Wednesday, February 6, 2013

වසර 55 කට පෙර සිදු වූ මියුනික් ගුවන් ඛේදවාචකය



මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ වසර 135 ක ඉතිහාසයේ අඳුරුම දිනය ලෙස 1958 පෙබරවාරි 6 වනදා සැලකිය හැක. ඔවුනගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනකු සහ තවත් 15 දෙනෙකුගේ දිවි අහිමි වූ, මියුනික් ගුවන් ඛේදවාචකය (Munich Air Disaster) ලෙස හැඳින්වෙන ගුවන් යානා අනතුර සිදු වූයේ එදින වීම එයට හේතුවයි. (පැරණි) යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් (බියෝග්රාඩ්) අගනුවර සිට මැන්චෙස්ටර් බලා ගමන් කරමින් පැවති එයාර්ස්පීඩ් AS-57 ඇම්බසඩර් (Airspeed AS-57 Ambassador) ගුවන් යානය මියුනික්-රියෙම් ගුවන් තොටෙන් ගුවන්ගත වනවිට මේ අනතුර සිදු විය.

මෙම අනතුර සිදු වූයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම බෙල්ග්‍රේඩ් රෙඩ් ස්ටාර් කණ්ඩායමත් සමඟ වූ යුරෝපා කුසලාන අර්ධ අවසන් වටයේ තරඟයක් සඳහා සහභාගී වී නැවත සියරට එන අතරවාරයේ ය. මේ වනවිට එංගලන්තයේ ලීග් තරඟ සෙනසුරාදා දිනවල පැවැත්වුන අතර යුරෝපා තරඟ පවත්වනු ලැබුනේ සතියේ මැද දිනවලය. මේ කාලයේ ගුවන් ගමන් දැන් තරම් වේගවත් හෝ විශ්වසනීය නොවූ හෙයින් සති මැද යුරෝපයේ වන තරඟයකට සහභාගී වී ශනිදා එංගලන්තයේ පැවැත්වෙන තරඟයකට සහභාගී වීම පහසු කටයුත්තක් නොවීය. මේ ප්‍රශ්නයට ඔවුන් මීට පෙර චෙකොස්ලෝවැකියාවේ ඩුක්ලා ප්‍රාග් කණ්ඩායම සමඟ ප්‍රාග් නගරයේ පැවති තරඟයට පසුද මුහුණ දී තිබුණි. ඒ අවස්ථාවේ මීදුම් සහිත කාලගුණය හේතුවෙන් මැන්චෙස්ටර් නගරයට ගුවන් යානා ගොඩ බැස්සේ නැත. එහෙයින්, මැන්චෙස්ටර් යුනයිටඩ් පිලට සිදු වූයේ ඇම්ස්ටර්ඩෑම් නගරයට ගුවනින් පැමිණ එතැන් සිට බෝට්ටුවකින් එංගලන්තයට පැමිණීමටය.

බස්බිගේ බබාලා ඔවුනගේ අන්තිම තරඟයට පෙර (බෙල්ග්‍රේඩ්, 1958 පෙබරවාරි 5). මේ තරඟය 3-3 ලෙස නිමා වුනි. පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් පිටියේ පැවති තරඟයෙන් 2-1 ලෙස ජයගත් බැවින් මේ "බබාලා" අවසන් පූර්ව වටයට සුදුසුකම් ලදහ. නමුත් මින් 8 දෙනෙකුට ඊළඟ දිනය අවසන් වනතුරු දිවි ගෙවන්නට නොහැකි විය. Busby babes before playing their last match, against Red Star., Wikimedia Commons.



මේ හේතුව නිසා 1958 පෙබරවාරි 5 වනදා පවතී බෙල්ග්‍රේඩ් තරඟයට පසු එංගලන්තය බලා යාමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගුවන්යානයක් වෙන්කර ගත්තේය. බ්‍රිතාන්‍ය යුරෝපා ගුවන්සේවයට අයත් වූ එහි නියමුවා වූයේ, දෙවන ලෝක යුද්ධයේද ගුවන් නියමුවකු ලෙස පළපුරුද්දක් ලැබූ කපිතාන් ජේම්ස් තේන් ය.

පාපන්දු කණ්ඩායම සමඟ මාධ්‍යවේදීන් ඇතුළු තවත් ගමනට එක් වූහ. ගුවන් යානයේ ගබඩා කළහැකි ඉන්ධන ප්‍රමාණය බෙල්ග්‍රේඩ් සිට මැන්චෙස්ටර් වෙත එකවර ගමන් කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. එහෙයින් යානය ඉන්ධන ලබාගැනීමට මියුනික් වෙත ගොඩබස්සන ලදී.

ආපසු ගුවන්යානය පිටත් වීමට සූදානම් වූයේ පස්වරු 2.30 ට පමණය. නමුත් කාර්මික දෝෂයක් හේතුවෙන් දෙවරක්ම ගමන කල් දැමීමට සිදු විය. යලිත් පස්වරු 3 පසුවී සුළු වෙලාවකින් ගුවන් නියමුවෝ යානය ගුවන්ගත කිරීමට සූදානම් වූහ. අවාසනාවට, මේ වනවිට හිම වැටී තිබුන හෙයින් ගුවන් තොටුපලෙහි ධාවන පථයෙහි ඈත අන්තයෙහි හිම සහ ජලය රැඳී තිබුණි. ගුවන් යානයේ රෝද ඒ මත ලිස්සා ගොස් යානය පාලනයෙන් ගිලිහී ගුවන්තොටුපල මායිමෙහි වූ වැටද බිඳගෙන අසල වූ නිවසක් දෙසට ගමන් කළේය. යානයේ වම් තටුව නිවසෙහි ගැටුණද වාසනාවකට නිවසෙහි හානියක් නොවී බේරුණි. නමුත් යානයේ වූ අඩකටත් වැඩි දෙනා එතරම් වාසනාවන්ත නොවූහ. යානයෙහි වූ කාර්යමණ්ඩලයේ 6 දෙනාද 44 සහිතව දෙනෙකුගෙන් 20 දෙනෙක් අනතුර සිදු වූ අවස්ථාවේම මියගිය අතර එක අයෙක් රෝහලට ගෙනයන අතරතුරද, දෙදෙනෙක් සති කීපයකට පසුද මිය ගියහ.

යානය අනතුරට ලක් වූ අවස්ථාවේ මැන්චෙස්ටර් යුනයිටඩ් දැල් රකින්නා වූ උතුරු අයර්ලන්ත ජාත්‍යන්තර ක්‍රීඩක හැරී ග්‍රෙග් තුවාලකරුවන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක යෙදුනේ තමාද තුවාල ලබා සිටියදීය.

අනතුරට පත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ලෝ පතලව සිටියේ "බස්බිගේ බබාලා" (Busby Babes) යන නමිනි. ඊට හේතුව කණ්ඩායමේ කළමනාකරු මැට් බස්බි වීමත්, කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් ලාබාල තරුණයින් වීමත් හේතුවෙනි. ක්‍රීඩා සමාජය විසින් කුඩා කාලයේදීම දක්ෂ ක්‍රීඩකයන් සොයාගෙන ඔවුන් පුහුණු කරන ක්‍රමවේදයක් සකසා තිබිණ. කුඩා කාලයේ සහය කළමනාකරු ජිමී මර්ෆි සහ ජෝ ආම්ස්ට්‍රෝං යටතේ පුහුණු වූ මෙම ක්‍රීඩකයෝ ඉන්පසු ප්‍රධාන කණ්ඩායමට ඇතුළු කරනු ලැබූහ. අනතුරෙන් මියගිය ක්‍රීඩකයන් අට දෙනාගෙන් අඩක්ම ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෝ වූ අතර ඉන් තුන් දෙනෙක්ම එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළහ. එයින් රොජර් බයර්න් 29 වන විය සපුරා නොතිබිණ. ටොමී ටේලර් 26 වන විය පසුකරමින් සිටියේය. අනතුරෙන් දින 15 කට පසු මියගිය ඩන්කන් එඩ්වර්ඩ්ස් ඉතා පැහැබර අනාගතයක් තිබූ, යන්තම් 21 වන විය පසු කල ක්‍රීඩකයකු විය. මේ අතරම අයර්ලන්ත ක්‍රීඩක ලියම් "බිලී" වීලන් 23 වන වියෙහි පසු විය.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සාමාන්‍ය කණ්ඩායමක් වී නම් ඔවුනට මේ කම්පනයෙන් ගැලවීමට බොහෝ අපහසු වන්නට ඉඩ තිබිණ. අනතුරෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට යලිත් ක්‍රීඩාවේ යෙදීමට හැකියාවක් නොවීය. ඔවුන් නම් එංගලන්ත කණ්ඩායමද නියෝජනය කල ජොනී බේරී සහ උතුරු අයර්ලන්තයද නියෝජනය කල ජැකී බ්රාන්ච්ෆ්ලවර් ය. එහෙත් හැරී ග්‍රෙග්, බොබී චාල්ටන්, බිල් ෆෝක්ස් වැනි දිවි ගලවාගත්තවුන් සමඟ එකතු වූ මට බස්බි යලි සිය කණ්ඩායම ගොඩ නැගීය. 1963 කුසලානය දිනා ගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් පිල සමත් විය.

1945-69 කාලයේ සහ 1970-71 කාලයේ සුළු කාලයක් කණ්ඩායමේ කළමනාකරු වූ මැට් බස්බි 1994 දී මිය ගියේය. ඔහු සමඟ දිවි ගලවාගත් හොඳම පාපන්දු ක්‍රීඩකයන් වූ ග්‍රෙග්, චාල්ටන් සහ ෆෝක්ස් අදටද ජීවතුන් අතර වෙති.

13 comments:

  1. මේ වාගේම ශ්‍රී ලංකාවේ වුනු ගුවන් අනතුරු ද තිබෙනවා. ඉන් සප්ත කන්‍ය කන්දේ හැපී විනාශවී ගිය ගුවන්යානය විශේෂයි. ලංකාවේ හිම කරදර නැතත් මෙම අනතුරට හේතුව ‘මීදුම‘ කියලා කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මම ඉන්ටර්නෙට් එකේ බැලුවහම ඒ ගැන සිංහල ලිපි කීපයක්ම දැක්කා. ඒ වගේම මම කාලයකින් ඒ පැත්තට ගිහින් නැහැ. ඒ කාරනා දෙක නිසා මම ඒ ගැන ලියන්න ආදී මදි කළා.

      මේ මාතෘකාව ගැන මම සිංහල ලිපි දැක්කේ නැහැ. සමහරවිට තියෙන්න පුළුවන්. නමුත් මැන්චෙස්ටර් යුනයිටඩ් පිළට බොහොම කැමති කෙනෙක් විදියට මට හිතුනා මේ ගැන ලියන්න.

      ස්තූතියි මේ පැත්තට ඇවිත් කමෙන්ට් එකක් දැම්මට....

      Delete
  2. මේ විස්තරේ මං ලාවට දැනං හිටියට සම්පූර්ණයෙංම දැනගත්තේ අද...
    එල....
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
  3. මේ විස්තරය මම දැන සිටියේ නෑ. මෙහි තිබෙන විශේෂත්වය විදිහට මට හැඟී ගියේ 58 සිදූවූ මෙම අනතුරින් පසුව 63දී කණ්ඩායම කුසලානය දිනා ගැනීම දක්වා ගෙන ගිය කතාවයි. හැකි නම් එහි විස්තරත් සොයා ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම... ඒක බොහොම ලස්සන කතාවක් තමයි.
      හොඳ අදහසක්. මම ඉඩ ලැබුනහම ලියන්නම්.
      බොහොම ස්තූතියි මතක් කලාට.

      Delete
  4. ම්ම්ම්ම්... ජීවිතේ මහ පුදුමාකාරයි.. ලෝකෙ සිද්ධ උන දරුණුතම ගුවන් අනතුර මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් වෙන්නේ එක යානයක් අනතුරට ලක් එක නේ. යානා දෙකක් හපුනොත් කොහොමට හිටීද? එහෙම එකක් 1977 වුනා. ඒ අනතුර මීට වැඩිය ප්‍රසිද්ධ සිද්ධියක්. Spain රටට අයිති කැනරි දූපත්වල ටෙනරීෆ් දූපතේ වුනේ. මිය ගිය ගණන 580 ගණනක්...

      Delete
    2. ඒක ගැන තියෙන ලිපියක් හොයල දුන්නොත් ලොකු උදව්වක්....

      Delete
    3. ඉන්ටර්නෙට් එකේ වීඩියෝ එහෙම ඇති ඒ ගැන. ඉස්සර ඩිස්කවරි චැනල් පෙන්නන කාලේ එහෙම වැඩසටහනක් ටී. වී. එකේ ගියා මතකයි.
      පුළුවන් වුනොත් බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්. නමුත් ඒ මගේ පුරුදු සබ්ජෙක්ට් එකක් නොවන නිසා කොහොම වෙයිද දන්නේ නැහැ. මම මේ ලිව්වෙත් මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එක මගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායමක් නිසා.

      Delete
  5. මේ කතාව මම අහලම නොතිබුන එකක්.. ස්තූතියි චාමර මේ විස්තරයට.. ඇත්තටම ඒ කාලෙ ගුවන් ගමන් කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ තියෙන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙන්න ඇති. අද තරම් දියුණු කාලයක් නෙවෙයි නේ ඒ කාලේ.

      Delete
    2. http://en.wikipedia.org/wiki/%C3%9Cberlingen_mid-air_collision

      Delete