Sunday, January 13, 2013

ඉන්දියාවේ 'අමතක කරන ලද' නැක්සල්වාදී යුද්ධය

බටහිර ආසියාවේ අර්බුද, නැගෙනහිර ආසියාවේ සමුද්‍රීය සීමා මතභේද, නවදිල්ලි උද්ඝෝෂණ සහ ලෝක ආර්ථික අවපාතය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතින මේ දිනවල වැඩිදෙනෙකුට ඉන්දියාව අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මකව පවතින කැරැල්ල පිලිබඳ අමතක වී ඇති සෙයක් පෙනේ. නමුත් මෙසේ අමතකවීම පිලිබඳ ඉන්දීය රජයවත් කරලිකරුවන්වත් අසතුටින් පසුවන බවක් නොපෙනේ.

ඉන්දියාවේ නැක්සල්වාදීහු හෙවත් මාවෝවාදී කැරලිකරුවෝ එරට රජය සමඟ සටන් වදින්නේ දශක හතරහමාරක සිටය. මේ කාලය තුල එහි නැගීම් සහ බැසීම් දක්නට ලැබුන අතර 1970 දශකයේ මුල් භාගයේ සිදුවූ පරාජයෙන් පසුව පසු බැස, යලිත් අළු ගසාදමා නැගිට්ටේ මීට දශකයකට පමණ පෙරය. එම කැරැල්ල කෙතරම් ප්‍රබල ලෙස මතුව ආවේදැයි පැහැදිලි වන්නේ 2006 දී එරට අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් එය ඉන්දියාව මුහුණ දෙන බරපතලම අභ්‍යන්තර අර්බුදය බව ප්‍රකාශ කිරීමෙනි.

අගමැතිතුමා එසේ කීවද, බොහෝ ඉන්දියානුවන් පවා එම අදහස එතරම් ගණන් ගන්නා බවක් නොපෙනුණි. එම වසරේ අප්‍රේල් මාසයේදී නැක්සල් කැරැල්ල සම්බන්ධයෙන් ගතයුතු පොදු උපායමාර්ග සාකච්ඡා කිරීම පිණිස වන සමුළුවක් සඳහා එම කැරැල්ල මතුව පැවති ප්‍රාන්ත දහතුනක ප්‍රධාන අමාත්‍යවරුන්ට නවදිල්ලියට පැමිණෙන ලෙස අගමැතිතුමා ආරාධනා කළේය. නමුත් ඔහුගේ ආරාධනය පිළිගත්තේ එයින් හයදෙනෙකු පමණි. අනෙක් ප්‍රධාන ඇමතිවරුන් තම නියෝජිතයන් දිල්ලියට එවූයේ ඔවුනට ඊට වඩා වැදගත් වැඩ තිබූ හෙයින් විය යුතුය. කෙසේ වුවද එසේ පැමිණි හයදෙනාගෙන්ද එක අයෙක් සමුළුව අතරතුර සුව නින්දක පසුවනු දක්නා ලදී.

මීට වසර හයකට පමණ පෙර නැක්සල් කැරැල්ලෙහි බලපෑම දැනුණ ප්‍රදේශ. මේ වනවිට මින් ඇතැම් ප්‍රදේශවල කැරලිකරුවෝ මුළුමනින්ම පසුබා සිටිති. Wkimedia Commons.



බොහෝ අය මෙම කැරැල්ල දුටුවේ 2009 ජුනි මාසයේදී The Economist සඟරාව විසින් හඳුන්වා දෙන ලද ආකාරයේ "පිළිවෙලක් නැති කැරැල්ලක් (a ragtag rebellion)" ලෙසය. කෙසේ වුවත් එම සඟරාව තවදුරටත් සඳහන් කරන්නට යෙදුනේ කැරැල්ලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇති නිර්භීත දේශපාලකයන්, අවංක නිලධාරීන් සහ මනා පුහුණුවක් ලද පොලිස් නිලධාරීන් නොමැති බවය. 2009 වර්ශාවසානය වනවිට The Economist සඟරාව ප්‍රකාශ කලේ ඉන්දීය බලධාරීන් නැක්සල් විරෝධී යුද්ධය කැරලිකරුවන්ගේ හදබිම තුලටම ගෙනයාමට බලාපොරොත්තුවන බවය. නමුත් 2010 පෙබරවාරි වනවිට එම සඟරාවම කියා සිටියේ ඉන්දියාව මෙම කැරැල්ලෙහි බරපතලකම තේරුම් ගතයුතු බවය. පැහැදිලිවම ඉන්දීය බලධාරීන් කැරැල්ල මඩින්නට ගත් උත්සාහයෙන් පලක් නොවූ බව පෙනින. නමුත් නිර්භීත දේශපාලකයන්, අවංක නිලධාරීන් සහ මනා පුහුණුවක් ලද පොලිස් නිලධාරීන් නොමැතිව එවන් සටනක් ඔවුන් සාර්ථකව දියත් නොකිරීම පිලිබඳ පුදුම වියයුතු නොවීය.

මෙම ලිපිය පලවී සති කිහිපයකට පසු මාවෝවාදී කැරලිකරුවෝ ආරක්ෂක අංශ වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. 2010 අප්‍රේල් මාසයේ මුල චට්ටිස්ඝාර් ප්‍රාන්තයේදී මුර සංචාරයක නිරත වූ මධ්‍යම සංචිත පොලිස් බලඇණියේ (Central Reserve Police Force-CRPF) භට පිරිසකට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් එම පිරිසෙන් 76 දෙනෙකු මිය ගියහ. මේ ප්‍රහාරයත් සමඟ මාවෝවාදී අරගලයට නව මුහුණුවරක් ලැබිණ. ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය වැඩියෙන් ඒ දෙස යොමු වන්නට වූ අතර ඊට එරෙහිව කාර්යක්ෂම ප්‍රතික්‍රියාවක් දැක්වීමේ අවශ්‍යතාව ඉන්දීය පාලකයනට වෙනදාටත් වඩා තේරුම් ගියේය.

මේ වනවිටත් මාවෝවාදීන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික බල කඳවුරු වූ ප්‍රදේශවලින් පසුබා ගොස් සිටියහ. ඔවුනගේ "බල ප්‍රදේශ" පිහිටියේ චට්ටිස්ඝාර් සහ ජාර්ඛන්ඩ් ප්රාබන්ත සහ ඒ ආශ්‍රිතව පිහිටි වනගත පෙදෙස්වලය. ඔවුනට මේ ප්‍රදේශවල සිටි ආදිවාසී ගෝත්‍රිකයන්ගේ සහයෝගය ලැබිණ. මීට පිළිතුරක් ලෙස චට්ටිස්ඝාර් ප්‍රාන්තයේ අනුග්‍රහය ඇතිව සල්වා ජුදුම් (Peace March-සාමයේ ගමන) යන විශේෂ පොලිස් බලකායක් ඇතිකරන ලදී. මෙහි සාමාජිකයන් වූයේද ආදිවාසී ජනතාවගෙන්ම බඳවා ගනු ලැබූ පිරිසකි. එහෙයින්, එම ප්‍රාන්තයේදී මාවෝවාදී කැරැල්ල ආදිවාසී ගෝත්‍රිකයන් අතර ගැටුමක් බවට පත් විය. කෙසේ වුවද, 2011 ජූලි මාසයේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ මෙවැනි විශේෂ පොලිස් කණ්ඩායම් පිහිටුවීම සහ එයට ආදිවාසී තරුණයින් බඳවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

යථෝක්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියානු ආරක්ෂක අංශ මාවෝවාදීනට එරෙහිව පෙරට වඩා ක්‍රියාකාරී වූහ. ප්‍රධානතම මාවෝවාදී කණ්ඩායම වන ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාවෝවාදී) මේ වනවිට දුර්වල වී ඇති සෙයක් පෙනේ. ඊට හේතුව එහි නායකයන් රැසක් මියයාම, අල්ලාගනු ලැබීම හෝ පක්ෂය අතහැර යාම වැනි කරුණු නිසා පක්ෂයට අහිමි වීමය. මුල් කාලයේ එවන් නායකයන්ගේ අඩුව එතරම් තදින් නොදැනුනද 2011 නොවැම්බර් මාසයේ සිදුවූ කොටේස්වර රාඕ හෙවත් කිෂෙන්ජි නම් ප්‍රබල නායකයාගේ ඝාතනයෙන් පසු මාවෝවාදී පක්ෂය තරමක් අඩපණව ඇත. විශේෂයෙන්ම කිෂෙන්ජිගේ නායකත්වය යටතේ එවකට බටහිර බෙංගාලයේ ක්‍රියාත්මක වූ මාවෝවාදී සටන සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටියේය. 2012දී ඔවුන් සිදුකල ප්‍රසිද්ධියට පත් වූ ප්‍රධාන මෙහෙයුම වූයේ ඔදීෂා (ඔරිස්සා) ප්‍රාන්තයේදී ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු සහ ප්‍රාදේශීය දේශපාලකයකු පැහැර ගැනීමය.

නමුත් එම සිද්ධියට සම්බන්ධ වූ ඔදීෂා මාවෝවාදී නායක සුබ්යසාචි පන්ඩා 2012 මැද පක්ෂය අතැර ගියේය. ඔහුගේ එක චෝදනාවක් වූයේ පක්ෂයෙහි තීරක බලය පවතින්නේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි නායකයන් අත බවය. පක්ෂයේ මහලේකම් මුපල්ලා ලක්ෂ්මන රාඕ හෙවත් ගණපති, කිෂෙන්ජි ආදී ප්‍රධාන පෙළේ නායකයන් රැසක්ම ආන්ද්‍රාවේ උපන්නෝ වෙති.

කෙසේ නමුත්, ඉන්දියාවේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය සාමාජිකයන් රැසකගෙන් සැදුම්ලත් පක්ෂයකි. එහි සන්නද්ධ අංශය වන මහජන ගරිල්ලා විමුක්ති හමුදාව (People's Liberation Guerrilla Army-PLGA) හොඳින් පුහුණුව ලද 8,000 ක් පමණ වන භටයන් පිරිසකගෙන් සැදුම් ලද්දක් බව මීට මාස කිහිපයකට පෙර එරට රජයේ අනුමානය විය. මීට අමතරව එතරම් හොඳින් පුහුණුව හෝ අවි ආයුධ නොලත්, එහෙත් සංඛ්‍යාවෙන් 38,000 ක් පමණ විශාල, ප්‍රාදේශීය ජනතා මිලීෂියාවක් ද පක්ෂයට විය. PLGA භටයන් ලබන පුහුණුව ඉන්දීය පොලිස් භටයන් ලබන පුහුණුවට සාපේක්ෂව ඉතා උසස් තත්ත්වයක වනබව එම සංවිධානය හැර පැමිණියන් විසින් පවසනු ලැබ ඇත. මේ අතර ආදිවාසී ජනතාව අතරින් නැක්සල්වාදීන්ට සැලකියයුතු ජනතා සහයක් තවමත් ලැබෙමින් පවතී.

එහෙයින් එවන් සංවිධානයක් සාපේක්ෂව නිහඬ වූ පමණින් පරාජයට පත් වී ඇති සිතීම මුළාවකි. ඔවුහු සිය වැරදි නිවැරදි කරගනිමින්, එතරම් අවධානය යොමු නොවන පරිදි යළි සිය බලපෑම ව්‍යාප්ත කරමින් සිටින බව ඇතැම් වාර්තා අනුව කියවේ. එවන් තත්ත්වයක් හමුවේ, තමන් යලි සංවිධානය ගොඩ නගනතුරු එය පිළිබඳ ජනමාධ්‍යවල අවධානය එතරම් යොමු නොවීම කෙරෙහි මාවෝවාදීන් කම්පා නොවනු ඇත.

10 comments:

  1. නියමයි...මම මේකයි නේශන් පත්තරේ එකයි දෙකම කියෙව්වා :)

    ReplyDelete
    Replies
    1. එල එල! Thank you!
      නේෂන් ආටිකල් එකට vote එකකුත් දාන්න. :-) ලකුණු 1-5 දෙන්න පුළුවනි.

      ඉතුරු එව්වා ලබන සතිවල එනවා. ඉංග්‍රීසි සෙට් එක නම් ලියලා ඉවරයි. සිංහල එව්වා නම් ලියන්න තියෙනවා.

      Delete
    2. ඕන්න දැම්මා වෝට් එකක් :)

      Delete
  2. එල පෝස්ට් එක.. ඔන්න කියෙව්වා..!

    ReplyDelete
  3. මං හිතන් හිටියෙ මාවෝවාදීන් කියන්නෙ තහනම් සංවිධානයක් නෙවෙයි කියල.. ලංකාවෙ JVP එක වගේ විප්ලව වාදී කණ්ඩායමක් කියල විතරයි..
    ස්තූතියි දැනුම බෙදා ගන්නවාට!

    ReplyDelete
    Replies
    1. මාවෝවාදී කණ්ඩායම් ගණනාවක් තියෙනවානේ. එයින් දෙකක් නැත්නම් තුනක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වුනා. නමුත් ඔක්කොම නැක්සලයිට් කණ්ඩායම්වලින් දෙක තුනක් කියන්නේ අතලොස්සක්. ඉතිහාසය පුරාවට ක්‍රියාත්මක වෙච්ච මුළු නැක්සලයිට් කණ්ඩායම් ගණන පනහකට කිට්ටුයි.

      Delete
  4. මට තියෙන ප්‍රශ්නය තමයි නැක්සලයිට්වරු මර්දනය කරන්න ඉන්දීය රජය ගන්න පියවර ටැමිල් නෙට් එක දැඩි ලෙස හෙලා දකින්නේ ඇයි කියලා? නැක්සල්වාදීන් සැබෑ මාවෝවාදීන් නම් ඇයි එහෙම වෙන්නේ? රතු කොරිඩෝව කියන්නේ මොවුන් විහිදිලා ඉන්න ප්‍රදේශ වලට නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. රතු කොරිඩෝව කියන්නේ එහෙම ප්‍රදේශවලට දාපු නම තමයි. මාධ්‍යවේදියෝ තමයි එහෙම නමක් දාලා තියෙන්නේ.
      මතවාදීව නම් LTTE සහ මාවෝවාදීන් අතර ලොකු සමානකමක් නැහැ. නමුත් ප්‍රධාන නැක්සලයිට් කණ්ඩායම LTTE එක කරපු සටන එක්ක එකඟයි. තමාගේ සතුරාගේ සතුරා තමාගේ මිතුරාය කියන අදහස එතන තිබුනේ. අනික උන් විශ්වාස කළා LTTE කියන්නේ ජාතික විමුක්ති ව්‍යාපාරයක් කියලා.

      http://www.openthemagazine.com/article/nation/we-shall-certainly-defeat-the-government

      Delete