Thursday, September 15, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (තෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණය

දෙවන කොටස: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (දෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණයට පාර කැපීම

ඒ 1838 වසර යි. එවකට ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධානතම පාලකයා වූ දෝස්ත් මුහම්මද් ඛාන් බලයෙන් පහ කර සඩොසායි පෙළපතෙහි ශා ෂුජා නැවත බලයෙහි හිඳුවීම සඳහා බ්‍රිතාන්‍යයෝ පිඹුරුපත් සකසමින් සිටියෝය​. දෝස්ත් මුහම්මද් රුසියාව සමඟ සබඳතා වර්ධනය කරගන්නා බවට බ්‍රිතාන්‍යය තුළ වූ සැකය ද මීට හේතු වූයේය​. බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ පසු කළෙක ප්‍රසිද්ධ ඉතිහාසඥයකු වූ මොන්ට්ස්ටුවර්ට් එල්ෆින්ස්ටන් මෙම සැලසුම් පිළිබඳ බෙහෙවින් විවේචනාත්මක වූයේය​. බ්‍රිතාන්‍යයට, විශාල හමුදාවක් සමඟ ගොස්, කාබුල් හි ශා ෂුජා සිංහාසනාරූඪ කිරීම එතරම් අපහසු නොවනු ඇතැයි සඳහන් කළ ඔහු, දැවැන්තම ගැටලුව වන්නේ ඔහුගේ සිහසුන රැක ගැනීම බව පෙන්වා දුන්නේය​.

"දුප්පත්, සීත​, ශක්තිවන්ත​, ඈත පිටිසර රටක, විශේෂයෙන්ම ඇෆ්ඝන්වරුන් වැනි කලහකාරී ජනතාවක් අතර, ඔහුව සිහසුනේ තබා ගැනීම කළ නොහැක්කක් බව මගේ අදහසයි. ඔබ සාර්ථක වුවද​, එයින් සිදු වන්නේ රුසියාවට සාපේක්ෂව ඔබ දුර්වල වීම ය​. ඇෆ්ඝන්වරුන් අපක්ෂපාතී වූ අතර වෙනත් ආක්‍රමණිකයකුට මුහුණ දීම සඳහා ඔබේ ආධාර ඉතා ස්තූති පූර්වකව පිළිගන්නට ඉඩ තිබිණ​. නමුත් දැන් ඔවුන් ඔබ එළවා දැමීම සඳහා ඕනෑම ආක්‍රමණිකයකුගේ උපකාරය ලබාගනු ඇත​" එල්ෆින්ස්ටන් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ඕක්ලන්ඩ් සාමි වෙත ලියා දැන්වීය​.

1979 දී සෝවියට් දේශයට සිදු වූයේ මෙයම බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැක​. සෝවියට් දේශය පළවා හරිනු වස් ඇෆ්ඝන් මුජහිදීන්වරු ඇමරිකානු ආධාර ලබාගත්තෝ ය​. නමුත් මෙහිදී ඇමරිකානුවන් වටහා නොගත් තවත් දෙයක් විය​. මුජහිදීන්වරුන් ඔවුන් සැළකූයේ අවශ්‍ය අවස්ථාවේ උපකාර කරන මිතුරකු වන තාක් කල් ඇෆ්ඝන් ජාතිකයන්ට ඇමරිකානුවන් වැදගත් විය​. එහෙත් ඔවුන් ද ආක්‍රමණිකයාගේ භූමිකාව රඟපෑමට වූ කළ ඇමරිකානුවන් හෝ රුසියානුවන් හෝ යයි කිසිදු වෙනසක් ඇෆ්ඝන් ජනතාවට නොවීය​.

එහෙයින් එල්ෆින්ස්ටන් එදා කළ අනතුරු ඇඟවීම වත්මන් ඇෆ්ඝනිස්ථානය පිළිබඳව ද ඒ ලෙසින්ම අදාළ කරගත හැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

සෝවියට් පාලකයින් කෙතරම් දුරට මෙම අවධානම පිළිබඳ අවධානය යොමු කළේද යන්න සැක සහිත ය​. මේ වනවිට ද ඇෆ්ඝන් මුජහිදීන්වරුන් සතුව ප්‍රබල අවි ආයුධ නොතිබිණ​. ඇමරිකානුවන් ඔවුනට මුලදී ආධාර කළේ ආයුධවලින් නොව සන්නිවේදන උපකරණ ආදියෙනි. එහෙයින් සිය අවි බලයෙන් මුජහිදීන්වරුන් විනාශ කළ හැකිවනු ඇතැයි සෝවියට් හමුදා අදහස් කරන්නට ඇත​.

කෙසේ නමුත් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම මගින් මතුවන ජාත්‍යන්තර තත්ත්වය සෝවියට් පාලකයින් විසින් සළකා බලන ලදී. බටහිර රටවල් මීට දැඩි සේ ප්‍රතිචාර නොදක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි නොවීය​. එහෙත් වෙනත් රටවල් ඇෆ්ඝනිස්ථානය තුළ මතුවන තත්ත්වයන් ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ අවදානම නොසළකා හැරීමට ද ඔවුන් කැමැති වූයේ නැත​.

1979 දෙසැම්බර් මාසය මුල් සතිය වනවිට ඇෆ්ඝන් ප්‍රශ්නය සෝවියට් නායකත්වයට වද දුන් ප්‍රධාන ගැටලුවක් විය​. දෙසැම්බරය මුලදී සෝවියට් 40 වන හමුදාව යළි ස්ථාපිත කිරීම සඳහා සෝවියට් ආරක්ෂක ඇමති මාර්ෂල් දිමිත්‍රි උස්තිනොව් විසින් උපදෙස් ලබාදෙන ලදී. දෙසැම්බර් 12 වනදා සෝවියට් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලය ඇෆ්ඝනිස්ථානයට හමුදා යැවීමේ තීන් දුව ගත්තේය​. මේ අතර පුනර්-ස්ථාපනය කරන ලද සෝවියට් 40 වන හමුදාව තුර්ක්මනිස්තාන් හමුදා දිස්ත්‍රික්කයෙහි එක් රැස් වෙමින් පැවතිණ.

මේ වනවිට ද ඇෆ්ඝනිස්ථානය තුළ කුඩා සෝවියට් හමුදා කණ්ඩායම් සහ කේ.ජී.බී. නියෝජිතයන් රැඳී සිටියෝය​. නමුත් දෙසැම්බර් 24 වනදා සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමඟම 5000 ක පමණ කේ.ජී.බී සහ වෙනත් විශේෂ ඒකකවල පිරිස් ඇෆ්ඝනිස්ථානය වෙත​ ගුවනින් එවන ලදී. ඔවුන් සමහරෙක් පැමිණියේ සෝවියට් තානාපති කාර්යාලය ආරක්ෂා කරන මුවාවෙනි.
සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම (ඇමරිකානුවන් විසින් සැකසූ සිතියමකි)

මේ අතර දෙසැම්බර් 25 වනදා වන විට සෝවියට් 40 වන හමුදාව ගොඩබිම් මාර්ග ඔස්සේ ඇෆ්ඝනිස්ථානය වෙත ඇතුලු විය​.

ඔවුන් බලාපොරොත්තු වූයේ සති කිහිපයක හෝ මාස කිහිපයක යුද්ධයක් විනා, දස වසරක් තිස්සේ සිය හමුදා විනාශයට ගෙන යන දීර්ඝ යුද්ධයක් නොවේ.

Operation Storm-333 (මාරුතය-333 මෙහෙයුම​)

සෝවියට් දේශය මේ වනවිටත් ජනාධිපති ආමීන් ඉවත් කිරීමට තීරණය කර තිබුණි. ඒ සඳහා ඔවුන් විසින් දියත් කෙරුණ මෙහෙයුම 'මාරුතය තුනයි තුනයි තුන​' ලෙස නම් කෙරිණ​.

සම්පූර්ණ මෙහෙයුමට ගත වූයේ විනාඩි 43 කි.

සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයට ඇතුලු වන අවස්ථාවේ ජනාධිපති හෆිසුල්ලා ආමීන් වැඩි ආරක්ෂාව පතා කාබුල් නුවර පැරණි රජ මාලිගයක් වූ ටාජ්බෙග් මාලිගය කර ගියේය​. සෝවියට් සේනාංක ඔහුට එරෙහි වනු ඇතැයි ඔහු ඒ අවස්ථාවේ බලාපොරොත්තු නොවූ බව සඳහන් වේ.

සෝවියට් බල ඇණි කාබුල් නගරය බාහිර ලෝකය සමඟ සම්බන්ධ වූ දුරකථන මාර්ග කපා දැම්මෝය​. මේ අතර මාරුතය​-333 ක්‍රියාත්මක කිරීමට සියල්ල සැකසිණ​.

මාරුතය-333 සඳහා සහභාගී වූයේ කේ.ජී.බී. විශේෂ සේනාංක දෙකක් (ඇල්ෆා ඒකකයේ ග්‍රොම් හෙවත් 'අකුණු සැරය​' කණ්ඩායමේ 24 දෙනෙක් සහ සෙනිත් කණ්ඩායමේ 30 ක්), 345 වන වාසර මුරභට රෙජිමේන්තුව (345 Guards Airborne Regiment) සහ 154 වන ස්පෙට්ස්නාස් (සෝවියට් විශේෂ බලකා) බැටෑලියනය ය​. මෙම අවසානයට සඳහන් කළ බැටෑලියනය මධ්‍යම ආසියානු භටයින් ගෙන් සදුම්ලත් අතර එහෙයින් "මුස්ලිම් බැටෑලියනය​" යයි ප්‍රසිද්ධ විය​. ඇෆ්ඝන් නිල ඇඳුම් ඇඳවූ විට එම සෙබලුන් දිස් වූයේ ඇෆ්ඝන් සෙබලුන් ලෙස ය​.

මෙම මෙහෙයුම ඇෆ්ඝන් ප්‍රහාරයක් ලෙස හුවා දැක්වීමට මෙම "මුස්ලිම් බැටෑලියනය" උපකාර වූ අතර ආමීන් ගේ විරුද්ධවාදීන් පිරිසක් ද මෙහෙයුමට සම්බන්ධ විය​. හිටපු ජනාධිපති නූර් මුහම්මද් තරාකිගේ සමීපතමයකු වූ ද ආමීන් බලයෙන් පහ කිරීමට ඔහු හා කුමන්ත්‍රණය කළ අයගෙන් කෙනෙකු ද වූ සයෙඩ් මොහොමඩ් ගුලබ්සෝයි ද ඒ අතර විය​.
ටාජ්බෙග් මාලිගය - Tracy Hunter (Wikimedia Commons)

"සෑම සන්නද්ධ රථයකම ඇල්ෆා කණ්ඩායමේ කිහිප දෙනෙකුත්, අණ දෙන නිලධාරියාත්, රියැදුරෙක් සහ තුවක්කුකරුවකු සිටි අතර ඊට අමතරව ඇෆ්ඝන් ජාතිකයන් ද වුණා. මගේ රථයේ මීළඟ ඇෆ්ඝන් ආරක්ෂක ඇමතිවරයා සිටියා. මම ඔහුව ආරක්ෂා කිරීම මගේ සෙබළෙකුට පැවරුවා. කුමක් වුවත් මොහුගේ ජීවිතය ආරක්ෂා විය යුතුයි යනුවෙන් මම ඒ සෙබළාට උපදෙස් දුන්නා" ඇල්ෆා කණ්ඩායමේ අණදෙන නිලධාරී ඔලෙග් බැලෂොව් RT රූපවාහිනිය සමඟ 2009 දී කියා සිටියේය​.

සෝවියට් සේනාංක ටාජ්බෙග් මාළිගය වෙත ළඟා වෙද්දී එහි සිටි සෙබලු ඔවුනට වෙඩි තැබීමට වූහ​. මාළිගයේ වහලයෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර මෙහිදී විශාලම තර්ජනය විය​. මෙම ප්‍රහාරය ඉතා දැඩි වූ අතර සෝවියට් සෙබලුන් ගණනාවකට තුවාල සිදු විය​. එහෙත් හෙල්මට් සහ වෙඩි නොවදින කබා හේතුවෙන් බොහෝ දෙනාගේ දිවි ගැලවුණ අතර සතුරු ප්‍රහාර මැද ඔව්හු මාළිගයට ඇතුලු වූහ​​. සටනේදී මිය ගිය ආමින් ගේ ආරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත අගයක් සඳහන් නොවන නමුත් එම අගය සියයකට වැඩි ය. ප්‍රහාරකයින් ගෙන් සැඟවීමට ආමීන් ගත් උත්සාහය ව්‍යර්ථ වූයේය​. ඔහු ඝාතනය කරන ලදී. ඔහුගේ එකොළොස් වියැති පුත්‍රයා ද වෙඩි උණ්ඩ කැබලිවලින් ලත් තුවාල හේතුවෙන් මිය ගියේය​.

ආමීන් ඝාතනය කිරීමෙන් පසු සෝවියට් දේශය විසින් බලයට පත් කරන ලද්දේ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පර්චම් පිළෙහි බබ්රක් කර්මාල් ය​. සෝවියට් හමුදා දස දහස් ගණනින් ඇෆ්ඝනිස්ථානය වෙත ඇදෙමින් තිබිණ​. සෝවියට් ක්‍රමයේ ආණ්ඩුවක් බලයට පත්කර සෝවියට් උප රාජ්‍යයක් ලෙස ඇෆ්ඝනිස්ථානයෙහි බලය පැතිරවීමට මොස්කව් හි නායකයෝ කල්පනා කළ හ​.

කෙසේ වෙතත් ඒ සඳහා තව බොහෝ දුර යා යුතු විය​.

5 comments:

  1. එදා සෝවියට් එහෙදි සාර්තක වුනානම්, අද මීට වඩා මදක් හෝ යහපත් ඇෆ්ගනිස්තානයක් ඉතිරි වෙන්න තිබුනා.... දැන්නම් මිහිබට අපායක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් විවාදාත්මකයි. මොකද අවුරුදු 60 ක් විතර සෝවියට් පාලනයක් තිබ්බ මධ්‍යම ආසියාවෙ 1991 න් පසුව වෙච්ච සමහර දේවල් එච්චර හොඳ නැහැ. සෝවියට් දේශයට ඒ රටවල මිනිසුන් ගෙ සමහර ගති හදන්න බැරි වුනා කියල තමා හිතෙන්නෙ

      Delete
  2. මොන පිස්සුද සෙන්නා. සෝවියට්කාරයෝ ඇෆ්ඝන් ගම්මාන පිටින් විනාශ කලා. පවිඩර් වැනි යමක් යොදා භූගත ජලමාර්ග වල සැඟවූ ඇෆ්ඝන්වරු ඝාතනය කලා. ඔවුන් බොහොම තුච්ජ විදියට කල මේ ක්‍රියා චාමර ලියනු ඇතිය හිතනවා. ඒ නිසාවෙනුයි බොහෝකොටම තලේබාන්වරු බිහිවෙන්නෙත්.
    - ක්සැන්ඩර්.

    ReplyDelete
    Replies
    1. තලේබාන්වරු බිහි වෙන්න එකම හේතුව නම් ඒක විතරක් නෙවෙයි. ඒත් මේ කතාව හරි. සෝවියට්කාරයො අන්ත ජරා වැඩවලට ගිය එක මුජහිදීන්කාරයන්ට වාසියක් වුනා. තලේබාන්වරු එන්නෙ මුජහිදීන්කාරයන්ට බැරි වූ දේ කරන්න කිව්වොත් මම හිතන්නෙ වඩාත්ම හරි කියල​.

      Delete
    2. ඕ, සමාවන්න. චාමර හරි. ඒ මුජහිදීන් වරු.

      Delete