Friday, January 4, 2013

බුරුමය (මියන්මාරය) 65 වන නිදහස් දිනය සමරයි.


බුරුමය (මියන්මාරය) අද සිය 65 වන නිදහස් දිනය සමරයි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබීමට හරියටම මාසයකට පෙර එරට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. නමුත්, බ්‍රිතාන්‍යයින් බුරුමය අතර යනවිට එරට අප රට තිබුනාට වඩා පහත අඩියක තිබූ අතර අද වනතුරු එහි විශාල දියුණුවක් නොපෙනේ. එයට අභ්‍යන්තර මෙන්ම බාහිර සාධකද රැසක් බලපෑවේය.

2010 ඔක්තෝම්බර් 21 දින හඳුන්වා දුන් මියන්මාරයේ නව ජාතික ධජය, Wikimedia Commons.



බුරුමය බ්‍රිතාන්‍යය විසින් යටත් කරගන්නා ලද්දේ, 19 වන සියවසෙහි සිදුවූ ඉංග්‍රීසි-බුරුම යුද්ධ තුනකිනි (1824-26, 1852 සහ 1885). මින් පළමු යුද්ධ දෙකේදී ඇතැම් ප්‍රදේශ බ්‍රිතාන්‍යයට භාර දීමට සිදු වූ අතර තුන්වන යුද්ධයෙන් සම්පූර්ණ බුරුමයම බ්‍රිතාන්‍යය විසින් ඈඳා ගනු ලැබුණි. සත්‍ය වශයෙන්ම බුරුමයට යම් තරමකට හෝ සාර්ථකව බ්‍රිතාන්‍යයට මුහුණ දීමට හැකි වූයේ පළමු යුද්ධයේදී පමණකි. 1885 තුන්වන යුද්ධයට පසු බුරුම රජ පවුල කිසිදු ගරු සරුවක් නොමැතිව පිටුවහල් කෙරුණ අතර ඒ පිළිබඳව බුරුම වැසියන් බ්‍රිතාන්‍යය කෙරෙහි දැක්වූයේ දැඩි අප්‍රසාදයකි. තවද, 1937 වනතුරු බුරුමය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක් ලෙස සැලකීම එරට වැසියන් කිසිසේත් අනුමත කලේ නැත. මේ අතර, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ උපකාරයද ඇතිව, 19 වන සියවස මුළුල්ලේම ඉන්දියානු වෙළෙන්දන් බුරුමයේ වෙළෙඳාම සියතට ගැනීමට කටයුතු කරමින් සිටියහ. 1885 වසරෙන් පසු තත්ත්වය තවත් දරුණු වූවා පමණි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයන් වූයේ බුරුම තේක්ක සහ ස්වාභාවික සම්පත්ය.

කෙසේ වුවද බුරුමයේ වැටීමට ඍජුවම බලපෑවේ දෙවන ලෝක යුද්ධයේදී එරට සිදුවූ මහත් විනාශයයි. ජපන් ආක්‍රමණය හමුවේ පසු බසින බ්‍රිතාන්‍යයන් විසින් බුරුමයෙහි වූ යුධමය වශයෙන් වැදගත් වේ යයි සිතූ බොහෝ වැදගත් දෑ විනාශ කරන ලදී. 1945 යුද්ධය අවසන් වූ පසුවද මේවා යලි ගොඩනැගීමට තරම් කලක් නොවීය. මේ අතර, ජාතික ස්වාධීනත්වය අභියස බුරුම නායකයන් හමුවේ වූ අනෙක් අභියෝගය වූයේ බුරුමයෙහි වාසය කල සුළු ජාතීන් ගණනාවකගේ දුක් ගැනවිලිවලට ප්‍රතිකර්මයක් ලබා දීමයි. ඉරවඩි සහ සැල්වීන් ගංගා නිම්න ප්‍රදේශවලින් බාහිරව වූ, කඳුකර පෙදෙස් මේ ජාතීන්ගේ වාසස්ථාන පිහිටි ප්‍රදේශ විය.

බුරුමයේ ජාතික ව්‍යාපාරයේ නායකයා වූ අවුන්ග් සාන් (1915-1947) 1940 දශකයේ. Wikimedia Commons.



මේ අවස්ථාවේ බුරුමයේ ජාතික ව්‍යාපාරයේ නායකයා වූ අවුන්ග් සාන්, එම සුළු ජාතීන් සමඟ එකඟත්වයකට පැමිණීමට සමත් විය. නමුත් බුරුමයේ අවාසනාවට, ඔවුන් අත්සන් කල පැන්ග්ලොන්ග් ගිවිසුම (Panglong Agreement) ක්‍රියාවට නැගීමට අවස්ථාව නොලැබුණි. 1947 ජූලි මාසයේදී අවුන්ග් සාන් ඇතුළු බුරුම නායකයන් කිහිප දෙනෙකු ප්‍රතිවාදීන් අතින් ඝාතනයට ලක් වීම ඊට හේතුවයි. මෙහි ප්‍රතිපලය වූයේ, 1948 ජනවාරියේ බුරුමය නිදහස ලබා වැඩි කලක් යාමට මත්තෙන්, එම ජාතීන් මධ්‍යම ආණ්ඩුවට එරෙහිව අවි අතට ගැනීමට පටන් ගැනීමයි.

නිදහස ලැබූ පසු බුරුමය ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ කරනු දක්නට ලැබුණි. අනෙකුත් බොහෝ බ්‍රිතාන්‍ය යටත් විජිත මෙන් නොව, බුරුමය, නිදහස ලැබූ විට බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් නොවීය. ඊළඟ දශකය තුල බුරුම අගමැති ඌ නු (U Nu) දැඩි අපහසුතා මධ්‍යයේ එරට සංවර්ධනය කිරීමට අසාර්ථක උත්සාහයක යෙදුනි. කැරලි කණ්ඩායම් රටේ සැලකිය යුතු ප්‍රදේශයක් පාලනය කළහ. මේ අතර 1949 චීන කොමියුනිස්ට්වාදීන්ගේ ජයග්‍රහණයත් සමඟ පසුබැස පලා යන චීන ජාතිකවාදී ගුවෝමින්ඩාන්ග් (Kuomintang-KMT) සෙබළුන් බුරුමයට කඩාවැදීමෙන් තවත් ප්‍රශ්නයක් ඇති වූයේය.

1958 දී එවකට හමුදා සේනාධිපති වූ ජෙනරාල් නේ වින් (Ne Win), කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තේය. නමුත් දෙවසරකට පසු ඔහු නැවත සිවිල් පාලනය රට භාර දුන්නේය එහෙත් රටේ පැවතියේ දැඩි අස්ථාවරභාවයකි. එමෙන්ම හමුදාවේ ඊළඟ පියවර කුමක් වේද යන්න පැහැදිලි ගැටලුවක් විය. මේ සියලු ප්‍රහේලිකා නිරාකරණය වූයේ 1962 බුරුම හමුදාව නැවත බලයට පැමිණීමෙනි. මෙවර නම් හමුදාපති නේ වින් රටේ බලය අල්ලාගත්තේ, යලිත් සිවිල් පාලනයකට රට භාරදීමට නොවේ.

ජෙනරාල් නේ වින් බුරුමය රැගෙන ගියේ අමුතු මාවතකය. ඔහු එය හැඳින්වූයේ "සමාජවාදය කරා බුරුමයේ මාවත" යනුවෙනි. 1974 දී සම්මත කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුරුමය සමාජවාදී ජනරජයක් ලෙස ප්‍රකාශ කෙරුණු අතර එහි වූයේ එකම දේශපාලන පක්ෂයකි. ඒ බුරුම සමාජවාදී වැඩසටහන් පක්ෂයයි (Burma Socialist Program Party). 1988 මහජන උද්ඝෝෂණ හේතුවෙන් බලයෙන් පහ කෙරෙන තුරු බුරුමය පාලනය කලේ නේ වින් ය.

1988 දී බලයට පත් වූයේ ජෙනරාල් සව් මාවුන්ග් (Saw Mawung) නායකත්වය දුන් හමුදා ජුන්ටාවකි. එය රාජ්‍ය නීතිය හා සාමය ප්‍රතිස්ථාපන කවුන්සිලය (State Law and Order Restoration Council-SLORC) ලෙස තමන්ව හඳුන්වා ගත්තේය. යුධ නීතිය පනවා හමුදාව යෙදවූවද, ඔවුනටද ජනතා උද්ඝෝෂණ පාලනය කිරීම පහසු නොවීය. මෙහි ප්‍රතිපලය වූයේ 1990 දී ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයක් පැවැත්වීමට පාලනය එකඟ වීමයි. මේ අතර 1989 දී බුරුමයේ නම මියන්මාරය ලෙසද, අගනුවර වූ රැන්ගුන් නගරයේ නම යැන්ගොන් ලෙසද වෙනස් කරන්නට යෙදුනි.

1990 මැයි මස පැවති මැතිවරණයෙන් අවුන්ග් සාන්ගේ දියණිය වූ අවුන්ග් සාන් සූ කී නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (National League for Democracy-NLD) විශිෂ්ට ජයක් ලැබීය. නමුත් SLORC පාලනය එම ප්‍රතිපල පිළිනොගෙන දිගටම රටේ පාලනය ගෙන ගියේය. මේ අතර 1997 දී ජුන්ටාවේ නම රාජ්‍ය සාමය සහ සංවර්ධන කවුන්සිලය (State Peace and Development Council-SPDC)ලෙස වෙනස් කෙරින මේ අතර එම වර්ෂයේදීම ආසියාන් සංවිධානයේ (Association of South East Asian Nations-ASEAN) සාමාජිකත්වය මියන්මාරයට ලැබීම එරට හුදෙකලා බව යම් තරමකට හෝ අඩු කිරීමට හේතු විය.

කෙසේ වුවද, 1990 දශකය පුරාවට සහ ඉන් පසුවත් මියන්මාරය සමඟ කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූයේ මහජන චීනයයි. චීනයට මියන්මාරය වැදගත් වූයේ ඉන්දියන් සාගරයට පිවිසෙන දොරටුවක් ලෙසය. 1993 වසරේදී ඛනිජතෙල් අපනයනකරුවකුගේ සිට ආනයනකරුවකු බවට පත් වූ චීනයට ඉන්දියන් සාගරය වැදගත් වූයේ බටහිර ආසියාවේ සිට එන නැව්, එරටට පැමිණිය යුතු වූයේ එය හරහා බැවිනි. යම් ලෙසකින් මලක්කා සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් එම සැපයුම් මාර්ගය වැසී යාමේ හැකියාවක් ඇති හෙයින්, විකල්ප මාර්ගයක් ලෙස මියන්මාරය වැදගත් විය.

ඉන්දියාව මියන්මාරය කෙරෙහි මුලින් අනුගමනය කලේ මීට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තියකි. 1988-90 සමයේ සිදු කල මර්ධනය දැඩිව හෙලා දුටු එරට බොහෝ කලක් යනතුරු මියන්මාර ආණ්ඩුව විවේචනය කළේය. මියන්මාරය ඊට පිළිතුරු දුන්නේ ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශවල ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායම්වලට ඉන්දු-මියන්මාර් දේශසීමා ප්‍රදේශවල නිදහසේ කටයුතු කරන්නට ඉඩ දීමෙනි. නමුත් 2005 පමණ සිට ඉන්දියාවේ මියන්මාර ප්‍රතිපත්තියෙහි පැහැදිලි වෙනසක් දක්නා ලදී. චීනයෙහි බලපෑම මියන්මාරය තුල වැඩි වීම සහ ඊසානදිග පෙදෙස්වල අස්ථාවරභාවය මීට හේතු වන්නට ඇත. මේ වනවිට දෙරට අතර වෙළෙඳ ගිවිසුම් ආදිය ඇති කරගනිමින් ද්වී පාර්ශවික සබඳතා බෙහෙවින් පුළුල් කරගෙන ඇත. මියන්මාරයේ සිත්වේ වරාය ඉදි කිරීමට ආධාර දෙන්නේ ඉන්දියාවයි.

මෙසේ විදේශ ප්‍රතිපත්තිය යම් තරමකට ලිහිල් වුවද, මියන්මාරයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති පෙර පරිදිම විය. 2005 වනවිට එරට පාලකයන් නයිපිඩව් (රජුන්ගේ නගරය) නම් නව අගනුවරක් ඉදි කිරීමට පටන්ගෙන තිබිණ. අගනුවර එම නගරයට මාරු කෙරුනද එහි ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට තිබුනේ 2012 වසරේය. මෙය වැඩි දෙනෙකු දුටුවේ අනවශ්‍ය වියදමක් ලෙසය. මේ අතර 2007 වසරේ බෞද්ධ භික්ෂුන්වහන්සේගේ නායකත්වයෙන් දියත් වූ "කසාවත් විප්ලවය" දරුණු ලෙස මර්ධනය කරනු ලැබීය. ඉන් වසරක් ඉක්මෙන්නටද පෙර 2008 මැයි මාසයේ මියන්මාරයට ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනයට මුහුණ දීමට සිදු විය. ඒ නාර්ගීස් චණ්ඩ මාරුතයයි. මේ අවස්ථාවේද, එරට පාලකයන් ඉතා රහස්‍ය වූ ආකාරයකින් කටයුතු කල අතර විදේශ ආධාර ලබා දීමට විවිධ රටවල් ඉදිරිපත් වුවද ඒවා කලට වෙලාවට විපතට පත් වූවන්ට නොලැබී ගියේය.

කෙසේ නමුත් ඉන් වසර කිහිපයකට පසු මියන්මාරයේ යම් වෙනසක් සිදු වෙමින් පවතින බව පෙනෙන්නට විය. 2010 ඔක්තෝම්බරයේ එරට පාලකයෝ නව ජාතික ධජයක් හඳුන්වා දුන්හ. 2010 නොවැම්බර් මාසයේදී වසර 20 කට පසු පවත්වන ලද පළමු මහා මැතිවරණය පවත්වන ලදී. මෙයට න්ල්ඩ් පක්ෂයට සහභාගී වීමට හැකියාවක් නොවූ අතර බොහෝ දෙනා මෙය හැඳින්වූයේ හමුදා පාලනයේ තවත් එක මායාවක්, රැවටීමක් බවය. මෙම මැතිවරණයෙන් හමුදාවේ සහය ලද එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය (Union Solidarity and Development Party-USDP) ජයගැනීමෙන් එය තවත් තහවුරු වන බව ඔවුහු කියා සිටියහ. කෙසේ නමුත් 2011 මාර්තු වනවිට හමුදා ජුන්ටාවේ පාලනය නිමා කල අතර සිවිල් පාලනයක් රට තුල ඇති කරන ලදී. නමුත් මෙයද රැවටීමක් බව විවේචකයින් විසින් කියා සිටින ලදී. මන්දයත්, පළමු සිවිල් ජනාධිපතිවරයා වූ තෙයින් සෙයින් හිටපු ජුන්ටාවේ ප්‍රධානියාද වූ හෙයිනි.

කෙසේ වුවද, මියන්මාරයේ ඉතා පැහැදිලි වෙනසක් සිදු වෙමින් පවතින. චීන-මියන්මාර් සම්බන්දතා යම් ආකාරයක පලුදු වී ඇති සෙයක් මුලින්ම පෙනුනේ 2011 සැප්තැම්බර් 30 වනදා ජනාධිපති තෙයින් සෙයින් විසින් චීන ආධාරයෙන් ඉදි වෙමින් පවතී මිට්සොනේ වේල්ලෙහි කටයුතු එකවරම නවතා දැමීමෙනි. සුළු කලකින් දේශපාලන සිරකරුවන්ගෙන් කොටසක් නිදහස් කරන ලද අතර ආර්ථික ප්‍රතිපත්තිද ලිහිල් කරන ලදී. මේ අතර වසර 60 ක් තිස්සේ ක්‍රියාත්මක වූ කැරන් ජාතික විමුක්ති හමුදාව () ඇතුළු ඇතැම් කැරලිකාර සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමද බලාපොරොත්තු නොවූ විපර්යාසයක් විය. 2012 අපේල් අතුරු මැතිවරණයේදී NLD ඇතුළු සියලු පක්ෂවලට තරඟ කිරීමට අවස්ථාව ලැබුන අතර එහිදී අවුන්ග් සාන් සූ කී මහත්මියද පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.

ක්ලින්ටන් නෝනා සහ සූ කී නෝනා (2011 දෙසැම්බර් 1), Wikimedia Commons.



මෙම ප්‍රතිසංස්කරණ බටහිර රාජ්‍යයන්ගේ පැසසුමට ලක්වූ අතර චීනය ඒ පිලිබඳ සාමාන්‍යයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. 2011 දෙසැම්බරයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මියන්මාරයේ සංචාරය කිරීම එවක පුදුම එළවනසුලු පුවතක් විය. මෙයින් පැහැදිලි වූයේ, ඉන්දියානු සාගර කලාපය කෙරෙහි වන ඇමරිකානු රජයේ උනන්දුවයි. වෙසෙසින්ම චීනයට කලාපය තුල ඇති සහය අවම කිරීම ඇමරිකාවේ මෙන්ම ඉන්දියාවේද මූලික පරමාර්ථයකි. මේ බව තවදුරටත් පසක් වූයේ, 2012 ජනාධිපතිවරණය ජයගත් බරක් ඔබාමා සති දෙකක් ඉක්මෙන්නටත් මත්තෙන් අග්නිදිග ආසියානු රටවල් තුනක සංචාරය කිරීමයි. ඉන් දෙරටක්ම එනම් කාම්බෝජය සහ මියන්මාරය ඉතා මෑතක් වනතුරු චීනයේ ගජ මිතුරන් ලෙස පසු වූහ.

ඔබාමා සහ තෙයින් සෙයින් ජනාධිපතිවරු, (2012 සැප්තැම්බර් 18, යැන්ගොන්), Wikimedia Commons.



නිදහසින් 65 වසරක් සමරන මේ අවස්ථාවේ බුරුම (මියන්මාර) ජනතාව හමුවේ තවත් බොහෝ අභියෝග ඇත. තවමත් රටේ නැගෙනහිර පෙදෙස්වල කැරලි කිහිපයක් ක්‍රියාත්මකය. එමෙන්ම, රකින් සහ අරකන් ප්‍රාන්තවල රොහින්ග්‍යා ජාතිකයින් සමඟ වන ගැටුම් ජාතිවාදී සහ ආගම්වාදී මුහුණුවරක් ගෙන ඇත. (රොහින්ග්‍යා ජාතිකයින් ඉස්ලාම් ආගම අදහන අතර බුරුම ජාතිකයෝ අති බහුතරය බෞද්ධයෝ වෙති). රටේ ආර්ථිකය සහ සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වය තවමත් ඉතා පහල අඩියක පවතී. තවද, රටේ හමුදාව දේශපාලනය තුල කුමන භූමිකාවක් රඟ දක්වයිද යන්න අනාගතයට භාර තවත් පැනයකි. බුරුම ව්‍යවස්ථාදායක සභාවේ (Pyingdaungsu Hluttaw-ප්යිඩව්න්ග්සු හ්ලූතාව්) ඉහල සහ පහල මන්ත්‍රණ සභා දෙකේ මන්ත්‍රීවරුන් ගණන පිළිවෙලින් 224 ක් සහ 440 කි. මෙයින් හතරෙන් එකක් බැගින් පත් කරන්නේ හමුදාවයි. එහෙයින් බුරුම හමුදාව තව බොහෝ කලකට දේශපාලනයෙන් ඉවත් නොවනු ඇතැයි සැක කල හැක.

10 comments:

  1. අනිවාර්යයේන්ම බුරුම හමුදාව රට අත්හැරීමට උත්සහා නොගනීවි.බුරුමයට මං හිතන්නේ අවුරුදු 20කට වඩා කාලයක් තිස්සේ ඇමෙරිකානු සම්බාධක තිබුනා නේද? දැන්නම් ලිහිල් කරානේ.කෙමෙන් කෙමෙන් බුරුමය ඇමෙරිකන් හිතවාදි පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බව පෙනුනත් චීනය ඒ ගැන එතරම් තැකීමක් නොකරන්නේ චීන සම්බන්ධතා ඒ හැටිම අඩු නොවන නිසා විය හැකියි.වේල්ල සමිබන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුනත් වෙලද සබදතානම් වැඩිවෙමින් පවතිනවා.චීනය බුරුමයෙන් විවිධ ප්‍රතිසංකරණ මීට පෙර ඉල්ලා තිබෙනවා කියලත් කතාවක් ගියා.කොහොම උනත් බුරුමයේ සම්පත් කොල්ල කෑමට මාන බලමින් සිටින රාක්ෂයෝ දෙන්නගෙන් බුරුමයට කවදාවත් සැනසුමක් නොලැබේවි.ඒ වගේම බෞද්ධ මුස්ලිම් ගැටුම් වලිනුත් නිමාවක් නැතිවේවි.

    ReplyDelete
    Replies
    1. අගෙයි. නියම එකතු කිරීමක්.
      බොහොම ස්තූතියි!

      චීනා සද්ද නැතුව ඉන්නේ කරන්න දෙයක් නැතිකමට වෙන්න ඇති. ඒ රටට බුරුමයත් එක්ක තියෙන වෙළෙඳාම මහා විසාල වටිනාකමක් ඇති කියල හිතන්න බැහැ. බුරුමය සාපේක්ෂව පොඩි මාර්කට් එකක්. අනික ඊටත් වැඩිය, සාපේක්ෂව දුප්පත් මාර්කට් එකක්. චීනා ඊට වැඩිය ලොකු අතු අල්ලලා ඉවරයි. එත්, භූගෝලීය පිහිටීම නිසා එයාලට බුරුමය වැදගත් වෙනවා. මොකෝ ඉන්දියන් සාගරයට පාරක් හදා ගන්න ඕන කියලා බුරුම රට ගලවලා විසි කරන්න චීනට බෑ නේ. :-)

      Delete
  2. පුංචි රටවල් වලට නිදහස් දිනය තවත් එක දිනයක් විතරයි වගේ. ඇති නිදහසක් නෑ බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. කවර නම් කතාද ඒ ගැන? තවත් එක දවසක් විතරයි. තල්මස්සු හැප්පෙනකොට හාල්මැස්සෝ තැලෙනවා නෙව. මියන්මාරෙ කමක් නැහැ කියමුකෝ.... මම මේ කල්පනා කලේ තව හරියටම මාසයකින් මොනවා ලියන්නද කියලා....

      Delete
    2. තව මාසෙකින් අපේ 65 සමරනවානේ. ඒ ගැනත් මුකුත් ලියන්න එපැයි.

      Delete
  3. නියමයි මේ ලිපිය... ගොඩක් දේවල් දැනගත්තා. ජය !

    ReplyDelete
  4. බුරුමයට නිදහස ලබාගන්න ලියකියවිලි අත්සන් කළේ ලංකාවේදී. ඒ වගේමයි ලංකා ආණ්ඩුකාරයාගේ යටතේ තමා බුරුමයත් පාලනය වුණේ මට මතක විදිහට

    ReplyDelete
    Replies
    1. පලවෙනි කාරණේ නම් මම දන්නේ නැහැ හසිත. නමුත් මම දන්නා විදියට 1937 වනකල් බුරුමය පාලනය වුනේ ඉන්දියාවේ ප්‍රතිරාජයා යටතේ. ලංකාව 1798 ඉඳන්ම වෙනමම ආණ්ඩුකාරයෙක් යටතේ පාලනය වුනා නේ. ලංකාවයි බුරුමයයි දුර වැඩියි නේ. 1912 වෙනකල් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අගනුවර වුනේ කල්කටාව නිසා බුරුමය එහෙ ඉඳන් පාලනය කරන්න ඇති.

      Delete