Saturday, October 1, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (හත් වෙනි කොටස​) - සෝවියට් රූකඩය බබ්රක් කර්මාල්

සයවන කොටස​: පන්ජ්ශීර් හි සිංහයා

1979 දෙසැම්බරයේදී හෆිසුල්ලා ආමීන් බලයෙන් පහ කළ සෝවියට්වරුන් බබ්රක් කර්මාල් බලයේ පිහිටවූ බව කළින් සඳහන් කරන ලදී. කර්මාල්ගේ පියා හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ පළාත් ආණ්ඩුකාරවරයකු වූ අතර දුරානි පරපුරට අයත් වූවකු විය​. එහෙයින් රටෙහි සාම්ප්‍රදායික ඇෆ්ඝන් ජාතිකයන්ට අනුව ඔහු පාලක පැලැන්තියක අයකු විය​.

එහෙත් බොහෝ ඇෆ්ඝන්වරුන් ඔහුව සළකන ලද්දේ සෝවියට් රූකඩයක් ලෙසිනි.

1929 දී උපන් කර්මාල් තරුණ වියේදී සමාජවාදී දේශපාලනය කෙරෙහි නැඹුරු විය​. ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (PDPA) ආරම්භක සාමාජිකයකු වූ ඔහු 1965 දී ඇෆ්ඝන් පාර්ලිමේන්තුවට තේරී පත්විය​. 1973 දී එය විසිරුවා හරින තුරු හෙතෙම එහි නියෝජිතයකු විය​.

මේ අතර PDPA පක්ෂය දෙකඩ වූ විට එහි වඩා මධ්‍යස්ථ පර්චම් (ධජය​) පිළෙහි නායකයා වූ කර්මාල් 1978 සවුර් විප්ලවයෙන් පසු කෙටි කළක් ඇෆ්ඝනිස්ථාන උප ජනාධිපති ධූරය ද දැරීය​. නමුත් පසුව ඛල්ක් පිළ පක්ෂයේ බලය තහවුරු කරගත් විට ඔහුව චෙකොස්ලොවැකියාවේ ඇෆ්ඝන් තානාපති ලෙස පිටත් කරන ලදී.

ඇතැම් වාර්තා අනුව ඔහු සෝවියට් කේ.ජී.බී. ඔත්තු සේවය වෙනුවෙන් සේවය කළ අතර කේ.ජී.බී ඒජන්තයකු ලෙස ඔහු කටයුතු කිරීම ඇරඹූයේ චෙකොස්ලොවැකියාවේ සිටි සමයේදී ය​.

1979 දෙසැම්බරයේ සෝවියට් ආක්‍රමණයෙන් පසු කර්මාල් ජනාධිපති ධූරයට පත් කරන ලදී. වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සුක වූ හෙතෙම කොමියුනිස්ට්වාදීන් නොවන්නන් ද සිය රජය තුළට එක් කරගැනීමේ උත්සාහයක් දැරීය​. දේශපාලන සිර කරුවන් නිදහස් කිරීම​, මූලික අයිතිවාසිකම් මාලාවක් හඳුන්වා දීම සහ ජාතික ධජය වෙනස් කිරීම ඔහු දුන් මුල් පොරොන්දු අතර විය​. 1978 සවුර් විප්ලවයෙන් පසු ඇෆ්ඝනිස්ථානයට සෝවියට් ධජය සිහි ගැන්වෙන ආකාරයේ රක්ත වර්ණ ධජයක් හඳුන්වා දී තිබුණි. කර්මාල් යළිත් සාම්ප්‍රදායික කලු, රතු සහ කොළ වර්ණයන් සහිත ධජයක් හඳුන්වා දුන්නේය​.

කර්මාල්ගේ මුල් කාළයේදී ආගමික නිදහස ද යම් තරමකට ස්ථාපිත කරන ලද අතර මූලික අයිතිවාසිකම් මාලාව ද හඳුන්වා දෙන ලදී. එහෙත් ඒවා කෙතරම් හොඳින් ක්‍රියාවට නැගුණි ද යන්න වෙනමම ප්‍රශ්නයකි.

සවුර් විප්ලවයෙන් පසු ක්‍රියාවට නැගුණ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කළ කර්මාල් ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද වඩා මධ්‍යස්ථ වන ලෙස 'ප්‍රතිසංස්කරණය' කළේ ය​. තවද තරාකි සහ ආමීන් යටතේ පන්ති සතුරන් ලෙස හැඳින්වූ පිරිස් සමහරක් සමඟ සංහිඳියාවක් ගොඩ නැගීම කෙරෙහි කර්මාල් අවධානය යොමු කළේය​. ඔහු මේ සඳහා ජාතික පීතෘභූමි පෙරමුණ නමින් බහුජන සංවිධානයක් ද ගොඩ නැගීය​.

කෙසේ නමුත් මෙය පක්ෂය විසින් පාලනය කෙරුණ පෙරමුණකට වඩා වැඩි යමක් නොවූ අතර බලාපොරොත්තු වූ පරිදි වෙනත් කණ් ඩායම් ඒ වටා ඒකරාශී නොවීය​. සෝවියට් හමුදා ආගමනය සහ කොමියුනිස්ට් පාලනය තම සාම්ප්‍රදායික දිවි පෙවෙතට තර්ජනයක් බවත්, සෝවියට් හමුදාවල ආගමනය ආක්‍රමණයක් බවත්, කර්මාල් රූකඩයක් පමණක් බවත් ඇෆ්ඝන්වරුන් වැඩිදෙනා විශ්වාස කිරීම ඊට හේතු විය​.

මේ අතර 1981 වසරේ මුල සිට ඇමරිකා එක්සත් ජනපදයෙන් මුජහිදීන්වරුන්ට ලැබෙන ආධාර තවත් වැඩි කරන ලදී. ඒ 1980 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් රොනල්ඩ් රේගන් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස 1981 ජනවාරියේදී දිවුරුම් දීමත් සමඟය​. මෙම වසරේදීම ඇෆ්ඝන් පාලනය ද සිය යුධ ව්‍යාපාරය තීව්‍ර කළේය​. කේ.ජී.බී. සේවය මත පදනම් වූ රාජ්‍ය බුද්ධි ඒජන්සිය (KHAD) නම් ඔත්තු සේවය මෙහිදී 'අභ්‍යන්තර සතුරන්ට' එරෙහිව ක්‍රියාවට නැගුණ ප්‍රබල ආයතනයක් බවට පත් විය​. රටවැසියන් පිළිබඳ ඔත්තු බැලූ KHAD සංවිධානය පල්ලිවල යාඥා සඳහා සහභාගී වන්නන් පිළිබඳව පවා උනන්දු වූයේය​. විරුද්ධවාදීන් යයි සැළකුණ අය අත් අඩංගුවට ගැනීම​, සිරගත කිරීම​, වද දීම වැනි මර්ධනකාරී පියවර පිළිබඳ එම සංවිධානය ප්‍රකට වූ නමුත් එහි බලපෑම ප්‍රධාන නගරවලින් ඔබ්බට කෙතරම් ව්‍යාප්ත වීද යන්න ගැටලුවකි. KHAD රජයට එල්ල වූ තර්ජන මැඩීමේදී කෙතරම් සාර්ථක වී දැයි කිව නොහැකි නමුත් එහි ප්‍රධානියා වූ මොහොමඩ් නජිබුල්ලාගේ බලය නම් මේ හරහා කෙමෙන් කෙමෙන් වර්ධනය වූ බව පැහැදිලි විය​.

1986 දී සෝවියට් ආධාරයද සහිතව කර්මාල් බලයෙන් පහ කරන්නේ ද නජිබුල්ලා විසිනි. කර්මාල්ගේ බලය අඩු කරමින් සිය බලය ව්‍යාප්ත කිරීමට නජිබුල්ලාට තමන් දැරූ තනතුර වැදගත් වූයේය​.

1985 දී බලයට පැමිණි සෝවියට් නායක මිහායිල් ගොර්බචොව්ට ඇෆ්ඝන් ගැටලුව විසඳාගැනීමට අවශ්‍ය විය​. කර්මාල් ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ මින් පෙරද සළකා බැලෙමින් තිබූ නමුත් ගොර්බචොව්ගේ ආගමනය නව දේශපාලනික වෙනසකට හේතු විය​. 1986 නොවැම්බරයේදී කර්මාල් බලයෙන් ඉවත් කරන ලදී.

බලයෙන් පහ කෙරුණ පසු කර්මාල් ඉතිරි ජීවිත කාළය ගත කළේ රුසියාවේ ය​. 1991 දී කෙටි කළකට ඔහු යළිදු ඇෆ්ගනිස්ථානය වෙත පැමිණියේය​. ඉන්පසු යළි රුසියාවට ගිය හෙතෙම 1996 දෙසැම්බර් 3 වනදා අක්මාවේ පිළිකාවකින් මළේය​.

ජනාධිපති ධූරයට පත් වූ පසු ජනතාව හමුවේ කර්මාල් මුල් වරට පෙනී සිටියේ 1980 ජනවාරි 2 වනදා ය​. "සතුරන් ගෙන් එල්ලවන අභියෝග ඇෆ්ඝන් දේශප්‍රේමීන් විසින් පරාජය කරනු ඇත​" යනුවෙන් කාබුල් නුවරදී එදින ඔහු ජනතාව හමුවේ කියා සිටියේය​. ගැටලුව වූයේ රටවැසියන් බොහෝ දෙනා ඔහුව සැළකූයේ ඇෆ්ඝනිස්ථානයේ සතුරකු ලෙස වීමය​.

4 comments:

  1. අල්ල ගන්න ප්‍රදේශ ‍රැක ගැනීමේ අපේ හමුදාවත් මුහුණ දීපු අභියෝගයක් නේද ? පස්සේ සාර්ථක වුනු දිග දුර විහිදුම් බලකායේ ක්‍රියාන්විතයන් වෙනකම්ම මේ තත්ත්වය තිබුනා මට මතක විදිහට..

    මේ කිසිම යුද්ධෙකදි පරමාණු බෝම්බ ගැන සෝවියට් වරුන් සළකා නොබැලුවේ දෙවන ලෝක යුද්දෙන පස්සේ ඇතිවුන මොකක් හෝ එකඟතාවයක් නිසාද ? එහෙම නැත්නම් ඔවුන්ට ඒ හැකියාව තිබුනා නේද ?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දිනාගන්න බැරිව යුද්ධය දිනන්න අමාරුයි නෙ. පළාත් ඇල්ලුවට වැඩක් නෑ. අන්තිමට යුද්ධය දිනන්න පුලුවන් වුනේ සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධය සහ කොටි සංවිධානය එපා වෙච්ච නිසා. මුජහිදීන්වරු එපා වෙන්න හේතුවක් ඇෆ්ඝන් මිනිස්සුන්ට තිබ්බේ නෑ. මොකද එයාල සටන් කළේ ආක්‍රමණිකයකුට එරෙහිව නිසා.

      ලංකාවට වඩා අමාරුයි ඇෆ්ඝනිස්ථානෙ භූමිය අල්ලගෙන ඉන්න එක​. අනික මෙහෙ වගේ නෙවෙයි එහෙ තියෙන්නෙ යුධමය කල්චර් එකක්. පොඩි ළමයෙක් ලොකු මිනිහෙක් කියල ගණන් ගන්නෙ තුවක්කුවක් ගෙනියන්න පුලුවන් වුනාම​.

      නිරායුධකරණය ගැන සමහර කාලවල යම් යම් අවබෝධතා තිබිල තියෙනව​. හැබැයි ඉතින් ඇෆ්ඝනිස්ථානෙදි නම් පරමාණු බෝම්බ ගැන හිතන්නවත් හේතුවක් නැහැ. එහෙ ඉතින් පරමාණු බෝම්බ ගහල මොනා කරන්න ද​?

      Delete