Wednesday, January 23, 2013

අහ්මඩ් ඩොගාන් "ඝාතන තැත"



ඒ 2013 ජනවාරි 19 වනදාය. ස්ථානය බල්ගේරියාවේ සොෆියා අගනුවර ජාතික සංස්කෘතික මන්දිරයයි. අයිතිවාසිකම් සහ නිදහස් සඳහා වන ව්‍යාපාරය (Movement for Rights and Freedoms-MRF) නම් ලිබරල්වාදී පක්ෂයේ මහ සමුළුව පැවැත්වෙමින් තිබුණි. වේදිකාවේ සිට සභාව අමතමින් සිටියේ 1990 එම පක්ෂය ආරම්භයේ සිට 23 වසරක් එහි නායකයා ව සිටි අහ්මඩ් ඩොගාන් ය.

අහ්මඩ් ඩොගාන් 2009 බල්ගේරියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, Bulgarian politician Ahmed Dogan during a 2009 post-election conference, Vladimir Petkov, Wikimedia Commons



එකවරම සිදු වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි. අසන්නන් අතර සිටි තරුණයෙක් වේදිකාව වෙත පැමිණ, කුඩා පිස්තෝලයක් ඩොගාන්ගේ මුහුණට එල්ල කොට වෙඩි තැබුවේය. ඩොගාන්ගේ වාසනාවට පිස්තෝලයෙන් උණ්ඩයක් පිට නොවූ අතර ඉන්පසු ආත්මාරක්ෂාව සඳහා ඩොගාන් එල්ල කල පහරකින් පිස්තෝලය විසි වී ගියේය. අසල සිටියවුන් වහ වහා ක්‍රියාත්මක වී වේදිකාවට නැග්ගෝය. කිහිප දෙනෙක් ඩොගාන්ගේ ආරක්ෂාවට ඔහු වට කරගනිද්දී, අනෙක් අය ඔහුට වෙඩි තබන්නට ගිය තරුණයා වටකොට ඔහුට ගුටි බැට සංග්‍රහයක් පූජා කිරීමට කටයුතු කළහ. (මෙම සිද්ධිය කැමරාවට හසුව තිබුනේ මෙසේය).

මෙම ප්‍රහාරයෙන් පසු ඩොගාන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් විය. කෙසේ නමුදු, පසුව සොයා ගන්නා ලද්දේ ඔහුට වෙඩි තැබීමට කල උත්සාහයේදී යොදා ගත් වායු පිස්තෝලයෙහි උණ්ඩ නොවූ බවයි. එහි තිබී ඇත්තේ පේපර් ස්ප්‍රේ බවද සඳහන්. මේ අනුව මෙය ඝාතන තැතක් ලෙසම සැලකිය නොහැක. මේ හේතුවෙන් සම්පූර්ණ සිද්ධියම කලින් සැලසුම් කළ ජවනිකාවක්දැයි යන සැකය ඇතැමුන් තුලින් මතු විය. කෙසේ නමුත්, ඩොගාන් "ඝාතනය කිරීමට" උත්සාහ කල ඔක්ටායි එනිමෙහ්මෙදොව් නම් බල්ගේරියානු-තුර්කි ජාතික තරුණයාට වසර හයක් දක්වා වන සිර දඬුවමක් ලැබීමේ ඉඩක් ඇත.

MRF පක්ෂයට ප්‍රධාන වශයෙන් සහය ලබාදෙන්නේ බල්ගේරියාවේ තුර්කි ජාතිකයන් ඇතුළු මුසල්මානුවන්ය. 2009 පැවති මහ මැතිවරණයේදී මෙම පක්ෂයට ආසන 240 න් 37 ක් ලැබී තිබිණ. සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 14 ක් ඔවුනට ලැබී තිබිණ.

2011 පවත්වන ලද ජන සංගණනය අනුව බල්ගේරියාවේ සමස්ථ ජනගහනය 7.3 ඉක්මවයි. ඉන් හයසිය දහසකට (ලක්ෂ හයකට) ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 8.8 ක් තුර්කි ජාතිකයෝ වෙති. ඊට අමතරව තවත් සියයට හයක පමණ ප්‍රමාණයක් ජනතාව හතළිහක් පමණ වන සුළු ජාතීන්ට අයත් වන අතර එයින්ද ඇතැමෙක් ඉස්ලාම් ලබ්ධිකයෝ වන්නාහ. බල්ගේරියාවට තුර්කි ජාතිකයන් පැමිණීම සියවස් ගණනක් ඈතට දිවෙන කතාන්දරයකි. ඔටෝමන් තුර්කි ප්‍රහාරවලින් ගැලවීමට ඇනටෝලියාවේ විසූ වෙනත් තුර්කි ගෝත්‍රවල ජනයා 14 වන සියවසේ අග භාගයේදී මෙම ප්‍රදේශවලට පැමිණියහ. මේ අතර 14 වන සියවස අවසානයේදී බල්ගේරියාව ඔටෝමන් තුර්කීන් විසින් යටත් කරන ලදී. ඉන්පසු ඉස්ලාම් දහම වැළඳගත් අය කාලයාගේ ඇවෑමෙන් "තුර්කිකරණය" වී ඇත්තේය. තවත් මතයකට අනුව ඔටෝමන්වරුන් පැමිණීමට බොහෝ කලකට පෙර පැමිණි තුර්කි ගෝත්‍රික කණ්ඩායම්වලින් පැවත එන තුර්කි ජාතිකයන් පිරිසක්ද මේ අතර වන්නේ යයි ඇතැමෙක් විශ්වාස කරති. බල්ගේරියාවේ තුර්කි ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන්නේ එරට ඊසානදිග ප්‍රදේශයේ පළාත් හතරක සහ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි එක පලාතකය.

බල්ගේරියාවේ පළාත් මට්ටමෙන් තුර්කි ජාතිකයන් ප්‍රතිශතය, Wikimedia Commons.



1954 මාර්තු 29 වනදා උපන් අහ්මඩ් ඩොගාන් බල්ගේරියානු කොමියුනිස්ට් පාලන සමයේදී රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කමිටුව (බල්ගේරියානු ඔත්තු සේවය) වෙනුවෙන් ඔත්තුකාරයකු ලෙස සේවය කල බව කියවේ. 2001 වසරේදී ඔහුගේ පක්ෂය පළමු වරට එරට සභාග ආණ්ඩුවකට එකතු වූ අතර 2005 මැතිවරණයෙන් පසුවද දිගටම පාලක සභාගයේ රැඳී සිටියේය. 2009 සිට පක්ෂය විපක්ෂයේ රැඳී සිටී. ආණ්ඩුවේ සිටියදී සිදුවූයේ යයි පැවසුන ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ නමුත් 2010 ඔක්තොම්බරයේදී දී එයින් ඔහු නිවැරදිකරු බව තීන්දු විය. එවර ඔහුගේ දේශපාලන අනාගතය පිලිබඳ ඇතිවූ අවිනිශ්චිතභාවය එම තීන්දුවත් සමඟ දුරු වූ නමුත්, ඔහුට විරුද්ධව ක්‍රියාවට නැගුන "ඝාතන තැතින්" පසු ඩොගාන්ගේ දේශපාලන අනාගතය කෙසේ වේද යන්න තවමත් නිශ්චිත නැත.

8 comments:

  1. මටනං හිතෙන්නේ ප්‍රචාරක උප්පරවැට්ටියක් කියලයි....

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම දෙයක් වුනා කියමුකෝ. ඇත්ත එලි වුනාම ඒක ඩොගාන්ට හොඳ නැහැනේ.

      Delete
  2. ප්‍රචාරක උප්පරවැට්ටියක් කියන්නේ මොන අරMඋණකින්ද කියලා හිතාගන්න බෑනෙ.. මොකද මට මේ සිද්ධි ඔක්කොම අලුත්..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. මොන අරමුණකින් එහෙම ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනිච්චාද මන්දා. (එහෙම එකක් වුනා නම්)

      කොහොමහරි කමක් නැහැ. සාදරයෙන් පිළිගන්නවා මේ වැයික්කියට! :-)

      Delete
  3. මේ විස්තරයත් එක්ක බලපුවම නම් පේන්නේ අවධානය ගන්න කරපු වැඩක් කියල. වීඩියෝ එක නම් බැලුවේ නෑ.. ඩේටා මදි නිසා. ඒ තරුණයාට ඝාතන තැතක් කියල සිර දඬුවම් දෙන එක විහිළුවක් වගේ නේ. පිස්තෝලේ තිබුනෙත් පේපර් ස්ප්‍රේ නම්. දේශපාලනඥන්ගේ වැඩ අපිට තේරෙනවා මදිද මන්දා :D

    ReplyDelete
    Replies
    1. හිරේ දාන්නේ ඝාතන තැතක් කියලා නෙවෙයි වෙන්න ඇති. සාමය කඩකිරීම වගේ මොකක් හරි චෝදනාවක් වෙන්න ඇති.
      එහෙම නම් 2001 ලැට්වියාවෙදී චාර්ල්ස් කුමාරයාට මල් කළඹකින් ගහපු කෙල්ලෙක්ව හිරේ දාන්න හැදුවේ, අවුරුදු 15 කට.

      Delete
  4. අනේ දේශපාලඥයෙක්නේ.ඇත්තටම මේක ඩෙගොන් සැලසුම් කරලා කරපු වැඩක් වෙන්න ඇති.

    ReplyDelete
  5. මොන අරමුණකින්ද කියන එක තමයි ප්‍රශ්නය.

    ReplyDelete