Thursday, April 4, 2013

පරංගීන්ගේ සිහින සුන් කල ගන්නොරුව සටන

පෘතුගීසීන්ගේ අවසන් උඩරට ආක්‍රමණය පරාජය කල ගන්නොරුව සටනේ 375 වන සංවත්සරය මෙම වසරේ (2013) මාර්තු 28 වනදාට යෙදී තිබිණ. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි පෘතුගීසින්ගෙන් නිදහස ආරක්ෂා කරගැනීමට සමත් වූ එකම ලාංකික රාජ්‍යය කන්ද උඩරට රාජධානියයි. පරංගීහු කිහිප විටෙකදීම උඩරට ආක්‍රමණය කිරීමට ගොස් අන්ත පරාජයක් අත් කරගත්හ. දන්තුරේ, බලන සහ රන්දෙනිවල පරාජයන්ගෙන් ඔවුන් පාඩමක් ඉගෙන නොගත්තේ නොවේ. නමුත් 1638 වසරේ දියත් කෙරුණ ඔවුනගේ අවසන් ආක්‍රමණයද පරාජයෙන් කෙළවර වූයේය. මේ සමඟම සමස්ථ දිවයිනේම බලය අල්ලා ගැනීමට වූ පෘතුගීසීන්ගේ සිහිනය අවසාන වතාවටත් සුනු විසුනු වූයේය.

1630 රන්දෙනිවල සටන ජයගත් පසු එම ජයග්‍රහණය උපයෝගී කරගනිමින් පරංගීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කල හැකිව තිබුනද ඊට නායකත්වය හෝ චිත්ත ශක්තිය සිංහල හමුදාවට නොලැබිණ. එවක උඩරට පාලනය කල සෙනරත් රජු දුර්වල පාලකයකු වීම මීට හේතුව විය. 1634 වනවිට දෙපක්ෂය අතර සාම ගිවිසුමක් අත්සන් කෙරුණ අතර පරංගීන්ට මඩකලපුව පවරා දීමට උඩරට රාජධානිය එකඟ විය.

කෙසේ වුවද එක පක්ෂයකටවත් සාමය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොවීය. 1635 වසරේදී සෙනරත් රජුගේ බාල පුත්‍රයා වූ මහ අස්ථාන කුමරු දෙවන රාජසිංහ නමින් රජවූ පසු මෙම තත්ත්වය තවත් නරක අතට හැරුණි. වැඩි කලක් යාමට මත්තෙන් කොළඹ පෘතුගීසි පාලනය සහ උඩරට රජු අතර එදිරිවාදිකමක් වර්ධනය වන්නට වූයේය.

දෙපක්ෂය අතර යුද්ධය යලි ඇවිලීමට විවිධ හේතු ඉදිරිපත් කරනු ලැබේ. මින් බොහෝ ජනප්‍රිය කතාවක් වන්නේ ඇතා සහ අශ්වයන් දෙදෙනා පිළිබඳ කතාන්දරයයි. රජතුමා තමන්ගේ සිත් දිනාගත් පෘතුගීසි වෙලෙන්දෙකුට ඇතෙක් තෑගි කොට ඇත. වෙලෙන්දා කොළඹට පැමිණි අවස්ථාවේ කොළඹ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා වූ දියේගෝ ද මේලෝ කර තිබෙන්නේ එම ඇතා පැහැර ගැනීමයි. මේ බව කනවැකුණ රජතුමා වෙලෙන්දාට තවත් ඇතෙකු තෑගි කොට හලාවතින් නැව් නැගීමට අවස්තාව උදා කරදුන් බව පැවසේ. තවද ද මේලෝගේ හිතුවක්කාර ක්‍රියාවට එකට එක කිරීමක් ලෙස පෘතුගීසි වෙලෙන්දකු රජුට විකිණීමට ගෙනා අගනා සෛන්දවයන් දෙදෙනෙකු රජතුමා විසින් පැහැරගන්නා ලදී. ද මේලෝ අශ්වයින් ඉල්ලා සිටි කල්හි, උන් ආපසු දීමට නම් තමාගේ ඇතා තමා වෙත යලි ලැබෙන්නට සලස්වන මෙන් රජතුමා දන්වා සිටි බව කියවේ. මේ ආරවුල දුර දිග යෑමේ ප්‍රතිපලය වූයේ ද මේලෝ කන්ද උඩරට ආක්‍රමණය කිරීමයි.

මේ කතාන්දරය සම්පූර්ණයෙන් බැහැර කිරීමට නොහැකි වුවද, මෙවන් කරුණක් නිසා උඩරට ආක්‍රමණය වැනි භාරදූර කාර්යයකට අත තැබීමට දියේගෝ ද මේලෝ පෙළඹුණි යයි සිතිය නොහැක. මින් පෙර උඩරට අල්ලා ගැනීමට ගිය සිය රටවැසියන්ගේ ඉරණම පිළිබඳ ඔහු හොඳින් දැන සිටියේය. වෙනෙකක් තබා, සාමාන්‍ය මාර්ගය ඔස්සේ උඩරට ආක්‍රමණය කිරීමේ අපහසුතාව දත් කොන්ස්තන්තීනු ද සා, ඌව දෙසින් උඩරට ආක්‍රමණය කිරීමට ගොස්, එම ප්‍රයත්නයද අසාර්ථකව ජීවිතයද අහිමි කරගෙන ගතව තිබුනේ වසර අටක් වැනි සුලු කාලයකි.

ද මේලෝ උඩරට ආක්‍රමණය කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙකල උඩරට රාජධානිය සහ ඕලන්ද ජාතිකයන් අතර ඇතිවෙමින් පැවති ඇයි හොඳයියයි. මෙය ලංකාවේ සිය පාලනයට දරුණු තර්ජනයක් වන කරුණක් බව දත් පෘතුගීසීහු කන්ද උඩරට-ඕලන්ද දෙපිරිස අතර සන්ධානයක් ඇති වීම වැළැක්වීමට බලාපොරොත්තු වූහ. ඒ සඳහා ඔවුන් දුටු පහසුම මාර්ගය වූයේ උඩරට රාජධානිය අල්ලා ගැනීමයි. ඉහත කී ඇත්-අසු ගැටුම සත්‍යයක් නම්, ද මේලෝ රජතුමාගේ ඇතා පැහැර ගන්නට ඇත්තේද රජතුමා යුද්ධයකට පොළඹවන අදහසිනි.

පරංගි ආක්‍රමණික හමුදාවේ ශක්තිය පිළිබඳ විවිධ මත පවතී. කෙසේ නමුත් එම හමුදාව පෘතුගීසි ජාතිකයන් හත් අටසියයකින් සහ දේශීය ලස්කිරිඤ්ඤ භටයින් කිහිප දහසකින් සමන්විත වන්නට ඇත. මෙවන් සේනාංකයක් සමඟ ගොස් උඩරට අල්ලාගැනීම අපහසු බව සක්සුදක් සේ දත් ද මේලෝ, සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා, මීට පෙර සිදුකල පෘතුගීසි ආක්‍රමණවලදී ආක්‍රමණික හමුදාවට සහය නොලැබුණු අංශයක් දෙස අවධානය යොමු කළේය. එනම් උඩරට තුලින්ම සහය ලබා ගැනීමයි. ඒ සඳහා ඔහු උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වූයේ රාජසිංහ රජුගේ වැඩිමහලු අර්ධ සහෝදරයා වූ විජේපාල කුමාරයාවය.

1635 වසරේදී සෙනරත් රජු මියගිය විට මහ අස්ථාන කුමරු රජවූයේ ඔහුට වඩා වැඩිමහලු අර්ධ සොයුරන් දෙදෙනකු සිටියදීය. මහ අස්ථාන කුමරු සෙනරත් රජුගේ පුතෙකු වූ අතර කුමාරසිංහ සහ විජේපාල කුමාරවරු පළමු විමලධර්මසූරිය රජුගේ පුතුන් වූහ. ඔවුන් සියල්ලන්ගේ මව වූයේ කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනාය. මහ අස්ථාන කුමරු රජ වනවිට ඌව ප්‍රදේශය පාලනය කිරීම කුමාරසිංහටත්, මාතලේ පාලනය කිරීම විජේපාලටත් පවරන ලදී. ඒ අනුව උඩරට රාජ්‍යය රාජසිංහ රජුට ලැබුන නමුත් එහි වැදගත්ම ප්‍රදේශ දෙකක් පැවතුනේ ඔහුට විරුද්ධවීමට ඉඩ තිබුණු කුමරුන් දෙදෙනකු යටතේය. මින් වැඩි කලක් යාමට මත්තෙන් කුමාරසිංහ කුමරු මියගිය අතර එය ඝාතනයක් වන්නට ඇතැයි සැළකේ. ඉන්පසු ඌව ප්‍රදේශයද තමා යටතට ගත් රජතුමා තවත් බලවත් විය. මේ අතර විජේපාල කුමාරයා රජු සමඟ තවත් උරණ වූයේය.

දියේගෝ ද මේලෝ සිය ආක්‍රමණය සාර්ථක කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වූයේ විජේපාල කුමාරයාවය. ඔහු පෘතුගීසින් සමඟ පණිවිඩ හුවමාරු කරගත් අතර මාතලේ හමුදා පෘතුගීසීන්ගේ සහයට පැමිණියේ නම් රාජසිංහ රජතුමා පරාජය වීමට හොඳටම ඉඩ තිබිණ.

1638 පෙබරවාරි 27 වනදා කොළඹින් පිටත් වූ දියේගෝ ද මේලෝ, එකල නුවර ආක්‍රමණවලට යොදාගත් මධ්‍යස්ථානය වූ මැණික්කඩවර කොටුවට පැමිණියේය. මැණික්කඩවර කොටුවෙන් තීරණාත්මක උඩරට ආක්‍රමණයට ඔහු පිටත් වූයේ මාර්තු 19 වනදාය. මාර්තු 26 වනවිට පෘතුගීසි හමුදාව අට්ටාපිටියට පැමිණියේය.

මේ කාලය තුල රාජසිංහ රජතුමා පරංගි ආක්‍රමණය වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්බව පෙනේ. පෘතුගීසි ඉතිහාසකාරයන් සඳහන් කරන්නේ රජතුමා ඕලන්දය සමඟ වන සම්බන්ධතා සියල්ල නැවැත්වීමට පවා පොරොන්දු වෙමින් උඩරට ආක්‍රමණය නොකරන ලෙස බැගෑපත් වූ බවය. නමුත් සිංහල ජනකතාකරුවන් අතර ප්‍රසිද්ධ කතාවකින් කියවෙන පරිදි ඔහු දියේගෝ ද මේලෝ වෙත තර්ජනාත්මක ලිපියක් යවා ඇත. කුරුසයක් ගත් පූජකයකු අත යවන ලද එම පණිවිඩයෙන් ඔහු පවසා ඇත්තේ, "ඔබ අදහන ඔබ නිසා මැරුන ඔබේ දෙවියන් වහන්සේ සෙංකඩගල රජුගේ රාජ්‍යයට ඔබේ පැමිණීම තහනම් කරන්නේය. ඔබ ආපසු හැරී නොගියොත් ඔබේම දෙවියෝ ඔබට දඬුවම් කරයි" යන තර්ජනාත්මක පණිවිඩයයි.

ඇතැම්විට පෘතුගීසි ඉතිහාසකරුවන් සහ සිංහල කතාකරුවන් යන දෙපිරිසම මුසාවක් පවසන්නේ නැති වීමට ඉඩ ඇත. මුලදී, විජේපාල කුමාරයා පෘතුගීසීන්ගේ පක්ෂය ගැනීමට ඉඩ ඇති බැව් දැනසිටි රාජසිංහ රජතුමා තුල පෘතුගීසි ආක්‍රමණය පිළිබඳ බියක් ඇතිවීම සාධාරණය. නමුත් මාර්තු මාසයේ අවසන් භාගය වනවිට ඔහුට ඒ බිය නැතිවන්නට ඇත. මක්නිසාද යත්, ඒ වනවිට විජේපාල කුමරු පෘතුගීසින්ට සහය නොදැක්වීමට තීරණය කරගෙන තිබුන බැවිනි.

ද මේලෝ, විජේපාල කුමරුගේ තීරණය පිළිබඳ දැනගන ඇත්තේ මාර්තු 26 වනදා අට්ටාපිටියට පැමිණි පසුවය. විජේපාල කුමරුගේ සහය නැතිව කන්ද උඩරට අල්ලාගත නොහැකි බව දත් ද මේලෝ තීරණය කලේ මහනුවරට කඩා වැදී නගරය වනසා දමා වහා යලි පසු බැසීමටය.

1638 මාර්තු 27 වනදා මහනුවරට කඩා වැදුන පරංගි හමුදාව නගරය ගිනිබත් කර ආපසු කොළඹ දෙසට ගමනාරම්භ කළහ. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ අඳුර වැටීමට පෙර මහවැලි ගඟෙන් එතෙර වීමයි. එහෙත් ඔවුනට යාමට ලැබුනේ මඳ දුරකි. මාතලේ සිට පැමිණි විජේපාලගේ සේනාව ඔවුන්ගේ මග අවුරා සිටියහ. ඔවුනට ගංගාව වෙත යාමට අවස්ථාව නොලැබිණ.

මහවැලි ගඟ වෙත යාමට නොහැකි වීමෙන් ජලය නැති වීමද, සිංහල හමුදාවල තර්ජන ගර්ජන සහ ප්‍රහාරයන්ද හමුවේ ඇති වූ පීඩනයද හේතුවෙන් පරංගි හමුදාව එදින ගතකලේ ඉතා කටුක රාත්‍රියකි. එය එම සේනාවෙහි වූ බොහෝ පෘතුගීසි ජාතිකයන්ගේ අන්තිම රාත්‍රිය වීමට නියමිතව තිබිණ.

පසුදිනට හිරු උදාවූ පසු ගැටඹේ තොටින් මහවැලි ගඟ තරණය කිරීමට පෘතුගීසි හමුදාවට හැකිවිය. එය කෙසේ සිදු කරන ලද්දේද යන්න ඉතිහාසකරුවන් විසින් එතරම් පැහැදිලිව සඳහන් කොට නැත. ඇතැම්විට ඒ සඳහාද ආක්‍රමණික හමුදාවට දැඩි සටනක් දෙන්නට සිදු වන්නට ඇත. කෙසේ හෝ ගඟෙන් එතෙර වූ ඔවුන් පැමිණියේ ගන්නොරුව තැනිතලාවටය.



වර්තමානයේ ගන්නොරුව ප්‍රදේශය. කෘෂි පර්යේෂණ ආයතන පිහිටා ඇති තැනිතලා ප්‍රදේශය අවසන් සටන සිදුවූ පෙදෙසයි. සිංහල හමුදා පහර දුන්නේ වටේ ඇති උස් බිම්වල සිටය. (ඡායාරූපය මුදිත මදුසංක)


ගන්නොරුවට පැමිණි පෘතුගීසින්ට මුහුණ දෙන්නට වූයේ වෙනත් තර්ජනයකටය. ගන්නොරුව තැන්නේ සිටි හමුදාවට අවට උස බිම්වල සිටි සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක් වීමට සිදු විය. මෙම සටනේදී සිංහල හමුදා විසින් මීට පෙර සිදු වූ සටන්වලට වඩා වැඩියෙන් තුවක්කු භාවිතා කල බව පැවසේ. මේ අවධිය වනවිට කන්ද උඩරට කම්හල්වල තුවක්කු වැඩිපුර නිපදවෙන්නට ඇති බැව් සිතිය හැක. කඳුවල සිටින සිංහල හමුදාවල ප්‍රහාරයෙන් පීඩාවට පත් පරංගි හමුදාව ඉන් ගැලවීම සඳහා නිම්නයෙහි කන්දක් දෙසට පසු බැස්සේය. ඇතැම්විට ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඒ කන්ද අල්ලාගෙන එහි සිට සටන මෙහෙයවීමයි. නිම්නයක් මැද හතර අතින් පහර කමින් සිටිනවාට වඩා මෙම ස්ථානය ආරක්‍ෂිත වූයේය.

පෘතුගීසීන් සමඟ පැමිණි ලස්කිරිඤ්ඤ හමුදාව සිංහල හමුදාවට එක් වීමට තීරණය කලේ මේ අවස්ථාවේය. සටන පරදින බව දැක මෙය සිදු කරන්නට ඇති බව සාමාන්‍ය විශ්වාසයයි. කෙසේ වුවද, මෙමගින් පෘතුගීසි හමුදාව බෙහෙවින් දුර්වල වූ අතර සටන ජයගැනීමට ඔවුනට තිබුණු සුලු හෝ ඉඩකඩ ඉන් ඇහිරී ගියේය.

මේ අවස්ථාවේ දියේගෝ ද මේලෝ සිය හමුදාවට අණ කලේ යලිත් තැනිතලාව දෙසට කඩාවැදීමටය. සාපේක්ෂව ආරක්‍ෂිත වූ ස්ථානයක් මෙසේ අතහැර විනාශය කරා ගමන් කිරීම සර්ව සම්පූර්ණ විකාරයක් වූ බව සැබෑවකි. නමුත් මේ අවස්ථාවේ වෙනත් විකල්පයක් පෘතුගීසින්ට නොවූ බවද පැහැදිලිය.

මේ අවස්ථාවේ සිංහල හමුදාවද සතුරාගේ ගමන්මග ඇවිරීමට ඔවුන් සිටි උස බිම්වලින් පහලට ගමන් කළහ. ඇතැම්විට පෘතුගීසි සෙබලුන් ගන්නොරුව තැනිතලාවෙන් එහාට පලා ගොස් ගැලවෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. මෙසේ කඩා වැදුනු කන්ද උඩරට හමුදාවෝ සතුරා කොටුකරගෙන පහර දුන්හ. මෙම සටනේදී ජීවග්‍රහයෙන් අල්ලාගන්නා ලද්දේ පෘතුගීසි සෙබලුන් 33 දෙනකු පමණි. අනෙක් සියල්ලන්ම මිය යන්නට ඇතැයි සැලකෙන අතර, මියගිය අය අතර දියේගෝ ද මේලෝ ද කැස්ත්‍රෝ සිටින්නට ඇතැයි සලකනු ලැබේ. ඔහුගේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වූ නමුත් සටන් බිම වැටී තිබූ ඔහුගේ කඩුව සිංහල සෙබලුන් විසින් සොයාගෙන දෙවන රාජසිංහ රජතුමා වෙත පිළිගන්වන ලදී.

ගන්නොරුව සටනත් සමඟම පෘතුගීසීන්ගේ උඩරට අල්ලා ගැනීමේ සිහිනය අන්තිම වතාවටත් සුන් විය. මෙම වර්ෂය තුලදීම උඩරට රාජධානිය සහ ඕලන්දයින් අතර ගිවිසුමක් අත්සන් කෙරුණ අතර ලංකාවේ පෘතුගීසි පාලනයේ අවසන් යුගය එළඹුන බව එයින් තවත් පැහැදිලි විය.

30 comments:

  1. මේ කතාව ගැන කියද්දී තැන් කීපයකම ගැටළු මතුවෙනවා. එකක් තමා රජුගේ බැගෑපත් වීම. දෙවැන්න මේලෝ කියන්නේ හොඳ සේනාධිපතියෙක්. එහෙම කෙනෙක් මේ වගේ මෝඩ තීරණයක් ගනීවිද? ඒ එක ප්‍රශ්නයක්.

    හොද විග්‍රහයක යෙදිලා තියනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහසට. මේ වගේ කමෙන්ට්ස්වලින් තමයි බ්ලොග් එකේ ලිපිවල වටිනාකම වැඩි වෙන්නේ.

      ඇත්තෙන්ම රජ්ජුරුවන්ගේ බැගෑපත් වීම ගැන කියන්නේ පෘතුගීසි ඉතිහාසකරුවන් විසින්. නමුත් අපට එය මුළුමනින් අහක දාන්නත් බැහැ. පෘතුගීසීන්ගේ අදහස වී තිබෙන්නේ මෙම ඉල්ලීම ලන්දේසීන් සමඟ ඒකාබද්ධතාව ඇති කරගන්නා තෙක් කල් මැරීමට රජතුමා කරන උපක්‍රමයක් කියලයි. අනික විජේපාල කුමාරයා අනිත් පැත්තට ගියා නම් රාජසිංහ රජ්ජුරුවන් ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා ඔහුව තමන්ගේ පැත්තට නම්මා ගන්නා කල් වෙලාව ගන්නට කරපු උපායක් වෙන්නත් පුළුවනි.

      ද මේලෝ ලොකුම වරද කලේ ගන්නොරුව සටන වෙන දවසේ නෙවෙයි. ඊට කලින් දවසේ. මහනුවරට පහර දීලා විනාශ කරන පියවර ගන්නට ඇත්තේ නැත්නම් ආපු ගමනින් කිසි වැඩක් නැහැ කියන අදහසින් වෙන්න පුළුවනි. නමුත් 1602 බලනදී අසවේදු ඒ මෝඩකම කලේ නැහැ. බලන අත ඇරලා සිංහල හමුදා පසු බැස්සම ඔහු ඔවුන් පස්සෙන් ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු ආපහු කොළඹට ආවා.

      මහනුවරට පහර දුන්නත් කමක් නැහැ ද මේලෝ වෙලාව ඇතුව ආපහු ගමන ආරම්භ කළා නම්. එත් ඔහු ආපිට පිටත් වෙනකොට ප්‍රමාද වැඩියි. අඳුර වැටෙන්නත් ළඟයි, ඒ මදිවට මාතලේ හමුදාවත් ඇවිල්ලා. එදා රෑ කොටු වෙලා වතුරත් නැතුව ඉන්න වුනේ ඒකයි.

      ගන්නොරුවේදී වෙච්ච දේ නම් අසරණකමටම කරපු දෙයක් වෙන්න පුළුවන්. පෙනෙන විදියට මරාගෙන මැරෙන අදහස ඇතිව වගෙයි ඔහු අන්තිමටම කඩා පැනලා තියෙන්නේ. එතකොට ඔහු සටන අත ඇරලා ඉවරයි. ඔහුට මාරු විකලෙන් පිස්සු වැටුනා වෙන්නත් පුළුවන්.

      Delete
    2. හ්ම්ම්.. හොඳ පැහැදිලි කිරීමක්. අන්තිම සටන වෙලාවේදී මේලෝ ගත්තු තීරණේ ගැන මටත් හිතුනේ එහෙම තමා. ඒ එක්කම රජ්ජුරුවෝ කල් ඇතුවම සැලසුමක ඉඳලා මේ වැඩේ කළා කියල ඔය සටහන අනුව පේනවා නේද? මොකද අසවේදුට වඩා වෙනස්ම විදියකින් (නුවරට එන්න රජ්ජුරුවෝ ඉඩ හරිනවා මේලෝ ගේ සේනාවට.) සටන සිද්ධ වෙනවා මෙතැනදී.

      Delete
    3. මේ අවස්ථාවේ රජ්ජුරුවෝ කරපු දේ උපායමාර්ගිකව මහ ලොකු වෙනසක් නැහැ. සමහරවිට නුවරට එන්න කලින් පරංගි හමුදාවේ මග අවුරන්න ප්‍රමාණවත් හමුදාවක් නොතිබුන නිසා එන්න දෙනවා ඇරෙන්න විකල්පයක් රජ්ජුරුවන්ට නොතිබෙන්න ඇති. මොකද මාතලේ සෙබලු සටනට බැස්සේ අන්තිම මොහොතේ බවයි පෙනෙන්නේ. නුවරට ආවට පස්සේ ද මේලෝට කල දේ තමයි 1594 දී පේද්‍රෝ ලෝපේස් ද සෞසාගේ හමුදාවටත් කලේ.

      බලනදී වුනේ පෘතුගීසින්ව සති තුනක් විතර මහන්සි කරවලා, සිංහල හමුදාව පසු බැසපු එක. එතැනදී දුර දක්නා නුවණක් නොතිබුන සෙන්පතියෙක් වුනා නම් අසවේදු කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරන් නුවරට යන එක. නමුත් එහි අවදානම තේරුම් ගන්න අසවෙදුට මොලේ තිබුනා. ඒ නිසා ඔහුත් ආපහු හැරුනා.

      ද මේලෝ වැටුණේ ඊට වැඩි උභතෝකෝටිකයකට. ඔහු අනිවාර්යයෙන්ම උඩරට රාජධානිය විනාශ කල යුතුව තිබුනා. නැත්නම් වැඩි කලක් නොගොස් උඩරට සහ ඕලන්ද සේනා එකතු වෙලා පෘතුගීසි බලය අහවර කරන බව තේරුම් ගන්න ද මේලෝට පුළුවන් වුනා. ඒ නිසා ඔහුට සිද්ධ වුනා කොහොමහරි උඩරට වනසන්න උත්සාහ කරන්න. අසවේදුගේ කාලේ එහෙම අවුලක් තිබ්බේ නැහැ. ඒ නිසා ඔහුට වෙනත් දිනෙක සටනට බසින්නට අවස්තාව තිබුනා.

      Delete
    4. හොඳ සංවාදයක්..

      Delete
    5. අනිවාර්යයෙන්ම. මේ වගේ සංවාදවලින් මමත් ගොඩක් දේ ඉගෙන ගන්නවා. අපි නොහිතපු පැති දකින්න මේ වගේ සංවාද හේතු වෙනවා.

      මට කලින් කියන්න අමතක වුන දෙයක් තියෙනවා. උඩරට රාජ්‍යයේ හමුදා බලය බොහෝ කොටම තිබුනේ ඌව සහ මාතලේ ප්‍රදේශවල. රජ්ජුරුවෝ යුද්ධයකදී වැඩිපුරම සේනාව එකතු කරගත්තේ ඒ දෙපලාතෙන්. ඒ නිසා රාජසිංහ රජ්ජුරුවෝ උඩරට රජ වුනාට ඌව සහ මාතලේ වෙන කුමාරවරු දෙන්නෙක් යටත් තිබුන නිසා ඒ බලය සර්ව සම්පූර්ණ වුනේ නැහැ.

      අපි දන්නවනේ ඉංග්‍රීසින්ට විරුද්ධව 1817-18 කැරැල්ල පටන් ගත්තේ ඌවෙන්. එහිදී අන්තිමටම ඉංග්‍රීසින් විසින් යලි අල්ලාගත් ප්‍රදේශයක් වුනේ දුම්බර... ඒ කියන්නේ මාතලේට ආසන්න ප්‍රදේශයක්. 1848 කැරැල්ල ඇති වුනේ මාතලේ.

      කොන්ස්තන්තීනු ද සා කොච්චර උඩරට රාජ්‍යය ගැන දැනගෙන හිටියද කියලා පේනවා ඌව හරහා නුවරට ගහන්න හැදීමෙන් (1630) ඒ ආක්‍රමණය සාර්ථක වුනා නම් තමයි පුදුමේ.

      මට අමතක වුන තව දෙයක් තියෙනවා. ඉන්ග්‍රීසිකාරයෝත් මේ සටන්වලින් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. 1803 දී උන් සිද්ධ කරපු ආක්‍රමණයත් පරාජය වුනා නේ. ඊට පස්සේ තමයි උන්ට තේරුනේ නිකන් පොරවල් වගේ උඩරටට ගියාට යුද්ධ දිනන්න බැරි බව. නමුත් පෘතුගීසි කාරයෝ වගේ නෙවෙයි. උන් එක සැරයක් මට්ටු වුනාම පාඩමක් ඉගෙන ගත්තා.

      Delete
    6. උඩරට හමුදාවේ බහුතරය සතර කෝරලයට අයත් බව
      'සතර කෝරලයේ මහා ලේකම් මිටියේ
      " සඳහන් වෙනවා.ඊට අමතරව රජුගේ මාලිගාවේ ආරක්ෂාවට සිටි 942ක් වූ ආරක්ෂකයන් සියළු දෙනාම සතර කෝරල වාසීන් බවත් ඇසල පෙරහැරේ ආරක්ෂාව සතර කෝරලයට භාර දී ඇති බවත් සඳහන්.තවද වීරත්වය සඳහා පිරිනැමෙන සම්මාන 5න් 5මද ලබාදී "අති විශ්වාස ශ්‍රී ජයවර්ධන සතර කෝරලේ" යන නම්බු නාමයද ලබාදී උඩරට සෙසු දිසා අභිබවා මහනුවර ඇසල පෙරහැරේ පෙරමුණෙන්ම ගමන් කිරීමේ වරයද සතර කෝරල වැසියන්ට ලබාදී තිබෙනවා.
      මීට අමතරව පහත සඳහන් කරුණු හේතුවෙන් සතර කෝරලය සුවිශේෂී වෙනවා
      1.සතර කෝරලයේ ලෙවුකේ පරපුරේ මහ දිසාවේ උඩරට රජුගේ හමුදාවේ සේනාධිපති වීම.
      2.කැප්පෙටිපොල පරපුරේ නිජබිම මාවනැල්ලේ පිහිටා තිබීම.(මොණරවිල කැප්පෙටිපොලගේ පියා විවාහයෙන් පසුව සිය අවසාන කාලයේදී මාතලේ පදිංචි විය.)
      3.රජුගේ හමුදාවේ කොඩිතුවක්කු නිලමේ පරපුර (රංකොත්දිවෙල වලව්වේ දිවාකර විජයකෝන් මුදියන්සේ) ජීවත් වීම.
      4.ගජනායක මහ නිලමේ පරපුර ජීවත් වීම.(අස්මඩලේ වලව්වේ)
      5. මොල්ලිගොඩ මහ අධිකාරම ජීවත් වීම.(මොල්ලිගොඩ මහ වලව්ව)
      6.උඩරට එකම ගැහැණු දිසාවේ ගේ පරපුර(ඒදඬුවාවේ වලව්ව)
      ඉහතින් දක්වා ඇත්තේ උඩරට ලේකම් මිටිවලින් උපුටා ගත් තොරතුරු කිහිපයක් පමණි.

      Delete
  2. This is really good because of detailed explanations.

    I can remember the way that we were trying to take those stuff about battles in to our brains when we were in grade nine.
    If this was there in 2009 for me to read... :)

    ReplyDelete
    Replies
    1. Thank you very much!!!

      Indeed, one real obstacle in learning history is the lack of good reading material to our students. This is specially the case in Sri Lankan history. I also had the same problem when I was at school, a long time back :)

      However, we have several good bloggers who write on history beautifully. They fill a void in the world wide web. :)

      Delete
    2. I just want to add something about the tragic situation of Sri Lankan education system (History).

      For grade 10 students who study History in English medium, there is a text book with limited facts and the Sinhala medium students have the original book with the relevant content. Therefore we had to find Sinhala medum books, translate and study. It was really a bad thing which consumed lot of time and effort.

      I guess that the government has not changed it yet :/ and I personally know that most of the students are not familiar with blogs. :(

      Delete
    3. Well, in your time, you had at least that. In our times, we had history as a part of Social Studies. On top of it, some of our teachers did not know anything outside the text book. I personally had an ongoing battle with our teacher during the Grade 9-11 classes as I knew history better than her. (This is not bragging. This does not show my knowledge. This shows her lack of knowledge).

      I think they will remove English medium history books completely. As I gather, history will be taught in the mother tongue. I don't know if they had already implemented it, but they were going to do it.

      Its good that students are not familiar with blogs. Blogs tend to go much beyond their syllabuses. Also, Sri Lankan education system does not encourage to think out of the box. That is what we should encourage.

      Delete
  3. අද අපේ ඉතිහාසය ගැන...

    //ඔහුගේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වූ නමුත් සටන් බිම වැටී තිබූ ඔහුගේ කඩුව// මේක කොහොමද හඳුනා ගන්නේ. සෙබළුන්ගේ කඩු වල වෙන වෙනම සලකුණු තියනවා ද..?

    වටිනා ලිපියක් !

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා!!!

      මේක සාමාන්‍ය කඩුවක් නොවෙන්න ඇති නේ. සෙන්පතියාගේ කඩුව සාමාන්‍ය කඩුවකට වැඩිය වෙනස් වෙන්න ඇති.
      වැඩි විස්තරයක් දුටුවොත් කියන්නම්.

      ඉතිහාසය ගැන තව ලිපි ලියවෙන්න නියමිතයි. වෙලාව තියෙන විදියට තමයි.

      Delete
  4. ඉතාමත් හොඳ පෝස්ටුවක් . එත් මලයෝ මේ සේරම දේවල් වෙන්නේ අපේම උන් බල තන්හාවෙන් කරන ළද දේවල් නිසයි. මේ ගැන හොදම පොතක් බ්ලොග් ලියන ගාමිනි විජිත් සමරකෝන් අයියා ලියලා තියනවා කියවන්න ඒකත්. ඔබේ වෑයමට තුති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඒ ගැන විවාදයක් නැහැ. බල තන්හාව කියන්නේ මිනිස්සුන්ට පොදු දෙයක්නේ... අපේ උඩරට රාජධානිය ඒකට බොහොම ප්‍රසිද්ධයි නෙව...

      අයියා කියන පොතේ නම මොකක්ද කියලා කියනවද? බොහොම ස්තූතියි!

      Delete
    2. ගාමිණී අයියා ගේ පොතක් ගැන මෙතැන තියනවා.

      http://gaminievijith.blogspot.com/2013/01/34.html

      Delete
    3. තැනක් යූ වේවා!!! මම බැලුවා.
      පොත අරගෙනම බලන්න ඕන වෙලාවක....

      Delete
  5. ලස්සනට වචන ගලපලා එක හුස්මෙට කියවාගෙන යන්න පුළුවන් විදිහට ලියල තියෙනවා. ගොඩාක් හොඳ බ්ලොග් පෝස්ට් එකක්. මේ අඩංගු වෙලා තියෙන කරුණු වල අතිශයෝක්තියෙන් ලියපු තැන් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා!!!

      ඇත්තෙන්ම අතිශයෝක්ති නැති වෙන්න බැහැ. උදාහරණයක් විදියට රජතුමා පෘතුගීසින්ට බොහොම බැගෑපත් වෙලා උදටර ආක්‍රමණය කරන්න එපා කියපු ඉල්ලීම වගේම රජතුමා යැව්වා කියන තර්ජනාත්මක ලිපිය කියන කරුණු දෙකම අතිශයෝක්ති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිද්ධි ඇත්ත වුනත් අතිශයෝක්තියෙන් යුතුව වාර්තා කරලා තියෙනවා වෙන්න පුළුවන්.

      මේ කාලේ ඉතිහාසය ගැන හොයන්න තියෙන ලොකුම අඩු පාඩුව තමයි මධ්‍යස්ථ ඉතිහාස වාර්තා නැති එක. තියෙන්නේ එක්කෝ පෘතුගීසි ඉතිහාසකාරයෝ ලියාපුවා. එක්කෝ අපේ අය ලියපු හටන් කවි. ඒ දෙකම අතිශයෝක්ති වගේම පරස්පර විරෝධී කතාවලින් යුක්තයි. නමුත් ඔවුන් කියන දේවල්වලින් අපට යම් යම් නිගමනවලට එළඹෙන්න බැරුව නෙවෙයි.

      අවුරුදු 500 මෙපිට ඉතිහාසය ගැන සියයට සියයක් විශ්වාසී වාර්තා නැත්නම් අවුරුදු දහස් ගණනක් එපිට ඉතිහාසය ගැන කවර කතාද? කියලත් හිතන්න පුළුවනි.

      Delete
  6. චාමර කාලෙකින් වැඩ අල්ලලා තියෙන්නෙ..

    මේකතාව මම කලින් කොහෙදි හරි කියෙව්වා, කොහෙද කියලා මතක නෑ..මේවා කියවපුවම හිතෙනවා ඉංග්‍රීසි කාරයො හරි සූක්ශමයි කියලා.. සමහර විට මේවයින් ඉගන ගත්තු පාඩම් ඒ ගොල්ලන්ට ඉවහල් වෙන්න ඇති..

    පෘතුගීසි කාරයො මුල්ලේරියාවෙදිත් කනවා නේද රජ කෑමක්.. බටහිර ජාතීන් ආසියාවෙදි ලබපු ලොකුම පරාජය විදිහට ඒක ඉතිහාසගත වෙලා තියනවා මගෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. ඔව්. මුල්ලේරියාවේදී කනවා තමයි ඇට්ටි හැලෙන්න. එතන තියෙන වෙනස තමයි, මේ සටන ගරිල්ලා ක්‍රමයට කරපු එකක්වත්, උඩරට ප්‍රදේශවල කරපු එකක්වත් නොවීම. ගරිල්ලා ක්‍රමයේ සටන් පෘතුගීසින්ට හුරු වුනේ නැහැ. නමුත් මේ ආකාරයේ සටන් ඔවුනට හුරු පුරුදුයි නේ. මුල්ලේරියාව අතිශය දරුණු පරාජයක් වෙන්නේ ඒ නිසා.

      Delete
    2. "බටහිර ජාතීන් ආසියාවෙදි ලබපු ලොකුම පරාජය විදිහට ඒක ඉතිහාසගත වෙලා තියනවා මගෙ හිතේ.."
      ආසියාවේ පෘතුගීසී බලය අනිත් පැත්ත හැරවෙන්ඩ ගත්තෙ ඒ සටනෙන් පස්සෙලු නේද?

      Delete
    3. ආසියානු රටකින් ලබාපු ලොකුම පරාජය කියනවා නම් තමයි. නමුත් ඒ ගැන මම නිච්චියටම කියන්න දන්නේ නැහැ.

      පෘතුගීසි බලය ආසියාවෙන් ගිලිහී යන්න පටන් ගත්තේ මේ සටනේ ප්‍රතිපලයක් විදියට කියලා කියන එක නම් නිවැරදියි කියල මම හිතන්නේ නැහැ. මම හිතන්නේ එයාල ඒ වෙනකොට අල්ලන්න පුළුවන් ගොඩක් ප්‍රදේශ අල්ලාගෙන තිබුනේ. යුරෝපයේ ඇතිවූ දේශපාලන තත්ත්වයන් සහ ඕලන්දයේ නැගීම තමයි ආසියාවටත් බල පෑවේ.

      ආසියාව ගැන නෙවෙයි, ලංකාව ගැන විතරක් හිතුවත් වෙනවා පෘතුගීසි බලය මුල්ලේරියාව සටනෙන් පස්සේ අඩු නොවුන බව. ඒ වෙනුවට එය වැඩි වුනා. මුල්ලේරියා සටන වෙනකොට පෘතුගීසින්ට යටත් වෙලා තිබ්බේ කොළඹ පමණයි. කෝට්ටේ රාජ්‍යයත් ඇත්තටම පාලනය කලේ ඔවුන්. නමුත් ඒ ප්‍රදේශ වැඩි හරියක සීතාවක බලය පැතිරී තිබුණා.

      නමුත් 1597 වෙද්දී ඔවුන් කෝට්ටේ රාජ්‍යය සම්පූර්නෙන් ලබා ගන්නවා. සීතාවකත් ඒ වෙනකොට ඔවුන් අතේ. යාපනේ යටත් වුනාට පස්සේ ඔවුනට අල්ලාගන්නට ඉතුරු වෙන්නේ උඩරට පමණයි. ඇත්තෙන්ම 1590 ගණන්වල මුල් කාලේ විමලධර්මසූරිය රජතුමා ඔවුන්ට විරුද්ධ වෙලා උඩරට රජ වුනේ නැත්නම් ලංකාවේ ඉතිහාසය කොහෙට යයිද? එහෙම වුනා නම් යාපනේ අල්ලගත්තට පස්සේ ලංකාවම ඔවුනට යටත් වෙන්න තිබුනා....

      Delete
    4. ස්තුතියි විස්තරයට..

      Delete
  7. ඇතා - අශ්ව කතාව දැන ගත්තෙ අද... ගන්නොරුව සටන ගැන නම් සාමාන්‍ය පෙළ ඉතිහාසෙට තිබුණා වගේ මතකයි.. මට දැං මේ ඔක්කොම ටපලැවිලා තියෙන්නෙ :(

    ReplyDelete
    Replies
    1. ඔහොම ටැපලුනොත් හොඳට හිටී....

      Delete
  8. ඉතිහාස විෂයේදි ඉස්කෝලේ තියෙනවා මේ ගැන හැබැයි පොඩ්ඩයි.මේච්චර කරුණු නෑ.නියමයි... කියවගෙන එද්දි මට ප්‍රශ්න ආවට දැන් ඒවා නිරාකරණය උනා.

    ReplyDelete
    Replies
    1. නිරාකරණය වුනේ බ්ලොග් පෝස්ට් එකෙන්ද? කමෙන්ට්ස්වලින්ද?
      කමෙන්ට්ස්වල තියෙන විස්තර මම ආයේ කියෙව්වා. ඉගෙන ගන්න දේවල් ගොඩක් එතනත් තියෙනවා...

      Delete
  9. ලංකාවෙන් අඩු කාලයකදී වැඩිම වාසි ගන්නට ඇත්තේ ලන්දේසි කාරයින් කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete