Saturday, June 25, 2022

ඉන්දියානු ජනාධිපතිවරණය 2022 - බීජේපීයේ සීරියස් දේශපාලන පියවර​

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ගැන සාකච්ඡා කරද්දි අමතක නොකළ යුතු කරුණක් තිබෙනව​. ඒ තමයි ඔවුන් දේශපාලනය ඉතාම බරපතල ලෙස ගන්නා බව​. ඔවුන්ට සෑම ඡන්දයක්ම සීරියස් වැඩක්. ඔවුන් ජයග්රහණ පිට ජයග්රහණ ලබාගන්නේ හින්දුත්වවාදය නිසා විතරක් යයි කවුරුන් හෝ හිතනවා නම් එය තමයි කෙනෙකුට බීජේපී එක ගැන එන්න හැකි නරකම තක්සේරුව​.
 
ඉන්දියාවේ ජනාධිපති යනු නාමමාත්ර ධුරයක්. දේශපාලන බලය අතින් සරලවම කිව්වොත් වැඩකට ඇති තනතුරක් නෙවෙයි. නමුත් ඉතා ගෞරවණීය තනතුරක්. ඒ වගේම සංකේතාත්මකව වැදගත් තනතුරක්. ජනාධිපති පත්වෙන්නෙ වක්ර ඡන්ද විමසීමකින්. ඡන්ද බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ සහ ප්රාන්ත සභාවල මන්ත්රීන්ට​.
 
දේශපාලනිකව ගත්තම ඉන්දීය ජනාධිපතිවරණයක් රටේ අනාගත දේශපාලනයේ පෙනෙන බරපතල විපර්යාසයන්ට පාදක වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ජනාධිපතිවරණයක ප්රතිඵලය නිසා රටේ දේශපාලනේ එක සැරේ උඩු යටිකුරු වෙන්නෙ නැහැ. (එක ජනාධිපතිවරණයක ප්රතිඵලය නම් රටේ දේශපාලන අනාගතය උඩු යටිකුරු කළා. ඒ ගැන වෙන වෙලාවක කතා කරමු).
 
හැබැයි ජනාධිපතිගෙ තියෙන සංකේතාත්මක වැදගත්කම නිසා දේශපාලන පක්ෂ විසින් එම තරගය සම්පූර්ණයෙන් අමතක කරන්නෙත් නැහැ. බීජේපී එක පහුගිය දශක දෙකේම ජනාධිපතිවරණය සීරියස් දේශපාලන පියවර සඳහා අවස්ථාවක් කරගත්තා. 2002 දී අබ්දුල් කලාම් ජනාධිපති කරන්න සහය දීම එක දක්ෂ, සටකපට දේශපාලන ගේම් එකක්. 2007 දී කේ. ආර්. නාරායන් ජනාධිපති කරන්න සහය දීමත් එහෙමයි. 2017 දි දලිත්වරයකු වන රාම්නාත් කෝවින්ද් ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමත් ඒ වගේම එකක්. 2022 දිත් ඒ වගේම මූව් එකක් බීජේපී එකෙන් අරන් තියෙනව​. ආදිවාසී ගෝත්රයක දේශපාලනඥ ද්රෞපදී මුර්මු බීජේපී ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කර තිබෙනව​.
 
 
මෙහෙම කියද්දි එක දෙයක් පැහැදිලි වෙන්න ඕන​. 2002 දි මුස්ලිම් අයෙක්, 2007 දි දලිත්වරයෙක්, ආයෙ 2017 දි දලිත්වරයෙක් ජනාධිපති වුණාම කෙනෙකුට හිතන්නෙ පුළුවන් "අම්මටසිරි ඉන්දියාව මාරයි නෙ. රටේ ඉහළම තනතුර සුළු ජාතීන් වෙතයි අඩු කුලේ යයි සම්මත අය වෙතයි දෙනව නෙ" කියල. මුර්මු ඉදිරිපත් කළාමත් එහෙම හිතෙන්න පුළුවනි. නමුත් ඒ සේරම හොඳට කල්පනා කරලා ගත්තු දේශපාලනික පියවරයන් විනා අන් යමක් නෙවෙයි.
 
ඇයි මේ වෙලාවෙ ගෝත්රික ජනවර්ගයක අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නෙ? කාරණා දෙකක් ප්රධාන වෙලා තියෙනව​. එකක් තමයි මේ දවස්වල ආදිවාසී ජනවර්ග අතරේ සිය අයිතීන් පිළිබඳ කතාබහක් ඇදෙනව​. මීට ජාර්ඛන්ඩ් ප්රාන්ත මහ ඇමතිත් සම්බන්ධ වෙලා තිබුණා. ආදිවාසීන් ව හින්දූන් ලෙස සැලකීම කෙරෙහි විරුද්ධත්වයක් නිර්මාණය වෙලා තියෙනව​. ඔවුන් වැඩි දෙනෙක් අදහන ආගම හින්දු සහ සම්ප්රදායික ආගම් අතර සංකලනයක් බවයි මේ විරෝධය දක්වන ආදිවාසීන් කියන්නෙ. මේක බීජේපී එකේ හින්දුත්ව සංකල්පයට පටහැණියි. එවිට අනාගතයේදි හින්දුත්ව මතවාදය යටතට ආදිවාසීන් ජීවත්වෙන ප්රදේශවල ජනයා ඒකරාශී කිරීම ප්රශ්නයක් වෙන්න පුළුවන්.
 
මේ එක්කම බීජේපී එකට ඊසානදිග ඉන්දියාව ආදී ඇතැම් ප්රදේශවල සිය හින්දුත්ව බලපෑම ප්රචාරය කිරීමට අවශ්යයි. ඒ බොහොමයක් ප්රාන්තවල ඉන්නෙත් විවිධ ගෝත්රවල අය​. ඔවුන් සැලකියයුතු පිරිසක් ක්රිස්තියානින්. මේ කරුණු නිසා ඒ ප්රදේශවල බීජේපී එකට පැතිරෙන්න පුළුවන් සීමාවක් තිබෙනව​. ආදිවාසී ගෝත්රයක කෙනෙක් ජනාධිපති කිරීමෙන් ඒ පැත්තටත් තව හොඳින් රිංගන්න බීජේපී ය බලාපොරොත්තු වෙනව කියල හිතන්න පුළුවනි.
 
බීජේපී එකට හැම ඡන්දයක්ම බොහොම සීරියස් වැඩක්. ඒ වගේම හැම දේශපාලන මූව් එකක්ම බොහොම සීරියස් වැඩක්. බීජේපී ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරද්දි ඒක අමතක කරන්න නරකයි.

No comments:

Post a Comment