Saturday, June 4, 2016

සිරියානු හමුදා රකා ප්‍රාන්තයට ඇතුලු වෙති: ISIS "අගනුවරට" තව කිලෝමීටර 100 යි

ISIS ත්‍රස්තවාදීනට එරෙහි සටන තවත් ඉදිරියට ගෙන යමින් සිරියානු රජයේ හමුදා වසර දෙකකට පසු පළමු වරට සිරියාවේ රකා (Raqqa)  ප්‍රාන්තයට ඇතුලු වී ඇත​.

ඊයේ දිනයේ අල්-මස්ඩාර් පුවත් සේවයේ (Al-Masdar News) වාර්තාවකින් කියැවුණේ සිරියානු හමුදා දින දෙකක් තුළ සලාමියා - රකා (Salamiyah - Raqqa) මහා මාර්ගය ඔස්සේ කිලෝමීටර 35 ක් ඉදිරියට ගිය බවය​.

එමෙන්ම උපක්‍රමික වශයෙන් වැදගත් සකියා (Zakiyah) මංසන්ධිය සිරියානු හමුදා අතට පත්ව ඇති අතර එතැන් සිට තබ්කා ගුවන් හමුදා කඳවුරට (Tabqa Military Airport) ඇත්තේ කිලෝමීටර 47 ක් පමණි.
තැඹිලි පැහැයෙන් පෙනෙන ප්‍රදේශය සිරියානු හමුදා යටතේ පවතී

තබ්කා කඳවුර සිරියානු හමුදාවන් යටතේ රකා ප්‍රාන්තය තුළ පැවති අවසන් බලකොටුව වූ අතර ISIS සටන්කාමීහු 2014 අගෝස්තුවේදී එය අල්ලාගත් හ​. ඔවුහු ජීවග්‍රහයෙන් අල්ලාගන්නා ලද සෙබලුන් 250 ක් එකපෙළට තබා වෙඩිතබා ඝාතනය කළහ​.

තබ්කා සිට රකා නගරයට තවත් කිලෝමීටර 50 ක් දුරක් ඇත​. රකා නගරය ISIS සටන්කාමීන් විසින් සිය අගනුවර ලෙස සළකනු ලැබේ.

මේ අතර, අද උදෑසන රකා නගරය ආසන්නයේ තෙල් ආකර හතරකට රුසියානු හමුදා ගුවනින් පහර දුන්නේය​. රකා නගරය ආශ්‍රිත ප්‍රදේශය සිරියාවේ තෙල් සම්පත වැඩිපුරම ඇති ප්‍රදේශය වන අතර, එම තෙල් ළිංවලින් ලබාගන්නා තෙල් නීතිවිරෝධී ලෙස විකිණීම ISIS සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සැළකේ.

නිරිතදිග ප්‍රදේශයෙන් මෙසේ සිරියානු හමුදා සහ එම හමුදාවල මිතුරු පාර්ශවවලින් එල්ලවන ප්‍රහාරය මෙන්ම ඇමරිකානු ආධාර ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදාවල (Syrian Democratic Forces - SDF) ප්‍රහාර ද රකා ප්‍රාන්තයේ ISIS සටන්කාමීනට එල්ල වෙමින් පවතී. SDF සංවිධානය සටන් මෙහෙයවන්නේ රකා නගරයට කිලෝමීටර 60 ක් පමණ උතුරෙනි.

No comments:

Post a Comment