Wednesday, January 9, 2013

ඇමරිකාවේ මීළඟ ආරක්ෂක ලේකම් චක් හේගල් ද?



ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් තමන්ගේ මීළඟ ආරක්ෂක ලේකම් ලෙස චාර්ල්ස් තිමති (චක්) හේගල් මහතා යෝජනා කර තිබේ. කෙසේ වෙතත් මෙම යෝජනාවට එරෙහිව දැඩි විරෝධතාවයක් රිපබ්ලිකානු පක්ෂය දෙසින් එල්ල වෙමින් පවතී. විවේචකයින් පවසන්නේ ඔහු ඊශ්‍රායලය කෙරෙහි ලිහිල් මදි බවත් ඉරානය කෙරෙහි ලිහිල් වැඩි බවත්ය. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ ඔහු විවේචනය කරන්නන් ඒ සඳහා පාදක කරගන්නේ, ඇමරිකානු සෙනට් මණ්ඩලයේ නෙබ්‍රස්කා ජනපදයෙහි හිටපු රිපබ්ලිකානු සෙනට් සභිකයකු ලෙස ගතකල සමයෙහි ඔහු ඉදිරිපත් කල අදහස් වීමයි.

චක් හේගල් උපන්නේ 1946 ඔක්තෝම්බර් 4 වනදා නෙබ්‍රස්කාවේ නෝර්ත් ප්ලැට් නම් කුඩා නගරයේය. ඔහුගේ පියා ජර්මන් සම්භවයකින්ද මව පෝලිෂ් සහ අයිරිෂ් සම්භවයකින්ද යුතු වූහ. 1967 දී වියට්නාමයේ යුධ මෙහෙයුම්වලට සම්බන්ධ වූ හේගල් එහිදී තුවාල ලබා දෙවරක්ම "පර්පල් හාට්" සම්මාන දිනා ගත්තේය. මෙය මේ වනවිට ඔහුට සහාය දක්වන්නන් ඉදිරිපත් කරන එක් කරුණකි.

චක් හේගල්, ඇමරිකානු සෙනට් සභිකයකුව සිටි සමයේ ගත් නිල ඡායාරූපය, Wikimedia Commons.



යුධ සේවයෙන් පසුව යලි සියරට පැමිණි හේගල් ව්‍යාපාරිකයකු වශයෙන් නමක් දිනාගනිමින් සැලකියයුතු ධනයක් එක්රැස් කරගත්තේය. මේ අතර 1980 වසරේ රේගන් ජනාධිපති සටනට ඔහු දායක විය. හේගල් දේශපාලනයට පැමිණියේ 1996 වසරේ ඇමරිකානු සෙනට් සභාවට තරඟ කිරීමෙනි. එහිදී ඔහු වසර 24 කට පසු නෙබ්‍රස්කාව නියෝජනය කරමින් සෙනට් සභාවට පත් වූ පළමු රිපබ්ලිකානුවා බවට පත් විය. 2002 වසරේ නැවත එම තනතුරට තරඟ කල හේගල් එවර ලබාගත් 82.8% ඡන්ද ප්‍රතිශතය නෙබ්‍රස්කාවේ කිසිදු ඇමරිකානු සෙනට් සභා තරඟයකදී ලැබුවාට වඩා වැඩි ප්‍රතිශතයකි.

ඉරාක ආක්‍රමණයට මුලදී පක්ෂ වූ හේගල්, පසුව එහි නියම තතු හෙලි වනවිට ඉරාක යුද්ධයට විරුද්ධව මත පල කිරීමට වූයේය. 2005 වසර වෙද්දී ඔහු රිපබ්ලිකානු ආණ්ඩුවේ ඉරාක ප්‍රතිපත්තිය තදබල ලෙස විවේචනය කරන්නකු බවට පත් වී තිබුණි. එම වසරේ අගෝස්තුවේදී ඉරාක කැරලිකරුවන් පරාජය වීමට ආසන්න බව උප ජනාධිපති ඩික් චේනි කල ප්‍රකාශය හේගල් විසින් ප්‍රසිද්ධියේ හාස්‍යයට ලක් කරන ලදී. "ආණ්ඩුවෙන් ප්‍රශ්න ඇසීම දේශද්‍රෝහීකමක් නොවේ. ප්‍රශ්න නෑසීමයි දේශද්‍රෝහීකම" වරක් ඔහු ප්‍රකාශ කළේය. ඉරාකයේ කල සංචාරවලින් පසු ඔහුගේ විවේචන තවත් ඉහල ගියේය. 2007 වසරේදී ඔහු ප්‍රකාශ කලේ පසුගිය වසර 40 ක කාලය තුල ඇමරිකාවේ පැවති නරකම ආණ්ඩුව බුෂ් පාලනය බවයි.

ඊශ්‍රායලය සම්බන්ධයෙන්ද හේගල් බුෂ් පාලනය විවේචනය කරන්නට පසුබට වූයේ නැත. වෙසෙසින්ම, 2006 දී ඊශ්‍රායලය විසින් ලෙබනනයට පහර දෙන අවස්ථාවේ ඔහු ප්‍රකාශ කලේ දෙපක්ෂයේම මිනිසුන් නිරපරාදේ මරණයට පත් වනු වැළැක්වීම සඳහා බුෂ් පාලනය විසින් සටන් විරාමයක් ඇති කරන ලෙස බල කලයුතු බවයි. නමුත් ඒ පිලිබඳ කිසිවක් බුෂ් පාලනයෙන් සිදු කෙරුනේ නැත.

හේගල් විසින් 2008 වසරේදී කරනු ලැබූ ප්‍රකාශයක් අද ඔහුගේ විරුද්ධවාදීන්ගේ ප්‍රධානතම අවිය බවට පත්ව ඇත. එම අවස්ථාවේ ඔහු ප්‍රකාශ කලේ යුදෙව් සභාකක්ෂ මන්ත්‍රකයින් (Jewish Lobby) මෙහි (ඇමරිකාවේ) සිටින බොහෝ දෙනා බයගන්වන බවයි. (දේශපාලනයේදී සභාකක්ෂ මන්ත්‍රණය (Lobbying) යනු යම් කරුණක් සම්බන්ධව උනන්දුවක් දක්වන අය විසින් එම අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස රාජ්‍ය ප්‍රතිපත්ති තීරකයන්ට බලපෑම් කිරීමයි). කෙසේ වුවද, ඇතැම් මධ්‍යස්ත මතධාරී යුදෙව්වන් පවා මෙම Jewish Lobby යන වචනය භාවිතා කර ඇත. එමෙන්ම මධ්‍යස්ත යුදෙව් නායකයන් ඇතැම්විට ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති විවේචනය කල අවස්ථාද ඇත්තේය. අනෙක් අතට, හේගල් යුදෙව් ජාතිකයන් සමඟ යහපත් සම්බන්දතාවක් පවත්වන බව යුදෙව් නායකයන් සමහරක් දෙනා ප්‍රකාශ කොට ඇත. ඊශ්‍රායලයේ හිටපු නාවික හමුදාපතිවරයෙකුද ප්‍රකාශ කරන්නට යෙදුනේ හේගල් ඊශ්‍රායලයේ මිතුරකු බවයි.

ඇතැම් විචාරකයින්ගේ මතය වන්නේ චක් හේගල්ට එරෙහි මෙම "යුදෙව් විරෝධය" නිකම්ම මඩ ප්‍රහාරයක් බවයි. මෙහි ඇතුලත කතාව ලෙස ඔවුන් දකින්නේ ඔබාමා පරිපාලනයට යුධ වියදම් අඩු කිරීමට ඇති අවශ්‍යතාවයයි. මේ වනවිට ඇතැම් යුධවාදීන් ඉරානයට එරෙහිව පිළිබඳව නන් දොඩන්නේ ඉරාකයේ සහ ඇෆ්ඝනිස්තානයේ යුද්ධ සාර්ථක වූ බව සලකාගෙන මෙන් පෙනේ. මෙම යුද්ධ බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් අවසන් නොවූවා පමණක් නොව ඊට ගිය වියදම ඇමරිකානු ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් කොට ඇත. නමුත් රිපබ්ලිකානුවන් බොහෝ දෙනෙකු එය පිළිගැනීමට සූදානම් නැත.

ඔබාමා පාලනය දැන් උත්සාහ කරන්නේ යුධ වියදම් අඩු කරගැනීමටය. මේ බව ලිබියාව සහ සිරියාව වැනි රටවලදීද පැහැදිලි විය. ලිබියාවේ ගඩාෆි විරෝධී සටනට ක්‍රියාකාරීව සහය දුන්නේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයයි. සිරියාවේ විපක්ෂයටද ආධාර කරන්නට මූලික වී ඇත්තේ යුරෝපා රටවල්ය. යුධ වියදම් අඩු කරගන්නට තමාට උපකාර කරන්නෙකු ආරක්ෂක ලේකම් තනතුරට ජනාධිපතිවරයා විසින් යෝජනා කොට ඇත. යුධවාදීන් හේගල්ට විරුද්ධව යුධවදින්නට පටන්ගෙන ඇත්තේ මේ තත්ත්වය තේරුම් ගැනීම හේතුවෙනි.

9 comments:

  1. ඔබාමා කියන්නේ බුෂ්ට වඩා ටිකක් නැමෙන සුලු නායකායක්.රටේ ජනාධිපතිවරු ඇමෙරිකන් ආධිපත්‍යය ජදිරියට ගෙන යාමට ඇප කැප වී සිටිනවා.විශේෂයෙන් රොම්නි ජනාධිපතිවරණය පවත්වන කාලයේදි කරන ලද කතාවලිදි පැහැදිලි වූයේ ඔහු ගෝලීය අධිරාජ්‍ය වෙනුවෙන් ඇප කැප වෙන සුවච කීකරු සේවකයෙක් බව ඔබාමාට වඩා.ඔබාමා අනුගමනය කරන්න උත්සහා ගන්නේ යුධ ප්‍රතිපත්ති වලට වඩා යටි කුමණ්ත්‍රණ

    ReplyDelete
    Replies
    1. එහෙම බලනකොට ඔබාමා ජනාධිපති වුන එක ඇමරිකාවට හොඳයි. නැත්නම් ඉතින් ඔච්චර සල්ලි කොහෙන්ද ලෝකේ වටේ යුද්ධ කරන්න? ඒ යුද්ධවලින් ප්‍රතිලාභයක් වුනෙත් නැහැනේ අන්තිමට.

      Delete
  2. යුද්ධ අඩුවෙනවා නං කවරු පත් වුනත් කමක් නැහැ..

    ReplyDelete
    Replies
    1. කවුරු පත් වුනත් යුද්ධ අඩු වෙන්නේ නැත්නම්?

      Delete
  3. ගොඩක්ම සංවේදී උනත් කරන්න බෑ.. අවස්ථානුකූල වෙන්න ඕන නායකයෙක් උනාම.. ඔබාම නම් බුෂ්ට වඩා සංවේදියි.. ඒත් සමහර කරුණු අතින් දුර්වලයි..

    ReplyDelete
    Replies
    1. කොයි කවුරු වුනත් කරන්නේ දේශපාලනය නේ යසිත්.
      ඔයා කැමති නම් මම නොවැම්බර් මාසේ ලියාපු "මිට් රොම්නි ජනපති ඔබාමා හමුවේ පරාජය වුනේ ඇයි?" පෝස්ට් එක කියවන්න. ඒකෙ මම කියලා තියෙනවා ඔබාමා වඩා සාර්ථක වෙන්න හේතු කීපයක්.

      Delete
  4. ඇමෙරිකාව දැන් දැන් හුඟක් වියදම් කපා හරින්න උත්සාහ කරන්නේ මොකද..? පහුගිය කාලේ අභ්‍යවකාශ කටයුතු වලටත් යන වියදම් අඩු කරන්න යන කතාවක් තිබුන නේද.. ඇමෙරිකාව යුද්ද කර කර ඉන්න අතරේ චීනය වගේ රටවල් ආර්ථික යුද්ධය මගින් වෙන රටවල් අල්ලා ගනිමින් ඉන්න නිසාද..
    මොනවා වුනත් යුද්ධ නැති වෙන එක නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. චීනය ආර්ථික යුද්ධය පටන් අරන් දැන් ගොඩක් කල් වෙනවා. 1993 අවුරුද්දේ චීනය තෙල් අපනයනකරුවෙකුගෙන් ආනයනකරුවෙකු බවට පත් වුනා. එයාලා ඒ කාලේ ඉඳන්ම බටහිර ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් එක්ක සම්බන්දකම් පටන් ගත්තා. ඇමරිකාව එව්වා අමතක කළා නෙවෙයි. නමුත් ඇමරිකාවට 2001 න් පස්සේ ගොඩක් වෙන වෙන ප්‍රශ්න (යුද්ධ) නිසා ආර්ථික යුද්ධය දෙවැනි තැනට පත් වුනා. සෝවියට් දේශය වැටුනම ඇමරිකාව හිතුවා දැන් අපි තමයි ලෝකෙට ලොක්කෝ කියලා. ඒ අය හිතුවේ නැහැ චීනය, රුසියාව වගේ රටවල් නැගිටලා එයි කියලා.

      අනික ඇමරිකාවේ රාජ්‍ය වියදම වැඩියි. යුද්ධය නිසා බොහොම වියදම්. ඍජු සහ වක්‍ර වියදම් ගණන් හදලා 2001 ඉඳන් ඇෆ්ඝන්-ඉරාක යුද්ධවල වියදම ඩොලර් ට්‍රිලියන 3 ක් බව නොබෙල් සම්මානලාභී ආර්ථික විද්යාවේදියෙකු වන ජෝසෆ් ස්ටිග්ලිට්ස් සහ මහාචාර්ය ලින්ඩා බිල්ම්ස් 2008 ලියාපු "The Three Trillion War" පොතේ සඳහන්.

      ඇමරිකාවේ රාජ්‍ය ණය සැලකියයුතු ප්‍රමාණයක් තියෙනවා. යුද්ධ වියදම්වලින් ඒක වැඩි වෙනවා. අභාවකාශ ගමන්වලටත් කරන වියදමට සාපේක්ෂව ප්‍රතිලාභ අඩු බව තමයි කියන්නේ. ඉස්සර හඳට යන ඇපලෝ මෙහෙයුම් නැවැත්තුවෙත් ඒ නිසා.

      Delete
    2. විස්තරයට ස්තුතියි :)

      Delete