"The Motherland Calls!," the central part of the memorial complex on Mamayev Kurgan. A view from Ploshchad Geroyev (Heroes' Square), RIA Novosti archive, image #642884 / Perventsev / CC-BY-SA 3.0 වොල්ගොග්‍රාඩ් හි මමායෙව් කුර්ගාන් කන්ද ආශ්‍රිතව පිහිටි ස්ටාලින්ග්‍රාඩ් යුධ ස්මාරකයේ ප්‍රධානම අංගය වන "මාතෘභූමිය ඔබ අමතයි!" ප්‍රතිමාව. මෙය ආධාරක නොමැතිව සිටගෙන සිටින ලෝකයේ උසම ප්‍රතිමාව වෙයි. Wikimedia Commons.
1943 අගෝස්තු 23 ස්ටාලින්ග්‍රාඩ් සටනේ ආරම්භය සිදුවූ දිනය ලෙස සැලකේ. සෝවියට් හමුදා විසින් පළමුවරට ජර්මන් හමුදාවක් පරාජය කොට යටත් කලේ මෙම සටනේදීය. ජර්මන් යුධ හමුදා දෙවන ලෝක යුද්ධයේදී ලැබූ පළමු පරාජය මෙය නොවූවද, මෙවන් දැවැන්ත පරාජයක් මින් පෙර ලබා නොතිබුනේය. එහෙයින් ස්ටාලින්ග්‍රාඩ් සටන දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වන්නකි. ජර්මන් හමුදා තීරණාත්මක ලෙස පරාජය කළහැකි බව මෙම සටනින් ප්‍රත්‍යක්ෂ විය. නමුත් ඒ බව සනාථ කිරීම සඳහා සටන් වැදුන දෙපක්ෂයේම මිලියන දෙකක පමණ මනුෂ්‍යයනට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය.
1941 ජුනි 22 වනදා එතෙක් මෙතෙක් දැක ඇති දැවැන්තම ආක්‍රමණය දියත් විය. බාබරෝසා මෙහෙයුම ලෙස නම් කරනු ලැබූ එයට ජර්මන් සහ අනෙක් අක්ෂ බලවතුන්ගේ මිලියන 4 ඉක්මවූ හමුදා සෙබළු සම්බන්ධ වූහ. දිශා තුනකින් සෝවියට් දේශයට කඩා වැදුන ඔවුහු උතුරින් ලෙනින්ග්‍රාඩ් නගරය දෙසටත්, මැදින් මොස්කව් නගරය දෙසටත්, දකුණින් යුක්‍රේනය දෙසටත් ගමන් කළහ. ලෙනින්ග්‍රාඩ් වටලන ලද නමුත් අල්ලාගනු නොලැබිණ. යුක්‍රේන නගරවලදීද ජර්මානුන්ට ප්‍රබල ප්‍රතිරෝධයකට මුහුණ දීමට සිදු විය. මේ අතර ශීත ඍතුවද ළඟා විය. රුසියාවේ බරපතල ශීත ඍතුවට කිසි සූදානමක් නොවූ ජර්මන් හමුදා දැඩි ලෙස පීඩා වින්දහ. දෙසැම්බර් 5-6 දෙදින තුල එල්ල වූ සෝවියට් ප්‍රති ප්‍රහාර හමුවේ මොස්කව් නගරය පෙනෙන මානයට පැමිණි ජර්මන් හමුදා පලවා හරින ලදහ.
මොස්කව් බේරා ගත්තද, මෙය ජර්මන් හමුදාවලට එරෙහිව ලද තීරණාත්මක ජයග්‍රහණයක් නොවීය. පසුබැස ගිය ජර්මන් හමුදා අලුත් ආරක්ෂක වළල්ලක් නිර්මාණය කරගෙන සෝවියට් හමුදා එල්ල කල ප්‍රහාර මැඩ පැවැත්වීමට සමත් වූහ. මේ අනුව 1942 මැද භාගය වනවිට ලෙනින්ග්‍රාඩ් සහ රස්තොව් නගර අතර දීර්ඝ යුධ පෙරමුණක් ඇතිවී තිබිණ. කෙසේ වුවද, සෙවැස්ටපෝල් නගරය ජර්මානුන් විසින් අල්ලා ගන්නා ලද්දේ 1942 ජූලි 4 වනදාය. ඒ මාස අටක වැටලීමකින් පසුවය.
බාබරෝසා මෙහෙයුමෙන් බලාපොරොත්තු වූ පරිදි සෝවියට් දේශය සහමුලින් පරාජය කිරීමට නොහැකි වූ තැන ඇඩොල්ෆ් හිට්ලර් සෝවියට් දේශයේ දකුණු පෙරමුණ දෙස අවධානය යොමු කළේය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඇමරිකානු හමුදා විශාල වශයෙන් යුධ පෙරමුණට පැමිණීමට පෙර සෝවියට් දේශයට මාරාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමටත් කොකේසස් ප්‍රදේශයේ තෙල් සම්පත අල්ලා ගැනීමත්ය. "මයිකොප් සහ ග්‍රොස්නිවල තෙල් නැත්නම් මා මේ යුද්ධය ඉක්මනින් අහවර කල යුතුයි" යනුවෙන් වරක් හිට්ලර් ප්‍රකාශ කොට ඇත්තේය. එම ප්‍රදේශවල තෙල් සම්පත සෝවියට් හමුදාවලට අහිමි කිරීමෙන් සෝවියට් යුධ ව්‍යාපාරයට මරු පහරක් එල්ල කල හැකිව තිබිණ.
ස්වකීය භූගෝලීය පිහිටීම හේතුවෙන් ස්ටාලින්ග්‍රාඩ් නගරය වැදගත් ගමනාගමන මධ්‍යස්ථානයක් විය. කොකේසස් ප්‍රදේශවල නිපදවෙන තෙල් සහ අනෙකුත් දෑ නැව් මගින් කැස්පියන් මුහුද ඔස්සේ පැමිණ වොල්ගා නදිය දිගේ හෝ ගොඩබිමින් හෝ ප්‍රවාහනය කිරීම එම නගරය අල්ලා ගත්තේ නම් නැවැත්විය හැකිව තිබිණ. ස්ටාලින්ග්‍රාඩ් වැටුණි නම් ඉන් දකුණෙහි වූ ප්‍රදේශ ආරක්ෂා කරගැනීම සෝවියට් හමුදාවනට කළ නොහැක්කක් විය. එහෙයින් ස්ටාලින්ග්‍රාඩ් අල්ලා ගැනීම යුද්ධයේ ඉදිරි ගමනට ඉතා වැදගත් වූයේය.
රුසියාවේ දකුණු දිග සහ කොකේසස් ප්‍රදේශයට පහර දීම සඳහා ජර්මන් හමුදා ප්‍රධානීන් විසින් හෙවත් Fall Blau (Case Blue හෙවත් නිල් සැලැස්ම) සකසන ලදී. ඒ සැලසුමට අනුව දකුණු පෙරමුණේ හමුදා රුසියාවේ දකුණුදිග ස්ටෙප්ස් තෘණ භූමි හරහා මයිකොප් දෙසට ගමන් කල යුතුව තිබිණ. ඉන්පසු කොකේසස් ප්‍රදේශ අල්ලා ගැනීමට නියමිත විය. සැලසුම ක්‍රියාත්මක වන්නට තිබුනේ 1942 මැයි මාසයේය.
කෙසේ වුවද, මේ අවස්ථාවේ හිට්ලර් මැදිහත්ව සැලසුම වෙනස් කළේය. ඒ අනුව දකුණු පෙරමුණේ හමුදා කණ්ඩායම් දෙකක් ලෙස ඉදිරියට ඇදිය යුතු වූ අතර එක කණ්ඩායමක්, එනම් දකුණු පෙරමුණ 'ඒ' කණ්ඩායම මුලින් සැලසුම් කල පරිදි දකුණට ගමන් කල යුතු විය. මීට 17 වන ජර්මන් හමුදාව සහ 1 වන පැන්සර් (යුධ ටැංකි) හමුදාව අයත් විය. 6 වන ජර්මානු හමුදාව සහ 4 වන පැන්සර් හමුදාවත්, අනෙක් අක්ෂ බලවතුන් කිහිප දෙනෙකුගේ හමුදාත් ඇතුලත් දකුණු පෙරමුණ 'බී' කණ්ඩායම වොල්ගා නදිය කරා ගොස් ස්ටාලින්ග්‍රාඩ් අල්ලා ගතයුතු විය.
කෙසේ නමුත් මෙම සැලැස්ම නියමිත කාලයට ක්‍රියාත්මක කල නොහැකි විය. සෙවැස්ටපෝල් නගරයේ සෝවියට් හමුදා දිගටම නගරය යටත් වීමට නොදී සටන් කල බැවින් ඊට සම්බන්ධව සිටි ජර්මන් සහ රුමේනියානු සේනාංක කිහිපයක් නිල් සැලැස්ම සඳහා යොදා ගැනීම ප්‍රමාද විය. මේ අනුව, එම සැලැස්මට අනුව අක්ෂ බලවතුන්ගේ හමුදා සිය මෙහෙයුම ඇරඹුවේ ජුනි මස අන්තිම සතියේය.
ස්ටෙප්ස් තැනිතලා බිම් ඔස්සේ ජර්මන් හමුදා ඉදිරියට ඇදෙන විට සෝවියට් හමුදාවලින් එතරම් ලොකු ප්‍රතිරෝධයක් හට ගත්තේ නැත. ඔවුන් ආරක්ෂා කල හැකි ප්‍රදේශ කරා පසු බසින්නට වූහ. මෙතෙක් කාලයක් ඔවුන් විසින් ජර්මන් ප්‍රහාරවලට සාර්ථක විරෝධතා දැක්වූයේ නගරවලදීය. මේ අවස්ථාවේද එය වෙනසක් නොවන සෙයක් පෙනුණි. කෙසේ වුවද, දකුණු පෙරමුණ 'බී' කණ්ඩායම ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් සතියකදී වොරොනෙෂ් නගරය අල්ලා ගත්තේය. මේ අවස්ථාවේ හිට්ලර් නැවතත් සැලසුම සමඟ 'පිස්සු නටන්නට' පටන් ගත්තේය. 'බී' කණ්ඩායමේ සාර්ථකත්වය හේතුවෙන් 4 වන පැන්සර් හමුදාව එයට අනවශ්‍ය බව තීරණය කල ඔහු එය 'ඒ' කණ්ඩායම වෙත යොමු කිරීමට තීරණය කළේය. එහිදී යුධ පෙරමුණෙහි ඇතිවූ තදබදය සහ වෙනස්කම් හේතුවෙන් ජර්මානුන්ගේ ඉදිරි ගමන සතියකින් පමණ කල් ගිය බව කියවේ. අන්තිමට හිට්ලර් නැවතත් එම පැන්සර් හමුදාව ස්ටාලින්ග්‍රාඩ් දෙසටම යොමු කළේය. මෙම සිද්ධියෙන් හිට්ලර්ගේ තීරණවල අස්ථායී ස්වභාවය හෙළිවේ. නමුත් මෙය ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් කාලයේ නොදුටු, වෙසෙසින්ම යුද්ධය ඇරඹුණාට පසු ප්‍රකටව දක්නට ලැබුණු ස්වභාවයකි.
ජූලි මාසය අවසන් වනවිට ජර්මානුන් දොන් නදිය තරණය කළහ. දැන් වොල්ගා නදියට වූයේ සැතපුම් 40 කි. මේ වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයේ ආරක්ෂාව පිළිබඳ සෝවියට් හමුදා අවධානය යොමු කර තිබුණි. ස්ටාලින්ග්‍රාඩ් වෙත ඔවුන්ගේ අවධානය යොමු වීම පමා වන්නට හේතුව වූයේ ජර්මානුන්ගේ මීළඟ ප්‍රහාරයත් මොස්කව් දෙසට එල්ල වේ යයි ස්ටාලින් සිතා සිටි හෙයිනි. කාන්තාවන් සහ ළමුන් පවා යොදා ගනිමින් වහ වහා ආරක්‍ෂිත ස්ථාන, අගල්, මාර්ග බාධක ආදිය ඉදි වෙමින් තිබිණ. මේ අතර නගරයට එපිටින් වල්ගා නදියේ එහා ඉවුරේ අලුතෙන් ස්ථාපනය කරන ලද 62 වන සෝවියට් හමුදාව රැස් වෙමින් සිටියහ. නගරයේ වූ කර්මාන්තශාලා බොහොමයක් ඉවත් කරගත් නමුත් ඇතැම් ඒවා දිගටම ක්‍රියාත්මක විය. ඒ අතර මේ වනවිට T-34 යුධ ටැංකි නිපදවීමට යොදාගත් ස්ටාලින්ග්‍රාඩ් ට්‍රැක්ටර් කම්හලද විය. සැප්තැම්බරය දක්වාම මෙහි යුධ ටැංකි නිපදවුණු අතර ඇතැම් අවස්ථාවල අලුතෙන් නිපදවන යුධ ටැංකි ඒ අවස්ථාවේම යුධ පෙරමුණේ සටන් සඳහා යොදා ගත් බවට වාර්තා වේ.
1942 අගෝස්තු 23 දින, 6 වන ජර්මානු හමුදාව ස්ටාලින්ග්‍රාඩ් දෙසට ප්‍රහාරය දියත් කළ අතර, ජර්මානු ගුවන් හමුදාව (ලුෆ්ට්වෆේ) විසින් නගරය දරුණු බෝම්බ ප්‍රහාරයකට ලක් කෙරිණ. වොල්ගා නදියේ එහා ඉවුරේ සිට නගරය වෙත හමුදා ප්‍රවාහනය කරන බෝට්ටුද ජර්මන් ගුවන් හමුදාවල ඉලක්ක බවට පත් විය. ගුවන් ප්‍රහාරවලින් නගරයේ බොහෝ ගොඩනැගිලි විනාශ වූ අතර කඩා වැටුන ගොඩනැගිලි නගරයේ සිටි සෝවියට් සෙබළුන්ට හොඳ ආරක්‍ෂිත ස්ථාන සාදා දුන්නේය. කෙසේ වුවත්, ස්ටාලින්ග්‍රාඩ් සටනේ මුල් දිනවල, සෝවියට් හමුදා විසින් විටින් විට එල්ල කරන ලද ප්‍රති ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ජර්මානු ගුවන් බලය මහෝපකාරී විය. මේ අතර යුධ පෙරමුණෙන් පිටිපස වූ සෝවියට් කම්හල් අලුත් ගුවන් යානා නිපදවමින් තිබුණි.
Eastern Front (WWII), 1942-05-07 to 1942-11-18, ජර්මන් හමුදා ඉදිරියට ආවේ මේ අයුරිනි. Wikimedia Commons.
අගෝස්තු අන්තිම වනවිට ජර්මන් සේනාංක ස්ටාලින්ග්‍රාඩ් නගරයට උතුරින් වොල්ගා නදිය වෙත පැමිණියහ. දින කිහිපයකින් ඔවුනට නගරයෙන් දකුණෙන් ද වොල්ගා නදියට ළඟාවිය හැකි විය. ඉන්පසු සෝවියට් සේනාංකවලට සැපයුම් සහ පිරිස් ආධාර ලබාදිය හැකි වූයේ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේ අතිශය අවදානමක් ගෙන වොල්ගාව තරණය කිරීමෙන් පමණි.
නගරය සඳහා සටන ඉතා බිහිසුණු එකක් විය. සෝවියට් සෙබළු සෑම බිම් අඟලටම සටන් කළහ. ස්ටාලින් නියම කොට තිබුණේ ඉහලින් අවසර නැතිව පසු බැසීමකට සිය සෙබළුන්ට අණ දෙන නිලධාරීන් යුධ අධිකරණයක් හමුවට පැමිණවිය යුතු බවය. එහෙයින් "නොතබමු පියවරක් පසුපසට!" සහ "වොල්ගාවෙන් එහා භූමියක් නැත!" යන්න සෝවියට් භටයන්ගේ සටන් පාඨ බවට පත් විය. බොහෝ විට ගෙට පමණක් නොව කාමරයක් ගානේ සටන් වැදීමට ජර්මානුන්ට සිදු විය. එකල තමන් වැටී සිටි අවාසනාවන්ත තත්ත්වය ජර්මන් සෙබළුන් විසින් විස්තර කෙරුනේ එක්තරා විහිලුවකිනි. එයින් කියවුනේ ඇතැම් අවස්ථාවල ඔවුන් නිවසක කුස්සිය අල්ලාගත් නමුත් සාලය සහ නිදන කාමරය සඳහා තවමත් සටන් වදිමින් සිටින බවයි.
ස්ටාලින්ග්‍රාඩ් සටන අතරතුර, සතුරා එනතෙක් සූදානමින් බලා සිටින සෝවියට් සෙබළ පිරිසක්. Wikimedia Commons
6 වන ජර්මානු හමුදාව නගරය කරා ඉදිරියට ඇදෙන විට ඔවුන්ගේ දෙපස ප්‍රදේශ ආරක්ෂාවට යොදවා ගනු ලැබුනේ ජර්මන්, ඉතාලි, රුමේනියානු, හංගේරියානු ආදී හමුදා සේනාංක කිහිපයකි. ඒ එකක්වත් හොඳින් සන්නද්ධව නොසිටි අතර එතරම් විශාල යුධ පෙරමුණක් රැකීමට තරම් පිරිසක්ද එහි නොවූහ. මේ පිළිබඳව ප්‍රශ්න කල විට හිට්ලර් ප්‍රකාශ කර තිබුනේ එම සෙබළුන් "ජාතික සමාජවාදී වීරත්වයෙන් යුතුව එම යුධ පෙරමුණු ආරක්ෂා කරනු ඇත" යන්නයි. ඒ බොහෝ සෙබළුන් ජාතික සමාජවාදීන් තබා ජර්මානුන්වත් නොවන බව හිට්ලර්ට අමතක විය.
මේ අනුව නොවැම්බර් මැද වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරය තුල දරුණු ගැටුම් පැවතිණ. මේ අතර එම ප්‍රදේශයෙන් දෙපස පෙරමුණුවල අක්ෂ බලවතුන් දුර්වල අඩියක විය. තවද, ජර්මන් ගුවන් හමුදාවටද සැලකිය යුතු යානා ප්‍රමාණයක් අහිමි වී තිබිණ. වොල්ගාවෙන් එහා පැත්තේ සෝවියට් හමුදාවෝ එක් රැස් වෙමින් සිටියහ.
1942 නොවැම්බර් 19 වනදා සෝවියට් හමුදාවෝ "යුරේනස් මෙහෙයුම" දියත් කළහ.
ඒ ගැන කියවමු දෙවන කොටසින්...
මෙව්ව නම් රත්තරන්........
ReplyDeleteඊළඟ එකත් ඉක්මනට ම දෙමු.
අනිවා. ටිකක් ඉවසා වදාරා සිටිනු මැනවි. :)
Deleteහොඳ විස්තරයක්... ස්තුතියි..!
ReplyDeleteස්තූතියි! :)
Deleteමරු..
ReplyDeleteඊලග ටිකත් එනකං බලං ඉන්නෝ....
එනවා එනවා. :-) ඩිංගක් ඉවසන්න.
Deleteහිට්ලර් ඇන ගත්තෙ සෝවියට් දේශය අවතක්සේරු කරලා තමා..
ReplyDeleteඅර විහිළුවනම් මරු ඈ.. ඒකෙ චිත්ත රූපෙ මවා ගත්තම නිකන්ම හිනා යනවා..
බොහොම වටිනා ලිපියක් චාමර.. මහන්සියට ස්තූතියි..
බොහොම ස්තූතියි දිරිගැන්වීමට! ඔයාලා කියවනවා නම් ලියන්න බැරිය ඇට්ටි හැලෙන්න :)
Deleteහිට්ලර් ඇණ ගත්තේ බාබරෝසා මෙහෙයුමේදිමයි. එයා හිතුවට වැඩිය සෝවියට් හමුදාවේ ප්‍රමාණයත්, වීරත්වයත් බොහොම ඉහල තත්ත්වයක තිබුනා. අවි ආයුධ සහ උපාය මාර්ග වැනි ඇතැම් ගුණාත්මක පැතිවලින් නම් 1941 දී සෝවියට් හමුදාව ජර්මානුන් තරම් හොඳ වුනේ නැහැ.
මෙතැනදී වීරත්වය කියන කෑල්ලට මම එකඟ නෑ. කඳවුරු වල හිටිය මිනිස්සු දෙපැත්තේම තුවක්කු කටවල් මැදින් ඉදිරියට දුවන්නේ වීර කමට වඩා කොහෙන් නමුත් මැරෙන්න බලාගන. ඒ මිනිස්සු පිළිගත්තේ ජර්මන් මැෂින් තුවක්කු එක්ක මරඋගුල් සහ බෝම්බ..
Deleteමම මෙතෙන්දි අදහස් කලේ ඒක නෙවෙයි. ජර්මන් හමුදා ඉදිරියට එනකොට මැරෙනකල් හෝ අන්තිම උණ්ඩය වෙනකල් හෝ තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගෙන ජර්මන් හමුදා ඉදිරියට එන එක වැළැක්වීම ගැන. සෙවැස්ටපෝල් නගරයේ සෝවියට් හමුදාවල උත්සාහය නිසා ස්ටාලින්ග්‍රාඩ් පෙනමුනේ සටන් පටන් ගන්න පරක්කු වීම එක උදාහරණයක්.
Deleteඑකඟයි චාමර.. හොඳ ලිපියක්.. ඔබට ජය.. :)
Deleteදැනුම අළුත් කර ගැනීමට, නව කරුණු දැන ගැනීමට හොඳ ප්‍රවේශයක් සලසා තිබෙනවා. මී ලඟ මෙහෙයුම බලාපොරොත්තුවෙන් සිටිමි.
ReplyDeleteමා මෙවැනි කියමනක් අසා තිබෙනවා. නමුත් කවුරුන් කීවාද දන්නේ නැත.
“යුද්ධය බලා සිටින්නාට ක්‍රීඩාවකි. එයට මැදි වූවන්ට හිසරදයකි“ අපිද අපේම වූ යුද්ධයක එම අත්දැකීම් විද ඇත.
අනිවාර්යයෙන්ම. බලා සිටින්නාට යුද්ධය ක්‍රීඩාවක් තමයි.
Deleteස්තූතියි එකතු කිරීමට.
අර නගරය දින හයකදි ස්ටාලින්ග්‍රාඩ් ලෙස හැඳින්වීම හරිම අමුතු දෙයක්නෙ.. ඔහොම කතාවක් ඇහුවමයි..
ReplyDeleteමම අහලා තියන විදිහට ලෝකයෙ වැඩිම වතාවක් නම මාරු කරපු නගරය ලෙස සැලකෙන්නෙ රුසියාවෙ සෙන්ට් පීටර්ස්බර්ග් නගරය.. උන්දැගෙ වාර්තාව මේකෙන් කැඩෙනවා දැන්..
එහෙමම නැහැ. එකම නමනේ යොදාගන්නේ. නමුත් ආයේ ආයේ වෙනස් කිරීම නම් වාර්තාවක් තමයි.
Deleteවිවිධ නම් ගණනක් පාවිච්චි කරපු නගර වැඩියෙන්ම තියෙන්නේ රුසියාවේ. ඒ වගේම පැරණි සෝවියට් දේශයේ අනෙක් රටවලත් එවන් උදාහරණ ඇති තරම්.
නමුත් වැඩිම නම් ගණනක් පාවිච්චි කරපු නගරය හොයාගන්න මේ ලිස්ට් එක බලන්න. ඇත්තෙන්ම මම මේක හෙව්වේ ඔයාගේ කමෙන්ට් එක නිසා. විකිපීඩියා එකේ තියෙන දේවල් චෙක් කරලා බලන එක හොඳයි. නමුත් මෙතන අපි නොදන්නා බොහෝ දේ තියෙනවා.
http://en.wikipedia.org/wiki/List_of_city_name_changes
දිල්ලියට නම් අටක් තිබිලා තියෙනවා නෙව. ඊට වැඩි ගණනක් තිබුන නගරත් තියෙන්න පුළුවනි.
මම දැනගෙන ඉඳලා තියෙන්නෙ වැරදි තොරතුරක්... නිවැරදි කළාට තුති.. මේවා තමා වැඩිම ගානක් නම් තිබිලා තියන නගර.. බල්ගේරියාවෙ Plovdiv කියන එක තමා මුලටම එන්නෙ..එකොලොස් වතාවක් නම වෙනස් කරලා.
DeleteBulgaria:
Kendros (Kendrisos/Kendrisia) → Odryssa → Eumolpia → Philipopolis → Trimontium → Ulpia → Flavia → Julia → Paldin/Ploudin → Poulpoudeva → Filibe → Plovdiv
Beijing:
Ji → Yanjing → Zhongdu → Dadu → Jingshi → Khanbalik (as Mongol capital) → Peking † → Peiping → Beijing
Poland:
Nowy Włodzisław → Junowłodzisław → Inowłodzisław → Inowłocław → Inowrocław → Hohensalza → Inowrocław → Hohensalza → Inowrocław
Russia:
Ust-Sheksna → Rybansk → Rybnaya Sloboda → Rybnoy → Rybinsk → Shcherbakov → Rybinsk → Andropov → Rybinsk
Vietnam:
Tống Bình → Long Đỗ → Đại La → Thăng Long → Đông Đô → Đông Kinh → Bắc Thành → Thăng Long → Hà Nội (Hanoi)
රුසියාවෙ උන්ට නම් වෙනස් කරන්න පුදුම පිස්සුවක් තිබිලා තියෙන්නෙ. ලංකාවෙ අපි රටේ නම වෙනස් කළාට නගර වල නම් වෙනස් කරලා නෑ කියලා තමා සඳහන් වෙන්නෙ.
මේ ගැන දැනුවත් කළාට ගොඩක් ස්තූතියි චාමර.. නැත්නම් මම අර වැරදි අදහසම ඔලුවෙ තියන් යනවා.
අපි කවුරුත් එහෙම තමයි. හැම දෙයක්ම දන්න අය නැහැනේ.
Deleteරුසියාවේ විශේෂත්වයට හේතුව පැහැදිලියි. ඒක ලොකු රටක්. නගර ගොඩක් තියෙනවා. ඒ ගොඩක් නගර සාර් පාලන කාලේ හදාපුවා. කොමියුනිස්ට් පාලනය ආවට පස්සේ ඒ නම් ගොඩක් වෙනස් කළා. ලෙනින් නෙවෙයි ඒ බොහොමයක් කලේ ස්ටාලින්. පස්සේ සෝවියට් හමුදා විසින් ජර්මනියෙන් අල්ලා ගෙන කොමියුනිස්ට් පාලනයක් පිහිටුවාපු සමහර නැගෙනහිර යුරෝපා රටවලත් ඒ විදියට නම් වෙනස් වීම වුනා. උදාහරණයක් විදියට බල්ගේරියාවේ වර්නා නගරය ස්ටාලින් කියලා නම් කළා. නැගෙනහිර ජර්මනියේ චෙම්නිට්ස් නගරය කාල්-මාක්ස්-ෂ්ටාඩ් (කාල් මාක්ස් නගරය) කියලා නම් කළා.
ස්ටාලින් තමන්ගේ සහචරයන්ගේ නමිනුත් නගර නම් කළා. පස්සේ ඒ සහචරයන්ව ඔහු විසින් ඝාතනය කෙරුණා අවස්ථා තියෙනවා. එතකොට නගර වෙන නම් වලින් හැඳින්වුනා. ස්ටාලින් මැරුණට පස්සේ ඔහුගේ නමින් නම් කරපු ස්ථාන වෙන නම් වලින් හැඳින්වුනා. ඔහුගේ නරකම සහචරයන්ගේ නමින් තිබුන නගරවලත් නම් මාරු කළා.
බොහොම වටිනා ලිපියක්. රසවත් . අනෙක් ලිපිය පැමිණෙන තෙක් බලා සිටිමි.
ReplyDeleteබොහොම ස්තූතියි! අද ලියලා අහවර කරන්න හිතුවත් නොවැලැක්විය හැකි සිද්ධියක් නිසා වැඩේ කල් යන බවක් පෙනෙනවා. හෙටවත් බලමු ඒක ඉවර කරන්න.
Deleteකෝල් ඔෆ් ඩියුටි 1 ගේම් එක ගහපු අයට මතක ඇති ස්ටාලින්ග්රාඩ් මෙහයුමේ පස්සට ගියොත් තමන්ගේම පැත්තෙන් වෙඩි තියන බව. ඒක ඇත්තක්. ඒකයි ස්ටාලින් මෙහෙම කිව්වේ.
ReplyDeleteIn the Soviet army it takes more courage to retreat than advance. - Joseph Stalin.
ස්තූතියි එකතු කිරීමට. මම මේ වගේ දෙයක් ලිපියේ දෙවන කොටසට දානවා. ඒ නම් සෝවියට් හමුදා කරපු උපක්‍රමයක් ගැන.
Deleteමම දන්නා විදියට, Call of Duty ගේම් එකේ පැව්ලොව් කියන ඇත්තම කමාන්ඩර් කෙනෙක් පාදක කරගෙන තමයි ස්ටාලින්ග්‍රාඩ් මිෂන් එක හදලා තියෙන්නේ.
හ්ම්. Enemy at the gates චිත්‍රපටියෙ මේ සිද්ධිය අපූරුවට පෙන්නුම් කරනව
DeleteEnemy at the gates, මේ ෆිල්ම් එක නම් බලල තිබුණා. ඒත් ඒක ඇත්ත සිදුවීමක් කියල හිතුවෙ නෑ..
ReplyDeleteචාමර අයියගෙ හැම ලිපියක්ම ගොඩක් වැදගත් කරුණු වලින් පිරිලා.. සමහර වෙලාවට ලැජ්ජයි අපි ලියන වල් පල් මොනවද කියලා :-(
තැනක් යූ වේවා!
Deleteවිශ්වාස කරන්න, මම තවම Enemy at the Gates චිත්‍රපටය සම්පූර්ණයෙන් බලලා නැහැ.
හැමෝම එක වගේ දේවල් ලියන්නේ නැහැ නේ. අනික කතා ලියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. (අපි එහෙම හිතුවට)
niyamai chamara ayye..raththaran watinwa....
ReplyDeleteThank you! Thank you!
DeleteExcellent chamara ayya
ReplyDeleteExcellent Chamara ayye
ReplyDelete