Wednesday, January 2, 2013

අලුත් අවුරුද්දේ අලුත් වෙමු! බුද්ධිමත් මාවත දෙස දැන්වත් හැරෙමු!


අපි පාවිච්චි කරන ග්‍රෙගරියානු දිනදර්ශනයට අනුව 2013 අවුරුද්ද උදා වුනා. මේ අවුරුද්ද ලෝක විනාශයෙන් තොර, අමුතු අමුත් එලි සහ බලි නොපෙනෙන සර්ව සුභවාදී සහ ඵලදායක අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

අපේ අනාගතය ඵලදායක වෙන්න නම් අපි බුද්ධිය හොඳින් මෙහෙයවා තීරණ ගන්න ඕන බව පහුගිය කාලයේදී වෙච්ච ඇතැම් විගඩම්වලින් පැහැදිලි වුනා. ලෝක විනාශය එයින් එකක් පමණයි. අර අහිංසක මායාවරුන් කියාපු දෙයක් වැරදියට අල්ලාගෙන අපේ "උගත්තු" සහ "ජනමාදිලිවේදියෝ" ටික දෙනෙක් සමහර ජ්‍යෝතීර්වේදියන් පිරිසකුත් එක්ක එකතු වෙලා නටාපු විකාරය කාටත් පෙනුනානේ. ඒ නටපු නාඩගම මායාවරුන්ටත් නිග්‍රහයක්. ශ්‍රී ලාංකිකයන්ටත් නිග්‍රහයක්!

අලුත් අවුරුද්දේ වෙනමම මාතෘකාවක් ගැන ලියන්නට හිතුනේ ඒ සියල්ලම ගැන හිතලා. මේක ලියන්නේ බුදු දහමෙන් ඉගැන්වෙන වැදගත් දෙයක් ගැන. නමුත් "බෞද්ධ, අබෞද්ධ" කවුරුත් මේක කියවාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝගෙම අදහස් මට බොහොම වටිනවා, විශේෂයෙන්ම මේ වගේ දෙයක් ගැන ආයේ ලියනවා නම්.

බුද්ධ දේශනාවේ සඳහන් වන කාලාම සූත්‍රය ගැන ඔබ අසා ඇති. ඇතැම්විට නැතිවත් ඇති. කොහොම වුනත් සරලව කිව්වොත්, කාලාම වැසියන්ට දේශනාකළ බුද්ධ දේශනාවෙහි සඳහන් වෙනවා යම් කිසි දෙයක් වෙනත් කෙනෙක් කියපු පලියට පෙර පුරුද්දක් වූ පලියට, පොතක පතක තිබුන පලියට ආදී වශයෙන් අන්ධ විදියට විශ්වාස කරන්න එපා යන පණිවිඩය. එහි කියවෙනවා, යමක් පිළිගන්නට අවශ්‍ය වෙන්නේ තමන්ගේ බුද්ධියෙන් විමසා බැලීමෙන් බව. තමන් අදහන්නේ කුමන ආගමක් වුනත් මේ බුද්ධ දේශනාව කාටත් වටිනා බව මගේ අදහසයි.

අනුරාධපුරයේ සමාධි පිළිමය: බුද්ධියෙන් විමසා බලා තීරණය කරන්න යන බුදු වදන බෞද්ධ, අබෞද්ධ අපි කී දෙනෙක් අනුගමනය කරනවාද? Photo by Chamara Sumanapala (June 10, 2012)



කෙනෙක් යම් නිගමනයකට එන්නේ, තමන්ට තේරෙන විදියට. බුද්ධිය මෙහෙයවා කල්පනා කරන්නට හැකි අය ඒ තුලින් සත්‍යය කුමක්දැයි සොයාගන්නට උත්සාහ කරනවා. බුද්ධිය මෙහෙයවන්නේ නැති අය යන්නන්වාලේ කුමක් හෝ පස්සෙන් යනවා. ඒ අය තමන් විමසා බලා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැහැ. සමහර අය විවිධ කණ්ඩායම් විසින් කරන මොළ සේදීම්වලට (Brain Washing) අහුවෙලා. "අරයා කිව්වා නම් එක ඇත්ත තමයි; ඒ ස්වාමීන්වහන්සේ කිව්වා නම් එක හරියටම හරි" වගේ නිගමනවලට එනවා. මේ නිසා තමයි ලෝක විනාශය වගේ මිත්‍යාවල්වලට අනාගතයක් තියෙන්නේ. කොහේ හරි ජනමාධ්‍යයක කියැවුණු පලියට ලෝක විනාශය වෙනවා හෝ නොවෙනවා හෝ කියලා නිගමනය කරපු අය සමාජයේ නැත්තේ නැහැ. ඒ වගේම තමයි මේ එක එක මතවාදයන් අතර අතරමං වෙලා මුකුත් තේරුම් ගන්න බැරි වුන අයත් ඕන තරම් ඇති.

ඕනෑම දෙයක් සම්බන්ධයෙන් තත්ත්වය ඒකයි. බුද්ධ දේශනාව සම්බන්ධයෙන් වුනත්. ඒ නිසා තමයි අද වෙනකොට එක එක මතවාදයන් පස්සේ, එක එක හාමුදුරුවරුන් පස්සේ යන "බෞද්ධයන්" බිහි වෙලා තියෙන්නේ. හොඳට හොයලා බලලා බුද්ධිය මෙහෙයවලා බැලුවොත් ඇතිවෙන ප්‍රශ්නය තමයි, "මේ වගේ එක එක පුද්ගලයන් පස්සේ යන අය ඇත්තෙන්ම බුදුන්වහන්සේ දේශනා කල දේ තේරුම් ගෙන තිබෙනවාද?" යන්න. (ඒ පිලිබඳ ලියන්න මේක වෙලාව නෙවෙයි. ඒක ගැන පස්සේ ලියන්න බලාපොරොත්තු වෙනවා).

ලෝක විනාශය ගැන නම් කියන්නට තියෙන්නේ, ඒ බටහිරින් මෙහාට ඇවිත් (නැත්නම් අපේ අය දැනගෙන හිටියද මායා දින දර්ශනයක් ගැන?) මෙහෙ පැලපදියම් වෙච්ච, මෙහෙ සමහරු සහමුලින්ම ගිලලා, දැන් වමාරන, දිරච්ච ලණුවක්. මේ වගේ ලනු ඉස්සරත් ආවා. තව ඉස්සරහටත් එනවා නිසැකයි. එතකොටත් "ජනමාදිලිවේදියෝ" ඒවා පතුරවන්නත් "ෆුල් ටයිම්" වැඩ කරාවි. ඒ සියලු දේ ගැන හරි අවබෝධයක් එන්න ඔබ හැමටම බුද්ධිය මෙහෙයවන්න වෙයි. රටේ ලෝකේ වෙන්නේ මොනවාද කියලා විමසා බලන්න. එය බුද්ධියට බහා බලා තීරණයක් ගන්න. එක එක වගකීමක් නැති උදවිය පලකරන අදහස්වලින් බේරිලා ඉන්නට ඔබටත්, මටත් ඒ විචාර බුද්ධිය අවශ්‍ය වෙනවා.

හැමෝටම බුද්ධිමත් නව වසරක් වේවා!!!

8 comments:

  1. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසින් මා දිරිමත් වූවා
      ඒ ගැන ඔබට බෙහෙවින් පින් සිදු වූවා
      එසේම තව දෙයක් ඔබගෙන් සිදු වූවා
      දිගු කාලෙකින් මට කවියක් ලියවූවා!

      Delete
  2. නියමයි අයියේ දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දිගටම එන්නකෝ එහෙනම්. .

      Delete
  3. හිතන්න බොහෝ දේ ඇති ලිපියක්.. නව වසරට සුබ පතනවා..!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!
      එහෙමනම් අලුත් අවුරුද්දේ අලුත් දෙයක් හිතමු! මේ පණිවිඩය හැමෝටම දෙමු. තමන්ගේ විචාර බුද්ධියට පළමු තැන දෙන්න කියලා හැමෝටම කියමු!

      Delete
  4. මාත් හිතන්නේ ජන මාධ්‍ය තමා මූලික වැරැද්ද කරන්නේ.ජන මාධ්‍යය පාලනය කරන එකෙත් වටිනාකමක් තිබෙනවා.

    ඔබ තුමාටත් බුද්ධිමත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට මොලේ නැත්නම් මොන ජනමාධ්‍ය පාලනය කලත් පලක් නැහැ නේ.

      සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete