Saturday, January 19, 2013

අපට වෙච්ච දේ 009: මගේ සිතියම් පොත්



මම අට වසරේ ඉන්න කාලේ වෙනකොට මට ලෝකේ බොහොමයක් රටවල අගනුවරවල්, ප්‍රධාන නගර, ලෝකයේ ප්‍රධාන සමුද්‍ර සන්ධි, දූපත්, ගංගාවල් ආදී එකී මෙකී නොකී බොහෝ දේවල් ගැන හොඳ මතකයක් තිබුනා. ඒ කාලේ මට එකසිය පනහකට වැඩිය රටවල්වල අගනුවරවල් මතකයි. ඒ ඒ රටවල් තියෙන තැන් පවා මතකයි. යාළුවන්ට පුදුමයි මම කොහොමද ඒවා මතක තියාගන්නේ කියලා. නමුත් මම කට පාඩම් කළා නෙවෙයි. ඒ සේරම ඔලුවේ තැන්පත් වෙලා තිබුනා. ඒ ඔක්කොම සිද්ධ වුනේ මගේ ළඟ තිබුන සිතියම් පොතක් නිසා. ඒ වගේම මට ඒ පොත ලැබුනේ මුද්දර එකතු කිරීමේ විනෝදාංශය නිසා.

දැන් මගේ ළඟ තියෙන සිතියම් පොතේ ඇතුළු පිටුවක්.



මට මුලින්ම සිතියම් පොතක් කියලා එකක් ලැබුනේ මම හතර වසරේ නැත්නම් පහ වසරේ ඉන්නකොට. ඒ අර ගුණසේන-ෆිලිප්ස් සිතියම් පොතේ ෆොටෝකොපි එකක්. නමුත් ඒකෙ කොළ අඩුයි; තිබුන සමහර එව්වා පැහැදිලිත් නැහැ. ඒ වෙලත් මම එකෙන් හොඳ ප්‍රයෝජනයක් ගත්තා. ඊට අමතරව අපේ තාත්තාට අයිති බිත්තියේ එල්ලන සිතියමකුත් තිබුනා. ඊට පස්සේ හය වසරේ විතර ඉන්නකොට මට ලේක් හවුස් සිතියම් පොතක් ලැබුනා අම්මාගේ 'විදේශ ආධාර' යටතේ. ඒ පොතේ නම් වැරදි ගණනාවක් තියෙනවා. සමහර විදෙස් නගරවල නම් වැරදියට ලියා තිබීම තමයි ලොකුම වරද. අනික සමහර නගර ලකුණු කරලා තියෙන්නේ තියෙන්න ඕන තැන්වල නෙවෙයි. ටිකක් එහා මෙහා වෙලා. ඒ වුනත් ඒ පොතෙනුත් ලොකු සේවයක් වුනා. ඒ ගැන පස්සේ කියන්නම්.

ඉස්සර මම මුද්දර එකතු කරන්න හරිම ආසයි. අලුත් රටක මුද්දරයක් ලැබුනහම ඒ රටවල විස්තර හොයාගන්න එකත් මගේ පුරුද්දක්. නමුත් ඒ කාලේ මට ඉන්ටර්නෙට් තිබුනෙත් නැහැනේ. ඉතින් සිතියම් පොත්, ගෙදර තිබුන වෙන වෙන පොත් තමයි පිහිටට ආවේ. හත වසරේ නැත්නම් අට වසරේ මුල කාලේ මට ලැබුනා Jersey (ජර්සි) කියලා රටක මුද්දරයක්. රැජිනගේ මුහුණේ රූපයක් වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි ඉහල තිබුන නිසා මට තේරුනා මේ බ්‍රිතාන්‍යයට අයිති රටක් බව. නමුත් සීතලට අඳින ජර්සි ඇරුනහම වෙන ජර්සියක් ගැන මම අහලා තිබුනෙත් නැහැ.

මේ වෙනකොට මගේ ෆොටෝකොපි සිතියම් ටික අස්ථානගත වෙලා. ලේක් හවුස් සිතියම් පොතේ බැලුවට ඒකෙ මට ජර්සියක් හම්බ වුනේ නැහැ. අර බිත්තියේ එල්ලන සිතියම බිම දිගා කරලා එකේ දිගාවෙලා හෙව්වත් ජර්සියක් හම්බ වුනේ නැහැ. ඉතින් අසාර්ථක උත්සාහයකට පස්සේ මට තිබුන එකම විකල්පය තමයි විදේශ ආධාර ඉල්ලීම.

තාත්තාගෙන් ඇහුවහම මට කිව්වා නම් නිව් ජර්සි කියලා ජනපදයක් තියෙනවා කියලා. මගේ දැනුම කියන්නේ මම එහෙම දෙයක්වත් දැනගෙන උන්නේ නැහැ. නමුත් මම දැනගෙන හිටියා මම කතා කරන ජර්සිය අයිති බ්‍රිතාන්‍යයට කියලා. (රැජිනගේ මුහුණේ රූපය නිසා). නිව් ජර්සි ප්‍රදේශය ඉස්සර නම් අයිති වෙලා තිබුනා බ්‍රිතාන්‍යයට. (ඇමරිකාවේ ස්වීඩන් කොලනිය තිබුනෙත් එහෙ තමයි) නමුත් ඒ කාලේ මුද්දර කියලා ජාතියක් තිබ්බෙත් නැහැ. ඉතින් ඔන්න මාව අම්මා වෙත යොමු කෙරුනා. අම්මාගෙන් දැනගත්තෙත් නිව් ජර්සියක් ගැන විතරයි. දැන් ඉතින් මම දහ අතේ කල්පනා කරනවා මොකක්ද මේ ජර්සිය කියලා. අනිත් අතට මගේ ගොන් මොලේට වුනත් තේරුනා නිව් ජර්සියක් තියෙනවා නම් පරණ එකකුත් තියෙන්නත් එපැයි කියලා. (ඇත්තෙන්ම නිව් ජර්සියට නම දාලා තියෙන්නේ මේ මම දැන් කියන ජර්සිය සිහි කරලා තමයි. ඒ වගේම අපි අඳින ජර්සිය නම් කරලා තියෙන්නෙත් මේ කියන ජර්සිය සිහි වෙන්නම තමයි.)

ඊට පස්සේ, අපේ තාත්තා එයාගේ පරණ කබඩ් එක ඇදලා මට පිටු හතලිහක සිතියම් පොතක් අරන් දීලා ඒකෙ සූචිය බලන්න කිව්වා. මෙන්න බොලේ ජර්සි කියලා තැනක් තියෙනවා!

ජර්සිය ගැන කියන්න කලින් ඒ සිතියම් පොත ගැනත් කියන්න ඕන. ඒක එංගලන්තේ හොඳම සිතියම් පොත් ප්‍රකාශන සමාගමක් වෙච්ච ජෝර්ජ් ෆිලිප් සහ පුත්‍රයෝ සමාගමේ ප්‍රකාශනයක්. මේ සමාගමේ ඉතිහාසය 1834 තරම් ඈතකට දිව යනවා. එහි ආරම්භකයා වුනේ ජෝර්ජ් ෆිලිප් (1800-1882) කියන සිතියම් අඳින්නා. ඔහුගේ පුතාගේ නමත් ජෝර්ජ් ෆිලිප් (1823-1902). එයාවත් 1848 වෙද්දී මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගැනෙනවා. ඔවුන්ගේ ජෝර්ජ් ෆිලිප් පාසල් සිතියම් පොත (George Philip School Atlas) බොහෝ කලක් ලංකාවේ ජනප්‍රිය සිතියම් පොතක් වුනා. අපේ තාත්තාගේ සිතියම් පොත 1964 විතර මුද්‍රණය කල එකක්. ඒ පොත නම් පොඩි පොතක්. නමුත් ඊට වැඩිය ලොකු පොතුත් ඒ කාලේ මුද්‍රණය කළා. බිත්තියේ එල්ලන සිතියම් පවා ඒ කාලේ තිබුනා. මම කිව්වත් වගේ අපේ ගෙදර අදටත් තියෙන බිත්ති සිතියම ඒ ජෝර්ජ් ෆිලිප් සමාගමේ එකක්.

ගුණසේන සමාගමෙන් ප්‍රකාශයට පත් කල ගුණසේන-ෆිලිප්ස් සිතියම් පොතට අරගෙන තියෙන විදෙස් සිතියම් ජෝර්ජ් ෆිලිප් සමාගමේ ඒවා. ඒ පොතේ තියෙන මධ්‍යධරණී ප්‍රදේශවල සිතියම එහෙම අර පරණ පුංචි සිතියම් පොතේ තිබුන මම ආසම සිතියමක්.

හොඳයි, එතකොට කොහෙද මේ ජර්සිය තියෙන්නේ?

Europe-Jersey, Wikimedia Commons. ජර්සිය තියෙන්නේ මෙන්න මෙතන.



ජර්සි කියන්නේ ඉංග්‍රීසි ඕඩයේ පිහිටි චැනල් දූපත් කියන දූපත් වලින් එකක්. එය එක්සත් රාජධානියට අයිති නැති බ්‍රිතාන්‍යයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක්. විශාලත්වය වර්ග කිලෝ මීටර එකසිය දහ නවයයි. ජනගහනය ලක්ෂයක් පමණ. මේ දූපත 1940-45 කාලේ ජර්මනියට යටත් වෙලා තිබුනා. අගනුවර සාන්ත හේලියර්. ජර්සි දූපත එහි ඉන්න ජර්සි ගව ප්‍රභේදය නිසාත් ප්‍රසිද්ධයි. මේ දූපත බිත්තියේ එල්ලන සිතියමක හරි යුරෝපා මහාද්වීපයේ සිතියමක හරි වෙනමම දක්වන්න තරම් ලොකු දූපතක් නෙවෙයි. ඒ නිසා තමයි මෙච්චර වෙලා මට ඒක හොයාගන්න බැරි වුනේ.

Jersey herd at New Moor Farm, Walworth Gate, County Durham, England, May 2010, Wikimedia Commons. ජර්සි හරක් මෙන්න මෙහෙමයි.



දැන් මට තවත් කතාවක් මතක් වෙනවා. ඒ ආදි රසායනඥයන් (Alchemists) ගැන. ඔවුන් ඊයම් වගේ ලාබ ලෝහ රත්‍රන් බවට පත් කරන්න උත්සාහ කළා. ඒ වගේම, සදාකාලිකව තරුණ වෙලා ඉන්න බෙහෙතක් හෙව්වා. පුදුමයක් නෙවෙයි, ඒ දෙකම ඔවුනට ලැබුනේ නැහැ. එහෙත් ඔවුන් රසායන විද්‍යාව ගැන වෙනත් විවිධාකාර දේ හොයා ගත්තා. අර මගේ ළඟ තිබුන සිතියම්වල ජර්සි දූපත නොතිබුනාට (දූපතක් කියලා දැනගෙන හිටියෙත් නැහැනේ) ඒක හොයන්න ගිහින් මම ලෝකේ රටවල් ගොඩක් තියෙන තැන ඉගෙන ගත්තා. අලුත් සිතියම් පොත ලැබුනහම මම වැඩි වැඩියෙන් සිතියම් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. නැපෝලියන්ගේ යුද්ධ, ලෝක යුද්ධ ගැන එහෙම කියවන වෙලාවටත් ඒ පොත ළඟ තියාගෙන ඒ ඒ සටන් වෙච්ච තැන් ගැන හොයන්න පටන් ගත්තා. ඒ වගේම මම විකල්ප ඉතිහාස (Alternative Histories) ලියන්නත් පටන් ගත්තා. නැපෝලියන්ට වැරදුනේ නැත්නම් මොකද වෙන්නේ? හිට්ලර් පෝලන්තෙට ගහන්නේ නැතුව කෙලින්ම සෝවියට් දේශයට ගහන්න ක්‍රමයක් හොයා ගත්තා නම් මොකද වෙන්නේ? එහෙම ක්‍රමයක් හොයාගන්න ඔහුට පුළුවන්කමක් තිබුනාද? ඔන්න ඔහොම දේවල් ගැන මම සිතියම් පොත ළඟ තියාගෙන කල්පනා කළා. ටික දවසක් යනකොට මට ලෝක සිතියම් පොත ගෙදර එන පාර වගේ හුරු වුනා. ඉතින් එහෙම වුනාම රටවල් එකසිය පනහක අගනුවරවල් දන්නවා කියන්නේ පුදුමයක් නෙවෙයි නේ?

නමුත් මට දැන් නම් ඒ සමහර දේවල් මතක නැහැ. අගනුවරවල් නම් ගොඩක් මතකයි. ඒත් වෙන වෙන ස්ථාන ඉස්සර තරම් මතක නැහැ. ඊට ප්‍රධාන හේතුව මගේ සිතියම් පොත නැති වෙච්ච එක. අපේ මල්ලි එයාගේ යාලුවෙකුට දෙන්න ඒක ඉල්ලා ගත්තා. එච්චරම තමයි. මම ඊට පස්සේ ඊට වැඩිය ලොකු සිතියම් පොතක් (ජෝර්ජ් ෆිලිප්ස් එකක්ම තමයි ඉතින්) ගත්තා. නමුත් තවම මට ඒක අර පරණ පොත වගේ පුරුදු නැහැ.

මම කලින් කිව්වානේ ලේක් හවුස් සිතියම් පොතෙනුත් මට වැඩක් වුනා කියලා. දැන් මගේ ළඟ තිබුන ඒ පොතේ කෑලිත් නැහැ. නමුත් ඒකෙ තිබුන සමහර දේවල් මට අදත් මතකයි. 2012 ජූලි මාසේ අපි ගියපු දැනුම මිනුම තරඟයකදී (අර ජපන් තරඟය වගේ ලිඛිත තරඟයක්) ප්‍රශ්නයක් ඇහුවා, ඩියේගෝ ගාර්ෂියා දූපත අයිති මොන දූපත් කාන්ඩයටද? කියලා. අවුරුදු පහකට විතර කලින් ඇහුවා නම් මට උත්තර දෙන්න යන්නේ ප්‍රශ්නේ අහන පරක්කුව විතරයි. නමුත් එදා මට ඒක මතක් වෙන්නෙම නැහැ. ඔහොම කල්පනා කරගෙන යනකොට මට මතක් වුනා ලේක් හවුස් සිතියම් පොතේ ආසියානු මහාද්වීපයේ සිතියමේ යටම කෙලෙවරේ මෙන්න මෙහෙම එකක් තිබුන බව. "දියේගෝ ගාර්ෂියා සහ චාගොස් කොදෙව් රැස." හිතපු නැති විදියට අපිට ලකුණක් ලැබුනේ අවුරුදු ගානකට කලින් දැකපු ඒ වචන සෙට් එක මතක් වුන නිසා.

මුද්දර එකතු කිරීම, සිතියම් පොත් අධ්‍යයනය සහ ඉතිහාසය ගැන කියවීම එකම වගේ කාලයේ මම පුරුදු වුන දේවල්. එකෙන් මම ඉගෙන ගත්තු දේ අපමණයි. ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දු වෙන්නට මූලික අඩිතාලම වැටුනේ අපි ලියුමක් යවද්දී අලවන මුද්දරයෙන් කියලා මතක් වෙනකොට පුදුමත් හිතෙනවා.

16 comments:

  1. මුද්දර එකතු කිරීමේ විනෝදාංශයෙන් නම් මාත් හුඟක් දේවල් ඉගෙන ගත්තා. පොඩි කාලේ එකතු කරනවාට මුද්දර එකතු කළාට පස්සේ තේරුණා මුද්දර ලොකු පාඩම් කියාදෙන පාඩම් පොත් වගේ කියලා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම! විනෝදය සහ දැනුම. දෙකම ලැබෙනවා මුද්දර එකතු කිරීමෙන්.

      පහ වසරේදී විතර පත්තරේක තිබුන ලිපියක තමයි මම කියෙව්වේ මුද්දර නිකම්ම එකතු කරනවාට වැඩිය වටින්නේ ඒවායේ පසුබිම ගැනත් හොයා බැලීම බව. ඒකෙන් දැනුමටත් යමක් එකතු වෙනවා නේ. මගේ වාසනාවට තමයි එච්චර පුංචි වයසකදී මට ඒ ලිපිය කියවන්න ලැබුනේ. මට මතක විදියට විජය හරි මිහිර හරි පත්තර දෙකෙන් එකක තමයි තිබුනේ.

      ලෝකේ කොහේ හරි මුද්‍රණය කරපු මුද්දර පහක විතර විස්තර අඩංගු ලිපියක් මිහිර පත්තරේ සති පතා පල කෙරුණා මතකයි.

      Delete
  2. භූගෝල විද්‍යාව මගෙත් අතිශයින් ප්‍රියතම විෂයයක්. මට අදටත් ලෝක සිතියමක බොහෝ දේවල් 70% කට වඩා නිවැරදිව ලකුණු කරන්න පුළුවන්.
    ෆිලිප්ස් සිතියම් පොතක් මම මුලින්ම දැක්කේ 1966 දී පමණ. ඉපැරණි ඒ පිටපත තරමක් දුරට අබලන් තත්වයෙන් අදටත් මගේ ළඟ තිබෙනවා.
    මෙතෙක් මා පරිහරණය කර ඇති හොඳම සිතියම් පොත 'Great World Atlas' එහි නවතම සංස්කරණ ගැන විස්තර මෙතනින් බලන්න පුළුවන්.
    http://www.amazon.com/The-Great-World-Atlas-Publishing/dp/0756605075
    අද අන්තර්ජාලය මගින් ක්ෂණිකව ලෝකයේ ඕනෑම තැනක සිතියම් බලන පුළුවන් වුනත්, අද ඉන්න පාසල් සිසුන්ගේ ඔලුවේ නම් ඒ මතකයන් තිබෙන්නේ ඉතා අල්ප මට්ටමෙන්. මම ඒ බව දන්නේ එවැනි ළමුන් සමග කතාබහ කිරීමෙනුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. විචාරක මහත්මයා එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි. අද ගොඩක් අය භූගෝල විද්‍යාව දන්නේ නැහැ. දැන් බලන්න, විදෙස් පුවත් කොච්චර අඩුවෙන්ද අපේ මාධ්‍යවලින් පෙන්නන්නේ? ඒ පෙන්නන්නෙත් ඇතැම්විට වැරදියට තේරුම් අරගෙන. ඒ පෙන්නුවත් ඒ ඒ රටවල් තියෙන්නේ කොහෙද කියලා අදහසක් අපේ අයට දෙන්නේ නැහැ නේ. විදෙස් මාධ්‍ය ආයතන හැමවිටම ප්‍රවෘත්තියක් වාර්තා කරන්නේ සිතියමක අදාළ රට තියෙන තැන දක්වමින්. අපේ එහෙම සංස්කෘතියක් අදටත් නිර්මාණය වෙලා නැහැ.

      Great World Atlas පොත ගැන කිව්වාට බොහොම ස්තූතියි. බලාගෙන ගියාම ඒකත් එංගලන්ත පොතක්. ඉංග්‍රීසිකාරයෝ ලෝකේ පුරා සංචාරය කරමින්, අලුත් රටවල්වලට යමින්, අධිරාජ්‍යයක් පිහිටුවද්දී එයාලගේ සිතියම් ඇඳීමේ කලාව සහ ආසාව කියන දෙකම වැඩි වෙන්න ඇති. සිතියම් ඇඳීම අවශ්‍යතාව මත පටන් ගෙන පස්සේ කලාවක් බවට පරිවර්තනය වෙන්න ඇති. ඇත්තෙන්ම ජෝර්ජ් ෆිලිප්ස් පොතක් අතට ගත්තම මට ඇතිවෙන හැඟීම වෙන කිසි සිතියම් පොතකින් ලැබිලා නැහැ. මම හිතාගෙන හිටියේ Great World Atlas පොත ගොඩාක් ගණන් කියලා. නමුත් පාවිච්චි කරපු පොතක් වුනත් ඩොලර් 10 කට තියෙනවා කියන්නේ නරකම නැහැ.

      Delete
  3. ඔය මෙතන ඉන්න තුන් දෙනාටම ඉඩ දීලා ලැජ්ජාවෙන් ඔලුව පාත් කරන් යන්න වෙන එකා තමයි මම... මට මෙලෝ දානයක් තේරෙන්නේ නෑ සිතියම් වල.... සමාජ අධ්‍යනයට සිතියමක් ලකුණු කරනවා කියන්නෙත් මාව මරනවා වගේ..

    ඒ කිව්‌ෙව් මට මතක නැති වෙනවා කියන එක නෙවෙයි.. උනන්දුවක් තිබ්බේ නැති එක.. කියවිල්ල මිසක් වෙන දේකට ආසවක් තිබ්බේ නෑනේ.. ඒක නිසා ලංකාවේ සිතියම වත් හරියට ලකුණු කරගන්න බෑ මට... මුද්දර නම් එකතු කළා..ඒත් ඕවා හොයන්න හිතුනේ නෑ.. ඇයිද මන්දා... ඉස්සර මං හැම එකම හොයනවා.. ඒත් මේවා නම් හෙව්වේ නෑ...

    පස්සේ කාලෙක මට හම්බුනා අර බීච් බෝල් වගේ පුම්බන ලෝක ගෝලයක්.. අන්න එකෙන් තමයි දැං යන්තම් මතක තියෙන ටික අල්ලගත්තේ.. ඊටත් පස්සේ ජොබ් එකට ගියාම නම් රටවල්, වරායවල් දැනගන්නම උනා... නැත්තම් මොන ලෝකෙන් එන නැව්ද කියලා කියන්නයැ.. හි හි....

    ඒක නෙවෙයි.. ඉස්සර මටත් ඔය වගේ ෆොටෝ ග්‍රෑෆික් මෙමරි එකක් තිබ්බා.. ඕනේ දෙයක් පොතක මොන පිටුවෙද, උඩද යටද, මොන පින්තූරෙ එක්කද තිබ්බේ කියලා පොත හිතින් පෙරළලා බලලා කියන්න පුලුවන්.. දැං නං ඒක නෑ.. හි හි

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තරම් ෆොටෝග්‍රෆික් මෙමරියක් තිබුනේ නැහැ. සිතියම් පොතෙන් තොර ජීවිතයක් නැති වුනාම ඉතින් ආයේ අමතක වෙනවය? :-)

      ඔලිම්පික් සමාරම්භක පෙළපාලිය වෙලාවට එක එක රටවල් තියෙන තැන මතක් කරන සෙල්ලම තවමත් කරනවා.

      Delete
  4. මගෙත් විනෝදාංශය වුනේ ඔය මුද්දර එකතුකරන එකම තමයි...
    ඒක ඇත්තටම නියම දෙයක්..ඒත් දැන් ඒ ආසාව කෙහෙන් ගියාද නැහැ..අනේ මන්දා...
    අපි ඉස්සර සිතියමි පොත් වලින් එක// රටවල් නගර හොයන සෙල්ලමුත් කළා මතකයි....

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෝ නම් මාව ඔය සෙල්ලමට සම්බන්ධ කරගත්තේ බොහොම අකමැත්තෙන්. හේතුව කියන්න ඕන නැහැනේ...
      හැබැයි දැන් නම් මාව පරද්දන්න පුළුවන් අය ඉන්න හොඳටම ඉඩ තියෙනවා.

      Delete
  5. මම ලඟත් අදටත් හොඳට රාමු කරලා බිතිතියෙ ගහපු ලෝක සිතියමක් තියනවා.. දැන්නම් ඒක ටිකක් අවුට් ඩේටඩ්.. 2000 දි මම ඒක ගත්තෙ.. කොසෝවෝ, දකුණු සුඩාන් වගේ අලුත් රටවල් ඒකෙ නෑ..

    මටත් රැකියාව හින්දා ලෝක සිතියම සෑහෙන දුරට මතකයි.. බොහොමයක් රටවල් තියන තැනුත් මතකයෙන්ම කියන්න පුලුවන්..

    // අනිත් අතට මගේ ගොන් මොලේට වුනත් තේරුනා නිව් ජර්සියක් තියෙනවා නම් පරණ එකකුත් තියෙන්නත් එපැයි කියලා. //

    එතකොට කොහෙද බන් " සී-ලන්තය " තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මට නම් ඕක සරල ප්‍රශ්නයක් :-)

      සී ලන්තය (ඕලන්ද බසින් මුහුදු ලන්තය) තියෙන්නේ නෙදර්ලන්තයේ නිරිතදිග කෙලවරේ. දූපත් ගොඩක් තියෙන, ජනගහනය සාපේක්ෂව අඩු, පළාතක්. 1580 ගණන්වල නෙදර්ලන්ත සමූහාණ්ඩුව හදද්දී ඒකෙ පළාත් 7 න් එකක් වුනා.

      Delete
    2. හෑහ්.. සිරාවට එහෙම එකක් තියනවද ?

      ඔන්න දැන් ගිහින් බැලුවා තියනවා නේන්නම්.. මම ඒත් දවසක් නිකන් ඉන්න ගමන් කල්පනා කලා ඇයි මුන් මේකට නව සී-ලන්තය කියන්නෙ කොහෙද පරන එක කියලා.. පස්සෙ හිතුනා මුන් නිකන් ශෝ එකට වගේ දාන ඇති කියලා. ඒත් ඉතින් ඒක කල්පනාවක්ම විතරක් වෙලා පස්සෙ අමතක වෙලා ගියා. ගූගල් කරලවත් බලන්න හිතුන්නෑ..

      මේ ව්ස්තර ටික උණු උණුවෙ දැන් හොයා ගත්තෙ.. :-)

      http://uk.answers.yahoo.com/question/index?qid=20061024003744AArdqy9

      Delete
    3. ඔය තියෙන්නේ විස්තරේ.
      තැනක් යූ වේවා ලින්ක් එකට.

      ඇත්තෙන්ම අපිට යම් යම් දේවල් මතක තියෙන්නේ තවත් දේවල් ආශ්‍රයෙන් නේ. ඕලන්ද සමූහාණ්ඩුව හදන්න එකතු වෙච්ච පළාත් 7 න් මට නම් මතක තිබුනේ තුනක විතරයි. ඕලන්දය (Holland), සී ලන්තය සහ උට්‍රෙච්ට්. පලවෙනි දෙක මතක තියෙන්න හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. තුන්වෙනි එක මතක තිබ්බේ උට්‍රෙච්ට් නගරයේ අත්සන් කරපු ප්‍රසිද්ධ ගිවිසුමක් නිසා. අනික් පළාත් හතර නම් මතක නැහැ. මතක තියාගන්න උත්සාහ කලත් ලේසි වෙන එකක් නැහැ.

      Delete
  6. මට කොච්චර ට්‍රයි කරත් සිතියම් මතක නෑ.. විභාගෙට කලින් දවසෙ අම්ම දවසම මාව සිතියම් පොතක් උඩ වාඩි කරවල තිබ්බා. ඒ නිසා යන්තම් ගොඩ.. ඔය තියෙන්නෙ අර 5 වසරෙදි ලැබුණ පොතමද තාමත් ?

    ReplyDelete
    Replies
    1. මමත් සමහර විෂයන් වලට ඔයා සිතියම් වලට තරම්ම දක්ෂයි.
      මේ පොත මම ලඟදි ගත්තේ. අවුරුදු දෙකක් ඇති. ඒ නිසා තවම මට පරණ පොත වගේ හුරු නැහැ.
      මේකත් ජෝර්ජ් ෆිලිප්ස් පොතක් තමයි.

      Delete
  7. good... muddara ekathu karana ayata eka prayojanawath lesa ekatu karanna hoda adahasak....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තෙන්ම, ඒ අදහස මට දීපු මිහිර හරි විජය හරි පත්තරේ ලිපිය ලියපු කෙනාට තමයි ඒකෙ ස්තූතිය හිමි වෙන්න ඕන. මම උඩ තියෙන කමෙන්ට් එකක ඒ ගැන ලියලා තියෙනවා.

      Delete