Friday, June 3, 2016

තුර්කිය ආර්මේනියානු ජන සංහාරයෙහි යෙදුණ බව ජර්මන් පාර්ලිමේන්තුව කියයි

පළමු ලෝක යුධ සමයේ ඔටෝමන් තුර්කියේ සිදුවූ ආර්මේනියානුවන් ඝාතනය කිරීම 'වර්ග සංහාරයක්' ලෙස ප්‍රකාශයට පත් කෙරෙන යෝජනාවක් ඊයේ ජර්මන් පාර්ලිමේන්තුවේදී සම්මත විය​.

මෙම යෝජනාවට විපක්ෂව එක් ඡන්දයක් ලැබුණ අතර ඡන්දය දීමෙන් වැළකී සිටීම් ද එකක් වාර්තා විය​. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් වෙනත් නිල කටයුත්තක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසිටි නමුත් ඇයද මෙම යෝජනාවට සහය පළ කරන බව සැළකේ.

මෙම යෝජනාව පිළිබඳ තුර්කි රජය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මෙවන් යෝජනාවක් සම්මත වීම දෙරටෙහි මිත්‍රත්වයට බෙහෙවින් නරක බලපෑමක් ඇති කරන බව එරට රජය ප්‍රකාශ කළේය​.
ආර්මේනියානුවන් පිරිසක් ජර්මන් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝශණයක (Pic: RT)

ජර්මන් වාම පක්ෂ (The Left) පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රෙගෝර් ගිසි ප්‍රකාශ කළේ ජර්මනියටද 1915 දී සිදුවූ ආර්මේනියානු සංහාරය පිළිබඳ ඓතිහාසික සම්බන්ධයක් පවතින බවය​. එවක ජර්මනිය සහ ඔටෝමන් අධිරාජ්‍යය එකම පාර්ශවයේ සිට බ්‍රිතාන්‍යය​, ප්‍රංශය සහ රුසියාව ඇතුලු මධ්‍ය බලවතුන්ට එරෙහිව යුධ වැදී සිටියෝය​.

මේ අතර​, මෙම යෝජනාව සම්මත වීම තුර්කිය සහ යුරෝපා සංගමය අතර සංක්‍රමණිකයන් පිළිබඳ එකඟතාවයක් සඳහා වන සාකච්ඡාවලට ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි සැක පළවී ඇත​. මෙම එකඟතාවයට ඇන්ජෙලා මර්කල් සිය පූර්ණ සහය ලබාදී ඇත​.

එම එකඟතාවය අනුව තුර්කිය විසින් යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන් සීමා කිරීමට කටයුතු කළ යුතු අරත ඒ වෙනුවට තුර්කියට යුරෝපා සංගමයෙන් ආධාර ලැබෙනු ඇත​. එමෙන්ම ජර්මනිය ප්‍රමුඛ යුරෝපයේ බොහෝ ප්‍රදේශ ආවරණය වන ශෙන් ගන් කලාපයට වීසා රහිතව සංචාරය කිරීමේ නිදහස තුර්කි පුරවැසියනට ලබා දීමටද යෝජනා වී තිබේ.

1915 අප්‍රේල් 24 වනදා ආර්මේනියානු බුද්ධිමතුන් 250 ක් පමණ ඔටෝමන් අත අඩංගුවට පත්වීම 'ආර්මේනියානු ජන සංහාරයේ' ආරම්භය බව එවන් සංහාරයක් වූ බව පිළිගන්නා අයගේ අදහස වේ. එම බුද්ධිමතුන් බොහෝ දෙනකු මරා දමන ලද අතර මීළඟ මාසවලදී ඔටෝමන් අධිරායයේ විසූ ආර්මේනියානුවනට එරෙහි විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. විශාල පිරිසක් මරා දමන ලද අතර තවත් විශාල පිරිසක් කඳවුරුවල ගාල් කරන ලදී. මිලියන 1.5 ක් පමණ ජනකායක් මෙයින් පීඩා විඳි බැව් කියනු ලැබේ.

ආර්මේනියානුවන්ට එරෙහි දැඩි පියවරයන් එකළ ගන්නා ලද බව තුර්කිය පිළිගන්නා මුත් ජන සංහාරයක් වූ බව එරට දැඩිව ප්‍රතික්ෂේප කරයි.

පළමු ලෝක යුධ සමයෙහි තුර්කියට එරෙහිව රුසියාවට සහය වීමට රුසියානු-තුර්කි දේශසීමා ප්‍රදේශ ආශ්‍රිතව වූ ආර්මේනියානුවන් පියවර ගැනීම මෙවන් දරුණු පියවර ගැනීමට හේතු වූ බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති.

No comments:

Post a Comment