Thursday, January 3, 2013

කඳු නොනැඟ තැනිතලා දැකිය නොහැක!


මේ පෝස්ටුව ඊයේ මම ලියාපු අලුත් අවුරුදු පණිවිඩය හා සම්බන්ධ කරන්න පුළුවන් දෙයක් ගැනයි. ඒ ලිපිය කියවන්නට යම් විදියකින් බැරි වුනා නම්, එය කියවා මේ ලිපිය කියවන්න කියා මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

එම ලිපියෙන් මම අවධාරණය කරන්නට උත්සාහ කලේ විවිධ අයගේ විවිධාකාර "කෙප්ප" නිසා රැවටෙන්නේ නැතිව ජීවත් වීමට නම් විචාර බුද්ධියක් ඕන කරන බව. ඒ ගැන හිතද්දී මට මම කලකට පෙර හිතට නගා ගත්තු සිතිවිල්ලක් ආපහු මතකයට ආවා.

හිතන්න අපි තැනිතලාවක ඉන්නවා. අපි හිතමු දූපතක කියලා. දූපත මැද්දේ කන්දකුත් තියෙනවා. අපිට තැනිතලාවේ ගොඩාක් දුර පෙනෙන්නේ නැහැ. අපි ඉතින් අපි ඉන්න තැනට වෙලා කල්පනා කරනවා "අර ගඟෙන් එහා පැත්තේ අර වගේ ඇති. අර කැලේ මේ වගේ ඇති. කන්දෙන් එහා පැත්තේ අර වගේ ඇති" ආදී වශයෙන්. නමුත් අපි ඇත්තෙන්ම දන්නේ නැහැ අපි ඉන්නා දූපතේ තියෙන හැම දෙයක් ගැනම. ඉතින්, කවුරුහරි, විශේෂයෙන් ටිකක් උගතෙක් කියලා සම්මත කෙනෙක්, ඇවිත් කිව්වොත්, "මම කන්දෙන් එහා පැත්තේ ගමකට ගියා, එහෙ මිනිස්සු බත් කන්නේ නහයෙන්" කියලා, හිතන්නේ බලන්නේ නැති අපේ අය ඒක හිස් මුදුනින් පිළිගන්නවා.

එහෙම නැතිව අපිට මේ තැනිතලාවම එක සැරේ බලාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අර කන්දට නගින එක. ඒක අමාරු වැඩක්. කන්ද පාමුල ඉන්නකොට පාරවල් කීපයක් පෙනෙන්න පුළුවන්. ඒ සමහර පාරවල්වලින් ගියාම මුදුනට යන්නට බැහැ. අතරමං වෙනවා. අපිට එක එක අය එක එක පාරවල් පෙන්නයි. ඒ අතරින් අපේ කල්‍යාණ මිත්‍රයෝ තමයි හරි මග පෙන්නන්නේ. ඒ මාර්ගයේ ගියොත් කන්ද මුදුනටම නැගලා තැනිතලාව බලන්න පුළුවන්.

මේ කතාව හදන්න මට සිතිවිල්ල පහල වුනේ මම අද මාතෘකාව විදියට යොදාගත්ත "කඳු නොනැඟ තැනිතලා දැකිය නොහැක" කියන චීන ආප්තෝපදේශය. ඇත්තෙන්ම සාර්ථකත්වය කරා යාමේදී ආයාසයක් ගන්නට වෙනවා කියලා එයින් කියවෙන බව මගේ අවබෝධයයි. ඒක අපේ කතාවටත් වලංගුයි.

ශ්‍රී පාද කන්ද. "කඳු නොනැඟ තැනිතලා දැකිය නොහැක!" මේ ප්‍රකාශයට වැදගත් සංකේතයක් බව මට හිතෙනවා. Adam's Peak, Sri Lanka, from the bottom. Bourgeois, Wikimedia Commons (Sep. 22, 2005)



මේ කන්දක් නැගීම කියන එක මම සංසන්දනය කරන්නේ බෞද්ධයන් විශ්වාස කරන නිවන සමඟයි. දැන් අපි තැනිතලාවේ ඉන්නකොට, එක එක අය කියන එක එක කතා වගේ තමයි අර ලෝක විනාශය, පිටසක්වල යානා ආදී නොයෙක් වූ අද්භූත කතා. නමුත් අපට ඔතන ඉඳගෙන දකින්න පුළුවන් ප්‍රමාණය කොච්චර පුංචිද? අපි දන්නා දේවල්වලින් සමහර නිගමනවලට එන්න පුලුවන් තමයි. නමුත් ඒ එක්තරා සීමාවකට යනකල් විතරයි. නමුත් අපි කන්ද නැග්ගොත් අපට බොහෝ දේ පෙනේවි. පස්සේ අපිට ඔය මනස්ගාතවලින් පලක් නොවෙන්න පුළුවනි. නමුත් නගින්නේ නැතුව දකින්න ලැබෙන්නේ බොහොම පොඩ්ඩයි.

මිනිස් ආත්මයක් ලබාපු දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා නම් ගන්නට අවශ්‍ය වෙන්නේ, සසර එතෙරවන පාර සොයා ගැනීමටයි. වෙන වෙන මනස්ගාත ගැන ඕනාවට වැඩිය හොයන්නට යාමෙන් වෙන්නේ අර මුඛ්‍ය පරමාර්ථයෙන් පිට යන එක. ලෝකය විනාශ වුනොත් වුනාවේ, නොවුනොත් නොවුනාවේ. ඒ ගැන වද වෙනවාට වැඩිය දෙයක් කරන්නට තියෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ "හිස ගිනි ගත්තෙකු ගින්න නිවා ගැනීමට උත්සාහ කරනවාට වඩා ඉක්මනින් නිවන අවබෝධ කරගැනීමට කටයුතු කලයුතු" බවයි. වෙනත් මනස්ගාත කරපින්නාගෙන වැරදි පාරවල්වල යන්න නෙවෙයි. එහෙම වැරදි පාරවල්වල යන්නේ සසර ගමන ගින්නක් බව නොදැනීම නිසයි.

හරි මග සොයාගැනීමට කලණ මිතුරු සේවනය ඉතා වැදගත් වෙනවා. අංගුලිමාල මහරහතන්වහන්සේ, බුදු දහම දකින්නට පෙර වැරදි පාරක යමින් හිටියා. ඒ උගතෙකු වූ සිය ගුරුතුමාගේ වැරදි උපදෙසක් නිසා. උන්වහන්සේ ඒ කාලයේ තේරුම් ගත්තේ නැහැ තමන්ගේ ගුරුවරයා තමන් යවන්නේ වැරදි පාරක කියලා. ගුරු ගෞරවය ඊට වැඩිය ප්‍රමුඛ වුනා. මෙහෙම යනකොට එක්තරා සන්ධිස්ථානයකට ඔහු පැමිණියා. හරියට තුන් මං හන්දියක් වගේ, දෙපැත්තකට හැරෙන්න පුළුවන්. තමන්ගේ මව මරා, වැරදි පාරේ ගියා නම් තව කාලයකට නිවනක් නැහැ. හරි පාරට ආපහු වැටුනා නම් නිවන අත ළඟ. බුදුන්වහන්සේ මෙහිදී කල්‍යාණ මිත්‍රයෙකු (නිවනට උපකාර කරන්නෙකු) බවට පත්වෙමින් ඔහු හරි මගට ගත්තා.

අපට සිටින හොඳම කල්‍යාණ මිත්‍රයා බුදුරජාණන්වහන්සේ මිස අන් අයකු නොවේ. උන්වහන්සේ පහල නොවන කලක නම් ඒ වෙනුවට උන්වහන්සේගේ ධර්මය තියෙනවා. ඒ ධර්මය කියා දෙන්නට කලණ මිතුරනුත් ඉන්නවා. ඔවුන් කියන දේ හරිද වැරදිද කියලා තේරුම් ගන්න නම් වෙන්නේ තමන්ගේ විචාර බුද්ධියෙන්. එයට බුදුන්වහන්සේ ක්‍රමයක් කියලා දීලා තියෙනවා. "යමක් ඇසුරු කරනවිට රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වනබව දැනේ නම් එය බුද්ධ දේශනාව ලෙස ගන්න." මේ විදියට විචාර බුද්ධිය මෙහෙයවලා නියම කල්‍යාණ මිත්‍රයන් හඳුනාගෙන හරි මාර්ගයේ ගියොත් නිවන ළඟා කරගන්නට ලැබෙනවා. කන්දක් නගින්න, නගින්න වැඩි වැඩියෙන් වටා පිටාව පෙනෙනවා වගේ නිවනට ලං වෙන්න වෙන්න ලෝක ස්වභාව වැඩි වැඩියෙන් වැටහෙනවා.

ඒ විදියට මුදුනට ලඟා වුනාට පස්සේ, ලෝකය විනාශ වුනත් නැතත්, ග්‍රහයෝ මාරු වුනා නෙවෙයි පිනුම් ගැහුවත්, අනේ අපිට නම් වැඩක් නැහැ. හැම දෙනාටම ඒ මාර්ගයේ යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!

8 comments:

  1. ඇත්ත.බුදුන් වහන්සේගේ නියම ධර්මය අපි අනුගමනය කරනවානම් නිවන ලගා කරගත හැකියි.එත් ඉතින් සාපේක්ෂව බෙහෝ පිරිසක්(සියල්ලම වගේ) එහෙම කරන්නේ නෑනේ.හොද විචාරාත්මක ලිපියක්

    ReplyDelete
    Replies
    1. එහෙම නොකරන හැමෝගෙම වරද, එහෙම කරන්න තියෙන අකමැත්තම නෙවෙයි. නියම දහම අසා නොතිබීම හෝ අහපු දෙයින් මොකක් හරිද වැරදිද කියන එක තෝරාගන්න බැරිකම හෝ වෙන්න පුළුවන් නේ?

      Delete
    2. ඔව් ඒක තමා.මිනිස්සු ඉන් එහාට හිතන්නේ නෑ.විශේෂයෙන්ම බුදුදහම වගේ දර්ශනයක් අනිත් ආගම් වලට සමාන කරලනේ තියෙන්නේ.එක තැනකට සීමා නොවුනු දේවමය සංකල්ප වලින් තොර ඇදහීම් වලින් තොර නියම දර්ශනයක්.ඇත්තටම මිනිස්සු කරන්නේ ඇදහීම විතරයිනේ

      Delete
    3. මම හිතන් හිටියේ හෙට වෙන දෙයක් ගැන ලියන්න කියලා. ඒත් නිදහසක් වෙන්නේ නැහැ වගේ. :-) මේ ගැනම ලියන්න වෙයිද?
      කමක් නැහැ. දැනට කෙටි පිළිතුරක් දෙන්නම්. හෙට මම හිතන් හිටපු එක ලියන්නම්. ඒත් බෞද්ධ රටක් ගැන තමයි. අනිද්දා ආපහු මේ මාතෘකාව :-)


      කතාව නම් ඇත්ත. මිනිස්සු පෙනෙන දෙයින් එහාට හිතන්නේ නැහැ. හැබැයි දේවමය සංකල්පවලින් තොර කිව්වම පැටලීමක් වෙන්න පුළුවන්. දෙවිවරු කියලා කොටසක් ඉන්නවා. එහෙම නැහැ කියන්න බැහැ. මම එහෙම කියන්නේ මොකද, දෙවියන්ට කරන පුද පූජාවලින් සෙතක් වෙච්ච අයත් ඉන්නවා. නමුත් බුදු දහම වෙනස් වෙන්නේ, ලෝකය නිර්මාණය කලේ දෙවියන් විසින් කියලා කියන්නේ නැති නිසා.

      බුදුදහම ආගමක්ද දර්ශනයක්ද වෙනත් යමක්ද කියන එක වෙනමම මාතෘකාවක්. බුදු දහම සමහර තැන්වලදී අනිත් ආගම් එක්ක සම්බන්ධයක් තියෙන බව බැලූ බැල්මට පෙනෙනවා. පව් නොකිරීම වගේ සමහර දේ පිලිබඳ කියවෙන දේවල් අතර සමානකම් නැතිවාම නෙවෙයි. ඒ නිසා තමයි සමහරු මේ සමාන කිරීම කරන්නේ. බුදුදහමේ කියවෙන නිර්වාණය කියන සංකල්පය ඒ ආගම්වල නැහැ. ඒකයි ඒ ආගම් සහ බුදුදහම අතර පැහැදිලි වෙනසක් තියෙන්නේ.

      Delete
    4. ඍව් මාත් කියන්න උත්සාහ ගත්තේ ඒ ටික තමා.වෙනත් ආගම් වල තියෙන ඇදහිලි බුදුදහමට ඇදලා ගන්නවා.විශේෂයෙන්ම පන්සල් වලට දේව රූප ඇතුලත් වීම නිසා මිනිස්සු හිතනවා බුදුදහම තුල අපි අදහන දෙවියන් ඉන්නවා කියලා.

      සමාවෙන්න.ඔබ තුමාගේ වැඩේ කරගෙන යන්න.

      Delete
    5. මගේ වැඩේ මේක තමයි ඉතින්! :-)

      Delete
  2. ඒත් බුදුන් වහන්සේ කියන්නේ "තමන්ගේ හොඳම කල්‍යාණ මිත්‍රයා තමන්ගේ සිතුවිලිමයි" කියලා.. ඒක නම් 100%ක් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. හැම දේකටම අන්තිමට හිත මුල්වෙන නිසා වෙන්න ඇති එහෙම දේශනා කරලා ඇත්තේ. කොතනද එහෙම තියෙන්නේ යසිත්?

      Delete