Monday, August 17, 2020

ලිබරල් රටවල ඉඳන් ඒකාධිපති ක්‍රම ප්‍රවර්ධනය කිරීම ගැන

පිටරට ඉන්න අය ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳිමින් ලංකාවේ එම අයිතීන් කප්පාදු කරන අදහස් උදහස්වලට උපකාර කරනවය කියන කාරණාව අලුත් දෙයක් නෙවේ. ඒ වගේම ඒක ලංකාවට සීමා වෙච්ච දෙයකුත් නෙවෙයි. ඒක ලංකාවට විතරක් ලඝු කරන්න උත්සාහ කරනව නම් ඒක එක්කො නොදන්නකම, එක්කො කුපාඩිකම.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල් වෙද්දි වැඩියෙන්ම සංවිධානය වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කණ්ඩායම් කියන කාරණේ මෑතකදි මම දේශනයක් අතරතුර අහපු දෙයක්. හොඳට හිතල බැලුවොත් ඒක සම්පූර්ණ ඇත්ත. ඉතිහාසයේ ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙනව.

බටහිර රටවල පහුගිය අවුරුදු පනහක වගේ කාලෙ තුළ ආගමික අන්තවාදී සංවිධාන, වාමාංශික අන්තවාදී සංවිධාන සහ මෑත කාලෙදි ජාතිකවාදී සංවිධාන සිය කටයුතු කරගත්තෙ ඔය අවකාශය තුළ තමයි. මෑත කාලෙ ගැන හිතුවොත්, සමාජ මාධ්‍ය ආවට පස්සෙ ඒ ඔස්සේ වැඩියෙන්ම සංවිධානය වුණේ අන්තවාදී කණ්ඩායම්. ඒවට උදාහරණ කිහිපයක්ම තියෙනව. එතනදි හේතුව, ප්‍රධාන ධාරාවේ නැති අවකාශයක් වෙනත් මාධ්‍ය ඔස්සේ ඒ අයට ලැබීම. ප්‍රධාන ධාරාවෙ අයට ඒ වගේ අලුත් අවකාශයන් සාපේක්ෂව වැදගත් වුණේ අඩුවෙන්.


ලංකාව වගේ රටවල බොහෝ දෙනා පිටරට යන්නෙ ඒ රටවල සමාජ ක්‍රමයට හැඩගැහෙන්න අවශ්‍ය exposure එක අරගෙන නෙවේ. ඉතින් එහෙ ගියාම ඒ අයට insecure ගතියක් දැනෙනව. එහෙ ගිහිනුත් ඒ අය හොයන්නෙ මෙහෙ ජීවන ක්‍රමය. අර ජීවිතේට අනුගත වෙන්න බැරුව ගියාම, එහෙ සමාජය තුළ පිළිගැනීමක් නැති වුණාම, මේ අයට අනන්‍යතා අර්බුදයක් එනව. ඉතින් එයාලා ආයෙ එයාලගෙ මූලයන් හොයන්න ගන්නව. මේක පොදුවෙ හැමෝටම ඇත්ත නෙවේ. ඒත් බහුතරයකට ඇත්ත. ඒ වගේම ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවේ. බටහිර රටවලට යන තුන්වෙනි ලෝක රටවල් හැම එකකම පාහේ අයට ඔය ප්‍රශ්නෙ තියෙනව. ඔය වගේම හේතුවක් නිසා තමා යටත් විජිත යුගයෙ බටහිර රටවල අධ්‍යාපනය ලබන්න ගිය ස්වදේශීය ධනපති පවුල්වල අය වමේ ව්‍යාපාරවල හෝ ජාතිකවාදී ව්‍යාපාරවල නතර වුණේ. ඒකත් ලෝකෙ ගොඩක් යටත් විජිතවල වෙච්ච දෙයක්. එක උදාහරණයක් කීවොත් කාම්බෝජෙ වනසපු කෙමර් රූජ් එකේ ප්‍රධානීන් කීප දෙනෙක්ම ඉගෙනගත්තෙ ප්‍රංශෙ.

ඉතින් මේක අද ඊයෙ වෙච්ච දෙයක් නෙවේ. ලංකාවට සීමා වෙච්ච දේකුත් නෙවේ. ඔය කියන දේ, ඒ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් ඒකට එරෙහිවම යොදවන එක, බටහිර රටවල මිනිස්සුත්, ඒ රටවල ජීවත් වෙමින් ම කරනවා. අතීතයේදිත් කළා. හිට්ලර්ලා මුසෝලිනීලා කළෙත් ඒකමයි.

ඒ නිසා, එහෙ ගිහින් අපේ අය කියන කරන දේ ගැන බනින අය ඒක කරන්නෙ එක්කො නොදන්නකමට. එක්කො කුපාඩිකමට. අහන අය අහන්නෙ ඇයි කියලා නම් මම දන්නෙ නෑ. කොහොම වෙතත් මට නම් ඕක මැජික් එකක් නෙවේ. ෆේස්බුක් එකේ කෑගහල නවත්වන්න පුළුවන් දේකුත් නෙවේ. මේකත් ලීවෙ කැමති කෙනෙකුට මෙහෙම දේකුත් තියෙනව කියල මතක් කරල දෙන්න විතරයි.

1 comment: