Saturday, December 29, 2012

මගේ පනස්වෙනි පියවර



මගේ සිංහල බ්ලොග් එකේ පනස්වෙනි පෝස්ට් එක තමයි මේ. මේ අවුරුද්දේ අප්‍රේල් 6 වෙනිදා ඉඳන්, මේ වෙනකල් පෝස්ට් පනහක් ලියලා තියෙනවා කියපුවහම ටිකක් විතර පුදුමයි. මොකද මම ඒ අතරමැද මාස තුනක් විතර ලියුවෙම නැහැ නේ. එහෙම බලද්දී, ඒ මාස තුන අත ඇරලා බැලුවොත් මම දවස් හතරකට පෝස්ට් එකක් ගානේ වගේ ලියලා තියෙනවා. දෙසැම්බර් මාසේ ලැබුන නිවාඩුවත් ඊට බොහොම උපකාරී වුනා.

මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2010. ඒ ඉංග්‍රීසි බ්ලොග් එකකින් (The History Club). මම මුලින්ම ලියුවේ ඉතිහාසය ගැන. සිංහල බ්ලොග් එකක් ලියන්න ආසාවේ උන්නත් සිංහල ටයිප් කරන්න බැරි නිසා ඒ වැඩේ කල් ගියා. අන්තිමට ගූගල් එකේ පිහිටෙන් ඒ ගැටලුවත් ලිහා ගත්තා නේ. දැන් ඉතින් කොටන්නයි තියෙන්නේ දෙයියනේ කියලා...

මට සිංහල බ්ලොග් එකක් ලිවීමේ මූලික අරමුණු තුනක් තිබුනා. එකක් තනිකරම ආත්මාර්ථකාමී එකක්. ඒ තමයි, මගේ සිංහල භාෂා හැකියාව දියුණු කරගැනීම සහ සිංහල රචනා ශෛලිය ඔප මට්ටම් කර ගැනීම. ඒක ඉතින් දවසෙන් දෙකෙන් වෙන්නේ නැහැ. මම හිතන්නේ මම සිංහලෙන් ලියනකල් ඒක ටික ටික හරි දියුණු වෙයි.

මගේ දෙවැනි අරමුණ වුනේ මට හිතට එන අනේකවිධ අදහස්වලින් ලියා දක්වන්නට සුදුසුයි කියලා හිතෙන ටිකක් බෙදා හදා ගැනීම. දේශපාලනය වගේ වැඩකට නැති මාතෘකා ගැන නෙවෙයි. එදිනෙදා දකින දේවල්, මට වෙච්ච අකරතැබ්බ වගේ පුංචි පුංචි දේවල්. ඒ අතරේම සමාජය තුල වෙනස් වෙන්න ඕන කියලා මට හිතිච්ච තැන් ගැනත් මම ඉඳ හිට ලියනවා. "අද 12.12.12: ඉතින් මොකෝ?" වගේ ලිපි ඒ අතර වැදගත් ඒවා.

තුන්වෙනි අරමුණ නම් තනිකරම සාමාජීය අරමුණක්. මගේ ඉංග්‍රීසි ලිපි කියවාපු සමහරුන් මට කිව්වේ, සිංහලෙන් තියා ඉංග්‍රීසියෙන්වත් මම ලියන මාතෘකා ගැන ලියන අය ලංකාවේ නැති බව; නැත්නම් හිඟ බව. ඒ වගේම මම අපේ සමාජයේ දැකපු ලොකු අඩුවක් තමයි, රටේ ලෝකේ මොනවාද වෙන්නේ කියලා නොදන්නාකම. ගොසිප් කියෙව්වාට ඇසූ පිරූ ඇත්තෙක් වෙන්නේ නැහැනේ. නමුත් අවාසනාවකට වගේ, ටික දෙනෙක්ට ලැබිලා තියෙන ඉන්ටර්නෙට් වගේ සම්පත් අපේ අය යොදවා ගන්නේ ගොසිප් බලනවා වගේ පටු දේවල්වලට. මම රාජකාරි කරන තැන උනත් සමහරු එහෙමයි.

ගුණාත්මක දේ පරිශීලනය කරනවා අඩු වීමට එක හේතුවක් තමයි, ඒවා ඇති පමණ සංසරණය නොවීම. මේ අඩුව පුරවන්න සමහර බ්ලොග් රචකයින් ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් එයාලට ඊට කිසි මූල්‍ය ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැනේ. ඒ අය කරන්නේ සේවාවක්. මටත් ඕන වුනා ඒකට දායක වෙන්න. මම ලියන්නේ විනෝදයට, ඒ වගේම සේවාවක් විදියට.

අපි නොහිතුවාට අමුතු අමුතු තොරතුරු ගැන දැනගැනීමට අපි ගොඩාක් දෙනා ආසයි. මට ඒක තේරුම් ගියේ ඇමරිකාවේ ස්වීඩන් කොලනිය ගැන මම ලියපු ලිපියෙන්. ඒ දවස්වල මට ලොකු පාඨක පිරිසක් හිටියේ නැහැ. ඒ වුනත් වෙන ලිපියක් කියවනවා වගේ දෙගුණයක් විතර ඒ ලිපිය කියවලා තිබුනා. ඒ ගැන ඇත්තෙන්ම මට පුදුමයි.

මම සිංහල බ්ලොග් ලියන්න පටන් ගනිද්දීත් බ්ලොග් ලිවීම ගැන දැනගෙන හිටියේ බොහොම චුට්ටයි. මට පාඨකයෝ ගොඩක් හිටියේ නැත්තෙත් ඒකයි. මට සින්ඩිකේටර් ගැන කියල දීලා මගේ බ්ලොග් එක ඉන්ටර්නෙට් එකේ ජනප්‍රිය කරන්න උදව් කරපු අය තමයි දූපත් වැසියා, චන්දන සහෝදරයා සහ රතු රජරට සහෝදරයා. ඒ වගේම මට මගෙත් එක්ක ඉන්න සහෘදයින් ඔක්කොගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන ඔක්කොටම ස්තූති කරන්න ඕන.

යමක් ලියනවා කියන එක ලොකු, භාරදූර කාර්යයක්. ඡායාරූපය ගත්තේ නෝනා මහත්තයා, කළණි. (2012 ජනවාරි)



යමක් ලියනවා කියන එක ලොකු, භාරදූර කාර්යයක්. අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහරුන්ටත් ඒ බව තේරෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකෙන් ගන්නා මොකක් හරි ගෙඩි පිටින් සිංහලට පරිවර්තනය කලාට ලේඛකයෙක් වෙන්න බැහැ. ඉතාම විශේෂිත කරුණක් ගැන නම් එහෙම දෙයක් පල කිරීම කාටත් සෙතක් වෙන්න පුළුවනි. නමුත් යමක් ලියද්දී ඊට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන. මම ලියන දේවල් එක මූලාශ්‍රයකින් විතරක් අරගෙන ලියන්නේ නැහැ. කිහිප තැනකින් කියවලා තොරතුරු සම්පිණ්ඩනය කරලා තමයි ලියන්නේ. නමුත් වැඩේ තියෙන්නේ එහෙම ලියන්න ගතවෙන කාලය වැඩියි.

ඒ වුනත් වඩා නිවැරදි ක්‍රමය ඒක කියලයි මම හිතන්නේ. "බැළලියක් අවරුද්දකට දෙතුන් පාරක් පැටවු ගහයි. ඒත් උන් වැඩි දෙනෙක් මැරිලා යනවා. ඇතින්නක් පැටියෙක් බිහි කරන්නේ අවුරුදු කීපයකට වතාවයි. ඒ බිහි කරන්නේ ඇත් පැටියෙක්." ඒ මම අහල තියෙන කතාවක්.

අනික් කාරණය අපි ලියන දෙකින් විශේෂයෙන් තව කෙනෙක් විවේචනය වෙනවා නම් ඒ ගැන පරිස්සම් වෙන්න ඕන. නමුත් ඇත්ත කියන්න බය වෙන්න ඕනත් නැහැ. මම ජපන් දැනුම මිනුම තරඟය ගැන ලියපු කරුණු එක්ක ගොඩාක් දෙනා එකඟ වුනා. කීප දෙනෙක් විරුද්ධ වුනා. පලවෙනි වතාවට ලියපු පෝස්ට් එකක් අයින් කරන්නත් ඒ සිද්ධිය හේතු වුනා. ආයේ එහෙම දෙයක් නොවෙන්න මම වග බලා ගන්නවා. පුවත්පත් ගැන මම ලියාපු සමහර දේවල් සමහරුන්ට වැදිලා තියෙන බව ඊයේ පෙරේදා වෙච්ච දේවල් සමහරක් නිසා මට තේරුනා. මම විසි කරපු තොප්පියක් අහක ඉන්න කට්ටියක් දාගෙන. "හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?" ඒ සිද්ධිය ගැන මම ලියනවාද නැද්ද කියලා තවම තීරණය කලේ නැහැ. ඒක අනාගතයේදී බලමු.

මට තියෙන ප්‍රශ්නය මේකයි. මම පුංචි බ්ලොග්කරුවෙක්. මගේ බ්ලොග් පෝස්ට් එකක් වැඩිම වුනොත් සීයක් දෙනා කියවයි. එහෙමනම් ඇයි මේ අපි ලියන සමහර දේවල් සමහර අයට දිරවගන්න බැරි? ඒකට නම් මට උත්තර නැහැ. උත්තර හොයන්න උත්සාහ කරන්නෙත් නැහැ. මට ඊට වැඩිය ගොඩාක් වැඩ තියෙනවා. ලබන අවුරුද්දේ (ඒ කියන්නේ අපි පාවිච්චි කරන කැලැන්ඩරයට අනුව 2013) ලියන්න දේවල් තොගයක ලැයිස්තුවක් දැනුත් මගේ ළඟ තියෙනවා. ඒ වගේම, අලුත් මාතෘකා දිනෙන් දින එකතු වෙනවා. ඒවා සේරම කවදා ලියල ඉවර කරන්නද කියලා හිතාගන්නත් බැහැ.

24 comments:

  1. පොඩ්ඩක් ලිවුවත් වැදගත් යමක් ලියැවෙනව නම් ඒකයි වටින්නෙ... දිගටම ලියන්න ලැබේවා... අළුත් අළුත් දේ ලියන්න ලැබේවා....

    අර්ධ ශතකයට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා!
      "අලුත් අලුත් දේ නොලියන ජාතිය නොව නොනගී" :-D

      Delete
  2. අද තමයි මේ පැත්තට ආවෙ. කියවන්න ආස හිතෙන බ්ලොග් එකක්. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිරිමත් කිරීමට.
      වෙලාවක් ලැබුනොත් හෙමින් සීරුවේ කියවන්න පරණ පෝස්ට් ගොන්න.

      Delete
  3. දිගු ගමනක් යන්නට සුභ පැතුම්...සමාජය අප සැම දැනුවත් කරන්න ඔබ ගන්නා මේ උත්සාහයට හදපිරි සුභ පැතුම් හිතවත් චාමර මල්ලි..

    ReplyDelete
    Replies
    1. කරන උදව් ඔක්කොටම බොහොම ස්තූතියි!

      Delete
  4. ලියාගන ලියාගන ලියාගන යන්න අපි එනවා කියවන්න

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා! එහෙමනම් ලියාගෙන ලියාගෙන යන්නම්කො රම්පෙට පොරි හැලෙන්න!

      Delete
  5. දිගටම ලියන්න ලැබේවා...

    //ඇයි මේ අපි ලියන සමහර දේවල් සමහර අයට දිරවගන්න බැරි? //

    අන්න එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      අනේ මන්දා. මම නම් කාටවත් එහෙම දොස් කියන්න කැමති නැහැ. ඒ වුනාට එහෙම නොකරත් බැරි වෙලාවල් එනවා නේ.
      වැඩිපුර වෙන්නේ කොහෙවත් යන තොප්පි එක එකා දාගන්න එක තමයි. ඒකට අපි මොකක් කරන්නද?

      Delete
  6. අර්ධ ශතකයට සුභ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! :-)

      Delete
  7. අර්ධ ශතකයට සුබ පැතුම් සහෝදරයා..! දීර්ඝ කාලයක් ලියන්නට හැකි වේවා!!

    ReplyDelete
    Replies
    1. කරපු උදව්වලට බොහොම පින් ගුරුජී. :-)

      Delete
  8. සැලෙන්න එපා සහෝ
    ගල් පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ? කියන්නේ නිකම් නෙවේනේ.
    ඔහොම තමා බාධක එනවා.

    පනහට සුභ පැතුම් දිගටම ලියපන්.

    ReplyDelete
    Replies
    1. අනිවා. ඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බය වෙන්න ඕන නැහැ නේ. මම නම් බිම ඉඳගෙන තමයි ලියන්නේ. කම්පියුටර් එක ඇඳ උඩ :-P
      ඒ වගේම මම ලියන්නේ ඇහෙන පෙනෙන දේ.

      දිගටම එන්න මේ වැයික්කිය පැත්තට.

      Delete
  9. හැමදාම කියවන්න එන්න බැරිවුණත් වෙලාවක් ලැබුණු ගමන් ඔක්කොම කියවන්න එනවා අයියා. තව ලියමු ඒවා අදට නැතත් හෙටට හරි ප්‍රයෝජනවත් වෙයි

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් කියවලා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ ගැන බොහොම ස්තූතියි!

      Delete
  10. ජයවේවා... අර්ධ ශතකයත් ගැහැව්ව එහෙනං... ඔහොම යං

    මගේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඊළඟ අර්ධ ශතකයත් ළඟදීම වාර්තා කරන්න ලැබෙයි කියලා හිතෙනවා. :-)
      බලමුකෝ....

      Delete
  11. ඇත්තටම මට ගොඩක් සතුටුයි.මගේ පරණ බ්ලොග් තිබ්බ යම් යම් අඩුපාඩු පෙන්නුවේ ඔබ.ඔබට ජය වේවා ! ආපහු මං ලියන්න පටන් ගන්නවා.තව තවත් ඒවා ලියන්න ඔබට ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවා :-)
      ලියන්න ලියන්න දිගටම. බාධාවල් ආවට සැලෙන්න එපා.

      පරණ බ්ලොග් එක අලුත් එකට වැඩිය නම් කලර්ෆුල් :-)
      අලුත් එකත් හොඳයි. ඒක බොහොම චාම් පාටයි.
      ලියන්න හොඳ මාතෘකා ඕන තරම් තියෙනවා. වෙලාවයි ආසයි විතරයි ඕන.

      Delete
  12. හාෆ් සැන්චරි එකට සුබ පැතුම්...
    මාත් ඩිංග ඩිංග ළං වෙනවා
    හුටාආආස්
    මේ hp510 ලැප් එකක් නොවේද?
    මටත් ඕකක්ම තමා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එහෙනම් මතක හිටින හාෆ් සෙන්චරියක් ගහන්නකෝ!
      මේක ටොෂීබා එකක්! hp නෙවෙයි!

      Delete