Tuesday, August 25, 2020

රුසියාවේ පළමු ත්සාර්

වර්තමානයේ අප දකින රුසියාව එනමින් ස්ථාපිත කරන ලද්දේ 1547 දී, සමස්ථ රුසියාවේ ත්සාර් ලෙස තමන්ව ප්‍රකාශයට පත් කරගත් හතරවන ඉවාන් විසින්. විදේශීය රටවල ඔහු වඩා ප්‍රසිද්ධ වන්නේ අයිවන් ද ටෙරිබල් (Ivan the Terrible) හෙවත් "බිහිසුණු අයිවන්" යන නමින්. නමුත් රුසියානුවන් ඔහුව හඳුන්වන්නේ "ඉවාන් ග්‍රෝස්නි" (Ива́н Гро́зный) යන නමින්. ඔහු බිහිසුණු අයිවන් වී අත්තේ මේ රුසියන් නම වැරදි ලෙස පරිවර්තනය වීමෙන් බවයි රුසියානුවන් ඔබට පවසනු ඇත්තේ.

ඉවාන් ග්‍රොස්නි දරුණු පාලකයකු මෙන්ම හොඳ සංවිධායකයකු ලෙස ද සැලකෙනවා. එමෙන්ම ඔහු රුසියාවේ භූමි ප්‍රදේශය ව්‍යාප්ත කිරීමට බෙහෙවින් දායක වුණා. එහෙත්, ඔහුගේ දරුණු ක්‍රියා සහ ක්ෂණික කෝපය හේතුවෙන් විශාල හානියක් ද රුසියාවට සිදුවුණා. ඔහු අතින් සිදුවූ මරණයක් නිසා රුසියාව දශකයකට වැඩි කලක් අරාජික සමයකට තල්ලු වී ගියේ යයි සැලකෙනවා.

ඉවාන් ග්‍රොස්නි සහ අයිවන් ද ටෙරිබල්

ඉංග්‍රීසි භාෂාවෙන් Terrible යන්න රුසියන් භාෂාවේ ග්‍රෝස්නි (Гро́зный​) යන්නෙහි නිවැරදි පරිවර්තනයක් නොවේ. ග්‍රෝස්නි යන්න උපදින්නේ ග්‍රසා යන යෙදුමෙන්. එයින් විදුලි කෙටීම​, අහස ගිගිරුම් දීම වැනි දේ හැඟවෙනවා. මේ අනුව ග්‍රෝස්නි යන යෙදුමට විදුලිය මෙන් ඉක්මන් යන අර්ථයක් ලැබෙනවා. එමෙන්ම ශක්තිමත්, වීරෝධාර​, සතුරා බිය වද්දනසුලු යනාදී අර්ථ ද ඒ සඳහා ලබා දී තිබෙනවා. රුසියානුවන් ඉවාන් ග්‍රෝස්නි ලෙස හතරවන ඉවාන් හඳුන්වා දෙන්නේ මෙම විවිධ අර්ථයන්ගෙන්.


කෙසේ නමුත් ඉංග්‍රීසියෙන් ග්‍රෝස්නි යන්න යනුවෙන් හැඳින්වීමත් සමග විදේශයන් හි හතරවන ඉවාන් ප්‍රකටව ඇත්තේ "බිහිසුණු" අයිවන් යන නමින්. ඉවාන් බිහිසුණු දේ කළ බව ඇත්ත යි. නමුත් ඊටත් වඩා බිහිසුණු දේ සිදුකළ පාලකයින් සිටිය දී ඉවාන් බිහිසුණු යයි පැවසීම තරමක් අසාධරණ බව යි රුසියානුවන් අදහස් කරන්නේ.

ත්සාර් බවට පත් වීම

පැරණි කියේවන් රුස් රාජ්‍යය මොංගොල් ආක්‍රමණවලින් පසු කැඩී බිඳී ගියා. ඊට අයත් වූ භූමි ප්‍රදේශ විවිධ රාජධානි යටතේ පැවති අතර, 16 වන සියවස වන විට මොස්කව් මහාධිපාද ප්‍රදේශය එයින් ප්‍රමුඛතම රාජ්‍යය බවට පත්ව තිබුණා. මෙම රාජ්‍යයේ තුන්වන වසීලිගේ පුත්‍රයා ලෙස 1530 අගෝස්තු 25 වනදා ඉවාන් වසීල්යෙවිච් උපත ලැබුවා. 1533 දී, එවකට තුන් හැවිරිදි වූ ඉවාන් කුමාරයා මෙහි පාලකයා බවට පත් වුණා. එකල එහි පාලකයා සාමාන්‍යයෙන් හඳුන්වන ලද්දේ ශ්‍රේෂ්ඨ කුමාරයා (Grand Prince) හෝ මහධිපාදයා හෝ යනුවෙන්. ඒ අනුව​, ඔහු මොස්කව් හි හතරවන ඉවාන් ලෙස ශ්‍රේෂ්ඨ කුමාරයා තනතුරට පත් වුණා.


ළාබාල කාලයේ දී ඉවාන් වෙනුවෙන් රාජ්‍යත්වයෙහි වැඩ බලන ලද්දේ වෙනත් අය යි. 1547 දී ඔහු රාජ්‍ය පාලනය ඍජුව තමා විසින් ම සිදුකිරීමට පටන් ගත්තා. මෙහිදී ඔහු තමන් රුසියාවේ ත්සාර් ලෙස ප්‍රකාශයට පත් කළා. ත්සාර් යන යෙදුම ලතින් භාෂාවේ සීසර් යන්නෙන් බිඳී එන්නක් වන අතර අධිරාජයා යන අර්ථය දෙනවා. එමෙන්ම වෙනත් සාමාන්‍ය මට්ටමට වඩා උසස් බලයක​, එනම් ප්‍රබල අධිරාජයකුගේ හෝ ක්‍රිස්තියානි ආගමික නායකයාගේ අවසර ඇතිව​, රාජ්‍ය පාලනය කරන්නා යන අර්ථය ද දෙනවා. මෙම තනතුර ස්ලැවික් රටවල් කිහිපයකම භාවිතා වී ඇති අතර මුලින්ම සාර්වරයෙකු බිහිවුණේ පළමු බාල්ගේරියානු අධිරාජ්‍යයේ යි.

ත්සාර් යන නම පවරා ගැනීමෙන් ඉවාන් තමා සිටි ස්ථාවරයට වඩා උසස් වූ තනතුරක් පවරාගත්තා පමණක් නොව සමස්ථ රුසියාවේ පාලකයා තමන් බවට ඇඟවූවා. එමෙන්ම තමන්ට ආගමික සංස්ථාවේ සහය හිමි බව ද පෙන්වා සිටියා.

ප්‍රතිසංස්කරණ සහ භූමි ව්‍යාප්තිය

ඉවාන් ග්‍රෝස්නිගේ ළමා කාලය එතරම් යහපත් වූයේ නැහැ. එයම ඇතැම් විට පසුකලෙක ඔහුගේ ඇතැම් ක්‍රියාවන්ට හේතු වූයේදැ යි සැක කළ හැකියි. ඔහුගේ පියාගේ මරණින් පසු මොස්කව් හි පාලකයා බවට පත් වූ ඔහුගේ රාජ්‍යත්වයේ වැඩ බැලීම ඔහුගේ මව වූ එලේනා ග්ලින්ස්කායා විසින් සිදුකරනු ලැබුණා. ඉවාන්ට වයස අවුරුදු අටක් වෙද්දී එලේනා ග්ලින්ස්කායා මියගිය අතර ඇයට යමෙකු විසින් විෂ දෙන්නට ඇතැ යි සැක කෙරෙනවා. ඉන්පසු ඉවාන්ව පාලනය කිරීම සඳහා බෝයාර්වරුන් නම් වූ රදල පවුල් කිහිපයක් උත්සාහ කළා. එකළ රුසියාවේ සැලකිය යුතු බලයක් මේ බෝයාර්වරුන්ට තිබුණා. තමන්ව පාලනය කරන්නට බෝයාර්වරුන් උත්සාහ කළ හෙයින් ඉවාන් තුළ ඔවුන් පිළිබඳ විශාල කැමැත්තක් වූයේ නැහැ.

තමන්ම රාජ්‍ය පාලනය කිරීමට පටන් ගත් විට​, ඉවාන් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඔහු නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කළා. නිත්‍ය හමුදාවක් (ස්ත්‍රෙල්ත්සි) ස්ථාපිත කළා. සෙම්ස්කි සොබෝර් නම් පාර්ලිමේන්තුව පිහිටවූවා. රදලයින් මෙන්ම පූජකයින් සහ නගර වැසියන් ද එහි නියෝජිතයන් ලෙස පත් වුණා. මේ සියල්ලෙන්ම ඔහු කළේ බෝයාර්වරුන් සතු වූ බලය කෙමෙන් සීමා කිරීමට උත්සාහ කිරීම යි. මේ අතර ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි සමුළුවක් පවත්වා රට පුරා ක්‍රිස්තියානි පල්ලියෙහි රීතීන් සහ වතාවත් එක් ක්‍රමයකට ගෙන එනු ලැබුණා. එයින් පල්ලිය වඩා ක්‍රමවත් ආයතනයක් කර, එමගින් ද බෝයාර්වරුන්ගේ බලය සීමා කරන්න ඔහු උත්සාහ කළා.

කසාන් වටලෑම (Peter Korovin, 1890)


මේ අතර ඉවාන්, ත්සාර් ලෙස කටයුතු කළ මුල් දශකය තුළ රුසියාවේ බලය වොල්ගා නිම්නය ඔස්සේ පතුරවනු ලැබුණා. කසාන් රාජ්‍යය 1552 දී අත්පත් කරගැනීම මෙහිදී අතිශය වැදගත් වූ සිදුවීමක් වුණා. එය සැමරීම සඳහා මොස්කව් හි විචිත්‍රවත්ම ගොඩනැගිල්ලක් වූ සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ඉදිකෙරුණා.

කසාන් අල්ලාගෙන වසර හතරකට පසු 1556 දී අස්ත්‍රහාන් හි බලය ද රුසියානුවන් විසින් අල්ලාගනු ලැබුණා. මින් දශක කිහිපයකට පසු 1582 දී, එර්මාක් තිමොෆෙයෙවිච් විසින් සිබීර් රාජ්‍යය අල්ලාගනු ලැබීම රුසියානුවන් සයිබීරියාවට ව්‍යාප්ත වීමේ ඇරඹුම ද සනිටුහන් කළා.

අප්‍රීට්ස්නිනා (Oпри́чнина)

1558 සිට රුසියාව දිගු කාලීන යුද්ධයකට පැටලුණා. එය හඳුන්වනු ලබන්නේ ලිවෝනියානු යුද්ධය යනුවෙන්. ඩෙන්මාර්ක්-නෝර්වේ, ස්වීඩනය​, ලිතුවේනියාව​, පෝලන්තය ආදී විවිධ රටවල් සමග මෙහිදී රුසියාව යුධ වැදුණා. මෙහිදී රුසියාවට භූමිය අහිමි වුණ අතර විශේෂයෙන්ම බෝල්ටික් ප්‍රදේශ සමග වෙළඳාම් කටයුතුවලට ද බාධා පැමිණුනා.

මේ අතර 1560 දී ඉවාන්ගේ බිරිඳ වූ අනස්තාසියා රොමනෝවා මරණයට පත් වුණා. ඇය ද විෂ ශරීරගත වීමෙන් මියගිය බව සැක කෙරුණා. මෙය ඉවාන්ට දෙවිධියකට බලපෑවා. එක් අතකින් රදලයින් කෙරෙහි වූ සැකය සහ කෝපය මින් තවත් වර්ධනය වුණා. එමෙන්ම ඔහුට ආත්ම සාහායිකාවක මෙන් සිටි විශ්වාසවන්ත කන්තාව ද ඔහුට අහිමි වුණා. ඉවාන් විශේෂයෙන් "බිහිසුණු" වන්නට පටන් ගත්තේ අනස්තාසියා මියගිය පසු බව සාමාන්‍යයෙන් පිළිගන්නා කරුණක්.

ඉවාන්ගේ රදල විරෝධී කටයුතු උත්සන්න වූයේ 1565 දී යි. ඔහු රුසියාවේ කොටසක් තම ඍජු පාලනය යටතට ගත්තා. එහි අප්‍රීට්ස්නිකි නම් වූ රහස් පොලිසියක් පිහිටවූවා. මෙය රුසියානු ඉතිහාසයේ පළමු රහස් පොලිසිය ලෙස සැලකෙනවා. ඉන් අනතුරුව ඉවාන් සිය බලය එහි තහවුරු කරගනිමින් තමන්ට එරෙහි වූ පිරිස් මර්දනය කළා.

1569 දී ඔහුගේ දෙවන බිරිඳ වූ මාරියා තෙව්රුකෝව්නාගේ මරණින් පසුව ඉවාන්ගේ සැක සංකා තවත් ඉහළ ගියා. එයින් ස්වල්ප දිනකට පසු ඔහුගේ ඥාති සහෝදරයා වූ ව්ලදිමීර් කුමාරයාට දිවි නසා ගැනීමට ඉවාන් බල කළා. ඒ, වසර ගණනක් තිස්සේ ව්ලදිමීර් පිළිබඳ තමන් තුළ වූ සැක සංකාවන් හි ප්‍රතිඵලයක් ලෙස යි.

ව්ලදිමීර් කුමාරයා එකල රුසියාවේ දෙවන විශාලම නගරය වූ නෝව්ගරද් හි ඉතා ජනප්‍රිය අයෙකු වුණා. ඉවාන් නෝව්ගරද් වැසියන් ද සැක කරන්නට වුණා. එහි ප්‍රතිඵලය වූයේ අප්‍රීට්ස්නික්වරුන් විසින් නගර වැසියන් සමූල ඝාතනය කිරීම යි. නෝව්ගරද් නගරය එහි පැරණි ශ්‍රී විභූතිය කරා යළි කෙදිනක හෝ ළඟා වූයේ නැහැ.

ඉවාන් තම සතුරන් යයි සිතූ අයට එරෙහිව දැඩි අමානුෂික වධ බන්ධනයන් ක්‍රියාවට නැගුවා. ඇතැම් විචාරකයින් විග්‍රහ කරන පරිදි ඉවාන් තමන්ව සැලකූයේ දෙවියන්ගේ නියෝජිතයා ලෙස යි. එවිට තමන්ට එරෙහිව යන අයට අපායේ දී හිමිවන දඬුවම් හිමි වියයුතු බව ඔහු විශ්වාස කළා.

පුත්‍රයා මරණයට පත් වීම

1581 නොවැම්බර් මාසයේ දිනෙක ත්සාර් ඉවාන් ග්‍රෝස්නි සිය පුත්‍රයා වූ ඉවාන් ඉවානොවිච්ගේ බිරිඳ වූ එලේනා ශෙරෙමෙතේවාට පහර දුන්නේ නුසුදුසු ඇඳුමක් හැඳ සිටියේ යයි චෝදනා කරමින්. ඇය එම අවස්ථාවේ ගැබිණියක ව සිටි අතර පහර දීමෙන් පසු ඇයට ගබ්සාවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳ සාර් ඉවාන් සහ සාර්යෙවිච් (කිරුළ හිමි කුමරු) ඉවාන් ඉවානවිච් අතර බහින්බස් වීමක් වුණා. එහි දී සාර් විසින් උල් අගිස්සක් සහිත බස්තමකින් එල්ල කළ පහරකින් සාර්යෙවිච් මරණාත්මක තුවාල ලැබුවා. ඉවාන් ග්‍රෝස්නි ප්‍රාතිහාර්යයක් ප්‍රාර්ථනා කරමින් යාඥා කළ ද දින කිහිපයකින් ඉවන් ඉවානවිච් මියගියා.

(මේ සිදුවීම මේ ආකාරයෙන්ම සිදුවූයේ යයි සම්පූර්ණයෙන් තහවුරු වී නැහැ. නමුත් සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන කතා පුවත මෙයයි).

මරණය සහ “කරදරකාරී සමය”​

ඉවාන් ග්‍රෝස්නි මියගියේ 1584 මාර්තු 28 වනදා සිය සමීපතමයෙකු වූ බොග්දාන් බෙල්ස්කි සමග චෙස් ක්‍රීඩා කරමින් සිටිය දී රෝගී වීමෙන්. ඔහුගේ මරණය සමග රුසියාව අවිනිශ්චිත කාලයක් කරා ගමන් ගත්තා. ඉවාන් ඉවානොවිච් මරණයට පත් වීමෙන් පසු, සිහසුන හිමි ශක්තිමත් අයෙකු නොවීම මෙයට හේතුව වුණා.

ඉවාන් ඉවානොවිච්ගේ මරණය හේතුවෙන් ඔහුගේ බාල සහෝදරයා ත්සාර්යෙවිච් බවට පත් වුණා. රෝගී තැනැත්තෙකු වූ ෆියදෝර් ඉවානොවිච් ආගම දහමට ලැදි, දේශපාලනය පිළිබඳ තැකීමක් නොකළ අයෙක්. 1584 දී සාර් ඉවාන් ග්‍රෝස්නි මියගිය පසු ෆියදෝර් ත්සාර් ලෙස පත් වූ අතර, සත්‍ය වශයෙන්ම බලය තිබුණේ ඔහුගේ බිරිඳගේ සොයුරා වූ බරිස් ගදුනෝෆ් අත යි.

ඉවාන් ග්‍රෝස්නිගේ අවසන් බිරිඳ වූ මාරියා නගායා 1581 දී දිමිත්‍රි ඉවානොවිච් නම් පුත්‍රයකු බිහි කළා. ඔහු 1591 දී මියගිය අතර බරිස් ගදුනෝෆ් විසින් එම මරණය සිදුකරවූ බවට ද සැකයක් පවතිනවා.

(දිමිත්‍රි මියගියේ නැති බවට ප්‍රබල විශ්වාසයක් වූ අතර එහෙයින්ම අරාජික සමයේදී තමුන් දිමිත්‍රි බවට කියා සිටි කිහිප දෙනෙක්ම රුසියන් සිහසුන සඳහා සටන් වැදුණා).

ෆියදෝර් 1598 දී මියගියේ දරුවන් නොමැතිව යි. ඒ අනුව එතෙක් රුසියාව පාලනය කළ රුරික් රජවංශය ඉන් නිම වුණා. බරිස් ගදුනෝෆ් තමා සාර් ලෙස ප්‍රකාශ කළ ද ඔහුටත් විරුද්ධවාදීන් මතු වුණා. 1605 දී ගදුනෝෆ් මියගිය පසු රට අරාජික තත්ත්වයකට පත් වුණා.

මේ ආකාරයෙන් මතු වූ සමය "කරදරකාරී සමය​" ලෙස හඳුන්වනවා. එය අවසන් වූයේ රොමානොෆ් රාජවංශය බලයට පැමිණීමෙනුයි.


No comments:

Post a Comment