Friday, June 17, 2016

වසර 40 කට පෙර වර්ණභේදවාදයට එරෙහිව නැගුණ​ සොවේටෝ (Soweto) අරගලය​

1976 ජූනි 16 වනදා තවත් එක් බදාදා දිනයක් විය​. එදින දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරය අසළ සොවේටෝ නගර ප්‍රාන්තරයෙහි පාසල් ළමෝ වෙනදා මෙන්ම පාසැල් ගියහ​. එහෙත් එයින් සිය ගණනක් දෙනා යළි සිය නිවෙස් බලා පැමිණියේ නැත​.

1948 න් පසු දකුණු අප්‍රිකාවේ බලයෙහි සිටි ජාතික පක්ෂය විසින් වර්ණභේදවාදය නම් ක්‍රමය හඳුන්වා දෙන ලදී. එරට කලු ජාතික බහුතරයට අතිශය පීඩාකාරී වූ මෙම ක්‍රමවේදය ඔස්සේ ඔවුනට එවකට අයත්ව තිබුණු සීමාසහිත අයිතීන් ද කප්පාදු කරන ලදී. කලු ජාතික ළමුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ද මේ අතර විය​. ඔවුනට පාසැල් තිබුණ ද ඒවායේ විෂය ධාරාවන් බොහෝ සෙයින් අඩු තත්ත්වයේ ඒවා විය​. සුදු ජාතිකයන්ට බැල මෙහෙවර කිරීමට තරම් අවශ්‍ය සීමා සහිත දැනුමක් ඔවුනට තිබීම ප්‍රමාණවත් බව රජයේ පිළිගැනීම විය​.

වර්ණභේදවාදය යටතේ කලු, සුදු ජාතිකයන්ට එක ප්‍රදේශයක ජීවත් වීම තහනම් විය​. මේ හේතුවෙන් ප්‍රධාන නගරවල ඔවුනගේ වාසස්ථානවලින් ඔවුන් පළවා හරින ලදී. ජොහැනස්බර්ග් වැනි නගර අවට කලු ජාතිකයන් ජීවත් වූ නගර ප්‍රාන්තර ඇති විය​. ඒවායේ ඔවුහු ඉතා අඩු පහසුකම් යටතේ ජීවත් වූහ​. නගරයේ ඇති කර්මාන්තශාලා සහ වෙනත් සේවා ස්ථාන වෙත උදෑසන පැමිණෙන ඔවුහු වැඩ අවසන් කළ පසු යළි නගර ප්‍රාන්තරවල වූ නිවෙස් වෙත යන්නෝ ය​.

සොවේටෝ යනු එවන් එක් නගර ප්‍රාන්තරයකි. එහි නම සෑදී තිබුණේ South Western Townships යන නම ආශ්‍රයෙනි (නිරිතදිගින් පිහිටි නගර ප්‍රාන්තර​). සොවේටෝ පිහිටියේ ජොහැනස්බර්ග්වලට නිරිත දිගිනි.

1976 ජූනි 16 වනදා සොවේටෝවේ කලු ජාතික පාසැල් සිසුන් වීථි බැස පෙළපාලි ගියේ රජය විසින් පැනවූ නව නීතියකට එරෙහිව ය​. එම නීතියට අනුව පාසැල්වල සියලු විෂයයන් අෆ්‍රිකාන්ස් (Afrikaans) භාෂාවෙන් ඉගැන්විය යුතු විය​. අෆ්‍රිකාන්ස් යනු එරට බෝයර්වරුන් වැහැරූ බස විය​. ජාතික පක්ෂ රජය පාලනය කළේ මෙම බෝයර්වරුන් ය​. බොහෝ අප්‍රිකානු ජාතිකයන්ට අෆ්‍රිකාන්ස් බස පිළිබඳ දැනුමක් නොවීය​. සත්‍ය වශයෙන්ම මෙම නීතිය අප්‍රිකානු දරුවන් ගේ අධ්‍යාපනය කාබාසිනියා කර දැමීමට ගෙනා තවත් එක් නීතියක් විය​.

අප්‍රිකානු සිසුන් ගේ මෙම පෙළපාලිය සොවේටෝ හි ඕර්ලැන්ඩෝ ප්‍රදේශයේ විලකාසි (Vilakazi) වීථියට පැමිණියේය​. දකුණු අප්‍රිකානු පොලිසිය ඔවුන් ගේ මඟ හරස් කරගෙන සිටියහ​. ඔවුහු ජීව උණ්ඩවලින් පෙළපාලි ගිය ළමුන්ට වෙඩි තැබූහ​. එම වෙඩි තැබීමෙන් 176 ක් සිසුන් මියගිය බව රජය ප්‍රකාශ කළ අතර ඇතැම් ඇස්තමේන්තු අනුව මිය ගිය පිරිස 700 ක් පමණ විය​.

සොවේටෝ අරගලය සංකේතවත් කරන ඛේදජනක ඡායාරූපය වන්නේ කලු ජාතික සිසුවකු විසින් 13 හැවිරිදි හෙක්ටර් පීටර්සන් ගේ මළ සිරුර රැගෙන එන දර්ශනයයි. පීටර්සන් සොවේටෝ පෙළපාලියට වෙඩි තැබීමෙන් මිය ගිය පළමු සිසුන් කිහිප දෙනාගෙන් අයෙකි. මෙම ඡායාරූපය පසුදා ලොව පුරා පුවත්පත්වල පළ වූයේ ලෝ වැසියන් දස දහස් ගණනකගේ හදවත් කම්පා කරවමිනි.
හෙක්ටර් පීටර්සන් ඔසවාගෙන එන අයුරු දැක්වෙන ඡායාරූපය සොවෙටෝ ස්මාරකයෙහි ප්‍රදර්ශනය කෙරේ. Pic: Ulrike Sommer/DW

එම සුප්‍රකට ඡායාරූපය සිය කැමරාවට හසු කරගත්තේ සෑම් න්සීමා (Sam Nzima) නම් ඡායාරූප ශිල්පියා ය​. තරුණ පොලිස් නිලධාරියකු සිය ගිනි අවිය පිටතට අදින ආකාරය ඔහුට තවමත් මතකය​.

"ඔහු කෙලින්ම සිසුන් දෙසට වෙඩි තබා අනෙක් පොලිස් නිලධාරීන්ට ද වෙඩි තබන්න අණ කළා. එයින් පස්සෙ එතැන වුණේ එකම විනාශයක්. ඒ පොඩි දරුවා වෙඩි වැදී වැටෙන ආකාරය මම දුටුවා."

පීටර්සන් ගේ සහෝදරිය ඇන්ටොයිනෙට් එම අවස්ථාවේ ඔහු සමඟ වූයේය​. ඉහත ඡායාරූපයේ සිය සහෝදරයාගේ සිරුර ඔසවාගෙන යන සිසුවා අසළින් දිව යන්නේ ඇයයි.

"මගේ සහෝදරයාට වෙඩි වදුණ විට මම ඔහු දිහා බැලුවා. ඔහුගේ කටින් ලේ ගලන්නට වුණා. මම හොඳටම බයට පත් වුණා" ඇය සඳහන් කරයි. ඔහුව රැගත් සිසුවා සමඟ ඇයද දිව ගියාය​. හෙක්ටර්ව වාහනයකට නංවන්නට සූදානම් වෙද්දීම අනෙක් සිසුවා ඔහු මිය ගොස ඇති බව ප්‍රකාශ කළ බැව් ඇය මතකයට නැඟුවාය​.

හෙක්ටර් බේරාගැනීමට උත්සාහ කළ සිසුවා ම්බුයිසා මකුබු නම් විය​. මකුබුට කුමක් සිදුවී ද යන්න අදටත් අභිරහසකි. ඔහු සොවේටෝ සිදුවීම්වලින් පසු බොට්ස්වානාවට පළා ගොස් එතැනින් නයිජීරියාවට ගිය බවත්, ඉන්පසු ඔහුට කුමක් වීදැයි නොදන්නා බවත් සොවේටෝවේ සංචාරක මගපෙන්වන්නකු වන පලෝකෝ න්තාකෝ පවසයි.

1994 න් පසු දකුණු අප්‍රිකාවේ පිහිටුවන ලද සත්‍යය සහ සංහිඳියා කොමිසම හමුවේ ඔහුගේ මව සඳහන් කර ඇත්තේ 1978 දී නයිජීරියාවේ සිට ඔහු එවූ ලියමනක් ලැබුණ ද ඉන්පසු ඔහුට සිදුවූවක් නොදන්නා බවය​.

සොවේටෝ වෙඩි තැබීමෙන් පසු 1976 අවසන් වනතුරු ම රටේ තැන තැන රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාර සහ වැඩ වර්ජන ඇති විය​. ඇතැම් සුදු ජාතික සිසුන් ද රජය විසින් කරන ලද වෙඩි තැබීමට විරුද්ධත්වය පළ කළ හ​.

මේ අතර කලු ජාතික තරුණයින් සැළකිය යුතු පිරිසක් රට අතැර ගිය අතර ඔවුන් පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසය ප්‍රමුඛ සංවිධාන විසින් ගෙනයන ලද සන්නද්ධ අරගලයේ කොඳු නාරටිය බවට පත් විය​.

No comments:

Post a Comment