Monday, June 20, 2016

ඔකිනාවා දූපතෙහි යුධ සැමරුම​

ජපානයේ ඔකිනාවා දූපත් වාසීහු සෑම ජූනි 23 වනදාකම ඔකිනාවා සටනෙන් මියගිය පුද්ගලයින් සිහි කරනු වස් ඔකිනාවා යුධ සැමරුම් දිනය සමරති. එදින එම දූපතේ නිවාඩු දිනයක් ලෙස ගැනේ. මෙම දිනය ජපානය පුරා සැමරෙන්නක් නොවන අතර ඔකිනාවා ප්‍රදේශයටම ආවේනික සැමරුම් දිනයකි.

දෙවන ලෝක යුධ සමයෙහි ඔකිනාවා සටන ඇරඹෙන්නේ 1945 අප්‍රේල් 1 වනදාය​. ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සාගර කලාපයේ සටන් වැදුණේ දූපතෙන් දූපතට පනිමින් (Island hopping) ජපානයේ ප්‍රධාන දූපත් දෙසට ළඟා වෙමිනි.

ඔකිනාවා දූපතට ගොඩ බැසීම දෙවන ලෝක යුද්ධයේ දී පැසිෆික් සාගරයේ සිදුවූ දැවැන්තම දිය - ගොඩ ප්‍රහාරය (amphibious attack) විය. ජූනි 23 වනදා සටන් නිමා වනවිට ඇමරිකානුවන් 14,000 ක්, ජපන් සෙබලුන් අවම වශයෙන් 77,000 ක් (ඇමරිකානු ඇස්තමේන්තුවලට අනුව 110,000 ක් පමණ​) සහ ජපන් සිවිල් වැසියන් දස දහස් ගණනක් (ඇතැම් ඇස්තමේන්තුවලට අනුව 150,000 ක් පමණ​) මිය ගොස් සිටියහ​. මෙයින් සැළකිය යුතු පිරිසක් ඇමරිකානුවන්ට යටත් වීමේ අගෞරවයට මුහුණ දී ගනු නොහැකිව සිය දිවි නසාගත්තවුන් වූහ​.

ඔකිනාවා සටනෙහි අවසානය දුටුවේ ඔකිනාවා දිවයිනේ දකුණු කෙළවර පිහිටි ඉටෝමාන් නගරයේදී ය​. ඔකිනාවා සටන සිහි කිරීමට ඉදි කෙරුණ යුධ ස්මාරක උද්‍යානය ඇත්තේ එම නගරයේය​. එහි ඇති සමරු ඵලකවල මියගිය අයගේ නම් 200,000 කට වැඩියෙන් ඇතුලත් කොට ඇත​. සෑම වසරකම ජූනි 23 වනදාට දින කිහිපයකට පෙර සිට ඔකිනාවා වැසියෝ මෙහි පැමිණ සමරු ඵලක සහ උද්‍යානය පිරිසිදු කර ජූනි 23 යුධ ස්මරණයට සැරසෙති.

ඔවුන් එදිනට සිහි කරනුයේ දේශප්‍රේමීත්වය සහ වීරත්වයටත් වඩා යුද්ධයේ ආදීනවයයි.

4 comments:

  1. ජපනුන් ඇමරිකාවෙන් පසුකාලීනව පලිගන්නේ අපූරු ක්‍රමයකට..ඔවුන් ආයුධ නෙමෙයි ඒ වෙනුවෙන් පාවිච්චි කලේ..

    ReplyDelete
    Replies
    1. කියන්නකො ඒ ගැන අපිටත්...

      Delete
  2. ඔකිනාවා කියන්නේ හුඟක් නිවර්තන ලක්ෂණ සහිත දුපතක්. ඔකිනාවා ස්ටෝරි කියලා පිටුවක් තියෙනව මුණු පොතේ. එයින් දැන ගත්තේ අප්‍රේල්එ මාසෙට එරබදු පිපෙන බවත් ,මේ කාලෙට අඹ හැදෙන බව.
    අද දුටුවා Kankara Sanshin” නමැති ඉතා සරල සංගීත භාණ්ඩයක් ගැන.යුද්ධයෙන් පසු ඇති වූ සම්පත් හිගය නිසා බිහි වුවක්.

    ReplyDelete
    Replies
    1. ජපානයෙන් ටිකක් ඈතින් තියෙන නිසා සහ (මතක හැටියට​) 1600 ගණන් වෙනකල් වෙනමම රටක් වෙච්ච නිසා එහෙටම ආවේනික ලක්ෂණත් ගොඩක් තියෙනව මම හිතන්නෙ.

      Delete