Monday, June 6, 2016

ISIS සටන්කාමීන් ප්‍රධාන නගරයක් රැක ගැනීමේ දැඩි වෑයමක​

"ඉස්ලාම් රාජ්‍යය​" ලෙස තමන්ව හඳුන්වා ගන්නා සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය (Islamic State of Iraq and Syria -ISIS) සිරියාවේ මන්බිජ් නගරය (Manbij City) ආරක්ෂා කර ගැනීම සඳහා දරුණු සටනක නිරතවන බව වාර්තා වේ.

ඇමරිකානු ආධාර ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ (Syrian Democratic Forces - SDF) හමුදා මන්බිජ් නගරය අසළ ගම්මාන රැසක් අල්ලාගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිති. පසුගිය පැය 24 ක කාළය තුළ ඔවුන් විසින් ගම්මාන දහයක් පමණ අත්පත් කරගෙන තිබේ. මේ අතර මන්බිජ් නගරයට කිලෝමීටර 5 ක් දකුණෙන් වන කබීර් අල්-කබීර් ගම්මානය ද නගරයට උතුරින් පිහිටි ඩඩාට් නම් ගම්මානය ද වේ.

මේ අතර සටන්කාමීන් උතුරින් පිහිටි අසාස් යුධ පෙරමුණේ සිටින භටයින් එදෙසින් මන්බිජ් දෙසට එවමින් සිටින බව වාර්තා වේ. මන්බිජ් නගරය සංවිධානයට අහිමි වුවහොත් අසාස් (Azaz) ප්‍රදේශයේ සිටින සටන්කාමීන් කොටු වීමට සහ තුර්කිය සහ සංවිධානයේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශය අතර මාර්ගය වැසී යාමට ඉඩ ඇති හෙයින් එම නගරය රැක ගැනීම ඔවුනට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇත​.

මේ අතර වෙතත් සටන් පෙරමුණුවල ද සටන්කාමීන්ට දැඩි අභියෝග එල්ලවෙමින් පවතී.

රකා ප්‍රාන්තයට (Raqqa Governorate) සිරියානු හමුදා සිකුරාදා දිනයේ ඇතුලු වූ අතර සති අන්තයේ ඔවුනට දරුණු ප්‍රහාරවලට මුහුණ දීමට සිදු විය​. එම ප්‍රහාර මධ්‍යයේ තමන් අල්ලාගත් ඇතැම් ප්‍රදේශවලින් සිරියානු හමුදාවලට පසු බැසීමට සිදු වූ නමුත් ඉරිදා වනවිට නැවතත් එම ප්‍රදේශ අල්ලා ගැනීමට සිරියානු හමුදා සමත් වූහ​.

මේ අතර ලිබියාවේ සිර්ටේ නගරයට දකුණින් පිහිටි ගුවන්තොටුපලක් සටන්කාමීන් ගෙන් නැවත ලබාගැනීමට ලිබියානු හමුදා සමත් වූහ​.

ඉරාකයේ ෆලූජා දෙසට මෙහෙයුම්වල නිරත වන ඉරාක හමුදා මේ වනවිට ෆලූජා නගරයේ දකුණු මායිම දෙසට පැමිණ සිටිති. ෆලූජා නගරය අසළ 400 දෙනකු පමණ මරා වළ දැමූ සමූහ මිනීවලක් සොයා ගැනීමට ඉරාක හමුදා සහ සහායක මිලීෂියා කණ්ඩායම්වලට හැකිවී තිබේ. ඔවුන් විවිධ චෝදනා මත මරාදමන ලද සිවිල් වැසියන් වන බව සැළකේ.

No comments:

Post a Comment