Tuesday, January 8, 2013

ODESSA සංවිධානය සහ "හිට්ලර්ගේ SS හමුදාව"



මෑතකදී පරිවර්තන සාහිත්‍යය පිළිබඳ ඇති වුන සංවාදයකදී මා ඉදිරිපත් කරපු කරුණක් වුනේ, පරිවර්තන කෘතියකට නමක් දැමීමේදී ආකර්ෂණීයභාවය පමණක් නොව එම නමෙහි අදාලත්වය සහ නිරවද්‍යභාවය සැලකිය යුතුවන බවයි. විශේෂයෙන්ම එය පරිවර්තනයක් විට මුල් කතෘවරයාටත් සාධාරණය ඉටු විය යුතුයි. එදින අපගේ සාකච්ඡාවට යොමු වුනේ නම් අද මම කතා කරන කෘතිය නෙවෙයි.

අභය හේවාවසම් මහතා අපේ රටේ සිටි ප්‍රවීන පරිවර්තකයෙක්. අවාසනාවකට ඒ මහතා අද අප අතර නැහැ. නමුත් සිංහල සාහිත්‍යට වැදගත් පොත් කිහිපයක්ම එතුමා එකතු කළා. විශේෂයෙන්ම, මට මතක විදියට එතුමාගේ පළමු පරිවර්තනය වුනු "වීර දිවයින" (Brave Island) අපේ රටම ගැන ලියවුනු ඓතිහාසික නවකතාවක්. එවැනි පොත් සිංහල පාඨකයාට හඳුන්වා දීම පැසසිය යුතුයි. ඒ වගේම මා ෆෙඩ්රික් ෆෝර්සයිත්ගේ කතාවල රසිකයෙක් බවට පත් වුනේ එතුමා පරිවර්තනය කරපු "වෘකයාගේ දවස" (The Day of the Jackal) කියවලා. බලන්න මේ පොත් දෙකේදීම එතුමා ඉංග්‍රීසි නම එහෙමම සිංහලයට අරගෙන තියෙනවා. එහෙම කරන්නටම අවශ්‍ය නැහැ. නමුත් එහෙම වුනා කියලා පොතට හානියක් වෙලා නැහැ. ඒ පරිවර්තන කෘති දෙකම මම ඉහලින්ම රස වින්දා.

කෙසේ වුනත්, පසුකාලීනව එතුමා කරපු ඇතැම් පරිවර්තන මුල් කාලයේ පරිවර්තන තරම් රසවත් වුනේ නැහැ. ඒ වගේම ඇතැම්විට යොදාගත්තු නම් පවා ප්‍රශ්න සහගතයි. Harry Potter and the Philosopher's Stone කියන පොතට "හැරී පොටර් සහ මායාගල" කියන නම යොදාගැනීම පිළිබඳව තමයි මම අර මුලින් කියාපු සංවාදය ඇති වුනේ. Philosopher's Stone යනු සිතුමිණ, චින්තාමාණික්‍යය ආදී වශයෙන් හඳුන්වන වස්තුව බව මගේ දැනුමයි. එවන් වස්තුවකට "මායාගල" කීම කෙතරම් උචිතද යන්න මට ගැටලුවක් වුනා. මා ඉදිරිපත් කල අදහස වුනේ, එවැනි නමක් යොදාගැනීම මගින් පරිවර්තකයා අදාළ විෂයය පිළිබඳ මනා අවබෝධයකින් තොරව පරිවර්තනය කල බව පෙනෙන බවයි. යම් පරිවර්තනයක් කරන්නේ නම් අදාළ විෂයය පිළිබඳ තරමක හෝ අදහසක් තිබිය යුතුයි. එසේ නොමැති වූ විට සිදු වන අසාර්ථක පරිවර්තනයන් අප දැක තිබෙනවා.

එවැනිම තවත් නමක් තමයි "හිට්ලර්ගේ SS හමුදාව" කියන නම. මේ ෆෙඩ්රික් ෆෝර්සයිත්ගේ දෙවන ප්‍රබන්ධ කෘතිය වූ The Odessa File පොතේ පරිවර්තනයක්. (ෆෝර්සයිත්ගේ පළමු ප්‍රබන්ධ කෘතිය තමයි The Day of the Jackal පොත). මේ නම බැලූ බැල්මට ලොකු අවුලක් නැති බව පෙනුනත් මට නම් මුල පටන්ම පුංචි අවුලක් තේරුනා. මොකද SS හෙවත් Schutztaffel (ආරක්ෂක බලකාය) සංවිධානය 1945 දී තහනම් කෙරුනා. SS සංවිධානයට හමුදා අංශයක්ද තිබුනා (Waffen SS). එයද 1945 දී තහනම් කෙරුනා. SS නායකයා වූ හයින්රිච් හිම්ලර් සියදිවි නසාගත්තා. හිට්ලර්ද දිවි නසාගත් බව විශ්වාස කෙරෙනවා.

ඩචාවු ආරක්‍ෂිත රැඳවුම් කඳවුර නිරීක්ෂණයට හිම්ලර් පැමිණෙයි (මැයි 8, 1936) ඡායාරූපය ෆෙඩ්රික් ෆ්‍රාන්ස් බවර්, ජර්මන් ෆෙඩරල් ලේඛනාගාරය. Bundesarchiv, Bild 152-11-12 / CC-BY-SA, Wikimedia Commons



SS සංවිධානය පටන් ගත්තේ 1920 ගණන්වල හෙවත් ශාලා ආරක්ෂකයින් ලෙස (Saal Schutz). ඒ කාලයේ බොහෝවිට නාසි පක්ෂයේ රැස්වීම් තිබුනේ බීර ශාලාවල නේ. ඒ නිසා එහි ආරක්ෂාවට යොදාපු භටයින් තමයි පසුව SS සංවිධානය විදියට විකාශය වුනේ. මෙය දැඩි නාසි මතධාරී, විශේෂ හමුදාවක්. මේ SS සංවිධානය තමයි බොහොමයක් යුධ අපරාධ සිදු කලේ (සාමාන්‍ය ජර්මන් යුධ හමුදාව නෙවෙයි). Waffen SS සංවිධානය දෙවන ලෝක යුධ සමයේ ඩිවිෂන් 38ක් දක්වා වර්ධනය වුනා. එම සංවිධානයට ප්‍රධාන අංශ තුනක් තිබුනා. ඒ ලීබ්ස්ටන්ඩාර්ටේ (Leibstandarte) හෙවත් හිට්ලර්ගේ පෞද්ගලික ආරක්ෂක ඩිවිෂනය, Totenkopfverbände හෙවත් 'මාරයාගේ හිස' බටැලියන් (වද කඳවුරු පාලනය කලේ මේ අංශයයි) සහ Verfügungstruppe සාමාන්‍ය හමුදා අංශයයි. පැන්සර් හෙවත් යුධ ටැංකි ඩිවිෂනවල සිට පාබල ඩිවිෂන දක්වා විවිධ අංශ මේ අතර වුනා.

ODESSA සංවිධානය යනු Organisation der ehemaligen SS-Angehörigen (පැරණි SS සාමාජිකයන්ගේ සංවිධානය) නම් සංවිධානයක්. එතැනින්ම කියවෙනවා එය හමුදාවක් නොව පැරණි සාමාජිකයන්ගේ එකමුතුවක් බව. එහි කෙටි කාලීන අරමුණ වුනේ පලායන සාමාජිකයන්ට ආරක්ෂාව සහ පලායාමට මාර්ග සැලසීම. දිගු කාලීන අරමුණ වුනේ හතරවැනි රයිෂයක් පිහිටුවීම. (හිට්ලර්ගේ ජර්මනිය තුන්වන රයිශය ලෙස හඳුන්වනු ලැබුනා) නමුත් මෙම සංවිධානය ඇත්තටම පැවතියේද යන්න විවාදයට හේතු වූ මාතෘකාවක් වුනා. ඇතැම් පැරණි භටයන් සමහරෙක් එවන් සංවිධානයක් නොපවතින බව දැඩි සේ ප්‍රකාශ කළා. නමුත් එය ගෙඩි පිටින් විශ්වාස කිරීම "හොරාගෙන් පේන අහනවා වගේ" වැඩක් වුනත්, සංවිධානයේ ඇත්තම ස්වභාවය පිළිබඳව නම් හරි වැටහීමක් නැහැ. ඇතැමුන් විශ්වාස කරන්නේ එය ලොව පුරා එක ජාලයක් ලෙස පවතින බව. තවත් සමහරෙක් කියන්නේ එය තනි කණ්ඩායමක් නොව කණ්ඩායම් කිහිපයක් බව.

ලෝක ප්‍රසිද්ධ නාසි දඩයක්කරුවෙකු (Nazi Hunter) වූ සයිමන් විසෙන්තාල් සඳහන් කරන පරිදි ODESSA සංවිධානය බිහි වුනේ 1946 දී. නමුත් ඇතැම් මතයකට අනුව, යුද්ධයේ අවසන් කාලය වනවිට මේ සඳහා පිඹුරුපත් සකස් වෙමින් තිබුනා. එය එසේ වී නම් ඒ හිට්ලර්ගේ යුධ ක්‍රමවේදයට ඉඳුරාම වෙනස්. යුද්ධයෙන් පරාජය වෙද්දී හිට්ලර්ට අවශ්‍ය වුනේ වැනසෙනවා නම් සියල්ලම වනසාගෙන වැනසෙන්නටයි. 1944 වසරේදී පැරිස් නගරය අතහැර එන්නට පෙර එහි වැදගත් ස්ථාන සියල්ල (අයිෆල් කුලුන පවා) විනාශ කරන්නට ඔහු විසින් නියෝග නිකුත් කිරීම ඊට හොඳ නිදසුනක්. (කියවන්න: 'Is Paris Burning?' by Larry Collins and Dominique Lapierre) ඒ වගේම ජෝකිම් ෆෙස්ට් (Joachim Fest) ලියූ der Untergang කියන පොත කියෙව්වොත් (හිට්ලර්ගේ අවසානය, පරිවර්තනය රන්ජිත් කුරුප්පු) හිට්ලර් අන්තිම කාලයේ හිටපු මානසිකත්වය ගැන කියවන්නට පිළිවන්. මේ පොත ලියූ ජෝකිම් ෆෙස්ට් තමයි හිට්ලර් චරිතය ගැන විශාල ප්‍රමාණයේ පොතක් රචනා කල පළමු ජර්මානුවා. ('Hitler' by Joachim Fest) අදත් ජර්මන් භාෂාවෙන් හිට්ලර් චරිතය ගැන ලියූ හොඳම පොත ලෙස ඇතැමුන් මෙය සලකනවා.

ස්පාඤ්ඤය, පෘතුගාලය වගේ රටවල් හරහා පැරණි SS සාමාජිකයන් ආර්ජන්ටිනාව ආදී ලතින් ඇමරිකානු රටවලට පලා ගියේ ODESSA සංවිධානයේ උදවු ඇතුව බවයි පැවසෙන්නේ. ODESSA නමින් සංවිධානයක් පැවතුනා හෝ නැතා හෝ ඊට සමාන සංවිධානයක් පැවතුන බව පෙනෙන්නට තියෙනවා. ඇතැම්විට යුද්ධය පවතින කාලයේදීම ඔවුන් මේ සඳහා මූලික කටයුතු කරගන්නට ඇති. සමහරුන්ගේ අදහස වන්නේ SS නායක හයින්රිච් හිම්ලර් ODESSA සංවිධානය බිහි කිරීමට සම්බන්ධ වූ බව. නමුත් එය පිළිගන්නට හැකි තරම් සාධක තවම ලැබී නැහැ. එයින් පෙනෙන්නේ මෙය හිට්ලර්ට පමණක් නොව හිම්ලර්ටද රහසෙන් සිද්ධ වුනු ක්‍රියාවලියක් බව. මම එහෙම හිතන්නේ යුද්ධය අවසන් වූ පසුව එවැනි සංවිධානයක් පිහිටුවීමට කටයුතු පටන් ගැනීම කිසිසේත්ම පහසු නොවන නිසා. හිතන්න, ජර්මනිය පුරාම මිත්‍ර හමුදා සේනාංක ඉන්නවා. පැරණි සාමාජිකයෝ අත් අඩංගුවේ; නැත්නම් සැඟවිලා. වැනි සංවිධානයකට මුදල් අවශ්‍යයි. පරණ ජර්මන් මුදල් දැන් වටිනාකමෙන් තොරයි. ඒ නිසා කලින්ම වෙනත් මුදල්වලින් හෝ රත්රන් වැනි දෙයකට පරිවර්තනය කොට විශාල මුදලක් ළඟ තබා ගැනීම අවශ්‍යයි. එවැනි අවශ්‍යතා යුධ පරාජයෙන් පසු ඉටු කරගන්නට අමාරුයි. සමහරවිට සංවිධානය ඇත්තෙන්ම පිහිටුවන්නට ඇත්තේ 1946 වසරේ. නමුත් ඒ සඳහා මූලික කටයුතු ඊට කලකට පෙර කෙරෙන්නට ඇති.

නොර්මන්ඩි වෙරළේදී අල්ලා ගන්නා ලද Waffen SS භටයින් පිරිසක්. (1944) එක්සත් ජනපද ලේඛනාගාරය, Wikimedia Commons



එහෙයින් ODESSA සංවිධානයට "හිට්ලර්ගේ SS හමුදාව" කියා නම් තැබීම සුදුසු නැහැ. ඇත්තෙන්ම එවැනි නමක් සුදුසු වන්නේ Waffen-SS හමුදාව හෝ අඩුම තරමේ SS සංවිධානය හෝ ගැන ලියවුනු පොතකට. මම ඉංග්‍රීසි පොත කියවා නොතිබුනා නම් මටත් පොත අතට ගත්තු ගමන් හිතෙන්නේ මේ දෙවන ලෝක යුද්ධය ගැන ලියවුනු පොතක් බව. නමුත් ඒ සංවිධාන දෙකම 1945 දී විනාශ වුනා. ඒ නිසා ඒ නම පොතට එතරම් සුදුසු වන්නේ නැහැ. ඒ වෙනුවට "හිට්ලර්ගේ රහස් හමුදාව" වගේ නමක් දැම්මා නම් වඩා සුදුසු මෙන්ම ආකර්ෂණීය වන්නටද තිබුනා. SS හමුදාව ගැන නොදන්නා කෙනෙක් වුනත් රහස් මෙහෙයුම් ගැන කියවන්නට අකමැති වන්නේ නැහැ නේ!



(හේවාවසම් මහතාගේ මුල් පරිවර්තන එක්ක බැලූ විට මේ පොත අසාර්ථක පරිවර්තනයක් බව මගේ අදහසයි. සමහරවිට ඊට හේතු වන්නට ඇත්තේ මම ඉංග්‍රීසි පොත කියවා තිබූ එකයි. ඒ ගැන දිනේෂ් අයියාගේ සත්සමුදුර බ්ලොග් එකේ ලිපියක විස්තරයක් ලඟදි පළවුනා)

13 comments:

  1. ඕ.. මං කිව්වේ මං ඊයේ ගියා කියලා පොත් බලන්න.මං දැක්කනේ ඔය පොත තියෙනවා.දැන් මේ ලිපිය කියවද්දියි මට මීටර් උනේ

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි පොත නෙවෙයි නේ?
      ඉංග්‍රීසි පොත මම යාලුවෙක්ගෙන් තමයි ඉල්ලාගෙන කියෙව්වේ. පරණ පොත් කඩවල බලාපු වෙලාවල්වල තිබුනේ නැහැ.

      Delete
  2. මේ පොත් පත්වල තියෙන්නෙ යුද්ධය ගැන එක් පැතිකඩයක් පමණයි..මමනම් මේ ජාතියෙ පොත්වලට ඒතරම්ම මනාප නැහැ..

    ReplyDelete
    Replies
    1. මේ පොත්වලින් කරන්නේ ත්‍රාස රසය ඉස්මතු කරන එක. යුද්ධයේ නරක පති කතා නොකරනවා නෙවෙයි.
      යුද්ධවල නරක ගැන කියවන්න ඕන නම් හොඳම පොත එරික් මාරි රෙමාර්ක් ලියපු "All Quiet on the Western Front" නැත්නම් බටහිර පෙරමුණ නිහඬය කියන පොත වෙන්න ඇති.

      Delete
  3. කොහෙන්ද අෆ්ෆා මෙච්චර විස්තර.. චාමර සමාජවාදියෙක් කියලයි මට නම් හිතෙන්නෙ...
    මං මේ වගේ ලිපි ඔක්කොම කොපි කරල තියා ගන්නව ඔයාගෙ.. දැනුම සාගරයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මෙන්න ටිකක් දිග උත්තරයක්.

      මම කිසිම 'වාදියෙක්' නෙවෙයි. බොරු කියන්න ඕන නැහැ, ඉස්කෝලේ යන කාලේ නම් තදබල විදියට කොමියුනිස්ට් උන හැදිලා තිබුණා. පස්සේ තේරුනා ඒකත් වෙන ලෙඩ වගේම ලෙඩක් බව.
      මම හරි කියලා හිතන දේවල් මට හිතෙන විදියට තමයි ලියන්නේ. වාද ගැන හිතන්නේ නැහැ. ඒ සමහර දේවල් සමාජවාදී වගේ පේනවා ඇති. මොකද ධනවාදය එක්ක බලද්දී නම් සමාජවාදය හොඳ දර්ශනයක් බව මම පිළිගන්නවා. ඒ ඇරුනම මම බුද්ධාගම ඉගෙන ගන්නවා. ලංකාවේ ඉතිහාසයේ වැඩි දෙනා කතා නොකරන දේවල් ගැන හොයන්නත් ආසයි. (රාවණා ගැන නම් නෙවෙයි. ඒකට රාම-රාවණා යුද්දෙදි රාවණාට හිටියටත් වැඩි පිරිසක් දැන් ඉන්නවා නේ?)
      ඒ වගේම මම මේ ඔක්කොම ලියන්නේ අර "මගේ 50 වෙනි පියවර" ලියද්දි කියපු කරුණු තුන අරමුණු කරගෙන.

      මට අද වැරදිලා මගේ නැක්සලයිට් ගැන භාගෙට ලියාපු ලිපියක් පබ්ලිෂ් වුනා. ඒක කියෙව්වොත් නම් මම සමාජවාදියෙක් කියලා හිතෙන්න පුළුවන් :-) මේ ඉරිදට තමයි ඒක පබ්ලිෂ් කරන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා.

      "මෙච්චර දේවල් දන්නේ කොහොමද?" ඒ ප්‍රශ්නෙටත් තව ටික දවසකින් භාගෙට උත්තරයක් දෙන්නම්. "අපට වෙච්ච දේ 009" ලියන්න ඉන්නේ ඒ ගැන. දැන් ඊට වැඩිය දේවල් තියෙනවා ලියන්න. අනික ඒකට හරියන පින්තූරයක් ගන්නත් ඕන.

      මම ගොඩක් කියවන කෙනෙක්. ඉන්ටර්නෙට් නැති කාලේ නම් පොත්ම තමයි. මේ ලිපියේ මම ලියලා තියෙන ජෝකිම් ෆෙස්ට්ගේ "හිට්ලර්" පොත ඇරුනම අනික් ඔක්කොම මම කියවාපුවා. මම විකිපීඩියාව උදව් කරගන්නවා තමයි. නමුත් ඒක පාදක කරගෙන ලියන්නේ නැහැ. මම ලියන්නේ මම කියවපු පොත් හෝ ලිපි ආශ්‍රයෙන්. ගොඩක් වෙලාවට ඒ පොත් මගේ ළඟ තියාගෙන තමයි මම ලියන්නේ. ලංකාවේ සිංහල පත්තරවල පලවෙන එව්වා හොයන්නේ බලන්නේ නැතුව දාන්නේ නැහැ. සම්පූර්නෙන් වැරදියට පරිවර්තනය කරපු ලිපි ලංකාවේ ප්‍රසිද්ධ පත්තරවල මම දැකලා තියෙනවා. ඒ සමහර ලිපි ලියපු අය අදත් ඒ පත්තරවල ඉන්නවා මම හිතන්නේ.

      මම ඕනෑම කාලෙක ලියන එව්වා බලලා මේ කාලේ මම කියවන්නේ මේ වගේ පොත් කියලා කියන්න පුළුවන් (දැන් නම් ඉන්ටර්නෙට් තියෙන නිසා මම කියවන්නේ පොත්ම නොවෙන්නත් පුළුවන්)

      පින්තූර හොයන්න නම් පහසුම තැන විකිපීඩියාව තමයි. ඒ ඇරුනම මම කොහේ හරි ගියාම පින්තූර ගන්නවා. තැනකට ගියාම එතන විස්තර තියෙන පුවරුවලත් ෆොටෝ අරන් එන එක මගෙත්, මම දන්නා තව කීප දෙනෙක්ගේත් පුරුද්දක්. ඒත් මම පිටරට ගිහින් නැහැ නේ. එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් තමයි පින්තූර ගන්න වෙන්නේ. ඉඳලා හිටලා යාලුවන්ගෙන් ඉල්ලා ගන්නවා. ඒ පින්තූර පාවිච්චි කරලා තවම ලිපි ලිව්වේ නැහැ. ඉදිරියට ලියන්න ඉන්නවා, බර්ලින් නගරය ගැන.

      Delete
  4. මම නම් කියවලා නෑ මේ පොත්. තොරතුරු ටික නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා!
      පොත් ටිකත් පංකාදුයි. "මායාගල" නම් මම ඔක්කොම කියෙව්වේ නැහැ. ඔය පොත් ඔක්කොම ලංකාවේ හොයාගන්න තියෙනවා. ජෝකිම් ෆෙස්ට්ගේ "හිට්ලර්" ඇරෙන්න.
      Odessa File ඉංග්‍රීසි පොතත් කොහේ හරි තියෙන්න ඕන.

      Delete
  5. හොයාගෙන කියවන්න වටිනා පොත් පෙළක්. තාම කියවල නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉංග්‍රීසි පොත් ටික කියවන්න ලැබුනොත් නම් ගොඩාක් හොඳයි. ඒවා ලැබුනේ නැත්නම් අඩු ගන්නේ සිංහල පොත් ටික හරි හොයාගෙන කියවන්න වටිනවා.

      Delete
  6. Frederick Forsyth ගේ the day of the jackal පොතේ සිංහල පරිවර්තනය තමයි මේ දිනවල කියවන්නේ.Frederick Forsyth ගේ පොතක් කියවන පළමුවන අවස්ථාව වගේම එම පොතේ සිංහල පරිවර්තක වන අභය හේවාවසම් මහත්තයාගේ පරිවර්තනයක් කියවන පළමු අවස්ථාව.

    Frederick Forsyth ගේ තවත් පොත් ගැන සොයමින් ඉන්න කොට තමයි මේ පොස්ට් එක හම්බු වුනේ.යුද්දෙට අකමැති වුනත් හිට්ලර්ගේ කතා වලට මම ආසයි.

    චාමරට යෝජනා කරන්න පුලුවන්ද Frederick Forsyth ගේ තවත් හොඳ පොත් ටිකක සිංහල පරිවර්තන ටිකක් හරියට "වෘකයාගේ දවස"වගේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පොත් පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් එව්වා හොඳද නරකද කියන්න මම දන්නෙ නෑ. නමුත් මේ වෘකයාගෙ දවස පරිවර්තනය සුපිරි. ඔඩෙස්සා ෆයිල් පරිවර්තනය නම් එච්චරම සුපිරි නෑ...

      මම හිතන්නෙ ෆෝසයිත්ගෙ ගොඳම පොත් දෙක මේ දෙක වෙන්න ඕන​. "ද ෆිස්ට් ඔෆ් ගෝඩ්" කියන පොතත් හොඳයි. "Avenger" ඇරෙන්න ඔක්කොම මම ඉංග්‍රීසියෙන් කියෙව්වා... සිංහලෙන් කියවලා නෑ...

      Delete