියැවෙන බව ඒ පොත කියවූ අයට මතක ඇති

රුසියාවේ නායකත්වය දක්වා පුටින් පැමිණි ගමන් මග​

රුසියානු ජාතිකයන් සාමාන්‍යයෙන් උස මහත අය බවයි අප දැක ඇත්තේ. එහෙත්, රුසියාවේ නායකයා, ව්ලදිමීර් පුටින්, ඒ ආකාරයේ අයකු නොවේ. ලෝකයේ ප්‍රධාන පෙළේ නායකයන් අතර වුවද ඔහු එතරම් විශාල ශරීරයක් ඇති අයකු නොවේ. එහෙත් ඔහු ඒ නායකයින් ඕනෑම අයකු හා කරට කර සිටිය හැකි පෞර්ෂයකින් යුතු අයෙක්.

එතරම් උස මහත නැති මේ පුද්ගලයා 1999 දී රුසියාවේ අගමැති බවට පත් වූයේ දේශපාලන තත්ත්වය ඉතාම අස්ථාවර අඩියක පැවති සමයේදී. එකල ඔහු පිළිබඳ විශේෂ විශ්වාසයක් ඇති වූයේ නැහැ. නමුත් කල් යාමේදී ඔහු සිය බලය තහවුරු කරගත්තේ කිසිවකුට ඔහුට අභියෝග කරන්නට ඉඩක් නැති කරමින්.


“මොස්කව් නිහඬයි”

ව්ලදිමීර් පුටින්ගේ ජීවිතය හැඩ ගැස්වීමට හේතුවූ එක් සිද්ධියක් පිළිබඳව බීබීසීයට ලියන ලද ලිපියක ක්‍රිස් බවුල්බි සඳහන් කරනවා.

ඒ 1989 දෙසැම්බර් 5 වනදා. බර්ලින් තාප්පය බිඳ වැටී ගතව තිබුණේ මාසයකටත් අඩු කාලයක්. නැගෙනහිර ජර්මනියේ තිබූ විශාලම නගරයක් වූයේ ඩ්‍රෙස්ඩෙන් නගරයයි. මෙදින එම නගරයේ විරෝධතාකරුවන් පිරිසක් නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය වූ ස්ටාසි ආයතනයේ ඩ්‍රෙස්ඩෙන් නගර මූලස්ථානයට කඩා වැදුණා. කොමියුනිස්ට් පාලනය බිඳ වැටෙමින් තිබූ මේ කාලයේ ස්ටාසි නිලධාරීන්ට කරකියා ගන්නට දෙයක් තිබුණේ නැහැ. ඉතින් විරෝධතාකරුවන් රිසි සේ එම ගොඩනැගිල්ලේ සැරි සැරුවා.

මේ අතර එම පිරිසෙන් කොටසකට අදහසක් පැමිණියා එම වීථියේ විරුද්ධ පස පිහිටා තිබූ සෝවියට් කේජීබී කාර්යාලයට කඩා වදින්නට. මේ අනුව ඔවුන් එම ස්ථානයට යනවිට එහි මුරට සිටි භටයා ගොඩනැගිල්ල තුළට දිව ගියා.

මේ අවස්ථාවේ එක් නිලධාරියකු එතැනට ඇවිත් උද්ඝෝෂකයන් ඇමතුවා. “මේ ගොඩනැගිල්ලට ඇතුළු වන්න එපා! මගේ සගයින් ආයුධ සන්නද්ධවයි ඉන්නේ. ඔවුනට අණ දී තිබෙන්නේ ප්‍රශ්නයක් වුණොත් වෙඩි තබන්නයි” ඔහු කීවා.

උද්ඝෝෂකයන් ආපසු හැරී ගියා.

මෙම නිලධාරියා වුණේ ව්ලදිමීර් පුටින්.

කෙසේ නමුත් තත්ත්වය කෙතරම් බැරෑරුම් ද යන්න පුටින් දැන නොසිටියා නෙවෙයි. ප්‍රදේශයේ සෝවියට් රතු හමුදාවට අයත් යුධ ටැංකි බලකායක් රඳවා තිබුණා. ඔවුන්ගෙන් ආධාර ඉල්ලූ අවස්ථාවේ කේජීබීයට ඔවුන් කියා සිටියේ මොස්කව් නුවරින් අණක් නොමැතිව තමන්ට මැදිහත් විය නොහැකි බවයි.

“මොස්කව් නිහඬයි” ඔවුන් කියා සිටියා.

මේ සමයේ මිහායිල් ගොර්බචොෆ්ගේ සෝවියට් රජය නැගෙනහිර යුරෝපයේ “මිතුරන්” තම කටයුතු තමන්ම බලාගත යුතු බවත්, සෝවියට් දේශය එම රජයන් ආරක්ෂා කිරීමට මැදිහත් නොවන බවත් දන්වා තිබුණා. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂණ ඇති වෙද්දී ගොර්බචොෆ් ඒවා මර්දනයට කටයුතු කළේ නැහැ. එයින් එම උද්ඝෝෂණ ජය ගත් අතර නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් රජයන් කඩා වැටුණා.

කේජීබී නිලධාරියකු වශයෙන් ව්ලදිමීර් පුටින් මේ පිළිබඳව හොඳ අවධානයකින් සිටි බව නොරහසක්. නමුත් සිය රටේ ඇතිවන විපර්යාසයන්ට එරෙහිව සුළු නිලධාරියෙකු ලෙස සටන් කිරීම අපහසු බව ඔහුට තේරුම් යන්නට ඇති.

නිහඬ වූ මොස්කව් නුවර පරිපාලනය යළි ශක්තිමත් කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ ඔහු එහි පාලනය අතට ගත් පසුවයි.

මුල් කාලය

ව්ලදිමීර් පුටින් උපන්නේ 1952 ඔක්තෝබර් 7 වනදා වර්තමානයේ සාන්ත පීටර්ස්බර්ග් නමින් හඳුන්වන ලෙනින්ග්‍රෑඩ්හිදී. ඔහු 1970 දී ලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට බැඳී නීතිය හැදෑරුවා. 1975 දී උපාධිය නිම කළ පුටින් සෝවියට්හි ප්‍රධාන ඔත්තු සේවය වූ කේජීබීයට බැඳුණා. ඔහු ඩ්‍රෙස්ඩෙන් නගරයේ රාජකාරි කළේ 1985 – 1990 සමයේ. ඔහුට මනා ලෙස ජර්මන් භාෂාව හැසිරවිය හැකියි.

පුටින් කේජීබීයෙන් ඉවත් වී එවකට ලෙනින්ග්‍රෑඩ් නගරාධිපති වූ අනතෝලි සොබ්චක් යටතේ සේවය කිරීමට පටන් ගත්තා. ඔහු රැකියාව පටන් ගන්නේ සොබ්චක්ගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයා ලෙස කටයුතු කරමින්. පසුව, 1996 දී සොබ්චක් නැවත නගරාධිපති තරඟයට ඉදිරිපත් ව පරාජය වුණා.

මේ වෙද්දිත් අනිවාර්යයෙන් ම පුටින්ට රජයේ ඉහළ පුද්ගලයන් සමඟ සබඳතා තිබුණා. ඇත්තෙන්ම සොබ්චක්ගේ පරාජය පුටින්ට වෙස්වළාගත් ආශීර්වාදයක් වුණේ ඔහුට මොස්කව් නගරයට යෑමට එයින් මග පෑදුණ නිසයි.

ඔහු එවක ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ කාර්ය මණ්ඩලයේද කලක් කටයුතු කළා. 1998 දී ඔහු එෆ්.එස්.බී ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට පත් කරනු ලැබුවෙ. එෆ්.එස්.බී යනු සෝවියට් සංගමය බිඳ වැටුණ පසු කේජීබීය වෙනුවට ස්ථාපිත කරන ලද ආයතනය යි. ඒ අර්ථයෙන් බැලූ විට පුටින් සිය පැරණි ආයතනයේ ම ප්‍රධානියා බවට පත් වූවා කියාත් සැළකිය හැකියි.

1999 අගෝස්තුවේදී බොරිස් යෙල්ට්සින් ඔහුව සිය අගමැති ලෙස පත් කර ගත්තා.

චෙච්නියාව

පුටින් අගමැති බවට පත් වූයේ රටේ දේශපාලන තත්ත්වය අස්ථාවරව පවතින සමයකයි. යෙල්ට්සින්ගේ ධූර කාලය 1999 දෙසැම්බර් 31 වනදා නිම වීමට නියමිතව තිබුණා. ඔහු රෝගාතුරව සිටි අතර ඔහුගේ රජය ද එතරම් ස්ථාවර වූයේ නැහැ. එම වසරේ මැයි මාසයේදී ද ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. එමෙන්ම අගමැතිවරුන් සහ කැබිනට් ඇමතිවරුන් ද නිතර මාරු කරන්නකු ලෙසත් යෙල්ට්සින් ප්‍රසිද්ධව සිටියා.


එමෙන්ම යෙල්ට්සින් යටතේ රුසියාව අතිශයින් ම නරක අඩියක පැවතුණා. ඇතැම් කාලවල යුධ හමුදාවට මාස ගණන් වැටුප් ගෙවා තිබුණේ නැහැ. යුධ හමුදාවේ නිලධාරීන් අතර සිය දිවි නසාගැනීම් සුලබ වුණා. යුධ හමුදාව කෙතරම් කඩා වැටී තිබුණාද කිවහොත් මිලියනයක පමණ ජනගහනයක් සිටි කුඩා චෙච්නියාවේ බෙදුම්වාදීන්ට එරෙහිව කළ පළමු චෙච්නියා යුද්ධයේදීම රුසියානු හමුදා ලජ්ජා සහගත ලෙස පරාජය වුණා.

මේ තත්ත්වය යටතේ පුටින් අගමැති වීමත් සමඟ ඉස්ලාමික අන්තවාදී චෙච්නියානු බෙදුම්වාදීන් යාබද ඩගෙස්ථානය ආක්‍රමණය කළා. ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මොස්කව් හි අස්ථාවර පාලනය ඔවුන් හමුවේ පසු බසිනු ඇති යන්නයි.

නමුත් එ් වන විට මොස්කව්වල පාලනය ගෙනගියේ නිහඬ අයකු නොවේ. යෙල්ට්සින් රෝගාතුර වීම නිසා දෙවන චෙච්නියානු යුද්ධය තනිකරම පාහේ පුටින්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණා.

මෙම යුද්ධයේදී මුලින්ම රුසියානු හමුදා ඩගෙස්ථානයට කඩා වැදුණ කැරලිකරුවන් එළවා දැම්මා. ඉන්පසු 1999 ඔක්තෝබරයේදී රුසියානු හමුදා චෙච්නියාවට කඩා වැදුණා. ඔවුන් සෙමින්, නමුත් ඉතා සාර්ථකව යුද්ධය කරගෙන ගියා.

පුටින් යටතේ මොස්කව් තව දුරටත් නිහඬ නොවන බව චෙච්නියානු බෙදුම්වාදීන් පමණක් නොව සමස්ථ ලෝකයම දැනගත්තා.

එවක පැවති රුසියානු නීතිය අනුව ජනාධිපතිවරණය පැවැත්වුණේ මැයි මාසයේ. 1999 දෙසැම්බර් 31 වනදා පටන් 2000 මැයි 7 දක්වා පුටින් එරට වැඩබලන ජනාධිපති වුණා. ඒ කාලයේ චෙච්නියානු යුද්ධයේ සාර්ථකත්වය ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට කෙළින් ම බලපෑවා. පළමු වටයේදීම සියයට 53.4 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පුටින් ජනාධිපති ලෙස පත් වුණා.

Thursday, October 1, 2020

ප්‍රංශය සහ ප්‍රංශය අප්‍රිකාවේ ගැටුණ ඩකාර් සටන​

1940 ජූනි මාසයේ ප්‍රංශය යටත් වූ පසු විචි නගරය අගනුවර ලෙස සලකා නව රජයක් එහි ස්ථාපිත කෙරුණා. මෙම "විචි ප්‍රංශය" එකල බොහෝ යටත් විජිත ද පාලනය කළා. ඊට එරෙහිව ජෙනරල් ෂාර්ල් ඩිගෝල්ගේ නිදහස් ප්‍රංශයින් සටන් ඇරඹුවා.

බ්‍රිතාන්‍ය සහ නිදහස් ප්‍රංශ නාවික හමුදා විචි ප්‍රංශයට එරෙහිව දියත් කළ මුල්ම සටන වූයේ සෙනගාලයේ ඩකාර් නගරය අල්ලාගැනීමට කළ සටනයි. මෙම මෙහෙයුම "ඔපරේෂන් මෙනස්" ලෙස හඳුන්වනු ලැබුණා. සැප්තැම්බර් 23 වනදා සටන් ඇරඹුණ අතර මිත්‍ර පාක්ෂික නැව් ඩකාර් වෙත පහර දුන්නා. බ්‍රිතාන්‍ය සේනාංකය අද්මිරාල් ජෝන් කනිංහැම් විසින් මෙහෙයවූ අතර ඩි ගෝල් ප්‍රංශයින්ව මෙහෙයවූවා.

මෙම සටන සඳහා මිත්‍ර පාක්ෂිකයන් වෙනුවෙන් බැට්ල්ෂිප් වර්ගයේ යුධ නෞකා දෙකක්, කෲසර් වර්ගයේ යුධ නැව් පහක්, ඩෙස්ට්‍රෝයර් වර්ගයේ යුධ නැව් දහයක් සහ බ්‍රිතාන්‍යයට අයත් HMS ආර්ක් රෝයල් ගුවන් යානා ගෙනයන නෞකාව සහභාගී වුණා. විචි ප්‍රංශය වෙනුවෙන් බැට්ල්ෂිප් එකක්, කෲසර් දෙකක්, ඩෙස්ට්‍රෝයර් හතරක් සහ සබ්මැරීන තුනක් සම්බන්ධ වූ අතර වෙරළබඩව සවි කර තිබූ කාලතුවක්කු ද ඊට සම්බන්ධ වුණා.

ඩි ගෝල් බලාපොරොත්තු වූයේ ප්‍රංශයින් නිරායාසයෙන් තම පාර්ශවයට එකතු වනු ඇති බවයි. එහෙත් එය සිදුවූයේ නැහැ. දෙපාර්ශවයේ නෞකා සහ විචි කාලතුවක්කු එකිනෙකා වෙත වෙඩි ප්‍රහාර එල්ල කරමින් දිනය පුරා සටන් වැදුණා. නිදහස් ප්‍රංශ හමුදා ගොඩබැස්වීමට කළ ප්‍රයත්නයක් ද අසාර්ථක වුණා.


ඊළඟ දින දෙක පුරාම සටන් සිදුවූ නමුත් මිත්‍ර පාක්ෂිකයන්ට විචි රැකවල් බිඳ දැමීමට නොහැකි වුණා.

සැප්තැම්බර් 25 වනවිට මිත්‍ර හමුදා ප්‍රහාරය අතැර දැමුවා. විචි සේනාංක සිය පළමු ජයග්‍රහණය වාර්තා කළා.

Tuesday, September 29, 2020

2020 ඇමරිකන් ජනාධිපතිවරණයේ පළමු තීරණාත්මක විවාදය

2020 ඇමරිකන් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවස්ථාවකට මේ වනවිට අප එළඹ සිටිනවා. එනම් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර විවාද යි.

මෙවර ජනාධිපතිවරණයේ පළමු විවාදය ඇමරිකාවේ නැගෙනහිර සම්මත වේලාවෙන් සැප්තැම්බර් 29 වනදා රාත්‍රියේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම් එය පවත්වන්නේ සැප්තැම්බර් 30 වනදා උදෑසන 6.30ට යි. විනාඩි 90 ක් මුළුල්ලේ පැවැත්වෙන මේ විවාදය අතරමැදි විරාම රහිතව පැවැත්වෙනු ඇති. ක්ලීව්ලන්ඩ් නගරයේ පවත්වනු ලබන මෙම විවාදය මෙහෙයවන්නේ ෆොක්ස් රූපවාහිනියේ ක්‍රිස් වොලස් විසින්.

පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මෙහිදී අතට අත දෙන්නේ නැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ශාලාව තුල 70 දෙනකු පමණක් සිටිනු ඇති.

තේමා හයක් යටතේ මෙම විවාදය ඇදෙනු ඇති. ඒවා නම්, ට්‍රම්ප් හා බයිඩන්ගේ කාර්යය වාර්තා, ශ්‍රේෂ්ඨාධිකරණය, කෝවිඩ්-19, ආර්ථිකය, ඇමරිකන් නගරවල ජනවර්ග හා ප්‍රචණ්ඩත්වය සහ ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වය යි.


මෙම විවාදය අපේක්ෂකයන් දෙදෙනාටම එක සේ වැදගත් වනු ඇති. දැනට සිදුකළ සියළු ප්‍රධාන ජනමත විමසුම් අනුව බයිඩන් ට්‍රම්ප්ට වඩා පෙරමුණෙහි සිටින අතර තීරණාත්මක ප්‍රාන්තවලින් ද වැඩි ප්‍රමාණයක බයිඩන් ඉදිරියෙන් සිටින බවක් පෙන්නුම් කෙරෙනවා. කෙසේ වෙතත් විවාදයේදී දෙදෙනාගේ හැකියාවන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකියි. විශේෂයෙන්ම 2016 දී රිපබ්ලිකන් නාමයෝජනා තරගයේදී ජෙබ් බුෂ්ගේ ජනාධිපති සිහිනය කුඩුපට්ටම් කළ පරිදි බයිඩන්ට ද පහර දීමට ට්‍රම්ප් බලාපොරොත්තු වේ යයි සිතිය හැකියි.

තරගයේ වැඩි වාසි තවමත් ඇත්තේ බයිඩන් අත හෙයින්, පළමු විවාදය වඩා තීරණාත්මක වන්නේ ට්‍රම්ප්ට බව පැහැදිලි වනවා.

Friday, September 25, 2020

ඔගාඩන් සඳහා ගැටුණ ඉතියෝපියාව සහ සෝමාලියාව​

නිරවි යුධ සමයේ ලෝකයේ විවිධ ස්ථානයන් හි විවිධ අවි ගැටුම් වාර්තා වුණා. මේ අතර රටවල් අභ්‍යන්තරයේ මෙන්ම රටවල් අතර සිදු වූ ගැටුම්වල දී ද නිරවි යුද්ධයේ ප්‍රධාන ප්‍රතිවාදීන් වූ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය එක් එක් පාර්ශවයන්ට උපකාර කරනු දකින්නට ලැබුණා. ඒවා දෙපාර්ශවයේ බල අරගලයෙහි කොටස් ලෙස විද්‍යමාන වුණා.

මෙයින් එක්තරා විශේෂිත යුද්ධයක් ලෙස සැලකිය හැක්කේ ඉතියෝපියාව සහ සෝමාලියාව අතර 1977 දී ඇති වූ ඔගාඩන් යුද්ධය යි. මීට පසුබිම් වන සිද්ධීන්ගේ ඉතිහාසය ඊට දශක කිහිපයක් පසුපසට දිවෙනවා.


සෝමාලි ප්‍රදේශ

නැගෙනහිර අප්‍රිකාවේ, "අප්‍රිකාවේ අඟ​" (Horn of Africa) ප්‍රදේශයේ සෝමාලි ජනතාව ජීවත් වෙනවා. අතීතයේ දී මේ අයගෙන් බොහෝ දෙනෙක් එඬේර ජීවිතයකට හුරු වූ අය වූ අතර අදටත් එවැනි අය එහි වසනවා. 19 වන සියවස අගභාගයේ දී මොවුන් ජීවත් වූ ප්‍රදේශ සමහරක් ඉතාලි, බ්‍රිතාන්‍ය, සහ ප්‍රංශ පාලනයට නතු වුණා. මේ අතර ඉතියෝපියාවට අයත් ඔගාඩන් හි ද ඔවුන් වාසය කළා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව සෝමාලි ජනයා ජීවත් වූ ප්‍රදේශ එක්ව රාජ්‍යයක් නිර්මාණය කළ යුතු ය යන අදහසක් ප්‍රචලිත වුණා. මෙයට "මහා සෝමාලියාව​"යැ යි නම් කරනු ලැබුණා. මහා සෝමාලියාවට විවිධ ප්‍රදේශ පහක් අයත් විය යුතු බවට අදහස් මතු ව තිබුණා. ඒවා නම්,

ඉතාලි සෝමාලිලන්තය​ - මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලිය භාරයේ වූ භාරකාර ප්‍රදේශයක් ලෙස පැවතුණා. වර්තමාන සෝමාලියාවේ විශාල ප්‍රදේශයක් මීට අයත් වෙනවා.

බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය​ - වර්තමාන සෝමාලියාවේ උතුරුදිග ප්‍රදේශය යි.

ප්‍රංශ සෝමාලිලන්තය​ - වර්තමාන ජිබුටි රාජ්‍යය​. 1958 දී පවත්වන ලද ජනමත විචාරණයක් මඟින් දිගටම ප්‍රංශ පාලනයේ සිටීමට තීරණය කළා. නමුත් මෙය ඉතා දූෂිත වූ ජනමත විචාරණයක් බව සඳහන්.

ඊසානදිග පාලන ප්‍රදේශ - බ්‍රිතාන්‍ය නැගෙනහිර අප්‍රිකාවේ ඊසානදිග ප්‍රදේශය යි. මෙහි විශාල ජනතාවක් සෝමාලීන් වූ අතර ඔවුන් නිල නොලත් ජනමත විමසුමකින් සෝමාලියාවට සම්බන්ධ වීමේ කැමැත්ත පළ කොට තිබුණා. නමුත් ඔවුනට එම අවස්ථාව ලබා දුන්නේ නැහැ. වර්තමානයේ එය අයත් වන්නේ කෙන්යාවට ය​.

ඔගාඩන් - දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙය බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ අතර ඔවුන් එය ඉතියෝපියාවට ආපසු පවරා දුන්නා. ඉතියෝපියාව එහි තම පාලනය පිහිටුවන්නට කටයුතු කළා.


නිදහස් සෝමාලියාව

1960 දී සෝමාලි භාරකාර ප්‍රදේශය (පැරණි ඉතාලි සෝමාලිලන්තය) සහ බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය නිදහස ලබා සෝමාලි ජනරජය බිහි වුණා.

1964 දී ඉතියෝපියාව සහ සෝමාලියාව අතර කෙටිකාලීන යුද්ධයක් සිදුවූ අතර එහිදී සෝමාලි හමුදා විසින් ඉතියෝපියානු ප්‍රහාර ව්‍යර්ථ කෙරුණා.

1969 ඔක්තෝබර් 15 වන දා එවකට එහි ජනාධිපති වූ අබ්දිරෂිඩ් අලි ෂර්මාර්කෙ ඝාතනය කෙරුණා. ඉන් දින හයකට පසු එරට හමුදා කුමන්ත්‍රණයක් සිදු වූ අතර මොහොමඩ් සියාද් බාරේ එහි බලය අල්ලාගත්තා.

සියාද් බාරේ පාලනය සෝවියට් දේශයට සමීප වුණ අතර යාබද ඉතියෝපියාව ඇමෙරිකාවට වඩා සමීප වුණා.

ඉතියෝපියාව

මේ වනවිට ඉතියෝපියාව පාලනය කළේ හේල් සිලාසි අධිරාජයා විසින්. ඔහු සාමාන්‍යයෙන් තවත් අයෙකුට කාර්යයන් පැවරීමට අසමත් වූ අයෙකු වුණා. බොහෝ වැදගත් තීරණ ගන්නා ලද්දේ ඔහු ම යි. හේල් සිලාසි ඉතා හොඳ මතක ශක්තියකින් යුක්ත වූවෙකු වූ අතර ඔහුගේ දීර්ඝ පාලන කාලය අවසානය කරා ළඟා වෙද්දී එම මතක ශක්තිය බෙහෙවින් හීන වූ බවක් ද පෙන්නුම් කළා. එහෙයින් රටේ කටයුතු අවුල් වීමට පටන් ගත්තා.

මෙහි ප්‍රතිඵලය වූයේ 1974 දී හමුදා කුමන්ත්‍රණයක් මඟින් අධිරාජයා බලයෙන් පහ කිරීම යි. පසු ව ඔහු ඝාතනය කරනු ලැබුණා. නව රජය "ඩර්ග්" යන නමින් හැඳින්වූ හමුදා කමිටුවක් වූ අතර එහි නායකයා වූයේ මෙන්ගිස්ටු හේල් මාරියම්. නව පාලනය වෙත සෝවියට් දේශය සමීප වීමට පටන් ගත්තා. සෝවියට් දේශය විශ්වාස කළේ නව පාලනය මාක්ස්වාදී මාවතක සාර්ථක ව ගමන් කරනු ඇති බව යි. නමුත් ඔවුන් සෝමාලියාව සමග ද සබඳතා සම්පූර්ණයෙන් අත හැරියේ නැහැ. මේ වන විටත් සෝවියට් ආධාර මත සෝමාලියාවට විශාල යුධ ශක්තියක් තිබුණා.

ඉතියෝපියාවේ අවුල් සහගත තත්ත්වයත් සමග එහි විවිධ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මතුවෙමින් තිබුණා. මෙය අධිරාජයාගේ පාලන සමයේ දී ද සිදු වූවක්. මේ අතර එක් ප්‍රබල සංවිධානයක් වූයේ ඔගාඩන් හි ක්‍රියාත්මක බටහිර සෝමාලි විමුක්ති පෙරමුණ යි.

මෙම සංවිධානයට සෝමාලියාවේ ආධාර ලැබුණ අතර ඔවුන් ඉතියෝපියානු හමුදාවලට පහර දීමට වුණා. සෝමාලියානු පාලක සියාද් බාරේගේ අභිප්‍රාය වූයේ "මහා සෝමාලියාව​" යළි නිර්මාණය කිරීම යි.

ඔගාඩන් ආක්‍රමණය

1977 ජූලි 13 වන දා සෝමාලි හමුදා ඔගාඩන් ආක්‍රමණය කළා. මේ අවස්ථාව වන විට ඉතියෝපියානු හමුදා යුධ ශක්තිය අතින් එතරම් හොඳ මට්ටමක වූයේ නැහැ. එහෙයින් මුල් අවස්ථාවේ වාසිය අත් වූයේ සෝමාලියාවට යි. සෝමාලි හමුදා ඉතා වේගයෙන් ඔගාඩන් ප්‍රදේශය හරහා ඉදිරියට පැමිණියා.

සෝමාලි හමුදා පළමු මාස තුන තුළ දී සම්පූර්ණ ඔගාඩන් ප්‍රදේශය ම පාහේ තම පාලනය යටතට ගත්තා. මේ අවස්ථාවේ දී ඉතියෝපියාව ඉතා බරපතල තත්ත්වයකට පත් වූ අතර, එයින් ඔවුන් ගලවා ගන්නා ලද්දේ සෝවියට් දේශය සහ වෙනත් කොමියුනිස්ට් රටවල් කිහිපයක් විසිනුයි.

යුද්ධය ඇරඹෙන අවස්ථාවේ සෝවියට් දේශය සෝමාලියාව සමග ද සබඳතා අතැර තිබුණේ නැහැ. ඔවුන් මෙම යුද්ධය පිළිබඳ එතරම් ප්‍රසාදයක් නොදැක්වූ අතර එය සමථයකට පත් කිරීමට ද උත්සාහ කළා. නමුත් එය අසාර්ථක වන තැන ඔවුන් ඉතියෝපියාව දෙසට නැඹුරු වුණා.

සෝවියට් අවි ආයුධ සහ "උපදේශකයන්" ද කියුබානු හමුදා ද නැගෙනහිර ජර්මනිය ආදී තවත් කොමියුනිස්ට් රටවල් කිහිපයක සහය ද ඉතියෝපියාවට ලැබෙන්නට වුණා. මේ අතර ඉතියෝපියානු ගුවන් හමුදාව යුධබිමෙහි ගුවන් ආධිපත්‍යය පිහිටුවා ගැනීමට සමත් වී තිබුණ අතර එය ඔවුනට විශේෂ වාසියක් වුණා. සෝමාලි සැපයුම් මාර්ග කඩාකප්පල් කිරීමේ දී ගුවන් ආධිපත්‍යය විශාල සහයක් ඉතියෝපියානුවන්ට ලබා දුන්නා.

හැරවුම් ලක්ෂය

1977 ඔක්තෝබරයේ සිදු වූ හරාර් සංග්‍රාමය යුද්ධයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වුණා. හරාර් යනු ඉතියෝපියාවේ ප්‍රධානම මුස්ලිම් නගරය යි. එය වෙත එල්ල වූ ප්‍රහාරයට ඉතියෝපියානු හමුදා මුහුණ දුන්නේ සෝවියට් සහ කියුබානු සහය ද සහිත ව යි. සෝමාලි හමුදා හරාර් නගර මායිමට ම පැමිණි නමුත් ඉන්පසු පසුබස්වනු ලැබුණා.

මෙයින් පසු සෝමාලි හමුදාවේ පසුබැසීම ඇරඹුණා. තවදුරටත් ඉදිරියට යාමට ඔවුනට ශක්තියක් වූයේ නැහැ. අල්ලාගත් ප්‍රදේශයන්ගෙන් පසු බැසීමටත් ඔවුන් සූදානම් වූයේ නැහැ. එහෙයින් ඔවුනට කළ හැකි ව තිබූ එකම දෙය නම් ඉතියෝපියානු ප්‍රතිප්‍රහාරය සඳහා හැකි පමණ සූදානම් වීම යි.

1978 පෙබරවාරියේ ඉතියෝපියානු ප්‍රතිප්‍රහාරය ඇරඹුණා. සෝමාලි හමුදා වේගයෙන් ඔගාඩන් වෙතින් පසු බස්වනු ලැබුණා. මාසයක් පමණ ඇතුළත අල්ලාගත් ප්‍රදේශ අහිමි වූ සෝමාලි සේනාංක යළි තම දේශසීමාව වෙත පැමිණියා. ඉතියෝපියානුවන් මාර්තු 15 වන දා යුද්ධය නිමා කළා.

මෙම යුද්ධය සියද් බාරේ පාලනය විසින් තම ඉතිහාසය තුළ කරන ලද බරපතළ ම උපක්‍රමික වරද ලෙස සැලකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෝමාලි සන්නද්ධ අංශ බොහෝ සේ දුර්වල වීම සහ එරට ආර්ථිකය කඩා වැටීම ද සිදු වුණා. එයින් ගොඩ ඒමට සෝමාලියාවට හැකි වූයේ නැහැ. ප්‍රාදේශීය හමුදා නායකයන් මෙම පසුබිම තුළ සිය බලය වර්ධනය කරගත් අතර, 1980 දශකයේ අවසන් සමය වන විට සෝමාලියාවේ සිවිල් යුධ වාතාවරණයක් ඇති වීමට එය බලපෑවා.

Thursday, September 24, 2020

යුධ ටැංකි කතාවකට ඔබ්බෙන් ගිය "White Tiger"

කරේන් ශක්නසාරෆ්ගේ "බේලි ටිගර්" (White Tiger) චිත්‍රපටය බැලූ බැල්මට යුද්ධ කතාවකි. යුධ ටැංකි දෙකක් අතර ද්වන්ද්ව සටනක පුවතකි. එහෙත් එය සැබෑ ලෙසින්ම එය ඉක්මවා ගිය දේශපාලනික චිත්‍රපටයකි.

ඉල්යා බයාෂොෆ්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ බේලි ටිගර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ ඉවාන් නයිද්යොනෆ් නම් යුධ ටැංකි සෙබළෙකි. එය ඔහුගේ සත්‍ය නාමය නොවේ. 1943 ගිම්හානයේ යුධ ටැංකි සටනකදී බරපතල තුවාල ලබන ඔහුගේ සියළු ලිපි ලේඛන විනාශ වෙයි. ඔහුගේ මතකය ද අහිමි වේ. ඔහුට මේ නම ලබාදෙන්නේ ඉන් පසුව ය.

මතකය නැති වුවද නයිද්යොනෆ් අමුතු පුද්ගලයෙකි. සිරුරේ සියයට 90 ක් පිළිස්සුණ ද ඔහු ප්‍රාතිහාර්යයකින් මෙන් සුවය ලබයි. එමෙන්ම ඔහුට යුධ ටැංකි සටන් පිළිබඳ හැකියාව එසේම පිහිටයි. සත්‍ය වශයෙන්ම ඔහු හා යුධ ටැංකි අතර සම්බන්ධය වඩාත් දැඩි වේ. ඔහු පවසන්නේ ඔහු සමග යුධ ටැංකි කතා කරන බවයි.

ඔහු යුධ ටැංකිවලට අධිපති දෙවියකු ගැන විශ්වාස කරයි. මේ දෙවියාගේ වාහනය සෝවියට් T-34 යුධ ටැංකියකි. එනම් මේ කියන්නේ සෝවියට් දෙවියෙකු ගැනයි!

සෝවියට් හමුදා මෙකල මුහුණ දෙන අභිරහස් යුධ ටැංකියකි. ජර්මන් ටයිගර් යුධ ටැංකියක් වන එය සුදු වර්ණයෙන් දිස් වන බවක් කියවේ. නොසිතන තැනකින් මතුවීමටත්, සෝවියට් යුධ ටැංකි කණ්ඩායමකට වුවද තනිව පහර දීමටත්, පැමිණි ලෙසම පළා යාමටත් ඊට හැකියාව ඇත. සෝවියට් හමුදා එය හඳුන්වන්නේ "බේලි ටිගර්" (සුදු ටයිගර්) ලෙසයි. මෙය විනාශ කිරීම සෝවියට් හමුදාවල ප්‍රධාන ඉලක්කයක් බවට පත් වේ.


නයිද්යොනෆ් විශ්වාස කරන්නේ යුධ ටැංකි දෙවියා තමන්ට පිහිට වන්නේ මෙම යුද්ධ ටැංකිය විනාශ කිරීමට බවයි. සෝවියට් හමුදාව ද විශේෂ ලෙස සැකසූ T-34/85 යුධ ටැංකියක් මේ සඳහා යොදවයි. නයිද්යොනෆ් සමග තවත් දක්ෂතම දෙදෙනකු ඊට යෙදවේ. අවසානයේ ඔවුන් සහ බේලි ටිගර් අතර සටනක් සිදුවේ.

යුද්ධය නිමවූ පසුව ද නයිද්යොනෆ්ට යුද්ධය අවසන් නැත. තව වසර ගණනාවක් ගිය ද තර්ජනය අවසන් නොවන බව ඔහු පවසයි.

මෙම චිත්‍රපටයෙහි එක් චරිතයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් ද මතු වේ. ඔහු නට්සිවාදය අර්ථ දක්වන්නේ යුරෝපයේ ජනතාව තුළ යටිහිතෙහි තැන්පත්ව තිබුණු මූලික ආකල්පයන් දෙකක් පිටතට ගැනීමක් ලෙස ය. එනම් යුදෙව් විරෝධය සහ රුසියන් විරෝධය යි. චිත්‍රපටයේ හිට්ලර් පවසන්නේ තමන් කළේ එම ආකල්ප පැහැදිලි ලෙස ඉස්මතු කිරීම පමණක් බව ය.

මෙම චිත්‍රපටයෙහි ප්‍රධාන වශයෙන් පෙනෙන කරුණු කිහිපයක් වෙයි. එකක් නම් සෝවියට් නිලධාරියකු දෙවියකු කෙරේ දක්වන විශ්වාසය සහ එම දෙවියා සෝවියට් යුධ ටැංකියක් දරා සිටීම ය. මෙය රුසියානු ජාතිකත්වය ඓතිහාසික මූලයන් කරා ගමන් කිරීමක් ලෙස දැකිය හැක. මේ කියන්නේ ඒකදේවවාදය යටතේ ලෝකය මැවූ දෙවියන් ගැන නොවේ; ඊටත් කලින් විවිධ දෙවියන් ඇදහූ ඈත අතීතයේ සිට එන සංකල්පයක් පිළිබඳ ය. මෙය රුසියානු ජාතිකත්වය එක්තරා ඉන්ද්‍රජාලික බලවේගයක කැටිකොට ඊට සුවිශේෂී බලයක් ආරෝපණය කිරීමකි.

මෙය වැදගත් වන්නේ "බේලි ටිගර්" නිර්මාණය වන කාලය ද සැලකීමේදී ය. එය නිර්මාණය වන්නේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග බිඳ වැටී, 1990 දශකය මුළුල්ලේ ද ඇද වැටී තිබුණ රුසියානු ආත්මාභිමානය යළි නැගී සිටිමින් තිබුණු කාලය ය. සම්පූර්ණයෙන් විනාශ වූ රුසියානුවාගේ යළි පිබිදීම නයිද්යොනෆ් වෙතින් පිළිබිඹු වන අතර ඔහුට දේවාශිර්වාදය ද ලැබෙන්නේ ය.

එමෙන්ම බේලි ටිගර් යනු නිකම්ම යුධ ටැංකියක් නොවේ. එය ෆැසිස්ට්වාදයේ සංකේතය ය. එය පිළිබිඹු වන්නේ හිට්ලර්ගේ කතාවෙනි. එය මතු වෙයි, යට යයි, එහෙත් එය පවතියි. එයට එරෙහි සටන නිම වන්නේ නැත. යුරෝපයේ වර්තමාන ජාතිකවාදී රැල්ලේ මුල් ලක්ෂණ දිස්වන සමයේ තිරගත වූ "බේලි ටිගර්" ඒ අතින් පෙන්වන්නේ අඳුරු චිත්‍රයකි.

අනෙක් අතට මෙම චිත්‍රපටය මගින් හිට්ලර්ගේ විශිෂ්ටත්වය පිළිබඳ වන ප්‍රවාදය බිඳ දමයි. නට්සිවාදීන්ගේ විශ්වාසය වන්නේ හිට්ලර් නව්‍ය අදහසක් ඉදිරිපත් කළ බවය. නමුත් "බේලි ටිගර්" හි හිට්ලර් පවසන්නේ තමුන් අමුතු දහමක් දේශනා නොකළ බව ය. අනාදිමත් කාලයක සිට යුරෝපීයයා තුළ තිබුණු මූලික භීතීන් දෙකක් පිටතට ගෙන පෙන්වීම පමණක් තමුන් විසින් සිදුකළ බව ඔහු කියයි. හිට්ලර්ට ජර්මනියේ බලය අල්ලාගෙන එය වසර දොළහක් ආරක්ෂා කරගැනීමට උපකාර වූයේ ද ඔහු අමුතු දහමක් දේශනා නොකිරීමදැයි සිතීමට අප ද පෙළඹේ. හිට්ලර්ලා මෙන්ම පුටින්ලා ද නයිද්යොනෆ්ලා මෙන්ම ස්ටාලින්ලා ද ඉතිහාසයේ අවශ්‍යතා මත ඒ ඒ අවස්ථාවන් හි මතුවන චරිත නොවේදැයි සිතීමට "බේලි ටිගර්" අපව යොමු කරයි.

ඉංග්‍රීසි උපසිරැසි සමග චිත්‍රපටය යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකි ය​.



Wednesday, September 23, 2020

රුසියානු රාජ්‍යයේ ආරම්භය - වයිකිං නායක රුරික්

වර්තමානයේ දී ලොව විශාලම රාජ්‍යය වුණත්, රුසියාව යනු සපේක්ෂව කුඩා භූමි ප්‍රදේශයක සිට වර්ධනය වූ රටක්. රුසියාව යන රාජ්‍යය නිල වශයෙන් නිර්මාණය වූයේ 1547 දී හතරවන ඉවාන් හෙවත් බිහිසුණු ඉවාන්, "ත්සාර්" යන තනතුර ලබාගැනීමත් සමග යි. ඔහු විසින් රුසියානු ත්සාර් රාජ්‍යය පිහිටවනු ලැබුණා.

රුසියාව, රුසියාව වීමට පෙර කුමාරවර රාජ්‍යයන් සහ ආධිපාද ප්‍රදේශයන් කිහිපයක් වර්තමාන යුරෝපීය රුසියානු භූමියේ පිහිටා තිබුණා. මේවායෙන් මුස්කොවි මහාධිපාද ප්‍රදේශය වඩා ප්‍රමුඛව නැගී සිටි අතර රුසියානු ත්සාර් රාජ්‍යය පිහිටවූයේ මුස්කොවි හි මහාධිපාද වූ බිහිසුණු ඉවාන් විසින්.

මෙම කුමාරවර රාජ්‍යයන් හි ආරම්භය ක්‍රි.ව​. නව වන සියවසේ දී බිහි වූ කියේවන් රුස් නම් වූ රාජ්‍යය වෙත දිව යනවා. එහි ද ආරම්භය දිව යන්නේ ක්‍රි.ව​. 862 දී පිහිටවූ බව කියන නොව්ගොරොද් නගරය වෙත යි. නොව්ගොරොද් පිහිටවූයේ රුරික් නම් වූ වයිකිං කුමාරයකු බවයි සඳහන් වන්නේ. වර්තමානයේ රුසියානු රාජ්‍යත්වය ආරම් භ වූ අවස්ථාව ලෙස මෙය සැලකෙනවා. මේ පිළිබඳ 1852 දී ත්සාර් පළමු නිකුලස් විසින් ආඥාවක් ද නිකුත් කළා.

පුරාවෘත්ත

රුරික් පිළිබඳ එක් වැදගත් කරුණක් වන්නේ ඔහු පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති වීම යි. රුරික්ගේ පවුලෙහි විස්තර, ඔහු උපන් ස්ථානය ආදිය අදට ද තහවුරු ව නැහැ. ඔහු වර්තමාන උතුරුදිග ජර්මනියෙහි පිහිටි වෙළෙඳ නගරයක් වූ ඩොරෙස්ටාඩ්හි අයකු යයි ඇතැම් ඉතිහාසකරුවන් සැක කළ ද එයත් සනාථ වී නැහැ.

රුරික්ගේ කතාපුවත සඳහා ප්‍රධානම මූලාශ්‍රය වන්නේ ප්‍රාථමික වංශකතාව නම් කෘතිය යි. "අතීතයෙන් එන කතා" ලෙස ද හැඳින්වෙන මෙම කෘතිය නෙස්ටර් නම් පූජකයකු විසින් 1113 දී ලියන​ ලදැ යි සඳහන් වනවා. මෙම කෘතියෙහි 1110 දක්වා කියේවන් රුස්හි ඉතිහාසය දැක්වෙන අතර මුල් කෘතිය 12 වන සියවසේ දීම වෙනත් පූජකයින් විසින් යම් යම් සංස්කරණයන්ට ලක් කර ඇතැ යි ද විශ්වාස කෙරෙනවා.


පුරාවෘත්ත අනුව රුරික් යනු වර්තමාන ස්වීඩනයේ හෝ ජර්මනියේ හෝ වාසය කළ වයිකිං පවුලක් අයෙක්. ඔවුන් උතුරුදිග රුසියාව හරහා වැටී තිබූ වෙළෙඳ මාර්ග පාලනය කරන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා. මේ අතර 850 දී පමණ මෙම ප්‍රදේශයේ වාසය කළ ගෝත්‍ර අතර කැරලි කෝලාහල සහ ආරවුල් හටගන්නට වුණා. එහි ප්‍රතිඵලය ලෙස එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ගෝත්‍ර නායකයින් රුරික්ගේ උපකාර ඉල්ලා සිටියා. මේ අනුව රුරික්, ඔහුගේ සහෝදරයින් වූ සිනියස් සහ ටෘවෝර් ඇතුළු පිරිවර සමග එම ප්‍රදේශය කරා පිටත් වුණා.

මේ අතර රුරික් ජර්මනිය හෝ ස්වීඩනය තරම් ඈතක ජීවත් නොවූ අයකුයැ යි ද ඇතැම් විචාරකයන් සැක පළ කරනවා. ඊට හේතු වී ඇත්තේ එස්තෝනියානු පුරාවෘත්තවල සඳහන් සහෝදරවරුන් තිදෙනකු පිළිබඳ කතාපුවතක්. සාමාන්‍ය පවුලක උපන් ඔවුන් පසු කලෙක තම උපන් බිමෙන් පිටත ප්‍රදේශයන්හි පාලකයින් බවට පත්වන බව එම කතාවල කියවෙනවා.

රුරික් රාජවංශය​

රුරික් සහ ඔහුගේ පිරිවර ලාදගා ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තේ වසර 862 දී යි. මෙම ලාදගා ප්‍රදේශය ලාදගා විල නොව වත්මන් නොව්ගොරොද් නගරය අසල පිහිටි, එවක වැදගත් වූ වෙළෙඳ නගරයක්. රුරික් මෙම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම රුසියානු නිල ඉතිහාසයේ ආරම්භක අවස්ථාව ලෙස සැලකෙනවා. මින් ස්වල්ප කලකට පසු රුරික් විසින් හෝම්ගාර්ඩ් නම් වූ නගරය ස්ථාපිත කළ බව යි සඳහන් වන්නේ. පසු කලෙක නොව්ගොරොද් නම් වූයේ මෙම නගරය බව විශ්වාස කෙරෙනවා. නොව්ගොරොද් ප්‍රදේශය උතුරුදිග රුසියාව හරහා වැටී තිබුණු වෙළෙඳ මාර්ගවල කේන්ද්‍රුස්ථානයක් බවට පත් වුණා.

රුරික් 879 වසරේදී මියගිය බව සඳහන් වනවා. ඔහුගේ පුත්‍රයා ඒ වන විට ලාබාල වූ හෙයින් තම රාජ්‍යයේ පාලනය ඔලෙග් නම් වූ ප්‍රධානියා වෙත පැවරීමට රුරික් කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ. ඔලෙග් විසින් 882 දී කියෙව් ප්‍රදේශය අල්ලාගත් අතර ඒ අනුව කියේවන් රුස් නම් රාජ්‍යය කියෙව් කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණා. සම්ප්‍රදායිකව මෙම රාජ්‍යයේ පාලකයා කියෙව්හි සිට රාජ්‍ය පාලනය සිදු කරද්දී රජකම උරුමව සිටින්නා නොව්ගොරොද් පාලනය කළා. කියේවන් රුස් රාජ්‍යය මෙකල මෙම ප්‍රදේශයේ ප්‍රබලම රාජ්‍යයක් වුණා.

912 දී ඔලෙග් මියගිය පසු රුරික්ගේ පුත්‍රයා වූ ඉගෝර් කියේවන් රුස්හි පාලකයා බවට පත් වුණා. ඉන්පසු එම රාජ්‍යය කඩා වැටෙන තෙක්ම රුරික්ගෙන් පැවතෙන අය, එනම් රුරික් රාජවංශයේ සාමාජිකයන්, එම රාජ්‍යය පාලනය කළා. 11 වන සියවසෙහි පමණ සිට එම රාජ්‍යය දුර්වල වන්නට වූ අතර 1240 මොන්ගොල් ආක්‍රමණ හමුවේ එය කඩා වැටුණා.

කෙසේ නමුත් කියේවන් රුස් රාජ්‍යය පිහිටි ප්‍රදේශයේ නිර්මාණය වූ තවත් රාජ්‍යයන් කිහිපයකම පාලනය රුරික් රාජවංශයට අයත් අය විසින් සිදු කළා. මුස්කොවිවලට අමතරව, ව්ලැදිමීර් හෙවත් ව්ලැදිමීර්-සුස්දාල් රාජ්‍යය​, චර්නිගොෆ් කුමාරවර රාජ්‍යය​, ගැලීසියා-වොල්හිනා රාජ්‍යය ආදිය මේ අතර වනවා. රුසියානු ඉතිහාසයේ මුල් යුගය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවන්හි දී ව්ලැදිමීර්, සුස්දාල් ආදී ප්‍රදේශයන්ට විශේෂ ස්ථානයක් හිමි වනවා.

රුරික් රාජවංශය 1598 දී අවසානය කරා ආවේ රුසියාවට අරාජික සමයක් උදා කරමින්. එම අරාජික සමය වසර 15 ක් පැවති අතර එය අවසන් වූයේ 1613 දී මිහයිල් රොමානොෆ් බලයට පත් වීමෙන්.

Sunday, September 20, 2020

ඉතිහාසය වෙනස් කිරීමට හේතු වූ, රජකුමරකුගේ මරණය

 රුසියාවේ ත්සාර්යෙවිච් (කිරුළ හිමි කුමරු) කෙනකු වූ නිකොලායි අලෙක්සන්ද්‍රොවිච් රොමානොෆ් උපන්නේ 1843 සැප්තැම්බර් 20 වනදා යි. ඔහුගේ අකල් මරණය රුසියාවේ ඉතිහාසය වෙනස් මගක ගෙන යෑමට ඉවහල් වූයේ යයි සිතිය හැකියි.

ත්සාර්යෙවිච් අලෙක්සන්දර් නිකොලයෙවිච්ගේ (පසුව ත්සාර් දෙවන අලෙක්සන්දර්) සහ මාරියා අලෙක්සන්ද්‍රොව්නාගේ දෙවන දරුවා සහ පළමු පුත්‍රයා වූ නිකොලායි අලෙක්සන්ද්‍රොවිච්, පවුලේ අය විසින් හඳුන්වන ලද්දේ නික්සා (Nixa) යනුවෙන්. (රොමානොෆ් පවුලේ සමාන නම් ඇති අය එමට සිටින බැවින් නික්සා යනුවෙන් ඔහුව හැඳින්වීම අපට ද පහසුයි). නික්සා ඔහුගේ බාල සොහොයුරන්ට වඩා "හැදිච්ච" තරුණයකු ලෙස හැදී වැඩුණි. ඔහුගේ සහෝදරවරුන් හැඩිදැඩි තරුණයින් ලෙස උස් මහත් වෙද්දී නික්සා පවුලේ බුද්ධිමතා විය; උගතා විය; නූතනවාදියා විය. ඔහුගේ ඉතිහාස ගුරුවරයා පැවසූයේ සෑම දස වසරකට වරක් නික්සා වැනි ශිෂ්‍යයකු හදන්නට හැකි නම් තමාගේ කාර්යය සඵලත්වය ගැන උදක්ම සෑහීමකට පත්වන බව ය.


රොමානොෆ් පවුලේ ඉතිහාසය පුරාවටම නික්සා තරමට ත්සාර් පදවියට සූදානම් වූවකු නොවීය. ඔහුගේ නීති ගුරුවරයා ලෙස දෙවන අලෙක්සන්දර් විසින් තෝරාගන්නා ලද්දේ තමාගේ නෛතික ප්‍රතිසංස්කරණ පිළිබඳ විශාල කාර්යයභාරයක් කළ කොන්ස්තන්තීන් පබෙදනෝස්ත්සෙෆ් ය. සිය නීති ගුරුවරයා සමග වරක් නික්සා රුසියාව පුරා සංචාරයක නියැළුණි. නික්සා සිය පියා මෙන්ම ප්‍රතිසංස්කරණවාදී, නූතනවාදී තරුණයකු විය.

නික්සාට සුන්දර ප්‍රේම වෘතාන්තයක් විය. ඒ අතින් ද ඔහු සිය පියා මෙන්ම ආදරවන්තයකු විය. 1863 අගෝස්තු 15 වනදා ඔහු සිය මවට මෙසේ ලීවේ ය. "මා බොහෝ කලෙක සිට කිසිවකු හා ප්‍රේමයෙන් වෙළුණේ නැත. ඔබ මට සිනාසෙනු ඇත. එහෙත් ඊට හේතුව නම්, හැබැහින් දැක නැති වුවද, මා ඩග්මාර්ට බොහෝ කලෙක සිට ප්‍රේම කරන බැවිනි. මා සිතන්නේ ඇය පිළිබඳවම ය".

ඩෙන්මාර්කයේ නවවැනි ක්‍රිස්ටියන් රජුගේ දියණිය වූ ඩග්මාර් සුරතලයට "මිනී" විය. නික්සා කලකට පෙර ඇගේ ඡායාරූපයක් දැක ඈ කෙරේ සිත් පහළ කරගෙන සිටියේ ය. 1864 දී අලෙක්සන්දර් සිය පුත්‍රයාව යුරෝපා සවාරියක් සඳහා යැවීය. එහි එක් නවාතැනක් වූයේ ඩෙන්මාර්කය යි.

ඩෙන්මාර්කය මෙකල යුද්ධයකට පැටළුණේ ය. ශ්ලෙස්විග්-හොල්ස්ටයින් ප්‍රදේශය අරභයා ප්‍රශියාව එරට හා යුද්ධයට පැටළුණි. ප්‍රශියාවේ රජු පළමු විල්හෙල්ම් විවාහ වී සිටියේ අලෙක්සන්දර්ගේ පියාගෙ සොයුරිය සමග ය. මේ යුද්ධය නිමවී ස්වල්ප දිනෙකින් නික්සා කෝපන්හේගන් වෙත සේන්දු වූයේ ය.

"මා කෙතරම් සතුටින් වූයේදැයි ඔබ දැන සිටියේ නම්? මම ඩග්මාර් සමග ආලයෙන් වෙළී සිටියෙමි. ඇයට මා අප්‍රමාණව ප්‍රේම කරන බව දැන දැනම මා සතුටින් පසු නොවන්නේ කෙසේ ද?" ඔහු සිය මවට ලීවේ ය. "මා ඇය කෙසේ විස්තර කරම් ද? ඇය ඍජු ය; බුද්ධිමත් ය; උද්‍යෝගීමත් ය. එහෙත් ලජ්ජාශීලී ය".

ඩාර්ම්ස්ටාඩ් වෙත පැමිණ සිය දෙමාපියන් හමුවූ නික්සා නැවත කෝපන්හේගන් ගියේ ය. "පවුලේ සක්මන්වලදී අපි අන් අයට වඩා සෙමින් ගමන් කළෙමු", ඔහු මවට ලීවේ ය. "මට පොළව පැළී මා සඟවා ගනී නම් යයි සිත් විය. ඇයට ආදරය කරන බව පැවසීමට කෙතරම් උත්සාහ කළ ද ඊට ගැලපෙන වදන් සොයාගැනීම අසීරු විය. එහෙත් ඈ ඒ බව දැන සිටියා ය. ඇගේ කැමැත්ත හිමි විය. ඉන්පසු අපි සිපගත්තෙමු".

නික්සා සහ මිනී 1864 දී

නික්සා මීළඟට ඉතාලිය වෙත පිටව ගියේ ය. එහෙත් කුමක් හෝ වරදක් සිදුව තිබුණි. ඔහුට අසුපිටින් යාම අසීරු වන්නට විය. වෛද්‍යවරු ඔහුගේ කශේරුකාවේ ඉදිමීමක් සොයාගත් හ. එහෙත් ඔවුන් කළ රෝග විනිශ්චය නිවැරදි නොවී ය. ඔහුට විවේකය, හිරු එළිය සහ විවිධ ප්‍රතිකර්ම නියම කෙරිණ. සති හයක් ගත වූයේ ය. එහෙත් නික්සාගේ තත්ත්වය යහපත් අතට හැරුණේ නැත. එහෙත් ඔහු දිනපතා මිනීට පෙම්පත් ලියුවේ ය. දෙසැම්බරයේදී ඔහු නීස් නුවරට පැමිණ සිටි සිය මව කරා ගියේ යුධ නැවකිනි. දැන්, ඔහුට දිනපතා මිනීට ලියන්නට නොහැකි විය. ඔහු කළු ඇස් ඇති රූමතියක හා පෙමින් වෙළී ඇතිදැයි මිනී විමසා සිටියා ය. එහෙත් ඔහු සිටියේ මිය යමිනි.

1865 අප්‍රේල් මාසයේදී, නීසියේ විලා ඩීස්බාක් හි අසරණ ව වැටී සිටියදී, ඔස්ට්‍රියානු වෛද්‍යවරයකු නික්සාගේ රෝගය සොයාගත්තේ ය. ඔහුගේ කශේරුකාවට ටියුබර්කියුලෝසිස් තත්ත්වයක් බලපා තිබුණි.

මේ අතර තවත් ඛේදවාචකයක් පිළිබඳ අලෙක්සන්දර් කණ වැකුණි. අප්‍රේල් 14 වනදා (රුසියානු ක්‍රමයට අප්‍රේල් 2), සාහසිකයකු විසින් ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කර තිබුණි. ත්සාර්වරයා වැළපුණේ ය. කසාන් ආසන දෙව් මැදුරේ දේව මෙහෙයක් පැවැත්වීමට නියම කළේ ය. "අපේ පරම්පරාවේ වැදගත්ම සහ ශ්‍රේෂ්ඨතම ක්‍රිස්තියානි ලබ්ධිකයා ඔහු විය. ලොවට ඔහු මිණි පහනක් විය. ඔහු තුළ වූයේ නිර්භීතත්වය, ඍජුබව මෙන්ම යහපත සැලසීමේ අභිප්‍රාය මිස අනෙකක් නොවේ" යයි හෙතෙම මේරි ලින්කන් වෙත ලියා යැවී ය.

මුහුදු රළ නාදය දරාගැනීම අපහසු වූයෙන් නික්සා රට අභ්‍යන්තරයේ විලා බර්මොන් වෙත ගෙනයන ලද්දේ ය. ආඝාත ත්ත්වයක් හේතුවෙන් ඔහුගේ එක් පසක් පණ නැති විය. ත්සාර්ට සහ මිනීට හදිසි පණිවිඩ යැවිණ. "නිකුලස් අවසාන ආගමික වතාවත් සිදුකළා. හැකි නම් එන්න".

"අහෝ මෑණියනි. ඔබේ නිකී නැතිව ඔබට කුමක් වේද?" නික්සා වැළපුණේ ය. නික්සාට බෙහෙවින් ලෙන්ගතු වූ ඊළඟ සහෝදරයා අලෙක්සන්දර් (සාෂා) ඔහු වෙත ආවේ ය. "සාෂා, සාෂා. මොකක් කරනවද ඔතන? ඇවිත් මා වැළඳගනින්!" නික්සා කීවේ ය.

සිය බාල පුතුන් වූ ව්ලදිමීර් හා අලෙක්සිස් සමග ත්සාර් අලෙක්සන්දර් දුම්රියෙන් නීස් කරා පිටත් විය. අලෙක්සන්දර් තුළ වූයේ එකම සැකයකි. "ඔහු ජීවතුන් අතර සිටියදී අපට එහි ළඟා වීමට දෙවියන් ඉඩ දෙයි ද?" බර්ලිනයේදී විල්හෙල්ම් ඔහු වැළඳගෙන දුක බෙදාගත්තේ ය. ඩෙන්මාර්කයෙන් පැමිණ සිටි මිනී හා ඇගේ මව සිටි දුම්රිය මැදිරියක් ත්සාර්ගේ දුම්රියට ඈඳන ලදී. වසරකටත් මෙහා යුධ වැදුණ රාජ්‍ය දෙකක රාජකීයයෝ මෙසේ අලෙක්සන්දර්ගේ ශෝකයේදී එක් වූහ.

පැරිසියේදි තුන්වන නැපෝලියන් අධිරාජයා ද ශෝකය බෙදාගැනීමට ත්සාර් හමුවිය. හැකි වේගයෙන් ඔහු නීසිය කරා ගමන් ගත්තේ ය. අප්‍රේල් 22 වෙනිදා රජවාසල සේවකයෝ නීස් දුම්රිය ස්ථානයේදී ඔහුව හමු විය.

නික්සාගේ ඇඳ අසළින් දණින් වැටුණ ත්සාර් අලෙක්සන්දර් සිය පුත්‍රයාගේ අත සිප ගත්තේ ය. ඉන්පසු නික්සා මිනී දෙස බැළුවේ ය. "ත්සාර්වරයා ඇගේ අතගෙන නික්සා වෙත කැටුව යද්දී ඔහුගේ මුහුණේ වූයේ අප්‍රමාණ සතුටකි" මිනීගේ මව ලීවා ය. "ඈ ඉතා සුන්දරයි නේද පියාණෙනි?" නික්සා අලෙක්සන්දර්ගෙන් ඇසුවේ ය.

"කල් ඇතිව මා ඔහු වෙත ගෙනගිය දෙවියන්ට ස්තූති වේවා. ඔහු මා දෙස බැලූ අයුරු කිසි විටෙක අමතක කළ නොහැකියි" මිනී සිය පියාට ලියුවා ය.

වැඩි වෙලා නොගොස් ඔහු විකාරයෙන් කියවන්නට විය. ඔහු පීඩනයට පත් ස්ලාව්වරුන් ගැන කියෙව්වේ ය. මිනී සහ පවුලේ අය ද එය දරාගත නොහැකිව නිතර කාමරයෙන් පිටතට දිව ගියෝ ය. "අසරණ ත්සාර් සහ ත්සරීනා. මගේත් ඔවුන්ගේත් ඛේදනීය අවස්ථාවකත් ඔව්හු මා ගැන නිරන්තරයෙන් සොයා බැළුවෝ ය" මිනී ලීවා ය.

මේ වෙද්දී නික්සා සිටියේ මරණය අපේක්ෂාවෙනි. ඔහුගේ සාත්තු සේවකයා අප්‍රේල් 24 වනදා හිමිදිරියේ මාර්ගයෙන් අනෙක්පස බංගලාවේ වූ පවුලේ අය පිබිදවීය. නික්සා සිය බෙහෙත් වමනය කර තිබුණි. අවසානය ළං වෙමින් තිබිණ.

දෙමාපියෝ සහ සහෝදරයෝ නික්සාගේ ඇඳ වටකරගත් හ. මිනී ඔහුගේ නිකටෙහි වූ වමනය පිස දැමුවා ය. "අවසන් මොහොතේ ද ඔහු මා හැඳිනගත්තා" මිනී ලීවා ය. ඔහු ඇගේ අත ගත්තේ ය. එහෙත් ඉන්පසු සාෂා දෙස බැළූ ඔහු පියා ඇමතුවේ ය. "පියාණෙනි, සාෂාව බලාගන්න. ඔහු ඉතා අවංක, යහපත් කෙනෙක්."

එක් අතකින් සාෂාගේ හිස අතගෑ නික්සා අනෙක් අතින් මිනීගේ හිස පිරිමදින්නට උත්සාහ කළ බවක් පෙනිණ. එහෙත් පසුව ඔහු සිය මවගේ අත ගෙන වෛද්‍යවරයා දෙසට හැරුණි. "ඇයව හොඳින් බලාගන්න" ඔහු කීවේ ය. මිනී ඔහුව සිපගත්තා ය. නික්සා මියගියේ ය.

දේහය පීතර්බුර්ග් කරා යන ගමනේදී ද සාෂා කෙතරම් කම්පනයට පත් වී සිටින්නේදැයි මිනී දුටුවා ය. සාෂා නික්සාගේ හොඳම මිත්‍රයා විය. දැන් සාෂා නික්සාගේ තැන, ත්සාර්යෙවිච් තනතුර ගතයුතු වූයේ ය.

ත්සාර් දෙවන අලෙක්සන්දර්, ත්සරීනා මාරියා සහ සාෂා 1870 දී

මේ කලබල සහගත අවස්ථාවලින් පසු මිනී අලෙක්සන්දර් හමු වූවා ය. ඇයට තවමත් සිය පවුලට එක්විය හැකි නොවේදැයි ඥාතියකු ත්සාර්ගෙන් විමසීය. "සත්තකින්ම. ඇයට පුළුවන්" ඔහු කීවේ ය.

* සාෂා සහ මිනී පසුව විවාහ වූහ. එම විවාහය සාර්ථක එකක් විය. සිය පියාගේ ඝාතනයෙන් පසු තුන්වන අලෙක්සන්දර් ලෙස ත්සාර් බවට පත් වූයේ සාෂා ය. සාෂාගේ දෙටු පුත්‍රයා වූ නිකුලස්, අවසාන ත්සාර් වූයේ ය. ඔහුට නම තබන ලද්දේ ද නික්සා සිහි වීමට ය. නික්සා මෙන්ම ඔහු ද නිකුලස් අලෙක්සන්ද්‍රොවිච් රොමානොෆ් විය.

නික්සා මෙන් නොව සාෂා පසුගාමී අයකු විය. ඔහු සිය පියාගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අහුරා දැමීය. සාෂාගේ පුත්‍රයා නිකුලස් අඥාන, අසාර්ථක පාලකයකු ලෙස රොමානොෆ් පවුලේ ව්‍යසනයට පාර කැපුවේ ය.

නික්සා අකාලයේ මරණයට පත් නොවී නම් රුසියාවේ ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණි.

ලෙනින්ගේ මළකඳෙන් රුසියාවට වැඩක් නෑ, LDPR පක්ෂ නායකයා කියයි.

රුසියානු විප්ලවයේ නායකයා වූ ව්ලදිමීර් ලෙනින්ගේ සිරුර ආදාහනය කර ඔහුගේ භෂ්මාවශේෂ ඔහු උපන් උල්යානොව්ස්ක් නගරයේ හෝ ඔහුගේ මව වළදමා ඇති සාන්ත පීතර්බුර්ග් නගරයේ වළ දමන ලෙස රුසියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (LDPR) නායක ව්ලදිමීර් ජිරිනෝව්ස්කි එරට ඩූමාවේදී (පාර්ලිමේන්තුව) යෝජනා කළා.

ඔහු පවසන්නේ රුසියාවට "එම මළකඳෙන් වැඩක් නොමැති" බවයි.

කිහිප වතාවක් රුසියානු ජනාධිපතිවරණවලට ද තරග කර ඇති ජිරිනෝව්ස්කි ආන්දෝලනාත්මක ප්‍රකාශයන්ට අමුත්තකු නොවේ. එහෙත් ලෙනින් ගේ සොහොන මොස්කව් රතු චතුරශ්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය නොවේ.

1991 දී සෝවියට් දේශය බිඳ වැටුණ පසු ලෙනින්ගේ සිරුරට කුමක් කරන්නේද යන විවාදය නැවත නැවතත් මතු වෙමින් පවතිනවා. ජනාධිපති ව්ලදිමීර් පුටින් ටික දිනකට පෙර කියා සිටියේ ලෙනින් අනුස්මරණය කරන පිරිස් සිටින බැවින් දැනට ඔහුගේ සිරුර ඉවත්කිරීම පිළිබඳ සාකච්ඡාව අවශ්‍ය නොවන දෙයක් බවයි. කෙසේ වෙතත් සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව රුසියාවේ ලෙනින් අනුස්මරණය කරන්නන්න් ඉතා විරල වී තිබෙනවා.


මේ අතර නිව් යෝර්ක් හි ජීවත්වන ජෝර්ජියානු කලාකරුවකු වන ඩේවිඩ් ඩටූනා ලෙනින්ගේ එම්බාම් කළ සිරුර මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඔහුගේ බලාපොරොත්තුව එහි අනුරුවක් නිර්මාණය කිරීමයි. ඔහු මුලින් එය ඩොලර් මිලියනයකට මිලදී ගන්නට සූදානම් වුවද පසුව ඒ සඳහා ඩොලර් බිලියනයක් ලබාදීමට කැමැත්ත පළ කළා. ඔහු පවසන්නේ මෙම ව්‍යාපෘතියට සහය දීමට පිරිස් ඉදිරිපත් වූ බවයි. දැනටත් ඩොලර් මිලියන 50ක් ඔහු එකතු කර තිබෙනවා.

ඩටූනා පවසන්නේ ඇමරිකාවේ සමාජවාදය පිළිබඳ නව උනන්දුවක් මතුව ඇති හෙයින් මෙය වැදගත් වනු ඇති බවයි.

Saturday, September 19, 2020

මහද්වීපයක තනි වුණෙමි

 රොහාන් ඩිරෙක්ස්ව මට හමුවන්නේ "රුසියාව" සඟරාවේ චෙච්නියාවට ගිය විස්තරයක් තුලින්. එය කියවූ අවස්ථාවේ මට හැඟී ගියේ රුසියානුවන්ට පවා යාම පහසු නැති කාලයක ලාංකිකයකු චෙච්නියාවේ සංචාරය කිරීම කෙතරම් වාසනාවන්ත සිදුවීමක් ද යන්නයි.

රොහාන් ලියන්නේ එවන් රුසියාවක් ගැනයි. අප නිතර නොදකින රුසියාව ගැනයි. ලෝකය තවම නුදුටු රුසියාව ගැනයි. පරිච්ඡේද දොළහක් පුරා දිවෙන්නේ අප වැඩිපුර අසා නැති සලිහාර්ඩ්, යාකුත්ස්ක් ආදී නගර ගැනයි. රුසියාවේ ජර්මානුන්, චෙචන්වරුන් ආදීන් ගැනයි. ස්ටාලින්ගේ ගුලාග් ගැනයි. එමෙන්ම ස්ටාලින්ව තවමත් ස්මරණය කරන අය ගැනයි. යුද්ධය එපා කියන රුස්සන් ගැනයි. අප දන්නා කියන පුෂ්කින්, ලෙනින් ආදීන් ගැන ද රොහාන් ලියන්නේ නැවුම් දේ ය. රුසියාව හාරා අවුස්සන රොහාන් අපව ද පුදුමයටත්, සංතාපයටත් පත් කරයි.


වසර විසි ගණනක් රුසියාවේ ජීවත්වෙමින්, ලෝකය පුරා සංචාරය කරන ඔහුගේ ඇතැම් ගමන් බිමන් ඔබට මෑතකදී විකාශය වූ "සංචාර" වැඩසටහන් පෙලින් දැකිය හැකියි. ලංකාවේ අපට නුහුරු ලෝක සංචාර අපේ රූපවාහිනියට ගෙන ඒමේදී රොහාන් කරන්නේ ලොකු කාර්යයභාරයකි. කොරෝනා වෛරසය නිසා ඒ කාර්යය අතරමැදදී නවතන්නට වුණත්, නැවත දිනෙක එය යළි අරඹනු ඇති.

රොහාන්ගේ කෘතිය ඔහු අරඹන්නේ "උත්තර ධ්‍රැවයට යන ගමනක්" සමගය. රුසියාවේ ගහකොළට, ගෘහ නිර්මාණ ශිල්පයට, ඉතිහාසයට හිතැති, එහි කීරි ගැහෙන සීතලට හිත නැති මා එයින් ම තරමක් අධෛර්යමත් වූ බව කිව යුතු ය. එහෙත් ඒ විස්තරය කියවූ විට පොත කියවීමේ ආශාව බෙහෙවින් වර්ධනය වූයේ ය. උත්තර ධ්‍රැවයට යන ගමන රුසියාවේ ඉතිහාසය හා වර්තමානය මෙන්ම අනාගතය ද සිසාරා යන පුළුල් කතාවකි.

රුසියාවේ අප නුදුටු කතා ලියන රොහාන් සිය කෘතියට නම යොදන්නේ "මහද්වීපයක තනි වුණෙමි" යනුවෙනි. අප දන්නා රුසියාව මහාද්වීපයක් නොවේ. පාසැලේදී අප උගන්නා මහාද්වීප අතර ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය ආදිය වෙතත් "රුසියාව" නැත. එහෙත් ලෝකයෙන් හයෙන් එකක් වසාගත් රුසියාව සැබැවින්ම "මහද්වීපයකි". එහි දකින්නට දේ බොහෝ ය. ඒ ගැන ලියන්නට දේ බොහෝ ය. රුසියාව ගැන රොහාන්ට ලියන්නට ඇති දෙයින් මේ අතිශයින්ම කුඩා කොටසක් බව මම දනිමි. ඉතිරි ටිකෙන් ද සියල්ලම ලියන්නට කාලය නැති වේවි. එහෙත් හැකි සියල්ල ලියන ලෙස ඇරයුම් කරමි.

* සංචාර වැඩසටහන් නරඹා හෝ සංචාර වෙබ් අඩවිය කියවා හෝ රොහාන් ඩිරෙක්ස් ලියන ෆේස්බුක් සටහන් කියවා හෝ ඇත්නම් මෙහි වන ඇතැම් කතා ඔබ දැක ඇතිවාට සැක නැත. රොහාන් කෑම බීම ගැන ලියන සටහන් දකින මගේ නම් යෝජනාව රුසියාවේ "කෑම සහ බීම" ගැන පොතක් ලිවීම කාටත් රසවත් වැඩක් වනු ඇති බවය. ඇත්තෙන්ම, එය "කන්න හිතෙන පොතක්" වේවි!

Thursday, September 17, 2020

නේටෝ කඳවුරක් අසළ මියගිය රුසියානු නිරූපිකාව

ඉතාලි මුහුදේ පිහිනීමේදී අනතුරට ලක්ව මියගිය රුසියානු නිරූපිකාවකගේ මරණය නේටෝ සංවිධානයේ ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක් බවට පත් වූ පුවතක් මීට ස්වල්ප දිනකට පෙර ඉතාලියෙන් වාර්තා වුණා.

ගලීනා ෆෙදරෝවා නම් 35 හැවිරිදි නිරූපිකාවක වූ ඇය ප්‍රංශය කේන්ද්‍ර කරගෙන කටයුතු කළ අයෙක්.

ඉතාලියේ සාර්ඩිනියා දූපතේ දකුණු ඉවුරේ ටෙවුලාඩා ප්‍රදේශයෙන් මුහුදු ගිය ඇගේ මළ සිරුර සැප්තැම්බර් 5 වනදා ඉතාලි වෙරළාරක්ෂක භටයින් විසින් සොයාගෙන තිබුණා.

ඇය සමග පිහිනීමට ගිය බ්‍රිතාන්‍ය-රුසියන් ඡායාරූප ශිල්පියකු වන ජෙරනියස් තවරොෆ් ප්‍රකාශ කර තිබුණේ මුහුදු ප්‍රවාහයන්ට ඔවුන්ගේ සුළං පුරවන ඩිංගි බෝට්ටුව හසුවී ඔවුන් එයින් ඉවතට පාවී ගිය බවයි. ඔවුන් ආපසු ගොඩබිම දෙසට පිහිනීමට පටන්ගත් අතර, ගලීනා ආපසු බෝට්ටුව දෙසට පිහිනීමට උත්සාහ කළ බව ඔහු පවසනවා.


ඩිංගි බෝට්ටුව ද වෙරළාරක්ෂක භටයින් විසින් සොයාගෙන ඇති අතර එහි තිබී ඩ්‍රෝන කැමරා සහ අනෙකුත් ඡායාරූපකරණ උපාංග සොයාගනු ලැබුණා. ඊට අමතරව මත්පැන් බෝතල්ද එහි තිබී හමුවුණා.


මෙම අනතුර සිදුවූ ප්‍රදේශය අසළ ඉතාලියේ ප්‍රධානම සන්නද්ධ හමුදා කඳවුරක් පිහිටා තිබීම හේතුවෙන් මේ අනතුර පිළිබඳ සැක මතුව තිබුණා. මෙම කඳවුර නේටෝ සංවිධානයේ පෙරහුරු සඳහා ද නිතර භාවිතා වනවා. බෝට්ටුවෙන් හමුවූ කැමරා උපකරණ පරීක්ෂා කිරීමට වෙරළාරක්ෂක භාරයට ගෙන තිබුණා.

Monday, September 14, 2020

බෲනෝ ආපිට්ස්

බෲනෝ ආපිට්ස් (1900 අප්‍රේල් 28 – 1979 අප්‍රේල් 7) ජර්මන් ලේඛකයෙක් සහ කොමියුනිස්ට්වාදියෙක් වූයේය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ බුකන්වෙල්ඩ් සිර කඳවුර ආශ්‍රිතව ඔහු විසින් ලියන ලද “Nackt unter Wölfen” (වෘකයන් අතර නග්නව) නම් කෘතිය හේතුවෙනි.

කම්කරු පවුලක දොළොස්වැනි දරුවා ලෙස ආපිට්ස් උපන්නේ ලයිප්සිග් (Leipzig) නගරයේ ය. ඔහු 1914 සිට ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කම්කරු සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. පළමු ලෝක සංග්‍රාමය අතරතුර 1917 අගෝස්තුවේදී යුධ විරෝධී රැස්වීමක් අවස්ථාවේ අත් අඩංගුවට පත් වූ ඔහු මාස 19 කට සිරගත කරන ලදී. නමුත් 1918 දී ඔහු නිදහස ලැබූ අතර එම වසරේ නොවැම්බරයේ ජර්මන් ආණ්ඩු පෙරළියට ද දායක විය.

1927 තෙක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයකු වූ ආපිට්ස් එම වසරේදී කොමියුනිස්ට් පක්ෂයට බැඳී තරුණ කොමියුනිස්ට් ලීගයේ සාමාජිකයකු ද බවට පත් විය.
ආපිට්ස් කවි සහ නාට්‍ය ලිවීම ඇරඹුවේ වයස අවුරුදු 17 දී ය. 1927 දී කොමියුනිස්ට් පක්ෂයේ ලයිප්සිග් නගරයේ “ඇජිට්ප්‍රොප්” (උද්ඝෝෂණ සහ ප්‍රචාරණ) අංශය වෙනුවෙන් නාට්‍ය පිටපත් රචකයකු ලෙස ද ඔහු සිය සේවය සැලසීය.

1930 – 33 සමයේ ආපිට්ස් ලයිප්සිග් හි නිර්ධන පාන්තික විප්ලවකාරී ලේඛකයන්ගේ සංගමයේ සභාපති වූයේය.

1933 ජනවාරියේ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පැමිණි අතර එම වසරේම මැයි – ජූලි සමයේ බෲනෝ ආපිට්ස් අත් අඩංගුවට ගනු ලැබ නට්සීන් විසින් පිහිටවූ මුල්ම දේශපාලන කඳවුරු දෙකක් වූ කොල්ඩිට්ස් සහ සක්සෙන්හවුසන් හි රඳවනු ලැබීය.
1934 ඔක්තෝබරයේදී ආපිට්ස් නැවතත් අත් අඩංගුවට ගන්නා ලද අතර මෙම අවස්ථාවේ ඔහුට නිදහස ලැබුණේ වසර 11 කට පසුව ය. 1935 මැයි මසදී ඔහු වොල්ඩ්හයිම් සිරගෙයි රඳවන ලද අතර 1937 දී දේශපාලන රැඳවියකු වශයෙන් බුකන්වෙල්ඩ් වෙත යවන ලදී. එහිදී ද සිරකරුවන් ගේ සංස්කෘතික සැඳෑවල් සඳහා ඔහු කවි ලිවීය. ආපිට්ස් ඉන් නිදහස් වූයේ 1945 අප්‍රේල් මසදී එම කඳවුර නට්සින් ගෙන් මිදුණ විටය.

1945 ගිම්හානයේදී පළ වූ Das war Buchenwald (එය බුකන්වෙල්ඩ් විය) නම් කෘතියට ඔහු ද දායක වූයේය. 1946 දී එවකට ජර්මනියේ සෝවියට් කලාපයෙහි පිහිටවන ලද සමාජවාදී ඒකාබද්ධතා පක්ෂයට ඔහු ආරම්භක සාමාජිකයකු ලෙස බැඳුණි. ඔහු සංස්කාරකයකු, නාට්‍ය සහ ගුවන් විදුලි පිටපත් රචකයකු ආදී වශයෙන් කළක් සිය වෘත්තීය ජීවිතයෙහි යෙදුණ අතර 1954 පටන් නිදහස් ලේඛකයකු බවට පත් විය.

ආපිට්ස් (දකුණු කෙළවරේ)


ආපිට්ස්ගේ ප්‍රකටම නවකතාව වන “Nackt unter Wölfen” (වෘකයන් අතර නග්නව) පළ කරන ලද්දේ 1958 දී ය. එහි ඉංග්‍රීසි පරිවර්තනය ඊඩිත් ඇන්ඩර්සන් විසින් කරනු ලදුව 1967 දී සෙවන් සීස් ප්‍රකාශකයන් (Seven Seas Publishers) විසින් පළ කරන ලදී. මෙම කෘතිය ගෙතෙන්නේ බුකන්වෙල්ඩ් වෙත ගෙනෙන ළමයකු බේරා ගැනීමට සිරකරුවන් දරන වෑයම වටා ය. එම ග්‍රන්ථය සිරිල් සී. පෙරේරා විසින් සිංහලයට ද පරිවර්තනය කෙරිණ.
1963 දී මෙම ග්‍රන්ථය ඇසුරින් චිත්‍රපටයක් එළි දැක්වුණි. එය අධ්‍යක්ෂණය කළේ ෆ්‍රෑන්ක් බේයර් ය. 2015 දී එහි නව නිමැවුමක් කරන ලදී.

කඳවුරේ සිටියදී ආපිට්ස් ලියූ නවකතාවක් වූ එස්තර් 1959 දී පළ විය. එමෙන්ම වයිමාර් ජනරජ සමයේ කම්කරු පවුලක් වටා ගෙතුණ Der Regenbogen (දේදුන්න) නම් නවකතාව 1976 දී එළි දැක්විණ.

1965 දී ආපිට්ස් මාර්ලිස් කික්හේෆර් සමඟ විවාහ වූ අතර ඔවුනට එම වසරේදී ම සැබීන් නම් දියණියක ලැබිණ.

ඔහු 1961 සිට නැගෙනහිර ජර්මන් කලා ඇකඩමියේ සාමාජිකයකු ලෙස ඔහු බඳවා ගන්නා ලදී. ආපිට්ස් 1979 අප්‍රේල් 7 වනදා බර්ලිනයේදී මිය ගියේය.

Friday, September 11, 2020

බල්ලන්ට කන්නට දී මරා දැමූ බව කියන​ මාමාගේ ඝාතනය ගැන කිම් ජොංග්-උන් ට්‍රම්ප් සමග කියයි

 මීට වසර කිහිපයකට පෙර උතුරු කොරියාවේ නායක කිම් ජොංග්-උන්ගේ මාමාකෙනෙකු බල්ලන්ට කන්නට දමා මරා දැමූ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති.

තමන්ගේ මාමා මරණයට පත්කිරීම පිළිබඳ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විස්තර කර ඇතැයි එළඹෙන සතියෙහි නිකුත් වන කෘතියක් පවසනවා. බොබ් වුඩ්වර්ඩ්ගේ "Rage" කෘතිය මේ බැව් පවසන්නේ යයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළා.


මෙසේ විස්තර කරන්නට ඇත්තේ කිනම් මාමා ගැනදැයි අපහැදිලි නමුත් ඒ 2013 දී මරා දමන ලද යාන් සොංග්-තෙක් පිළිබඳ වියහැකි යයි අනුමාන කෙරෙනවා.

කිම් තමන් සමග සියළු දේ පවසන්නේය යයි ට්‍රම්ප් ප්‍රකාශ කළ බවක් ද මෙම කෘතියේ සඳහන් වන්නේ යයි වාර්තා වනවා.

කිම් ජොංග්-උන්ගේ නැන්දණිය වන කිම් ක්‍යොංග්-හුයිගේ ස්වාමි පුරුෂයා වූ ජාන් සොංග්-තෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ උප සභාපති ද වුණා. එමෙන්ම කිම් ජොංග්-උන්ගේ පියා අසනීප වූ අවස්ථාවේ ඔහුගේ අනුප්‍රාප්තිකයා ද වියහැකි බවට ඔහු පිළිබඳ අනුමානයන් කෙරුණා.

ඔහුගේ මරණයට හේතුව මෙන්ම එය සිදුකළ අයුරු ගැන ද එකළ විවිධ වාර්තා පළ වුණා. ජාන්ගේ මරණය බල අරගලයක ප්‍රතිඵලයක් බව විශ්වාස කෙරෙතත් එය ව්‍යාපාරික පළහිලව්වක් බවට ද දකුණු කොරියානු බුද්ධි සේවා විශ්වාස කළා.


බලු රැළකට කන්නට දී කිම්ගේ මාමාව මරා දැමූ බව මුලින්ම වාර්තා කළේ චීන පුවත්පතක් විසින්. ඊට පෙර විශ්වාස කෙරුණේ ඔහුව වෙඩිතබා මරා දමන ලද බවයි.

සුප්‍රකට මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ් විසින් ලියන ලද "Rage" කෘතිය ට්‍රම්ප් පාලන සමය පිළිබඳ විස්තර කෙරෙන ඔහුගේ දෙවන කෘතියයි. මේ කෘතිය සඳහා ඔහු ට්‍රම්ප්ව ද සම්මුඛ සාකච්ඡාවට ලක්කළ බවයි වාර්තා වූයේ. බොබ් වුඩ්වර්ඩ් මුලින්ම ලෝක ප්‍රකට වූයේ 70 දශකයේ කාර්ල් බර්න්ස්ටයින් සමග එක්ව වෝටර්ගේට් පළහිලව්ව හෙළිදරව් කිරීමෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති නික්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

Thursday, September 10, 2020

සෝවියට් දේශය ආක්‍රමණය කළ ඔපරේෂන් බාබරෝසා සැලසුම

1940 වසරේ දෙවන භාගය ගෙවී යද්දී සෝවියට් දේශය හා ජර්මනිය අතර සැකය වර්ධනය වෙමින් තිබුණි. නෝර්වේ හි උතුරු දෙසට යන ජර්මන් සේනාංක ෆින්ලන්තය හරහා ගමන් කිරීම සෝවියට් දේශයේ සැකයට හේතු විය​. මේ අතර ජර්මනිය​, ඉතාලිය සහ ජපානය ඇතුලත් මිත්‍ර සන්ධානය නව ත්‍රි පාර්ශවික මිත්‍රත්වයක් මගින් ශක්තිමත් වීම කෙරෙහි ද සෝවියට් දේශය සැකයෙන් බලා සිටියේ ය​. පෙරමුණු දෙකක කරන යුද්ධයක් පිළිබඳ බිය සෝවියට් දේශයෙහි ජනිත විය.

දෙරට අතර මෙම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට සෝවියට් විදේශ ඇමති ව්‍යචෙස්ලාව් මෝලතෆ් බර්ලින් වෙත පැමිණියේ ය​. 1940 නොවැම්බර් 12 බර්ලින් වෙත පැමිණි ඔහු රිබන්ත්‍රොප් මෙන්ම හිට්ලර් ද හමුවිය​.  එහෙත් නට්සින් විසින් ලබා දුන් ව්‍යාජ පොරොන්දුවලට ඔහු හසු නොවී ය​.

දෙපාර්ශවය අතර සාකච්ඡා වූයේ එකිනෙකාගේ බලපෑම් කලාපයන් පිළිබඳව ය​. මෙහිදී ජර්මනිය උත්සාහ කළේ සෝවියට් අවධානය ඉන්දියන් සාගරය වෙත යොමු කිරීම ය​. සෝවියට් දේශය අවධානය යොමු කළේ කළු මුහුද දෙසට ය​. එහෙත් එම ප්‍රදේශය ජර්මනියට ද අවශ්‍ය විය​.

මෝල්තෆ් නැවත මොස්කව් ගොස් ස්වල්ප දිනෙකින් සෝවියට් රජයේ ඉල්ලීම් ජර්මන් රජය වෙත ලැබුණි. ෆින්ලන්තයෙන් ජර්මන් හමුදා ඉවත් කරගැනීම මෙන්ම බොස්පරස් සහ ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධි ආසන්න ප්‍රදේශයක යුධ හා නාවික හමුදා කඳවුරක් ලබා ගැනීම ද සෝවියට් ඉල්ලීම් අතර විය.

"ස්ටාලින් දක්ෂයෙක් වගේම කට්ටයෙක්. ඔහු හිතක් පපුවක් නැති කප්පම්කාරයෙක්. ජර්මන් ජයග්‍රහණය රුසියාවට දරාගන්න බැහැ. එහෙයින් ඉක්මණින්ම රුසියාව දණගැස්විය යුතුයි" මෙම ඉල්ලීම් පිළිබඳ අදහස් දැක්වූ හිට්ලර් කියා සිටියේ ය.

1940 දෙසැම්බර් මුලදී ජර්මන් හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් වෝල්තර් ෆොන් බ්‍රවුහිච් සහ යුධ හමුදා උත්තරීතර අණදෙන මණ්ඩලයේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෆ්‍රාන්ස් හැල්ඩර් විසින් සෝවියට් දේශයට පහර දීමේ සැලසුම හිට්ලර්ට ඉදිරිපත් කරන ලදී. දෙසැම්බර් 18 වනදා ෆ්‍යුරර්ගේ (නායකතුමාගේ) කාර්යාලය විසින් මේ පිළිබඳ උපදෙස් මාලාවක් ඉදිරිපත් කෙරිණ. "බාබරෝසා මෙහෙයුම" යන සංකේත නාමය මුලින්ම හඳුන්වා දෙනු ලැබුණේ ද එය මගිනි.

"එංගලන්තය සමග යුද්ධය නිමා වීමට පෙර, වේගවත් කෙටි කාලීන යුධ ව්‍යාපාරයක් මගින් සෝවියට් රුසියාව විනාශ කිරීම සඳහා ජර්මන් සන්නද්ධ හමුදා සූදානම් විය යුතු ය" හිට්ලර් එහි සඳහන් කළේ ය. 1941 මැයි 15 වනවිට සෝවියට් දේශය ආක්‍රමණය සඳහා සූදානම් වන ලෙස හිට්ලර් දන්වා සිටියේ ය.

ජර්මන් සැලසුම ඉතා පුළුල් ලෙස සකසන ලද්දක් විය. ජර්මන් හමුදා කණ්ඩායම් තුනක් සෝවියට් දේශයට කඩාවැදිය යුතු වූ අතර ප්‍රිපෙත් වගුරු බිම් ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රදේශ වෙන් කෙරෙන ප්‍රධාන භූමි කලාපයක් විය. මෙම වගුරු ප්‍රදේශයෙන් උතුරට වන්නට හමුදා කණ්ඩායම් දෙකක් ලෙනින්ග්‍රාදය හා මොස්කව් ඉලක්ක කරගෙන ගමන් කළයුතු විය. ලෙනින්ග්‍රාද් කරා යන සේනාංකය "උතුරුදිග හමුදා කණ්ඩායම" ද මොස්කව් කරා යන සේනාංකය "මධ්‍යමදිග හමුදා කණ්ඩායම" ද විය. මේ අතර ප්‍රිපෙත් වගුරුබිම් ප්‍රදේශයෙන් දකුණුදිගින් තවත් හමුදා කණ්ඩායමක් යුක්‍රේනය වෙත පහර දියයුතු වූයේ ය. එය "දකුණුදිග හමුදා කණ්ඩායම" ය. සෝවියට් දේශයේ විවෘත භූමිය හරහා වේගයෙන් කඩාවැදී, රතු හමුදා සේනාංක වට කිරීමටත්, ඔවුන් ක්‍රමානුකූලව පසුබැසීමේ ඉඩ ඇහිරීමටත් නියමිත විය.


උතුරුදිග හමුදා කණ්ඩායමට අණ දුන්නේ ෆීල්ඩ් මාර්ෂල් විල්හෙල්ම් රිටර් ෆොන් ලීබ් ය. දකුණුදිග හමුදා කණ්ඩායමට ෆීල්ඩ් මාර්ෂල් ගර්ඩ් ෆොන් රුන්ස්ටෙඩ් විසින් අණදෙන ලදී. මධ්‍යමදිග හමුදා කණ්ඩායමට අණ දෙන ලද්දේ ෆීල්ඩ් මාර්ෂල් ෆෙඩෝර් ෆොන් බොක් ය.

මෙහිදී ද ප්‍රංශයේදී මෙන් පැන්සර් කණ්ඩායම් විශේෂ කාර්යයභාරයක් කළ යුතු වූයේ ය. සෝවියට් දේශයේ විවෘත භූමිය ඔස්සේ පැන්සර් සේනාංකයන්ට පහසුවෙන් ගමන් කළ හැකි වේ යයි අනුමාන කරන ලදී. එම අදහසින් යුක්තව යුධ ටැංකි සේනාංක හතරක් බාබරෝසා මෙහෙයුමට දායක වූහ. උතුරුදිග හමුදා කණ්ඩායමට සහ දකුණුදිග හමුදා කණ්ඩායමට මෙයින් පැන්සර් සේනාංක එක බැගින් ලබාදුන් අතර මධ්‍යමදිග හමුදා කණ්ඩායමට පැන්සර් සේනාංක දෙකක් විය.

උතුරුදිග හමුදා කණ්ඩායමට අනුයුක්ත වූ 4 වන පැන්සර් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ ජෙනරාල් එරික් හ්‍යොප්නර් ය. දකුණුදිග හමුදා කණ්ඩායමේ වූ 1 වන පැන්සර් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ කර්නල් ජෙනරල් එවාල්ඩ් ෆොන් ක්ලයිස්ට් ය. මධ්‍යමදිග හමුදා කණ්ඩායමේ වූ 2 වන පැන්සර් කණ්ඩායම ජෙනරල් හයින්ස් ගුඩේරියන් විසින් ද 3 වන පැන්සර් කණ්ඩායම ලුතිනන් ජෙනරල් හර්මන් ගොත් විසින් ද මෙහෙයවන ලදී.

එමෙන්ම බාබරෝසා මෙහෙයුම් සැලසුමෙහි ෆින්ලන්ත සහ රුමේනියා හමුදාවල දායකත්වය පිළිබඳ ද කරුණු සඳහන් විය. ෆින්ලන්ත හා ජර්මන් හමුදා එක්ව ලෙනින්ග්‍රාද් දෙසට සහ මුර්මන්ස්ක් දුම්රිය මාර්ගය දෙසට ගමන් කළ යුතු වූ අතර, උතුරුදිග වරායවල් අල්ලාගත යුතු වූයේ ය. සමස්ථයක් ලෙස ගත්විට බාබරෝසා මෙහෙයුම මගින් උතුරේ ආහන්ගෙල්ස්ක් සිට දකුණේ අස්ත්‍රහාන් දක්වා ප්‍රදේශයක් අල්ලා ගැනීමට අපේක්ෂා කෙරිණ.

මෙම ප්‍රදේශයේ ඉඩම් අල්ලාගැනීම සඳහා ජර්මානුන් සැලසුම් සකස් කළෝ ය. ජර්මන් ජාතිය උත්තරීතරය යන නට්සි දර්ශනය අනුව රුසියාවේ ස්ලාව් ජාතිකයන් සුදුසු වූයේ වහලුන් ලෙස යොදාගැනීමට ය. රුසියාවේ නගරවාසීන් හාමත් කර ඒවා ජනශුන්‍ය කිරීමට නට්සීහු අදහස් කළ හ. එමෙන්ම ලෙනින්ග්‍රාදය පොළවට සමතලා කිරීමට සැලසුම් කරන ලද්දේ ය. ජර්මන් සෙබළුන් සෝවියට් දේශයේදී සිදු කෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපරාධමය චෝදනා ගොනු නොකෙරෙන ලෙස නීති පනවන ලදී. කොමියුනිස්ට් පාක්ෂිකයන් අල්ලාගත් වහා ඝාතනය කළ යුතු වූයේ ය.

1940 දෙසැම්බර් මුලදී හමුදා නායකයින් සමග වූ සාකච්ඡාවක් අතරතුර හිට්ලර් දන්වා සිටියේ මොස්කව් නගරය අල්ලාගැනීමට වඩා ප්‍රමුඛ ස්ථානයක් රතු හමුදාවට හැකි උපරිම හානි සිදුකිරීම කෙරෙහි යොමු වියයුතු බව ය. එහෙත් ඔහු ඉදිරිපත් කළ සැලසුමෙහි මොස්කව් පිළිබඳ වූයේ වෙනස් කරුණකි. මොස්කව් නගරය සෝවියට් දේශපාලනික කේන්ද්‍රස්ථානය වන හෙයින්ද, එරට වැදගත්ම දුම්රිය මාර්ග මධ්‍යස්ථානය හෙයින් ද, එම නගරය අල්ලාගැනීම ඉතා වැදගත් බව බාබරෝසා සැලසුම කියා සිටියේ ය.

කෙසේ නමුත් මොස්කව් අල්ලාගැනීම සහ රතු හමුදාවට හැකි උපරිම හානිය සිදු කිරීම යන අරමුණු දෙක අතර හිට්ලර් දෝලනය වෙමින් සිටියේ ය. මෙය ඔහු හා හමුදා නායකත්වය අතර මතගැටුම් සඳහා මග විවර කළ අතර බාබරෝසා මෙහෙයුමේ අවසන් අසාර්ථකත්වයට ද හේතු විය.

Wednesday, September 9, 2020

ඉපැරණි ඊජිප්තුවේ රහස් කියන අලුතින් සොයාගත් පුරාවස්තු

ඊජිප්තුවේ පුරාවිද්‍යා කැණීම් අතරතුර වසර 2500ක් පැරණි මිනී පෙට්ටි 13 ක් හමුවූ බවත් තවත් බොහෝ දෑ හමුවිය හැකි බවත් එරට සංචාරක හා පුරාවස්තු පිළිබඳ අමාත්‍යංශය පවසනවා.

සකාරා සොහොන් සංකීර්ණයේ (Saqqara Necropolis) මීටර් 11 ක් පොළව මට්ටමෙන් පහළ වූ ස්‍ථානයක මෙම මිනී පෙට්ටි හමුවී තිබෙනවා. මේ ඇතැම් ඒවායේ මුල් තීන්ත ආලේපනය ඒ ආකාරයෙන්ම වන බව ද පෙනීගොස් තිබෙනවා.


මීට අමතරව මුද්‍රා තබන ලද කුටීර තුනක් ද හමුවී තිබෙන අතර එහි තවත් වස්තූන් තිබිය හැකි බව විශ්වාස කෙරෙනවා.


සකාරා සොහොන් භූමිය ඉපැරණි ඊජිප්තු අගනුවරක් වූ මෙම්ෆීස් හි සුසාන භූමිය වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙහි ඉහළ පැළැන්තිවල අය මෙන්ම සාමාන්‍ය මධ්‍යම පාන්තික හෝ ඇතැම්විට කම්කරු පන්තියේ හෝ පුද්ගලයන්ගේ මෘතදේහ ද ඇතැයි සැලකෙනවා.


සාමාන්‍යයෙන් ඊජිප්තුවේ බොහෝ සුසානයන් නිදන් හොරුන් විසින් කොල්ල කා තිබෙනවා. එහෙත් සකාරාවලදී මෙසේ වැඩි හානි සිදු නොවූ පුරාවස්තු හමුවීමත් සමග පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා හමුවූ ප්‍රදේශයේ වෙනත් වැදගත් පුරාවස්තූන් රැසක් ඉදිරියේදී සොයාගන්නට හැකිවනු ඇති බවයි.

Tuesday, September 8, 2020

ලෙනින්ග්‍රාද් වටලෑම සහ සෝවියට් ජනයාගේ වීරෝධාර ප්‍රතිරෝධය

"පීටර්ස්බර්ග් නගරය මිහිමතින් මකා දැමීමට ෆ්‍යුරර් තීරණය කර තිබේ. සෝවියට් රුසියාව විනාශ කරන ලද පසු මෙහි පැවැත්ම පිළිබඳ මට කිසිදු අවශ්‍යතාවයක් නොමැත".

- ඇඩොල්ෆ් හිට්ලර් (1941 සැප්තැම්බර් 22)

බාබරෝසා මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේදී ජර්මානුන්ගේ මූලික ඉලක්කය වූයේ ලෙනින්ග්‍රාද් නගරය ය. මෙහෙයුමෙහි මුල් දිනවලදී උතුරුදිග හමුදා කණ්ඩායම බෝල්ටික් ප්‍රදේශයන් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදුණි. මේ අතර ෆින්ලන්තය දෙසින් ද ජර්මන් - ෆින්ලන්ත හමුදා ලෙනින්ග්‍රාද් දෙසට ඇදුණ හ.

ලෙනින්ග්‍රාද් වෙත කෙමෙන් ආසන්න වෙද්දී ජර්මන් උතුරුදිග හමුදා කණ්ඩායමට එල්ල වන ප්‍රතිරෝධය කෙමෙන් වැඩි විය. නෝව්ගරද්වලදී එල්ල වූ ප්‍රතිප්‍රහාර ඊට එක් උදාහරණයකි. කෙසේ නමුත් දිගටම එල්ල වූ ජර්මන් ප්‍රහාර හමුවේ රතු හමුදාවන් පසුබස්වන ලදී. 1941 සැප්තැම්බර් 8 වනදා, ලාදගා විල්බඩ පිහිටි ෂ්ලිසෙල්බුර්ග් වෙත ජර්මානු සේනා ළඟා වූහ. ලෙනින්ග්‍රාදය සහ අනෙක් සෝවියට් පාලන ප්‍රදේශ අතර වූ අවසන් ගොඩබිම් මාර්ගය මෙසේ ජර්මානුන් අතට පත් වූයේ ය. දින 882 ක් පැවති ලෙනින්ග්‍රාද් වටලෑම ඇරඹුණි. මෙම අවස්ථාවේ නගරයෙහි ළමුන් 400,000 ක් ඇතුළුව මිලියන 2.5 ක ජනගහනයක් වූහ. එහි ආහාරපාන තිබුණේ මාසයක පමණ කාලයකට ය.


සෝවියට් යුධ හමුදා ප්‍රධාන පරිපාලක මණ්ඩලයේ ලෙනින්ග්‍රාද් හි නියෝජිතයා ලෙස ජෙනරාල් ෂූකොෆ්ව වහා යැවීමට ස්ටාලින් තීරණය කළේ ය. කල්ඛින්-ගොල් හිදී ජපනුන් අන්ත පරාජයකට පත් කිරීමෙන් පසු ඔහුගේ කීර්ති නාමය ඉහළ ගියේ ය. බාබරෝසා මෙහෙයුම ඇරඹෙන අවස්ථාවේදී ෂූකොෆ් රතු හමුදා මාණ්ඩලික ප්‍රධානියා වූයේ ය. ජූලි මාසයේදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර හමුදාවක ප්‍රධානියකු කරන ලදී. එය නිලයෙන් පහළ හෙලීමක් යයි බැලූ බැල්මට දිස් වුවද, ඔහුව යොමු කරන ලද්දේ මොස්කව් දෙසට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරක මෙහෙයුමකට නායකත්වය දීමට ය. එය ස්ටාලින් සහ ෂූකොෆ් අතර එකඟතාවක් සහිතව සිදු වූ ස්ථාන මාරුවක් බව පෙනී යයි.

මෙම මෙහෙයුම සාර්ථක වූ අතර ජර්මන් හමුදා බාබරෝසා මෙහෙයුම ආරම්භයේදී ලද විරල පසුබැසීමක් ලෙස එය ඉතිහාසයට එක් විය. එයින් අනතුරුව යුධ පෙරමුණේ අවදානම් ස්ථාන පිළිබඳ කටයුතු කිරීම සඳහා ෂූකොෆ් යැවීමට ස්ටාලින් ද යොමු වූ බව පෙනේ.


ලෙනින්ග්‍රාද් හි ප්‍රධාන පරිපාලක මාණ්ඩලික නියෝජිතයා වූයේ මාර්ෂල් වරශීලොෆ් ය. අතිශයින් ම නිර්භීත නිලධාරියකු වූ නමුත් යුධ උපක්‍රම පිළිබඳ ඔහු සතු වූයේ ශුන්‍යයට ආසන්න දැනුමකි. ඔහු මාර්ෂල්වරයකු ලෙස පත් වූයේ ස්ටාලින්ගේ පැරණි මිතුරකු වූ බැවිනි. එහෙත් ලෙනින්ග්‍රාද් හි මතුවූ තත්ත්වය හේතුවෙන් ස්ටාලින් සිය මිත්‍රයාගේ ක්‍රියාකලාපය කෙරෙහි නොසතුටු වූයේ ය.

ෂූකොෆ් සිය උපරිම උත්සාහය ලෙනින්ග්‍රාද් රැකගැනීම සහ එහි වටලෑම බිඳ දැමීම කෙරෙහි යෙදවීය. එහිදී ඔහු කාලතුවක්කු කෙරෙහි වැඩි අවධානය යොමු කළේ ය. මේ අතර කිරොෆ් කර්මාන්ශාලාවේ නවතම KV යුධ ටැංකි නිපදවෙමින් තිබුණි. මේවා කෙලින්ම යවන ලද්දේ යුධ පෙරමුණට ය. තවද, සෝවියට් බෝල්ටික් මුහුදු නාවික බලකායේ නැව්වල කාලතුවක්කු ද, නාවික බලකොටු ද, වෙරළබඩ ප්‍රදේශයේ සටන් සඳහා උපකාරී විය.

කෙසේ වෙතත් වටලෑම කඩා දැමීමේ උත්සාහය මූලිකව කේන්ද්‍ර කෙරුණේ ෂ්ලිසෙල්බුර්ග් ප්‍රදේශය අසළ ය. ලෙනින්ග්‍රාද් ප්‍රදේශය තුළ කොටු වූ රතු හමුදා ද, ඊට එපිටින් වූ හමුදා ද දෙපසින් එදෙසට පහර දුන් හ. කෙසේ වෙතත්, ජර්මන් සේනාංක එම ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට සමත් වූහ.

ලෙනින්ග්‍රාද් පෙරමුණේ දී ෂූකොෆ් කෙතරම් සාර්ථක වූයේ ද යන්න විවාදයට තුඩු දෙන කාරණයකි. එක් අතකින් ඔහු නගරය ජර්මානුන් අතට පත් වීමෙන් ගලවා ගත්තේ ය. එහෙත් ඔහු අති සාර්ථක වූයේය යන අදහස පිළිබඳ ඒකමතික මතයක් නොමැත.

සැප්තැම්බර් මාසයේ අවසන් සතිය කරා එළඹෙන විට කියෙව් සටන අවසන් වෙමින් පැවතුණි. නැවත මොස්කව් වෙත මූලික අවධානය යොමු කිරීමට මෙම අවස්ථාවේදී හිට්ලර් තීරණය කළේ ය. මේ අනුව ලෙනින්ග්‍රාද් දෙස අවධානය අඩු කෙරිණ. හිට්ලර් තීරණය කළේ නගරය වටලාගෙන, හාමත් කර යටත් වීමට සැලැස්වීම ය. යම් හෙයකින් ජර්මානුන් දිගටම සම්පූර්ණ ශක්තියෙන් පහර දුන්නේ නම්, ලෙනින්ග්‍රාද් සටන කොයි අතට යන්නට තිබුණිදැයි අනුමාන කිරීම අසීරු ය.

එමෙන්ම ෂූකොෆ්ට ලැබුණ මූලික නියෝගය වූයේ ලෙනින්ග්‍රාද් වටලෑම බිඳ හෙලීම ය. එහිදී ඔහු සාර්ථක නොවූයේ ය. මේ අනුව, ඔහුගේ මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමට ෂූකොෆ් අපොහොසත් වූයේ ය.

කරුණු එසේ වුවද, ලෙනින්ග්‍රාද් ගලවා ගන්නා ලද බව ද, ඒ සඳහා ෂූකොෆ් පැහැදිලි දායකත්වයක් දැක්වූ බව ද පිළිගත යුතු සත්‍යයකි. එමෙන්ම, පරාජය පිට පරාජය ලබන සෝවියට් රතු හමුදාවන්ට ලෙනින්ග්‍රාද් රැකගත හැකිවීම වැදගත් කරුණක් වූයේ ය.

මීළඟ මාස කිහිපයේදී තත්ත්වය තවත් අයහපත් අතට හැරුණි. සිසිර ඍතුව නගරය වෙළා ගනිද්දී ආහාර සැපයුම් අඩාල විය. පුද්ගලයකුට ලබාදෙන පාන් සලාකය දිනකට ග්‍රෑම් 125 දක්වා අඩු කෙරිණ. කම්කරුවන්ට එමෙන් දෙගුණයක් ලැබුණි. පාන්වල තත්ත්වය ද බාල විය. මේ අතර, ලාදගා විල මිදී තිබුණ ද ඒ මතින් සැපයුම් ගෙන ඒම අපහසු විය. විලෙහි ජලය එකාකාරව නොමිදීම ඊට එක් හේතුවක් විය. එමෙන්ම මිදුණ විල හරහා ගමන් කළ හැකි කෙටිම දුර, සතුරු කාලතුවක්කු පරාසයේ විය. එහෙයින් ඊට උතුරින්, විල මතින් සැපයුම් මාර්ගයක් නිර්මාණය විය. විටින් විට, හිම පතනයෙහි සහ අයිස් තට්ටුවේ ඝණකම අනුව, මෙම සැපයුම් මාර්ගය ස්වල්ප වශයෙන් වෙනස් කර ගන්නා ලද්දේ ය. මෙම මාර්ගය අදට ද "ජීවයේ මග" ලෙස හඳුන්වා දෙනු ලබයි.

(මෙසේ ඇරඹුණු ලෙනින් ග්‍රාද් වටලෑම අවසන් වූයේ 1944 ජනවාරි 27 වනදා ය)

Monday, September 7, 2020

මහාභාරතය ලියූ ව්‍යාස ඍෂිවරයාගේ සොහොන

ඉන්දියාවේ මහා වීර කාව්‍යය කුමක්දැයි අපෙන් ඇහුවොත් නිසැකවම ඊට පිළිතුර වන්නේ මහාභාරතය යන්නයි.

මහාභාරතය රචනා කළ බවට සැලකෙන ව්‍යාස ඍෂිවරයාගෙ බව කියවෙන සොහොන තියෙන්නෙ බටහිර රාජස්ථානයේ ජයිසල්මේර් නගරයේ යි.

ඇත්තෙන්ම, මහාභාරතය රචනා කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා. ඇතැම් මතයකින් කියවෙන්නේ එය අතීතයේ සිදුවූ යම් බල අරගලයක් මුල් කරගෙන රචනා කරනු ලැබ, පසුව ජනකතා සහ වෙනත් එකතු කිරීම් ද සමග විශාල කතා පුවතක් වූ බවයි.

ඒ කෙසේ වුණත් පුරාවෘත්තයන් කියන ආකාරයට ව්‍යාස නම් ඍෂිවරයා රචනා කළ කෘතියක් ලෙස මහාභාරතය සැලකෙනවා. ඇතැම්විට මහාභාරතය මුලින්ම රචනා කළේ ඔහු වන්නට ඇති.

එමෙන්ම ව්‍යාස ජීවත්වුණා යයි සැලකෙන්නෙ වර්තමාන ඉන්දියාවෙ උත්තරාඛන්ද් ආශ්‍රිතවයි. තවද ජයිසල්මේර්වල ඉතිහාසය වසර දහසක් තරම්වත් පැරණි නැහැ. ඒ අනුව ඇත්තෙන්ම ව්‍යාස් චත්‍රි යනු ව්‍යාසගේ සොහොන පිහිටි ස්මාරකයද යයි සැකයක් මතු වනවා.

මේ කාරණා පසෙකින් තබා, අපි පුරාවෘත්තවල කියවෙන දේ මඳකට විශ්වාස කරමින්, ව්‍යාස් චත්‍රි ගැන හඳුනාගමු.


ව්‍යාස් චත්‍රි පිහිටා තියෙන්නෙ ජයිසල්මේර් බලකොටුවට ටිකක් එපිටින්. දුර සඳහන් කළොත් කිලෝමීටරයකට ටිකක් වැඩියි. කෙටි පවුරකින් වටකරපු විවෘත බිමක මැදට වන්නට වන උස් බිමක තමයි මෙහි සොහොන් නිර්මාණය කර තිබෙන්නේ. මෙය ජයිසල්මේර් හි බ්‍රාහ්මණයින් සඳහා වූ සොහොන් බිමක් ලෙස සැලකෙන අතර ව්‍යාස් ඍෂිවරයාගෙ ස්මාරකය එහි ඇති එක් ස්මාරකයක් වනවා.

මෙහි චත්‍රි යනුවෙන් හඳුන්වන්නෙ ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයේ එක් අංගයක්. සාමාන්‍යයෙන් එයින් ඇඟවෙන්නේ සොහොනක් හෝ ස්මාරකයක් ආවරණය කෙරෙන, අලංකාර රටාවන් සහිතව තැනෙන ගොඩනැගිල්ලක්.

ජයිසල්මේර් බලකොටුව ගැන කියෙව්වේ නැතිනම් මේ ලිපිය කියවල බලන්න.

ජයිසල්මේර්වල අනෙකුත් ගොඩනැගිලි වගේම ව්‍යාස් චත්‍රි කියන්නෙත් කහපාට වැලිගලින් තැනූවක්. එය රාජස්ථානි ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ කදිම නිදසුනක්. මෙවැනිම තවත් ස්ථානයක් වන බඩා බාග් නම් ස්ථානයක් ද ජයිසල්මේර් හි වනවා. ඊට ජයිසල්මේර් කොටුවෙන් තවත් ටිකක් ඈතට යන්න අවශ්‍යයි.


ඒ වගේම එය හිරු බැසීම දකින්නත් සුදුසුම ස්ථානයක් බවත් එහි සිට ජයිසල්මේර් නගරය මනාව දිස්වන බවත් පැවසෙනවා. අපට ඒ පිළිබඳ කිව නොහැක්කේ අප එහි ගියේ උදය වරුවක බැවින්.

අප නැවතී සිටි තැනට ව්‍යාස් චත්‍රි ඉතා ආසන්න වූ අතර ඒ නිසා ම අප එහි ගියේ පාගමනින්. ඒ වනවිට එම ස්ථානය විවෘත කර නොතිබූ හෙයින් අපට එය දකින්න ලැබුණේ දුර සිට පමණයි. අප යද්දී එහි යම් පිරිසක් අතුපතුගාමින් සිටි අතර, ඔවුන් අප ඊට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසළට පැමිණියද අප ළඟට ආවේ නැහැ. ඔවුන් ඈත සිට පැවසූ දෙයින් අපට හැඟී ගියේ උදෑසන දහයට එය විවෘත කරන බවක්. එහෙත් එය විවෘත කරන තෙක් සිටින්න නොහැකි වුණේ අපට එදින සවස ජෝද්පූර් බලා එන්නට දුම්රිය යෙදී තිබුණ නිසයි.

ඉර බහින වෙලාවක ව්‍යාස් චත්‍රි බලන්න යන්නට නොහැකි වූ හේතුව පසුව කියන්නම්. අප දවස් දෙකක් ජයිසල්මේර් හි ඉර බසින වෙලාවල සිටියත් ඒ අවස්ථා දෙකේම අප සිටියේ වෙනත් ස්ථානවලයි. එයින් එක් වතාවක අප සිටියේ කාන්තාරයේ යි.

පළමු ලෝක යුද්ධය​: ජර්මන් යටත්විජිතවල සටන් 1914 - 18

ජර්මනිය යටත් විජිත සටනට එක් වූයේ 1884 දී ය​. එරට බොහෝ යුරෝපා රටවලට වඩා ප්‍රමාද වී එම පොරයට එක් වූ බැවින් ජර්මනියට යටත් ප්‍රදේශ ලබාගැනීම උදෙසා බලාපොරොත්තු තැබිය හැකි වූයේ අප්‍රිකාවේ සහ පැසිෆික් සාගරයේ ඇතැම් පෙදෙස් කෙරෙහි පමණකි.

ආරම්භයේදීම ජර්මනිය වැඩි කරදරයකින් තොරවම විශාල ප්‍රදේශ කිහිපයක අයිතිය ලබාගත්තේය​. නිරිතදිග අප්‍රිකාව (වර්තමාන නැමීබියාව​), ටෝගෝලන්තය සහ කැමරූනය 1884 දී ලබාගත් ජර්මන්නු 1885 දී ටැංගනීකාව අල්ලා ගත් හ​. මේ අනුව වසරකට මදක් වැඩි කළක් තුළ එරටට වර්ග සැතැපුම් මිලියනයක පමණ ප්‍රදේශයක් අල්ලාගත හැකි විය​. ඒ වෙනත් බටහිර රටක් සමඟ යුධ වැදීමකින් තොරව ය​.

මීළඟ වසර කිහිපයේදී ජර්මනියේ අවධානය පැසිෆික් සාගර දූපත් සහ චීනය දෙස යොමු වූයේය​. 1914 වන විට නිව් ගිනියා දූපතෙන් කොටසක් සහ අසළ පිහිටි බිස්මාර්ක් දූපත් ද​, පැසිෆික් සාගරයේ සැමෝවා දූපත්වලින් කොටසක් (වර්තමාන සැමෝවා රාජ්‍යය​), මාර්ෂල් දූපත්, මරියානා දූපත්, පලාවු සහ කැරොලිනා දූපත් ද​, චීනයේ ෂැංටුං අර්ධද්වීපයේ ට්සිංටාඕ බලකොටුව ද ජර්මනිය අත පැවතිණ​.

පැසිෆික් සාගරයේ ජර්මන් විජිත - 1914

1914 අගෝස්තුවේදී ම, එනම් පළමු ලෝක යුද්ධය ඇරඹි වහාම​, ජර්මන් පැසිෆික් විජිතවලට තර්ජනය කරන ලදී. බොහෝකොටම කුඩා දූපත් වූ මේවායේ ආරක්ෂාව සැලසීමට ප්‍රබල නාවුක හමුදාවක් නොවීම ජර්මනියට වූ විශාලම පාඩුව විය​. මිත්‍ර පාක්ෂිකයෝ ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගත් හ​.

අගෝස්තුවේ දී නවසීලන්ත භටයින් විසින් ජර්මානු සැමෝවාව අල්ලා ගනු ලැබුණි. සැප්තැම්බරයේදී නිව් ගිනියා දූපත්වල සහ බිස්මාර්ක් දූපත්වල ජර්මානු ප්‍රදේශ ඔස්ට්‍රේලියානුවන්ට යටත් විය​.

ජපානය පළමු ලෝක යුද්ධයේදී චීනයේ සහ පැසිෆික් සාගර ප්‍රදේශවල ජර්මානු යටත් ප්‍රදේශවලට පහර දීමේ විශාල වැඩ ප්‍රමාණයක් කළේය​. 1914 අගෝස්තු - නොවැම්බර් සමයේදී මාර්ෂල් දූපත්, මරියානා දූපත්, පලාවු දූපත් සහ කැරොලිනා දූපත් යන දූපත් කාණ්ඩ සියල්ල ජපන් හමුදා යටතට ගනු ලැබීය​.

මේ අතර අගෝස්තු මාසයේ සිට ජපන් නාවික හමුදාව විසින් ට්සිංටාඕ බලකොටුව නාවුක වටලෑමකට යටත් කළ අතර ඔක්තෝබර 31 වනදා සිට එය අල්ලාගැනීමේ මෙහෙයුම් අරඹන ලද අතර නොවැම්බර් 7 වනදා බලකොටුව යටත් විය​.

අප්‍රිකාවේ ජර්මන් යටත් විජිත 1914 - 18

ඉංග්‍රීසි - ප්‍රංශ සේනාංකයක් විසින් 1914 අගෝස්තුවේදීම ටෝගෝලන්තය යටත් කරගන්නා ලදී. සැප්තැම්බරයේදී නයිජීරියාවේ සිට බ්‍රිතාන්‍යයෝ කැමරූනයේ බටහිර ප්‍රදේශය ආක්‍රමණය කළ හ​. මේ අතර ප්‍රංශ සමකාසන්න අප්‍රිකාවේ සිට ප්‍රංශ සේනාංක දකුණු සහ නැගැනහිර කැමරූනයට කඩා වැදුණෝය​.

කැමරූනයට කඩා වැදුණ බ්‍රිතාන්‍යය හමුදා සේනාංක තුනක් විය​. ඉන් උතුරුදිගින් ම වූ සේනාංකය මොරා බලකොටුව අල්ලා ගැනීමට කළ උත්සාහය අසාර්ථක වූ මුත් ජර්මානු සෙබලු එම කොටුව අතැර අසළ වූ කන්ද වෙත පසු බැස්සෝය​. එහි සිට ඔවුහු බ්‍රිතාන්‍ය ප්‍රහාරවලට මුහුණ දුන්නෝය​. කැමරූනය සම්පූර්ණයෙන්ම යටත් කරගන්නා තුරුම මෙහි සටන් පැවතුණි.




මේ අතර, දෙවැනියෙන් වූ සේනාංකය ද සාර්ථකව ඉදිරියට පැමිණි නමුත් ගරුවා බලකොටුව අල්ලාගැනීමට කළ උත්සාහය අසාර්ථක වීමෙන් එම ඉදිරි ගමන නැවතුණි. දකුණින්ම වූ සේනාංකය අන්ත පරාජයට පත් විය​.

1915 ජූනි මාසයේදී ගරුවා කොටුව බ්‍රිතාන්‍යයන් අතට පත් විය​. මීළඟ මාස කිහිපය තුළදී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ හමුදා කැමරූනය කෙමෙන් යටත් කරගත් හ​. ජර්මානුන් යවුන්ඩේ අගනුවර අවට රට මැද කඳුකරයේ ආරක්ෂාව පතා පසු බැස්සෝය​.

කෙසේ නමුත් 1916 පෙබරවාරි වනවිට කැමරූනය මුලුමනින් මිත්‍ර පාක්ෂිකයන් අත විය​.




මේ අතර 1914 සැප්තැම්බරයේදී ජර්මන් නිරිතදිග අප්‍රිකාව, දකුණු අප්‍රිකානු හමුදා විසින් ආක්‍රමණය කරන ලදී. බ්‍රිතාන්‍යය පාර්ශවය ගෙන දකුණු අප්‍රිකාව යුද්ධයට අවතීර්ණ වීමට ගත් තීරණය එරට තුළ සැළකිය යුතු බෙදීමක් ඇති කළ අතර එරට බෝයර්වරුන් සුලු පිරිසක් රජයට එරෙහිව කැරලි ගැසීය​. එම කැරැල්ල වැඩි කලක් නොගොස් මර්ධනය කරන ලදී. මේ අතර ජර්මන් නිරිතදිග අප්‍රිකාව ද 1915 ජූලි මාසය වනවිට මුලුමනින් ම අල්ලාගන්නා ලදී.

මිත්‍ර රටවලට විශාලම ප්‍රතිරෝධයක් පෑ ජර්මන් යටත් විජිතය වූයේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි ටැන්ගනීකාව ය​. මෙම ප්‍රතිරෝධයට නායකත්වය දුන්නේ ජෙනරල් පෝල් ෆොන් ලෙට්ටොව්-වෝර්බෙක් ය​. ඔහුගේ ජර්මන් සෙබලු 1914 නොවැම්බරයේදී එල්ල වූ ප්‍රබල ඉංග්‍රීසි - ඉන්දියානු හමුදා ප්‍රහාරයක් මැඩ පැවැත්වූහ​. මින් පසු කළක් මුලුල්ලේ දෙපිරිස අතර සුලු සටන් සිදු විය​. ටැංගනීකා විලේ පාලනය පිළිබඳව ද නාවික සටන් ඇතිවූ අතර 1915 නොවැම්බර් වනවිට මිත්‍ර පාක්ෂිකයෝ එහි බලය පැතිරවූහ​.

1916 දී දකුණු අප්‍රිකානු ජෙනරල් ජෑන් ක්‍රිස්ටියන් ස්මට්ස් යටතේ වූ දකුණු අප්‍රිකානු, බ්‍රිතාන්‍ය සහ පෘතුගීසි හමුදා සේනාංක ටැංගනීකාවට කඩා වැදුණහ​. මෙම විශාල හමුදා ශක්‍තිය හමුවේ ලෙට්ටොව්-වෝර්බෙක් ටැංගනීකාවේ ගිණිකොණ දිග ප්‍රදේශයට පසු බැස්සේය​. ඉන් පසු ඔහු දිගටම මිත්‍ර හමුදාවලට හසු නොවෙමින් සටන ගෙන ගියේය​.

1917 වසර අවසාන සමයේ ඔහු පෘතුගීසි නැගෙනහිර අප්‍රිකාව (වර්තමාන මොසැම්බික්) ආක්‍රමණය කළ අතර ඉන් පසු තව දුරටත් මිත්‍ර හමුදා මගහරිමින් සිටියේය​. ඔහු සටන ගෙනගියේ දැඩි අපහසුතා සහ හීනවන පිරිස් බලය ද මධ්‍යයේය​. 1918 නොවැම්බරයේදී ලෙට්ටොව්-වෝර්බෙක් සිය හමුදා නැවතත් ආක්‍රමණයක යෙදවූයේ රොඩේෂියාව වෙත කඩා පනිමිනි.

1918 නොවැම්බර් 11 වනදා ජර්මන් සේනාංක යුරෝපයේදී අවි බිම තබද්දී ලෙට්ටොව්-වෝර්බෙක් සිටියේ රොඩේෂියාවේ ය​. ඉන් දින තුනකට පසු ඔහු මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වූයේය​.