මෙම ජනාධිපතිවරනයේදී හින්ඩන්බර්ග්ට එරෙහිව බලපෑ විශාලතම බාධකය වූයේ ඔහුගේ වයස සහ සෞඛ්‍යය තත්ත්වයයි. මේ වනවිට ඔහු 84 වන විය ඉක්මවූ මහල්ලෙකු වූ අතර මීළඟ ධූර කාළය සම්පූර්ණ කිරීමට තවත් සත් වසක් ඔහු ජීවත් වේ යයි බොහෝ දෙනා විශ්වාස නොකළහ. කරුණු එසේ තිබියදීත්, මාර්තු 13 වනදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී හින්ඩන්බර්ග් ජනාධිපතිවරයා සියයට 49.6 ක් ඡන්ද ප්‍රතිශතයක් ලැබීය. ඔහුට සියයට පනහක් ලැබීමට මදි වූයේ ඡන්ද 150,000 පමණ ප්‍රමාණයකි. හිට්ලර් සියයට 30.1 ක්, කොමියුනිස්ට් පක්ෂයේ අර්නස්ට් තැල්මාන් සියයට 13.2 ක් සහ ස්ටාල්හෙල්ම් සංවිධානයේ තියඩෝර් ඩස්ටන්බර්ග් සියයට 6.8 ක් මනාප ලැබූහ. මේ අනුව පළමු වටයෙන් අඩුම ඡන්ද ප්‍රමාණය ලැබූ ඩස්ටන්බර්ග් ඉවත් කොට ඉතිරි තරඟකරුවන් තුන්දෙනා අතර දෙවැනි වටයක්ද පවත්වන ලදී. අප්‍රේල් 10 වනදා පවත්වන ලද එම මැතිවරණයේදී හින්ඩන්බර්ග් සියයට 53 ක ඡන්ද ප්‍රමාණයක් ලැබීය. හිට්ලර් සියයට 36.8 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය.
මෙහිදී මතුවන ගැටලුවක් නම් වයස්ගත ජනාධිපතිවරයා වෙනුවට තරුණ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ මන්ද යන්නයි. එයට ඇති සරලම පිළිතුර නම්, මධ්‍යස්ත මතධාරී කණ්ඩායම් සියල්ල එක්සත් කල හැකි කිසිවෙක් එවක ජර්මනියෙහි නොවූ බවයි. ඉහත ඡන්ද ප්‍රතිපල අනුවද පැහැදිලි වන්නේ, හින්ඩන්බර්ග් නොවන්නට හිට්ලර් 1932 මාර්තු හෝ අප්‍රේල් හෝ වනවිට ජර්මනියේ ජනාධිපතිවරයා වීමට ඉඩ තිබුන බවයි. හිට්ලර් පරාජය කළහැකිව තිබූ එකම තැනැත්තා වයස්ගත මහල්ලකු වීම ජර්මනියේ පමණක් නොව, සමස්ථ ලෝකයේම අවාසනාවට සිදු වූවකි.
වයිමාර් ජනරජය වේගයෙන් එහි අවසානය කරා ගමන් කරමින් තිබුණි. 1932 ජුනි 1 වනදා, රයිෂ්ටාගය තුල කිසිදු බලයක් නොවූ ෆ්‍රාන්ස් ෆොන් පැපන් චාන්සලර් ධූරයට පත් කරන ලදී. මෙම තීරණය පිටිපස සිටියේ ජෙනරාල් කර්ට් ෆොන් ශ්ලයිෂර් ය. ඔහු පැපන්ගේ රජයේ ආරක්ෂක ඇමති බවට පත් විය. ෆොන් පැපන් රයිෂ්ටාගය තුල වැඩි බලයක් ලබා ගන්නා අටියෙන් වහාම මහ මැතිවරණයක් කැඳවීය. මැතිවරණ ප්‍රචාරණ කටයුතු පැවතියේ නාසි-කොමියුනිස්ට් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන් එකිනෙකා මරාගන්නා පසුබිමකය. ජූලි මාසයේ පැවති මහ මැතිවරණය හිට්ලර් චාන්සලර් වීමට පෙර නාසිවාදීන්ගේ හොඳම මැතිවරණ ප්‍රතිපලය ගෙනාවේය. සියයට 37.27 ක්, එනම් හිට්ලර් මාස තුනකට පෙර ලබුවාටත් වඩා ඡන්ද ප්‍රතිශතයක්, පක්ෂයට ලැබුන අතර ආසන 608 න් 230 ක් දිනාගනිමින් ඔවුහු රයිෂ්ටාගයේ විශාලතම තනි පක්ෂය බවට පත් විය. මේ අතර කොමියුනිස්ට් පක්ෂයද, ජනාධිපතිවරනයේදී ලැබුවාට වැඩි ප්‍රතිශතයක් ඡන්ද ලබමින් (සියයට 14.32) ආසන 89 ක් දිනා ගත්තේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට ආසන 133 ක් ලැබිණ. පැහැදිලිවම, සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ජනතාවගේ ප්‍රසාදය දිනෙන් දින අඩු වන බව පෙනෙන්නට තිබිණ.
මේ අනුව 1932 ජූලි මාසයේදී, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මැතිවරණ ක්‍රමය භාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කණ්ඩායම් රයිෂ්ටාගයේ පැහැදිලි බහුතරයක් දිනාගෙන තිබිණ. නාසි සහ කොමියුනිස්ට් යන පක්ෂ දෙක පමණක් සැලකුවද ලබාගෙන තිබූ ආසන සංඛ්‍යාව 319 කි. එනම්, අඩකට වැඩි ප්‍රමාණයකි. නව රයිෂ්ටාගය රැස්වීමටත් පෙර පැපන් විසින් එය විසිරුවා හැරීමේ නියෝගයක් ජනාධිපතිවරයා ලවා අත්සන් කරගත්තේය. නමුත් එය ඉදිරිපත් කිරීමට පෙර කොමියුනිස්ට් පක්ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවකට නාසි පක්ෂයේද සහාය ලැබීමෙන් රයිෂ්ටාගය විසින්ම රයිෂ්ටාගය විසිරුවා හරින ලදී. (මෙය ඉතා හාස්‍යජනක එමෙන්ම කණගාටුදායක, වෙනමම ලිපියකින් විස්තර කල යුතු සිද්ධියකි).
1932 නොවැම්බර් 6 වනදා පැවති මීළඟ මහා මැතිවරණයෙන්ද ෆොන් පැපන් බලාපොරොත්තු වූ සහයෝගය ඔහුට සහය දෙන සෙන්ට්රම් පක්ෂයට ලැබුනේ නැත. මෙවර තෝරා ගනු ලැබුනේ මන්ත්‍රීන් 584 කි. එහෙත් කොමියුනිස්ට් පක්ෂය සිය ආසන සංඛ්‍යාව 100 දක්වා වර්ධනය කරගත්තේය. නාසි පක්ෂයේ ආසන සංඛ්‍යාව 196 තෙක් අඩු වනවිට, හූගන්බර්ග්ගේ DNVP පක්ෂය ආසන 52 ක් දිනාගත්තේය. ප්‍රතිශතයක් ලෙස ගත්තද නාසි පක්ෂයට ලැබුනේ ඡන්දවලින් 33% ක් පමණි. පක්ෂය අන්තවාදය දෙසට නැඹුරු වීමේ ලක්ෂණ දුටු වඩා මධ්‍යස්ථ ඡන්දදායකයින් DNVP, DVP වැනි පක්ෂ කරා ගිය බව පෙනිණ.
මේ අවස්ථාවේ සිය බලය ආරක්ෂා කරගැනීමට අන් ක්‍රමයක් නොවූ තැන ෆ්‍රාන්ස් ෆොන් පැපන් කලේ හිට්ලර් සමඟ සභාගයකට එළඹීමට උත්සාහ කිරීමයි. ඔහුගේ අදහස වූයේ, තමා චාන්සලර් පදවියේ සිටියදී හිට්ලර් උප චාන්සලර් පදවියට පත් කිරීමයි. නමුත් තමන්ට චාන්සලර් පදවිය නොදෙන්නේ නම් කිසිදු සභාගයකට එක් වීමට හිට්ලර් අකමැති විය. එහෙයින් පැපන්ගේ ඒ සැලසුම්ද ලත් තැන ලොප් විය. මේ අවස්ථාවේදී, මෙතෙක් කලක් තිරය පිටිපස සිටිමින් රටේ තීන්දු තීරණ ගැනීමට මැදිහත් වූ ෆොන් ශ්ලයිෂර් කරලියට පැමිණියේය. ඔහුගේ උපදෙස් පිට හින්ඩන්බර්ග් විසින් ෆොන් පැපන් ඉවත් කොට එම තනතුරට ශ්ලයිෂර් පත් කරන ලදී.
නමුත් ශ්ලයිෂර්ටද කිසිවකුගේ සහය දිනාගැනීමට පැහැදිලි ක්‍රමවේදයක් නොවූ අතර ඔහුට ජර්මන් දේශපාලන ක්ෂේත්‍රයෙහි සතුරන් මිස මිතුරන් එතරම් නොවීය. මේ අතර ෆොන් පැපන්, හූගන්බර්ග් වැන්නෝ ඔහුට එරෙහිව පෙළගැසෙමින් සිටියහ.
පවතින දේශපාලන තත්ත්වය හමුවේ, රයිෂ්ටාගයේ බහුතර කැමැත්ත ඇති, දක්ෂිනාංශික රජයක් පිහිටුවීමට නම් හිට්ලර්ගේ නාසි පක්ෂය සම්බන්ධ කරගැනීම අනිවාර්ය සාධකයක් විය. නමුත් චාන්සලර් පදවිය නොදෙන්නේ නම් එවැන්නකට දායක වීමට හිට්ලර් කැමති නොවීය. ඔහුට චාන්සලර් පදවිය දීමට අනෙක් දක්ෂිනාංශික නායකයෝ මැලිකමක් දැක්වූහ. තවද, රදළ පවුලකින් පැවතෙන හින්ඩන්බර්ග් ජනාධිපතිවරයා ද හිට්ලර්ට චාන්සලර් පදවිය ප්‍රදානය කිරීමට තරයේ විරුද්ධ විය. ෆීල්ඩ් මාර්ෂල්වරයා සහ කෝප්‍රල්වරයා අතර වූයේ අහසට පොළව මෙන් නොපෑහීමකි. ෆීල්ඩ්මාර්ෂල් හින්ඩන්බර්ග්, හිට්ලර්ව හැඳින්වූයේ "වැදගැම්මකට නැති කෝප්‍රල්වරයා" ලෙසයි.
නමුත් කල් යත්ම, තමන්ට වෙනත් විකල්පයක් නොමැති බව දක්ෂිනාංශික නායකයෝ තේරුම් ගත්හ. ඔවුන් එකතු වී, ශ්ලයිෂර්ට එරෙහි කුමන්ත්‍රණය දියත් කළහ. ඔවුන්ගේ මෙම කුමන්ත්‍රණයේ වැදගත්ම පියවරක් වූයේ, හින්ඩන්බර්ග් ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ ඔස්කාර් හින්ඩන්බර්ග් තමන්ගේ පැත්තට නම්මා ගැනීමයි. (ඔස්කාර් 50 වන උපන්දිනය සමරුවේ හිට්ලර් චාන්සලර් ධූරයට පත් වී දිනකිනි). සිය පියාගේ උපදේශකයා වූ ඔහු හා රහස් මන්ත්‍රණයෙහි යෙදුන පැපන් සඳහන් කළේ හිට්ලර්ට චාන්සලර්කම ලබා දුන්නද, උප චාන්සලර් ලෙස තමා හිට්ලර්ව නටවන්නට අපේක්ෂා කරන බවයි. පැපන් සහ හූගන්බර්ග් බලාපොරොත්තු වූයේ තමන්ට අවශ්‍ය පරිදි "වැදගැම්මකට නැති කෝප්‍රල්වරයා" නැටවීමටය.
මෙසේ ඔස්කාර් ෆොන් හින්ඩන්බර්ග් විසින් සිය පියාගේ සිතැඟි වෙනස් කරන්නට කටයුතු කෙරිණ. නාසිවාදීන් සහ පැපන්-හූගන්බර්ග් කණ්ඩායම අතර ඇති වූ සාකච්ඡාවලින් පසු එකොලොස් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තීරණය විය. මෙහි, හිට්ලර්ද ඇතුළුව නාසි පාක්ෂිකයන් වූයේ තුන් දෙනෙකු පමණි.
1933 ජනවාරි 28 වනදා චාන්සලර් ෆොන් ශ්ලයිෂර් කැඳවූ ජනාධිපතිවරයා ඔහු ධූරයෙන් පහ කරන ලදබව සඳහන් කළේය. තමා පිලිබඳ වයෝවෘද්ධ ජනාධිපතිවරයා දරන අදහස් දැන සිටි හිට්ලර් අන්තිම මොහොත දක්වාම චාන්සලර් පදවිය ලැබේද, නැද්ද යන ප්‍රශ්නයට මැදිව පීඩා වින්දේය. කෙසේ වෙතත් අවසානයේදී 1933 ජනවාරි 30 වනදා ඇඩොල්ෆ් හිට්ලර් ජනාධිපතිවරයා හමුවට කැඳවනු ලැබුණි. ඔස්ට්‍රියාවෙන් සංක්‍රමණය වූ, අවුරුද්දකට කලින් කිසිම රටක පුරවැසියෙකු නොවූ "වැදගැම්මකට නැති කෝප්‍රල්වරයා" ජර්මනියේ චාන්සලර් බවට පත් විය.
කැබිනට් මණ්ඩලයේ බහුතරය හිට්ලර්ට නොමැති සෙයක් පෙනුණද මේ අවස්ථාවේ ලද දෙයින් ඔහු සතුටට පත් විය. ඔහු චාන්සලර් ධූරය දරන විට නාසි පාක්ෂික විල්හෙල්ම් ෆ්‍රික් අභ්‍යන්තර ඇමතිවරයා බවට පත් විය. කැබිනෙට්ටුවේ අනෙක් නාසිවාදියා වූ හර්මන් ගෝරින්ග් කාර්යභාරයක් නොමැති ඇමති කෙනෙකු වූයේ නමුත් ඒ අතරම ඔහු ප්‍රශියාවේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා විය. ප්‍රෂියාව ජර්මනියේ සමස්ථ බිම් පෙදෙසින් 2/3 ක් තරම් විශාල ප්‍රදේශයක් විය. රටේ මෙන්ම ප්‍රාන්තවලද පොලිසිය පවතින්නේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා යටතේ ය. මේ අනුව ජර්මන් පොලිසියද, ප්‍රශියානු ප්‍රාන්ත පොලිසියද නාසිවාදීන් යටතට ගැනීමට හිට්ලර් සමත් විය. හිට්ලර් "මස් රාත්තලම ලබා ගන්නට" කටයුතු කලේ එලෙසිනි. එයින් පසු සිය පැරාමිලිටරි කණ්ඩායම (S.A. සංවිධානය හෙවත් දුඹුරු කමිසකාරයෝ) විරුද්ධවාදීන්ට පහර දීමට යෙදවීම කෙරෙහි කිසිදු බියක් නාසි නායකයාට නොවීය. ජනවාරි 30 වනදා රාත්‍රියේ S.A. සංවිධානය හිට්ලර්ගේ නව පත්වීම සැමරුවේ බර්ලිනය පුරා පන්දම් රැගත් පෙළපාලිවලින් ගමන් කරමිනි. ජර්මන් චාන්සලරිය (චාන්සලර් කාර්යාලය) ඉදිරියෙන් පන්දම් රැගත් පෙරහැර ගමන් කරද්දී, හිට්ලර් ඔවුන් ඉදිරියේ පෙනී සිට ආචාර දැක්වීය. මෙම පෙළපාලියෙන් ඔවුන් පෙන්වා සිටියේ නාසිවාදීන් දැන් බලය ලබාගෙන ඇති බවත්, පහසුවෙන් එය යලි ලබා නොදෙන බවත් ය. එදිනත්, ඉන්පසු දිනවලත්, නාසිවාදීන් සිය ප්‍රතිවාදීන්ගේ ඔලු පලන විට සහ ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කරන විට පොලිසිය කල දෙයක් නැත.
Hitler at the window of the Chancellery on Wilhelmstrasse in Berlin while receiving the ovations of the people on the evening of the day, January 30, 1933, Photo by Robert Sennecke. (German Federal Archive) Bundesarchiv, Bild 146-1972-026-11 / Sennecke, Robert / CC-BY-SA. හිට්ලර් බලයට පත් වූ දින, විල්හෙල්ම්ස්ට්‍රාසේ (විල්හෙල්ම් වීදියේ) පිහිටි චාන්සලරියෙන් ජනතාවට ආචාර කරයි. Wikimedia Commons.
හිට්ලර් නටවන්නට බලාපොරොත්තු වූවනට නොමැති බලයක් හිට්ලර් වෙත තිබිණ. ඊට හේතු වූයේ, පොලිසිය තමන්ට නතු වීමත්, තමන් යටතේ පෞද්ගලික පැරාමිලිටරි කණ්ඩායමක් තිබීමත්ය. තවද, යම් ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කිරීමට නම් ඔවුන්ගේ සහය අත්‍යාවශ්‍ය බව ආණ්ඩුවේ අනෙක් පාර්ශවකරුවන්ද පිළිගත්හ. තමන්ට ලැබුන අලුත් බලය යොදා ගනිමින් මීළඟ මාස කිහිපය තුල නාසිවාදීහු ජර්මන් ජන සමාජයේ සෑම ස්ථානයක්ම පාහේ තමන් යටතට ගන්නට වූහ.
මෙතෙක් කල් භේද භින්න වී සිටි නාසි විරෝධී කණ්ඩායම් හිට්ලර් බලයට පැමිණීමෙන් පසු රයිෂ්ටාගය තුල නාසි විරෝධී බහුතරයක් නිර්මාණය කිරීමට උත්සාහ කළහ. මෙය "අස්සයා පැන ගිය පසු ස්තාලයේ දොර වැසීම" මෙන් සිද්ධියක් වුවද, හිට්ලර් අවදානමක් ගන්නට මැළි වූයේය. මේ අනුව ඔහුගේ උපදෙස අනුව හින්ඩන්බර්ග් විසින් රයිෂ්ටාගය විසිරුවා හැරියේය. මීළඟ මැතිවරණය මාර්තු 6 වෙනිදාට නියම කෙරිණ.
නාසිවාදීන්ට එරෙහිව සිටි එක් ප්‍රබල කණ්ඩායමක් වූයේ කොමියුනිස්ට්වාදීන්ය. S.A. සංවිධානය වැනි නාසි කණ්ඩායම්වල ප්‍රහාර හමුවේ වුවද ඔවුහු ප්‍රබල ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියහ. මීළඟට සිදු වූයේ නාසි පාලන සමයෙහි එක් අභිරහසක් ලෙස සැලකෙන රයිෂ්ටාග් ගින්නයි.
Firemen work on the burning Reichstag, රයිෂ්ටාග් ගින්න නිවීමට ගිනි නිවන්නෝ උත්සාහ කරති. (ඡායාරූපය ගත් තැනැත්තා කවරකුදැයි නොදනී). Wikimedia Commons.
1933 පෙබරවාරි 27 වනදා රයිෂ්ටාගයේ ගින්නක් ඇති විය. ඒ අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුල සිට මැරිනස් වැන් ඩ ලුබේ නම් ඕලන්ද ජාතික කොමියුනිස්ට්වාදියකු සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් පසුදින හිට්ලර්ගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් "රයිෂ්ටාග් ගින්න සම්බන්ධ නියෝගය" (Reischtag Fire Decree) නිකුත් කරන ලද අතර මෙයින් පුද්ගල නිදහස දැඩි ලෙස සීමා කරන ලදී. නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමටද මෙමගින් හැකියාව ලැබිණ. මෙයින් පසු කොමියුනිස්ට්වාදීන් දහස් ගණනක් අත්අඩංගුවට ගන්නා ලදී. කොමියුනිස්ට් පක්ෂයද තහනම් කරනු ලැබිණ. පක්ෂ නායක අර්නස්ට් තැල්මාන් මාර්තු 3 වනදා අත්අඩංගුවට ගන්නා ලද අතර 1944 අගෝස්තු 18 වනදා බුකන්වෙල්ඩ් කඳවුරේදී වෙඩි තබා මරා දමනතුරු ඔහු සිටියේ නාසි අත්අඩංගුවේ ය.
කෙසේ වුවද, මාර්තු 6 මැතිවරණ ප්‍රතිපලය හිට්ලර්ට නම් සතුටුදායක නොවීය. තහනම සහ පහරදීම් මැද වුවද කොමියුනිස්ට් පක්ෂයට සියයට 12.3 හෙවත් මිලියන 4.85 කට (ලක්ෂ 48.5) ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුන අතර සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයද ආසන 120 ක් දිනුවේය. නාසි පක්ෂයට ලැබුනේ ආසන 647 කින් 288 ක් පමණි. මෙතරම් ප්‍රචණ්ඩත්වයක් මැද වුවද ජනතාවගෙන් සියයට 43.9 ක් පමණක් නාසි පක්ෂයට ඡන්දය දී තිබුණි. එනම්, නාසි හෙවත් NSDAP පක්ෂයට කිසිදු දිනෙක වෙනත් පක්ෂද සහභාගී වූ මහ මැතිවරණයක සියයට පනහක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි විය.
හිට්ලර්ගේ පාලනයේ උච්චතම අවස්ථාව වූයේ 1933 මාර්තු 23 වනදා රයිෂ්ටාගයේ සම්මත වූ "බලගැන්වෙන පනත" (Enabling Act)ය. (ගින්නෙන් විනාශ වූ රයිෂ්ටාගයේ රැස්වීම් පැවැත්වුනේ ක්‍රෝල් ඔපෙරා ශාලාවේය). රයිෂ්ටාගයේ බහුතර බලයක් නොමැති වීමට පිළිතුරක් ලෙස නාසිවාදීන් විසින් යෝජනා කෙරුණ මෙම පනත මගින් රයිෂ්ටාගය විසින්ම වසර 4 කට සිය බලය කැබිනට් මණ්ඩලයට පවරා දෙන්නට යෝජනා විය. මෙය සම්මත කිරීමට 2/3 ක ඡන්ද අවශ්‍ය විය. කොමියුනිස්ට්වාදීන් 81 දෙනා මේ වනවිට තහනම් පක්ෂයක සාමාජිකයන් වූ හෙයින් රයිෂ්ටාගයේ නොසිටියහ. DNVP පක්ෂයෙන් පත්ව සිටි 52 දෙනාත් අනෙක් සුළු පක්ෂ බොහෝමයකුත් මීට සහය දක්වන්නට සූදානමින් සිටියහ. ගැටලුවක් ලෙස පැවතියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) සහ සෙන්ට්‍රම් පක්ෂයයි. SPD පක්ෂය කිසිසේත් මීට පක්ෂ නොවන බව දත් නාසිවාදීහු ඒ මන්ත්‍රීවරුන් ඇතැමෙක් රඳවා තබමින් රයිෂ්ටාග් සැසියට සහභාගී වීම වලක්වාලූහ. මේ අතර ජනාධිපති හින්ඩන්බර්ග් සතු නිශේධ බලයට තමන් අත නොතබන බව පොරොන්දු වෙමින් සෙන්ට්‍රම් පක්ෂයද කැමති කරගැනීමට නාසි පක්ෂය සමත් විය. රයිෂ්ටාග් සැසියට සහභාගී වූ SPD පාක්ෂිකයන් 84 දෙනෙක් පමණක් මෙම පනතට එරෙහිව ඡන්දය දුන්හ. මේ අනුව රයිෂ්ටාගය විසින්ම රයිෂ්ටාගයේ බලය හිට්ලර් වෙත තෑගි කළේය.
හිට්ලර්ගේ බලයට පත් වීමේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙන්නේ මේ අවස්ථාවය. මේ වනවිට ඔහු හින්ඩන්බර්ග්ගේ සිතද සැලකියයුතු ප්‍රමාණයකට දිනාගන තිබූ බව රයිෂ්ටාග් ගින්න සම්බන්ධ නියෝගය නිකුත් කිරීමෙන් සහ බලගැන්වෙන පනතට අත්සන් කිරීමෙන් පැහැදිලි වේ. හින්ඩන්බර්ග් මියගිය පසු 1934 අගෝස්තු 2 වනදා හිට්ලර් ජර්මනියේ ජනාධිපති බවටද පත් විය. (හින්ඩන්බර්ග්ගේ අවසන් කැමැත්ත වූයේ 1918 බලයෙන් පහ කෙරුණ කයිසර්වරයා හෙවත් අධිරාජයා වූ දෙවැනි විල්හෙල්ම් ව්‍යවස්ථානුකූල රජෙකු ලෙස යළි රාජ්‍ය නායකත්වයට පත්වනු දැකීම බව කියවේ. නමුත්, හිට්ලර් විසින් මෙම අන්තිම කැමැත්ත යට ගසන ලදී). 1934 ජනාධිපති වූ පසු චාන්සලර් පදවියද හිට්ලර් විසින් වෙනකෙකුට පැවරුවේ නැත. හිට්ලර්ගේ ජර්මනියට නායකයන් දෙදෙනෙකු අවශ්‍ය වූයේ නොවේ. එමෙන්ම එම පියවර නිසා නාසි ආණ්ඩුවට පිළිගත් දෙවැන්නෙක් නොවූ අතර ආණ්ඩුවේ ප්‍රධාන නායකයෝ තිරය පිටිපස එකිනෙකා හා කුළල් කා ගනිමින් සිටියහ. එහෙයින් ඒ එකකුවත් හිට්ලර්ට තර්ජනයක් බවට පත් නොවීය.
හිට්ලර්ගේ බලයට පැමිණීමට ලෝක ආර්ථික අවපාතය උපකාරයක් වුවද, ඔහුගේ ගමන නැවැත්වීමට නොහැකි වීම කෙරෙහි බලපෑ ප්‍රධානතම කරුණ වූයේ විරුද්ධ පක්ෂවල අසමගියයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ කොමියුනිස්ට් පක්ෂ එක් වුනි නම් හෝ අනෙක් දක්ෂිනාංශික පක්ෂ එක් වුනි නම් හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ මධ්‍යස්ත මතධාරී දක්ෂිනාන්ශිකයන් එක් වුනි නම් හෝ හිට්ලර්ට ආණ්ඩු බලය නොලැබෙන්නේය. ලෝක ආර්ථිකය යහපත් අතට හැරෙන තෙක් වසර කිහිපයක් හිට්ලර්ව පසෙකට කර තබන්නට හැකි වී නම් බොහෝ විට නාසිවාදීනට කිසි දිනෙක ජර්මනියේ බලය නොලැබී යන්නට ඉඩ තිබිණ. මන්ද යත් ආර්ථිකය යහපත් වූ කාලයක නාසිවාදීනට සටන් පාඨ බොහොමයක් නැතිවන බැවිනි. නමුත් ඒ ඒ පක්ෂ කලේ ඒ ඒ න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීමයි. අවසානයේදී සිදු වූයේ සියල්ලන්ටම විනාශය කරා යාමට සිදු වීමයි. 1933 ජූනි මාසයේ අවසානය වනවිට විපක්ෂ කණ්ඩායම් මර්ධනය කර තිබුන අතර ආණ්ඩුවට පක්ෂ වූ කණ්ඩායම්වලටද නාසි පක්ෂයට එකතු වීමට බල කෙරිණ. හිට්ලර් අල්ලේ නටවන්නට බලාපොරොත්තු වූ ඇල්ෆ්‍රඩ් ෆොන් හූගන්බර්ග්ගේ DNVP පක්ෂය 1933 ජුනි මස අවසානයේදී එය විහින් විසිරුවාගන්නා ලදී. එයින් පසු 1945 මැයි මාසයේ මුල් කාලය දක්වා ජර්මනියේ එකම නීත්‍යානුකූල දේශපාලන පක්ෂය වූයේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය හෙවත් නාසි පක්ෂයයි.
අපේ Course වල presentation කිරීමෙදි බෝහො වැදගත්.අන්තර්ජාලයේ සැරිසැරුවද මෙවැනි විස්තර සොයා ගන්න අමාරුයි.ස්තුතියි ඔබට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බොහොම ස්තූතියි! ඇත්තෙන්ම සිංහලෙන් නම් මේවා හොයන්න නැහැම වගේ තමයි. මම මේ හිට්ලර් ගැන ලිපි 2 ලියන්න ගොඩක් උදව් කරගත්තේ William L. Shirer ලියපු The Rise and the Fall of the Third Reich පොත කියවලා තියෙන මතකය. ඒ මතකය අලුත් කරගන්න සහ මැතිවරණ සංඛ්‍යාලේඛන ගන්න විකිපීඩියාව සහ වෙනත් වෙබ් අඩවි උදව් වුණා. නමුත් මූලික විස්තරය පාදක වුනේ මම කියාපු අර පොත ඔස්සේ.
Deleteලිපියට ස්තුතියි.. හොඳ ලිපියක්.. ඊළඟ කොටසත් බලන්න එන්නම්..
ReplyDeleteමට මේ ලිපිය කියවද්දි සමහර තැන්වලදි සිරි ලංකාවත් මතක් වුනා.. ඒවගේම ඉතිහාසය රිපීට් වෙනවා කියන එකත් මතක් උනා..
ස්තූතියි ගොඩක්! ඊළඟ කොටසත් බලන්න....
Deleteමට ඉන්ටර්නෙට් එකේ මෙහෙම දෙයක් හම්බ වුනා.
"Those who cannot remember the past are condemned to repeat it."
"අතීතයේ සිදුවීම් අමතක තැනැත්තා විසින් එය නැවත සිදු කරනු ලබන්නේය"-ජෝර්ජ් සන්ටයානා. (1905-06)
"Hegel remarks somewhere that history tends to repeat itself. He forgot to add: the first time as tragedy, the second time as farce."
"ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව හේගල් විසින් යම් තැනක සඳහන් කොට ඇත්තේය. ඔහුට පැවසීමට අමතක වූ දේ නම්, මුල් වතාවට එසේ වූ විට එය ශෝඛාන්තයක් බවත්, දෙවන වර එසේ වූ විට එය විකාරයක් බවත් ය"-කාල් මාක්ස්. (1852)
මගේ පරිවර්තන නම් එච්චර හොඳ නැතුව ඇති. :-)
අදත් කියන්න තියෙන්න ගොඩාක් හොදයි මෙ වැඩ පිළිවෙල අයිය තරන..
ReplyDeleteහැබැයි පොඩි ශෝධනයක් තියෙනවා පුලුවන් නමි පෝස්ටි එකේ දිග ටිකක් අඩු කරනවාද..
එක පාරම කියවගෙන යන්න ටිකක් කමිමැලි වගෙයි ඒකයි....
ඇත්ත. බොහොම ස්තූතියි අදහසට. මම සම්පූර්ණයෙන්ම එකඟයි. උදාහරණයකට ගත්තොත් ඔයා ලියන පෝස්ට් හැම එකක්ම වගේ දිගින් අඩු ඒවා නේ. එක දිගට කියවන්න අමාරු නැහැ එතකොට.
Deleteමේ පෝස්ට් එක දෙකකට කඩලා දැම්මෙත් දිග වැඩි බව තේරුණ නිසා. නමුත් මේ දිගත් සමහරුන්ට දිග වැඩි වෙන්න පුළුවනි. ඒක ඇත්ත.
ඊළඟට ලියන ඒවා මෙච්චර දිග වෙන එකක් නැහැ කියලා හිතනවා. ඇවිත් බලන්නකෝ....
මම මේ කියවන්නෙ ජර්මනි ඉතිහාසයද ? ලංකා ඉතිහාසයද ? :-)
ReplyDeleteඑදා තිබුනු තත්ත්වයම තමයි නේද වර්තමානෙ අපේ රටවල තියෙන්නෙ. ජර්මනිය අද බොහොම වැදගත් රටක් විදිහට ඔලුව උස්සලා ඉන්නෙ ඒවයෙන් ලබපු පන්නරයෙන්ද ? ඒත් නිවැරදි කිරීමට කවුද දන්නෑ මුල පිරුවෙ..! හිට්ලර්ගෙන් පස්සෙ ජර්මනිය බාරගත්තෙ කවුද ?
මම ලඟදි කියෙව්වා ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කරපු අවුට්ස්විෂ් ඝාතන කඳවුර කියන පොත.. හිට්ලර්ගෙ කෙරුවාව ඒකෙ යසට තියනවා..
ගොඩක් ස්තූතියි චාමර මේ නොදන්න විස්තර අපිට කියනවට..
අම්මෝ! ලංකාවේ කොහෙද මෙහෙම තත්ත්වයක්? හිට්ලර් යටතේ ජර්මනිය තිබිච්ච තත්ත්වය එක්ක තියන්නවත් පුළුවන් අවස්ථාවල් නූතන ලෝක ඉතිහාසයේ ගොඩක් අඩුයි. (නැතුවම නෙවෙයි)
Deleteහිට්ලර්ගෙන් පස්සේ අවුරුදු 4 ක් ජර්මනිය මිත්‍ර පාක්ෂිකයන් විසින් පාලනය කෙරුනා. ඒක ටිකක් දිග කතාවක්. ඒ ගැන තියෙනවා මම බර්ලින් තාප්පය බිඳ වැටීම ගැන ලියාපු ලිපියේ. මට මෙතනට ලින්ක් එක දාන්න තේරෙන්නේ නැහැ. ඔයා පොඩි සර්ච් එකක් දාලා බලන්න. ගිය නොවැම්බර් මාසේ ඒක මම දැම්මේ.
ස්තූතියි කමෙන්ට් එකට!
හිට්ලර් යටතෙ නෙමේ චාමර.. මම කිව්වෙ හිට්ලර් බලයට එන්ඩ කලින් මුන් බලයට මරා ගැනිලි, වයසක උන්දෙක්ව පත්කිරීම වගේ ඒවා සළකලා බලලා..
Deleteහිට්ලර් ආවට පස්සෙ තිබුන තත්ත්වෙත් තිබුනනෙ 88-89 කාලෙ.. වධකාගාර, සමූහ මිනි වලවල් වගේ දේවල්.. ඒ තරමින්ම නොවුනත්..
මම හිතන්නෙ මිනී මැරීම අතින් ස්ටාලින් සහ පොල්පොට් හිට්ලර්ට වැඩිය ඉදිරියෙන් ඉන්නවා..එහෙම නේද ?
වයසක මනුස්සයා වුනත් හින්ඩන්බර්ග් මැරෙනකල් ඉතා ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. හිට්ලර් කවදාවත් එයාව පෞද්ගලිකව විවේචනය කරේ නැහැ. (1932 ජනාධිපතිවරණය කාලේ කළා නම් හැර). ඒ වගේම චාන්සලර් වෙනකල්ම හිට්ලර්ව යම් තාක් දුරට පාලනය වුනා හින්ඩන්බර්ග් නිසා. වයස ගියත් එයා විතරයි 1932 දී හිට්ලර් පරද්දන්න තරම් හැකියාවක් තිබිච්ච කෙනා.
Deleteතමන්ගේම පක්ෂයේම සාමාජිකයෝ මරා දැමීම සම්බන්ධ හොඳම කෙරුමා තමයි ස්ටාලින්. නමුත් රටේ ජනතාව මරා දැමීම ගැන නම් විවාදයකින් තොරව පොල් පොට් කියන පිස්සට තමයි "ගෞරවය" හිමි වෙන්න ඕන. අවුරුදු 3 යි මාස 9 කදී රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් විතර මරනවා කියන්නේ පුදුම කෙරුවාවක් නේ.
නොදන්න තොරතුරු ගොන්නක් ගෙනෙන අඩවියක්නේ. එන්නං දැන් පාර දන්න නිසා.බූකන්වර්ඩ් හිර ගෙදර ගැනත් තොරතුරු තියනවා නං දාන්න පෝස්ට් එකක්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
එන්න එන්න මිත්‍රයා. සාදරයෙන් පිළිගන්නවා. මමත් ඉඩ ලැබුන විට සමකය වටේ යනවා. හරිම අගෙයි ඒ අඩවියත්....
Deleteබුකන්වෙල්ඩ් ගැන තියෙන හොඳ පොතක් තමයි බ්රූනෝ ආපිට්ස් (Bruno Apitz) ලියාපු "වෘකයන් අතර නග්නව" කියන නමින් සිරිල් සී. පෙරේරා ශූරීන් පරිවර්තනය කරපු "Naked among Wolves" (Nackt unter Wölfen) කියන පොත. ඒකෙ තියෙන්නේ කඳවුරේ අන්තිම කාලය ගැන. ළමයෙක් බේරාගන්න හිරකාරයින් දරන උත්සාහය සහ අන්තිමට කඳවුරේ ඇතිවන කැරැල්ල ගැන. තැල්මාන්ගේ මරණය ගැනත් තියෙනවා.
තව දෙයක්. බුකන්වෙල්ඩ් කඳවුර තිබුනේ වයිමාර් නගරය ළඟ.
පුළුවන් කමක් ලැබුනොත් මම ලියන්නම් ලිපියක් බුකන්වෙල්ඩ් ගැන.
ගොඩක් ස්තූතියි!!!
කිවුවත් වගේ ලංකාවේ ඉතිහාසයත් මේ වගේමයිනේ....
ReplyDelete:-P
Deleteහි හි.. ඉහල කොමෙන්ට්ස් බලපුවාම මට කියන්න දෙයක් නෑ.
ReplyDeleteදිගටම ලියමු.ජය වේවා !
තැනක් යූ වේවා!!! :-)
Deleteනියමයි... මම කොටස් දෙකම කියෙව්වා... :)
ReplyDeleteකියවගෙන යද්දි මතක් වෙච්ච අතුරු කතාවක් එකතු කරන්න කැමතියි.
1939 දී වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනුවේ "ප්‍රොන්ටොසිල්" නම් ප්‍රතිජීවකය (මගේ මතකය නිවැරදි නම් ලොව ප්‍රථම වාණිජමය ලෙස නිපදවිය හැකි ප්‍රතිජීවකය = Commercially available antibiotic ) සොයා ගත්ත ජෙරාඩ් පෝල් ඩොමෑක් නම් විද්‍යාඥයා හිට්ලර්ගේ කුප්‍රකට ගෙස්ටාපෝ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තා, ඒ ජර්මන් ජාතිකයන් නොබෙල් ත්‍යාගය පිළි නොගත යුතු යඉ නීතියක් පැණවීමෙන්..
මේකට ආසන්නතම හේතුව වුනේ 1935 දී හිට්ලර් ගේ නාසි පාලනය විවේචනය කළ කාල් ඔසේට්ස්කි ට නොබෙල් සාම ත්‍යාගය හිමිවීමයි..
අනිවා.... තැනක් යූ වේවා එකතු කිරීමට. ඔය විස්තරේ කිව්වම මට මතක් වුනේ පරමාණු බෝම්බය හදන්න මුල් වෙච්ච කී දෙනෙක් හිට්ලර්ට බයේ ජර්මනියෙන් සහ වෙනත් රටවලින් පැනලා ගිහින් ඇමරිකාවට සංක්‍රමණය වුනාද කියලා...
Deleteහොද ලිපියක්.1933 හිට්ලර් බලයට පත්වෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සම්මුතියකට එන්න අසමත් වුන නිසා.මේ පක්ෂ දෙකම විශාල වශයෙන් එරට කම්කරු පංතිය මත පදනම් වූ පක්ෂ.මේ යුගයේ තුන්වෙනි ජාත්‍යන්තරය එහි සාමාජික පක්ෂ වලට අති වාමවාදී ස්ථාවරයක් ගන්නා ලෙස යෝජනා කරලයි තිබුනේ. මේ අනුව කොමියුනිස්ට් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ව දැඩි ලෙස විවේචනය කලා.ඔවුන්ව හැදින්වූයේ සමාජ ෆැසිස්ට්වාදින් කියන නමින්.මෙතැනදී ස්ටාලින් හා ට්‍රොට්ස්කි අතර මූලික මතභේදයක් තිබුනා. ට්‍රොට්ස්කිව මේ වනවිට සෝවියට් සංගමයෙන් පිටුවහල් කරලා තිබුනේ.ට්‍රොට්ස්කි නාසිවාදයේ නැගීම ඉදිරියේ වහ වහා කොමියුනිස්ට්වාදීන් සමාජ ප්‍රජාතනත්ත්‍රවාදීන් සමග එක්සත් පෙරමුනක් නිර්මානය කරගත යුතු බවට පැවසුවා.ඒත් ඒ දේ සිදුවුනේ නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂය සමග එකගතාවයකට එන්න සූදානමක් දැක්වූයේ නැහැ. වැඩකරන පංතිය මත පදනම් වූ මේ පක්ෂ දෙක එක් උනා නම් ඉතා පහසුවෙන් හිට්ලර්ගේ නැගීම නවත්වන්න තිබුනා.අවසානයේ හිට්ලර් බලයට පැමිනියාට පසු ට්‍රොට්ස්කි තුන්වන ජාත්‍යන්තරයේ සුජාතභාවය එතැනින් අවසන් වූ බව කියමින් හතර වෙනි ජාත්‍යන්තරයක් සදහා කැදවීම් කරනවා.
ReplyDeleteජර්මානු නාසිවාදයේ නැගීම ගැන ට්‍රොට්ස්කි කරන විශ්ලේෂනය පහත සබැදිය ඔස්සේ කියැවිය හැකියි.
http://www.marxists.org/archive/trotsky/germany/
ඇත්තෙන්ම... ස්තූතියි මේ එකතු කිරීමට. මට කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.
Deleteස්ටාලින්ට වෙච්ච ලොකු වරදක් තමයි මේ. වෙන එකක් තියා ඇතැම් අවස්ථාවල ජර්මන් කොමියුනිස්ට්වාදීන් සහ නාසි වාදීන් දෙගොල්ලෝ එකතු වෙලා වැඩ වර්ජන පවා කරනවා නේ. 1933 ට කලින්.
ස්ටාලින් සහ හිට්ලර් දෙන්නම අවස්ථාවාදියෝ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක හොඳටම පැහැදිලි වෙන්නේ 1939 දෙගොල්ලෝ අත්සන් කරපු කුප්‍රකට ගිවිසුමෙන්.
Excellent Article. .. Good luck with your future writings. ... And do continue this series including WW2.....
ReplyDeleteThank you very much!
DeleteWill try my best. Time is the only issue! :(
ස්තුතියි.. ලිපි දෙකම එක හුස්මට කියෙව්වා
ReplyDeleteබොහොම ස්තූතියි!
Delete