Sunday, September 30, 2012

අපට වෙච්ච දේ 004: මහාචාර්ය සේනක බිබිලේගේ උරුමය සහ ඉරණම


මහාචාර්ය සේනක බිබිලේ ගැන ඇයි මේ අපට වෙච්ච දේ කතා යටතේ ලියන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ඒකට හේතුව, මේ ලිපියට මම පාදක කරගන්නේ මගේ අත්දැකීම් වීමයි. ඒ අතරේ මම සේනක බිබිලේ මහත්මයා ගැනත් යමක් සඳහන් කරන්නම්. අද මම ලියන කතාවට කොටස් කීපයක් තියෙනවා. පලවෙනි කොටසෙන් මම කියන්නේ මට ළඟදී වෙච්ච දෙයක්. ඊළඟ කොටසෙන් මහාචාර්ය බිබිලේ ගැන පොඩි හැඳින්වීමක්. තුන්වෙනි කොටසෙන් අවරුදු දහ හතරකට පෙර 1998 දී මට සිද්ධ වෙච්ච තවත් කතාවක්.

පළමු කොටස

සේනක බිබිලේ ගැන මම මුලින්ම කියවන්න ඇත්තේ අවරුදු 11ක් 12ක් විතර වයසේදී. අපේ ගෙදර තිබුනා සංස්කෘතික අමාත්‍යාංශයෙන් පල කරපු පූජිත ජීවිත කියන පොතේ පස් වෙනි (මම දන්නා විදියට අන්තිම) වෙළුම. ඒකෙ මහාචාර්ය සේනක බිබිලේ ගැන දෙනගම සිරිවර්ධන මහත්මයා ලියපු ලිපියක් තිබුනා. ඒ මහත්මයා පස්සේ සේනක බිබිලේ මහතා ගැන පොතකුත් ලිව්වා. කොහොමහරි, ඒ කාලේ ඉඳන් මට සේනක බිබිලේ කියන්නේ වීරයෙක්. මම උපදිනකොට ඒ මහතා මිය ගිහින් අවරුදු කීපයක් වෙනවා. (හරියටම ගාන අවශ්‍ය නෑ නේ. මගේ වයස ගැන මම කියන්නේ මොකටද?)

නමුත් ඒ මහතා ගැන අද ගොඩක් අය කතා වෙන්නේ නෑ. පත්තර, ගුවන්විදුලිය, රූපවාහිනිය ඒ මහතා අමතක කරලා. ඒ මතකයට පන දෙන්නේ ඒ මහතා අගයන කීප දෙනෙක් පමණයි. සන්නිවේදනය මෙච්චර දියුණු ආශ්චර්යමත් ලෝකයක ජීවත්වෙන මට බිබිලේ මහතාගේ 35 වන ගුණානුස්මරණය ගැන මතක් උනේ පෝස්ටර් එකකින්.

එක අතකට එක මගේ තියෙන ගුණමකුකමද දන්නෙත් නෑ. ඊයේ මම හෙන්රි ඩුනාන්ට් සහ සොල්ෆෙරීනෝ සටනට හිරවෙලා නේ හිටියේ. ඒ කොහොම වෙතත් කෙනෙක්ට වාසියක් වුනාම නම් ඊට හේතු වෙච්ච කෙනා මතක් වෙනවා නේ. මටත් ටික දවසකට කලින් එහෙම දෙයක් වුනා.

අපේ නෝනා එදා අසනීපෙන් හිටියේ. එදා අපි හිටියේ කොළඹ නිසා මගේ යාලුවෙක්ට කතා කළා ඒ වෙලාවේ දොස්තර කෙනෙක් හොයා ගන්න ලේසිම තැන කොහෙද කියල අහන්න. එයාගේ නෝනත් දොස්තර කෙනෙක්. ඒ නිසා එයාල දන්නවානේ දොස්තරලා ගැන. කොහොමහරි මෙයා කිව්වා අපේ නෝනා ගෙදර ඉන්නවා. දැන් ආවොත් හරි කියලා. ඔන්න ඉතින් අපි එහෙ ගියා බෙහෙත් ගන්න. ගිහින් වල් පල් කතා කර කර ඉන්න ගමන් ලෙඩෙත් කියලා බලවලා බෙහෙත් ලියා ගත්තා.

ඊළඟ කාරණේ බෙහෙත් ගන්න එක. ඔක්කොම බෙහෙත් ජාති පහක්, ඇමොක්සිසිලිනුත් එක්ක. දන්නවා නේ ඒ බෙහෙත්වල ගණන්. මම කල්පනා කර කර ගියේ හොඳ ගානක් යයි නේද කියලා. කොහොමහරි, අපි ගියේ ජා ඇල දිහාවට. ඒ පැත්තට යද්දී ගොඩක් කතෝලික අය ඉන්නවා නේ. ඒ නිසා ඉරිදට ඒ ගොඩක් අය නිවාඩු ගත කරනවා. අපිට යන පාරේ ඇරලා තිබුණු ෆාමසියක් ඇස ගැහෙන්න ටිකක් දුර යන්න වුනා. ඒ ෆාමසි එකෙත් හිටියේ මුස්ලිම් කට්ටියක්.

මම ගිහින් බෙහෙත් තුණ්ඩුව දීලා බලාගෙන හිටියා ඔක්කොම බෙහෙත් ටික දෙනකල්. මම දැක්කා එයාල ළඟ තිබ්බ සමහර බෙහෙත් ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඒවා බව. ඉතින් ගණන ටිකක් අඩු ඇති කියලා මට හිතුනා. එහෙම වෙලත් බෙහෙත් ඔක්කොම දීලා ගණන හදලා කිව්වම මම තුෂ්නිම්භූත වුනා. බෙහෙත් ඔක්කොටම රුපියල් 97 යි. මම ආයෙත් බැලුවා ගණන වැරදිලාද කියලා. මම හිතුවේ නෑ ඒ තරම් අඩු වෙයි කියලා. නමුත් ගණන හරි. මම අපේ නෝනට එදා කිව්වේ මහාචාර්ය සේනක බිබිලේ නිසා තමයි මේ දේ සිද්ධ වුනේ කියලා. ඒ මහත්මයා නැති වෙලා අවුරුදු 35 ක් ගිහිල්ලත් අපි එයා කරපු දෙයින් ප්‍රතිලාභ ලබනවා නේ.

දෙවන කොටස

සේනක බිබිලේ උපන්නේ 1920 පෙබරවාරි 13 වනදා. ඔහුගේ පියා චාර්ල්ස් බිබිලේ. මව පහතරට, දකුණේ, අහංගම, කතළුවේ, සිල්වියා ජයවර්ධන. උඩරට ඉහල පරපුරක කෙනෙක් වෙච්ච චාර්ල්ස් බිබිලේ පහතරටින් විවාහයක් කරගැනීමෙන් පෙනෙන්නේ ඔහු රදල අදහස්වලින් නිදහස් කෙනෙක් වූ බවයි. ඒ වගේම, කුඩා සේනකට මව් කිරි දෙන්නට ඔහුගේ අම්මාට නොහැකි වුනු විට ගම්වැසි ගැහැණු ඒ සඳහා ඉදිරිපත් වුන බව ප්‍රසිද්ධ කතාවක්. ගමේ අහිංසක මිනිසුන් සහ සේනක එකිනෙකාට පුදුමාකාර ලෙස ආදරය කල බව ප්‍රකටයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට අධ්‍යාපනය ලබන්නට ගියා වුනත් පන්සලේ ආභාෂය සේනකට නොඅඩුව ලැබුනා. තමන්ගේ පාසල් මිතුරන්ගේ පවුල්වල අය ජීවත්වන්නේ අසරණ මිනිසුන්ගේ ශ්‍රමයට පින් සිද්ධ වෙන්න බව ඔහු දැක්කා. නමුත් ඒ සමාජ ක්‍රමය වෙනස් කරන්නට ක්‍රමයක් ඔහුට කල්පනා නොවෙන්නට ඇති. තමන්ගේ පියා ජීවත් වූ ක්‍රමය සේනක පරමාදර්ශය කරගන්නට ඇති.

මහාචාර්ය සේනක බිබිලේ (1920-1977). Wikimedia Commons

වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නට කොළඹ ගත කරපු කාලයේ තමයි ඔහුට පළවෙනියෙන්ම කාල් මාක්ස්ගේ "ප්‍රාග්ධනය" කියවන්න ලැබුනේ. ඉන් පස්සේ ඔහු වාමාංශික පත පොත කියවන්නටත් ඒ දේශපාලනයටත් නැඹුරු වුනා. නමුත් 1936 දී වෙච්ච තමන්ගේ පියාගේ මරණින් පස්සේ ඇති වෙච්ච ආර්ථික අපහසුතා නිසා ඔහු අධ්‍යාපනයට මුල් තැන දුන්නා විතරක් නෙවෙයි වෛද්‍ය විද්‍යාලයේ හැම වසරකම හොඳම ප්‍රතිපල (නැත්නම් බැච් ටොප්) ලබා ගන්නට ඔහුට හැකි වුනා. ඒ නිසාම එඩින්බර්ග් සරසවියට ආචාර්ය උපාධිය හදාරන්නට යන්නට ලැබුණු අතර, උපාධිය ලබා පිට රටට වී ඉන්නට ඕනා තරම් ඉඩ තිබියදී ආපහු ලංකාවට පැමිණියා. ඔහු තමයි කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඖෂධවේදය පිලිබඳ පළමු මහාචාර්යවරයා බවට පත් වුනේ. වෛද්‍ය විද්‍යාලයේදී ඔහුගෙන් ශරීරයේ රෝගවලට මෙන්ම සමාජයේ රෝගවලට බෙහෙත් ඉගෙන ගත් පිරිසක් ඇති වුනා. ඒ සමහරු අදටත් පැරණි වාමාංශික දේශපාලන පක්ෂවල ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ඒ පක්ෂවල ප්‍රබල නායකයින්.

ඖෂධ වෙළෙන්දන් මිනිස්සුන්ගෙන් අසාධාරණ විදියට සූරාගෙන කන ආකාරය දැකපු සේනක බිබිලේ මහාචාර්යතුමාට එය වෙනස් කරන්නට ඕන වුනා. ඊට අවස්තාවක් ලැබුනේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් වුනාම. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම පරිදි මහාචාර්ය බිබිලේ සහ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ රටේ ඖෂධ ප්‍රතිපත්තියක් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව 1971 දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කර, එහි පළමු සභාපති ලෙස සේනක බිබිලේ පත් කරනු ලැබුවා. මහාචාර්ය බිබිලේ නිර්මාණය කල ඖෂධ ප්‍රතිපත්තිය පසු කාලයේ වෙනත් රටවල් විසිනුත් තමන්ගේ ඖෂධ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ආදර්ශයක් ලෙස යොදා ගත්තා.

නමුත් 1975 දී සමගි පෙරමුණේ සමගිය බිඳවැටුණ පසු සේනක බිබිලේ මහතාට තමන්ගේ කටයුතු ඒ විදියට කරගෙන යන්න පුළුවන් වුනේ නෑ. ජාත්‍යන්තර වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිලිබඳ සමුළුව (UNCTAD), නොබැඳි ජාතීන්ගේ සමුළුව වැනි ආයතනවලිනුත් රට රටවලිනුත් ඔහුට පැසසුම් ලඟා වුනත් තමන්ගේ රටේ ඔහුව අවලංගු කාසියක් කරලා තිබුනා. මේක දැකපු UNCTAD සංවිධානයේ මහා ලේකම් ධූරය දැරූ ගාමිණි කොරයා මහතා සේනක බිබිලේට ජිනීවා නගරයට එන්නට ඇරයුම් කළා.

1977 දී ඔහු කැරිබියානු රටවල (බටහිර ඉන්දීය කොදෙව්) සංචාරය කලේ උන්ක්ටාඩ් සමුළුව වෙනුවෙන්. ඒ, එම කුඩා, දුගී රටවල් සඳහා ඖෂධ ප්‍රතිපත්තියක් සැදීමට. එය දවල් සිහිනයක් බව මහාචාර්යවරයා වුනත් දැනගෙන ඉන්නට ඇති. නමුත් ඔහු එම කටයුත්තට ඇප කැප වුනා. ඒ අතරේදී තමයි, 1977 සැප්තැම්බර් 29 වෙනිදා, ඔහු ගයානාවේදී (ශිවනරින් චන්ද්‍රපෝල්, ක්ලයිව් ලොයිඩ් ඉන්න රට) අභිරහස් ලෙස මියගියේ. අපේ රටට මෙච්චර සේවයක් කරපු එතුමා ආදාහනය වුනේ සිය බිරිඳ ඇරුනම තම රටේ කාත් කවුරුවත් නැති ඈත රටක.

තෙවන කොටස

1998 අවුරුද්දේ, ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සැමරුම වෙනුවෙන් විශාල ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවැත්වුනා. එහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කුටියකුත් තිබුනා. එතන එහි මූලාරම්භයේ ඉඳන් හිටපු සභාපතිවරුන්ගේ ඡායාරූප තිබුනා. එත්, මගේ වීරයා, මහාචාර්ය බිබිලේගේ ඡායාරූපයක් නෑ. මම ඒ ගැන ඇහුවම එයාල කිව්වේ පින්තූරයක් නෑ හරි, මොකක් හරි ඒ වගේ බොහොම ලාමක නිදහසට කාරණයක්. සේනක බිබිලේ ජීවත් වෙච්ච කාලේ කැමරා නොතිබුනා නෙවෙයි නේ. අවශ්‍යතාවයක් තිබුනා නම් එයාලට පින්තූරයක් හොයාගන්නට බැරි කමක් තිබුනේ නෑ නේ. මට ඇති වුන හැඟීම අර ගහට නැගපු එකා තණකොළ කපන්න නැගපු බව කිව්වම අයිතිකාරයට ඇති වුනා වගේ හැඟීමක් වෙන්න ඇති!

අසරණ දුප්පත් රටවැසියන් වගේම ලෝකවැසියන් වෙනුවෙන් ජීවිතෙන් වන්දි ගෙවාපු උතුම් මිනිසෙක්ට කෘතගුණ සලකපු හැටි එහෙමයි.

නමුත් නරකම කාරණය ඒක නෙවෙයි. ඔය කාලේ රට පාලනය කලේ පොදු පෙරමුණේ ආණ්ඩුවක්. මම දේශපාලනය ගාව ගන්නවා නෙවෙයි. නමුත්, පොදු පෙරමුණේ ආණ්ඩුවේ හිටියා ලංකා සම සමාජ පක්ෂය, හවුල්කාරයෙක් විදියට, ඇමතිකම් පවා භුක්ති විඳිමින්. ඒ පක්ෂයේ ඇතැම් නායකයෝ, අර මම කලින් කියපු, බිබිලේ මහත්මයාගෙන් වෛද්‍ය විද්‍යාව සහ දේශපාලනය දෙකම උගත් අය.

ඒ කාලේ නම් මම මේ කියමන දැනගෙන හිටියේ නෑ. නමුත් දැන් මට ඒ කතාව මතක් වෙද්දී මෙහෙම කියවෙනවා.

අහෝ! ඛේදයකි! ඉරකි, තිතකි!

26 comments:

  1. බෙහෙත් වලට ගිය මිල ගණන නම් එක පාරටම හිතෙන්නේ වැරදිලා කියල තමයි. කොහොමත් රටට වැඩක් කරපු මිනිස්සුන්ට පස්සේ ලැබෙන සැලකිල්ල නම් බොහොම අඩුයි. ඒත් කාලගුණ දන්නා ටික දෙනෙක් ට හරි ඒ වගේ අයව මතක හිටිනවා. මේ ලිපිය ලියපු ඔබත් එහෙම කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. ජයවේවා ඔබට!!

    ReplyDelete
    Replies
    1. ලොකු තැන්වලට ගියාම මිනිස්සුන්ට කළගුණ මතක නැති වෙනවා නේ... ලෝක ස්වභාවය වෙන්න ඇති. කොහොම නමුත්, මේ පැත්තට ඇවිත් කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තූතියි.

      Delete
  2. මං සේනක බිබිලේ ගැන මෙලොව දෙයක් දැනන් උන්නේ නෑ.ඒ නිසාම නියමයි මේ ලිපිය.

    මට දුක හිතෙනවා.මේ හැම දේකටම හේතුව බල ලෝබී අදූරදර්ශි දේශපාලනය කියලයි මං දකින්නේ.

    ReplyDelete
    Replies
    1. යකඩෝ!... ඔයා මහාචාර්ය බිබිලේ ගැන දැනගෙන හිටියේ නැත්ද? පුදුමයි... කොහොම වුනත් දැන් දන්නවා නේ. අපේ රටේ එතුමාව අමතක කරපු ය ඕන තරම්. ඒ නිසා තමයි අපි ගොඩක් දෙනා ඒ වගේ වටින මිනිස්සු ගැන නොදන්නේ... අද අපේ වීරයෝ වෙලා ඉන්නේ වෙනමම සෙට් එකක් නේ...

      දැන් ඔයා දන්නවා නේ.. නොදන්නා අනිත් අයටත් මහාචාර්ය බිබිලේ වගේ වීරයෝ ගැන කියල දෙන්න. එහෙම අය ගැන දන්නා දේ ලියන්න. කවදා හරි මම නොදන්නා වීරයෙක් ගැන ඔයා ලියාවි. එදාට මම ඔයා කියපු දේම අනිත් අතට කියාවි...

      Delete
    2. ඒක ඇත්ත.මං අහලා තිබුනේ නම විතරයි.කලේ මොනවද කියලා දැනගෙන හිටියේ නෑ.මට හොයන්න උවමනාවක් තිබ්බෙත් නෑ.මං දැන් ජාලේ බාවිතා කරලා ලිපි දෙක තුනක් වගේ කියෙව්වා.ස්තූතියි මේ වගේ ලිපියක් දැම්මට.

      Delete
    3. හොඳයි හොඳයි.... :-)

      Delete
  3. මහාචාර්ය සේනක බිබිලේ ලෝකයම පිලිගන්න විද්වතාව අඩුවෙන්ම පිලිගන්නේ එතුමාගේ උපන් රට. එතුමා ජීවිත පරිත්‍යාගයෙන් රෝගීන් වෙනුවෙන් කළ කැපකිරීමේ ප්‍රතිඵල අඩුවෙන්ම ලබන්නේ එතුමා උපන් රටේ අහිංසක දුප්පත් රෝගීන්. ඒක අපේ අවාසනාව නෙමෙයි. අපේ මෝඩකම.

    ප.ලි. - අදමයි ආවේ. වටිනා බ්ලොග් එකක්. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම එකඟයි... අපේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් එතුමා කරපු දේවල් අද දන්නේ කීයෙන් කී දෙනාද? SPC සහ SPMC වගේ ආයතන ඇති වෙන්න මූලික වුනේ එතුමා ඉදිරිපත් කල අදහස්. එකෙන් සිද්ධ වෙන යම් සෙතක් නැතුවම නෙවෙයි. නැත්නම් මම කොහොමද අර වගේ ගණනකට බෙහෙත් ගන්නේ?...

      අපේ සාමාන්‍ය මිනිස්සු ගුණමකුයි කියලා මම හිතන්නේ නෑ. ඔවුන්ගේ නොදන්නාකමයි ප්‍රශ්නය. අපේ යුතුකම වෙන්නේ මිනිසුන්ට ඒ වගේ නොදන්නා දේ කියා දීම.

      දිරිමත් කිරීමට බොහොම පින්! ඔයාලගේ අදහස් තමයි තව තව ලියන්න අපිව පොළඹවන්නේ... බොහොම පින්!

      Delete
  4. CIA කුමන්ත්‍රණයක් නිසා බිබිලේ මහත්තයා මරා දැමුණා කියන කතාව අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා එහෙම. නමුත් අපි හරියටම දන්නේ නෑ නේ. අපි දන්නා එකම දේ, අභිරහස් විදියට මිය ගියා කියන එක තමයි. එක කරන්න ඕනෑකම තිබ්බ එකම කට්ටිය CIA එක නෙවෙයි. ඖෂධ සමාගම්වලටත් ඒ ඕනෑකම තියෙන්න ඇති ෂුවර් එකටම.

      මෙච්චර වෙලා මම කල්පනා කර කර උන්නේ අද මොකක්ද ලියන්නේ කියලා. ඔයාගේ මේ කමෙන්ට් එක මට දුන්නා නියම අදහසක්. මගේ ඊළඟ පෝස්ට් එක දැම්මහම බලන්නකෝ.

      Delete
    2. අය්යෝ! මම ලියන්න හිටපු එක ගැන තිබ්බ පරණ නෝට්ස් වගයක් නැති වෙලා. දැන් ඉතින් ඔයාට ටිකක් දවස් බලන් ඉන්න වෙයි :-(

      Delete
    3. අවුලක් නැහැ අයියා වෙලාව අරන් ලියමු :)

      Delete
  5. මං මෙතුමා ගැන හොය හොය යද්දි දැනගත්තා ආපහු මේ රජය බිබිලේ ප්‍රතිප්තිය ක්‍රියාත්මක කරගෙන යනවා කියලා.මහින්ද චින්තනයෙත් ඒක තියෙනවලු.ඇත්තටම ඒ ප්‍රතිපත්තිය හොදට ක්‍රියාත්මක වෙනවද?
    සේනක බිබිලේ මහතා ආදි වාසි පරපුරකින් පැවත එන කෙනෙක් කියලත් දැන ගන්න ලැබුණා.

    ReplyDelete
    Replies
    1. ඕක පත්තරේක ලිපියක තිබ්බ කතාවක් නේ. මම ඒ ගැන මුකුත් කියන්න යන්නේ නෑ එක සැරේට. ඔයා රටේ සෞඛ්‍ය සේවය ගැන හිතල බලල තීරණයක් ගන්න.

      ආදී වාසී පරපුරේ කතාව තියෙන්න ඇත්තේ ත්‍රිත්ව විද්‍යාල වෙබ් අඩවියේ. මම ඒ ගැන නම් කියන්න දන්නේ නෑ. එත් බලන්න ඒ වෙබ් අඩවිය උනන්දුවක් දක්වලා තියෙන්නේ එතුමාගේ පරපුරේ විස්තර සහ අධ්‍යාපනය ගැන විතරයි. දුප්පත් මිනිස්සු ගැන එතුමා කල දේවල් මුකුත්ම වගේ නෑ නේ... එක එක අය දකින විදිය වෙනස් නේද?

      Delete
    2. ඒක තිබ්බේ රජයට පක්ෂපාතීව ලියලා.වැඩක් නෑ ඉතින් ඔය ගැන කතා කරලා.

      ආදි වාසි කතාව කිහිප තැනකම දැක්කා.ත්‍රිත්ව විද්‍යාල අඩවියේ තියෙන විස්තරේ වැඩක් නෑ.දන්න ටිකමයි තියෙන්නේ.එක එක අය දකින විදිහ වෙනස් තමා.සමහරු හොද කියනවා සමහරු බනිනවා.ඒ අයගේ කෝණයට අහු වෙන හැටි.

      Delete
    3. එක තමයි මමත් කිව්වේ... අද තියෙන තත්වය බලලා ඔයාම හිතාගන්න ඇත්ත මොකක්ද කියලා. අර මම කියපු වාමාංශිකයෝ නම් දැනුත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා.

      Delete
    4. ඔව්..
      අනේ උන්ගේ බන්බුවේ වම.:P

      Delete
    5. හෙහ්! හෙහ්! වම් බම්බුව :-P

      Delete
  6. මහාචාර්ය සේනක බිබිලේ ගිය පාරේ ගිය රන්වැල්ල දොස්තර මහත්තයා ලංකාවේදී මැරුණෙත් අභිරහස් විදිහට නේද? ඒ දොස්තර මහත්තයත් බෙහෙත් මාෆියා එක ගැන ජනතාව දැනුවත් කරා.

    ReplyDelete
    Replies
    1. මම අහල විතරයි තියෙන්නේ. විස්තර නම් මුකුත් දන්නේ නෑ. :-(

      Delete
  7. සේනක බිබිලේ කියන්නෙ රත්තරං මනුස්සයෙක්. එතුමා ගැන මා පළමු වෙන්ම දැන ගත්තේ දෙනගම සිරිවර්ධන මහත්තයා කලෙකට ඉහත දී විදුසර පත්තරේට ලියපු ලිපි පෙළින්. චාමර සුමනපාල මහතා අලුත් පරපුරට එතුමා ගැන, එතුමාගේ සේවය ගැන කිසියම් දැනුමක් එක් කිරීම ඉතාමත් පැසසුම් කටයුතුයි. දොස්තර සහ ඔෟෂධ මාපියාව අදටත් තිබුණත්, කිසියම් ප්රමාණයකට හෝ අප ඒකෙන් රැකිලා ඉන්නෙ මහාචාර්යතුමා විසින් කරන්නට යෙදුනු එම සද් කාර්යය සහ එතුමාගේ කුලකයේ සිටින සුලුතරයක් වූ අපේ වෛද්‍යවරැන් නිසා. අසනීප තත්ත්වයක දී හැකිතාක් එස්පීසී බෙහෙත්ම ගන්න. සාක්කුවටත් හොදයි. බිබිලේ මහාචාර්යතුමා විසින් ආරම්භ කරන ලද ඔසුසලටත් හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ටික දෙනෙක් හරි මේ වගේ අය ගැන කතා කරන නිසා තමයි අපිත් මේ අය ගැන දන්නෙ.

      Delete
  8. සේනක බිබිලේ ගිය මගෙහි ඉදිරියට යන්නේ කෙසේ ද?

    මහජන සෞඛ්‍යය ගැන සංවේදී හා සකි‍්‍රය වන වෛද්‍යවරුන් බොහෝ දෙනකුගේ පරමාදර්ශී වීර චරිතය වන්නේ මහාචාර්ය සේනක බිබිලේ. බිබිලේ අකාලයේ මිය ගියත් ඔහු ඇරැඹූ චින්තන විප්ලවයට දිගට ම ලාංකික බුද්ධිමය දායකත්වය හා නායකත්වය ලැබුණා. බිබිලේ යටතේ සරසවි ඇදුරකුව සිටි ඖෂධවේදී ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් (1926-2011) ඉන් පසු එම බුද්ධිමය අරගලය තවත් වසර 30කට වැඩි කලක් පෙරට ගෙන ගියා. මහාචාර්ය බිබිලේ මා කිසි දිනෙක මුණ නොගැසුණත් ආචාර්ය බාලසුබ‍්‍රමනියම්ට කොළඹ විද්වත් තලයන්හිදී මා සවන් දී තිබෙනවා. ඔහු බහුශ‍්‍රැත වූත්, මිත‍්‍රශීලී වූත්, නිහතමානී චරිතයක් බව මට මතකයි.

    බිබිලේ මගෙහි යන තවත් විද්වතුන් සිටිනවා. කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය ඉගැන් වූ වෛද්‍ය කි‍්‍රශාන්ත වීරසූරිය එක් උදාහරණයක්. දැන් ඔහු ජිනීවා නුවර WHO මූලස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ජාත්‍යන්තර විද්වත් කමිටුවේ ලේකම්වරයා.

    See my full article at: http://wp.me/p3zUD-2oV

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය මම "කාල බෝම්බ ඕනෑකර තිබේ" පොතේ දුටුවා. බොහොම ස්තූතියි නාලක ලින්ක් එක ලබා දුන්නාට​. අපට මේ කරුණු බොහොම වැදගත්.

      Delete
  9. අද මේ ලිපිය දැක්කේ..ගොඩක් වැදගත් ඒ වගේම වටිනා ලිපියක්... බොහොම ස්තූතියි...

    ReplyDelete